39-අතහැරීමක ආරම්භය සහ අල්ලාගැනීමක අවසානය-2

2013-07-28-දඹරන් දෙවියා 2
භික්‍ෂුවට පළමු අවස්‌ථාවේදී “දර්ශනය වූ සද්ධන්ත ප්‍රේත ස්‌වභාවයත්, දෙවැනිව දර්ශනය වූ සශ්‍රීක දිව්‍ය ස්‌වභාවයත් කවුරුන්ද යන්න දැන් විමසා බලමු. භික්‍ෂුව මේ කරුණ පහත විග්‍රහ කරනු ලබන්නේ අනුමානයන් වශයෙනි. එය පිළිගැනීම හෝ ප්‍රතික්‍ෂේප කිරීම ඔබට භාරය. අවශ්‍යවන්නේ ලෝකයේ ස්‌වභාවය ගැන ඔබ යමක්‌ ඉගෙනගැනීමය.

අලි ප්‍රහාරයට ලක්‌ වූ ස්‌වාමීන්වහන්සේ එම ප්‍රහාරයට ලක්‌ව ඇත්තේ සවස 6 ට පමණය. ක්‍ෂණිකව ඇති වූ අලි ප්‍රහාරයේදී ස්‌වාමීන්වහන්සේ තුළ බිය, ක්‍රෝධය සහිත ගැටෙන සිතක්‌ අවසාන චුති සිත ලෙසින් සැකසෙන්නට ඇත. අලියා මෙම සිරුර පාපන්දුවකට ගසන්නාක්‌ මෙන් හොඬයෙන් සහ පාදවලින් ගසමින් යම් දුරක්‌ ගෙනගොස්‌ ඇත. උන්වහන්සේ පළමු පහරදීමේදීම ක්‍ෂණිකව අපවත් වී හෝ සිහි මුර්ජා වී නැත. පහරකමින් ක්‍රෝධය, බිය, වෛරය සිතෙන් අත්විඳිමින් සිට අපවත්වීම සිදුවී ඇතැයි භික්‍ෂුව අනුමාන කරයි. මෙලෙස දීර්ඝ වේලාවක්‌ දුක දරමින් සිදුවන වේදනාත්මක, බියජනක අපවත්වීමකදී උන්වහන්සේට තමා වැඩූ ශීලය ගැන මෙනෙහි කිරීමට සුදුසු සිහියක්‌ වැඩී නොමැත. මේ හේතුවෙන් ගැටුණු සිතකින් අපවත් වූ උන්වහන්සේ ඉහත ප්‍රේත ලෝකය අභිබවා ගිය සද්ධන්ත ප්‍රේතයා ලෙස උපත ලබන්නට ඇතැයි භික්‍ෂුව අනුමාන කරයි. සශ්‍රික දිව්‍ය ස්‌වභාවයක්‌ ලබාගැනීමට තරම් කුසල් ජීවිතය තුළ රැස්‌කොටගෙන තිබුණද, අවසන අනපේක්‍ෂිත කුරිරු ප්‍රහාරය නිසා එම කුසල් යටපත් වී අකුසල් සිතක්‌ම සකස්‌වීම අරුමයක්‌ නොවිය යුතුය. මේ අකුසල් සිතේ ස්‌වභාවයට ගැලපෙන ප්‍රේත ලෝකයේ උපතක්‌ ලැබුවද, පැවිදි ජීවිතයේදී කළ කුසල් නිසා, ඒවායේ ශක්‌තිය නිසා ඇස්‌ දෙකෙන් ආලෝකය විහිදෙන ස්‌වභාවයක්‌ සහිත සශ්‍රික ප්‍රේත ජීවිතයක්‌ ඇතිවිය. ප්‍රේතයාගේ ඇස්‌දෙකෙන් ආලෝකය විහිදෙන්නේ පෙර භික්‍ෂු ජීවිතයේ අනුනට දහම් දෙසීම, ප්‍රඥාව වඩවාගැනීමට උපකාර කිරීම වැනි ශක්‌තිමත් කුසල කර්මවල ආනිසංසයන් විපාක දීම හේතුවෙන් යෑයි භික්‍ෂුව විශ්වාස කරයි.

තමාට දුන් ශක්‌තිමත් පිං අනුමෝදන්වීම නිසා එම සශ්‍රීක ප්‍රේත ස්‌වභාවයෙන් මිදී, එම ස්‌වාමීන්වහන්සේ කුරිරු ලෙස අපවත්වන අවස්‌ථාවේදී යටපත් වී ගිය කුසල් විපාකයන්ට ගැලපෙන සශ්‍රික දිව්‍ය ස්‌වභාවයක්‌ ලබන්නට ඇත.

මෙම සශ්‍රික දිව්‍ය ස්‌වභාවය උන්වහන්සේ ලැබුවේ වැඩූ ශීලයේ ආනිසංස නිසාමය. මේ දඹරන් දෙවියා ශීලයේ උත්කෘෂ්ඨ ප්‍රතිඵලයකි. මේ සටහනේ මුලදී භික්‍ෂුව සඳහන් කළ අයුරින්, තුන් සිවුර හැර නානකඩයක්‌වත් උන්වහන්සේ පරිහරණය නොකළේ තමන්ගේ උත්කෘෂ්ඨ ශීලය ධූතාංගයක්‌ ලෙස ආරක්‍ෂා කර ගැනීමටය. මෙය සුන්දර දිව්‍ය ස්‌වභාවයක්‌ වුවද භවයේ නවාතැන්පලක්‌මය. ජාති, ජරා, ව්‍යාධි, මරණ වලට තෝතැන්නකි. එහෙත් ලොව්තුරා බුදුසමිඳුන් පිරිනිවීම සිදුවී වසර 2550 ක්‌ ඉකුත්ව ගිය මෙවැනි කාලවකවානුවක තම භික්‍ෂු ජීවිතය මෙවන් සශ්‍රික දිව්‍ය ස්‌වභාවයක්‌ කරා මෙහෙයවීමට හැකිවීම මහා ජයග්‍රහණයකි. විජයග්‍රහණයකි. ගිහි පැවිදි සැවොම ආදර්ශයට ගතයුත්තකි. සිව්පසය රැස්‌කිරීම, ගොඩගසාගැනීම, අතහැරගැනීමට නොහැකිවීම හේතුවෙන් ලාභ සත්කාරවලට ගිජුවීම හේතුවෙන්, අපවත්වීමෙන් පසු භික්‍ෂු ප්‍රේතයන් ලෙස ජීවත්වන පිරිස්‌ ආරණ්‍ය ආශ්‍රිතව භික්‍ෂුවට දර්ශනය වී ඇත. එහෙයින් ඉහත දඹරන් දෙවියා කාලයට අනුරූපීව ජයග්‍රාහී උපතකි. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ යම් හෙයකින් මුල් සද්දන්ත ප්‍රේත උපතින් මිදීමට නොහැකිවූවානම් සතර අපායේ දිගින් දිගටම රැඳී සිටීමට තරම් අවදානමක්‌ සහිත තැනකට පත්වීමය. එහෙත් අනුමෝදන් කරන ලද කුසල්වල ශක්‌තිය නිසා සතර අපායේ උපතින් මිදින. කල්‍යාණ මිත්‍ර ඇසුරකින්, ගුරුවර ඇසුරකින් තොරව තමා තුළ පවතිනවා යෑයි විශ්වාස කරන අධිඅවබෝධාත්මක තත්ත්වයන් ගැන වැරදි වැටහීම් ඇතිකරගැනීම නිසා මෙවැනි තත්ත්වයන්ට තමන් පත්වීම ස්‌වාභාවිකය. හුqදෙකලාව මෙන්ම, පැවිදි ජීවිතයේ ලැබෙන සැපත් දුකත් ඔබ ඇලීමට, ගැටීමට හෝ උපේක්‍ෂාවීමට යා යුතු නැත. ඔබ දැකිය යුත්තේ ඉහත ධර්මතාවල අස්‌ථිරභාවයයි.

