43-ආරක්‌ෂාවීමේ අරුත…

2013-08-25
‘සතර අපායෙන් මිදෙමු’ – 43 කොටස
ඔබ මොන තරාතිරමක කෙනෙක්‌ වුවත්, ඔබගේ ආරක්‍ෂාව උදෙසා ඔබ මොනතරම් උනන්දු වෙනවාද? අපිට මගතොට ගමන් කරන සමහරවිටක පෙනෙනවා වේගයෙන් ධාවනය වන අධිවේගී වාහන. සන්නද්ධ භටයන්, නවීන අවිආයුධ… මේසා විශාල ආරක්‍ෂක ක්‍රම උපයෝගී කරගෙන ආරක්‍ෂාව සොයන ස්‌වභාවය.


තම ආරක්‍ෂාව උදෙසා, දරුපවුලේ, ව්‍යාපාරයේ, තනතුරේ ආරක්‍ෂාව උදෙසා මනුෂ්‍යයා දෙවියන් සරණ යනවා. ග්‍රහ තාරකා, ජෝතිෂ්‍යය, මිථ්‍යාදෘෂ්ටික දේaශකයන් සරණයනවා. යමකින් පිහිටක්‌ ලැබෙයි කියලා විශ්වාසයක්‌ තිබෙනවා නම් මහා කලුගල් පර්වතයක්‌ යටින් කෝටු කැබැල්ලක්‌ ගහල හරි පිහිට බලාපොරොත්තු වෙනවා. මේ අංශයෙන් ඉතාමත් ප්‍රාථමික ඇදහිලි විශ්වාසයන් ඇතිව සමාජයේ සමහරු ක්‍රියාකරනවා. මේ ආරණ්‍යයේ පිහිටි කඳුගැටය මුදුනේ සිට ඈත පරිසරය දෙස රාත්‍රියේ බලනවිට සිය ගණනාවක්‌ විදුලි ආලෝක ඇසට පෙනෙනවා. ඈත කඳුගැට සිසාරා දැල්වෙන මේ සෑම ආලෝකයක්‌ම දැල්වූ මිනිසුන් සොයන්නේ ආරක්‍ෂාවයි. සත්වයා කාමයට ඇති කැමැත්ත නිසා එය අත්විඳීමට ජීවත්වීම සඳහායි ආරක්‍ෂාව සොයන්නේ. වැඩි කලක්‌ ජීවත්වෙන්න, වැඩිපුර ඇසට, කනට, නාසයට, දිවට, මනසට, කයට ආහාර- ආශ්වාදය අයිති කරදෙන්න.

මේ සැවොම ආරක්‍ෂා වෙන්නේ ‘මම’ පෝෂණය කිරීම සඳහාය. අනිත්‍යභාවයට පත්වෙන දෙයක්‌ ආරක්‍ෂා කිරීමට අපි ගන්නා වූ වෙහෙස නිසා කවදාහරි දිනක අප දුකට පත්වන්නේය. අප පාරක තොටක ගමන් කිරීමේදී පේනවා පිංවත් ඔබ යන වේගය. මේ වේගයේ තරමටම තමන්ගේ ජීවිතය තුළ බලපවත්වන තෘෂ්ණාව ද වේගවත්. ඇසට, කනට, නාසයට, දිවට, කයට, මනසට ආශ්වාදය අයිති කරගැනීමේ ස්‌වභාවය මනින මිනුම් දණ්‌ඩ තමයි මේ වේගය. ඒ නිසා ඔබ වේගවත් නම් ඔබට බොරු කරන්න බැහැ. ඔබ ගොඩාක්‌ දේවල් රැකගන්න, ලබාගන්න, අයිති කරගන්න යන කෙනෙක්‌මයි. මේ වේගය පිංවත් ඔබට පුදුම ආශ්වාදයක්‌ දනවනවා. ‘අනික්‌ අයට වඩා මම ඉහළින් ‘ කියලා දැනෙනවා. මේ සැප තව තව විඳින්න, තව තව ඉහළට යන්න, තව තව ආරක්‍ෂා වෙන්න අවශ්‍යයි කියලා දැනෙනවා. මෙවැනි අදහස්‌වලින් ඔබ මත්වෙලයි ඉන්නේ. ආශ්වාදයේ සතුට මිස කාමයේ ආදීනවයන් හිතන්න ඔබලාට විවේකයක්‌ නැහැ. මෙය මනුෂ්‍ය ස්‌වභාවයයි. මෙම මනුෂ්‍ය ස්‌වභාවය තුන් කාලයටම පොදුයි. ඒ නිසා ඉහත ස්‌වභාවයන් වෙනස්‌ කරන්න සමතෙක්‌ නැහැ. ඔබ නායකයෙක්‌, පාලකයෙක්‌, විධායකයෙක්‌ වෙන්නේ, පෙර සංසාරිකව රැස්‌කළ පිං නිසාමයි. ඔබ පින නිසා ඔය තැනට පත්වුවත්, පිනෙන් ලැබූ ජීවිතය, එහි සශ්‍රිකභාවය ඔබව විනාශය කරා රැගෙන යන්න පුළුවන්. ඉන් මිදෙන්න නම් ධර්මානුකූල ජීවිතයකට ඔබ යොමුවෙන්න වෙනවා.

ධර්මානුකූල ජීවිතයක්‌ සඳහා පිංවත් ඔබ වගකීම්, ව්‍යාපාර, තනතුරු, අතහැරිය යුතු නැහැ. තමාට පැවරෙන වගකීම් නිවැරදිව ඉටුකරමින් තමා මෙලොව පරලොව දෙකෙහිදීම ආරක්‍ෂා වෙන්නේ කෙසේද කියලා සිතීම වැදගත් වෙනවා. එයට ඉතා ප්‍රත්‍යක්‍ෂ මාර්ගය ලොව්තුරා බුදුසමිඳුන් දේශනා කර තිබෙනවා. යමෙක්‌ තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව, ශීලය, දන්දීම, මෛත්‍රිය තම ජීවිතය තුළින් වැඩුවහොත් එයට වඩා ආරක්‍ෂාවක්‌ මෙලොව, පරලොව වශයෙන් නැහැය කියලා. ඔබ නිරතුරුවම පළවෙනියා වීමට අයුතු ආකාරයෙන් උත්සහ නොගන්න. නිරතුරුවම ජයග්‍රාහකයෙක්‌ වීමට උත්සහ ගන්න. එවිට ඔබ අතින් වන අකුසල් අඩුවෙනවා. ඔබ ධර්මය විශ්වාසකොට අවිචාරයෙන් පළවෙනියා වීමට උත්සහ නොකොට, ජයග්‍රාහකයෙක්‌ පමණක්‌ වීමට උත්සහ කළොත් කවදාහරි දවසක ධර්මය විසින් ඔබව පළවෙනි තැනට ඔසවා තබනවාමය. ඔබට ඒ තැන හිමි නම්, මේ ආකාරයෙන් ඔබ හික්‌මීමට නම්, අර්ථවත් ලෙස තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් යුක්‌ත විය යුතුය. ශීලය, දන්දීම, මෛත්‍රිය ඔබ ජීවිතය තුළින් වැඩිය යුතුය. එවිට ඔබට එම ධර්මතාවයන් ඔබේ ආරක්‍ෂාව පිණිස හොඳම සහකරුවා කරගැනීමට ඔබ දක්‍ෂවනු ඇත.

