26-පොඩි දෙයක්‌ ආහාරයට ගන්න ලොකු දෙයක්‌ දන්දෙන්න

2013-04-28

භික්‍ෂුව සොයා පැමිණි එක්‌ තරුණ මහත්මයෙක්‌, තමා තාවකාලිකව පැවිද්ද ලැබීමට බලාපොරොත්තු වෙනවා, එය සුදුසුද කියලා විමසුවා. භික්‍ෂුව ප්‍රකාශ කළේ මේ ශාසනය තුළ ‘තාවකාලික පැවිද්ද’ කියලා දෙයක්‌ නොමැති බවයි. තෙරුවන් කෙරෙහි සද්ධාවේ හීනභාවය නිසාම සකස්‌වෙන විනය කාරණා ප්‍රතික්‍ෂේප කිරීමේ දුර්වලතාවය හේතුවෙන් මෙවැනි දේවල් සමාජයේ සිදුවෙනවා වෙන්න පුළුවන්. නමුත් තෙරුවන් කෙරෙහි සද්ධාවට පැමිණි කෙනා කවදාකවත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උතුම් රහතන් වහන්සේලා දැරූ කසාවත් චීවරය තාවකාලික අරමුණකින් දරන්නෙ නැහැ. එය මහා පාපකාරී ක්‍රියාවක්‌. කෙනෙක්‌ තාවකාලිකව පැවිද්ද ලබන්නේ සතියකින් එසේත් නැතිනම් මාසයකින් නැවත ගෙදර යාමේ බලාපොරොත්තුවෙන්. නැවත ඥාතීන් සමග බිරිඳ දරුවන් සමග කාමලෝකය අත්විඳින මනෝභාවයෙන්. ඔහු එම කාම සම්පත් දින කීපයකට පමණයි පැත්තකින් තබලා තිබෙන්නේ. ඒත් ඒවා සිතෙන් තිබෙන්නේ තමා ළඟමයි. මෙවැනි කෙනෙක්‌ මහා සංඝරත්නය පෙරවූ උතුම් චීවරයක්‌ දැරීම චීවරයට දක්‌වන්නාවූ අගෞරවයක්‌මයි. එවැනි අගෞරවයක්‌ දක්‌වන කෙනකුට කවදාකවත් සංඝරත්නයේ ගුණයන්, ඥානයන් පිළිබඳ සද්ධාව සකස්‌කරගන්න බැහැ. මොකද ඔහු සංඝයා දකින්නේ අඩු තක්‌සේරුවකින්. එම නිසා ඔබ තුළ සද්ධාව හීනභාවයට පත්වෙන්නාවූ තාවකාලික පැවිදි දිවියකට යන්න එපාය කියල භික්‍ෂුව ඔහුට මතක්‌ කළා.

වැදගත් දෙය කුමක්‌ වුවත් සමාජය තුළ ඕනෑතරම් මෙවැනි දේවල් සිදුවේවි. ඒකට තමයි ධර්මය කියන්නේ. ධර්මය තිබෙන්නේ ගැටෙන්න නොවේ. එම නිසා සමාජය තුළ ඕනෑම දෙයක්‌ සිදුවෙන්න දෙන්න. ඒවා නිවැරැදි කරන්න ඔබ යන්න එපා. ඔබ නිවැරැදි වෙන්න. එම නිවැරැදිභාවය තුළින් සද්ධාව සකස්‌ කරගන්න. තම තමන් තනිවම ගැලවෙන්න තිබෙන අවස්‌ථාවක්‌ මේක. අත්වැල් බැඳගෙන ගියොත් ප්‍රමාදී භාවයටයි පත්වෙන්නේ. පිංවත් ඔබට අවශ්‍ය නම් ගිහි බැඳීම් වලින් තාවකාලිකව ඉවත්වෙලා ශීලයක්‌ තුළ ජීවත්වෙන්න සුදුසු ගුරුවරයෙක්‌ යටතේ සුදුවත හෝ සුදුසු පැහැයක්‌ දරාගත් දසශීලයේ පිහිටන්න. එවිට ඔබට පුළුවන් අවශ්‍ය අවස්‌ථාවකදී ශීලයන් පවාරනය කරලා නැවත සුදුසු ජීවිතයකට පැමිණෙන්න. ඒ ආකාරයට කටයුතු කළොත් ඔබ තුළ වැඩෙන තෙරුවන් කෙරෙහි සද්ධාවට හානියක්‌ වෙන්නේ නැහැ.

