35- ස්‌ථාවර සාමයක්‌ උදෙසා…

2013-06-30
සඳට යන්නට, අඟහරු ලෝකයට යන්නට ඒවා අයිතිකර ගැනීමට, සුපිරි මධ්‍යස්‌ථාන පිහිටුවාගෙන අතිනවීන රොකට්‌ නිපදවන, දියුණු යෑයි සම්මත ලෝකයාට ඒවාට ගොස්‌ කංකුං මුගුණුවැන්න සිටුවීම පිණිස ගෙම්බන් වඳුරන් ඇති කිරීම පිණිස පර්යේෂණ කරන ලෝකයාට, සඳත් හිරුත් ග්‍රහලෝකත්, මේ නාමරූප ධර්මයන් තුළින් අර්ථවත්කොට පෙන්වා වදාළ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය කෙසේ නම් හඳුනාගන්නද?

දියුණුවේ නාමයෙන් විනාශය සොයාගෙන යන ලෝකයක්‌, විනාශයෙන් අනතුරුව සාමය සොයාගෙන යන ලෝකයක්‌ මිනිස්‌ සිතේ සැබෑම ‘සාමය’ කෙසේ නම් හඳුනාගන්නද?
මිනිස්‌ සිතේ සැබෑම සාමය වන කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්දච්ජ කුකුච්ඡ, විචිකිච්ඡා යන පංච නීවරණ යටපත්වූ, මිදුනාවූ සිතේ ඇතිවන සැබෑ ලෙසින්ම අර්ථවත් ‘ලෝක සාමය’ කෙසේ නම් හඳුනාගන්නද?

පංචනීවරණයන් බහුලවූ සිත විසින්, අනිත්‍යවූ ලෝකය ග්‍රහණය කරගැනීමට ඔබව මෙහෙයවන විට, පංචනීවරණ යටපත්වූ සිත පිංවත් ඔබව හුදෙකලාවටම, නිවීම උදෙසාම, සැබෑම සාමය දෙසටම යොමු කරයි. පිංවත් ඔබ කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වියදම් කරගෙන, ලෝක සාමය උදෙසා, ලෝකයේ, රටේ, නගරයේ, ගමේ, නිවසේ සාමය උදෙසා ක්‍රියාකාරීවන අයෙක්‌ නම්, ඒ කිසිදු වියදමකින් තොරව ලොව්තුරා බුදුරජාණන්වහන්සේ වදාළ වටිනාකම ඉලක්‌කමෙන් කියා නිමකළ නොහැකි සාමයේ මග පිංවත් ඔබට විවෘත බව සිතන්න.

පංචනීවරණ යටපත්වූ සැබෑම සාමයේ සැපය අත්විඳින ඔබට ලෝකය දැනෙන්නේ, ලෝකය පෙනෙන්නේ සැබෑම සුන්දර තැනක්‌ ලෙසටයි. පිංවත් ඔබ ලෝකයේ සුන්දරත්වය දකින්න මොනතරම් වෙහෙස ගන්නවද? දෙස්‌ විදෙස්‌ සංචාර, විනෝද ගමන්, වන්දනා ගමන්, ලෝකයේ සුන්දරත්වය සොයාගෙන යන ගමනේදී ඔබ සංචාරකයෙක්‌ බවට පත්වෙනවා. නිකං සංචාරකයෙක්‌ නොවේ. පිංවත් ඔබ අසුන්දර සංචාරකයෙක්‌ බවට පත්වෙනවා. අසුන්දර සංචාරකයෙක්‌ කියලා සටහන් කළේ ඔබ තවමත් සුන්දරත්වය සොයන නිසයි. ඔබ යමක්‌ සොයන්නේ ඔබට එය නොලැබී ඇති නිසයි. ඔබ තවම සුන්දරත්වයෙන් තෘප්තිමත් නොවී ඇති නිසයි. නිරතුරුවම පංච නීවරණයන් වැඩෙන මාර්ග ඔස්‌සේම ලෝකයේ සුන්දරත්වය සොයා යන ‘අසුන්දර මිනිසුන්’ අපි.

අතීත භවගමනේදී ඔබත් මමත් සක්‌විති රජවෙලා, සක්‌විති රජුගේ ස්‌ත්‍රී රත්නය වෙලා ඉපදිලා, අවුරුදු 84,000ක්‌ එම සැප විඳලත්, පංචනීවරණ ධර්මයන් නිසාම, සුන්දරත්වයෙන් තෘප්තිමත් නොවූ පිරිසක්‌ අපි. සක්‌විති රජකමෙනුත් තෘප්තිමත් නොවූ අපි වර්තමානයේ රුපියල් 20ක්‌ වියදම්කොට
ලොතරැයියක්‌ මිලදීගෙන ලෝකයේ සුන්දරත්වය දකින්න සිහින මවනවා. තෘෂ්ණාවේ දිග පළල වන කාමච්ඡන්දයෙන් විසිරුණාවූ සිත ලෝකය තුළ අයාලේ යන්නට ඔබට බොහොම කෙටි, අධිවේගී කාපට්‌ මාර්ග පෙන්වනවා. සතර අපාය නැමැති බිහිසුණු අනතුරු මුව අයා බලා සිටියදී ඔබ මේ අධිවේගී මාර්ගයේ ථීනමිද්ධයෙන් අඩ නින්දට වැටුණු දෑසින් ගමන් කරනවා. බියක්‌ දැනෙන්නේ නැහැ. සිත විසිරිලා කාමච්ඡන්දයෙන් අයිතිකරගැනීමේ දිශාවටමයි අවධානය යොමුවෙලා තිබෙන්නේ. මගතොට මුණගැසෙන සෑම රතු එළියකදීම ඔබට මොහොතක්‌ නැවතී යන්න සිත සකස්‌ වෙන්නේ නැහැ. ඒ කෙටි විරාමයේදීත් සිත ව්‍යාපාදයෙන් නළියනවා. මේ යන ගමනේදී ඔබට මග නොමග කියාදෙන සත්පුරුෂයෙක්‌ මුණගැසෙන්න පුළුවන්. ඒ සත්පුරුෂයා දෙසත් ඔබ විචිකිච්ඡාවෙන් බලන්නේ ඔබ තුළ මහා යුද්ධයක්‌, හඳුනානොගත් යුද්ධයක්‌ විසින් නොමග මග බවට පත්කර කියාදෙන දරුණු සතුරන් පස්‌දෙනෙක්‌ ඔබ ඔබේ සැබෑම මිතුරන් කරගෙන කෙසේ නම් ඔබ සාමයේ සැබෑ අරමුණු ජයග්‍රහණය කරගන්නද? සැබෑම සාමයට එරෙහිවූ පංචනීවරණ නැමැති සතුරන් පස්‌දෙනා ඔබ ඔබේ මිතුරන් කරගෙන කෙසේනම් ඔබ සැබෑම සාමය අත්විඳින්නද?

පිංවතුනි, ලෝකය සැබෑම සුන්දරයි. මේ ඇස සැබෑවටම සුන්දරයි. තෘෂ්ණාවෙන් තොරව මේ ඇස දෙස බලද්දී මේ ඇසෙන් දකින රූපය සැබෑම සුන්දරයි. තෘෂ්ණාවෙන් තොරව රූපය දෙස බලද්දී මේ කණ සැබෑම සුන්දරයි. මේ කණ දෙස තෘෂ්ණාවෙන් තොරව බලද්දී මේ කණින් ඇසෙන ශබ්ද හරිම සුන්දරයි. මේ ශබ්ද තෘෂ්ණාවෙන් තොරව අසද්දී කොටින්ම මේ රූපය සුන්දරයි. තෘෂ්ණාවෙන් තොරව රූපය දකිද්දී තෘෂ්ණාවෙන් තොරව දකින රූපය කමටහනක්‌මයි. ලෝකයේ යථාර්ථය දැකීමට හේතුවූ මෙවලමක්‌මයි. මේ ඇස කමටහනකට විෂය වූ රූපයක්‌මයි මේ ඇස, ඇසෙන් දුටු රූපය. මේ ඇස නිසාමයි ලෝකය දැක්‌කේ. මේ කණ නිසාමයි ලෝකය ඇසුනේ. මේ නාසය, දිව, මනස, කය නිසාමයි ලෝකය දැනුණේ. ලෝකය දකින, ලෝකය ඇසුණ, ලෝකය දැනුණ නිසාමයි ලෝකයෙන් මිදෙන දිශාවට අපව යොමුවුනේ. ලෝකයේ අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම ස්‌වභාවමයම අවබෝධකොට ගැනීමට හැකි වුණොත් එම අවබෝධය කරා යැමට උපකාරීවූ මෙවලම් කෙසේනම් අසුන්දරයි කියන්නද?
සතර මහා ධාතුවෙන් සැදුණු, නිරතුරුවම වෙනස්‌ වන, අසුන්දර වූ රූපය අවබෝධයේ සැබෑම සුන්දරත්වය දෙසට යොමුකරගන්න. තෘෂ්ණාවෙන් තොරව රූපය දකින්න. එවිට රූපය සැබෑම සුන්දරයි. තෘෂ්ණාවෙන් තොරව ඔබ රූපය දැක්‌කොත් රූපය කෙරෙහි ඇලීමක්‌, ගැටීමක්‌, උපේක්‍ෂාවක්‌ ඔබ තුළ ඇති නොවේවී. රූපය, රූපයේ ස්‌වභාවයෙන්ම වන අනිත්‍ය ස්‌වභාවයෙන්ම පවතීවි. ඒ අනිත්‍ය ස්‌වභාවය නැවත නැවත දකිමින් ලෝකයේ ඇත්ත දකිනා, තෘෂ්ණාවේ බර බිම තැබූ සැබෑ සුන්දර මිනිසෙක්‌ වෙන්න. ඒ සුන්දර මිනිසුන්ට දැන් ලෝකය දුකක්‌ නොව, දුක අවබෝධ කරගැනීමට විෂයවූ කමටහනකි. මෙවලමකි.