ඔබ කවුරුන් වුවද, යම් තැනකදී ඔබ ආරක්‍ෂා වූවා නම්, අනතුරකින් බේරුණා නම්, ඒ ඔබ ආරක්‍ෂා වූයේ ඔබ වැඩූ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, දාන, ශීල, මෛත්‍රියේ ශක්‌තිය නිසාමය. නමුත් ඔබ සිතන්නේ ඔබ ආරක්‍ෂා වූයේ, අනතුරින් බේරුණේ තමාට යොදා සිටින ආරක්‍ෂක විධිවිධාන, එසේත් නැතිනම් වෙනත් බාහිර හේතුවක්‌ නිසාය කියලා, එය සත්‍යයක්‌ නොවේ. ඔබ දැකලා තිබෙනවා, අහලා තිබෙනවා විශාල ආරක්‍ෂක වළලු දමාගෙන සිටියත් එක මොහොතකින් බෝම්බකරුවෙක්‌ මේ සියල්ල විනාශ කරගෙන තමනුත් විනාශ වෙනවා. ඒ කියන්නේ මොන තරම් ආරක්‍ෂක පවුරු තිබුණද ප්‍රහාරකයා උපක්‍රමශීලී නම්, මරාගෙන මැරෙන අයෙක්‌ නම් ආරක්‍ෂක උපක්‍රම අසාර්ථක බවයි.

කෝටි ගණන් මුදල් වියදම් කර කරන ආරක්‍ෂක ක්‍රම අසාර්ථක නම් අපි බලමු ලොව සාර්ථකම ආරක්‍ෂාව ලබන්නේ කොහොමද කියලා. ඒ සඳහා ඔබ ඔබ තුළින් අවංකවම තෙරුවන් කෙරෙහි විශ්වාසය තබමින් දානය, ශීලය, මෛත්‍රිය ජීවිතයට පුරුදු කරගන්න වෙනවා. ඔබ නිරතුරුවම දන්දෙන කෙනෙක්‌ නම්, ශීලයක පිහිටා එම ශීලය ආරක්‍ෂා කරන අයෙක්‌ නම් සත්ත්වය කෙරෙහි මෙත් වඩන අයෙක්‌ නම් ඔබේ ආරක්‍ෂාව ගැන ඔබ බිය වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි ඉතින් සංසාරිකව යම් අකුසල කර්මයක්‌ විපාක දෙන්න තිබෙනවා නම් ඔබ එයට මුහුණදෙන්න වෙනවා. ඔබ දක්‍ෂ නම් එතැනදීත් ඔබට විපාකයන්ගේ ස්‌වභාවය හීන කිරීමට සමහරවිට ඔබට අවස්‌ථාව තිබෙනවා.

දැන් අපි බලමු දන්දීම, ශීලය, මෛත්‍රිය වඩන කෙනා ඒ තුළින් ආරක්‍ෂාව ලබන්නේ කොහොමද කියලා. ඔබ එය මේ විදිහට ගලපාගන්න අවශ්‍යයි. ඔබ දන්දෙනවා නම්, ශීලයක්‌ ආරක්‍ෂා කරගන්නවා නම්, මෛත්‍රිය වඩනවා නම් නිරතුරුවම ඔබ කරන මේ පිංකම් දෙස සම්‍යදෘෂ්ඨ§ක දෙවියන්, සම්‍යදෘෂ්ඨ§ක යක්‍ෂයන් බලාගෙන සිටිනවා. ඒ අය ඔබ කරන පිංකම් දැකලා සතුටුවෙනවා. එම පිං අනුමෝදන් වෙනවා. දිනපතා නැවත නැවත මෙය සිදුවනකොට ඉහත දිව්‍ය බලවේග, විශේෂයෙන්ම සම්‍යදෘෂ්ඨ§ක යක්‍ෂ බලවේග පිං අනුමෝදන්ව තම ශක්‌තිය ද වර්ධනය කරගන්නවා. සම්‍යදෘෂ් ඨ§ක යක්‍ෂ බලවේග යනු පෙර ජීවිතවල රට ජාතිය ආගම උපාදානය කරගෙන මියගොස්‌, රට ජාතිය ආගම රැකීමට උපකාරීවන මනෝභාවයන් දරාගත් බලවේගයක්‌ බඳු කොට්‌ඨාසයකි. මේ අය පෙර ජීවිතවලදී රට, ජාතිය, ආගම උදෙසා දිවි දෙවැනිකොට කැපවුණ, සටන් කළ ගිහි පැවිදි මනුෂ්‍යයන්ය. මේ අයද ඔබට ප්‍රිය වෙති. ඔවුන් ඔබට ප්‍රියවන්නේ ඔබ තෙරුවන් සරණ ගිය, දාන ශීල භාවනා මාර්ගය වඩන අයෙකු නිසාය. ඔබට නොපෙනුනාට දැන් මේ බලවේග නිරතුරුවම ඔබ පසුපසින් ගමන් කරයි. ඔබ නිවසේ සිටියද, කාර්යාලයේ සිටියද, වාහනයක ගමන් කළද, යුදබිමක සිටියද මේ බලවේග ඔබ වටා ඔබට නොපෙනෙන්නට සිටියි. ඔබත් සමග ගමන් කරයි. අවදානම් අවස්‌aථාවකදී මැදිහත්ව ඔබව අනතුරුවලින් ගලවාගනියි. මේ බලවේග, ඔබ වාහනයක ගමන් කරද්දී එම වාහනය තුළ ගමන් කරයි. බෝම්බකරුවෙක්‌ වාහනයට පැන්නහොත් ඔහුගේ ඉලක්‌කය වරද්දයි. ඉලක්‌කය වරදවන පරිදි ඔහුව ඉක්‌මන් කරවයි. එක්‌කෝ ප්‍රමාද කරවයි. ඔබ නොදන්නවාට මෙම බලවේග සතුරා ඉලක්‌කය වැරැද්දීමට ඔබගේ වාහනයේ ඇක්‌සලේටරයට බරදී වේගය වැඩිකරවයි. අනතුරින් ඔබ ගැලවෙයි. එහෙත් ආරක්‍ෂාවට සිටි අය, එසේත් නැතිනම් මහමග සිටි අය අනතුරට පත්වේ. සම්‍යදෘෂ්ඨ§ක දිව්‍ය යක්‍ෂ බලවේග මෙලෙස ඔබව ආරක්‍ෂා කරයි. මේ ආරක්‍ෂාව ඔබට ලැබුණේ ඔබ තෙරුවන් සරණගිය, දාන ශීල භාවනා මාර්ගය වඩන අයකු නිසාය. ඔබව ආරක්‍ෂා කළේ පිනට කැමති, පිං කරන අයට කැමැති රට, ජාතිය, ආගම උපාදානය කරගත් සම්‍යදෘෂ්ඨ§ක දිව්‍ය යක්‍ෂ බලවේගය. ඒ නිසා ඔබත් රට, ජාතිය, ආගම උදෙසා ජීවිතය කැපකරන කෙනෙක්‌ නම්, ලෝකයේ ඇති සැබෑම ආරක්‍ෂක ක්‍රමයෙන් ආරක්‍ෂා වෙන්න දක්‍ෂ වෙන්න. මේ ආරක්‍ෂක ක්‍රමයේ ඇති සුවිශේෂී ලක්‍ෂණය වන්නේ මින් ආරක්‍ෂාවන්නේ ඔබගේ මෙලොව ජීවිතය පමණක්‌ නොව පරලොව ජීවිතය ද ඉන් ආරක්‍ෂා වන නිසාය. මරණින් මතුව සතර අපාය නමැති අණක්‌ ගුණක්‌ නොමැති ත්‍රස්‌තවාදයෙන් ද ඔබව ආරක්‍ෂා කරගැනීමට ඉහත ප්‍රතිපදාව හේතුවනු ඇත.

