56-මෛත්‍රිය අනුභවකර මස්‌ මාංශ නොකෑමෙන් පලක්‌ වේද?

2013-12-01

එක්‌තරා ගිහි පිංවතෙක්‌ භික්‍ෂුවගෙන් ඇහුවා ‘හාමුදුරුවෝ මස්‌ මාංශ අනුභවය ගැන ඔබ වහන්සේ දරන අදහස මොකක්‌ද?’ කියලා. එම පිංවතාට භික්‍ෂුව දුන්න පිළිතුර මෙහි සඳහන් කරනවා. ඔබ ගිහි පිංවතෙක්‌ නිසයි භික්‍ෂුව මෙහෙම පිළිතුරක්‌ දෙන්නේ. හැබැයි මේ පිළිතුර සමාජයේ සැමටම එකඟ නැහැ. එම පුද්ගලයා ලබා ඇති ධර්මාවබෝධය මත, පිළිතුරේ ස්‌වභාවය වෙනස්‌ වෙනවා. භික්‍ෂුව ගිහි කාලයේදී පැවිදිවීමට පෙරාතුව වසර 5ක්‌ පමණ මස්‌ මාලු අනුභව කළේ නැහැ. ඒ කාලයේ මස්‌ මාලු අනුභව කරනකොට ඒ සතා මැවිලා පෙනෙනවා. උදාහරණයක්‌ කීවොත්, කුකුල් මස්‌ අනුභව කරනකොට කුකුලා මැවිලා පෙනෙනවා. ඒ නිසා මස්‌ මාලු අනුභවයෙන් වැළකී සිටියේ බොහොම කැමැත්තෙන්. හැබැයි මාංශ අනුභව කරන අය විවේචනය කරන්න ගියේ නැහැ. නිර්මාංශ බව ලෝකයට පෙන්වීමට ගියේ නැහැ. කෑමට ගත්ත ආහාර පිඟානේ මස්‌ මාලු බෙදලා තිබ්බොත්, එය පිඟානේ පැත්තකට කර ආහාර අනුභව කළා. ගිහි කාලයේදී, මහා සංඝරත්නය උදෙසා දන්දෙන අවස්‌ථාවලදී දානයට මස්‌ මාංශ පූජා කළා. නිර්මාංශ වුවද ඒ හේතුවෙන් දෘෂ්ටියක්‌ හෝ අන්‍යයන්ගේ කැමැත්ත හෙළා දැක්‌කේ නැහැ.

භික්‍ෂුව පැවිදිවීමෙන් යම් කලකට පසුව මේ තත්ත්වය වෙනස්‌ වුණා. මේ මොහොතේ මේ ප්‍රශ්නය අසන්නේ පිංවත් ගිහි මහත්තයෙක්‌. කවුරුන් හෝ ධර්ම මාර්ගයේ ගමන්කිරීමට අවතීර්ණ වනවිට මුලින්ම සිටින්නේ පෘතග්ජන ස්‌වභාවයේ. දෙවැනිව සෝවාන් මාර්ගය තුළ. මේ ප්‍රශ්න අහන පිංවතා ඉහත ස්‌වභාවය නියෝජනය කරන නිර්මාංශ පුද්ගලයෙක්‌. එහෙම ස්‌වභාවයේ අයෙකුට අපි අවවාද කළොත් ‘ඔබ මස්‌ මාලු බිත්තර අනුභව කළ යුතුයි. ඒවා නොකෑම වැරදියි’ කියලා , අපි එම පිංවතාට කරන්නේ ලොකු වරදක්‌. ඔහු කෙරෙහි අනුකම්පාවෙන් තොරවීමක්‌මයි. ඒ වගේම එම පිංවතා, තමා නිර්මාංශව ජීවත්වෙමින් , අනුනට ද ඒ ගැන දේශනා කිරීම, පෙළඹවීම වරදක්‌ නැහැ. මොකද තවම ඒ පිංවතුන්ගේ ස්‌වභාවය සෝවාන් මාර්ගයේ පෙරට යන ස්‌වභාවයයි. අනාගතයේ යම් දිනෙක මේ පිංවතුන් සෝවාන් ඵලය අවබෝධ කරගැනීමට නම් තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව, ආර්යකාන්ත ශීලය තම ජීවිතවලට ගලපාගැනීම අත්‍යවශ්‍ය සාධකයක්‌ වෙනවා.

තමාට සිතෙනවා නම්, මස්‌ මාංශ අනුභව නොකිරීම නිසා තමා තුළ මෛත්‍රිය කරුණාව වර්ධනය වන බව, එම පිංවතා නිර්මාංශව සිටීම වරදක්‌ යෑයි භික්‍ෂුව මොනව හේතුවක්‌ නිසාවත් කියන්නේ නැහැ. හැබැයි මෙතැනදී නිර්මාංශභාවය රකින පිංවතුන් සමහරෙක්‌ගෙන් නොදැනුවත්භාවය නිසා ලොකු වරදක්‌ වෙනවා. තමාට නිර්මාංශ වීමට අවශ්‍යනම්, එය කළ යුත්තේ තමා තුළ මෛත්‍රිය කරුණාව වැනි ධර්මයන් තව තවත් ශක්‌තිමත් කරගැනීමටත්, ඒ තුළින් තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව, ශීලය ශක්‌තිමත් කරගැනීමේත් පරමාර්ථයෙන්මය. එසේ නොමැතිව, තමා වර්ණනා කරගැනීම උදෙසා අනුන්ව හෙළාදැකීමට නොවේ. මෙතැනදී ඔබ තුළ වැඩෙන්නේ මෛත්‍රිය කරුණාව නොවේ. තමා කෙරෙහි මාන්නය, තන්හාව, දිට්‌ඨ§යයි. මේ නිසා ඔබ විරුද්ධ මතය සමග ගැටෙනවා. එතකොට ඔබේ මෛත්‍රියට මොකද වෙන්නේ. සියලු සත්වයෝ සුවපත් වේවා කියන සම්බුදු වදනට මොකද වෙන්නේ. ඔබ තිරිසන් සතුන්ව සුවපත් කරගැනීමට ගිහින්, තිරිසන් ලෝකයෙන් මිදී, මේ බුද්ධොපාද කාලයේ උතුම් මිනිසත් බවක්‌ ලැබූ පිංවත් මනුෂ්‍යයන්ව, ගිහි පැවිදි උතුමන්ව විවේචනය කරනවා. ගැටෙනවා. තිරිසන් සතුන්ගේ නිදහස උදෙසා පෙනී සිටින ඔබ, උතුම් මනුෂ්‍යයාගේ නිදහස සීමා කරනවා. මෙවැනි තත්ත්වයක්‌ තුළ ඔබ මේ ධර්ම මාර්ගයේ කෙසේ නම් පෙරට යන්නද?

