47-සැපයෙන් එහා ගිය නිදහස්‌වීමක හිමිකරුවෙකි ඔබ

2013-09-29
විඤ්ඤාණධාතුවේ ආධිපත්‍යයට නතුවී ජීවත්වන ලෝකයේ බහුතරයක්‌ ජනතාව අදහන ආගම්වල දෙවියන් බ්‍රහ්මයන් තමන්ගේ ගැලවුම්කරුවන් ලෙස දකිනවා. එම පිංවතුන් එහෙම කියන එක සාධාරණයි. මොකද එම ආගම්වල ශාස්‌තෘවරුන් ආගම් නායක උතුමන් පූජක උතුමන් බ්‍රහ්ම දිව්‍ය සංඥාවලින් ඔබ්බට ගිය පිංවත් පිරිසක්‌ නොවේ. ඒ නිසා ඒ අය දිව්‍ය සැප රූපී අරූපී බ්‍රහ්ම සැප උපාදානය කොටගත්තා. ඉන් ඔබ්බට යන්න ඒවායේ අනිත්‍ය දකින්න එම පිංවතුන්ට හේතු සකස්‌ උනේ නැහැ. ඉහත සැප කෙරෙහි ඇති කරගත් ඡන්දරාගය නිසා එම පිංවතුන් දිව්‍යතල බ්‍රහ්මතලවල කොටුවුණා හිරවුණා. එහි ප්‍රතිඵලය නැවත භවයක්‌ සකස්‌වීමයි. ඒ කියන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ වල හිමිකරුවන් වීම. ලෝකයේ යම් පුරුෂයෙක්‌, ස්‌ත්‍රියක්‌ දෙවියෙක්‌ ළඟට බ්‍රහ්මයෙක්‌ ළඟට යන්න ප්‍රාර්ථනා කරනවා නම් ඔහු ප්‍රාර්ථනා කරන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණවලින් යුත් භවයක්‌. මෙහි භයානක කම වන්නේ මොවුනට ලැබෙන්නේ මිථ්‍යදෘෂ්ටික භවයක්‌ වීමයි. අප බෝධිසත්වයන් වහන්සේද සංසාරයේ අනන්තවත් මිථ්‍ය දෘෂ්ටිකව ඉපදිලා තිබෙනවා. මේ යථාර්ථය ලොව්තුරා බුදුරජාණන්වහන්සේ සම්මා සම්බුද්ධ ඥානයෙන් දැක්‌ක නිසයි දෘෂ්ටින් හැටගණනාවක්‌ තිබුණ ඉන්දියාවේ මේ සෑම දෘෂ්ටියකටම එහි නිර්මාතෘවරුන්ට කරුණාව, මෛත්‍රීය දැක්‌වුවේ. අපටත් කරුණාව, මෛත්‍රීය දක්‌වන්න උගැන්නුවේ. මේවා ලෝකයේ ස්‌වභාවය. ලෝකයේ බහුතරයක්‌ පිංවතුන් දිව්‍යතල, බ්‍රහ්මතල උපාදානය කරගැනීම සාධාරණයි. මන්ද දිව්‍ය, බ්‍රහ්ම සංඥාවලින් ඔබ්බට ගිය ලෝකය එම පිංවතුන් නොදැක්‌ක නිසා. ඒක එම පිංවතුන්ගේ වරදක්‌ නොවේ. එයත් ජයග්‍රහණයක්‌. නමුත් මේ ජයග්‍රහණයේ ආශ්වාදය කෙලවර වන්නේ දුකෙන්. ඒ ඔවුන් සතර අපායෙන් නොමිදී ඇති නිසා.

මනුෂ්‍යයා ආශ්‍රිතව ජීවත්වන සතරඅපායෙන් නොමිදුනු දෙවිවරු භික්‍ෂුන්ට අරමුණුවී ඇත. මේ දිව්‍යතල බ්‍රහ්මතලවලින් නවතින කථාවක්‌. ඉන් ඔබ්බට ගිය දර්ශනයක්‌ මේවායේ නැහැ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මේ දිව්‍යතල බ්‍රහ්මතල ඉක්‌මවා ගොස්‌ ලෝකයෙන් එතෙරවන මාර්ගය දේශනා කළ ශාස්‌තෘන්වහන්සේ නමක්‌. ගෞතම බෝධීසත්වයන් වහන්සේ ජයශ්‍රීමා බෝධිමූලයේදී ඔය දිව්‍යතල බ්‍රහ්මතල සැපයන්ට මුලාවුණේ නැහැ. වසවර්ති මාරයාගේ මාර දූවරුන් නොඑක්‌ කාමාභිනන්දන රැඟුම් දර්ශන ඉදිරිපත් කරමින් මෙම දිව්‍යතල බ්‍රහ්මතල සශ්‍රික බව සැපය ගැන විසිතුරු පෙන්නුවද උන්වහන්සේ ඒවාට මුලාවුණේ නැහැ. උන්වහන්සේ සෑම දිව්‍ය, බ්‍රහ්ම තලයක්‌ම ප්‍රඥාවෙන් පීර පීරා බැලුවා. යම්තැනක හෝ ඉඳිකටු තුඩක්‌ ගැසීමට තරම්වත් ප්‍රමාණයේ නිත්‍ය සැපයක්‌ තිබෙනවාද කියලා. උන්වහන්සේ ප්‍රඥාවේ ඥානදර්ශනයන් ලබමින් අවබෝධ කළා මේ සියල්ල අනිත්‍ය බව. ජාති, ජරා, ව්‍යාධි, මරණවල තෝතැන්නක්‌ බව. සියලු ලෝකයන්ගේ අනිත්‍යභාවය ප්‍රඥාවෙන් අවබෝධ කර මේවාට ඇති කැමැත්තෙන් මිදෙන විට සිත පිහිටන්න උන්වහන්සේට වෙන තැනක්‌ තිබුණේ නැහැ. ඒ සිත නැවතුනේ ලෝකයෙන් එරෙහි වුණ නිවන අවබෝධය තුළමය.

ඉහත සටහනට උපකාර වශයෙන් භික්‍ෂුවක්‌ සමාධියෙන් පසුවෙන විට දුටු දර්ශනයක්‌ මෙහි සටහන් තබනවා. භික්‍ෂුවක්‌ සිංහරාජයට යාබද ආරණ්‍යයකට පැමිණි දෙවැනි දින රාත්‍රියේ සමාධියෙන් පසුවෙද්දී භික්‍ෂුව ඉදිරියේ හැඩිදැඩි අඩි හයාමාරක්‌ පමණ උසැති හොඳින් මස්‌පිඬු තදින් පිහිටි තේජස්‌ සහිත ව්‍යායාම කළ ශරීරයක්‌ සේ ශක්‌තිමත් ශරීරයක්‌ සහිත දිව්‍යරූපයක්‌ දර්ශනය වුණා. සුදු අත්කොට කමිසයක්‌ සහ සුදු සරමක්‌ ඇඳගෙන සිටියා. ප්‍රභාෂ්වර, දිලිසෙන සුදු පැහැයක්‌ ඇඳුමේ තිබුණා. ලා කහ පැහැති ප්‍රසන්න මනබදනා රූපයක්‌. ඔහු භික්‍ෂුව දෙස නොසෙල්වී සෘජුව විනාඩි තුනක්‌ පමණ නිහඬව බලාසිට නොපෙනී ගියා. මේ දිව්‍යරූපය කාගේද කියන්න භික්‍ෂුව දන්නේ නැහැ. නමුත් එකක්‌ විශ්වාසයි. මේ කන්දට ආරණ්‍යයට අධිපති අල්පේශාඛ්‍ය දෙවියෙක්‌ බව. භික්‍ෂුව මේ ආරණ්‍යයට ආගන්තුක නිසාත් මෙවැනි දිව්‍ය ස්‌වභාවයන් මීට පෙර ආරණ්‍යයේ කිසිවෙක්‌ දැක නොතිබු නිසාත් මෙම දිව්‍යබලය කවරෙක්‌ද යන්න භික්‍ෂුව දන්නේ නැහැ.

සතියක්‌ පමණ ගත වෙද්දී උදෑසන 4.30 ට පමණ භික්‍ෂුව පිටුපස විශාල ආලෝකයක්‌ හැටියට ද දිව්‍ය ආලෝකයක්‌ පැමිණියා. මෙම ආලෝකය බස්‌ රථය ඉදිරි ප්‍රධාන විදුලි ලාම්පුව තරම් විශාල ආලෝකයක්‌. එහෙත් මොහොතකින් මෙම ආලෝකය අතුරුදන්වීම නිසා මෙම ආලෝක වශයෙන්ද පැමිණියේ ඉහත දිව්‍යස්‌වභාවයම බව භික්‍ෂුව අනුමාන කරයි. අවශ්‍ය විටක මනුෂ්‍ය ස්‌වරූපයේ සියුම් ස්‌වභාවයනුත් අවශ්‍ය විටක ආලෝකයක ස්‌වභාවයනුත් පෙනී සිටීමට මෙම දෙවිවරුන්ට හැකියාව ඇතැයි ඉහත සිද්ධියෙන් භික්‍ෂුව අනුමාන කරයි.