වනවාසී, එකලා, හුදෙකලා ප්‍රතිපදාවට ඔබ යොමුවීම ඔබ දැඩි ලෙස කම්පාවට පත්වන සිද්ධියක්‌. වියරු වැටෙන ස්‌වභාවයක්‌. රූපයට ඇති ඇලීමත්, ගැටීමත්, උපේක්‍ෂාවත් මාර ධර්මයේ ශබ්දකෝෂයයි. ඔබ මෙතෙක්‌ දේවභාෂිතයක්‌ ලෙස රැක්කේ මාර ශබ්දකෝෂයේ අර්ථයයි. වනවාසී, නිවීමේ ප්‍රතිපදාව යනු ඉහත අර්ථයේ විරුද්ධාර්ථයයි. පිංවත් ඔබ එම අර්ථයට විරුද්ධව යනවිට මාරයාගේ කිපීම සාධාරණය. එහෙත් මාරයා කිපෙන්නේ මනුෂ්‍යයා කිපෙන ආකාරයට නොවේ. උපක්‍රමශීලීවය. මාරයා වැඩිපුර සිනාසෙන්නේ වැඩිපුර කිපුන වෙලාවටය. මෙය හඳුනාගැනීමට දුෂ්කර, අතිභයානක චරිත ස්‌වභාවයකි. මෙහිදී ඔබ දුකද සැපද, තැනද නොතැනද, මෛත්‍රියද වෛරයද පටලවාගනී. අර්ථයන් වෙනස්‌ව දකියි. පිංවත් ස්‌වාමීන්වහන්සේ සැතපෙන කොට්‌ටය යටට වැඩිය ධාතූන්වහන්සේලාද, චෛත්‍ය කර්මාන්තයද, සෙලියුලර් දුරකථනයද හුදෙකලාව වැඩසිටි වනවාසී ස්‌වාමීන්වහන්සේට මාරයා ලබාදුන් භව තෑගිය. මෙම භවතෑගි පාර්සල් එපා නොකියා ලබාගැනීම මාර ධර්මයේ ස්‌වභාවයයි. එපා කීමට ඔබට සිත නොදෙන්නේ මේවා පාර්සල් කර ඇති විසිතුරු දවටනයන් නිසාමය. දවටනය නිර්මාණය කරන්නේ මාර දූවරුන්ය. තණ්‌හා, රතී, රඟා සුරුපී යුවතියන් තිදෙනාගේ ඇස්‌කොණින් ප්‍රකාශ වන කාමයේ, රූපයේ, ආශ්වාදයේ වින්දනයට ඔබ මුළාවනවා ඇත. මෙම තණ්‌හා, රතී, රඟා මාර දූවරුන් තිදෙනා වරෙක නිළියන් සේද, වරෙක නාටිකාංගනාවන් සේද, තවත් වරෙක රෝගියෙක්‌, මිනිස්‌ දුවක්‌ ලෙසද ඔබ ඉදිරියට එනු ඇත. මේ චරිතයන් එම දූවරුන්ගේ ලැඡ්ජා නැතිකමය. තණ්‌හාවට, රාගයට, රතියට ලැඡ්ජාවක්‌ නැති බව ඔබද හොඳින්ම දන්නා කරුණකි. ඔබ රූපය අවබෝධකරගන්නා තාක්‌ කල් මාරදූවරුන්ගේ ග්‍රහණයෙන් ඔබට මිදීමට නොහැකිය. යම් මොහොතක පිංවත් ඔබ රූපය අවබෝධකරගතහොත් මාර දූවරුන්ට වන්නේ ඔබ ඉදිරියෙන් පලා යැමට පමණක්‌මය.

ඉහත අපවත් වූ පිංවත් ස්‌වාමීන්වහන්සේටද පසුකාලීනව සෙලියුලර් දුරකථනයක්‌ පරිහරණයට ගැනීමට තරම් පරිසරයක්‌ නිර්මාණය කළේ ඉහත මාර ධර්මයන්මය. එහෙත් උන්වහන්සේ තම ජීවිතය තුළින් ආරක්‍ෂාකරගත් ශීලයද තණ්‌හාව, මාන්නය විසින් ග්‍රහණයට ගන්නා ලද ස්‌වභාවයක්‌ දක්‌නට තිබිණි. එහෙත් උන්වහන්සේගේ පරලොව සැපය සඳහා එම ශීලය කල්‍යාණමිත්‍රයෙක්‌ සේ උපකාර කළේ යෑයි භික්‍ෂුව විශ්වාස කරයි.

මේ කථා පුවත මෙහි සටහන් කළේ පිංවත් ගිහි පැවිදි ඔබට, ශීලයේ අගය, ශීලයේ සෘද්ධිමත්භාවය පැහැදිළිකර පෙන්වීමටය. ශීලය සෘද්ධියක්‌ වන්නේ එය ඔබව ලෞකික සැපයේ ඉහළටම ඔසවාතබන බැවිනි. ඔබත් සශ්‍රික දිව්‍යතලයක දඹරන් කැටයමින් කළ සුන්දර දෙවියෙක්‌ වීමට ජීවිතය තුළින් උතුම් ශීලයක්‌ ආරක්‍ෂා කරගන්න. ආර්යකාන්ත ශීලයක්‌ ලෙස එය ආරක්‍ෂාකරගන්න. සතර අපායෙන් මිදී ඔබ කැමති කාලයකදී නිවී සැනසී යන්න.

මේ කථාවේ සඳහන් එම සද්දන්ත ප්‍රේතයාට තද කළු පැහැති ශරීර වර්ණයක්‌ ලැබී තිබුණේ කුරිරු අලි ප්‍රහාරයේදී ඇති වූ දැඩි ක්‍රෝධය නිසාම විය යුතුය. දිව්‍ය ස්‌වභාවයේදී එම දෙවියාට දඹරන් පැහැය ලැබුණේ යටපත්වී තිබූ ශීලයේ ආනිසංස නිසාම විය යුතුය. ක්‍රෝධයේ කළු පැහැයත්, ශීලයේ දඹරන් පැහැයත් පිංවත් ඔබට කියාදෙන පාඩම අතිවිශිෂ්ටය.

මේ කථාපුවත කියවා ඔබද ඔබ කැමති වර්ණය තෝරාගන්න. ඊට අනුරූපීව ජීවිතය ක්‍රියාත්මක කරන්න. ඔබ තුළ නිරතුරුවම රාග, ද්වේෂ, මෝහ වැඩෙන්නේ නම් ඒ තුළින් වැඩෙන්නේ ප්‍රේතානුස්‌සතියයි. ඔබ තුළින් දානය, ශීලය, මෛත්‍රිය නිරතුරුවම වැඩෙන්නේ නම් ඒ තුළින් වැඩෙන්නේ දේවානුස්‌සතියයි. ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කර වදාළ එම ධර්මය ඉහත ස්‌වාමීන්වහන්සේ අපවත්වීමෙන් පසු ලැබූ ජීවිත දෙකෙන් ඉතා නිවැරදිව අත්දැකීමට ඔබට හැකිය. එහෙයින් තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුතුව ලොව්තුරා බුදුසමිඳුන් දේශනා කර වදාළ සත්පුරුෂ ධර්මයන් ජීවිතය තුළින් වැඩීමට උත්සාහ ගන්න. වර්තමාන සමාජය තුළ පවතින දැඩි තරගකාරීත්වය, සංකීර්ණ බව නිසා අනපේක්‍ෂිත ආකාරයෙන් ඔබ මියගියද, ජීවිතය තුළදී ඔබ රැස්‌කරගත් දාන, ශීල, භාවනා වල ශක්‌තිය පින, කුසලය කුමන අභියෝගයක්‌ හමුවේ වුවද ඔබට සසර පිහිටට පැමිණෙන බව, ඔබව අතහැර නොයන බව මේ සිද්ධියෙන් පැහැදිළිවනු ඇත. භව ගමන නිමාකරගන්නාතුරු ඔබට සසර පිහිටට සිටින එකම කල්‍යාණ මිතුරා තෙරුවන් සරණ විනා අන් කුමන සරණක්‌ද? පිහිටක්‌ද?

තෙරුවන් සරණ නැමැති පුණ්‍ය කෙතේ ඔබ දානය, ශීලය, මෛත්‍රියේ බීජයන් අඩු වැඩි බවකින් තොරව වපුරාගතහොත් එහි නියත සශ්‍රික අස්‌වැන්න ආයුශ, වර්ණ, සැපය, බලය වනු ඇත. ඉහත කරුණු පැහැදිලිකරගෙන ඔබ ප්‍රඥාව වඩවාගත යුතුය. ලොව්තරු බුදුරජාණන්වහන්සේ තෙරුවන් කෙරෙහි සද්ධාව, දානය, ශීලය, මෛත්‍රිය නිරතුරුවම ජීවිතය තුළින් වඩන්න කියලයි දේශනා කර වදාළේ, ඉහත ධර්මතාවයන් ඔබට සතර අපායෙන් මිදීම සාක්‍ෂාත් කරදෙන ධර්මතාවයන් නිසාය. මුලින්ම ඔබ සතර අපායෙන් මිදෙන්න. ඒ සඳහා ඉහත ධර්මයන් ඔබේ ජීවිතයේ හවුල්කරුවා කරගන්න. කොටස්‌කරුවෙක්‌ කරගන්න. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, දානය, ශීලය, මෛත්‍රිය ජීවිතය තුළින් වඩන විට පිංවත් ගිහි පැවිදි ඔබ විශේෂයෙන් අවධානයෙන් ඉන්න ඕනේ. මාර ධර්මයන් පිළිබඳව තණ්‌හාව, මාන්නය, දිට්‌ඨිය සෑම විටම ඔබේ මේ පිරිසිදු ක්‍රියාවන් අපවිත්‍ර කරනවා. ඒවායේ ශක්‌තිය හීනකරනවා.

