තොරණින් එහා වෙසක්‌ අදහසක්‌

2013-05-26

පිංවත් ඔබ වෙනුවෙන් මේ ලිපි මාලාව ලියූ ස්‌වාමීන්වහන්සේ 2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය සැමරූ වෙසක්‌ දිනයදා එය නිමිති කරගනිමින් ලියන ලද සටහනකි මෙය. ඉකුත් වසරේ වෙසක්‌ සතියේදී ද අප ‘ඉරිදා දිවයින’ ඔස්‌සේ මෙය පළ කළෙමු. ඒ අනුව මෙය නැවත පළකිරීමකි. වරක්‌ දෙවරක්‌ නොව සිය දහස්‌වරක්‌ පළ කළද මෙවන් දහම් ගැලපුමක්‌ ඔබට අතිරික්‌තයක්‌ නොවන බව අපි දනිමු. මේ සටහන නැවත මෙසේ පළකරනුයේ මේ දහම් කරුණු තව තවත් ඔබ අධ්‍යාත්මයට ගලපා ගැනීම පිණිසය.

අද වෙසක්‌ පුරපසළොස්‌වක පොහොය දවස. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය අවබෝධකර වසර දෙදහස්‌ හයසියයක්‌ සපිරෙන ප්‍රවෘත්තියක්‌ ඇසෙනවා. භික්‌ෂුව මේ මොහොතේ වැඩසිටින්නේ මිනිස්‌ වාසයෙන් දුරස්‌වූ හුදකලා කුටියක නිසා බාහිර සමාජයේ ක්‍රියාවන් ගැන දන්නෙ නැහැ. අද වැනි දවසක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්මාසම්බුද්ධ ඥානයෙන් පරිපූර්ණවූ චතුරාර්ය සත්‍ය ධර්මයයි අවබෝධ කොට වදාළේ එවන් අර්ථවත් දිනයක ධර්මයේ අර්ථය හොඳින් ජීවිතයට ගලපාගන්න ඕනේ.

ධර්මය කියල කියන්නෙ චතුරාර්ය සත්‍ය ධර්මය, පටිච්චසමුප්පාදය, සතරසතිපට්‌ඨානය, පංච උපාදානස්‌කන්ධය, සප්තබොඡ්ජංග ධර්මයන්, භව නිරෝධය උදෙසා පක්‌ෂවෙන්නාවු සත්තිස්‌ බෝධිපාක්‌ෂික ධර්මයන්මයි. ඔබේ ජීවිතය තුළින් අද දවසේ මේ ධර්මතාවයන් තන්හා, දිට්‌ට, මාන්නයෙන් තොරව වැඩෙන අවබෝධවන දිශාවට ජීවත් වුනා නම් අද දවසේ පිංවත් ඔබ සැබැවින්ම ලොව්තුරා බුදුරජාණන් සරණගිය කෙනෙක්‌ වෙනවා. මෙම අර්ථවත් මාර්ගයෙන් බාහිරව වෙසක්‌ තොරණ්‌, වෙසක්‌ කූඩු, දන්සල්, සැරසිලි, නාට්‍ය සංදර්ශන වැනි දේවල් තුළින් ඔබ සැනසුනානම්, ඒවා වැටෙන්නේ ශාසනයේ නාමයෙන් කෙරෙන සිල්ලර වෙළදාම් ගණයටම බව කිවයුතුයි. නමුත් මේවා ප්‍රතික්‌ෂේප කරන්න කාටවත් බැහැ. තමනුත් සතුටුවෙලා අනුන්වත් සතුටුකිරීම තමයි මේවායේ අරමුණ. ජීවිතයටම පන්සලකට ගොස්‌ ශීලයක්‌ සමාදන්නොවූ මනුෂ්‍යයෙක්‌ හදිස්‌සියේ මැරෙන මොහොතක තමන් නැරඹුවාවූ වෙසක්‌ තොරණක නේක වර්ණ විදුලි බුබුලු වලින් ඒකාලෝක වු බුදුසමිඳුන්ගේ රූපය සිහියට නැගිලා, එම පුණ්‍ය සිතුවිල්ල නිසාම සුගතිගාමී ජීවිතයක්‌ ලබන්න පුළුවන්. නමුත් මේවා භවයේ ලබන්නාවු සිල්ලර සැපයන්මයි.

අපට තිබෙන්නේ එකිනෙකට වෙනස්‌ වු ඉන්ද්‍රීයධර්මයන්ගේ ස්‌වභාවයන් . ඒ නිසා අර්ථයෙන් විවිධවූ ක්‍රියාකාරකම් සමාජය තුළ පැවතීම ධර්මතාවයක්‌මයි. එම ධර්මථාවය ඇලීමෙන්, ගැටීමෙන් තොරව උපේක්‌ෂාවෙන් යුතුව දකිමින් ධර්මයේ සැබෑ අර්ථය තුළට පැමිණීමට පිංවත් ඔබ දක්‌ෂ විය යුතුය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහපොළවෙන් පස්‌ මිටක්‌ අතට අරගෙන, මහ පොළවේ තිබෙන ඉතිරි පස්‌a සමග උපමා කරලා ‘මහණෙනි, මියයන සත්වයන්ගෙන් සුගතිගාමී ජීවිත ලබන්නේ මේ අතේ තිබෙන පස්‌ ප්‍රමාණයටයි’ කියලා. මහ පොළවේ තිබෙන පස්‌ තරමටම සත්වයා දුගතිගාමී ජීවිත වලට වැටෙන්නේ කියලා. මෙම සම්මා සම්බුද්ධ වචනයට අනුව අපි උත්සහ ගන්න ඕනේ සමාජය තූළ සිදුවන දෙය අර්ථවත්ද නැතිද යන්න සෙවීමට නොවේ. ලොව්තූරා බුදුරජාණන්වහන්සේගේ අතේ තිබෙන පස්‌ මිටෙන් එක්‌ පස්‌ කැටයක්‌ වෙනවාය කියන උත්සාහයටයි එන්න ඕනේ.

ලෝකය කියන්නේ හාස්‍යයක්‌. සත්වයාගේ මෝහය වැඩිවන්න වැඩිවන්න විකට ජවනිකා වැඩිවෙනවා. හාස්‍ය රසය තව තව වැඩිවෙන්න. ලෝකය සංකීර්ණයි කියන්නේ, ලෝකය ලස්‌සනයි කියන්නේ, බලා ඉවරයක්‌ කරන්න බැහැය කියන්නේ ඔබේ සිත මේ සියල්ලටම වඩා වේගවත්ය කියන කාරණයයි. රූපය සැම විටම තිබෙන්නේ රූපයේ සAවභාවයෙන්. රූපය කෙරෙහි ඇති ඡන්දරාගය නිසාම ඔබමයි රූපයට අනේකවිධ වටිනාකම් දෙන්නේ. ඉහත අර්ථය පිංවත් ඔබට හොඳින් වැටහෙන්න සුදුසු කතා ප්‍රවෘත්තියක්‌ මෙහි සටහන් කරනවා.

