60–භාවනාවට පෙර…

2013-12-28
භාවනාව වර්තමානයේ බොහෝ ජනප්‍රිය මාතෘකාවක්‌. වයස්‌ භේදයකින් තොරව දෙස්‌ විදෙස්‌ පිංවතුන් විශාල පිරිසක්‌ මේ ජනප්‍රිය මාතෘකාව තුළින් සැනසුම සොයනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයේ දඹදිව මිනිසාගේ විමුක්‌තිය අරමුණු කොට ගොඩනඟාගත් මිථ්‍යා දෘෂ්ඨී හැට දෙකක්‌ තිබුණු බව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ සෑම දෘෂ්ඨීයක්‌ ඇති වූයේ, වර්ධනය වුණේ, මනුෂ්‍යයාගේ ජීවිතවල සංකීර්ණභාවය වැඩි වුණ නිසා.

සංකීර්ණභාවය කියන්නේ දුක වැඩිවීම කියන කාරණයයි. වර්තමාන සමාජය තුළද මනුෂ්‍යයාගේ ජීවිතවල සංකීර්ණභාවය වැඩිවන්න, වැඩිවන්න සකස්‌ වන විකෘති සමාජීය, අධ්‍යාත්මික, පාරිසරික ස්‌වභාවයන් හේතුවෙන් මනුෂ්‍යයා නිරතුරුවම අසහනයට පත්වෙනවා. මේ අසහනයෙන් මිදීමටත්, පිංවතුන්ලා වැඩි වැඩියෙන් භාවනාවට යොමුවෙනවා.


ඉහත කාරණය නිසා ඔබ භාවනාවට යොමු වනවා නම්, එම හේතුව සකස්‌වීම සඳහා බලපෑ සාධකයන්, ගැන පිංවත් ඔබ භාවනා කිරීමට පෙර දැනුවත් වෙන්න අවශ්‍යයි. ජීවිතයට බලපාන අසහනය නැමති ඵලය සකස්‌වීමට හේතු කාරණා වූ ධර්මතාවය කමටහනක්‌ කොට ගත්තොත්, පමණක්‌මයි, භාවනාවක්‌ තුළින් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන් වෙන්නේ. අප ජීවත්වන සමාජය ඉබේ සංකීර්ණභාවයට පත්වන්නේ නැහැ. සමාජයේ සංකීර්ණභාවය කියන්නේ මනුෂ්‍යයාගේ අධිවේගී සිතුවිලිවල ඵලයකි. සඳ පායා ඇති එක්‌තරා සුන්දර රාත්‍රියකදී අජාසත්ත රජතුමාට සිතිවිල්ලක්‌ පහලවෙනවා.මේ සුන්දර රාත්‍රිය වඩාත් අර්ථවත් වෙන්න නම්, ධර්ම සාකච්ඡාවක්‌ කළොත් හොඳයි කියලා රජතුමා ඇමැතිවරුන් කැඳවලා විමසනවා. ඒ සුන්දර රාත්‍රියේ අර්ථවත් ධර්මයක්‌ කිනම් ශෘස්‌තෘවරයකුගෙන් ඇසුවොත් යහපත් වේවිද කියලා. ඇමැතිවරුන් තම තමන්ගේ මතයන් ප්‍රකාශය කරන අතරේ එක සිහිනුවන තිබෙන ඇමැතිවරයෙක්‌ ප්‍රකාශ කරනවා. මගේ අඹ වනයෙහි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ පන්සියයක්‌ ස්‌වාමීන් වහන්සේලා වැඩ සිටිනවා. භාග්‍යවතුන් වහන්සේ, පිංවත් මහ රජතුමාගේ මේ සුන්දර රාත්‍රිය අර්ථවත් කරගැනීමට උතුම් හමුවක්‌ම වේය කියලා.

ඇමැතිවරයාගේ පැහැදිළි කිරීම ගැන රජතුමා සතුටුවෙලා. තම පිරිවර සමග අඹ වනයට ගමන් කරනවා. අඹ වනය තුළට පැමිණීයත්, කිසිවකුගේ කිවිසුමක්‌ පමණකුදු හඬක්‌ නොඇසෙන නිසා රජතුමා බියට පත් වෙනවා. තම ඇමැතිවරයා මේ රාත්‍රියේ තමා මරා දැමීම සඳහා සැලසුමක්‌ කළාද කියලා. පන්සියක්‌ දෙනා සිටින තැනක අඩු වශයෙන් කුඩා හෝ ශබ්දයක්‌ නැඟෙන්න ඕනේ. ‘ඔබ මට වංචා කළා නේද?’ කියලා රජතුමා විමසනවා. ඇමැතිවරයා ප්‍රකාශ කරනවා අර පෙනෙන ශාලාවේ බුදු රජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩ සිටිනවා කියලා. රජතුමා සතුට ප්‍රකාශ කරනවා. පන්සියයක්‌ මහා සංඝරත්නය වැඩ සිටින ස්‌ථානයක්‌ කෙසේ නම් මේසා නිහඬතාවයක්‌ ඇති වන්නද කියලා. මේ උතුම් නිහඬතාවය ඒ උතුම් ජීවිතවල ගොඩනැඟුණු සරලභාවය නිසාම හටගත් ස්‌වභාවයක්‌. පංච නීවරණ ජීවිතය තුළින් යටපත් වෙන්න, යටපත් වෙන්න ජීවිතය සරලභාවයට පත් වෙනවා. මේ සියල්ල හේතුඵල ධර්මයන්.

මේ හේතුඵල ධර්මයන් දකිමින් ඕනේ අපි භාවනාවට යොමු වන්න. මනුෂ්‍යයා රූපයක්‌ කෙරෙහි ඇති කරගත්, තෘෂ්ණාව වැඩි වන්න, වැඩිවන්න ඒවා අයිතිකර ගැනීමට උපක්‍රම යොදනවා. වෙහෙස ගන්නවා. අර්බුද, ගැටලු, තරගය…. මේ හේතු නේද, සමාජයේ සංකීර්ණභාවය හැටියට අපි දකින්නේ. මනුෂ්‍යයා තෘෂ්ණාව පසු පස හඹා යන්න හඹා යන්න දුක වැඩි වෙනවා. සැප සොයන්නයි හඹා යන්නේ, නමුත් සකස්‌ වෙන දුක? අප්‍රමාණ කැපවීම් කරලා සැපයක්‌ ලැබුණත්, එය බොහෝම කෙටි ආශ්වාදයක්‌. ඒ ආශ්වාදය අභිබවා ජරා වියාධි, මරණ, ශෝක පරදේව නැගී සිටිනවා. පිංවත් ඔබ සිහිනුවනින් බලන්න.

