ධම්මානුපස්සනා 5

උපරිම අවු. 07 කින් ලෝකයෙන් නිවීයාමේ උතුම් ධර්මයක්‌ දෝතින් දරාගෙන සතර සතිපට්‌ඨාන ධර්මයන් තුළින් සිත ආවරණය නොකරගත් නිසාම උරුමකරගත් සත්වයන්ගේ දුක මොනතරම් නම් දිග පළලද යන්න ඔබම නුවනින් මෙනෙහිකර දකින්න.

එ සතර සතිපට්‌ඨාන ධර්මයන්ට අදාළව මීළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ධම්මානු පස්‌සනාවට අදාළ ධර්මතාවන්ගේ අනිත්‍යභාවය දකින්නට කියල. සතර සතිපට්‌ඨාන ධර්මයන්ට අදාළව කායානුපස්‌සනාවට අදාළව කායනුපස්‌සනාව, වේදනානුපස්‌සනාව, චිත්තානුපස්‌සනාව ඔබ තුළ වැඩෙන්නේ ධම්මානුපස්‌සනාවක්‌ හැටියටයි.

ධම්මානුපස්‌සනාව ගැන සිහිවෙනකොට භික්‍ෂුවට මුලින්ම කමටහන බවට පත්වුණේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේව. අතීතයේ යම්දවසක දීපංකර බුදුරජාණන් වහන්සේ අප මහා බෝධිසත්ත්වයන්ට ඔබ අසවල් කාලයේ ගෞතම යන නමින් නමින් බුද්ධත්වයට පත්වෙනවාය කියලා නියත වියරණ ලබාදුන්නාද එය ධර්මතාවක්‌. දසපාරමී ධර්මයන් පූර්ණකොට ගෙන පැමිණි දීර්ඝ භවගමනක්‌ වේද එය ධර්මතාවක්‌. මේ දීර්ඝ භවගමනේදී යශෝධරාවත් රාහුලත් ඥාතිත්වයෙන් බැඳී පැමිණියාද එයත් ධර්මතාවක්‌. මේ ධර්මතාවන් දෙස ඔබ මොහොතක්‌ දෑස්‌ පියාගෙන මෙනෙහි කරන්න. ඔබ අත්දකින්නේ අනිත්‍යයි කියන අර්ථය පමණක්‌මයි.

දඹදිව සමාජය මිථ්‍යාදෘෂ්ටීන් 62 කින් පෝෂණය වී තිබූ සමයක, මනුෂ්‍යයා සංකීර්ණ වූ ලෝක ධර්මයන්ට එරෙහිව විසඳුමක්‌ සොයමින් සිටිය සමයක, පස්‌මහ බැලුම් බලා බෝධිසත්ත්වයන් ලෝකයට පහළවෙන්නේ ධර්මතාවක්‌ නිසාමයි. බෝධිසත්ත්වයන් මහාමායාවගේ මවුකුසට බැසගන්න මොහොතේ වූ බෝසත් මවුතුමිය දැනුවත්වමයි බෝධිසත්ත්වයන් මවු කුස පිළිසිඳ ගන්නේ. මවුකුස පිළිසිඳ ගන්නා රන්වන් බෝධිසත්ත්ව කළලය මවුකුසේ වැඩෙන ස්‌වභාවය මවුකුසින් බාහිරට දර්ශනය වෙනවා එය ධර්මතාවක්‌. බෝධිසත්ත්වයන් මවුකුස පිළිසිඳ ගත් මොහොතේ පටන් බෝසත් මෑණියන්ට තම ස්‌වාමි පුරුෂයා නිසාවත් කාම සිතුවිල්ලක්‌ ඇතිවෙන්නේ නැහැ. එය ධර්මතාවක්‌. බෝධිසත්ත්වයන් ලෝකයට බිහිවන මොහොතේ බෝසත් දරුවා බිහිවෙන්නේ බෝසත් මව සිටගෙන සිටින ඉරියව්වෙන් එයත් ධර්මතාවක්‌. මවු කුසෙන් බිහිවෙන එම බෝධිසත්ත්වයන් දෝතට පිළිගන්නේ සතරවරම් දෙවියන්. එයත් ධර්මතාවක්‌. ලෝකයට බිහිවෙන බෝසත් දරුවාගේ ශරීරයේ කිසිම ලේ, සැරව තැවරීමක්‌ සිදු නොවීමත් ධර්මතාවක්‌. උණුපැන් වැස්‌සක්‌ සහ සිසිල් පැන් වැස්‌සක්‌ මල්වැස්‌සක්‌ සේ වැටෙමින් බෝසත් දරුවා නහවනවා එයත් ධර්මතාවයක්‌. බෝධිසත්ත්වයන් උපත ලද මොහොතේම පියවර සතක්‌ තබමින් සත්වන පියවරේදී සිංහනාදයක්‌ කරනවා එයත් ධර්මතාවක්‌. බෝසත් දරුවා ප්‍රසූතියෙන් සත්වන දිනයේදී බෝසත් මව කලුරිය කරනවා එයත් ධර්මතාවක්‌ සෑම බෝධිසත්ත්වයෙක්‌ම සම්මා සම්බුද්ධත්වය සඳහා උප්පත්තිය ලබන්නේ දඹදිවමයි. එයත් ධර්මතාවක්‌. මේ සෑම ක්‍රියාවක්‌ම සෑම බුදුරජාණන් වහන්සේ නමකටම පොදු ධර්මතාවක්‌. දැන් පිංවත් ඔබ දෑස්‌ දෙක පියාගෙන ගෞතම බුදුරජාණන් වහන්සේට උරුමවු ඉහත ධර්මතාවන්ගේ ස්‌වභාවය නුවණින් දකින්න. කුමක්‌ද ඔබට වැටහෙන්නේ මේ සෑම ධර්මතාවක්‌ම අනිත්‍යයි කියන කාරණයයි. ඒ අනිත්‍යභාවය නුවණින් දකිමින් ජීවත්වෙන්න.