අතීතයේ වැඩසිටියාවු අති උතුම් මහරහතන් වහන්සේලා දැරූ උතුම් අරිහත් ධජයට අගෞරවයක්‌ නම් කරන්න එපා. චීවරයට පූජනීයත්වයක්‌ ලබාදෙන්නේ කාමය බිමින් තැබු සිරුරක්‌මයි, කාමය බිමින් තැබීමට වෙර වඩන සිරුරක්‌මයි විනයානුකූලව සැකසු චීවරයක්‌ දැරීමට සුදුසු වන්නේ. උතුම් චීවරයට අගෞරවයක්‌ කළොත් සංසාරයේ හුඟාක්‌ ඈතට යන තුරාවට උතුම් පැවිදි ජීවිතයක්‌ ලැබීමේ වාසනාව අහිමිවේවි. සම්මාසම්බුද්ධ ශාසනයක පැවිද්ද කියන්නේ බොහෝම දුර්ලභ දෙයක්‌, පැවිදිවීම දුර්ලභ දෙයක්‌ බවට පත්වෙන්නේ. එම නිසා ගිහි ජීවිත ගතකරන පිංවතුන්ලා උතුම් චීවරයට ලබාදියයුතු ගෞරවය උතුම්කොට සලකන්න ඕන.


එක දායක මහත්මයෙක්‌ භික්‍ෂුවගෙන් විමසුවා ස්‌වාමීන් වහන්ස තනිවම වියදම් කර දෙන දානයද හවුලේ පුජාකර දෙන දානයද ආනිසංස වැඩි කියලා. මෙහිදී අපි සිතන්න අවශ්‍යයි දන්දීමේ මුලිකම පරමාර්ථය තෘෂ්ණාව අඩුකරගැනීම බව. දානයන් තුළින් අප දන්දිය යුත්තේ අප තුළ ඇති දුකට හේතුවෙන තෘෂ්ණාවයි. තනිවම පුජාකරන දානයන්ට වඩා හවුලේ පුජාකරන දානවලින් තෘෂ්ණාව කියන කාරණයෙන් ඔබ තවත් බැහැරවෙනවා. නමුත් හවුලේ දෙන දානය පුජා කිරීමේදී අපේ පිංවතුන් මේ කාරණය දැනගත යුතුයි. ඒ දානයේ අර්ථයන් සමඵල කරගැනීමට.

ඔබ සිතන්න කෙනෙක්‌ දානයක්‌ පුජාකරනවා පෞද්ගලිකවම. එම දානය සඳහා ඔහුට රු 500 ක්‌ වැය වෙනවා. මොහුට සිතෙනවා මින්පස්‌සේ පිරිසක්‌ හවුල් කරගෙන දානය පුජාකරනවා කියලා. මේ පිංවත් මහත්මයා තම හිතවතුන් තුන්දෙනෙක්‌ දානයට හවුල්කර ගන්නවා. මේ හවුල්වෙන පිංවතුන් තුන්දෙනා රුපියල් 100 බැගින් රුපියල් 300ක්‌ දෙනවා. ඉතිරි රුපියල් 200 ඉහත දානය හිමි මහත්මයා යොදලා දානය පුජකරනවා. තනි පුද්ගලයා දානය පුජා කරන විට වැය කළේ රුපියල් 500 යි. පුද්ගලයන් හතරදෙනෙක්‌ එකතුවෙලා දානය පුජා කරන විටත් වැය කළේ රුපියල් 500යි. මෙතනදී මොකද සිද්ධ වුණේ. දානය හිමි මහත්මයා රුපියල් 300 ක්‌ ඉතිරි කරගත්තා පමණයි. මේ ආකාරයට පූජා කරන දානය හවුලේ පුජා කරන දානයක්‌ වෙන්නේ නැහැ. එය අර්ථවත් හවුලේ පුජාකරන දානයක්‌ බවට පත්වෙන්නේ දානය හිමි පිංවත් මහත්මයා රුපියල් 500 ම දානයට යොදවනවා නම්. හවුලට එකතුවෙන පිංවතුන් තුන් දෙනාගේ රුපියල් 300 ත් එයට එකතුවෙනවා නම්. එවිට දානයට රුපියල් 800 ක්‌ම වැය කරනවා. එතකොට එය පිරී ඉතිරීගිය දානයක්‌. එම දානයයි හවුල් දානයේ ආනිසංස පක්‍ෂය වැඩිකර දෙන්නේ. එසේ නොවුණහොත් හවුල් දානයේ නාමයෙන් අපි ඇති කරගන්නේ තෘෂ්ණාවමයි.