පිංවත් ඔබ සෑමවිටම රූපය විවෘතව දකින්න. ටිකක්‌ නොවේ, භාගයට නෙමෙයි, විවෘතවම රූපයේ රසය, හැඩය, වර්ණය, ස්‌පර්ශය විඳින්න. අසිහියෙන් නොවේ, සිහිමුලාවෙන් නොවේ. රූපයේ ආශ්වාදය තුළින්ම ගිහි පිංවතුන්ලා රූපයේ ආදීනවය ප්‍රකට කරගන්න. පිංවත් ඔබ රූපය ඉදිරියේ උපක්‍රමශීලී වන්න. යම් රූපයක්‌ විවෘතව, විනිවිද, විදර්ශනාවෙන් නොදකින නිසාමයි එම රූපය කෙරෙහි නැවත, නැවත කෙළෙස්‌ සකස්‌ වෙන්නේ. මොනම රූපයක්‌වත් බාගෙට දකින්න එපා. එය විවෘතව අත්විඳලා එම රූපයේ නිසරු බව, විඳීමේ නිසරු බව අවබෝධ කරගන්න. නිසරු රූපය කෙරෙහි, විඳීම කෙරෙහි ඔබ ඇතිකර ගන්නා තෘෂ්ණාවේ නිසරු බව වටහාගන්න.

තෘෂ්ණාවෙන් ගිනිගත් ඇස ප්‍රඥාවේ සිසිල්ධියෙන් නිවීයනකොට ඇස නිසා සකස්‌වෙන ඵස්‌ස, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ගිනි නිවී යන විට, ඇස ඔබට තවත් රූපයක්‌ පමණක්‌ම වනු ඇති. ඇස ඇත. තෘෂ්ණාව නැත. තෘෂ්ණාවේ ගිනිs නිවුන ඇස තවත් බාහිර රූපයන් නිසා කෙසේ ගිනිsගන්නද? මිනිස්‌ සිතක සැබෑම සාමය, ලෝක සාමය ඇත්තේ මෙතැනය.

මේ ගින්න නොනිමෙන තාක්‌කල් සාමය යනු යුද්ධයට පෙර ඇතිවන නිහඬතාවයක්‌ පමණක්‌ වනු ඇත.

පිංවත් ඔබගේම රූපය තුළින් ධර්මය මතුකොට ගැනීමට හැකියාව තිබියදී ඔබ ඒ හැකියාව, තෘෂ්ණාව විසින් වසාදමලා, සතර සතිපට්‌ඨාන ධර්මය පොත්වලින් සොයනවා. පොත් විවෘත කිරීමට පෙරාතුව ඔබේම ශරීරය ඔබට විවෘතකර ගන්න. ඔබේ ජීවිතය සරලභාවයට පත්කර ගන්න. ඔබ විසින් ගොඩනගා ගන්නා කෘත්‍රිමභාවය තුළ බරත්, ජීවිතයේ සරලභාවය තුළ සැහැල්ලුවත් මුළින්ම අත්දකින්න. කෘතිමභාවයේ බර යනු කෙළෙස්‌වල බරම බව දකින්න. සරලභාවයේ සැහැල්ලුව යනු නික්‌ලේශී බවම බව දකින්න. කෙළෙස්‌ යනු අකුසල්මය. කෘත්‍රීමභාවයේ බරත්, කෙළෙස්‌වල බරත් දෙකටම මැදිවී ධර්මයෙන් බැහැරව යන මාර්ගයෙන් බැහැරව යන මාර්ගය ඔබේ ජීවිතයෙන් වසා දමන්න.

අපි මේ යන ගමනේදී ලෝකය තුළදී තරගකාරීව නැගීසිටීමට, කැපී පෙනීමට සිතුවිලි සමග මහා යුද්ධයක්‌ නේද නිරතුරුවම කරන්නේ. කුසල් අකුසල් මනසිකාරවලින් සන්නද්ධව යුද භූමිය තුළ ඔබ සටන්වදිනවා නේද? නිත්‍ය වූ ජයක්‌, පරාජයක්‌ නැති ස්‌ථිර වූ දුකක්‌ පමණක්‌ ඇති රූපය අයිතිකොට ගැනීමේ යුද්ධය සැබෑම සාමයක්‌ ඇතිකරගැනීමේ මාර්ගයට ඔබත් එන්න. මේ සැබෑ සාමයට එන ඔබට මුළු ලෝකයම අනතුරට ලක්‌වුවද ඔබ තුළ ඇති සාමයට අනතුරක්‌ නොවනු ඇත. මුළු ලෝකයම විනාශවුවත් ඔබට නොසැලෙන සාමයක්‌ ලබාදුන්නේ ඇමරිකාවවත්, රුසියාවවත්, චීනයවත් නොව ලොව්තුරු බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. ලෝකය, ලෝකයා බොහෝම අවදානම් ගමනකයි යන්නේ. ඒ නිසා අනුන්ගේ දෑත් අත්හැර බුදුරජාණන්වහන්සේ සරණ කරගෙන පිංවත් ඔබ තුළ සැබෑ සාමය ඇතිකරගන්න. ඔබ කාමච්ඡන්දයන් දලුලන මිථ්‍යා සමාධියෙන් බැහැරව, සම්මා සමාධියටම පැමිණෙන්න.

Advertisements

34-අතිශයෝක්‌තිය සක්‌කාය දිට්‌ඨියේ ළඟම ඥාතියෙක්‌

2013-06-23

තෘෂ්ණාව හේතුවෙන් උපාදානය ඇතිවෙනවා. පටිච්ජ සමුප්පන්නව උපාදානයයි ඊළඟ භවය සකස්‌ කර දෙන්නේ. ඉහත කාරණය මැනවින් තේරුම් ගන්න පුළුවන් සිද්ධියක්‌ පහත සඳහන් කරනවා. අපි නිරතුරුවම පටිච්ජසමුපාද ධර්මයේ අර්ථයන්ට පිටින් ගොස්‌ අපේ ජීවිතය දකිනවා. ඔබ සිතා සිටිනවා ඒ දැක්‌ම ධර්මය එකඟයි කියලා.

භික්‍ෂුව ධර්ම සාකච්ඡාවක්‌ කරන අවස්‌ථාවක මැදිවියේ කාන්තාවක්‌ බොහොම සතුටින් උදම්ඇනුවා ඇය මැරෙන්න බය නැහැ කියලා. ‘හාමුදුරුවනේ, මම දැන් වුනත් මැරෙන්න බය නැහැ. මම ඕනෑ තරම් පිංකම් කරලා තිබෙන්නේ’ කියලා. නමුත් භික්‍ෂුව ඇයගේ අදහස්‌ තුළින් දැක්‌කා ඇය මොනතරම් පිංකම් කළා කීවත්, පංචඋපදානස්‌කන්ධයේ අනිත්‍යභාවය වඩලා නැහැ කියලා. මෙය සමාජයේ හුඟදෙනෙක්‌ තුළ තිබෙන දුර්වලකමක්‌. තමන් කරන පිංකම් නිසාම පංචඋපාදනස්‌කන්ධයේ නිත්‍යභාවය වැඩිකර ගන්නවා. තමා මැරෙන්න බය නැහැ කියලා කියපු මැදිවියේ පිංවත් කාන්තාවද, තමා කරන පිංකම් ගැන කියමින් තමයි භික්‍ෂුව ඉදිරියේ උදම් ඇනුවේ. ඇය කීවා ‘මම නිතරම දන්දෙනවා, සිල් ආරක්‍ෂා කරනවා, සමාජ සේවය කරනවා’ කියලා. ශීලය ගැන, දානය ගැන තෙරුවන් ගැන ඇය දැනගෙන සිටියත් දැනගත යුතුම දෙය, එනම් දුක සකස්‌ කරන තෘෂ්ණාව ගැන ඇය දැනගෙන හිටියේ නැහැ.

තමා මැරෙන්න බය නැහැ, පිංකම් කරලා තිබෙනවා කියපු එම කාන්තාවගෙන් භික්‍ෂුව ඇසුවා ‘ඔබට දරුවන් කී දෙනෙක්‌ සිටිනවාද?’ කියලා. ඇය කීවා තරුණ දුවෙක්‌ සහ පුතෙක්‌ සිටිනවාය කියලා. පුතා තවම පාසල් යනවා. ඇයගේ ස්‌වාමිපුරුෂයා මියගිහින්. ඇය ව්‍යාපාරයක්‌ කරමින් හොඳ ආර්ථික තත්ත්වයකින් ජීවත්වෙනවා. තම ව්‍යාපාරය වගේම දරුවන් උදෙසාද ඇය බොහොම වෙහෙස මහන්සි වෙනවා. දරුවන් දෙදෙනාට ඇය තමාගේ ජීවිතයටත් වඩා ආදරෙයි. මැරෙන්න බය නැහැ කියපු ඇයගෙන් භික්‍ෂුව මෙහෙම දෙයක්‌ විමසුවා.

‘මෙතැනට දැන් මහත්මයෙක්‌ එනවා කියලා හිතන්න. ඒ මහත්මයා සත්‍යවාදී වචන කථා කරන මහත්තයෙක්‌. ඒ මහත්මයා ඔබට කියනවා මම ඔබව හෙට උදේම ඔබව ඇමරිකාවට එක්‌කරගෙන යනවා. එහිදී මනුෂ්‍යයකුට ලැබෙන උපරිම සැපසම්පත් දී මැරෙන තුරාවටම ඔබව රැකබලාගන්නවා. හැබැයි මට එහි රැගෙන යන්න හැකියාව තිබෙන්නේ ඔබව විතරයි. දරු දෙදෙනා රැගෙන යැමට මට අවස්‌ථාවක්‌ නැහැ. ඒ අයව තියලයි යන්න වෙන්නේ. මොහු අවංකවමයි මේ ප්‍රකාශය කරන්නේ’

භික්‍ෂුව ඇයගෙන් විමසුවා ඔබ ඔහු සමග හෙට උදේම ඇමරිකාවට යන්න කැමති වෙනවද? කියලා. ඇය ගත් කටටම කීවේ ‘මගේ දරුවො දෙන්නා දාලා මම කොහේවත් යන්නේ නැහැ’ කියලා. මෙන්න මෙතැන තමයි උපාදානය කියන්නේ. ඇය මුළින්ම උදම් ඇනුවා මම පිංකරනවා, දන්දෙනවා, සමාජ සේවය කරනවා, සිල් ආරක්‍ෂා කරනවා. මම ඕනෑ වෙලාවක මැරෙන්න බය නැහැ’ කියලා. නමුත් ඒවා සියල්ල යටපත්වී තෘෂ්ණාවේ බලවත්භාවය නිසා දරුවන් ගැන උපාදානය ඉස්‌මතු වුණා. ඉහත සත්‍යවාදී මහත්මයා ඇයට අඬගසන්නේ ඇමරිකාවේ සුපිරි සැපසම්පත් සහිත ජීවිතයක්‌ ලබාදෙන්න. ඇය එම සැපය අතහැර තමා සැපයක්‌ කරගත්ත දරුවන් උපාදානය කරගත්තා. පිංවත් ඔබ සිතන්න ඇය මේ මොහොතේ අසනීපයකින්, අනතුරකින් ක්‍ෂණික මරණයකට පත්වුනොත් ඇය දක්‍ෂවෙයිද අවසන් මොහොතේ තමා කළ පිංකම් සිහියට නගාගෙන සුගතියක උපතකට යන්න. එය එසේනම් පිංකම් අමතකවී දරුවන් ගැන උපාදානය සකස්‌වෙයිද?

