72-ප්‍රඥාවේ ඇසින් අත්දුටු ලොව්තුරා ධර්මයේ ආශ්චර්යය

2014-03-30-සතර අපායෙන් මිදෙමු – 72 කොටස
මේ ලොව්තුරා අසිරිමත් ධර්මය පිංවත් ඔබට ලෝකය විනිවිද දැකිය හැකි ධර්මයක්‌. එලෙස ලෝකය විනිවිද දකින්නේ විද්‍යාගාර, පර්යේෂණාගාර තුළදී නොව, පංචනීවරණයන් යටපත් වූ ඔබගේ ප්‍රභාෂ්වර සිත තුළින්මය. මස්‌ ඇසෙන් දකිනා ලෝකය මෝහයයි. ප්‍රඥාවේ ඇසින් දකිනා ලෝකය යථාර්ථයයි. ශීලයේත් සමාධියේත් ඵලයෙන් උපදින ප්‍රඥාවේ ඇස, මංමුලා වූ ලෝකයෙන් ඔබ්බට භව නිරෝධය දෙසට පාර පෙන්වන ආලෝකයයි.

භික්‍ෂුව සමාධියෙන් පසුවන විට අරමුණු නොකරම ඒ ආලෝකය ඔස්‌සේ අපූරු දර්ශනයක්‌ දර්ශනය විය. එය පිටසක්‌වල ජීවීන් පිරිසකගේ කියලයි භික්‍ෂුව අනුමාන කරන්නේ. ඒ කියන්නේ එය පිටසක්‌වල දර්ශනයක්‌. භික්‍ෂුවට දර්ශනය වන තැන බොහෝම ආලෝකවත් ස්‌ථානයක්‌. අක්‌කර දහයක පමණ භුමි ප්‍රදේශයක්‌ දර්ශනය වුණා. ගහකොළ කිසිවක්‌ පෙනෙන්නට තිබුණේ නැහැ. වැඩි උස නොවූ කෙටි ගොඩනැගිලි කිහිපයක්‌ තිබුණා. මේවා පෙට්‌ටි හැඩයටයි තිබුණේ. කෘත්‍රිම ද්‍රව්‍යවලින් තනපු බවකුයි පෙනුණේ. එම ස්‌ථානය ළමා උද්‍යානයක්‌, ළමා පාසලක්‌ වගේ තැනක්‌. කළු සහ සුදු පැහැති අඟුටුමිටි ළමයින් 25 ක්‌ පමණ එතැන සිටියා. මේ හැම දරුවෙක්‌ම උපරිම අඩි 2 ක්‌ පමණ උස ඇති. සියලුම දරුවන් දේහ ප්‍රමාණයෙන් එක වගේ. මේ දරුවන් බොහොම කඩිසර වේගවත් ඉරියව් දැක්‌වුවා. සෑම දරුවෙක්‌ම එක සමාන වර්ණවත් ඇඳුම් ඇඳගෙන සිටියා. තද දම් පැහැති කෙටි කලිසමක්‌, රතු පැහැයට හුරු රෝස පැහැති උඩුකය බැනියමක්‌. එය මහත නූලෙන් ගෙතු ඇඳුමකි. එහි කොටුවෙන් කොටුව හිදැස්‌ ඇත. බැනියමේ පසුපස ගෙතු පටි දෙකක්‌ හරහට එල්ලෙමින් තිබිණි. සියලුම අඟුටුමිටි ළමයින් එකම ස්‌වභාවයේ ඇඳුම් මෝස්‌තර දරාගෙන සිටියහ. ස්‌වීටර් මහන රෙදි වර්ගයේ වැනි රෙදිවලිනි කෙටි කලිසම නිර්මාණය වී තිබුණේ. එම ඒකාකාරී ඇඳුමත්, දරුවන් සියලුදෙනා එකම ප්‍රමාණයේ වීමත්, ඔවුන්ගේ කඩිසරභාවයත් නිසා එය අපූරු චිත්‍රයක්‌.

මෙම දරුවන් සමග එක වැඩිහිටියෙක්‌ සිටියා. ඔහු අඩි 4 ක පමණ අයෙක්‌. ඔහු ගැන එතරම් පැහැදුලි චිත්‍රයක්‌ ඇඳුණේ නැහැ. මේ ස්‌ථානයට යාබද පාරක්‌ තිබුණා. එය අඩි 30 ක පමණ පාරක්‌. එම පාරේ අලියෙක්‌ ගමන් කළා. ඒ වැඩුණු අලියාගේ උස අඩි 5ක්‌ පමණ ඇති. එම සතා හීලෑ කළ කුරු අලියෙක්‌ වගේ. මේ අලියාගේ එක කන් පෙත්තක කෙළවර වටාපතක්‌ සේ මොනර පිල් කළඹක්‌ තිබුණා. මොනරෙක්‌ පිල විහිදාගෙන සිටින ආකාරයට එම පිල විහිදිලයි අලියාගේ කනේ පෙති අගට මුහුවෙලා තිබුණේ. එය ස්‌වාභාවික පිහිටීමක්‌ හැටියටයි භික්‍ෂුව දැක්‌කේ. මේ අලියා සමග එක ප්‍රභු මහත්තයෙක්‌ ඇවිදගෙන යනවා. ඔහු සුදු ජාතිකයෙක්‌ වගෙයි. ඔහුගේ උස අඩි 4 1/2 ක්‌ විතර ඇති. ඔහු හොඳින් වැඩුණු වයස අවුරුදු 55 ක වගේ මහත්තයෙක්‌. මොහු කෝට්‌ එකක්‌, දිගු කලිසමක්‌ සහ ප්‍රභුන් පළඳින තොප්පියක්‌ පැළඳගෙන සිටියා. මොහු බොහොම තැන්පත් ප්‍රභු ලීලාවෙනුයි අලියා පසුපස ගමන් කළේ. අලියා සමග ඇත්ගොව්වෙකුත් ගමන් කළා. ඔහු කළු ජාතිකයෙක්‌ වගෙයි. ඔහුත් අඩි 4 ක්‌ පමණ උස ඇති. මොහු ගැන වෙන මතකයක්‌ නැහැ. මොවුන් සියලුදෙනාම ප්‍රමාණයෙන් මිටි මනුෂ්‍යයින්. හැබැයි මේ අය බොහොම කඩිසරයි. ඒ වගේම පෞරුෂත්වයෙන් ඉහළයි. ගහකොළ නැති කෘත්‍රිමව නිර්මාණය කළ නගරයක්‌, පරිසරයක්‌ වගෙයි එම පරිසරය භික්‍ෂුවට දර්ශනය වුණේ.

