කායානුපස්‌සනාව

උපරිම අවු 07 කින් ලෝකයෙන් නිවීයාමේ උතුම් ධර්මයක්‌ දෝතින් දරාගෙන සතර සතිපට්‌ඨාන ධර්මයන් තුළින් සිත ආවරණය නොකරගත් නිසාම උරුමකරගත් සත්වයන්ගේ දුක මොනතරම් නම් දිග පළලද යන්න ඔබම නුවනින් මෙනෙහිකර දකින්න.


කායානුපස්‌සනාවට අදාළව බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ ආශ්වාස ප්‍රාශ්වාසයට හොඳින් සිත යොමුකරලා හොඳින් හුස්‌මගන්නය කියලයි. මුළු කයටම හොඳින් දැනෙන විදිහට, තේරෙන විදිහට හුස්‌ම ගන්න, පිටකරන්න කියලා. ආශ්වාස ප්‍රාශ්වාසයේ දිග භාවය, කෙටි භාවය දකිමින් හුස්‌ම ගන්නය කියලා. ක්‍රමානුකූලව ආශ්වාස ප්‍රාශ්වාස සැහැල්ලු වන විට, එම සැහැල්ලුවන බව දකිමින්, හුස්‌ම ගන්නය කියලා. තවමත් ඔබ හුස්‌මට අදාළවයි කායානුපස්‌සනාවට මුල පුරන්නේ. පංච නීවරණ යටපත්වූ සිතින් දැන් ඔබ ආශ්වාස ප්‍රාශ්වාසයේ වෙනස්‌වීම මෙනෙහි කරන්න. ආශ්වාස කයෙහි ගොරෝසුභාවය, සියුම්භාවය සංසිඳුණු ස්‌වභාවය නුවනින් දකිමින් ආශ්වාස ප්‍රාශ්වාසය නමැති කාය සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය නුවනින් දකින්න. කාය සංස්‌කාරයන් තුළ, මමය මගේය යන්න මුලාවක්‌ බවත්, අනිත්‍යභාවයට පත්වෙන ආශ්වාස ප්‍රාශ්වාසය කයක්‌ බව දකින්න. ආශ්වාස ප්‍රාශ්වාසයෙන් මේ කය ජීවත්වන බව දකින්න. මේ කය පවත්වාගැනීමට ආහාරයක්‌ වනවා දකින්න. මෙතැනදී පිංවත් ඔබ එරමිණියා ගොතාගෙන සිටියද, ආසනයක වාඩිවී සිටියද කියන කාරණය අදාළ වෙන්නේ නැහැ. ආශ්වාස ප්‍රාශ්වාස කයෙහි නිරවුල් චිත්‍රය අනිත්‍යභාවයට පත්වෙන චිත්‍රය නුවනින් දැකීමයි අවශ්‍ය වන්නේ.

ආශ්වාස ප්‍රාශ්වාසය සංසිඳී යනකොට, සියුම් ආශ්වාදයක්‌ සිතට දැනේවී. ඔබ ඒ සියුම් ආශ්වාදයත් අනිත්‍ය බව දකිමිනුයි පෙරට යන්න ඕනේ. සමාධිමත් සිතින්, පංචනීවරණ යටපත් වෙනකොට පිංවත් ඔබට කය නොදැනී යන්නා සේ දැනෙන්න පුළුවන්. එතකොට කයේ සංවේදීභාවය නැතහොත් දැනෙනභාවය ඇතිකොටගන්න ඕනේ. භාවනා කිරීමේදී කයේ නොදැනී යන ස්‌වභාවයක්‌ ඇතිවෙනවා නම්, එය භාවනාවේ නාමයෙන් ඇතිවන ආශ්වාදයක්‌. පිංවත් ඔබ එම ආශ්වාදයට යට නොවී, ඔබේ කයේ දැනෙන ස්‌වභාවය ඇතිකොටගන්න ඕනේ. නැවත කයේ දැනෙන ස්‌වභාවය ඇතිකොටගන්න. නැවත හුස්‌මට සිත පිහිටුවාගෙනත් පුළුවන්, වේගයෙන් නැවත හුස්‌මක්‌ අරගෙන තමයි දැනෙනභාවය ඇතිකොටගන්න පුළුවන්. එහෙමත් නැතිනම් කය නොදැනී යනවාය කියලා ඇතිවෙන සිත අනිත්‍යභාවයෙන් දැකීමෙනුත් පුළුවන්කම තිබෙනවා. මෙසේ කයේ දැනෙනභාවය ඇතිකරගනිමින් ආශ්වාසය, ප්‍රාශ්වාසය කය කෙරෙහි, හුස්‌ම කෙරෙහි කලකිරීම ඇතිකොටගන්න. එහි වෙනස්‌වන ස්‌වභාවය, හිස්‌භාවය දකින්න. විනාඩි 5 ක්‌ හුස්‌ම නොගෙන හිටියොත් මේ කයට ඇතිවන ඉරණම නුවනින් දකින්න. හුස්‌මෙන් ජීවත්වන, යෑපෙන මේ ආශ්වාස කය තුළ සත්ත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නොමැති හේතුඵල ධර්මයක්‌ම බව දකිමින් කලකිරීමට පත්වෙන්න. ඒ කලකිරීමෙන්ම අනිත්‍ය බව දකින්න.
අසුබ භාවනාව
කායසංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය දැකීම තුළින් පංචනීවරණ සංසිඳුණු සිතින් මීළඟට හිසේ සිට දෙපතුළ දක්‌වා දෙතිස්‌ කුණපය දෙස නුවනින් බලන්න. කෙස්‌, ලොම්, නිය, සම්, දත්….. ඔබට දැනෙන ශරීර අවයව දෙස නුවනින් බලන්න. මෙතැනදී දෙතිස්‌කුණපයට අදාළ කොටස්‌ 32 ම දැනගත යුතුයි කියලා නියමයක්‌ නැහැ. නමුත් පිංවත් ඔබ එම කුණප කොටස්‌ 32 ඉගෙන ගන්න. මේ සටහන් තබන භික්‍ෂුව එම කුණප කොටස්‌ තිස්‌දෙකම කියන්න දන්නේ නැහැ. භික්‍ෂුවට දැනෙන, දන්න ශරීර කොටස්‌ පමණක්‌මයි භික්‍ෂුව විදර්ශනාවට යොමුකළේ. එම නිසා භික්‍ෂුවට පුළුවන් වුණා දෙතිස්‌කුණපය තුළින්ම ‘භික්‍ෂුව දන්නවාය, නොදන්නවාය’ කියන හිතත් අනිත්‍ය වශයෙන් දකින්න. කෙස්‌, ලොම්, නිය, සම්, දත්, ඇට, මස්‌, නහර, බොකු, බඩවැල්, හෘද වස්‌තුව, පෙනහැලි, ආමාශය, අක්‌මාව, වකුගඩු, දිරවූ නොදිරවූ ආහාරයන්, ඔබට දැනෙන, අරමුණු වන කුණපයන් දෙස ඔබට තේරුම් ගත හැකි භාෂාවෙන් දකිමින් ඒ දැක්‌කාවූ සිතත් අනිත්‍ය වශයෙන් දකින්න. කලකිරීම ඇතිවන දිශාවට, පිළිකුල දැනෙන දිශාවට ඇල්ම ගිලිහී යන දිශාවට, විදර්ශනා නුවන වැඩෙන දිශාවට දෙතිස්‌ කුණපය මතුකොටගන්න.

දෙතිස්‌ කුණපයට අදාළව කායානුපස්‌සනාව වැඩීමේදී භික්‍ෂුවට ගිහි ජීවිතයේ රෝගී උපස්‌ථානය, රෝහල් පරිසරයන්, මළගෙවල්, කොළඹ මෝචරියේ ක්‍රියාකාරකම් දැකීම ගොඩක්‌ උපකාරී වුණා. ඔබේ ඥාතිවරයාට, හිතවතාට රෝගී අවස්‌ථාවේ කළයුතු උපස්‌ථානයන්ගෙන් ඔබ මගහැර යනවා නම් රෝහලට ගියවිට ඔබේ රෝගියා මිස අන් රෝගීන් දෙස ඔබ නොබලා යනවා නම්, ඔබ කායානුපස්‌සනාවට අදාළ කමටහන් මගහැරයන්නෙක්‌ වෙනවා. භික්‍ෂුව ගිහි ජීවිතයේ අවස්‌ථා කිහිපයකදීම කොළඹ මහ රෝහලේ මෘත ශරීරාගාරයට ගිහින් තිබෙනවා. ශීතකරණ ලාච්චුවල මළමිනී දමා තිබෙනවා, මරණ පරීක්‍ෂණවලට මළමිනී කපා තිබෙනවා හොඳන් දැකලා තිබෙනවා. අදාළ වෛද්‍යතුමා මළමිනිය පරීක්‍ෂණය සඳහා කපලා අදාළ ශරීර කොටස්‌ පරීක්‍ෂණය කරලා එම ශරීර කොටස බොකු, බඩවැල් පොලිතින් උරයක බහා කපාපු මළමිනියේ ශරීරය තුළ තියලා තිබෙන අයුරු භික්‍ෂුව දැක තිබෙනවා. එක්‌ අවස්‌ථාවක තරුණ මළ සිරුරක්‌ පරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව එම මළමිනිය කැපූ මහත්මයා ශරීරයේ පිළීගඳ ගහන සෑම අවයවයක්‌ම වෙන් වෙන් වශයෙන් පෙන්නලා දීලා තිබෙනවා. මේ සටහන් තබන භික්‍ෂුව මේ මොහොතේත් කායානුපස්‌සනාවට අදාළ ඒ අත්දැකීම් සිය කයත් සමග සසඳලා ගලපලා දකිනවා. තමන්ගේ කයත් මළ සිරුරක්‌ව ශීතකරණ ලාච්චුවක බහා තිබෙනවා නුවනින් දකිනවා. දින කිහිපයක්‌ම ශීතලට තදවීම නිසා ලොකු මන්න පිහියකින් කියත් පටියකින් මේ රූපය විවෘත කරන අයුරු නුවනින් දකිනවා. හෘද වස්‌තුව, පෙනහැල්ල, බොකු බඩවැල් පොලිතින් බෑගයක බහා මළසිරුර මත තබා තිබෙන අයුරු නුවනින් දකිනවා. පිංවත් ඔබත් දෑස්‌ පියාගෙන ‘මමය’ ‘මගේය’ කොටගත් දෙතිස්‌කුණපයේ සැබෑ ස්‌වභාවය නුවනින් දකින්න. භික්‍ෂුව දන්න විදිහට මළ මිනියක්‌ කපන මහත්මයෙකුට එම කටයුත්තෙන් අනතුරුව මත්වතුර සලාකයක්‌ දෙනවා. ලෝකයේම රූප සුන්දරියගේ මළමිනිය කැපුවත්, ඒ මත්වතුර සලාකය ඔහුට ලැබෙනවා. මොකද පිළිකුල පිළිබඳ ඒ රූපය තුළත් තිබෙනවා. කැපුව මළමිනියක පිළීගඳ භික්‍ෂුවට මේ මොහොතේ සිහිපත් වෙනවා.

මේ සටහන් තබන භික්‍ෂුව දන්නේ නැහැ භික්‍ෂුව කොයි මොහොතක අපවත්වෙයිද කියලා. සමහරවිට කාත් කවුරුවත් නොදැන කැලයක භික්‍ෂුව අපවත්වෙලා මේ මළකුණ තිරිසන් සතුන්ට අහරක්‌ වෙන්න පුළුවන්. අනතුරකින් මහ පාරක අපවත් වෙන්න පුළුවන්. කවුරුන් හෝ විසින් මරාදමන්නත් පුළුවන්. එහෙමත් නැතිනම් ගෞරවනීයව මේ මළකුණ අවසන් කටයුතු කෙරෙන්නත් පුළුවන්. අතීත සංස්‌කාර කොයි මුහුණුවරකින් ක්‍රියාත්මක වේවිද කියන්න භික්‍ෂුව දන්නේ නැහැ. අතීත සංස්‌කාර කොයි ආකාරයකට විපාකයට පැමිණියත් භික්‍ෂුව අවබෝධයෙන්ම දන්නවා මේ මළකුණ භික්‍ෂුවටත්, භික්‍ෂුව මළකුණටත් අයිති නැහැ කියලා.

හාරයෙන් පෝෂණය වුණ තාත්තා කෙනෙකුගේ ශුක්‍රාණුවකුත්, ආහාරයෙන් පෝෂණය වුණ අම්මා කෙනෙකුගේ ඩිම්බයකුත් එකතුව, ආහාරයෙන්ම හැදී, ආහාරයෙන්ම පෝෂණය වී, හේතුඵල ධර්මයන්ට අනුව හැදුණු කයක්‌ මේක. භික්‍ෂුව මේ මොහොතේ තම දෙතිස්‌ කුණපය දෙස බලන විට, අම්මාගේ මව්කුසේ පැලෝපීය නාලය තුළ නලියන ඉස්‌ගෙඩියෙක්‌වන් කලලයි දකින්නේ. මේ රූපය අයිති තාත්තා කෙනෙකුගේ ශුක්‍රාණුවකට. අම්මා කෙනෙකුගේ ඩිම්බයකට. භික්‍ෂුව මේ මොහොතේ නුවනින් දකිනවා තාත්තා කෙනෙකුගෙන් නික්‌මෙන ශුක්‍රාණුවකත්, අම්මා කෙනෙකුගේ මසකට වරක්‌ නික්‌මෙන මළ ඩිම්බයකත් ඇති පිළිකුල්භාවය, අපුලභාවය, දුර්ගන්ධය. මේ රූපය, මේ කය අයිති ඒ පිළිකුලටයි. දුර්ගන්ධයටයි. මේ රූපයේ, මේ කයේ නිර්මාතෘවරුන් ඔවුන්මයි. පිංවතුන් මේ අත්දකින්නේ කායානුපස්‌සනාවට අදාළව දෙතිස්‌ කුණපයයි.

ඉහත කරුණු පිංවත් ඔබලාට සටහන් තබන්නේ කියවීමට පමණක්‌ නොව, නුවනින් ඔබේ ජීවිතයට ගලපා බැලීමටයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙතිස්‌ කුණපයට අදාළව මේ කය දකිනකොට විවිධ ධාන්‍යවලින් පිරුණු මල්ලක්‌, නුවණැති පුද්ගලයෙක්‌ මුං, කව්පි, කඩල, මෑ, තල වශයෙන් වෙන්කොටගනීද, වෙන්කොට දකීද, හිසේ සිට දෙපතුළ දක්‌වා කුණප කොටස්‌ වෙන්කොට දකින්නය කියලා. පිංවත් ඔබ මනසින් මේ සුන්දර සුරූපී කය ලිහා බලන්න. දෙතිස්‌ කුණපයන් වෙන්කොට දකින්න. එහි හටගැනීම, පැවැත්ම, විනාශය නුවනින් දකින්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා, යොවුන් වයසේ සුරූපී තරුණියක්‌ සිටිනවා, ඇය නා පිරිසිදු වී, අලුත් ඇඳුම් ඇඳගෙන, සුවඳ විලවුන් තවරාගෙන, හිසේ මල්ගසාගෙනයි සිටින්නේ. යම් පුද්ගලයෙක්‌ ඇවිල්ලා මේ තරුණියගේ ගෙලට සර්ප කුණක්‌ දැම්මොත් යම් පිළිකුලකින්ද ඇය මේ සර්පකුණ දකින්නේ, මේ කයත් ඒ සර්පකුණ ආකාරයෙන්ම පිළිකුලෙන් දකින්න කියලා. පිංවත් ඔබේ ඇස්‌දෙකෙන් කබ ගලලා, කන් දෙකෙන් කළාඳුරු වැගිරිලා, නාසයෙන් සොටු දියර ගලලා, කටෙන් කුණුකෙළ ගලලා, ශරීරයෙන් දහඩිය දමලා, මුත්‍රාශයෙන් මුත්‍රා, ගුදමාර්ගයෙන් අසුචි ගලන රූපයක්‌ මනසින් මවාගන්න. ඔබ මනසින් මවාගත් රූපයට අනුවම, අන්‍යයන්ගේ රූපය ගැනත් එසේම දකින්න. මේ කය අසුචි ගොඩක්‌, මුත්‍රා ගොඩක්‌කොට දකින්න.

මනුෂ්‍යයා සද්ධර්මයෙන් ඈත්වීම නිසාම කයේ යථා ස්‌වභාවය නුවනින් දකින්නේ නැහැ. ඒ නිසාම මේ දෙතිස්‌ කුණපයට වටිනාකමක්‌මයි ලබාදෙන්නේ. කෙස්‌, ලොම්, නිය, දත්, සම්, මස්‌ වර්තමාන ව්‍යාපාර ලෝකයට ලොකු වටිනාකමක්‌ ලබාදීලා තිබෙනවා. අවබෝධයෙන් අතහැරිය යුතුවූ දෙය, අනවබෝධයෙන් පෝෂණය කරනවා. දෑස්‌ පියාගෙන පිළිකුලක්‌ ලෙස අවබෝධය කළයුතු වූ දෙය දෑස්‌ හැරගෙන ලස්‌සන කරනවා. භික්‍ෂුවට මතකයි අතීතයේ ශරීරය ලස්‌සන කරපු රූමතියක්‌ සිටියා. මැදිවියේ රූමතියක්‌. ඇයගේ රූමත්භාවය නිසාම ඇය ඉලක්‌කම් තුනේ හතරේ මිල ගණන්වලට විකිණුනා. ඇය දෙතිස්‌ කුණපයක්‌ දරාගෙන සිටියත් ඒ බවක්‌ ඇය දැනගෙන සිටියේ නැහැ. ඇයගේ අත්බෑගයේ නිරතුරුවම මුහුණබලන කණ්‌ණාඩිය, සුවඳවිලවුන් නැතිවුණේ නැහැ. නොසිතූ මොහොතක, නොසිතූ ආකාරයට ඇය මියයනවා. දැන් ඇය රිලා රැළක රිලවියක්‌. දෙතිස්‌ කුණපය කෙරෙහි තිබෙන තෘෂ්ණාවෙන් ඔබ නොමිදුනොත්, නැවත ඔබ අසාමාන්‍ය රූපයකට බැසගන්නවාමයි. එම නිසා පිංවත් ඔබ නොවටිනා දෙතිස්‌කුණපයකට වටිනාකමක්‌ නොදී එහි පිළිකුළ, එහි යථාර්ථය, එහි වෙනස්‌වීම දෙස නුවනින් දකින්න.