පිංවත් ඔබ මේ කාරණය ගැන හොඳින් සිහියට ගන්න. මහ පොළොවේ පස්‌ වලට සාපේක්‍ෂව අතට ගත් පස්‌ පිඩක ප්‍රමාණයයි නැවතත් සුගතිගාමී ජීවිත ලබන්නේ කියලා බුදුරජාණන්වහන්සේ උපමාවක්‌ සහිතව පෙන්නලා දෙනවා. මෙන්න මේ ප්‍රකාශය තුළ සැඟවුණු සත්‍යය ඔබ නුවණින් මෙනෙහි කළයුතු වෙනවා.

වර්තමාන සමාජයේ බහුතරයක්‌ අප්‍රමාණ පිංකම් කළත්, එම පිංවතුන් තම දූ දරුවන්, දේපල, යානවාහන, නිලතල කෙරෙහි බැඳිලයි ජීවත්වෙන්නේ. දෘෂ්ඨ මතවාද වල කිමිදෙමින් ජීවත්වෙන්නේ. ඔබ සතර අපායෙන් මිදී නොමැතිනම්, අවම වශයෙන් ශීලයෙන්වත් පරිපූර්ණ නැතිනම් ඔබ මොනතරම් පිංකම් කර තිබුණත් ඔබ මියයන මොහොත හරිම භයානකයි. තීරණාත්මකයි. සැබැවින්ම මරණයේ භයානක කම ඇත්තේ සුනාමි, භූමිකම්පා, මිසයිල ප්‍රහාරයක නොවේ ඉහත සඳහන් ආකාරයේ අනවබෝධයයි භයානක. ඒ සඳහන් කළ කාන්තාව තමා මරණයට බය නැහැ කියලා උදම් ඇනුවත් ඊළඟ ජීවිතයේ දෙවියෙක්‌ මනුෂ්‍යයෙක්‌ වෙනවාය කියලා කීවත් එය කෙසේ නම් සිදුවෙන්නද? ඇය එසේ සිතාගෙන ඉන්න පුළුවන් නමුත් ක්‍ෂණික මරණයක්‌ සිදුවුවහොත්, ඇයට තමන් කළ පිංකම් අමතකවී තෘෂ්ණාව වැඩි අරමුණ වන දරුවන් දෙපල මතකයට ඇවිත් පරදත්තරූපජීවී ප්‍රේතියක්‌ වීමටයි සිදුවන්නේ. නමුත් ඇය සුගතියකට සිත පිහිටුවා ගැනීමට අවශ්‍ය තරම් පිං ජීවිතයෙන් රැස්‌කර තිබෙනවා. නමුත් වැඩි තෘෂ්ණාව සකස්‌වෙන්නේ සුගතිය කියන රූපයට නොවේ. දරුවන් දෙපල කියන රූපයටයි. මැරෙන මොහොතේ දිව්‍ය සංඥාවක්‌ මතුවී දෙවියෙක්‌ ඇවිත් ඇයට දිව්‍ය ලෝකයට එන්නයෑයි අඬගැසුවද (ඇමරිකාවට ගොස්‌ උපරිම සැසම්පත් පිරිනැමීමට කරන ආරාධනය ප්‍රතික්‍ෂේප කරන්නාක්‌ මෙන්) ඇය අල්ලාගන්නේ දෙවියන් නොව දරු දෙදෙනායි. බලන්න නොදන්නාකම නිසා වන විනාශයක මහත. අපි ‘දන්නවාය’ කියා සිටීමෙන් වන අත්වැරැද්ද, අපව කල්ප ගණනාවක්‌ ඇද දමනවා. පිංවත් ඔබ ගැන ඔබ අතිශෝක්‌තියෙන් සිතා සිටින්නේ නම් මොහොතක්‌ නිහතමානී වෙන්න. මොකද අතිශෝක්‌තිය කියන්නේ සක්‌කාය දිට්‌ඨියේ ළඟම ඥාතියෙක්‌.

ඔබට පුළුවන් ඔබ සැබැවින්ම අවංක නම් ස්‌වයං පරික්‍ෂණයක යෙදෙන්න. ඔබ භාවනාවක්‌ කරන වේලාවක, රාත්‍රී නින්දට යන වේලාවක මොහොතකින් මනසින් මියයන්න. ඒ කියන්නේ මැරෙන්න. ඔබ සිතන්නේ මැරෙනවාය කියන කාරණය බෙහොම ලෙහෙසි කටයුත්තක්‌ කියලා. මරණය පහසු කටයුත්තක්‌ වෙන්නේ ශීලයෙන් පරිපූර්ණ කෙනෙකුට විතරයි. ඉන් මෙහා මරණය අතිදුෂ්කර කාරණයක්‌. එය සිනහවෙනවා, අඬනවා වගේ සරල, ලෙහෙසි දෙයක්‌ නොවෙයි. නමුත් ඔබ මෙතැනදී මියයන්නේ මනසින්. ඔබ සැබැවින්ම මියයැමට පෙර මරණයේ ස්‌වභාවය අත්දැකිය යුතුයි. එම ස්‌වභාවය දිනපතා සිදුකිරීමෙන් එය ඔබට මරණානුස්‌සති භාවනාවක්‌ බවටද පත්වේ. මනුෂ්‍යයා සෑම දෙයක්‌ම දන්නවා වුවද තමා මැරෙනා බව නොදන්නාකම නිසා, මැරි නැවත ඉපදෙන බව නොසිතනවාය කියන දෙයයි සමාජය දෙස බැලූ විට අපට පෙනෙන්නේ. එනිසා වරක්‌ දෙවරක්‌ ඔබ මනසින් මියයන්න. ඔබ අවංකවම සිතන්න තව මොහොතකින් ඔබ මියයාවී කියලා. එවිට ඔබට දැනෙනවා, මතකයට එනවා කුමන රූපයක්‌ කෙරෙහිද ඔබේ තෘෂ්ණාව බලවත් කියලා. එය අඹුදරුවන්, යානවාහන, දේපල, මතවාද, දෘෂ්ඨියක්‌ වේවා එය නිවැරදිව හඳුනාගෙන ඒවායේ අනිත්‍යය නිරතුරුවම විදර්ශනාවට ලක්‌කරන්න.

33 ඔබේ ඔය මහන්සිය හිස්‌ අතින් මැරෙන්නද?

මේ ජීවන ගමනේදී ඔබේ ක්‍රියාකාරකම් පැහැදිලිව කොටස්‌ දෙකකට බෙදාගන්න. එකක්‌ ඔබගේ සැපය උදෙසා කරන ක්‍රියාවන්. අනෙක අනුන් උදෙසා කරන ක්‍රියාවන් හැටියට. මෙතැනදී අනුන් උදෙසා කරන ක්‍රියාවන් හැටියට ගැනෙන්නේ රැකියා, ව්‍යාපාර, ගොවිතැන්, පවුල් ජීවිතය සහ සමාජීය ජීවිතය සමග බැඳුණු සියලුම වගකීම්. මේ සියල්ල අනුන් උදෙසායි ඔබ කරන්නේ කියලා දකින්න.

ඔබ උදෙසා ඔබ සිදුකරගන්නා දේවල් මොනවාද? තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, කර්මය කර්මඵල කෙරෙහි විශ්වාසයෙන් ඔබ සිදුකරගන්නා සියලුම කුසල් ධර්මයන් ඔබ උදෙසා සිදුකර ගන්නා දේවල් හැටියට දකින්න. මේ වගකීම් දෙක නිරතුරුවම පිංවතුන්ලා පටලවාගන්නවා. මේ පටලවාගැනීම නිසාම ජීවිත කාලයම අනුන්ට සේවය කරලා තමා හිස්‌ අතින් මියයනවා.

තමා තමාටවත් අයිති නැතිකොට අනුන් කෙසේ තමාට අයිතිවෙන්නද කියන ධර්මතාවය අවබෝධ කර ගැනීමට ඇති ඔබට, මෙලොව පරලොව සැබෑම සැපය උදාවනුයේ තම වගකීම පටලවා නොගැනීමෙන් පමණක්‌මය. සත්වයා අප්‍රමාණ දුක්‌ විඳින සතර අපායන් අභිබවා, මේ උතුම් මනුෂ්‍ය ජීවිතය ඔබ ලැබුවේ පෙර ජීවිතයේ කරන ලද ව්‍යාපාර, ගොවිතැන්, රැකිරක්‍ෂා නිසා නොවේ. පෙර ජීවිතයේ සිදුකරගත් කුසල් සංස්‌කාරයන් නිසාමය. එහෙයින් එවන් මහඟු අවස්‌ථාවක්‌ සලසාදීම පිළිබඳව පිංවත් ඔබ කෘතගුණ සැලකිය යුත්තේ කුසල් ධර්මයන්ටමය.