ඉහත අඟුටුමිටි ළමා පිරිස ඉහත ස්‌ථානයේ රැඳී සිටියදී තවත් ළමා අඟුටුමිටි පිරිසක්‌ උද්‍යානයට ඇතුළුවීම සඳහා වාහනයකින් බසිමින් සිටියේය. එම වාහනය නවතා තිබුණේ උද්‍යානයට යාව තිබූ අලියා ගමන් කළ මාර්ගයේය. එම මාර්ගය ගුවන් පථයක්‌, අධිවේගී මාර්ගයක්‌ සේ තැනූ ඉතාමත් පිරිසිදු, මැදුණු කෘත්‍රිම මාර්ගයකි. එම අඟුටුමිටි ළමා පිරිස පැමිණි වාහනයේ හැඩය අමුතුය. එහි රෝද පෙනෙන්ට තිබුණේ නැත.

භික්‍ෂුව ඉහතින් සමාධිය තුළදී දකින්නේ පිටසක්‌වල ජීවීන් පිරිසක්‌ බව භික්‍ෂුවට හොඳටම පැහැදුළියි. ලොව්තුරා බුදුජාණන්වහන්සේ දේශනාකොට වදාළ අප්‍රමාණ ලෝක ධාතුන්ගෙන් එකක ජීවත්වන මනුෂ්‍යයින් පිරිසක්‌. එය විනාඩියක්‌ වැනි කෙටි කලකදී දර්ශනය වී මැකීගොස්‌ අවසන් වෙයි. මේ කෙටි කාල පරාසය තුළ භික්‍ෂුව අත්දුටු දර්ශනයයි මෙහි සටහන් තැබුවේ. මෙම කාරණය කෙනකුගේ හාස්‍යයට විවේචනයට ලක්‌වීමටත් පුළුවන්. ප්‍රතිචාරය කුමක්‌වුවද එය භික්‍ෂුවට අදාළවන්නේ නැහැ. මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමේදී උතුම් සමාධිය තුළින් යමක්‌ දැක්‌කද එය භික්‍ෂුව සටහන් තබන්නේ පිංවත් ඔබට උතුම් සද්ධර්මයේ අසිරිය ගැන නැවැත නැවත සිතන්නයි. එසේ නැතිව පිටසක්‌වල ගැන පර්යේෂණ කරන්නට නොවේ. ලෝකයේ දේවත්වයෙන් සලකන තාක්‍ෂණය විසින් නොදැක්‌කාවූ ලෝකය, ප්‍රඥාවේ ඇසින් අත්දකින ලොව්තුරා ධර්මයේ ආශ්චර්යය ගැන කියන්නයි. භික්‍ෂුවට අවශ්‍ය සද්ධර්මය කෙරෙහි ඔබගේ විශ්වාසය එක දශමයකින් හෝ වැඩි කරන්න පමණයි.

ලෝකය බොහොම අනතුරුදායකයි. මොකද ඔබ සීමාව ඉක්‌මවා පිටසක්‌වල ලෝකයන් කෙරෙහි උපාදානය සකස්‌කොට ගතහොත් , පිංවත් ඔබව ධර්මයක්‌ නොමැති මිථ්‍යාදෘෂ්ඨික පිටසක්‌වලක අඟුටුමිට්‌ටෙක්‌ වෙලා, අඟුටුමිටි තිරිසන් සතෙක්‌ වෙලා ඉපදීමේ අවධානම තිබෙනවා. ලෝකය තාක්‍ෂණයට විද්‍යාවට ලොල්වෙන්න, ලොල්වෙන්න පිටසක්‌වල ජීවීන්ගේ ගහනය වැඩි වෙන්න පුළුවන්. දැනුම හරහා ලෝකය තුළින් ඔබ කොතැනින් එතෙරවීමට ගියත් දුකමයි. මිථ්‍යාදෘෂ්ඨිකභාවයමයි උරුමය වන්නේ. සද්ධර්මය තුළින් ඔබ ලෝකයෙන් එතෙරට යන්න. තබන පියවරක්‌ පාසා සැපයමයි අයිතිවෙන්නේ. මෙලොව ඇති ශ්‍රේෂ්ඨතම බලය, ශීල සමාධි ප්‍රඥා බලයයි. එම බලයට ඕනෑම මනුෂ්‍යයෙක්‌, දෙවියෙක්‌, බ්‍රහ්මයෙක්‌ අයත්ය. ඒ ශේ්‍රෂ්ඨ බලයට අභියෝග කළොත් ඔහු අභියෝග කරන්නේ ඔහුටමය. මන්ද, බලවත් අකුසලයන් ඔහු එන පෙරමග බලා සිටිනා බැවිනි.