බුදුරජාණන් වහන්සේගේ උපත, සම්මා සම්බුද්ධත්වය පිරිනිවීම ධර්මතාවක්‌. බුදුරජාණන් වහන්සේ ධම්මචක්‌කපවත්වන සූත්‍රය දේශනා කිරීම ධර්මතාවක්‌. එම උතුම් සූත්‍ර දේශනාවෙන් අනතුරුව උතුම් ධර්ම රත්නයත්, සංඝරත්නයත් ලෝකයේ පහළවීම ධර්මතාවක්‌. මේ සෑම යථාර්ථයක්‌ම පිංවත් ඔබ මොහොතක්‌ දෑස්‌ පියාගෙන ආවර්ජනය කරන්න. ඔබ දකින්නේ අනිත්‍යය යෑයි කියන අර්ථයයි. මේ මොහොතේ ජීවමානව පවතින, ධර්මරත්නයත්, සංඝරත්නයත් අනාගතයේ යම් දවසක අතුරුදන්ව යනවා. එයත් ධර්මතාවක්‌මයි

බුදුරජාණන්වහනසේ අවබෝධ කොට වදාළේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයයි. එම චතුරාර්ය සත්‍ය ධර්මයේ මුල්ම ආර්ය සත්‍යය දුක කියන කාරණය, හේතූන් නිසාම හටගන්නක්‌. දුක ඇතිවීමට හේතුව තෘෂ්ණාවයි. එයත් ධර්මතාවක්‌. තෘෂ්ණාව නිරෝධයෙන් දුක නිරෝධය වෙනවා. එයත් ධර්මතාවක්‌. දුක නිරෝධය කරපු උත්තමයෙක්‌, දුකත්, තෘෂ්ණාවත් නැවත ආවර්ජනය කරද්දී ඔහු දකින්නේ අනිත්‍යයි කියන අර්ථය පමණමයි. දුක නිරෝධය කරන මාර්ගය, ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එයත් ධර්මතාවක්‌. ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කොට, සම්මා ඥාණ, සම්මා විමුක්‌තිය සාක්‍ෂාත් කරගත් උත්තමයා, තමන්ට නිවීම සාක්‍ෂාත් කර දුන් ආර්ය අෂ්ටාංගික මාර්ගය දෙස ආපසු හැරී බැලීමේදී, ඔහු දකින්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් අනිත්‍ය වූ ධර්මතාවක්‌ය කියලයි.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, ඔබ දුක නමැති සයුරෙන් එතෙර වුණාට පසුව, සයුරෙන් එතෙර වීමට උපකාරී වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය නමැති පවුර, කර තබාගෙන යායුතු දෙයක්‌ නොව, අතහැරදමා යායුතු දෙයක්‌ය කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගය අනිත්‍ය වූ ධර්මතාවක්‌මයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය මතුකොට ගැනීමට නම්, කල්‍යාණමිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම අත්‍යවශ්‍ය සාධකයක්‌ වෙනවා. මේ සාධකයත් අවසානයේ අනිත්‍ය වූ ධර්මතාවක්‌මයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීමේදී ඔබ තුළ සතර සතිපට්‌ඨාන ධර්මයන් වැඩෙනවා. එයත් ධර්මතාවක්‌. සතර සතිපට්‌ඨාන ධර්මයන් බහුල වශයෙන් පුහුණු කරලා, කාය, චිත්ත, ධම්ම, වේදනා කියන ධර්මතාවන්ද අනිත්‍යයි කියලා අවබෝධකරගත් තැනදී, සතර සතිපට්‌ඨාන ධර්මයන් කෙරෙහි ඇති තෘෂ්ණාවද, ඔබ අවබෝධයෙන් අතහරිනවා. එයත් ධර්මතාවක්‌. සතර සතිපට්‌ඨාන ධර්මයන් අනිත්‍ය වශයෙන් අවබෝධ කරගත් අරිහත් උත්තමයා, තමන්ට උපකාර ධර්මයක්‌ වූ සතර සතිපට්‌ඨාන ධර්මයන් දෙස ආපසු හැරී බලද්දී ඔහු දකින්නේ අනිත්‍යයි කියන අර්ථය පමණමයි.