‘වෙලාව තිබුණොත් පංසල් යනවා’ ‘නිවාඩු තිබුණොත් සිල් සමාදන් වෙනවා’ ‘වැඩ ඉවර වුණොත් පිංකමට යනවා’…. වර්තමාන සමාජයේ මෙවැනි වචන භාවිතය ඉතාමත් වැඩි නේද? එහෙම ප්‍රකාශ කරන පිංවතාගේ කාර්යබහුල ජීවිතයට වර්තමනා සමාජයේ ලොකු වටිනාකමක්‌ ලැබෙනවා. අපිට ඇහෙනවා සමාජයේදී කියනවා ‘අහවලාට දැන් වගකීම් කටයුතු වැඩියි. ඒ නිසා පිංකමට එන්නේ නැහැ. සිල්ගන්න යන්නේ නැහැ. පංසලට එන්න වේලාවක්‌ නැහැ’ වැනි අදහස්‌ ප්‍රකාශවෙනවා. මෙවැනි නොවටිනා වටිනාකම් ඔබ ඔබේ කරගත්තොත් වටිනා මනුෂ්‍ය ජීවිතය ඔබෙන් ගිලිහී යන බව ඔබ සිහි තබාගන්න ඕනේ. මෙවැනි අයට මැරෙන මොහොතේ මතකයට එන්නේ රැකියාව, ව්‍යාපාරය, ගොවිබිම උපාදානයයි. ඊට පස්‌සේ ප්‍රේත ලෝකයේ ඉපදිලා උපාදානය කරගත් තැනම දිගින් දිගට ඉන්න පුළුවන්. හැබැයි මනුෂ්‍යයෙක්‌ හැටියට නම් නෙමෙයි. ප්‍රේතයෙක්‌ හැටියටයි.

පිංවත් ඔබට මේ කාරණය හොඳින් පැහැදිලිවෙන්න, භික්‍ෂුවක්‌ සමාධියෙන් පසුවන විට දර්ශනය වූ ප්‍රේත මහත්මයකුගේ කථා පුවතක්‌ මෙහි සටහන් කරනවා.

මේ මහත්මයා හිටපු දේශපාලනඥයෙක්‌. සහජයෙන්ම උරුම බලකාමී ගති ලක්‍ෂණ මේ මහත්මයාට මනුෂ්‍ය ජීවිතයේදී තිබුණා. මේ මහත්මයා හදිස්‌සියේ මැරුණාට පස්‌සේ උපත සකස්‌වෙන්නේ ප්‍රේත ලෝකයේයි. ඒ පරදත්ත රූප ජීවී ප්‍රේත ස්‌වභාවයක්‌. හොඳ ශක්‌තිමත් කළු පැහැති ශරීරයක්‌, සුදුපාට සරමක්‌ කැහිපොට ගසා ඇඳලා, අත් සහිත සුදු මේස්‌ බැනියමක්‌ සරමට යටකර ඇඳලා…. බොහොම කඩිසර ප්‍රේතයෙක්‌. මොහු දැන් ප්‍රේත ලෝකයේ සැරිසරනවා. ඔහු හැසිරෙන ප්‍රදේශය ගැන කියන්න භික්‍ෂුව දන්නේ නැහැ. සමහර විට ඔහුගේම මැතිවරණ ආසනයේ වෙන්න පුළුවන්. හැබැයි මේ ප්‍රේත දේශපාලනඥයා දුකකින් නෙමෙයි ප්‍රේත ජීවිතය තුළ සිටින්නේ. මනුෂ්‍ය ජීවිතයේදී දේශපාලකයෙක්‌ වශයෙන් ජනතා සේවයක්‌ ලෙසින් කළාවූ ‘දන්දීම’ නිසා.

එම යහපත් ක්‍රියාවන් හේතුවෙන් මොහුට ආයුෂ, සැප, බලය වැඩි ප්‍රේත ජීවිතයක්‌ ලැබිලා තියෙන්නේ. මනුෂ්‍ය ජීවිතයේදී තම දේශපාලන භූමිකාව යම් සේ සටන්කාමීව ගත කළද, එවැනි සටන්කාමීත්වයකින් ‘මමයි චණ්‌ඩියා’ කියන්න වාගේ ස්‌වභාවයකින් තමයි මොහුව භික්‍ෂුවට දර්ශනය වී ඇත්තේ.

මේ කථා පුවතින් පැහැදිලිවෙනවා ඇති පිංකම් කිරීමට, කුසල් දහම් වැඩීමට, ශීලයක්‌ සමාදන්වීමට විවේකයක්‌, වෙලාවක්‌ නොතිබුණ කාර්යබහුල, අවිවේකී මහත්වරුන් ප්‍රේත ලෝකයේත් ගතකරන කාර්යබහුල ජීවිතයේ ස්‌වභාවය. මොහු ප්‍රේත ලෝකයේත් චණ්‌aඩියා වගේ දේශපාලනය කරන්නේ මනුෂ්‍යයන් සමග නෙවෙයි. ප්‍රේත ලෝකයේම සිටින දේශපාලන ප්‍රේතයින් සමගයි. මනුෂ්‍ය ලෝකයේ වගේම ප්‍රේත ලෝකයේද සිටිනවා, දේශපාලනය උපාදානය කරගෙන මැරිලා නිල් පාට, කොලපාට, රතුපාට කමිස ඇඳගත් ප්‍රේතයින්. රැවුල කොණ්‌ඩය වවාගත් ප්‍රේතයින්.

ඔබ අහලා ඇති ‘මම මැරුණත් නිල්, කොල, රතු,…..’ ‘මාව කැපුවත් මගේ ලේ නිල්පාටයි, කොළ, රතු… පාටයි’ වැනි දේශපාලනය උපාදානය කරගත් දේශපාලන සාමාජිකයින්. මෙවැනි අය තමයි මරණින් මතු, දේශපාලන ප්‍රේතයින් වශයෙන් උපත ලබන්නේ. මේ අය සමග තමයි දැන් ඉහත ප්‍රේත දේශපාලනඥයා දේශපාලනය කරන්නේ. මොහු දැන් තමාට විරුද්ධ අනික්‌ පාටවල ප්‍රේතයින්ව තමන්ගේ මැතිවරණ බලසීමාවෙන් පන්නනවා ඇති. පහරදෙනවා, බියගන්වනවා ඇති. දැන් මොහු ගතකරන ප්‍රේත ජීවිතය තුළ අකුසල්මයි රැස්‌වෙන්නේ. ධර්මයක්‌, හොඳක්‌, නරකක්‌, ශීලයක්‌ මොහු දන්නේ නැහැ. ඒ නිසා දුකෙන් දුකටම ඇදීයාම පමණයි සිද්ධවෙන්නේ. මේ කථාව කියවලා පිංවත් ඔබට සිතුණොත් රතු ඉර වැදුණත් කමක්‌ නැහැ, වැටුප් කැපුණත් කමක්‌ නැහැ, නිවාඩු වැටුණත් කමක්‌ නැහැ, ලොක්‌කා බැන්නත් කමක්‌ නැහැ, ලබන පාර පැරදුනත් කමක්‌ නැහැ මම මුල්තැන දෙන්නේ මගේ ධර්ම මාර්ගයටයි’ කියලා. පිංකම් කිරීම කුසල් දහම් කිරීම යොදාගන්නේ අංක එකටයි කියලා. කැපෙන වැටුප මිල කරන්න පුළුවන් වුණත් ව්‍යාපාරයේ පාඩුව මිල කරන්න පුළුවන් වුණත් මේවා කෙරෙහි තෘෂ්ණාවෙන් බැඳිලා සතර අපායට වැටුණොත් එම දුක ප්‍රමාණය කරන්න බැහැයි කියලා, එය ඔබ ලැබූ භාග්‍යයක්‌මයි.

තෙරුවන් කෙරෙහිම, ශීලය දානය කෙරෙහිම විශ්වාසය තබන්න. ඔබව සැබෑම සැපයට ඔසවා තබන රැකියාව, ව්‍යාපාරය, ගොවිතැන, දේශපාලනය වන්නේ කුසල් දහම් බවම දකින්න.

සමාජයේ ජීවත්වන කාර්යබහුල පිංවතුන්ලාට පසළොස්‌වක පොහොය දිනයට පංසලකට යන්න විවේකයක්‌ නැහැ. නමුත් ඒ පිංවතාට කිව්වොත් රාජකාරි මට්‌ටමෙන් මාසයක්‌ ඇමරිකාවට එන්නය කියලා, ඔහු සිය පවුලත් සමගම එහි යන්න හදන්නේ. ඒ නිසා මෙහි තිබෙන්නේ කාර්යබහුල බව නොවෙයි, කාමච්ජන්දයන් කෙරෙහි ඇතිකරගත් දැඩි තෘෂ්ණාවයි. ඔය තෘෂ්ණාව තමයි ඊළඟ භවයේ උපතට අදාළ උපාදානය සකස්‌ කර දෙන්නේ. මෙතැනදී දුප්පත්, පොහොසත් කියලා උපාදානයේ වෙනසක්‌ නැහැ.

භික්‍ෂුවක්‌ සමාධියෙන් පසුවෙනවිට අරමුණුවෙනවා භික්‍ෂුව වැඩසිටින කුටියට ආසන්නව තිබෙන කුඹුරු යායක්‌. එම කුඹුරුයාය තුළ අමුඩයක්‌ හැඳගත් උස, සිහින්, වර්ණ සැප බලයෙන් හීන ප්‍රේතයින් දෙදෙනෙක්‌ උදළු දෙකක්‌ කරතබාගෙන සිටිනවා. අමුඩය ගසාගෙන සිටින නිසා මේ ගොවි ප්‍රේතයින් දෙදෙනා මීට පෙර පරම්පරාවේ සිට මියගිය දෙදෙනෙක්‌ විය යුතුයි. සමහරවිට ඇඳුම් පැළඳුම් දන් නොදීම නිසා එහි අකුසල් විපාකය වීමටද පුළුවන්. මෙයත් තෘෂ්ණාව නිසා සකස්‌ කරගත් ප්‍රේත ජීවිත දෙකක්‌. පෙරදී සඳහන් කළ කෝටිපති දේශපාලකයා වගේ නෙමෙයි, දුප්පත් ගොවි මහත්වරු දෙදෙනෙක්‌.