Advertisements

71-නිමාවක්‌ නැති ලොවක අදට වඩා හොඳ හෙටක්‌ කොයිද?

2014-03-23 සතර අපායෙන් මිදෙමු – 71 කොටස

මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක්‌ හෝ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක්‌ නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි. තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ උන්වහන්සේ නොපෙනී ගියහ. එහෙත් ඒ සටහන් කෙතරම් දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද? නිවන් මගට පිළිපන් ගිහිපැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක්‌ වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කර්තෘ අඥත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතුවනු නිසැකය. එනිසාම මා ලද ඒ අතිශයින් අගනා දහම් පඬුර ලිපි මාලාවක්‌ ලෙස ඔබ අතට පත් කිරීමට මට ඉඩ දුන මැනවි


ලෝකය නොනවතින ගමනක යනවා. ලෝකයාගේ මේ ගමන දැනුමෙන්, හැකියාවෙන්ගෙන්, නවතම සොයාගැනීම් වලින් පරිපූර්ණ එකක්‌a. පසුකරන සෑම කඩ ඉමක්‌ම අලුත් දෙයක්‌ ලෝකයට ඉදිරිපත් කරනවා. ලෝකයාට ඉදිරිපත් කරන තාක්‍ෂණයේ ප්‍රගතිය තුළින් ජනතාවට ප්‍රයෝජනයක්‌, පහසුවක්‌ තාවකාලිකව උදාකරනවා. නමුත් ඒ පහසුව තුළින් ඉතිරිවෙන විවේකය මනුෂ්‍යයා යොමුකරගන්නේ තව තවත් අවිවේකී දිශාවන්ටමයි. තාක්‍ෂණය මාරයා වශයෙන් හඳුනාගෙන තාක්‍ෂණය නිසාම ඔබට ලැබෙන කාලයේ ඉතිරිය මාරයාට එරෙහිව තම ධර්ම මාර්ගය ශක්‌තිමත් කිරීමට යොමුකර ගැනීමට අපි දක්‍ෂවිය යුතුයි. එක පර්යේෂණාගාරයක මනුෂ්‍යයාගේ ආයුකාලය වැඩිකරගැනීමට ඇත. හැකියාව ඖෂධවලින් සොයනවිට තවත් විද්‍යාගාරයක මස්‌ පිණිස ඇති කරන සතුන් ඉක්‌මනින් තර කොට මැරීමට අවශ්‍ය ක්‍රමවේදයන් සොයනවා. මේ කිසිවෙක්‌ මනුෂ්‍යයා මරණින් පසු ඌරෙක්‌, හරකෙක්‌, එළුවෙක්‌, බැටළුවෙක්‌, කුකුලෙක්‌ වෙන්නේ ඇයිද? කියලා සොයන්නේ නැහැ. මීට වඩා රෝගයක්‌, මීට වඩා වෛරයක්‌ ලෝකය තුළ තිබෙනවාද. වර්තමාන ලෝකයට දැනුමේ කීර්තිය නිසා ප්‍රඥාව මෝදුවෙන්නේ නැහැ. අලුත් සොයාගැනීම් ඉදිරිපත් කරන මහත්වරුන් ලෝකයාගේ සම්මානයට, ගෞවරයට පාත්‍රවෙනවා. යම් මහත්මයෙක්‌ යම් දෙයක්‌ තම පර්යේෂණ තුළින් සොයාගෙන ඔහුට ඒ සඳහා සම්මාන ගෞරව දක්‌වන විට තව මහත්මයෙක්‌ එම සොයාගැනීම ඊටත් වඩා ගුණාත්මක තත්වයට උසස්‌කර ඔහුද සම්මානයට පාත්‍රවෙනවා. සොයාගැනීම් වලින්ද නිමාවක්‌ නොමැති, සොයාගන්නන්ගෙන්ද නිමාවක්‌ නොමැති ලෝකයක්‌ තුළ අපිත් අදට වඩා හොඳ හෙටක්‌ බලාපොරොත්තුවෙන් මොකක්‌ හෝ දෙයක්‌ සොයනවා. ලෝකයේ කලබලකාරී ස්‌වභාවය ගැන බැලීමේදී මේ සොයන කිසිවෙකුට තමා සොයන දෙය හමුවී නොමැති බවයි පෙනෙන්නේ. ඒකයි මේ පෙරල පෙරලා තවත් සොයන්නේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලෝකය පෙරල පෙරලා සෙවීම වෙනුවට තමාගේ ජීවිතය තුළින්ම ලෝකය දකින හැටි ඉදිරිපත් කළා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වීමට පෙරාතුව දඹදිව විමුක්‌තිය සොයන කණ්‌ඩායම් 62 ක්‌ සිටයා. මේ අය එසේ මෙසේ අය නොවේ. විශාල ශ්‍රාවක පිරිස්‌ සිව්පසයෙන් සශ්‍රික, රජසිටුවරු ඇසුරු කරපු කණ්‌ඩායම්. මේ හැම දෙයකින්ම ලෝකයට ප්‍රකාශ කළේ තම ශ්‍රාවකයින්ට ප්‍රකාශකලේ කරන්න බැරිදෙයක්‌මයි. සමහරු තම ශ්‍රාවකයින් හරකුන් බල්ලන් මෙන් හැසිරීමට උගන්නවා එය ඔවුන් විමුක්‌ති මාර්ගය ලෙස හැඳින්වූවා. තවත් සමහරු නිර්වස්‌ත්‍රව ජීවත් වෙමින් ජලයේ බැස ජීවත් වෙමින් අව්වේ වේලෙමින් සිටිමින් තම විමුක්‌ති මාර්ගය ලැබෙනා බව විශ්වාස කළා.