දානය ගැන සටහන් කරනවිට ලුණු ඇඹුල් නිසා දුක්‌වෙන මහත්මයෙක්‌ ගැන මතක්‌ වුණා. භික්‍ෂුව වැඩසිටිය කුටියක කැපකරු මහත්මයෙක්‌ භික්‍ෂුව උදේම ගිලන්පස වැළඳුවාට පස්‌සේ සහ දානය වැළඳුවාට පස්‌සේ ඇවිත් අහනවා ‘හාමුදුරුවනේ ගිලන්පසට සීනි ඇතිද? වැඩිද? දානයට ලුණු වැඩිද? කියලා. මේ සුපුරුදු දින චර්යාව දින කිහිපයක්‌ම සිදුවුණා. භික්‍ෂුවටත් තේරුණා ගිලන්පසවල සීනි හුඟාක්‌ වැඩි බවකුත්. ඒත් භික්‍ෂුව ඒ ගැන තැකීමක්‌ කළේ නැහැ. කැපකරු මහත්මයා නැවත දිනපතා එම විමසීම කරන නිසා ‘ඇයි මහත්තයෝ නිතරම සීනි ලුණු වැඩිද අඩුද කියල අහන්නේ’ කියලා.

එතකොට එම දායක මහත්මයා කියනවා ‘ස්‌වාමීන්වහන්ස, අපි දානයේ ලුණු ඇඹුල් බලන්නේ නැහැ. එහෙම බැලුවොත් පව් සිද්ධවෙනවා’ කියලා. ඒ මහත්මයා පුරුදුවෙලා තියෙන්නේ මහා සංඝරත්නය කෙරෙහි ඇති ගෞරවය වැඩි භාවය නිසාම ලුණු ඇඹුල් නොබලන්න. ඒ වෙලාවේ භික්‍ෂුව ප්‍රකාශ කළා ඔබ ගෞරවයෙන් පූජාකරන දානයේ ලුණු ඇඹුල් අඩු වැඩි වුණොත් කොහොමද ස්‌වාමීන් වහන්සේලා දානය වළඳන්නේ. ඔබ ඔය ඇති කරගෙන තියෙන ගෞරවය මෝහය මුසු ගෞරවයක්‌. පිංවත් ඔබ දානයේ ලුණු සීනි ගැන හැමදාම හාමුදුරුවන්ගෙන් විමසන්නේ ඔබ තුළ සැකයක්‌ ඇති නිසා. එම නිසා පිංවත් ඔබ බුද්ධිමත් වෙන්න, ලොව්තුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ෙච්තනාවයි කර්මයට මුල්වන්නේ කියලා. ඔබ දානයට පිළියෙල කරන ආහාරවල ලුණු සීනි රස බලන්නේ ඔබ ආහාරයට ඇති කැමැත්ත නිසාවත්, ඔබගේ කුසට ආහාරයක්‌ පිණිසවත් නොවේ. ස්‌වාමීන්වහන්සේලාට දානය වැළඳීමට පහසුව ලබාදීම පිණිසයි. එවැනි ෙච්තනාවකින් ඔබ දානය පිළියෙල කරන වේලාවට අවශ්‍ය නම් ලුණු ඇඹුල් බැලීමෙන් ඔබ තුළ ඇතිවෙන්නේ මෛත්‍රී සිතක්‌මයි. සංඝරත්නය කෙරෙහි ගෞරවයක්‌මයි. එය කවදාකවත් ඔබට අකුසලයක්‌ වෙන්නේ නැහැ. මෙවැනි පුංචි කාරණා ඔබ සිහිනුවණින් විසඳාගතයුතු වෙනවා. මොකද ආහාරය කියන්නේ දුකක්‌ම නිසා.

