67-දැකිය යුත්තේ සසර බියමය

‘සතර අපායෙන් මිදෙමු’ – 67 කොටස
මේ ධර්ම මාර්ගයේදී ඔබ යම් අවබෝධයක්‌ ලබනවා නම්, ඒ සෑම අවබෝධයක්‌ම ලබනුයේ ඔබ නොදැනුවත්ව නොවේ. සෑම අවබෝධයක්‌ම ලැබෙනුයේ ඥාන දර්ශනයන් සමගින්ය. ඥාන දර්ශන යනු උතුම් සමාධි ඵලයකදී දර්ශනයන් දකිමින් ලබන්නාවූ අවබෝධඥානයයි. මෙම ඥාන දර්ශනයන් යමෙක්‌ ජීවිතයේ දකින්නේ එක්‌ අවස්‌ථාවකදී පමණි. එම අවස්‌ථාවේදී භික්‍ෂුව එම ඥානය පිළිබඳව අවබෝධය ලබා අවසන්ය. ඉන් අනතුරුව ඕනෑම අවස්‌ථාවක එම ඥාන දර්ශනය සිහියට නගාගත හැකිය. ඒ ජීවිතයේ කොටසක්‌ බවට පත්වී අවසන්ය. මේ නිවීමේ මෙහෙයුමේදී භික්‍ෂුවක්‌ තුළ කාම, රූපී, අරූපි භවාත්‍රය පිළිබඳ අනිත්‍ය සංඥාවන් සතරසතිපට්‌ඨාන ධර්මතාවයන් වශයෙන්මයි වැඩෙන්නේ.

මනුෂ්‍ය ලෝකය, දිව්‍යතල, බ්‍රහ්මතල මනසින් පීර පීරා බලනකොට මුලින්ම රූපයේ අසුභයමයි, මරණානුස්‌සතියමයි, සත්වයාගේ ජරා, ව්‍යාධි, මරණ ලක්‍ෂණමයි පෙනෙන්නේ. මිනිස්‌ රූප, ස්‌ත්‍රී පුරුෂ රූප, විවෘත කොට මනසින් බලමිනුයි නුවණින් මෙනෙහි කරන්නේ. ඕනෑම මිනිස්‌ රූපයක්‌ පමණක්‌ නොව, දිව්‍ය, බ්‍රහ්ම රූපයක්‌ පවා අට්‌ඨික සංඥාවෙන් දකින්න. අට්‌ඨික සංඥාව විනිවිදගොස්‌ දුහුවිල්ලක්‌, ගින්දරක්‌, සුළඟක්‌ ලෙස රූපයේ අනිත්‍යභාවය දකින්න එම භික්‍ෂුව තුළ විදර්ශනා ඥානය වැඩිලයි තියෙන්නේ.

අරමුණු වන සෑම රූපයක්‌ම විදර්ශනා ඥානයෙන් විනිවිද දකිමින්, එම රූපයට ඇති ජන්ද රාගයෙන් මිදෙමින් ඉදිරියට යැම පමණයි භික්‍ෂුවට තිබෙන්නේ. රූපවාහිනී දර්ශන පථයක රූප එකක්‌ පසුපස, එකක්‌ එන්නේ යම් සේද, නොකඩවා රූපත්, එම රූප විදර්ශන ඥානයෙන් විනිවිද දකිමින් ලබන්නා වූ අවබෝධාත්මක ඥානයත් සමගින් ඉදිරියට ගමන් කරනවා. මේ ක්‍රියාන්විතය පුරාවට සිදුවන්නේ පංච උපාදානස්‌කන්ධය නැමැති මාරයාට කාය, චිත්ත, ධම්ම, වේදනා කියන සතර ධර්මයන් උපයෝගීකොටගෙන, තෘෂ්ණාවේ සළුවෙන් වසාගෙන සිටින, අනිත්‍යයේ යථාර්ථය විනිවිද දකිමින්, රූපයට ඇති තෘෂ්ණාවෙන් මිදීමය.රූපය ඇසුරින් සකස්‌වෙන පංචඋපාදානස්‌කන්ධයට ඇති ජන්දරාගයෙන් මිදීමය.