ඉහත ආරණ්‍යයේ සති දෙකක්‌ පමණ වැඩසිටියදී දිනක්‌ දහවල් දානය පූජා කළ පිරිස පිංඅනුමෝදන් කිරීමට අවශ්‍ය අයගේ නම් කොළ කැබැල්ලක සටහන් කළ නායක ස්‌වාමීන් වහන්සේ අතට දුන්නා. මෙහි සඳහන් වෙනවා මියගිය අම්මා, තාත්තාගේ නම් සහ වීදියබණ්‌ඩාර සෙනවිතුමාට පිං පිණිසයි කියලා. අන්න ඒ අවස්‌ථාවේ භික්‍ෂුව සොයල බැලුවා කවුද මේ වීදියබණ්‌ඩාර සෙනවිතුමා කියලා. මේ ආරණ්‍යයේ පිහිටි ගල්පර්වතයේ තමයි අතීතයේ වීදියබණ්‌ඩාර සෙනවිතුමා තම හේවාබලඇණි සමග පලා ඇවිත් කඳවුරු බැඳගෙන තිබෙන්නේ. මේ ගමේ සමහරු එම හේවා භටයින්ගෙන් පැවතෙන අය. ඒ නිසා මොවුන් වර්තමානයේදීත් සෙනවිතුමා සිහි කරලා පිං දෙනවා. මේ කරුණු ටික ඇසෙනවිට භික්‍ෂුව අනුමාන කළා ඉහත ප්‍රතාපවත් දිව්‍ය ස්‌වභාවය සහ දිව්‍ය ආලෝකය වීදියබණ්‌ඩාර සෙනවිතුමාගේ පරලොව දිව්‍ය ජීවිතය බව. එම සෙනවිතුමා ජීවත්ව සිටි ස්‌වරූපයේ රූපයට සමාන ප්‍රතාපවත් රූපයක්‌ සහිත සම්‍යදෘෂ්ටික අල්පේශාඛ්‍ය දෙවියෙක්‌ ලෙස ආරණ්‍යය පිහිටි කඳුපංතිය උපාදානය කරගෙන ජීවත්වෙනවා විය හැකියි.

දැන් අපි බලමු මේ දිව්‍ය ස්‌වභාවය ඇයි මේ කඳුගැටය උපාදානය කරගෙන මෙහි ආරක්‍ෂක දෙවියෙක්‌ වශයෙන් ජීවත්වෙන්නේ කියලා. එයටත් අනුමාන වශයෙන් හේතුවක්‌ භික්‍ෂුවට දැනගන්නට ලැබුණා. ඒ තමයි මේ කඳුපංතියේ යම් ආරක්‍ෂිත ස්‌ථානයක ආභරණ සහිත නිධානයක්‌ ඇතැයි කියන විශ්වාසය. මෙය ඇත්තක්‌ නම් මෙම ආභරණ නිදන් කරන්නට ඇත්තේ පරාජයවීමකදී හෝ පලායාමකදී ඒවයේ ආරක්‍ෂාවට වීමට පුළුවන. මැරෙන මොහොතේදී ඒවා කෙරෙහි ඇතිවූ ජන්දරාගයන් නිසා සෙනවිතුමා මරණින් මතු ආරක්‍ෂක දෙවියෙක්‌ ලෙස මෙම කඳුපංතිය උපාදානය කර උපත ලැබුවාද විය හැකියි.

දිව්‍යජීවිත ගත කළද මේ සියල්ලෝම ජාති, ජරා, ව්‍යාධි, මරණ සමග ලෝකය තුළම ජීවත්වන්නේය. සමහරවිටක මේ අය ඔබට ලෞකික වශයෙන් උපකාරයන් කළ හැකිය. නමුත් මේ කිසිවෙකුට අන් අයෙකුට සසරදුකින් මිදීම සඳහා පිහිට විය නොහැක. මන්ද තමාද භවය උපාදානය කරගෙන ජීවත්වන නිසාය.

ඉහත දිව්‍ය ස්‌වභාවයන් සශ්‍රික දිව්‍යලෝකවල ජීවත්වන දිව්‍ය ස්‌වභාවයන් නොවේ. යම් යම් කැමැත්තන් කෙරෙහි චන්දරාගය ඇතිකරගෙන ඒවා නිත්‍යභාවයෙන් ගැනීම නිසා මනුෂ්‍ය ලෝකයේම මනුෂ්‍යයන් ඇසුරේ පිරිසිදුභාවයෙන් ජීවත්වන දෙවිවරුන්ය. ලොව්තුරු බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෝකයාට ස්‌ථීර සැප ඇති තැනක්‌ මේ ලෝකධාතුව තුළ නැතැයි පැහැදිලිව දේශනා කර ඇත. හේතුඵල ධර්මයන් නිසා සකස්‌ වුණ නිරතුරුවම අනිත්‍යභාවයට පත්වෙන ලෝකය උන්වහන්සේ ප්‍රඥාවේ අවබෝධයෙන් අභිබවා ගියහ. කවදාහරි දිනයක ඔබත් මමත් අපේක්‍ෂා කරන නිවීම තුළද ඇත්තේ සැපයක්‌ නොව නිදහස්‌වීමක්‌මය. නිදහස ලබන්නේ දුක සහ සැපය යන දෙකින්මය. ලොව්තුරා සම්මාසම්බුද්ධ ඥානයෙන් අවබෝධ කර වදාළ මේ යථාර්ථය අන් දෘෂ්ටින් සමග කෙසේනම් සසඳන්නද? ගලපන්නද? ඉහත දෘෂ්ටින් සතර අපායවල් ඉක්‌මවා නොගිය ස්‌වභාවයක්‌ය. එහෙත් මේ සටහන කියවන ඔබ සැබෑම වාසනාවන්තයෙකි, දක්‍ෂයෙකි. සතර අපායෙන් මිදීමේ මාවත පිංවත් ඔබලාට තවම විවෘතය. සමහරවිට පිංවත් ඔබ දැනටමත් අවබෝධාත්මක සතර අපායෙන් එතෙරවූ දක්‍ෂයෙක්‌ වීමටද එම මාර්ගයේ ගමන් කරන අයෙක්‌ වීමටද පුළුවන. සැබවින්ම ඔබ එසේනම් කෝටි ප්‍රකෝටි ගණන් මිනිසුන් අදහන දෙවියන් බ්‍රහ්මයන්ට වඩා ඔබ වැඳුම් පිදුම් ලැබීමට සුදුස්‌සෙකි. අන්‍යයන්ට මාර්ගය කියාදීමට සැබෑම ලොව්තුරු බුද්ධ වචනයම, අර්ථයම කියාදෙන කළ්‍යාණ මිත්‍රයෙක්‌ වීමට සුදුස්‌සෙකි.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

46-විද්‍යාවෙන් නොපෙනෙන ප්‍රඥාවේ විද්‍යාව

2013-09-20
භික්‍ෂුවක්‌ එක්‌තරා කැළෑබද ආරණ්‍යයක වැඩ සිටියදී, සමාධියෙන් පසුවන විට විඤ්ඤාණ ධාතුවේ ප්‍රවේගකාරී බව පිංවත් ඔබට මැනවින් අවබෝධ කරගැනීමට හැකි ධර්මතාවයක්‌ දර්ශනය වුණා. ඒ තමයි ඕපපාතිකව උපත ලබන යක්‍ෂයකුගේ ඉපදීම, එසේත් නැතිනම් පහළවීම.

පිංවත් ඔබ මවකට දරුවෙක්‌ බිහිවන හැටි, තිරිසන් සතෙක්‌ විසින් පැටවෙක්‌ බිහිකරන සැටි. කිකිළියෙක්‌ බිත්තර දමන හැටි දන්නවා. නමුත් මේ ජීවිතය සකස්‌වීම සඳහා මුල් හේතුකාරණය වූ සංස්‌කාර හේතුවෙන්, කර්ම ශක්‌තිය, විඤ්ඤාණය කොයි ආකාරයෙන් ද ඕපපාතිකව බ්‍රහ්මයෙක්‌, දෙවියෙක්‌, යක්‍ෂයෙක්‌, ප්‍රේතයෙක්‌, තිරිසන් සතෙක්‌ උපදින්නේ, මව්කුස ඇති කලල රූපයට කොහොමද විඤ්ඤාණය බැසගන්නේ කියලා දැකලා නැහැ. එය පියවි ඇසෙන් දකින්නත් බැහැ. අවිද්‍යාවක්‌ම වූ පෘතග්ජන ලෝකය විසින් ‘විද්‍යාව’ ලෙසින් හඳුන්වන දෙයටත් බැහැ. ප්‍රඥාවේ විද්‍යාවෙන් පමණයි එය දැකිය හැක්‌කේ. සමාධිය ප්‍රගුණ කළ සිතකින් පමණක්‌ දැකිය හැකි විෂයක්‌මයි. මොකක්‌ද මේ විඤ්ඤාණය කියන්නේ? එහි හැඩය, වර්ණය, ස්‌වරූපය හැසිරීම් රටාව මොකක්‌ද? අපි මේවාට පිළිතුරු දකින්න හරි කැමතියි.

