44 – ඔය කඩුල්ල පැනගන්න ඇයි බැරි?

2013-09-08
‘සතර අපායෙන් මිදෙමු’ – 44 කොටසඅප මහා පීඩාවක්‌ ලෙසින් ගත් උතුරේ පැවැති දශක තුනක ත්‍රස්‌තවාදයට වඩා සතර අපායේ කල්ප ගණන් පීඩා විඳින සතර අපායේ ‘ත්‍රස්‌තවාදය’ මොන තරම් භයානක වුවත් මිනිසුන් ඒ අතිභයානක තත්ත්වය ගැන නොසිතීම මහා අවාසනාවක්‌. සතර අපායෙන් මිදීමේ සැබෑ මග ධර්මය විසින් හොඳින් එළි පෙහෙළි කර පෙන්වා දී තිබියදීත් සතර අපායේ ත්‍රස්‌තවාදයෙන් නොමිදුනු අවාසනාවන්ත මහත්මයෙකුගේ නොපෙනෙන ලෝකයේ කථාවක්‌ භික්‍ෂුව මෙහිදී සටහන් කරනවා. ඔබගේ හිතසුව පිණිස. සතර අපායේ මිදීමේ ඔබේ උත්සහයට ශක්‌තියක්‌, ධෛර්යයක්‌ ලබාගැනීම උදෙසා.

දිනක්‌ භික්‍ෂුව හොරොව්පතාන ප්‍රදේශයේ පෞරාණික වනගත ආරණ්‍යයක වැඩසිටියා. එක්‌තරා දිනක රාත්‍රියේ සමාධියෙන් පසුවෙද්දී, රටේ තනතුරක්‌ දැරූ මහත්මයෙක්‌ රෝගීව සිට මියගොස්‌, සතර අපායට අයිති ප්‍රේත ලෝකයේ ප්‍රේත ජීවිතයක උපත ලබා සිටින අයුරු දර්ශනය වුණා. මේ ප්‍රේත මහත්මයාගේ රූපය විකෘති ස්‌වභාවයක්‌ තිබුණේ නැහැ. ඔහු මනුෂ්‍ය ලෝකයේ සිටියදී තිබූ රූපයේ ස්‌වභාවය සහිතවමයි ප්‍රේත ලෝකයේත් සිටියේ. ඔහු එහි දුක්‌ විඳින බවක්‌ බාහිරව පෙනුනේ නැහැ. ගුප්ත ස්‌වභාවයක්‌ මුහුණේ තිබුණා. ඇඳුම්, ආහාර වලින් හිඟ බවක්‌ පෙනුනේ නැහැ. විරූපී බවක්‌ද තිබුණේ නැහැ. මනුෂ්‍ය ලෝකයේ ජීවත්ව සිටියදී ගෙදරට අඳින සරම සහ කමිසයක්‌ සහිතවම තමයි ප්‍රේත ලෝකයේද සිටියේ. අපි මොහුට ‘ප්‍රේත ඇමැතිවරයා’ යෑයි කියමු.

මේ ප්‍රේත ඇමැතිවරයා භික්‍ෂුවට දර්ශනය වන විට, හොඳින් නඩත්තු කරන ලද ගෙමිදුලක්‌ අයිනේ වූ කාණුවක තබා තිබූ, ලීයෙන් තැනූ ඇඳි දෙකක්‌ සහිත පුටුවක තමයි වාඩිවෙලා සිටියේ. හොඳින් සිහියට ගන්න. මෙය කුණු කාණුවක්‌ නොවේ. තණකොල සහිත අලංකාර ගෙමිදුලේ කපන ලද කාණුවකි. කාණුව පතුල සමතලා ස්‌වභාවයක්‌ නොගත් නිසා මේ පුටුව කිසිම අවස්‌ථාවක සමබරව තිබුණේ නැත. නිරතුරුවම පුටුවේ කකුල් හතරෙන් තුනක්‌ පමණයි පොළොවේ ගැටී තිබුණේ. ඉතිරි කකුල පොළොවේ නොගැටෙන සමබර නොමැති ස්‌වභාවය නිසා ප්‍රේත ඇමැතිවරයා බරවෙන, බරවෙන පැත්තට පුටුව ඇලවෙයි. මොනම අවස්‌ථාවකවත් ප්‍රේත ඇමැතිතුමාට පුටුවේ සුවපහසුවෙන් හිඳගෙන සිටීමට අවස්‌ථාවක්‌ නොමැත.