භික්‌ෂුව වැඩසිටි ප්‍රදේශයක එක දායක ගෙදරක වයෝවෘද්ධ අම්මා කෙනෙක්‌ සිටියා. භික්‌ෂුව මේ නිවසට හත් අට වතාවක්‌ම පිණ්‌ඩපාතය සඳහා වැඩම කරලා තියෙනවා. මේ හැම වතාවකම භික්‌ෂුවට පෙනෙනවා නිවසේ කාමරයක සිට බිත්තිය අල්ලමින් ඉතා අපහසුවකින් අම්මා කෙනෙක්‌ ඇවිත් පුටුවක වාඩිවෙනවා. ඇයට වයස අවුරුදු අසූ පහක්‌ පමණ ඇති. ටිකක්‌ මහත ශරීරයක්‌ තිබෙනවා. හොඳින් පිරිසිදු වෙලා ඉන්න පාටක්‌ පෙනෙන්නේ නැහැ. තමන්ගේම දරුවා සිටියත් එම අම්මාව අතින් අල්ලලා හාමුදුරුවො වැඩම කිරීමට පෙර පුටුවේ වාඩි කරන්නේවත් නැහැ. එයාම බිත්තිය අල්ලාගෙන එන්නේ. කොටින්ම ඒ අම්මා දැන් එම නිවැසියන්ට එපා වෙලා. අඩුම තරමින් එම නිවැසියන් හාමුදුරුවන්ට පූජා කරන ආහාරයක්‌වත් එම අම්මාට අත ගස්‌වන්නේ නැහැ. වයෝවෘද්ධභාවය නිසාම, ජරා ව්‍යාධි ලක්‍ෂණ නිසාම හැමෝටම එපා වෙලා සිටි මේ අම්මා මිය යනවා. මේ අම්මා මැරුණාට පස්‌සෙ භික්‌ෂුවක්‌ අරමුණු කොට බලනවා මේ අම්මා කුමන ආකාරයේ නැවත උපතකට ගියාද කියලා. ඒ වෙලාවේ භික්‌ෂුවට අරමුණු වෙනවා මියගිය අම්මාගේ රූප ස්‌වභාවයෙන්ම යුත් පාවෙන භූත රූපයක්‌. වෙනසකට තිබුණේ කොණ්‌ඩේ කරල් දෙකකට ගොතලා බැඳලා තිබුණා. ළමා වයසේ ගැහැණු දරුවෙකුගේ වගේ. භික්‌ෂුව ඉදිරියේ ඇය පාවෙනවා. හරස්‌ අතටයි පාවෙන්නේ. මෙය භවයේ තවත් උපතක්‌. ඇස, කණ, නාසය, දිව, මනස, කය ඇයට තිබෙනවා. අපට වගේම මේ භූත සත්වයාට බාහිර රූප ඵස්‌සය වීමෙන් පංච උපාදානස්‌කන්ධය සකස්‌ වෙනවා. මිය යන අවස්‌ථාවේ ශක්‌තිමත් කුසල් අකුසල් නිමිත්තක්‌ සකස්‌ නොවීම නිසා මෙවැනි භූත ස්‌වභාවයේ ජාතියක්‌ සකස්‌ වෙන්න පුළුවන්. මෙන්න මෙවැනි අයට තමයි පාංශකූල පිංකම, සත් දවසේ බණ පිංකම වටින්නේ. මෙවැනි පිනකින් කුසල් අකුසල් නිමිත්තක්‌ ශක්‌තිමත් කරවලා ඊළඟ උපතට ඇය පැන ගන්නවා. මෙම භූත ස්‌වභාවය හරියට නිදාගෙන ඇහැරුන දරුවෙක්‌ වගේ. තද නින්දෙන් අවදිවුණ ගමන් දරුවා පියවි සිහියෙන් නොවේ ඉන්නේ. මුහුණට වතුර ටිකක්‌ ඉස්‌සාම හොඳින් අවදි වෙනවා. ශක්‌තිමත් කුසල් අකුසල් චිත්තයක්‌ මිය යන මොහොතේ සකස්‌ නොවූ නිසා භූත ස්‌වභාවයට පත් මෙම සත්වයාටත් පාංශකූල පිංකම, සත් දවසේ පිංකම හරියට අඩ නින්දේ පසුවෙන දරුවෙකුට වතුර ටිකක්‌ මුහුණට ඉසීම වැනිය. අසිහියෙන් මියයාම, නින්දේදී මියයාම, ක්‌ෂණිකව සිදුවන අනතුරු මරණ වලදී මෙන්ම ළමා මරණ වලදීද ඉහත ස්‌වභාවයක්‌ සකස්‌ විය හැකියි. මෙම මව මියගොස්‌ දින තුනේදී තමයි භික්‌ෂුවට මෙම මවගේ භූත ස්‌වභාවයේ උපත සමාධියේදී දර්ශනය වුනේ.

ඒ අසරණ මෑණියන් වෙනුවෙන් මෙය සටහන් තබන භික්‍ෂුවද නිරතුරුවම පිං අනුමෝදන් කළා. මරණයේ භූමිදාන කටයුතු අහවරවෙලා දිනකට පසුව ඇයව භික්‍ෂුවක්‌ සමාධියෙන් අරමුqණු කොට බලද්දි භික්‍ෂුවට දර්ශනය වෙනව කුඩා ගැහැණු දරුවෙක්‌. ඒ කියන්නෙ ඇය මව් කුසක බිළඳියක්‌ ලෙස උපත ලැබූ බවයි. මෙතැනදී උපත කියල සටහන් කළේ මවගේ ගර්භාෂ කුටියට බැසගත් බවයි. භික්‍ෂුව මේ ඔබට පැහැදිලි කරමින් එන්නේ ලෝකය හාස්‍යයක්‌ වෙන්නෙ කොහොමද කියලා. දැන් කවුද මේ මැරුණ වයෝවෘද්ධ අම්මා. වයස අවුරුදු අසූපහක්‌ වන, හැමෝටම එපාවෙලා කරදරයක්‌ වෙලා හිටපු, හරි හැටි පිරිසිදු භාවයක්‌වත් නොතිබුණ, ශරීරයෙන් තෙල් බෙහෙත් ගඳ හමපු, ජරා ව්‍යාධියට පත්වූ අයෙක්‌. මේ අම්මා කළාවූ කුසල් අකුසල් හේතුවෙන් සකස්‌වුන විඤ්ඤාණ ධාතුව මුලින් භූත සත්වයෙක්‌ හැටියට බැසගත්තා. භූත සත්වයා තුළ සකස්‌ වුන සංස්‌කාර ධර්මයන් හේතුවෙන් සකස්‌වූ විඤ්ඤාණ ධාතුව ඉන් චුත වී මව්කුසක බිළිඳියක්‌ව බැසගත්තා.

දැන් මේ බිළිඳිය බැසගත් මව්කුස හිමි තැනැත්තිය දින විසි අටක්‌ ගියාට පස්‌සෙ දැන ගන්නවා තමන්ගේ කුසේ දරුගැබක්‌ ඇති වුණාය කියලා. මේ සුබ ආරංචිය දැනගත් මොහොතේම ඇය මේ බව දැනුම් දෙන්නෙ තමන්ගේ සැමියාට. සැමියා එවිට මොකද කරන්නේ. මෙලෝ සිහියක්‌ නොමැතිව බිරිඳව සිපගන්නවා. වාසනාවන්ත දරුපැටියෙක්‌, සුරතල් දරුපැටියෙක්‌, ලස්‌සන දරුපැටියෙක්‌ ඔයා මට දෙන්න කියලා. එදා ඉඳන් භාරහාර වෙනවා, බේබි සූට්‌ මහනවා, කොට්‌ට හදනවා, ලස්‌සන සුසිනිදු ඇතිරිලි,මල් පීස්‌ රෙදිමයි සොයන්නේ. දරුවා නළවන්න තොටිලි ගේනවා, සෙල්ලම් බඩු එකතු කරනවා. වැදගත් රෝහලක දරු ප්‍රසූතිය කිරීමට සිහින දකිනවා. මේ සියල්ල කරන්නේ කවුරුන් උදෙසාද? දිව්‍යලෝකයෙන් පහළවූ දිව්‍යාංගනාවක්‌ උදෙසාද? නැහැ. මීට මාසයකට පෙර මිය පරලොව ගිය අර වයෝවෘද්ධ ආච්චිගේ සංස්‌කාර ධර්මයන් හේතුවෙන් සකස්‌ වුන දරුගැබයි මේ බිහි වෙන්න යන්නේ. එදා එම ආච්චිව අතින් අල්ලවා වාඩිකරන්නවත් කෙනෙක්‌ හිටියෙ නැහැ. ඒ තරමටම ඇයව ජරා, ව්‍යාධි නිසාම කොන්කරලා. වර්තමානයේ ඇයව නලවන්න තොටිලි හදනවා. ප්‍රසූත කරන්න වැදගත් රෝහල් සොයනවා. සුසිනිදුම රෙදිපිළි සොයනවා. මේකම නේද ලෝකය කියන්නේ? එහෙමනම් ලෝකය කියන්නෙ හාස්‍යයක්‌ නොවේද? විඤ්ඤාණය නැමති මැජික්‌කරුවා සංස්‌කාර ධර්මයන්ගේ ශක්‌තියෙන් නිපදවන අනේකවිධ රූපයන් කෙරෙහි ඡන්දරාගයෙන් අපිද විඤ්ඤාණයට බැඳී යනවා. මැජික්‌කරුවෙක්‌ එක මොහොතක පරවියෙක්‌ දෑතට ගෙන සුදු රෙදි කඩකින් එම සතාව වසා, මොහොතකින් රෙදිකඩ ඉවත් කරනවා. එවිට එතන ඉන්නේ ගිරවෙක්‌. මැජික්‌කරුවා ගිරවාව රෙදිකඩකින් වසනවා. මොහොතකින් එම රෙදිකඩ ඉවත් කරනවා. එවිට එතන ඉන්නේ හාවෙක්‌. හාවාව රෙදි කඩකින් වසනවා. මැජික්‌කරුවා තම මැජික්‌ යෂ්ටියෙන් යමක්‌ කරනවා. දැන් එතන ඉන්නේ බෝනික්‌කෙක්‌. මැජික්‌කරුවා තම මැජික්‌ යෂ්ටිය උපයෝගී කොටගෙන ප්‍රේක්‌ෂකයා මුලාකොට රිසිසේ රූපයන් මවයිද සංස්‌කාරධර්මයන් නැමති යෂ්ටිය උපයෝගී කරගෙන විඤ්ඤාණය නැමති මැජික්‌කරුවාද එකිනෙකට වෙනස්‌ රූප නිපදවයි. රොහලේ ලෙඩ ඇඳේ දුක්‌විඳින රෝගීන් ඔබ දැක තිබෙනවාද? නාස්‌ සිදුරුවලට බට දමල. මුඛයට බට දමල. මුත්‍රා මාර්ගයට බටයක්‌ දමල. සේලයින්,රුධිරය දෙනවා. මරණාසන්නව ලෙඩා ඇඳේ වැතිරිලා සිටිනවා. ඥාතීන්ටත් මේ රෝගීන්ව එපාවෙලා. උපස්‌ථායකයින්ටත් මේ රෝගීන්ව එපා වෙලා. සමහරු මෙවැනි රෝගීන් දිහා බලන්නත් බයයි. ඒත් මේ රෝගියා මැරිලා නැවත මව් කුසක උපතක්‌ ලැබුවොත් මොන සැලකිලිද?…. මොනතරම් ආදරයක්‌ද ඔහු ලෝකයාගෙන් ලබන්නෙ. මේක නේද ලෝකය කියන්නේ. පසුගිය ජීවිතයේදී තිරිසන් ලෝකේ හරක්‌ කුළයේ ඉපදිලා,අලි කුළයේ ඉපදිලා, කුකුල් කුළයේ ඉපදිලා මේ ජීවිතයේ මනුෂ්‍යයෝ වෙච්ච අය භික්‍ෂුවකට අරමුණුවෙලා තිබෙනවා.