මේවා නිසාම නොයෙක්‌ දෘෂ්ඨිවල බැඳෙන්නත් හරිම කැමතියි. මේවා ගැන නොදැනීම නිසා සිදුකරගන්නා අකුසල්ද අප්‍රමාණයි. යක්‍ෂයාගේ ඕපපාතික පහළවීමේදී භික්‍ෂුවට මුළින්ම දර්ශනය වුණේ වේගයෙන් භ්‍රමනය වන සුළං සුළියක්‌. මෙය හරියට දිය සුළියක ස්‌වභාවයෙන් වේගයෙන් භ්‍රමනය වුණා. පොළොවේ සිට අඩි 6ක්‌ පමණ ඉහළින් මෙම සුළිය ඇති වුණේ. මේ සුළං සුළියේ වේගය, ප්‍රවේගය කිසිදු යන්ත්‍රයකින් මැනිය නොහැකි තරම් අති ප්‍රවේගකාරියි. මෙම වේගය විසින් යක්‍ෂ රූපය නිර්මාණය වුණා. දැන් භික්‍ෂුව ඉදිරියේ සිදුවූ වේගවත් ක්‍රියාවලිය නිමාවී කළු පැහැති යක්‍ෂ රූපයේ කඳ කොටස පැහැදිළිව දර්ශනය වුණා. සියල්ල සිදුවීමට තත්පර දහයකට වඩා ගියේ නැහැ. මේ වේගය ඔබ සමාධිය තුළින්ම දැකිය යුත්තක්‌. මෙහිදී භික්‍ෂුවට දර්ශනය වූයේ ඕපපාතිකව උපත ලද යක්‍ෂයාගේ කඳ කොටස පමණයි. බෙල්ලෙන් ඉහළ කොටස ඒ මොහොතේ පහළවුණේ නැහැ. කළු පැහැති අඩි 7ක්‌ පමණ උසැති හැඩි දැඩි යක්‍ෂ රූපයේ කය සහ මනස පහළවීම,ඉපදීම එම මොහොතේ සිදුවූව ද, ඇස, කන දිව, නාසය ඒ මොහොතේ පහළවුණේ නැහැ. මේ යක්‍ෂයාගේ පෙනුමෙන් භික්‍ෂුව අනුමාන කළේ මොහු සම්‍යදෘෂ්ඨීක යක්‍ෂයෙක්‌ බවයි. භික්‍ෂුව අනුමාන කළේ ප්‍රේත ජීවිතයක්‌ ගතකරමින් සිටි පිංගැනීමට හැකි ප්‍රේතයෙක්‌. භික්‍ෂූන්වහන්සේලා නිතිපතා අනුමෝදන් කළ පිං අනුමෝදන්ව ප්‍රේත ජීවිතයෙන් අතමිදී, ආරණ්‍ය ආරක්‍ෂක සම්‍යදෘෂ්ඨීක යක්‍ෂයෙක්‌ ලෙස උපත ලද බවයි. ප්‍රේතයාගේ සිතේ ඇති වූ අවසාන චුති සිත, ඊට කැමති උපාදානය තුළ බැසගත්තා. නව යක්‍ෂ ප්‍රතිසංධිය සකස්‌ වෙන මොහොතේ එම සිත අනිත්‍යභාවයට පත්වෙනවා මොකද එම සිත ක්‍රියාත්මක වී අවසන්. ඒ ක්‍රියාත්මක භාවයම තමයි භික්‍ෂුව දැක්‌කේ එම චුතිසිත ක්‍රියාත්මක භාවයට පත්වී අනිත්‍යවනවිට යක්‍ෂයාගේ කය හෝ මනස බාහිර රූප සමග පස්‌සවීමෙන් නැවත නැවත සිත් සකස්‌ වෙනවා භික්‍ෂුව සමාධියෙන් මෙතනදි අත්දැක්‌කේ ඕපපාතික සත්වයෙක්‌ මරණයට පත්වෙන විට සකස්‌ වුණ අවසාන සිත ඊට උපාදානය වු කර්මයට අනුරූපීව සකස්‌ වුණ කර්මශක්‌තිය ‘සංස්‌කාර පච්චයා විඤ්ඤාණා’ කියන ධර්මතාවයට අනුවයි මේ උපත සකස්‌වුණේ. දැන් මොහු ජීවමාන යක්‍ෂයෙක්‌. මෙතනදි භික්‍ෂුවට ඉතාමත් පැහැදිලිව අරමුණුවුණා විඤ්ඤාණ ධාතුව හැඩයක්‌ වර්ණයක්‌ ඇති රූපයක්‌ නොවේ. විඤ්ඤාණ ධාතුව වශයෙන් භික්‍ෂුව දැක්‌කේ අති ප්‍රවේගකාරී වේගයක්‌ පමණකි. වේගය නිසාම එතන ශක්‌තියක්‌ ගැබ්වෙලා තිබෙනවා හරියටම සුළංසුළියක්‌ වගේ වේගයෙන් භ්‍රමණය වෙමින් යක්‍ෂ රූපය නිර්මාණය වුණා. මේ මොහොතේ මේ සිද්ධිය මතකයට එනවිට භික්‍ෂුවට සිනහාවක්‌ පහළවෙනවා. මොකද මෙතන ගතයුතු චන්ද රාගයෙන් උපාදානයකරගත් කිසිවක්‌ තිබුණේ නැහැ. වේගයක්‌ පමණක්‌මයි තිබුණේ. මේ වේගය කියන්නේ අනිත්‍යය. මේ අනිත්‍යය දකින පිංවතා විඤ්ඤාණයට බැඳෙන්නේ නැහැ. ඔහු අවබෝධයෙන් දන්නවා බැඳෙන දෙයක්‌ එතන නැහැ කියලා. අල්ලාගන්න ස්‌ථිරත්වයක්‌ එහි නැහැ කියළා. විඤ්ඤාණය කියන්නේ වීදුරු පෙට්‌ටියක්‌ තුළ, ගල්ගුහාවක්‌ තුළ, සීල් කරපු පෙට්‌ටියක්‌ තුළ, සිදුරක්‌ නැති කාමරයක්‌ තුළ කොටුකරන්න සිරකරන්න පුළුවන් දෙයක්‌ නොවේ. විඤ්ඤාණය කියන්නේ ධාතුවක්‌. එහි එකම ස්‌වභාවය වේගයෙන් අනිත්‍යභාවයට පත්වීමයි. එතකොට පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහා ධාතුවේ ස්‌වභාවයන් වේගයෙන් අනිත්‍යභාවයට පත්වීමයි. මේ ධාතූන් අනිත්‍යභාවයට පත්වීමේ වේගය තුළ, අවකාශ ධාතුවකුත් එහි සකස්‌ වෙනවා. මේ අවකාශ ධාතුව තුළින් විඤ්ඤාණ ධාතුව ඕනෑම රූපයක්‌ විනිවිද ගමන් කරනවා. අඩි 100ක්‌ ඝන කමැති ලෝහ කුට්‌ටි වලින් තැනූ සිදුරු නොමැති කාමරයක්‌ තුළට නිමේශයකින් ගමන් කිරීමට විඤ්ඤාණ ධාතුවට හැකිය. මොකද ලෝහ කුට්‌ටියද නිරතුරුවම අනිත්‍යයේ වේගයට නතුව තිබෙන නිසා.

අපේ සමාජයේ සමහර පිංවතුන් විශේෂයෙන්ම යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් කරන අයගේ මතයක්‌ තිබෙනවා ප්‍රේතයෙක්‌ , යක්‍ෂයෙක්‌ බෝතලයක සිර කර තැබිය හැකිය කියලා. තොවිලයක්‌ නටලා, රුපියල් දහස්‌ ගණනක්‌ වියදම් කරලා අමනුෂ්‍යයන්ව සිරකෙරුවා කියලා කට සීල් කරන ලද බෝතල් මුහුදට දමනවා ඔබ දැකලත් ඇති.

අමනුෂ්‍යයෙක්‌ කියන්නේ ඇස, කන, නාසය, දිව, මනස , ශරීරය කියන ඉන්ද්‍රියන් හයෙන් පරිපූර්ණ සත්වයෙක්‌. එම ශරීරයේ ඝණභාවයක්‌ නැහැ. සියුම් ශරීරයකුයි තිබෙන්නේ. මේ ඉන්ද්‍රියන් බාහිර රූප සමග ඵස්‌සය වීමෙන් අමනුෂ්‍යයින්ගෙත් පංච උපාදානස්‌කන්ධය සකස්‌ වෙනවා. අමනුෂ්‍යයා තුළත් කාය සංස්‌කාර, වචී සංස්‌කාර, මනෝ සංස්‌කාර සිද්ධවෙනවා. මෙවැනි අමනුෂ්‍යයෙක්‌ බෝතලයක්‌ තුළ සිරකෙරුවොත් අනිවාර්යයෙන්ම කාය සංස්‌කාර, ආශ්වාස-ප්‍රශ්වාස නොමැතිවීමෙන් පීඩා විඳිමින් මියයනවා. එහෙම මියගියා කියලා අවසාන වශයෙන් එම අමනුෂ්‍යයා තුළ සකස්‌වෙන චුති සිත විඤ්ඤාණය බෝතලය තුළ සිරවී තිබෙන්නේ නැහැ. බෝතලය කියන්නේ සතර මහා ධාතූන්ගෙන් සැදුන රූපයක්‌. එහි ස්‌වභාවය වේගයෙන් අනිත්‍යභාවයට පත්වීමයි. ඒ අනිත්‍යයේ වේගය තුළින් විඤ්ඤාණ ධාතුව ගමන් කරනවා, උපාදානය සකස්‌ වුණ බැසගැනීම වෙත. මෙවැනි අවස්‌ථාවක අමනුස්‌සයා තමාව බෝතලයේ සිරකිරීමට කටයුතු කළ පුද්ගලයන් කෙරෙහි ද්වේශයක්‌ සකස්‌ කරගැනීම නිසා, වඩා නපුරු රෞද්‍රවූ ප්‍රේත යක්‍ෂ ජීවිතයක්‌ ලබන්න පුළුවන්. එම අයගෙන් පළිගැනීම උදෙසා. ඒක නිසා වෙන්න ඇති යන්ත්‍ර, මන්ත්‍ර ගුරුකම් කරන අයත්, එම මිථ්‍යාදෘෂ්ඨීක සේවාවන් ලබන අයත්, දියුණුවක්‌ නොමැති, පීඩාකාරී ජීවිත ගතකරන්නේ. මේවා තමාගේ මෝහය නිසා සිදුවන තත්ත්වයන්. මෙතැනදී වඩාත් බරපතළ තත්ත්වය නම් එවැනි අමනුෂ්‍යයෙක්‌ බෝතලයක්‌ තුළ සිරකොට මරාදැමීමේදී බරපතළ අකුසලයක්‌ද සිදුවීමයි.

