52-බුදු රජුන්ගෙන් පාර නෑසූ අවාසනාවන්තිය – I

2013-11-03
අපි ඉකුත් සටහනක සඳහන් කළා ආදරය ගැන. ආදරයත් මාරයාත් මොනතරම් සමීප දෙදෙනෙක්‌ද කියලා පැහැදිලි කිරීමක්‌ කළා. මාරයා ඔබව ලෝකය තුළ බැඳ තබන රන් නූල තමයි ආදරය. ආදරයට පුළුවන් සත්වයෙක්‌ව උම්මත්තකයෙක්‌, මිනීමරුවෙක්‌, සියදිවිනසාගන්නෙක්‌, යහපත් මනුෂ්‍යයෙක්‌ කියන ඕනෑම චරිතකයකට ආරෝපනය කරන්න. රූපය හැටියට ගත්තත්, පංචඋපාදනස්‌කන්ධය හැටියට ගත්තත් මේ හේතූන් ප්‍රමාණවත් මාරයත්, ආදරයත් අතර තිබෙන සම්බන්ධය දැකගන්න.

රූපයට ද්වේෂ කරලා වගේම රූපයට මෛත්‍රිය කරලත් වැඩක්‌ නැහැ. රූපය කියන්නේ ඇස්‌ බැන්දුමක්‌. රූපය තිබෙන්නේ විඳීමට නොවේ. අවබෝධ කරගන්නයි. යමෙක්‌ රූපය සතුටින් ගනීනම්, ඒ ඔහු සතුටින් ගන්නේ අනවබෝධයයි. සමාජය දෙස බැලීමේදී පේනවා මේ අනවබෝධය කිරුළු පළඳවාගත් අප්‍රමාණ පිරිස්‌. මේ අයව අපට විවේචනය කරන්න බැහැ. මොකද කවදත් එය ලෝකයේ ස්‌වභාවයක්‌. ඒ කියන්නේ ධර්මතාවයක්‌.

ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා සත්ත්වයා බැඳුනොත් බැඳෙන්නේ පංචඋපාදානස්‌කන්ධයටය කියලා. සත්ත්වයා නිදහස්‌ වුණොත් ඒ නිදහස්‌ වෙන්නෙත් පංචඋපදානස්‌කන්ධයෙන්මය කියලා. රූප දෙකක්‌ එකට තියලා මාරයා බඳින බැඳීම තමයි පංචඋපදානස්‌කන්ධය කියලා කියන්නේ. ඔබ රැවටෙන්න පුළුවන් බඳින රන් නූලට. දැනෙන උණුසුමට. ‘අහා… ආදරයේ චමත්කාරය’ කියලා. නමුත් මේ චමත්කාරය පසුපස සැඟවුණු සෙවනැල්ලක්‌ තිබෙනවා. එයා ඉන්නේ නිතරම සැඟවිලා. රූපලාවන්‍යයෙන් මුහුණේ තිබෙන ලප, කැළැල් වසා දමනවා වගේ, මෙයා ඉන්නේ යටපත් වෙලා. ඒ තමයි ද්වේෂය. නන්නාඳුනන බවක්‌ පෙන්වුවද ආදරයත්, ද්වේෂයත් මොන තරම් සමීපද. මේ සමීපභාවය හඳුනානොගත් නිසා මනුෂ්‍යයා මොනතරම් පීඩාවන් අත්විඳිනවාද. අයාලයේ යන අකීකරු සිත ඔබ ධර්මයෙන් නතුකරගැනීමට අදක්‍ෂ වුවහොත් ආදරය නිසාම ඔබ තුළ ද්වේශයද සකස්‌වනු ඇත.

ආදරය නිසා ද්වේෂය සකස්‌ වී තම සුන්දර පාසල් ජීවිතය. නිරයේ ගිනි ජාලාවක්‌ මතට පත්කොටගත්, ලොව්තුරා බුදුරජාණන්වහන්සේගෙන් පාර අසා නොගත්, අවාසනාවන්තියකගේ කථාවක්‌, ඉහත සටහනේ අර්ථය ඔබට අවබෝධ කරගැනීම පිණිස සඳහන් කරනවා.