රූපය කෙරෙහි ඇති ඡන්දරාගය සත්වයාව මොන තරම් හාස්‍යයක්‌ බවට පත්කොට තිබෙනවාද. රූපය කෙරෙහි ඇති ජන්දරාගය මේ තරම් සත්වයාව හාස්‍යයට පත්කොට තිබියදීත් අපි තවම වෙසක්‌ දිනයේවත් රූපයට ඇති ජන්දරාගයෙන් මිදීමට කැමත්තක්‌ දක්‌වන්නෙ නැහැ. එදාටත් රූප සොය සොයා යනවා.

තොරණ්‌, වෙසක්‌ කූඩු, සැරසිලි, භක්‌ති ගීත, නාට්‍ය සංදර්ශන, විදුලි බුබුලු…. මේවා සොය සොයා යන තරමට රැස්‌වෙන සංස්‌කාර ධර්මයන් ඔබට භවයේ කැමැති කැමැති රූප උපද්දවලා දෙනවා. වෙසක්‌ දිනයේ රාත්‍රියේ අගනගරය යම් සේ චමත්කාරජනකද, ඔබටත් භවයේ චමත්කාරජනක උපත් සකස්‌කර දෙනවා. පක්‍ෂීන්ගේ ලෝකය, මාළුන්ගේ ලෝකය මොනතරම් චමත්කාරජනකද කියලා බලන්නකෝ. විවේකී සිතෙන් මේවා සිතන්න. මේවා තමයි කමටහන්.

මේ ලෝකයේ උපත ලබන සෑම සත්වයෙක්‌ම ජරා, ව්‍යාධි, මරණ කියන කාරණා තුන දෝතින් දරාගෙනමයි උපත ලබන්නේ. නමුත් රූපය කෙරෙහි ඇති ඡන්දරාගය නිසා ඔබට මේ යථාර්ථය පෙනෙන්නේ නැහැ. ඉපදුණ අලුත කුඩා බිළිඳකුගේ සුරතල්භාවය, අසරණභාවය හමුවේ ඇතිවන ආදරය නිසා මේ දරුවාගේ ජීවිතය තුළ ඇති ජරා, ව්‍යාධි, මරණ ලක්‍ෂණ සැඟවිලයි තියෙන්නේ. නමුත් පිංවත් ඔබ සතියෙන් සිහියෙන් යුතුව මේ පුංචි රූපය දෙස බැලුවොත් එම රූපය තුළ සැඟවී ඇති ජරා, ව්‍යාධි, මරණ කියන කාරණා හඳුනාගන්න පුළුවන්. සතිය, සිහිය නැති තැනදී ඔබ දරුවාට ආදරය කරනවාය කියන්නේ, රැකවරණය දෙනවාය කියන්නේ මේ ජරා, ව්‍යාධි, මරණ ලක්‍ෂණ වසන් කිරීමට, යටපත් කිරීමට, පරාජය කිරීමට ගන්නා වූ උත්සහයක්‌මයි. මේ උත්සහයේදී අප කව්රුත් තාවකාලිකව දිනුවත් අවසානයේදී පරාජය වන එකමයි සිද්ධවෙන්නේ.

අපි මේ පුංචි බිළඳු රූපයට මොන තරම් ඡන්දරාගයක්‌ ඇතිකරගෙන තිබෙනවාද කියලා කියනවා නම් සමාජයේ මතයක්‌ ප්‍රකාශ වෙනවා, බිළිඳු දරුවාගේ සිත ප්‍රභාශ්වරයි කියලා. නොකිලිටියි කියලා. මේ පුංචි රූපයට ඇති තෘෂ්ණාව නිසාමයි මෙවැනි මාර සිත් වැඩිහිටියන් තුළ ඇතිවෙන්නේ. වැඩිහිටියකුගේ සිත යම් සේද කුඩා බිළිදෙකුගේ සිතුවිලිද රාග, ද්වේෂ, මෝහ අකුසල මූලයන්ගෙන් සංසාරික පුරුදු, ඉව ඔස්‌සේ වැඩිලයි තිබෙන්නෙ. තමා කැමති උපාදානයන් අහිමි වෙනකොට ළදරුවා කියල වෙනසක්‌ නැහැ. ද්වේෂය සකස්‌ වෙනවා. දරුවෙක්‌ නව මාසයක්‌ මව් කුස ගර්භාෂය මගේ කරගෙනයි ජීවත් වෙන්නෙ. අපිට පෙනුනට මේ දරුවා නව මාසයක්‌ අතපය වකුටු කරගෙන මේ ලේ සැරව පිරුණු බැලුම් බෝලයක්‌ වන් අවකාශය තුල තෙරපෙමින් දුක්‌ විඳිනවා නේද කියලා, ඒ අපි හිතන හැටි. නමුත් මේ ළදරුවා ගර්භාෂය තුල ජීවත් වෙන්නේ මේක මගේ නිවස, මේක මගේ කාමරය, මේක මගේ තැන කියන උපාදානය සකස්‌ කොටගෙන කැමත්තෙන්මයි. එයාට දුකක්‌ දැනෙන්නෙ නැහැ. අපිට පෙනෙන දුක ළදරුවා සැපක්‌ හැටියටමයි දකින්නෙ. ළදරුවා මව් කුස තෘෂ්ණාවෙන් යුතුව උපාදානය කොට ඇති නිසා තමයි අම්මා කෙනෙක්‌ දරුවා බිහිකරන වෙලාවෙ මහා වේගයකින් කෑමොර දෙමින් ලෝකයාට බිහිවෙන්නෙ. දරුවාගේ විරෝධයයි එයා ප්‍රකාශ කරන්නේ. මගේ තැනින් මාව මුදාගත්තාය කියන විරෝධය. මෙතන තිබෙන්නෙ ද්වේෂයක්‌ වෛරයක්‌ නොවේද? ඒ කියන්නෙ දරුවෙක්‌ ඉපදෙනකොටම ද්වේෂය වෛරය සකස්‌ කරගෙනමයි උපදින්නේ. ඉන් පස්‌සෙ බලන්න දරුවා අම්මාගේ උණුසුම උපාදානය කොටගන්නවා, තෘෂ්ණාවෙන්ම. දැන් අම්මාගේ උණුසුම, පියයුරු සැපයි කියල මව් කිරට උපාදානය ඇති කරගෙනයි සිටින්නේ. අම්මාගේ තුරුලේ සිටින මේ දරුවා යමෙක්‌ අතට ගන්න හැදුවොත් මහා වේගයකින් කෑමොරගහනවා. මුහුණ රතු කර ගන්නවා. මේ පුංචි සිතේ සැඟවී ඇති ද්වේෂය, වෛරය,රාගයමයි මේ හැසිරීම් වලට හේතුව. ඒ නිසාම පුංචි සිත ප්‍රභාෂ්වරයි කියන කාරණය, පුංචි දරුවන්ගේ රූපයන් කෙරෙහි අපේ ඇති ඡන්දරාගය නිසාම සකස්‌ කොටගත් මෝහ මූලික අදහසක්‌. එම නිසා කුමන රූපයකට ඔබ බැඳුනත් ඒ බැඳී ඇත්තේ මාරයාටය කියන කාරණයයි අදවන් දිනයක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අවබෝධකොට ගත්තේ.