පිංවත් ඔබ මෙහෙම සිතන්න. ඇමරිකාවේ ජීවත්වන ශ්‍රීලාංකිකයෙක්‌ සිටිනවා. මොහු රැකියාව සඳහා ඇමරිකාවේ ජීවත්වෙන්නේ මොහුගේ බිරිඳ, දරුවෝ ජීවත් වෙන්නේ ශ්‍රීලංකාවේ. විශාල දේපලක්‌ද මව්රටේ මොහුට තිබෙනවා. මොහු හදිස්‌සි අනතුරකින් ඇමරිකාවෙදී මියයනවා. මියයන මොහොතේ මොහු තුළ ඇතිවන්නේ බිරිඳ, දරුවන්, දේපල කෙරෙහි චන්ද රාගයක්‌. කුසල් සිතක්‌ මතුවුණේ නැහැ. දීර්ඝ කාලයක්‌ විදේශගතව සිටි නිසා කළ පිංකම් තිබුණේ නැහැ. ශීලයක පිහිටියෙත් නැහැ. එම නිසාම තෘෂ්ණාවෙන් තෙත් වුණ සිත ප්‍රේත ප්‍රතිසංධියක්‌ ලබනවා. තමන්ගේ බිරිඳ, දරුවන් , දේපල සහිත නිවසේම මේ ජීවිත මාරුව තප්පර දහයක්‌ තුළ සිදුවෙලා ඉවරයි. තප්පර දහයකට පෙර ඇමරිකාවේ සිටි මනුෂ්‍යයා ඊළඟ නිමේෂයේදී ශ්‍රී ලංකාවේ තම නිවසේ ප්‍රේතයෙක්‌. ඇමරිකාවේ මැරුණා කියලා පාර, මග, දිශාව සොයාගන්න අපහසුවුනේ නැහැ. එය තමයි විඤ්ඤාණ ධාතුවේ ප්‍රවේගකාරී විනිවිද ගමන් කිරීමේ ශක්‌තිය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විඤ්ඤාණය මැජික්‌කරුවෙක්‌ යෑයි උපමාකර ඇත්තේ මොනතරම් අර්ථයකින්ද? ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමකට හැර අන් කවරෙක්‌ මෙම මැජික්‌කරු හඳුනාගන්නද. චතුරාර්ය සත්‍ය ධර්මයන් ලෙස, පටිච්ච සමුප්පාද ධර්මයන් ලෙස උන්වහන්සේ දේAශනා කර වදාළ එම මැජික්‌ කරු නිරෝධය කිරීමේ මාර්ගය මොනතරම් නිරවුල්ද පැහැදිලිද අවබෝදාත්මකද. ඇසට නොපෙනෙන උපකරණයකට හසුනොවෙන විඤ්ඤාණ ධාතුවේ සියුම් ක්‍රියාකාරීත්වය ලෝකයේ නිර්මාණකරුවාය. මොහුගේ සූක්‍ෂමභාවය ලොව්තුරා සම්මා සම්බුද්ධ ගුණයෙන් අවබෝධකර ලෝකයාට පහදා දුන්නා මිස වෙන කව්රුන් කෙසේ නම් හඳුනාගන්නද? මෙම ඉහත කෙටි සටහන විඤ්ඤාණ ධාතුවේ ප්‍රවේගකාරී අනිත්‍යභාවය හඳුනාගැනීමට ඔබට ප්‍රයෝජනවත් වේවි. මෙම සටහනේ මුලින් සඳහන් කළ ඕපපාතික යක්‍ෂයාගේ උපතේදී එම යක්‍ෂයාගේ ඉපදීම සිදුවූයේ බෙල්ලෙන් පහළ කොටස්‌ පමණි. එසේ වූයේ ඇයිද යන්න භික්‍ෂුව නොදනී. එය අපට දැනගත හැක්‌කේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමකගෙන් පමණි. අපි කෙසේ නම් කියන්නද? නමුත් අපට මෙවැනි අනුමානයක්‌ කරන්න පුළුවන් මේ ආකාරයේ උදාහරණයකින්. මනුෂ්‍ය දුවකගේ මව්කුසක ගර්භාෂයේ තැන්පත්ව ඇති උකුණුහිසක්‌ තරම් කුඩා කලල රූපයට තමයි බාහිරින් පැමිණෙන විඤ්ඤාණය බැසගන්නේ එම කලල රූපයට විඤ්ඤාණය බැසගන්න අවස්‌ථාවේ එහි කන, නාසය, දිව, සකස්‌ වෙන්නේ සති හතරක්‌ පමණ ගතවෙලා. එතෙක්‌ කලල රූපයේ කායවිඤ්ඤාණය පමණයි කලල රූපයේ ක්‍රියාත්මක වෙන්නේ. මේ අනුසාරයෙන් බලනවිට ඉහත යක්‍ෂ උපතේදී සමහර විට ඇස, කන, නාසය, දිව පහළ වීම ඉතා කෙටි ප්‍රමාදවීමකින් සිදුවෙන්න පුළුවන් මෙය අනුමානයක්‌ පමණයි. කෙසේ වෙතත් භික්‍ෂුවට අරමුණුවු ඕපපාතික යක්‍ෂයාගේ කය සහ මනස පමණයි එම මොහොතේ පහළ වුණේ .

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

45-ලෝකය අයිති කාටද?

2013-09-15

භික්‍ෂුවක්‌ දකුණු ප්‍රදේශයේ ආරණ්‍යයක වැඩසිටින විට වන්දනාවේ පැමිණි මැදිවියේ දායක මහත්මයෙක්‌ ප්‍රශ්නයක්‌ ඇසුවා ‘හාමුදුරුවනේ ලෝකය අයිති දෙවියන්ටද? බ්‍රහ්මයාටද?’ කියලා. එවිට භික්‍ෂුව ඔහුගෙන් විමසුවා ‘මහත්මයා මොකද මේ ලෝකයේ මැවුම්කරු සොයන්නේ?’ කියලා. එතකොට ඒ මහත්මයා කියනවා ‘හාමුදුරුවනේ, ජීවිතේ මතක තිබෙන දවසේ පටන්ම මම ප්‍රශ්නයක්‌ සමගයි ජීවත් වුණේ. සෑම දේවාලයකටම ගියා, සෑම පන්සලකටම ගියා. ප්‍රශ්න වැඩිවුණා මිසක්‌ අඩුවක්‌ නම් සිදුවුණේ නැහැ’ය කියලා. ‘කියලා කියලා දැන් මගේ ප්‍රශ්න කියන්න වෙනකෙනෙක්‌ නැහැ. ඒ නිසා මම ඔබ වහන්සේගෙන් විමසන්නේ? කාගෙන්ද මම පිළිසරණක්‌ පතන්නේ?’ කියා ඔහු විමසුවා. හරිම ආවේගශීලී බවකින් නැගෙන ප්‍රශ්නයක්‌.
කාටද මම මේ දුක පිළිබඳ අවනඩුව කියන්නේ? කවුද ලෝකයේ අයිතිකරු? කවුද මේ දුක මට දුන්නේ?

මේ පිංවත් මහත්මයා අසන ප්‍රශ්නයයි.

භික්‍ෂුව ඇසුවා ඔබ ඇයි මේ පුදබිමට පැමිණියේ කියලා. ඔහු කියනවා බෝධීන් වහන්සේට චෛත්‍යරාජයාණන් වහන්සේට භාරයක්‌ වන්න කියලා. ඒ වෙලාවේ භික්‍ෂුව ප්‍රකාශ කළා ‘මහත්මයෝ, ලෝකය කව්රුත් මැවුවේ නැහැ. ඔබතුමාගේ ප්‍රශ්න වෙන කව්රුවත් ඇතිකළේත් නැහැ. ඔබ විසින්ම සසර කරන ලද අකුසල් හේතුවෙන් ඔබ ලබන ඵලය තමයි ඔය බලාපොරොත්තු කඩවීම’ කියලා. මේ ප්‍රශ්නය සමාජයේ හුඟ දෙනෙකුට තිබෙනවා. සමහර දරුවො දෙමාපියන්ට චෝදනා කරනවා. දෙමාපියෝ දරුවන්ට චෝදනා කරනවා, බිරිඳ ස්‌වාමි පුරුෂයාට චෝදනා කරනවා. සමහරු රජයට චොදනා කරනවා. ඔබ නිසාය මට මේ දුක කියලා. අතීතයේ යම් දවසක අනුන් නිසාම තමයි ඔබ මේ දුකට හේතුවනම් සකස්‌කරගත්තේ. තමන්ගේ සැපය උදෙසා තවත් කෙනෙකුට පීඩාකිරීමෙන් ඔබ ලබපු සැපය සෙවනැල්ලක්‌සේ පසුපසින් එනවා විපාක පිණිස. ඔබ මෙහෙම සිතන්න. පිංවත් අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි සිටිනවා. මේ දෙදෙනාම කළුපැහැතියි. ඒ කියන්නේ සමේ පැහැය කළුයි. මේ දෙදෙනාට දරුවෙක්‌ උපදිනවා දරුවාගේ පැහැයත් කළුයි. මේ දැරුවා ළමා වයසට පැමිණෙන කොට දෙමාපියන් කෙරෙහි ද්වේශයක්‌ ඇතිකරගන්නවා ඔය දෙදෙනා නිසා මමත් කළුවුණාය කියලා. මෙතැනදී දරුවා කළුපැහැති වුණේ අම්මා තාත්තාට කළු පැහැති සමක්‌ තිබුණ නිසා. එහි ජාන බලපෑම් හේතුවෙන්. නමුත් එවැනි කළුපැහැති සමක්‌ ඇති අම්මා කෙනෙකුගේ මව් කුසකට දරුවා බැස ගන්නේ දරුවා පෙර ජීවිතයේ කරන ලද අකුසල කර්මයක්‌ නිසා. ඊට විපාක වශයෙන්. පෙර ජීවිතයේදී දරුවා ද්වේශය වඩන්න ඇති. පරවුණ මල් බුදුසමිඳුන්ට පුජාකරන්න ඇති. මෙවැනි හේතූන් නිසා අවලස්‌සනව ඉපැදීමට හේතු සකස්‌වෙමින් සම කළු පැහැති දෙමාපියන්ට දාව ඉපදුණා. මේක දෙමාපියන්ගේ වරද නොවේ. තමාගේ කර්ම විපාකය. සුදු පැහැති අම්මා කෙනෙක්‌ට දාව සුදු පැහැති ලස්‌සන දරුවෙක්‌ උපදිනවා. එම අම්මාගේ මව්කුසට දරුවා බැසගන්නේ කුසල විපාකයක්‌ වශයෙන් වර්ණවත් සමක්‌ ඇති ලස්‌සන දරුවෙක්‌ ලෙස උපදින්න හේතු සකස්‌වී තිබුණ නිසා. ඒ හේතුව මෛත්‍රිය වැඩීම, සිල්වතුන්ට ගරුකිරීම, සුවඳ මල් පුජාකිරීම. ආසන වැලි මළු ඇමදීම. මෙවැනි කුසල් විපාකයන් ඉස්‌මතුවී එම සැප විපාක සකස්‌ වෙනවා. එතකොට මේ ස්‌වභාවයන් සකස්‌ වුණේ ඔබ කරගත්ත කුසල් අකුසල් නිසා මිසක්‌ අම්මා තාත්තා නිසා නොවේ. අම්මා තාත්තා පොහොසත් වත්කම් ඇති නිසාම නොවේ දරුවා පොහොසත් වෙන්නේ. එම දරුවා එවැනි සශ්‍රික ජීවිතයක්‌ ලැබීමට පෙර ජීවිතයේ සම්පූර්ණ කරගත් කුසල් තිබුණ නිසායි. ඊට අනුරූපීව පොහොසත් දෙමාපියන්ට දාව දරුවා උපදින්නේ. දෙමාපියන් දුප්පත් වුණාය කියලා සමාජයේ පොහොසත් අය සමග සංසන්දනය කරලා දුප්පත් දෙමාපියන්ට චෝදනා කරලා ඵලක්‌ නැහැ ‘අම්මා තාත්තා නිසා මම දුක්‌විඳිනවා’ කියලා. ඔබට සැප ලබන්න පෙර පිං අවම නිසයි ඔබ දුප්පත් මව්කුසක ප්‍රතිසන්ධිය ලබන්නේ. එම නිසා එම අහිංසක දෙමාපියන්ට චෝදනා කිරීම, දුක්‌දීම තව තවත් අකුසල් සකස්‌කරගැනීමක්‌. තමන්ට ලැබුණ දෙය තමන්මයි ලබාගත්තේ කියලා ධර්මානුකූලව ජීවිතයට ගලපාගන්න දක්‍ෂවෙන්න. අඩු තැන, වැරදුන තැන බලලා නිවැරදි කරගන්න.