ඔබට ලෝකය හදන්න බැහැ. ලෝකයාව දුකෙන් මුදවන්නත් බැහැ. තිරිසන් ලෝකයේ සතෙකුව ඉපදීමට හේතුව, එම කර්මය කර්මඵලයන් විඳීම වළක්‌වන්න අපිට බැහැ. ඔබ නිර්මාංශව සිටිමින් ඉන් ලබන ශක්‌තිය, තන්හාව මාන්නය සහ දිට්‌ඨ§යට හීන කිරීමට ඉඩනොදී ධර්ම මාර්ගයේ පෙරට යන්න. මෙයින් අදහස්‌ වෙන්නේ නැහැ, මස්‌ මාංශ අනුභව කරන අයට ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න බැහැය කියලා. මස්‌ මාංශවලට ඇලුන කෙනෙකුට වඩා, වේගවත් ගමනක්‌ දෘෂ්ටිගත නොවූ නිර්මාංශ කෙනෙකුට ධර්ම මාර්ගයේ තිබෙනවා. ඒ වගේ ම දෘෂ්ටිගත නිර්මාංශ පුද්ගලයෙකුට වඩා, මස්‌ මාංශ අනුභව කරන මධ්‍යස්‌ථ පුද්ගලයෙකුගේ ධර්ම මාර්ගයේ ගමන වේගවත් වෙන්න පුළුවන්. මෙය බලපාන්නේ පුද්ගලයාගේ ඇලීමේ ගැටීමේ ස්‌වභාවය මතයි.

පිංවත් ඔබ වැරදි අර්ථකථන ගන්න එපා. මස්‌ මාංශ කෑමත්, නොකෑමත්, ධර්මාවබෝaධය ලැබීමත් අතර සම්බන්ධයක්‌ තිබෙනවා කියලා. භික්‍ෂුව මේ සටහන පුරාවට කියන්න උත්සහ කළේ, සෝවාන් මාර්ගය තුළ ගමන් කරන පිංවතුන් අහිංසක සතුන් කෙරෙහි මෙන්ම, මස්‌ මාංශ අනුභව කරන මනුෂ්‍යයන් කෙරෙහිත් මෛත්‍රිය කරුණාව පෙරදැරි කරගෙන කටයුතු කළහොත්, ඔබේ ධර්ම මාර්ගයේ ගමන ඉක්‌මන් වන බව පමණයි.

පිංවත් ඔබ මස්‌ මාංශ අතහැරීම තුළින්, ඊට වඩා ශක්‌තිමත් යමක්‌ අල්ලාගන්නේ නම්, මස්‌ මාංශ සම්බන්ධයෙන් කළ ඒ අතහැරීම දුක පිණිසම හේතුවන්නේය. භික්‍ෂුව මෙහිදී පැහැදිලි කරන්නේ මස්‌ මාංශ කැපද, අකැපද කියන කාරණය නොවේ. භික්‍ෂුවට මේ සම්බන්ධව මතයක්‌ නැහැ. මතයක්‌ කියන්නේ දෘෂ්ටියක්‌. සියල්ල අනිත්‍යවූ ලෝකයේ එක මතයක ඉන්න කාටවත්ම බැහැ. අපි යමක්‌ දැඩිව අල්ලාගත්තානම් එතැන තියෙන්නේ අවිද්‍යාවයි.

භික්‍ෂුවගේ පාත්‍රයට කුමන තරාතිරමේ දායකයෙක්‌, ආහාරයක්‌ පූජා කළත් එය මස්‌, මාලු, එළවළු, බත් වශයෙන් භික්‍ෂුව වර්ග කරන්නෙ නැහැ. එය භික්‍ෂුවගේ කය පවත්වාගැනීමට ලැබුණු ආහාරයක්‌ වශයෙනුයි භික්‍ෂුව දකින්නේ. භික්‍ෂුව අවබෝධයෙන් දකිනවා කුමන ආහාරයක්‌ වුවත් අයිති වමනයට, රුධිරයට බව. ආහාරයත්, වමනයත්, රුධිරයත් අයිති සතර මහා ධාතූන්ට බව. ඕනෑම පිංවතෙක්‌ ධර්මාවබෝධයෙන් පෙරට යනකොට, ඔබ ලබන අවබෝධය තුළින්ම ඔබට මේ ස්‌වභාවයන් පසක්‌කොට දේවී. නිරවුල්කර දේවි. ධර්ම මාර්ගය උත්සහවන්තව වඩා, ඔබ සතර අපායෙන් මිදුන අවස්‌ථාවක, ඔබේ වැඩෙන ප්‍රඥාව විසින්ම මේ ප්‍රශ්නය ඔබට විසඳලා දේවි. ඒ පිළිබඳව අමුතුවෙන් ආයාසයක්‌ ගැනීමට, අනුන්ගේ උපදෙස්‌ ගැනීමට ඔබට අවශ්‍ය නැහැ. නමුත් ඉන් මෙහා මේ ප්‍රශ්නය ඇතිවීම සාධාරණයි. මන්ද මෙවැනි ප්‍රශ්න මෛත්‍රියේ, කරුණාවේ, ශීලයේ වේශයෙන් ඔබ ඉදිරියට එන, ඔබව සතර අපායෙන් මිදීම වලක්‌වන, පමාකරන මාර බලවේග හෙයිනි. ඔබගේ ජීවිතය මෛත්‍රිය කරුණාවෙන් ශිලයෙන් ශක්‌තිමත් නම් ඔබ නිර්මාංශවීම හේතුවෙන් ඔබගේ අදහසට විරුද්ධ අය සමග ගැටීමේ ස්‌වභාවයට ඔබ යන්නේ නැහැ. එහෙම කළොත් එතැන මෛත්‍රියක්‌ නැහැ. තිරිසන් යෝනියේ ඉපදෙන සතෙක්‌ ඔබ මරණයෙන් බේරුවා කියලා, එම සතාගේ කර්ම විපාකයන්ගෙන් බේරාගන්න ඔබට බැහැ.

මෙසේ ඔබ ඔබේ අදහස දිනවීමට, සීමාව ඉක්‌මවා දෘෂ්ටිගත වුණොත්, ඔබ මස්‌ මාලු බිත්තර කෑමෙන් වැලකුණත්, ඵස්‌ස ආහාර, මනෝ සංෙච්තනා ආහාර, විඤ්ඤාණ ආහාර කියන තුන් ආකාරය ආහාර බුදින අයෙක්‌ බවට පත්වුවහොත්, ඔබට ලෙහෙසියෙන් පහසුවෙන් පෙරට යා හැකිව ඇති මේ ධර්ම මාර්ගයේ ඔබ ආපස්‌සටමයි ගමන් කරන්නේ. ඔබ කැමති මස්‌ මාංශ අනුභවයට ද, නිර්මාංශව සිටීමටද, ඔබ ඔබේ ස්‌වභාවයෙන් සිටින්න. ලද දෙයින් සතුටුවන්න.

Advertisements

54-කරුමයක උරුමය සොයා…..