තරුණ තරුණියෝ ආදරය කරන කාලයේ, පෙම් හසුන් ලියන කාලයේ හදවතට නැතිනම් හෘදවස්‌තුවට මොන තරම් වටිනාකමක්‌ දෙනවද. පෙම් හසුනක්‌ ලියනකොට හදවතක්‌ අඳිනවා. පෙම්වතුන්ගේ දිනයේදී හදවතක සටහනක්‌ නැති තිළිණයක්‌ නැති තරම්. මොකක්‌ද මේ හෘද වස්‌තුව කියන්නේ. ඇපල් ගෙඩියක්‌ වගේ ලෙයින් පිරුණු මස්‌ ගොබයක්‌. ඔබ මනසින් හදවත දෝතට අරගෙන එය තදින් මිරිකුවොත්, මීවදයක්‌ මිරිකනොකට මී පැණි බේරෙනවා වගේ රතුපාටට පිළී ගඳැති රුධිරය බේරෙයි. හැකිළුණු මස්‌ ගොබය ඔබේ අතේ ඉතිරිවේවි. හදවත, හෘද වස්‌තුව කොයි තරම් නම් අපුළ පිළිකුල් දෙයක්‌ද. දුගඳ දෙයක්‌ද. මෙවැනි පිළිකුල්, දුගඳ හදවතක්‌ කවදාකවත් ඔබ කාගෙන්වත් ඉල්ලන්න යන්න එපා. ඔබ අනුනට දෙන්න යන්නත් එපා. මේ වන විට ඔබේ හදවත කෙනෙකුට ලබාදී ඇතිනම් ඒ ලබාදුන්නේත්, ඒ බැඳීගියේත් දෙතිස්‌ කුණපයකටම බව දකින්න. හෘද වස්‌තුව කෙරෙහි වගේම, දෙතිස්‌ කුණපයකට ලොල්වීම නිසා බැඳෙන ආදරය කෙරෙහිත් අවබෝධයෙන් කළකිරෙන්න. ආදරය නාමයෙන් රාගයට ගොදුරු සොයාදෙන මරුවැලක්‌ වූ දෙතිස්‌ කුණපය කෙරෙහි අවබෝධයෙන් කළකිරෙන්න.

කායානුපස්‌සනාව වැඩීමේදී, නැවත නැවත පුහුණුවීමේදී ආශ්වාදය කියන මාරධර්මය ගැන ඔබ හොඳින් සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. රූපයේ අනිත්‍ය, දුක්‌ඛ, අනාත්මභාවය වැඩීම නිසාම පිංවත් ඔබ අත්දකින අනිත්‍යභාවය කෙරෙහි සියුම් ආශ්වාදයක්‌ ඔබ තුළ ඇතිවෙන්න පුළුවන්. එම නිසා පිංවත් ඔබ තුළ සකස්‌වෙන රූපය කෙරෙහි අසුබ, පිළිකුල් සිත්ද අනිත්‍ය වශයෙන් දැකීමට ඔබ දක්‍ෂ වියයුතුයි. ඒ විතරක්‌ නෙවෙයි අනිත්‍ය වශයෙන් දකින සිතත්, අනිත්‍ය වශයෙන් දැකීමට ඔබ දක්‍ෂ විය යුතුයි. එසේ නොවුනොත් ඔබට සිතාගැනීමටවත් බැරි සියුම් තැන්වලින් මාරයා ඔබ තුළින්ම ක්‍රියාත්මක වෙනවා.

සමහර පිංවතුන්ලා සිටිනවා, ඒ අය රූපයේ අනිත්‍යභාවය දකිනවා, භාවනා කරනවා. නමුත් එම පිංවතුන් තම ශරීරය පිරිසිදුව තබාගන්නේ නැහැ. පිළිවෙලකට පිරිසිදුව ඇඳුම් පැළඳුම් අඳින්නේ නැහැ. තමන්ගේ කාමරය කුටිය අපිළිවෙලටයි තබාගන්නේ. ඇයි මෙහෙම වෙන්නේ කියලා ඇසුවහම ඒ අය කියන්නේ සියල්ල අනිත්‍යයි කියලා. සමහර පිංවතුන්ලා සිටිනවා, කකුලේ එල්ලී ලේ බොන කූඩැල්ලා, කිනිතුල්ලා ගලවාදමන්නේ නැහැ. ඒ සතුන්ම ලේ බීලා වැටෙනකම්ම ශරීරයේ එල්ලාගෙන සිටිනවා. මදුරුවෙක්‌ ශරීරයේ වසා සිටියොත්, එලවාදමන්නේ නැහැ. මෙතැනදී මේ පිංවතුන්ලා තමා තුළ වැඩෙන අනිත්‍යයි කියන අර්ථයේ ආශ්වාදයකටයි, අන්තයකටයි කොටුවී සිටින්නේ. ඉහත ස්‌වභාවයන්, කායානුපස්‌සනාවේ නාමයෙන් ඔබ තුළ මෝදුවන මාර ධර්මයක්‌ම බව තේරුම්ගත යුතුයි.

ලොව්තුරා බුදුරජාණන්වහන්සේ පිරිනිවන්පෑමට මොහොතකට පෙරාතුව, ආනන්ද ස්‌වාමීන්වහන්සේ බුදුරජාණන්වහන්සේගෙන් විමසනවා, ඔබවහන්සේ පිරිනිවන්පෑමට පසුව සම්බුද්ධ ශරීරයට කුමන ආකාරයෙන් කටයුතු සිදුකළයුතුද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන්වහන්සේ දේශනාකරනවා, ආනන්ද සක්‌විති රජකෙනෙකුගේ ශ්‍රී දේහයට දක්‌වන යම් ගෞරවයක්‌ ඇත්ද, එවැනිම ගෞරවයක්‌ බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී දේහයට දක්‌වන්නය කියලා. රූපයේ අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම ත්‍රිලක්‍ෂණය තුන්ලෝකයාටම දේශනාකළ සම්බුදුපියාණන්, පුරා හතලිස්‌ පස්‌වසරක්‌ම රූපයේ අනිත්‍යභාවය,අසුබභාවය, පිළිකුළම ලෝකයාට මතුකොට පෙන්වූ සම්බුදු පියාණන් තම මියගිය සම්බුද්ධ සිරුරට සක්‌විති රජකුගේ දේහයට දක්‌වන ගෞරවයන් දක්‌වන්න යෑයි ප්‍රකාශ කරන්නේ පිරිනිවීගිය සම්බුද්ධ රූපය තුළිනුත්, දෙව් මිනිසුන් සහිත ලෝකයාට ගෞරව පුද වන්දනා කිරීමට සලස්‌වා මෙලොව පරලොව යහපතට අදාළ කාරණා සලසාදෙන්නයි. තම ශ්‍රී දේහය උපයෝගී කරගෙන අන්තිම නිමේෂයේදීත් ලෝකයාට අනිත්‍ය සංඥාව මතුකොටදීමටයි. අන්තයන්ට කොටු නොවූ අනිත්‍ය සංඥාවේ අර්ථයයි අපි ඉහතින් දකින්නේ.

යම් පිංවතෙක්‌ භික්‍ෂුවගෙන් ඇසුවහොත් ‘ඔබ වහන්සේ අපවත් වුණාට පස්‌සේ, ඔබ වහන්සේගේ මළ සිරුර සුදු රෙදිකඩක ඔතා, වළක්‌ කපා වළට දමන්නටද?’ කියලා භික්‍ෂුව ඒ මහත්මයාට ප්‍රකාශ කරන්නේ ‘මහත්තයෝ මේ රූපයෙන් යම් උතුම් කර්තව්‍යයක්‌ මනුෂ්‍යයෙකුට කරගන්නට තිබෙනවානම් භික්‍ෂුව ඒ කර්තව්‍යය කරගෙනයි සිටින්නේ. ඒ නිසා මේ රූපයෙන් දැන් භික්‍ෂුවට සත පහකවත් වැඩක්‌ නැහැ. මහත්තයාට අවශ්‍යනම් භික්‍ෂුවගේ මළ සිරුර උපයෝගීකොට මෙළොව පරළොව පිනට කුසලයට අදාළ කටයුතු කරගන්න’ කියලා. අනිත්‍ය කියන සංඥාවේ නාමයෙන්, භික්‍ෂුව ඔහුට ප්‍රකාශ කළොත් භික්‍ෂුවගේ මළ සිරුර සුදුරෙදි කඩක ඔතා වළ දමන්න කියලා, අනිත්‍යයි කියන අර්ථයේ ආශ්වාදයට භික්‍ෂුව කොටුවුණා වෙන්න පුළුවන්. මම තුළ අනිත්‍ය සංඥාවද, අනිත්‍ය සංඥාව තුළ ‘මම’ද සිටියා වෙන්න පුළුවන්. මෙවැනි ‘අනතුරු’වලදී සංස්‌කාරයන්ට අදාළව වෙන්න තිබෙන දේ වෙන්න හැරලා, සිත අතහරින්න අප දක්‍ෂ වෙන්න ඕනේ.

ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනාකොට ඇති පරිදි, සතර සතිපට්‌ඨාන ධර්මයන් නිවැරදිව පුහුණුකළොත් උපරිම හත්වසරකින් ධර්මාවබෝධය ලබන්න හැකිය කියන අර්ථය කල්ප සියක්‌ කෝටි ගණනක්‌ භවයේ ගතවෙලත් තවම අපට බැරිවුණේ කායානුපස්‌සනා ධර්මයන්ට අදාළව අපේ සිත වැඩෙන විට ආශ්වාදයට මුවාවී මාරයා ඉතා සියුම් තැන්වලින් පහරදෙන නිසාය.

පිංවත් ඔබ නිරතුරුවම දෙතිස්‌ කුණපය දකිමින් ජීවත්වන්න. ඔබ ජීවිතය සමග පමණක්‌ ජීවත්වුණොත්, ඔබ ජීවත්කරන්නේ දෙතිස්‌කුණපයක්‌ය කියන කාරණය ඔබට අමතක වෙනවා. දඹදිව කොසොල් රාජ්‍යයේ සිරිමා කියල රූමත් තරුණ ගණිකාවක්‌ හිටියා. ඇයගේ තරුණ රූමත්භාවයට යාබද රාජ්‍යයන් පවා වශීවෙලයි සිටියේ. ඇය හදිසියේම මියපරළොව යනවා. බුදුරජාණන්වහන්සේට සිරිමාගේ මරණය ආරංචිවෙලා රජතුමාට පණිවුඩයක්‌ යවනවා, සිරිමාගේ මළ සිරුර අමුසොහොනේ සතුනට කන්න නොදී දින හතක්‌ ආරක්‍ෂා කරන්නය කියලා. සත්වෙනි දවසේ රටේ ජනතාවට දැනුම්දෙනවා රූමත් සිරිමාව දකින්න අමුසොහොනට එන්න කියලා. බුදුරජාණන්වහන්සේත් අමුසොහොනට වැඩම කරනවා. කොසොල් රජතුමාට බුදුරජාණන්වහන්සේ දැනුම්දෙනවා, ඉදිමී, නිල්පැහැගැන්වී, කුණු ඕජාව ගලමින්, පණුවන් නලියමින්, නිලමැස්‌සන්ට නිවහනක්‌වූ සිරිමා රූමතියගේ මළසිරුර වෙන්දේසි කරන්නය කියලා. රජතුමා මසුරන් දහසක ලංසුවකින් පටන් ගන්නවා. නමුත් අවසානයේ ලංසුව කහවනු එකක්‌ දක්‌වා අඩුකරනවා. සිරිමාවගේ රූපයකට කිසිම ලංසුවක්‌ නොදෙන නිසා අවසානයේ රජතුමා කියනවා නොමිලේ සිරිමාගේ රූපය අරගෙන යන්න කියලා. ඒත් කිසිවෙක්‌ ඉදිරිපත් වෙන්නේ නැහැ. මීට සතියකට පෙර කහවනු දහස්‌ ගණනකට මිල නියමවූ රූමත් සිරිමාගේ සිරුර අවසානයේ මළකුණු කන තිරිසන් සතුන්ට පමණක්‌ වටිනා දෙයක්‌ වුණා. සිරිමා රූමතිය ජීවතුන් අතර සිටියදී, ධනවත් සිටුවරුන්, කුළවතුන් එම රූපයේ රසවින්දා. සිරිමා මියගියවිට එම රූපය තිරිසන් සතුන් රස කරමින් රසවින්දා. කායානුපස්‌සනාවේ අර්ථය නොදන්න නිසාම තිරිසන් සතා කරනා දෙයම අපි තවමත් කරමින් සිටිනවා.ජීවත්ව සිටින රූපය මනුෂ්‍යයා රසවිඳිනවා. මියගිය රූපය තිරිසන් සතා රසවිඳිනවා. කායනුපස්‌සනාවේ අර්ථය රූපය මළත් නොමළත් ජරාවටම පිළිකුලටම අයත් දෙතිස්‌ කුණුපයක්‌ම බව පිංවත් ඔබට අවබෝධකොට දෙනවා.

(දෙතිස්‌ කුණුපයට අදාළ කොටස මෙයින් නිමවේ)

ධාතු මනසිකාරය

කායානුපස්‌සනාවට අදාලව බුදුරජාණන් වහන්සෙ මීළඟට දේශණා කරනවා මේ රූපය සතර මහධාතුව හැටියට දකින්නය කියලා. කායානුපස්‌සනාවට අදාළව දෙතිස්‌කුණපය භාවනාවට ගැනීමේදී අපි රූපය කොටස්‌ 32 ක්‌ කරබැලුවා. සතරමහ ධාතුව හැටියට රූපය බැලීමේදී පඨවි, ආපෝ, තේජෝ, වායෝ වශයෙන් රූපය කොටස්‌ හතරකට සරලකොට ගන්නවා.

ශරීරයේ තද ස්‌වභාවයන් පඨවි ධාතුව වශයෙන්ද, ශරීරයේ වැගිරෙන දියර ස්‌වභාවයන් ආපෝ ධාතුව වශයෙන්ද, ශරීරයේ වායු ස්‌වභාවයන් වායෝ ධාතුව වශයෙන්ද, ශරීරයේ උෂ්ණත්වය නැතිනම් රස්‌නය ස්‌වභාවය තේජෝ ධාතුව වශයෙන්ද දකිනවා. පිංවත් ඔබේ ශරීරයට ලස්‌සන දවටනයක්‌ ලබා දී තිබෙන්නේ පඨවි ධාතුවයි. එම ධාතුව ඔපවත්කොට, වර්ණවත්කොට ඇත්තේ ආපෝ ධාතුවයි. තේජෝ ධාතුව විසින් මේ කය පිළුණුභාවයට පත්වීමට ඉඩ නොදී, උණුසුම් කරනවා, ප්‍රකෘතිභාවයෙන් තබාගන්නවා. වායෝ ධාතුව මේ කය පුම්බා, හැඩ වැඩ කොට හැසිරවීමට ක්‍රියාත්මක වෙනවා. නව යොවුන් තරුණියකගේ, තරුණයකුගේ ශරීරයේ ලාලිත්‍යය, රිද්මය, ප්‍රභාශ්වරභාවය මට සිළුටු බව, ප්‍රසන්නභාවය නුවනින් දකිමින් සතර මහා ධාතුවේ තරුණ්‍යයත්, හැට වයස්‌ ඉක්‌මවූ තාත්තා කෙනකුගේ අම්මා කෙනෙකුගේ සම රැළිවැටුණු, අවපැහැගැන්වුණු, ගොරෝසුවුණු සතරමහා ධාතුවේ අනිත්‍යභාවය, වෙනස්‌ වීම නුවනින් දකින්න. ඔබේ සතරමහා ධාතුවේ අනිත්‍යභාවය දකිනවා වගේම, අන්‍යයන්ගේ සතරමහා ධාතුවේ අනිත්‍යභාවයද දකින්න කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා.

මේ සටහන තැබෙන දැන් වේලාව රාත්‍රී නවයට පමණ ඇති. ආහාරයෙන් හිස්‌ වූ, භික්‍ෂුවගේ කුස තුළ වායෝ ධාතුව සිත් සේ ආක්‍රමණයක යෙදෙනවා. වායෝ ධාතුවට පුළුවන් පපුව තද කරන්න, හෘද වස්‌තුව රිදවන්න, හිස තද කරන්න, ඇස්‌ දෙක බරකරන්න. පඨවි ධාතුවට පුළුවන් සීරීමක්‌, කැපීමක්‌, තුවාලයක්‌ තුළින් මේ රූපය ඉදිමීමට ලක්‌කරන්න. සතරමහාධාතුවට යටත්වෙච්චි ජීවිතයක්‌ මේක. පාලකයෙක්‌, පාලනයක්‌ නැති වෙනස්‌වීම, අනිත්‍යය උරුමකරගත් සතර මහා ධාතුවක්‌.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිංවත් ඔබ නිරතුරුවම සර්පයින් හතරදෙනෙක්‌ පෝෂණය කරමින් සිටිනවාය කියලා. මේ සර්පයින් හතරදෙනාට නිරතුරුවම කවන්න, පොවන්න, නාවන්න, නිදිකරවන්න, බෙහෙත් දෙන්න ඕනේ. මේ සර්පයින් හතරදෙනාට උපස්‌ථානය නොකළොත් ඒ සර්පයින් කිපෙනවා, පහරදෙනවා. මේ සර්පයින්ගේ කිපීම තමයි ජාති, ජරා, ව්‍යාධි, මරණ හැටියට අපි දකින්නේ. පිංවත් ඔබ නිරතුරුව පෝෂණය කරන, විෂකුරු සර්පයින් හතර දෙනා තමයි පඨවි, ආපෝ, තේජෝ, වායෝ හෙවත් සතරමහා ධාතුව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ සතර මහා ධාතුව විෂකුරු සර්පයින් වශයෙන්ම දකින්න කියලා. මේ සර්පයින් කෙරෙහි බිය ඇතිකරගන්න කියලා. මේ සර්පයින්ගේ විෂ කියන්නේ කුසල් අකුසල් සංස්‌කාර. මේ සංස්‌කාර නමැති සර්ප විෂට පුළුවන් පිංවත් ඔබව කල්ප ගණන් භව ගමනේ ඈතට අරගෙන යන්න. මේ සතරමහා ධාතුවට ඇලීම නිසාත්, ගැටීම නිසාත්, අපි නිරතුරුව භවයට අදාළව සංස්‌කාර රැස්‌ කොටගන්නවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ අනේපිඬු සිටුතුමාට මරණාසන්න මොහොතේ දේශනා කරනවා “සිටුතුමනි, මේ පඨවි ධාතුව ඔබට අයිති දෙයක්‌ නොවෙයි. එය නිරතුරුවම වෙනස්‌වෙනවා, වේදනාදෙනවා, රිදුම්දෙනවා, ඉදිමෙනවා. එමනිසා ඔබ මේ පඨවි ධාතුවට බැඳෙන්න එපා. පඨවි ධාතුව නිසා යම් වේදනාවක්‌ වේද, ඒ වේදනාවට බැඳෙන්න එපා” ය කියලා. “මේ ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව නිරතුරුවම වෙනස්‌වෙනවා. ඔබට අයිති නැහැ. ඒ නිසා එම ධාතූන් හේතුවෙන් යම් වේදනාවක්‌ වේද, එම වේදනාවට බැඳෙන්න එපා” ය කියලා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සතරමහා ධාතුවේ ආශ්වාදයක්‌, ආදීනවයක්‌, නිස්‌සරණයක්‌ තියෙනවා ය කියලා. සතර මහා ධාතුව නිසා යම් සැපයක්‌, සොම්නසයක්‌, ප්‍රීතියක්‌ උපදිනවානම් ඒ සතර මහා ධාතුවේ ආශ්වාදයයි. සතරමහා ධාතුව යම් අනිත්‍යභාවයකින් යුක්‌තද, වෙනස්‌වෙන ස්‌වභාවයෙන් යුක්‌තද, එම නිසා යම් දුකක්‌ වේද, දොම්නසක්‌ වේද, ඒ සතර මහා ධාතුවේ ආදීනවයයි. සතර මහා ධාතුව කෙරෙහි කැමැත්ත දුරුවී අවබෝධයෙන් කළකිරීමක්‌ සකස්‌වේද ඒ සතර මහා ධාතුවේ නිස්‌සරණයයි කියලා සතර මහා ධාතුව සැපයක්‌ වුණා නම්, සොම්නසක්‌, සතුටක්‌ වුණා නම්, දුක තුළ නොබැසගත්තා නම්, ෂතර මහා ධාතුව කෙරෙහි ඔබ කළකිරෙන්නේ නැහැ. සතරමහා ධාතුව කෙරෙහි ඔබ කලකිරෙන්නේ එය වෙනස්‌වෙන නිසාමයි. නව යොවුන් තරුණයෙකුගේ, වයෝවෘද්ධ තාත්තා කෙනෙකුගේ රූපයකුත් නුවනින් දකිමින් ඉහත කාරණය අවබෝධයට ගන්න.