ඔබේ ඔය දුක වෙන කව්රුවත් මැව්වා නොවේ. ලෝකය දෙවියන්ටවත්, බ්‍රහ්මයන්ටවත් අයිති දෙයක්‌ නොවේ. මොකද දෙවියොත්, බ්‍රහ්මයෝත් යම් මොහොතක තම දිව්‍ය බ්‍රහ්ම ජීවිත වලින් චුතව යනවා. තමාවත් තමාට අයිති නැති විට ඒ අය කොහොමද ලෝකයේ මැවුම්කරුවන් හිමිකරුවන් වෙන්නේ. එහෙම නම් කාටද ලෝකය ඇත්තටම අයිති?

ලෝකය අයිති සතර මහා ධාතූන්ටය. පඨවි, අපෝ, තේජෝ, වායෝ ඉහත ස්‌වභාවයන් හතර ද ලෝකයේ හිමිකරුවන්ය. නිරතුරුවම මහා ප්‍රවේගකාරී වේගයකින් අනිත්‍යභාවයට පත්වෙන සතරමහා ධාතුව ක්‍රියාත්මක භාවයට පත්කරන ක්‍රියාකරුවෙක්‌ ද සිටිනවා. ඒ තමා විඤ්ඤාණ ධාතුව. මේ විඤ්ඤාණ ධාතුවට බැසගැනීමට නම් අත්‍යවශ්‍යයෙන්ම රූපයක්‌ අවශ්‍යවෙනවා. විඤ්ඤාණයට බැස ගැනීමෙන් අනතුරුව සකස්‌වෙන නාම රූපයන්ගේ ස්‌වභාවයන් වේගයක්‌ම පමණයි. ඒ වේගය යනු අනිත්‍යභාවයයි. එසේ නම් මේ ලෝකධාතුව තුළ පරම හිමිකරු අන් කිසිවෙක්‌ නොව අනිත්‍යයයි.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

 

44 – ඔය කඩුල්ල පැනගන්න ඇයි බැරි?

2013-09-08
‘සතර අපායෙන් මිදෙමු’ – 44 කොටසඅප මහා පීඩාවක්‌ ලෙසින් ගත් උතුරේ පැවැති දශක තුනක ත්‍රස්‌තවාදයට වඩා සතර අපායේ කල්ප ගණන් පීඩා විඳින සතර අපායේ ‘ත්‍රස්‌තවාදය’ මොන තරම් භයානක වුවත් මිනිසුන් ඒ අතිභයානක තත්ත්වය ගැන නොසිතීම මහා අවාසනාවක්‌. සතර අපායෙන් මිදීමේ සැබෑ මග ධර්මය විසින් හොඳින් එළි පෙහෙළි කර පෙන්වා දී තිබියදීත් සතර අපායේ ත්‍රස්‌තවාදයෙන් නොමිදුනු අවාසනාවන්ත මහත්මයෙකුගේ නොපෙනෙන ලෝකයේ කථාවක්‌ භික්‍ෂුව මෙහිදී සටහන් කරනවා. ඔබගේ හිතසුව පිණිස. සතර අපායේ මිදීමේ ඔබේ උත්සහයට ශක්‌තියක්‌, ධෛර්යයක්‌ ලබාගැනීම උදෙසා.

දිනක්‌ භික්‍ෂුව හොරොව්පතාන ප්‍රදේශයේ පෞරාණික වනගත ආරණ්‍යයක වැඩසිටියා. එක්‌තරා දිනක රාත්‍රියේ සමාධියෙන් පසුවෙද්දී, රටේ තනතුරක්‌ දැරූ මහත්මයෙක්‌ රෝගීව සිට මියගොස්‌, සතර අපායට අයිති ප්‍රේත ලෝකයේ ප්‍රේත ජීවිතයක උපත ලබා සිටින අයුරු දර්ශනය වුණා. මේ ප්‍රේත මහත්මයාගේ රූපය විකෘති ස්‌වභාවයක්‌ තිබුණේ නැහැ. ඔහු මනුෂ්‍ය ලෝකයේ සිටියදී තිබූ රූපයේ ස්‌වභාවය සහිතවමයි ප්‍රේත ලෝකයේත් සිටියේ. ඔහු එහි දුක්‌ විඳින බවක්‌ බාහිරව පෙනුනේ නැහැ. ගුප්ත ස්‌වභාවයක්‌ මුහුණේ තිබුණා. ඇඳුම්, ආහාර වලින් හිඟ බවක්‌ පෙනුනේ නැහැ. විරූපී බවක්‌ද තිබුණේ නැහැ. මනුෂ්‍ය ලෝකයේ ජීවත්ව සිටියදී ගෙදරට අඳින සරම සහ කමිසයක්‌ සහිතවම තමයි ප්‍රේත ලෝකයේද සිටියේ. අපි මොහුට ‘ප්‍රේත ඇමැතිවරයා’ යෑයි කියමු.

මේ ප්‍රේත ඇමැතිවරයා භික්‍ෂුවට දර්ශනය වන විට, හොඳින් නඩත්තු කරන ලද ගෙමිදුලක්‌ අයිනේ වූ කාණුවක තබා තිබූ, ලීයෙන් තැනූ ඇඳි දෙකක්‌ සහිත පුටුවක තමයි වාඩිවෙලා සිටියේ. හොඳින් සිහියට ගන්න. මෙය කුණු කාණුවක්‌ නොවේ. තණකොල සහිත අලංකාර ගෙමිදුලේ කපන ලද කාණුවකි. කාණුව පතුල සමතලා ස්‌වභාවයක්‌ නොගත් නිසා මේ පුටුව කිසිම අවස්‌ථාවක සමබරව තිබුණේ නැත. නිරතුරුවම පුටුවේ කකුල් හතරෙන් තුනක්‌ පමණයි පොළොවේ ගැටී තිබුණේ. ඉතිරි කකුල පොළොවේ නොගැටෙන සමබර නොමැති ස්‌වභාවය නිසා ප්‍රේත ඇමැතිවරයා බරවෙන, බරවෙන පැත්තට පුටුව ඇලවෙයි. මොනම අවස්‌ථාවකවත් ප්‍රේත ඇමැතිතුමාට පුටුවේ සුවපහසුවෙන් හිඳගෙන සිටීමට අවස්‌ථාවක්‌ නොමැත.

