වේදනානුපස්සනා

සතර සතිපට්‌ඨාන ධර්මයන්ට අදාළව මීළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, වේදනානුපස්‌සනාවට අදාළව වේදනාවේ අනිත්‍යභාවය දකිමින් ජීවත්වෙන්නය කියලා. වේදනාව ගැන කතාකරන විට ඵස්‌සය ගැන කතාකරන්නම වෙනවා. ඵස්‌සය ගැන කථාකරද්දී අනිවාර්යයෙන්ම ආධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඤ්ඤාණයත් ගැන කතාකරන්නට වෙනවා. මොකද වේදනාව යනු ඉහත ධර්මතාවයන්ගේ ඵලයක්‌ හැටියට සකස්‌වෙන ධර්මතාවයක්‌ නිසා.

ඵස්‌සය නිත්‍යභාවයෙන් ගැනීම නිසා සකස්‌වෙන ඵලයයි වේදනාව. ‘ඵස්‌ස නිරෝධා වේදනා නිරෝධෝ’ කියලා බුදුරජාණන් වහනසේ දේශනා කරනවා. රූපයේ අනිත්‍යභාවය නොදැනීම හේතුවෙන් ඵස්‌සය තෘෂ්නාවෙන් තෙත්වුණු තැනදී, ඇලීම් ගැටීම්, උපේක්‍ෂා වශයෙන් වේදනාව සකස්‌වෙනවා. සැප, දුක්‌, උපේක්‍ෂා වේදනාවන් කියලා මේවා හඳුන්වන්න පුළුවන්. ඇලීම් සහ ගැටීම් කියන විඳීම් වලදී පිංවතුන්ලාට බරපතළ වූ කුසල් අකුසල් සංස්‌කාරයන් සකස්‌කොට දෙන්න පුළුවන්. උපේක්‍ෂා සහගත විඳීම, පිංවතුන්ලාට සාමාන්‍ය සංස්‌කාරයන් සකස්‌කොට දෙනවා. ‘යමෙක්‌ විඳින්නේ යමක්‌ද, එයයි හඳුනාගන්නේ. යමෙක්‌ හඳුනාගන්නේ යමක්‌ද එයයි සිතන්නේ. යමෙක්‌ සිතන්නේ යමක්‌ද එයටයි බැඳී යන්නේ’ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

බුදුරජාණන් වහන්සේ හය ආකාරයක විඳීමක්‌ ගැන දේශනා කරනවා. ඇසේ ස්‌පර්ශයේ හටගන්නා වූ විඳීම, කනේ, නාසයේ, දිවේ, ශරීරයේ, මනසේ ස්‌පර්ශයෙන් හටගන්නා වූ විඳීම කියලා. පිංවත් ඔබ වේදනාවේ හටගැනීම ඵස්‌සය නිසා සිදුවන බවත්, ඵස්‌සය නිරෝධයෙන් වේදනාව නිරෝධය වන බවත්, වේදනාව නිරෝධය කිරීමේ මාර්ගය, ආර්යඅෂ්ඨාංගික මාර්ගය බවත්, පිංවතුන්ලා අවබෝධයෙන් දකිනවා නම්, පිංවත් ඔබ වේදනාවට බැඳීයන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සංසාරයක්‌ පුරාවට වේදනාවට බැඳී යැම නිසාම, මගේ මව, පියා, ඥාතියා, දරුවා, දේපළ වගේම රෝගාබාධ, විපත් අනතුරු හේතුවෙන් මනාප දෙය අහිමිවීම නිසා, අමනාප දේවල් සමඟ එකතුවීම නිසාත්, නෙතින් ගැලූ කඳුළු සප්තමහා සාගරයේ ජලයට වැඩියි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. වේදනාවේ බැඳී යැම නිසාම, වේදනාව මගේ කොටගත් නිසාම, සකස්‌කරගත් සංස්‌කාර හේතුවෙන් මේ මහපොළොව නැමැති සොහොන් බිම ඔබේ මළකඳන්වලින් පුරවා තිබෙනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