ඒ නිසා රට ජාතිය ආගම නාමයෙන් ඇසට, කනට, නාසයට, දිවට, කයට, මනසට ආහාර හොයන පිංවත් ඔබ රට ජාතියේ නාමයෙන් සැබෑ ලෙසම ධර්මයේ හික්‌මෙන්න. ධර්මය ඔබේ සැබෑ ආරක්‍ෂකයා බව හොඳින් සිහියේ තබාගන්න. සැබැවින්ම ඔබ තෙරුවන් සරණ ගිය අයෙක්‌ නම්, රට ජාතිය සුරකින අයෙක්‌ නම් මෙලොව සේම පරලොව ද ජයගැනීම ඔබගේ අරමුණ විය යුතුය.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

42-වෙරළු ගසේ උපාදානය

2013-08-18
ජලයේ ගිලී මියගිය මහත්මයාගේ ඥාතීන් භික්‍ෂුවගෙන් විමසුවා කුමක්‌ද මේ සත්වයා ඉහත ස්‌වභාවයෙන් මුදවාගැනීමට කළයුත්තේ කියලා. අනුමාන වශයෙන් භික්‍ෂුව ප්‍රකාශ කළා මහා සංඝරත්නය උදෙසා දානයක්‌ දෙන්න, මරණයට කැපවු සතුන් නිදහස්‌ කරන්නය කියළා. දානය දෙන්න කීවේ ඒ සත්වයාට ආයුෂ, වර්ණය, සැපය, බලය ලබාදීමට. මරණයට කැපවු සතෙක්‌ නිදහස්‌ කරන්න කීවේ එම සත්වයා මරණබියෙන් තැතිගැනීමෙන් තවම ජීවත්වන නිසාය. සියක්‌ නමකට අධික මහාසංඝරත්නයට සාංඝික දානයක්‌ පුජාකරලා, මස්‌කඩයෙන් කුකුලෙක්‌ නිදහස්‌කරලා අරමුණ වශයෙන් ඒ අය මතක තබාගත්තේ තම ඥාතියා ඉහත භූත ස්‌වභාවයෙන් මිදී සුගතියක්‌ ලබාගනිත්වා කියලයි. මේ ආකාරයෙන් පිං අනුමෝදන් කළාට පසුව දිනක්‌ භික්‍ෂුව සමාධියෙන් පසුවෙන විට භික්‍ෂුවට දර්ශණය වූයේ හොඳින් අතුවලින් පිරුණු ගසකි. එම ගසේ අතු අතරින් භික්‍ෂුවට දර්ශණය නොවු අයෙක්‌ ප්‍රකාශ කළේ ‘මම දැන් සිටින්නේ වෙරළු ගසේ’ කියාය. දර්ශනය මෙතැනින් නිමාවිය. අදාළ ඥාතීන්ගෙන් භික්‍ෂුව විමසුවා තම මියගිය ඥාතියාගේ නිවසේ වෙරළු ගසක්‌ තිබෙනවාද කියලා. එවිට ඒ අය ‘නැහැ’ කියලා කිව්වා. එහෙමනම් ඔබලාගේ නිවසේ වෙරළු ගසක්‌ තිබෙනවාද ඇහුවා. ඒ අය කීවා ගෙදර දොරකඩම වෙරළු ගසක්‌ තිබෙනවාය කියලා.
බලන්න මේ සත්වයා උපාදානය කරපු හැටි. ඉහත සඳහන් කළ භූත සත්වයා වෙනුවෙන් සියක්‌ නමක්‌ වූ මහාසංඝරත්නයට දානයක්‌ පිලිගන්වලා, සතුන් නිදහස්‌ කරලා සියලුම පිංකම් සිදු කළේ ඔහුගේ වැඩිමහල් සහෝදරයා. මේ මියගිය මහත්මයාගේ දරුවාත් දැන් සිටින්නේ මේ වැඩිමහල් සහෝදරයාගේ නිවසේ. මේ සහෝදරයින් දෙදෙනා බොහෝම ලෙන්ගතුව ජීවත්වුණ දෙදෙනෙක්‌. වැඩිමහල් සහෝදරයා බොහෝම සද්Aධාවන්ත බෞද්ධයෙක්‌. 

