51බලාගෙනයි! දුකට පාර කියන ඒජන්තවරු එමටයි…

2013-10-27
සිය මංගල උත්සවයේ හැඩවෙන්න මනාල යුවළක්‌ ගන්නා වෙහෙස……? අපි ඉකුත් සටහනේ කථාකළා. දැන් ඔබට තේරෙනවාද ඔබ මේ ලක්‍ෂ ගණන් වියදම් කරලා හැඩ බලන්නේ, සතුටුවෙන්නේ නිරතුරුවම මැරෙමින් උපදින මළකඳක්‌ හැඩ වැඩ කරලාය කියන කාරණය. සම්මුතිය තුළ මේ අර්ථය වෙනස්‌ වෙනවා. නමුත් ධර්මයට අනුව මීට වඩා මෙතන අර්ථයක්‌ නැහැ. ඔබම මේ අර්ථය හොඳින් නිරීක්‍ෂණය කරන්න පුළුවන්. මේ මොහොතේ ඔබේ මංගල ඡායාරූපය හොඳින් බැලුවොත් ඔබට මේ යථාර්ථය වැටෙහෙන්නේ නැහැ. මේ යථාර්ථය දකින්නනම් ඔබේ දෙමාපියන්ගේ මංගල ඡායාරූපය දිහා හොඳින් බලන්න. ඔබට පෙනේවි රූපයේ ඉපදීම, දිරීම, මියයාම හොඳින්ම.

ඔබට අවශ්‍යනම් පුළුවන් ඔබේ ජීවිතයත් ඒ අනුව ගලපා බලන්න.

ඒaත් ඔබ කැමති වෙන්නේ නැහැ…. මොකද ඒ කැමත්ත තමයි ලෝකයේ තිබෙන අති දුර්ලභම කැමැත්ත. ලෝකයේ පවතින අතිදුර්ලභම දෙය තමන්ගේ කැමත්ත බවට පත්කරගත් උත්තමයන් තමයි අතීතයේ වැඩසිටි අරහත් උත්තමයන් උත්තමාවියන්. මේ වීරවරයන් වීරවරියන් අරිහත් මාර්ග ඥානය අවබෝධයට පැමිණි ගමනේදී මැරෙමින් ඉපදෙමින් පවතින මළකඳක්‌ සළුපිළියෙන් රන්රිදියෙන් සරසන්න ගියේ නැහැ. ධර්මය තුළිනුයි ජීවිතය සරසන්නේ. ධර්මය තුළින් සරසාගත්තාය කියන්නේ අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම භාවයේ අර්ථය ජීවිතයෙන් වටහාගත්තාය කියන කාරණයයි. ගොඩාක්‌ දේවල් තිබුණේ නැහැ මෙහිදී අවබෝධ කරගන්න. ලෝකය කොතරම් සංකීර්ණ වුවද, අත්භූත වුවද, පුළුල් වුවද කාරණා දෙකක්‌ අවබෝධ කරගැනීමෙන් ලෝකයම අවබෝධ කරගැනීමට හැකිබව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකරනවා. ඒ කාරණා තමයි රූපයත් විඤ්ඤාණයත් කියන කාරණා දෙක. බලන්න මාරයා විසින් ලෝකය මේ තරම් සංකීර්ණභාවයට පත්කර ඇතත්, කාරණා දෙකක්‌ අවබෝධකර ගැනීමෙන් ලෝකයෙන් එතෙරවීමට අවස්‌ථාව ඔබට ලැබෙන්නේ කොහොමද කියන කාරණය.

ලොව්තුරා සම්මාසම්බුද්ධ ඥානයට පිංසිද්ධ වෙන්නමයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ හැර වෙන කව්රුත් නම් මාරයා විසින් පඹගාලක්‌, කටු අකුලක්‌ සේ සංකීර්ණභාවයට පත්කර ඇති මේ ලෝකයේ යථාස්‌වභාවය අවබෝධ කරගන්නද? මෙය බුදුරජාණන්වහන්සේගේ ආශ්චර්යමවත් සම්මා සම්බුද්ධ ඥාණයේ බලමහිමයයි. ඔබට පුළුවන් මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මයේ සන්දිට්‌ඨ§ක ගුණය ගැන. ඒ නිසා ඔබ අවංකනම් එහි ප්‍රතිඵලය ස්‌ථිරයි. බුදුරජාණන් වහන්සේමයි අපිට දුකෙන් මිදෙන පාර පෙන්වන්නේ. එසේ නොමැතිව හඳහනේ ග්‍රහයෙක්‌ දේවාලයක දෙවියෙක්‌ නොවේ ඔබට දුකෙන් මිදීමේ පාර පෙන්වන්නේ. අපි හැම මොහොතකම දුකෙන් මිදීමට පාර අසාගන්නේ දුක තුළම ජීවත් වෙන්නෙක්‌ගෙන්. එහෙම කෙනෙක්‌ පාර කියන්නේ දුකටමයි.

පිංවත් ඔබට දැනෙනවානම් ඔබ අත්විඳින ජීවිත අත්දැකීම් නිසා ‘අනේ මේ ජීවිතය දුකයි’ කියලා, කවුද ඔතනට එන්න පාර පෙන්නුවේ. එකක්‌ පැහැදිලියි ස්‌ථිරවම. ඒ බුදුරජාණන් වහන්සේනම් නොවේ. බුදුරජාණන් වහන්සේලා කවදාවත් දුකට පාර පෙන්වන්නේ නැහැ. ඒ උන්වහන්සේලා සතු මහා කරුණා සමාපත්ති ගුණය නිසා. පසේ බුදුරජාණන් වහන්සේ නමකට, මහාරහතන් වහන්සේ නමකට මහා කරුණා සමාපත්ති ඥානය පිහිටන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේලාගේ අසමසම කරුණා ඥාණයට මෙලොව කිසිවෙකුට ළංවෙන්න බැහැ. ඇයි මේ උතුම් රැකවරණය ඔබ නොගන්නේ. අර්ථවත් ලෙස ඔබේ ජීවිතයට දායද කරගත හැකි මේ උතුම් ධර්ම මාර්ගය අතහැර, දුකට පාර පෙන්වන මාර නියෝජිතයන් ගෙන් පාර විමසන්නේ.