Advertisements

31-ඔබ විනෝදය ලෙස දකින්නේ තෘෂ්ණාවේ ගින්දරයි

2013-05-19

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘පිංවත් අනුරුද්ධ, බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්නේ ජනතාව විශ්මයට පත්කරන්නවත්, ජනතාව සුරතල් කරන්නවත්, ලාභ සත්කාර ලබන්නටවත්, මා ගැන මෙසේ යෑයි හඳුනාගැනීමටවත් නොවේ. ශ්‍රාවකයින්ගේ මෙලොව, පරලොව යහපත උදෙසාමයි’ කියලා. බුදුරජාණන්වහන්සේගේ මහා කරුණාව යොමුවන්නේ සත්වයාගේ මෙලොව පරලොව ඉලක්‌කකොට පමණක්‌මයි. මේ සා අසිරිමත් රැකවරණයක්‌ වූ ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ මහා කරුණාගුණයේ රැකවරණය දරුවෙක්‌ උදෙසා, බිරිඳක්‌, ස්‌වාමිපුරුෂයෙක්‌, තනතුරක්‌, දේපලක්‌ උදෙසා මගහරිනවානම් එම අනුවණකමේ විපාකයන් ඔබට අනාගතයේදී අවුරුදු ලක්‍ෂ ගණනාවක්‌ ගෙවන්නට සිදුවේවි.

පිංවත් ඔබට අයිති නැති දරුවෙක්‌, බිරිඳක්‌, ස්‌වාමිපුරුෂයෙක්‌ උදෙසා ඔබට අයිති සද්ධර්මයේ රැකවරණය අහිමි කරගන්න එපා. මේ කෙටි මනුෂ්‍ය ජීවිතය, අතිදීර්ඝ දුකෙන් මිදීම උදෙසාම ප්‍රයෝජනයට ගන්න. බුදුරජාණන්වහන්සේ සාරසංඛ කල්ප ලක්‍ෂ ගණනාවක්‌ දස පාරමීධර්ම පිරුවේ පිංවත් ඔබ උදෙසාමයි. ඇස්‌ ගලව ගලවා දන්දුන්නේ, මහා සාගරයේ ජලය පරදවා යන තරමට රුධිරය දන්දුන්නේ, මහ පොළොවේ පස්‌ පරදවන තරමට ශරීර මාංශ දන්දුන්නේ පිංවත් ඔබ උදෙසාමයි. හය අවුරුද්දක්‌ දුෂ්කරක්‍රියා කෙරුවේ ඔබ උදෙසාමයි. නමුත් පිංවත් ඔබට ඇස්‌, මස්‌, ලේ දන්දෙන්න අවශ්‍යම නැහැ. රූපය කෙරෙහි ඇති තෘෂ්ණාව නිසා ඔබ තුළ සකස්‌වෙන ලෝභ, ද්වේෂ, මෝහ අකුසලයන් පමණක්‌ ඔබ දන්දෙන්න. එවිට අප බෝධිසත්වයාණෝ ඔබ වෙනුවෙන් දන් දුන් ඇස්‌, මස්‌, රුධිරය වෙනුවෙන් ඔබ කෘතගුණ දැක්‌වූවා වෙනවා. ඔබට ලැබුණ මේ උතුම් අවස්‌ථාවේදී එවන් අසිරිමත් ශාස්‌තෘන්වහන්සේනමකට ණයකාරයෙක්‌ නම් වෙන්න එපා.

මාරයා සැඟවී බලා සිටිනවා, ඔබට දරුවාගේ සුරතල් පෙන්වලා, බිරිඳගේ, සැමියාගේ ආදරය පෙන්වලා, මෙවරත් ඔබව බුදුරජාණන් වහන්සේගේ ණයකාරයෙක්‌ කරවන්නට.

බැංකුවට ඔබ ණය වුණොත් දේපල රාජසන්තක කරාවී, බුදුරජාණන් වහන්සේට ඔබ ණය වුණොත් භවයේ සැපයම මාරසන්තක වෙනවා. දුකින් බැහැරට මගපෙන්වූ ඒ උතුම් ශාස්‌aතෘන්වරයාණන් වහන්සේට පිංවත් ඔබ නිරතුරුවම ඔබේ ජීවිතය තුළින් අලෝභ, අද්වේශ, අමෝහ සුවඳ කුසුම් පූජාකරන්න. බුදුරජාණන් වහන්සේ ඒ මල් සුවඳ නිරතුරුවම වර්ණනා කළා. ‘මේ ලෝකයේ කිසිම මනුෂ්‍යයකුට, දෙවියකුට, බ්‍රහ්මයකුට විඳින්නට තබා සිතන්නවත් බැරි අප්‍රමාණ වූ දුක්‌ කන්දරාවක්‌ සය අවුරුද්දක්‌ පුරා මම දුෂ්කරක්‍රියා කළ කාලයේදී වින්දා’ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

මේ හැම දුක්‌ගැහැටක්‌ම උන්වහන්සේ කැමැත්තෙන්ම දරාගත්තේ පිංවත් ඔබ මේ මොහොතේ ලබන සද්ධර්මයේ සැනසිල්ල ඔබට ලබාදීමටයි. එවන් අසිරිමත් ශාස්‌තෘන්වහන්සේ නමක්‌ වෙනුවෙන් නිරතුරුවම පිංවත් ඔබ තුළ අලෝභ, අද්වේෂ, අමෝහ සිතිවිලි ඇතිකරගෙන බුදුරජාණන් වහන්සේගේ රූපකාය සිතෙන් මවාගෙන ඒ පවිත්‍ර සිත බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණයන්, ඥානයන්ට නිරතුරුවම ඔබ මනසින් සමීපවෙන්න. එවිට පිංවත් ඔබ තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අයෝමය විශ්වාසයක්‌ සකස්‌ වේවී.

භික්‍ෂුවට මතකයි අතීතයේ එක්‌තරා දවසක උදෑසන සුදු සරමක්‌ සුදු කමිසයක්‌ බෑගයක දමාගෙන උදෑසන 5ට බසයේ නැගලා, කිසිම ඥාතියෙක්‌ හිතවතෙක්‌ ගෙන් තොරව භික්‍ෂුව පැවිදිවීම සඳහා උපන් නිවසින් පිටව ගිය ආකාරය. එදා පටන් මේ මොහොත දක්‌වා භික්‍ෂුවට අයෝමය ශක්‌තිය වුණේ බුදුරජාණන් වහන්සේමයි. ස්‌ථිර වාසස්‌ථානයක්‌ නොමැතිව තැන්තැන්වල ආරණ්‍යවල හුදෙකලා කුටිවලට ගිය ගමනේදී සමහර පිංවතුන්ලා භික්‍ෂුව හැඳින්වූවේ ‘අහිගුන්ඨක භික්‍ෂුව’ කියලා. මගේම කණට ඇසිලා තියෙනවා පිංවතුන්ලා එහෙම කියනවා. මා හඳුනාගත්තා ඒ කථාකරන්නේ මාරයාය කියලා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව තුළින් ඒ වෙලාවේ භික්‍ෂුව මාරයාව හඳුනාගෙනයි තිබුණේ. මාරයාට අවශ්‍ය වුණේ ‘අහිගුන්ඨක හාමුදුරුවෝ’ කියන නම පටබැඳලා මා තුළ ලැ-ජාව සකස්‌ කරලා ආරණ්‍යයක, පන්සලක ස්‌ථිර නිත්‍ය පදිංචිකරුවෙක්‌ කරන්න. උතුම් පැවිද්ද ලැබීමට පෙරාතුවම මාරයාගේ එම අවකාශය මම බලාපොරොත්තුවුණා. භික්‍ෂුවට, ස්‌ථිර නිත්‍ය තැනක්‌ නැති ‘අහිගුණ්‌ඨක හාමුදුරුවෝ’ කියනකොට මට සතුටක්‌ ඇතිවුණා. භික්‍ෂුව කල්පනා කළේ, සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ, මහා කාශ්‍යප මහෝත්තමයාණන් වහන්සේටත් ස්‌ථිර, නිත්‍ය තැනක්‌ තිබුණේ නැහැ නේද කියලා. ඒ කියන්නේ උන්වහන්සේලාත් ‘අහිගුණ්‌ඨක’ ජීවිත ගතකළේ. ඒ උතුම් ජීවිතය මටත් ලැබීම භාග්‍යයක්‌කොටයි භික්‍ෂුව සැලකුවේ. ඒ ‘අහිගුණ්‌ඨක භික්‍ෂුව’ කියන නාමය භික්‍ෂුවට ලැබුණු ගෞරව නාමයක්‌ ලෙසයි භික්‍ෂුව මේ මොහොතේත් දකින්නේ. ඒ ගතකළ අහිගුණ්‌ඨකභාවයමයි මේ සටහන් ලියන්න අවශ්‍ය අවබෝධය ලබාදුන්නේ. මොකද භික්‍ෂුවට පැවිදිවෙන්න පෙරාතුව කවදාකවත් බුදුරජාණන්වහන්සේ දේශනාකොට වදාළ සූත්‍ර පොතක්‌ කියවා තිබුණේ නැහැ. කවදාවත් භාවනා පංතියකට ගිහින් තිබුණේ නැහැ. ජීවිතේ කවදාවත් දහම් පාසලකට ගිහින් තිබුණේ නැහැ. භික්‍ෂුව ගිහිකාලයේ අධ්‍යාපනය ලැබුවේ ක්‍රිස්‌තියානි පාසලක. එහි බුදුදහම ඉගැන්වුවේ 7 වැනි ශ්‍රේණියෙන් පසුවයි. මෙවැනි පසුබිමක්‌ තුළ ‘අහිගුණ්‌ඨක හාමුදුරුවෝ’ කියන අර්ථයේම ඵලයයි මේ භික්‍ෂුව. අහිගුණ්‌ඨක කියන වචනයේ අර්ථය මෙතැනදී භික්‍ෂුව දකින්නේ ‘අතහැරීම’ කියන අර්ථයෙන්. ඔබ අතහැරිය යුත්තේ රූපය කෙරෙහි ඇති තෘෂ්ණාව පමණක්‌මයි. එතැනදී ඔබට මුළු සද්ධර්මයේම රැකවරණය ලැබෙනවා. සද්ධර්මයේ රැකවරණය ලබාගත් තැනැත්තාට මිනිස්‌, දෙව්, බඹුන් තුන් ලෝකයේම ගරු බුහුමන් ලැබෙනවා. ‘ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ල ලැබෙයි’ කියන අර්ථය භික්‍ෂුව නිරතුරුවම කියන්නේ ඉහත අත්දැකීම නිසාමයි.