අපිට පෙනෙනවා ගම්මාන වල ජීවත්වන විට මිනිසුන් කාලසටහන් සකස්‌කරගෙනයි පිංකම් කරන්නේ. හේන කොටන කාලයට, අස්‌වැන්න නෙළන කාලයට ඒ පිංවතුන් පිංකම්, පන්සල, දානය, ස්‌වාමීන්වහන්සේ අමතක කරනවා. නොදන්නකම නිසාම දෙවැනි තැනටයි දමන්නේ. මුල් තැන අදාළ ගොවිතැන් කටයුත්තටයි දෙන්නේ. කිසිම තර්කයක්‌ නැහැ, එම පිංවතුන් ගොවිතැන, එහි අස්‌වැන්න නිසයි ජීවත්වන්නේ කියන එකට. එයට මුල්තැන දෙන්න ඕනේ. නැතිනම් ඔවුනුත් අපිත් බඩගින්නේ. එහෙත් මෙතැනදී භික්‍ෂුව සඳහන් කරන්නේ ගොවිතැනට නෙමෙයි දිව්‍ය ලෝකයට යන්න ලැබුණත්, පිංකම් උදෙසා දිනකට, නැතිනම් මාසයකට වැයකරන කාලය අහිමි කරගන්න එපා. මොකද ඒ කෙටි කාලයයි ඔබ ඔබ වෙනුවෙන් යමක්‌ කරගන්නාවූ කාලය බවට පත්වෙන්නේ. සැබෑම සැපය උදෙසා කරගන්නාවූ ආයෝaජනය වෙන්නේ. එම නිසා කටයුතු සැලසුම් කරනකොට කුසල් දහම්වලට මුල්තැන දෙන්න. අනිත් කටයුතු වීර්යයෙන් යුතුව කුසලයට බාධාවක්‌, අඩුවක්‌ නොවන සේ සිදුකරන්න.

දුකට හේතුවන වී බුසල් සියයක්‌ වෙනුවෙන් ඔබට ලැබිය හැකි උතුම් දිව්‍ය සැපයක්‌ අහිමි කරගන්න එපා. වී බුසල් සියයක්‌ ඔබේ පරලොව සුගතියත් කියන කාරණා දෙකම සාර්ථක කරගන්න උත්සහ ගන්න. එසේ නොවී ඔබත් අංක එක ගොවිතැනට දුන්නොත් අදාළ ගොවි ප්‍රේතයින් දෙදෙනා මෙන් (වර්තමානයේ අමුඩ නැති නිසා) කොට කලිසම් ඇඳගත් ප්‍රේතයින් ලෙස ඉපදීමට අවශ්‍ය උපාදානය, ඔබගේ තෘෂ්ණාව විසින් ඔබට සකස්‌කර දෙනු ඇත.

මේ භවයේ ඇති බියකරු බව නිසාමය බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ තම හිස ගිණිගත්තෙක්‌ ඒ ගින්න නිවන්න වෙහෙසගන්නේ යම්සේද, මේ භව ගින්න නිවාදැමීමට එවැනි වෙහෙසක්‌ ගන්න’ කියලා. එම ගිනි නිවෙන මාර්ගයට අවතීර්ණ වෙන්න කියලා. එසේ නොවුනොත් වැස්‌සෙන්, නියඟයෙන්, සුළඟින් විනාශවෙන අස්‌වැන්න දෙස බලමින් පසුතැවෙමින්ද, අවසානයේ ප්‍රේත ලෝකයේදී ඔබගේ ගොවිබිමේ හිමිකරුවා වීමට ඔබට පුළුවන්. එමනිසා පිංවත් ඔබ ව්‍යපාරයට, ගොවිතැනට, රැකියාවට, ඉඩකඩම්, දූ දරුවාට ඇති තෘෂ්ණාවට වඩා වැඩි කැමැත්තක්‌ පිංකම් කෙරෙහි, කුසල් දහම් කෙරෙහි ඇතිකරගන්න. මොකද තෘෂ්ණාව හේතුවෙනුයි උපාදානය සකස්‌කර දෙන්නේ. උපාදානයයි ඊළඟ භවය සකස්‌කර දෙන්නේ.

32-අහසට පොළොවට දෙස්‌දී කුමකට?