සතර සතිපට්‌ඨාන ධර්මයන් ඔබ තුළ වැඩීම නිසා, ඔබ තුළින් සති, ධම්මවිජය, වීර්යය, ප්‍රීති, පස්‌සද්ධි, සමාධි, උපේක්‍ෂා සප්ත බොජ්ජන්ග ධර්මයන් මතුවීම ධර්මතාවක්‌. සප්ත බො-Cධංග ධර්මයන්, නිවීමට උපකාර ධර්මයන් ලෙස ප්‍රයෝජනයට ගෙන, නිර්වාණාවබෝධය සාක්‍ෂාත් කරගත් උත්තමයා, තමන්ට උපකාරී වූ සප්ත බොජ්ජග ධර්මයන් දෙස, අතීතාවර්ජනයක යෙදීමේදී, ඔහු දකින්නේ අනිත්‍යයි කියන ධර්මය පමණක්‌මයි. එයත් ධර්මතාවක්‌මයි. නිවීම සාක්‍ෂාත් කරගත් උත්තමයා, සතර සතිපට්‌ඨාන ධර්මයනුත්, සප්ත බොජ්ජන්ග ධර්මයනුත්, අනිත්‍ය වශයෙන් අවබෝධ කොටගත් තැනදී ඔහු අවසානයේ අවබෝධ කොටගත්තේ පංචඋපාදානස්‌කන්ධය අනිත්‍යයි කියන අර්ථයයි. එයත් ධර්මතාවක්‌. සතර සතිපට්‌ඨාන ධර්මයනුත්, සප්ත බොජ්ජන්ග ධර්මයනුත් තමා තුළ වැඩෙන්නේ රූපය ඇසුරින්, පංච උපාදානස්‌කන්ධයක්‌ ලෙසින්මයි. එයත් ධර්මතාවක්‌. නිවීම සාක්‍ෂාත් කොටගත් අරිහත් උත්තමයා තමන් අවබෝධ කොටගත් පංච උපාදානස්‌කන්ධය දෙස අතීතාවර්ජනයක යෙදීමේදී ඔහු දකින්නේ අනිත්‍යයි කියන ධර්මතාව පමණක්‌මයි.

පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍ය භාවය අවබෝධ කොටගත් උත්තමයා නුවණින් මෙනෙහි කරනවා, ජාති, ජරා,ව්‍යාධි, මරණ වලින් තමන් නිදහස්‌ වුණේ, ඉපදීම නිරුද්ධ කරපු නිසා, එය ධර්මතාවක්‌. ඉපදීම නිරෝධය වුණේ භවය නිරෝධය කරපු නිසා. එයත් ධර්මතාවක්‌. භවය නිරෝධය වුණේ, උපාදානය නිරෝධය වුණු නිසා. එයත් ධර්මතාවක්‌. උපාදානය නිරෝධය වුණේ තෘෂ්ණාව නිරෝධය වුණු නිසා. තෘෂ්ණාව නිරෝධය වුණේ විඳීම නිරෝධය වුණු නිසා. විඳීම නිරෝධය වුණේ, ඵස්‌සය නිරෝධය වූ නිසා. ඵස්‌සය නිරෝධය වුණේ සලායතන නිරෝධය වූ නිසා. සලායතන නිරෝධය වුණේ නාමරූප නිරෝධය වූ නිසා. නාමරූප නිරෝධය වුණේ විඤ්Æණය නිරෝධය වූ නිසා. විඤ්ඥාණය නිරෝධය වුණේ සංස්‌කාර නිරෝධය නිසා. සංස්‌කාර නිරෝධය වුණේ අවිද්‍යාව නිරෝධය කළ නිසා. මේ සියල්ලම ධර්මතාවන්.

කල්ප සියක්‌ කොටි ප්‍රකෝටි ගණනක්‌, මැරෙමින් ඉපදෙමින් පැමිණි භවගමනේ, ක්‍රියාත්මක ධර්මය වූ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය, පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය අවබෝධ කොටගැනීමෙන්, චතුරාර්යසත්‍ය ධර්මයන් අවබෝධ කොටගැනීමෙන්, නිරෝධය වීම ධර්මතාවක්‌. පට්‌ච්චසමුප්පාද ක්‍රියාවලිය නිරෝaධය කළ අරිහත් උත්තමයා, තමා නිරෝධය කළ පට්‌ච්චසමුප්පාද ක්‍රියාවලිය දෙස අතීත ආවර්ජනයක යෙදුනොත්, ඔහු දකින්නේ අනිත්‍යයේ අර්ථය පමණක්‌මයි. කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ජ කුක්‌කුච්ඡ, විචිකිච්ඡා, පංචනීවරණ ධර්මයන්, පටිච්චසමුප්පාද ක්‍රියාවලිය නිරෝධය කිරීමේ මාර්ගය අවහිර කිරීමද ධර්මතාවක්‌මයි.
මේ මොහොතේ භික්‍ෂුව අතීත ගිහි ජීවිතය දෙස ආපසු හැරී බැලීමේදී මට තිබුණේ සප්ත බොජ්ජන්ගයට වඩා පංච නීවරණයට බර ජීවිතයක්‌. භික්‍ෂුවගේ මනස අතීත සිදුවීම් පිළිබඳ මතකයන් ගොඩක්‌ අවදි වෙනවා. ඒ සෑම මතකයක්‌ම අනිත්‍ය වූ ධර්මතාවක්‌.