අපි ආහාර ගන්න ගමන්, ගන්නා වූ ආහාරය අවබෝධ කරගැනීමටත් උත්සාහ ගන්න ඕනේ. ආහාරය අවබෝධ කර ගැනීමෙන්ම ඔබට සම්මා දිට්‌ඨියට පත්වීමට හැකි බව සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා. ආහාරයට ඇලීම හේතුවෙන් ආහාරවලම බිහිවන ගුල්ලෙක්‌, ආමාශගත පණුවෙක්‌ වීමේ අවදානමද තියෙනවා. එහෙයින් ආහාරය ප්‍රයෝජනයට ගතයුත්තේ තෘෂ්ණාව හීනකර ගැනීම සඳහාමය. එසේ තිබියදී ලුණු ඇඹුල් නොබැලීම වැනි කාරණයක්‌ උතුම් ධර්මකාරණයක්‌ වශයෙන් අල්ලාගෙන සිටීමේදී ධර්මයේ සැබෑ අර්ථයන්ගෙන් ඈත්වීම පමණක්‌මයි සිද්ධ වෙන්නේ. ලුණු ඇඹුල් බැලීමෙන්ම විචිකිච්ජාවෙන් මිදෙන්න. විචිකිච්ජාව නැති වූ සිතකමයි ධර්මයක්‌ වැඩෙන්නේ.

දන්දීම තුළින් ඔබට එහි ආනිසංස ලෙසින් ලැබෙන්නේ ආයුෂ, වර්ණය, සැපය, බලයයි. ඔබ මෙතැනදී දක්‍ෂ වෙන්න ඕනේ ඉහත ශක්‌තිය ශ්‍රද්ධා, වීර්යය, සති, සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් ශක්‌තිමත් කරගැනීම උදෙසාම ප්‍රයෝජනයට ගන්නට. දානය ගැන කථාකරලා ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් කියන තැනටයි නැවත පැමිණියේ. එහෙම නම් දානය කියන්නේ සතර අපායෙන් මිදීමේ මාර්ගයට ශක්‌තිමත් සාධකයක්‌මයි. බතක්‌ දන් දීමෙන් ලබන ශක්‌තියෙනුයි ඔබ කවදාහරි සිතක්‌ දන් දෙන්න ශක්‌තිය ලබන්නේ. එහෙයින් තෘෂ්ණාව හීනවන දිශාවටම දානයේ අර්ථයන් ප්‍රයෝජනයට ගන්න දක්‍ෂ වෙන්න.

ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, ත්‍යාගයට දුෂ්කර දේ දන්දෙන තැනැත්තා, මනාප දේ ලබාගනී කියලා. උතුම් දේ දෙනුයේ උතුම් දේ ලබාගනී, අග්‍ර දේ දෙනුයේ අග්‍ර දේ ලබාගනී, ශ්‍රේෂ්ඨ දේ දෙනුයේ ශ්‍රේෂ්ඨ දේම ලබාගනී කියලා. ලෞකික සැප සම්පත් බලාපොරොත්තුව දන් දෙන්නා සිතූ සිතූ සම්පත් ලබාගන්නා අතර එම ලෞකික සැපසම්පත් වල අනිත්‍යභාවය නුවණින් මෙනෙහි කිරීමට දක්‍ෂ තැනැන්තා දානය තුළින්ම සතර අපායෙන් මිදීමද සාක්‍ෂාත් කරගනී.