ලෝකය මොනතරම් අසාධාරණද කියලා. ප්‍රශ්නය තිබෙන්නේ මෙතරම් අසාධාරණ ලෝකයකට ඔබ මෙතරම් ආදරය කරන්නේ ඇයිද කියලා. පිංවත් ඔබට යමෙක්‌ අසාධාරණයක්‌ කරනකොට ඔහුගෙන් මිදීයාමටයි ඔබ උත්සාහ ගන්නේ. නමුත් ඔබ මෙතනදි ලෝකයේ කොටස්‌කරුවෙක්‌ වෙමිනුයි විසඳුම් සොයන්න උත්සාහ ගන්නේ. මෙය හරියට වැරැද්ද තමා තුළ තබාගෙන අනුන් තුළින් වැරැදි සොයනවා වගේ වැඩක්‌. ඔබ තුළින්ම සකස්‌ වෙන තෘෂ්ණාව විසින්මයි. මේ අසහනය අසාධාරණය සකස්‌කොට තිබෙන්නේ.

පිංවත් ඔබ මොන භාවනා ක්‍රමවේදයකට යොමු වුණත්, දුක සකස්‌ කර තෘෂ්ණාව පිළිබඳව නිරුතුව අවදියෙන් සිටින්න ඕනේ. මොකද පිංවත් ඔබ මේ ජීවිතයේදී පුරුදු වෙන්න භාවනා කරනවා නොවේ, අතීත සංසාරික භව ගමනේදී, පිංවත් ඔබ සැවොම සමථ භාවනාව පුරුදු පුහුණු කොට, ධාන්‍යලාභීන්ව අහසින් ගමන් කළ, පිරිසක්‌මයි. අතීතයේ ඔබලා රූපී අරූපී බ්‍රහ්මතලවල ඉපදිලා අප්‍රමාණ සමාධියේ ආශ්වාදය කල්ප ගණන් විඳි පිරිසක්‌මයි. පිංවත් ඔබත් මමත් මනුෂ්‍ය ජීවිතවලදී මෛත්‍රි භාවනා වඩලා මරණින් මතු කල්ප ගණන් බ්‍රහ්ම සම්පත් ලැබූ පිරිසක්‌මයි. අපි සැමගේම යථාර්ථය මේක තමයි.

අතීතයේ සමාධි භාවනාවන්ගේ ආශ්වාදයේ අසිරියෙන්, සමාධියේ ලෝකය ජයගත් ඔබට, තමා තුළම දුක සකස්‌ කිරීමට හේතු වන තෘෂ්ණාව හඳුනාගැනීමට තවම පුළුවන් වෙලා නැහැ. ඒ නිසාම පිංවත් ඔබ වර්තමානයේ නැවතත්, ස්‌වාමීන් වහන්සේනමකගෙන්, ගුරුවරයෙක්‌ගෙන්, පතපොතින්, සොයනවා. විමසනවා. කොහොමද ආශ්වාස ප්‍රාශ්වාසයට හිත යොමු කරන්නේ. කොහොමද විචාර විතර්ක සංසිඳෙන්නේ. කොහොමද හුස්‌ම දෙස බලා සිටින්නේ. කුමක්‌ද ධ්‍යාන කියන්නේ කියලා. බලන්නකෝ. අවාසනාවක මහත, අතීත භවයන්හිද රූපි, අරූපි බ්‍රහ්මඵල ස්‌පර්ශ කළ අපි, තෘෂ්ණාව ගැන, නොතකා හැරීම නිසාම, මේ නිමේෂයේත් නැවතත් ආනාපානසති භාවනාව වඩන හැටි ‘අ’ යන්නේ සිට සොයනවා.

59-මංශයට ඇලී, මාංශයට ගැටී තවත් මස්‌ ගොඩක්‌ දරාගෙනම ඉපදෙමුද?

2013-12-22

මෙය සටහන් කරන භික්‍ෂුව හෙටත් උදෑසන පාත්‍රය රැගෙන ගමට පිණ්‌ඩපාතය වඩිනු ඇත. එහිදී පාත්‍රයට බත් ටිකකුයි පොල් සම්බෝල ස්‌වල්පයකුයි ලැබුණොත් ඇති. එය භික්‍ෂුවට හොඳටම ප්‍රමාණවත් පහුවදා උදෑසන දක්‌වාම. එය භික්‍ෂුව දකින්නේ බත් හෝ පොල් සම්බෝල හැටියට නොවේ. කය පවත්වා ගැනීමට ලැබුණු පිළිකුල සහිතවූ ආහාරයක්‌ ලෙසය.

මස්‌, මාළු, බත්, පරිප්පු, පොලොස්‌…. මේවා මුලාවූ ලෝකයාට බඩ පිරෙන්න දෘෂ්ඨි සපයන මාර කෑම වට්‌ටෝරුවයි. මාරයාගේ වේටර්ලා රිදී බන්දේසියක තබා ඔබට පිළිගන්වන මාරයාගේ කෑම වට්‌ටෝරුව, විඳීමෙන් බැහැරකොට ප්‍රත්‍යාවේක්‍ෂාවෙන් ආහාරයට ගන්න. ප්‍රත්‍යාවේක්‍ෂාව යනු මේ ශරීරයත්, ආහාරයත් දෙකම පිළිකුල් බව දකිමින්, ධර්ම මාර්ගයේ ගමන් කිරීම උදෙසා කය පවත්වාගැනීම අරමුණු කොට ආහාර ගැනීමයි.

පිංවත් ඔබගේ දිවට ඵස්‌සය වන ආහාරය මස්‌ මාංශ වුවද, පරිප්පු වුවද, රසය-ගුණය පිං- පව් කියන සංඥාවන්ගෙන් මිදී අනිත්‍යයි කියන සංඥාවෙන් දකින්නට උත්සහ ගන්න. පිංවත් ඔබ ඒවා කෙරෙහි ඒවා කෙරෙහි ඇතිවන කැමැත්ත අකමැත්ත ඔබේ කර නොගෙන, ධම්මානුපස්‌සනාවට භාරදෙන්න. එවිට ඵස්‌සය නිත්‍යභාවයෙන් ගැනීම නිසා, දෘෂ්ඨියෙන් කිළිටිවුන සිත විදර්ශනාවෙන් විනිවිද දකින්නට හැකිවේවි.

