68-සතර අපා දුක්‌ නොවින්ද කව්රුනම් ලොවේ සිටිත්ද

2014-02-23
සතර අපායෙන් මිදෙමු – 68 කොටස
භාවනාවට පෙර IV


වර්තමානයේ ඔබට ඇසෙන දකින දේවල් තුළ සංසාරයේ බිය වසා දමලයි තිබෙන්නේ. ඕනෑම මනුෂ්‍යයෙක්‌ මියගියහම නැවත උපදින්නේ දිව්‍යලෝකයේමයි, මනුෂ්‍යයන් අතරමයි කියන දැක්‌ම සමාජයේ මුල් බැසගෙන තිබෙන්නේ. එසේත් නැතිනම් සුදු ඇඳුමක්‌ ඇඳගෙන තම මියගිය ඥාතියාව සිහිනෙන් දැක්‌කාය කියන දවල් හෝ රාත්‍රී සිහිනයකට මේ උතුම් හේතුඵල ධර්මයේ අර්ථය හීනකොට තිබෙනවා.

අවමංගල්‍ය නිවස ඉදිරිපිට එල්ලා ඇති ‘නිවන් සැප ලැබේවා’ කියලා සඳහන් බැනර දකිනකොට, නිවන් අවබෝධය කියන කාරණය සමාජය විසින් මොනතරම් සුළුකොට, ලඝූකොට දකිනවාද යන්න පැහැදිළියි. සමාජයේ බහුතරයක්‌ පිංවතුන් තම ඥාතිවරයෙක්‌ මියගිහයම, පංශුකූල පිංකමෙන්, එසේත් නැතිනම් හත් දවසේ පිංකමෙන් තම මියගිය ඥාතියාට ආශ්චර්යමත් උපතක්‌ ලබාදීමට උත්සාහ කරනවා. මේ කටයුත්ත වැඩිපුරම සිද්ධවෙන්නේ මළගෙදර ගුණකථනය කරන මහත්වරුන් අතින්. පිංවත් ඔබ, ඔබගේ මියගිය ඥාතිවරයෙක්‌ සුදු ඇඳුමක්‌ ඇඳගෙන ඔබ ඉදිරියේ සිහිනයෙන් පෙනී සිටියහොත් මොන තරම් ආශ්වාදයකින් ද ඒ පිළිබඳව කථා කරන්නේ. එක පැත්තකින් එය ඇත්තෙන්ම සිහිනයක්‌. අනෙක්‌ පැත්තෙන්, සුදු ඇඳුමක්‌ ඇඳගෙන සිටියත්, ඉහත ස්‌වභාවය පරදත්ත රූප ජීවී ප්‍රේතයෙක්‌ හෝ ප්‍රේතියක්‌. ඒ කියන්නේ සතර අපායෙන් මිදී නොමැති සත්ත්වයෙක්‌. මොකක්‌ ගැන සතුටුවෙන්නද? පරදත්ත රූප ජීවී ප්‍රේතයෙක්‌, ප්‍රේතියක්‌ ගැන අප සතුටු වෙනවානම්, එසේ සතුටුවන කෙනාට ප්‍රේත සංඥාවෙන් ඔබ්බට යන්නට අපහසු වෙනවා. ඒ නිසා පිංවත් ඔබ භාවනාවට පෙර, සතර අපාය කියන කාරණය හොඳින් වෙන්කොට හඳුනාගන්න. එසේ හඳුනාගත් කෙනායි, ඒ මායිමෙන් මිදෙන මාර්ගයට එන්නේ. ඉහත සටහන සම්පූර්ණයෙන් වෙන්කළේ සතර අපාය ගැනත්, කාම, රූපී, අරූපී භවාත්‍රය ගැනත් දැනීමක්‌ සකස්‌කර ගැනීම භාවනා කරන කෙනෙක්‌ට අවශ්‍යම කරුණක්‌ බව පැහැදිළි කරදෙන්නයි. ඉහත කාරණා දෙක විනිවිද දකින යෝගාවචරයායි, ඉන් මිදෙන දිශාවට ගමන් කරන්නේ.

දෙවැනි කාරණය නම් භාවනා කිරීමට පෙර සක්‌කාය දිට්‌ඨිය ගැන හොඳින් දැනගැනීමයි. මේ කාරණයේ අර්ථය නොදැන භාවනා කිරීමේ තේරුමක්‌ නැහැ. මෙහි කෙටිම අර්ථය, මමත්වයේ දැඩි ස්‌වභාවය යන්නයි. සංසාරයක්‌ පුරාවට කැටිකොට ගලාගෙන පැමිණි, තන්හා මාන්න දිශ්ටීන්ගේ රුව ගුණයයි.