සක්‌කාය දිට්‌ඨිය නැමැති මමත්වයේ දැඩිභාවය මාර දූවරුන් ඔබට පලන්දන කටු ඔටුන්නක්‌. ඔබ මහත් උජාරුවෙන් එම කටු ඔටුන්න පළඳගෙන තමාවත් තමාටම අයිති නැති, නිරතුරුවම අනිත්‍යභාවයට ලෝකයක රජකම් කරනවා. ඉහත සඳහන් කළ අලි ප්‍රහාරයෙන් අපවත් වූ පිංවත් ස්‌වාමීන්වහන්සේ අපවත්වීමෙන් අනතුරුව සද්ධන්ත ප්‍රේත උපතකට වැටෙන්නේ උන්වහන්සේ සතර අපායෙන් නොමිදී සිටි නිසාය. දැඩි ලෙස ශීලයක්‌ ආරක්‍ෂාකරගෙන ජීවිත්වුවත් සතර අපායෙන් මිදීමේ මග හරස්‌කළේ තණ්‌හාව, මාන්නය, දිට්‌ඨිය නැමැති මාර සමීකරණයට උන්වහන්සේ නොදැනුවත්භාවයෙන් එකඟවී සිටි නිසාමයෑයි භික්‍ෂුව අනුමාන කරයි. එහෙත් පිංවත් ඔබ ශීල, සමාධි, ප්‍රඥා මාර්ගයේ ඉදිරියට ගියද, දාන ශීල භාවනා මාර්ගයේ ඉදිරියට ගියද ඔබ වෙහෙසවී ලබාගන්නා එහි ප්‍රතිඵලයන් කිලිටි කරන, හීන කරන, තණ්‌හාව මාන්නය දිට්‌ඨියේ සතරඅපායගාමී දුකටම අයිති පාප මිතුරන් ඔබ ඔබේ කල්‍යාණ මිතුරන් කර නොගන්න. ඔබේ ජීවිතය තුළ ඔබ ඔවුනට අවස්‌ථාවක්‌ නොදෙන්න. එවැනි සිතක්‌ මතුවූ සැනින් එම සිත ඔබේ නොවේයෑයි අතහැර දමන්න. එම සිත දුකට අයිති බව සිතන්න. සතර අපායට අයිති බව සිතන්න. පාපමිතුරන්ට ඔබේ ගෘහයේ නවාතැන් නොදෙන්න.

38-අතහැරීමක ආරම්භය සහ අල්ලාගැනීමක අවසානය

2013-07-21-අතහැරීමක ආරම්භය සහ අල්ලාගැනීමක අවසානය 1

භික්‍ෂුව බොහෝම කල්‍යාණ මිත්‍රභාවයෙන් ඇසුරු කරන ස්‌වාමීන්වහන්සේ නමකගේ සහෝදර ස්‌වාමීන්වහන්සේ නමක්‌ තරුණ වයසේ පැවිදිවෙලා ඉතා සිල්වත් පැවිදි ජීවිතයක්‌ ගතකරමින් වැඩ සිටියා. උන්වහන්සේ පසුගිය වසර හතරක පමණ කාලය තුළදී වැඩ සිටියේ දකුණු පළාතේ හුදකලාව කුඩා ආරණ්‍යයක. භික්‍ෂුවට කවදාකවත් උන්වහන්සේව මුණගැහිල නැහැ. උන්වහන්සේ තුන්සිව්රත් පාත්‍රයත් පමණක්‌මයි දැරුවේ. භික්‍ෂුවට වරක්‌ දැනගන්න ලැබුණා උන්වහන්සේ එක්‌ අඳනයක්‌ පමණයි පාවිච්චි කරන්නේ ඒ එකම අඳනය ඇඳගෙන පැන් පහසුවෙලා, ඒ අඳනය වේලාගෙන තමයි නැවත පරිහරණය කරන්නේ කියලා.

උන්වහන්සේ දෙවැනි අඳනයක්‌ හෝ නානකඩයක්‌ පාවිච්චි කරන්නේ නැහැ. මෙම පිංවත් ස්‌වාමීන්වහන්සේගේ අතහැරීම උන්වහන්සේ රකින ධුතාංගයක්‌ වශයෙනුයි උන්වහන්සේ අර්ථ දක්‌වන්නේ. මේ අතහැරීම භික්‍ෂුව විවේචනය කරන්නේ නැහැ. පසසන්නෙත් නැහැ. මොකද යම් ස්‌වාමීන්වහන්සේ නමක්‌ සීමාව ඉක්‌මවලා අත්‍යවශ්‍යම දෙය හිස්‌කරන්න, අතහරින්න යනවානම් එහෙම කළයුතුයි සිතනවා නම් ඒ ගැන දෙවරක්‌ සිතා බැලිය යුතුයි. එසේ නොමැති නම් ගුරුවරයෙකුගෙන් කල්‍යාණ මිත්‍රයෙකුගෙන් ගුරුහරුකම් ගත යුතුයි. ධුතාංගයක්‌ රැකීමේදී අපි දන්නවා එය ධුතාංගයක්‌ බවට පත්වෙන්නේ එහි ස්‌වභාවය තමා පමණක්‌ දැනගැනීමෙන් පමණය කියලා. භික්‍ෂුන් වහන්සේගේ තුන්සිවුරට නානකඩය අයිතිනොවුණත් පිංවත් ස්‌වාමීන්වහන්සේ නමකට නානකඩයත් අතහැරීමට සිතෙනවා නම් එය අතහැරීමට වඩා අල්ලා ගැනීමක්‌. කුමක්‌ අල්ලා ගැනීමක්‌ද? ‘මම’, ‘මගේ ශීලය’, ‘මගේ අතහැරීම’….

ඉතා කුඩා නානකඩය අතහැරලා විශාල දෙයක්‌ අල්ලා ගන්නවා. මේවා තමන් යම් යම් තැන්වල නවාතැන් ගන්නා සියුම් කෙලෙස්‌ ධර්මයන්. මෙය සටහන් කරන භික්‍ෂුවද හැමදාමත් තුන් සිවුරට අමතරව නානකඩයක්‌ පාවිච්චි කරනවා. කුඩා දෙයක්‌ අතහැරීමේ වේශයෙන් එන මහාදෙයක්‌ අල්ලාගැනීමේ ස්‌වභාවය මෙම සිද්ධීන්ගෙන් අපි අවබෝධ කරගත යුතුයි.

ඉහතින් සඳහන් කළ භික්‍ෂුවගේ අදහසයි. නමුත් එම පිංවත් භික්‍ෂුවගේ අදහස මීට වඩා වෙනස්‌ වෙන්න පුලුවන්. උන්වහන්සේට ගෞරව කරමිනුයි පහත සටහන තබන්නේ.

මෙතැනදී භික්‍ෂුව කීමට උත්සාහ දරන්නේ නානකඩය අතහැරීම ගැන නොවේ. එවැනි අතහැරීමක්‌ කිරීමට ධෛර්යක්‌, වීර්යයක්‌, කැපකිරීමක්‌ කිරීමට හැකියාව ඇති, ඉතා හොඳින් ශීලය ආරක්‍ෂාකරගත් මේ පිංවත් තරුණ ස්‌වාමීන්වහන්සේ, ඔය අතහැරීමත්, රැකගත් ශීලයත් තණ්‌හාව, මාන්නය දෘෂ්ටීන්ට යටත්ව ක්‍රියාත්මක නොකළානම් එහි වටිනාකම ගැනයි. තමා තුළ අධිෂ්ඨානයෙන් ගොඩනගාගත් ශීලයේ ශක්‌තිය, දිරායන නානකඩය මෙන්ම ඒ නානකඩය දවටා ගන්නා ශරීරයේ අනිත්‍යභාවයත්, නානකඩයත් අතහරින්නයෑයි අණකරන සිතේ අනිත්‍යබවත් දුටුවානම් නැවත සසරේ නානකඩයක්‌ දවටාගැනීමට අවශ්‍ය නොවන ස්‌වභාවයකට යාමට පුළුවන්කම තිබුණා විය හැකියි.

මේ ‘මම’ කියන දෂ්ටිය නිසා හටගන්නා මාන්නයේ අහිංසක ස්‌වභාවයන්ය. බබාහිර කෙනකුට හඳුනාගැනීමට නොහැකි තරමට මේ ධර්මතාවයන් සියුම්ය. නිවීමේ අරමුණ ජයගැනීම උදෙසා ඔබ තුළ මෝදුවන තරුණ ජවය පිංවත් ඔබලාගේ සංසාරික පුරුදුය. මේ සුන්දර මනුෂ්‍ය ජීවිතය ලැබුවේ සම්මා සම්බුදු ශාසනය පිරිනීවීයාමට පෙරාතුව මේ ජීවිතයේදීම අවම වශයෙන් සතර අපායෙන් මිදී නිවන් මාර්ගයට අවතීර්ණවීම සඳහාමය. මෙය ඔබට ලැබෙන අවසාන අවස්‌ථාව වීමටද පුළුවන. එහෙයින් නිවීමේ මග උදෙසා ඔබේ තරුණ ජවය යෙදිය යුත්තේ මාර බලවේගයන්ගේ ග්‍රහණයෙන් මිදෙමින්ය. කළ්‍යාණමිත්‍ර ආශ්‍රය සමගින්මය.