දීර්ඝ මුහුදුගමන් යන නාවික වෙළෙන්දෝ තම නැවෙහි ළිහිණියකු අරගෙන යනවා. මුහුදු මාර්ගය නිවැරදිව සොයාගැනීමට අපහසු වුවහොත් මෙම නාවිකයින් කූඩු කර සිටි ළිහිණියාව මුදාහරිනවා. ළිහිණියා දස දිශාවට පියාඹලා ගිහිල්ලා, ගොඩබිමක්‌ පෙනුනොත් ඒ දෙසට පියාඹා යනවා. ඒ ළිහිණියා නැවත නැවට එන්නේ නැහැ. ගොඩබිමක්‌ පෙනෙනතෙක්‌ මානයේ නොතිබුණොත් ළිහිණියා නැවත නැවට එනවා. තෘෂ්ණාව ප්‍රහීනවීමෙන්, ප්‍රඥාවෙන් ආලෝකමත් වූ විඤාණයක්‌ වෙත්ද, විඤ්ඤාණය තුළ සතර මහා ධාතුව නොපිහිටනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉන් මෙහා සතර මහා ධාතුව මගේ කොට ගැනීම නිසාම, සකස්‌ කොටගන්නා සංස්‌කාර හේතුවෙන් අපි නැවත සතරමහා ධාතුව නමැති රූපයකට බැස ගන්නවා.

බුදුරජාණන්වහන්සේ නකුල පියාට දේශනා කරනවා නකුල මේ සතර මහ ධාතුව නිරතුරුවම ලෙඩ වෙන දෙයක්‌, වේදනාවට පත් වෙන විනාශ වන දෙයක්‌ එම නිසා ඔබ සතරමහ ධාතුව නමැති රූපයට බැඳෙන්න එපා, රූපය ලෙඩ උණත් සිත ලෙඩ කරගන්න එපාය කියල. රූපය මගේ කරගත් තැනදි අපි සිත ලෙඩ කර ගන්නවා. ලෙඩවෙන සිත නැවත නැවතත් සතර මහ ධාතුවක්‌ම උරුමය කර දෙනවා. ඇසත්, ඇසට අරමුණු වන සෑම රූපයක්‌මත්, කනත් කනට අරමුණු වන සෑම (ශබ්ද) රූපයක්‌මත් සතර මහ ධාතුවක්‌ හැටියට දකින්න. අනෙකුත් ආයතන ගැන ඉහත ආකාරයට ක්‍රියාත්මක වෙන්න. සතර මහ ධාතුව ආත්මීය වශයෙන් ගැනීම නිසා අතීත සංසාරයක්‌ පුරාවටම ඔබ විඳි දුක්‌ වේදනා නුවණින් දකින්න. අතීතයේ කල්ප විනාශයක්‌ සිදු වුණ මොහොතේ පඨවි ධාතුවේ අයෝමය ශක්‌තිය බඳුවූ යොදුන් 168000 උසින් දිගින් පළලින් යුත් මහමේරූ පර්වතය සුනුවිසුනු වී ගිය හැටි නුවනින් දකින්න. ආපෝ ධාතුවේ අයෝමය ශක්‌තිය බඳු වූ මහාසාගරය සිඳී, වියලී ගිය හැටි නුවනින් දකින්න. තේජෝ ධාතුවේ අයෝමය ශක්‌තිය බඳු වූ හිරු, ඉරවල් හතක්‌ පායා මුළු මනුෂ්‍ය ප්‍රජාවම විනාශ වන හැටි මුළු පෘතුවියම ගිනි ගෙන අළුදුවිලි බවට පත් වී ගිය හැටි නුවනින් මෙනෙහි කරන්න. වායෝ ධාතුවේ අයෝමය ශක්‌තිය බඳුවු මහාමේරුවෙන් නැගෙන දුම් කඳ, මුළු පෘතුවියම අවුරුදු දහස්‌ ගණනක්‌ දුමෙන් වසා ගෙන තිබු ආකාරය නුවනින් දකින්න. අතීත සතරමහ ධාතුවේ අනිත්‍යභාවය ඔබ නුවණින් අවබෝධකොට නොගත්තොත් මෙවැනි කල්ප විනාශයන් තුළින් අනාගතයේදී නැවත නැවත දුකට පත් වෙන බව සිහිපත් කරන්න. පිංවත් ඔබ මගේ කොට ගෙන දරාගෙන සිටින සතර මහ ධාතුව ගැන අවබෝධයෙන් කලකිරෙන්න.

මහා සාගරය පතුලෙන් සතර මහ ධාතුව කිපී රටවල් විනාශ කරන සුනාමියක්‌ මතුවී එන්නාසේ, අපත්‍ය ආහාරයක්‌ ගැනීම නිසා ඔබේ ශරීරය නමැති සතර මහ ධාතුව කිපී මුඛයෙන් නික්‌මෙන වාතයක්‌ අධෝමාර්ගයෙන් නික්‌මෙන වාතයක්‌ සුනාමියක්‌ සමග සංසන්දනය කර දකින්න. පිංවත් ඔබ බත් පිඟාන අනුභව කරන විට, බත් ව්‍යංජන කියන සතරමහධාතුව මුඛයේ කෙළත් සමග මිශ්‍ර වී ආමාශයේදී වමනයක්‌ බවට පත්වී රුධිරය හැටියට ඔබේ රූපය නමැති සතරමහ ධාතුවට එකතු වෙනවා නුවණින් දකින්න. එම සතරමහ ධාතුව මුත්‍ර, අසුචි හැටියට නැවත මහපොළව නැමති සතරමහ ධාතුවට එකතු වෙනවා නුවනින් දකින්න. පිංවත් ඔබේ සිරුර යම් දවසක මිය පරලොව ගොස්‌ මහ පොළවේ වළ දැමුවොත් එම මළසිරුර කුණු වී විනාශවී මහ පොළව නැමති සතර මහ ධාතුවට එකතුවෙන හැටි, මහපොළවේ සාරයෙන් ගහකොළ පෝෂණයවන හැටි, එම ගහකොළවලින් සතුනගේ සතර මහ ධාතුව පෝෂණය වෙන හැටි නුවනින් දකින්න. මහපොළවත් ඔබේ සතර මහ ධාතුවත් ස්‌වභාවයෙන් එකම බව නුවණින් දකින්න. ඔබ දෙපා තබාගෙන සිටින මහපොළව අතීත සංසාරයේ ඔබේම මළකඳන්වලින් පෝෂණය වු අනිත්‍යභාවයට පත්වු සතර මහ ධාතුව වශයෙන්ම දකින්න. ඔබේම අතීත මළකඳන් ගොඩ මත මොහොතක්‌ සක්‌මන් කරන්න. මහ පොළවත්, ජලයත්, සුළඟත්, හිරුඑළියත්, ඔබේ රූපයත් සතරමහ ධාතුව වශයෙන් දකින්න.

දැන් වේලාව සවස 6.00 පමණ ඇත. පරිසරයම අඳුරු කරල අහස වැසි වලාකුළුවලින් බරවෙලා කඳුවලල්ට එහායින් හයියෙන් ගොරවනවා. දැන් වැහිපොද වැටෙනවා. භික්‍ෂුව ගල්තලාවෙන් නැගිටල කුටිය තුළට යනවා. පරිසරයේ මේ වෙනස්‌වීම් තුළ කුමක්‌ද අපි දකින්නේ. සතර මහ ධාතුවේ වෙනස්‌වීමයි. සතර මහ ධාතුවේ කිපීමයි. ඇස කියන සතර මහ ධාතුව කිපීමෙන් කඳුළුගලනව වගේ තුවාලය කියන සතර මහ ධාතුව කිපිල සැරව ගලනව වගේ, මුත්‍රාශය කියන සතර මහ ධාතුව කිපිල මුත්‍ර වැගිරෙනව වගේ ආකාශයේ වළකුළුවල කිපීමේ ක්‍රියාත්මකභාවය වැස්‌ස හැටියට අපි දකින්නේ. පරිසරයේ සිදුවීම් සමග ඔබේ රූපය නැමති සතර මහ ධාතුව නිරතුරුව ගලපා දකින්න. වැස්‌සට ඇති නොඇල්ම ඔබේ රූපය කෙරෙහිත් ඇති කරගන්න. ඔබ මේ මොහෙතේ යම් කායික මානසික පීඩාවිදීමක්‌ විඳිනවා නම් ඔබ කායිකව මානසිකව සතුටක්‌ සොම්නසක්‌ විඳිනවා නම් ඉහත ස්‌වභාවයන් දෙකම ඔබ සකස්‌ කර ගන්නේ සතර මහ ධාතුවක්‌ ඔබේ කරගැනීම නිසාමය. මේ හේතුවෙන් පිංවත් ඔබ සෑම නිමේශයකදීම අනාගත භවය සඳහා සංස්‌කාරයන් රැස්‌කරමිනුයි සිටින්නේ.

මාගන්දියා නමැති බමුණු පවුලේ දියණිය පංචකල්‍යාණියක්‌. ඇයගේ රූපයෙන් ඇය මත්වෙලයි සිටියේ. ඇයගේ බමුණු පියා මාගන්දියා දියණියව බුදුරජාණන්වහන්සේට යෝජනා කරනවා. ඒ අවස්‌ථාවේදී මාගන්දියාගේ රූපය, බුදුරජාණන්වහන්සේ විසින් අශුචි පිරවූ කළයක්‌ හැටියටයි හඳුන්වන්නේ. අශුචි පිරවූ කළයක්‌ පංචකළ්‍යණියක්‌ කොට සිතා සිටි මාගන්දියා, බුදුරජාණන් වහන්සේ කෙරෙහි වෛරයක්‌ ඇති කරගන්නවා. රූපය නමැති විනාශ වී යන සතර මහ ධාතුවක්‌ නිසා මාගන්ධියා ලෝකයේ බලවත්ම අකුසලයක්‌ සිදුකරගන්නවා.

අවසානයේ ඇය උදේනි රජතුමාගේ බිසව බවට පත්වී සාමාවතී බිසව ඇතුළු පිරිවර කාන්තාවන් 500 ක්‌ සිය මාළිගාවට ගිනි තබා මරාදමනවා. මාගන්දියා බිසව සතර මහධාතුවක්‌ මගේ කොට ගැනීම නිසා අවසානයේ නිරයට වැටෙනවා. නිරයේදීත් ඇය බැසගන්නේ සතර මහ ධාතුවකටමයි. අතීත සතර මහ ධාතුව මගේ කොට ගැනීමෙන් සකස්‌ කරගත් අකුසලය නිසා නිරයේදී එයට අදාළ සතර මහ ධාතුව කිපී නිරිසතාගේ සිත වේදනාවට පත්කර අනාගතයට නැවතත් අකුසල් එකතු කර දෙනවා. සතර මහ ධාතුව මගේ කරගැනීමෙන් සකස්‌ කරගන්නා ආශ්වාදයෙන් මතුවෙන ආදීනවය භවයෙන් භවය සතර මහ ධාතුවෙන් යුත් උපතකට අපිව යොමු කරනවා. මෙලොව වශයෙන් රෝහල්වල සිරගෙවල්වල, ගෘහ ජීවිතවල දුක්‌විඳින්නේ සතරමහ ධාතුවේ ආශ්වාදයට බැඳීමේ ආදීනවයන් අත්විඳින පිංවතුන්මය.

පිංවත් ඔබ ඉහත කාරණා තුළින් සතර මහ ධාතුවේ නිස්‌සාරබව හඳුනාගෙන සතර මහ ධාතුව කෙරෙහි කලකිරීම ඇති කරගන්න. සතර මහා ධාතුව විටෙක මායාවකි, පරස්‌පරයකි, කලකිරීමකි. විටෙක එය ප්‍රසන්නය. තවත් විටෙක එය අප්‍රසන්නය. වරෙක එය සුවඳවත්ය. තවත් වරෙක එය දුර්ගන්ධය. වරෙක එය රසගුලාවක්‌ය. තවත් වරෙක එය අහක බලා ගැනීමට තරම් සිතෙන ධර්මතාවයක්‌ය. මේ වෙනස අපි අත්දකින්නේ සතර මහ ධාතුව මාරයා වන නිසාමයි.

පිංවත් ඔබ සුදුසු ඉරියව්වකින් දෑස්‌ පියාගෙන ඔබේ රූපය දෙස හොඳින් බලන්න. රූපයේ සංයුතිය දෙස නුවණින් බලන්න. ශරීරයේ තද කොටස්‌ ද්‍රව කොටස්‌, වායුකොටස්‌, උෂ්ණ කොටස්‌ දෙස වෙන් වෙන් වශයෙන් බලන්න. ශරීරය වශයෙන් රූපය වශයෙන් නොව ඉහත කොටස්‌ හතර හැටියට රූපය දකින්න. දැන් ඔබ නුවණින් දකින්නේ දෙතිස්‌ කුණුපයක්‌ නොව සතර මහ ධාතුවක්‌ය. දැන් දෑස්‌ පියාගෙන නුවණින් ඔබ වෙන්කොට දැක්‌ක ශරීරයේ තද කොටස්‌ මනසින් ගලවා බිමට දමන්න. ඔබ ශරීරය තුළින් හඳුනාගත් රුධිරයේ සෙම්, සොටු, ඇතුළු ද්‍රව කොටස්‌ මනසින් තව ගොඩකට දමන්න. දැන් පිංවත් ඔබට ඔබේ ශරීරය අරමුණු වෙන්නේ නැත. මන්ද ඔබ ශරීරය පඨවි ධාතුව වශයෙනුත් ආපෝ ධාතුව වශයෙනුත් ගලවා ගොඩවල් දෙකක්‌ වශයෙන් බිම දමා තිබෙන නිසා. ඔබ දැන් මනෝමය රූපයක්‌ මවාගෙන බිම ඇති පඨවි, ආපෝ ගොඩවල් දෙක දෙස නුවණින් දකින්න. පඨවි, ආපෝ ධාතු ගොඩවල් දෙක තුළින්ම තේජෝ ධාතුවත් වායෝ ධාතුවත් දකින්න දක්‍ෂවෙන්න. කුණුවෙන, නරක්‌වෙන, ගඳගහන නිලමැස්‌සෝ වසාගත් පිළීගÄති සතර මහ ධාතුවේ ස්‌වභාවය කෙරෙහි කලකිරීම ඇති කරගන්න. මේ විනාශ වෙන සතර මහ ධාතුව මහ පොළවට පරිසරයට මුහුවී නැවතත් ස්‌වභාව ධර්මයටම සතර මහ ධාතුවටම එකතුවෙන හැටි නුවණින් දකින්න. ඔබේ රූපය තුළින් මහ පොළවත් මහ පොළව තුළින් ඔබේ රූපයත් දකින්න. පිංවත් ඔබේ රූපය සතර මහ ධාතුවක්‌ වශයෙන් දකිනවා වගේම අන්‍යයන්ගේ රූපත් සතර මහ ධාතුවක්‌ වශයෙන් දකින්න. දෑස්‌ පියාගෙන මේ මුළු රටේම මනුෂ්‍යයින් තිරිසන් සත්වයින් මහ පොළව මත මැරී කුණුවෙන මළකුණු වශයෙන් දකින්න. ඒ මළකුණු නැවත නැවතත් පරිසරය නැමැති සතර මහ ධාතුවට එකතුවෙන හැටි නුවණින් දකින්න. සතර මහ ධාතුව මගේ කරගත් නිසා සකස්‌ කරගත් සංස්‌කාර හේතුවෙන් එම මළකුණුවලට අදාළ සත්වයින් නැවතත් සතර මහධාතුවකටම බැසගන්න ආකාරය මෙන්ම ලෝකය නැවත නැවත අස්‌වැද්දීමට සතර මහ ධාතුව කෙරෙහි ඇතිකරගන්නා තෘෂ්ණාව හේතුවෙන බවත් නුවණින් දකින්න.