2013-11-17
බුදුරජුන්ගෙන් පාර නෑසු අවසනාවන්තිය III
(ඉකුත් දෙසතිය – කුඩා කලම පිය සෙනෙහසත් පසුව ළමා කල මව් සෙනෙහසත් අහිමිවූ දියණියක්‌ පාසල් වියේ ආදර සම්බන්ධතාවක්‌ ගොඩනගා ගනී. එයට ප්‍රේමවන්තයාගේ පාර්ශ්වයෙන් එල්ලවන විරෝධය හමුවේ පෙම්වතා සියදිවි හානිකරගනී. මේ සිදුවීමත් සමග තමන් වෙත එල්ල වන චෝදනා හමුවේ එම දියණියද දිවිනසාගනී. භික්‍ෂුක්‌ උතුම් සමාධියෙන් පසුවද්දී මෙසේ සියදිවි නසාගත් දියණියගේ ඊළඟ භවය අරමුණු කරයි. එහිදී අරමුණු වනුයේ නිරයේ ගිනිදැල්ය. එවිට නිරයට වැටීම පිණිස ඇයව ඇද දැමීමට හේතුවූ අකුසලය කුමක්‌දැයි දැනගැනීම පිණිස එම භික්‍ෂුව ඇය සියදිවි හානිකර ගැනීමට පෙර ආත්මය අරමුණු කරයි)

එහෙම අරමුණු කර බලන්න භික්‍ෂුවට අවශ්‍ය වුණේ ඇය පාසල් දියණියක්‌ව ඉපදුණු ජීවිතයේදී, ඇයට ඉතා දරුණු ආකාරයේ අකුසල කර්මයන් තම ජීවිතය තුළින් විපාක දීමට සිදුවීම නිසයි. පළවෙනි කාරණය තමයි දුප්පත් පවුලක ඉපදීම, කුඩා කාලයේදීම තම පියා සියදිවි නසාගැනීම නිසා අහිමිවීම, ඒ කියන්නේ පිය සෙනෙහස අහිමිවීම, පාසල් වයසේදීම මවද විදේශගත වීම නිසා මව් සෙනෙහසද අහිමිවීම, ලාබාල වයසේදීම ප්‍රේම සම්බන්ධතාවක්‌ ඇති කරගැනීම, කෙටි කලකින් එම පෙම්වතාද සියදිවි නසාගැනීම, සමාජයෙන්, ඥාතීන්ගෙන්, ගුරුවරුන්ගෙන් චෝදනා අපවාද එල්ලවීම,අවසානයේදී තමාගේ ජීවිතය තමා අතින්ම නැති කරගැනීම පිණිස කරුණු කාරණා සකස්‌වීම ආදී මේ සියලු කාරණා අහම්බයෙන් ඇයගේ ජීවිතයට පැමිණි දේවල් නොවේ.

ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා සත්වයා කර්මය දායාද කොටගෙන උපදී කියලා. කර්මය මගේකොටගෙන ජීවත්වෙයි කියලා. මේ කාරණයෙන් ඉතා පැහැදිලිsයි, ඉහත ඇය මුහුණදුන් සියලු ජීවිත බාධක ඇගේ පෙර ජීවිත වල සිදුවූ අකුසලයන් බවට. ඒ නිසාමයි භික්‍ෂුව ඇයගේ පෙර ජීවිතය අරමුණු කර බලන්නේ. භික්‍ෂුවට අරමුණු වෙන්නේ ඇය පෙර ජීවිතයේදී භූත ස්‌වභාවයේ සත්වයෙක්‌ ලෙස උපත ලබා සිටි බවයි. භික්‍ෂුවට ඉතා හොඳින්ම සමාධිය තුළදී දර්ශනය වෙනවා, අඩි 2 ක්‌ පමණ දිගැති ශරීරයක්‌ ඇති කුඩා බෝනික්‌කකුගේ ස්‌වරූපය සහිත කොණ්‌ඩය කරල් දෙකකට ඉතා හොඳින් ගොතා බැඳ ඇති ගැහැණු ළමා රූපයක්‌ හිස්‌ අවකාශයේ පාවෙමිනුයි මෙම භූත ගැහැණු දරුවා සිටින්නේ. ඇය ඇස, කණ, නාසය, දිව, මන, කය කියන ආයතන හය සහිත සත්ත්වයෙක්‌. නමුත් දෙපා බිම තබාගෙන නොවේ ඇය සිටින්නේ. භූත ස්‌වභාවයේම පාවෙන ළමා ගැහැණු ස්‌වරූපයේ සත්ත්වයෙක්‌. එම භූත ස්‌වභාවයේ සිඟිති දැරිය අරමුණුවීමෙන් පසුව භික්‍ෂුව ඇගේ ඊටත් පෙර ජීවිතය අරමුණු කර බලනවා. මොකද මෙතෙක්‌ භික්‍ෂුවට අරමුණු වුණේ නැහැ ඇය අතීතයේ කරන ලද අකුසල් විපාකය කුමක්‌ද කියලා. එම නිසාමයි භූත ස්‌වභාවයට පෙර ජීවිතය අරමුණු කර බලන්නේ.

එම අවස්‌ථාවේ උතුම් සමාධියේදී භික්‍ෂුවට අරමුණු වෙනවා වයස අවුරුදු හතේ පමණ ගැහැණු දැරියක්‌. දැන් පිංවත් ඔබ හොඳින් සිතන්න මේ මොහොතේ ඇය අපායේ ගිණිදළු අතර දුක්‌ විඳින නිරි සතෙක්‌. ඊට පෙර ජීවිතය භූත ස්‌වභාවයේ පාවෙන ළදැරියක්‌. ඊටත් පෙර ජීවිතයේදී ඇය වයස අවුරුදු 7 ක පමණ වන මනුෂ්‍ය දියණියක්‌. තවමත් මුළින් සඳහන් කළ විපාකයන්ට හේතුවූ බරපතළ අකුසල කර්මය හෙළිවුණේ නැහැ. මෙම දියණියගේ ජීවිත 4 ක්‌ අරමුණුවෙලාත්….. නැවතත් භික්‍ෂුව අරමුණුකර බලනවා වයස අවුරුදු 7 පමණ දැරියක්‌ව සිට මියයැමට පෙර ජීවිතයේදී ඇය ලබා තිබූ ජීවිතය කුමක්‌ද කියලා. ඒ කියන්නේ ඇය පිළිබඳව 5 වැනි ආත්මභාවයත්.. අන්න එතැනදී තමයි භික්‍ෂුවට ඉහත සියදිවි නසාගැනීමට හේතු සකස්‌වූ, දෙමාපියන් අහිමිවීමට හේතු සකස්‌වූ, පෙම්වතා සියදිවි නසාගැනීමට හේතු සකස්‌වූ අකුසල් කර්මය අරමුණු වෙන්නේ.