මෙසේ හුදකලාව වැඩසිටි ස්‌වාමීන්වහන්සේ තම කුඩා ආරණ්‍යයේ වැඩසිටියදී දිනක්‌ රාත්‍රී සයනය කර සැතපී හිමිදිරියේ අවදිවන විට සයනයේ අතුරා තිබූ කොට්‌ටය යටට ධාතූන් වහන්සේලා කීපනමක්‌ වැඩම කර තිබුණි. මේ ධාතූන් වහන්සේලා වැඩම කිරීම නිසා මෙම ස්‌වාමීන් වහන්සේට තම කුඩා ආරණ්‍යයේ එම ධාතූන් වහන්සේලා නිධන් කර චෛත්‍යය රජායාණන් වහන්සේ නමක්‌ ඉදිකිරීමට සිත පහළවිය. දායක පිරිසද ඊට බොහෝම සද්ධාවෙන් ඉදිරිපත් විය. පිංවත් ස්‌වාමීන්වහන්සේගේ සැතපෙන කොට්‌ටය යටට ධාතූන් වහන්සේලා වැඩමකිරීම නිසා දායකයින් තුළ ස්‌වාමීන් වහන්සේට ගෞරවය වැඩිවිය. ආරණ්‍ය පිහිටි වන මැද ගල් කුළ මතට බොහෝම මහන්සියෙන් ගල්, වැලි ගෙනැවිත් ගොඩ ගසා තිබුණි. චෛත්‍යයේ වැඩකටයුතු පහසුකර ගැනීම පිණිස ස්‌වාමීන් වහන්සේව පහසුවෙන් සම්බන්ධ කර ගැනීම සඳහා සහ ඉදිකිරීම් කටයුතු සම්බන්ධීකරණය කර ගැනීම සඳහා දායක පිරිස විසින් සෙලියුලර් දුරකථනයක්‌ද පූජාකරන ලදි. නානකඩයත් අත්හැර දමා සිටි පිංවත් ස්‌වාමීන්වහන්සේ මේ සියල්ල අකමැත්තෙන් පිළිගත්හ. තරුණ ස්‌වාමීන්සේද ගල් වැලි කර මත අදිමින් බොහෝම වෙහෙස මහන්සියෙන් කටයුතු කළහ. හුදකලාව ප්‍රියකළ, ධුතාංග වැඩු ස්‌වාමීන් වහන්සේගේ මේ වෙනස අහම්බයක්‌ නොවේ. මන්දමාරයා අපිව එයාගේ දැලට හසුකරගැනීම සදහා එයාගේ නවාතැන්පලවල්වල ශීලය, සමාධිය වැනි ඔටුනු පළඳවාගෙන නවත්වාගෙන සිටින්නේ සුදුසු වේලාවේදී ගොදුරු කරගැනීමටය.

ගුරු ඇසුරකින් තොරව නිවන් මග වැඩීම මාරයාට කරන ආශිර්වාදයක්‌මය. අපි වෙර වැඩිය යුත්තේ නිරතුරුවම ශීලය, සමාධිය නවාතැන්පලවල නොනැවතී ඒවා නිසා දායක පිරිස්‌වලින් ලැබෙන ධනාත්මක ප්‍රතිචාර අතහරිමින් සියල්ලම කමටහනක්‌ කරගෙන ප්‍රඥාව දෙසට ගමනාන්තයට යාමටය.

චෛත්‍යයේ වැඩකටයුතුවලට පිංවත් ස්‌වාමීන්වහන්සේ දුරකථනය භාවිතාකිරීම නිසා එහි බැටරිය ආරෝපණය කරගැනීමට සිදුවිය. ආරණ්‍යයට විදුලි බලය නොතිබිණි. උන්වහන්සේ වැඩ සිටියේ ලන්තෑරුම් එළියෙනි. දුරකථනයේ බැටරි ‘චාඡ්’කර ගැනීමට ආරණ්‍ය අසලම පිහිටි නිවසට සවසට වැඩම කිරීමට උන්වහන්සේට සිදුවිය. එක්‌තරා දිනයක අදාළ නිවසේ සිට බැටරිය ආරෝපණය කරගෙන තම කුටියට වඩින විට සවස 6ට පමණ කැලෑ මාර්ගයේ අතරමග ස්‌ථානයකදී උන්වහන්සේට වල් අලියෙක්‌ පහරදී තිබිණි. එය ඉතා දැඩි දරුණු පහරදීමකි. පහරදීමෙන් උන්වහන්සේ අපවත් වුණා. ඒ බව දායක පිරිස දැනගත්තේ පසුවදා උදෑසන 9.00 ට පමණය. ගම්මානයකට ඇතුළුවන්නට ගොස්‌ ගම්වැසියන්ගේ පීඩාවට ලක්‌ව පලායමින් සිටියදී ස්‌වාමීන්වහන්සේව මුණගැසුනු, වියරුවැටී සිටි අලියා විසින් එතෙක්‌ මුළු රැයක්‌ පුරාම දැඩිලෙස පහරදීමට ලක්‌කර තිබූ දේහය කැලයේ ගල් කුලක්‌ පාමුල තිබිණි. ඒ ශ්‍රී දේහය දැඩිලෙස කුඩුවී තැලී නරක්‌වී තිබිණි. දේහය එක්‌ දිනක්‌ හෝ තබාගැනීමට නොහැකි නිසා එදිනම සවස එම කුඩා ආරණ්‍යය භූමියේදීම අදාහනය කර තිබිණි.

උන්වහන්සේ අපවත්වීමට දින කිහිපයකට පෙර වෙහෙස මහන්සි වී චෛත්‍යය කර්මාන්තයට ඇද්ද වැලි, කලුගල් ඒ ඒ තැන්වල නිසොල්මන්ව තිබිණි. ශ්‍රී දේහය දැවී වා තලයට එකතු වු අළු, දුවිලි එම වැලි ගොඩටම නැවත එකතු විය. වල්අලි ප්‍රහාරයේදී උන්වහන්සේගේ ශරීරයෙන් ගලාගිය රුධිරය පසට එකතු වී පසේම කොටසක්‌ බවට පත්විය. සෙලියුලර් දුරකථනය අලිපාදයට පෑගී කුඩුපට්‌ටම් වී පසේම කොටසක්‌ බවට එකතු විය. ශ්‍රී දේහය දැවී ඉතිරි වූ භෂ්මාවශේෂ පාත්‍රයේ බහා මහ පොළවේ තැන්පත් විය. මේ සියල්ල දෙස සතියෙන්, සිහියෙන් බලන විට අපි දකින්නනේ රූපයේ අනිත්‍යභාවයයි. අනිත්‍යභාවයේ වේගයයි.

ඉහතින් භික්‍ෂුව සටහන් කළ තොරතුරු සියල්ලම භික්‍ෂුව දෑසින් නොදුටුණී නමුත් කළ්‍යණමිත්‍ර ස්‌වාමීන් වහන්සේ එම ආදාහනයට වැඩම කර පැමිණි පසු උන්වහන්සේගෙන් දැනගත් සිද්ධීන් සමග ගලපා කළ සටහනකි. මේ පිංවත් ස්‌වාමීන් වහන්සේ අපවත්වීමෙන් පසු උන්වහන්සේ අපවත් වු වේදනාත්මක ස්‌වභාවය සලකා නිතිපතා පිං අනුමෝදන් කිරීම් සිදුවිය. උන්වහන්සේ වෙනුවෙන් දාන මාන පිංකම් සිදුවිය.