තෘෂ්ණාව හේතුවෙන්ම සකස්‌වෙන ආහාරය නිසා මනුෂ්‍යයා තුළ සකස්‌වන පංචඋපාදානස්‌කන්ධයේ අනතුරුදායක බව දැකලයි බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ පුත්‍ර මාංශය අනුභව කරනවා යන හැඟීමෙන් ආහාරය පරිහරණය කරන්න කියලා. දීර්ඝ කාන්තාර ගමනකදී මංමුළාවට පත්ව ආහාර, ජලය නැතිවී කාන්තාරය මැද අතරමංවුවහොත්, ජීවත්වීම උදෙසාම තමාගේ එකම දරුවාගේ මාංශය එම දෙමාපියන් අනුභව කරන්නේ යම් අප්‍රියභාවයකින්ද, යම් අකමැත්තකින්ද තම ජීවිතයේ සැපය, මදය, ජවය පිණිස නොවන්නේද ජීවිතය බේරාගෙන කාන්තාරයෙන් පිටවීම සඳහාමය.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉහත කාරණයේදී ආහාරය තුළ සැඟවී ඇති අනතුරුදායක බව හොඳින් පෙනෙනවා. නමුත් වර්තමාන සමාජය තුළ ආහාර කෙරෙහි ඇති ‘සුන්දරත්වය’ වැඩි වෙන්න, වැඩිවෙන්න සමාජය ඉහත අනතුරු තුළමයි ගමන් කරන්නේ. ආහාරය ඇතිවන්නේත් තෘෂ්ණාව නිසාමය. ඒ කියන්නේ ආහාරයේ අර්ථය දුකය කියන කාරණයයි. දුකට හේතුවෙන ආහාරය අප ප්‍රයෝජනයට ගතයුත්තේ දුකෙන් මිදීමේ මාර්ගය උදෙසාමයි.

පිංවත් ඔබ පොඩි දෙයක්‌ ආහාරයට ගන්න. ලොකු දෙයක්‌ දන් දෙන්න. එවිට ඔබේ ගතත් සිතත් දෙකම පිරේවී. ඒ මතුකොටගත් පිරුණු සිතමයි, ඒ සිතුවිලි පරම්පරාවමයි සතර අපායෙන් මිදීම උදෙසාම ශක්‌තිමත් කරගත යුත්තේ.