>දියේ ගිලී මිය ගිය තම බාලසහෝදරයා මියගිය පසු මුලින්ම ලැබූ තැති ගත් ස්‌වභාවයේ සියුම් භූත ස්‌වභාවයක සිටියත්, තම වැඩිමහල් සහෝදරයා සහ ඥාතීන් කරපු ශක්‌තිමත් පින නිසා එම භූත ස්‌වභාවයෙන් මිදුනා. තැති ගැනීමෙන් මිදුනා. මරණ භිය පහව ගියා. එය හරියට තද නින්දෙන් අවදිවුන මනුෂ්‍යයෙක්‌ මුහුණට වතුර ඉසගන්න වගේ. ඔහුට දැනෙන්න, දකින්න ලැබුන තමාව අරමුණු කර අනුමෝදන් කළ පින. එහෙත් මේ අවාසනාවන්ත සත්වයා ක්‍ෂණිකව ඔහුගේ කැමත්ත ඡන්ද රාගයෙන් අල්ලා ගත්තා. ඒ කැමැත්ත තමයි තමාට පිං අනුමෝදන් කිරීම සිදුකළ කුඩාකාලයේ සිට සහෝදරත්වයෙන් බැදුණු මෙන්ම මියගිය ඔහුගේ දරුවාද ඒ මොහොතේ ජීවත්වූ තම වැඩිහිටි සහෝදරයාගේ නිවසේ ඉදිරිපිට දොරටුව යාබද වෙරළු ගස. අර ශක්‌තිමත් පින දැනෙද්දීම තෘෂ්නිම්භූත භූත ස්‌වභාවයෙන් මිදුනත්, ඔහු නැවත ප්‍රතිසන්ධියක්‌ ලැබුවේ වෙරළු ගසේ. වෙරළු ගසේ අතු අතරින් මේ සත්වයා කටහඬ පමණයි ඉදිරිපත් කළේ. ඔහුගේ කයේ ස්‌වභාවය භික්‍ෂුවට අරමුණු වුයේ නැහැ. ඔහු රුක්‌දෙවියෙක්‌ද එසේත් නොමැතිනම් පරදත්ත රූප ජීවී වැනි ප්‍රේත කොට්‌ඨාශයකට අයත් කෙනෙක්‌ද කියන්න භික්‍ෂුව දන්නේ නැහැ. 
මෙතැනදී සිදුවු අවාසනාවන්ත සිදුවීම තමයි, මොහු පිං අනුමෝදන්ව සිටියදීත් ශක්‌තිමත් නොවු තැනක්‌ උපාදනයකර ගැනීම. ඊට එකම හේතුව ජීවත්ව සිටිය කාලය තුළදී දානය, ශීලය, තෙරුවන් කෙරෙහි සද්ධාව ජීවිතය තුළින් පුරුදු පුහුණු නොකිරීම. ඥාතීන් දරුවන් කෙරෙහි ඇතිකරගත් ඡන්දරාගය. මේ ඡන්ද රාගයද ඇතිවෙන්නේ දන් “මෙන් ජීවිතය තුළින් අතහැරීමේ ශක්‌තිය ඇති කරනොගැනීම නිසාය. මොහු මනුෂ්‍ය ජීවිතයේදී පුරුදු පුහුණු කරපු ශක්‌තිමත් ධර්මශක්‌තියක්‌ තිබුණා නම් භූත ස්‌වභාවයෙන් මිදෙන මොහොතේ එම අතීත ධර්ම ශක්‌තිය මතුවී ශක්‌තිමත් මනුෂ්‍ය දිව්‍ය ස්‌වභාවයක්‌ ලැබීමට ඉඩ තිබිණි යෑයි භික්‍ෂුව අනුමාන කරයි.
මේ මොහොතේ මොහු කොහේ සිටිනවා දැයි භික්‍ෂුව නොදනී. නමුත් අදාළ ඥාතීන් භික්‍ෂුවගෙන් විමසුවේ දැන් කුමක්‌ කළයුතු දැයි කියලාය. ‘දැන් මොනවා කරන්නද? මොහු වෙරළු ගසේ රැදිලා සිටින්නේ යමක්‌ දැඩි ලෙස ඡන්ද රාගයෙන් අල්ලාගෙන. එම ඡන්ද රාගය තිබෙන තාක්‌කල් මොහු මෙතනින් ගලවා ගන්න බැහැ. මෙයා ගෙදර දොරටුව ඉදිරියෙම ගසට වෙලා තම සහෝදරයා, දරුවා, ඥාතීන් බලමින්, දකිමින්, සතුටුවෙමින් ඇති. ඔබ කළ යුත්තේ මේ වෙරළු ගස මුල ආසනයක්‌ හදලා, දිනපතා එම ආසනයමත ඉදගෙන මේ ඇස, කන, නාසය, දිව, මනස, කය අනිත්‍යයයි කියලා සඡ්ඡායනය කරන්න. නැවත නැවත මෙය ඇසෙන විට ඔහු සිතන්න ගනී මේ කියන්නේ මොකක්‌ද කියලා. අර්ථය, ශබ්දය, රසය ටික ටික දැනේවි. කුසල් සිතුවිලි මතුවේවී වෙනසක්‌ සිදුවෙන්න පුළුවන් ඔතනින් පමණයි. ‘හැබැයි මොනම හේතුවක්‌ නිසාවත් තම ඥාතියා මෙවැනි ජීවිතයක්‌ ලබා වෙරළු ගසේ සිටිනවා යෑයි ගෙදර අනෙක්‌ අයට කියන්න එපා’ යෑයි භික්‍ෂුව කිව්වා. එයට හේතුව ජීවත්ව සිටින අයට අමනුෂ්‍ය සංඥා වැඩෙන නිසාය. තම වැඩිහිටි සහෝදරයා තමාගේ අධ්‍යත්මික වර්ධනය උදෙසා වෙරළු ගස මුල දැනටත් අනිත්‍ය සඡ්ඡායනාව කරනවා ඇතැයි භික්‍ෂුව අනුමාන කරයි. එය මියගිය අයට සේම ජීවත්ව සිටින අයටද ආශිර්වාදයක්‌ මිස දුක පිණිස හේතුවන දෙයක්‌ නොවේ. ජීවත්ව සිටින තැනැත්තාටද එය සතර අපායෙන් මිදීම සඳහා හොඳ කමටහනකි. ඔබද මේ සටහන කියවා යම් කුසල් සිතක්‌ ඇතිවුනා නම් එම පින එම ඥාතියාට අනුමෝදන් වේවායි· සිතන්න. ඔහුට එය සුගතියක ඉපදීමට මහෝපකාරිවනු ඇත. මෙය කියවන නොකියවන පිංවත් ඔබද ධර්ම මාර්ගයේ ගමන් නොකිරීම නිසා මරණින් පසු අත්වන විපාක දැක නිරතුරුවම සතර අපායෙන් මිදීම අරමුණුකර තෙරුවන් කෙරෙහි අචල සද්ධාව, ශීලය, දානය ජීවිත තුළින් වඩන්න.

මගේ කර රැස්‌කරන්නාවු සෑම දෙයකම අනිත්‍යය බව දකින්න. ඔබ මෙසේ සතියෙන් සිහියෙන් යුතුව ජීවත්වන්නේ නම් එසේ ජීවත්වන මොහොතක්‌ පාසා විභවේ ආලෝකය ඔබ අත්විදිනු ඇත.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

41- මේ බිහිසුනු සිර දඬුවමින් නිදහස්‌ නොවුනහොත්….