අපවත්වීම සිදු වී හරියටම දින හතකින් රාත්‍රියේ භික්‍ෂුවක්‌ සමාධියෙන් පසුවෙන විට අඩි 10 පමණ උසැති මහා සද්ධන්ත ශරීරයක්‌ ඇති මිනිස්‌ රුවක්‌ දර්ශනය විය. මේ ප්‍රේත මිනිසාගේ ශරීරයේ උඩුකයට ඇඳුමක්‌ නොතිබිණි. මොහු ප්‍රේත ලෝකයේ උපත ලද ප්‍රේත ලෝකය අභිබවාගිය ‘මහේශාක්‍ය’ ප්‍රේත උපතකි. මේ මහේශාඛ්‍යබව නිසා මොහුට අනෙක්‌ ප්‍රේතයින් අභිබවා යන විශාල ශරීරයක්‌, පෞරුෂත්වයක්‌ ලැබී තිබිණි. මොහුට තිබුණේ කළු පැහැති ශරීරයකි. මේ අපූරු ප්‍රේත සද්ධන්තයාගේ දෑස්‌ දෙකින් සුදු පැහැති දීප්තිමත් ආලෝක දෙකක්‌ විහිදෙමින් තිබිණ. මොහු දර්ශනය වී විනාඩි දෙකකින් පමණ නොපෙනී ගියේය. ප්‍රේතයාගේ මහේශාඛ්‍ය සද්ධන්ත පෙනුමත්, දෑස්‌ වලින් ආලෝකය විහිදෙන ස්‌වභාවයත් නිසා භික්‍ෂුව තුළ, මේ අලියා පහරදීමෙන් අපවත්වූ ස්‌වාමීන්වහන්සේගේ නැවැත උපතදැයි සැකයක්‌ ඇතිවිය. එය සැක කිරීමක්‌ පමණි. ඉහත ස්‌වභාවය නිසා භික්‍ෂුව ද නැවත නැවත පිංදීම සිදුකළේය. අපවත් වී හරියටම දින 11කින් උදේ පාන්දර පහට පමණ භික්‍ෂුව සමාධියෙන් පසුවන විට එම ස්‌වාමීන්වහන්සේව අරමුණු කළේය. ඒ මොහොතේම දිව්‍ය තලයක වැඩසිටින අපූරු සුන්දර දෙවියෙක්‌ දර්ශනය විය. එම දෙවියා දිව්‍යභාවයෙන් සිටියේ එරමිනිය ගොතාගෙන සිටින ඉරියව්වෙනි. ඉතාමත් නිස්‌කලංකව වැඩ සිටියේය. ලස්‌සන හුරුබුහුටි නිකලැල් තරුණ පෙනුමක්‌ දිස්‌විය. පිරිවර දෙවියන් හෝ දිව්‍යාංගනාවන් කිසිවක්‌ නොදුටුවේය. එම දෙවියා දඹරන් පැහැති ඔටුන්නක්‌ පැළඳ සිටියේය. එම ඔටුන්නේ හිස්‌ආවරණයේ කන් පෙති දෙපස රවුම් ආකාරයට දඹ රන් පාටින් කැටයම් කළ රවුම් දෙකක්‌ ඔටුන්නට සම්බන්ධවී තිබිණි. එම දෙවියාගේ ශරීරයේ උඩු කොටස සම්පූර්ණයෙන්ම දඹරන් පැහැයෙන් යුත් ආභරණ වලින් සැදි ඇඳුමකින් සැරසී තිබිණි. මෙය වෙස්‌ නැට්‌ටුවන් උඩුකයට පළඳින ආභරණ සහිත සැට්‌ටය සේය. දෙවියාගේ ශරීරයේ වර්ණයද, පැළඳ සිටින ආභරණවල වර්ණයද දඹරන් පැහැතිය. ශරීරයත්, ආභරණත් වෙන් වශයෙන් ගත නොහැකිය. දඹරන් පැහැති ශරීරයේම ලියවන ලද ඇඳුම් ආභරණයන් සේය. දඹරන් පැහැය හැර වෙනත් පැහැයක්‌ දෙවියා තුළ නොවීය. මේ දෙවියාට නමක්‌ තබන්න යෑයි යමෙක්‌ භික්‍ෂුවට කීවොත් දෙවියාට නම තබන්නේ ‘දඹරන් දෙවියා’ කියාය. දඹරන් කුට්‌ටියකින් ලියවන ලද දෙවියෙක්‌ සේය.
(මෙම ලිපියේ ඉතිරි කොටස ලබන සතියේ බලාපොරොත්තු වන්න) 

37-මිතුරන් උදෙසා නිරයට වැටෙන අදක්‍ෂයෙක්‌ නොවන්න

මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට පිංවත් ඔබ ගැන අනුකම්පාවෙන් දම් දෙසුම් පවත්වන්නාහ. එදා උන්වහන්සේ මේ පිං බිමේ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටියදී අප ගැන අනුකම්පාවෙන් මේ සටහන් තැබූහ . මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක්‌ නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි. එදා, තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ උන්වහන්සේ වනයේ නොපෙනෙන ඈතට වැඩියහ. ඉනික්‌බිති කිහිපවරක්‌ උන්වහන්සේ හමුවීමට මා භාග්‍යවන්ත විය. එහිදී නැවතත් සටහන් කිහිපයක්‌ මා අතට පත්විය. ඒ සියලු සටහන් කෙතරම් දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද? නිවන් මගට පිළිපන් ගිහිපැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක්‌ වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කාලයා විසින් උන්වහන්සේව හෙළිකරනු ඇතත් ඒ මුල් පොරොන්දුව මම අදටද රකිමි. මා ලද ඒ අතිශයින් අගනා දහම් පඬුර පමණක්‌ ලිපි මාලාවක්‌ ලෙස ඔබ අතට ගනු මැනවි!
උදේට පංච ශීලය සමාදන්වෙන පිංවත් මහත්මයා, හවසට මඟුල්ගෙදර ගිහින් අරක්‌කු බොනවා. අරක්‌කු බීවේ ඇයි කියලා ඇහුවහම ‘යාළුවෝ තරහ වෙයි කියලා බීවා’ කියනවා. බලන්න මෝහයේ විශාලත්වය. පංචශීලයවත් සමාදන් නොවූ මිතුරන්ගේ මිතුරුකම උදෙසා, ඔබ වෙනුවෙන්ම සාරසංඛ කල්ප ලක්‍ෂයක්‌ ඇස්‌, ඉස්‌, මස්‌, ලේ දන්දෙමින් කැපකිරීම් කළ බුදුරජාණන්වහන්සේට පිටුපානවා. බුදුරජාණන්වහන්සේගේ සරණ අහිමි කරගන්නවා. අනේ ඔබ අසරණයි, බයයි, කෑදරයි…

ඔබට වටින්නේ ඔබව දුකින් මුදවාගැනීම උදෙසා ඒ සා කැපකිරීම් කළ බුදුරජාණන්වහන්සේද, නැතිනම් මිතුරන්ද?

හිතවතාටත්, ඥාතියාටත් වඩා පහළ තැනක ඔබ බුදුරජාණන්වහන්සේව තැබුවහොත්, ඒ මොහොතේම ඔබේ සිත පිහිටන්නේ සතර අපායේයි. මිතුරන් උදෙසා නිරයට වැටෙන අදක්‍ෂයෙක්‌ වෙන්න එපා. ඔබ සැබෑ ලෙසින්ම තෙරුවන් සරණගිය පිංවතෙක්‌ නම්, ඔබ තුළ ආත්ම ශක්‌තියක්‌ සකස්‌වෙන්න ඕනේ සමාජය තුළ දුස්‌ශීලභාවය ඉදිරියේ සිල්වත්ව නැගී සිටින්න.

සෑම මොහොතකම සිතන්න බුදුරජාණන්වහන්සේ ඔබ දෙස බලා සිටිනවාය කියලා. එවිට පිංවත් ඔබට පුළුවන් මිතුරන් සියයක්‌ ඉදිරියේ වුවත් ඔබේ ශීලයට අනතුරක්‌ වෙනවා නම් එම තැනින් ඉවත්ව යන්න. එවිට යාළුවෝ ඔබට බැන්නත්, පිංවත් දෙවියන් ඔබට සාධුකාරදේවි. ධර්ම මාර්ගය තුළ ඔබ තව තවත් ශක්‌තිමත් වේවි. අසරණයන්ගෙන් මිදී සරණක්‌ ලැබූ අය අතරට යන කෙනෙක්‌ වේවි.