පිංවත් ඔබට අවශ්‍ය නම්, ඔබ තෘෂ්ණාවෙන් බැඳී ඇති ඔබේ නිවස ඔබේ සුඛෝපභෝගී වාහනය ඇතුළු අජීවී වස්‌තූන්ද සතර මහ ධාතුවක්‌ හැටියට දකිමින් ඒවා කෙරෙහි තෘෂ්ණාව හීනකොට ගන්න පුළුවන්. පිංවත් ඔබේ රූපය නැමති සතරමහධාතුව රූපලාවන්‍යාගාරයක්‌ නොව කුණුවෙන සතර මහ ධාතුවක්‌මබව දකිමින් ජීවත්වෙන්න. එවිට ඔබ තුළ වැඩෙන්නේ කායානුපස්‌සනාවට අදාළ ධාතුමනසිකාරයයි.

මීළඟට බුදුරජාණන්වහන්සේ කායානුපස්‌සනාවට අදාළව දේශනා කරන්නේ සලායතන භාවනාවයි.

මේ කය ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස වශයෙන් කොටස්‌ හයක්‌ කොට දකින්නය කියලා, ගව ඝාතකයෙක්‌ එළදෙනක්‌ මස්‌ කරලා මස්‌, කටු, බොකු, සම් වශයෙන් වෙන්කොට ගොඩගසා තිබෙන්නා සේ, මේ ආයතනය හය වෙන් වශයෙන් අරගෙන විදර්ශනාවට ලක්‌කරන්නය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

ඇස නිසා ලෝකයේ ලෝකය යන හැඟීම, ලෝකය යන දැනීම ඇතිවෙනවාය කියලා, ඒ වගේම කන, නාසය, දිව, ශරීරය, මනස නිසා ලෝකයේ ලෝකය යන දැනීම, ලෝකය යන හැඟීම ඇතිවෙනවාය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. පිංවත් ඔබ බැඳුනොත් බැඳෙන්නේ ඇසටයි, කනටයි, නාසයටයි, දිවටයි මනසටයි වගේම යම් දවසක නිදහස්‌ වුණොත් නිදහස්‌ වෙන්නේද මේ ආයතන හයෙන්ය කියලාත් උන්වහන්සේ දේශනා කරනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා zමහණෙනි, මම ඔබට සංවරයන්, අසංවරයන් දේශනා කරනවා. පිංවත් ඔබ මන වඩන, ප්‍රිය උපදවන රූප ඇසෙන් දැක, මන වඩන ශබ්ද කනෙන් අසා ඔබ එය පතන්නේ නම්, එහි ගුණ කියන්නේ නම්, ඔබ අසංවර වුණා වෙනවා. ඔබ කුසල් දහමින් පිරිහෙනවා. යමක්‌ ඔබේ නොවේ නම් එය දුරුකරන්න. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස ඔබේ නොවේ. ඒවා වෙනස්‌ වෙනවා. ජරා, ව්‍යාධි, මරණවලට ලක්‌වෙනවා. එම නිසා මේ සලායතන ඔබේ නොවේ යයි දකිමින්, ඒවා කෙරෙහි ඇති තෘෂ්ණාවෙන් මිදෙන්න. බියකරු වූ ලෝකයේ රූපයේ ස්‌වභාවය නුවණින් දකිමින්, සංවරවූ චිත්ත විවේකය, කාය විවේකය ඇතිකරගන්නය’ කියලා.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, මේ ආයතන හය සොරුන් හයදෙනෙක්‌ය කියලා. ඇසත්, බාහිර රූපයත්, විඤ්ඤාණයත් තෘෂ්ණාවෙන් තෙත් වූ තැනදී, මේ සොරුන් හයදෙනා පුළුල් වූ දුකෙන් පිරි සිපිරි ගෙයකට ඔබව කොටුකරනවා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා නිරතුරුවම මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස මැරෙමින් ඉපදෙනවාය කියලා. ඇසේ ස්‌පර්ශය නිසා චක්‌කු විඤ්ඤානය සකස්‌වෙනවාය කියන්නේ ඇස ඉපදෙනවා. ඇසෙන් දැක්‌කා වූ රූපය ගැන සිතනකොට ඇස මැරිලා මනෝ විඤ්ඤානය උපදිනවා. සෑම නිමේෂයකදීම මැරෙමින්, ඉපදෙමින්aa අනාගත ලෝකයට සංස්‌කාර රැස්‌කරදීමයි මේ ආයතන හය නමැති සොරු හයදෙනා සිද්ධ කරන්නේ. මේ සොරු හයදෙනා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්‌පර්ෂ කියන ගෙවල්වලට ඇතුළුවී කරන සොරකම් හේතුවෙන් අපි අනාගතයට දුක අස්‌වද්දනවා.

කායනුපස්‌සනාවට අදාළව ආයතන භාවනාව සිද්ධකරද්දී, ඔබ ඇස්‌දෙක පියාගෙන මනසින් ඔබේ පෙර ජීවිතයට යන්න. ඔබ අනුමාන කරන්න ඔබ පෙර ජීවිතයේදී දෙවියෙක්‌ නැතිනම් දිව්‍යාංගනාවක්‌ය කියලා. පිංවත් ඔබ මනසින්, ඔබට පින නිසාම ලැබුණු සුන්දර වූ දිව්‍ය ඇස, දිව්‍ය කන, දිව්‍ය ශරීරය නුවණින් දකින්න. ඒ සුන්දර දිව්‍ය කනින් ඔබ මනුෂ්‍ය ලෝකයේ හඬ ඇසුවා නුවණින් දකින්න. ඒ දිව්‍ය ඇසින් ඔබ මනුෂ්‍ය ලෝකය දෙස බැලූවා නුවණින් දකින්න. ඒ දිව්‍ය මනසින් මේ රූපයන්ගේ ආශ්වාදය වින්දා මනසින් දකින්න. එවැනි විසිතුරු, සුන්දර දිව්‍ය ඇසක්‌, කනක්‌….

ඒත් ඔබේ පින පිරිහී ඔබ දිව්‍යලෝකයෙන් චුතවෙන කාලය ආසන්න වෙනකොට ඒ දිව්‍ය ශරීරයට දහඩිය දමනවා. දිව්‍ය ශරීරය වැහැරී යනවා, දිව්‍ය ශරීරයේ පළඳා ඇති මල් පරවී යනවා. සළුපිsළි අවපැහැගැන්වී යනවා. ඒ දිව්‍ය ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස විනාශ වී ගිය හැටි, අනිත්‍යභාවයට පත්වූ හැටි නුවණින් දකින්න.

මේ ජීවිතයේදී ඔබේ අම්මාගේ මව්කුසට බැසගත් විඤ්ඤාණ පච්ඡයා නාම රූප කියන ධර්මතාවය නුවණින් දකින්න. නාමරුප පච්ඡයා සලායතන ධර්මතාවය යටතේ පටිච්ඡසමුප්පන්ව ඇසේ, කනේ, නාසයේ, දිව, ශරීරයේ උපත නුවණින් දකින්න. පෙර ජීවිතයේ ඔබ මනුෂ්‍යයෙක්‌ නම්, ඔබ වයෝවෘද්ධභාවයට පත්වෙලා මියගිය හැටි නුවණින් දකින්න. ඇස, කන, නාසය…. ආදියෙහි එම වයෝවෘද්ධ ස්‌වභාවය නුවණින් දකින්න. එම ආයතන මහපොළාවට පස්‌වූ හැටි නුවණින් දකින්න. පෙර ජීවිතයක ඔබ තිරිසන් සතෙක්‌ ලෙස ඉපදිලා, මනුෂ්‍යයෝ ඔබව මරාගෙන මස්‌කර ඔබේ තිරිසන් ඇස, කන, නාසය, දිව, ශරීරය උයාගෙන රසකරමින් අනුභව කළ හැටි…. මේ සලායතනයන්ගේ අනිත්‍යභාවය නුවණින් දකින්න. ඔබ අතීතයේ සක්‌විති රජු ලෙසින් ඉපැදුනු අවස්‌ථාවේ ඔබේ තේජවන්ත ගාම්භීර ආයුෂ, වර්ණ, සැප, බලයෙන් පිරී ගිය ඇස, කන, නාසය, දිව, ශරීරය ගෞරවනීය ආදාහනයකින් අනතුරුව අලුගොඩක්‌ වී, මහපොළොවට පස්‌ව ගිය අයුරු නුවණින් දකින්න. සක්‌විති රජුගේ ඇස, කන, ශරීරයත් වෙනස්‌ වෙනවා. විනාශ වෙනවා. ජරා, ව්‍යාධි, මරණ වලට ලක්‌වෙනවා.

පිංවත් ඔබ දෑස්‌ පියාගෙන ඈත අතීත සංසාර ගමනට සිත යොමුකරලා, ඉපදුනු සලායතන ජරා, ව්‍යාධි, මරණ වලට ලක්‌වූ අයුරු මෙනෙහි කරන්න.

පිංවත් ඔබ දෑස්‌දෙක පියාගෙන ඈත අතීත සංසාර ගමනට සිත යොමුකරලා, ඉපදුන සලායතන ජරා, ව්‍යාධි, මරණවලට පත්වු අයුරු මෙනෙහි කරන්න. අන්ධවූ දෑස්‌, බිහිරිවූ කන්, ගොළුවූ දිව, අංගවිකලවූ ශරීර, රෝගීවූ මනස, ගඳසුවඳ නොදැනෙන නාසය, රස නොදැනෙන දිව නිසා වින්දාවූ දුක්‌ද, ඒ හේතුවෙන් සකස්‌කරගත්තාවූ අකුසල්ද, අකුසල් හේතුවෙන් නැවත වින්aදාවූ දුක්‌ද කමටහනක්‌ කරගන්න.

නාමරූප පච්චයා සළායතන කියන ධර්මතාවය යටතේ ඔබට මේ ජීවිතයේ උරුමවුණ ඇස,කන, නාසය, දිව, ශරීරය, මනසට සිත යොමුකරන්න. ඔබේ අම්මාගේ මව්කුසට මනසින් යන්න. මසින් වටවු ගර්භාෂ කුටියේ රුධිරයෙන් ඕජාවන්ගෙන් හමන දුගඳ, පිළීගඳ නොගැටෙන සිතින් අත්දකින්න. සියුමැලි කලල රූපයේ, අතීතයේ සලායතන්හි ප්‍රතිඵලයක්‌ නිසාම ඉපදුන ඇස, කන, නාසය…….. දෙස නුවනින් බලන්න. ලේ, සැරව තැවරිලා අපිරිසිදුභාවයම උරුමකොටගෙන වැඩෙන සලායතනයන් කෙරෙහි කලකිරීම ඇති කරගන්න. පිංවත් ඔබ මේ ලෝකයට බිහිවෙච්ච වෙලාවේ ශල්‍යගාරයේ හෙදි තුමිය ඔබේ කිරිකැටි දෙපාවලින් ඔසවාගත් රූපය නුවනින් දකින්න.

මේ ඇසෙන් ඔබ ඉස්‌සෙල්ලාම දැක්‌කේ ඔබේ අම්මාවයි. ඔබ ඔය කනෙන් ඉස්‌සෙල්ලාම ඇසුවේ ඔබේ අම්මාගේ කටහඬයි. ඒ අම්මා එදා කොච්චර තරුණ අම්මාකෙනෙක්‌ වෙලා සිටින්න ඇතිද? වර්තමානයේ ඒ අම්මාගේ ඇස, කන, නාසය,……. වයසට ගිහිල්ලා. ලෙඩවෙලා මරණයට පත්වෙලා. අම්මාට තිබුණෙත් ලෙඩවෙන, වයසට යන මැරෙන ඇසක්‌, කනක්‌, නාසයක්‌, ශරීරයක්‌, මනසක්‌. ඒවා නිරතුරුවම ජරා, ව්‍යාධි, මරණයට පත්aවෙනවා. මනසේ සටහන්වී තිබෙන ධර්මරූප මැකීයනවා.

එක අම්මාකෙනෙක්‌ සිටියා ඇය අවුරුදු 80 වයසේදි ඇගේ මනස දැඩිලෙස රෝගී වෙනවා. ඇය තමන්ගේ දරුවන් හඳුනන්නෙ නැහැ. තමන්ගේ පුතෙක්‌ දුවෙක්‌ ගෙදරට එනකොට ඇය කියන්නේ ඔන්න සිඟන්නනෙක්‌ එනවා දොරවහන්න කියලයි. මතකයේ සටහන්වු ධර්මරූප මැකී ගිහින් මනස කියන ආයතනය දුකම උරුම කරදෙනවා.

මේ ඇස කියන්නේ වෙනස්‌වෙන දෙයක්‌. ලෙඩවෙන මැරෙන දෙයක්‌. එක ඇසක්‌ අන්ධවෙලා ඇස්‌දෙකම අන්ධවෙලා අතීත සංසාරයේ අපි කොච්චර ඉපදෙන්න ඇතිද. චක්‌කුපාල මහරහතන් වහන්සේ උතුම් රහත්භාවයට පත්වෙන්නේ ඇස්‌ දෙකම අන්ධකරගෙනයි. අතීතයේ තවත් පුද්ගලයෙකුගේ ඇසක්‌ නිසා කරගත් අකුසලය රහත්වෙන ආත්මභාවයේ විපාකයට එනවා. අප අතීතයේ කළ අකුසල් අනාගතය භව ගමනේ තවත් කොචචරනම් විපාකයට එයිද? කොච්චරනම් අන්ධභාවයන් අපට ලබාදෙයිද? දෑස්‌ අන්ධ මනුෂ්‍යයෙක්‌ දැක්‌කොත් ඒ අන්ධ මනුෂ්‍යයා තුළින් දෑස්‌ පෙනෙන ඔබව දකින්න. ඔහු අන්ධභාවයට පත්වීමට හේතුවූ අකුසල්සංස්‌කාරය රුස්‌වුණෙත් අතීතයේ යම් දවසක ඇස්‌ දෙකක්‌ නින්‍යභාවයෙන් ආත්මීය භාවයෙන් ගැනීම නිසාම බව ඔබ නුවනින් දකින්න. ඔබේම ඔය සුන්දර ඇස්‌දෙක ඔබව අනාගත සංසාරයේ ඇස්‌ අන්ධකෙනෙක්‌ කරනවානම් ඇස කියන රූපය කෙරෙහි බිය ඇතිකරගන්න.

සුභා මහරහත් තෙරණිය භික්‍ෂුණී ශාසනයේ රූමත් භික්‍ෂුණියක්‌. සුභාතෙරණිය විවේකී විහරණයෙන් ගතකරන්න අන්ධවනයට වඩිනවා. අන්ධවනයේම කාමයන්ගේ ආශ්වාදය සොයායන මනුෂ්‍යයෙක්‌ රූමත් සුභාතෙරණිය දැකල ඇයගේ රූපය කෙරහි ලෝභ සිතක්‌ ඇතිකරගන්නවා. ඒ නිසාම ඇයගේ රූපය අයිතිකරගන්න සිතනවා. මේ කාමයෙන් අන්ධවූ මනුෂ්‍යයා සුභාතෙරණියට කියනවා ඔය ඇස්‌දෙක හරිම ලස්‌සනයි ඔය ඇස්‌දෙක මට අයිති කරගන්න ඕනමයි කියල. සුභාතෙරණිය මේ කාමයන්ගෙන් අන්ධවු මනුෂ්‍යයාට කියනවා ඔබ ඔය ඇස්‌දෙකෙන් දැකලා මනසින් සිතල ඇතිකරගත්තාවූ සෑම චින්තනයක්‌ම ඔබට නිරාදුකක්‌ හිමිකරදෙනවා කියලා. ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට පත්වෙන ඇසක්‌, කනක්‌……….. රසගුලාවක්‌ ලෙසදැක්‌කා. මේ මනුෂ්‍යයෝ කෙසේනම් නිරයේ දුක හඳුනාගන්නද?

දුකත් දුකට හේතුවත් නොදන්නා නිසාම මේ කාමාතුර මනුෂ්‍යයා සුභාතෙරණියගේ අවවාදය පිළිගන්නේ නැහැ. අතීතයේ සුභාතෙරණිය ඇස නිසා සකස්‌කරගත් අකුසලයක්‌ විපාකයට පැමිණි නිසාදෝ සුභාතෙරණිය තම ඇඟිලි තුඩුවලින් තම දෑස්‌ දෙක උගුල්ලා මේ කාමාතුර මනුෂ්‍යයාට මෙන්න ඔබ ඉල්ලන ලස්‌සන ඇස්‌දෙක කියල ලේ වැගිරෙන ඇස්‌දෙක දිගුකරනවා. දැන් අන්ධ සුභාතෙරණිය ප්‍රඥාවේ ආලෝකයෙනුයි ලෝකය දැක්‌කේ සුභාතෙරණියගේ දෑස්‌දෙකට ලොල්වූ කාමාතුර මනුෂ්‍යයාට තම පෙනෙන ඇස්‌දෙකෙන් දීර්ඝ නිරයේ දුකකට අවශ්‍ය සාධක සකස්‌කරගෙන පලායනවා. පිංවත් ඔබ, සුභාතෙරණිය තම ඇඟිලි තුඩුවලින් ගලවා කාමතුර මනුෂ්‍යයාට දිගුකළ ඇස්‌ගොබ දෙස නුවනින් දකින්න. රුධිරය, කදුළු බේරෙන, නහරවැල් එල්ලූන, රඹුටන් මදයක්‌වගේ මළ ඇස්‌දෙක නුවනින් දකින්න. මනසින් ඔබේ ඇස්‌ දෙක ගලවා දෝතට ගන්න. දෑස්‌ අන්ධවූ ඔබේ රූපයත් කුණුවීමට අයිති ඇසත් දෙස නුවනින් දකින්න. ඇස්‌ රෝහල, ඇස්‌රෝහලේ රොගීන්, ඇස්‌ රෝග නුවණින් දකිමින් මස්‌ ඇස විදර්ශනාවට ලක්‌කර ප්‍රඥාවේ ඇස මතුකරගන්න. රෝහල් ආශ්‍රිතවම රෝග ආශ්‍රිතවම කමටහන් මතුකරගෙන ආයතන හය කෙරෙහි ජරා, ව්‍යාධි, මරණ ධර්මතාවයන් ඔස්‌සේ කලකිරීම ඇතිකරගන්න. ඇස නිත්‍යභාවයෙන් ගැනීම නිසා සකස්‌වෙන කෙලෙස්‌ වැස්‌ස ඒ කෙලෙස්‌ වැස්‌ස නිසා දිගුවන සංසාර ගමන දකිමින් ආයතන හය කෙරෙහි කලකිරීම ඇති කරගන්න.

