68-සතර අපා දුක්‌ නොවින්ද කව්රුනම් ලොවේ සිටිත්ද

2014-02-23
සතර අපායෙන් මිදෙමු – 68 කොටස
භාවනාවට පෙර IV


වර්තමානයේ ඔබට ඇසෙන දකින දේවල් තුළ සංසාරයේ බිය වසා දමලයි තිබෙන්නේ. ඕනෑම මනුෂ්‍යයෙක්‌ මියගියහම නැවත උපදින්නේ දිව්‍යලෝකයේමයි, මනුෂ්‍යයන් අතරමයි කියන දැක්‌ම සමාජයේ මුල් බැසගෙන තිබෙන්නේ. එසේත් නැතිනම් සුදු ඇඳුමක්‌ ඇඳගෙන තම මියගිය ඥාතියාව සිහිනෙන් දැක්‌කාය කියන දවල් හෝ රාත්‍රී සිහිනයකට මේ උතුම් හේතුඵල ධර්මයේ අර්ථය හීනකොට තිබෙනවා.

අවමංගල්‍ය නිවස ඉදිරිපිට එල්ලා ඇති ‘නිවන් සැප ලැබේවා’ කියලා සඳහන් බැනර දකිනකොට, නිවන් අවබෝධය කියන කාරණය සමාජය විසින් මොනතරම් සුළුකොට, ලඝූකොට දකිනවාද යන්න පැහැදිළියි. සමාජයේ බහුතරයක්‌ පිංවතුන් තම ඥාතිවරයෙක්‌ මියගිහයම, පංශුකූල පිංකමෙන්, එසේත් නැතිනම් හත් දවසේ පිංකමෙන් තම මියගිය ඥාතියාට ආශ්චර්යමත් උපතක්‌ ලබාදීමට උත්සාහ කරනවා. මේ කටයුත්ත වැඩිපුරම සිද්ධවෙන්නේ මළගෙදර ගුණකථනය කරන මහත්වරුන් අතින්. පිංවත් ඔබ, ඔබගේ මියගිය ඥාතිවරයෙක්‌ සුදු ඇඳුමක්‌ ඇඳගෙන ඔබ ඉදිරියේ සිහිනයෙන් පෙනී සිටියහොත් මොන තරම් ආශ්වාදයකින් ද ඒ පිළිබඳව කථා කරන්නේ. එක පැත්තකින් එය ඇත්තෙන්ම සිහිනයක්‌. අනෙක්‌ පැත්තෙන්, සුදු ඇඳුමක්‌ ඇඳගෙන සිටියත්, ඉහත ස්‌වභාවය පරදත්ත රූප ජීවී ප්‍රේතයෙක්‌ හෝ ප්‍රේතියක්‌. ඒ කියන්නේ සතර අපායෙන් මිදී නොමැති සත්ත්වයෙක්‌. මොකක්‌ ගැන සතුටුවෙන්නද? පරදත්ත රූප ජීවී ප්‍රේතයෙක්‌, ප්‍රේතියක්‌ ගැන අප සතුටු වෙනවානම්, එසේ සතුටුවන කෙනාට ප්‍රේත සංඥාවෙන් ඔබ්බට යන්නට අපහසු වෙනවා. ඒ නිසා පිංවත් ඔබ භාවනාවට පෙර, සතර අපාය කියන කාරණය හොඳින් වෙන්කොට හඳුනාගන්න. එසේ හඳුනාගත් කෙනායි, ඒ මායිමෙන් මිදෙන මාර්ගයට එන්නේ. ඉහත සටහන සම්පූර්ණයෙන් වෙන්කළේ සතර අපාය ගැනත්, කාම, රූපී, අරූපී භවාත්‍රය ගැනත් දැනීමක්‌ සකස්‌කර ගැනීම භාවනා කරන කෙනෙක්‌ට අවශ්‍යම කරුණක්‌ බව පැහැදිළි කරදෙන්නයි. ඉහත කාරණා දෙක විනිවිද දකින යෝගාවචරයායි, ඉන් මිදෙන දිශාවට ගමන් කරන්නේ.

දෙවැනි කාරණය නම් භාවනා කිරීමට පෙර සක්‌කාය දිට්‌ඨිය ගැන හොඳින් දැනගැනීමයි. මේ කාරණයේ අර්ථය නොදැන භාවනා කිරීමේ තේරුමක්‌ නැහැ. මෙහි කෙටිම අර්ථය, මමත්වයේ දැඩි ස්‌වභාවය යන්නයි. සංසාරයක්‌ පුරාවට කැටිකොට ගලාගෙන පැමිණි, තන්හා මාන්න දිශ්ටීන්ගේ රුව ගුණයයි.