මේ තබන සටහන, පිංවත් තරුණ ඔබට ආදරයේ නාමයෙන් යම් තීරණයක්‌ ගැනීමට ප්‍රථම, ධර්මයේ නාමයෙන් එම තීරණය ගැන දෙවරක්‌ සිතා බලන්නට පොළඹවාවී.

ජීවිතයේ අතිදුෂ්කර අවස්‌ථාවකදී, තීරණාත්මක අවස්‌ථාවකදී, ඔබේ අකීකරු සිතට ඉඩ නොදී, බුදුරජාණන් වහන්සේ ජත්ත තරුණයාට පිහිටවූ ඒ මහා කරුණා ගුණයේ ආශ්චර්යමත් රැකවරණය, පිළිසරණ ලැබීමට ධර්ම මනසිකාරයක්‌ම සිහිපත් කරගන්නට ඔබව පොළඹවාවී.

සිත කියන්නේ අංක එකේ රස්‌තියාදුකාරයෙක්‌ කීවොත් එය වරදක්‌ නැහැ. මේ ජීවිතයේදී පමණක්‌ නොවේ. අතීත, අනාගත භවයන්හිදී, සත්වයාට දුකත් සැපත් උරුමකොට දෙමින් ඇවිද්දවන්නේ අවිද්‍යාවෙන් පෝෂණය වූ සිත විසින්මය. නොසන්සුන් සිතක ස්‌වභාවය ඔබ අත්විඳලා තිබෙනවනේ. එවැනි අවස්‌ථාවක ඔබට මොනතරම් ආවේගශීලී අදහස්‌ද ඇති වන්නේ. අතීතයේදී තම සිතේ ක්‍රියාකාරීත්වය සකස්‌ වූ ස්‌වභාවය මතකයට නැගෙනකොට, මෙය සටහන් තබන භික්‍ෂුවට හිතෙනවා, මේ අකීකරු, රස්‌තියාදුකාර, මාන්නක්‌කාර නැහැදිච්ච සිත දමනය කරගත්තේ කොහොමද කියලා. එය මොනතරම් ආශ්චර්යයක්‌ද කියලා. ඒ උදෙසා කළ කැපකිරීම කොතරම්ද කියලා. මෙහෙම හිතෙනකොට ලොව්තුරා බුදුරජාණන්වහන්සේට අප්‍රමාණ වාරයක්‌ හදවතින් වන්දනා කරනවා. උන්වහන්සේමයි මාර්ගය වුණේ. උන්වහන්සේමයි පිළිසරණ වුණේ. උන්වහන්සේමයි රැකවරණය වුණේ. අන්න ඒ විශ්වාසය ජීවිතය තුළ ඇතිකර නොගත් සමරහක්‌ දෙමව්පියන්ගේත්, එවැනි දෙමව්පියන්ගේ වරදින් විනාශය ඇතිකරගත් දරුවන්ගේත් කථාවක්‌ දැන් පහත සටහන් තබනවා.