දැන් ඔබ ශරීරයට හිත යොමුකරන්න. ශරීරයට පහස සොයායැම නිසාම, අනාගතයේදී ශරීරයම අංගවිකලභාවයට පත්වීමට හැකිබව නුවනින් දකින්න. ඉදීමීම්, පැසවීම්, වනවීම්, තුවාලවීම්, පිළිකා ආදී මේ මස්‌ ගොඩට අදාළ රෝගාබාධ නුවනින් දකින්න. කලල රූපය, ළදරු, ළමා, තරුණ, මධ්‍යම, වයෝවෘධ ශරීරයේ ජරා ව්‍යාධි මරණ ස්‌වභාවය නුවනින් දකින්න. මනසින් එම ශරීරයත් ගලවා බිමට දමන්න. මේ කමටහන් සියල්ල සිතිවිලි ලෙසින් දැක්‌කාවූ මනස දෙස නුවනින් බලන්න. මනස යනු කුමන ඉන්ද්‍රියද යන්න ඔබට ප්‍රශ්නයක්‌ වනු ඇත. මනස යනු ලේ ධාතුවද, හෘද වස්‌තුවද, මොළයද ආදි ප්‍රශ්න, විතර්ක සිර නොවන්න. ප්‍රශ්න විතර්ක ඇතිකරන සිත අනිත්‍ය වශයෙන් දකින්න. එවිට ඔබ දකින්නේ මනසේ අනිත්‍යභාවය බව සිහිපත් කරන්න. මනසේ ඇතිවන ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන්, කාම රාග පටිඝයන් මොන සා නම් කටුක, අමිහිරි දුකක්‌ ඇතිකරනවාද යන්න සිහිපත් කරන්න. මනසේ ඇතිවෙන අලෝභ, අද්වේෂ ධර්මයන්ගේ අනිත්‍යභාවය නුවනින් දකින්න. මනසත්, මනසින්ම ගලවා බිමට දමන්න. දැන් ඔබේ ආයතන හයම බිමට දමලයි තිබෙන්නේ. මනෝමය කයකින්, දැන් ඔබ බිමවැටී තිබෙන ආයතන ගොඩවල් හය දෙස නුවනින් බලන්න. කුණුවීම, නරක්‌වීම, ගඳගැසීම, ඕජාව ගැලීම, නිලමැස්‌සන්ගේ රසැති ආහාරයක්‌ වීම නුවනින් දකින්න.

සලායතන භාවනාව

මේ දෑස්‌ දෙක, කන් දෙක….. ඔබට අයිති නැහැ. එය වෙනස්‌වෙන දෙයක්‌. යම් දවසක මහපොළොවට පස්‌වෙන දෙයක්‌. මහපොළොවේ පස්‌ මිටක්‌ මනසින් දෝතට ගෙන ඔබේ ඇසත්, කනත්….. සමග සංසන්දනයකර දකින්න. කුසල් සංස්‌කාරයක්‌ නිසා භික්‍ෂුවට ලැබුණ ඇස, කන, නාසය ගැන භික්‍ෂුව සතුටුවෙනවා. වර්තමානයේ භික්‍ෂුවගේ ඇස්‌දෙක දුර්වලයි. හතලිස්‌ ඇඳිරියෙන් මෝදුකොටදුන් දුර්වලභාවය කාලයත් සමග තව තවත් දුර්වලකරනවා. භික්‍ෂුව ඇස්‌ දෙක පියාගෙන මේ මහ පොළොව දෙස නුවනින් දකිනවා. අතීතයේ මැරෙමින් ඉපදෙමින් පටිච්චසමුප්පන්නව පැමිණි ගමනේදී මගේම ඇස, කන, නාසය… කියන ආයතනයන්ගෙන් පෝෂණයවුණ මහපොළවත් පසක්‌ ලෙසමයි භික්‍ෂුව දකින්නේ. මහපොළොවට පසට නොඇලෙන්නේ යම්සේද, භික්‍ෂුව ඇස, කන, නාසය…… මත ඇලෙන්නෙ නැහැ.

වෙනස්‌වන ආයතන හයක්‌ නොවෙනස්‌වන ප්‍රඥාවකින් දකින්න භික්‍ෂුවට උපකාරී වූයේ, මේ ආයතන හය දෙස නුවනින් දැකීමමයි. භික්‍ෂුව වර්ෂයේ මුලදී වික්‌ටෝරියා නිවාසයට ධර්මදේශණාවකට වැඩියා. ඒ නිවාසය භික්‍ෂුව දැක්‌කේ සලායතන භාවනාවට අවශ්‍ය කමටහන් තෝ තැන්නක්‌ හැටියට. අතීත භවයක ඉපදුන ඇසක්‌, කනක්‌…….. නිසාම වර්තමානයේ උපන් ඇස, කන….. පීඩාවටපත් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශණාකරනවා ඇස, කන, නාසය, දිව, ශරීරය මනස යනු මාරයාය කියල. මාරයා, මාරයා වශයෙන් හඳුනානොගත් නිසාම රෝගී පිංවතා තවමත් කරුණාව ආදරය රැකවරණය බලාපොරොත්තුවෙනවා. නීරෝගීව උපස්‌ථානය කරන පිංවතා රෝගී උපස්‌ථානය තුළින් තමන්ටත් පින කුසලය බලාපොරොත්තුවෙනවා. ඇසක්‌ නිසා කෙනෙක්‌ දුක්‌ විඳිනවිට තවත් කෙනෙක්‌ ඇසක්‌ ප්‍රර්ථනා කරනවා. ඇසක්‌ දුකක්‌ බව ඔබ අවබෝධ කරගතහොත් දුකත් සැපත් දෙකම ඔබ පරාජයකළා වෙනවා. ඇසක්‌, කනක්‌….. නිසා කෙනෙක්‌ දුක්‌විඳිද්දී පිංවත් ඔබ කළයුත්තේ තවත් ඇසක්‌, කනක්‌….. ප්‍රර්ථනා කිරීම නොව ඇසෙන්, කනෙන්…… මිදීමය. එය කළහැක්‌කේ සලායතන භාවනාව වැඩීම තුළින්මය.

මගුල්දවසේ මනාලියගේ ඇස, කන, නාසය,…….. සරසන්න හැඩවැඩකරන්න රුපියල් ලක්‍ෂගණනක්‌ වියදම් කරනවිට එම මනමාලිssයම පසුවදා මියපරලොව ගියහොත් මෘත ශරීරාගාරයේදී ඇයගේ මළමිනිය පර්යේෂණය සදහා කපන කම්කරු මහත්මයාට එම මනමාලියගේ සිරුරේ පිළිකුල, පිළීගඳ මගහරවාගන්න මත්පැන් සලාකයක්‌ ලබාදෙනවා. නොවටිනා කුණුවෙන රූපයක්‌ තෘෂ්ණාවේ ලංසුවෙන් වෙන්දේසිකරන අපි රූපය නිසාම දුක තුරුළුකර ගන්නවා. නැවත ආයතන හයක්‌ උපද්දවා ගන්නවා.

පිංවත් ඔබ දෑස්‌දෙක පියාගෙන පහසු ඉරියව්වකින් වාඩිවෙලා ඔබේ හිසේ සිට දෙපතුළ දක්‌වා, හොඳින් නුවනින් දකින්න. ඔබේ ඇස්‌දෙක නුවනින්, හොඳින් පරීක්‍ෂාකර බලන්න. කඳුළු, නගන, සුද, කබ, කුණුවීම, නරක්‌වීම, වෙනස්‌වීමට අයත් ඇස දෙස නුවනින් දකිමින් ඇස කෙරෙහි කළකිරීම ඇතිකොටගන්න. දෑස්‌ දෙක මොහොතක්‌ පියාගෙන අන්ධභාවය යනු මොනතරම් කටුක, කළුවර විපාකයක්‌ද යන්න නුවනින් දකින්න. වාර්තමානයේ පෙනීම ලබාදෙන මෙම දෑසම, අනාගත අන්ධභාවයට උපකාරීවනවා නම්, ඇස යනු අනතුරක්‌ය, දුකක්‌ය යන්න නුවනින් දකින්න. මනසින් ඔබේ ඇස්‌දෙක ගලවා බිමට දමන්න. දැන් ඔබ ඔබේ කන දෙස බලන්න. බිහිරිභාවය මොනතරම් කටුක, නිහඬ දුකක්‌ද යන්න නුවනින් දකින්න. කලාඳුරු, පැසවීම. මස්‌දළු ආදී කනට අදාළ රෝගාබාධයන් නුවනින් දකින්න. මනසින් ඔබේ කන්දෙක ගලවා බිමට දමන්න.

දැන් ඔබ නාසය දෙස බලන්න. නාසයට ගඳ,සුවඳ නොදැනෙන, එය හිරවන ස්‌වභාවය මොනතරම් නම් අමිහිරි කටුක දුකක්‌ද යන්න නුවනින් දකින්න. පීනස, සොටුදියර, මස්‌දළු, හුස්‌ම තදවීම්, හිරවීම්, නාසයට අදාළ රෝගාබාධයන් නුවනින් දකින්න. නාසය මැරෙමින් උපදිනවා නුවනින් දකින්න. මනසින් නාසය ගලවා බිමට දමන්න.

දැන් ඔබ දිව දෙස නුවනින් බලන්න. ඔබේ දිවට රස නොදැනී ගියොත්, එය මොනතරම් කටුක , අමිහිරි දුකක්‌ද යන්න සිහිපත් කරන්න. මැලියම්, උෂ්ණ බිබිලි ආදී දිවේ රෝගීභාවයට අදාළ තත්ත්වයන් නුවනින් දකින්න. ගොළුභාවය මොනතරම් කටුක දුකක්‌ද යන්න. වර්තමානයේ දිවේ රසයට ඔබ ගැතිවුණොත්, අනාගතයේ දිව ගොළුවීම අවශ්‍ය සාධක එම දිව තුළම සැඟවී තිබෙන බව නුවනින් දකින්න. මනසින් දිව ගලවා බිමට දමන්න.

දැන් ඔබ ශරීරයට හිත යොමුකරන්න. ශරීරයට පහස සොයායැම නිසාම, අනාගතයේදී ශරීරයම අංගවිකලභාවයට පත්වීමට හැකිබව නුවනින් දකින්න. ඉදීමීම්, පැසවීම්, වනවීම්, තුවාලවීම්, පිළිකා ආදී මේ මස්‌ ගොඩට අදාළ රෝගාබාධ නුවනින් දකින්න. කලල රූපය, ළදරු, ළමා, තරුණ, මධ්‍යම, වයෝවෘධ ශරීරයේ ජරා ව්‍යාධි මරණ ස්‌වභාවය නුවනින් දකින්න. මනසින් එම ශරීරයත් ගලවා බිමට දමන්න. මේ කමටහන් සියල්ල සිතිවිලි ලෙසින් දැක්‌කාවූ මනස දෙස නුවනින් බලන්න. මනස යනු කුමන ඉන්ද්‍රියද යන්න ඔබට ප්‍රශ්නයක්‌ වනු ඇත. මනස යනු ලේ ධාතුවද, හෘද වස්‌තුවද, මොළයද ආදි ප්‍රශ්න, විතර්ක සිර නොවන්න. ප්‍රශ්න විතර්ක ඇතිකරන සිත අනිත්‍ය වශයෙන් දකින්න. එවිට ඔබ දකින්නේ මනසේ අනිත්‍යභාවය බව සිහිපත් කරන්න. මනසේ ඇතිවන ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන්, කාම රාග පටිඝයන් මොන සා නම් කටුක, අමිහිරි දුකක්‌ ඇතිකරනවාද යන්න සිහිපත් කරන්න. මනසේ ඇතිවෙන අලෝභ, අද්වේෂ ධර්මයන්ගේ අනිත්‍යභාවය නුවනින් දකින්න. මනසත්, මනසින්ම ගලවා බිමට දමන්න. දැන් ඔබේ ආයතන හයම බිමට දමලයි තිබෙන්නේ. මනෝමය කයකින්, දැන් ඔබ බිමවැටී තිබෙන ආයතන ගොඩවල් හය දෙස නුවනින් බලන්න. කුණුවීම, නරක්‌වීම, ගඳගැසීම, ඕජාව ගැලීම, නිලමැස්‌සන්ගේ රසැති ආහාරයක්‌ වීම නුවනින් දකින්න.

කුණුවෙන මසට ලොල්වූ සුනඛයෙකු ඔබේ ඇස ගිලදමනවා නුවනින් දකින්න. එය ජීර්ණය වූ එම සුනඛයාගේ අසුචිය තුළින් ඔබේ ඇස දකින්න. ඇස අයිති අසුචියටනම් එවන් ඇස කෙරෙහි අවබෝධයෙන් කළකිරෙන්න. අනිත් ආයතනත් ඉහත ආකාරයටම නුවනින් දකින්න. අවසානයේ මේ ආයතන සියල්ල පොළොවට පස්‌වෙනවා නුවනින් දකින්න. මහපොළොවේ පසත්, ඔබේ රූපයත් සංසන්දනය කර දකින්න. මේ සෑම ආයතනයක්‌ම අතීත, වර්තමාන, අනාගත වශයෙන් ඒවයේ වෙනස්‌වීම නුවනින් දකින්න.

තමන්ගේ ඇස, කන, නාසය…. නුවනින් දකිනවා වගේම, අන්‍යයන්ගේ ඇස කන නාසය …. ඒ ආකාරයෙන්ම විදර්ශනා නුවනින් දකින්න.

භික්‍ෂුව ගිහිකාලයේ මළමිනියක්‌ තැන්පත් කොට තිබූ කොන්ක්‍රීට්‌ වලක්‌ විවෘත කළා. මෙයට වසර දහයකට පෙරාතුවයි එම කොන්ක්‍රීට්‌ වළේ ඒ මිනිය තැන්පත් කොට තිබුණේ. කොන්ක්‍රීට්‌ පියන ඉවතට ගැනීමේදී එම මිනීවළේ තිබුණේ සපත්තු දෙකක්‌ සහ ටයි පටියක්‌ පමණක්‌මයි. දුහුවිල්ලක්‌ බඳු පස්‌ටිකක්‌ තිබුණා. මීට වසර දහයකට පෙර එහි තැන්පත් කළ මළමිනිsය රූපය අනිත්‍යභාවයට පත්වෙන වේගයටම ලක්‌වී පරිසරයට එකතුවී තිබුණා. මැරෙන ඇසක්‌, කනක්‌…. කුණුවෙන ඇසක්‌ කනක්‌…. පරිසරයටම මුහුවෙන ඇසක්‌ කනක්‌ …. දෙස කලකිරීමෙන්ම බලන්න. එවිට පිංවත් ඔබතුළ වැඩෙන්නේ කායනුපස්‌සනාවට අදාළව සලායතන භාවනාවයි.

මීළඟට කායානුපස්‌සනාවට අදාළව බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, මරණානුස්‌සති භාවනාව වඩන්නය කියලා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, අතීත සංසාර භවගමනේ, පිංවත් ඔබ මිය ගිය අවස්‌ථාවන්හිදී, ඔබේ මළසිරුරු එක ගොඩක්‌ ගැසුවහොත්, එම මළමිනීගොඩ ගිඡ්ජකූඨ පර්වතයටත් වඩා විශාලයි කියලා. දෑස්‌ දෙක පියාගෙන, අතීතයේ ඔබ නිසා, පටිච්ඡසමුප්පන්නව ඒ මළකඳන් කන්ද දෙස නුවනින් දකින්න.

තල්මසුන් වෙලා, අලි ඇතුන් වෙලා, සක්‌විති රජවරුන් වෙලා මැරුණු වෙලාවේ ගොඩ ගැසූ මළකඳන් දෙස නුවනින් දකින්න. මේ මොහොතේ මේ සටහන කියවන ඔබ දෙපාතබාගෙන සිටින පුංචි බිම්කඩ, ඔබවම අතීතයේ දසදහස්‌ වතාවක්‌ වළ දැමූ සුසානයක්‌ බව නුවනින් දකින්න. පැමිණි සංසාර භව ගමනේදී, රජවරුන් විසින් ඔබේ හිස ගසා, අත පය කපාදමා, මහ පොළොවේ පණපිටින් වළදමා, එල්ලුම්ගස්‌වල එල්ලලා, යුධභූමිවල සතුරන්ට මැදිවෙලා කොතෙක්‌නම් ඔබව මරාදමන්නට ඇතිද? තිරිසන් සතුන් ලෙස ඉපදිලා, සිංහයන්, කොටියන්, ව්‍යාඝ්‍රයන්, කිඹුලන් කොතෙක්‌ වාර ගණනක්‌ ඔබව අමු අමුවේ මරාගෙන කන්න ඇතිද? මහා සාගරයේ පුංචි මාළු ලෙස ඉපදිලා, කොතෙක්‌ නම් ලොකු මාළු අපිව ගිළ දමන්නට ඇතිද? නයි පොළොඟුන්ගේ දෂ්ඨ කිරීම්වලට මැදිවෙලා කොච්චර නම් මිය යන්න ඇතිද? ස්‌වභාවික විපත් වලට මැදිවෙලා කොතෙක්‌ නම් පණ පිටින් වැළලී යන්න ඇතිද? මරණානුස්‌සතියේ අතීත පංචඋපාදනස්‌කන්ධය නුවනින් දකින්න. මව්කුසේදීම ගබ්සාවන්ගෙන් කොතෙක්‌ අපි මියයන්නට ඇතිද? උපතත් සමග පටිච්ඡසමුප්පන්නව ගැටගැසුණු මරණය, උපතේ නිරෝධයෙන් නිරෝධය වී යන ස්‌වභාවය නුවනින් දකින්න.

පිංවත් ඔබ මොහොතක්‌ මනසින් මියයන්න. ඔබේ මළකඳ මල් ශාලාවේ එම්බාම් කරනවා නුවනින් දකින්න. ඔබගේ දේහය මල් සැරසිලි මැද නිවසේ සාලයේ තැන්පත්කොට තිබෙනවා නුවනින් දකින්න. ඥාතීන් හඬාවැලපෙන හැටි මෙන්ම ඥාතීන් දුක්‌ නොවන හැටිත් නුවනින් දකින්න. ඔබේ මළකඳ ඥාතීන් විසින් ඔසවාගෙනගොස්‌ සොහොනට දමනවා නුවනින් දකින්න.