2013-08-11
භික්‍ෂුව ඉදිරියට පැමිණි එක්‌ පිංවත් මහත්මයෙක්‌, තමා තුළ තෙරුවන් කෙරෙහි ඇති ශ්‍රද්ධාව ගැන විස්‌තරයක්‌ ඉදිරිපත් කළා. ‘හාමුදුරුවනේ මා තුළ ඇති ශ්‍රද්ධාව නිසා අලියෙක්‌ ඉදිරියට වුණත් යන්න මට පුළුවන්’ කියලා. තමා තුළ වඩවාගත් ශ්‍රද්ධාව මමත්වය, මාන්නය තුළින් මොනතරම් අපවිත්‍රභාවයට පත්කරගෙන තිබෙනවාද?
මෙය මෝහ මූලික ශ්‍රද්ධාවකි. ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගන්නේ අලි ඉදිරියට යැමට නොවේ. අලියා ඉදිරියට යන්නය කියලා අපව මෙහෙයවන සිත අනිත්‍ය වශයෙන් දැකීමට පුරුදුවීමටය. අලි ඉදිරියට යැමට නම් ඔබ කළ යුත්තේ සත්වෝද්‍යානයට ගොස්‌ ඇත්ගොව්වකු වීමට අදාළ පාඨමාලාවක්‌ හැදෑරීමය. තෙරුවන් සරණ යන්නේ ධර්ම මාර්ගයේ ඉදිරියට යැමටය. වීරයන් වීමට නොවේ. ඔබව වීරයෙක්‌ කිරීමට හදන්නේ මාරයාමය. වීරත්වය ඔබට ආරෝපනය කර සක්‌කාය දිට්‌ඨිය පෝෂණය කිරීම මාරධර්මයයි. භික්‍ෂුව එම පිංවත් මහත්මයාට කියා සිටියේ ‘මහත්තයෝ, සිත නැවත ඔවැනි ප්‍රකාශයක්‌ ප්‍රකාශ කරන්න හදනකොට, තමා තමාටම ටොක්‌කක්‌ ඇනගන්න’ කියායි. මෙය ‘හරක්‌ සිතක්‌’ යෑයි සිතන ලෙසයි. යම් හෙයකින් එම මහතා, ඔබ මෝහ මූලික ශ්‍රද්ධාව දරාගෙන වල් අලියෙක්‌ ඉදිරියට ගියානම් එය ඔහුගේ විනාශය වීමටද ඉඩ තිබිණි. දැඩි වීර්යයෙන් ධර්ම මාර්ගයේ ඉදිරියටම යැමට උත්සහ කරන පිංවතුන්ව, මාරයා එම ගමනින් ආපස්‌සට හරවන්නේ තන්හාව, මාන්නය, දිට්‌ඨ§ය කියන ධර්මතාවයන් හරහාමය.

ඔබ මේ භව ගමනින් නිදහස්‌ වෙනවාට මාරයා අකමැතිය. මේ බව ඔබ හොඳින් තේරුම්ගෙන තන්හාව, මාන්නය, දිට්‌ඨ§ය කියන අසත්පුරුෂ ධර්මයන් පරාජයට පත්කළහොත්, ලෝකය නැමැති මාරයාගේ හිර ගෙදරින් නිදහස්‌ වීමට ඔබට හැකිය. ඔබ ලබන එම නිදහස, ජීවිතාන්තය දක්‌වා ලැබූ සිර දඬුවමකින් නිදහස්‌ වීමට වඩා ලක්‍ෂ වාරයක නිදහස්‌වීමකි. කල්ප සියක්‌ කෝටි, ප්‍රකෝටි ගණනක සිට අතීතයේදී ගෙවන ලද, අනාගතයේදී ගෙවාදැමීමට නියමිත අති බිහිසුනු සිර දඬුවමකින් නිදහස්‌වීමක්‌ය.

විත්තිකරුවාත්, පැමිණිලිකරුවාත්, වැරදිකරුවාත්, විනිසුරුවරයාත්, විනිසුරුකරුවාත්, අළුගෝසුවාත්, ඔබම වූ ලොවක, නිදහස්‌වීම පසෙක තබා, බන්ධනාගාරගතව සිටීම සැපයක්‌කොට දකින, සිරකරුවකුගේ මනෝභාවයෙන් මිදීමට කාලයයි මේ. සම්මා සම්බුද්ධ මාර්ගයයි මේ. සිරකාර මනෝභාවය ඔබ තුළ ඇතිකරන්නේ තන්හාව, මාන්නය, දිට්‌ඨ§ය විසින්මය. මමත්වයේ දැඩිභාවය නිසාමය. ඔබට රිදුම්දෙන මේ භව තුවාලය, සුවපත් කරගැනීම සඳහා වෙහෙසෙන සෑම මොහොතකම, සුවපත්වෙමින් යන තුවාලය මත මාරයා විසින් තන්හාව, මාන්නය, දිට්‌ඨ§ය නැමැති ඉහත විෂබීජ තබයි. තුවාලයේ වේදනාව මතට , මාර දූවරුන්ගේ සියුමැලි ඇඟිලි තුඩු වලින් ලැබෙන පහස, සැපය නිසාම ඔබ ඒ විෂබීජයන්ට කැමතිය. ප්‍රියය. මේ පහස, සැපය අනිත්‍ය වශයෙන් දැකීමට අප ප්‍රමාදවෙන්නේ විඳීමට ඇති ජන්දරාගය නිසාමය. තුවලයත්, වේදනාවත් ඔබගේමය. ප්‍රශ්නය වන්නේ එය ඔඩුදුවවා ගන්නේ ඔබ විසින්ම වීමය. ඔඩුදිවීම යනු කුණුවීමයි. මේ කුණුවූ අධ්‍යාත්මය අයිති සතර අපායටය.

භික්‍ෂුව ඉහත සටහන සටහන් කළේ අදක්‍ෂභාවය නිසා සතර අපායට වැටුණු මනුෂ්‍යයෙක්‌ පිළිබඳ කරුණු සඳහන් කරන්නටය. එක්‌තරා මහත්මයෙක්‌ සිටියා, ඔහු පදිංචිව සිටියේ ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙයි. ඔහු දක්‍ෂ පිහිනුම්කරුවෙක්‌. නිරතුරුවම ගැඹුරු දියේ පිහිනන්න දක්‍ෂයි. ඔහු ගැන දන්න කිසිවෙක්‌ සිතන්න නැතුව ඇති මොහු කවදාකවත් දියේ ගිලී මිය යයි කියලා. අපි නොසිතන දේවල්, හේතුඵල ධර්මයන් නිසාම සිදුවන ලෝකයේ මේ මහත්මයා මුහුදේ පිහිනීමට ගොස්‌ ජලයේ ගිලී මියයනවා. බලන්න ස්‌ථêර ශක්‌තිමත්භාවයෙන් ගන්නා වූ ලෝකය, ‘මම’ මොහොතින් බිඳී විසිර ගිය ස්‌වභාවය.

