චිත්තානුපස්සනා

පිංවත් ඔබ විවේකීව සිටින විට අතීත භවගමනේදී පංචඋපාදානස්‌කන්ධය නිත්‍යභාවයෙන් ගැනීම නිසා සකස්‌කොටගත් දුක්‌ කන්දරාව නුවනින් දකින්න. කුසල් සිත් නිත්‍යභාවයෙන් ගැනීම නිසා දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය ජීවිත…. ඒවා නිසා ලැබු ආශ්වාදය…. ආශ්වාදය නිසා ලැබුණු ආදීනවය…. ඒ ආදීනවයන් නිසාම සකස්‌කරගත් කුසල් අකුසල් හේතුවෙන් කල්ප ගණන් සතර අපායට වැටී අත්විඳි දුක්‌ කන්දරාව… පූර්වකෘත්‍යයක්‌ ලෙස සිහිපත් කරමින් චිත්තානුඵස්‌සනාවට අවතීර්ණ වෙන්න. එවිට පිංවත් ඔබට දැනේවි සිත කුසලයක්‌ය, අකුසලයක්‌ය, ආශ්වාදයක්‌ය, දුකක්‌ය වගේම සිත ඔබව මරන, මරවන ධර්මතාවයක්‌ය කියලා. එවිට ඔබ සිතට බැඳී යන්නේ නැහැ.

පංචඋපාදනස්‌කන්ධය මාරයා වූ කළ කුසල්, අකුසල් සිතත් මාරයා බවටමයි පත්වන්aනේ. මොකද අකුසල් සිත, ඒ කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ, කුසල් සිත, ඒ කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ මේ දෙකම පිංවත් ඔබට භවයේ නැවත උපතකටමයි උපකාරී වෙන්නේ. මෙතැනදී ඔබ ධර්මයේ නාමයෙන් නිරතුරුවම මාරයාට රැවටෙනවා. මොකද කුසලය තුළත් මාරයාමයි පෙනී සිටින්නේ. චිත්තානුඵස්‌සනාවේදී පිංවත් ඔබට උගන්වන්නේ කුසල් සිතත්, අකුසල් සිතත් දෙකම අනිත්‍ය වශයෙන් දකින්න කියලයි.

පිංවත් ඔබ විවේකීව මොහොතක්‌ භාවනාවට වාඩිවෙනවා. දැන් ඔබ සිත දෙස හොඳින් දකිමින්, සිතිවිලිවල අනිත්‍යභාවය දකිමින් සිටිනවා. මෙතැනදි මාරයා උපක්‍රමශීලීයි. මාරයා දන්නවා මේ මොහොතෙදි ඔබ මාරයාට අභියෝගයක්‌ය කියලා. මෙවැනි තැනකදි මාරයා මතුවෙන්නේ කපටිකමින්, බියගැන්වීමෙන්. මාරයාගේ උපක්‍රම ගැන පිංවතුන් හොඳින් දැනගෙන භාවනාවට වාඩිවිය යුතුයි. අනිත්‍ය සංඥාවක්‌ ඔස්‌සේ සිත වැඩෙනකොට, මාරයා ධර්ම මනසිකාරයක්‌ සිතට යොමුකරනවා. එක්‌කෝ බුදුරජාණන්වහනසේ මතක්‌කොට දෙනවා. එහෙමත් නැත්නම් මෛත්‍රී චිත්තයක්‌, කරපු පිංකමක්‌, අනාගතයේ කරන පිංකමක්‌, යහපත් අරමුණක්‌ ඔබ තුළින් මතුකොට දෙනවා. මෙතැනදි ඔබ මාරයාට රැවටී, කුසල් ආශ්වාදයක්‌ සහිතව භාවනාවෙන් නැඟිටිනවා.

දිනක්‌ පිංවත් මහත්මයෙක්‌ භාවනා කරමින් සිටින අතරතුර එකපාරටම සාදුකාර දුන්නා. මොකද කියලා ඇහුවහම බුදුරජාණන්වහන්සේගේ රූපය දැක්‌කා කියලා කිව්වා. චිත්තානුපස්‌සනාව වඩන විදර්ශකයා දක්‍ෂවෙන්න ඕනේ, බුදුරජාණන්වහන්සේගේ රූපයත් අනිත්‍ය වශයෙන් දකින්න. එසේ නොවුණහොත් රූපය එතැනදී මාරයා බවට පත්වෙනවා. චිත්තානුපස්‌සනාවේදී පිංවත් ඔබ කුසල් සංස්‌කාරයක ආශ්වාදයට කොටු නොවී, වහාම එම ආශ්වාදජනක සතුටු සිතත්, අනිත්‍ය වශයෙන් දකින්න දක්‍ෂවෙන්න. ඵස්‌සය නිත්‍යභාවයෙන් ගැනීම නිසාම සකස්‌වෙන සෑම සිතක්‌ම අනිත්‍යභාවයෙන් දැකීම නිසා පිංවත් ඔබ භවයට ගලාගෙන යන සංස්‌කාරයන් වළක්‌වාගන්නවා වගේම සිතේ අනිත්‍යභාවය පිළිබඳව විදර්ශනා නුවණ මෝදුකොට ගන්නවා.