පිංවත් ඔබ යමක්‌ දැක්‌ක තැනදී, යමක්‌ ඇසුන තැනදී, යමක්‌ දැනුන තැනදී දැක්‌කා, ඇසුනා, දැනුනා කියන තැන අවබෝධයෙන් යුක්‌තව නවතින්නේ නැතිව, දැක්‌ක දෙය, ඇසුණු දෙය, දැනුණු දෙය තෘෂ්ණාවෙන් තෙත් කිරීම නිසා, මොනතරම් විඳීම් ඇතිකර ගන්නවාද. පිංවත් ඔබ දෑස්‌ පියාගෙන, මනසින් ඔබේ පෙර ජීවිතයට යන්න. ඔබ පෙර ජීවිතයේ මනුෂ්‍යයෙක්‌ය කියලා හිතන්නකෝ. ඔබ එම මනුෂ්‍ය ජීවිතයෙන් වයෝවෘධභාවයට පත්වෙලා මැරෙන මොහොතේ, ඔබ තුළ ඇතිවුණු අවසාන පංච උපාදනස්‌කන්ධය දෙස නුවනින් බලන්න. ඔබ ඒ මොහොතේ, ඔබේ ආධ්‍යාත්මික රූපයත්, අරමුණු වූ බාහිර රූපයත්, විඤ්ඤාණයට බැඳී යැම නිසාම, හටගත් ඵස්‌සයට ඔබ බැඳී යනවා. ඵස්‌සය නිත්‍යභාවයෙන් ගන්නවා. ඒ නිසාම විඳීම සකස්‌කොට ගන්නවා. විඳීමට අදාළව සංස්‌කාර, විඤ්ඤාණය සකස්‌වෙනවා. යම් හෙයකින් පිංවත් ඔබ, එදා අවසාන චුති සිතේදී ඵස්‌සය අනිත්‍යය වශයෙන් දැක්‌කා නම්, විඳීමක්‌ සකස්‌ වෙන්නේ නැහැ. ඒ නිසාම විඤ්ඤාණය නිරෝධය වෙනවා. විඳීමට බැඳීගිය තැනදී අපි භවය සකස්‌කොට ගන්නවා.

පිංවතුන්ලා පැයක්‌ දෙකක්‌ එරමිනියා ගොතාගෙන භාවනා කරලා, මේ කය ඇසුරෙන් සිතට දැනෙන සැප, දුක්‌, උපේක්‍ෂා විඳීම් පමණක්‌ අනිත්‍ය වශයෙන් දැකලා, එසේ නැතිනම් දණහිසේ, පිටකොන්දේ වේදනාවට සිත යොමු කරලා, කායික වේදනාවේ අනිත්‍යභාවය දැකලා පමණක්‌ වේදනාවේ ස්‌වභාවය අවබෝධකරගත හැකියෑයි භික්‍ෂුව විශ්වාස කරන්නේ නැහැ. අතීත, වර්තමාන, අනාගත වශයෙන් ඔබ වේදනාවේ අනිත්‍යභාවය දකින්න දක්‍ෂ වෙන්න. අතීතය කියලා කියන කොට සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනක්‌ ඈතට ඔබේ මනසිකාරය යොමු කරන්න. අතීතයේ සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා, බුදුරජාණන් වහන්සේලා මුණගැසිලා, මහරහතන් වහන්සේලා මුණගැසිලා, සද්ධර්මය ශ්‍රවණය කරලා, දන් පැන් පූජා කරලා, මොනතරම් නම් සැප වේදනාවන් ලබන්න ඇතිද? රජවරු සිටුවරු දෙවිවරු වෙලා, සශ්‍රීක සැපයන් ලබන කොට, අපි කොයිතරම් නම් සැප වේදනාවන් ලබන්න ඇතිද? නොපතන දෙය සිදුවෙන කොට මොනතරම් නම් දුක්‌ වේදනාවන් ලබන්නට ඇතිද? අම්මලා, තාත්තලා ලෙස ඉපදිලා, දරුවන් නිසා මොනතරම් නම් සැප, දුක්‌ වේදනාවන් විඳින්නට ඇතිද? සතර අපායට වැටිලා, කල්ප විනාශයන්ට කොටුවෙලා, කොයිතරම් දුක්‌ වේදනාවන් ලබන්නට ඇතිද? කල්ප විනාශයන්හිදී ඉරවල් හතකට පිච්චෙමින් මැරෙමින් ඉපදෙමින් දුකම විඳීම කොටගෙන, භවදුකේ පතුල, දුකේ අගාධය ජීවිතය කොටගත් හැටි නුවනින් දකින්න. ලොහොකුඹු නිරයේ ලෝදිය වතුරට පිච්චි පිච්චි අවුරුදු කල්ප ගණන් දුක්‌ වේදනාවන් විඳීමේදී, නැඟුණු වියරු වේදනාවේ විලාපයන් නුවණින් දකින්න. තිරිසන් කුලවල ඉපදිලා, මිනිස්‌සු අපේ බෙල්ල අමු අමුවේ කපාගෙන, මරාගෙන කනකොට, ලොකු සතුනට ගොදුරුවෙලා, ඔබ පණ ගැහි ගැහී හිඳිද්දී ඔබව අමු අමුවේ මරාගෙන කනකොට, ඒ අතීත දුක්‌වේදනා නුවනින් මෙනෙහි කරන්න. අස්‌ථිර වූ, අනිත්‍ය වූ, අනාත්ම වූ, දුක්‌ඛම වූ, අතීත වේදනාවන්ගේ යථා ස්‌වභාවය නුවණින් දකින්න. මහා සාගරය දකින මොහොතක්‌ පාසා, නැති නම් මහා සාගරය නුවනින් සිහි කරමින් සංසාරයක්‌ පුරාවට ඇලීම් ගැටීම උපේක්‍ෂාවන් නිසා දෑසින් ගලාගිය කඳුළු සාගරය දකින්න.
මේ ජීවිතයේදී පිංවත් ඔබ ඔය ඇස්‌දෙකෙන් මුලින්ම දැක්‌කේ අම්මා කියන රූපයයි. ඒ අම්මා නිසා පිංවත් ඔබ මොනතරම් විඳීම් සකස්‌කරගන්නට ඇතිද? අම්මාගේ ආදරයට, අම්මාගේ කිරි සුවඳට, අම්මාගේ උණුqසුමට, අම්මා කවන විට, පොවන විට, ඇඳුම් අන්දවන විට, අකුරු කියල දෙන විට, ගහන විට, බනින විට මොනතරම් නම් සැප දුක්‌ වේදනාවන් ඇති කරගන්න ඇතිද? මේ මොහොතේ සිට ඒ අතීතය දෙස ආවර්ජනය කර බලන විට විඳීමේ අනිත්‍ය භාවයේ අර්ථය පමණක්‌මයි දකින්නේ. අම්මාගේ රූපය වගේම තාත්තා, ඥාතියා ආදිය ද ඔබේ මතකයට නැඟෙන සෑම රූපයක්‌ නිසාම සකස්‌ වූ සැප,දුක්‌, උපේක්‍ෂා විඳීම්වල අනිත්‍යභාවය නුවණින් දකිමින් ජීවත්වෙන්න. අතීතයේ අත්දැකීම් තුළින්ම වර්තමානයේත් අනාගතයේත් විඳීම්වල අනිත්‍යභාවය මතු කර ගෙන දකින්න. අන්‍යයන්ගේ ජීවිතවලටත් මෙම වේදනාවේ අනිත්‍යභාවය ගළපා නුවණින් දකින්න.