එක පිංවතියකට භික්‍ෂුව සඳහන් කළා, ඔබත් මමත් අනෙකුත් පිංවතුනුත් සංසාරයේ සශ්‍රික දිව්‍යතල, රූපී, අරූපී බ්‍රහ්ම තල වල කල්ප ගණන් සැප විඳ ඇති බව. ඇය ගත් කටටම ප්‍රකාශ කළේ, ඇත්තටම හාමුදුරුවනේ මම එහෙම ඉඳලා තිබෙනවාද? කියලා. භික්‍ෂුව ප්‍රකාශ කළේ, බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව, එය එසේමයි කියලා. ඒ අවස්‌ථාවේ ඇය දැඩිලෙස සතුට ප්‍රකාශ කළා. නැවත භික්‍ෂුව ප්‍රකාශ කළා, ඔබත් මමත් කල්ප ගණන් සතර අපායේ, තිරිසන්, ප්‍රේත නිරයේ මෙන්ම අසුරයන් වශයෙන්ද ඉපිද ඇති බව. ඒ මොහොතේ ඇය දැඩි නොරිස්‌සුම් ස්‌වභාවයෙන් ප්‍රකාශ කළේ, තමා සතර අපායේ කිසිවිටකත් නොසිටි බවයි. බලන්න මුල් කාරණයේදී ඇය සතුටු වුණා. දෙවැනි කාරණයේදී ඇය දැඩි විරෝධයක්‌ දැක්‌වුවා. මේ අවස්‌ථා දෙකේදීම, ඇය තුළ ඇති සක්‌කාය දිට්‌ඨියේ ලක්‍ෂණයි ප්‍රකාශ වුණේ.

සමහර පිංවතුන් සිටිනවා, අපි සතර අපාය ගැන කථාකරනවාටත් අකමැතියි. ඒ අකමැත්ත තුළ තිබෙන්නේ සක්‌කාය දිට්‌ඨියමයි. මේ සටහන් කරන භික්‍ෂුව වැඩියෙන්ම කැමති, සතර අපාය ගැන කථා කරන්නයි. මොකද සතර අපාය කෙරෙහි ඇතිවූ බියමයි, මේ සටහන ලියන්න අවශ්‍ය අවබෝධය භික්‍ෂුවට ලබාදුන්නේ. භික්‍ෂුව අභිමානයෙන් කියනවා, අතීත බවයන්හිදී මා සතර අපායන් හී සෑම බිම් අඟලක්‌ම ස්‌පර්ශ කළ අයෙක්‌මය කියලා. පිංවත් ඔබ ධර්මය නොදැන කෙසේ නම් ධර්මය අවබෝධ කරගන්නද?

පිංවත් ඔබ නිහතමානී වෙන්න. යම් පිංවතෙකුට සිතෙනවානම්, තමා සතර අපායේ ඉපදී නැතැයි කියලා, ඔහු මෝහයේ ආගාධය තුළ සිටින කෙනෙක්‌ බව සිහිකරන්න. එම සිතිවිල්ලෙන් ඔබ මිදුනොත්, එය මේ ජීවිතයේදී ඔබ සිතූ උතුම්ම සිතිවිල්ල වෙනවා. කරුණු හරියාකාරව නොදැන භාවනා කිරීම, සක්‌කාය දිට්‌ඨිය වැඩීමට හොඳ තෝතැන්නක්‌ වෙනවා. මේ කාරණය ගැන පරෙස්‌සම් නොවුණහොත්, භවනාවේ නාමයෙන් අපි වඩවාගෙන ඇත්තේ මමත්වයේ දැඩිභාවයම හෙවත් සක්‌කාය දිට්‌ඨියමයි.

භාවනාව තුළින් සිදුවන්නේ යමක්‌ අල්ලාගැනීම නොව, අල්ලාගෙන ඇති දෙය අතහැරීමය. අල්ලාගත් දේවල් අතහැරෙන්න, අතහැරෙන්න ඔබ තුළ සකස්‌වෙන්න ඕනා නිහතමානී බවමයි. මමත්වය අඩුවෙන්න ඕනේ. මේ ගැන හොඳ අවබෝධයක්‌ භාවනාවට පෙර ඔබට තිබෙන්නට ඕනේ. පිංවත් ඔබ මමත්වයේ දැඩිභාවයෙන් ගන්නේ රූපයයි. වේදනාවයි. සංඥාවයි. ෙච්තනාවයි. විඥාණයයි. එම නිසා භාවනා කරන පිංවතා නිරතුරවම ස්‌වයං පරීක්‍ෂණයක්‌ කරන්න ඕනේ, ඉහත ධර්මතාවයන් කෙරෙහි ඔබේ තෘෂ්ණාව අඩුවෙනවාද කියලා.

මීළඟට භාවනා කිරීමට පෙර පට්‌ච්ඡ සමුප්පාද ධර්මය ගැන හොඳන් දැනුවත් විය යුතු වෙනවා. ලොව්තුරු සම්මා සමබුදු ඥාණයන් අවබෝධකොට සත්වයාගේ බව දුක නිවීම සඳහා අර්ථවත්ව, ක්‍රමනුකූලව දේශනාකර ඇති පට්‌ච්ඡසමුප්පාද ධර්මය, අවිද්‍යාවේ පටන් හේතුඵල ධර්මයන්ට අනුව ජාති, ජරා, ව්‍යාධි, මරණ දක්‌වා සත්වයාගේ භව ගමන හොඳින් පැහැදිළිකොට තිබෙනවා.