පිංවත් ඔබ විවේකීව සිටින විට අතීත භවගමනේදී පංචඋපාදානස්‌කන්ධය නිත්‍යභාවයෙන් ගැනීම නිසා සකස්‌කොටගත් දුක්‌ කන්දරාව නුවනින් දකින්න. කුසල් සිත් නිත්‍යභාවයෙන් ගැනීම නිසා දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය ජීවිත…. ඒවා නිසා ලැබු ආශ්වාදය…. ආශ්වාදය නිසා ලැබුණු ආදීනවය…. ඒ ආදීනවයන් නිසාම සකස්‌කරගත් කුසල් අකුසල් හේතුවෙන් කල්ප ගණන් සතර අපායට වැටී අත්විඳි දුක්‌ කන්දරාව… පූර්වකෘත්‍යයක්‌ ලෙස සිහිපත් කරමින් චිත්තානුඵස්‌සනාවට අවතීර්ණ වෙන්න. එවිට පිංවත් ඔබට දැනේවි සිත කුසලයක්‌ය, අකුසලයක්‌ය, ආශ්වාදයක්‌ය, දුකක්‌ය වගේම සිත ඔබව මරන, මරවන ධර්මතාවයක්‌ය කියලා. එවිට ඔබ සිතට බැඳී යන්නේ නැහැ. කල්ප සියක්‌කෝටි ගණනක්‌ පටිච්චසමුප්පන්නව, තෘෂ්ණාවෙන් තෙත් කරපු ඵස්‌සය, ආශ්වාදයේ වහලෙක්‌ බවටයි ඔබව පත්කරලා තිබෙන්නේ. කාම සිතත්, රාග සිතත්, ද්වේෂ සිතත් සකස්‌වෙන මොහොතේම, එම සිත අනිත්‍යභාවයෙන් දකින්න දක්‍ෂ නැතිනම්, කාම රාග ද්වේෂ සිත් නිත්‍යභාවයෙන් ගැනීම නිසා අතීතයේ අත්විඳි දුක්‌ කන්දරාව සිහිපත්කොට ගන්න. අතීතයේ මහේශාඛ්‍ය රජවරු වෙලා, අන්තඃපුර බිසෝවරුන් සිය ගණනක්‌ පරිහරණය කළ පිරිසක්‌ අපි. සශ්‍රික දෙවියන් වශයෙන් ඉපදිලා දිව්‍යාංගනාවන් දහස්‌ ගණනක්‌ පිරිවරාගෙන සිටිය පිරිසක්‌ අපි. තිරිසන් සතුන් ලෙස ඉපදිලා, රැලේ නායකයා හැටියට ඒ තිරිසන් සත්ව කුලයේ බිරින්දෑවරුන් සිය ගණනක්‌ පරිහරණය කළ පිරිසක්‌ අපි. පිං සිතක අනිත්‍යභාය නොදැක්‌ක නිසාම ඉහත කාම සම්පත් අපි හිමිකොට ගත්තත්, ඒ කාමයන් අත්විඳීම නිසාම සකස්‌කොටගත්තා වූ ලෝභ ද්වේෂ මෝහයන් නිසා මොන දුකක්‌ විඳින්න ඇතිද?

පිංවත් ඔබ භාවනා කිරීමේදී, කුසල් අකුසල් සෑම සිතකම සැඟවී ඇති අනාගතයේ දුක්‌ සකස්‌කොට දෙන විෂකුරුභාවය නුවණින් දකිමින් සෑම සිතක්‌ම අනිත්‍ය වශයෙන් දකින්න.