මෙසේ අපහසුවෙන් හිඳගෙන සිටින ප්‍රේත ඇමැතිවරයා අසළ පෝලිමකි. එහි ප්‍රේතයෝ සහ ප්‍රේතියෝ හත්දෙනෙක්‌ පමණ තම වාරය එනතෙක්‌ බලා සිටිති. ඔවුන් එකිනෙකා ප්‍රේත ඇමැති හමුවට ගොස්‌ මොනවාදෝ කියයි. ප්‍රේත ඇමැතිවරයා මොනවාදෝ ලියයි. ඔහුගේ වැඩේම ලියන එකය. ඒ කියන්නේ ලියුම් දෙන එකය. මේ අවස්‌ථාවේදී මෙතැනට ප්‍රේතියන් දෙදෙනෙකු අලුතෙන් එක්‌වේ. එක්‌ ප්‍රේතියක්‌ වයස අවුරුදු 65 ක පමණ වයසක්‌ පෙනෙන සාරියක්‌ ඇඳගත් තැනැත්තියකි. අනෙක්‌ ප්‍රේතිය වයස අවුරුදු 30 ක පමණ පෙනුමක්‌ ඇති, අනෙක්‌ ප්‍රේතියගේ දියණිය වන් ස්‌වභාවයෙකිනුයි භික්‍ෂුව හඳුනාගත්තේ. මේ වයසක ප්‍රේතිය පෝලිමේ නොසිටම, ප්‍රේත ඇමැතිවරයා ළඟට පැමිණ මහා වේදනාත්මක අඳෝනාවක්‌ තබන්නට පටන් ගත්තා. ඇය තම ඇඟිලි වලින් තම දෑස්‌ විවෘත කර මෙන්න මේ විදිහට අඳෝනා තැබුවා. ‘අනේ මම ලියුම අරගෙන නගර සභාවට ගියා කණ්‌ණාඩි කුට්‌ටම ගන්න. නගර සභාවෙන් කියනවා මගේ කට ගඳයි, ඒ නිසා කණ්‌ණාඩි දෙන්න බෑ කියලා. කණ්‌ණාඩි දෙන්න නම් කටේ ගඳ නැති කරගෙන එන්නය කියලා. අනේ මගේ ඇස්‌ අන්ධවීගෙන එනවා. මට කණ්‌ණාඩියක්‌ ලබාදෙන්න’ කියලා ප්‍රේතිය, ප්‍රේත ඇමැතිවරයා ඉදිරියේ දුක්‌බර, වේදනාත්මක ලෙසින් හඬා වැටෙනවා. ඔබ හිතන්නකෝ, ඔබේ දෑස්‌ අන්ධවීගෙන එනවා නම් ඔබට මොනවාගේ දුකක්‌, වේදනාවක්‌ දැනෙයිද? ඒ භිය තමයි ප්‍රේතියට තිබුණේ. ඇයගේ කථාවෙන් පෙනෙන්නේ ඇය ඊට පෙරත් ප්‍රේත ඇමැති ගාවට ඇවිත් ලියුම් අරන් ගිහින් තියෙනවා කණ්‌ණාඩි ගන්න. ඒත් කටගඳ නිසා ඇයට කණ්‌ණාඩි ලැබිලා නැහැ. මේ සිද්ධිය වෙනකොටත් ප්‍රේත මව සමග පැමිණි අවුරුදු 30 ක පමණ පෙනුමැති උස, කළු, හීන්දෑරි ප්‍රේaත දුව පෝලිමේ සිටියා තම වාරය පැමිණෙන තුරු. ඇය හරිම ගුප්තයි. ඒ දර්ශනය එතැනින් නොපෙනී ගියා.

අපි දැන් කර්මය කර්මඵල වලට අනුව මේ සිද්ධිය ගලපා බලමු. මේ ගැලපීම භික්‍ෂුව කරන්නේ අනුමානයෙන්. ඔබ භික්‍ෂුවගේ අනුමානය වැරදි යෑයි දකිනවානම් ඔබේ අදහසට භික්‍ෂුව ඉඩදෙනවා.

මනුෂ්‍ය ලෝකයේ දරන ලද ඇමැති සැපයට ඇතිවූ තෘෂ්ණාව නිසා, සැප ලබන්න, සැප අයිතිකරගන්න තිබූ තෘෂ්ණාව නිසා, වින්ද සැපයෙන් නොසෑහුන නිසා, මැරෙණ මොහොතේ ඒවා කෙරෙහි ඇතිකරගත් ඡන්දරාගය නිසා ඔහු කැමති කළ ආකාරයට ප්‍රේත ලෝකයේ ප්‍රේත ඇමැතියෙක්‌ ලෙස උපත ලැබුවා. මේ ඇමැතිවරයා මනුෂ්‍ය ලෝකයේ ජීවත්ව සිටින විට ජනතාවට පරිත්‍යාගයෙන්, සමාජ සේවය – දන්දීම් ආදිය කළ නිසා ප්‍රේත ලෝකයේ ආහාර, ඇඳුම් පැළඳුම් වලින් අඩුවක්‌ නොමැතිව, විරූපී නොවූ ශරීරයක්‌ සහිතව ඉපදුනා. විරූපී නොවූ ශරීරයක්‌ ලැබීමට විශේෂ හේතුවක්‌ මොහු ක්‍රෝධය වෛරය වැඩියෙන් වඩපු අයෙක්‌ නොවීමයි. මොහු මනුෂ්‍ය ලෝකයේදී දන්දුන්නේ, සමාජ සේවය කළේ කර්මය කර්මඵල විශ්වාසයෙන් නොවේ. දේශපාලන ප්‍රයෝජනයන් සඳහායි. නිරතුරුවම හිතේ ක්‍රියාත්මක වුණේ තම දේශපාලන අනාගතය ශක්‌තිමත් කරගැනීමයි. කළ්‍යාණමිත්‍ර ඇසුරක්‌ නොමැතිකම නිසා, සැප සඳහාම හේතු කරගැනීමට තිබූ දේවල් දුක සඳහාමයි ප්‍රාර්ථනා කළේ.

මේ ප්‍රේත ඇමැතිවරයාට ලස්‌සන ගෙමිදුලක්‌ තිබුණත්, ඔහුට උරුමවෙලා තිබුණේ කාණුවක තැබූ, සමබර නොවූ පුටුවක්‌. මොහුගේ ප්‍රේත ජීවිත කාලය පුරාම, මොහුට අර ලස්‌සන ගෙමිදුලේ සමබර පුටුවක ඉඳගන්න ලැබෙන්නේ නැහැ. එය කර්ම විපාකයක්‌. කර්මය තමයි තමා ඇමැතිකම් දැරූ කාලයේ ගිහිපැවිදි ශිල්වතුන්ට, ගුණවතුන්ට ගරු නොකිරීම, ඔවුන් පහළ අසුන්වල වඩිකොට තමා උස්‌ අසුන්වල වාඩිවී සිටීම. ශිල්වතුන් ගරු නොකර ඔවුන් ඉදිරියේ රාජ තේජසින් හැසිරීම ආදිය. හැබැයි මේ ඇමැතිවරයා එක වරදක්‌ කරලා නැහැ. ඒ තමයි අනුනට, විරුද්ධවාදීන්ට අපහාස, අවමන්, චරිත ඝාතන කරලා නැහැ. එහෙම කරලා තිබුණානම්, ප්‍රේත ඇමැති පුටුව, පිහිටා තිබෙන කාණුව කුණු කාණුවක්‌, අසූචි කාණුවක්‌ වෙන්න තිබුණායෑයි භික්‍ෂුව අනුමාන කරනවා. වර්තමානයේ දේශපාලනයේ එල්ලකරගන්නා මඩ ප්‍රහාර, චරිත ඝාතන, අපහාස දෙස බැලීමේදී එවැනි දේ කිරීමට පෙර දෙවරක්‌ හිතාබැලිය යුතුයි ඒවායේ විපාකයන් ගැන. ඒ නිසා පිංවත් ඔබලාගේ පෙර පිනට ලැබුණු ඔය නිල-බල, රාජ තේජස්‌, තමාට වඩා ගුණයන්, ශීලයන් වඩන ගිහි පැවිදි පිංවතුන් ඉදිරියේ පරෙස්‌සමින් පරිහරණය කරන්න වගබලා ගන්න.යම් හෙයකින් ඔය ප්‍රේත ඇමැති පුටුව කාණුවෙන් ඔසවා ඔය ලස්‌සන ගෙමිදුලේ තැබුවොත් කර්ම විපාකය නිසා පුටුව ගිනි ගැනීමටද හැකිය. ඒ නිසාමයි ඔය ප්‍රේත ඇමැති තම ප්‍රේත ජීවිතය පුරාම කාණුවක තැබූ සමබර නොවූ අසුනක හිමිකරුවෙක්‌ වුණේ. මෙය හරියට මුත්‍රා අශුචි ගොඩේ කැමත්තෙන් දඟලන පුංචි ළදරුවෙක්‌ වගේ. එතැනින් ගොඩට එන්න එයාට දැනුමක්‌ අවබෝධයක්‌ නැහැ. ළදරුවා එය සැපක්‌ කරගෙනයි දකින්නේ.