පිංවත් ඔබ දෑස්‌ දෙක පියාගෙන ඔබගේ උපත, මව්පිය ආදරය, ළදරු පාසල, පාසල් ජීවිතය, උසස්‌ අධ්‍යාපනය, යෞවනය, රැකියාව, විවාහය,මධුසමය, කුළුඳුල් දරු උපත, අතීත බලාපොරොත්තු, සිහින මාලිගා මොදුකොටදුන් සැප, දුක්‌, උපේක්‍ෂා වේදනාවන්ගේ අනිත්‍යභාවය ඒවා වෙනස්‌ වූ ස්‌වභාවය, තම දරුවන් වෙනස්‌ වන ස්‌වභාවය, වේදනාවට බැඳුනොත් තව තව දුක තීව්‍ර වන ස්‌වභාවය නුවණින් දකින්න. අතීත විඳීම්වල අනිත්‍යභාවය නුවණින් දකිමින් වර්තමානයේ විඳීම්වලට තෘෂ්ණාවෙන් නොබැඳෙන්න. ඉහත කාරණාවන් එරමිණිය ගොතාගෙන මෙනෙහි කළත්, පුටුවක වාඩි වී නිදි යහනේදී මෙනෙහි කළත් අවබෝධයට බාධාවක්‌ නොවන බව සිහි තබාගන්න. වේදනාවේ අනිත්‍යභාවය මෙනෙහි කිරීම නිසා ඔබ තුළ සකස්‌ වෙන විඳීමත් පිංවත් ඔබ අනිත්‍ය භාවයෙන් දකින්න දක්‍ෂ වෙන්න.

මේ සටහන ලියන රාත්‍රියේ භික්‍ෂුව දෑස්‌ දෙක පියාගෙන අතීත වේදනාවන් පිළිබඳ අතීතාවර්ජනයක යෙදුණා. මැරෙමින් ඉපදෙමින් පැමිණි දීර්ඝ බව ගමන සිනහව, කඳුළ, දුක, සැප, ප්‍රියයන් අප්‍රියන් හිමි වීම, අහිමිවීම, මේ සෑම දෙයක්‌ තුළින්ම සකස්‌ වූ වේදනාවන් හිස්‌ දෙයක්‌ වශයෙන්මයි භික්‍ෂුවට අරමුණු වෙන්නේ. විවේකීව සිටින සෑම මොහොතකම පිංවත් ඔබත් අතීත වේදනාවන් පිළිබඳ අතීතාවර්ජනයක යෙදෙන්න. ඊයේ දවසේ පිංවත් ඔබ අත්විඳි වේදනාවන් දෙස නුවණින් දකින්න. කොපමණ සැප, දුක්‌ , උපේක්‍ෂා වේදනා ඔබ තුළ ඇතිවෙන්නට ඇතිද? සැමියා නිසා, බිරිඳ නිසා, දරුවන් නිසා, ව්‍යපාරය රැකියාව නිසා, විනෝදය, පිංකම් නිසා ඊයේ දිනයේ ඇති වූ සෑම විඳීමක්‌ම අනිත්‍යයි නේද? නමුත් ඒ අනිත්‍ය වූ විඳීම්වලට බැඳීම නිසා පිංවත් ඔබ කොතෙක්‌නම් දුකට හේතුවෙන අනිත්‍යවු සංස්‌කාරයන් රැස්‌කොට ගන්න ඇතිද? සෑම බැඳීමක්‌ම බවය අස්‌වද්දන සංස්‌කාරයක්‌ ඔබට සකස්‌කර දෙනවා. වේදනාවට බැඳුණොත් ඔබ දුකටමයි බැඳෙන්නේ. වේදනාවෙන් ඔබ නිදහස්‌ වුවහොත් ඔබ දුකෙන්මයි නිදහස්‌ වෙන්නේ. ගිහි ජීවිතයක්‌ ගතකරන පිංවත් ඔබ ඵස්‌සය නිසා දැනෙන සෑම සැප වේදනාවක්‌ම අනිත්‍ය වශයෙන් දකිමින් වේදනාවේ ආශ්වාදයට යට නොවී එම සැප වේදනාව භුක්‌ති විඳින්න. ඔබ සැප වේදනාවේ ආශ්වාදයට බැඳී ගියහොත් අනිවාර්යෙන්ම තව තවත් බවය අස්‌වද්දන සංස්‌කාරයන් ඔබ රැස්‌කරගන්නවා.