මෙතැනදී අවිද්‍යාව සකස්‌වීමට හේතුව මුළින්ම ඔබ දැනගතයුතුයි. ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, අවිද්‍යාව සකස්‌වෙන්නේ පංච නීවරණ ධර්මයන් නිසාය කියලා. පංච නීවරණයන් ඇතිවෙන්න හේතුව කාය, වාග්, මනෝ අකුසලයන්ය කියලා. මේ සියල්ලටම හේතුව යෝනිසෝ මනසිකාරය කියලයි බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ. මේවා නැතිකරගැනීමට නම්, කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය අවශ්‍ය වෙනවා. අවිද්‍යාවේ පටන්, හේතුඵල ධර්මයන්ට අනුව සකස්‌වෙන සෑම ධර්මතාවයක්‌ම, එක හා සමාන වටිනාකමින් දකින්න වෙනවා. මොකද එක ධර්මතාවයක්‌ හේතුවෙනුයි අනෙක සකස්‌වෙන්නේ. එම නිසා අපට අවශ්‍ය ආකාරයට එක ධර්මතාවයක්‌ හෝ දෙකක්‌ වෙන්ව අරගෙන ප්‍රතිඵල දකින්න යන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනාකෙට වදාල පරිදි මුල මැද අග වශයෙන් අර්ථවත්ව දැකීමට ඔබ උත්සහ ගතයුතුයි. අවිද්‍යාව අමතකකොට වෙන කිසිම ධර්මථාවයක නිරෝධයක්‌ ගැන සිතීම පවා අර්ථ විරහිත ක්‍රියාවක්‌ වෙනවා. පටිච්ඡසමුප්පාදය නොදැන කරන භාවනව කවදාවත් ඔබට නිවීමේ ඉලක්‌කය සඳහා යොමුකර ගැනීමට අපහසු වෙනවා. භාවනාව තුළින් අපි සැවොම අරමුණු කරන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධය, ඒ කියන්නේ අවිද්‍යාවේ නිරෝධයයි. එහෙමනම් දුක කුමක්‌ද? දුකට හේතුව කුමක්‌ද? කියන කාරණය තමයි පටිච්ඡසමුප්පාද ධර්මයේ අන්තර්ගතය.

මෙතැනදී විශේෂයෙන්ම එක කාරණයක්‌ ගැන සඳහන් කරනවා. ඒ තමයි උපාදානය කියන කාරණය. උපාදානයයි භවය සකස්‌කර දෙන්නේ. මේ කාරණය භාවනා කරන, නොකරන කාට වුවද හුඟාක්‌ වටිනවා. මොකද භාවනාව කළත්, පිංකම් සිදුකළත් අපි තුළ බොහෝ වෙලාවට වැඩෙන්නේ තන්හා, මාන්න, දිට්‌ඨි කියන කාරණාමයි. මේ කාරණා නිවැරදි කරගන්න පට්‌ච්ජසමුප්පාද සමුදය, නිරෝධය ක්‍රියාවලිය ජීවිතයේ කොටසක්‌ බවට පත්කරගන්න. ඔබ බුදුරජාණන්වහන්සේ වන්දනා කරන අවස්‌ථා වලදී භාවනාවට පෙරාතුව දිනපතා පටිච්ඡ සමුප්පාද ධර්මයේ අර්ථය දකිමින් සඡ්ජායනා කරන්න. මෙනෙහි කරන්න. භාවනා කරන පිංවතෙකුට සුවඳ දුම්, සුවඳමල් පූජාකරනවාට වඩා එය ගොඩක්‌ උපකාරී වේවී. මොකද ඔබ යමක්‌ පූජා කිරීමට පෙරාතුව, එම පූජාව අර්ථවත් වෙන්න නම්, ඔබ ඒවා පූජා කරන්නේ කුමන ගුණයන්ටද, ඥාණයන්ටද කියන අවබෝධය ඔබතුළ තිබිය යුතු වෙනවා. එම අවබෝධය මත සිටිමින් බුදුරජාණන්වහන්සේ වන්දනා කිරීම තමයි වඩාත් අර්ථවත් වෙන්නේ. එසේ කිරීමට පිංවත් ඔබට අපහසුනම්, සුපුරුදු පරිදි වන්දනා කටයුතු සිදුකරගන්න. කවදාවත් ඒවා අපතේ යන්නේ නැහැ.

ඉන්ද්‍රජිත් සුබසිංහ

67-දැකිය යුත්තේ සසර බියමය

‘සතර අපායෙන් මිදෙමු’ – 67 කොටස
මේ ධර්ම මාර්ගයේදී ඔබ යම් අවබෝධයක්‌ ලබනවා නම්, ඒ සෑම අවබෝධයක්‌ම ලබනුයේ ඔබ නොදැනුවත්ව නොවේ. සෑම අවබෝධයක්‌ම ලැබෙනුයේ ඥාන දර්ශනයන් සමගින්ය. ඥාන දර්ශන යනු උතුම් සමාධි ඵලයකදී දර්ශනයන් දකිමින් ලබන්නාවූ අවබෝධඥානයයි. මෙම ඥාන දර්ශනයන් යමෙක්‌ ජීවිතයේ දකින්නේ එක්‌ අවස්‌ථාවකදී පමණි. එම අවස්‌ථාවේදී භික්‍ෂුව එම ඥානය පිළිබඳව අවබෝධය ලබා අවසන්ය. ඉන් අනතුරුව ඕනෑම අවස්‌ථාවක එම ඥාන දර්ශනය සිහියට නගාගත හැකිය. ඒ ජීවිතයේ කොටසක්‌ බවට පත්වී අවසන්ය. මේ නිවීමේ මෙහෙයුමේදී භික්‍ෂුවක්‌ තුළ කාම, රූපී, අරූපි භවාත්‍රය පිළිබඳ අනිත්‍ය සංඥාවන් සතරසතිපට්‌ඨාන ධර්මතාවයන් වශයෙන්මයි වැඩෙන්නේ.

