26-පොඩි දෙයක්‌ ආහාරයට ගන්න ලොකු දෙයක්‌ දන්දෙන්න

2013-04-28

භික්‍ෂුව සොයා පැමිණි එක්‌ තරුණ මහත්මයෙක්‌, තමා තාවකාලිකව පැවිද්ද ලැබීමට බලාපොරොත්තු වෙනවා, එය සුදුසුද කියලා විමසුවා. භික්‍ෂුව ප්‍රකාශ කළේ මේ ශාසනය තුළ ‘තාවකාලික පැවිද්ද’ කියලා දෙයක්‌ නොමැති බවයි. තෙරුවන් කෙරෙහි සද්ධාවේ හීනභාවය නිසාම සකස්‌වෙන විනය කාරණා ප්‍රතික්‍ෂේප කිරීමේ දුර්වලතාවය හේතුවෙන් මෙවැනි දේවල් සමාජයේ සිදුවෙනවා වෙන්න පුළුවන්. නමුත් තෙරුවන් කෙරෙහි සද්ධාවට පැමිණි කෙනා කවදාකවත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උතුම් රහතන් වහන්සේලා දැරූ කසාවත් චීවරය තාවකාලික අරමුණකින් දරන්නෙ නැහැ. එය මහා පාපකාරී ක්‍රියාවක්‌. කෙනෙක්‌ තාවකාලිකව පැවිද්ද ලබන්නේ සතියකින් එසේත් නැතිනම් මාසයකින් නැවත ගෙදර යාමේ බලාපොරොත්තුවෙන්. නැවත ඥාතීන් සමග බිරිඳ දරුවන් සමග කාමලෝකය අත්විඳින මනෝභාවයෙන්. ඔහු එම කාම සම්පත් දින කීපයකට පමණයි පැත්තකින් තබලා තිබෙන්නේ. ඒත් ඒවා සිතෙන් තිබෙන්නේ තමා ළඟමයි. මෙවැනි කෙනෙක්‌ මහා සංඝරත්නය පෙරවූ උතුම් චීවරයක්‌ දැරීම චීවරයට දක්‌වන්නාවූ අගෞරවයක්‌මයි. එවැනි අගෞරවයක්‌ දක්‌වන කෙනකුට කවදාකවත් සංඝරත්නයේ ගුණයන්, ඥානයන් පිළිබඳ සද්ධාව සකස්‌කරගන්න බැහැ. මොකද ඔහු සංඝයා දකින්නේ අඩු තක්‌සේරුවකින්. එම නිසා ඔබ තුළ සද්ධාව හීනභාවයට පත්වෙන්නාවූ තාවකාලික පැවිදි දිවියකට යන්න එපාය කියල භික්‍ෂුව ඔහුට මතක්‌ කළා.

වැදගත් දෙය කුමක්‌ වුවත් සමාජය තුළ ඕනෑතරම් මෙවැනි දේවල් සිදුවේවි. ඒකට තමයි ධර්මය කියන්නේ. ධර්මය තිබෙන්නේ ගැටෙන්න නොවේ. එම නිසා සමාජය තුළ ඕනෑම දෙයක්‌ සිදුවෙන්න දෙන්න. ඒවා නිවැරැදි කරන්න ඔබ යන්න එපා. ඔබ නිවැරැදි වෙන්න. එම නිවැරැදිභාවය තුළින් සද්ධාව සකස්‌ කරගන්න. තම තමන් තනිවම ගැලවෙන්න තිබෙන අවස්‌ථාවක්‌ මේක. අත්වැල් බැඳගෙන ගියොත් ප්‍රමාදී භාවයටයි පත්වෙන්නේ. පිංවත් ඔබට අවශ්‍ය නම් ගිහි බැඳීම් වලින් තාවකාලිකව ඉවත්වෙලා ශීලයක්‌ තුළ ජීවත්වෙන්න සුදුසු ගුරුවරයෙක්‌ යටතේ සුදුවත හෝ සුදුසු පැහැයක්‌ දරාගත් දසශීලයේ පිහිටන්න. එවිට ඔබට පුළුවන් අවශ්‍ය අවස්‌ථාවකදී ශීලයන් පවාරනය කරලා නැවත සුදුසු ජීවිතයකට පැමිණෙන්න. ඒ ආකාරයට කටයුතු කළොත් ඔබ තුළ වැඩෙන තෙරුවන් කෙරෙහි සද්ධාවට හානියක්‌ වෙන්නේ නැහැ.