කොහොම ගත්තත් තිරිසන් සංඥා අනතුරුදායකයි. තිරිසන් ලෝකය යනු අකුසල කර්මයන්ගේ මව්බිමයි. අකුසල් මව්බිමේ ඉපදෙන සෑම තිරිසන් සතෙක්‌ම, පෙර ජීවිතයේ සත්ව ඝාතකයෙක්‌මයි. පාපකාරී ජීවිත ගතකළ එම සත්ත්වයින්ට තම අකුසල් සංස්‌කාර විපාක දෙන ධර්මතාවය අපට නවත්වන්න බැහැ. අපි සංස්‌කාරවලින් මිදෙන දිශාවටම ගමන් කරමු. පිංවත් ඔබ ව්‍යාපාර, රැකීරක්‍ෂා කරමින් පංචශීලය තම නිත්‍ය ශීලය හැටියට සමාදන්ව ජීවත්වෙන්න. ශීලයක්‌ සමාදන් වීමට පෙර එම ශීලයේ ඇති වටිනාකම මෙනෙහි කොට ශීලය කෙරෙහි ගෞරවය සකස්‌කොට ගන්න. කිසිම අවස්‌ථාවක සිල්පදයක අර්ථයට අඩු තක්‌සේරුවක්‌ දෙන්න එපා. ඔබට සිතෙනවානම් අද දවසේ අදාළ සිල්පදය කිට්‌ටුවේය කියලා, සමාදන් වන ශිල්පද කිට්‌ටු කරගන්නවාට වඩා, ශීලයට ඇති ගෞරවයෙන්ම එම සිල්පදය සමාදන් නොවී සිටීම යෙහෙකි. නිර්මාංශ වීම හෝ මාංශ අනුභවය සිsල්පදයක්‌ නොවන බව විශ්වාස කරන්න. බුදුරජාණන්වහන්සේ දේශනාකර වදාළ ධර්මය අකීකරු ආකාරයෙන් ගලපා නොගන්න. එසේ වුවහොත් නිරතුරුවම දෘෂ්ඨි මතවාදවල හිමිකරුවෙකු වීමට ඔබට සිදුවනු ඇත.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මස්‌ මාංශ වෙළෙඳාම, මිනිසුන් ඇතුළු සත්ත්ව වෙළඳාම, අවි ආයුධ වෙළඳාම, සුරා වෙළඳාම සහ වස විශ වෙළෙඳාම මිච්ජා ආජීවය වශයෙන්. ඉහත කාරණයේ” අනිවර්යයෙන්ම මස්‌ මාලු වෙළඳාම මිච්ජා ආජීවයට අසුවෙනවා. ඒ ගැන කිසිම සැකයක්‌ නැහැ. හංදියේ හෝටලයේ මුදලාලි මහත්මයා මස්‌ පීරිසයක්‌, මාලු පිරිසියක්‌ විකිණීමේදී, බුරියානි එකක්‌ කොත්තු රොටියක්‌ විකිණීමේදී පවා මිච්ඡා ආර්වයක්‌ සිද්ධ වෙනවා. නමුත් ව්‍යාපාර, රැකිරක්‍ෂා කරන, වගකීම් බහුල පිංවතුන්ලාගේ නිත්‍ය ශීලය පංචශීලයයි. එම නිසා ඔබේ ජීවිතය තුළින් පංචශීලය අර්ථවත් කරගන්න. එවිට ඔබ හෝටලයක, මාලු ලෑල්ලක, ශීතකරණයක බහා මස්‌ මංශ වෙළඳාම කරන විට ශිල්පදයක්‌ බිඳගැනීමක්‌ වෙන්නේ නැහැ. මොකද ඔබ සමාදන්ව සිටින්නේ පංචශීලයයි. නමුත් මිච්ඡා ආජීවයක්‌ ඔබ අතින් සිද්ධවෙනවා. එය බුදුරජාණන්-වහන්සේ ඔබට එපා යෑයි දේශනා කළ කාරණයක්‌. නමුත් ගිහි පිංවතුන් පංචශීලය සමාදන්වීමේදී මිච්ඡා ආජීව කියලා සිල්පදයක්‌ සමාදන් වෙන්නේ නැහැ. පිංවත් ඔබ උපක්‍රමශීලීව ධර්මය ජීවිතයට ගලපාගන්න.

බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කර ඇත්තේ සියලුම සත්ත්වයන් කෙරෙහි මහා කරුණාවෙනි. අපේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩීමේ නොවැඩීමේ ස්‌වභාවය විවිධයි. ඒ නිසා හැමෝටම එකම තැන සිට ධර්මය දකින්න බැහැ. හෝටල් ව්‍යාපාරයක්‌ කරන කෙනෙකුට, මාළු ලෑල්ලක්‌, ශීතකරණයක මස්‌ මාළු වෙළෙඳාම කරන පිරිසකට අපි කීවොත් ඔබ මස්‌ මාංශ විකිණීමෙන් කරන්නේ මහා වරදක්‌, ඔබ මහා දුස්‌ශීලයෙක්‌, ඔබ අනිවාර්යයෙන්ම නිරයට යනවා කියලා, එය මහා ද්‍රෝහිකමක්‌ වෙනවා. සම්බුදු වදනට පටහැනි ප්‍රකාශයක්‌ වෙනවා. එහෙම වුණොත් අනේ ඒ අසරණ වන බෞද්ධයන් අන්‍යාගම්වලට යාවී. මිථ්‍යාදෘෂ්aඨික භාවයට පත්වේවි. ඒ නිසා ඒ අයට කියන්නට තිබෙන්නේ පිංවත් ඔබලා පංචශීලය නිත්‍ය ශීලය හැටියට සමාදන්ව, රැකගෙන ඔබේ ව්‍යාපාරය කරන්න කියලා. එවිට පුළුවන් ඔවුන්ටත් මේ ධර්මයේ සුරක්‍ෂිතභාවයක්‌ ලබාගන්න. එතැන” ඔවුන් අතින් සිල්පදයක්‌ බිඳෙන්නේ නැහැ. තමන් සමාදන්වූ පංච ශීලයට අගෞරවයක්‌ වෙන්නේ නැහැ. නමුත් එම පිංවතුන්ට ශක්‌තිය තිබුණොත් මස්‌ මාංශ විකිණීම මිච්ජා ආජීවයක්‌ නිසා, ඉන් මිදී ජීවත්වෙනවා කියලා තීරණයක්‌ ගන්න, එය ඔහුගේ ජයග්‍රහණයක්‌.

එහෙම නොවුනා කියලා ඔහු දුස්‌ශීලයෙක්‌ නොවේ. මොකද ඔහු තෙරුවන් සරණ ගිය පංචශීලය ක ගෙන ජීවත්වන සිල්වතෙක්‌ නිසා. ඔහුද ධර්මය තුළ සුරක්‍ෂිතභාවය ලැබූවෙක්‌. වගකීම්වලින් බැඳුන ගිහි පිංවතුන්ලාගේ නිත්‍ය ශීලය පංචශීලය කියලයි බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා බුදුරජාණන්වහන්සේ ඉක්‌මවා ගොස්‌ තෙරුවන් සරණ ගිය පංචශීලය ආරක්‍ෂා කරගෙන ජීවත්වෙන මනුෂ්‍යයෙකුට දුස්‌ශීලයි කියන චෝදනාව නගන්න හොඳ නැහැ. පිංවත් ඔහුට තවදුරටත් ධර්මය ගැන සිතමින් , තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගනිමින්, ශීලයෙන් ශක්‌තිමත් වෙමින් ඉදිරියට පැමිණීමට, ඒ පැමිණීම තුළින්ම මිච්ඡා ආජීවයෙන් මිදීමට අවශ්‍ය රැකවරණය සත්පුරුෂභාවයෙන් යුතුව ලබාදෙන්නට අපි පාර පෙන්විය යුතු වෙනවා.