ගිහි පිංවතුන්ලාට සැප,දුක්‌, උපේක්‍ෂා විඳීම්වලින් පලායන්න කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. මේවා නිසා සකස්‌ වෙන ආශ්වාදයේ අනිත්‍යභාවය දකිමින් ජීවත්වෙන්න කියලයි දේශනා කරන්නේ. ඔබේ ජීවිතය ඉදිරියට නිරතුරුවම සැප වේදනාවන් ලැබෙනවා නම් එය කුසල් සංස්‌කාරයන්ගේ ඵලයක්‌. ඔබ ඉදිරියට නිරතුරුවම දුක්‌ වේදනාවන් පැමිණෙනවා නම් එය අකුසල් සංස්‌කාරයන්ගේ ඵලයක්‌. නමුත් මේ සංස්‌කාරයෝ අනිත්‍යයි. අනිත්‍ය වූ සංස්‌කාරයන් නිසා ඔබට ලැබෙන විඳීමට බැඳී යන්න එපා. පිංවත් ඔබ විවේකීව ජීවිතකාලය පුරාවට ඔබ අත්විඳි සැප දුක්‌ උපේක්‍ෂා වේදනාවන් නුවනින් මෙනෙහි කරමින් මතු කොට දකිමින්, අනිත්‍ය අනිත්‍ය වශයෙන් දකිමින් ජීවත් වෙන්න. අතීත වේදනාවන් කෙරෙහි ක්‍රමාණුකූලව අනිත්‍ය සංඥාව ඔබ තුළ මතුවෙන විට වර්තමාන අනාගත විඳීම්වල අනිත්‍යභාවය දැකීම ඔබට පහසු වෙනවා. පිංවත් ඔබගේ අතීත කායික මානසික රෝගීභාවයන් නිසා ඔබ තුළ ඇති වූ දුක්‌ වේදනා නුවනින් දකිමින් ජීවත් වන්න. ඔබ දකින්නේ අනිත්‍යයි කියන අර්ථය පමණක්‌මයි.

රට ජාතිය ආගම නිසා ඔබ කොච්චරනම් විඳීම් ඇතිකොටගෙන ඇතිද?යුද්ධය පැවති සමයේ ඔබ තුළ ඇති වූ දුක්‌ වේදනාවන්, සාමය ඇතිවු සමයේ ඔබ තුළ ඇති වූ සැපවේදනාවන්, වෙනස්‌වන අනිත්‍ය ධර්මතාවයන්මයි. දිනපතා පුවත්පතක්‌ අතට අරගෙන කියවන ඔබ තුළ මොනතරම් විඳීම් ඇතිවෙනවාද? ඒ ඇලීම් ගැටීම් හේතුවෙන් මොනතරම් අකුසල් සිදුකරගන්නවාද? වේදනාවේ අනිත්‍යභාවය දකිමින් ජීවිතය භුක්‌තිවිඳින්න.

අද වස්‌ පවාරන පොහොය දවස. උදේ පිණ්‌ඩපාත මඩුවට ගම් වැසියන් හැත්තෑපස්‌දෙනෙක්‌ පමණ ඇවිත් සිටියා. කෙටි පුණ්‍යානුමෝදනාවකින් කටයුතු ඉවර කරල එම පිංවතුන් ප්‍රකාශ කළේ ලොකු සතුටක්‌ වගේම ලොකු දුකකුත් දැනෙනවාය කියල. සතුට ඇති වූයේ තුන්මාසයක්‌ කරපු පිංකම් නිසා. දුක ඇතිවන්නේ භික්‍ෂුව ගමෙන් බැහැරව වඩින නිසා. සැප වේදනාවට අපි ඇලුන තැනදී, සැප වේදනාව නිත්‍යභාවයෙන් ගත්ත තැනදී, දුක්‌ වේදනාව පැමිණි විට අපි ගැටෙනවා. සැප වේදනාව ඔබ අනිත්‍ය වශයෙන් දකින්න දක්‍ෂ නම් අහිමි වීම ඔබට දුකක්‌ බවට පත්වන්නේ නැහැ.
පිංවත් ඔබ, එදිනෙදා ජීවිතයේදී වේදනාවේ අනිත්‍යභාවය නොදකින නිසාම, අනාගත භවය උදෙසා මොනතරම් නම් සංස්‌කාර