තවත් සමහරු දිව්‍යතලයක, බ්‍රහ්ම තලයක සිත පිහිටෙව්වා. එය විමුක්‌තිය හැටියට දැක්‌කා. මේ කිසිම කණ්‌ඩායමක්‌ සැබෑ අවසානයක්‌ දකින්න පුළුවන් දෙයක්‌ නොවේ ලෝකයට ඉදිරිපත් කළේ. කරල ඉවරයක්‌ කරන්න බැරි දෙයක්‌මයි. මේවා තුළින් විමුක්‌තියක්‌ නොවේ දේශනා වුණේ. සිරගතවීමක්‌. නැවතීමක්‌ නම් නොවේ, ලෝකයාගේ ගමන තවත් විකෘතියක්‌ වීමයි සිද්ධවුණේ.

ආලෝකය නොදැක්‌ක මිනිස්‌සු අඳුර වර්ණනා කරන්නේ ගොඩක්‌ ලස්‌සනට, හැඟීම්බරවයි. මෙවැනි මිනිස්‌සුන්ගෙන් පිරුණු ලෝකයකම බිහිවූ ලොව්තුරා බුදුරජාණන්වහන්සේ කරන්න බැරි දේවල්, කරලා ඉවරයක්‌ කරන්න බැරි දේවල්, කරලා වැඩක්‌ නැති දේවල් කරන්නය කියලා කිසිදාක දේශනා කළේ නැහැ. බුදුරජාණන්වහන්සේ පැහැදිළිව දේශනා කරනවා, “මේ ලෝක ධාතුව බොහොම සංකීර්ණයි. ලෝකය සොයන්න යන්න, එය වෙනස්‌ කරන්න යන්න එපා” කියලා. එය නිශ්ඵල ක්‍රියාවක්‌. ලෝකය කියන්නේ ස්‌වභාවයෙන්ම වෙනස්‌වෙන තැනක්‌. එහි අපට වෙනස්‌ කරන්න දෙයක්‌ නැහැ. මොකද අපිත් වෙනස්‌ වෙනවා. අපි වෙනස්‌වෙනකොට අපි ගැන සොයන්න කෙනෙක්‌ නැහැ. අපි වෙනස්‌ වෙනවා කියන්නේ අපිත් ජරා, ව්‍යාධි මරණ වලට ලක්‌වෙනවා. ලෝකය වෙනස්‌ කරන්න යන ගමනේ කොතැනකදී හෝ අපිවත් මරණයට පත්වෙනවා. එහෙම මියගිහින් අපි අභ්‍යවකාශ ප්‍රේතයින්, විද්‍යාගාර ප්‍රේතයින් වෙලා උපත ලබයි. ඔබෙන් පස්‌සේ තව මහත්තයෙක්‌ ඔබේ තනතුරට පත්වේවී. ඒත් ප්‍රේතයෙක්‌ වුණ ඔබ අසරණ වෙනවා. ලෝකයත් අපිත් සෑම නිමේෂයක වෙනස්‌ වෙනවා. ලෝක ධාතුව නැමති විෂය ලොව්තුරා බදුරජාණන් වහන්සේ නමකගේ සම්මා සම්බුද්ධ ඥාණයට පමණක්‌ විෂයවෙන දෙයක්‌. ඒ නිසා මුළු ලෝකධාතුවම අමතක කරලා මේ නාම රූප දෙකට ලෝකය ගෙනත් පෙන්නුවා. බැරි දෙයින් වලක්‌වලා පුළුවන් දෙය දේශණා කළා. ලෝකය කවදාත් තෘෂ්ණාව පස්‌සේ ලෝකය තුළ දුවනවා. ලෝකයේ අවසානය සොයන්න දිව ගොස්‌ අවසානය තබා ආරම්භයවත් නොදැක සංවේගයට, මරණයට පත්වු දෙවියන් අතීතයේ සිටියා. මේ කවුරුත් අවසානයේ සැනසුනේ බුදුරජාණන් වහන්සේ සෙවනේමයි. මේ ලොව්තුරා අසිරිමත් ධර්මය පිංවත් ඔබට ලෝකය විනිවිද දැකිය හැකි ධර්මයක්‌. ඒ ලෝකය විනිවිද දකින්නේ විද්‍යාගාර පර්යේෂණාගාර තුළදී නොවු පංචනීවරණයන් යටපත් නොවූ ඔබගේ ප්‍රභාෂ්වර සිත තුළින්මය.