අවසාන වශයෙන්ද කියමි. පිංවත් ඔබ කැමතිනම් නිර්මාංශව ජීවත්වෙන්න. කැමතිනම් මස්‌ මාංශ අනුභව කරන්න. මස්‌ මාංශ කෑම, නොකෑම කෙනෙකුට ශීලයක්‌ නොවන නමුත් මස්‌ මාංශ කෑම, නොකෑම නිසා ඔබ තණ්‌aහාව, මාන්නය, දිට්‌ඨි සකස්‌ කොටගතහොත් එය බලවත් මනෝ කර්මයක්‌ බව හොඳින් සිහිපත් කර ගතයුතු වෙනවා. මස්‌, මාංශ, නිර්මාංශ ලෝකයට අයිති දේවල්. ලෝකයට අයිති දේවල් ලෝකයේම තිබීමට ඉඩහැර, ලෝකයට ඔබ බැඳෙන, රූපය කෙරෙහි ඔබ ඇතිකරගන්නා, ඔබ තුළ සකස්‌ වෙන තෘෂ්ණාවෙන් මිදෙන්න. මස්‌ මාංශ කෙරෙහි සකස්‌ වුවද, නිර්මාංශ කෙරෙහි සකස්‌ වුවද තෘෂ්ණාව යනු දුකෙහි නිර්මාණකරුවාම බව දකින්න. ඔබ දරාගෙන සිටින ශරීරය නැමැති මස්‌ ගොඩේ හිමිකාරීත්වය ඔබට ලබාදෙන්නේ සංස්‌කාර කෙරෙහි සකස්‌කොට ගන්නා තෘෂ්ණාව නිසාම බව දකින්න.

තිරිසන් සතුන්ගේ මස අතහැර, පරිප්පු ව්‍යංජනයේ රස අතහැර ශêරය නැමැති ඔබේ මස්‌ ගොඩෙන් මිදීමේ මාර්ගය දකින්න.

එවිට මෙතැන ඇත්තේ මස්‌, මාළු, පරිප්පු ප්‍රශ්නයක්‌ නොව ඒවා කෙරෙහි ඇතිකරගන්නා ඇලීමේ ගැටීමේ ප්‍රශ්නයක්‌ බව ඔබ දකිනු ඇත.

ලොව්තුරා බුදුරජාණන්වහන්සේගෙන් දේවදත්ත හිමියන් මස්‌ මාංශ වැළඳීම තහනම් කරන ලෙස කළ ඉල්ලීමේදී බුදුරජාණන්වහන් සේ දේශනා කළේ කැමැති කෙනෙක්‌ තමන්ට පූජා කරන මස්‌ වැළඳුවාවේ, කැමති කෙනෙක්‌ නිර්මාංශව පිණ්‌ඩපාතය වැළඳුවාවේ යන්නයි.

එතැනයි ඇලීමේ, ගැටීමේ ස්‌වභාවයෙන් මිදුණු උපේක්‍ෂාව. මධ්‍යම ප්‍රතිපදාව. අපි ඒ සම්මා සම්බුදු වදන ඉක්‌මවා යා යුතු නැහැ. එහෙම වුණොත් අපිට කවදාකවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මරත්නය, සංඝරත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාවට එන්න බැහැ. ලෝකය ලෝකයේ ස්‌වභාවයෙන් තිබුණාවේ. පිංවත් ඔබ ධර්මයේ ස්‌වභාවයට එන්න. මස්‌ මාංශ නිසා, හේතුඵල ධර්මයන්ට අනුව නැවත මස්‌ ගොඩකට බැසගන්න, ඵස්‌ස ආහාර, මනෝසංෙච්තනා ආහාර, විඤ්ඤාණ ආහාර යන ආහාර 3 ක්‌ බුදින ධර්මයේ රැකවරණය අහිමි කරගත් පිංවතෙක්‌ වෙන්න එපා. අපි සියලුම දෙනා බුදුරජාණන්වහන්සේගේ දරුවෝ. එමනිසා බුදුරජාණන්වහන්සේ දේශනා කළ ධර්මයේ ඇසෙන් ලෝකය දකින්න. තමාගේ කැමැත්ත, අකමැත්ත තමාට අයිති නැති කොට, අනුන්ගේ කැමැත්ත අකමැත්ත ඔබ ඔබේ කරගන්න එපා. ඒ ඔබ ඔබේ කරගන්නේ දුකයි.

ඉන්ද්‍රජිත් සුබසිංහ

58-මස්‌ මාංශ අනුභව කරන කුස සුසානයක්‌ නම්….

2013-12-15

පිංවත් ඔබ මෙහෙම හිතන්න. මෙය සටහන් කරන භික්‍ෂුව දන් වළඳනවා. භික්‍ෂුවගේ පාත්‍රයේ තිබෙනවා පිසින ලද මාළු කැබැල්ලක්‌. දායක මහත්මයෙක්‌ මේ මාළු කෑල්ල දැක භික්‍ෂුවට කියනවා ‘හාමුදුරුවනේ ඔබ වහන්සේ ඔය මාළු වළඳන එක පාපයක්‌ නේද?’ කියලා. මෙන්න මේ ගැටලුවට භික්‍ෂුව දකින පිළිතුර ධර්මයට අනුව මෙහි සඳහන් කරනවා.

භික්‍ෂුවගේ පාත්‍රයේ තිබෙන පිසින ලද මාළුවා, මේ මොහොතේ කොහේ හරි උපත ලබායි තිබෙන්නේ. සමහර විටෙක මනුෂ්‍යයෙක්‌, දෙවියෙක්‌, එසේත් නැතිනම් නැවත මාළුවෙක්‌ වෙලාද ඉපදිලා ඉන්න පුළුවන්. එය ධර්මතාවයක්‌. භික්‍ෂුව දකින්නේ පාත්‍රය තුළ තිබෙන්නේ සතර මහා ධාතූන්ගෙන් සැදුන මාළු නැමැති සංයුතියෙන් හැඳින්වෙන රූපයක්‌ පමණයි. භික්‍ෂුව පරිප්පු, පොළොස්‌, මැල්ලුම් දකින්නේ යම්සේද මාළු කැබැල්ලත් භික්‍ෂුව දකින්නේ එම අර්ථයෙන්මය.

පිංවත් ඔබ මාළු කැබැල්ල තුළ මාළුවෙක්‌ දකිනවා නම්, මස්‌ කැබැල්ල තුළ කුකුලෙක්‌ දකිනවා නම් එය දැඩි ආත්මීය දෘෂ්ඨියකි. අපි මේ ධර්ම මාර්ගයේ වීර්යයෙන් ගමන් කරන්නේ තමා තුළත් සත්ත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නැහැය කියන කාරණය අවබෝධයෙන් හේතුඵල ධර්මයන්ට අනුව දැකීමටය.