රැස්‌කොටගන්නවාද. කාර්යබහුල ජීවිතයේදී ඔබ zකාලයZ නිසා මොනතරම් වේදනාවන් සකස්‌කොටගන්නවාද. මෙය සටහන් තබන භික්‍ෂුවට ජීවිතයේ එදිනෙදා කාලසටහනක්‌ නැහැ. භික්‍ෂුව ඔරලෝසුවක්‌ පාවිච්චි කරනවා. නමුත් එදිනෙදා කටයුතුවලදී භික්‍ෂුව ඔරලෝසුව බලන්නේ පිණ්‌ඩපාතයට වැඩීම සඳහා පමණයි.

උදේම එළිය වැටෙනකොට මුහුණ සෝදාගන්නවා. පිණ්‌ඩපාතය කරගෙන ඇවිත්, ඇමදීම් කටයුතු අවසන් කරලා, ඇඟපත සෝදාගෙන දානය වළඳනවා. අඳුර වැටීගෙන එනකොට ලන්තෑරුම පත්තුකරනවා. නිදිමත දැනෙනකොට නිදාගන්නවා. කාලයට නැවත කවදාවත් භික්‍ෂුවට සැප, දුක්‌, උපේක්‍ෂා වේදනාවන් සකස්‌කොට දෙන්න බැහැ. නමුත් පිංවත් ඔබ කාලය නිත්‍යවශයෙන් ගැනීම නිසාම, කාලය මගේ කොටගැනීම නිසාම දුම්රිය හෝ බස්‌රථය පැය කාලක්‌ ප්‍රමාද වුණොත් ගැටීමක්‌, දුක්‌වේදනාවක්‌ ඇතිකොට ගන්නවා. දුම්රිය, බස්‌රථය පැය කාලක්‌ වේලාසන ගමනාන්තයට ළඟාවුණොත් සැප වේදනාවක්‌ ඇතිකොටගන්වා. දුම්රිය, බස්‌රථය නියමිත වේලාවට ආවොත් උපේක්‍ෂාසහගත විඳීමක්‌ ඇතිකොටගන්නවා. පරක්‌කුවුණු දුම්රියකට, ඉක්‌මන මැද වැටුණු රතුපාට මාර්ග සංඥා එළියකට පුළුවන් ඔබට භවයට ගාලාගෙන යන අකුසල් සංස්‌කාරයන් සකස්‌කොට දෙන්න.

සතියේ දිනයක සවස්‌ වරුවක ප්‍රධාන දුම්රියපළක, බස්‌නැවතුමක වේදනාවේ අනිත්‍යභාවය නොදකින පිංවතුන්ලාගේ ඉරියව් සංස්‌කාරයන් රැස්‌කොටගැනීම් පිංවත් ඔබට හොඳින් දකින්න පුළුවන්. මෙවැනි කාර්යබහුල ස්‌ථාන වේදනාවේ අනිත්‍යභාවය නොදකින පිංවතුන්ලාට මාරබිම් බවට පත්වෙනවා.

පිංවත් ඔබ විවේකීව මෙනෙහිකොට බලන්නකෝ ඔබේ අතීත ජීවිතයේදී ප්‍රමාදවීම් නිසා, ගැටීම්, දුක්‌වේදනා සහ ඉක්‌මන් වීම නිසා ලැබුණු සැප වේදනා සියල්ලම අනිත්‍යවූ විඳීම් නේද? ඇයි ඔබ අනිත්‍යවූ වේදනාවන් නිසා අනාගත භවයට සංස්‌කාර රැස්‌කරගන්නේ.

වේදනාවේ අනිත්‍යභාවය නොදකින නිසාම, මාළු කෑල්ලක්‌, මස්‌ කෑල්ලක්‌ දැක්‌කොත් ගැටෙන පිංවතුන්ලා කොපමණ සිටිනවාද? මඟුල් ගෙදරක ගිහිල්ලා මඟුල් මේසයේ මස්‌, මාළු, ව්‍යංජන පීරිසි දැකලා බඩගින්නේ සිටින පිංවතුන් කොපමණ සිටිනවාද. මගුල්ගෙදරක ගිහිල්ලා, බඩගින්නේ එනවා කියන්නේ, අනෙ අම්මේ මොනතරම් අකුසලයක්‌ද? ගමේ මාළු විකුණන වෙළෙඳ මහත්මයා, බයිසිකලයේ මාළු පෙට්‌ටිය බැඳගෙන zමාළු, මාළු…Z කියමින් කෑගසමින් ගෙවල් ඉදිරියෙන් යනකොට ඒ හඬ ඇසීමෙන් දුක්‌වේදනා ඇතිකරගන්න පිංවතුන් කොතෙක්‌ සිටිනවාද. රූපය, ඵස්‌සය හේතුවෙන් සකස්‌වෙන වේදනවා අනිත්‍යභාවය නොදකින නිසාම, බරපතල වූ ලෝභ, ද්වේෂ මෝහ අකුසල මූලයන්ට අපි කොටුවෙනවා.