මේ දවස්‌ දෙක තුනේ කුටිය අවට සැරිසරන පනහක්‌ පමණ වන රිළා රංචුවේ, ලොකු සණ්‌ඩුවක්‌ තිබෙනවා. රැලේ නායක රිළවාත් දෙවැනි රිළවාත් අතරයි මේ ද්වන්ධ සටන පවතින්නේ. දෙදෙනාම කටින් ලේ පෙරාගෙන, මුහුණු අත්පාවල මස ඉරාගෙන ලේ ගලමින් සටන් කරනවා. මේ සටනට හේතුව කාමයයි රාගයයි. අතීතයේ මොකක්‌ හෝ කුසල් සංස්‌කාරයක්‌ නිසාමයි රැලේ නායකත්වය ඒ රිලවාට ලැබුණේ. නමුත් ඒ නායකත්වය රැකගන්න යන ගමනේදී, ද්වේෂයට අදාළව බලවත් අකුසල්මයි සිද්ධකරගන්නේ. අකුසල් සිත අපිට දුක සකස්‌කොට දෙනවා. කුසල් සිත නිරතුරුවම අපිව රවට්‌ටනවා. කුසලයත් අකුසලයත් මාරයා ඔබව මුළාකරන ඇස්‌බැන්දුමක්‌මයි. මේ ඇස්‌බැන්දුමෙන් ඔබව නිදහස්‌ කරන්නේ චිත්තානුපස්‌සනාවයි.

භික්‍ෂුවක්‌ උතුම් සමාධියෙන් පසුවෙනකොට උන්වහන්සේ දකිනවා, කාම අපරාධයක්‌ සිද්ධ කරපු අසත්පුරුෂ මනුෂ්‍යයෙක්‌, මරණාසන්න මොහොතේදී, අකුසලය හේතුවෙන්ම, ඒ මනුෂ්‍යයා තුළ සකස්‌ වෙන අවසාන චුති සිත.

පිංවත් ඔබ සිතන්න මනුෂ්‍යයෙක්‌ ශරීරයේ පෙට්‍රල් තවරාගෙන ගිනිගොඩක්‌ අසලින් ගමන් කරනවා. එතකොට මොකද වෙන්නේ. එක්‌ ක්‍ෂණයකින් මේ මනුෂ්‍යයාගේ මුළු ශරීරයම ගිනිගන්නවා. ඉහත කාම අපරාධයන් සිදුකළ, මරණාසන්න මොහොතේ පසුවන ඔහුගේ අවසන් සිතිවිලි කිහිපයට අරමුණු වෙන්නේ ඔහුගේ මුළු ශරීරයම හිසේ සිට දෙපතුළ දක්‌වා ගිනිගන්නවා. හරියට ශරීරයේ පෙට්‍රල් තවරාගත් මනුෂ්‍යයාව ගිsනිගන්නවා වාගේ. ඔහු මරණාසන්නව රෝහලේ ලෙඩ ඇඳේ ළතෝනි දෙමින් කෑගහනවා ‘මාව පිච්චෙනවෝ…. මාව ගිනිගන්නවෝ…. මාව බේරගන්න කවුරුත් නැතිදෝ….’ කියලා. ඒ මරණාසන්නව ලෙඩ ඇඳේ හිඳිමින් පිච්චෙනවා යෑයි කෑගසන මනුෂ්‍යයා දැකලා ඔබට සිතාගන්න බැහැ මොකක්‌ද මේ වෙන්නේ කියලා. මොකද මේ මරණාසන්න මනුෂ්‍යයා ගිනිගන්නවා බාහිර කෙනෙකුට පෙනෙන්නේ නැහැ. ඔබ එම කෑගසන මරණාසන්න මනුෂ්‍යයාට වතුර දෙනවා. මුහුණට වතුර ඉසිනවා. ඔබ සිතනවා ඒ මරණාසන්න මනුෂ්‍යයාට ඔබ උපකාරයක්‌, උපස්‌ථානයක්‌ කළාය කියලා. මාව පිච්චෙනවා යෑයි කෑගසමින් එම මනුෂ්‍යයා මානසිකව සිය ශරීරය ගිනිගනිද්දී, ගිනිනිරයට වැටෙනවා.

කළාවූ බලවත් අකුසල් හේතුවෙන් සකස්‌වුණ අවසන් පංචඋපාදානස්‌කන්ධය ඊළඟ ප්‍රතිසන්ධි විඤaCදාණයේ රුවයි, මේ මනුෂ්‍යයා තුළින් මරණාසන්න මොහොතේ මතුකොට පෙන්වූයේ. කාම සිතත්, අසත්පුරුෂ සිතත් අනිත්‍ය වශයෙන් දැකීමට ඇති අදක්‍ෂභාවය නිසාම දීර්ඝකාලීන දුකකට වැටෙනවා.

වර්තමාන සමාජය තුළ මනුෂ්‍යයා මොනතරම් බලය, මිල මුදල්, පැවැත්ම උදෙසා අකුසල් සිදුකර ගන්නවාද? භාවනාවේ නාමයෙන් සමාජය මොනතරම් සිතිවිලිවලට බැඳී යනවාද? ආශ්වාදයට බැඳී යනවාද?