බුදුරජාණන් වහන්සේ පාර කියාදුන් පිංවත් තරුණයෙක්‌ සිටියා ඔහුගේ නම ඡත්ත. මිථ්‍යාදෘෂ්ඨ§ක බමුණු පවුලක තරුණයෙක්‌. දිසාපාමොක්‌ ආචාර්යවරයා ළඟට ගොස්‌ හොඳින් ශිල්ප හදාරලා බමුණු ගෙදරට පෙරලා පැමිණියා. දෙමාපියන්ට ඥාතීන්ට ශිල්ප පෙන්නලා ඒ අය සතුටු කළා. තම පුතුගේ හැකියාවන් ගැන සතුටු වුණ දෙමාපියන්ගේ ගුරුපඬුරු රැගෙන ශිල්ප ඉගැන්වු ගුරුවරයාට ගුරු පූජාවක්‌ කරන්න පිටත්වුණා. ගුරුගෙදරට මහා කැලය මැදින් වැටී ඇති මාර්ගයකයි යන්න තිබෙන්නේ. මේ අවස්‌ථාවේ බුදුරජාණන් වහන්සේ දිවැස්‌ ඥානයෙන් දකිනවා ඡත්ත තරුණයා ගැන. ඡත්ත තරුණයාගේ ජීවිතයට අනතුරක්‌ වෙනවාය කියල. ඒ කියන්නේ කැලය මැදින් යනවිට සොරු

රැලක්‌ ඡත්තව මරාදමලා මුදල් පැහැරගන්නවාය කියලා. පෙර කර්ම විපාකයක්‌ නිසා සිදුවෙන මේ සිද්ධිය දිවැසින් දැකලා බුදුරජාණන් වහන්සේ ඡත්ත තරුණයාට පිහිටවීම සදහා ඡත්ත ගමන් කරන කැලෑ මාර්ගයේ ගසක්‌ මුල වැඩසිටිනවා. ඡත්ත බුදුරජාණන් වහන්සේ සමීපයට එනවා. තුරුණුවන් ගැන ඡත්ත මුකුත්ම දන්නේ නැහැ. මිථ්‍යාදෘෂ්ඨ§ක පවුලක දරුවෙක්‌ වුණත් පෙර කුසල් ශක්‌තියත් නිසාම ඡත්ත මුලින්ම බුදුරජාණන් වහන්සේ දකින මොහොතේම උන්වහන්සේ කෙරෙහි පහදිනවා.

බුදුරජාණන් වහන්සේ විමසනවා ඡත්ත ඔබ බුද්ධරත්නය, ධම්මරත්නය, සංඝරත්නය ගැන දන්නවාද කියල. ඡත්ත කියනවා නැහැය කියලා. බුදුරජාණන් වහන්සේ විමසනවා ඔබ කැමතිද තෙරුවන්ගේ ගුණයන් දැනගන්න කියලා. තෙරුවන් සරණ පිහිටන්න කියලා. මේ මිථ්‍යාදෘෂ්ඨ§ක බමුණු තරුණයා කැමති වෙනවා. තෙරුවන්ගේ ගුණ ගැන දැනගන්න. බුදුරජාණන් වහන්සේ අර්ථ වශයෙන් තෙරුවන්ගේ ගුණ ගැන දේශනා කර තෙරුවන් සරණ පිහිටවනවා. ඡත්ත තරුණයාගේ සංසාරික කුසලයක්‌ නිසාම මේ මොහොතේ තෙරුවන් සරණ කෙරෙහි සද්ධාව ඇතිකර ගන්නවා. බුදුරජාණන් වහනසේ පෙරලා වඩිනවා. ඡත්ත තරුණයා කැලය මැදින් ගුරුගෙදරට යනවා. බුදුරජාණන් වහන්සේ හොඳින්ම දන්නවා කැලය තුළදී ඡත්ත තරුණයාව අනතුරට පත්වෙනවා කියලා. නමුත් ඡත්තගේ ගමන බුදුරජාණන් වහන්සේ වැලැක්‌ වුවේ නැහැ. අවශ්‍ය නම් බුදුරජාණන් වහන්සේට තිබුණා ‘ඡත්ත ඔබ දැන් ඔය ගමන කැලය මැදින් යන්න එපා. එය ඔබේ ජීවිතයට අවදානම පිණිස පවතිනවා. ඒ නිසා මා පසුපස ඔබ නැවත ගමට යන්න එන්න’ කියලා කියන්න. බුදුරජාණන් වහන්සේ තෙරුවන් කෙරෙහි සද්ධාවට පැමිණි ඡත්ත තරුණයාගෙන් එහෙම ඉල්ලීමක්‌ කළා නම් ඡත්ත එම අවවාදය පිළිගන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ ඡත්ත තරුණයාගේ ගමන වැළැක්‌කුවේ නැහැ. ඡත්ත තරුණයා කැලය තුළදී සොරුන් අතින් මරණයට පත්වෙනවා. ඡත්ත තෙරුවන් කෙරෙහි ඇතිකරගත් ශ්‍රද්ධාව නිසාම මරණයෙන් පසු සශ්‍රීක දිව්‍යතලයක විශාල දිව්‍යවිමානයක පිරිවර සහිත අසිරිමත් දෙවියෙක්‌ ලෙස උපත ලබනවා.

මෙහෙම අවස්‌ථාවකදී ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ඥානයේ හැඩතල හොඳින් ප්‍රකට වෙනවා. බුදුරජාණන් වහන්සේ යමෙකුට පාර පෙන්වන්නේ වඩාත් සැප ඇති තැනට යන්නමයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මරණය පෙනි පෙනී කැලයට යන ගමන නැවත්තුවේ නැත්තේ ඇයි? ඒ ගමන වැළක්‌කුවා නම් ඡත්ත තරුණයාගේ ජීවිතය ආරක්‍ෂා වෙන්න තිබුණා. අවම වශයෙන් මරණය ප්‍රමාදවෙන්න හෝ තිබුණා. නමුත් ඡත්ත තරුණයාගේ ජීවිතය ආරක්‍ෂා වුණා නම් මොකද වෙන්නේ. මරණයෙන් බේරුණ ඡත්ත නැවත බමුණුගෙදරට ගිහිල්ලා ජීවිතය පවත්වාගෙන යන්න දුක්‌විඳින්න ඕන. රාජ්‍ය සේවයට යන්න ඕන. ගොවිතැන්බත් කරන්න ඕන. විවාහයක්‌ වෙන්න, බිරිඳ දරුවන් පෝෂණය කරන්න ඕන. මේ කය ලෙඩ වනවිට බෙහෙත් කරන්නට ඕනේ. දෙමාපියන්