භික්‍ෂුව පැවිදිවෙන මොහොතේ පංචනීවරණ පහ හෝ සප්ත බොජ්ජන්ග ධර්මයන් හත කටපාඩමින් කියන්න දැනගෙන සිටියේ නැහැ. භික්‍ෂුව මේ ධර්මයන් හඳුනාගන්නේ අත්දැකීමෙන්මයි. සප්ත බොජ්ජන්ගයන් හඳුනා ගනිද්දී ඊට විරුද්ධ පංච නීවරණ ධර්මයන් හඳුනාගැනීමත් ධර්මතාවක්‌මයි. කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ද, උද්දච්ච කුක්‌කුච්ඡ, විචිකිච්ඡා පංච නීවරණ ධර්මයන් බැහැර කිරීම නිසා තමා තුළින් සප්ත බො-Cධංග ධර්මයන් මෝදුවීම ධර්මතාවක්‌. නමුත් යම් ධර්මාවබෝධය ලැබූ උත්තමයෙක්‌ උතුම් අවබෝධයෙන් අනතුරුව තමාට ප්‍රමාදය පිණිස හේතුවූ පංච නීවරණ ධර්මයන් සහ තමාට අප්‍රමාදීභාවයට හේතුවූ සප්ත බොජ්ජන්ගධර්මයන් දෙස ආපසු හැරී බලන විට ඔහු දකින්නේ අනිත්‍යය කියන අර්ථය පමණක්‌මයි.

ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළදී සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රිය ධර්මයන් වැඩීම ධර්මතාවක්‌. ඉන්ද්‍රිය ධර්මයන් පරිපූර්ණ වැඩුණුව පසු බලධර්මයන් වශයෙන් ඉහත ධර්මයන් වැඩීම ධර්මතාවයක්‌. බලධර්මයන් පරිපූර්ණ කරගත් අරිහත් උතුමන් ඉන්ද්‍රිය ධර්මයන්, බලධර්මයන් දෙස අතීතාවර්ජනයක යෙදීමේදී ඔහු දකින්නේ අනිත්‍යයි කියන අර්ථය පමණක්‌මයි.

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌. ඒ ධර්මතාවත් අනිත්‍යයි. සත්ත්වයා තුළින් සකස්‌වෙන වචනවලට අදහස්‌ ප්‍රකාශ කිරීම්වලට අදාළ වචී සංස්‌කාර, ඒ කියන්නේ විචාර, විතක්‌ක, නිරතුරුවම වෙනස්‌ වන අනිත්‍ය වූ ධර්මතාවක්‌. සත්ත්වයා තුළින් සකස්‌ වෙන සිතීමට, මෙනෙහි කිරීමට අදාළ මනෝ කර්ම, ඒ කියන්නේ සංඥා ෙච්තනා නිරතුරුවම වෙනස්‌ වන ධර්මතාවක්‌. පිංවත් ඔබ දෑස්‌ පියාගෙන එම ධර්මතාවන්ගේ අනිත්‍යභාවය දකින්න. ඔබ තුළ සකස්‌ වුණ විතර්ක විචාරයන් නිසා ඒවාට අදාළව සිතන්න යැම නිසාම මොනතරම් කුසල් අකුසල් මනෝ සංස්‌කාර ඔබ තුළ සකස්‌ වෙන්න ඇතිද? පිංවත් ඔබ දිනය පුරාවට ඔබ තුළ සකස්‌ වූ කුසල් අකුසල් ෙච්තනාවන්ට සිත යොමුකර ඒවායේ අනිත්‍යභාවය නුවණින් දකින්න.

ඇසත් බාහිර රූපයත්, විඤ්ඤාණයත් ඵස්‌සය නිසා චක්‌ඛු විඤ්ඤාණය සකස්‌ වීම ධර්මතාවයකි. කනත්, ශබ්දයත්, විඤ්ඤාණයත් ඵස්‌සයෙන් සකස්‌වෙන සෝත විඤ්ඤාණයත් ධර්මතාවක්‌. නාසයත් ගඳ, සුවඳත් විඤ්ඤාණයත් ඵස්‌සයෙන් හටගන්නා ඝාණ විඤ්ඤාණය ධර්මතාවක්‌. දිවත්, රසයත්, විඤ්ඤාණයත් ඵස්‌සයෙන් හටගන්නා ජීව්හා විඤ්ඤාණය ධර්මතාවක්‌. ශරීරයත් පහසත් විඤ්ඤාණයත් ඵස්‌සයෙන් හටගන්නා මනෝවිඤ්ඤාණය ධර්මතාවක්‌.

පිංවත් ඔබ අද උදේ පටන් ඔබ තුළ ඇතිවුණ ඉහත ධර්මතාවන්ගේ අනිත්‍යභාවය නුවණින් දකින්න. ඇසෙන් කොච්චර රූප දැක්‌කද කනෙන් කොච්චර ශබ්ද ඇසුවද මනසින් කොච්චර සිතුවිලි සිතුවද මේ නිමේෂයේදී ඔබ තුළ ඉතිරිවී ඇත්තේ අනිත්‍යයි කියන ධර්මතාව විතරයි.