එක පිංවතියකට භික්‍ෂුව සඳහන් කළා, ඔබත් මමත් අනෙකුත් පිංවතුනුත් සංසාරයේ සශ්‍රික දිව්‍යතල, රූපී, අරූපී බ්‍රහ්ම තල වල කල්ප ගණන් සැප විඳ ඇති බව. ඇය ගත් කටටම ප්‍රකාශ කළේ, ඇත්තටම හාමුදුරුවනේ මම එහෙම ඉඳලා තිබෙනවාද? කියලා. භික්‍ෂුව ප්‍රකාශ කළේ, බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව, එය එසේමයි කියලා. ඒ අවස්‌ථාවේ ඇය දැඩිලෙස සතුට ප්‍රකාශ කළා. නැවත භික්‍ෂුව ප්‍රකාශ කළා, ඔබත් මමත් කල්ප ගණන් සතර අපායේ, තිරිසන්, ප්‍රේත නිරයේ මෙන්ම අසුරයන් වශයෙන්ද ඉපිද ඇති බව. ඒ මොහොතේ ඇය දැඩි නොරිස්‌සුම් ස්‌වභාවයෙන් ප්‍රකාශ කළේ, තමා සතර අපායේ කිසිවිටකත් නොසිටි බවයි. බලන්න මුල් කාරණයේදී ඇය සතුටු වුණා. දෙවැනි කාරණයේදී ඇය දැඩි විරෝධයක්‌ දැක්‌වුවා. මේ අවස්‌ථා දෙකේදීම, ඇය තුළ ඇති සක්‌කාය දිට්‌ඨියේ ලක්‍ෂණයි ප්‍රකාශ වුණේ.

සමහර පිංවතුන් සිටිනවා, අපි සතර අපාය ගැන කථාකරනවාටත් අකමැතියි. ඒ අකමැත්ත තුළ තිබෙන්නේ සක්‌කාය දිට්‌ඨියමයි. මේ සටහන් කරන භික්‍ෂුව වැඩියෙන්ම කැමති, සතර අපාය ගැන කථා කරන්නයි. මොකද සතර අපාය කෙරෙහි ඇතිවූ බියමයි, මේ සටහන ලියන්න අවශ්‍ය අවබෝධය භික්‍ෂුවට ලබාදුන්නේ. භික්‍ෂුව අභිමානයෙන් කියනවා, අතීත බවයන්හිදී මා සතර අපායන් හී සෑම බිම් අඟලක්‌ම ස්‌පර්ශ කළ අයෙක්‌මය කියලා. පිංවත් ඔබ ධර්මය නොදැන කෙසේ නම් ධර්මය අවබෝධ කරගන්නද?

පිංවත් ඔබ නිහතමානී වෙන්න. යම් පිංවතෙකුට සිතෙනවානම්, තමා සතර අපායේ ඉපදී නැතැයි කියලා, ඔහු මෝහයේ ආගාධය තුළ සිටින කෙනෙක්‌ බව සිහිකරන්න. එම සිතිවිල්ලෙන් ඔබ මිදුනොත්, එය මේ ජීවිතයේදී ඔබ සිතූ උතුම්ම සිතිවිල්ල වෙනවා. කරුණු හරියාකාරව නොදැන භාවනා කිරීම, සක්‌කාය දිට්‌ඨිය වැඩීමට හොඳ තෝතැන්නක්‌ වෙනවා. මේ කාරණය ගැන පරෙස්‌සම් නොවුණහොත්, භවනාවේ නාමයෙන් අපි වඩවාගෙන ඇත්තේ මමත්වයේ දැඩිභාවයම හෙවත් සක්‌කාය දිට්‌ඨියමයි.

භාවනාව තුළින් සිදුවන්නේ යමක්‌ අල්ලාගැනීම නොව, අල්ලාගෙන ඇති දෙය අතහැරීමය. අල්ලාගත් දේවල් අතහැරෙන්න, අතහැරෙන්න ඔබ තුළ සකස්‌වෙන්න ඕනා නිහතමානී බවමයි. මමත්වය අඩුවෙන්න ඕනේ. මේ ගැන හොඳ අවබෝධයක්‌ භාවනාවට පෙර ඔබට තිබෙන්නට ඕනේ. පිංවත් ඔබ මමත්වයේ දැඩිභාවයෙන් ගන්නේ රූපයයි. වේදනාවයි. සංඥාවයි. ෙච්තනාවයි. විඥාණයයි. එම නිසා භාවනා කරන පිංවතා නිරතුරවම ස්‌වයං පරීක්‍ෂණයක්‌ කරන්න ඕනේ, ඉහත ධර්මතාවයන් කෙරෙහි ඔබේ තෘෂ්ණාව අඩුවෙනවාද කියලා.