ඇගේ එම ජීවිතයේදී වයස අවුරුදු 25ක පමණ කාන්තාවක්‌ ලෙසින් භික්‍ෂුවට අරමුණු වෙනවා. සමාධියේදී දුටු එම කාන්තාවත් දරු ගැබක්‌ කුසේ දරාගෙන සිටින කාන්තාවක්‌. ඇය සිය දෑතින් කුස මිරිකමින් තම කුසේ සිටින දරුවා ගබ්සා කරනවා. භික්‍ෂුවට හොඳින් දර්ශනය වෙනවා ඇය ගර්භාෂය දෑතින් පොඩි කරන ආකාරය. මෙතැන තමයි මේ දරුණු අකුසලයේ ආරම්භය.

දැන් අපි එතැන ඉඳලා පහළට එමු. මනුෂ්‍ය ලෝකයේ කාන්තාවක්‌ව ඉපිද තමාගේම කුසේ ඇතිවූ කලල රූපය ගබ්සාකර, මරා දමනවා. එම අකුසලය නිසා නැවත මනුෂ්‍ය ලෝකයේම මිනිස්‌ දියණියක්‌ව ඉපිද වයස අවුරුදු 7 දී පමණ අඩු වයසින් මියයනවා. වයස අවුරුදු 7 දී අඩු ආයුෂින් මියයැමේදී ශක්‌තිමත් කුසල් අකුසල් සිතක්‌ සකස්‌ නොවීම නිසාම භූත ස්‌වභාවයේ පාවෙන භූත දැරියක්‌ව ඉපදෙනවා. එම භූත දැරිය කුමක්‌ හෝ පිනක්‌ අනුමෝදන්ව නැවත දුප්පත් මව්කුසක දැරියක්‌ව උපත ලබනවා. මේ ලැබූ උපත තමයි පාසල් දැරියක්‌ ලෙසින් දිවිනසාගත් දියණිය.

ඉහත සටහනේ ජීවිත 5ක්‌ පිළිබඳ කථාවක්‌ කියවෙනවා. ඒ කියන්නේ මෙයට ජීවිත 4 කට පෙර ඇය ලැබූ ඒ කාන්තා ජීවිතයේදී තමාගේ දරුගැබ තමා විසින්ම විනාශකර මරාදැමීම නිසා එහි අකුසල් විපාකය, ප්‍රාණඝාත අකුසලය ජීවිත 4 ක්‌ පසුවටත් විපාක දෙමින් පැමිණ අවසානයේ එම අකුසලය විසින්ම ඇතිකරන විපාක හේතුවෙන් ඇයව නිරයේ ගිණිදළු මතට ඇද දමනවා. තමගේ කුසේ සිටින හයක්‌ හතරක්‌ නොදන්නා ලේ කැටි දරුවා තමා විසින්ම ගබ්සා කිරීමට ගැලපෙන ආකාරයටමයි ඇයට කර්මය විපාකදෙන්නේ අකුසලයේ ප්‍රතිබිම්භයමයි. විපාකයේ වෙනසක්‌ නැහැ. සම්බුදු වදන ඉතා හොඳින් අර්ථවත් වෙනවා. තම කුස උන් දරුවා මරාදැමීම නිසා ඊළඟ ජීවිතයේදී වයස අවුරුදු 7 තරම් අඩු ආයුෂින් මිය යනවා. නැවත භූත ස්‌වභාවයේ සත්වයෙක්‌ව උපදිනවා. ඊළඟට මේ රටේ දුෂ්කර පෙදෙසක දුප්පත් අම්මා කෙනෙකුගේ මව් කුසේ ඉපදෙනවා. පුංචි කාලෙම තාත්තා සියදිවි නසා ගන්නවා. අම්මා ඈත්වෙනවා. පෙම්වතාද දිවිනසා ගන්නවා. සමාජයේ අපවාද, චෝදනා නැගෙනවා. අවසානයේ තමාත් සියදිවි නසාගෙන අපායේ ගිණිදළු මත අකුසල් විපාකය විඳිනවා. බලන්න, මෙයට ජීවිත 4 කට පෙර තම දරුගැබේ සිටි දරුවා මරාදැමුවා වගේම පියාත්, පෙම්වතාත්, අවසානයේ තමාත් සියදිවිනසා ගන්නා ඉරණමකට ලක්‌වෙනවා. මේ සිදුවීම් වල දුක පීඩනය තමා විසින් දරාගන්නවා.

දැන් පිංවත් ඔබට පේනවාද අකුසල් විපාකවල බරපතළභාවය. එය විපාක දෙමින් පැමිණෙන දුර. පිංවත් ඔබ ජීවත්වන සමාජයේ ගබ්සාව කියන අති අමානුෂික මනුෂ්‍ය ඝාතනය නීතිගත කරන්න කියලා රාවයන් ඇසෙනවා නේද? ගබ්සාවක්‌ සිදුකරන ආයතන අප්‍රමාණව රට තුළ ක්‍රියාත්මක වෙනවා නේද? මේවා නැති කරන්න පුළුවන් දේවල් නොවේ. මාරයාගේ ලෝකයේ කාමයේ, රාගයේ අස්‌වැන්න තමයි මේ ගබ්සාව. මනුෂ්‍යයාගේ සිත කාමයෙන් රාගයෙන් මත්වෙන්න මත්වෙන්න අස්‌වැන්න බහුල වෙනවා. සක්‍රිය වෙනවා. ඒකයි මේවා ලෝක ධර්මයන් කියලා සටහන් කළේ. මෙම සටහන කියවන ඔබ හික්‌මෙන්න. ජීවිතයේ කවදාවක්‌වත් ඉහත අකුසලය සිදුනොකරන බවට සිතාගන්න. අසම්මත දරුගැබක්‌ ඔබට ලැබුණොත් එය මරා නොදමන්න. ලෝකයා අවමන් කරපුවාවේ. නින්දා කරපුවාවේ. ගල් ගැසුවාවේ. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් එම දරුවා ඔබ හදාවඩාගන්න. එම දරුවාට මෛත්‍රිය කරන්න. එහෙම කළොත් ඔබට ලෝකයාගෙන් අපවාද නින්දා පැමිණේවී. නමුත් එසේ කිරීමෙන් ඔබව නිරයට නොවැටෙන බවට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සහතිකයක්‌ දෙනවා.

පිංවත් ඔබ ලොව්තුරා බුදුරජාණන්වහන්සේ පෙන්වූ පාර අමතකකොට, තෙරුවන් කෙරෙහි ඇති විශ්වාසයෙන් තොරව, ලෝකයාගෙන් නැගෙන අපවාද නින්දා වලට බියෙන් එම දරුගැබ මරාදැමුවොත් යම් දවසක නිරයේ වියරු ගිනිදැල් මතට පතිතවන බවට හොඳම උදාහරණය ඉහත සටහන තුළ තිබෙනවා. කැමති දේ ඔබ තෝරාගන්න. ශීලයේ අර්ථය ජීවිතයට එකතුකොටගෙන ඉහත අවදානමින් පිංවත් ඔබ මිදෙන්න. තෙරුවන් කෙරෙහි ඇතිකරගන්නා අචල ශ්‍රද්ධාවත්, දන්දීම තුළින් ඇතිකරගන්නා අත්හැරීමේ ශක්‌තියෙන් මෙන්ම මේ සියල්ල තුළින් මෝදුවන මෛත්‍රී ශක්‌තියෙන් ඉහත සතර අපායේ අවදානමින් ඔබව මුදවන ලොව්තුරා බුදුරජාණන්වහන්සේ පෙන්වාදුන් මාර්ගයට පිංවත් ඔබ පියනගන්න.