මෙය සටහන් තබන භික්‍ෂුව මොහොතක්‌ දෑස්‌ පියාගෙන නුවණින් දකිනවා අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්‍ෂ ගණනක්‌ මේ ඇස්‌වලින් දැකල තිබෙනවා පටිච්චසමුප්පන්නව. අම්මල අප්‍රමාණ පිරිසකගේ පහස සෙනෙහස දර්ශනය මා ලබලා තිබෙනවා. ශක්‍ර, බ්‍රහ්ම, රජ, සිටු, දුගී, යාචක ජීවිත සංසාරයේ ලබල තියෙනවා. මේ සෑම විඳීමක්‌ම ඵස්‌ස පච්චයා වේදනා කියන ධර්මතාවක්‌ පමණක්‌මයි. ඒ ධර්මතාවයේ ස්‌වභාවය අනිත්‍යයි. ඔබගේ පෙර ජීවිතයේ මරණාසන්න මොහොතට සිත යොමුකොට, උපාදානය නිසා නැවත භවය සකස්‌ කරගත් හැටි, භවය සකස්‌වෙන මොහොතේම උපාදානය අනිත්‍යවී යන හැටි, ලැබුවාවූ උපතේ මේ මොහොත දක්‌වා සලායතනයන්ගේ සහ ඵස්‌සයේ අනිත්‍යභාවය නුවණින් දකින්න.චක්‌ඛුÆණ විඤ්ඥානය, ශ්‍රොත විඤ්ඥාණය, ඝාන විඤ්ඥාණය ජිව්හා විඤ්ඥාණය, කාය විඤ්ඥාණය, මනෝවිඤ්ඤාණය හේතුවෙන්, කාමයේ ආශ්වාදය සකස්‌ වීම ධර්මතාවක්‌.

පිංවත් ඔබ ආයතන හය නිසා ජීවිතයේ ලැබූ කාමාශ්වාදයන් නුවණින් මෙනෙහි කරන්න. පිංවත් ඔබ මුලින්ම ආශ්වාදයක්‌කරගත්තේ ඔබේ අම්මාගේ ගර්භාෂකුටියයි. කුඩා ඉඩකඩක්‌ තුළ උෂ්ණය, ලේ, සැරව, දෙතිස්‌ කුණුපයක්‌ මැදිකොට ගෙන ඔබ ඇතිකරගත් මේ ජීවිතයේ මුල්ම ආශ්වාදය අනිත්‍යවූ ධර්මයක්‌. ඔබ ජීවිතයේ දෙවැනියට ඇතිකරගත් ආශ්වාදය මව් සෙනෙහසයි. මව් උණුසුමයි, මව්කිරි සුවඳයි. ඒ සෑම ආශ්වාදයක්‌ම අනිත්‍යවූ ධර්මතාවයක්‌.

කාමයේ ආශ්වාදය හේතුවෙන් කාමයේ ආදී නවය සකස්‌වීම ධර්මතාවයක්‌. අම්මා කියන රූපය කෙරෙහි ඇතිකරගත් කාමයේ ආශ්වාදය නිසා මොනතරම් නම් ආදීනවයක්‌ ඇතිද? කාමයේ ආශ්වාදයට බැඳී ගියොත් කාමයේ ආදීනවය ඇතිවීම ධර්මතාවක්‌. නමුත් මේ ධර්මතාව අනිත්‍යයි. මා බැඳී ගිය අම්මාය කියන රූපය මේ මොහොතේ පටිච්ච සමුප්පන්නව වෙනත් උපතකට ගිහිල්ලා. ඇය මට අයිති නැහැ. මා ඇයට අයිතිත් නැහැ. මේ සියල්ලම අයිති පටිච්ච සමුප්පාද ධර්මයන්ට. නමුත් මේ ධර්මතාවද අනිත්‍ය වු ධර්මතාවක්‌. යම් පිංවතෙක්‌ කාමයේ ආශ්වාදයේ අනිත්‍යභාවය අවබෝධකරගෙන ආදීනවයෙන් මිදී කාමයේ නිස්‌සරණය සාක්‌ෂාත් කොට ගැනීමද ධර්මතාවක්‌. ඒ ධර්මතාවයන් පිරිණිවී යැමෙන් අනිත්‍යභාවයට පත්වෙනවා.