සමාජය අනතුරුදායක නම්, ශිල්පද ඔබ ඔබේ සැබෑ මිතුරා බවට පත්කරගන්න. එවිට සිතේ සංසිඳීමක්‌ ඇතිවේවි. එම සංසිඳුන සිත ඔබ ඉදිරියේ ඇති බියකරු යථාර්ථය හොඳින් ග්‍රහණය කරදේවි. එවිටයි ඔබට පුළුවන් ලෝකයට ආදරය කරන සැබෑම ආදරවන්තයෙක්‌ වන්න. ආදරය කියන වචනයට සමාජය ගොඩාක්‌ අර්ථයන් දෙනවා. ලෝකය කියන කාරණය ගනිද්දිත්, ‘ලෝකය දුකය’ කියන කාරණය ගනිද්දිත් සමාජය ආදරයට දෙන අර්ථකථන වැරදි නැහැ. ඒ නිසා ඒවා ලෝකයේ ස්‌වභාවයේම තිබුණාවේ. ඒවා වෙනස්‌ කරන්න අපි කාටවත් බැහැ. ඒවා දුකට අයිති ලෝකයේ ස්‌වභාවයයි. එම නිසා අනාගතයේදී තව ඕනෑතරම් ට-මහල් ඉදිවේවි. එක්‌ටැම්ගෙවල් ඉදිවේවි. ජීවිත පූජාවන් සිදුවේවි. සිහිමුළාවන්ට පත්වේවි. මුසාබස්‌ වලට තරුණ තරුණියන් විකිණේවි. කාමයේ ආදීනවය, නිස්‌සරණය නොහඳුනන්ගේ ලෝකයේ ආශ්වාදයේ කෙටිවූ දුක්‌ කඳුළු සහ සතුටු කඳුළු මහා සාගරයේ දිය පරයා යන තරමට දෑස්‌ වලින් වැගිරේවි. දුකටත් සැපයටත් එකම කඳුළ හෙළන මුලාවේ ලෝකය, තව තව සුන්දර අර්ථකථනයන් ආදරය ගැන සමාජයට සපයාවි. ඒ අය ආදරවන්තයන්ගේ වීරයන්, වීරවරියන් වේවි. එම වීරයන්, වීරවරියන්ම තම ජීවිතයේ අවසන් කාලයේ, අසරණභාවයෙන්, අනුනගේ ආදරය ඉල්ලා ජීවත්වෙයි. සමාජයේ කොයි තරාතිරමේ සිටියත් ඔතැනට තමයි අපි යන්නේ. ආදරයේ නාමයෙන් අපි බොරුවක්‌මයි කරන්නේ. ඔබට ආදරය නොකරන ඔබ, අනුනට කෙසේ ආදරය කරන්නද? ඔබ ළඟත් නැති දෙයක්‌ ඔබ කෙසේ නම් අනුනට දෙන්නද? නැති බව නොදන්නාකම නිසාම, ඇති බව සිතමින් තමනුත්, අනුනුත් දුකට වැටීමයි අවසානයේ සිදුවන්නේ.

එවන් දුකට ලෝකයකුයි අප ඉදිරියේ තිබෙන්නේ. තමා තමාට ආදරය කරනවා කියන්නේ ආත්මාර්ථකාමීව තමාගේ ගොඩ ලොකු කරගන්නවා කියන කාරණය නොවෙයි. මුළින්ම තමා සුරක්‍ෂිතභාවයට පත්වෙනවා. කුමක්‌ද මේ ලෝකයේ තිබෙන සැබෑම සුරක්‍ෂිතභාවය. තෙරුවන් සරණේ පිහිටලා, ශීලයක්‌ සමාදන්වීම තරම් සුරක්‍ෂිතභාවයක්‌ පිංවත් ඔබට හමුවන්නේ නැහැ. මෙතැනදි ගිහි පිංවතුන්ලා දස කුසල්ම ජීවිතයට එකතුකරගන්න දක්‍ෂ වෙන්න ඕනේ. කයෙන්, වචනයෙන් වන අකුසල් වගේම මනසින් අකුසල් වන ලෝභ, ද්වේශ, මෝහ කියන කාරණා ගැන අවධානයෙන් ඉන්න ඕනේ.

ලොව්තුරා බුදුරාණන්වහන්සේ මහා සිහනාද සූත්‍රයේදී දේශනා කරනවා, දුස්‌ශීලභාවය නිසා අනාගතයේදී මනුෂ්‍යයාගේ ආයුෂ ක්‍රමානුකූලව කෙටි වෙමින් පරමායුෂ වසර 10 ක්‌ වන බව. එදාට මනුෂ්‍යයා තුළ මෘග සංඥාවන් මතුවෙලා, මිනිසෙක්‌ තවත් මිනිහෙක්‌ව දකින්නේ මුවෙක්‌ හැටියට කියලා. මේ මෘග සංඥාවන් නිසා මිනිසා තියුණු අවි ආයුධ වලින් එකිනෙකා මරාගන්නවා කියලා.

ලෝකය යම් දවසක මේ තැනට යා යුතුමයි. ඒ නිසාමයි ලෝභ, ද්වේශ, මෝහ කියන කාරණා ලෝකයට අයිති ධර්මතාවයන් වෙන්නේ. ඒවා ලෝකය තුළ තිබිය යුතුයි. ඒවා නැති කරන්න ඔබට මට බැහැ. මේ විෂම ධර්මතාවය තේරුම්ගෙන පිංවත් ඔබ ලෝකයාගේ ලෝභය තුළ ඔබගේ ‘අලෝභය’ දකින්න. ලෝකයාගේ ද්වේශය තුළ ඔබගේ මෛත්‍රිය දකින්න. ලෝකයාගේ මෝහය තුළ ඔබගේ අමෝහය දකින්න. වැරදි කරන ලෝකය තුළ ‘ටිකක්‌ නිවැරදි’ කෙනෙක්‌ වෙන්න උත්සහ ගන්න එපා. වඩාත් නිවැරදි කෙනා වෙන්න උත්සහ ගන්න. මෙතැනයි ලොව්තුරා ධර්මය තිබෙන්නේ. දුස්‌ශීලභාවය විසින් යම් දවසක මිනිසාගේ ආයුෂ වසර දහයක්‌ දක්‌වා අල්ප කරනවා වගේම, ශිල්වත්භාවය නිසා නැවත ක්‍රමානුකූලව, ශීලයේ ශක්‌තියෙන් මනුෂ්‍යයා සකස්‌ වෙමින් අවුරුදු 80,000 ක්‌ පරමායුෂ ඇති මිනිසුන්ගේ ලෝකයක්‌ ක්‍රමානුකූලව බිහිවෙනවා කියලා ඉහත සූත්‍රයේදී බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. බලන්න දුස්‌ශීලභාවයත්, ශීලයත් අතර අතර තිබෙන පරතරය. පිංවත් ඔබ, ආදරයත්, අනාදරයත් අතර තිබෙන පරතරය වශයෙන්ද මෙය දකින්න පුළුවන්. පරතරය මේ සා විශාල වුවද, මේ යථාර්ථය අවබෝධයක්‌ කරගැනීම සඳහා ගොඩාක්‌ දේවල් කිරීමට අවශ්‍ය නැහැ. එක සිතිවිල්ලයි වෙනස්‌ කරගත යුත්තේ. රූපය සැපය කියලා ගන්නාවූ මිථ්‍යා සිතුවිල්ල. වේදනාව, සංඥාව, සංස්‌කාර, විඤ්ඤාණය සැපය, නිත්‍යය, ආත්මීයය කියලා ගන්නා වූ මිථ්‍යා සිතුවිල්ල වෙනස්‌ කරගැනීම පමණයි ඔබ කළ යුත්තේ. පිංවත් ඔබ මේ කාරණා පහට බැඳෙන්නේ තෘෂ්ණාව නිසාමයි. ‘තෘෂ්ණාව’ කියන එකම කාරණය ගැන නුවණින් සිතුවත් ඔබට පුළුවන් මාර්ගයක්‌ පාදාගන්න. මෙන්න මේ මාර්ගය පාදාගන්න ශීලය මහෝපකාරී වෙනවා.

ඔබ සමාදන්ව ආරක්‍ෂා කරන සෑම ශිල්පදයක්‌ පාසාම ඔබ කැමති දෙයක්‌ ඔබට අතහැරෙනවා. ඔබ දක්‍ෂවෙන්න ඕන ශීලය විසින් ලබාදුන් දක්‍ෂභාවය වඩාත් අර්ථවත් කරලා අලෝභ, අදේෂ, අමෝහ කියන යථාර්ථයන් තුළින් ඔබ රැස්‌කරගත් කුසල් සංස්‌කාර ආරක්‍ෂා කරගන්න. ඒ අවස්‌ථාව පිංවත් ඔබට ලබාදෙන්නේ අනිත්‍ය සංඥාවන් ජීවිතය තුළින් දැකීමෙන්. මෙතැනදී පිංවත් ඔබට සැබෑම සාමයත්, සැබෑම ආදරයත් ලෝකයාට දැක්‌වීමට හැකිවේවි. තමන් ආදරය නාමයෙන් කරන්නේ ලෝභ, ද්වේෂ,මෝහය තිව්ර කරගැනීමනම් පිංවත් ඔබ කාට ආදරය කළත් එතැන සකස්‌ වෙන්නේ තෘෂ්ණාවමයි.