මනුෂ්‍ය ලෝකය, දිව්‍යතල, බ්‍රහ්මතල මනසින් පීර පීරා බලනකොට මුලින්ම රූපයේ අසුභයමයි, මරණානුස්‌සතියමයි, සත්වයාගේ ජරා, ව්‍යාධි, මරණ ලක්‍ෂණමයි පෙනෙන්නේ. මිනිස්‌ රූප, ස්‌ත්‍රී පුරුෂ රූප, විවෘත කොට මනසින් බලමිනුයි නුවණින් මෙනෙහි කරන්නේ. ඕනෑම මිනිස්‌ රූපයක්‌ පමණක්‌ නොව, දිව්‍ය, බ්‍රහ්ම රූපයක්‌ පවා අට්‌ඨික සංඥාවෙන් දකින්න. අට්‌ඨික සංඥාව විනිවිදගොස්‌ දුහුවිල්ලක්‌, ගින්දරක්‌, සුළඟක්‌ ලෙස රූපයේ අනිත්‍යභාවය දකින්න එම භික්‍ෂුව තුළ විදර්ශනා ඥානය වැඩිලයි තියෙන්නේ.

අරමුණු වන සෑම රූපයක්‌ම විදර්ශනා ඥානයෙන් විනිවිද දකිමින්, එම රූපයට ඇති ජන්ද රාගයෙන් මිදෙමින් ඉදිරියට යැම පමණයි භික්‍ෂුවට තිබෙන්නේ. රූපවාහිනී දර්ශන පථයක රූප එකක්‌ පසුපස, එකක්‌ එන්නේ යම් සේද, නොකඩවා රූපත්, එම රූප විදර්ශන ඥානයෙන් විනිවිද දකිමින් ලබන්නා වූ අවබෝධාත්මක ඥානයත් සමගින් ඉදිරියට ගමන් කරනවා. මේ ක්‍රියාන්විතය පුරාවට සිදුවන්නේ පංච උපාදානස්‌කන්ධය නැමැති මාරයාට කාය, චිත්ත, ධම්ම, වේදනා කියන සතර ධර්මයන් උපයෝගීකොටගෙන, තෘෂ්ණාවේ සළුවෙන් වසාගෙන සිටින, අනිත්‍යයේ යථාර්ථය විනිවිද දකිමින්, රූපයට ඇති තෘෂ්ණාවෙන් මිදීමය.රූපය ඇසුරින් සකස්‌වෙන පංචඋපාදානස්‌කන්ධයට ඇති ජන්දරාගයෙන් මිදීමය.

සතර සතිපට්‌ඨාන ධර්මතාවයන් උපයෝගී කරගෙන රූපයේ අනිත්‍යභාවය විදර්ශනාවට ලක්‌කිරීමේදී සිදුවන ආශ්චර්යමත් සිදුවීම නම්, පිංවත් ඔබගේ අවංක වූ භව නිsරෝධයේ අරමුණු සාක්‍ෂාත් කරදීම සඳහා සප්තබොඡ්ජංග ධර්මයන් බලමුළු හතක්‌ ලෙසින් එකම දිශාවට අනුපිළිවෙළට ආධාරයට පැමිණෙන්නා සේ, තමා තුළින්ම හේතුඵල ධර්මයන් අනුව මෝදුවීමය. මේ ධර්මතාවයන් මොනවාද යන්න ඒ මොහොතේ සිතීමට, දැකීමට යැම ඔබට අයත් කාර්යයක්‌ නොවේ. මොකද සිතන්නට එහි නිත්‍ය වූ දෙයක්‌ නොමැති නිසාය. සප්තබො-ජංගයන්ට ඇලුනොත් එයද ආශ්වාදයක්‌මය. වැඩෙන සප්තබොඡ්ජංගයන්ගේද අනිත්‍යභාවය දකිමින්, තමාගේ පිහිටට පැමිණි සහය බලමුළුද විදර්ශනා ඥානයෙන්ම නිරුවත්කොට දැකිය යුතුය. එසේ නොවුනහොත් සප්ත බොඡ්ජංග ධර්මයනුත් මාරයා වනවා එකාන්තය. මන්ද පිංවත් ඔබ මේ අවබෝධකිරීමට යන්නේ ධර්මයයි. ධර්මයේ ස්‌වභාවයන් දෙකක්‌ නොමැත. ධර්මයේ කාලීන හෝ අතීත කියා දෙයක්‌ නැත. ධර්මයේ ගැඹුරු හෝ නොගැඹුරු කියා දෙකක්‌ නැත. ධර්මය යනු එකම අර්ථයකි. එම අර්ථය නම් අනිත්‍යයයි. එසේ නම් සප්ත බො-ජංග ධර්මයද අනිත්‍ය විය යුතුමය. මන්ද මේවාද ධර්මයන් නිසාය. පිංවත් ඔබ ඉහත ධර්මතාවයන් අවබෝධ කරගතහොත් එම ධර්මතාවයන් ආයාසයකින් තොරවම ඔබට අත්විඳීමට පුළුවන. එයද ධර්මතාවයක්‌මය. මේ සියලු ධර්මතාවයන්ගේ වඩාත් ආශ්චර්යමත් සිදුවීම වන්නේ, පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය අවබෝධ කරගැනීමට උපකාරී වූ සතර සතිපට්‌ඨාන ධර්මයනුත්, එම ධර්මතාවය හේතුවෙන් වැඩුණු සප්ත බොඡ්ජංග ධර්මයනුත් අනිත්‍ය වශයෙන් අවබෝධ වෙද්දී ඔහු චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබීමය.