බුදුරජාණන්වහන්සේ දේශනාකරනවා රූපයේ ආශ්වාදය කියල කියන්නේ අවුරුදු 18 ත් 20 ත් පිරිමි දරුවෙක්‌ගේ, ගැහැනු දරුවෙක්‌ගේ රූපයේ තාරුණ්‍යය, හැඩය, වර්ණය, මටසිළුටුබව, ලස්‌සනය කියලා, එයත් ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාවය අනිත්‍යයි. රූපයේ ආශ්වාදය පසුපස නිරතුරුවම රූපයේ ආදීනවය සැඟවී තිබෙනවා. ඒ කියන්නේ ජාති, ජරා, ව්‍යධි, මරණ මේ ධර්මතාවන්ගේ ස්‌වභාවයත් අනිත්‍යයි. පිංවත් ඔබ ඔබේ ශරීරයේ රුළිවැටුණු සම දෙස බලමින් වැහැරෙමින් එල්ලී වැටීමට මානබලන මස්‌පිඩු දෙස බලමින්, අල්මාරිමේසය මත තිබෙන මංගල ඡායාරූපය දෙස බලමින්, රූපයේ ආශ්වාදයේ අනිත්‍යභාවයන් රූපයේ ආදීනවයන් ගැන ධම්මානුපස්‌සනාවෙන් බලන්න. මාගේ අම්මා තත්තාගේ මංගල ඡායාරූපය තවමත් මහගෙදර අල්මාරි මේසය මත තබා ඇති මට ඒ ඡායාරූපය සිහි වන විට හාස්‍යයක්‌ පමණයි දැනෙන්නේ. ධම්මානු පස්‌සනාවෙන් ආවරණය නොවූ සිත මොන බලපෑමක්‌ද සත්ත්වයාට කරන්නේ කියලා…

උපත සිහිවෙන මොහොතේදීම මරණය ධර්මතාවක්‌ බව නුවණින් දකින්න. ඒ ධර්මතාව අනිත්‍ය වූ ධර්මතාවක්‌. රූපයේ ආශ්වාදයේ කෙටි භාවයත් ආදීනවයේ දිගුභාවයත් අවබෝධ කරගත් උත්තමයා ආර්යාඅෂ්ටාංගික මාර්ගය තරණය කර රූපයේ නිස්‌සරණය සාක්‌ෂාත් කරගැනීමද ධර්මතාවයකි. එයද අනිත්‍ය වූ ධර්මතාවකි.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, පළමුවැනි, දෙවැනිs, තෙවැනි, සතරවැනි ධ්‍යාන තල, වේදනාවේ ආශ්වාදයයි කියලා. පංචනීවරණ ධර්මයන් යටපත් වීමේ ප්‍රමාණයට ධ්‍යාන තල සකස්‌ වීම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍යයි. මොකද ඉහත රූපාවචර ධ්‍යාන්‍ය තල අනිත්‍ය භාවයට පත්වෙනවා. ධ්‍යාන්‍ය තල පිරිහීම වේදනාවේ ආදීනවයයි. එයත් ධර්මතාවක්‌ පංචනීවරණයන් මතු වීමේ ප්‍රමාණයට ධ්‍යාන්‍යතල පිරිහී යනවා. වේදනාවේ ආශ්වාදයේ අනිත්‍ය භාවයත් ආදීනවයේ අනිත්‍යභාවයත් අවබෝධ කරගත් තැනැත්තා වේදනාවේ නිස්‌සරණය ලබාගැනීමද ධර්මතාවක්‌, ඒ ධර්මතාවත් අනිත්‍ය වූ ධර්මතාවක්‌.

පිංවත් ඔබට මේ ජීවිතයේදී යහපත් අම්මා කෙනෙක්‌, තාත්තා කෙනෙක්‌, සහෝදර, සහෝදරියන් දරුවන්, ඥාතීන්, බිරිඳක්‌, සැමියෙක්‌ ලැබුණා නම් එය අතීත කුසල් සංස්‌කාරයක ඵලයක්‌. ඒ කියන්නේ ධර්මතාවක්‌. නමුත් මේ ධර්මතාව අනිත්‍යයි. එක මහත්මියක්‌ භික්‍ෂුවට ප්‍රකාශ කළේ “ස්‌වාමීන්වහන්ස, මම විවාහ වුණ අලුත මගේ ස්‌වාමි පුරුෂයා දෙවියෙක්‌ වගෙයි සිටියේ. දැන් ඔහු යක්‍ෂයෙක්‌ වගේ”ය කියල. අම්මා කෙනෙක්‌ කියනවා “ස්‌වාමීන්වහන්ස, මගේ දරුවා හොඳ කීකරුවට හිටියේ දැන් හරිම මුරණ්‌ඩුයි” කියලා. මේ අපි දකින්නේ ධර්මතාවන්ගේ වෙනස්‌ වීමයි.

කුළුඳුල් දරුවා ලැබුණු අම්මා කෙනෙක්‌ කියනවා “හාමුදුරුවනේ, දරුවා ලැබුණත් මට කිරි එරෙන්නේ නැහැ”ය කියල. එයත් ධර්මතාවක්‌. මේ කුළුඳුල් දරුවා පෙර ජීවිතයේදී සිල්වත් ස්‌වාමීන්වහන්සේ නමකට පූජාකරන ලද කිරි කෝප්පයක්‌ හොරෙන් බොන්න ඇති, එහෙම නැත්නම් සංඝයාට ලැබිය යුතු කිරි ආහාරයක්‌ වළක්‌වන්න ඇති, බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන පිංවතෙක්‌ කිරි කළයකින් බෝධීන් වහන්සේ නහවනවා දැක එය විවේචනය කරන්න ඇති, අතීත අකුසල් කර්මයක හේතුඵලයක්‌. නමුත් මේ ධර්මතාවන් අනිත්‍යයයි. පිංවත් ඔබට අංගවිකල, මන්දබුද්ධික, නිරතුරුවම රෝගීභාවයට පත්වෙන දරුවන් ලැබී ඇත්නම් එයත් ධර්මතාවක්‌. පෙර ජීවිතයක දෙමාපියනුත්, දරුවනුත් එකතුව කරන ලද අකුසලයක ඵලයක්‌. එම නිසා පිංවත් ඔබ එවැනි උපත් කෙරෙහි කලකිරීම්, ගැටීම් ඇති නොකරගෙන ධම්මානුපස්‌සනාවෙන් යුතුව එම දරුවන් දෙස බලන්න. මෙවැනි අකාරුණික උපත් වලින් මිදීමට ඇති එකම ඖෂධය එය වනු ඇත. අනිත්‍ය වන ධර්මතාවන්ට ගැටී තව තව අකුසල් සිදු නොකරගන්න.