තෘෂ්ණාවෙන් බැඳුන දෙය ඔබෙන් ඈත්වෙනවිට එතැන සකස්‌ වෙන්නේ ද්වේෂයයි. තමන්ට අයිති නැති දෙයක්‌ කෙරෙහි තෘෂ්ණාවෙන් බැඳෙන්නේ මෝහය නිසාමයි. අවසානයේදී ආදරයේ නාමයෙන් ඔබ කරන්නේ අනාදරයයි. එම නිසා පිංවත් ඔබ ලෝකයාට ආදරය කිරීමට පෙර දසකුසල් ධර්මයන් පිංවත් ඔබේ ජීවිතයේ සහකරු, සහකාරිය කරගන්න. පිංවත් ඔබට දැනේවි සශ්‍රීක දිව්‍යතලයක දෙවියෙක්‌ දිව්‍යංගනාවක්‌ ඔබ ළඟ සිටිනවා වගේ. විසිතුරුභාවයත්, පිවිතුරු භාවයත්, විශ්වාසයත් ඔබට ඇතිවේවි. ඔබට තනිකමක්‌ දැනෙන්නේ නැහැ. බියක්‌ සකස්‌ වෙන්නේ නැහැ. ‘මා අසරණයි’ කියන හැඟීමක්‌ ඇතිවෙන්නේ නැහැ. ශීලයේ ශක්‌තිය නිසාම සමාධිමත් සිතුවිලි ඇතිවේවි. ඒ සමාධිමත් සිතුවිලි ආදරයේත් අනාදරයේත් අතර වෙනස ඔබට අත්දැකීමෙන් පසක්‌කරදේවි. දස කුසල් ඔබේ ජීවිතයේ සහකරු සහකාරිය කරගැනීමට ඔබ දක්‍ෂ වුවහොත් ඔහු ඇය ඔබට පාවඩ එලනුයේ සුගතිය දෙසටමයි. පිංවත් ඔබ මේ යන ගමනේදී බුදුරජාණන් වහන්සේ දේශණාකරවදාළ ධර්මයම මාර්ගය කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශණාකරවදාළ සබ්භාශ්‍රව සූත්‍රය, අනාපාන සති සූත්‍රය, සතර සතිපට්‌ඨාන සූත්‍රය තුළ භව නිරෝධයට අවශ්‍ය කරුණු කාරණා අන්තර්ගතව තිබෙනවා. මහාසිහනාද සූත්‍රය, සප්තසූර්යගමන සූත්‍රය ජීවිතයට එකතුකර ගැනීමෙන් අනාගත සංසාර බිය හොඳින් ඔබට ඇතිකරගන්න පුළුවන්. ඉහත සූත්‍ර පහ කියවන්න කියල විශේෂයෙන් සදහන් කළේ අනෙක්‌ සූත්‍ර වැඳගත් නැහැය කියල නොවේ. සෑම සම්බුදු වදනක්‌ම එක හා සමානව වැදගත්. නමුත් කාර්යබහුල ලෝකයේ ඔබට සියලුම සම්බුදුවදන් මේ සූත්‍ර පහ තුළ කැටිවී තිබෙනවාය කියල භික්‍ෂුවට හිතෙනවා. එය වැරැදිනම් සමාවෙන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේටත් වැරදුන තැන් බුදුරජාණන් වහනසේ නිවැරැදි කළා. සාරිපුත්ත මහරහතුන් වහන්සේට වැරදුනානම් අපි කවුරුන්ද? එම නිසා අපි අපි ගැන අධිතක්‌සේරුවකට එන්න හොඳ නැහැ. සෑම විටම නොදන්නා භාවය දැන ගැනීමෙන්මයි අපිට දන්නා භාවයට පැමිණිය හැක්‌කේ. එහෙම වුණොත් පමණයි දන්නාභාවයට පැමිණ නොදන්නාභාවයෙන් ලෝකය තුළ ජීවත් වෙන්න හැකි වෙන්නේ. මෙන්න මෙතනටයි අපි හැමෝම එන්න උත්සහ ගන්න ඕනේ.

36-ඇයි ඔබ පිංවන්ත නැතිද?

2013-07-07- අද පසලොස්‌වක පොහොය දවසක්‌. පිණ්‌ඩපාතය බෙදන වයෝවෘධ මව්වරු කිහිප දෙනෙක්‌ පැමිණියා වන්දනා කරන්න. මින් එක්‌ අම්මා කෙනෙක්‌ අපි දන්න බොහොම සත්පුරුෂ ස්‌වාමීන්වහන්සේ නමකගේ අම්මා කෙනෙක්‌. මේ අම්මලා දෑත් නළලේ තබාගෙන බොහොම හැඟීම්බරව ප්‍රකාශ කළේ ‘අපේ හාමුදුරුවනේ ඔබවහන්සේලා දැකීමත් මහා පිනක්‌’ ය කියලා. ඒ වෙලාවේ භික්‍ෂුව එම මෑණිවරුන්ට ප්‍රකාශ කළේ ‘මෑණිවරු සිතනවා නම් මා දැකීම පිනක්‌ය කියලා, මා කියනවා ඔබලා වැනි මෑණිවරු දැකීමත් පිනක්‌ය කියලා. මොකද අපිව ලෝකයට බිහිකළේ, හොඳ නරක කියලා දුන්නේ අම්මලා, තාත්තලා නිසා. ‘බුද්ධං සරණං ගච්ඡාමි’ කියලා බුදුරජාණන්වහන්සේගේ සරණ මුළින්ම පිහිටෙව්වේ මව්වරු, පියවරු. ඒ නිසා මෑණිවරුනි අනුන්ගේ පින ගැන සිතනවා වගේම වඩාත් වටිනවා තමා කවුද කියන කාරණය සිහිපත් කරගැනීම. අපි හැමෝම අතින් ගිළිහෙන කාරණයක්‌ මේක. ඔබේ වටිනාකම ඔබ සිතන්නේ නැහැ. අනුන් මත්තෙමයි යෑපෙන්න හදන්නේ. මේ හැම අම්මා කෙනෙක්‌ම, මේ හැම තාත්තා කෙනෙක්‌ම අතීත බුද්ධ ශාසන වලදී තම මව්කුසවල් වලින් බිහිකරපු දරුවෝ රහතන් වහන්සේලා, අරහත් භික්‍ෂුණීන් වහන්සේලා වෙලා තිබෙනවා. එවැනි ආශ්චර්යමත් පිනැති දරුවෝ බිහිකරපු අම්මලා වුණු අවස්‌ථාවලදීත් ඔබලා සිතුවේ දරුවාගේ ආශ්චර්යය පමණයි.

ඒ රහතන්වහන්සේලා සෘර්ධියෙන් වඩිනකොට ‘අනේ මගේ පුතා, දුව’ කියලාමයි සාධුකාර දුන්නේ. ඔබට එදාත් සිතුනේ නැහැ එවන් උතුම් දරුවන් බිහිකරපු ඔබ මොනතරම් වාසනාවන්තද, පිංවන්තද කියලා. දරුවන්ව කර මත තබාගෙන බර ඇද්දා මිසක්‌, බර දරාගත් ඔබගේ ශක්‌තිය ගැන හැම මොහොතකම ඔබට අමතක වුණා.


මේ මොහොතේත් ඔබ කරන්නේ එයමයි.

එමනිසා එවැනි උතුම් දූවරු, පුතනුවන් ලබන්නනට පිංකළ මෑණිවරුනි, ඔබේ පුතාගේ, දුවගේ ආශ්චර්යයන් දකිනවා වගේම, ඔබට අමතකව ඇති ඔබේ පිංවත් බවත් දකින්න. එහෙම නොවුනොත් දරුවන් ලෝකයෙන් එතෙරට යාවී. ඔබලා මෙවරත් අසරණ වේවි.

තම ඥාතිවර්ගයා තුළ අර්ථවත්ව චීවරයක්‌ දරාගැනීමට පිනැති දරුවෙක්‌ උපදින්නේ හේතුඵල ධර්මයක්‌ නිසාමයි. එම ඵලය අර්ථවත්ව නෙළාගන්න ඥාති සමූහයාම දක්‍ෂවෙන්න ඕනා. දරුවා කෙරෙහි ඇති ඡන්දරාගය වැඩිවෙනකොට, දරුවා වෙනුවෙන් මැරෙන්න, නිරයට යන්න සූදානම් තාත්තලා අම්මලා ඉන්නවා. දුරදිග නොබලා,ඉක්‌මනට ගන්න තීරණ ඉක්‌මනින්ම අපව දුකට කැඳවාගෙන යනවා. දරුවා තරම් කාම වස්‌තුවක්‌ තවත් මේ ලෝකය තුළ නැහැ. සිදුහත් කුමාරයා එදින උපන් හුරුබුහුටි, පිනැති රාහුල කුමාරයාගේ ශêරයවත් ස්‌පර්ශ නොකර ගිහිගෙදරින් නික්‌ම ගියේ දරුවා කියන කාම වස්‌තුවේ අනතුරුදායක බව දන්නා නිසාමයි. බැඳුනොත් ගැලවෙන්න බැරි බව දන්නා නිසාමයි. එම නිසා දරුවා කියන කාම වස්‌තුව අපි බොහොම පරෙස්‌සමින් පරිහරණය කරන්න ඕනේ. මොකද එය ගින්දරටත් වඩා අනතුරුදායක නිසා.