කෙටි දැක්‌මක්‌ තුළින් ඉක්‌මන් අවබෝධයක්‌ ලබන්න පෙළගැසෙන අසාර්ථක ලෝකයක්‌ තුළ දිගුදැක්‌මක්‌ තුළින් පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍යාවබෝධය මතුකොටගැනීමට අප දක්‍ෂ විය යුතුයි.

භික්‍ෂුවගේ ගිහි ජීවිතය තුළ සිතේ අනිත්‍යභාවය දැකීම අපහසු කාරණයක්‌ වුණා. මොකද මම උපතින්ම කාමයන්ට ප්‍රිය චරිතයක්‌. නමුත් සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම තුළින් වැඩුණු ඉන්ද්‍රිය ධර්මයන් නිසා මාව මාර ධර්මයන් ඉදිරියේ උපක්‍රමශීලී භාවයට පත්කළා. එය මා සංසාරයේ පුහුණු කළාවූ ධර්මතාවක්‌ වෙන්න පුළුවන්. මම අතීතයේ සද්ධර්මය ශ්‍රවණය කරමින් සිටියදී, ගෞරවනීය පානදුරේ අරියධම්ම ස්‌වාමීන්වහන්සේ තම වැඩසටහන් වලදී මෙහෙම ධර්මයක්‌ දේශනා කරනවා ඇසුවා. ‘ඔබ ළඟට වැඩම කරලා, ඔබේ සැඟවුණු ඉන්ද්‍රිය ධර්මයන් මතුකොට දෙන්න, වර්තමානයේ බුදුරජාණන්වහන්සේ නමක්‌ ජීවමානව නැහැ. ඒ නිසා ඔබමයි, ඔබ තුළ සැඟවුණු
ඉන්ද්‍රිය ධර්මයන් මතුකොටගත යුත්තේ’ කියලා. මෙය මට හොඳ ගුරු උපදේශයක්‌ වුණා, මා තුළින්ම ධර්මය මතු කොට ගන්න.

ගිහි ජීවිතයේදී කාම සිතක්‌, රාග සිතක්‌ සකස්‌වෙලා, ඒ සිත් දිගින් දිගටම විතර්කයන් සකස්‌කොට දෙනකොට, විදර්ශනා සිතින්ම අත්දැකීම් ලබමින් කාමයේ, රාගයේ නිස්‌සාර බව නුවණින් දැක්‌කා. රෝහල් ආශ්‍රිතව උපක්‍රමශීලීව ඇසුරුකරමින්, රූපය කෙරෙහි, තෘෂ්ණාව හීනකොට ගත්තා. මාගේ සතුට, මා ලබන සෑම අවස්‌ථාවකදීම අනුන්ගේ සතුට උදෙසා කැපකළා. මේ කාරණා තුළින් භික්‍ෂුවගේ කුසල් ශක්‌තිය මතුකොට දුන්නා. කුසල් ශක්‌තිය වශයෙන් භික්‍ෂුව හැඳින්වූයේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ශක්‌තියයි. මේ උපක්‍රමය නිසා දෙවැනුව, මා තුළින් සිතේ අනිත්‍යභාවය දැකීමට ශක්‌තිය මට ලැබුණා. නමුත් මම මුල් ක්‍රමය උපයෝගී කරගත්තේ නැතිනම්, මට දෙවැනි ක්‍රමය මතුකොටගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. මාර ධර්මයන්, උපක්‍රමශීලීව උපයෝගී කොටගනිමින්, මාර ධර්මයන්ටම පහරදීමේ ක්‍රමවේදයක්‌ මට ගිහි ජීවිතයේදීම තිබුණා. තෙරුවන් කෙරෙහි තිබූ විශ්වාසය නිසාම, මා අනතුර තුළට කිඳාබැහැලා අනතුරින් මිදීමේ මාවත මතුකොටගත්තා. මා කුසලයට හෝ අකුසලයට බියවුණේ නැහැ. අකුසලයට බියවෙලා කුසලයට කැමැති වුණා නම්, මට මේ කාරණය කරගන්න ලැබෙන්නේ නැහැ. මොකද මාරයා, ඔබ ලණුවේ එක්‌ කොනක්‌ අල්ලාගෙන සිටිනවිට අනිත් කොන අතහරිනවා. මම මාරයා රැවැට්‌ටුවේ, අකුසලය නමැති කොන අල්ලාගැනීමෙන්. මා අකුසලයේ කොන අල්ලාගනිද්දී, මාරයා කුසලයේ කොන අතහැරියා. මා අකුසලයේ කොන අල්ලාගත් නිසා මාරයා සිතුවා මා විනාශය කරායි යන්නේ කියලා. මම දක්‍ෂ වුණා මාර ධර්මයන්ගේ ඇස්‌ වහලා, අකුසලය විදර්ශනා නුවණින් දැකලා, මුලින්ම කුසලය ශක්‌තිමත්ව මතුකොටගෙන, දෙවැනුව කුසලයත් අකුසලයත් දෙකම විදර්ශනා නුවණින් දකින්න.