මීළඟට භාවනා කිරීමට පෙර පට්‌ච්ඡ සමුප්පාද ධර්මය ගැන හොඳන් දැනුවත් විය යුතු වෙනවා. ලොව්තුරු සම්මා සමබුදු ඥාණයන් අවබෝධකොට සත්වයාගේ බව දුක නිවීම සඳහා අර්ථවත්ව, ක්‍රමනුකූලව දේශනාකර ඇති පට්‌ච්ඡසමුප්පාද ධර්මය, අවිද්‍යාවේ පටන් හේතුඵල ධර්මයන්ට අනුව ජාති, ජරා, ව්‍යාධි, මරණ දක්‌වා සත්වයාගේ භව ගමන හොඳින් පැහැදිළිකොට තිබෙනවා.

මෙතැනදී අවිද්‍යාව සකස්‌වීමට හේතුව මුළින්ම ඔබ දැනගතයුතුයි. ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, අවිද්‍යාව සකස්‌වෙන්නේ පංච නීවරණ ධර්මයන් නිසාය කියලා. පංච නීවරණයන් ඇතිවෙන්න හේතුව කාය, වාග්, මනෝ අකුසලයන්ය කියලා. මේ සියල්ලටම හේතුව යෝනිසෝ මනසිකාරය කියලයි බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ. මේවා නැතිකරගැනීමට නම්, කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය අවශ්‍ය වෙනවා. අවිද්‍යාවේ පටන්, හේතුඵල ධර්මයන්ට අනුව සකස්‌වෙන සෑම ධර්මතාවයක්‌ම, එක හා සමාන වටිනාකමින් දකින්න වෙනවා. මොකද එක ධර්මතාවයක්‌ හේතුවෙනුයි අනෙක සකස්‌වෙන්නේ. එම නිසා අපට අවශ්‍ය ආකාරයට එක ධර්මතාවයක්‌ හෝ දෙකක්‌ වෙන්ව අරගෙන ප්‍රතිඵල දකින්න යන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනාකෙට වදාල පරිදි මුල මැද අග වශයෙන් අර්ථවත්ව දැකීමට ඔබ උත්සහ ගතයුතුයි. අවිද්‍යාව අමතකකොට වෙන කිසිම ධර්මථාවයක නිරෝධයක්‌ ගැන සිතීම පවා අර්ථ විරහිත ක්‍රියාවක්‌ වෙනවා. පටිච්ඡසමුප්පාදය නොදැන කරන භාවනව කවදාවත් ඔබට නිවීමේ ඉලක්‌කය සඳහා යොමුකර ගැනීමට අපහසු වෙනවා. භාවනාව තුළින් අපි සැවොම අරමුණු කරන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධය, ඒ කියන්නේ අවිද්‍යාවේ නිරෝධයයි. එහෙමනම් දුක කුමක්‌ද? දුකට හේතුව කුමක්‌ද? කියන කාරණය තමයි පටිච්ඡසමුප්පාද ධර්මයේ අන්තර්ගතය.

මෙතැනදී විශේෂයෙන්ම එක කාරණයක්‌ ගැන සඳහන් කරනවා. ඒ තමයි උපාදානය කියන කාරණය. උපාදානයයි භවය සකස්‌කර දෙන්නේ. මේ කාරණය භාවනා කරන, නොකරන කාට වුවද හුඟාක්‌ වටිනවා. මොකද භාවනාව කළත්, පිංකම් සිදුකළත් අපි තුළ බොහෝ වෙලාවට වැඩෙන්නේ තන්හා, මාන්න, දිට්‌ඨි කියන කාරණාමයි. මේ කාරණා නිවැරදි කරගන්න පට්‌ච්ජසමුප්පාද සමුදය, නිරෝධය ක්‍රියාවලිය ජීවිතයේ කොටසක්‌ බවට පත්කරගන්න. ඔබ බුදුරජාණන්වහන්සේ වන්දනා කරන අවස්‌ථා වලදී භාවනාවට පෙරාතුව දිනපතා පටිච්ඡ සමුප්පාද ධර්මයේ අර්ථය දකිමින් සඡ්ජායනා කරන්න. මෙනෙහි කරන්න. භාවනා කරන පිංවතෙකුට සුවඳ දුම්, සුවඳමල් පූජාකරනවාට වඩා එය ගොඩක්‌ උපකාරී වේවී. මොකද ඔබ යමක්‌ පූජා කිරීමට පෙරාතුව, එම පූජාව අර්ථවත් වෙන්න නම්, ඔබ ඒවා පූජා කරන්නේ කුමන ගුණයන්ටද, ඥාණයන්ටද කියන අවබෝධය ඔබතුළ තිබිය යුතු වෙනවා. එම අවබෝධය මත සිටිමින් බුදුරජාණන්වහන්සේ වන්දනා කිරීම තමයි වඩාත් අර්ථවත් වෙන්නේ. එසේ කිරීමට පිංවත් ඔබට අපහසුනම්, සුපුරුදු පරිදි වන්දනා කටයුතු සිදුකරගන්න. කවදාවත් ඒවා අපතේ යන්නේ නැහැ.

ඉන්ද්‍රජිත් සුබසිංහ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s