රැකබලාගන්න ඕනේ. මේ කය මහළුවනවිට දුකට පත්වෙන්ට ඕන. බුදුරජාණන් වහන්සේ ඡත්ත තරුණයාට ගෙදර යන්න අවස්‌ථාව සලසා දුන්නා නම් ඉහත දුක තමයි ඡත්තට අත්විඳින්න වෙන්නේ. වැඩිම වුණොත් අවුරුදු සියයක්‌ ජීවත්වෙයි. ඡත්ත තරුණයාට ඒ දුකට යන්න බුදුරජාණන් වහන්සේ පාර පෙන්නුවේ නැහැ. කොතනට යන පාරද පෙන්නුවේ කල්ප ගණනාවක්‌ දිග, අප්‍රමාණ දිව්‍ය සශ්‍රික දිව්‍ය සැපයක්‌ අත්විඳීමට ලැබෙන පාරයි පෙන්නුවේ. නින්දෙන් පිබිදියාක්‌ මෙන් ඡත්ත තරුණයා සොරු අතින් මියයන මොහොතේ බුදුරජාණන් වහන්සේ පෙන්වු පාර ඔස්‌සේ සශ්‍රික දිව්‍යවිමානයක යසඉසුරු හිමිකරගත්තා. මිථ්‍යාදෘෂ්ඨ§ක තරුණයෙක්‌ව සිටි ඡත්ත බුදුරජාණන් වහන්සේව සැක කළේ නැහැ. සොරු විසින් මරාදමන මොහොතේ සිත කිලිටුකරගත්තේ නැහැ. තෙරුවන් කෙරෙහිම විශ්වාසය තහවුරු කර ගත්තා.

නමුත් ඔබ කල්පනාකර බලන්න. ඔබට පාර පෙන්වන, ඔබ පාර අසාගන්නා වැඩිහිටියෝ, ගුරුවරුන් ඔබට පාර පෙන්වන්නේ කොතැනකට යන්නද කියන වග.

උපාධියක්‌, රැකියාවක්‌, විවාහයක්‌, ගෙයක්‌ දොරක්‌, බැංකු ගිණුමක්‌, දරු මුණුබුරන්, ව්‍යාපාරයක්‌, කොටින්ම විශ්‍රාමයක්‌ නොමැති ගෞරවනීය විශ්‍රාමිකයෙක්‌ වීමට නේද? උපරිම වසර 100ක මේ කසල ජීවිතයකට නේද?

;කසල’ කියන වචනය පාවිච්චි කළේ ඡත්ත තරුණයා ලැබූ සශ්‍රික දිව්‍ය ජීවිතය සමග මනුෂ්‍ය ජීවිතය සසඳලයි. ඒ දිව්‍ය සැපයන් සමග ඕනෑම ප්‍රමාදී මනුෂ්‍ය ජීවිතයක්‌ කියන්නේ කසල ගොඩක්‌ම තමයි.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා ලෝකයට පාර පෙන්වන්නේ ඔබව උපරිම සැපයට ඔසවා තැබීමටයි. ඒ නිසා එම උත්තම ධර්ම මාර්ගය ඔබ ඔබේ මාර්ගය කරගැනීමට දක්‍ෂවෙන්න. මිථ්‍යාදෘෂ්ඨක ජත්ත තරුණයා තෙරුවන් කෙරෙහි යම් ශ්‍රද්ධාවක්‌ ඇතිකරගත්තා නම්, විශ්වාසයක්‌ ඇතිකර ගත්තානම් ඔබද ජීවිතය ඉදිරියට එන ඕනෑම අභියෝගයක්‌ හමුවේ එම විශ්වාසයෙන් නොමිදෙන්න. ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ මහා කරුණා ගුණය ඔබ ඔබේ ආරක්‍ෂකයා කරගන්න. රැකවරණය කරගන්න. වැරදි ආරක්‍ෂාවන්, රැකවලුන් සොයාගෙන නොයන්න. ජීවිතයේ එකම ආරක්‍ෂාව යෑයි සිතා දෙදෙනා, දෙදෙනාගේ ආරක්‍ෂකයන් වන බවට සපථ වෙමින්, රන් නූලෙන් ඔබලාගේ දෑඟිලි බැඳුනත්, එම බන්ධනය දෙදෙනාටම භව අනාරක්‍ෂිත වීමටම හේතුවන බව දකින්න.

ඉන්ද්‍රජිත් සුබසිංහ

Advertisements

50ඔබේ තරුණ ලස්‌සන රුව කවුද රැගෙන ගියේ…

2013-10-20
ආදරය කියන වචනය පිංවත් ඔබට බොහෝම ප්‍රියමනාප හැඟීමක්‌ දෙන වචනයක්‌. ඇසේ ආශ්වාදය උදෙසා තවත් ඇසකට බැඳුනොත්, කනේ ආශ්වාදය උදෙසා තවත් කනකට බැඳුනොත්, නාසය නිසා තවත් නාසයකට බැඳුනොත්, දිව නිසා තවත් දිවකට බැඳුනොත්, මනස නිසා, කය නිසා තවත් මනසකට කයකට බැඳුනොත් අපි එයට කියනවා ආදරය කියලා.

ඇසක්‌ ඇසක්‌ සමග බැඳෙනවා කියන්නේ දුකක්‌, දුකක්‌ සමග බැඳෙනවා කියන කාරණයයි. කව්රු කොහොම බැඳුනත් ඔබ බැඳෙන්නේ කරුණු පහකටය කියලා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාන කියන කරුණු පහයි. මේ කාරණා පහේ ස්‌වභාවය නිරතුරුවම අනිත්‍යභාවයට පත්වීමයි. යමක්‌ ස්‌ථිරභාවයේ නොපවතී නම් එතැන ඇත්තේ දුකයි. ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා ‘පිංවත් මහණෙනි, කාමයේ ආශ්වාදයක්‌ තිබෙනවා’ කියලා. බුදුරජාණන්වහන්සේ කොතැනකදීවත් දේශනා කරන්නේ නෑ කාමයේ ආශ්වාදයක්‌ නැතිය කියලා. ‘කාමයේ ආශ්වාදයක්‌ තිබෙනවා. මහණෙනි, ඒ නිසාමයි සත්ත්වයා මේ තරමටම ඇස, කන, දිව, නාසය, මන, කය කියන ආයතන පිනවන්න උත්සහගන්නේ. ඒ උදෙසා දිවා රාත්‍රී වෙහෙසෙන්නේ. නමුත් පිංවත් මහණෙනි, කාමයේ ආශ්වාදය වගේම එහි ආදීනවයකුත් තිබෙනවා. කාමයේ ආශ්වාදය කෙටිය. ඒ උදෙසා විඳින්නට වන ආදීනවය අතිදීර්ඝයි, කටුකයි කියලයි බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ. එහෙමනම් යමෙක්‌ ආදරයේ නාමයෙන් තව කෙනෙක්‌ සමග බැඳෙනවා කියන්නේ කෙටි ආශ්වාදයක්‌ උදෙසා අතිදීර්ඝ කටුක ආදීනවයකට බැඳෙනවා කියන එකයි.