53-බුදු රජුන්ගෙන් පාර නෑසූ අවාසනාවන්තිය – II

2013-11-10
ඉකුත් සතියෙත් කලම පිය සෙනෙහසත් පසුව ළමා කල මව් සෙනෙහසත් අහිමිවූ දියණියක්‌ පාසල් වියේ ආදර සම්බන්ධතාවක්‌ ගොඩනගා ගනී. එයට ප්‍රේමවන්තයාගේ පාර්ශ්වයෙන් එල්ලවන විරෝධය හමුවේ පෙම්වතා සියදිවි හානිකරගනී. මේ සිදුවීමත් සමග තමන් වෙත එල්ල වන චෝදනා හමුවේ එම දියණිය ද දිවිනසාගනී)

දැන් ඔබ ඔබට හිතෙන ආකාරයට කර්මය කර්මඵල ගලපාගන්නා ආකාරයට දකින්න උත්සහගන්න, මේ සියදිවි නසාගත් දියණිය කුමන ප්‍රතිසන්ධියක්‌ ලබන්නට ඇති ද කියලා.

ඇය සියදිවිනසා ගැනීමට පෙර බොහෝම සංයමයෙන්, කලබලකාරී බවකින් තොරවයි අවසන් ලියුම ලියන්නේ. එම ලිපියෙන් ඇය කියනවා, ඇයට මියගිය පෙම්වතා සිහිනෙන් ඇවිත් අඬගහන බව. සුදුමල් වට්‌ටි, සුදුමල් ගස්‌ ගැන කියනවා. ඇය කාටවත් දැඩි ආකාරයෙන් ද්වේශ කරන අයුරක්‌ එම ලිපියෙන් හැඟෙන්නේ නැහැ. ඉහත කරුණු කාරනා ගලපාගැනීමෙන් ඔබ සිතන්නේ ඇය මරණින් මතු කුමන තැනක උපත ලබන්න ඇතැයි කියලාද?

දැන් පිංවත් ඔබ ඔබට දැනෙන ආකාරයට පිළිතුරක්‌ සිතාගත්තාද?

ඔබ පිළිතුරක්‌ සිතුවා නම් පහත සටහන කියවා එම පිළිතුර නිවැරදි දැයි දැනගන්න. ඔබේ පිළිතුර නිවැරදි නම් ඔබේ කර්මය, කර්මඵලය ගැන දැනීම නිවැරදි බව දැනගන්න. එහෙත් ඔබ ඔබට ලකුණු දෙන්න යන්න එපා. ලකුණු ගැනීමට ඇති කැමැත්ත අඩුකොට, ගුණාත්මක අවබෝධය දෙසටම යන්න. මෙම සටහනේ කරුණු පිංවත් ඔබ පිළිනොගන්නේ නම් එය ප්‍රතික්‍ෂේප කරන්න. පිළිගැනීමත් ප්‍රතික්‍ෂේප කිරීමත් ලෝක ධර්මයක්‌ බව දකින්න.

එක්‌ භික්‍ෂුවක්‌ උතුම් සමාධියෙන් පසුවෙද්දී මේ මියගිය දියණියගේ නැවත උපත කිනම් ස්‌ථානයක සිදුවූවා දැයි අරමුණු කර බලනවා. එවිට භික්‍ෂුවට දර්ශනය වෙනවා හරි හතරැස්‌ ගිනි ජාලාවක්‌. මේ ගිනිජාලාවේ ප්‍රමාණය ස්‌ථිරව කියන්න බැහැ. එය අඩි 10ක්‌ දිගයි, අඩි 10ක්‌ පළලයි කියලා ගත්තොත් ඒ ප්‍රමාණයටම පෙනෙනවා. එම ගිනි ජාලාව අඩි 100ක්‌ දිගයි, අඩි 100ක්‌ පළලයි කියලා ගත්තොත් එම ප්‍රමාණයට පෙනෙනවා. ඒ ස්‌වභාවය ආශ්චර්යයක්‌. දිගක්‌, පළලක්‌ ප්‍රමාණය කරන්න බැහැ. මේ ගින්න තැඹිලිපාට සහ කහපාට මිශ්‍ර ගින්නක්‌. කිසිම දුමක්‌, අඟුරු කැබැල්ලක්‌, අළු ටිකක්‌, ඉතාමත් සියුම් වශයෙන් හෝ එම ගිනි ජාලාවේ පෙනෙන්නට නැහැ. කළු පැහැයත්, රතු පැහැයත්, නිල් පැහැයත් එම ගිනි ජාලාවේ පෙනෙන්නට නැහැ. ප්‍රභාශ්වර, ඉතාමත් ආලෝකමත් පිරිසිදු කහ සහ තැඹිලි පැහැති ගිනි දළු පමණයි. මේ ගිනිදළු අපිරිසිදු දේ පෙරාගත් පිරිසිදු ගිනිදළුයි. භික්‍ෂුව උතුම් සමාධියෙන් මේ දකින්නේ එක්‌ ස්‌වභාවයක්‌.

ඒ කියන්නේ සියදිවි නසාගත් දියණිය මරණින් මතු නිරයේ ගිනි ජාලා මත උපත ලබා ඇති බවයි. මෙම සිද්ධියෙන් පැහැදිලිවන්නේ ඇය එම ගිනිදළු නිරයේ උපත ලබා අතිශය වේදනාත්මක දුකකට වැටී ඇති බවයි.

පිංවත් ඔබට දැන් ප්‍රශ්නයක්‌ මතුවෙන්න පුළුවන් මෙම පාසල් දියණිය සියදිවි නසාගැනීමට පෙරාතුව බොහොම සංයමයෙන් සිය අවසාන ලිපිය ලියාපු කෙනෙක්‌. ඒ ලියන මොහොතේත් දරුණු ද්වේශයක්‌ සිතේ තිබුණු බවක්‌ ලිපියේ අදහස්‌ තුළින් පෙනෙන්නේ නැහැ. එම ලිපියේ මල්වට්‌ටි ගැන, මල්ගස්‌ ගැන සඳහන්ව තිබුණා. එහෙම සිතුවිලි සකස්‌වුණ කෙනෙක්‌ව කොහොමද මේ සා දරුණු නිරයකට වැටුණේ කියලා.