ග්‍රාමීය ප්‍රදේශයක ජීවත්වුණ පවුලක්‌ සිටියා. පවුලේ සාමාජිකයන් හතරදෙනයි. මෙම කථාවේ ප්‍රධාන චරිතය තමයි පවුලේ බාල දියණිය. මේ දියණිය කුඩා වයසේදීම තම පියා මියයනවා. පියා මියයන්නේ වස පානය කර සියදිවිනසා ගැනීමෙන්. මේ නිසා ළදරු වයසේදීම මේ දියණියට පිය සෙනෙහස අහිමිවෙනවා. ස්‌වාමියාගේ වියෝවෙන් පසුව මව දැඩි ලෙස වෙහෙසක්‌ ගෙන දරුවන් ලොකුමහත් කරගන්නවා. මෙහෙම කාලයක්‌ ගතවෙනකොට මවට විදේශ රටක ගෘහ සේවිකා රැකියාවක්‌ ලැබී විදේශගත වෙනවා. පහළොස්‌ හැවිරිදි දියණියත්, ඇයගේ සොයුරාත් මිත්තනියගේ භාරයේ තබා මව විදේශයට යනවා. මවගේ විදේශගතවීමෙන් මෙම පහළොස්‌ හැවිරිදි දියණියට මව් සෙනෙහසද අහිමිවෙනවා. ආච්චිගේ නිවසේ සිට පාසල් යන දියණියට අවශ්‍ය සියලු වියහියදම් විදේශ රැකියාවේ නියුතු මව මාස්‌පතා එවනවා. නමුත් දියණියගේ මව විදේශ රැකියාව කෙරෙහි ඇතිකරගත් දැඩි තෘෂ්ණාව නිසාම, දීර්ඝ කාලයක්‌ පුරා නැවත නැවත විදේශගත වෙනවා. මේ හේතුවෙන් කුඩා කාලයේදීම පිය සෙනෙහස සහමුළින්ම අහිමිවූ දියණියට මව් සෙනෙහසද ඈත්ව යනවා. මව්පිය සෙනෙහස අහිමිවීමෙන් මානසික පීඩනයට පත්වෙන මේ දියණිය පාසලේ සම වයසේ ශිෂ්‍යයෙක්‌ සමග ප්‍රේම සම්බන්ධතාවකට මුලපුරනවා.

දැන් දෙදෙනා හොඳ පෙම්වතුන්. මේ යොවුන් පාසල් වයසේ ප්‍රේමය පළමුව පාසලේ අයත් දෙවැනුව ගමේ අයත් දැනගන්නවා. හොර රහසේ කරගෙන ගිය මේ ආදරය හෙළිවීමෙන් ගැහැනු දරුවාගේ වයසට වඩා වත්පොහොසත්කම්වලින් වැඩි පිරිමි දරුවාගේ දෙමාපියන්, ඥාතීන් පිරිමි දරුවාට මේ සම්බන්ධය නවතා දමන ලෙස අවවාද කරනවා. මේ බලපෑම් ඉවසාගත නොහැකිවූ තැන මේ පාසල් ශිෂ්‍යයා සියදිවි නසාගන්නවා. මේ ලාබාල පාසල් ශිෂ්‍යයාගේ සියදිවි නසාගැනීම ගැන ගමත්, පාසලත් දැඩි ලෙස කම්පාවෙනවා. මියගිය පිරිමි දරුවාගේ ඥාතීන් සැම දෙනාම තම පුතාගේ දිවිනසා ගැනීමට හේතුව වශයෙන් දකින්නේ, දෙමාපියන්ගේ රැකවරණය අහිමිවූ, වයෝවෘද්ධ මිත්තනිය භාරයේ සිටි යොවුන් පෙම්වතියවයි. මේ හේතුව නිසා පාසල් වයසේ පසුවූ මේ දියණියට පිරිමි දරුවාගේ පාර්ශ්වයෙන් දැඩි ලෙස විරෝධය, ඇනුම්බැනුම් එල්ලවෙනවා. පහළොස්‌ හැවිරිදි වියේ පසුවූ පාසල් ශිෂ්‍යයෙක්‌ වන ඇයට දරාගැනීමට නොහැකි ආකාරයෙන් චෝදනා එල්ලවෙද්දී, දෙමාපිය හවුහරණද නොමැති ඇය දැඩිව තීරණය කරනවා තමාද සියදිවිනසාගෙන තම පෙම්වතා ගිය ලෝකයටම යනවා කියලා.