සතර සතිපට්‌ඨාන ධර්මයන්ද, සප්තබොඡ්ජංග ධර්මයන්ද, භික්‍ෂුව තුළ වැඩෙන්නේ පංචඋපාදානස්‌කන්ධය ලෙසින්මය. භික්‍ෂුව නැවත ආපසු හැරී බලන විට ඉහත ධර්මයන් සියල්ලම පංච උපාදනස්‌කන්ධයේම අර්ථය බව මැනවින් ප්‍රකට වෙයි. පංචඋපාදානස්‌කන්ධය යනු ලෝකය බවත්, පංචඋපාදානස්‌කන්ධයෙන් තොර ලෝකයක්‌ නොමැති බවත් පැහැදිළිය.

ඉහතින් සඳහන් කළ අත්දැකීම කාගේ වුවද එය ඔබගේද, මගේද නිවීමේ මගට ශක්‌තියක්‌ වනු ඒකාන්තය. ඉකුත් ලිපිවලදී භික්‍ෂුව කියන්නට උත්සාහ කළේ සතර අපායේ බිය හොඳින් දැන භවය කෙරෙහි බියක්‌ සකස්‌කොට ගන්නා ලෙසය. සසර බිය නොදකින්නා කවදාකවත් සසරින් නොගැලවෙන්නෙකි. සතර අපායට බිය පිංවතාමයි ශීලය තුළ ශක්‌තිමත් වෙන්නේ. ශීලය තුළ ශක්‌තිමත් වූ පිංවතා තුළයි සමාධිය සකස්‌වෙන්නේ. සමාධිමත් පිංවතා තුළයි ප්‍රඥාව සකස්‌වෙන්නේ.

ඉන්ද්‍රජිත් සුබසිංහ

66-භවය යනු කඳුළු සාගරයකැයි නුවණින් දකින දා…

‘සතර අපායෙන් මිදෙමු’ – 66 කොටස
භාවනාවට පෙර දා v
සමාධිය ගැන කථා කිරීමේදී කොතැනකින් හෝ මතුවී එන්නේ ශීලයේම ශක්‌තියයි. ශීලයේ දුර්වලභාවය නිසාමයි සතර අපාය නිර්මාණය වී තිබෙන්නේ. ඒ හේතුව නිසාම පිංවත් ඔබ භාවනාවට පෙර ශීලය ගැනත්, සතර අපාය ගැනත් පූර්වකෘත්‍යයක්‌ ලෙස මතක්‌ කරන්න.

මේ ලෝකයේ යම් මනුෂ්‍යයෙක්‌, දෙවියෙක්‌, බ්‍රහ්මයෙක්‌ චතුරාර්ය සත්‍ය, අරහත් ඥානය අවබෝධ කරගැනීමට මොහොතකට පෙරාතුව ඉහළ සමාධි තලයකදී තම අනුදැනුමකින් තොරවම පූර්වේ නිවාසානුස්‌සති ඥානය ඇතිවෙනවා. ඒ කියන්නේ පෙර ආත්මභාවය දැකීමේ ඥානයයි. තමා ඉපදී සිටි පෙර ආත්මභාවයන් දැකීමේ ඥානය. තමා ඉපදී සිටි පෙර ආත්මභාවයන් සිහිවීමේ ඥානය. එම ඥානය තුළින් අරමුණු වෙනවා. අතීත භවයන්හිදී තමා තිරිසන් සතුන් වශයෙන් ඉපදී හරකුන්, ඌරන්, එළුවන්, කුකුලන් වශයෙන් ඉපදී මිනිසුන් තමාව මරාගෙන කන හැටි, හිස ගසා දමන හැටි, මනුෂ්‍ය ජීවිතවල ඉපදිලා රාජ දඬුවම් නිසා අත පය හිස කපා දමා ලා අනතුරුවලට ලක්‌වෙලා ශරීරය කුඩුවෙලා, යුද්ධ වලට මැදිවෙලා කපා කොටාගෙන මියගිය හැටි….

භවය කියන්නේ ලේ සාගරයක්‌ය, කඳුළු සාගරයක්‌ය කියන කාරණය මේ ඥාන දර්ශනය තුළින් දකිනවා. මෙන්න මේ අතීත බිහිසුණු කථාව පූර්වේ නිවාසානුස්‌සති ඥානය තුළින් අරමුණුවෙද්දී තමයි ඔහු තුළ සප්ත බෝඡ්ජග ධර්ම සකස්‌ වෙන්නේ. සංසාරය පුරාවට අත්විඳි අතිබිහිසුණු ඛේදවාචකය අරමුණු වෙනකොට ඔහු තුළ සංසාර ගමනේ මෙතෙක්‌ තමා තුළ ඇති නොවුණ සති, ධර්මවිජය, වීර්ය, ප්‍රීති, පස්‌සද්ධි, සමාධි, උපේක්‍ෂා ධර්මයන් ඇතිවෙනවා. අතීත භවයන් හිදී අත්විඳි අති බිහිසුණු දුක අරමුණු වෙනකොට තමයි භව නිරෝධය සාක්‍ෂාත් කිරීමට අවශ්‍ය වීර්යය සකස්‌කොට දෙන්නේ. නමුත් මේ මොහොතේ තමා තුළ වැඩෙන්නේ පූර්වේ නිවාසානුස්‌සති ඥානය කියලා ඔහුට දැනීමක්‌ නැහැ. එම ඥානය ලැබෙයි කියලා බලාපොරොත්තු වුණෙත් නැහැ. පූර්වේ නිවාසානුස්‌සති ඥානය ගැන ඔහුට පෙර දැනීමක්‌ තිබුණෙත් නැහැ. එකම අරමුණයි ඒ මොහොතේ තිබෙන්නේ. ඒ භව නිරෝධය පමණමයි. “ඇලීමකින් ගැටීමකින් තොරව අවසාන හුස්‌ම පිටවේවා” කියන කාරණය. ඔහු තුළ ඇලීම් ගැටීම්වලින් තොර උපේක්‍ෂාව කියන මට්‌ටමට සිත සමාධිමත්වයි පවතින්නේ. සතිය සිහිය, අරමුණ කෙරෙහි හොඳින් විවෘතව පවතිනවා.