අතීතයේ වැඩසිටියාවු අති උතුම් මහරහතන් වහන්සේලා දැරූ උතුම් අරිහත් ධජයට අගෞරවයක්‌ නම් කරන්න එපා. චීවරයට පූජනීයත්වයක්‌ ලබාදෙන්නේ කාමය බිමින් තැබු සිරුරක්‌මයි, කාමය බිමින් තැබීමට වෙර වඩන සිරුරක්‌මයි විනයානුකූලව සැකසු චීවරයක්‌ දැරීමට සුදුසු වන්නේ. උතුම් චීවරයට අගෞරවයක්‌ කළොත් සංසාරයේ හුඟාක්‌ ඈතට යන තුරාවට උතුම් පැවිදි ජීවිතයක්‌ ලැබීමේ වාසනාව අහිමිවේවි. සම්මාසම්බුද්ධ ශාසනයක පැවිද්ද කියන්නේ බොහෝම දුර්ලභ දෙයක්‌, පැවිදිවීම දුර්ලභ දෙයක්‌ බවට පත්වෙන්නේ. එම නිසා ගිහි ජීවිත ගතකරන පිංවතුන්ලා උතුම් චීවරයට ලබාදියයුතු ගෞරවය උතුම්කොට සලකන්න ඕන.


එක දායක මහත්මයෙක්‌ භික්‍ෂුවගෙන් විමසුවා ස්‌වාමීන් වහන්ස තනිවම වියදම් කර දෙන දානයද හවුලේ පුජාකර දෙන දානයද ආනිසංස වැඩි කියලා. මෙහිදී අපි සිතන්න අවශ්‍යයි දන්දීමේ මුලිකම පරමාර්ථය තෘෂ්ණාව අඩුකරගැනීම බව. දානයන් තුළින් අප දන්දිය යුත්තේ අප තුළ ඇති දුකට හේතුවෙන තෘෂ්ණාවයි. තනිවම පුජාකරන දානයන්ට වඩා හවුලේ පුජාකරන දානවලින් තෘෂ්ණාව කියන කාරණයෙන් ඔබ තවත් බැහැරවෙනවා. නමුත් හවුලේ දෙන දානය පුජා කිරීමේදී අපේ පිංවතුන් මේ කාරණය දැනගත යුතුයි. ඒ දානයේ අර්ථයන් සමඵල කරගැනීමට.

ඔබ සිතන්න කෙනෙක්‌ දානයක්‌ පුජාකරනවා පෞද්ගලිකවම. එම දානය සඳහා ඔහුට රු 500 ක්‌ වැය වෙනවා. මොහුට සිතෙනවා මින්පස්‌සේ පිරිසක්‌ හවුල් කරගෙන දානය පුජාකරනවා කියලා. මේ පිංවත් මහත්මයා තම හිතවතුන් තුන්දෙනෙක්‌ දානයට හවුල්කර ගන්නවා. මේ හවුල්වෙන පිංවතුන් තුන්දෙනා රුපියල් 100 බැගින් රුපියල් 300ක්‌ දෙනවා. ඉතිරි රුපියල් 200 ඉහත දානය හිමි මහත්මයා යොදලා දානය පුජකරනවා. තනි පුද්ගලයා දානය පුජා කරන විට වැය කළේ රුපියල් 500 යි. පුද්ගලයන් හතරදෙනෙක්‌ එකතුවෙලා දානය පුජා කරන විටත් වැය කළේ රුපියල් 500යි. මෙතනදී මොකද සිද්ධ වුණේ. දානය හිමි මහත්මයා රුපියල් 300 ක්‌ ඉතිරි කරගත්තා පමණයි. මේ ආකාරයට පූජා කරන දානය හවුලේ පුජා කරන දානයක්‌ වෙන්නේ නැහැ. එය අර්ථවත් හවුලේ පුජාකරන දානයක්‌ බවට පත්වෙන්නේ දානය හිමි පිංවත් මහත්මයා රුපියල් 500 ම දානයට යොදවනවා නම්. හවුලට එකතුවෙන පිංවතුන් තුන් දෙනාගේ රුපියල් 300 ත් එයට එකතුවෙනවා නම්. එවිට දානයට රුපියල් 800 ක්‌ම වැය කරනවා. එතකොට එය පිරී ඉතිරීගිය දානයක්‌. එම දානයයි හවුල් දානයේ ආනිසංස පක්‍ෂය වැඩිකර දෙන්නේ. එසේ නොවුණහොත් හවුල් දානයේ නාමයෙන් අපි ඇති කරගන්නේ තෘෂ්ණාවමයි.