මේ වනවිට ඇය සිය පාසල් මිතුරියන්ට පවසා තිබුණා, මියගිය තම පෙම්වතා රාත්‍රියේ සිහිනෙන් ඇවිත් තමන්ට කථා කරන බව. නිරතුරුවම ඔහු සිටින ලෝකයට එන්න කියලා අඬගසන බව. මේ මනෝභාවය නිසාත්, පෙම්වතාගේ පාර්ශ්වයෙන් එල්ලවන ඇනුම් බැනුම් විවේචන නිසාත්, සියදිවි නසාගැනීමේ තීරණය ඇය ඉක්‌මන් කරනවා. ආදරය කියන වචනයේ අර්ථයවත් නොදැන, හුදෙකලාභාවය නිසාම, දෙමව්පිය සෙනෙහස නොලැබුණු නිසාම, බොළඳ ප්‍රේමයක කටුකබව අත්විඳින මෙම පහළොස්‌ හැවිරිදි දියණිය එක්‌තරා මොහොතක තීරණයක්‌ ගන්නවා. ඒ තමා දැඩි ලෙස ආදරය කළ, තම ආදරය නිසාම සියදිවිනසාගත් තම පෙම්වතා වෙනුවෙන් ඔහුගේ ලෝකයට යන්නට. තමන් නොකළ වරදකට ‘අපේ පුතා මරාගත්ත පව්කාරී’ යෑයි දැඩි ආකාරයෙන් ඇනුම්බැනුම් එල්ල කරන ලෝකයාගෙන් මිදිය යුතු යෑයි සියදිවි හානිකර ගැනීමට ඇය ස්‌ථිරවම තීරණයකට එළඹියා .

ඇය පෑනක්‌ කොලයක්‌ ගෙන බොහොම සංවේදීව ලිපියක්‌ ලියනවා. මගේ ආදරණීය පෙම්වතා නිතරම සිහිනෙන් ඇවිත් මට එයාගේ ලෝකයට එන්න කියලා අඬගසනවා. මේ ලෝකයේ මා වෙනුවෙන් සිටියේ ඔහු පමණයි. ඒ නිසා මම ඔහුගේ ලෝකයට යනවා. මේ විෂම මිනිසුන්ගෙන් මිදිලා ඔහු සමග සතුටින් ජීවත්වීමට.

දෙවැනුව ඇය සටහන් කරනවා, නොකළ වරදකට මට චෝදනා කරන මේ සමාජයේ තවදුරටත් ජීවත්වෙන්න බෑ. මම මගේ පෙම්වතා ළඟට යනවා. මම මැරුණට පසුව මගේ දේහය සහිත පෙට්‌ටිය මත මල්වට්‌ටි දෙකක්‌ තබන්න. ඉන් එකක්‌ මට. අනික මගේ පෙම්වතාට. මගේ දේහය වළදැමූ පසු එම වළ මත සුදු මල්ගස්‌ දෙකක්‌ සිටුවන්න. එකක්‌ මගේ නමින්. අනික මගේ පෙම්වතාගේ නමින්.

බොහෝම සංයමයෙන්, කලබලකාරීබවකින් තොරව, තමාට චෝදනා කරන මිනිසුන් කෙරෙහි දැඩි කලකිරීමකින්, තම මියගිය පිංවතා සිsටින ලෝකය කෙරෙහි දැඩි උපාදානයක්‌ සකස්‌ කරගෙන, ඉහත සටහන කොලයක ලියා සුරැකිව මේසයක්‌ මත තබා, මව විදේශගතවීම හේතුවෙන් වසාදමා තිබූ තම නිවසට ඇතුළුවී බාල්කයකට ලණුපොටක්‌ දමා සිය දිවි නසාගන්නවා. මේ සියල්ල සිද්ධවෙද්දී මෙම දියණියගේ මව සිටියේ විදේශගතව. ඉහත සිද්ධිය රටේ යම් ප්‍රදේශයක සිදුවූ අතිශයින් අවාසනාවන්ත, සත්‍ය සිදුවීමක්‌. මේ සිද්ධිය දැනගත් සෑම මනුෂ්‍යයෙක්‌ම අතිශය කම්පාවට පත්වුණා මේ යොවුන් වියේ දරුවා අකාලයේ මියයැම ගැන.

දැන් ඔබට සිතෙන ආකාරයට, ඔබ කර්මය කර්මඵලය ගලපාගන්නා ආකාරයට දකින්න උත්සහගන්න මේ සියදිවි නසාගත් දියණිය කුමන ප්‍රතිසන්ධියක්‌ ලබන්න ඇතිද කියලා.

(මෙම සටහනේ ඉතිරි කොටස ලබන සතියේ පළවේ)

ඉන්ද්‍රජිත් සුබසිංහ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s