එම කාරණය පිංවත් ඔබ සතියෙන් සිහියෙන් යුතුව මෙහෙම තේරුම්ගන්න අවශ්‍යයි. ඇය අදාළ ලිපිය ලියන මොහොතේ තම මියගිය පෙම්වතා, තමාට ඔහුගේ ලෝකයට එන්න කියලා කථා කරනවා කියන තෘෂ්ණාව තුළ ඇති වූ සතුටින් තමයි සියදිවි නසාගැනීමට සූදානම් වෙන්නේ. තීරණය ගත්තාට පසුව පාළු ගෙදර වහලයට ලණුව දමලා තොණ්‌ඩුව සකස්‌ කරන්නෙත් බොහොම කැමැත්තෙන්. පෙම්වතාගේ ලෝකය කෙරෙහි ඇති ජන්ද රාගය නිසාමයි. ගමේ මිනිසුන්ගෙන් එල්ල වන චෝදනා නිසා ඇති වන කලකිරීම මතින් තම පෙම්වතා සිටින එම ලෝකය කෙරෙහි ඇති ජන්දරාගය තවත් වැඩිවෙනවා. ඒ එම චෝදනා අභියස ඇය තව තවත් හුදෙකලා වූ නිසයි. මෙන්න මේ මනෝභාවයෙන් තමයි සිය කැමැත්තෙන්ම තොන්ඩුව ගෙලට දමාගන්නෙත්. තොණ්‌ඩුව ගෙලට දාගන්නෙත් සිය පෙම්වතා සිටින ලෝකයට යැමේ තෘෂ්ණාවෙන්. නමුත් බෙල්ලට තොණ්‌ඩුව හිරවෙනකොට, එක්‌ ක්‍ෂණයකින් මියයන්නේ නැහැ. ඇය දඟලලා උගුරු දණ්‌ඩ කඩාගෙන ඕනේ මියයන්න.

තොණ්‌ඩුව බෙල්ලට දමා පහළට පැනීමත්, අවසන් හුස්‌ම පොද නික්‌මීමත් අතර තිබෙන කාල පරාසය තුළ ඇය අත්විඳින්නේ මරණීය දරුණු වේදනාවක්‌. එම දැඩි මරණ වේදනාවේදී ඇයට මියගිය සිය පෙම්වතා පිළිබඳව තෘෂ්ණාවක්‌ නොවෙයි සකස්‌වෙන්නේ. මරණීය වේදනාවෙන් තොණ්‌ඩුවේ එල්ලී වියරුවෙන් දඟලනකොට තමා කෙරෙහිම තමාට ද්වේශයකුයි සකස්‌වෙන්නේ. තමාව එතැනට ඇද දැමූ තමාට වෛර කළ ඥාතීන්, ගම්වැසියන් ගැන ද්වේශයකුයි සකස්‌වෙන්නේ. ඒ වෙලාවට මල් වට්‌ටි, සුදුමල් ගස්‌, සුරංගනා ලොවක සිටිනවා යෑයි සිතූ තම පෙම්වතා මතක්‌වෙන්නේ නැහැ. තමා කරගත් මෝහ මූලික ක්‍රියාව නිසා, තමා තුළම තමා කෙරෙහි ඇති වන්නාවූ ද්වේශය බොහොම භයානක අකුසලයක්‌. මෙන්න මේ ද්වේශ සහගත අවසාන චුති සිත නිසාමයි මරණින් මතු ඇය නිරයේ ගිනිජාලාව මත උපත ලබන්නට ඇත්තේ.

ඉහත පිළිතුර සමග දැන් පිංවත් ඔබ දැන් ඔබ මුළින් අනුමාන කළ පිළිතුර හරිදැයි ගලපා බලන්න. පිංවත් ඔබ මෙවැනි යෞවන වයසේ අයෙකුගේ මරණයකදී හුඟක්‌ වේලාවට ඒ අය සුගතගාමි ජීවිත ලබන බවයි විශ්වාස කරන්නේ. එම සිතුවිල්ල ඔබ තුළ ඇතිවන්නේ මැරෙන අයගේත්, මැරෙන්න භාවිතා කරන ක්‍රමවේදයේත්, මරණයට හේතුවන අහිංසකභාවයත් නිසාමයි. නමුත් මෙම සිද්ධියෙන් පිංවත් ඔබට හොඳින් පැහැදිලියි එම මතය නිවැරදි නොවන බව.

භික්‍ෂුව එම දියණිය ස්‌ථිර වශයෙන්ම නිරයේ ගිනිදැල් මත අපාදුක්‌ විඳින බව දැනගත් පසුව මෙවැනි දරුණු, වියරු අපා දුකක්‌ අත්විඳීමට හේතුවූ, එවැනි දුකකට වැටීමට හේතුවූ කරුණු ඇගේ ජීවිතයට ඇතුළු වූයේ, ඇය අතීතයේ කුමන අකුසල කර්මයක්‌ කළ නිසාද යන්න දැනගැනීමට ඇයගේ පෙර ජීවිතය, ඒ කියන්නේ පාසල් දියණියක්‌ව ඉපදීමට පෙර ජීවිතය කුමක්‌ ද කියලා අරමුණු කර බලනවා.

ඉන්ද්‍රජිත් සුබසිංහ

52-බුදු රජුන්ගෙන් පාර නෑසූ අවාසනාවන්තිය – I

2013-11-03
අපි ඉකුත් සටහනක සඳහන් කළා ආදරය ගැන. ආදරයත් මාරයාත් මොනතරම් සමීප දෙදෙනෙක්‌ද කියලා පැහැදිලි කිරීමක්‌ කළා. මාරයා ඔබව ලෝකය තුළ බැඳ තබන රන් නූල තමයි ආදරය. ආදරයට පුළුවන් සත්වයෙක්‌ව උම්මත්තකයෙක්‌, මිනීමරුවෙක්‌, සියදිවිනසාගන්නෙක්‌, යහපත් මනුෂ්‍යයෙක්‌ කියන ඕනෑම චරිතකයකට ආරෝපනය කරන්න. රූපය හැටියට ගත්තත්, පංචඋපාදනස්‌කන්ධය හැටියට ගත්තත් මේ හේතූන් ප්‍රමාණවත් මාරයත්, ආදරයත් අතර තිබෙන සම්බන්ධය දැකගන්න.

රූපයට ද්වේෂ කරලා වගේම රූපයට මෛත්‍රිය කරලත් වැඩක්‌ නැහැ. රූපය කියන්නේ ඇස්‌ බැන්දුමක්‌. රූපය තිබෙන්නේ විඳීමට නොවේ. අවබෝධ කරගන්නයි. යමෙක්‌ රූපය සතුටින් ගනීනම්, ඒ ඔහු සතුටින් ගන්නේ අනවබෝධයයි. සමාජය දෙස බැලීමේදී පේනවා මේ අනවබෝධය කිරුළු පළඳවාගත් අප්‍රමාණ පිරිස්‌. මේ අයව අපට විවේචනය කරන්න බැහැ. මොකද කවදත් එය ලෝකයේ ස්‌වභාවයක්‌. ඒ කියන්නේ ධර්මතාවයක්‌.

ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා සත්ත්වයා බැඳුනොත් බැඳෙන්නේ පංචඋපාදානස්‌කන්ධයටය කියලා. සත්ත්වයා නිදහස්‌ වුණොත් ඒ නිදහස්‌ වෙන්නෙත් පංචඋපදානස්‌කන්ධයෙන්මය කියලා. රූප දෙකක්‌ එකට තියලා මාරයා බඳින බැඳීම තමයි පංචඋපදානස්‌කන්ධය කියලා කියන්නේ. ඔබ රැවටෙන්න පුළුවන් බඳින රන් නූලට. දැනෙන උණුසුමට. ‘අහා… ආදරයේ චමත්කාරය’ කියලා. නමුත් මේ චමත්කාරය පසුපස සැඟවුණු සෙවනැල්ලක්‌ තිබෙනවා. එයා ඉන්නේ නිතරම සැඟවිලා. රූපලාවන්‍යයෙන් මුහුණේ තිබෙන ලප, කැළැල් වසා දමනවා වගේ, මෙයා ඉන්නේ යටපත් වෙලා. ඒ තමයි ද්වේෂය. නන්නාඳුනන බවක්‌ පෙන්වුවද ආදරයත්, ද්වේෂයත් මොන තරම් සමීපද. මේ සමීපභාවය හඳුනානොගත් නිසා මනුෂ්‍යයා මොනතරම් පීඩාවන් අත්විඳිනවාද. අයාලයේ යන අකීකරු සිත ඔබ ධර්මයෙන් නතුකරගැනීමට අදක්‍ෂ වුවහොත් ආදරය නිසාම ඔබ තුළ ද්වේශයද සකස්‌වනු ඇත.

ආදරය නිසා ද්වේෂය සකස්‌ වී තම සුන්දර පාසල් ජීවිතය. නිරයේ ගිනි ජාලාවක්‌ මතට පත්කොටගත්, ලොව්තුරා බුදුරජාණන්වහන්සේගෙන් පාර අසා නොගත්, අවාසනාවන්තියකගේ කථාවක්‌, ඉහත සටහනේ අර්ථය ඔබට අවබෝධ කරගැනීම පිණිස සඳහන් කරනවා.

මේ තබන සටහන, පිංවත් තරුණ ඔබට ආදරයේ නාමයෙන් යම් තීරණයක්‌ ගැනීමට ප්‍රථම, ධර්මයේ නාමයෙන් එම තීරණය ගැන දෙවරක්‌ සිතා බලන්නට පොළඹවාවී.

ජීවිතයේ අතිදුෂ්කර අවස්‌ථාවකදී, තීරණාත්මක අවස්‌ථාවකදී, ඔබේ අකීකරු සිතට ඉඩ නොදී, බුදුරජාණන් වහන්සේ ජත්ත තරුණයාට පිහිටවූ ඒ මහා කරුණා ගුණයේ ආශ්චර්යමත් රැකවරණය, පිළිසරණ ලැබීමට ධර්ම මනසිකාරයක්‌ම සිහිපත් කරගන්නට ඔබව පොළඹවාවී.

සිත කියන්නේ අංක එකේ රස්‌තියාදුකාරයෙක්‌ කීවොත් එය වරදක්‌ නැහැ. මේ ජීවිතයේදී පමණක්‌ නොවේ. අතීත, අනාගත භවයන්හිදී, සත්වයාට දුකත් සැපත් උරුමකොට දෙමින් ඇවිද්දවන්නේ අවිද්‍යාවෙන් පෝෂණය වූ සිත විසින්මය. නොසන්සුන් සිතක ස්‌වභාවය ඔබ අත්විඳලා තිබෙනවනේ. එවැනි අවස්‌ථාවක ඔබට මොනතරම් ආවේගශීලී අදහස්‌ද ඇති වන්නේ. අතීතයේදී තම සිතේ ක්‍රියාකාරීත්වය සකස්‌ වූ ස්‌වභාවය මතකයට නැගෙනකොට, මෙය සටහන් තබන භික්‍ෂුවට හිතෙනවා, මේ අකීකරු, රස්‌තියාදුකාර, මාන්නක්‌කාර නැහැදිච්ච සිත දමනය කරගත්තේ කොහොමද කියලා. එය මොනතරම් ආශ්චර්යයක්‌ද කියලා. ඒ උදෙසා කළ කැපකිරීම කොතරම්ද කියලා. මෙහෙම හිතෙනකොට ලොව්තුරා බුදුරජාණන්වහන්සේට අප්‍රමාණ වාරයක්‌ හදවතින් වන්දනා කරනවා. උන්වහන්සේමයි මාර්ගය වුණේ. උන්වහන්සේමයි පිළිසරණ වුණේ. උන්වහන්සේමයි රැකවරණය වුණේ. අන්න ඒ විශ්වාසය ජීවිතය තුළ ඇතිකර නොගත් සමරහක්‌ දෙමව්පියන්ගේත්, එවැනි දෙමව්පියන්ගේ වරදින් විනාශය ඇතිකරගත් දරුවන්ගේත් කථාවක්‌ දැන් පහත සටහන් තබනවා.

ග්‍රාමීය ප්‍රදේශයක ජීවත්වුණ පවුලක්‌ සිටියා. පවුලේ සාමාජිකයන් හතරදෙනයි. මෙම කථාවේ ප්‍රධාන චරිතය තමයි පවුලේ බාල දියණිය. මේ දියණිය කුඩා වයසේදීම තම පියා මියයනවා. පියා මියයන්නේ වස පානය කර සියදිවිනසා ගැනීමෙන්. මේ නිසා ළදරු වයසේදීම මේ දියණියට පිය සෙනෙහස අහිමිවෙනවා. ස්‌වාමියාගේ වියෝවෙන් පසුව මව දැඩි ලෙස වෙහෙසක්‌ ගෙන දරුවන් ලොකුමහත් කරගන්නවා. මෙහෙම කාලයක්‌ ගතවෙනකොට මවට විදේශ රටක ගෘහ සේවිකා රැකියාවක්‌ ලැබී විදේශගත වෙනවා. පහළොස්‌ හැවිරිදි දියණියත්, ඇයගේ සොයුරාත් මිත්තනියගේ භාරයේ තබා මව විදේශයට යනවා. මවගේ විදේශගතවීමෙන් මෙම පහළොස්‌ හැවිරිදි දියණියට මව් සෙනෙහසද අහිමිවෙනවා. ආච්චිගේ නිවසේ සිට පාසල් යන දියණියට අවශ්‍ය සියලු වියහියදම් විදේශ රැකියාවේ නියුතු මව මාස්‌පතා එවනවා. නමුත් දියණියගේ මව විදේශ රැකියාව කෙරෙහි ඇතිකරගත් දැඩි තෘෂ්ණාව නිසාම, දීර්ඝ කාලයක්‌ පුරා නැවත නැවත විදේශගත වෙනවා. මේ හේතුවෙන් කුඩා කාලයේදීම පිය සෙනෙහස සහමුළින්ම අහිමිවූ දියණියට මව් සෙනෙහසද ඈත්ව යනවා. මව්පිය සෙනෙහස අහිමිවීමෙන් මානසික පීඩනයට පත්වෙන මේ දියණිය පාසලේ සම වයසේ ශිෂ්‍යයෙක්‌ සමග ප්‍රේම සම්බන්ධතාවකට මුලපුරනවා.