භික්‍ෂුවට මටකයි වනගත කුටියක වැඩ සිටින කොට පිණ්‌ඩපාතයට වඩින මාර්ගය අද්දර ලොකු හරකෙක්‌ මැරිලා හිටියා. පළමු දවසේ හරක්‌ මළකුණ අසල කිසිම භාහිර සලකුණක්‌ තිබුණේ නැහැ. දෙවැනි දවසේ භික්‍ෂුව පිණ්‌ඩපාතයේ වඩිනකොට එම හරක්‌ මළකුණ හොඳින් ඉදිමී මළ හරකාගේ කකුල් එසවී තිබුනා. භික්‍ෂුව පිණ්‌ඩපාතය වැඩිය තුන්වැනි දවසේදී හරක්‌ මළකුනේ උදරය ප්‍රදේශයේ පෙරදා රාත්‍රියේ නරියන් බල්ලන් විසින් ඉරාගෙන කා දමා තිබුණා. උදේවරුවේ මළකුණට වහ වැටුණු ගමේ බල්ලෝ දහදෙනෙක්‌ පමණ කුණු මස්‌ගොඩ ඉරාගෙන මළකුණ අසල ලැගගෙන කුණු මස්‌වල රස බලමින් සිටියහ. සමහර බල්ලෝ කුණු මස්‌වලින් කුස පුරවාගෙන මත්වී වැගිරී සිටියා. හතරවෙනි දවසේ පිණ්‌ඩපාතය වඩිනකොට හුලං බැස ගිය බෝලයක්‌ සේ හරක්‌ මළකුණ හැකිලී තිබුණා. මේ දින කිහිපයේම හරක්‌ මළකුණේ දුගඳට වහවැටුණ නිල මැස්‌සන් මරාගෙන කන්න සුදු කොක්‌කු රෑනක්‌ නිරතුරුවම හරක්‌ මළසිරුර අසළ ගැවසෙමින් සිටියා. පස්‌වෙනි දිනය වන විට මළ හරකාගේ සමවත්, ඇටකැබලිවත් එතැන ඉතිරිව තිබුණේ නැහැ. අවසානයේ හරක්‌ මළකුණ පෙර ජීවිතයේ ශිල්ප ද නොරැක්‌ක, දන් නොදුන් පවෙන් තිරිසන් සතුන් බවට පත්වූ නරියන්ගේ, බල්ලන්ගේ, කබරයින්ගේ අමාශයේ තැන්පත් වී අසුචියක්‌ බවට පත්වුණා. මළ හරකාගේ අනිත්‍යභාවයට පත් වූ ආයුෂ, වර්ණය, සැපය, බලය ජීවත්ව සිටින සතුන්ගේ, අනිත්‍යවන ආයුෂ, වර්ණ, සැපය, බලය බවට පත්වුණා. දින කිහිපයක්‌ යනතුරු වෙල් යායේ තැන් තැන්වල මළ හරකාගේ ඇටකැබලි බල්ලන් විසින් නැවත නැවත ලෙවකනවා දැක්‌කා. ඉහතින් සඳහන් කළේ, හරක්‌ මළකුණට වෙච්චි ස්‌වභාවික සිද්ධියක්‌.

භික්‍ෂුව දෑස්‌ පියාගෙන, මොහොතක්‌ මෙනෙයි කළා…. මේ තැන හරකෙක්‌ නොව, භික්‍ෂුව මැරී සිටියානම්, භික්‍ෂුවගේ මළසිරුරට අත්වන ඉරණමත් මේකමයි. ඉහත සටහනට අනුව, පිංවත් ඔබගේ මළසිරුර අමුසොහොනකට, සුදාන භූමියකට ගිහින් දැම්මොත්, එම මළකුණට අත්වෙන ඉරණම නුවනින් දකින්න. එම මළකුණ ඉදිමී, නරක්‌ වී, කුණු වී සතුනට ආහාරයක්‌ වන හැටි, එහි පිළිකුල, දුර්ගන්ධය, අදාලභාවය, බියකරුභාවය නුවනින් දකින්න. අවසානයේ මේ මළකුණ මහපොළොවට පස්‌වී, වාතයට මුසුවී, සතරමහා ධාතුවට එක්‌වෙන හැටි නුවනින් දකින්න. එම මළමිනියට කවන, පොවන, නාවන, ඇඳුම් අන්දවන ස්‌වභාවය නුවනින් දකින්න. මරණානුස්‌සතිය වැඩීමේදී පිංවත් ඔබට බියක්‌ ඇතිවේ නම්, එම බියත් සිතක්‌ ලෙසින් හඳුනාගනිමින් එම සිත අනිත්‍යභාවයෙන් දකින්න.

මරණානුස්‌සතිය ගැන සටහන් තබනකොට, භික්‍ෂුවට මත් වුණා අතීතයේ මරණානුස්‌සතිය වැඩීමට ගිය ස්‌වාමීන්වහන්සේනමකට වෙච්ච අකරතැබ්බක්‌. බුදුරජාණන්වහන්සේගෙන් කමටහන් අරගෙන මේ ස්‌වාමීන්වහන්සේ අමුසොහොනකට යනවා, මරණානුස්‌සතිය වඩන්න. එදා සවස අමුසොහොනට ගෙනත් දමපු තරුණියකගේ මළකුණක්‌ ඉදිරිපිට වාඩිවෙලා මේ ස්‌වාමීන්වහන්සේ තරුණියගේ මළකුණ අරමුණු කරමින් මරණානුස්‌සතිය වැඩුවා.

‘තුච්ඡසිත, අවිචාරවත් සිත තරුණියගේ මළකඳ තුළිනුත් මා තුළ රාගය ඇති කළා. මට තවදුරටත් එතැන රැඳෙන්න පුළුවන්කම ලැබුණේ නැහැ. මම එතැනින් ඉවත් වුණා. රාගයේ තුච්ඡභාවය, අස්‌වාභාවික ස්‌වභාවය අරමුණුකොටගෙන මම වීර්යයෙන් භාවනා කළා. මම රාගය පරාජයට පත්කළා’ කියලා ඒ ගෞරවනීය ස්‌වභාමීන්වහන්සේ උතුම් අරිහත්භාවයට පත්වීමෙන් අනතුරුව සිංහනාදයක්‌ කරනවා.

ධුතාංග ශීලයට අදාළව සුසානභූමියේ වාසය කිරීම ද ධුතාංගයක්‌ වෙනවා. මරණානුස්‌සතිය, ජීවත්වෙන ජීවත් කරන මේ රූපය කෙරෙහි කළකිරීමත්, නැවත උපතක්‌ කෙරහි කළකිරීමත් ඇති කොට දෙනවා. පිංවත් ඔබ මැරෙන්න බිය නම්, මරණය ගැන සිතන්න බිය නම් අනිවාර්යයෙන්ම ඊළඟ උපත පිළිබඳ ඔබ ඔබටම සහතිකයක්‌ ලබාදෙනවා. පිංවත් ඔබ මරණයකට ගෞරවය දැක්‌වුවා, බුහුමන් දැක්‌වුවා වෙන්නේ, ශෝකප්‍රකාශ කරමින් හඬා වැලපෙමින් නොව, එම මරණය මෙනෙහිකොට මොහොතක්‌ හෝ මරණානුස්‌සතිය වැඩී මෙන්මය.

පිංවත් ඔබ දෑස්‌ පියාගෙන මොහොතක්‌ ඔබේ ගමේ සෑම මනුෂ්‍යයෙක්‌ම මළකඳන් කොට දකින්න. දෙවැනුව නගරයේ රටේ සැම මනුෂ්‍යයෙක්‌ම මළකඳන් කොටදකින්න. ඒ මළකඳන්ගොඩ නරක්‌වෙනවා, කුණුවෙනවා, ඕජාව ගලනවා, දුර්ගන්ධය පැතිරී යනවා නුවනින් දකින්න. මළදරුවෙක්‌ කරගසාගෙන, මළකුණකට ජීවය යදිමින් නුවරක්‌ පුරා නොමළ ගෙයකින් අබඇට සොයමින් ගිය කිසාගෝතමියට බුදුරජාණන්වහන්සේ ලබාදුන් කමටහන නිරතුරුවම ඔබේ කමටහන කරගන්න.

භික්‍ෂුව ඉහතින් සටහන් කළේ කායානුපස්‌සනාවට අදාළව මරණානුස්‌සති භාවනාවයි.

බුදුරජාණන් වහන්සේ කායානුපස්‌සනාවට අදාළව මීළඟට දේශනා කරන්නේ ඇවිදිනකොට, හාන්සිවෙනකොට, නිදාගන්නකොට කය තුළින් ක්‍රියාත්මක වන ඉරියව් කෙරෙහි නුවණින් දකින්නය කියලා. තමා තුළින්ම ක්‍රියාත්මක වන ඉරියව් නිසා මොනතරම් ඇලීම් ගැටීම් අපි සකස්‌ කර ගන්නවාද? මහපාරක, නගරයක ගමන් කරන කොට, මගී තදබද අවස්‌ථාවක, බස්‌නැවතුමක, දුම්රියපළක ක්‍රියාත්මක වන මනුෂ්‍යයා තුළින් ඇතිවන ඉරියව් කෙරෙහි අවධානය යොමු කරන්න. මේ සෑම මනුෂ්‍ය කයක්‌ තුළින්ම ඇතිවන ඉරියව්, අනිත්‍ය වූ සිතක්‌ නිසා සකස්‌ වෙන, අනිත්‍යභාවයට පත්වන ඉරියව්වක්‌ පමණක්‌මයි. වේදිකාවක පැයක කාලයක්‌ වේගවත් කතාවක්‌ කරන දේශපාලන මහත්මයෙක්‌, මහත්මියක්‌ සිහියට නඟාගන්න. එක පැයක්‌ තුළ එම මහත්මයා, මහත්මිය මොනතරම් නම් ඉරියව් මතුකොට දක්‌වනවද. එම ඉරියව්වලට බැඳීම නිසා, එම ඉරියව් නිත්‍යභාවයෙන් ගැනීම නිසා තමනුත්, අනුනුත් මොනතරම් නම් සංස්‌කාරයන් රැස්‌කොට ගන්නවාද? අවසානයේ අපි කුමකටද බැඳී ගිහින් තිබෙන්නේ. අනුන්ගේ අනිත්‍යභාවයකට පත්වෙන පංච උපාදානස්‌කන්ධයකට. ඒ නිසාම සකස්‌වෙන ඉරියව් කයකට.

සිනමා තිරයක්‌ මත, රූපවාහිනි තිරයක්‌ මත ක්‍රියාත්මක වන චරිතයක්‌ තුළින් අපි මොනතරම් එකිනෙකට වෙනස්‌ ඉරියව් දකිනවාදඋ ඒවාට මොනතරම් බැඳී යනවාද, ගැටෙනවාද. කුමක්‌ නිසාද ඔබ ඇලීම් ගැටීම් සකස්‌ කොටගෙන තිබෙන්නේ. අනුන්ගේ අනිත්‍ය වන ඉරියව් කයක්‌ නිත්‍යභාවයෙන් ගැනීම නිසා.

උපතිස්‌ස, කෝලිත කියන තරුණයන් දෙදෙනා දකිනවා, වේදිකාවේ රඟපාන රංගන ශිල්පීන් ප්‍රදර්ශනය කරන්නේ අනිත්‍ය වූ ඉරියව් කයක්‌ය කියලා. කෙනෙක්‌ අනිත්‍යවූ ඉරියව් කයක්‌ පෙන්නලා තිරයෙන් පසුපසට යනවා. ඊළඟට තව කෙනෙක්‌ ඒ දෙයම නැවත කරනවා. අනුන්ගේ ඉරියව් කයක්‌ නිත්‍යභාවයෙන් ගැනීම නිසාම අපි භවයට අදාළ සංස්‌කාරයන් රැස්‌කරනවා කියලා එම තරුණයන් දෙදෙනා දකිනවා.

කෙනෙක්‌ අතපය විසිකිරීම නිසා, වේගයෙන්, සෙමෙන් ගමන් කිරීම නිසා, ඔරවා බැලීම නිසා, ඇසක්‌ පොඩිකොට බැලීම නිසා, ශරීරයේ රිද්මය මතුකොට පෙන්වීම නිසා, අපි මොනතරම් නම් ඇලීම් ගැටීම් ඇති කොටගෙන තිබෙනවාද.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාන්තාව හිඳින්නීද, ඇවිදින්නීද, නිදන්නීද, ඔරවන්නීද, රවන්නීද, රඟන්නීද, ගයන්නීද, නාන්නීද… එය කාමයන්ම සකස්‌ කොට දෙනවාය කියලා. පිංවත් ඔබත් මොහොතක්‌ නුවණින් දකින්න. සමාජය තුළ ජීවත්වීමේදී ඉහත ඉරියව්වලට ඔබ මොහොතක්‌ හෝ ඇලීම් ගැටීම් සකස්‌ කොටගෙන තිබෙනවා නේද? බුදුරජාණන් වහන්සේ භික්‍ෂු ප්‍රාතිමෝක්‍ෂයේදී කාන්තාව දක්‌වා ඇත්තේ භික්‍ෂූන් විසින් මඟහැර යායුතු ධර්මතාවක්‌ වශයෙන්. මොකද කාන්තාවගේ ඉරියව් කය නිරතුරුවම කෙළෙස්‌ ධර්මයන් සකස්‌ කොට දෙනවා. එය පිංවත් කාන්තාවන්ගේ වරදක්‌ නොව, ලෝකයේ පැවැත්ම උදෙසා කාන්තාව උපතින්ම උරුමකොට ගෙන පැමිණෙන ධර්මතාවක්‌.

භික්‍ෂු ප්‍රාතිමෝක්‍ෂයට අදාළ සතර පාරාජිකාවන්ට, කාමයේ වරදවා හැසිරීමේ ශික්‍ෂාපදය බුදුරජාණන් වහන්සේ පනවන්නේ සුදන්න කියන උපසම්පදා භික්‍ෂූන් වහන්සේ, තම ගිහිකාලයේ බිරිඳගේ ඉරියව් කයට මුළාවී, රැවටී, එම ඉරියව් නිත්‍යභාවයෙන් ගැනීම නිසා සකස්‌ කොටගත් බරපතළ කාමය වරදවා හැසිරීමේ අකුසලය හේතුවෙනුයි. කාන්තාවගේ ඉරියව් කයක්‌ නිත්‍යභාවයෙන් ගැනීම නිසාම, සුදන්න භික්‍ෂුව අපායගාමී අකුසලයක්‌ සිදුකොට ගත්තා. උපසම්පදා භික්‍ෂුවකට කාන්තාව ගින්දරක්‌මයි. එම ගින්දරට සුදන්න භික්‍ෂුව තවමත් නිරයේ දැවෙනවා.

ඉරියව් භාවනාව ගැන සඳහන් කරනකොට, පිංවත් කාන්තා පක්‍ෂය නිරතුරුවම ස්‌වාමීන් වහන්සේලා ඉදිරියේ බොහොම සංවරව, ඇඳුමෙන් පැළඳුමෙන්, කතාබහෙන්, හැසිරීමෙන් තම ඉරියව් පැවැත්වීම කළ යුතු වෙනවා. තමාගේ හෝ අනුන්ගේ ඉරියව් නිත්‍යභාවයෙන් ගත හොත් එය භවය අස්‌වැද්දීම උදෙසාමයි හේතුවෙන්නේ. ඉරියව් කයක්‌ය කියන්නේ සිතක්‌. සිතක්‌ කියන්නේ අනිත්‍යවූ ධර්මතාවක්‌. අනිත්‍ය වූ දෙයක්‌ ඔබ, ඔබේ කොටගත් තැනදී ඔබ දුකටයි බැඳී යන්නේ. මින්පසුව අනුනගේ වේවා, තමන්ගේ වේවා, ඉරියව් ක්‍රියාත්මක වන සෑම මොහොතකම ‘සිතක්‌’ කියලා දකින්න. අනිත්‍යවූ සිතක්‌ය, අනිත්‍ය වන යන ඉරියව් කයක්‌ය කියලා දකින්න.

රාත්‍රි ඔබ නින්දට යැමේදී, මුළු දවස පුරාම ක්‍රියාත්මක වූ ඔබේ ඉරියව් ස්‌වභාවයන්, පිංවත් ඔබ දැක්‌කාවූ අනුන්ගේ ඉරියව්වල ස්‌වභාවයන් නුවනින් දකින්න. එම ඉරියව්, තමාටවත් අනුන්ටවත් අයිති නැති, වෙනස්‌ වන සිතක්‌ පමණක්‌ම බව දකින්න.

තරුණ කාලයේ අනුන්ගේ ඉරියව් අපේ කරගෙන, අපි කොච්චර නම් සිහින මාලිගා මවලා තිබෙනවද? එවැනි ඉරියව් කයක්‌ අයිතිකොටගන්න මොන තරම් සැලසුම් කරලා තිබෙනවද? පිංවත් ඔබ ළඟ සිටින ඔබේ බිරිඳ, සැමියා අතීතයේ ඉරියව් කයක්‌ දැකලා, ඉරියව් කෙරෙහි තෘෂ්ණාවෙන් ඇතිකොටගත් බැඳීමක්‌ නේද?

අතීතයේ අනිත්‍ය වූ ඉරියව් කෙරෙහි බැඳුණා වූ ඒ බැඳීම, සංසාරය තව කොතෙක්‌ නම් දීර්ඝ කරයිද? අතීතයේ ඔබ සක්‌විති රජු වෙලා ඉපදුණු වෙලාවේ ඔබේ ඉරියව් මොනතරම් පෞරුෂවත්, ගාම්භීර, ප්‍රසන්න බවකින් යුක්‌ත වන්නට ඇති ද? අතීතයේ ඔබ දෙවියෙක්‌, දිව්‍යාංගනාවක්‌ වෙලා ඉපදුණු වෙලාවේ ඔබේ ඉරියව් කය මොනතරම් රිද්මයක්‌, ලාලිත්‍යයක්‌, මටසිළුටු බවක්‌. ප්‍රසන්න බවක්‌ තිබෙන්නට ඇතිද?


අතීතයේ ඔබ තිරිසන් සතෙක්‌ වෙලා ඉපදුණු අවස්‌ථාවේ ඔබේ ඉරියව් කය මොනතරම් වේගවත්ව ක්‍රියාත්මක වන්න ඇතිද? ඔබ ප්‍රේතයෙක්‌ව ඉපදුණු අවස්‌ථාවේ ඔබගේ ඉරියව් කය මොනතරම් අප්‍රසන්න, අපුල වෙන්න ඇතිද? අනිත්‍ය වූ ඉරියව් කයක්‌ නිසා ඔබත් අනුනුත් මොන තරම් ඇලීම් ගැටීම් ඇති කොටගන්න ඇතිද?