එක්‌ ගෞරවනීය ස්‌වාමීන්වහන්සේනමක්‌ භික්‍ෂුවගෙන් විමසුවා zඔබවහන්සේ මුලින්ම දැක්‌කේ රුවන්වැලි මහාසෑය අනිත්‍යයි කියලද? එහෙම නැතිනම් රුවන්වැලි මහාසෑය දැක්‌ක හිත අනිත්‍යයි කියලද? කියලා.

භික්‍ෂුව මුලිsන්ම දැක්‌කේ රුවන්වැලි මහා සෑය අනිත්‍යයි කියලා. පාරිසරික හේතූන්, දේශගුණික හේතූන්, මිථ්‍යාදෘෂ්ටික සතුරු කරදර හේතුවෙන් විනාශයට යන, සතරමහා ධාතුවේ අනිත්‍යභාවයට යටත් ස්‌වර්ණමාලි සෑ සමිඳුන්වයි මම මුලින්ම මනසින් දැක්‌කේ. නමුත් වර්තමානයේ භික්‍ෂුව ඉහත ආකාරයට දකින්නේ නැහැ. ස්‌වර්ණමාලී මහාසෑය භික්‍ෂුවට ඵස්‌සය වන මොහොතේම, ඵස්‌සය අනිත්‍යයි කියලා භික්‍ෂුව දකිනවා. නමුත් ඒ මුල් දැක්‌ම හේතුවුණා මේ දෙවැනි දැක්‌ම මොදුකොටගන්න.

අද පිණ්‌ඩපාත මඩුවේදී ගමේ මහත්මයෙක්‌ භික්‍ෂුවගෙන් විමසුවා, හාල්මැස්‌සො ව්‍යංජනය බෙදන්නද කියලා. භික්‍ෂුව ඒ මහත්මයාට කිව්වේ zමහත්මයා කැමති නම් බෙදන්න, අකමැති නම් නොබෙදා ඉන්න. භික්‍ෂුවට කැමැත්තක්‌, අකමැත්තක්‌ නැහැ ය කියලා. ප්‍රශ්නයට උත්තරය එතැනින් නතර කළා. මොකද අපි දක්‍ෂ වෙන්න ඕනා, අපිත් පරෙස්‌සම් වෙලා, අනුන්වත් පරෙස්‌සම් කරගන්න. මොකද චිත්තානුපස්‌සනාවෙන් ආවරණය නොවූ එක්‌ සිතකට පුළුවන්, නිරයක්‌ නිර්මාණය කොට දෙන්න. ඒ වගේම දිව්‍ය තලයක්‌ නිර්මාණය කොටදෙන්න.

පිංවත් ඔබ කිසිම දෙයක්‌ කෙරෙහි සීමාව ඉක්‌මවා ගිය කැමැත්තක්‌ ඇති කරගන්න එපා. ඔබ යමකට කැමැති වුණොත්, කෙනෙකුට පුළුවන් ඔබ අකමැති දෙයක්‌ ඔබට දීලා ඔබව දුකට පත්කරන්න. ඔබට අකුසල් සිත් සකස්‌කොට දෙන්න. මෙය සටහන් කරන භික්‍ෂුව කැමැත්ත, අකමැත්ත දෙකම හිස්‌ කරලයි සිටින්නේ. ඒ නිසා කාටවත්ම බෑ, භික්‍ෂුව අකමැතිය කියලා හිතන දෙයක්‌ දීලා, භික්‍ෂුව කම්පා කරන්න. කැමැත්ත වේවා, අකමැත්ත වේවා, එය ඵස්‌සය නිත්‍යභාවයෙන් ගැනීම නිසා සකස්‌වෙන, අනිත්‍යවූ සිතක්‌මයි. නිරතුරුවම, පිංවත් ඔබ තුළ සකස්‌වෙන, කැමැත්තෙත් අකමැත්තෙත් අනිත්‍යභාවය දැකීම චිත්තානුපස්‌සනාවට ලොකු ශක්‌තියක්‌ වෙනවා.