භික්‍ෂුවට ඉහත ශක්‌තිය ලබාදුන්නේ, සසර පිළිබඳ ඇතිකරගත් බිය විසින්මයි. මේ බිය සකස්‌ කර දුන්නේ තෙරුවන් කෙරෙහි ඇතිකරගත් ශ්‍රද්ධාවයි.

සමාජය තුළ පිංවතුන්ලා විනෝදවෙනකොට, සෙල්ලම් කරන විට භික්‍ෂුවට හරි බයක්‌ දැනෙනවා, ඔබලා පිළිබඳව. විනෝදවෙන්න සෙල්ලම් කරන්න පුළුවන් ලෝකයක්‌ නොවෙයි මේක. ලෝකය නිරතුරුවම ගිනිගන්නවා තෘෂ්ණාවෙන්. තෘෂ්ණාවේ ගින්දරයි ඔබ විනෝදය, සෙල්ලම හැටියට දකින්නේ. නොදන්නාකම නිසාම ගින්දරත්, විනෝදයත් සෙල්ලමක්‌ කොටගනිද්දී පිච්චීමට අදාළ සංස්‌කාරයන් අනාගත විපාකයන් පිණිස සකස්‌වෙනවා. පරිස්‌සමෙන් විනෝදවෙන්න. තෘෂ්ණාව කියන්නේ ගින්දරක්‌. අනුනගේ විනෝදය, සෙල්ලම ඔබ ගින්දරක්‌ ලෙස දකිමින් ඒ ගිනි නිවන දිශාවට යොමුවෙන්න.

ඉන්ද්‍රජිත් සුබසිංහ

30-ඔබ ඔය ඊර්ෂ්‍යා කරන්නේ සංස්‌කාරවලට බව දැනගන්න

2013-05-12

ඊර්ෂ්‍යාව කියන වචනය සටහන් තබනකොටම එහි තරමක පැටලිලි ස්‌වභාවයක්‌ තියෙනවා. ඒ පැටලැවිල්ල වගේමයි ඊර්ෂ්‍යාව කියන වචනයේ අර්ථය අපව භවගමනේදී පටලවන්නේ. මමය කියලා ගන්න දෘෂ්ටියේ දැඩිභාවය නිසාම, ලෝකයා අපව ඉක්‌මවා යනවාට අපි කැමති නැහැ. හැකියාවෙන්, දැනුමෙන්, රූපයෙන්, වත්පොහොසත්කම්වලින්, ගරුසත්කාරවලින්, එකිනෙකා පරයා යනකොට එතැන සකස්‌වෙන්නේ ඊර්ෂ්‍යාව කියන ධර්මතාවයයි. සංස්‌කාර කියන ධර්මතාවයේ අර්ථය නොවැටහෙන්න, නොවැටහෙන්න මනුෂ්‍යයා ඊර්ෂ්‍යාව දෙසටමයි ගමන් කරන්නේ.

මේ ලෝකයේ එක සුන්දර කාන්තාවක්‌ ජීවත්වෙනවා, ඇයගේ ශරීරයේ සුන්දරත්වය, ලාලිත්‍යය, රිද්මය, හැඩය, වර්ණය මේ මොහොතේ අතිශය චමත්කාරජනකයි. ඒ රූපය නිසාම ඇය ලෝකයේ ජනප්‍රිය කාන්තාවක්‌. ඇය මේ රූපයෙන් ලෝකයාව හැඟීම්වලින් අන්දමන්ද කරනවා. ඇය අන්‍යාගමික කාන්තාවක්‌. ඇයගේ මේ අසිරිමත් රූපය නිසාම ඇයට ඊර්ෂ්‍යා කරන අය අප්‍රමාණව ඇති.

ඒ අසිරිමත් රූපය නිසාම වර්තමානයේ ඇය සතර අපාය දෙසටමයි මාර්ගය සකස්‌කරගන්නේ. එක්‌ භික්‍ෂුවක්‌ උතු=ම් සමාධියේදී අරමුණුකර බලනවා, ඉහත රූමත් කාන්තාව පෙර ජීවිතයෙදි කුමන අයුරේ ජීවිතයක්‌ ගතකරපු කෙනෙක්‌ද කියලා.

එවිට එම භික්‍ෂුවට අරමුණුවෙලා තියෙන්නේ වයස අවුරුචු 40ක පමණ පැහැපැත් කාන්තාවක්‌. ඇය තැඹිලි පැහැති රෙදි පටියකින් බැඳගත් තනපටයක්‌ සහ ඉනේ සිට පහතට අඳිනලද තැඹිලි පැහැති රෙදිකඩකින් සැරසී ඉඳලා තිබෙන්නේ. ඇයගේ ස්‌වරූපයෙන් භික්‍ෂුව ඇයව හඳුනාගෙන තිබෙන්නේ දේවදාසියක්‌ ලෙසිනුයි.

ඉන්දියානු සමාජයේ දෙවියන් උදෙසාම කැපවූ, ජීවිතය පූජා කළ කාන්තාවන් සිටියා. ඒ අයගේ මුළු ජීවිතයම ගෙවුණේ තමන් අදහන දෙවියන් වෙනුවෙන්, එම දෙවියන්ට පූජෝපහාර පැවැත්වීම උදෙසායි. ඇය මුළු ජීවිතය තුළදීම කරන්නේ දෙවියන්ව මලින් සැරසීමට මල් මාලා ගොතන එක. දේව මන්දිර පිරිසිදු කරන කාර්යය. සුවඳහමන මුරුතැන්බත් පිසින කාර්යය. සුවඳ දුමෙන් දේවමන්දිර සුවඳවත් කරන කාර්යය. දෙවියන් උදෙසාම ජීවිතය පූජා කරන්නී… ඇය දේවදාසියක්‌. තමා අදහන ආගමට අනුව දෙවියන්ට මලින් ජූජා පැවැත්වීම නිසාම එහි විපාකයක්‌ හැටියට මේ ජීවිතයේදී අබෞද්ධ පවුලක වුණත්, සුරූපී උපතක්‌ සකස්‌කොටගත්තා. මේ ජීවිතයේදී ඇයට නිල් මහනෙල් මලක්‌ වැනි ශරීරයක්‌, ඇස්‌ දෙකක්‌ ලැබුණේ ඇය ගිය ජීවිතයේදී දෙවියන්ට පූජා කළ මල්වල අසිරියෙන්මයි. එහෙමනම් ඇයගේ රූපයට අපි ඊර්ෂ්‍යා කරලා වැඩක්‌ නැහැ. ඒවා හේතුඵල ධර්මයන්. නමුත් එතැන තිබෙන්නේ මිත්‍යාදෘෂ්ඨික ජීවිතයක්‌.