70-කමටහන මගහැර කවරනම් භාවනාවක්‌ද?

2014-03-09

සතර අපායෙන් මිදෙමු – 70 කොටස භාවනාවට පෙර VIII


ඔබ දවසේ පැය විසිහතරෙන්ම පැය විසි දෙකක්‌ම නිත්‍ය සංඥාවන් වඩල නිත්‍ය සංඥාවන් සමග ජීවත්වෙලා පැය දෙකක්‌ පමණක්‌ අනිත්‍ය සංඥාවට යොමුවෙලා භාවනාවක්‌ කරලා කෙසේ නම් මේ කාරණා දෙක සමබර කරගන්නද?

තරාදියෙ එක පැත්තකට පැය විසිදෙකක්‌ අනෙක්‌ පැත්තට පැය දෙකක්‌ දැම්මොත් ඔබට තේරෙවි එහි පරතරය.

එම නිසා විශේෂයෙන්ම විදර්ශනා භාවනා කිරීමට කැමති පිංවතුන්ලා දවසේ සෑම කාර්යක්‌ෂම කමටහනක්‌ කරගැනීමට දක්‍ෂ විය යුතුයි. වැසිකිළි කැසිකිළි කිරීමේදී ඔබට පුළුවන් ආහාරයේ අනිත්‍ය බව දකින්න. ඔබ සුවඳවත් කරන පිරිසිදු කරන ශරීරයේ අනිත්‍ය භව දකින්න. ඔබ නින්දට යන වෙලාවට ඔබට පුළුවන් ගෙවුන දිනය පුරාවට ඔබ සිදුකළ ක්‍රියාවන්ගේ අනිත්‍ය ස්‌වභාවය දකින්න. කුමන ඉරියව්වකින් සිටියත් ඔබ ඇස අරමුණුකරගෙන ‘ඇස අනිත්‍යයි, අනිත්‍යයි…….’ වශයෙන් දකිමින් සිටින්න. එවිට ඔබට පුළුවන් බාහිර රූපයන්ගෙන් ඇස හුදෙකලා කර ගන්න. එහෙම දිගින් දිගටම දකින්න. එවිට ඔබට වැටහෙනවා ඇසත් බාහිර රූපත් ඔබට අයිති නැති ස්‌වභාවය. කන, නාසය, දිව, මනස, කය යන අනෙක්‌ ආයතන ගැනත් එසේ දකින්න. මෙය කිරීම සඳහා ඔබ එරමිනියා ගොතාගෙන සිටින්නම අවශ්‍ය නැහැ.

බස්‌ රථය තුළ වාඩිවෙලා යන විට ඔබේ ඇස බාහිර රූප කෙරෙහි දුවනවානම්, මනසේ වේගවත්ව සිතුවිලි ඇති වෙනවා නම් ඔබට ඉහත අරමුණු දකින්න පුළුවන්. භාවනා කිරීමෙන් අර්ථයක්‌ ලැබීමට නම් ඔබ ජීවිතයේ ලැබෙන සෑම අවස්‌ථාවකදීම සෑම අත්දැකීමකදීම ඒවා කමටහනක්‌ කර ගැනීමට දක්‍ෂවිය යුතුයි.

පිංවත් ඔබට උදාහරණයක්‌ පැහැදිලි කරන්නම්. භික්‍ෂුව ගිහි කාලයේ ප්‍රධාන නගරයක පයින් ගමන් කළා. මහපාර අයිනේ වයෝවෘද්ධ යාචක කාන්තාවක්‌ හිටියා. ඇය අසල අතින් තල්ලු කරන කරත්තයක්‌ තිබුණා. ඒ අසලම බල්ලෙක්‌ සිටියා. මේ වයෝවෘද්ධ කෘශ කාන්තාව දෙකට නැවිලා බුදු අම්මෝ කියමින් විලාප නගමින් තම ගුද මාර්ගයෙන් එළියට ඇවිත් තිබෙන අඟල් හයක්‌ පමණ දිගැති ආනමාළු ගෙඩියක ප්‍රමාණයේ මස්‌ දඟරයක්‌ ශරීරය ඇතුළට ඔබනවා. මෙය අර්ශස්‌ රෝගයේ දරුණුම අවස්‌ථාවක්‌. ප්‍රසිද්ධියේ පාර අයිනේ මේ සිද්ධිය සිද්ධ වුණේa. ඒ වයෝවෘද්ධ යාචක අම්මාට තේරුමක්‌ නැහැ අවට පරිසරය ගැන, මිනිස්‌සු ඉන්නවාය දකිනවාය කියන කාරණය. ඇයගේ වේදනාව විසින් ඇයට ඉහත කාරණය ඇයට අමතක කරලා. මිනිසුන් සිය ගණනින් ඒ අසල පාර දෙපැත්තේ ගමන් කළත් එකම මනුෂ්‍යයෙක්‌වත් ඒ සිද්ධිය දෙස බලන්නේ නැහැ. මොකද එය ඒ තරමටම අපුල අපුල, බියගන්වන දර්ශනයක්‌. නමුත් ගිහියෙක්‌ වශයෙන් එදා මේ භික්‍ෂුව ඒ කාන්තාවගේ සෑම ඉරියව්වක්‌ දෙසම මා හොඳින් බලාගෙන ගියා පමණක්‌ නොව ආපසු හැරී නැවත ඒ දර්ශනය දෙස නුවනින් බැලුවා. ඒ වෙලාවේ ගිහියෙක්‌ වශයෙන් මම ඒ දර්ශනය තුළ කාය, චිත්ත, ධම්ම, වේදනා කියන ධර්මතාවයන් දැක්‌කා. අසුභය මරණානුස්‌සතිය දැක්‌කා. සංස්‌කාර ධර්මයන්ගේ අමිහිරි උමතු ප්‍රතිඵල දැක්‌කා.