කෙටි සැපයක්‌ උදෙසා දීර්ඝ දුකක්‌…..

මේ සටහන කියවන පිංවත් ඔබ ආදරයේ නාමයෙන් කුමන හෝ බැඳීමකට ලක්‌වූ අයෙක්‌ නේද? ඔබේ ජීවිතයට මේ උතුම් ධර්මය ගලපා බලන්න. ගෙදර සාලය මත, කුමක්‌ හෝ රඳවනයක්‌ මත තබා තිබෙන ඔබගේ සුන්දර මංගල ජායාරූපයේ හුරුබුහුටි මනාල මහත්මිය සහ කඩවසම් මනාල මහතා යන දෙපලගේ තාරුණ්‍යයේ ලස්‌සන, හැඩරුව මේ මොහොතේ ඔබේ ජීවිතය තුළ රැඳී තිබෙනවාද? ඒවාට මොකද වුනේ? කව්ද අරගෙන ගියේ? කොහෙටද අරගෙන ගියේ?…

ජාති, ජරා, ව්‍යාධි, මරණ දෙසටම නේද?

මොකක්‌ද දැන් ඉතිරිව තිබෙන්නේ?

ශෝක, පරිදේව, දුක්‌ඛ, දෝමනස්‌සයන් නේද?

වර්තමාන සමාජයේ ඔබ සමග ජීවත්වන වයෝවෘධ ආච්චිලා, සීයලාත් අතීතයේ ඔබ වගේම තාරුණ්‍යයෙන් ඔදවැඩී ජීවත්වුන අය. ඒ අයගේ රූපය තුළත්, ඔය තාරුණ්‍යය ඔබට වැඩිය තිබුණා. ඒ අයත් අතීතයේ රූප රාජිණී තරගවලට ඉදිරිපත් වුණා. දැන් තමා දෙස බැලුවහම ඒ අයට තේරෙනවා මොකක්‌ද මම අතීතයේ ඉදිරිපත් කළේ කියලා. ඒ අතීතය මතකයට නගනකොට ඉතිරිව ඇත්තේ පංචඋපාදාන්ස්‌කන්ධයක දුක පමණයි.


මංගල දිනයේ මනමාල මහත්මයෙකුට, මනමාලියකට ඇඳුම් අන්දවන්න, ලස්‌සන කරන්න පමණක්‌ ලක්‍ෂ ගණන් වියදම් කරන සමාජයක්‌ මේක. ලක්‍ෂ ගණන් වියදම්කොට කාටද මේ අන්දවන්නේ. අවිද්‍යාවටම නේද? තෘෂ්ණාවේ සළුපිළි, රන් රිදී තමයි මේ පළඳවන්නේ. ඇඳුම් පැළඳුම් ලස්‌සන බව ඇත්ත. සුවඳ විලවුන් සුවඳ බවත් ඇත්ත. මුහුණේ සිනහව ප්‍රසන්න බවත් ඇත්ත. ඒත් කව්ද මේවායේ හැඩ බලන්නේ? වෙන කව්රුවත්ම නෙමෙයි, මාරයායි මේවායේ හැඩබලන්නේ.

මෙතැනදී මාරයා හැඩ බලන්නේ කාගේද? මාරයාගේ හැඩමයි මාරයා විසින්ම බලන්නේ. රූපයේ කියන්නෙත් මාරයාමය. රූපය ඇසුරින් සකස්‌වන පංචඋපාදානස්‌කන්ධයත් මාරයාමය. මාරයාගේ හැඩරුව මාරයාම බලනවා. පිංවත් ඔබට වැටහෙනවාද මේ කියන කාරණය.

තවත් තේරුම්කොට කියනවා නම් දුක විසින් දුකේ හැඩරුව බලනවා.

රූපය දුකක්‌ වෙන්නේ, රූපය නිර්මාණය වෙලා තිබෙන්නේ නිරතුරුවම අනිත්‍යභාවයට පත්වෙන සතරමහා ධාතුවෙන්. ඒ නිසා නිරතුරුවම යමෙක්‌ ජන්දරාගයෙන් අල්ලාගන්නේ ජාති, ජරා, ව්‍යාධි මරණයට අයත් රූපයක්‌මයි. ඵස්‌ස, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන ධර්මතාවයන් 5 ක්‌ සකස්‌වෙන්නේ අනිත්‍යයට පත්වෙන රූපයක්‌ හේතුවෙන්. රූපය අනිත්‍ය නම්, ඒ හේතුකොට සකස්‌වෙන යම් ධර්මතාවයක්‌ වේ නම් ඒවාද අනිත්‍ය විය යුතුය.

ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා රූපය නිරතුරුවම මැරෙමින් ඉපදෙමින් පවතිනවා කියලා. නමුත් ඒ බවක්‌ ඔබ දන්නේ නැහැ. ඔබ මරණය ගැන සිතන්න කැමතිත් නැහැ. ගෙදර තමන්ගේ ඥාතියෙක්‌ මියගියහොත් දේහය ගෙදර තිබෙන තාක්‌, මරණය ගැන සිතනවා. අනේ මමත් මැරෙනවා නේද? කියලා සිතනවා. මාව දාලා ගියේ ඇයි, මාවත් අරන් යන්න කියලා බලෙන් මරණය ගන්න හදනවා. මේ දින තුන හතර මරණානුස්‌සතිය වැඩෙනවා. ඒත් ටික දවසයි ඒ උණුසුම තිබෙන්නේ. ඔබට මරණය අමතක වෙනවා. නැවත මරණය ගැන සිතන්න ඔබ කැමති නැහැ. මරණය ගැන සිතීම අසුබ දෙයක්‌, සෘණාත්මක දෙයක්‌, පසුගාමී දෙයක්‌ හැටියටයි ඔබ දකින්නේ. යමෙක්‌ මරණය ගැන නිරතුරුවම සිතනවා කියන්නේ, නුවණින් දකිනවා කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දකිනවා කියන එකයි. මෙතැන සෘණ හෝ ධන දැක්‌මක්‌ නැහැ. මෙතැන තිබෙන්නේ යථාර්ථයයි. සිදුවෙමින් පවතින ඇත්තයි. ඔබ මරණය සිහිකිරීමට බියවෙනවා කියන්නේ ඇත්ත දැකීමට බියවෙනවා කියන එකයි. උදේ සිට රාත්‍රිය දක්‌වා මේ ශරීරයට ආහාර, ජලය, බෙහෙත් ලබාදෙමින් අපි කරන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ වසන් කරන්නට හදන එකයි. ඔබ ඔය සැබෑ ඇත්ත වසංකරලා, මොකක්‌ද ඇත්ත හැටියට අරගන්නේ. මෝහයයි. මෙතැනදී ඔබ අධර්මයමයි ධර්මය හැටියට අරගන්නේ. මේ මෝහ මූලික දැක්‌ම පෝෂණය කරන්න ඕනෑ තරම් මාර බලවේග සමාජය තුළ තිබෙනවා. ජීවිතය අත්විඳින්න¾ මරණය ගැන නොසිතන්න¾….. බොහෝම සුන්දර අදහස්‌ ලෙසින් සමාජයට එනවා. ඒත් ඒවායේ සුන්දරත්වය වැඩි තරමටම එහි ඇති අර්ථය තුළ දුකද ගොඩගැසී තිබෙනවා.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඇස නිරතුරවම මැරෙමින් උපදිනවා කියලා. මේ කන, නාසය, දිව, මනස, කය නිරතුරුවම මැරෙමින් උපදිනවා කියලා. ඇසත්, බාහිර රූපයත්, විඥාණයත් ඵස්‌සය වීමේදී ඇස උපදිනවා. ඇස උපදිනවා කියන්නේ චක්‌ඛු විඥාණය උපදිනවා කියන එකයි. ඒ සැනින් ඇස මැරෙනවා. තවත් ආයතනයක්‌ උපදිනවා. ඒ කියන්නේ මනෝ විඥාණය සකස්‌ වෙනවා. මෙය බොහෝම වේගවත් ක්‍රියාවලියක්‌. සෑම මොහොතකදීම කුමක්‌ හෝ ආයතනයක්‌ ඉපදී පවතිනවා. එක ආයතනයක්‌ ඉපදිලා, කියන්නේ අනෙක්‌ ආයතන පහම මැරිලා කියන එකයි. ශරීරයේ උණුසුමත්, ආයුෂත් තිබෙනවා. උපදින කුමන හෝ ආයතනයක්‌ නිරතුරුවම ක්‍රියාත්මකභාවයේ පවතින නිසා විඥාණය ඇතිවෙමින් නැතිවෙමින් පවතිනවා. ඒ නිසා මරණයක්‌ ගැන ඔබට පෙනෙන්නේ නැහැ. ඔබ මරණය හැටියට දකින්නේ ආයුෂත්, උණුසුමත්, විඤ්ඤාණයත් පහව ගිය ශරීරයක මරණය ගැන පමණයි.

49-පඬුර බෙල්ලේ බැඳගන්න ශීලයේ කොඩිය අතට ගන්න

2013-10-13

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකර තිබෙන්නේ දුකට හේතුව වන කාමයන් කෙරෙහි ඇති තෘෂ්ණාව ලාමකයි, තුච්ඡයි කියළා. මේ කාමයන්ගෙන් ආශ්වාදයන්ගෙන් දුරස්‌වෙන්න කියලයි බුදුරජාණන් වහන්සේ ඔබලාට දේශනා කරන්නේ.

මේ ආශ්වාදයට ඇති ලොල් භාවය නිසාමයි සත්වයා අප්‍රමාණ අකුසල් සිදුකරගන්නේ. ඒ අකුසල්වල ප්‍රතිඵලය තමයි කායිකව මානසිකව ඔබ අත්විඳින දුක පසුතැවීම. මෙය හඳුනාගතහොත් ඔබලාට දේවාල ගාණේ පඬුරු බඳින්න, භාරහාර වෙන්න යන්න අවශ්‍ය නැහැ.

වර්තමානයේ සමහරක්‌ පූජනීය බෝධීන් වහන්සේලාගේ බෝධි අතු භාරහාර සඳහා බැඳපු පඬුරුවලින් පිරිලා, එල්ලපු කොඩිවලින් පිරිලා, දේවාලවලත් එහෙමයි. ඔබේ ජීවිතයට බලපාන ප්‍රශ්න ඔබ හේතුඵලධර්මයන්ට අනුව ගලපාගතහොත් ඔබ නැවත පූජනීය බෝධීන්වහන්සේලාගේ බෝ අතුවල පඬුරු එල්ලන්නේ නැහැ. ඔබට පඬුරක්‌ බඳින්න අවශ්‍යනම් ඊට සුදුසුම තැන ඔබේම අත හෝ බෙල්ලයි. මොකද ඔබ එහෙම බැඳගතහොත් ඔබට නිරතුරුවම සිහිය පිහිටනවා. ඔබ එය දකින, දකින මොහොතක්‌ පාසාම. ඔබ තුළින් අකුසලයන් සිද්ධවෙන්න යනවිට එය වළක්‌වා ගැනීමට, කළ අකුසල් නැවත නොකිරීමට, නොකළ කුසල් සිදුකරගැනීමට….. මොකද ඔබ පඬුරු බඳින්නේ ඔබට තිබෙන ප්‍රශ්නයක්‌ විසඳාගන්න භාරයක්‌ ලෙසටයි. ඔය ප්‍රශ්න ඇති වුණේ අතීතයේ ඔබ අකුසල් නිසාමයි. ඒ නිසා අනුන්ට භාරවෙලා වැඩක්‌ නැහැ. තමා තමාට භාරවෙන්න ඕනේ. සපථ වෙන්න ඕනේ. අකුසලයෙන් දුරුවෙලා කුසල් වඩනවාය කියලා. ඒ මාර්ගය තුළයි ක්‍රියාත්මක වෙන්න ඕනේ. එවිටයි ඔබට අකුසල් යටපත් වෙලා කුසල් ඉස්‌මතු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. පව යටපත් කරලා පින මතුකරගන්න පුළුවන්.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින කියලා කියන්නේ සැපයට කියන තව නමක්‌ය කියලා. සැපය හීනයි කියන්නේ පින හීනයි කියන එකයි. ඉවසීම තිබෙනවානම් තේරුම් ගැනීමට ඉතාමත් පහසු සමීකරණයක්‌ මේක. ඉවසීම නැති තැනදී ඔබ ඔබගෙන්ම පළිගන්නවා. එයත් දිට්‌ඨදම්ම වේදනීය අකුසල විපාකයක්‌. ඔබ අතීතයේ කරන අකුසල්වලට ඔබ විසින්ම වැරදි දෘෂ්ටීන් ඇතිකරගෙන කායිකව මානසිකව දඬුවම් විඳිනවා. වෙනත් කෙනෙක්‌ ඔබට දඬුවම් කරනවා නොවේ.