මෙසේ අපහසුවෙන් හිඳගෙන සිටින ප්‍රේත ඇමැතිවරයා අසළ පෝලිමකි. එහි ප්‍රේතයෝ සහ ප්‍රේතියෝ හත්දෙනෙක්‌ පමණ තම වාරය එනතෙක්‌ බලා සිටිති. ඔවුන් එකිනෙකා ප්‍රේත ඇමැති හමුවට ගොස්‌ මොනවාදෝ කියයි. ප්‍රේත ඇමැතිවරයා මොනවාදෝ ලියයි. ඔහුගේ වැඩේම ලියන එකය. ඒ කියන්නේ ලියුම් දෙන එකය. මේ අවස්‌ථාවේදී මෙතැනට ප්‍රේතියන් දෙදෙනෙකු අලුතෙන් එක්‌වේ. එක්‌ ප්‍රේතියක්‌ වයස අවුරුදු 65 ක පමණ වයසක්‌ පෙනෙන සාරියක්‌ ඇඳගත් තැනැත්තියකි. අනෙක්‌ ප්‍රේතිය වයස අවුරුදු 30 ක පමණ පෙනුමක්‌ ඇති, අනෙක්‌ ප්‍රේතියගේ දියණිය වන් ස්‌වභාවයෙකිනුයි භික්‍ෂුව හඳුනාගත්තේ. මේ වයසක ප්‍රේතිය පෝලිමේ නොසිටම, ප්‍රේත ඇමැතිවරයා ළඟට පැමිණ මහා වේදනාත්මක අඳෝනාවක්‌ තබන්නට පටන් ගත්තා. ඇය තම ඇඟිලි වලින් තම දෑස්‌ විවෘත කර මෙන්න මේ විදිහට අඳෝනා තැබුවා. ‘අනේ මම ලියුම අරගෙන නගර සභාවට ගියා කණ්‌ණාඩි කුට්‌ටම ගන්න. නගර සභාවෙන් කියනවා මගේ කට ගඳයි, ඒ නිසා කණ්‌ණාඩි දෙන්න බෑ කියලා. කණ්‌ණාඩි දෙන්න නම් කටේ ගඳ නැති කරගෙන එන්නය කියලා. අනේ මගේ ඇස්‌ අන්ධවීගෙන එනවා. මට කණ්‌ණාඩියක්‌ ලබාදෙන්න’ කියලා ප්‍රේතිය, ප්‍රේත ඇමැතිවරයා ඉදිරියේ දුක්‌බර, වේදනාත්මක ලෙසින් හඬා වැටෙනවා. ඔබ හිතන්නකෝ, ඔබේ දෑස්‌ අන්ධවීගෙන එනවා නම් ඔබට මොනවාගේ දුකක්‌, වේදනාවක්‌ දැනෙයිද? ඒ භිය තමයි ප්‍රේතියට තිබුණේ. ඇයගේ කථාවෙන් පෙනෙන්නේ ඇය ඊට පෙරත් ප්‍රේත ඇමැති ගාවට ඇවිත් ලියුම් අරන් ගිහින් තියෙනවා කණ්‌ණාඩි ගන්න. ඒත් කටගඳ නිසා ඇයට කණ්‌ණාඩි ලැබිලා නැහැ. මේ සිද්ධිය වෙනකොටත් ප්‍රේත මව සමග පැමිණි අවුරුදු 30 ක පමණ පෙනුමැති උස, කළු, හීන්දෑරි ප්‍රේaත දුව පෝලිමේ සිටියා තම වාරය පැමිණෙන තුරු. ඇය හරිම ගුප්තයි. ඒ දර්ශනය එතැනින් නොපෙනී ගියා.

අපි දැන් කර්මය කර්මඵල වලට අනුව මේ සිද්ධිය ගලපා බලමු. මේ ගැලපීම භික්‍ෂුව කරන්නේ අනුමානයෙන්. ඔබ භික්‍ෂුවගේ අනුමානය වැරදි යෑයි දකිනවානම් ඔබේ අදහසට භික්‍ෂුව ඉඩදෙනවා.