මේ මොහොත වෙන කොට ඔබ පැහැදිලි තීරණයකට ඇවිත් සිටින්නේ. එක්‌කෝ භව නිරෝධය, නැතිනම් මරණය කියන කාරණයයි. මේ තීරණයේදීම ඔහුට සියයට අනූවකින් භවය අතහැරිලා. නමුත් කුමක්‌දෝ තැනකින් තවමත් බැඳීමක්‌ පවතිනවා කියලා ඔහුට දැනෙනවා. කුමක්‌දෝ කුඩා රැහැනකින් ඔහුගේ ජීවිතය ලෝකයට බැඳී තිබෙනවාය කියලා. මේ මොහොතේදී ඔහුට ශක්‌තිමත් විශ්වාසයක්‌ සකස්‌ වෙනවා. මේ ව්‍යායාමයේදී දානය නැතිවීම හෝ වෙනත් භාහිර අනතුරකින් ජීවිතය නැතිවුණොත් මරණයට තත්ත්පරයකට හෝ පෙරාතුව නියත වශයෙන්ම භව නිරෝධය සාක්‍ෂාත් කරගන්නා බවට. මේ විශ්වාසය ගොඩනගන්නේ ඔහු තුළ සකස්‌වෙන සති ධම්මවිජය බොඡ්ජංගයයි. මෙතැනදී තමයි අයෝමය වීර්යය සකස්‌කොට දෙන්නේ. මේ වීර්යය තුළින් සිද්ධ කරන්නේ භවයට බැඳී ඇති තෘෂ්ණාව සිඳ දැමීමට ඔහුව මෙහෙයවීමයි. ඔහු මනුෂ්‍ය ලෝකය තුළ දිව්‍ය තල, බ්‍රහ්ම තලවල ස්‌ථිර වූ නිත්‍ය සැපයක්‌ නොමැති බව ඉතාමත් සියුම්ව නැවත, නැවත මෙනෙහිකොට බලනවා. මනුෂ්‍ය ලෝකයේ කෝටි ප්‍රකෝටිපතියන් රජවරු සිටුවරු ජනනායක වරු කලාකරුවන් දෙස්‌ විදෙස්‌ වශයෙන් ඥාති නොඥාති වශයෙන් ජරා ව්‍යාධි මරණයන්ට පත් වී අසරණව මියයන හැටි විදර්ශනා නුවණින් විනිවිද දකිමින් ඉතා සියුම් ආකාරයට මෙනෙහි කරනවා. අතීත භවයන්හිදී තමාද මේ සැප අත්විඳ දුකට වැටුණ අන්දම සිහිකරනවා. මෙහෙම දකිමින් මනුෂ්‍ය ලෝකය තුළ ඉඳිකටුතුඩක තරම්වත් උපාදානයක්‌ සකස්‌ නොවන තැනට සතිය සිහිය යොමුකොට බලනවා. මොකද මනුෂ්‍ය ලෝකය කෙරෙහි ඉඳිකටු තුඩක තරම්වත් තෘෂ්ණාවක්‌ සකස්‌ වුනොත් ඊට අදාළ උපාදානය සකස්‌වෙන නිසා. තමා තුළින්ම මනුෂ්‍ය ලෝකය කෙරෙහි ඉඳිකටු තුඩක තරම්වත් උපාදානයක්‌ නැතැයි කයලා අවබෝධයෙන් ප්‍රත්‍යක්‍ෂව දකිනවා.