වෙලාව පෙරවරු 8.00යි. භික්‍ෂුව පිණ්‌ඩපාතය වැඩම කරලා පෙරලා කුටියට පැමිණි මොහොත. අහස හොඳටෝම කළුකරලා තිබුණේ. දැන් වහිනවා. එක දිගටම මාස 2ක්‌ මෙම ප්‍රදේශයේ දැඩි පෑවිල්ල තිබුණේ. ඒත් වැව් ජලයෙන් ගම්වාසීන් කුඹුරු අස්‌වද්දලා දැන් අස්‌වැන්න නෙළන කාලය. කුටියේ කැපකරු මහත්මයාත් මතක්‌ කළා ඉදිරියේ අස්‌වැන්න නෙළන නිසා දින 10 ක්‌ පමණ කුටියට නොපැමිණෙන බව. ඒත් මේ උදෑසන වහිනකොට භික්‍ෂුවට සිහිපත් වුණා ඒ අය මොනතරම් මානසික පීඩා විඳිනවා ඇතිද කියලා. පසුගිය දිනවල වැසි නැතිව තිබිලා අස්‌වැන්න නෙළන අවස්‌ථාවේ වහිනකොට මීට පෙරත් ගොවි මහත්වරුන් බොහොම වේදනාවෙන් භික්‍ෂුවට ප්‍රකාශ කර තිබෙනවා ‘හාමුදුරුවනේ අපි බොහොම පිංකම් කළත්, මහන්සිවෙලා, ණය වෙලා ගොවිතැන් කළත් අවසන් මොහොතේදී මෙවැනි බාධක සිද්ධවෙනවා’ කියලා. ඉහත ප්‍රශ්නය භික්‍ෂුවට යොමු කරපු වෙලාවේ භික්‍ෂුව එම ගොවියාහට දුන් පිළිතුර මෙහි සටහන් කරනවා. මක්‌නිසාද, එවැනි ස්‌වාභාවික විපත්වලින් වේදනාවට පත්වෙන පිංවත් ඔබට මෙම කරුණු නුවනින් මෙනෙහි කිරීමට ශක්‌තියක්‌ ලැබීම පිණිස… අපි ගොඩාක්‌ කැපවීම් කරලා, බලාපොරොත්තු ඇතිකරගෙන යමක්‌ සිද්ධකරලා, ඒවායේ ප්‍රතිඵල වලින් ලබන සිහින මාලිගා මනසින් ගොඩනගලා, ස්‌වභාවධර්මය නිසා ඒවා විනාශ වී යනකොට, දුර්වල වෙනකොට අප්‍රමාණ වේදනාවට පත්වෙනවා. මානසික රෝගීන් බවට, සියදිවි නසාගන්නන් බවට පත්වෙනවා. ස්‌වභාවධර්මයේ සැබෑ මුහුණුවර ඔබ ඉදිරියේ ක්‍රියාත්මක වන විට ඔබ ඊට ඇලීම, ගැටීම හේතුවෙන් ඔබත් ස්‌වභාවධර්මයේම කොටස්‌කරුවෙක්‌ බවට පත්වෙනවා. ස්‌වභාවධර්මයේ සැබෑම ස්‌වභාවය අනිත්‍යයයි. ඔබ දක්‍ෂවෙන්න ඕනේ අනිත්‍යවන ධර්මතාවයන් සමග ගැටීමට නොයා අනිත්‍ය ස්‌වභාවය අවබෝධ කරගැනීමට. මෙවැනි ධර්මයන් සමග ගැටුණු ගොවි මහත්තයෙක්‌ ලොව්තුරා බුදුරජාණන්වහන්සේ වැඩ සිටි සමයේ ජීවත් වුණා. ඒ අවාසනාවන්ත ගොවි මහතාට බුදුරජාණන්වහන්සේගේ මහා කරුණා ගුණය නිසා වාසනාව උදාවුණා. මේ ගොවි මහතාට බුදුරජාණන්වහන්සේ මුණ-නොගැසෙන්න, මේ මොහොතේත් ඔහු සතර අපායේ කොතැනක හෝ දුක්‌විඳින අවාසනාවන්තයෙක්‌ වෙන්න ඉඩ තිබුණා. ඒත් භාග්‍යවතුන්වහන්සේ විසින් පිරිනැමූ භාග්‍යය නිසා මේ මොහොතේ මාර්ගඵල ලාභී දෙවියෙක්‌ හැටියට දිව්‍ය සැප විඳිනවා ඇති. සමහර විට දිව්‍යතලයකදීම නිවන් අවබෝධකර පිරිනිවීයන්නත් ඇති. ලොව්තුරා බුදුසමිඳුන් දිවැස්‌ ඥානයෙන් දකිනවා, මේ බමුණාට සෝවාන් ඵලයට පත්වීමට වාසනාව තිබෙන බව. මේ මිථ්‍ය දෘෂ්ඨික බමුණාට එම ශක්‌තිය මෝදුකරදීමට බුදුරජාණන්වහන්සේ කුඹුර සකස්‌ කිරීමත්, අස්‌වැන්න නෙළීමත් අතර ගතවන කාලයම උපයෝගී කරගන්නවා. නගුල යොදා කුඹුර සාන අවස්‌ථාවේ, සී සාන අවස්‌ථාවේ, අස්‌වැන්න පැසෙන කාලයේ මේ කුඹුර මැදින් බුදුරජාණන්වහන්සේ වඩින ගමන් බමුණාගෙන් විමසනවා ‘බමුණ, කුඹුර හානවා නේද? ‘ කියලා. ‘සී සානවා නේද? ‘ කියලා. ඊට වැඩි යමක්‌ කතා කරන්නේ නැහැ. බමුණත් එහෙමයි කියලා කෙටියෙන් පිළිතුරු දෙනවා. බුදුරජාණන්වහන්සේ මුල ඉඳලාම දන්නවා බමුණාට මේ ගොයමේ අස්‌වැන්න ස්‌වභාවධර්මය නිසාම නෙලාගන්න ලැබෙන්නේ නැහැ කියලා. නමුත් බමුණා මේ ටික දන්නෙ නැහැ. අස්‌වැන්න ගැන බලාපොරොත්තු ගොඩනගාගෙන ඔහු වී අටුව පිරෙන විදිහ ගැන සිහින දකිමිනුයි හිටියේ. අස්‌වැන්න නෙළන දිනයට පෙර දින මහා වැසි කඩාවැටී ගොයම විනාශවී යනවා. එදා බුදුරජාණන්වහන්සේ වෙනදා වගේ කුඹුරට වැඩියේ නැහැ. බමුණාගේ නිවසටමයි වැඩියේ. බමුණා දැඩි මානසික පීඩනයකට පත්වී ගෙදර පැදුරේ ඇලවී හඬමින් සිටියා. වේදනාවෙන් මුසපත්වී සිටි බමුණා බුදුරජාණන්වහන්සේ දැකලා මොහොතින් පියවි සිහිය ලැබුවා. බමුණා මිථ්‍යාදෘෂ්ඨික වුණත් බලාපොරොත්තු කඩවීමේ වේදනාවෙන් බුදු සමිඳුන්ට චෝදනා කළේ නැහැ. ‘ඔබ වහන්සේ වරින්වර මගේ කුඹුර මැදින් වැඩියා. ඔබවහන්සේගේ ඇස්‌වහ කටවහ නිසයා මගේ ගොයම විනාශ වුණේ’ කියලා. මොකද බොහෝ බෞද්ධ පිංවතුන් අතර සිටිනවා, සිල්වත් ස්‌වාමීන්වහන්සේනමක්‌ උදේ පාන්දරින් දැක්‌කහම, එය අසුබ දසුනක්‌ ලෙස සලකන පිංවතුන්. මෙවැනි අය සමග බැලුවහම බමුණා මිථ්‍යාදෘෂ්ඨික වුවත් අතීතයේ පුහුණු කළ යහපත් ගුණයන් තිබුණා. මේ අවස්‌ථාවේදී අපි ආශාවෙන් බැඳී සිටින සියලුම සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය පැහැදිළි කරදී භාග්‍යවතුන්වහන්සේ විසින් බමුණාව සෝවාන් ඵලයේ පිහිටුවනවා. අධික වර්ෂාව නිසා ගොයමේ අස්‌වැන්න විනාශ වුණා. අපි හිතමු එතැන වී බුසල් දෙසීයක්‌ තිබුණා කියලා. ඒ වී ප්‍රමාණය මිල කරන්න පුළුවන් මෙපමණයි කියලා. නමුත් එම වටිනාකම මගේ කොට නිත්‍යභාවයෙන් අල්ලාගැනීම නිසා බමුණාට අයිති වුණේ දුක ශෝකයයි. සමහරවිට බුදුරජාණන්වහන්සේ බමුණාගේ ගෙදරට නොවැඩියානම්, බමුණාට පපුවේ අමාරුවක්‌ හැදිලා මැරෙන්නත් තිබුණා. ඒ සියල්ල වෙන්න තිබුණේ අනිත්‍ය දේ නිත්‍යභාවයෙන් ගැනීම නිසාමයි. වී බුසල් දෙසීය පිළිබඳ තෘෂ්ණාව සකස්‌ කර ගන්නාතාක්‌ බමුණාට හිමිවුනේ දුකමයි. ඒ කෙරෙහි ඇති තෘෂ්ණාව අතහැරුණු මොහොතේ බමුණාට සක්‌විති රජකමටත් වඩා ශ්‍රේෂ්ඨ සෝවාන් ඵලය අවබෝධ කරගැනීමට හැකි වුණා. නිත්‍යභාවයෙන් යමක්‌ අල්ලාගතහොත් දුකක්‌. එයම අවබෝධයෙන් අතහැරියහොත් ලෝකයේ ශ්‍රේෂ්ඨම සැපයක්‌ උරුමවෙනවා. ඉහත සිද්ධිය අනුසාරයෙන් පිංවත් ඔබ සිතන්න, පිංවත් ඔබ මහන්සිවෙලා, ගොවිතැන් කරලා, අස්‌වැන්න නෙළන අවස්‌ථාව එනකොට එසේත් නැතිනම් වෙනත් ව්‍යාපාර කටයුත්තක්‌, සුබ කටයුත්තක්‌ යෙදෙන අවස්‌ථාවක ඒවාට කාලගුණයෙන්, බාහිර හේතූන්ගෙන් බාධා පැමිණියොත් ඒවා නිසා පිංවත් ඔබ කරපු පිංකම් වලට, මුණගැසෙන ස්‌වාමීන්වහන්සේලාට දෝෂාරෝපනය කරන්න එපා. එම අකුසලයෙන් සංසාරයේ මීට වඩා දරුණු බාධක ඔබ ඉදිරියට එන්න පුළුවන්. අපේ යමක්‌ විනාශ වුණා නම්, අලාභ වුණා නම් ඊට වගකිව යුත්තේ අව්ව, වැස්‌ස, සුළඟ නොවේ. ඒවාට බොහෝ සෙයින් හේතුවෙන්නේ අතීතයේ ඔබ විසින්ම කළා වූ අකුසල් සංස්‌කාරයි. ඒවායේ විපාක ස්‌වභාවධර්මය හරහා ඔබට ලැබෙන විට ඒවා අල්ලාගැනීමට නොගොස්‌, අතහැරදැමීමට උත්සහ ගන්න. අතීත භවයන්හිදී වැස්‌සවලාහක දෙවියන් ලෙස ඉපදිලා, හිරුකිරණ උපාදානය කරගත් දෙවියන් ලෙස ඉපදිලා පංච කාමයන් විඳීම හේතුවෙන් අකලට වැසි වස්‌සවලා, නියං ඇති කරලා ලෝකය පීඩාවට පත්කරලා ඔබලා විසින්ම කරගත් අකුසල් ඔබලාට විපාක දෙනවා වෙන්න පුළුවන්. එසේත් නැතිනම් අතීත භවයන්හිදී ගංවතුර ආධාර වංචාකරලා, අසරණභාවයට පත්වූ අය පීඩාවට පත්කරලා ඒවයේ විපාකයන් නිසා මේ ජීවිතයේදී මේ විනාශයන් සිදුවෙනවා ඇති. මේවා හේතුඵල ධර්මයන්. වැස්‌සෙන් විනාශයක්‌ වුණොත් අපි දකින්නේ බෙංගාල බොක්‌කේ වායු අවපාතයක්‌ය කියන කාරණය. නියඟයක්‌ ආවොත් කැළෑ විනාශ කළාය කියන කාරණය. හැමදාමත් ඔබ සිතන්නේ ඔය ටිකයි. බෙංගාල බොක්‌කේ වායු අවපාතය ගැන කොච්චර සිතුවත් එය අවසන් වෙන්නේ නැහැ. බෙංගාල බොක්‌ක තිබෙනතාක්‌ වායු අවපාතයන් ඇතිවේවි. මේවා හේතුඵල ධර්මයන්. අපි ඒවා ගැන කථාකරාවී. ගංවතුරට නියඟයට ආධාර දේවි. පිංවත් ඔබ සිතන්න දක්‍ෂවෙන්න ඕනේ, වර්තමානයේදී පිංවත් ඔබ මිනිස්‌ ïවිතයක්‌ ලැබුවත්, අතීත භවයන්හිදී ඔබ වැස්‌සවලාහක දෙවියන් ලෙස ඉපිද, වැසි වලාකුළු උපාදානය කරගෙන කල්ප ගණන් ජීවත්වූ පිරිසක්‌ බව. අතීතයේ වැසි ඇති කරපු ඔබ, මේ මොහොතේ වැස්‌සට ගංවතුරට හේතු හොයනවා. අතීතයේ අපි වලාකුළු වලට, හිරුකිරණට අධිගෘහිත දෙවියන් ලෙස ඉපදිලා, පංචනීවරන්ගේ ග්‍රහණයට යටවෙලා, පංචකාම සම්පත් විඳීම උදෙසා අකලට වැසි වස්‌සවලා, ඔබලාගේ ආශ්වාදය උදෙසා මනුෂ්‍යයාව පීඩාවට පත්කරලා සිදුකරගෙන ඇති විපාක නොදුන් අකුසල් කන්දරාව සමග සසඳා බලනකොට වර්තමානයේ අපි මේ තරමින්වත් ගංවතුරෙන්, නියඟයෙන් බේරී සිටීම ගැන සතුටුවෙන්න ඕනේ. බෙංගාල බොක්‌කේ වායු අවපාතයෙන් එහාට හිතන්න පුළුවන් උතුම් ධර්මයක්‌ බුදුරජාණන් වහන්සේ අපට උරුම කරදී තිබෙනවා. බුදුරජානන්වහන්සේ එම බමුණාට හේතුඵල ධර්මයන් ගලපා දීලා බමුණාට හිතන්න සැලැස්‌වුවා. විවේකීව. ගොඩක්‌ දේවල් බමුණාට හිතන්න තිබුණේ නැහැ. රට, ජාතිය, ආගම, හඳහන, ග්‍රහ අපල, කාලගුණ වාර්තා…. මේවා බැහැර කළා. බුදුරජාණන්වහන්සේගේ නික්‌ලේශී රූපකාය දකිනකොටම බමුණාගේ දුක උපදවන සිsතුවිලි, චංචල කෙළෙස්‌ සිතිවිලි යටපත් වුණා. විවේකී මනසින් බමුණා සිතන්නට ඇති. ‘ගොයම ඇති වුණේ හේතුවක්‌ නිසයි, වැස්‌ස ඇති වුණෙත් හේතුවක්‌ නිසයි, මේ දුක ඇති වුණෙත් හේතුවක්‌ නිසාමයි’ කියලා. දුකට හේතු වුණේ අස්‌වැන්න කෙරෙහි ඇතිකරගත් තෘෂ්ණාවයි. තෘෂ්ණාව බැහැරකරලා, දුකෙන් මිදෙනවාය කියන කියන කාරණය මෙනෙහි කරන කොටම, බමුණාට වී බුසල් දෙසීය කෙරෙහි වටිනාකම ඇත්හැරෙන කොටම ගිහි පිංවතෙකුට ලබාගත හැකි උතුම්ම වටිනාකමවන සෝවාන් ඵලය ලබාගත්තා. ගංවතුරත්, අස්‌වැන්න විනාශයත් දෙකම මොන තරම් දක්‍ෂ ආකාරයට මෙම බමුණා තම ජයග්‍රහණය සඳහා උපයෝගීකරගත්තාද. අවසානයේ බලනවිට ගංවතුර ගැලූවෙත්, අස්‌වැන්න විනාශ වුණෙත් බමුණාගේ පිනටමයි. ඕනෑම අභියෝගයක්‌ උතුම්ව ධර්මයේ ජයග්‍රහණයක්‌ කරා මෙහෙයවීමේ මාර්ගය අපට ඉගැන්වූවේ ලොව්තුරා බුදුරජාණන්වහන්සේයි. එමනිසා පිංවත් ඔබත් ඕනෑම විනාශයක්‌ හේතුඵල ධර්මයන් අනුව ගලපා බලන්න. ඔබට මේවායින් පීඩවාක්‌ වුණොත්, ඔබේ පෙර පිනකටයි එය සිද්ධ වුණේ කියලා දකින්න දක්‍ෂවෙන්න. විනාශය කෙරෙහි ඇතිවන ගැටීමෙන් දුක ඇතිකරගන්නවා වෙනුවට අවබෝධයෙන්ම දුකෙන් මිදෙන දිශාවටම යන්න. මොකද අව්ව, වැස්‌ස, සුළඟ, අවපාත, වායුපීඩන, භූමිකම්පා, සුනාමි…. මේවා සියල්ල ස්‌වභාවධර්මයේ ස්‌වභාවයන්මයි. මේ සියල්ලම සකස්‌වී ඇත්තේ නිරතුරුවම වෙනස්‌ වන සතරමහා ධාතූන්ගෙන්මය. වෙනස්‌වන දෙයක්‌ අල්ලාගැනීම දුකකි. දුක ඔබට සින්නක්‌කරව අයිති දෙයක්‌ නොවේ. රූපය කෙරෙහි ඔබ ඇති කරගත්තාවූ තෘෂ්ණාවේ අඩුවැඩිභාවය මත දුක ඔබ තුළ ඇති වෙන ධර්මතාවයකි. ඉහත බමුණාට දුක සකස්‌ කළේද, දුකෙන් මිදෙන්නට උපකාරී වූයේද වී බුසල් දෙසීය කෙරෙහි ඇතිකරගත් තෘෂ්ණාව සහ තෘෂ්ණාවෙන් බැහැරවීමයි. මෙතැනදී පිංවත් ඔබ අවධාරණය කරගත යුත්තේ දුක ඇති වූයේ බමුණා තුළය, දුකට හේතුව තෘෂ්ණාව ඇති වූයේ ද බමුණා තුළය, තෘෂ්ණාව නැති වූයේ ද බමුණා තුළය. ඒ සඳහා නෙක්‌ඛම්ම සංකල්පය ඇති වූයේ ද බමුණා තුළය යන්නයි. චතුරාර්ය සත්‍ය ධර්මය නිරතුරුවම, ඔබේම ජීවිතය තුළින් ගලපා බලමින් අවබෝධයට පැමිණෙන්න උත්සහගන්න. ඉන්ද්‍රජිත් සුබසිංහ indrajith.media@gmail.com