අනුන් වචනයක්‌ ප්‍රකාශ කරනකොට අපි දැනගන්න ඕනේ, අපි මේ කථා කරන්නේ අනිත්‍යභාවයට පත්වෙන සිතක්‌ය කියලා. දුක ඇතිකොටදීමට හේතුවන පංචඋපාදානස්‌කන්ධයක්‌ කියලා. ඒ නිසා අපි දක්‍ෂ වෙන්න ඕනේ අනුන්ගේ වචනයක්‌, සිතිවිල්ලක්‌, ක්‍රියාවක්‌ තුළිනුත් චිත්තානුපස්‌සනාවට අදාළ ධර්මයක්‌ අපි තුළින් මෝදුකොටගැනීමට.

ඔබ ඉදිරියේ සිටින පිංවතෙක්‌ ප්‍රකාශ කරන වැරදි වචනයකින්, අකුසල් ක්‍රියාවකින් ඔහු අකුසලයක්‌ සිදුකොටගනිද්දී, පිංවත් ඔබට පුළුවන් ඔහුගේ වැරදි වචනය, ක්‍රියාව තුළිනුත් චිත්තානුපස්‌සනාවට අදාළ ධර්මයන් වඩවා ගන්න.

භික්‍ෂුව මීට පෙර සටහන් කොට තිබෙනවා, භික්‍ෂුව ධර්මය ජීවිතය තුළින් මතුකොට ගත්තේ ලෝකය මුලා කරලයි කියලා. භික්‍ෂුව ලෝකය මුලා කළාය කියන කාරණයේදී පිංවත් ඔබ වැරදි අර්ථයක්‌ ගන්න එපා. සම්මුති ලෝකය තුළ පිංවත් ඔබ, මමය කියලා දෘෂ්ටියක්‌, ආත්මයක්‌ ඇතිකොට ගත්තත්, භික්‍ෂුව මම ය කියන සාධකය දැක්‌කේ අනිත්‍යභාවයට පත්වෙන පංචඋපාදානස්‌කන්ධයක්‌ හැටියටමය.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, පංචඋපාදානස්‌කන්ධය කියන්නේ මාරයාය කියලා. මාරයා පරාජය කිරීමට නම් මුලින්ම ඔහු හඳුනාගැනීමටත්, ඔහුගේ දුර්වල තැන් හඳුනාගැනීමටත් අවශ්‍යමයි. භික්‍ෂුව ලෝකය මුලා කරලයි ධර්මය මතුකොටගත්තේ කියන කාරණයේදී පිංවත් zමම-ඔබZ නාමයෙන් පෙනී සිටින පංචඋපාදානස්‌කන්ධයයි මුළා කළේ කියන කාරණය මතක්‌කොට දෙන්න ඕනා. නමුත් පිංවත් ඔබ ධර්මයේ නාමයෙන් තාමත් පංචඋපාදානස්‌කන්ධය zමමZය zමගේZය කොටගෙන සුරතල් කරමින් සිටිනවා.

ගිහි පිංවත් ඔබ නිරතුරුවම, සමාජයෙන් පලා නොගොස්‌, සමාජය සමග විවෘතව ජීවත්වෙන්න. සමාජය තුළින් ඔබට ලැබෙන හොඳ, නරක ප්‍රතිචාරයන් ඉදිරියේ නොසැලී, නොගැටී ජීවත්වෙන්න ඔබ දක්‍ෂ නම් චිත්තානුපස්‌සනාව වැඩීමේදී ඔබට පහසුවක්‌ වනවා. ගැටෙන තැන් සොයාගෙන ගොස්‌ නොගැටී සිටීමද, ඇලෙන තැන් සොයාගෙනගොස්‌ නොඇලී සිටීමටද චිත්තානුපස්‌සනාව ශක්‌තියක්‌ වෙනවා. ජීවිතය ඉදිරියට පැමිණෙන බලාපොරොත්තු කඩවීමකදීම, ප්‍රශ්නයකදීම ලෝකය කෙරෙහි අවබෝධයෙන් යුත් කලකිරීම ඇතිකරගන්න. භික්‍ෂුවගේ ගිහි ජීවිතයේ කලකිරීම, බලාපොරොත්තු කඩවීම් වැඩිවෙනකොට, ලෝකය කෙරෙහිමයි කලකිරීම ඇතිකරගත්තේ. භික්‍ෂුව ලෝකය නිවැරදි කරන්න ගියේ නැහැ. මම දැනගත්තා ලෝකය නිවැරදි කරන්න බැහැ කියලා. නමුත් පංචඋපාදානස්‌කන්ධය කියන වචනයේ අර්ථය මම එදා දැනගෙන සිටියේ නැහැ. වචනයේ අර්ථය දැනගෙන නොසිටියාට, මා තුළ වැඩී තිබෙන්නේ පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවයයි කියන කාරණය භික්‍ෂුව පසුව දැනගත්තා.