දැන් දෙදෙනා හොඳ පෙම්වතුන්. මේ යොවුන් පාසල් වයසේ ප්‍රේමය පළමුව පාසලේ අයත් දෙවැනුව ගමේ අයත් දැනගන්නවා. හොර රහසේ කරගෙන ගිය මේ ආදරය හෙළිවීමෙන් ගැහැනු දරුවාගේ වයසට වඩා වත්පොහොසත්කම්වලින් වැඩි පිරිමි දරුවාගේ දෙමාපියන්, ඥාතීන් පිරිමි දරුවාට මේ සම්බන්ධය නවතා දමන ලෙස අවවාද කරනවා. මේ බලපෑම් ඉවසාගත නොහැකිවූ තැන මේ පාසල් ශිෂ්‍යයා සියදිවි නසාගන්නවා. මේ ලාබාල පාසල් ශිෂ්‍යයාගේ සියදිවි නසාගැනීම ගැන ගමත්, පාසලත් දැඩි ලෙස කම්පාවෙනවා. මියගිය පිරිමි දරුවාගේ ඥාතීන් සැම දෙනාම තම පුතාගේ දිවිනසා ගැනීමට හේතුව වශයෙන් දකින්නේ, දෙමාපියන්ගේ රැකවරණය අහිමිවූ, වයෝවෘද්ධ මිත්තනිය භාරයේ සිටි යොවුන් පෙම්වතියවයි. මේ හේතුව නිසා පාසල් වයසේ පසුවූ මේ දියණියට පිරිමි දරුවාගේ පාර්ශ්වයෙන් දැඩි ලෙස විරෝධය, ඇනුම්බැනුම් එල්ලවෙනවා. පහළොස්‌ හැවිරිදි වියේ පසුවූ පාසල් ශිෂ්‍යයෙක්‌ වන ඇයට දරාගැනීමට නොහැකි ආකාරයෙන් චෝදනා එල්ලවෙද්දී, දෙමාපිය හවුහරණද නොමැති ඇය දැඩිව තීරණය කරනවා තමාද සියදිවිනසාගෙන තම පෙම්වතා ගිය ලෝකයටම යනවා කියලා.

මේ වනවිට ඇය සිය පාසල් මිතුරියන්ට පවසා තිබුණා, මියගිය තම පෙම්වතා රාත්‍රියේ සිහිනෙන් ඇවිත් තමන්ට කථා කරන බව. නිරතුරුවම ඔහු සිටින ලෝකයට එන්න කියලා අඬගසන බව. මේ මනෝභාවය නිසාත්, පෙම්වතාගේ පාර්ශ්වයෙන් එල්ලවන ඇනුම් බැනුම් විවේචන නිසාත්, සියදිවි නසාගැනීමේ තීරණය ඇය ඉක්‌මන් කරනවා. ආදරය කියන වචනයේ අර්ථයවත් නොදැන, හුදෙකලාභාවය නිසාම, දෙමව්පිය සෙනෙහස නොලැබුණු නිසාම, බොළඳ ප්‍රේමයක කටුකබව අත්විඳින මෙම පහළොස්‌ හැවිරිදි දියණිය එක්‌තරා මොහොතක තීරණයක්‌ ගන්නවා. ඒ තමා දැඩි ලෙස ආදරය කළ, තම ආදරය නිසාම සියදිවිනසාගත් තම පෙම්වතා වෙනුවෙන් ඔහුගේ ලෝකයට යන්නට. තමන් නොකළ වරදකට ‘අපේ පුතා මරාගත්ත පව්කාරී’ යෑයි දැඩි ආකාරයෙන් ඇනුම්බැනුම් එල්ල කරන ලෝකයාගෙන් මිදිය යුතු යෑයි සියදිවි හානිකර ගැනීමට ඇය ස්‌ථිරවම තීරණයකට එළඹියා .

ඇය පෑනක්‌ කොලයක්‌ ගෙන බොහොම සංවේදීව ලිපියක්‌ ලියනවා. මගේ ආදරණීය පෙම්වතා නිතරම සිහිනෙන් ඇවිත් මට එයාගේ ලෝකයට එන්න කියලා අඬගසනවා. මේ ලෝකයේ මා වෙනුවෙන් සිටියේ ඔහු පමණයි. ඒ නිසා මම ඔහුගේ ලෝකයට යනවා. මේ විෂම මිනිසුන්ගෙන් මිදිලා ඔහු සමග සතුටින් ජීවත්වීමට.

දෙවැනුව ඇය සටහන් කරනවා, නොකළ වරදකට මට චෝදනා කරන මේ සමාජයේ තවදුරටත් ජීවත්වෙන්න බෑ. මම මගේ පෙම්වතා ළඟට යනවා. මම මැරුණට පසුව මගේ දේහය සහිත පෙට්‌ටිය මත මල්වට්‌ටි දෙකක්‌ තබන්න. ඉන් එකක්‌ මට. අනික මගේ පෙම්වතාට. මගේ දේහය වළදැමූ පසු එම වළ මත සුදු මල්ගස්‌ දෙකක්‌ සිටුවන්න. එකක්‌ මගේ නමින්. අනික මගේ පෙම්වතාගේ නමින්.

බොහෝම සංයමයෙන්, කලබලකාරීබවකින් තොරව, තමාට චෝදනා කරන මිනිසුන් කෙරෙහි දැඩි කලකිරීමකින්, තම මියගිය පිංවතා සිsටින ලෝකය කෙරෙහි දැඩි උපාදානයක්‌ සකස්‌ කරගෙන, ඉහත සටහන කොලයක ලියා සුරැකිව මේසයක්‌ මත තබා, මව විදේශගතවීම හේතුවෙන් වසාදමා තිබූ තම නිවසට ඇතුළුවී බාල්කයකට ලණුපොටක්‌ දමා සිය දිවි නසාගන්නවා. මේ සියල්ල සිද්ධවෙද්දී මෙම දියණියගේ මව සිටියේ විදේශගතව. ඉහත සිද්ධිය රටේ යම් ප්‍රදේශයක සිදුවූ අතිශයින් අවාසනාවන්ත, සත්‍ය සිදුවීමක්‌. මේ සිද්ධිය දැනගත් සෑම මනුෂ්‍යයෙක්‌ම අතිශය කම්පාවට පත්වුණා මේ යොවුන් වියේ දරුවා අකාලයේ මියයැම ගැන.

දැන් ඔබට සිතෙන ආකාරයට, ඔබ කර්මය කර්මඵලය ගලපාගන්නා ආකාරයට දකින්න උත්සහගන්න මේ සියදිවි නසාගත් දියණිය කුමන ප්‍රතිසන්ධියක්‌ ලබන්න ඇතිද කියලා.

(මෙම සටහනේ ඉතිරි කොටස ලබන සතියේ පළවේ)

ඉන්ද්‍රජිත් සුබසිංහ