ඉරියව්වක්‌ නිත්‍යභාවයෙන් ගැනීම තුළ, දුකෙන් පිරි භවයක්‌ නිර්මාණය කොට ගැනීමේ ශක්‌තිය තිබෙන බව නුවණින් දකින්න. කෙනෙකු ඇඟිල්ලක්‌ දිගු කොට කථා කළා කියලා, කෙනෙක්‌ ඔරවා බැලුවා කියලා එම අනුනගේ ඉරියව්ව කෙරෙහි ගැටී, මීනීමරාගන්න, බන්ධනාගාරගත වෙන, එල්ලුම් ගස්‌ යන මනුෂ්‍යයෝ කොපමණක්‌ නම් සමාජයේ සිටිනවාද? පුංචි ඉරියව්වක්‌ විසින් දුක්‌ ගොඩාක්‌ අපට උරුමකොට දෙනවා.

සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනාවක්‌, දස පාරමී ධර්මයන් සම්පූර්ණ කිරීමේ ශක්‌තියෙන්, දෙතිස්‌ මහා පුරුෂ ලක්‍ෂණයන්ගෙන් පරිපූර්ණ වූ බුදුරජාණන් වහන්සේගේ ඉරියව් කය මොන තරම් නම් සුන්දර, ශාන්ත නිවුණා වූ නික්‌ලේශී ඉරියව් කයක්‌ද. බුදුරජාණන්වහන්සේ උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කොටගෙන සුද්ධෝදන රජතුමාගේ ආරාධනයෙන්, ප්‍රථම වතාවට කිඹුල්වත් නුවරට වඩින අවස්‌ථාවේදී, බුදුරජාණන්වහන්සේ නගරය දෙසට වඩිනවා දැකලා රාජපුරුෂයන් රජතුමාට සැළකරනවා ‘රජතුමනි, දෙවියෙක්‌ ද නොවන, බ්‍රහ්මයෙක්‌ ද නොවන, මනුෂ්‍යයෙක්‌ ද නොවන, ගාන්ධර්වයෙක්‌ ද නොවන, අමුතුම සත්ත්වයෙක්‌ කිඹුල්වතට පාගමනින් පැමිණෙනවා’ කියලා. දැක්‌කා, ඇසුණා, දැනුණා කියන නැවතී නිවුණුq සිතින්, නිවුණුq ඉරියව් පැවැත්වූ බුදුරජාණන් වහන්සේගේ සංසිඳුණු ඉරියව් කය දෙස මොහොතක්‌ නුවණින් බලන්න. එලෙස සංසිඳුනා වූ ඉරියව් කයකුත් අනිත්‍ය වී ගියහැටි නුවණින් දකින්න. එලෙස අනිත්‍යභාවයට පත්වූ බුදුරජාණන්වහන්සේගේ ඉරියව් කය, නිත්‍යභාවයෙන් ගැනීම නිසා අපි තවමත් භවය උදෙසා කුසල් සංස්‌කාරයන් රැස්‌කරන හැටි නුවණින් දකින්න. බුදු රජාණන්වහන්සේගේ නික්‌ලේශී ඉරියව් කයට ගැටී තව කෙනෙක්‌ අකුසල් රැස්‌කරගන්නා ආකාරය නුවණින් දකින්න. දේවදත්ත හාමුදුරුවන්ගේ තෘෂ්ණාවෙන් පෝෂණය වුණු ඉරියව් කය ඔහුටත්, අනුන්ටත් මොනතරම් අකුසල් රැස්‌කොට දුන්නාද? දේවදත්ත හාමුදුරුවන්ගේ තෘෂ්ණාවෙන් තෙත්වුණු ඉරියව් කයට රැවටුණු අජාසත්ත රජතුමා, අවීචි මහා නිරයට වැටෙනවා. අනුන්ගේ ඉරියව් කයක්‌ මගේ කරගැනීම නිසා අජාසත්ත රජු විනාශයට පත්වුණා. ඵස්‌සය තෘෂ්ණාවෙන් තෙත්කිරීම හේතුවෙන් සකස්‌ වෙන පංචඋපාදානස්‌කන්ධය වේගවත් වෙනකොට මනුෂ්‍යයාගේ ඉරියව් කයද වේගවත් වෙනවා.

දෑස්‌ පියාගෙන මොහොතක්‌ මෙනෙහි කරන්න. දවස පුරාවට ඔබ මොකක්‌ද කරමින් සිටින්නේ. තමන්ගේ අනිත්‍යභාවයට පත්වන ඉරියව් කයක්‌, අනුන්ගේ අනිත්‍යභාවයට පත්වෙන ඉරියව් කයක්‌ නිසා ආශ්වාදයට බැඳීම නේද? ඒ බැඳීයන සෑම ආශ්වාදයකටම පසුපසින් ආදීනවයන් තිබෙනවා නේද? සංවර වූ, හික්‌මුණා වූ ඉරියව් කය, චිත්ත සමාධියට ඖෂධයක්‌ම වෙනවා.

පිංවත් ඔබ, ඔබේ ඉරියව් පැවැත්වීම දෙස හොඳින් සිහියෙන් සිටින්න. ඇවිදිනකොට, හාන්සි වෙනකොට, නිදාගන්නකොට, ගෙදර වැඩකරනකොට, සිටගෙන සිටිනකොට, නිරතුරුවම ඉරියව් ගැන සිහියෙන් සිටින්න. එම ඉරියව් අනිත්‍ය වන බව නුවණින් දකින්න. උදේ සිට රාත්‍රිය වන විට ඔබ මොනතරම් ඉරියව් පවත්වන්නට ඇතිද? ඒ සෑම ඉරියව්වක්‌ම මොහොතකින් අනිත්‍යභාවයට පත්වුණා. අනිත්‍ය වී ගිය ඉරියව් කය දෙස නැවත නැවත නුවණින් දකින්න. පිංවත් ඔබගේ ඉරියව් වගේම, අන්‍යයන්ගේ ඉරියව් කයත් අනිත්‍ය වන හැටි නුවණින් දකින්න.

වටපිට බලනකොට, අතපය දිගහරිනකොට, ආහාර අනුභව කරනකොට, වැසිකිළිs කැසිකිළි කරනකොට, හොඳ සිsහියෙන් යුතුව, කරනදෙය දකිමින් සිදුකරන්න. ඉරියව්වල අනිත්‍යභාවය දකිමින් සිහියෙන් ජීවත්වෙනකොට, බාහිර අරමුණු සිතට පැමිණීමේ ඉඩකඩ ඇහිරී යනවා. ඒ නිසා කෙළෙස්‌ ඉපදීම අඩු වෙනවා. ඒ හේතුවෙන් සමාධිමත් සිතක්‌ ඇතිවෙනවා. ඒ සමාධිමත් සිත, මේ කය නිරතුරුවම වෙනස්‌වෙන ඉරියව් කයක්‌ය කියන කාරණය පිළිබඳ විදර්ශනා නුවණ ඇති කර දෙනවා.

සමහර පිංවතුන් ඉරියව් වෙනස්‌ කරනකොට ‘මම නැඟිටිනවා’ ‘මම හාන්සිවෙනවා’ ‘මම ආහාර ගන්නවා’ වශයෙන් දකිනවා. මෙතැනදි පිංවත් ඔබ මේ ‘මම’ කියන දැකීමෙන් බැහැරවෙන්න ඕනේ. ‘මම’ කියන සංඥාව වැඩුණොත්, ‘මම’ කියන ආත්මීය සංඥාව ඔබ තුළ වැඩෙනවා. ඒ නිසා සෑම මොහොතකම, අනිත්‍යවූ ඉරියව්වක්‌, ‘අනිත්‍යවූ ඉරියව් කයක්‌ය’ වශයෙන් දකින්න දක්‍ෂ වෙන්න. ‘මම’ කියලා සිතුවිල්ලක්‌ සකස්‌ වෙන මොහොතේම, එම සිත අනිත්‍ය වශයෙන් දකින්න.

කායානුපස්‌සනාවට අදාළව රූපය විදර්ශනාවට ලක්‌ කරන ආකාරයයි, භික්‍ෂුව සතර සතිපට්‌ඨාන ධර්මයට අදාළව ඉහතින් සටහන් කළේ. රූපය දෙතිස්‌ කුණපයක්‌, සතර මහා ධාතුවක්‌, ආයතන හයක්‌, මරණයක්‌, ඉරියව් කයක්‌ හැටියට විදර්ශනා නුවණින් දකින්න සෑම මොහොතකම උත්සාහ ගන්න. ඉහත භාවනාවන් සිදුකිරීමට එරමිණියා ගොතාගෙන ඉන්නම අවශ්‍ය නැහැ. එසේ පුළුවන් නම් එය වඩාත් හොඳයි. ඔබට සුදුසු ඉරියව්වක සිටිමින්, ඉහත කාරණාවන් ඔබේ රූපයට අදාළව නුවණින් මෙනෙහි කරන්න. පිංවත් ඔබ ලබන විවේකය විදර්ශනා සිතක්‌ උදෙසා ආයෝජනය කරන්න. කායානුපස්‌සනාවට අදාළව රූපය දකින කෙනා, රූපය ආත්මයක්‌ කොටගන්නේ නැහැ. රූපය තම වසඟයේ පවත්වාගත හැකි දෙයක්‌ කරගන්නේ නැහැ. මා තුළ රූපය හෝ රූපය තුළ මම, රූපය තුළ ආත්මයක්‌, ආත්මය තුළ මම, සිටිනවාය කියලා දකින්නේ නැහැ. රූපයක්‌ තිබුණොත් එතැන මාරයා සිටිනවා. පටිච්චසමුප්පන්නව මැරෙන කෙනෙක්‌ එහෙම නැතිනම් මරවන කෙනෙක්‌ සිටිනවා. එම නිසා රූපය, ලස්‌සන, රසයක්‌, සැපයක්‌ වශයෙන් නොව, රෝගයක්‌, සැරව ගෙඩියක්‌, හුලක්‌, පීඩාවක්‌, සර්පයෙක්‌, අසූචිකළයක්‌ ලෙසින් දකින්න කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. මේ ආකාරයෙන් පිංවත් ඔබ රූපය දකීනම්, රූපය කෙරෙහි මැනවින් කලකිරීම ඇතිවෙනවා. කලකිරීම හේතුවෙන් අතහැරීම ඇතිවෙනවා. අවබෝධයෙන් අතහැරීම හේතුවෙන් රූපයෙන් නිදහස්‌ වීම සිද්ධ වෙනවා.

(කායානුපස්‌සනාවට අදාළ කොටස මෙතැනින් නිම වේ)

සතිපට්ඨානයට එළැඹීම

භික්‍ෂුව ධර්මදේශනා පවත්වන දිනවල අහම්බෙන් මුණගැසුණු වැදගත් මහත්මයෙක්‌ භික්‍ෂුවට බොහෝම ගෞරවයෙන් ප්‍රකාශ කළා ‘ස්‌වාමීන්වහන්ස, ඔබවහන්සේ වෙහෙසෙනවා වැඩියි. ඔබවහන්සේට ඔබවහන්සේගේ අගය නොතේරුණාට අපට එය තේරෙනවා. අපිට අවශ්‍යයි ඔබවහන්සේව තව අවුරුදු පනහක්‌ ජීවත්කරවගන්න’ කියලා. භික්‍ෂුව නොසිතූ මොහොතක, නොසිතූ අදහසක්‌ ඉදිරිපත් කළ එම මහත්මයාට භික්‍ෂුව ප්‍රකාශ කළේ ‘මහත්තයෝ, ඒ අවුරුදු පනහ මහත්තයා අරගෙන දීර්ඝායුෂ විඳින්න. භික්‍ෂුවට නම් අවශ්‍ය ඊළඟ නිමේෂයේදී නිදහසේ ඇස්‌ දෙක පියාගන්න’ කියලා. ඒ පිළිතුරෙන් එම මහත්මයා සෑහීමකට පත්වුණේ නැහැ. අපි කොච්චර සද්ධර්මය ශ්‍රවණය කළත් සද්ධර්මය අනුව සිතන්න දක්‍ෂ නැතිනම්, ධර්මයට පටහැනිවයි, ලෝකය දකින්නේ. බුදුරජාණන්වහන්සේ අවුරුදු අසූව වයසේදී ආයු සංස්‌කාරය අත්නොහැර, අවශ්‍යනම් එකල පැවැති පරමායුෂය වන අවුරුදු එකසිය විස්‌සක්‌ ජීවත්වීමට අවකාශ තිබුණා. නමුත් බුදුරජාණන්වහන්සේ පිරිනිවී යනවා. ඒ උතුම් පිරිනීවීමත් මංගල්‍යයක්‌ම වූ සම්මා සම්බුද්ධ ශාසනයක සාරිපුත්ත මහරහතන් වහන්සේ තම මෑණියන් වන සාරි බැමිණිය ජීවතුන් අතර සිටියදීම පිරිනිවී යනවා. ඒ උතුම් පිරිනිවීමත් මංගල්‍යයක්‌ම වූ ශාසනයක, බුදුරජාණන් වහන්සේත්, යශෝධරා උත්තමාවියත් ජීවතුන් අතර සිටියදීම රාහුල මහෝත්තමයාණන් වහන්සේ වයස අවුරුදු 53දීම පිරිනීවි යනවා. ඒ උතුම් පිරිනිවීමත් මංගල්‍යයක්‌ වූ ශාසනයක, මුගලන් මහරහතන් වහන්සේත් සොරුමුළකට හසුවී අතපය බිඳී පිරිනිවී යනවා. ඒ උතුම් පිරිනිවීමත් මංගල්‍යයක්‌ වූ ශාසනයක පිංවත් ඔබ මේ සටහන් තබන භික්‍ෂුවට භික්‍ෂුවගේ රූපය උම්බලකඩයක්‌ වන තරමට දීර්ඝායුෂ ලබන්න යෑයි ගෞරව පෙරදැරිව ප්‍රාර්ථනා කරන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළවීමේ සැබෑම අර්ථය වන අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම ත්‍රිලක්‍ෂණය තමා තුළින් මතුකොටගැනීමට ඇති දුර්වලභාවය නිසාමයි.

මැදි වයසේ ජීවත්වන අඹුසැමි යුවළක්‌ සිටියා. මේ දෙදෙනා විවේකීව සිටින විට මහත්මයා බිරිඳට කියනවා, දැන් අපි දෙදෙනාගේ උදරය ඉදිරියට නෙරා එනවා, සම රැළිවැටීගෙන එනවා, හිසකෙස්‌ සුදුවීගෙන එනවා. අපි දෙදෙනා දැන් වයසට යනවා’ කියලා. මහත්මයා එහෙම කියනකොට බිරිඳ කියනවලු ‘මෙච්චර හිතන්න සුබ දේවල් තිබියදී, ඔයා අසුබ දෙයක්‌ ගැනම සිතනවා’ කියලා. ඒ වෙලාවේ මහත්මයා කිව්වලු ‘අපි වයසට යන්න ඕනේ වයසට යන බව දකිමින්මයි’ කියලා. එහෙම නොවී වයසට යන බව නොදැන වයසට ගියොත් අවසානයේදී දුක වැඩිවෙනවාය කියලා. සංස්‌කාරයන්ට, හේතුඵලයන්ට අදාළව අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම ත්‍රිලක්‍ෂණය මතුකොටගන්න අපි අදක්‍ෂ, සතර සතිපට්‌ඨාන ධර්මයන්ට අදාළව ලෝකය නොදකින නිසාමයි. අනිත්‍ය දුක්‌ඛ අනාත්ම ත්‍රිලක්‍ෂණය ඔබ තුළින් මතුකොටගන්න නම්, පිංවත් ඔබ මුලින්ම ලෝකය හොඳින් දකින්න වෙනවා. භික්‍ෂුව හොඳින්ම දන්නවා, භික්‍ෂුවට මේ ඇස්‌දෙක ලැබුණේ පෙර කුසල් සංස්‌කාරයක්‌ නිසාය කියලා. අකුසල් සංස්‌කාරයක්‌ විපාකයට පැමිණියා නම් භික්‍ෂුවගේ ඇස්‌දෙක උපතේදීම අන්ධ වෙන්න තිබුණා. කන් දෙක බිහිරි වෙන්න තිබුණා. මේ බව තේරුම් ගත්ත, භික්‍ෂුව ගිහි කාලයේදී මේ ඇස්‌දෙකෙන් දකින්න ලැබුණු සෑම දෙයක්‌ම හොඳින් විවෘතව දක්‌කා. අසන්න ලැබුණ හැමදෙයක්‌ම විවෘතව හොඳින් ඇසුවා. විඳින්න තිබෙන සෑම දෙයක්‌ම හොඳින් විවෘතව වින්දා. කාමයන්ගෙන් පලාගිහින් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ කියන කාරණය ගිහි කාලයේදී මම විශ්වාස කළා. ඇසෙන් කනෙන් විවෘතව ලෝකය දකිද්දී මම දැනගත්තා අපි ඇස්‌ වලින් ලෝකය බලලයි, කනෙන් ලෝකය අහලයි, අනාගත ලෝකය ඉදිකරගන්නේ කියලා. ඒ දැක්‌ම මට ලැබුණේ එරමිණියා ගොතාගෙන භාවනා කරලා නොවෙයි. රූපය දෙස විවෘතව නුවණින් බැලීමෙන්මයි.