මනුෂ්‍ය ලෝකයේ දරන ලද ඇමැති සැපයට ඇතිවූ තෘෂ්ණාව නිසා, සැප ලබන්න, සැප අයිතිකරගන්න තිබූ තෘෂ්ණාව නිසා, වින්ද සැපයෙන් නොසෑහුන නිසා, මැරෙණ මොහොතේ ඒවා කෙරෙහි ඇතිකරගත් ඡන්දරාගය නිසා ඔහු කැමති කළ ආකාරයට ප්‍රේත ලෝකයේ ප්‍රේත ඇමැතියෙක්‌ ලෙස උපත ලැබුවා. මේ ඇමැතිවරයා මනුෂ්‍ය ලෝකයේ ජීවත්ව සිටින විට ජනතාවට පරිත්‍යාගයෙන්, සමාජ සේවය – දන්දීම් ආදිය කළ නිසා ප්‍රේත ලෝකයේ ආහාර, ඇඳුම් පැළඳුම් වලින් අඩුවක්‌ නොමැතිව, විරූපී නොවූ ශරීරයක්‌ සහිතව ඉපදුනා. විරූපී නොවූ ශරීරයක්‌ ලැබීමට විශේෂ හේතුවක්‌ මොහු ක්‍රෝධය වෛරය වැඩියෙන් වඩපු අයෙක්‌ නොවීමයි. මොහු මනුෂ්‍ය ලෝකයේදී දන්දුන්නේ, සමාජ සේවය කළේ කර්මය කර්මඵල විශ්වාසයෙන් නොවේ. දේශපාලන ප්‍රයෝජනයන් සඳහායි. නිරතුරුවම හිතේ ක්‍රියාත්මක වුණේ තම දේශපාලන අනාගතය ශක්‌තිමත් කරගැනීමයි. කළ්‍යාණමිත්‍ර ඇසුරක්‌ නොමැතිකම නිසා, සැප සඳහාම හේතු කරගැනීමට තිබූ දේවල් දුක සඳහාමයි ප්‍රාර්ථනා කළේ.

මේ ප්‍රේත ඇමැතිවරයාට ලස්‌සන ගෙමිදුලක්‌ තිබුණත්, ඔහුට උරුමවෙලා තිබුණේ කාණුවක තැබූ, සමබර නොවූ පුටුවක්‌. මොහුගේ ප්‍රේත ජීවිත කාලය පුරාම, මොහුට අර ලස්‌සන ගෙමිදුලේ සමබර පුටුවක ඉඳගන්න ලැබෙන්නේ නැහැ. එය කර්ම විපාකයක්‌. කර්මය තමයි තමා ඇමැතිකම් දැරූ කාලයේ ගිහිපැවිදි ශිල්වතුන්ට, ගුණවතුන්ට ගරු නොකිරීම, ඔවුන් පහළ අසුන්වල වඩිකොට තමා උස්‌ අසුන්වල වාඩිවී සිටීම. ශිල්වතුන් ගරු නොකර ඔවුන් ඉදිරියේ රාජ තේජසින් හැසිරීම ආදිය. හැබැයි මේ ඇමැතිවරයා එක වරදක්‌ කරලා නැහැ. ඒ තමයි අනුනට, විරුද්ධවාදීන්ට අපහාස, අවමන්, චරිත ඝාතන කරලා නැහැ. එහෙම කරලා තිබුණානම්, ප්‍රේත ඇමැති පුටුව, පිහිටා තිබෙන කාණුව කුණු කාණුවක්‌, අසූචි කාණුවක්‌ වෙන්න තිබුණායෑයි භික්‍ෂුව අනුමාන කරනවා. වර්තමානයේ දේශපාලනයේ එල්ලකරගන්නා මඩ ප්‍රහාර, චරිත ඝාතන, අපහාස දෙස බැලීමේදී එවැනි දේ කිරීමට පෙර දෙවරක්‌ හිතාබැලිය යුතුයි ඒවායේ විපාකයන් ගැන. ඒ නිසා පිංවත් ඔබලාගේ පෙර පිනට ලැබුණු ඔය නිල-බල, රාජ තේජස්‌, තමාට වඩා ගුණයන්, ශීලයන් වඩන ගිහි පැවිදි පිංවතුන් ඉදිරියේ පරෙස්‌සමින් පරිහරණය කරන්න වගබලා ගන්න.යම් හෙයකින් ඔය ප්‍රේත ඇමැති පුටුව කාණුවෙන් ඔසවා ඔය ලස්‌සන ගෙමිදුලේ තැබුවොත් කර්ම විපාකය නිසා පුටුව ගිනි ගැනීමටද හැකිය. ඒ නිසාමයි ඔය ප්‍රේත ඇමැති තම ප්‍රේත ජීවිතය පුරාම කාණුවක තැබූ සමබර නොවූ අසුනක හිමිකරුවෙක්‌ වුණේ. මෙය හරියට මුත්‍රා අශුචි ගොඩේ කැමත්තෙන් දඟලන පුංචි ළදරුවෙක්‌ වගේ. එතැනින් ගොඩට එන්න එයාට දැනුමක්‌ අවබෝධයක්‌ නැහැ. ළදරුවා එය සැපක්‌ කරගෙනයි දකින්නේ.