එමනිසා භවයේ කොතැනක හෝ නැවත උපත ලබා ජීවත්වන සත්ත්වයකුගේ, අතීත රූපය මගේ කොටගෙන දෘෂ්ඨි කාන්තාරවල අතරමං වීම ඔබ නැවත නැවත උනන්දුවෙන් මෙනෙහි කළ යුතු කරුණකි. භික්‍ෂුවගේ පාත්‍රයේ තිබෙන මාළුවා කව්රුන් හෝ ධීවර මහතෙක්‌ විසින් මරන ලද මාළුවෙකි. එම මාළුව මරපු අයට එම සත්ව ඝාතන, සත්ව හිංසා අකුසලය අනිවාර්යයෙන්ම විපාක දෙනු ඇත. ඔය ආකාරයට සත්තු මරන අයමයි නැවත එය මාළු වෙලා උපදින්නේ. පිංවත් ඔබ ඔය නොදැනුවත් කම නිසා පෙනී සිටින්නේ, පෙර ජීවිතයේ මාළු මරලා එහි කර්ම විපාකයෙන් මේ ජීවිතයේ මාළුවෙක්‌ව ඉපදුනු සතෙක්‌ වෙනුවෙන්. ඒ විදිහට මැරුම්කන්නයි ඒ සතා මාළුවෙක්‌ව ඉපදෙන්නේ. එම සතා දැළට හසු නොවුනා නම්, ලොකු මාළුවෙක්‌ට අසුවෙලා, ගොදුරුවෙලා ජීවිතය පූජා කරාවී. සත්ත්වයාගේ කුසල් පාලනය කරන්න ඔබට මට බැහැ. ඒවා ධර්මතාවයන්. හෙට පටන් රජය නීතියක්‌ පනවලා මුහුදු තීරයේ මාළු ඇල්ලීම තහනම් කළොත් මුහුදේ මාළු ගහනය ශීඝ්‍රයෙන් වැඩිවේවි. තෝරු, මෝරු, තල්මසුන් වැනි විශාල මාළු සුවසේ සැපසේ පහසුවෙන් එම මාළු ගොදුරු කරගනීවි. පිංවත් ඔබ මාළු නොඇල්ලුවත්, පෙර කර්මය නිසා ආයුෂ අහවර වුණු මාළුවා, තව සතෙක්‌ට ගොදුරු වී මියයාවී.

පිංවත් ඔබට ඉන් පසුව සිදුවන්නේ තෝරු,මෝරු, තල්මසුන්ට නිර්මාංශ වීමට කියා බලකිරීමටයි. එය කළ හැකිද නොහැකිද යන්න පිංවත් ඔබම තීරණය කරන්න. භික්‍ෂුව සමග විරසක වෙන්න එපා. මම අතීත අකුසල් සංස්‌කාර හේතුවෙන් තව මොහොතකින් මාවත් කව්රුහරි මරාදමන්න පුළුවන්. එම නිසා ඉහත අදහසට පිංවත් ඔබ එකඟ නැතිනම්, එම අදහස අත්හැර දමන්න.

පිංවත් ඔබට නැවතත් මතක්‌ කරමි. ඔබ කැමතිනම් නිර්මාංශව ජීවත් වෙන්න. කැමතිනම් මස්‌ මාංශ අනුභව කරන්න. ඔබේ කැමැත්තට පටහැනි අයව විවේචනය කරන්න යන්න එපා. එසේ කොට අකුසල් රැස්‌කරගන්න එපා.

පිංවතුන්ලාගේ ඉන්ද්‍රීය ධර්මයන්ගේ වැඩීමේ ස්‌වභාවය විවිධයි. ඒ නිසා දෘෂ්ඨි, මතවාද, පරස්‌පර අදහස්‌ ඇතිවීම ධර්මතාවයක්‌. එහෙම නොවුනොත් තමයි පුදුමය. මතවාද දෘෂ්ඨි වලින් ගහන ලෝකයේ පිංවත් ඔබ ධර්මයේ විවෘත ස්‌වභාවයට එන්න. ආත්මීය ස්‌වභාවයෙන් බැහැරව පටිච්ඡ සමුප්පන්නව ලෝකය දකින්න. දැලට හසුවී මැරෙන මාළුවා මනුෂ්‍යයෙක්‌, දෙවියෙක්‌….. එසේත් නැතිනම් නැවත තිsරිසන් ලෝකයේම උපත ලබනවා. ඒ මාළුවාගේ අතීත රූපය බදාගෙන අපි සන්ඩුවෙනවා.

ඊළඟ කාරණය තමයි, මස්‌ මාළු අනුභව කරන අයගේ කුස සුසාන භූමියක්‌ය කියලා නගන චෝදනවා. ඒ කියන්නේ පිංවතුනේ නිර්මාංශව ජීවත්වෙන පිංවතුන්ලාගේ කුස, සුවඳ දුම් සුගන්ධය වහනය වන රත්තරං ගුහාවක්‌ද? මස්‌ මාළු කෑවත් නොකෑවත් පිංවතුනේ මේ කුස සුසාන භූමියක්‌ම තමයි. නිර්මාංශ පිංවතාගේ කුසත් ලේ, සැරව, මේදය, වමනය, අසූචි, මුත්‍ර බොකු බඩවැල් වලින්මයි පිරිලා තිබෙන්නේ. නිර්මාංශ පිංවතුන් ඔබ සිතනවා නම් ඔබගේ කුස සුසාන භූමියක්‌ නොවේය, එය රත්තරං ගුහාවක්‌ය කියලා පිංවත් ඔබලාට කවදානම් සතර සතිපට්‌ඨාන ධර්මයක්‌, අසුභයක්‌ පිළිබඳ දැනීමක්‌ සකස්‌වෙන්නද? මන්ද ඔබ සුබ සංඥාවෙන්මයි මේ ජීවිතය දකින්නේ. මේ කය දකින්නේ. මගේ ශරීරය පිරිසිදුයි කියන නිත්‍ය සංඥාවමයි ඔබට වැඩෙන්නේ. අකුසල් සංස්‌කාර හේතුවෙන් මියයන සත්වයෙක්‌ නිසා, පිංවත් ඔබ අහිමි කරගන්නා වූ ශාසනයේ අර්ථය මොන තරම් විශාලද.

ලොව්තුරා බුදු සමිඳුන් දේශනා කළ ධර්මය ඉක්‌මවා යන්න එපා. එසේ වුවහොත් නිර්මාංශ වුවද, මස්‌ මාළු වලට කෑදර වුවද එය ප්‍රමාදයක්‌මය. නිර්මාංශ වීම තුළත්, මස්‌ මාළු අනුභවය තුළත් නිත්‍ය සැප ආත්මීය වශයෙන් දෘෂ්ඨිගත වෙන්න එපා.