භික්‍ෂුව එක්‌තරා ආරණ්‍යයක වැඩසිටිනකොට එම ආරණ්‍යයට විදේශීය භාවනා කණ්‌ඩායමක්‌ පැමිණියා. එම භාවනා කණ්‌ඩායම සමූහ භාවනාවන් කරනකොට රතු රෙදිකඩකින් ඇස්‌ දෙක බැඳගෙනයි භාවනා කරන්නේ. භික්‍ෂුවට තවමත් සිතාගන්න බැහැ ඇයි ඒ පිංවතුන් ඇස්‌දෙක රෙදිකඩකින් බැඳගෙන භාවනා කරන්නේ කියලා. කුසල් සංස්‌කාරයක්‌ නිසා අපට ලැබුණු ඇස්‌දෙක අපි රෙදිකඩකින් බැඳගත්තොත් අකුසල් සංස්‌කාරයන්ට අදාළව අන්ධකාරයයි අපි වැළඳගන්නේ. මෙවැනි මිථ්‍යා භාවනා ක්‍රමවේදයන් බුදුරජාණන්වහන්සේගේ උතුම් සතර සතිපට්‌ඨාන සූත්‍රය තුළින් අපෙන් බැහැර කරවනවා. සතර අපායෙන් මිදීමට කැමති ගිහි පිංවත් ඔබෙන් භික්‍ෂුව කාරුණිකව ඉල්ලනවා, ඔබ ඇස්‌දෙකෙන් ලස්‌සන දෙයක්‌ දැක්‌කොත් අහක බලාගෙන යන්න එපා කියලා. ඒ වගේමයි ඔය ඇස්‌දෙකෙන් අවලස්‌සන දෙයක්‌ දැක්‌කොත් ඒත් අහක බලාගෙන යන්න එපා කියලා. මොකද ලස්‌සනත්, අවලස්‌සනත් ධර්මයමයි. භික්‍ෂුව ගිහි කාලයේ මේ ඇස්‌දෙකෙන් ලස්‌සන දෙයක්‌ අවලස්‌සන දෙයක්‌ දැක්‌කොත් කවදාවත් අහක බලාගෙන ගියේ නැහැ. ඔබ මෙතැනදි වැරදි අර්ථයක්‌ ගන්න එපා. ලස්‌සන දෙයක්‌ දැක්‌කොත් අහක බලාගෙන ගියේ නැහැ කියන්නේ, ලස්‌සන රූපය දැක්‌ක සිත දෙස නොබලා ගියේ නැහැ කියන කාරණයයි. ලස්‌සන රූපය දැක්‌ක සිත දෙස මා නොබලා ගියේ නම් මම ඒ රූපයට බැඳී යනවා. රූපය නිසා දුක සකස්‌කොට ගන්නවා. දැන් පිංවත් ඔබ සිතන්න, ඔබ ළඟ ඔබේ පිංවත් බිරිඳ වාඩිවී සිටිනවා නම්, එම රූපයට බැඳීගියේ ඇයි කියලා. ඔබ ඒ රූපය දැක්‌ක මුල්ම දවසේ සිත දෙස බලන්නේ නැතිව අහක බලාගෙන රූපය දෙස පමණයි බැලුවේ. භික්‍ෂුව දක්‍ෂ වුණා ගිහිකාලයේදී මනාලියන් කිහිපදෙනෙක්‌ මුණගැසිලත් මනාලියන් දෙස නොව ඇය නිසා සකස්‌ වුණ සිත දෙස බලන්න. ලස්‌සන වේවා, අවලස්‌සන වේවා රූපය තුළින් මම හැම මොහොතකම දැක්‌කේ මගේ විචාරවත්, අවිචාරවත් සිතේ ක්‍රියාකාරිත්වයයි. සිතේ වෙනස්‌ වීමයි. ලස්‌සන රූපය තුළින් මම රූපය දැක්‌කානම් මම තවමත් පිංවත් ඔබ සිටින තැනයි සිටින්නේ. දෑස්‌ හැරගෙන විවෘතව ලෝකය බලපු මම දෙවැනුව දෑස්‌ පියාගෙන ලෝකය අවබෝධ කොටගත් භික්‍ෂුවක්‌.

මම ගිහි කාලයේ ගොඩාක්‌ ලස්‌සන නොවුණාට, මම ලස්‌සනට ගොඩාක්‌ කැමතියි. මම ගිහි කාලයේ ගොඩාක්‌ අවලස්‌සන නොවුණාට, මම අවලස්‌සනටත් ගොඩක්‌ කැමැතියි. මොකද මට ඉවක්‌ තිබුණා ලස්‌සන අවලස්‌සන දෙකම, මට රූපයෙන් මිදීයන්නට කවදා හරි දවසක උපකාරක ධර්මයන් වෙයි කියලා. මම ලස්‌සනට විතරක්‌ කැමැති වුණානම්, අවලස්‌සන ඉදිරියේ මම ගැටෙනවා. මේ දැක්‌ම තිබුණ නිසා ලොකු අනතුරකින් මම බේරුණා. ලස්‌සන අවලස්‌සන තුළින් මගේ සිත දකින්න මම දක්‍ෂ වුණා.

මේ මොහොතේ භික්‍ෂුවට මතක්‌වෙනවා උපතිස්‌ස, කෝලිත කියන ධනවත් බමුණු පවුල් දෙකේ තරුණයන් දෙදෙනා. මේ දෙදෙනායි පසුකාලයේ සාරිපුත්ත මහෝත්තමයන්, මුගලන් මහෝත්තමයන් බවට පත්වෙන්නේ. එදා දඹදිව සති ගණනක්‌ පැවැති ගිරග්ග සමජ්ජ කියන සැණකෙළිය (කානිවල් එක) බලලා කලකිරීමේ තීව්‍රරභාවය උත්සන්න වෙද්දියි, මේ තරුණයන් දෙදෙනා කාමයන්ගෙන් මිදීමේ මාවත සොයාගෙන යන්නේ. එදා ඒ කානිවල් එක නොතිබ්බා නම් මේ තරුණයන් දෙදෙනාගේ කාමයන්ගෙන් මිදීමේ ගමන තව ප්‍රමාද වෙන්න තිබුණා. මේ බුද්ධිමත් තරුණයන් දෙදෙනා එදා දක්‍ෂ වුණා ‘ගිරග්ග සමජ්ජ’ කානිවල් එක තුළින් තමාගේ සිත දෙස බලන්න. සැණකෙළි වේදිකාවේ රඟන අනිත්‍ය වූ පංචඋපාදානස්‌කන්ධය දෙස ‘මම’ කියන අනිත්‍යභාවයට පත්වන පංචඋපාදානස්‌කන්ධයෙන් බලනකොට, මේ තරුණයන් දෙදෙනා දැක්‌කේ හිස්‌ බවයි. ඒ හිස්‌භාවය අපි පුරවා තිබෙන්නේ තෘෂ්ණාවෙන්මයි. ඒ නිසාම භික්‍ෂුව ඔබට කියනවා, විසූකදර්ශනයන්ගෙන් පිරුණු සමාජය සමඟ ගැටෙන්න එපාය කියලා. ඔබ ඒ සාමජය සමඟ ගැටෙනවා නම් ඔබේ සිතත් විසූකදර්ශනයක්‌ම වෙනවා. ලස්‌සන, සතුට, විනෝදය, කලාව ලෝකයේම කොටස්‌. මේවායින් තොරව ලෝකය දකින්න බැහැ. ඔබ මේවාට ගැටෙනවා කියන්නේ, ඔබත් ලෝකයේම කොටස්‌කරුවෙක්‌ වෙනවා කියන එකයි. ලෝකය ඉදිරියේ තවමත් ඔබ කැමැත්ත අකමැත්ත තුළ දෝලනය වන්නේ, තවමත් අපි සතර සතිපට්‌ඨාන ධර්මයන් තුළින් අපේ සිත් ආවරණය නොකරගත් නිසාමයි.
භික්‍ෂුව ගිහිකාලයේ ඇසුරුකරපු සමාජය, භික්‍ෂුවට ආදරය කරපු සමාජය, භික්‍ෂුවට කමටහනක්‌ වු සමාජය තවමත් ඒ විදිහටම තිබෙනවා. ඥාතියා, අසල්වැසියා, හිතවතා, පන්සල, ගම, නගරය තවමත් ඒ විදිහට තිබෙනවා. නමුත් ඒ සමාජය නිසා භික්‍ෂුව තුළ වර්තමානයේ තෘෂ්ණාවෙන් බැඳීමක්‌ සකස්‌වන්නේ නැහැ. සිත හිස්‌වයි පවතින්නේ. ලස්‌සන අවලස්‌සන තවමත් ලෝකයේ තිබෙනවා. නමුත් සිත හිස්‌වෙලා. සිත හිස්‌වුන තැනදී ලෝකය හිස්‌ දෙයක්‌ බවටයි පත්වෙන්නේ. මොකද ලෝකය පුරවලා දෙන්නේ තෘෂ්ණාවෙන්. රූපයේ අනිත්‍යභාවය දකිමින් හිස්‌කළ සම්මුති ලෝකය දෙස තෘෂ්ණාව හිස්‌කළ පංච උපාදනස්‌කන්ධය නැමති ලෝකය තුළින් බැලීමේදී හිස්‌බවක්‌මයි දකින්නේ.


රූපයත් රූපය ඇසුරෙන් සකස්‌වෙන කැමැත්තත් අකැමැත්තත් ගැන සටහන් තබමින් භික්‍ෂුව පිංවත් ඔබට මේ කියන්න යන්නේ පංචඋපාදාන්ස්‌කන්ධයේ අනිත්‍යභාවය අවබෝධකර ගැනීමේ තීරණාත්මක ධර්මතාවය වන උතුම් සතර සතිපට්‌ඨාන ධර්මය ගැනයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකරනවා යමෙක්‌ මේ උතුම් සතර සතිපට්‌ඨාන ධර්මයන් සම්මාසම්බුද්ධ දේශණාවට අනුකූලව දින 07 ක්‌ වැඩුවොත් ඔබ චතුරාර්ය සත්‍යය අවබෝධකරගැනීමට කැමති වෙන්න ඕනේය කියලා. දින 07 කින් ධර්මාවබෝධය ලබන්න ඔබට බැරිවුනොත් සති 07 කින් ධර්මාවබෝධය ලබන්න කැමතිවෙන්න ඕනේය කියලා. සති 07 කින් ධර්මාවබෝධය ලබන්න ඔබට බැරිවුනොත් මාස 07 කින් ධර්මාවබෝධය ලබන්න කැමති වෙන්න ඕනේය කියලා. මාස 07 කින් ධර්මාවබෝධය ලබන්න බැරිවුනොතින් අනිවාර්යෙන්ම අවුරුදු 07 කින් ධර්මාවබෝධය ලැබෙනවාය කියලා. බුදුරජාණන් වහන්සේ හේතුඵල දකිමින් ධර්මාවබෝධය ලැබිය හැකි කාල වකවානු පිළිබඳව පැහැදිලි සහතිකයක්‌ ලබාදී තිබියදී සාරාසංඛ කල්ප ලක්‍ෂගණනක්‌ ඈත පටන් සම්මා සම්බුද්ධ ශාසන ලක්‍ෂගණනක්‌ පසුකර පැමිණි ගමනේදීවත් මේ උතුම් සම්මා සම්බුදAධ ශාසනය මුණගැසුණ මේ ජීවිතේදීවත් පිංවත් ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධකර ගැනීමට නොහැකිවූයේ උපරිම වශයෙන් අවුරුදු 07 ක්‌ සතර සතිපට්‌ඨාන ධර්මයන් නිවරුදිව ප්‍රගුණ නොකළ හේතුව නිසාමයි. උපරිම අවු 07 කින් ලෝකයෙන් නිවීයාමේ උතුම් ධර්මයක්‌ දෝතින් දරාගෙන සතර සතිපට්‌ඨාන ධර්මයන් තුළින් සිත ආවරණය නොකරගත් නිසාම උරුමකරගත් සත්වයන්ගේ දුක මොනතරම් නම් දිග පළලද යන්න ඔබම නුවනින් මෙනෙහිකර දකින්න.


සතර සතිපට්‌ඨාන ධර්මයන්ගෙන් ආවරණය නොකරගත් මනුෂ්‍ය ජීවිතය නිරතුරුවම මුලාවන්ට කොටුවෙනවා. වර්තමානයේ ධර්මයේ නාමයෙන් මනුෂ්‍යයින් වැළඳගන්න මුළාවන් දෙස බලනවිට පිංවත් ඔබට ඉහත කාරණය පැහැදිලිවෙනවා. භික්‍ෂුවට හොඳටම විශ්වාසයි හෙට දවසේ සතර සතිපට්‌ඨාන ධර්මයන්ගෙන් සිත ආවරණය නොකරගත් ස්‌වාමීන්වහන්සේ නමක්‌ මතුවෙලා ප්‍රකාශ කලොත් අහවල් ගංගාවෙන් දිය දෝතක්‌ පානය කළෙත් මේ ජීවිතයේදීම සෝවන්ඵලයට පත්වෙනවා කියල අපේ පිංවතුන්ලා වැල නොකැඩී ඒ ගංගාව සොයාගෙන යනවා. අදහස යෝජනා කරන පංචඋපාදනස්‌කන්ධයත් අදහස ක්‍රියාත්මක කරන පංච උපාදනස්‌කන්ධයත් මාරයා කියල දකින්නේ නැහැ. අනුන්ගේ මෝහයෙන් ගිනිගන්නා පංච උපාදනස්‌කන්ධයක්‌ නිසා තමනුත් ගිනි අවුලුවා ගන්නවා. මෝහය නිසාම සමාජය තුළ ඇවිලෙන මේ ගින්න යම් පමණකට හෝ නිවාගැනීමට අවශ්‍යනම් සම්මාදිට්‌ඨියට යටත්ව සතරසතිපට්‌ඨාන ධර්මයන්ට අනුව පංචඋපාධානස්‌කන්ධයේ හිස්‌භාවය තේරුම්ගත යුතුව තිබෙනවා. එසේ නොවන විට අනිත්‍යවු පංචඋපාධානස්‌කන්ධයක්‌ “මම“ය “මගේය” කොටගෙන සමාජයතුළ වැඩෙන මෝහයට තවතවත් අපි පොහොර දමනවා. බුදුරජාණන්වහන්සේ ප්‍රතික්‌ෂේපකොට වදාල කාමසුඛල්ලිකානු යෝගයත් අත්තකිලමතානු යෝගයත් තුළින් නිවීමේ මාර්ගය තරණය කිරීමට වර්තමාන සමාජය ගන්නාවු ව්‍යායාමය එහිම ප්‍රතිඵලයන්මයි. කල්‍යණමිත්‍ර ආශ්‍රයේ දුර්වලතාවයන් නිසාම වේවැල අතටගත් ව්‍යාපාරික ක්‍රමවේදයන්ට භාවනාව හසුවීම නිසාම මෝහයේ අව්කාෂ්ඨකයෙන් මොළය වියලී ගිය මනුෂ්‍යයින්ට සැබෑම සතර සතිපට්‌ඨාන ධර්මය සිහිල් පොද වැස්‌සක්‌ වෙනවා. රූපයන් සොය සොයා කාමයන් පසුපස හඹායන ජීවිතවලට, මැරෙන බව නොදැන ජීවත්වීමම අරමුණුකරගත් ජීවිතවලට, සතර සතිපට්‌ඨාන ධර්මය මහා ඔසුවක්‌ වෙනවා. කාය, චිත්ත, ධම්ම, වේදනා කියන සතරසතිපට්‌ඨාන ධර්මයන් තුළින් රූපයත්, රූපය ඇසුරෙන් සකස්‌වෙන පංචඋපාධානස්‌කන්ධයේ යථා ස්‌වභාවයත් ඔබට මතුකර දෙනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ගුරුවරයා බවට පත්කරගෙන උතුම් සතරසතිපට්‌ඨාන සුත්‍රය එකම කමටහන බවට පත්කරගෙන ධර්මයෙන් සැනසීමට පහත සටහන පිංවත් ඔබට පුංචි හෝ උපකාරයක්‌ වෙතැයි භික්‍ෂුව විශ්වාස කරනවා.


බුදුරජාණන් වහන්සේ දේaශණාකරනවා අතීතයේ රජ කුමරුන්ට ආණක කියල බෙරයක්‌ තිබුනා කියල. එම බෙරයෙන් අ`ඩබෙර ගහල තමයි තම යටත් වැසියන්ගේ අස්‌වැන්නෙන් තමන්ට අයිති බදු කොටස ලබාගන්නේ. මේ අණක බෙරයේ කඳ සිදුරු වුන විට එම සිදුරට ඇණයක්‌ ඔබනවා මෙහෙම කාලයක්‌ යද්දී බෙර කඳ අතුරදහන්වෙලා ඇණ ඔබපු සැකිල්ල ඉතුරුවෙනවා. මේ උපමාවෙන් බුදුරජාණන්වහන්සේ දේශනාකරන්නේ, උන්වහන්සේ විසින් වදාල අර්ථවත් ගාම්බීර සුත්‍ර දේශනාවන් තිබුනත් අනාගතයේදී පිංවතුන් ඒවා අහන්න දේශනාකරන්න කැමතිවෙන්නේ නැහැය කියල. කවි, විරිදු, විසිතුරු කියුම් අසන්න ශ්‍රාවකයින් කැමතිවෙනවාය කියලා. මේ හේතුව නිසාම බුදුරජාණන් වහන්සේ දේශණාකර වදාල අනිත්‍ය දුක්‌ඛ අනාත්ම ත්‍රිලක්‍ෂණයට අදාළ ධර්මයන් ක්‍රමානුකූලව අතුරුදහන්වෙනවාය කියල. එම නිසා පිංවත් ඔබ පංචඋපාධනස්‌කන්දයේ අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම අවබෝධයට අදාළව බුදුරජාණන් වහන්සේ දේශණාකර වදාල ගාම්භීරම දේශණාව වන සතර සතිපට්‌ඨාන සුත්‍රය කැමැත්තෙන් ඉගෙන ගන්නවාය ජීවිතයට එකතුකර ගන්නවාය කියල තීරණය කරන්න ඕනේ. සතර සතිපට්‌ඨාන සුත්‍රයට බාහිරව සමාජය තුළ භාවනාවේ නාමයෙන් ක්‍රියාත්මක වන යම් ක්‍රියාකාරකම් ඇතොත් ඒවා නුවනින් හඳුනාගෙන බැහැර කරන්න ඕන. සතර සතිපට්‌ඨාන ධර්මයන් පිළිබඳ යථා ස්‌වභාවය කෙලෙස්‌ දුරුකිරීමේ වීර්යෙන් කෙලෙස්‌ දුරුකිරීමේ නුවණින් සතියෙන් සිහියෙන් යුතුව, සත්වයාගේ අවබෝධය නිසාම හටගත් දුක නැමති උපාධානස්‌කන්ධ ලෝකය දකිමින් ජීවත්වන්න දක්‍ෂවෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශණාකරනවා යමෙක්‌ පිංවත් ඔබේ පපුවට තියුණු උලකින් දිනකට 300 වතාවක්‌ අනිනවා. මේ විදියට වසර 300 ක්‌ දිනපතා උල්පාරවල් 300 බැගින් අනිනවා. මෙවැනි වේදනාවක්‌ විඳලා හෝ යමෙක්‌ ඔබට කීවොත් ධර්මාවබෝධය ලබාදෙනවා කියල ඔබ ඒ දුක විඳලා ධර්මාවබෝධය ලබන්න කැමතිවෙන්න කියලා. මෙවන් දුෂ්කර කටයුත්තක්‌ උපරිම වසර 07 කින් පරිපුර්ණභාවයට පත්කරදීමට සතරසතිපට්‌ඨාන ධර්මයන්ට පුළුවන්ය කියල බුදුරජාණන් වහන්සේ සහතිකයක්‌ දෙනවා. පෙර පිනටම පිංවත් ඔබට ලැබුණු මේ උතුම් අවස්‌ථාව සතරසතිපට්‌ඨාන ධර්මයන්ට අනුව ජීවිතය නොදකින නිසාම අතපසුකරගන්න එපා.