පිහිනුම් දක්‍ෂයෙක්‌ය කියන නොබිඳෙන විශ්වාසය, මොහොතකින් බිඳී ගියා. මොහුගේ කකුලේ කෙන්ඩ පෙරළීම හේතුවෙන්. මොහු ගොඩාක්‌ පිං දහම් කරගත්ත අයෙක්‌ නොවෙයි. විනෝදශීලීව ජීවත්වූ අයෙක්‌. මේ මරණය සිදුවෙලා මාස 4කට විතර පස්‌සේ මේ මියගිය මහත්මයා අරමුණුකොට සිටියදී භික්‍ෂුව ඉදිරියට පාවෙන ස්‌වභාවයේ මිනිස්‌ රුවක්‌ පැමිණියා. මේ සත්වයාට තිබුණේ බොහෝම සියුම් කයක්‌. පොළොවෙන් මීටර 3ක්‌ පමණ උසිනුයි භික්‍ෂුව ඔහුව දැක්‌කේ. පාවෙන ස්‌වභාවයේ සත්ත්වයෙක්‌. මිනිස්‌ රුවක්‌. හරියට භූත ස්‌වභාවයක්‌ වගේ. මේ මිනිස්‌ කයක්‌ සහිත සියුම් සත්ත්වයාගේ මුහුණේ ස්‌වභාවය ඔබට විස්‌තර කරනවා. ඔබ මෙහෙම සිතන්න. ඔබ යමෙකු=ගේ බෙල්ල මිරිකනවා. එතකොට ඔහුගේ මූනේ ස්‌වභාවය ඔබට මතකද? ඇස්‌ ලොකුවෙලා, උඩගිහිල්ලා, නළල රැළිවෙලා…. මරණබිය රැඳුණ මුහුණක්‌ නේද ඔබ දකින්නේ. මෙන්න මේ ස්‌වභාවයේ මරණභිය

රැඳුණු, ඇස්‌ ලොකුවී ගිය, නළල රැළිවැටුණු ස්‌වභාවයක්‌ තමයි මේ භූත සත්වයාට තිබුණේ . මොහු තුෂ්නිම්භූතව සිටියේ හරියට භිරාන්ත වෙලා වගේ. ඔබ එය මෙහෙම සිතන්නකෝ. මනුෂ්‍යයෙකුගේ හිසට පොල්ලකින් ගැසුවහොත් ඔහුට මොහොතක්‌ යනතුරු සිතාගන්න බැහැ නේද මොකක්‌ද වුණේ කියලා. මෙවැනි ස්‌වභාවයකුයි මේ භූත සත්ත්වයා තුළ දිස්‌වුණේ. විනාඩි 2කින් පමණ එම භූත සත්ත්වයා දර්ශනයෙන් නොපෙනී ගියා.

භික්‍ෂුව සමාධියෙන් පසුවෙන විට දුටුව එම භූත සත්ත්වයා ගැන තැබෙන පහත සටහන අනුමාන වශයෙනුයි ගලපා සටහන් කරන්නේ.

තමා තුළ තිබු පිහිනීමේ හැකියාව නිසා දියේ ගිලී මියයන මොහොතේ මොහුට හිතාගන්නවත් බැරිවෙලා තිබෙනවා තමාට මොකද වුණේ කියලා. තමාගේ හැකියාවන් ගැන නිත්‍යභාවයෙන්, ස්‌ථිරභාවයෙන් මමත්වයේ දැඩිභාවයෙන් ගන්න අයට එම හැකියාවන් වරදිනවිට පරදිනවිට විශාල තැතිගැනීමක්‌ හටගන්නවා. ජලය තුළ ජීවිතයත් මරණයත් අතර සටනක්‌ කරන විට ශක්‌තිමත් කුසල් හෝ අකුසල් සිතක්‌ පහල වන අවස්‌ථා අඩුයි. මොකද ෙච්තනාව සකස්‌ වෙන්නේ ජීවිතය බේරාගැනීමට අදාළව. මේ හේතුවෙන් මරණබිය තැතිගැන්ම සමගම අවසාන සිත සකස්‌ වෙලා ඊළඟ ප්‍රතිසන්ධිය අල්ලාගන්නවා. මෙහිදී ශක්‌තිමත් කුසල් අකුසල් සිතක්‌ සකස්‌ නොවුන නිසා සිදුවන්නේ බොහොම සියුම් ස්‌වභාවයේ උපතක්‌. මැරෙන වේලාවේ සකස්‌වූ තැතිගැන්මේ ස්‌වභාවයෙන්ම රුව ගුණ සහිත සිත් පරම්පරාවක්‌ තමයි ඉදිරියට සකස්‌ වෙන්නේ. මේ භූත සත්වයා හරියට හරියට තද නින්දේ සිට පිබිඳුණු කෙනෙක්‌ වගේ. තවම මොකුත් සිතාගන්න, අල්ලගන්න බෑ ශක්‌තිමත්ව. මනුෂ්‍ය ජීවිතයේදී ධර්ම මාර්ගයේ ගමන් නොකිරීම මෙයට එකම හේතුව වෙනවා.

මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට පිංවත් ඔබ ගැන අනුකම්පාවෙන් දම් දෙසුම් පවත්වන්නාහ. එදා උන්වහන්සේ මේ පිං බිමේ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටියදී අප ගැන අනුකම්පාවෙන් මේ සටහන් තැබූහ . මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක්‌ නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි. එදා, තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ උන්වහන්සේ වනයේ නොපෙනෙන ඈතට වැඩියහ. ඉනික්‌බිති කිහිපවරක්‌ උන්වහන්සේ හමුවීමට මා භාග්‍යවන්ත විය. එහිදී නැවතත් සටහන් කිහිපයක්‌ මා අතට පත්විය. ඒ සියලු සටහන් කෙතරම් දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද? නිවන් මගට පිළිපන් ගිහිපැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක්‌ වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කාලයා විසින් උන්වහන්සේව හෙළිකරනු ඇතත් ඒ මුල් පොරොන්දුව මම අදටද රකිමි. මා ලද ඒ අතිශයින් අගනා දහම් පඬුර පමණක්‌ ලිපි මාලාවක්‌ ලෙස ඔබ අතට ගනු මැනවි!