වර්තමාන සමාජයේ පිංවතුන්ලා ආහාරය නිසා බරපතල ආකාරයට ඇලීම් ගැටීම සකස්‌කොට ගන්නවා. බුදුරජාණන්වහන්සේ දේශනාකොට වදාල, ආහාර ප්‍රත්‍යාවේක්‍ෂාවෙන් බැහැරව ආහාරය නිසා, ඇස, කන, නාසය, දිව, ශරීරය මනසේ ඵස්‌සය තෘෂ්ණාවෙන් තෙත්කිරීම නිසාම එම ආහාර නිසා සකස්‌වන රසය ඉදිරියේ සැප වේදනාවත්, නීරසය ඉදිරියේ දුක්‌වේදනාවත් ඇතිකොටගන්නවා.

ආහාර මේසයේදී ආහාරය නිසා සකස්‌වෙන වේදනාවේ අනිත්‍යභාවය නොදකින නිසාම අපි ආහාර මේසයේදී, ආහාර වෙනුවට තෘෂ්ණාව අනුභව කරනවා. වේදනාවේ අනිත්‍යභාවය නොදකින සෑම ආහාර කටක්‌ම ඔබට අනාගත භවයට සංස්‌කාර සකස්‌කොට දෙනවා. ඔබ ආහාරයේ වේදනාවට බැඳී ගියොත්, පිංවත් ඔබ මැරෙන මොහොතේ ආහාර කෙරෙහි තෘෂ්ණාව ඇතිවුවොත්, ඊළඟ ජීවිතයේ ආමාෂගත පනුවෙක්‌. ආහාර තුළ ඕපපාතිකව මතුවන පණුවෙක්‌ බවට පත්වෙන්නට ඉඩකඩ තිබෙනවා. පිළුනුවෙන මස්‌ මාළු ව්‍යංජනයෙන්, පිළුණු වන පරිප්පු. එළවළු ව්‍යංජනයෙන් ඒවාට ලොල්වූ පණුවන් ඇතිවන බව පිංවතුන්ලා තේරුම්ගන්න ඕනේ.

ශරීරයට වැළෙඳන රෝගාබාධ නිසාත් වර්තමාන සමාජයේ පිංවතුන්ලා, දුක්‌වේදනාවන් නිරතුරුවම සකස්‌කොට ගන්නවා. රෝහලක ඇඳක්‌ මත සිනහමුසු මුහුණින් සිටින රෝගියෙක්‌ දකින්න හුඟක්‌ අපහසුයි. යමෙක්‌ සිනාසෙමින් සිටිනවා නම්, ඔහු සිනාසෙන්නේත් ඔහුගේ රෝගය සුවපත්වීමට ආසන්න නිසා හෝ රෝගය බරපතතළ නොවීම නිසාමයි. එතැනදිත් ඔහු නොදැනුවත්භාවයෙන් අනිත්‍යවූ සැප වේදනාවකටමයි බැඳී ගිහින් තිබෙන්නේ. ශරීරයට වැලඳෙන කායික රෝගාබාධ නිසා, භාවනා ඉරියව් හේතුවෙන් සකස්‌වෙන වේදනා, කැක්‌කුම් හිරිවැටීම් දැනීමේදී එම සැප දුක්‌ වේදනාවන්ගේ අනිත්‍යභාවය දකින්න.අනිත්‍යභාවය දැකීම නිසාම ඇතිවෙන උපේක්‍ෂාසහගත විඳීමේත් අනිත්‍යභාවය දකින්න දක්‍ෂවෙන්න. දුක්‌ වේදනා, සැප වේදනා, උපේක්‍ෂා සහගත විඳීමට අදාළ අවස්‌ථා තුන තුළම තෘෂ්ණාව බැසගෙන සිටින බව භාවනා කරන පිංවතුන්ලා හොඳින්ම තේරුම්ගතයුතු වෙනවා. ඇලීම, ගැටීම තුළ තෘෂ්ණාවේ වැඩිභාවයත්, උපේක්‍ෂාව තුළ තෘෂ්ණාවේ මධ්‍යස්‌ථභාවයත් සැඟවී තිබෙනවා.