ඔබ ඔය දේවාල ගාණේ පිළිසරණ සොයා රස්‌තියාදුවන්නේ පෙර ජීවිතයේදී ඔබ අනුනගේ බලාපොරොත්තු කඩකරලා තිබෙන නිසා වෙන්න පුළුවන්. අනුනගේ බලාපොරොත්තු කඩකරලා අනුන්ව අතරමං කළ නිසා වෙන්න පුළුවන්. ඔබේ මහේශාඛ්‍යභාවයෙන් අනුනට පීඩාකිරීමේ අකුසලයේ ප්‍රතිබිම්බය තමයි ඔබ අත්විඳින්නේ. ප්‍රතිබිම්බය කියන්නේ ඔබම හේතුවෙන් සැදුනක්‌. මේ සෑම දෙයක්‌ම ධර්මානුකූලව බැලුවහම, ඔබට සිතෙන්න ඕනේ, සැප හෝ දුක ගැන සිත සිතා සිටීම නොව, මේ දෙකෙන්ම මිදිය යුතුය කියලා. මිදීමේ මාර්ගයට අවතීර්ණ වීමය කියලා. දුක, සැප දකින, මනින, කිරන, ගණන් හදන මමත්වයේ දැඩිභාවයෙන් මිදීමය කියලා.

රෙදි කැබැල්ලක බැඳගත් රුපියල් දෙකේ කාසියකින්, පොප්ලින් යාරයකින් මසාගත් කොඩියකින්, දේවාලයේ ත්‍රිශූලය මත ගැටගසන පඬුරකින්, දුකින් මිදීමට හැකි බවට ඔබ තුළ ඇති දෘෂ්ටිය, විචිකිච්ජාව, තෙරුවන් කෙරෙහි ඇති ශ්‍රද්ධාව තුළින්ම ඔබ නැතිකරගත යුතුය. තෙරුවන් වෙත ජීවිතය පූජාකර, ශීලයේ කොඩිය ඔබේ අතට ගෙන, කර්මය කර්මඵල විශ්වාසයෙන් හැකිතාක්‌ පඬුරු දන්දෙමින්, දුකට හඬනා කඳුළු මෛත්‍රියෙන් පිසදාගෙන, සැප ලබන සැබෑම මාර්ගයට අවතීර්ණ වෙන්න. මුලාවූ ලෝකයෙන් මිදී, සතර අපායෙන් නිදහස්‌වූ මනුෂ්‍යයෙක්‌, දෙවියෙක්‌ වන්න ඔබත් වීර්යය වඩන්න.

ඉන්ද්‍රජිත් සුබසිංහ

48- ඵලය ගැන දුක්‌වීම පසෙක තබා හේතුව ගැන සොයන්න

2013-10-06
බෞද්ධයෙක්‌ වේවා අබෞද්ධයෙක්‌ වේවා කෙනෙක්‌ මියයැමෙන් අනතුරුව දෙවියෙක්‌ බ්‍රහ්මයෙක්‌ ලෙස ලබන උපත භව නිරෝධයට ඇති මාර්ගය ලෙස පිළිගන්නවා නම් ඔවුනට සසරින් ගැලවීමට ඇති දුර ද අසීමාන්තිකය. මන්ද ඔවුන් මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයන් වශයෙන් ජීවත් වුවද සතර අපායෙන් ඔබ්බට සිත පිහිටුවීමට අපොහොසත් නිසාය. ඒත් මේ සෑම පිංවතෙක්‌ම ජීවත්වන ලෝකය තුළ ධර්මය සන්දිçsකව ඇත. මාර්ගඵල ලාභී දෙවියන් මාර්ගඵලලාභීන් බ්‍රහ්මයන් වීමට මාර්ගය විවෘතව ඇත. නමුත් බහුතරයක්‌ අතරමග නවාතැන්පොළවල තාවකාලික සැපයන්ට මුලාවී නවාතැන්ගෙන ඇත. පිංවත් ඔබ කුමන ජාතියක ආගමක වුවද ධර්ම මාර්ගයේ නවාතැන් ගෙන නොගෙන අවංකවම වීර්යයෙන්, සතියෙන්, සිහියෙන් හිරිඔතප් දෙක සහිතව පෙරට යන්න, ඔබට බොහෝ දේ හමුවනු ඇත. බොහෝ දේවල් යෑයි සඳහන් කළේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන සියල්ලන්මය. සිත ක්‌ෂණයෙන් අනිත්‍යවී ගියද අනිත්‍යවු සිත තුළ මේ ”ලොකු ගොඩ” ක්‍රියාත්මකව තිබිණි. භවය සඳහා මග වියදම් ඉතිරි කර දෙන්නේ මේ ක්‍රියාත්මක භාවයයි. ඇති වෙමින් නැති වෙන එක සිතකට ඔබට මහාදුකක්‌ හෝ මහාසැපක්‌ උරුමකර දීමේ හැකියාව ඇත. ඔබ කැමැති දෙය ඔබේ කැමැති පරිදි තෝරාගැනීමට ඔබට හැකිය. මේ කැමැත්ත අකැමැත්ත දෙක වගේම ඒ දෙක අඩු තැන ඇති උපේක්‍ෂාව තුළ ද ඇත්තේ අනිත්‍යභාවයට පත්වෙන දුකක්‌ හෝ සැපයක්‌ බව අවබෝධකර ගතහොත් ඔබට ඉහත සියල්ල අවබෝධයෙන් අතහැරෙනු ඇත. මන්ද ඔබ ගොඩම, දුකේ නිර්මාණකරුවන් ලෙස අවබෝධයෙන් හඳුනාගත් නිසාය.