ඇයගේ සුන්දර ජීවිතය දකිනකොට අපට පෙනෙන්නේ ඔබ දක්‍ෂනම් ඔබ පූජා කරන මලකින් මොන තරම් අසිරියක්‌ ලබන්න පුළුවන්ද කියලා. නමුත් මල් පූජා කරමින් දෙවියන්ට සුවඳින් ජූජෝපහාරයන් පැවැත්වීමෙන් ලබාගත් අසිරිමත් රූපය නිසාම, එම රූපයේ ආශ්වාදය නිසාම, ඇය දැන් අකුසල් වැඩෙන මාර්ගයකමයි ගමන්කරන්නේ. ඉහත කරුණ ඔබට සටහන් කළේ ඊර්ෂ්‍යාව කියන කාරණයේ ඇති අර්ථ විරහිතබව ඔබට දැන ගන්නයි. ඔබ ඔය ඊර්ෂ්‍යා කරන්නේ අනුන්ගේ කුසල් සංස්‌කාරධර්මයන්ටයි. අනුන් පොහොසත් වෙන්නේ, බලවත් වෙන්නේ, රූමත්, උගත් වෙන්නේ ඒ අය පෙර ජීවිතයේ

රැස්‌කරගත් කුසල් සංස්‌කාරධර්මයන් අනුවමයි. යමෙක්‌ යමෙකුගේ සංස්‌කාරවලට ඊර්ෂ්‍යාකරනවා කියන්නේ ධර්මයට ඊර්ෂ්‍යා කරනවාය කියන කාරණයයි. ධර්මයට යමෙක්‌ ඊර්ෂ්‍යා කරනාවනම් ඔහු තමාගේම හිස කළුගලක ගසාගන්නා අඥාන පුද්ගලයෙක්‌ වෙනවා. පිංවත් ඔබ කළුගලක ඔලුව ගසාගත්තොත් මොකද වෙන්නේ? මුහුණ ලේ පැහැ වෙනවා, දත් එළියට පනිනවා. මුහුණ ඉදිමිලා විකෘති වෙනවා. මේ සියල්ල ඊර්ෂ්‍යාවේ ඵලයයි.

වරක්‌ භික්‍ෂුවක්‌ උතුම් සමාධියේ පසුවෙන කොට රාත්‍රී කාලයේදී, තම ජීවිතයේ පළමු වරට යක්‍ෂණියක්‌ දර්ශනය වෙනවා. ඇය මිත්‍යාදෘෂ්ඨික යක්‍ෂණියක්‌. ඇගේ බෙල්ලෙන් උඩ කොටස විතරයි දර්ශනය වෙලා තියෙන්නේ. ඇයගේ ස්‌වරූපය මොනතරම් භියකරු ද කියනවානම් එම යක්‍ෂණියගේ කට දෙපැත්තෙන් එළියට නෙරපු අඟල් තුනක පමණ දළ කැබැලි දෙකකුත් ඇයට තිබිලා තියෙනවා. රත්පැහැ ගැන්වුණු පුපුරණ මුහුණක්‌ ඇයට තියෙන්නේ. හරියටම තමාගේ හිස තමාම කළුගලක ගසාගත්තා වැනි මුහුණක්‌. එම භියකරු යක්‍ෂණිය දකිනකොට, භික්‍ෂුව එම යක්‍ෂණිය තුළින් දැකලා තිබෙනනේ ද්වේෂය, ඊර්ෂ්‍යාව ජීවිතය කරගත් කාන්තාවක්‌. පිංවත් ඔබ සිතන්න ඔබ තුළින් ඊර්ෂ්‍යාව සකස්‌වෙනවා නම් ඔබ තුළින් ඔබ යක්‍ෂයෙක්‌, යක්‍ෂණියක්‌ දකින්න දක්‍ෂවෙන්න.මොකද මේ කාලකණ්‌ණි ධර්මයන්මයි මේ යක්‍ෂණියට ඒ දුක උරුමකරදුන්නේ. මේ යක්‍ෂණියගේ දළ දෙකෙන් කියන්නේ ඊර්ෂ්‍යාවේ තියුණුභාවය. යක්‍ෂණියගේ ජීවිතයේ අකුසල් බලවත්භාවය නිසාම ඇයගේ යක්‍ෂ ජීවිතයට ආයුෂ, වර්ණය, සැපය, බලය වැඩිවෙලා. ඒ වැඩිවීම හේතුවෙන්නේ තව තවත් දුක වැඩිවීමටමයි. ඒ නිසා පිංවත් ඔබ ඊර්ෂ්‍යා කරන්න එපා. ඊර්ෂ්‍යාව තුළින් යක්‍ෂයෙක්‌ දකින්න.

සමහර ගම්මානවල පිඬුසිඟාවඩිනකොට මොන තරම් දුප්පත් මනුෂ්‍යයෝ ජීවත්වෙනවද කියලා පෙනෙනවා. ඉළුක්‌ සෙවිලි කළ කුඩා වරිච්චි බිත්ති හතර තුළ පාන්, විස්‌කෝතුවකින්, කැඳ උගුරකින්, වේල පිරිමහගන්න කුඩා කිරිදරුවන්, අම්මලා දකිනකොට ‘අනේ පුතේ, මේ ජීවිතයෙදී අනුනට ඊර්ෂ්‍යා කරන්න එපා’ය කියලා කියන්න භික්‍ෂුවට හිතෙනවා. ඒත් බියක්‌ දැනෙනවා, අනේ මේ දරුවන්ට එහෙම කීවොත්, භික්‍ෂුව කෙරෙහි ද්වේශයක්‌ ඇතිකරගෙන තව අකුසල් රැස්‌කරගනියි කියලා. අනුනට ඊර්ෂ්‍යා කරන මනුෂ්‍යයා නැවත මනුෂ්‍ය ජීවිතයක්‌ ලැබුවොත් ඔහු අල්පභෝගී සම්පත් ඇති, අල්පේශාඛ්‍ය දුර්වර්ණ ජීවිතයක්‌ ලබන බව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බලන්න ඊර්ෂ්‍යාව තුළ මොනතරම් අවදානමක්‌ ද සැඟවිලා තියෙන්නේ. යමෙක්‌ අනුනට ඊර්ෂ්‍යා කරන්නේ නම්, ඔහු ඊර්ෂ්‍යා කරන්නේ තමාගේම සැපයට බව හොඳින් සිතන්න. ඔබ අවබෝධයෙන්ම ඊර්ෂ්‍යාවෙන් මිදෙන්න. එවිට ඔබ උපේක්‍ෂාව තුළට පැමිණේවී. දැන් ඔබට පුළුවන් මෛත්‍රියට සිත යොමුකරන්න. ඊර්ෂ්‍යාවත්, මෛත්‍රියත් කියන්නේ එක සිතිවිල්ලක්‌ අතර ඇති පරතරය පමණයි. ඒ තරම් සරල තැනක්‌ ඔබ මගහරිනවා. මේ එක සිතිවිල්ලක පරතරය ඔබව සුගතියේ සිට දුගතියට ඇද දැමීමට හොඳටෝම ප්‍රමාණවත් වෙනවා. වර්තමාන අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ ඇති තරගාකාරීත්වය නිසා කුඩා වයසේදීම දරුවන් තුළ ඊර්ෂ්‍යාවේ බීජයන් ඇතිවෙනවා. ඒ අනාගත සමාජයේ ව්‍යාකූලබව කියන්නාවූ බොහොම අනතුරුදායක ප්‍රවනතාවයක්‌.

බුදුරජාණන් වහනසේ දේශනා කරනවා ගිය ජීවිතයේ මහණ බමුණන්ගෙන් කුසලය, අකුසලය ගැන, කළයුත්ත නොකළයුත්ත ගැන නොඇසීමේ හේතුව නිසාම මේ ජීවිතයේදී අකුරු ශාස්‌ත්‍රයේ අදක්‍ෂභාවයට පැමිණෙනවාය කියලා. පුද්ගලයකු අතින් ඉහත කාරණා සිදුනොවන්නේ මාන්නය නිසාමයි. එමනිසා නිහතමානීව උත්සහය තුළින් ඔබ අධ්‍යාපන කටයුතු කළහොත් ඔබට අනුනට ඊර්ෂ්‍යා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට ලැබිය යුත්ත ලැබේවි. තෙරුවන් කෙරෙහි විචිකිච්ඡාවෙන් බැහැරවෙන මොහොත දක්‌වාම ඔබ තුළ ඊර්ෂ්‍යාව සකස්‌වෙනවා. මොකද ධර්මානුකූලව ලෝකය දකින්න තවම ඔබ ධර්මය කෙරෙහි සැකයෙන් බැහැරනොවී ඇති නිසා.