ඔබ අහල ඇති සමහරු දේශපාලනයේදී කියනවා ‘මම මැරුණත් කොළ පාටයි, නිල්පාටයි, රතුපාටයි. මම කැපුවොත් කොළ පාටයි ජාති ජාතිත් නිල් පාටයි’ මේ වගේ දේශපාලනය මෝහයෙන් උපාදානය කරගත් පිරිසක්‌ රටේ සිටිනවා. තමන් මැරුනත් කොළ, නිල් පාටයි කියන අය මැරුණත් එම පාටම තමයි. භික්‍ෂුවට දර්ශනයවෙලා තිබෙනවා ඔය කොළ, නිල් කමිස ඇදපු ප්‍රේතයෝ. ඔය කණ්‌ණාඩි ඉල්ලා හඬා වැටෙන ප්‍රේතියත් ඔය ‘මම මැරුණත් කොළ පාටයි, නිල්පාටයි’ කියපු ජාතියේ ප්‍රේතියක්‌ තමයි. ඇයගේ කර්ම විපාකය තමයි මනුෂ්‍ය ලෝකයේ ජීවත්වෙනවිට ඇය දේශපාලන පක්‍ෂයක ප්‍රාදේශීය සංවිධායක වරියක්‌ ලෙස කටයුතු කරන්න ඇති. ඔබ දැකලා ඇති ඇමැති වරුන්ගේ අනුග්‍රහයෙන් කණ්‌ණාඩි බෙදාදෙනවා. මේවා බෙදාදෙන්නේ ප්‍රාදේශීය සංවිධායකයින්ගේ ලැයිස්‌තුවලට. මේ විදියට කණ්‌ණාඩි දෙන අවස්‌ථාවක ශීල්වත්, ගුණවත් කෙනෙක්‌ අවංකවම තමන්ගේ පෙනීම අඩුනිසා කණ්‌ණාඩි දෙකක්‌ ගන්න එනවා. එතකොට අර ප්‍රාදේශීය දේශපාලන සංවිධායිකාව කියනවා ඔයා අපට ඡන්දෙදීල නැහැ, පෙළපාලි යන්න ඇවිත් නැහැ, ඒ නිසා කණ්‌ණාඩි දෙන්න බැහැ කියලා. ඔබ අහල ඇති අවංකවම එවැනි අයට කණ්‌ණාඩි දෙන්නේ නැහැ, දරුවෙක්‌ පාසලකට ඇතුල්කර දෙන්නේ නැහැ, රක්‍ෂාවක්‌ දෙන්නේ නැහැ. මෙන්න මේ වැරදිවල කර්ම විපාක තමයි අර ප්‍රේතිය අත්විඳින්නේ. අත්‍යඅවශ්‍ය දෙයක්‌ උදෙසා තමා ළඟට එන කෙනාට, තමන් වෙනුවෙන් යුතුකම් ඉටුනොකළ බව පෙන්නා අවශ්‍යතාවය ඉටුනොකර සිටිනවා. කණ්‌ණාඩි දෙකක්‌ ගන්නයි ප්‍රේතිය නගර සභාවට යන්නේ. කර්මානුරූපව සකස්‌වුණු ස්‌වභාවයක්‌ අනුව ප්‍රේතලෝකයේ නගර සභාව කියනවා ඔබේ කටගඳ නිසා කණ්‌ණාඩි දෙන්න බැහැය කියලා. එය හරියටම ඡන්ද දායකයාට ඡන්දය නොදුන් නිසා කණ්‌ණාඩි දෙන්න බැහැ කියනවා වගේ. ප්‍රේතියගේ කටේ දුර්ගන්ධය නොයන්නේ ඇය මනුෂ්‍යලෝකයේ දේශපාලනය කළ කාලයේ අනුනට මුසාවාද, බොරු පොරොන්දු, මඩ ප්‍රහාර, චරිත ඝාතන කළ නිසා. එය තමයි කර්ම විපාකයේ ස්‌වභාවය. ඡන්දය නොදීම හේතුවක්‌ කරගනිමින් ජනතා උවමනාවන් ඉවත දමන දේශපාලන ක්‍ෂේත්‍රයේ නියෑලෙන්නන්ට මෙය හොඳ පාඩමක්‌. මේ ප්‍රේතිය තම ප්‍රේත ජීවිත කාලය තුළදීම, මේ විදිහට කණ්‌ණාඩි නොලැබීමේ වේදනාවෙන්, ඒ දුක අත්විඳිමින් පෙර කර්මයේ විපාක විඳිනවා. හැම තත්පරයකම ප්‍රේතිය තුළ වැඩෙන්නේ වෛරය, ක්‍රෝධය. මේ හේතුවෙන් ඇය තව තව අකුසල් සිදුකරගෙන අවසානයේ වැටෙන්නේ නිරයට.

ප්‍රේත මව සමග පැමිණි ඉතා කළු, හීන්දෑරි, සාරියක්‌ ඇඳගත් තරුණ ප්‍රේත දියණිය පෝලිමට පැමිණියේ ප්‍රේත ඇමැතිවරයා හමුවීමටය. භික්‍ෂුව ඇය හඳුනාගත්තේ පෙර මනුෂ්‍ය ජීවිතයේදී මැති ඇමැතිවරුන් ඇසුරු කළ කාන්තාවක්‌ ලෙසය. වර්තමානයේදීද මෙවැනි කාන්තාවන් මැති ඇමැතිතුමන්ලා ගැවසෙන තැන්වල ඔබ දැක ඇත. තමාගේ ඇමැති සම්බන්ධකම් නිසා මේ අය ගාම්භීරය. අහංකාරය. ඔය සමහර අය සිතන්නේ ‘ලොක්‌කට වැඩිය අරයා ඉදිමිලා’ කියලා. මෙන්න මේ ආකාරය උඬගුවුණු කෙනෙක්‌ විය යුතුයි ඔය තරුණ ප්‍රේතිය. පෙර ජීවිතයේ දේශපාලනඥයින් ඇසුරු කළ පුරුද්දට ප්‍රේත ලෝකයේදීද ප්‍රේත ඇමැති සමග මිත්‍රවීමට ඇය උත්සහගනී. එහෙත් ඇයගේ කළු ස්‌වභාවය නිසා ප්‍රේත ඇමැතිද ඇයව මායිම් නොකරයි. මේ දෙදෙනා පෙර මනුෂ්‍ය ජීවිතයේදී එකට මුණගැසුණු අය නොවේ. ඇය කළුම කළු ප්‍රේතියක්‌ වූයේ පෙර ජීවිතයේ අහංකාරව අනුන් පහත්කොට සැලකීම නිසා විය යුතුය. ඇය ප්‍රේත ලෝකය තුළදී හිමි, බලාපොරොත්තු කඩවීම සහ දුකමය. ඇය තුළ වැඩෙන්නේද වෛරය සහ ක්‍රෝධයයි. අවසානයේ නිරයට වැටීමයි. ඉහත කථාවෙන් කියවෙන සතර අපායේ අතිබිහිසුණු ත්‍රස්‌තවාදයෙන් මිදීමට ඔබ තවම ප්‍රමාද නොමැත. එය මනුෂ්‍ය ලෝකයේ යුද්ධ දිනනවාක්‌ මෙන් අපහසුද නැත. එහෙත් මොකක්‌දෝ පුංචි කඩුල්ලක්‌ ඔබ ඉදිරියේ මාර්ගය අහුරා ඇත. එම පුංචි කඩුල්ල ඔබව සංකීර්ණවූ ලෝකයේ සිරකරුවෙක්‌ කර ඇත. එම පුංචි කඩුල්ල වෙන කිසිවෙක්‌ නොව ‘මම’ ය. මමත්වයේ දැඩිභාවයමය. මමත්වයේ දැඩිභාවය යනු සතර අපායේ කිරීමවයි.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

44-උතුරේ ත්‍රස්‌තවාදයට වඩා භයානක ත්‍රස්‌තවාදයක්‌ ඔබ ඉදිරියේ ඇත

2013-09-01
තාවකාලිකව රට තුළ පැවති ත්‍රස්‌තවාදය පරාජය කිරීම හේතුවෙන් රට පුරා එල්ලා තිබූ බැනර්, තොරණ, පෝස්‌ටර්, දැන්වීම්, පිදූ ගෞරව සම්මාන, පැවත්වු ආචාර, ඇතිවු ඝෝෂාව, පුපුරාගිය රතිඤ්ඤා හඬ, දෙස බැලීමේදී වසර 30 ක්‌ තරම් කාලයක්‌ සමස්‌ත ජනතාව පීඩාවට පත්කළ ත්‍රස්‌තවාදය පරාජයට පත්කිරීම හේතුවෙන් ජනතාව මෙපමණ සතුටක්‌ ලැබුවානම්, ඔබට කල්ප ගණන් දුක, වේදනාව, ම්ලේච්ජත්වය, අවිචාරය, ගින්දර, යොධිය සමග දුක්‌විඳීමට සැලැස්‌වූ අතීතයේ ඔබ විඳි සතර අපායේ ත්‍රස්‌තවාදය ඔබ පරාජය කළහොත් මොනතරම් සතුටක්‌ ලබයිද?

වසර 35 ක පමණ කාලයක්‌ පමණක්‌ ඔබ විඳි මරණ බිය නැතිවීම හේතුවෙන් මේ තරම් සතුටුවෙනවා නම්, යුද්ධයේ දුක මේ තරම් කටුක ලෙස දැනී තිබුනා නම් ඒ සැබවින්ම ඔබ සතර අපායේ ඇති දුක ගැන නොදන්නා නිසාමයි.
උතුරේ යුද්ධයෙන් දිනන්න තරම්වත් උත්සාහයක්‌ සතර අපායෙන් මිදීම සඳහා නොගන්නේ රටත්, ජාතියත්, සම්බුද්ධ ශාසනයත් ඔබේ ග්‍රහණයේ තබාගත හැකි දෙයක්‌ බව නොදන්නා නිසාමයි. ඔබවවත් ඔබේ පාලනයේ තබාගත නොහැකිය. යුද්ධයක ජය පරාජය හැමදාම නිත්‍යභාවයේ තබාගත හැකි දෙයක්‌ද නොවේමය. මනුෂ්‍යයා තූළින්ම අවුළුවා ගන්නා යුද ගිනි මනුෂ්‍යයා විසින්ම නිවාදමයි. නිෂ්පාදකයාත් එම නිෂ්පාදනයෙන් දුකට පත්වන්නාත්, විනාශකරගන්නාත්, නිවා දමන්නාත් මනුෂ්‍යයාමය. මේවා උදෙසා ඔබලා රැස්‌කරගන්නා අකුසල් අපි පසුපසින් සෙවණැල්ලක්‌ සේ විපාකදෙමින් පැමිණෙනවාමය. යුදබිමකදී ඔබට යම් අනතුරක්‌ සිදුවුනොත් ඔබගේ උපකාරයට රජයක්‌ ඇත, වෛද්‍යසේවා ඇත, නොයෙක්‌ සමාජසේවා ආයතන ඇත. එහෙත් සතර අපායට වැටෙන සත්ත්වයාට ඒ දුක වේදනාව, කුසගින්න විඳීමට සිදුවන්නේ තනිවමය. කඳුළු පිසදැමීමට, ලේ පිසදැමීමට, බෙහෙත් දැමීමට, සුවදුක්‌ විචාරීමට සතර අපායේ සත්ත්වයාට කිසිවෙක්‌ නොමැත. හේ තනිවම අපාදුක්‌ විඳිය යුතුය.