සසර ඔබත් මමත් පැමිණි දුර ඉලක්‌කම්වලින් සටහන් කළ නොහැක්‌කකි. එහෙත් ඔබත් මටත් දැනෙන්නේ අපි මේ ජීවිතයේදීත් පෙර ජීවිතයේදීත් පමණක්‌ පැමිණි ගමනය. භවයේ දුර ගැඹුර වසාදමන මාර අස්‌බැන්ඳුමෙන් අප මිදිය යුතුය. නිවීම ගැන සතර අපායෙන් මිදීම ගැන ධර්මය ඇසෙන, සැබෑම සද්ධර්මය සම්බුද්ධ වචනයම ඇසෙන මේ තීරණාත්මක අවස්‌ථාවේ පිංවත් ඔබ වීර්යය කළ යුත්තේ ලොව්තුරා බුදුසමි`දුන් දැක නිවන් දැකීමට නොවේ. නිවන් අවබෝධකර අවම වශයෙන් සතර අපායෙන් මිදී ලොව්තුරා බුදුසමි`දුන්ව දැකීමටය. මෙවැනි ශාසන පරිහානියක්‌ කරායන යුගයක බුදුන් දැක නිවන් දැකීම යනු මාර ධර්මයකි. පිංවත් ඔබ දුකෙන් දුකට යැමකි. මේ ලැබු ජීවිතයේදී එහි දුක සැප ඔබ විසින්ම නිර්මාණය කරගත් එකකි. නිර්මාණය දුකනම් නිර්මාණය කළු නම් එහි සැබෑ නිර්මාපකයා සොයා පිළියම් කරනවා මිස තවත් පිටස්‌තරයකුට නිරපරාදේ චෝදනා නොකරන්න. ඵලය ගැන දුක්‌වීම පසෙක තබා හේතුව ගැන සොයා බැලීමෙන් ඔබට මේ තත්ත්වයෙන් මිදිය හැකිය. මේ මොහොතේ ඔබ ජීවිතය තුළින් අත්විඳින රූපයේ අවපැහැය, අල්පේශාඛ්‍යභාවය, වත්පොහොසත්කමේ අඩුව මේවා ගැන දුක්‌වීම පසෙක තබා මේවා මේ ජීවිතයේ නොලැබීමට හේතුවත් ඒවා ලැබීමට මාර්ගයත් සොයා බලන්න. ඔබ කැමති සැප ලැබීමේ මාර්ගය ලබන්න නම් නොලැබීමට හේතුවන්නාවූ අකුසලයන් ජීවිතයෙන් අතහරින්න. බොහෝම නිරවුල්ව ඔබට මෙය තෝරාගන්න පුළුවන්.

බුදුරජාණන් වහන්සේ දේශනාකර වදාළ ධර්මය තුළ ඔබ ජීවිතයේ වැඩිම වුවහොත් අවුරුදු 100ක්‌ ජීවත්වෙයි. එය තමයි උපරිමය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ගන්නාවු හුස්‌ම පොද ඉහළට අරගෙන පිටකරන මොහොතේ මරණය සිදුවිය හැකි බව. එය තමයි අවමය. ඒ නිසා ඔබට ජීවත්වීමට ඇති කෙටි කාලයේදී බොහෝම ඉවසීමෙන් ජීවිතය නිවැරදි මගට ගන්න. ඊළ`ග සුගතිගාමී ජීවිතය සඳහා මේ කෙටි කාලය කළමනාකරණය කරගන්න. තමා පෙර ජීවිතයේ කරගත් දෙයට තමා වර්තමානයේ වෛර කරන්න යන්න එපා. මේ ජීවිතයේ ඔබට ලැබුණු දුර්වල රූපය, අධ්‍යාපනය, රැකියාව, විවාහය, සමාජ තත්ත්වය ගැන නැවත නැවත දුක්‌වීම පසෙක තබා දානය, ශීලය, මෛත්‍රීය තෙරුවන්ල ගුණ ගැනම සිතන්න. නොලැබූ දෙය ලබාගැනීමේ මාර්ගයට අවතීර්ණවන්න. ඉවත් වීමට ඉතිරිව ඇති ඉතිරි කෙටිකාලය අවුරුදු ලක්‍ෂ ගණනින් ආයුෂ විඳින සශ්‍රික ප්‍රභාෂ්වර ආයුෂ, සැප, වර්ණ, බලයෙන් අනූන දෙවියෙක්‌ දිව්‍යංගනාවක්‌ වීම උදෙසා කැපකරන්න. මේ ජීවිතයේදී ඔබට අර්ථාන්විත ලෙස යෙදිය හැකි සැබෑම ලාභදායි ව්‍යාපාරය එය බව හඳුනාගන්න. පිංකම් සිදුකරමින් දේවානුස්‌සතිය වඩන්න. ඔබම වැටුණු වළෙන් ඔබම ගොඩඑන්න. ද්වේශයේ, මෝහයේ උදැල්ලෙන් එම වළ තව තව ගැඹුරු නොකරගන්න. දානය, ශීලය, මෛත්‍රීයෙන් එම වළ පුරවා ස්‌වඋත්සහයෙන් ඔබම වළෙන් ගොඩවී සුගතියේ සුරපුරයට ගොඩවදින්න. හැබැයි ඔබ සියලු යසඉසුරින් සපිරි දෙවියෙක්‌ දිව්‍යංගනාවක්‌ ලෙස සශ්‍රි දිව්‍යතලය උපත ලැබුවද එම දිව්‍යතලයේම ජීවත්වෙන මහේශාඛ්‍ය දෙවිවරුන් දිව්‍යංගනාවන්ගේ රූපශ්‍රිය අසිරිය ප්‍රභාෂ්වර භාවය දැක එතැනදී ද ඔබට හීනමානය, ද්වේශය ඇතිවීම ස්‌වභාවයක්‌මය.