වර්තමාන සමාජයේ සමහරක්‌ පිංවතුන්ලා අනුන්ගේ, නැතිනම් ලෝකයේ දුර්වලතාවයන් දැකලා ඒවාට ගැටිල තමාගේ ඉන්ද්‍රීය ධර්මයන් දුර්වල කරගන්නවා. ඔබ සෑම මොහොතකම ප්‍රාර්ථනා කරන්න ඕනේ අනුනගේ දුර්වලතාවයන්ම මට දකින්ට ලැබේවා. අනුනගේ විවේචනයන්ම මට ලැබේවා කියලා. කුමක්‌ නිසාද? ලෝකය අවබෝධ කරගැනීම උදෙසා, ඒවාට ඔරොත්තු දෙන ස්‌වභාවයට පත්වෙලා චිත්තානුපස්‌සනාව ශක්‌තිමත් කරගැනීම උදෙසා.

අංගුලිමාල තරුණයා මනුෂ්‍ය ඝාතන 999ක්‌ සිදුකරල පණ අදිමින්, පණ ගැහි ගැහී සිටින මනුෂ්‍යයන්ගේ ඇඟිල්ල බැගින් කපාගෙන එකම එක අගිල්ලක අඩුභාවය නිසා ආනන්තරීය පාපකර්මය සිදුකරගැනීමට ආසන්න මොහොතේ බුදුරජාණන් වහන්සේ අංගුලිමාලට ලබාදෙන එකම කමටහනින් අංගුලිමාල ධර්මාවබෝධය ලබනවා. බුදුරජාණන් වහන්සේ අංගුලිමාල තරුණයාට දේශනා කරන්නේ අංගුලිමාල මම නැවතුනා. ඔබ නවතින්නකියලයි. මෙවන් දරුණු මිනීමරුවකුට බුදුරජාණන් වහන්සේ ලබාදුන් කමටහන එපමණයි. අතීත කුසල් සංස්‌කාරයන්ගේ ශක්‌තියෙන් අංගුලිමාල හිතනවා

බුදුරජාණන් වහන්සේ නැවතුණාය කියලා කියන්නේ, නැවත භවය උපද්දවන සංස්‌කාර නිරෝධය කරාය කියල කියන කාරණයයි. බුදුරජාණන් වහන්සේ ලෝකය තුළ නැවතිලා සිටින්නේ අංගුලිමාල නම ලැබූ මම තවමත් ලෝකයේ දිවීමට අදාළ සංස්‌කාර රැස්‌කරමිනුයි සිටින්නේ. ඒ නිසා මමත් මෙතැන් පටන් නවතිනවා කියල සිත චිත්තානු පස්‌සනාවට යොමුකළා. අතීත භවයන්හි ත්‍රිලක්‍ෂණය පුහුණු කළ අත්දැකීම නිසාම, කුසල් සිතෙත්, අකුසල් සිතෙත් අනිත්‍යභාවය දකිමින් සිදු කළා වූ අතීත ප්‍රාණ ඝාතන නැතිනම් මිනිස්‌ ඝාතක අකුසල් සිත්ද, අනිත්‍ය වශයෙන්, විදර්ශනා නුවණින් දකිමින් අංගුලිමාල මහරහතන් වහන්සේ නමක්‌ බවට පත්වෙනවා.

මේ සටහන් තබන භික්‍ෂුවට විශ්වාසයි, පිංවත් ඔබ කිසිවිටෙකත් මනුෂ්‍ය ඝාතන 999ක්‌ තබා, බොහෝ දුරට එකදු මනුෂ්‍ය ඝාතනයක්‌වත් නොකළ පිංවතෙක්‌ය කියලා. නමුත් පිංවත් ඔබට මෙතෙක්‌ ධර්මයේ සැබෑ අවබෝධාත්මක අර්ථය ජීවිතයට එකතුකොට ගැනීමට ප්‍රමාද වන්නේ, ධර්මයේ වරදින් නොව, ධර්මයේ අර්ථයන් ජීවිතයට එකතුකොට ගැනීමේ ඇති ප්‍රමාදය නමැති වරද නිසාය කියලා.

භික්‍ෂුව තම ගිහි ජීවිතයේ වඩාත් කැමති මහරහතන් වහන්සේ වූයේ අංගුලිමාල මහරහතන් වහන්සේමයි. එදා මමත් නවතින්න උත්සහ කළා. නමුත් නවතින්න බැරිවුණා. එම නිසාම මම එදා හතිවැටෙන තුරු දිව්වා. එසේ දිවීමෙන්ම මම දැනගත්තා, ඒ ධාවනයෙන් අයිතිකොටගත් දෙයත් වෙනස්‌වෙනවා කියලා. අවසානයේ දිවීමත්, නැවතීමත් කියන සිත් දෙකම අනිත්‍ය වශයෙන් දකිමින්, දිවීමත්, නැවතීමත් හිස්‌කොට දැම්මා.