සතර සතිපට්‌ඨාන ධර්මතාවයන් උපයෝගී කරගෙන රූපයේ අනිත්‍යභාවය විදර්ශනාවට ලක්‌කිරීමේදී සිදුවන ආශ්චර්යමත් සිදුවීම නම්, පිංවත් ඔබගේ අවංක වූ භව නිsරෝධයේ අරමුණු සාක්‍ෂාත් කරදීම සඳහා සප්තබොඡ්ජංග ධර්මයන් බලමුළු හතක්‌ ලෙසින් එකම දිශාවට අනුපිළිවෙළට ආධාරයට පැමිණෙන්නා සේ, තමා තුළින්ම හේතුඵල ධර්මයන් අනුව මෝදුවීමය. මේ ධර්මතාවයන් මොනවාද යන්න ඒ මොහොතේ සිතීමට, දැකීමට යැම ඔබට අයත් කාර්යයක්‌ නොවේ. මොකද සිතන්නට එහි නිත්‍ය වූ දෙයක්‌ නොමැති නිසාය. සප්තබො-ජංගයන්ට ඇලුනොත් එයද ආශ්වාදයක්‌මය. වැඩෙන සප්තබොඡ්ජංගයන්ගේද අනිත්‍යභාවය දකිමින්, තමාගේ පිහිටට පැමිණි සහය බලමුළුද විදර්ශනා ඥානයෙන්ම නිරුවත්කොට දැකිය යුතුය. එසේ නොවුනහොත් සප්ත බොඡ්ජංග ධර්මයනුත් මාරයා වනවා එකාන්තය. මන්ද පිංවත් ඔබ මේ අවබෝධකිරීමට යන්නේ ධර්මයයි. ධර්මයේ ස්‌වභාවයන් දෙකක්‌ නොමැත. ධර්මයේ කාලීන හෝ අතීත කියා දෙයක්‌ නැත. ධර්මයේ ගැඹුරු හෝ නොගැඹුරු කියා දෙකක්‌ නැත. ධර්මය යනු එකම අර්ථයකි. එම අර්ථය නම් අනිත්‍යයයි. එසේ නම් සප්ත බො-ජංග ධර්මයද අනිත්‍ය විය යුතුමය. මන්ද මේවාද ධර්මයන් නිසාය. පිංවත් ඔබ ඉහත ධර්මතාවයන් අවබෝධ කරගතහොත් එම ධර්මතාවයන් ආයාසයකින් තොරවම ඔබට අත්විඳීමට පුළුවන. එයද ධර්මතාවයක්‌මය. මේ සියලු ධර්මතාවයන්ගේ වඩාත් ආශ්චර්යමත් සිදුවීම වන්නේ, පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය අවබෝධ කරගැනීමට උපකාරී වූ සතර සතිපට්‌ඨාන ධර්මයනුත්, එම ධර්මතාවය හේතුවෙන් වැඩුණු සප්ත බොඡ්ජංග ධර්මයනුත් අනිත්‍ය වශයෙන් අවබෝධ වෙද්දී ඔහු චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබීමය.

සතර සතිපට්‌ඨාන ධර්මයන්ද, සප්තබොඡ්ජංග ධර්මයන්ද, භික්‍ෂුව තුළ වැඩෙන්නේ පංචඋපාදානස්‌කන්ධය ලෙසින්මය. භික්‍ෂුව නැවත ආපසු හැරී බලන විට ඉහත ධර්මයන් සියල්ලම පංච උපාදනස්‌කන්ධයේම අර්ථය බව මැනවින් ප්‍රකට වෙයි. පංචඋපාදානස්‌කන්ධය යනු ලෝකය බවත්, පංචඋපාදානස්‌කන්ධයෙන් තොර ලෝකයක්‌ නොමැති බවත් පැහැදිළිය.

ඉහතින් සඳහන් කළ අත්දැකීම කාගේ වුවද එය ඔබගේද, මගේද නිවීමේ මගට ශක්‌තියක්‌ වනු ඒකාන්තය. ඉකුත් ලිපිවලදී භික්‍ෂුව කියන්නට උත්සාහ කළේ සතර අපායේ බිය හොඳින් දැන භවය කෙරෙහි බියක්‌ සකස්‌කොට ගන්නා ලෙසය. සසර බිය නොදකින්නා කවදාකවත් සසරින් නොගැලවෙන්නෙකි. සතර අපායට බිය පිංවතාමයි ශීලය තුළ ශක්‌තිමත් වෙන්නේ. ශීලය තුළ ශක්‌තිමත් වූ පිංවතා තුළයි සමාධිය සකස්‌වෙන්නේ. සමාධිමත් පිංවතා තුළයි ප්‍රඥාව සකස්‌වෙන්නේ.

ඉන්ද්‍රජිත් සුබසිංහ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s