මෙවැනි දර්ශනයක්‌ සිදුවීමක්‌ දකින්න අපුලනම් අමිහිරිනම් ඔහු කෙසේනම් භාවනාවෙන් ප්‍රතිඵල ලබන්නද? මේ ඔබ දකින්නේ ඔබේ ශරීරයේ ස්‌වභාවයයි. අතීතයේ ඔබද අත් විඳි ස්‌වභාවයයි. අනාගතයේදී රූපයට උරුම අවස්‌ථාවයි. අනුනගේ දුක ඔබ ඔබේ ජීවිතයට ගලපා බලන්න දක්‍ෂවෙන්න. එම දුගී යාචක මව තුළින් ඔබ ඔබව දකින්න දක්‍ෂවෙන්න. ඇසට පෙනෙන, කනට ඇසෙන, මනසට දැනෙන ධර්මය මගහැරයැමෙන් වළකින්න.

පිංවත් ඔබ මේ ආකාරයට දිනය පුරාවට දකින සිදුවන සියලු ක්‍රියාකාරකම් කමටහනක්‌ හැටියට හැකිතාක්‌ දකින්න උත්සහගන්න. එහෙම කළොත් ඔබට පුළුවන් වෙනවා පෙර සඳහන් කළ නිත්‍ය, අනිත්‍ය සංඥා කිරාබැලූ තරාදිය යම් ප්‍රමාණයකට සමබර කර ගන්න. මෙහෙම පුහුණුවක්‌a ලැබුවොත් ඔබ විවේකීව භාවනාවට යොමුවුනාට පස්‌සේ පංචනීවරණ වලින් ඔබේ මාර්ගය අවහිරවීම හුඟක්‌ දුරට අඩුකරගැනීමට හැකියාව තිබෙනවා. මොකද රූපයක්‌ අභියස එය අනිත්‍යයි කියන කාරණය දකින්න දැන් ඔබ පුහුණුවක්‌ ලබා ඇති නිසා. එය අවබෝධයක්‌ නොවේ මාර්ගය වැඩීමට ලැබෙන පිටුවහලක්‌ වේවී.

මීළඟට භාවනා කිරීමට පෙර ඔබ විසින් අවධාරණය කළ යුතු විශේෂ දෙයක්‌ තමා දසකුසල් කියන කාරණයේ අර්ථය. විශේෂයෙන්ම සුදුවත් දරාගත් පිංවතුන්ලා මේ කාරණයේදී දුර්වලතාවයන් දකිනවා. එම පිංවතුන්ලා අවංකවම තම ශීලය ගැන විශ්වාසයකින් පසුවෙන්නේ. එම විශ්වාසය තුළ පංචශීලය එසේත් නැතිනම් ආජීව අට්‌ඨමක ශීලය සමාදන් වෙනවා. ඔබ සමාදන් කළ ඉහත ශීලයන් දෙක තුළම දසකුසල් වලට අදාළ වන කාරණා හතක්‌ම ආවරණයවෙලා තිබෙනවා. කයෙන් සිදුවන්නාවු අකුසල් තුනක්‌ වචනයෙන් සිදුවන්නාවු අකුසල් හතරක්‌ ඔබෙන් වැළකෙනවා. නමුත් පිංවතුනි වඩාත්ම ප්‍රබල මනසින් සිදුවෙන්නාවු අකුසල් තුන ලෝභ, ද්වේශ, මෝහ කියන කාරණා තුන නිරතුරුවම අපි මගහැරෙනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනෝ කර්මයන්මයි බලවත් කියලා. පිංවත් ඔබ සතුන් මරන්නෙ නැති වෙන්න පුළුවන්, බොරු නොකියන්න පුළුවන්, ඇතිවන පුංචි ප්‍රශ්නයක්‌ හමුවේ ක්‍ෂණිකව ලෝභ, ද්වේශ, මෝහ අකුසලය චෛතිසිකයන් සකස්‌කර ගන්නවා. මේ කාරණය භාවනාවට බොහෝම අනතුරුදායක තත්ත්වයක්‌. ලෝභ, ද්වේශ, මෝහ නමින් පෙනීසිටින්නේ, මේ කාරණ තුනම සකස්‌ වෙන්නේ රූපයට ඇති තෘෂ්ණාව නිසාමයි. මමත්වයේ දැඩිභාවය නිසා ඉහත ස්‌වභාවය වැඩිවෙනවා. මෙහි වඩාත් භයානක කාරණා තීව්‍ර වෙන්න පුළුවන්. ඒ නිසා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කායකර්ම, වචීකර්ම යටපත්කර මනෝ කර්ම නැගී සිටින බව.