පිංවත් ඔබ කායිකව දණහිසේ, කොන්දේ වේදනාවන් මෙනෙහි කිරීමේදී නිරතුරුවම තමන්ගේ කොන්දේ, දණහිසේ වේදනාවේ අනිත්‍යභාවය දකිනවා වගේම, සෑම මනුෂ්‍යයෙකුගේ රූපයන් අරමුණුකොට ඒ අයගේත් කොන්දේ දණහිසේ වේදනාවන් අනිත්‍යභාවය නුවනින් දකින්න. වේදනාවට පසුබිම්වූ දණහිසත්, මනසත්, විඥානයත් ඵස්‌සය නිසා, එම ඵස්‌සය මගේ කොට ගැනීම නිසා විඳීම සකස්‌වෙන හැටි නුවනින් දකින්න. දණහිසත්, මනසත්, විඥානයත්, ඵස්‌සයත් අනිත්‍යවන ධර්මතාවයන් බව දකිමින් ඒවා හේතුවෙන් සකස්‌වෙන වේදනාවේද අනිත්‍යභාවය නුවනින් දකින්න.

මම කෙනෙක්‌ සිනහවෙනවා දකින්න කැමතිවුණා වගේම, අඬනවා දකිද්දිත් අහක නොබලා ඒ දෙස බලා සිටියා. වචන වලින් කථා කරනවා වගේ නොවේ සිනහව කථාකරනකොට. සිනහව කථාකරනවා වගේ නොවේ කඳුලක්‌ කථාකරන කොට. එය හරිම සංවේදියි. සිනහවෙන් කිසිවෙකුට එදා මාව හඬවන්න පුළුවන්කමක්‌ ලැබුණේ නැහැ. ඒත් හඬන කෙනෙකුට මාව හඬවන්න පුළුවන්කම තිබුණා. ඒ නිසා මම සිනහවට වඩා කඳුලට බියවුනා. සැපයට වඩා මම දුකට බියවුණා. එහෙම වෙන්න හේතුවක්‌ තිබුණා. ඊට හේතුවුනේ මම සංසාරයේ මෛත්‍රිය, කරුණාව උපරිමයෙන් වඩලා ඇතිබව මා තුළින්ම මා මතුකොට දැකගත්ත නිසා. ඒ නිසාම දුක ඉදිරියේ මගේ සංවේදීභාවය වැඩිවුණා. මේ සංවේදීභාවය සකස්‌කොටදෙන්නේ තෘෂ්ණාවේ ත්‍රිව්රභාවය නිසාමයි. මම කෙනෙක්‌ සතුටුවෙනවා පමණක්‌ දකින්න කැමතිවුනානම්, දුක, කඳුල විසින් මාව කොටුකරගන්නවා. ඒ නිසාම දුකට හඬන කෙනාව, මොහොතක්‌ සතුටු කරලා, අනුන්ගේ සිනහවත් කඳුලත් තුළින්ම වේදනාවේ අනිත්‍යභාවය මතුකොටගන්න මම දක්‍ෂවුණා.

භික්‍ෂුවගේ ගිහි ජීවිතයේදී මම සැප, දුක්‌, වේදනාවන් සල්ලි දීලා ගත්ත කෙනෙක්‌. අනුන්ගේ සැප දුක්‌ බලෙන් ගත්ත කෙනෙක්‌. පිංවතුන්ලා සැප වේදනාවන් සොයමින්, දුක්‌ වේදනාවන් ප්‍රතික්‍ෂේප කරමින් යනවිට, භික්‍ෂුව සැප දුක්‌ වේදනා සොයාගිය කෙනෙක්‌. භික්‍ෂුව සැප ගිහි ජීවිතයේ එක තත්ත්පරයකදීවත් එරමිණියා ගොතාගෙන වේදනානුපස්‌සනාව පුහුණුකරලා නැහැ. මම ගිහි ජීවිතයේදී වේදනාවේ අනිත්‍යභාවය දැක්‌කේ, රූපය ඇසුරින් දුක්‌ සැප වේදනාවන් තුළට කිඳාබැසලාමයි. රූපයට කිඳාබසිමින්, අත්දැකීමෙන්ම මතුකරගත් වේදනාවේ අනිත්‍යභාවය මට කවදාවත් පාර වැරැද්දුවේ නැහැ.

මම කෙනෙක්‌ සිනහවෙනවා දකින්න කැමතිවුණා වගේම, අඬනවා දකිද්දිත් අහක නොබලා ඒ දෙස බලා සිටියා. වචන වලින් කථා කරනවා වගේ නොවේ සිනහව කථාකරනකොට. සිනහව කථාකරනවා වගේ නොවේ කඳුලක්‌ කථාකරන කොට. එය හරිම සංවේදියි. සිනහවෙන් කිසිවෙකුට එදා මාව හඬවන්න පුළුවන්කමක්‌ ලැබුණේ නැහැ. ඒත් හඬන කෙනෙකුට මාව හඬවන්න පුළුවන්කම තිබුණා. ඒ නිසා මම සිනහවට වඩා කඳුලට බියවුනා. සැපයට වඩා මම දුකට බියවුණා. එහෙම වෙන්න හේතුවක්‌ තිබුණා. ඊට හේතුවුනේ මම සංසාරයේ මෛත්‍රිය, කරුණාව උපරිමයෙන් වඩලා ඇතිබව මා තුළින්ම මා මතුකොට දැකගත්ත නිසා. ඒ නිසාම දුක ඉදිරියේ මගේ සංවේදීභාවය වැඩිවුණා. මේ සංවේදීභාවය සකස්‌කොටදෙන්නේ තෘෂ්ණාවේ ත්‍රිව්රභාවය නිසාමයි. මම කෙනෙක්‌ සතුටුවෙනවා පමණක්‌ දකින්න කැමතිවුනානම්, දුක, කඳුල විසින් මාව කොටුකරගන්නවා. ඒ නිසාම දුකට හඬන කෙනාව, මොහොතක්‌ සතුටු කරලා, අනුන්ගේ සිනහවත් කඳුලත් තුළින්ම වේදනාවේ අනිත්‍යභාවය මතුකොටගන්න මම දක්‍ෂවුණා.