40-කළණ මිතුරුබවේ – අගය නිමක්‌ නොවේ

2013-08-04-

මේ සටහන ලියන මොහොතේ භික්‍ෂුව වැඩ සිටින්නේ අගනුවරට ආසන්නව පිහිටි ආරණ්‍යයක. මේ ආරණ්‍ය බිමේ වඳුරන් 15 ක පමණ රංචුවක්‌ සිටිනවා. සවස ඇඳිරි වැටීගෙන එනවිට භික්‍ෂුව දුටුවා, මේ වඳුරු රැළ රාත්‍රිය ගතකිරීම සඳහා තෝරාගෙන තිබුණේ, භික්‍ෂුව වැඩ සිටින කුටියට ඉහළින් තිබෙන විශාල ගස්‌ කිහිපය. සවස ඇඳිරි වැටීගෙන එනවිටත්, මේ සතුන් කොළ කමින් හැසිරෙන ශබ්දය ඇසුණා. දැන් රාත්‍රී 8 පමණ වෙලා. පැය දෙකක පමණ කාලයක සිට මෙහෙට හොඳටම වහිනවා. තද සුළඟත් සමග විදුලි කොටනවා. අහස වේගයෙන් ගොරවනවා. මේ සියලු සිදුවීම් සිදුවුවත්, ගසේ වඳුරන් සිටින බවක්‌වත් ඇසෙන්නට නැහැ. ඒ තරමටම මේ සිදුවීම් හමුවේ වඳුරන් නිහඬයි. පුංචි පැටව් බඩේ එල්ලාගත් වඳුරු අම්මලා මේ රංචුවේ සිටියා. සීතල නිසා, ගෙරවිල්ල නිසා පුංචි පැටවෙක්‌වත් කෑගසන්නේ නැහැ. මේ සතුන් සතුටින් මේ දුක විඳිනවා වගෙයි. මනුෂ්‍ය දරුවෙක්‌, වැඩිහිටියෙක්‌ මේ වහින වැස්‌සට, සීතලට, විදුලි කෙටිල්ලට හසුවුනොත් මොනතරම් එයට එරෙහිව ප්‍රතික්‍රියා දක්‌වයිද? ඒත් ඒ සතුනට ඒ දුක ගැන කිසිම හැඟීමක්‌ නැහැ. ප්‍රතිචාරයක්‌ නැහැ.

ඒ තරමටම මේ තිරිසන් සතුන්ට දුක පත්තියන් වෙලා.

දීර්ඝ කාලයක්‌ සතර අපායේ ඉඳලා, ඒ සතුන්ට දුක හුරුයි. දුක සැපෙන් භාරගන්නවා. මේ තරම් ගොරවමින්, විදුලි කොටමින්, සුළඟ හමමින් වැසි වසිනවිටත් දුකක්‌ නොදැනෙන මේ සතුනට සංසාරය කොතෙක්‌ දුර වෙයිද?

ඒ සතුන් දුක කියන වචනයේ සැබෑ අර්ථය දන්නේ නැහැ. ඒ නිසාම කල්ප ගණනාවක්‌ ගියද මේ සතුනට සුගතියේ සැප ඇති දිව්‍ය මනුෂ්‍ය උපතක්‌ සිදුවන්නේ නැහැ. නමුත් මනුෂ්‍ය දරුවෙක්‌ට මේ ස්‌වභාවය නැහැ. වැස්‌සකදී, ශීතලකදී ක්‍ෂණිකව ප්‍රතිචාර දක්‌වනවා. ඒ අයට දුක දැනෙනවා. එහෙම දැනෙන්නේ දුක පිළිබඳව හැඟීමක්‌ ඇති නිසා. මේ තිරිසන් සත්ත්ව ජීවිතත්, ඔබගේ උතුම් මනුෂ්‍ය ජීවිතයත් සංසන්දනය කරලා බලන්න. මනුෂ්‍යයා දුක හඳුනාගැනීමේ, අවබෝධකරගැනීමේ හැකියාව අතින් මොනතරම් ඉදිරියෙන්ද සිටින්නේ කියලා. සසර දුක ගැන වැටහීමක්‌ ඇතිකරගත් නිසාමයි ඔබට මේ පුණ්‍යවන්ත මනුෂ්‍ය ජීවිත ලැබිලා තිබෙන්නේ. නමුත් හැම මනුෂ්‍යයාටමත් මේ හැකියාව ලැබී නොමැති බව අපි අත්දැකීම් තුළින්ම තේරුම්ගන්න ඕනේ. දිනක්‌ භික්‍ෂුව හමුවට බොහොම සැපට හැදුණු, සුරතල් ලොකු තරුණ ඇල්සේෂන් බල්ලෙක්‌ සමග පැමිණි නෝනා කෙනෙක්‌ මෙහෙම ප්‍රශ්නයක්‌ ඇසුවා. ‘හාමුදුරුවනේ මට ප්‍රශ්නයක්‌ තිබෙනවා. ඔබ වහන්සේගෙන් පිළිතුරක්‌ බලාපොරොත්තුවෙනවා’ කියලා. භික්‍ෂුව සිතුවා ධර්මය ගැන ප්‍රශ්නයක්‌ වෙන්නඇතිය කියලා. ‘හාමුදුරුවනේ මේ මගේ සුරතල් බල්ලා ඊළඟ ආත්මයේදී මගේ දරුවෙක්‌ කරගන්න මට ඕනේ. ඒක කරගන්නේ කොහොමද?’ ප්‍රශ්නය ඇය ඇසුවේ කිසිම චකිතයකින් තොරවයි. ඇයට දියයුතු එකම පිළිතුර නම් ‘ලබන ආත්මයේ මේ බල්ලා ඔබේ දරුවෙක්‌ කරගන්න ඉඩක්‌ නැහැ. හැබැයි ඊළඟ උපතේදී ඔබ සුනඛයකුගේ කුසේ බැල්ලි පැටවෙක්‌ව ඉපදෙන්න හොඳටම ඉඩ තිබෙනවා. මේ සුනඛ සංඥාව ඔබ සිතින් ඉවත් කර නොගත්තොත්…..’ කියලා

බලන්න මේ බුද්ධෝත්පාද කාලයකදී ලැබූ මනුෂ්‍ය ජීවිතයත්, තිරිසන් යෝනියේ උපත ලද සතෙකුත් අතර තිබෙන පරතරය දකින්න දක්‍ෂ නැහැ. ඇය සමාජයේ ඉහළ තලයේ වන සමාජ තත්ත්වයක්‌ හිමි කාන්තාවක්‌. තමා සසර කළ මහා පුණ්‍ය ශක්‌තියකින් ලබාගත් මේ මිනිසත්බව දක්‍ෂභාවයෙන් කළමනාකරණය කිරීමට ඇති නොහැකියාව නිසාමයි සත්ත්වයා සතර අපායට වැටෙන්නේ. මේ දක්‍ෂභාවය මතුකර දෙන්නේ කළ්‍යාණමිත්‍ර ආශ්‍රය මගින්මයි. වර්තමාන සමාජයේ අලුත්ම විලාසිතාව තමයි සමහර පිංවතුන් කළ්‍යාණමිත්‍රයින් ලෙස ඇසුරු කරන්නේ තිරිසන් සතුන් වීම. මනුෂ්‍යයන්ට වඩා තිරිසන් සතුන් හොඳ යෑයි කියා තිරිසන් යෝනියේ සතුන් කළ්‍යාණ මිත්‍රයන් ලෙස ඇසුරු කරයි.