චිත්තානුපස්‌නාවට අදාළව ඉකුත් සටහන් පෙළ පුරාවටම භික්‍ෂුව කියන්න උත්සහ කළේ, පිංවත් ඔබ පහසු ඉරියව්වකින්, විවේකීව සිටිමින්, ඔබ තුළ සකස්‌වෙන සිතිවිලි දෙස බලාසිටින්න. කුසල් වේවා, අකුසල් වේවා, පංචනීවරණ වේවා, සප්තබොඡ්ජංග වේවා, සෑම සිතිවිල්ලකම අනිත්‍යභාවය දකින්න. ප්‍රශ්නාර්ථයක්‌ ඇතිවුණොත්, ඒ සිතත් අනිත්‍ය වශයෙන් දකින්න. සමාජයෙන්, ජීවිතයෙන් පලා නොගොස්‌ , චිත්තානුපස්‌සනාවෙන් යුතුව ලෝකය දෙස නොගැටී, නොඇලී බලන්න. එවිට ඔබ දකින්නේ හිස්‌ පංචඋපාදානස්‌කන්ධයක්‌ පමණමය. ඒ හිස්‌ පංචඋපාදානස්‌කන්ධය තෘෂ්ණාවෙන් තෙත් කරමින්, ඉදිරිකරගන්නා පටිච්ඡසමුප්පන්න ලෝකයක්‌ පමණක්‌මය. මේ සටහන කියවා ඔබට දැනෙන යම් නිරාමිස ආශ්වාදයක්‌ ඇතිනම්, එම ආශ්වාදජනක සිතත් අනිත්‍ය වශයෙන්ම දකින්න. එවිට සටහනේ අර්ථයත්, චිත්තානුපස්‌සනාවත් ඔබ තුළින්ම වැඩෙනවා.

පිංවත් ඔබ ඇසින් දකින, සෑම මනුෂ්‍ය තිරිසන් රූපයක්‌ම පංචඋපාදානස්‌කන්ධයක්‌ය කියලා දකින්න. සලායතනයනගේ ඉපදීම නිසා, පටිච්චසමුප්පන්නව සකස්‌වෙන අනිත්‍යවූ ධර්මතාවයන්ය කියලා දකින්න. පිංවත් ඔබ පෙර ජීවිතයේ මරණාසන්න මොහොතේ සකස්‌වූ අවසාන චුති සිත, අනිත්‍ය වශයෙන් දැකීමට අපොහොසත්වීම නිසා, පටිච්චසමුප්පන්නව ඔබ මේ ජීවිතය සකස්‌කොට ගත්තා. එක සිතක අනිත්‍යභාවය අවබෝධකොට නොගැනීම නිසා, සකස්‌වෙන භවගමන නුවණින් දකිමින්, චිත්තානුපස්‌සනාවෙන් ඔබේ සිතිවිලි ආවරණය කොටගන්න.

සමාජයෙන් නිතර ඇසෙන මැසිවිල්ලක්‌ තමයි ස්‌වාමිපුරුෂයා, එසේත් නැතිනම් සිය බිරිඳ කරන වැඩ නිසා තමන්ගේ සිත නරක්‌ වුණාය කියන කාරණය. සමහරු දරුවන් නිසා සිය සිත නරක්‌වුණා කියනවා. බලන්න සිත කියන කාරණය සමාජය විසින් කොතරම් නම් නිත්‍යභාවයෙන් යුක්‌තිව ගන්නවාද කියලා. චිත්තානුපස්‌සනාවට අදාළව සිතන්න අදක්‍ෂ නිසාම, ස්‌ථිරභාවයේ නොපවතින සිතක්‌, නිත්‍යභාවයෙන් අරගෙන, අකුසලයට අදාළව නරක්‌වීමේ සිතුවිලි ඇතිකරගන්නවා. අනුන්ගේ ගිනිගන්නා පංචඋපාදානස්‌කන්ධයන් නිසා තමනුත් ගිනි අවුළුවාගන්නවා. සමාජය තුළ, මනුෂ්‍ය ජීවිත තුළ මේ ඇවිලෙන ගිනි, යම් ප්‍රමාණයකට හෝ නිවාදැමීමට නම්, චිත්තානුපස්‌සනාවට යටත්ව ඔබ ඔබේ සිතිවිලි දෙස බැලිය යුතු වෙනවා.

(චිත්තානුපස්‌සනාවට අදාළ ලිපි මාලාව මෙතැනින් නිමවේ.)

Advertisements