දෙවැනිව ඔහු දිව්‍ය තලවල සශ්‍රික බව අත්විඳින දෙවියන්, දිව්‍යාංගනාවන් ගැන මෙනෙහි කරනවා. දිව්‍ය සැපයේ අනිත්‍ය බව, සශ්‍රික දෙවියන් දිව්‍යාංගනාවන් කල්ප ගණන් දිව්‍යතලවල ජීවත් වුවද එම පින අහවර වෙනකොට ඔවුන් අත්විඳින දුක වේදනාව, දිව්‍යලෝකවලින් පිං අහවර වී චුතවන දෙවිවරුන් නගන අඳෝනා විලාපයන් නුවණින් සිහිකරනවා. දිව්‍ය සළු කිළිටි වෙලා පැහැපත් ප්‍රභාශ්වර දඹරන් පැහැ දිව්‍ය ශරීර දහඩියෙන් තෙත් වෙලා, අවපැහැගැන්විලා නේකවර්ණ සළුපිළි, නේකවර්ණ මානික්‍යයන් ඔබ්බවපු ඔටුණු දුර්වර්ණව යන හැටි, කාමච්ජන්දයන්ගෙන් ප්‍රමාදභාවයට පත්ව සිටි දෙවියන් දිව්‍යතලවලින් චුත වන මොහොතේ ගැටෙන සිතෙන් නැවත සතර අපායන්ට වැටෙන හැටි නුවනින් මෙනෙහි කරනවා. මෙසේ මෙනෙහි කරමින් දිව්‍යතල කෙරෙහි ඇති උපාදානය නැතිකොට ගන්නවා. අවසානයේදී දිව්‍යතලවල සශ්‍රික දෙවියන්, ශක්‍ර දෙවියන්, සුජම්පතී බිසව අරමුණට ගන්නවා. ඔවුන් විඳින්නා වූ අප්‍රමාණ සශ්‍රිකභාවය නුවනින් දකිමින් ඒවාද අනිත්‍යභාවයට පත්වී එම ශක්‍රදෙවියන්ද, එම පිරිසද නැවත සතර අපායට වැටෙන අයුරු මෙනෙහි කරනවා. නැවත නැවත ඉතා සියුම්ව බලනවා ඉඳිකටු තුඩක තරම්වත් ඉඩක්‌ කෙරෙහි තෘෂ්ණාවක්‌ තමා තුළ දිව්‍ය තල කෙරෙහි බැඳීමක්‌ සකස්‌වෙනවාද කියලා. මොකද දිව්‍ය සැපයේ අග්‍රම සැපය වන ශක්‍රයා කියන සැපය කෙරෙහි අල්පෙනෙති තුඩක තරම්වත් තෘෂ්ණාවක්‌ තිබුණොත් ඒ කෙරෙහි උපාදානය සකස්‌වීමට පුළුවන් නිසා.

මේ දේවල් ඔහුට පෙළඹවීමකින් තොරව තමා තුළ වැඩෙන සතිය සිහිය විසිනුයි සිදුකරන්නේ . වීර්යය සතියට උපකාර කරනවා. මේ සිද්ධිය මෙනෙහි කරනකොට ධර්මවිජය බෝඡ්ජíගයමයි. වැඩෙන්නේ. පස්‌සධිය, සමාධිය සියල්ල විනිවිද දැකීමට උපකාරී වෙනවා. ඊට භාහිර දෙයක්‌ ඔහුට මේ මොහොතේ නැහැ. මොකද නිවීම කියන අරමුණ කෙරෙහි සතිය බලවත්.

ඔහු මනුෂ්‍ය ලෝකය දිව්‍යතල කෙරෙහි අල්පෙනෙති තුඩක තරම්වත් උපාදානයක්‌ තමා තුළ නොමැති බව අවබෝධකරගත් පසු මනුෂ්‍ය දිව්‍යතල කෙරෙහි තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම ඔහුගෙන් ක්‍ෂය වෙලා සප්ත බොඡ්ජංග ධර්ම හරහා වැඩෙන ප්‍රඥාව විසින් තමාට ඒ බව තහවුරුකොට දෙනවා. මේවා සියල්ල හේතුඵල ධර්මතාවයන්.

ඊළඟට ඔහු බ්‍රහ්ම තල පීර පීරා බලනවා. රූපී අරූපී මාර්ගඵලලාභී බ්‍රහ්මයින් වැඩ සිටින මේ කොයියම් බ්‍රහ්ම ලෝකයක හෝ ස්‌ථිර, නිත්‍ය වූ සැපයක්‌ තිබෙනවාද කියලා. එකලාව එරමිනියා ගොතාගෙන සමාධිය වඩන මාර්ගඵල ලාභී බ්‍රහ්මයින් ගැන මෙනෙහි කරනවා. ඉතා සියුම් මීදුමක්‌ සේ ශරීරයක්‌ සහිතව එරමිනියා ගොතාගෙන සමාධිය වඩන අරුපී බ්‍රහ්මයින් මෙනෙහි කරනවා. අරූපී බ්‍රහ්මයන්ගේ කය, ඝනභාවයෙන් තොර සියුම් මීදුමකින් වගෙයි හැදිලා තිබෙන්නේ. රූපයක්‌ නැහැ කීවාට රූපය තිබෙනවා සැඟවිලා. සමාධි සැපය කෙරෙහි ඇති තෘෂ්ණාව නිසා සමාධිය නිත්‍ය, ස්‌ථිරභාවයෙන් දකින බ්‍රහ්මයින්ගේ අවිµd සහගත සිත ඔහු නුවණින් මෙනෙහි කරනවා. බ්‍රහ්මයා මේ සා සමාධියෙන් පරිපූර්ණ වුවත්, තෘෂ්ණාව සත්වයාට අත්කරදෙන ප්‍රමාදීභාවය දකිමින් ආර්ය ආෂ්ඨාංගික මාර්ගයෙන් බැහැර වූ සත්ත්වයාගේ ප්‍රමාදය දකිමින් බ්‍රහ්මතල කෙරෙහි ඇති කැමැත්තෙන් මිදෙනවා. සතර අපායෙන් නොමිදුණු රූපී, අරූපී බ්‍රහ්ම තලවල බ්‍රහ්මයින් බ්‍රහ්ම සැප අනිත්‍ය වී නැවැත සතර අපායට වැටෙන අයුරු ඔහු නුවණින් දකිනවා.