දානය ගැන සටහන් කරනවිට ලුණු ඇඹුල් නිසා දුක්‌වෙන මහත්මයෙක්‌ ගැන මතක්‌ වුණා. භික්‍ෂුව වැඩසිටිය කුටියක කැපකරු මහත්මයෙක්‌ භික්‍ෂුව උදේම ගිලන්පස වැළඳුවාට පස්‌සේ සහ දානය වැළඳුවාට පස්‌සේ ඇවිත් අහනවා ‘හාමුදුරුවනේ ගිලන්පසට සීනි ඇතිද? වැඩිද? දානයට ලුණු වැඩිද? කියලා. මේ සුපුරුදු දින චර්යාව දින කිහිපයක්‌ම සිදුවුණා. භික්‍ෂුවටත් තේරුණා ගිලන්පසවල සීනි හුඟාක්‌ වැඩි බවකුත්. ඒත් භික්‍ෂුව ඒ ගැන තැකීමක්‌ කළේ නැහැ. කැපකරු මහත්මයා නැවත දිනපතා එම විමසීම කරන නිසා ‘ඇයි මහත්තයෝ නිතරම සීනි ලුණු වැඩිද අඩුද කියල අහන්නේ’ කියලා.

එතකොට එම දායක මහත්මයා කියනවා ‘ස්‌වාමීන්වහන්ස, අපි දානයේ ලුණු ඇඹුල් බලන්නේ නැහැ. එහෙම බැලුවොත් පව් සිද්ධවෙනවා’ කියලා. ඒ මහත්මයා පුරුදුවෙලා තියෙන්නේ මහා සංඝරත්නය කෙරෙහි ඇති ගෞරවය වැඩි භාවය නිසාම ලුණු ඇඹුල් නොබලන්න. ඒ වෙලාවේ භික්‍ෂුව ප්‍රකාශ කළා ඔබ ගෞරවයෙන් පූජාකරන දානයේ ලුණු ඇඹුල් අඩු වැඩි වුණොත් කොහොමද ස්‌වාමීන් වහන්සේලා දානය වළඳන්නේ. ඔබ ඔය ඇති කරගෙන තියෙන ගෞරවය මෝහය මුසු ගෞරවයක්‌. පිංවත් ඔබ දානයේ ලුණු සීනි ගැන හැමදාම හාමුදුරුවන්ගෙන් විමසන්නේ ඔබ තුළ සැකයක්‌ ඇති නිසා. එම නිසා පිංවත් ඔබ බුද්ධිමත් වෙන්න, ලොව්තුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ෙච්තනාවයි කර්මයට මුල්වන්නේ කියලා. ඔබ දානයට පිළියෙල කරන ආහාරවල ලුණු සීනි රස බලන්නේ ඔබ ආහාරයට ඇති කැමැත්ත නිසාවත්, ඔබගේ කුසට ආහාරයක්‌ පිණිසවත් නොවේ. ස්‌වාමීන්වහන්සේලාට දානය වැළඳීමට පහසුව ලබාදීම පිණිසයි. එවැනි ෙච්තනාවකින් ඔබ දානය පිළියෙල කරන වේලාවට අවශ්‍ය නම් ලුණු ඇඹුල් බැලීමෙන් ඔබ තුළ ඇතිවෙන්නේ මෛත්‍රී සිතක්‌මයි. සංඝරත්නය කෙරෙහි ගෞරවයක්‌මයි. එය කවදාකවත් ඔබට අකුසලයක්‌ වෙන්නේ නැහැ. මෙවැනි පුංචි කාරණා ඔබ සිහිනුවණින් විසඳාගතයුතු වෙනවා. මොකද ආහාරය කියන්නේ දුකක්‌ම නිසා.

අපි ආහාර ගන්න ගමන්, ගන්නා වූ ආහාරය අවබෝධ කරගැනීමටත් උත්සාහ ගන්න ඕනේ. ආහාරය අවබෝධ කර ගැනීමෙන්ම ඔබට සම්මා දිට්‌ඨියට පත්වීමට හැකි බව සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා. ආහාරයට ඇලීම හේතුවෙන් ආහාරවලම බිහිවන ගුල්ලෙක්‌, ආමාශගත පණුවෙක්‌ වීමේ අවදානමද තියෙනවා. එහෙයින් ආහාරය ප්‍රයෝජනයට ගතයුත්තේ තෘෂ්ණාව හීනකර ගැනීම සඳහාමය. එසේ තිබියදී ලුණු ඇඹුල් නොබැලීම වැනි කාරණයක්‌ උතුම් ධර්මකාරණයක්‌ වශයෙන් අල්ලාගෙන සිටීමේදී ධර්මයේ සැබෑ අර්ථයන්ගෙන් ඈත්වීම පමණක්‌මයි සිද්ධ වෙන්නේ. ලුණු ඇඹුල් බැලීමෙන්ම විචිකිච්ජාවෙන් මිදෙන්න. විචිකිච්ජාව නැති වූ සිතකමයි ධර්මයක්‌ වැඩෙන්නේ.