සමාජයේදී අපිට පෙනෙනවා සමහරක්‌ පිංවතුන්ලා පුංචි ප්‍රශ්නයකදී එහෙමත් නැතිනම් ධර්ම අවවාදයකදී ස්‌වාමීන් වාහන්සේලාගෙන් වුණත් පිළිගැනීමට මැලිවන්නේ නැහැ. අවදානම සකස්‌ කර දෙන්නේ දසකුසල් කියන ජීවිතයට එකතු කර නොගැනීම නිසා.

69-මෛත්‍රී භාවනාව කියන්නේද අතහැරීමකි

2014-03-02
මහ රහතුන් වැඩි මග ඔස්‌සේ…..
සතර අපායෙන් මිදෙමු – 69 කොටස
භාවනාවට පෙර VII


භාවනා කරන බොහෝ දෙනෙක්‌ උපාදානය කියන කාරණයේ බරපතළ බව නොසිතන බව පෙනෙනවා. උපාදානයේ තිබෙන අනතුර තේරුම් ගැනීමට පිංවත් ඔබ සියුම්ව ඔබේ ජීවිතය දෙස බැලිය යුතුවෙනවා.

ඔබ පසළොස්‌වක පොහොය දවස ගැන සිතන්නකෝ. ලක්‍ෂ කීයක්‌ පිංවතුන් එදාට සිල්සමාදන් වෙනවාද? විහාරස්‌ථානවල. නමුත් මේ පිරිසෙන් කීයෙන් කීදෙනාටද පුළුවන් පසුදා උදෑසන දක්‌වා සිල් පවාරනය නොකොට විහාරස්‌ථානයේම නවතින්න. සවස හතර වනවිට ගෙදර පිළිබඳ උපාදානය සකස්‌වෙනවා. පිංවත් ඔබට පුළුවන්ද එක දවසක්‌ ගෙදර අතහැරලා පිට ප්‍රදේශයකට ගොස්‌ ඉන්න. ඔබට පුළුවන්ද සතියක්‌ ඔබේ ඥාතීන්ගෙන්, ගෙදරින්, ව්‍යපාරයෙන් මිදිලා වන්දනාගමනක්‌ යන්න. භාවනා වැඩසටහනකට යන්න. උත්තරය ‘බැහැ’නම් ඔබ සිතන්න ක්‌ෂණිකව ඔබ මියගියහොත් කෙසේනම් ඉහත උපාදානයන් අතහැරගන්නද? කියලා. ඔතැනට තමයි, භවය සකස්‌කරන උපාදානය කියන්නේ.

වර්තමානයේ වයොවෘද්ධ අම්මලා තාත්තලා හුඟදෙනෙකුට බැහැ නිවසින් බැහැරව දින දෙක තුනක්‌ ගතකරන්න. ගෙදර මතක්‌වෙනවා. දරුමුණුපුරන් මතක්‌වෙනවා. ‘මගේ තැන’ මතක්‌වෙනවා. එම නිසා භාවනා කිරීමට පෙර උපාදානයේ හැඩරුව හොඳින් හඳුනාගන්න. හැකිතාක්‌ පිංකම් උදෙසා තමන් අර්ථවත් ලෙස දකින බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අර්ථයම කියන ගුරුවරුන් වෙතට යන්න. එම ස්‌ථාන සොයායන්න. දරුමුණුපුරන් විසින් හැකිතාක්‌ තම දෙමාපියන්, ආච්චිලා, සීයලා නිවසින් බාහිර පිංකම් සදහා යොමුකරවන්න. ගෙදර අතහැර සතියක්‌ දෙකක්‌ ගතකිරීමට පුරුදුකරන්න. නමුත් පිංවත් ඔබට ඉහත කාරණා කෙරෙහි බලවත් තෘෂ්ණාවක්‌ නැතිනම් විවේකීව නිවසේම තම භාවනා කටයුතු සිදුකරගන්න. එය වඩාත් ඔබට පහසුවේවි.

සෑම විටම ඔබගේ උපාදානය , ආර්යඅෂ්ඨාංගික මාර්ගයේ ‘සම්මා වායාමෝ’ අර්ථය දිශාවට යොමුකරගන්න දක්‍ෂවෙන්න. පටිච්චසමුප්පාද ධර්මයේ උපාදානය ගැන මෙහි විශේෂයෙන් සඳහන් කළද අනෙකුත් සියලුම ධර්මතාවයන් එක හා සමාන වැදගත් බව සලකන්න. දුක ඇතිවීමට හේතුවත් දුක නිරුද්ධ වීමට හේතුවත් හේතුඵලධර්මයන්ට අනුව දකින්න උත්සහගන්න. මෙහෙම දකිනවිට ‘අතීතයේ මම සිටියාය. අනාගතයේ මම සිටින්නේය, වර්තමානයේ මම සිටිමි’ යන ආත්මීය කාරණය ඔබෙන් බැහැරවේවි. මෙතැනදී තමයි සක්‌කාය දිට්‌ඨය ඔබෙන් ගැලවිලා යන්නේ. සක්‌කාය දිට්‌ඨය ඔබ තුළින් පෝෂණය වෙන්නේ නිත්‍ය වූ ස්‌ථිර වූ පාලනය කළ හැකි පුද්ගලයෙක්‌ ආත්මයක්‌ ඉන්නවාය කියන කාරණය නිසා. මේ මුසාවාදයෙන් ඔබ මිදෙන්න ඕනේ. සතර අපායෙන් නොමිදුන පිංවතා තවම ශීලයෙන් පරිපූර්ණ නැතිය කියන්නේ ඉහත කාරණය නිසා. භාවනා කිරීමට පෙර ඇත්ත දැනගන්න. වැරැදි නිවරැදිකරගන්න.