අවසානයේ ඔහු බ්‍රහ්මයා කියන සැපය කෙරෙහි අරමුණු කරනවා. මහා බ්‍රහ්මයා මේ ලෝක ධාතුවේ ලොකුම සැපය ලෙසින් හැඳින්වුවත් ඔහුද අවිද්‍යාව තුළ ජීවත්වන්නෙක්‌ බව මෙනෙහි කරනවා. අවිද්‍යාව යම් තැනකද එතැන දුක බව දකිනවා. මහා බ්‍රහ්මයාද සතර අපායෙන් මිදී නොමැතිනම් බ්‍රහ්ම සැප අවසන්වීමෙන් පසු සතර අපායට වැටීමේ අවදානමෙන් ඔහු මිදී නැති බව නුවණින් දකිනවා. මෙසේ දකිමින් මහා බ්‍රහ්මයා කියන සැපය කෙරෙහි ඇති තෘෂ්ණාවෙන්ද මිදෙනවා. නමුත් නැවත නැවත සියුම්ව අවධානය යොමු කරනවා අල්පෙනෙති තුඩක තරම්වත් තෘෂ්ණාවක්‌ බ්‍රහ්ම තල කෙරෙහි තිබෙනවාද කියලා. ස්‌ථිර වශයෙන් නිත්‍ය වශයෙන් බ්‍රහ්ම තලවල සැපයක්‌ නොමැති බව අවබෝධයෙන් දකිමින් බ්‍රහ්මතල කෙරෙහි ඇති තෘෂ්ණාවෙන් මිදෙද්දී භික්‍ෂුවගේ සිත පිහිටන්න වෙන තැනක්‌ මේ ලෝක ධාතුව තුළ නැහැ. මොකද මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්මතල කෙරෙහි ඇති ජන්දරාගය අවබෝධයෙන්ම සිඳුන නිසා. ඒ සිත පිහිටන්නේ ලෝකයෙන් මිදුන නිවීම තුළයි. භව නිරෝධය තුළයි. භික්‍ෂුවගේ ඉහත නිවීමේ මෙහෙයුම සිදුවන මුළු රාත්‍රිය පුරාවට එම භික්‍ෂුව පුද්ගලික අරමුණුවලින් මිදිලයි ඉන්නේ. කොටින්ම භික්‍ෂුවට තමා ගැන දැනීමක්‌ නැහැ. අනිත්‍ය කියන ධර්මය හැර වෙන ධර්මතාවයක්‌ මෙනෙහි වෙන්නේ නැහැ. භව නිරෝධය නැතහොත් මරණය කියන කාරණා දෙක අතරයි භික්‍ෂුවගේ සිත දෝලනය වෙන්නේ. මේ ඉහත අර්ථය තමයි, චිත්තය තමයි අරමුණ සාක්‍ෂාත්කොට දෙන්නේ.

ජීවිතය අතහැරලා භව නිරෝධය කියන අරමුණ පසුපස සප්ත බෝඡ්ජíග ධර්මයන් වැඩෙද්දී මාරයා බියට පත්වෙනවා. මොකද භික්‍ෂුව භව නිරෝධය නැතිනම් මරණය කියන කාරණය ස්‌ථිර අධිෂ්ඨානයක්‌ හැටියටයි සපථ කරගෙන සිටින්නේ. මන්ද තමා තුළින්ම සකස්‌වෙන පංචඋපාදානස්‌කන්ධය සමගයි තමා ගනුදෙනු කරන්නේ. ජූරිය, විනිශ්චය තමා තුළමයි තිබෙන්නේ. එම නිසා වංකවෙලා මෙතැනදී මාරධර්මයන් පරාජය කරන්න බැහැ. තමා දන්නවා තමා කරන්නේ බොරුවක්‌ බව. මෙතැන තමයි වර්තමානයේ බොහො දෙනෙක්‌ වරද්දගන්නා තැන. එම නිසා අවංකභාවය ඇත්තවශයෙන්ම තිබිය යුතුයි. මෙය සටහන් කරන භික්‍ෂුවටත් පිංවත් ඔබටත් භව නිරෝධය සාක්‍ෂාත් කර ගැනීමට නම් නිවීමේ මෙහෙයුමේ අවසාන අදියරේදී ‘භව නිරෝධය, නැතිනම් මරණය’ කියන අධිෂ්ඨානයට ස්‌ථිරවම එන්න වෙනවා.

භික්‍ෂුව මේ මොහොත් නොදන්නවාට භික්‍ෂුව තුළින් ඉහත වැඩුණේ නිවීම උදෙසා අත්‍යවශ්‍ය සත්තිස්‌බෝධිපාර්ශ්වික ධර්මයන්ය. නිවීම උදෙසා අරමුණ ශක්‌තිමත් නම්, අවංකභාවය තිබේනම් රූපයේ අනිත්‍යභාවය ඉහළ සමාධිතලයකදී ඔබ අවබෝධ කර ඇතිනම් මෙම ධර්මතාවයන් හේතුවෙන් ආයාසයකින් තොරවම හේතුඵල ධර්මතාවයන්ට අනුව සත්තිස්‌බෝධිපාර්ශ්වික ධර්මයන් ඔබ තුළ වැඩෙමින් ඔබව මේ ඝෝර කටුක භයානක සංසාරයෙන් එතෙර කරවනු ඇත.

ඉන්ද්‍රජිත් සුබසිංහ