ඔබ අහල ඇති සමහරු දේශපාලනයේදී කියනවා ‘මම මැරුණත් කොළ පාටයි, නිල්පාටයි, රතුපාටයි. මම කැපුවොත් කොළ පාටයි ජාති ජාතිත් නිල් පාටයි’ මේ වගේ දේශපාලනය මෝහයෙන් උපාදානය කරගත් පිරිසක්‌ රටේ සිටිනවා. තමන් මැරුනත් කොළ, නිල් පාටයි කියන අය මැරුණත් එම පාටම තමයි. භික්‍ෂුවට දර්ශනයවෙලා තිබෙනවා ඔය කොළ, නිල් කමිස ඇදපු ප්‍රේතයෝ. ඔය කණ්‌ණාඩි ඉල්ලා හඬා වැටෙන ප්‍රේතියත් ඔය ‘මම මැරුණත් කොළ පාටයි, නිල්පාටයි’ කියපු ජාතියේ ප්‍රේතියක්‌ තමයි. ඇයගේ කර්ම විපාකය තමයි මනුෂ්‍ය ලෝකයේ ජීවත්වෙනවිට ඇය දේශපාලන පක්‍ෂයක ප්‍රාදේශීය සංවිධායක වරියක්‌ ලෙස කටයුතු කරන්න ඇති. ඔබ දැකලා ඇති ඇමැති වරුන්ගේ අනුග්‍රහයෙන් කණ්‌ණාඩි බෙදාදෙනවා. මේවා බෙදාදෙන්නේ ප්‍රාදේශීය සංවිධායකයින්ගේ ලැයිස්‌තුවලට. මේ විදියට කණ්‌ණාඩි දෙන අවස්‌ථාවක ශීල්වත්, ගුණවත් කෙනෙක්‌ අවංකවම තමන්ගේ පෙනීම අඩුනිසා කණ්‌ණාඩි දෙකක්‌ ගන්න එනවා. එතකොට අර ප්‍රාදේශීය දේශපාලන සංවිධායිකාව කියනවා ඔයා අපට ඡන්දෙදීල නැහැ, පෙළපාලි යන්න ඇවිත් නැහැ, ඒ නිසා කණ්‌ණාඩි දෙන්න බැහැ කියලා. ඔබ අහල ඇති අවංකවම එවැනි අයට කණ්‌ණාඩි දෙන්නේ නැහැ, දරුවෙක්‌ පාසලකට ඇතුල්කර දෙන්නේ නැහැ, රක්‍ෂාවක්‌ දෙන්නේ නැහැ. මෙන්න මේ වැරදිවල කර්ම විපාක තමයි අර ප්‍රේතිය අත්විඳින්නේ. අත්‍යඅවශ්‍ය දෙයක්‌ උදෙසා තමා ළඟට එන කෙනාට, තමන් වෙනුවෙන් යුතුකම් ඉටුනොකළ බව පෙන්නා අවශ්‍යතාවය ඉටුනොකර සිටිනවා. කණ්‌ණාඩි දෙකක්‌ ගන්නයි ප්‍රේතිය නගර සභාවට යන්නේ. කර්මානුරූපව සකස්‌වුණු ස්‌වභාවයක්‌ අනුව ප්‍රේතලෝකයේ නගර සභාව කියනවා ඔබේ කටගඳ නිසා කණ්‌ණාඩි දෙන්න බැහැය කියලා. එය හරියටම ඡන්ද දායකයාට ඡන්දය නොදුන් නිසා කණ්‌ණාඩි දෙන්න බැහැ කියනවා වගේ. ප්‍රේතියගේ කටේ දුර්ගන්ධය නොයන්නේ ඇය මනුෂ්‍යලෝකයේ දේශපාලනය කළ කාලයේ අනුනට මුසාවාද, බොරු පොරොන්දු, මඩ ප්‍රහාර, චරිත ඝාතන කළ නිසා. එය තමයි කර්ම විපාකයේ ස්‌වභාවය. ඡන්දය නොදීම හේතුවක්‌ කරගනිමින් ජනතා උවමනාවන් ඉවත දමන දේශපාලන ක්‍ෂේත්‍රයේ නියෑලෙන්නන්ට මෙය හොඳ පාඩමක්‌. මේ ප්‍රේතිය තම ප්‍රේත ජීවිත කාලය තුළදීම, මේ විදිහට කණ්‌ණාඩි නොලැබීමේ වේදනාවෙන්, ඒ දුක අත්විඳිමින් පෙර කර්මයේ විපාක විඳිනවා. හැම තත්පරයකම ප්‍රේතිය තුළ වැඩෙන්නේ වෛරය, ක්‍රෝධය. මේ හේතුවෙන් ඇය තව තව අකුසල් සිදුකරගෙන අවසානයේ වැටෙන්නේ නිරයට.