අවිද්‍යාපච්චයා සංඛාරා, සංඛාර නිසයි විඤ්ඤාණය සකස්‌වෙන්නේ. විඤ්ඤාණය හේතුවෙනුයි නාමරූම සකස්‌වෙන්නේ. නාමරූප හේතුවෙනුයි සලායතන සකස්‌වෙන්නේ. මමය කියල ඔබ ගොඩනඟාගත් පුද්ගල සංඥාව පියවරෙන් පියවර ඔතනයි තිබෙන්නේ. එම නිසා වෙඩි තැබීමට පෙර නිවැරැදි ඉලක්‌කය සාදාගන්න. එසේ නොවුණහොත් විරුද්ධවාදීන් වැඩිවීම පමණයි සිදුවන්නේ. එම නිසා දුක ඇතිවීමට හේතුවන ක්‍රියාවලියන් දුක්‌ඛ නිරෝධයට හේතුවෙන ක්‍රියාවලියන් ගැන නිරතුරුවම භාවනාවක්‌ වශයෙන් මෙනෙහිකරන්න.

මීළඟ කාරණය පිංවත් ඔබ භාවනා කිරීමට පෙර යහපත් මනුෂ්‍යයෙක්‌ විය යුතුයි. මේ සටහන ලියන්නේ ගිහි පිංවතුන් සඳහාය. දෙමාපියන්ට, ඥාතීන්ට ගරුකරන මනුෂ්‍යයෙක්‌ විය යුතුයි. සංඝයා වහන්සේලාට ගරුකරන මනුෂ්‍යයෙක්‌ විය යුතුයි. සමාජයේ යුතුකම් දන්නා, යුතුකම් ඉටුකරන මනුෂ්‍යයෙක්‌ වන්න. මන්ද යුතුකම් යනු ඔබ ලබාගත් අයිතිවාසිකම්වලට කරන ගෙවීමයි. පිංවත් ඔබ ලෝකය අතහැරීම පිණිස භාවනා කිරීමට පෙර පහත කාරණා ඔබගේ ජීවිතය තුළින් කළ හැකිදැයි විමසාබලන්න.

ඔබ සිතන්න ඔබ කොළඹින් බස්‌රථයක නැගලා කතරගම යනවා කියලා. සෙනග පිරුණු බස්‌රථය මොරටුවේ බස්‌නැවතුමේ නවත්තපුවාම කුඩා දරුවෙක්‌ වඩාගත් අම්මාකෙනෙක්‌ එසේත් නැතිනම් ඉතා වයෝවෘද්ධ ආච්චිකෙනෙක්‌ බසයට නගිනවා. දෙපාරක්‌ නොසිතා ඔබගේ ගමනාන්තයට තව ඇති දුරගැන නොසිතා ඔබ කැමත්ත සකස්‌වෙනවාද සෙනග පිරී ඇති බසයේ ඔබගේ ආසනය ඇයට හෝ ඔහුට පරිත්‍යග කරන්න. ඔබට මෙය කරන්න බැරිනම්, ඔබට එවැනි පරාර්ථකාමී සිතක්‌ තවම සකස්‌ කරගන්න බැරිනම්, ඔබ කෙසේනම් ලෝකය අතහරින්නද? පාරේ දුවයන බසයක ප්‍රවේශ පත්‍රයක්‌ මිලදීගැනීම නිසා පැය කීපයකට ලැබුණු ආසනය අතහැරීමට නොහැකිනම් භාවනාකිරීමට පෙර මෙවැනි පුංචි අතහැරීමක්‌ ජීවිතය තුළින් ක්‍රියාත්මක කරන්න පුරුදුවන්න. තමා ලබන සැප පහසුව තාවකාලිකව හෝ අනුන් උදෙසා පරිත්‍යාග කිරීමට අකමැතිනම් කෙසේ මේ නාමරූම ධර්මයන් අතහැරීමට යොමුවන්නද? අවම වශයෙන් මෛත්‍රිභාවනාව අර්ථවත් කරගැනීමට යොමුවන්නද.

මෛත්‍රිභාවනාව කියන්නේ අතහැරීමක්‌. කුමක්‌ද අතහැරෙන්නේ ක්‍රෝධය, ද්වේශය, ව්‍යාපාදය. මේවා අත්හැරෙද්දී ඔබ තුළ අන්‍ය මිනිසුන් කෙරෙහි කරුණාවක්‌ සකස්‌විය යුතුයි. එහෙම සකස්‌ වුණොත් බස්‌රථයේ ආසනය පරිත්‍යග කිරීම බොහොම සුළුදෙයක්‌. එහෙම නොවෙනවානම් මෛත්‍රියේ නාමයෙන් ඔබ තුළ වැඩී ඇත්තේ සක්‌කාය දිට්‌ඨයයි.