කළ්‍යාණ මිත්‍ර සතුන් ගැන කථා කිරීමේදී ගෙවල්වල ඇති කරන සුරතල් විසිතුරු මාළු ගැනද මතකය අවදි විය. ඔක්‌සිජන් නල ක්‍රියාත්මක වන මාළු ටැංකි නිවාස වලට විලාසිතාවක්‌ සේ එකතුවී තිබේ. සමහරවිට ගෙදර පිහිටි කෘත්‍රිම මැද මිදුලේ ඇති පොකුණේ මාළු ඇති කරයි. ගෙදර පිංවත් නෝනා මහත්මයා මාළු ටැංකිය ඉදිරිපිට හාන්සි පුටුව තබාගෙන විවේකය ගතකරන්නේ මාළුන්ගේ හැසිරීම්රටා දෙස බලමිනුයි. පිංවත් නෝනා මහත්වරු දවසේ වැඩි වේලාවක්‌ මාළු ටැංකියේ චමත්කාරය නරඹයි. මෙය සමාජයේ පැතීරීගෙන යන අලුත් ‘භාවනාවකි’. මේ භාවනාවට අපි ‘මාළු ටැංකි භාවනාව’ යෑයි කියමු. මේ භාවනා කිරීම් නිසා අධික රුධිර පීඩනය, මානසික ව්‍යාධීන් අඩුවන බව වෛද්‍ය මතයක්‌ ලෙස ඔවුන් දක්‌වයි. එය ඔවුන් තරයේ විශ්වාස කරයි. ඒ නිසාම විවේක කාලයේ ‘මාළු ටැංකි භාවනාව’ කරයි. සැබැවින්ම මෙය භාවනාවකි. ඒ කියන්නේ වැඩීමකි. නමුත් වැඩෙන්නේ තිරිසන් සත්ත්ව සංඥාවයි. මාළුන් පිළිබඳ කැමැත්තයි. ඡන්ද රාගයයි. ඒ කියන්නේ ඔබ නොදැනුවත්භාවයෙන් වඩන්නේ සතර අපායයි. එහි මාළු බිත්තරයක ප්‍රතිසන්ධියයි. දහස්‌ ගණනින් වියදම් කරලා, විසිතුරු මාළු සුරතලයට හදලා, රුධිර පීඩනය, මානසික ව්‍යාධීන් අඩු කරගන්න ගිහිල්ලා ඔබ වැටෙන්නාවූ අගාධයක ගැඹුර කොපමණක්‌ද? මේ පිංවත් නෝනා මහත්වරුන්, තමන්ට නිරෝගීභාවයට පාර පෙන්වන, කළ්‍යාණමිත්‍රයින් වශයෙන් සලකන්නේ තිරිසන් යෝනියේ මාළුන්ය. එම කළ්‍යාණමිත්‍රයා තිරිසන් යෝනියට යැමට ඔබට පාර කියාදෙනු නියතය. ‘කළ්‍යාණ මිත්‍රයා’ යන්නෙහි අරුථ පවා අප නිවැරදිව හඳුනාගත යුතුව ඇත. කළ්‍යාණමිත්‍රයා යනු කල්ප සියගණනක්‌ ඔබට දුක්‌දෙන, සතර අපායෙන් ඔබව මුදාගැනීමට මාර්ගය පහදා දෙන උත්තමයාය. ඔහු අවිද්‍යාවේ අඳුරෙන් ඔබව දුරස්‌කොට, ප්‍රඥාවේ ආලෝකය දෙසට යොමුකරයි. මෙවැනි කළ්‍යාණමිත්‍රයෙක්‌ ඔබ සොයාගැනීමට නම්, මුළින්ම ඔබ ඔබට කළ්‍යාණමිත්‍රයෙක්‌ විය යුතුය. ඔබ ඔබට කළ්‍යාණමිත්‍රයෙකු වන්නේ බාහිර කළ්‍යාණමිත්‍රයකු ආශ්‍රය කිරීමට, සොයාගැනීමට පෙරාතුව එවැනි සත්පුරුෂ කළ්‍යාණමිත්‍රයෙකු ඇසුරු කිරීම වලක්‌වන ඔබ තුළ ඇති මාන්නය පරාජය කර නිහතමානීකම ඇතිකරගැනීම තුළින්ය. ඔබ තුළ ඇති අහංකාරකම, මාන්නය පරාජය නොකොට, ඔබ නිහතමානී නොවුනහොත් සත්පුරුෂ කළ්‍යාණමිත්‍රයින් සිය ගණනක්‌ ඔබට මුණගැසුනද, ඔබ ඔබගේ මතවාද, දෘෂ්ඨිවල පැටලී තව තව අකුසල් රැස්‌කර ගන්නවා විනා, යහපත කරා ධර්ම මාර්ගයේ ගමන් නොකරයි.

සැබෑ කළ්‍යාණමිත්‍රයා මතවාදයක, දෘෂ්ඨියක එල්ලීගත් අයකු නොවේ. ඔහු සම්මා සම්බුද්ධ ඥාණයෙන් අවබෝධකර වදාළ ශ්‍රී සද්ධර්මය, එකම මාර්ගය කරගත්තෙකි. එය දෘෂ්ඨි මතවාද නැති විවෘත ධර්මයකි. භික්‍ෂුවගේ භික්‍ෂු ජීවිතය තුළදී, මේ අහංකාරභාවය නිසා මොන තරම් ගිහි පැවිදි පිරිසක්‌ අකුසල් කරගන්නවා දැකලා තිබෙනවාද. වචනයෙන් කියන්නට අකමැති අකුසල් කරගෙන සිටිනවාද. භික්‍ෂුව මේ මොහොතේ යම් අවබෝධාත්මක ස්‌වභාවයක සිටිනවා නම් එහි මුල්ම ගෞරවය හිමිවන්නේ භික්‍ෂුව තුළ ගොඩනගාගත් නිහතමානීකමටමයි. එම නිහතමානීකම භික්‍ෂුව ඇතිකරගත්තේ සද්ධර්ම ශ්‍රවණය නිසාමයි. ඒ තුළින් වැඩුනු තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව නිසාමයි. සංසාරිකව වැඩූ පුරුදු නිසාමයි. ඒ නිහතමානීකම භික්‍ෂුවට නොතිබුණානම් භික්‍ෂුව තවම සතරඅපායෙන්වත් මිදී නොමැති අසරණම ගිහියෙක්‌.

මුළින්ම භික්‍ෂුව, භික්‍ෂුවට සත්පුරුෂයෙක්‌ වුණා. දෙවැනුව සත්පුරුෂ ආශ්‍රය සොයාගෙන ගියා. “සාධු! සාධු!! ඒ නිහතමානීභාවයට මාගේ නමස්‌කාරය වේවා!!!”

තෙරුවන් නමස්‌කාරය කළාට අනතුරුව මා නමස්‌කාරය කරන්නේ ඒ නිහතමානීභාවයටමය. නමුත් ඔබ අදක්‍ෂනම් සංසාරික පුරුදු හිඟ නම් මේ ප්‍රතිපදාව තුළ වැඩෙන්නේ අහංකාරකමමය. මේ අවාසනාවන්තභාවයෙන් ඔබ වහ වහා මිදිය යුතුය.

ඉන්ද්‍රජිත් සුබසිංහ