පිංවත් ඔබට මහේශාක්‍ය ජීවිතයක්‌, උසස්‌ අධ්‍යාපනයක්‌, උසස්‌ වෘත්තියක්‌, ලැබුණා නම් එය අතීත කුසල් සංස්‌කාරයක ඵලයක්‌. එයත් ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍යයි. භවයේ දෙවියෙක්‌, මනුෂ්‍යයෙක්‌, බ්‍රහ්මයෙක්‌, පසුව සතර අපායේ සත්වයෙක්‌ ලෙස ඉපදුණේ අතීත සංස්‌කාරයන්ට අදාළව උපාදාන පච්චයා භවය කියන ධර්මතාවන්ට අනුවයි. නමුත් ඒ ධර්මතාවය අනිත්‍යයයි. සංස්‌කාර නිරෝධය නොකළ සෑම සත්වයෙක්‌ම මරණයෙන් පසුව නැවත ඉපදීම ධර්මතාවයක්‌. නමුත් ඒ ධර්මතාවත් අනිත්‍යයි. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය පරිපූර්ණ කළ පිංවතුන් උතුම් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරිහත් ඵලයන් සාක්‌ෂාත් කොට ගැනීම ධර්මතාවයක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍යයි. උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධකළ උත්තමයා පිරිනිවන්පෑම ධර්මතාවයක්‌. නමුත් ඒ ධර්මතාවය අනිත්‍යයි. අතීතයේ පිරිනිවී ගිය සාරිපුත්ත මහරහතන්වහන්සේ කියන්නේ මේ මොහොතේ අනිත්‍ය වූ ධර්මතාවයක්‌ පමණක්‌මයි.

කාම, රූප, අරූප ලෝකවල උපතත්, මරණයත්, දුකත්, සැපත් ධර්මතාවක්‌ වූ කල ධම්මානුපස්‌සනාවට අදාළ කමටහන් ලෝකයක්‌ තුළයි, පිංවත් ඔබ ජීවත්වෙන්නේ. මේ මුළු කමටහන් ලෝකයම පිංවත් ඔබ පංච උපාදාන ස්‌කන්ධය අනිත්‍යයි කියල අවබෝධ කරන එකම ධර්මතාවකින් නිෂේධ කිරීමට ධම්මානුපස්‌සනාව තුළින් බුදුරජාණන් වහන්සේ පිංවත් ඔබට මාර්ගය කියාදෙනවා. නිවීමේ මාර්ගයට පිංවත් ඔබට උපකාරක ධර්මයක්‌ වූ කායානුපස්‌සනාව, වේදනානුපස්‌සනාව, චිත්තානුපස්‌සනාව, විදර්ශනා සිතින් ධම්මානුපස්‌සනාවට යොමු කරලා නුවණින් දකින්න. එවිට පිංවත් ඔබ ධම්මානුපස්‌සනාව තුළින් පංචඋපාදානස්‌කන්ධයට නොඇලෙන නිස්‌සරණය මතුකර ගන්නවා.

පිංවත් ඔබ මේ උතුම් මොහොතේදී ධර්ම මාර්ගයේදී ප්‍රමාදී භාවයට පත්වුණොත් ධර්මාවබෝධයෙන් ඔබ බැහැරට යනවා. එයත් ධර්මතාවක්‌. උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලය ආරක්‍ෂා කරගෙන වැඩසිටින අවසාන උපසම්මපදා ස්‌වාමීන්වහන්සේ අපවත්වෙන මොහොතේ ශාසන අර්ථයන්ගේ අතුරුදන්වීම සිදු වෙනවා. එයත් ධර්මථාවයක්‌. නමුත් මේ ධර්මතාවත් අනිත්‍ය වූ ධර්මතාවක්‌මයි. ශාසන අර්ථයන් අතුරුදන් වී ගිය පසු මහාසංඝරත්නය නියෝජනය කිරීම සඳහා කාශායකණ්‌ඨකලාගේ පහළවීම ධර්මතාවයක්‌. ඒ ධර්මතාවයත් අනිත්‍යයයි. කාශායකන්ඨකලාගෙන් පසුව දුශ්ශීල මනුෂ්‍ය සමාජ තුළින් මෘග සංඥාව මතුවී මනුෂ්‍යයාගේ පරමායුෂ අවුරුදු 10 වීමද ධර්මතාවයක්‌මයි. නමුත් ඒ ධර්මතාවන් අනිත්‍යයි. මනුෂ්‍යයාගේ දුශ්ශීල භාවයෙන් මනුෂ්‍යයා තුළ මෘග සංඥාව සකස්‌වී එකිනෙකා ඇනකොටා ගෙන මහපොළව රුධිරයෙන් තෙත්වීම ධර්මතාවක්‌. ඒ ධර්මතාවත් අනිත්‍යයි. දුශ්ශීලභාවය නිසා මනුෂ්‍යයාගේ පරමායුෂ අවුරුදු 10 ට අඩුවී, නැවත සමාජය තුළ ඇතිවන සිල්වත්භාවය නිසා, මනුෂ්‍යයාගේ පරමායුෂ නැවත අවුරුදු අසූදාහක්‌ වීමද ධර්මතාවක්‌මයි.