දන්දීම තුළින් ඔබට එහි ආනිසංස ලෙසින් ලැබෙන්නේ ආයුෂ, වර්ණය, සැපය, බලයයි. ඔබ මෙතැනදී දක්‍ෂ වෙන්න ඕනේ ඉහත ශක්‌තිය ශ්‍රද්ධා, වීර්යය, සති, සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් ශක්‌තිමත් කරගැනීම උදෙසාම ප්‍රයෝජනයට ගන්නට. දානය ගැන කථාකරලා ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් කියන තැනටයි නැවත පැමිණියේ. එහෙම නම් දානය කියන්නේ සතර අපායෙන් මිදීමේ මාර්ගයට ශක්‌තිමත් සාධකයක්‌මයි. බතක්‌ දන් දීමෙන් ලබන ශක්‌තියෙනුයි ඔබ කවදාහරි සිතක්‌ දන් දෙන්න ශක්‌තිය ලබන්නේ. එහෙයින් තෘෂ්ණාව හීනවන දිශාවටම දානයේ අර්ථයන් ප්‍රයෝජනයට ගන්න දක්‍ෂ වෙන්න.

ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, ත්‍යාගයට දුෂ්කර දේ දන්දෙන තැනැත්තා, මනාප දේ ලබාගනී කියලා. උතුම් දේ දෙනුයේ උතුම් දේ ලබාගනී, අග්‍ර දේ දෙනුයේ අග්‍ර දේ ලබාගනී, ශ්‍රේෂ්ඨ දේ දෙනුයේ ශ්‍රේෂ්ඨ දේම ලබාගනී කියලා. ලෞකික සැප සම්පත් බලාපොරොත්තුව දන් දෙන්නා සිතූ සිතූ සම්පත් ලබාගන්නා අතර එම ලෞකික සැපසම්පත් වල අනිත්‍යභාවය නුවණින් මෙනෙහි කිරීමට දක්‍ෂ තැනැන්තා දානය තුළින්ම සතර අපායෙන් මිදීමද සාක්‍ෂාත් කරගනී.

තෘෂ්ණාව හේතුවෙන්ම සකස්‌වෙන ආහාරය නිසා මනුෂ්‍යයා තුළ සකස්‌වන පංචඋපාදානස්‌කන්ධයේ අනතුරුදායක බව දැකලයි බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ පුත්‍ර මාංශය අනුභව කරනවා යන හැඟීමෙන් ආහාරය පරිහරණය කරන්න කියලා. දීර්ඝ කාන්තාර ගමනකදී මංමුළාවට පත්ව ආහාර, ජලය නැතිවී කාන්තාරය මැද අතරමංවුවහොත්, ජීවත්වීම උදෙසාම තමාගේ එකම දරුවාගේ මාංශය එම දෙමාපියන් අනුභව කරන්නේ යම් අප්‍රියභාවයකින්ද, යම් අකමැත්තකින්ද තම ජීවිතයේ සැපය, මදය, ජවය පිණිස නොවන්නේද ජීවිතය බේරාගෙන කාන්තාරයෙන් පිටවීම සඳහාමය.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉහත කාරණයේදී ආහාරය තුළ සැඟවී ඇති අනතුරුදායක බව හොඳින් පෙනෙනවා. නමුත් වර්තමාන සමාජය තුළ ආහාර කෙරෙහි ඇති ‘සුන්දරත්වය’ වැඩි වෙන්න, වැඩිවෙන්න සමාජය ඉහත අනතුරු තුළමයි ගමන් කරන්නේ. ආහාරය ඇතිවන්නේත් තෘෂ්ණාව නිසාමය. ඒ කියන්නේ ආහාරයේ අර්ථය දුකය කියන කාරණයයි. දුකට හේතුවෙන ආහාරය අප ප්‍රයෝජනයට ගතයුත්තේ දුකෙන් මිදීමේ මාර්ගය උදෙසාමයි.

පිංවත් ඔබ පොඩි දෙයක්‌ ආහාරයට ගන්න. ලොකු දෙයක්‌ දන් දෙන්න. එවිට ඔබේ ගතත් සිතත් දෙකම පිරේවී. ඒ මතුකොටගත් පිරුණු සිතමයි, ඒ සිතුවිලි පරම්පරාවමයි සතර අපායෙන් මිදීම උදෙසාම ශක්‌තිමත් කරගත යුත්තේ.

ඉන්ද්‍රජිත් සුබසිංහ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s