ඔබ සක්‌කාය දිට්‌ඨිය තුළිනුයි ලෝකය දකින්න උත්සහ ගන්නේ. මෙතැනදී ඔබට ලැබෙන ඵලය ලෝභ, ද්වේෂ, මෝහ අකුසලයන්මයි. සද්ධර්මයේ අසමර්ථයන්ගෙන් ලෝකය බැහැරවෙන්න, බැහැරවෙන්න මාරයාගේ අධිපත්‍යයයි ලෝකයේ පැතිරෙන්නේ. ඒ සද්ධර්මයෙන් බැහැරවූ අනාගත ලෝකයට අවශ්‍ය මාර සමාජය තමයි වර්තමානයේ හරිබරි ගැහෙමින් මේ සකස්‌ වෙන්නේ.

පිංවත් ඔබ සද්ධර්මය තුළින් අනාගතයේ බිහිවෙන මේ විෂම ලෝකය හඳුනාගන්න. මාරයාගේ විෂම සැලසුම් පරාජයකර ඔබ ලොව්තුරා බුදුරජාණන්ගේ මහා කරුණා ගුණයේ සෙවනට එන්න.

30-පව පහුරුගාමින් නොසිට කුසල නිධිය මතුකරගන්න

2013-05-05

මේ සටහන තබන වේලාවේ භික්‍ෂුවට මතක්‌ වෙනවා භික්‍ෂුව ගිහිකාලයේ ගමේ පුරාණ විහාරයේ වැඩසිටි අපවත්වී වදාළ ගෞරවනීය නායක ස්‌වාමීන් වහන්සේව. උන්වහන්සේ සෑම වසරකට වරක්‌ම තම කුටිය හිස්‌කරනවා. එය සිද්ධකරන්නේ වාර්ෂිකව පැවැත්වෙන දානමය පිංකමට. කුටියේ ඉතිරිව තිබූ සෑම පිරිකරක්‌ම පිංකමට වඩින ස්‌වාමීන් වහන්සේලාට පූජා කරනවා. මට මතකයි ඒ ක්‍රියාව තුළින් උන්වහන්සේ පිංකමට පස්‌සේ ලොකු ආශ්වාදයක්‌ ලබනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකර වදාළ විනය කාරණාවලට යටත්ව සිටිමින් තමන්ට ලැබෙන අතිරික්‌ත සිව්පසය ඒවා හිඟපාඩු ස්‌වාමීන්වහන්සේලාට බෙදා දීම විනය කාරණා ආරක්‍ෂා කරගැනීමෙන් අපිට ගොඩාක්‌ උපකාරීවෙනවා. නායක ස්‌වාමීන් වහන්සේ මට කියලා තිබෙනවා රැස්‌කොට තබාගැනීමට වඩා බෙදා දීමෙන් මහා සැපයක්‌, නිදහසක්‌ ජීවිතයට ලැබෙනවා කියලා.

පැවිදිවීමට පෙරාතුව වසර පහක්‌ පමණ මම ගමේ පුරාණ විහාරස්‌ථානයේ දායක සභාවේ සභාපතිවරයා හැටියට කටයුතු කළා. ඒ කාලයේ නායක ස්‌වාමීන් වහන්සේ මා කෙරෙහි ලොකු විශ්වාසයක්‌ ඇතිකරගත්තා. ඒ නිසාම පන්සල උපයෝගීකරගෙන මහා පිංකම් රාශියක්‌ සිදුකරගත්තා. ඉන් එක්‌ ගෞරවනීය පිංකමක්‌ තමයි ලොකු පිංකමක්‌ සිදුකරලා කුඩා සාමනේර ස්‌වාමීන් වහන්සේලා එකළොස්‌ නමක්‌ පැවිදි කිරීමේ පිංකම. මේ වෙලාවේ උන්වහන්සේලාගෙන් කී නමක්‌ පැවිදි භාවය තුළ ඉන්නවාද කියන්න භික්‍ෂුව දන්නේ නැහැ. නමුත් එම පිංකම තුළින් ලැබුණා වූ කුසලය මට ලැබුණාය කියන විශ්වාසය මා තුළ තිබෙනවා. ලෝකය උපයෝගි කරගෙන ලැබුණු අවස්‌ථාව ප්‍රයෝජනයට ගෙන මගේම නිදහස්‌ පාර සොයාගෙන ගියා. මෙතන තමයි ඔබ හඳුනාගත යුතු දක්‍ෂභාව තිබෙන්නේ.

මේ කාලයේදී මට මතකයි වයස අවුරුදු අසූවක්‌ පමණ වූ වයෝවෘද්ධ නායක ස්‌වාමීන් වහන්සේ දැඩිලෙස ගිලන් වූ අවස්‌ථාවක්‌. ගිහියෙක්‌ හැටියට හරියටම අවුරුද්දක කාලයක්‌ දවසක්‌ හැර දවසක්‌ සබන්ගාල ඇඟ අතුල්ලල උන්වහන්සේව නාවල තිබෙනවා. ඒ සෑම දිනකම උන්වහන්සේ සිවුරු අඳන සෝදල තිබෙනවා. උන්වහන්සේට දානය වැළඳීමට දෑත් වෙව්ලන අවස්‌ථාවන්හිදී උන්වහන්සේට මා සියතින් දන් වළඳවල තිබෙනවා. අවශ්‍ය ප්‍රතිකාර සඳහා වෛද්‍ය මහත්වරුන් ළඟට රැගෙන ගොස්‌ තිබෙනවා. නමුත් මේ මොහොතේ උන්වහන්සේ මොන ලෝකෙක කව්රුන් වශයෙන් ඉන්නවද කියන්න භික්‍ෂුව දන්නේ නැහැ. නමුත් උන්වහන්සේට උපස්‌ථානය කිරීම තුළින් රැස්‌වුණාවූ කුසලය භික්‍ෂුවට ලැබුණාය කියන විශ්වාසය වර්තමානයේ භික්‍ෂුවට තිබෙනවා. වයෝවෘද්ධ නායක ස්‌වාමීන්වහන්සේ පුංචි දරුවෙක්‌ වගේ උන්වහන්සේව නාවන්න එන තුරු තම උස ආසනයේ වාඩිවී ජනේලයේ කවුළුවෙන් බලාසිටින දර්ශනය මට තාම මතකයි. උන්වහන්සේගේ ඒ බැල්ම තුළ ආදරය, රැකවරණය, ආරක්‍ෂාව, කරුණාව ගැබ්වෙලා තිබුණා. එහි දිට්‌ඨදම්මවේදනීය කුසලය නිසාම ඒ හැම දෙයක්‌ම භික්‍ෂුවට මේ මොහොතේ ලෝකයෙන් ලැබෙනවා. ලෝකයේ ශේ්‍රෂ්ඨම ආයෝජනයට ජීවිතය යොදවල එහි ප්‍රතිලාභයන් ලබන කෙනෙක්‌ භික්‍ෂුව. භික්‍ෂුවට මතකය ජීවිතයේ එක්‌තරා රාත්‍රියකදී විහාරස්‌ථානයේ අධිෂ්ඨාන පූජාවක්‌ සංවිධානය කළා. සුප්‍රසිද්ධ ගෞරවනීය ස්‌වාමීන් වහන්සේ නමක්‌ පිංකමට වැඩමකළේ. පන්දහසක්‌ පමණ ගිහිපිංවතුන්ලා මේ පිංකමට සහභාගි වුණා. රාත්‍රි 8.00 විහාරස්‌ථානයේ සියලුම විදුලි ආලෝකයන් නිවීයනවිට පන්දහසක්‌ පමණ ගිහිපිංවතුන්ලාගේ දෑතේ පහන් හෝ ඉටිපන්දමක්‌ දැල්වුණා. ඝනාන්ධකාර රාත්‍රියක්‌ පහන් ආලෝක පහන් දහසකින් ආලෝකවත් වෙනවිට එම පිංකම සංවිධානය කරපු මම හිස්‌ දෑතින් පන්දහසක්‌ පහන් ආලෝක දෙස බලාසිටියා පමණක්‌මයි කළේ. මේ පිංකම නිසාම ශිල්වත් පන්දහසක්‌ පමණ පිංවතුන්ලාගේ හදවත් තුළ ඇතිවුණ අධිෂ්ඨාන ශක්‌තිය මා ලෝකයාට හොරෙන් තනිවම අනුමෝදන් වුණා.වෙහෙස මහන්සි වී පිංකම් සංවිධනය කර අනුන් පිංකම් වල යොදවා ඒ අයට සොරා මා මගේ කුසල් පක්‌ෂය ශක්‌තිමත් කරගත්තා. පිංකම් හුදු ආශ්වාදයක්‌ කරගත්තේ නැහැ. අතීතයේ දැල්වූ පහන් ආලෝක පහන් දහසක්‌ මොහොතකින් නිවීගියත් නිවීගිය පහන් ආලෝක දෙස බලමින් මා ඇතිකරගත්තා වූ අනිත්‍යයේ බීජය ප්‍රඥාවේ ආලෝකයක්‌ බවට පත්වී තවමත් නොනිමී භික්‍ෂුව තුළ දැල්වෙනවා. පන්සලේ වේවා ආරණ්‍යයේ වේවා ගිහිගෙදර වේවා ඕනෑතරම් කුසල්නිධි තිබෙනවා සැඟවිලා. මේවා සොයාගෙන ගිහිල්ලා සුවසේ හරාගන්න. ලෙඩෙක්‌, මහල්ලෙක්‌, පිංකමක්‌ දෙස ඔබ නොබලා යනවා කියන්නේ කුසල් නිධියක්‌ මගහැර යනවා කියන කාරණයයි. වසරක්‌ එරමිණිය ගොතාගෙන කායානුපස්‌සනා භාවනාව වැඩුවත් නොලැබෙන අවබෝධයක්‌ දිනක්‌ ලෙඩෙක්‌, මහල්ලෙකුට උපස්‌ථාන කිරීමෙන් ලැබීමට හැකි බව භික්‍ෂුව අත්දැකීමෙන් දන්නවා. නමුත් එකිනෙකාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්‌වභාවය අනුව මෙය වෙනස්‌ වෙන්න පුළුවන්. කායානුපස්‌සනාව කියන කාරණය, අසුභය කියන කාරණය භික්‍ෂුව වඩාත්ම අත්දැක්‌කේ ගිහි ජීවිතයේදී රෝගීන්ට උපස්‌ථාන කිරීම තුළින්මයි. අවබෝධයම අරමුණු කරගත් අවංක ෙච්තනාවෙන් රෝගීන්ට උපස්‌ථානය කිරීමේදී කවදාකවත් රෝගියාගේ අශූචි, මුත්‍ර වල ගඳක්‌ අපුලක්‌ දැනුනේ නැහැ. කුසලයේ ශක්‌තිය විසින් අශූචි, මුත්‍රා වල දුගත් නිශේධ කරනවා. මේ සටහන අවසන් කරනවිට මේ දෙයත් සඳහන් කරන්න ඕන. තරුණ කාලයේ ආවේගශීලීභාවයන් නිසාම ස්‌වාමීන් වහන්සේ සමග ගැටුමුත් එකක්‌ දෙකක්‌ ඇතිකරගෙන තිබෙනවා. ඒවායේ අකුසල් විපාකත් සමහරවිටදී ඉදිරියේදී විපාක දෙන්න පුළුවන්.