ඉන්ද්‍රජිත් සුබසිංහ

25-මේ අකුසලයට පොළී වෙන ලෝකයයි

2013-04-21
ගමක ජීවත්වන මැදි වයසේ මහත්මයෙක්‌ භික්‍ෂුව මුණගැසීමට පැමිණ දුක්‌ගැනවිල්ලක්‌ ඉදිරිපත් කළා. ‘හාමුදුරුවනේ මගේ බිරිඳට මාව රුස්‌සන්නේ නැහැ. මම කියන දෙය අහන්නේ නැහැ. මේ ගැන කල්පනාකරලාම දැන් මගේ මතක හිටීමේ ශක්‌තියත් අඩුවෙලයි තියෙන්නේ’ කියලා. භික්‍ෂුව බලාපොරොත්තු වුණේ මේ මහත්මයා භික්‍ෂුව හමුවීමට පැමිණියේ ධර්ම කාරණයක්‌ දැනගන්නය කියලා. නමුත් ඉදිරිපත් කළේ පවුල් ප්‍රශ්නයක්‌. දායක මහත්මයා මේ ප්‍රශ්නය ඉදිරිපත් කරලා ඒ තුළින් සැනසීමක්‌ ලැබීමටයි බලාපොරොත්තු වුණේ. මෙවැනි අවස්‌ථාවක විනය කාරණා ගැන සිතල ඔහුව ප්‍රතික්‌ෂේප කිරීමට අපිට බැහැ. භික්‍ෂුවක්‌ සෑමවිටම දායක පිංවතෙක්‌ සතුටු කරන්න ඕනේ ධර්මය තුළින්මයි. ධර්මයෙන් බාහිරව කෙනෙක්‌ සතුටු කිරීමේ අයිතියක්‌ භික්‍ෂුවකට නැහැ. මෙය සටහන් තබන භික්‍ෂුවට මතකයි කුඩා කාලයේදී මගේ අම්මා-තාත්තා ගේ ඇතුළේ, වචනවලින් සන්ඩුවෙනවා. එහෙම වෙලාවට පුංචි අපිට හරි බයක්‌ දැනෙනවා. නමුත් ටික වෙලාවකින් දෙදෙනා යාළුවෙලා. ඒ අතීතයේ ඇතිවුනාවු දෙන්න දෙමහල්ලන්ගේ සන්ඩුවල ස්‌වභාවය. නමුත් වර්තමානය මීට වඩා හුඟාක්‌ වෙනස්‌. උගත් නුගත් භේදයකින් තොරව දුප්පත්, පොහොසත් භේදයකින් තොරව පවුල් ජීවිතවල සමීපභාවය දුරස්‌වෙලා. වරෙක පිංවත් මහත්මයෙක්‌ භික්‍ෂුවට ප්‍රකාශ කරනවා ‘මට හොඳටම අසනීප වුණා. ඒත් බිරිඳ මොකද කියලවත් ඇසුවේ නැහැ. මම තනිවම ගිහින් බෙහෙත් අරගෙන පැමිණියා. දැන් සනීපයි. ඒත් බිරිඳ තවම දන්නේ නැහැ මම අසනීපයෙන් සිටි බවක්‌වත්. එය ඇය දැන සිටියත් දන්න බවක්‌ හඟවන්නෙත් නැහැ’ කියලා.