කෙනෙක්‌ මාස්‌ මාළු කනවා ශරීරය නිරෝගී, ශක්‌තිමත් කරගන්න. තව කෙනෙක්‌ නිර්මාංශ වෙනවා ශරිරය නිරෝගී, ශක්‌තිමත් කරගන්න. මේ කාරණා දෙකේදීම ඔබ තුල වැඩෙන්නේ ආත්මීය දෘෂ්ඨියක්‌. මේ සා ශ්‍රේෂ්ඨ බුදුදහමක්‌ අභියස දෘෂ්ඨි කාන්තාරවල අතරමං වෙන්න එපා. පිංවත් ඔබ කල්ප සියක්‌කෝටි ගණනාවක සිට, මස්‌ මාංශ අනුභව කරලා ඇති. සිංහයෝ, කොටි, කිඹුල්ලු, මාළු වෙලා අනුන්ගේ මස්‌ අපි කොච්චර කන්න ඇතිද? ඔබේ මස්‌ අනුන් කොච්චර කන්න ඇතිද? මස්‌ මාංශ නිසා දෘෂ්ඨිගත වෙලා කොච්චර සතර අපායන්ට වැටෙන්න ඇතිද? බත්, පරිප්පු, පොළොස්‌, මැල්ලුම්, තණකොළ මොන තරම් කන්දරාවක්‌ අතීතයේ අපි කන්න ඇතිද?

ඒත් අපි දෙගොල්ලන්ටම තවම සුගතියක්‌ නම් වෙලා නැහැ. මැරෙන ලෙඩවෙන නැවත ඉපදෙන ස්‌වභාවයෙන්මයි සිටින්නේ. කෙනෙක්‌ මස්‌ මාංශ වලට කැමතියි. තව කෙනෙක්‌ මස්‌ මාංශ වලට අකමැතියි. කැමැත්තත් , අකමැත්තත් විඳීම කියන ධර්මතාවයේ කාසියේ දෙපැත්ත වගේ. මේ දෙපැත්ත තුළින්ම ඔබ අල්ලාගන්නේ සංස්‌කාරමයි. සංස්‌කාර ඔබව රැගෙන යන්නේ භවයටමයි. මාළු කැබැල්ලක්‌, පරිප්පු හොද්දක්‌ කරන විකාරයක හැටි බලන්නකෝ. මනුෂ්‍යයාව ඇද දමන මුලාව දෙස බලන්නකෝ. එමනිසා මින්පසු මාළු කැබැල්ල දෙස, පරිප්පු ව්‍යංජනය දෙස නොව, ඒවා කෙරෙහි ඔබ තුළ සකස්‌වෙන තෘෂ්ණාව දෙස බලන්න. තෘෂ්ණාවමයි දුක සකස්‌ කරන්නේ. මේ ලැබුණු උතුම් ජීවිතයේදී ධර්මාවබෝධය, සම්මාදිට්‌ඨිය උදෙසා ගමන් කිරීමට අවශ්‍ය ජවය ශක්‌තිය ශරීරයට ලබාගැනීම උදෙසාම ආහාර අනුභව කරන්න. මාළු කැබැල්ල තුළ මාළුවෙක්‌ නොව, පරිප්පු ව්‍යංජනය තුළ පරිප්පු නොව, ඒවා අසූචියක්‌, වමනයක්‌, මුත්‍රා කෝප්පයක්‌, රුධිරය කෝප්පයක්‌ වශයෙන් දකින්න. ආහාරය කුමක්‌ වුවද එහි ඵලය ආයුෂ, වර්ණය, සැපය, බලය, අනිත්‍ය බව සිතමින්ම, දකිමින්ම ඒවා ආහාරයට ගන්න. නිත්‍ය සංඥා, සැප සංඥා, ආත්මීය සංඥා මාළු නිසා ඇතිවුවද, පරිප්පු නිසා ඇතිවුවද ඒවා පිළීගඳ ඇති කෙළෙස්‌ම බව දකින්න.

57-මස්‌ මාළුවල නොවෙයි කෙළෙස්‌වල පිළි ගඳෙන් මිදෙන්න…

2013-12-08
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලවකවානුවේදී මෙන්, සම්බුදු බණ පදයක්‌ අසා, ධර්මය දැකීමේ, අවබෝධකරගැනීමේ ස්‌වභාවයට පත්වීමට සමත්, පිනක්‌ සහිත පිංවතුන් වර්තමානයේ විරළය. එහෙයින් නිවීමේ මග පෙරට යා යුත්තේ මෛත්‍රිය, කරුණාව, ජීවිතය තුළ වඩවාගෙන, ඒ තුළින් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, දානය , ශීලය වඩමින් උත්සහයෙන්ම වීම ඒකාන්තය.

ඒ වීර්යයයෙන් යන ගමනේ ඔබට යම් සන්ධිස්‌ථානයකදී මස්‌ මාංශද, නිර්මාංශද යන්න නොව ඉහත ස්‌වභාවයන් දෙකටම ඇලීමෙන්, ගැටීමෙන්, උපේක්‍ෂාවෙන් මිදී මස්‌මාංශ සහිත රූපයෙන් සදහටම මිදී, ඉපදීම නිරුද්ධ කරගැනීම එකම අරමුණ විය යුතු යෑයි ඔබ දකිනවා ඇත. එය කළ හැක්‌කේ ඉහත තුන් ආකාරයේ බැඳීම, මස්‌ මාළු කෙරෙහි නැතිකරගත්දාකමය. එතෙක්‌ කුකුලෙක්‌, හරකෙක්‌, ඌරෙක්‌, එළුවෙක්‌, මාළුවෙක්‌ වෙනුවෙන් සටන් කරන ඔබ, එම සතුන්ගේ නිදහස කැමති වුවද, ඔබ මරණින් පසු තිරිසන් යෝනියේ ඉපදීමේ ස්‌වභාවයෙන් තවම මිදී නොමැති බව මෙනෙහි කළ යුතුය.

තිරිසන් ලෝකයේ ඕනෑම සතෙකු එම ස්‌වභාවයේ උපතක්‌ ලබන්නේ, එම සතුන් පෙර මනුෂ්‍ය ආත්මභාවවල ඉපද කරගන්නා ලද අනන්ත අප්‍රමාණ සත්ව ඝාතන නිසාමය. මසට මැරෙන තිරිසන් සතෙක්‌ යනු පෙර භවයක පානාතිපාතා වේරමණී ශික්‍ෂාපදය දැඩි ලෙස කැඩූ මනුෂ්‍යයින්මය. මස්‌ මාංශයෙන් වැලකීම මගින් එවැනි කර්ම විපාකයනගෙන් එම සතුන්ව ගලවාගැනීමට ඔබට හැකියෑයි ඔබ සිතනවානම් එය මුලාවකි.