32 ඔබේ භෂ්මාවශේෂ පූජනීයත්වයට පත්කරන්න

2013-06-02

පිංවත් මහත්මයෙක්‌ භික්‍ෂුවගෙන් විමසුවා ‘හාමුදුරුවනේ කුසලය සහ පින කියන්නේ එකම කාරණයක්‌ද?’ කියලා. මෙය පිංවතුන්ලා නිතර ස්‌වාමීන්වහන්සේලාගෙන් විමසන ප්‍රශ්නයක්‌. සාරිපුත්ත මහෝත්තමයාණන්a වහන්සේ දේශනා කරනවා, කුසලය කියලා කියන්නේ කාරනා 10 කට කියලා. එම කාරනා දහය තමයි සතුන් මැරීමෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, කාමය වරදවා හැසිරීමෙන් වැළකීම, බොරුකීමෙන්, පිසුනාවාචා, පරුෂාවාචා, සම්ප්‍රප්පලාපා කීමෙන් වැළකීම, අනභිධ්‍යාව, අව්‍යාපාදය, සම්මා දිට්‌ඨිය යනු කුසලය කියලා. ඉහත කාරණා 10 ට තමයි සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ කුසලය කියලා කියන්නේ.

කුසල් මූලයන් හැටියට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා අලෝභ, අදෝෂ, අමෝහය කියලා. මේ කාරණා දහය පිංවත් ඔබට මේ ආකාරයට ගන්නත් පුළුවන්. ඒ කයෙන් සිදුවෙන්නා වූ කුසල් 3 යි, වචනයෙන් සිදුවෙන්නා වූ කුසල් හතරයි, මනසින් සිදුවෙන්නා වූ කුසල් තුනයි කියලා. ඉහත කාරණා 10 ට තමයි කුසල් කියලා කියන්නේ.

එතකොට පින කියලා කියන්නේ කුමකටද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින යනු යහපත්, සිත්කළු, මන වඩන සැපයට කියන තවත් නමක්‌ය කියලා. එහෙමනම් පින කියන්නේ සැපයට කියන්නා වූ තවත් නමක්‌. දැන් පිංවත් ඔබට කුසලය කියන වචනයේ අර්ථයත්, පින කියන වචනයේ අර්ථයත් හොඳින් පැහැදිලියි. පින කියන කාරණයත්, කුසලය කියන කාරණයත් අර්ථයන් දෙකක්‌. නමුත් මේ කාරණා දෙක හේතුඵල අනුව එකට සම්බන්ධ වෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි. යමෙක්‌ කුසල් ධර්මයන් ජීවිතය තුළින් වඩනකොට, ඔහු තුළ සැපය, ඒ කියන්නේ පින ඇතිවෙනවා. යම් පිංවතෙක්‌ සැපයෙන් ජීවත්වෙනවානම් ඔහු ජීවත්වෙන්නේ කුසල් ධර්මයන් ජීවිතය තුළින් සිදුකරගන්නා නිසාමයි. පිංවත් ඔබ ධර්මානුකූලව සැපයෙන් ජීවත්වෙනවාය යන්නෙන් කියවෙන්නේ ඔබ තුළ කුසලයත්, පිනත් දෙකම තිබෙනවාය කියන කාරණයයි. පිංවතුන් වචන වල අර්ථයන් පසුපස හඹායැම හැකිතාක්‌ අඩුකර අනිත්‍ය ධර්මය තුළින්ම විතර්ක සකස්‌කොට දෙන සිත දෙස බලන්න දක්‍ෂ වෙන්න. එවිට ඔබට පෙනේවි ඔබ පිළිතුර තුළ සිටිමින්ම පිළිතුරු සොයන බව.

පිංවත් මනුෂ්‍යයෙක්‌ භික්‍ෂුවගෙන් විමසුවා ‘ස්‌වාමීන්වහන්ස, මනුෂ්‍යයන් විසින් පූජෝපහාර පවත්වන ධාතූන්වහන්සේලා සෘද්ධියෙන් වඩින්නේ කොහොමද කියලා. පිංවත් ඔබ ධර්මරත්නය පිළිබඳව අචල ශ්‍රද්ධාවක්‌ ඇතිකර ගැනීමට අවශ්‍යනම් මෙවැනි කාරණාවන් පිළිබඳව ධර්මානුකූල අර්ථය දැනගතයුතු වෙනවා. එසේ නොවුණහොත් මෝහය මුසු, අමූලිකා ශ්‍රද්ධාවයි අප තුළ වැඩෙන්නේ.

ධාතූන්වහන්සේ නමක්‌ කියන්නේ අතීතයේ වැඩසිටි උතුම් ආර්යයන් වහන්සේලාගේ ශරීරයේ කොටසකට. එය දන්ත ධාතූන් වහන්සේ නමක්‌ වෙන්න පුළුවන්, නැතිනම් ශරීරයේ වෙනත් අස්‌ථි කැබැල්ලක්‌ වෙන්නත් පුළුවන්. අස්‌ථි කැබැල්ලක්‌, දතක්‌ කියලා කියන්නේ සතරමහා ධාතුවෙන් සැදුනු දෙයක්‌. මේ උතුම් ආර්යයන් වහන්සේලා කියන්නේ, රූපයේ ආධිපත්‍යය පතුරුවාගෙන සිටින සතරමහා ධාතුව තම අවබෝධ ඥානයෙන් විනිවිද දැක්‌ක කෙනෙක්‌. සත්වයා ලෝකයට බැඳ තබන පංච උපාදානස්‌කන්ධයේ මුල්ම උපාදානස්‌කන්ධය වන රූප උපාදානස්‌කන්ධය අවබෝධ කරගත් තැනැත්තාමයි රූපය කෙරෙහි ඇති තෘෂ්ණාවෙන් මිදෙන්නේ. රූපය නැමැති සතරමහා ධාතුව අවබෝධ කර ගත්තාවූ රහතන්වහන්සේ ඒ අවබෝධය ලබාගන්නේ නාමරූප ධර්මයන් උපයෝගී කරගෙනමය. රහතන් වහන්සේ පිරිනිවීයන මොහොතේ විඥ්ඥාන ධාතුව රහතන් වහන්සේ තුළින්ම පිරිනිවී ගියත්, මෙලොව ඉතිරිවූ නොවූ ශරීරය හෙවත් සතරමහා ධාතුව පූජනීයත්වයට පත්වෙනවා. සතරමහා ධාතුව අවබෝධ කරගත් නිසාමයි උන්වහන්සේගේ රූපය පූජනීයත්වයට පත්වෙන්නේ. එම නිසාම ධාතූන් වහන්සේලාට පූජෝපහාර දක්‌වන්න කියන කාරණය බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා.