භික්‍ෂුව ගිහි ජීවිතයේදී, උපේක්‍ෂා විඳීමට එතරම් කැමතිවුනේ නැහැ. මට එදා තේරුණා උපේක්‍ෂාව මාව රවට්‌ටනවා කියලා. හොඳ පුතෙක්‌ වෙන්න, හොඳ මහත්මයෙක්‌ වෙන්න, හොඳ සැමියෙක්‌ වෙන්න, හොඳ පුරවැසියෙක්‌ වෙන්න…. උපේක්‍ෂාවේ නාමයෙන් මට ඇමතූ, මාර හඬවල් මගේ දෙසවන් අතර තවමත් දෝංකාර දෙනවා. මට අවශ්‍යවුනේ මගේ අම්මා තාත්තාට හොඳ දරුවකුවී එතැන නතරවෙන්න නොවේ, සමාජයට හොඳ මහත්මයකු වී එතැන නතරවෙන්න නොවේ, බිරිඳකට හොඳ ස්‌වාමිපුරුෂයකු වීමට නොවේ, උපන් රටේ සංවර්ධනයට උරදෙන හොඳ පුරවැසියකු වීමට නොවේ. ඉහත හොඳ කාරණාවන් සියල්ලම ක්‍රිස්‌තියානි, මුස්‌ලිම්, හින්දු පිංවතුන්ලා තුළත් තිබෙනවා. මෙන්න මේ උපේක්‍ෂා විඳීමේ රැවටිලිදායක තත්ත්වය ගැන තේරුම් ගැනීමේ නුවන, අතීත කුසල් සංස්‌කාරයන්ගේ ශක්‌තිය නිසාම ගිහි ජීවිතයේදී මට ලැබී තිබුණා.

මගේ අම්මා තාත්තාට මම හොඳ කීකරු පුතෙක්‌ නොවුනාට, සමාජයට හොඳ මහත්මයෙක්‌ නොවුනාට, උපන් රටට ධනය උපයාදෙන හොඳ පුරවැසියෙක්‌ නොවුනාට, භික්‍ෂුව ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ අතිජාත පුතෙක්‌ වුණේ , සංඝ සමාජයට හොඳ භික්‍ෂුවක්‌ වුණේ, සම්මා සම්බුද්ධ ශාසනයට ශක්‌තියක්‌ වුණේ, සැප වේදනා, දුක්‌ වේදනා වගේම උපේක්‍ෂා වේදනාවන් තුළ සැඟවී තිබූ මාරධර්මයන් හඳුනාගැනීම නිසාමයි.

පිංවත් ඔබ අතීත වේදනාවන්ගේ අනිත්‍යභාවය දකිමින්, වර්තමානයේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනසට යමක්‌ දැක්‌ක, ඇසුණු, දැනුණු මොහොතේදීම හොඳින්, අවධානයෙන් පසුවෙන්න. දැක්‌කා, ඇසුනා, දැනුනා කියන තැනදීම ඵස්‌සයේ අනිත්‍යභාවය දකින්න. එතැනදී ඔබ දක්‍ෂවුනේ නැතිනම්, ඵස්‌සය තෘෂ්ණාවෙන් තෙත්වීම නිසා, සකස්‌වෙන දුක්‌ සැප උපේක්‍ෂා විඳීම්වලට බැඳීයන්නේ නැතිව, එම වේදනාවන්ගේ අනිත්‍යභාවය, වෙනස්‌වෙන ස්‌වභාවය, මෙනෙහි කරමින්, අතීත අත්දැකීම් ඔස්‌සේ වර්තමාන වේදනාවන්ගේ අනිත්‍යභාවය දකින්න. අනාගත විඳීම් කෙරෙහිද කලකිරීම ඇතිකරගන්න. පිංවත් ඔබ තුළ සකස්‌ වෙන වේදනාවන්ගේ අනිත්‍යභාවය වගේම, අන්‍යයන්ගේ ජීවිතත් වේදනානුපස්‌සනාවෙන් දකින්න. මෙතෙක්‌ භික්‍ෂුව සටහන් තැබුවේ සතර සතිපට්‌ඨාන ධර්මයට අදාළව වේදනානුඵස්‌සනා භාවනාවයි.

(වේදනානුඵස්‌සනාවට අදාළ කොටස නිමි)

Advertisements