ගවයෙක්‌, එළදෙනක්‌ උදාහරණයකට ගන්න. පිංවත් ඔබ බොහොම ශ්‍රද්ධාවෙන් කරුණාවෙන් මස්‌ මඩුවට ගිහින්, එම සතා නිදහස්‌ කරගෙන ඇවිත් වත්තකට නැත්නම් ගව රැලකට දානවා. ඒ මොහොතේ පටන් ඒ සතා මොකද කරන්නේ. තම වර්ගයා බෝකරනවා. ඒ කියන්නේ මුලාවූ ලෝකයට දුක පැටව් ගසනවා. පිංවත් ඔබ ඔය නිදහස්‌ කළේ තව තව මරණයට පැටවු නිපදවන්නෙක්‌. ඔවුන් නිපදවයි. ඔබට තිබෙන්නේ නිදහස්‌ කිරීමය. මේ පරස්‌පරයට තමයි අපි මෝහය කියන්නේ. අපිම සංවර්ධනයට දායක වෙමින් අපම සීමාකරනවා. මෝහයෙන් මිදුනු දිනක තමයි ඔබට මේ ධර්මතාවය වැටහෙන්නේ.

පිංවත් ඔබට, සතා නිදහස්‌ කළ පින ලැබෙනවා. ඔබ තුළ මෛත්‍රිය කරුණාව වැඩෙනවා. එය නැතෙයි කියලා භික්‍ෂුව කියන්නේ නැහැ. සමහරවිට ඔබ ඔබේ අපලයකටය කියලා වෙන්න පුළුවන් සතුන් නිදහස්‌ කරන්න ඇත්තේ. නමුත් තිරිසන් සතෙකුට, මනුෂ්‍යයෙකුව අපලයෙන් මුදවා දීර්ඝායුෂ දෙන්න බැහැ. මෙතැනදී ඔබව අපලයෙන් මුදවන්නේ තිරිසන් සතා නෙවෙයි. එම ක්‍රියාව නිසා ඔබ තුළ ඇතිකරගන්නා කුසල් සිතයි. එම ශක්‌තිමත් කුසල් සිත නිසා අකුසල් කර්මයන් යටපත් වෙනවා. බලන්න, පිංවත් ඔබ තුළින්ම එම කුසල් සිත මතුකර ගැනීමටත්, ඔබට තිරිසන් සත්ත්ව සංඥාවක්‌ ඊට හවුල්කරගන්න අවශ්‍ය වුණා. භික්‍ෂුව මේ කරුණු ඔබට දක්‌වන්නේ, පිංවත් ඔබට මේ තිරිසන් සත්ත්ව සංඥාවලින් ඉවත් වෙන්න කියලයි. සැබැවින්ම ඔබ විසින් වැඩිය යුත්තේ දිව්‍ය බ්‍රහ්ම සංඥායි.

පිංවත් ඔබ අහිංසක තිරිසන් සතුන් මරණින් මුදාගන්න. එවැනි පිංකම් වලින් වලකින්න කියා කියනවා නොවේ. නමුත් වඩා වැදගත් වෙන්නේ ලැබූ මේ බුද්ධෝත්පාද කාලයේ, තමා සිරගතව සිටියදී, අනුන්ව නිදහස්‌ කිරීමට යැම නොවේ. තමා සතර අපායෙන් නිදහස්‌ වීමට වෙරදැරීමයි. ඊට අවශ්‍ය ශක්‌තිය සැඟවී ඇත්තේ තිරිසන් සතා තුළ නොව, ඔබ තුළමය.

ප්‍රමාදීභාවයකට පත්වී අපි තිරිසන් යෝනියක, උපතකට වැටුනොත්, අපිව නිදහස්‌ කරගැනීමට කිසිවෙක්‌ නොමැත. ඒ දුක අපම විඳිය යුතුය.

ඉහතින් සඳහන් කළේ හරක්‌ එළුවෝ ගැන. ඔබ මාළු ගැන සිතන්න. පිටකොටුව තොග මාළු වෙළඳපොලට යන්න. දස දහස්‌ ගණනින්, ලක්‍ෂ ගණනින් මියගිය මාළුවෝ ඔබට දකින්නට පුළුවන්. පොඩි මාළු අසුවෙන කාලවලදී, දැල් වලට දස දහස්‌ ගණනිනුයි මාළු අහුවෙලා මියයන්නේ. මේ වගේ මාළු තොග ප්‍රමාණයෙන් දකිනකොට මිනිස්‌සුන්ට සිතෙනවද ‘මේ මොන අපරාධයක්‌ද?’ කියලා. එහෙම සිතෙන්නේ නැහැ. ‘මේ මාළුවාත් පෙර ආත්මයක මනුෂ්‍යයෙක්‌, දැන් මේ තිරිසන් යෝනියේ ඉපදිලා’ කියලා හැඟීමක්‌ ඇතිවෙන්නේ නැහැ. ඒ මාළුවන්ගේ කර්ම විපාකයයි. ඔවුන් දස දහස්‌ ගණනින් මුහුද මතුපිටට මතුවී එන්නේ මැරෙන්නමය. ඔවුන්ගේ ආයුෂ එපමණය. මේ මාළු යෝනියේ මසුන් පෙර ජීවිතවල කළ කර්ම විපාකයන්ය. හේතුඵල ධර්මයන්ය. හාල්මැස්‌සාගේ පටන් සෑම මාළුවෙක්‌ම කුස පුරවාගන්නේ තමන්ට වඩා කුඩා මාළු සිය දහස්‌ගණනින් ගිල දමාය. ඔබ ඔය මරණයෙන් මුදවන්නට හදන මාළුවාද මාංශ භක්‍ෂකයෙකි. කිලෝ දහයක්‌ බරැති කෙලවල්ලෙක්‌ ඔය තැනට එන්න, කුඩා මාළු ලක්‍ෂ ගණනක්‌ ගිල දමන්න ඇත. ඒ කියන්නේ ප්‍රාණඝාත අකුසල් ලක්‍ෂ ගණනක්‌ ඒ සතා අතින් සිද්ධ වෙලා. අපි හිතමු ඉහත කෙළවල්ලා මුහුදෙන් අල්ලාගෙන පැමිණෙනකොටම නිර්මාංශ ඔබ එය දැකලා එම කෙළවල්ලා නැවත මුහුදට නිදහස්‌ කළා කියලා. ඒ නිදහස්‌ කළ මොහොතේ පටන්ම ඒ සතා කරන්නෙත් ප්‍රාණඝාතයමයි. කුඩා මාළුන් දහස්‌ ගණනින් ගිළ දමනවා. කුඩා මාළුන් එම කෙළවල්ලාගේ කුස තුළ මැරෙන්නේ ඒ ඔවුන්ගේ කර්ම විපාකය නිසයි. විපාක දීමට ඇති ස්‌වභාවය නිසා. මේකට තමයි ලෝකය කියන්නේ. ඉපදෙන, කැඩෙන බිඳෙන, විසිරෙන ස්‌වභාවය….