මනුෂ්‍ය ලෝකයේ ත්‍රස්‌තවාදයට වඩා සතර අපායේ ත්‍රස්‌තවාදය අති බිහිසුණුය, තියුණුය, අතිදීර්ඝය. ඔබ සැබෑ ජයග්‍රාහකයෙක්‌ වන්නේ අනාගතයේ යම් දිනයක නැවත ඇතිවන යුද්ධයක්‌ ජයගැනීමෙන් නොව නිරතුරුවම ඔබට අත වනන සතර අපායේ යුද්ධයෙන් ඔබ ජයගතහොත් පමණක්‌මය.

මනුෂ්‍යයා යුද්ධය කරද්දී මාරයා සාමයට අත වනයි. මනුෂ්‍යයා සාමය උදාකරගනිද්දී මාරයා යුද්ධයට අත වනයි. යුද්ධයත් සාමයත් දෙකම මාරයාගේය. මේ දෙක අතර පරතරය මනුෂ්‍යයෙකුගේ සිතක්‌ අනිත්‍යභාවයට පත්වී තව සිතක්‌ හටගැනීමට ගන්නා කෙටි කාලයයි. ඒ කාලය තුළ ඔහු යුද ඇඳුම ගලවා සුදෝ සුදු ජාතික ඇඳුම ඇඟලාගනී. මේ ඇඳුම් දෙකම මාරයාගේමය. මාරයාගේ මේ විකට ඇඳුම් තරගවලින් මිදී සතර අපායේ ත්‍රස්‌ත්‍රවාදයෙන් මිදීමේ මග ලොව්තුරා බුදුසමිඳුන් බොහොම පැහැදිලිව දේශනා කර ඇත.

තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව, තෙරුවන් ගුණ අර්ථ වශයෙන් දැනගෙන එම ගුණයන් කෙරෙහි ඇතිකරගන්නා විශ්වාසය ‘ජීවිතයේ එකම සැනසීම ලොව්තුරා බුදුරජාණන් වහන්සේය’ කියන විශ්වාසය. සසර දුකින් මිදීමේ එකම මාර්ගය ධර්මරත්නය කියන විශ්වාසය, සංඝරත්නයේ අනන්තවූ ගූණයන් පිළිබඳ විශ්වාසය, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තිබෙන කෙනා තමන්ගේ ජීවිතයට කුමන ප්‍රශ්නයක්‌ කරදරයක්‌ පැමිණියද තෙරුවන් කෙරෙහි විශ්වාසය පළුදුකරගන්නේ නැහැ. ඔබ සිතන්න ඔබේ රුපියල් දාහක්‌ නැතිවුණාය කියල. එවිට ඔබ සිතනවා නම් ‘මගේ රුපියල් දාහක්‌ නැතිවුණේ මම තෙරුවන් සරණ ගොස්‌ ඇති නිසාමයි. නැතිනම් රුපියල් දහදාහක පාඩුවක්‌ වෙන්න තිබුණා’ ය කියලා. ‘මට තනතුර පමණක්‌ අහිමිවුණේ තෙරුවන් සරණ යන නිසාමයි. නැතිනම් මට ජීවිතයත් අහිමිවෙන්න තිබුණා’ ය කියලා. මේ ආකාරයෙන් ඔබගේ ජීවිතයට කුමන අභියෝගයක්‌ පැමිණියද තෙරුවන් සරණ පිළිබද විශ්වාසය තමන්ගේ ජීවිතයේ එකම සරණ විශ්වාසය කරගන්න. ධර්මයේ සන්දිට්‌ඨික ගූණය පිළිබඳ නිරතුරුවම ඔබ විශ්වාසය තබන්න. ඊට එරෙහිව අදහස්‌ ප්‍රකාශ නොකරන්න. මේ ජීවිතයේදීම ධර්මය අවබෝධ කරගැනීමට, සතර අපායෙන් මිදීමට නොහැකිය කියන මිථ්‍යා මතවලින් මිදෙන්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ‘ධර්මය සන්දිට්‌ඨකයි’ වශයෙන් දේශණාකර ඇති නිසා එම සන්දිට්‌ඨක ගුණය කෙරෙහි අචල විශ්වාසය තබා ධර්ම මාර්ගයේ පෙරට යන්න. බුදුරජාණන් වහන්සේගේ උතුම් දේශනා ඉක්‌මවා යැමට, සැකයන් ඇතිකිරීමට ඉවහල්වන මාරපාක්‍ෂික සිතුවිලිවලින් ඔබ මිදෙන්න. මහා සංඝරත්නය යනු ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීම උදෙසා ගමන් කරනා පිරිසක්‌ බව දකින්න. මහාසංඝරත්නයට උපදෙස්‌ දීමට අවවාද අනුශාසනා කිරීමට පිංවත් ගිහි ඔබ උත්සාහ නොගන්න. නිරතුරුවම අතීතයේ වැඩසිටියාවු ගුණයෙන් ඥානයෙන් පරිපුර්ණවු මහා සංඝරත්නයේ එම ගුණයන් ඥානයන් දකිමින් සිහිකරමින් වර්තමාන මහාසංඝරත්නය කෙරෙහි විශ්වාසය ඇතිකරගන්න.

දෙවැනිව ඔබ ශීලය ආර්යකාන්ත ශීලයක්‌ ලෙස ආරක්‍ෂකරගන්න. තමා අතින් සිල්පදයක්‌ බිඳුනොත් ඒ මොහොතේම එම සිල්පදය නිවැරුදිකරගැනීම, ආර්යකාන්තශීලය ආරක්‍ෂා කරන පිංවතාගේ ලක්‍ෂණයක්‌. ඔහු තමා අතින් වූ වරද හෙළිකිරීමට මැළිවෙන්නේ නැහැ. ආර්යකාන්ත ශීලය රකින කෙනා තමාගේ ආත්ම ගරුත්වයට වඩා තමා සතර අපායෙන් මිදීමට කැමති වෙනවා. සිල්පදයක්‌ බිඳදමා ලබන තාවකාලික අසත්පුරුෂ ආශ්වාදයට වඩා සතර අපායට වැටුනොත් එහිදී ලබන දීර්ඝ විපාකයන් ගැන මෙනෙහි කරනවා. නිතරම ඔබේ ඇසට පෙනෙන තිරිසන් ලෝකයේ සතුන් විඳින දුක මට නම් එපා යයි සිතනවා.

තෙවනුව ඔබ තනතුරු, නායකත්වය මේ ආදී වශයෙන් රැස්‌කොටගෙන ඇති ”මගේ ගොඩ” මේවා මගේ වසඟයේ තබාගත නොහැකි දේවල් බව සිතීමට පුරුදු විය යුතුයි. අතීතයේ මේ රටේ සිටි සෑම පාලකයෙක්‌ටම, නායකයෙක්‌ටම, විධායකයෙක්‌ටම එම තනතුරු අහිමි වු ආකාරය, ජනතා ප්‍රතිචාරයන් හීනවී ගිය ආකාරය, රෝගවීS දුක්‌ විඳ මියගිය ආකාරය සිහිකිරීමට පුරුදු විය යුතුය. මේවායේ අනිත්‍ය ස්‌වභාවය දැකීමට උත්සාහ කළ යුතුය. දැන් ඔබට ප්‍රශ්නයක්‌ මතුවනු ඇත ‘හාමුදුරුවෝ කියන්නේ මේවා අතහරින්නද?’ කියලා. නැත. සතර අපායේ ත්‍රස්‌තවාදයෙන් මිදීමට ඔබ කිසිවක්‌ අතහැරිය යුතු නැත. තනතුරු, බිරිඳ, දරුවන් දේපළ අතහැරිය යුතු නැත. ඔබ වෙනදාට වඩා තෙරුවන් කෙරෙහි විශ්වාසයෙන් තම වගකීම් ඉටුකළ යුතුය. වෙනදාට වඩා වගකීම් යුතුකම් ඉටුකිරීමේදී ජවසම්පන්න විය යුතුය. ඔබ සමාජයේ ජීවත්වන උද්යෝගිමත්ම ජවසම්පන්නම පුද්ගලයා බවට පත්විය යුතුය. ඔබ තුළ ගොඩනැගෙන ආත්ම විශ්වාසය නිසා ඔබ ආත්මඅභිමානයකින් යුතුව කටයුතු කරනු ඇත. මෙය හුදෙක්‌ මාන්නය හෝ අහංකාරකමක්‌ නොවේ. එය ධර්ම මාර්ගය වැඩීමේදී ඇතිවන නිහතමානී ආත්ම ශක්‌තියකි. මේ නිහතමානී බව මමත්වයේ දැඩිභාවය නැමති මහා කළුගල සිදුරු වී නැගෙන සියුම් ජලධාරාවන්ය. මේ සියුම් දිය දහර මහා ජල ප්‍රවාහයක්‌ බවට ඔබට පත්කරගත හැක්‌කේ තමා, මගේ කරගෙන තිබෙන සියල්ල අනිත්‍ය බව දකිමින් ජීවත් වීමෙන්ය. දැන් ඔබට තේරෙනවා ඇති සතර අපායේ ත්‍රස්‌තවාදයෙන් මිදීමේ මාර්ගය, ඔය රටේ කරපු යුද්ධය ජයගැනීමට වඩා මොනතරම් පහසුද කියලා. මිනිස්‌සු මැරෙන්නෙ නැහැ. අංගවිකල වෙන්නේ නැහැ. කෝටි ප්‍රකෝටි ගණන් මුදල් අවි ආයුධ වැටුප්වලට වියදම් වෙන්නේ නැහැ. බංකර් තනන්න, වාහන පරීක්‍ෂා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වෛරය ක්‍රෝධය ඇතිවෙන්නේ නැහැ. මේ සියල්ල නැතිවෙද්දී ඔබ තුළ ඇතිවෙන එක දෙයක්‌ තිබෙනවා. ඒ තමයි සතිය සහ සිහිය. සිහිබුද්ධියෙන් යුතුව ඔබ සැබෑ මග සැබෑ ජයග්‍රහණය තෝරාගන්න දක්‍ෂ වෙන්න.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com