ප්‍රේත මව සමග පැමිණි ඉතා කළු, හීන්දෑරි, සාරියක්‌ ඇඳගත් තරුණ ප්‍රේත දියණිය පෝලිමට පැමිණියේ ප්‍රේත ඇමැතිවරයා හමුවීමටය. භික්‍ෂුව ඇය හඳුනාගත්තේ පෙර මනුෂ්‍ය ජීවිතයේදී මැති ඇමැතිවරුන් ඇසුරු කළ කාන්තාවක්‌ ලෙසය. වර්තමානයේදීද මෙවැනි කාන්තාවන් මැති ඇමැතිතුමන්ලා ගැවසෙන තැන්වල ඔබ දැක ඇත. තමාගේ ඇමැති සම්බන්ධකම් නිසා මේ අය ගාම්භීරය. අහංකාරය. ඔය සමහර අය සිතන්නේ ‘ලොක්‌කට වැඩිය අරයා ඉදිමිලා’ කියලා. මෙන්න මේ ආකාරය උඬගුවුණු කෙනෙක්‌ විය යුතුයි ඔය තරුණ ප්‍රේතිය. පෙර ජීවිතයේ දේශපාලනඥයින් ඇසුරු කළ පුරුද්දට ප්‍රේත ලෝකයේදීද ප්‍රේත ඇමැති සමග මිත්‍රවීමට ඇය උත්සහගනී. එහෙත් ඇයගේ කළු ස්‌වභාවය නිසා ප්‍රේත ඇමැතිද ඇයව මායිම් නොකරයි. මේ දෙදෙනා පෙර මනුෂ්‍ය ජීවිතයේදී එකට මුණගැසුණු අය නොවේ. ඇය කළුම කළු ප්‍රේතියක්‌ වූයේ පෙර ජීවිතයේ අහංකාරව අනුන් පහත්කොට සැලකීම නිසා විය යුතුය. ඇය ප්‍රේත ලෝකය තුළදී හිමි, බලාපොරොත්තු කඩවීම සහ දුකමය. ඇය තුළ වැඩෙන්නේද වෛරය සහ ක්‍රෝධයයි. අවසානයේ නිරයට වැටීමයි. ඉහත කථාවෙන් කියවෙන සතර අපායේ අතිබිහිසුණු ත්‍රස්‌තවාදයෙන් මිදීමට ඔබ තවම ප්‍රමාද නොමැත. එය මනුෂ්‍ය ලෝකයේ යුද්ධ දිනනවාක්‌ මෙන් අපහසුද නැත. එහෙත් මොකක්‌දෝ පුංචි කඩුල්ලක්‌ ඔබ ඉදිරියේ මාර්ගය අහුරා ඇත. එම පුංචි කඩුල්ල ඔබව සංකීර්ණවූ ලෝකයේ සිරකරුවෙක්‌ කර ඇත. එම පුංචි කඩුල්ල වෙන කිසිවෙක්‌ නොව ‘මම’ ය. මමත්වයේ දැඩිභාවයමය. මමත්වයේ දැඩිභාවය යනු සතර අපායේ කිරීමවයි.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s