භික්‍ෂුව මේ මොහොතේ වැඩ සිටින කුටිය අසල නිතර ගැවසුණ, නමුත් හුඟ දවසක්‌ පේන්නේ නැතිව සිටි වළිකිකිළි අම්මලා දෙන්නෙක්‌ ආයෙමත් රංචුව සමග කුටිය සමීපයට එන්න පටන් අරගෙන. වෙනදාට නැති කිචි, බිචි ගාන හඬ ඇසිල බලනවිට එක වළිකිකිළි අම්මා කෙනෙකුට කුඩා පැටව් හතර දෙනයි. අනෙක්‌ වළිකිකිළි අම්මාට පැටව් එක්‌කෙනයි. අලුත් සාමාජිකයෝ පස්‌ දෙනෙක්‌ වළිකුකුල් රෑනට එකතුවෙලා. මේ පස්‌දෙනාම ගැහැනු සත්තු. වළිකුකුළන්ගේත් පිරිමි ගහනය අඩුවෙනවා වගේ. ඒ අයගේත් කාමයේ වරදවා හැසිරීමේ ක්‍රියාවන් වැඩිවෙලා ඇති. පුංචි පැටව් හතරදෙනෙක්‌ ඉන්න වළිකිකිළි අම්මලා වෙනදාට වඩා බෝහෝම කඩිසරයි. වේගයෙන් පොළව පහුරුගාමින් ආහාර සොයනවා. වෙනදාට තමාට පමණයි කෑම සොයන්න වෙහෙසුණේ. දැන් පස්‌දෙනකුට කෑම සොයන්න ඕනේ. කෑම සොයන ගමන්ම පැටව්න්ගේ ආරක්‍ෂාවත් බලන්න ඕනි. ඒ නිසා වළිකිකිළි අම්මා තියුණු අවධානයකින් නිතර පසුවෙන්නේ. වෙනදා තරම් භික්‍ෂුව සමීපයට එන්නේත් නැහැ. ඒ තරමට ඇය පැටව්න්ගේ ආරක්‍ෂාව පිළිබද අරමුණු කෙරෙහි අවධානයෙන් පසුවෙන්නේ. ඒ තියුණු අවධානයත් හරියට ශීලයෙන් තොරව සකස්‌වෙන මිථ්‍ය සමාධියක්‌ වගේ. දුක ආරක්‍ෂා කරගැනීම උදෙසායි. ඒ තියුණු අවධානය හේතුවෙන්නේ. වළිකිකිළි අම්මා වගේම පැටවුණුත් බොහෝම උපක්‍රමශීලියි. පුංචි හෝ අනතුරක ඉවක්‌ දැනුන සැණින් මේ වළිකිකිළි පැටවුන් වේගයෙන් සැඟවෙනවා.

කාමච්ඡන්දයන්ට යටවූ මනුෂ්‍ය සිතත් නිරතුරුවම සැඟවිලා තිබෙන්නේ. ඔබට සමහරවිට පෙනෙනවා ඇති සිත කාමයන්ටමයි දුවන්නේ. බොහෝම අකීකරුයි. ධර්ම මනසිකාරයට කැමතිම නැහැ. මේ සැඟවුණා වූ සිත මතුකරගැනීමට ධර්මවිජය බොජ්ජංගය වඩන්න කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ සිත ධර්ම මාර්ගය සඳහා උපක්‍රමශීලීව සැඟවුණවිට සද්ධර්මයක්‌ ශ්‍රවණය කරන්න. ධර්ම සාකච්ජාවක යෙදෙන්න. ධර්ම පොතක්‌ කියවන්න. තෙරුවන් වන්දනාවක යෙදෙන්න. එවිට යටපත්ව ගිය සිත ධර්ම මාර්ගය තුළට ධර්මය කෙරෙහි කැමත්ත තුළට යොමුවේවි. ඒ මෝදුවන සිතුවිල්ල තුළින් වීර්ය, ප්‍රීතිය, පස්‌සද්ධිය, සකස්‌කර දේවි. දැන් ඔබට පුළුවන් සමාධි, උපේක්‍ෂා ධර්මයන්ට ක්‍රමාණුකූලව සිත යොමුකරන්න.

සිත අකීකරු වන විට ඔබ උපක්‍රමශීලී වන්න. ධර්ම මනසිකාරයක්‌ම සිත තුළින් මතුකොට ගන්න දක්‍ෂ වෙන්න. ඇසට ප්‍රිය, හුරුබුහුටි දකින ඕනෑම කෙනෙක්‌ ආදරය කරන වළිකිකිළි අම්මාගේ ජීවිතය තුළ සැඟවුණ අනතුරත් පිංවත් ඔබ නුවණින් මෙනෙහි කරන්න. වළිකිකිළි අම්මා වේගවත්ය කියන්නේ ඇය වේගයෙන් සංස්‌කාර රැස්‌කර ගන්නවාය කියන කාරණයයි. සෑම නිමේෂයකම ඇය තුළ රැස්‌වෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ අකුසලයන්මයි. ඇය සෑම නිමේෂයකම අනාගතභවය සඳහා අප්‍රමාණ අකුසල් ප්‍රමාණයක්‌ රැස්‌කරගන්නවා. ඇය කවදානම් ගැලවෙන්නද? වළිකිකිළි අම්මාගේ පවටම උපන් දරුවො පස්‌දෙනෙක්‌. කාමයන් උදෙසා කාමයම රැස්‌කරමින් භවයේ වේදනාත්මකව නිරයේ දුකට සියතින්ම පාර සකස්‌ කර ගන්නවා. මනුෂ්‍යයන් වන අපත් අනාගතයේදීත් වනවදුලුවල සංචාරය කර වළිකුකුළන්ගේ සුන්දරත්වය දැක සතුටුවේවි. සුන්දර ඡායාරූප සිහිවටන ලෙස ගනීවි. අවසානයේදී අපි දෙගොල්ලන්ම එකම තැනයි ඉන්නේ. පෙනෙන සුන්දරත්වය තුළින් හුදු ආශ්වාදයම නොව අවබෝධය ලබන්න.