අතීතයේ මනුෂ්‍යයන් ලෙස බුදුරජාණන් වහන්සේලාට මහරහතන් වහන්සේලාට සියතින් සිව්පසය පූජාකර සිල් ආරක්‍ෂා කරලා මෛත්‍රිය වඩල එම පිනෙන් දෙවියෙක්‌ වූ අප්‍රමාණ පිනෙන් පිරි දෙවියෙක්‌ දිව්‍යතල වෙසෙයි. ඔවුනගේ සශ්‍රිකභාවයට ළංවීමට වර්තමානයේ හෝ අනාගතයේදී එම දිව්‍යතල උපත ලබන කිසිවකුට නොහැකිය. මන්ද අතීතයේ කළ අතිදුර්ලභ පිංකම් සිදුකරගැනීමට බුදුරජාණන් වහන්සේ ද, මහරහතන්වහන්සේලාද අපිට හමුනොවන නිසාය. එහෙත් ඔබ දක්‍ෂ නම් සතිය සිහිය තියුණුනම් ඔබට ප්‍රතිහාර්යයන් සිදුකරගත හැකිය. මේ යථාර්ථයන් ඔබ අවබෝධකර නොගතහොත් සුගතියද ඔබට දුක්‌විය හැකිය. මොකද ඔබ මනුෂ්‍යයෙක්‌ ලෙස උපත ලබා තිබෙන්නේ සුගතියට අයත් වාසස්‌ථානයකය. එහෙයින් මෙතැන ඇත්තේ සුගතියේ ඔබ ඉපදෙන තැන ප්‍රශ්නයක්‌ නොවේ. කොතනක ඉපදුනද එතැන දුකය කියන ප්‍රශ්නයය. කුමන අඩුපාඩු ජීවිතය තුළ තිබුණද ඔබ දුකට හඬන්න එපා. හඬන්න හඬන්න දුකමයි තවත් වැඩිවන්නේ දුකේ හිතවතා තමයි කඳුළ. කඳුළ තමයි දුකේ වටිනාකම වැඩි කර දෙන්නේ. ඔබ හඬනවා පසුතැවෙනවා කියන්නේ දුක පිළිගන්නවා කියන එකයි. දුකට වටිනාකමක්‌ දෙනවා කියන එකයි. සතුටත් මේ වගේම තමයි. සතුටේදීත් සැපයේදීත් ඔබ හෙළන්නේ සතුටු කඳුළු ඇලීමත් ගැටීමත් දෙකටම හේතුව තෘෂ්ණාව නිසාම එකම ස්‌වභාවයේ කඳුළු ඔබ දුකටත් සැපටත් දෙකටම හෙළනවා. මෙයින් ඔබ තේරුම් ගන්න දුකත් සැපත් අතර තිබෙන පරතරය සමීප බව කොතරම් කෙටිද කියලා. සිතක්‌ අනිත්‍යභාවයට පත්වෙන වේගය යම්සේ ප්‍රවේගකාරීද දුක සහ සැපය අතර පරතරය එතරම්ම කෙටිය. මේ නිසාමයි පිංවත් ඔබ නිතරම දුක්‌ සහ සැපවේදනාවන් අතර දෝලනය වන්නේ. මේ කෙටි බව ඔබට තාවකාලිකව ඇතිකරගන්න පුළුවන් මාර්ගය ධර්මය තූළ තිබෙනවා. ඔබේ ජීවිතය තුළින් කුසල් දහම් සිදුකරගැනීමෙන් දාන, ශීල, භාවනා පිංකම් සිදුකර ගැනීමෙන් මේ ආකාරයෙන් දුකත් සැපත් අතර තිබෙන පරතරය වැඩිකරගෙන සැප වැඩියෙන් විඳින පිරිසක්‌ තමයි සශ්‍රික දිව්‍යතලවල ජීවත්වන දෙවියන් දිව්‍යංගනාවන්. ඒ අතීතයේ ධර්මානුකූල ජීවිත ගත කරලා එහි ප්‍රතිඵලය වශයෙන් දිව්‍යතලවල ඉපදිලා තාවකාලිකව දුක ඇතිකරගෙන ජීවත්වන පිරිසක්‌. දුකෙන් මිදිල නැහැ. දුක ජීවිතයෙන් ඈත්කරගෙන සැපමයි අත්විඳින්නේ. මේ අවස්‌ථාව තාවකාලිකයි. පිංවත් මනුෂ්‍ය ජීවිත ගතකරන ඔබ දක්‍ෂනම් ඔබට පුළුවන් මේ තාවකාලික සැපය නිවන් අවබෝධ කරගන්නා තෙක්‌ ස්‌ථිර සැපයක්‌ බවට පත්කර ගන්න. ඒ ඔබ මාර්ගඵලලාභී දෙවියෙක්‌ දිව්‍යංගනාවක්‌ බවට පත්වුවහොත්. ඊට අදාළ ධර්මයන් වැඩුවොත්.

එම නිසා දුකට පසුතැවෙන හඬන ලතවෙන ඔබ දුකට පඬුරු බඳින, කොඩි එල්ලන ඔබ ඔබේ ජීවිතයෙන් අර්ථවත් ලෙසට දුක දුරුකර ගැනීමට ඈත්කර ගැනීමට වෙහෙසවිය යුතුයි. සශ්‍රික දෙවියෙක්‌ වීමට පෙර ඔවුන් මනුෂ්‍ය ලෝකයේදී ජීවිතයෙන් වැඩූ සැබෑම ධර්ම ප්‍රතිපදාව නුවනින් හඳුනාගන්න. අතීතයේ කුසල් දහම් සිදුකරගෙන සශ්‍රික දිව්‍ය ජීවිත ගතකරන මහේශාඛ්‍ය දෙවිවරුන් පිංවත් ඔබලා දුකෙන් සහනය ලැබීමට පූජා වට්‌ටි ඔසවාගෙන යනවිට පඬුරු බඳිනවිට සිනාසෙනවා මිස අන්කුමක්‌ කරන්නද? පිනම තමයි සැපය. එය ජීවිතයේ කොටසක්‌ කරගන්න. කර්මය, කර්මඵල විශ්වාසයෙන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් තෘෂ්ණාවෙන් තොරව ඔබ පූජා කරන දානවේලක ඔබට ආයුෂ, වර්ණය, සැපය, බලය මෙලොව පරලොව වශයෙන් ලැබෙන බව මෙනෙහි කරන්න. එහෙත් ඔබ කාමය උදෙසා තෘෂ්ණාවෙන් ගිල දමන ආහාරවේලක සැඟවී ඇත්තේ ප්‍රේතයෙක්‌ම බව දකින්න. ඔබම කැමති දෙය තෝරාගන්න. හැබැයි ඔබ වැරැදි දෙය තෝරාගතහොත් මතු ජීවිතයේදී ඔබ ප්‍රේතයෙක්‌ නොවේ. අහම්බෙන්වත් මනුෂ්‍යයෙක්‌ව ඉපදුනහොත් දුකට හඬන්නෙක්‌ වීමටද පඬුqරු බඳින, කොඩි එල්ලන මනුෂ්‍යයෙකුවීම අනිවාර්ය බව දකින්න. පඬුqරුත් කොඩියත් කඳුළත් තුළ සැඟවුණ සංසාරික අකුසල් පිළිබඳ යථාර්ථය යම් මොහොතක ඔබ හෙළිකරගනීද ඒ හෙළිකරගන්නේ සැප ලැබීමේ සැබෑම මාර්ගයයි.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com