මේ කිසිම ධාතූන්වහන්සේ නමකට සෘද්ධිමත්භාවයක්‌ ඇතිකරගෙන තැනින් තැනට වැඩම කරන්න පුළුවන්කමක්‌ නැහැ. ධාතූන්වහන්සේ නමකට සෘද්ධිමත්භාවයක්‌ ඇතිවීමට නම් ධාතූන්වහන්සේ තුළ පංච උපාදානස්‌කන්ධයක්‌ සකස්‌වෙන්න අවශ්‍යයි. පංච උපාදානස්‌කන්ධයක්‌ සකස්‌වෙන්න නම් සංස්‌කාර හේතුවෙන් සකස්‌ වුණ විඥ්ඥානය ධාතූන්වහන්සේලා තුළ බැසගෙන තිබෙන්න ඕනේ. ඒ හේතුවෙන්ම නාමරූප ධර්ම සකස්‌වෙන්න ඕනේ. ආයතන හය පිහිටන්න ඕනේ. මේ කිසිවක්‌ සකස්‌ නොවන ධාතූන්වහන්සේ නමක්‌ කෙසේ නම් සෘද්ධියෙන් වඩින්නද? එය කවදාකවත් ධර්මානුකූලව සිදුවන දෙයක්‌ නොවෙයි. ඒ අපි අමූලිකා ශ්‍රද්ධාව නිසාම ධර්මයේ සැබෑ අර්ථයෙන් දුරස්‌ව ලෝකය දකින නිසාම ඇතිකරගන්න අදහසක්‌.

නමුත් පිංවතුන්ලා අපිට නිතර ප්‍රකාශ කරනවා. තම තමන්ගේ පූජනීය ස්‌ථාන වලට ධාතූන්වහන්සේලා වැඩියා කියලා. ‘ගිය සතියේ ධාතූන්වහන්සේලා දෙනමයි වැඩසිටියේ. අද බලනකොට ධාතුකරඬුවේ ධාතූන්වහන්සේලා හත්නමක්‌ වැඩ සිටියා’ කියලා. ඒ කියන්නේ ධාතූන්වහන්සේලා පස්‌නමක්‌ වැඩිවෙලා. ඒ කියන්නේ මෙතැන” සිද්ධවෙන්නේ ධාතූන්වහන්සේලා ස

සෘද්ධියෙන් වැඩීමක්‌ නෙමෙයි. සම්‍යදෘෂ්ඨික දෙවිවරු විසින් සුදුසු පූජනීය ස්‌ථානවලට ධාතූන්වහන්සේලා රැගෙන යනවා. අතීතයේ වැඩසිටියාවූ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පටන් ඒ උතුම් ආර්යයන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ලැබූ, ශිෂ්‍යභාවය ලැබූ නමුත් නිවන් අවබෝධ කරගැනීමට නොහැකිවූ ලක්‍ෂ ගණනාවක්‌ ගිහි පැවිදි පිංවතුන්ලා මේ මොහොතේ සශ්‍රික දිව්‍යතලවල මහේශාඛ්‍ය දෙවිවරු ලෙස වැඩසිටිනවා. ඒ දෙවිවරු තමන් සතු දිව්‍යචක්‌කු තුළින් තමන්ගේ ගුරුවරයාගේ පූජනීය ධාතූන්වහන්සේලා වැඩසිටින්නේ කොහේද යන්න දන්නවා. තම සත්පුරුෂ ගු=රුවරයාට ඇති ගෞරවය නිසාම එම ගුරුවරයාගේ පූජනීය ධාතූන්වහන්සේලාට අවශ්‍ය පූජෝපහාරයන් නොලැබෙනවා නම්, එම දුසිල්වතුන් සිටින ස්‌ථානවල වැඩසිටිනවා නම් දෙවිවරු තම දිව්‍යචක්‌කුවලින් එය දැකලා සුදුසු පූජනීය ස්‌ථානවලට, සිල්වතුන් අතරට එම ධාතූන්වහන්සේලා රැගෙන ගොස්‌ තබනවා. මහේශාඛ්‍ය දෙවිවරු තම අතීත කළ්‍යාණ මිත්‍රයන් වහන්සේලාට දක්‌වන ගෞරවය තමයි පිංවත් ඔබ ‘ධාතූන්වහන්සේලා සෘද්ධියෙන් වඩිනවා’ය යනුවෙන් දකින්නේ. ඉහත කාරණයෙන්ම පිංවත් ඔබ දැනගන්න ඕනා, උතුම් ධාතූන්වහන්සේලාට ජූජෝපහාර දක්‌වන්න කියලා බුදුරජාණන්වහන්සේ දේශනාකර වදාළ කරුණට දෙවිවරු වර්තමානයේත් මොනතරම් ගරුකරනවාද කියන දෙය.

මේ මොහොතේ සම්‍යාදෘෂ්ඨික දෙවිවරු උතුම් ධාතූන්වහන්සේලාට ගරුසත්කාර කරමින් පිංවත් ඔබලාට දෙන පණිවුඩයක්‌ තිබෙනවා. ඒ උතුම් පණිවුඩය ඔබට හඳුනාගන්න පුළුවන්කම ලැබෙන්නේ අකාරවතී ශ්‍රද්ධාව කියන තෙරුවන්ගේ ගුණයන්, ඥානයන් අර්ථයෙන් දැක ඇතිකරගන්නා වූ ශ්‍රද්ධාව තුළින්මයි. මෝහය මුසු අමූලිකා ශ්‍රද්ධාවෙන් නම් නොවෙයි. පිංවත් දෙවියන් ඔබට කියන පණිවුඩය තමයි, සම්මා සම්බුද්ධ ශාසනය ජීවමානව පවතින මේ මොහොතේ මහපොළොවට පස්‌වෙන, ගින්දරට අලුවෙන, පිංවත් ඔබගේ ඔය ශරීරයේ ඇටකටු, ධාතූන්වහන්සේලා බවට පත්කර පූජනීයත්වයට පත්කරගන්න කියන කාරණය. ධාතූන්වහන්සේ තුළින් ඔබ දැකිය යුතු අර්ථය ඔතැනයි තිබෙන්නේ. පිංවත් ඔබටත් පුළුවන් ඔය ශරීරයේ තිබෙන සෑම ඇට කැබැල්ලක්‌ම පූජනීයත්වයට පත්කරගන්න. උතුම් ධාතූන්වහන්සේ නමක්‌ බවට පත්කරගන්න. එය කරගත හැක්‌කේ උතුම් ධාතූන්වහන්සේලා වන්දනාකරන ගමන්ම, ඉන් ඔබ්බට ගොස්‌ ධාතූන්වහන්සේත් අනිත්‍යයේ ඵලයක්‌ය, ධාතූන්වහන්සේත් අනිත්‍යභාවයට පත්වෙන සතරමහා ධාතු කොටසක්‌ය කියන කාරණය අවබෝධ කරගැනීමට දක්‍ෂ වීමෙන්ය. එම අවබෝධය ලැබීමට නම් පිංවත් ඔබ පළමුවෙන්ම පංච උපාදානස්‌කන්ධයක්‌ සකස්‌ නොවෙන, රූපයක්‌ පමණක්‌ වන උතුම් ධාතූන්වහන්සේලාට සෘද්ධියක්‌ ඇති නොවන බව ධර්මානුකූලව තේරුම්ගත යුතුව ඇත. පිංවත් ඔබත් ධර්මාවබෝධයෙන් සැනසෙන්න. එවිට ආයාසයෙන් තොරවම, ඔබේ ධාතූන්වහන්සේලාත් පූජනීයත්වයට පත්වේවි. එතෙක්‌ අපේ භෂ්මාවශේෂයන්ට ලෝකය බියක්‌මයි දක්‌වන්නේ. ඒවාට ගරුකරන්නේ ප්‍රේතයන් යක්‍ෂයන් පමණක්‌මය. පිංවත් ඔබ සතර අපායෙන් මිදීමෙන්මයි, තම භෂ්මාවශේෂ පූජනීයත්වයට පත්කර ගැනීමේ මාර්ගයට අවතීර්ණ වෙන්නේ. එම නිසා පිංවත් ඔබ බොහෝම සිහිනුවනින් යුතුව අමූලිකා ශ්‍රද්ධාවෙත්, ආකාරවතී ශ්‍රද්ධාවෙත් වෙනස කල්‍යාණමිත්‍ර ආශ්‍රය තුළින්ම හඳුනාගෙන, ශීලයෙන් පරිපූර්ණවෙමින්, නිරතුරුවම අනිත්‍ය සංඥාවන් තුළින් ජීවිතය දකිමින් නිවැරදි මාර්ගය තුළම අවබෝධය කරායන්න. ඉක්‌මන් කෙටි මිථ්‍යාවන් පසුපස යන්න නම් එපා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනුෂ්‍යයා අධිමාන්නය නිසාත්, මෝහය නිසාත්, සිහිමුලාවීම නිසාත්, මාර්ගඵලයන් ප්‍රකාශ කරනවා කියලා. බුදුරජාණන්වහන්සේගේ කාලයේ සුනක්‌ඛත්ත වැනි පැවිදි අය පවා බලුව්‍රත, හරක්‌ ව්‍රත, රකින නිර්වස්‌ත්‍ර මිත්‍ය දෘෂ්ඨිකයන්ව රහතන් වහන්සේලා හැටියට දැක්‌කා. අනාගත සමාජය තුළ ශාසන විකෘතීන් සකස්‌වීම සඳහා මාර්ගඵල උන්මාදය කියන කාරණය බොහොම වේගයෙන් පැතිරයන්න පුළුවන්. මෙය ධර්මතාවක්‌. ඒ ඇසෙන හඬ ශාසනයේ අර්ථයන් අතුරුදන්වීමේ කාලය ළඟාවන බව පිංවත් ඔබට කරන අනතුරු හැඟවීමක්‌. මේ සියලු අභියෝගයන් ධර්මානුකූලව දකිමින් බුදුරජාණන්වහන්සේ දේශනාකර වදාළ ධර්ම මාර්ගය තුළින්ම ගමන්කොට ධර්මය දකින්න. ඔබ අර්ථවත්ව ධර්මමාර්ගය තුළ ගමන් කිරීමේදී පිංවත් ඔබ තුළින් ක්‍රමානුකූලව මමත්වයේ දැඩිභාවය නැතිවීයාවි. මාන්නය දියවෙන ප්‍රමාණයට නිහතමානී බව ඔබගේ ජීවිතය තුළ ඇති වේවි. දැන් ඔබ ලෝකය ඉදිරියේ ප්‍රදර්ශකයෙක්‌ නොවේ, අවබෝධයෙන්ම එම සිත අනිත්‍ය බව දැකීමට හැකි දක්‍ෂ වීර්යවන්තයෙක්‌.