මනුෂ්‍යයාගේ පරමායුෂ අවුරුදු අසූදහසක්‌ වන කාලයේදී කාලය, ද්වීපය, දේශය, කුලය, මව කියන පස්‌මහ බැලුම් බලා, මෛත්‍රී බෝධිසත්වයන් දඹදිව පහළවීමද ධර්මතාවක්‌මයි. නමුත් ඒ ධර්මතාවත් අනිත්‍යයි. මෛත්‍රී බුදුරජාණන්වහන්සේ පිරිනිවී යනවා. මෛත්‍රී බුදුරජාණන්වහන්සේගේ ශාසනයත් අතුරුදන් වී යනවා. එයත් ධර්මාතාවක්‌. ඒ ධර්මතාවත් අනිත්‍යයි. මෛත්‍රී බුදුරජාණන්වහන්සේගේ ශාසනය අතුරුදහන් වී ගිය පසු, කල්ප විනාශය සිදුවී මේ ලෝකධාතූව අළු දූවිලි ගොඩක්‌ වීමද ධර්මතාවක්‌මයි. වැස්‌ස නොමැති වීමෙන්, පෘථිවියේ උෂ්ණත්වය ඉහළ ගොස්‌, ඉරවල් හතක්‌ පායා, ඉරවල් හතේම දැඩි උෂ්ණත්වයෙන් මුළු මනුෂ්‍ය ප්‍රජාවම විනාශය කරා ගොස්‌, ඉහළ උෂ්ණත්වය තුළ පිච්චි පිච්චී මැරෙමින් ඉපදෙන ප්‍රේතයින්, නිරිසතුන්, කෘමීන් ලෙස සත්වයාට අවුරුදු දසදහස්‌ ගණනක්‌ මේ ලෝක ධාතුවේ සත්වයින් අත්විඳින කටුක දුක්‌ ගොඩ විඳීමට සිදු වීමද ධර්මතාවක්‌මයි.

යොදුන් 168,000ක්‌ විශාල මහාමේරුවේ ගිනිගැනීමෙන් අළුදූවිලි වන ලෝකය නැවත බිහිවීමද ධර්මතාවක්‌මයි. එයින් පැහැදිළි වෙන්නේ මෙතරම් රුදුරු, වියරු දුක්‌ සහගත කල්ප විනාශයේ ප්‍රතිඵලද අනිත්‍ය වූ ධර්මතාවක්‌ම බවයි. පිංවත් ඔබ ඉහත සටහන කියවා නිත්‍ය වූ කිසිවක්‌ නැති කෙටි ආශ්වාදයක්‌, දීර්ඝ ආදීනවයක්‌ පමණක්‌ උරුම පංච උපාදානස්‌කන්ධය නැවත ලෝකය මමය, මගේය, මගේ ආත්මය කොට නොගෙන අනිත්‍යයි කියන අර්ථයේ දැක්‌ම තුළින් ධම්මානුපස්‌සනාව ජීවිතයට එකතුකොට ගන්න.

රූපය කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවක්‌. වේදනාව, සංඥාව, සංස්‌කාර, විඤ්ඤාණය කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවන්. ඉහත ධර්මතාවන් අනිත්‍ය වශයෙන් දැක්‌කාවූ සිතත්, අනිත්‍ය වූ ධර්මතාවක්‌ පමණයි. සියල්ලම අනිත්‍ය වශයෙන් දැකලා, අවසානයේ පිංවත් ඔබ දැක්‌කා වූ සිතට බැඳී ගියොත්, එතැනදී ඔබ ‘මාරානුපස්‌සනාවට’ යොමුවුණා වෙනවා. ධම්මානුපස්‌සනාව තුළින් පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යය අවබෝධ කොටගත් උත්තමයා, නැවත කවදාවත් තමන් විකුණන්නේවත්, විකිණෙන්නේවත් නැති කෙනෙක්‌ බවට පත්වෙනවා. මොකද ඔහු අවබෝධයෙන්ම දන්නවා, අනිත්‍ය වූ පංචඋපාදානස්‌කන්ධයකට වටිනාකමක්‌ නැහැ කියලා. ඔහු වටිනාකම හිස්‌ කරපු කෙනෙක්‌ බවටයි පත්වන්නේ.

(ධම්මානුපස්‌සනාවට අදාළ සටහන මෙතැනින් නිම වේ…)