දරුවන් කෙරෙහි අපි ඇතිකරගත් ඡන්ද රාගය නිසා සසර මොනතරම් අපි සතර අපායන්හී දුක්‌විඳින්න ඇතිද? මනුෂ්‍ය අම්මාත්, තිරිසන් සත්ව අම්මාත් කියන කාරණයේදී ආදරයේ වෙනසක්‌ නැහැ. බලවත් අකුසල් හේතුවෙන් තම දරුවන් මරාදමන මනුෂ්‍ය අම්මලා වගේම, තිරිසන් සත්ව අම්මලාත් ඉන්නවා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා අම්මා කෙනෙක්‌ තම දරුවන් වෙනුවෙන් සංසාරයේ හෙළපු කඳුළු මහා සාගරයේ ජලයටත් වඩා වැඩිය කියලා. මේ සා කඳුළු සාගරයක්‌ දරුවන් වෙනුවෙන් හෙළලා මේ උතුම් ජීවිතයේදී එම කඳුළු සාගරයට තවත් කඳුළු බාල්දි හත අටක්‌ එකතු කරලා ඔබ මියගියහොත් එය අවාසනාවක්‌මයි.

පිංවත් ඔබට පුළුවන්කම තිබෙනවා මේ කඳුළු සාගරයම මේ ජීවිතයේදීම සින්දන්න. එය කළ හැක්‌කේ දරුවන් කෙරෙහි තව තව ඡන්දරාගය සකස්‌ කරගැනීමෙන් නොවේ. දරුවා කියන කාම වස්‌තුවේ අනිත්‍ය බව, දුක්‌ඛ, අනාත්ම බව අවබෝධ කරගැනීමෙන්.

පිංවත් මෑණියනි, මේ මොහොතේ මා භික්‍ෂුවක්‌, ඔබ දායිකාවක්‌. මේ මොහොතේ අපේ හමුවීම එසේ වුවත් අතීත සංසාරයේ කොතෙක්‌ නම් මේ සටහන් ලියන භික්‍ෂුව ඔබට පුතෙක්‌ වෙලා ඇතිද? ඔබේ සහෝදරයෙක්‌, ඔබේ ස්‌වාමිපුරුෂයා වෙලා ඉන්න ඇතිද? ඔබේ මුණුපුරෙක්‌, ගුරුවරයෙක්‌ වෙලා ඉන්න ඇතිද? ඔබ වැඳිරියක්‌ වෙලා, ඒ වැඳිරියගේ පැටවා මම වෙලා, මොනතරම් ඔබේ ශêරයේ මා එල්ලාගෙන අත්තෙන් අත්තට පනින්නට ඇතිද? ඔබ බැළලියක්‌ වෙලා මම එම බැළලියගේ පැටවා වෙලා මොන තරම් ඔබ මාව කටින් එල්ලාගෙන තැන් තැන්වල ආරක්‍ෂාවට සඟවන්න ඇතිද? ඔබ කිකිළියක්‌ වෙලා මම ඔබේ පැටවා වෙලා ඔබ මොන තරම් නම් පණුවන් ඇහිඳ ඇහිඳා මට කවන්නට ඇතිද? ඔබ එළදෙනෙක්‌ වෙලා මම ඔබගේ වසුපැටවා වෙලා ඔබ මට තනබුරුලු වලින් මොනතරම් කිරි පොවන්නට ඇතිද? ඔබ කිඹුලියක්‌ වෙලා, මම ඔබේ කිඹුල් පැටවා වෙලා පුංචි කාලයේදීම ඔබ මාව කී වතාවක්‌ නම් මරාගෙන කන්න ඇතිද? ඔබ ප්‍රේතියක්‌ වෙලා, එම ප්‍රේතියගේ දරුවා මම වෙලා ඔබ මට මොනතරම් සෙම් සොටු කවන්න ඇතිද? සෑම අම්මා කෙනෙක්‌ම තාත්තා කෙනෙක්‌ම මෙය තම ජීවිතයට ගලපා දකින්න.

යථාර්ථය මෙයනම් ඔබට සිතෙන්නේ නැතිද දරුවා කියන කාම වස්‌තුවේ ඇති අනතුරුදායකබව.

අපි දෙගොල්ලෝ ගණුදෙනුවක්‌ කරන්නේ. දරුවන් නිසා මව්පියන් දුකට වැටෙනවා. ඊළඟට දරුවන් දෙමාපියන් වෙලා තම දරුවන් උදෙසා දුකට වැටෙනවා. නිමාවක්‌, සීමාවක්‌, විරාමයක්‌ නැවතීමක්‌ නැහැ.

ඔබේත් මගේත් ඇස්‌ වහලා දුක ගලාගෙන යනවා.

අපි සූදානම් අපේම දෑසින් ගලාගෙන ගිය කඳුළු සාගරය මත කිමිදි කිමිදී අනතුරු අමතක කර ආශ්වාදයම සොයන්න.

හිතන්න මව්කුසක ඇති අපුලභාවය. තවත් ගර්භාෂ කුටියකට රිංගා නොගන්න බවට ඔබ ඔබට සපථ වෙන්න. ජීවත්ව සිටින දෙමාපියන්ට, දරුවන්ට යුතුකම් නොපිරිහෙලා ඉටුකරමින් නැවත මව්කුසක්‌ එපාය කියන දිශාවටම ගමන් කරන්න.

දරුවන්ට දෙමාපියන් කියන්නේත් හොඳ කමටහනක්‌. දරුවන්ට පුළුවන් මනසින් අනාගතයට යන්න. තමනුත් අනාගතයේදී විවාහ වෙනවා, දරුමුණුපුරන් හදනවා, වයසට යනවා… මේ දුක මටත් උරුමයි කියලා. දෙමාපියන්ට පුළුවන් අතීතයට මනසින් යන්න. අපිත් මේ දරුවන්ගේ වයසේ සිටියා දැන් සියල්ල අනිත්‍යවෙලා අපේ දුක, අපේ කඳුළු, අපේ ශ්‍රමයෙන්මයි දරුවන් ලොකුමහත් වුණේ. අපේ ශක්‌තිය ක්‍ෂයවෙලා යනකොට දරුවෝ ඒ ශක්‌තියෙන් ලොකුමහත් වෙනවා.

ඔබට පුළුවන්නම් එහෙම දකින්න, සංසාරයක්‌ පුරාවට ඔබට අම්මා, තාත්තා වූ සියල්ලන්ටම යුතුකම් ඉටුකළ දරුවෙක්‌ වෙනවා ඔබ.

දුකට කැමති අය දුක දෙසටම ගියාවේ. දුකට අකමැති ඔබට පුළුවන්, මුළු ලෝකයම එකම දිශාවකට ගියත් ඔබ තනියම ලෝකයේ සැබෑම සැපය ඇති දිශාවට යන්න. මේ යන ගමනේදී මුළු ලෝකයෙන්ම ඔබ කොන්වුවත්, ඔබ බයවෙන්න සැලෙන්න එපා. කව්රු නැති වුණත් ඔබ ළඟ ලොව්තුරා බුදුරජාණන්වහන්සේ සිටිනවාය කියන විශ්වාසය ඇතිකරගන්න. මුළු ලෝකයම අත්හැරලා ඔබ බුදුරජාණන්වහන්සේගේ ගොඩට එන්න. මුළු ලෝකයම ඔබේ කරට අතදාගෙන සිටියත් වැඩක්‌ නැහැ, බුදුරජාණන්වහන්සේ ඔබ ළඟ නැතිනම්. ඔබ අනාථයන් අතර තවත් අනාථයෙක්‌ පමණයි. අනාථයින් අතර ඔබ සනාථ පුද්ගලයෙක්‌ වෙන්න. අපි හැම වෙලාවේම ලෝකයට බයයි. සමාජයට බයයි. ඒ අපේ අසරණභාවයට හේතුව බුදුරජාණන් වහන්සේ සරණ නොකරගන්නා නිසයි, ධර්මයේ ශක්‌තිය හඳුනා නොගත් නිසයි.

මේ සටහන් ලියන භික්‍ෂුව යම් දවසක ලොව්තුරා බුදුරජාණන්වහන්සේ සරණ කරගත්තද, එදා පටන් ලෝකය කියන දෙය තඹ දොයිතුවකටවත් තැකුවේ නැහැ. ‘බුදුරජාණන්වහන්සේ’ කියන අයෝමය විශ්වාසය හමුවේ ලෝකය කියන්නේ හුදු මායාවක්‌, රැවටීමක්‌, අසරණභාවයක්‌ කියන කාරණයමයි දැනුනේ. හෙටක්‌ කියන කාරණය දැනුනේ නැහැ. රැයක්‌ දවාලක්‌ කියන කාරණය දැනුනේ නැහැ. මේ ඉහළට ගන්නා හුස්‌ම ගන්නා හුස්‌ම පොද පහළට ගන්නා මොහොතේ මැරෙයි කියන කාරණයයි දැක්‌කේ.

මේවා හේතුඵල ධර්මයන්. උතුම් ධර්මයේ ආශ්චර්යයෙන් ගොඩනැගෙන ඵලයක්‌. මේ සහ ශක්‌තිමත් ධර්ම මාර්ගයක්‌ තිබෙනකොට ඇයි අපි අසරණවෙන්නේ, ලෝකය බදාගෙන