එක්‌ කෙළවල්ලෙකුගේ කුස තුළ දිනකට තවත් කුඩා මාළු ජීවිත දස දහස්‌ ගණනක්‌ කැඩිලා බිඳිලා විසිරිලා යන ප්‍රමාණයට වඩා, සිය ගුණයකින් එම කෙළවල්ලා නැවත නැවත බිත්තර මගින් පැටවු, වර්ගයා බෝකරනවා. මේ සතුන් සැබැවින්ම අකුසල් නිධි. දිනපතා ලියලන, දළුලන අකුසල් නිධි. මේ මරණ දුකට හේතුව තමාමය. ඒ දුක වෙනස්‌ කරන්න මනුෂ්‍ය අපට බැහැ. ලියලන අකුසල් නිධි නැමැති හේතුව තිබෙන තාක්‌කල්, මරණ දුක නැමැති ඵලය නියතය. අවිද්‍යාව විසින් අයෙක්‌ මාළු යෝනියට ඇද දමද්දී, අවිද්‍යාව විසින්ම තව අයෙක්‌ මාළුවා බේරාගැනීම උදෙසා මෙහෙයවයි. මේ දෙකටම හේතුව ඔබ අවිද්‍යාවෙන් නිදහස්‌ නොවීමයි. ඔබ කළ යුත්තේ සම්මා දිට්‌ටිය ඇතිකරගැනීම මිස, මාර ධර්මයන්ට රැවටී (සමාජයේ භාවිතා වන වචනයෙන්ම කියන්නේ නම්) මාරයාට ‘කඩේ යැම’ නොවේ. ඒ කියන්නේ ඔබට අයිති නොමැති සිතට රැවටී සතර අපායට නොයන්න කියලයි.

ඔබට ඔබේ ස්‌වභාවයෙන් සිටීමට නොහැත. ඔබ සිටින්නේ අවිද්‍යාසහගත සිතේ ස්‌වභාවයටය. මන්ද සිත ඔබේ ක්‍රියාකරුවාය. ඔබ ඔබේ ස්‌වභාවයට සිටිනවා යනු, ඔබ අවිද්‍යාසහගත සිතේ ස්‌වභාවයේ සිටීමයි. ඔබ වීර්යය කළ යුත්තේ ධර්මයේ ස්‌වභාවයට පැමිණීමටය. එවිට සිතද ධර්මයේ ස්‌වභාවයට පැමිණෙනු ඇත. මේ තැනට පැමිණෙන තාක්‌ ඔබව ඔය අවිද්‍යාසහගත සිත නොයෙක්‌ ජනප්‍රිය දෘෂ්ඨීන් වල සිරකරුවෙක්‌ කරනු ඇත. එහෙයින් මස්‌, මාළු, බිත්තර, කරවල කැබැල්ලකට ඇලීමෙන්, ගැටීමෙන්, උපේක්‍ෂාවෙන් ඔබ රකින උතුම් ශීලය, සමාධිය, තන්හාවෙන් මාන්නයෙන් දිට්‌ටියෙන් කිළිටි කිරීමට මාරයාට ඉඩ නොදෙන්න.

භික්‍ෂුව ඉහත සටහන සවස්‌වරුවේ ලියන විට භික්‍ෂුවට පෙනෙනවා, කුටිය අසළින් රතු පැහැ එළදෙනක්‌ කැලය තුළට යනවා. ඇය යන්නෙ බොහොම අමාරුවෙන්. කකුලක්‌ කොරගසමින්. සමහරවිට වාහනයක ගැටිලා වෙන්න පුළුවන්. ඇය හොඳටම කෙට්‌ටු වෙලා. ආහාර නොලැබීමෙන් වෙන්න ඇති. ඇය පසුපසින් සති දෙකක්‌ පමණ වයසැති සුරුබුහුටි වසු පැටවෙක්‌ ගමන් කරනවා. ඒ ඇයගේ පැටවා. කොර ගසමින් යන මව් වැස්‌සිය පසුපසින් පැටවාද සතුටින් යනවා. මවගේ වේදනාව එයාට දැනෙන්නේ නැහැ. මව් වැස්‌සිය පැටවාත් අරගෙන මහා අවදානම් ගමනක්‌ යන්නේ. ඇයට තේරුමක්‌ නැහැ රාත්‍රී අඳුර වැටෙනවිට පැටවාත් සමග කැලයට යැම නුසුදුසුයි කියලා. නපුරු සතෙකුට ගොදුරුවෙන්න පුළුවන් කියලා. මව් වැස්‌සිය රෝගී තත්ත්වය වැඩිවී කැලයේ අතරමං වේවිය කියලා. මේවා ගැන කිසිම හැඟීමක්‌ මව් වැස්‌සියට නැහැ. පැටවා සමග කැලය තුළට ගියා. මව් වැස්‌සියගේ අනවබෝධය නිසා දෙදෙනාගේම විනාශය කැලය තුළදී සිද්ධවෙන්න පුළුවන්. පැටවාට කරන්න දෙයක්‌ නැහැ. එයා මව් උණුසුමට, මව් කිරට ඇති ජන්දරාගය නිසා, අවදනම කරා කැමැත්තෙන් ගමන් කරනවා.

මේ සිද්ධිය අපටත් හොඳ පාඩමක්‌. අප හැම විටම අනුගමනය කළ යුත්තේ, ආදර්ශයට ගත යුත්තේ අපව සතර අපායේ අවදානම කරා රැගෙන යන පෙරගමන්කරුවෙක්‌ නොවේ. නිවැරදි මාර්ගයට අපව මෙහෙයවන කළ්‍යාණ මිත්‍රයෙක්‌මය. ඒ කළ්‍යාණ මිත්‍රයා අන් කව්රුවත් නොව ලොව්තුරා බුදුරජාණන් වහන්සේමය. උන්වහන්සේ අපට වදාළේ පිළී ගඳ ඇත්තේ මස්‌ මාංශ වල නොව, ශීලයක්‌ නොරකින, සමාධියක්‌ නොවඩන මනුෂ්‍යයා තුළ ඇති කෙළෙස්‌වල බවයි. ඔබ මස්‌ මාංශ අනුභව නොකොට සිටියද, ඔබේ සිත කෙළෙස්‌ වලින් බරිතනම්, සැබැවින්ම ඔබ තුළ පිළීගඳ ඇත. ඔබ මස්‌ මාංශ අනුභව කළද සිත කෙළෙස්‌ වලින් පිරිසිදු කිරීමට වෙහෙස වන්නේ නම් ඒ ඔබ වෙහෙසවන්නේ පිළී ගඳට එරෙහිවය.

මාළු යනු මාළුය. මස්‌ යනු මස්‌ය. බිත්තර යනු බිත්තරය. මේවා රස අනුව, ගුණ අනුව, වර්ගය, හැඩරුව, ප්‍රමාණය, පිං පව් අනුව වර්ග කරන්නේ ඔබේ සිතමය. මේ විෂයන් පිළිබඳව ඔබව සංකීර්ණභාවයට පත්කරන්නේ ඔබගේ සිතය. මේ සංකීර්ණභාවය නිසාම, නොයෙක්‌ දෘෂ්ඨි මතවාදවල ඔබ සිරකරුවෙක්‌ වෙයි. ඉහත සිරකාර බවින් ඔබ නිදහස්‌වීමට නම් අවිද්‍යාසහගත සිත ඔබ අවබෝධ කරගත යුතුය.