සමහර පිංවතුන්ලා ගිනියම් වු පවුල් ජීවිත උරුම කරගන්නේ සද්ධර්මයෙන් ඈත්වීම නිසාමයි. ශීලය තුළින්මයි ඔබේ සිතේ ඇතිවන කෙලෙස්‌ ගිනි නිවා දමන්නේ. මෙතනදි ඉක්‌මගියාවු මනෝකර්ම කියන කාරණය ගැන අවධානය යොමුකරන්න ඕනේ. මනෝකර්ම කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන කාරණාවන්. මනසින් සිදුවන මේ අකුසල් තුන නිසාමයි මේ කෙලෙස්‌ ගිනි ඇවිලෙන්නේ. ලෝකය තුළින් කවදාකවත් පිංවත් ඔබට මේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ නැහැ. මුළු මහත් සමාජයම අර්බුදයකට යවලා. එම අර්බුදයන් තුළින් මතුවන සමාජ සංකීර්ණතා නැවත නැවත ආදායම් උපදවන මාර්ග බවට පත් කරගන්න සමාජයක්‌ තුළයි ඔබ ජීවත්වෙන්නේ. මේක තමයි ධර්මයෙන් තොර ආර්ථීකයක දියුණුව කියන්නේ. දෙන්නා දෙමහල්ලෝ රණ්‌ඩු කරන විට අඩුම වශයෙන් දෙදෙනාගෙන් එක්‌කෙනකුට වස කුප්පියක්‌ හරි විකුණලා ආර්ථීකය දිවවීමටයි ලෝකය බලාපොරොත්තු වන්නේ. සමාජය තුළ මෙම බිඳවැටීම් සිදුනොවනවා නම් ආර්ථීකය තුළ නව ආදායම් මාර්ග ඇතිවෙන්නේ නැහැ. එම නිසා සමාජය හැමවිටම ඔබලාට අත දිගු කරන්නේ ප්‍රශ්න ඇතිවන දිශාවටයි. අපි සමාජයෙන් පලාගියේ විසිතුරු ලෙසින් පෙනෙන මෙම ලෝකය හෙළිකරගැනීම නිසාමයි. මනුෂ්‍යයා තුළ විසිතුරුභාවය ඇතිකරවන්නේද තෘෂ්ණාවෙන් බරිත වු මනුෂ්‍යයා තුළම සකස්‌ වෙන පංචඋපාදානස්‌කන්ධය නිසාමයි. එම ලෝකයාට ඉඳිකටුqතුඩක තරම්වත් බැඳෙන්න අප නැවත කැමති නැහැ. ආර්ථීකය විසින්ම අපව රණ්‌ඩු කරන පරිසරයකට යොමුකරලා අපිටම වස විකුණලා. අපටම ආයුධ විකුණනවා. අපේම ගුණකථන කියලා දියුණුව මනින ලෝකයක්‌ තුළයි පිංවත් ඔබ ජීවත්වෙන්නේ. වාසනාවට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තවමත් ජීවමානව තිබෙනවා. මිතුරු වෙසින් සිටින කුරිරු ලෝකයේ වෙස්‌මුහුණ අපිට හඳුනාගන්න. ලෝකය කවදාකවත් මේ මොහොතේ පවතින ත්ත්වයට වඩා හොඳවෙන්නේ නැහැ. ඒ නිසා පිංවත් ඔබ ලෝකය තුළින් විසඳුම් බලාපොරොත්තු වෙන්න එපා. විසඳුම් අනාගතයට භාර කරන්න එපා. පිංවත් ඔබ ධර්මයේ කැඩපතින් ලෝකය හඳුනාගන්න. එතැනයි ප්‍රශ්නයට ස්‌ථීර විසඳුම තිබෙන්නේ. ඔබේ ස්‌වාමිපුරුෂයා, බිරිඳ ඔබට අකීකරු නම් ඔබ තවතවත් ඔහුට හෝ ඇයට සමීපවෙන්න. ඔබ අනෙකාට සමීපවෙන්න සමීපවෙන්න අනෙකා තවත් ඈත් වෙනවා නම් ඔබ තව තවත් සමීපවෙන්න. අනෙකා ඔබට බැන්නොත්, පහරක්‌ ගැසුවොත්, ඒත් ඔබ තව තවත් ඒ තැනැන්තා හෝ තැනැත්තියට සමීපවෙන්න. ඔබ ආත්ම ගරුත්වය ගැන සිතන්න එපා. මොකද ඔබ සමීපවෙන්නේ ඔබගේ බිරිඳට, ස්‌වාමිපුරුෂයාට නොවේ ධර්මයටයි. මෙවැනි තැනකදී ඔබව අනෙකාගෙන්a දුරස්‌කරන්නේ මමත්වයේ දැඩිභාවයයි. සැමියා බිරිඳට සමීප වුණාය කියලා ඔබලාට ලැබෙන සුගතියක්‌ නැහැ. ඔහුගේ හෝ ඇයගේ අකීකරුභාවය උපයෝගි කරගෙන පිංවත් ඔබ ධර්මයට සමීපවෙන්න. ඔබලාගේ පවුල් ජීවිතවල අර්බුද මතුවෙනවා නම් ඒවා ඔබලා විසින්ම අතීතයේ කරන ලද අකුසල් සංස්‌කාරවල ප්‍රතිඵලයන්මයි. අතීත භවයන්හිදී අනුනගේ පවුල් ජීවිත අවුල් කරලා, සැකයේ බීජයන් ඇති කරලා, ඊර්ෂ්‍යා කරලා, එකිනෙකාගේ යුතුකම පැහැර හැරලා ඇතිකරගත් අකුසල්වල හේතුවෙන්මයි මේ අර්බුද මතුවී එන්නේ. වර්තමාන සමාජ පරිසරය තුළින් එම අකුසල් තව තවත් අකුසල් වැඩෙන දිශාවටමයි යොමුකරන්නේ.

මමත්වයේ දැඩිභාවය නිසාමයි අකුසල් විපාක දෙන අවස්‌ථාවන්හිදී අපි දැඩිව ගැටෙන්නේ. සිහි නුවණින් ධර්මානුකූලව ඔබ එය තේරුම්ගත යුතුයි. ඔබ විසින්ම කරගන්නා ලද අතීත අකුසල් සංස්‌කාර හේතුවෙන් ඔබලා දුක්‌විඳින විට ඒවා තව තවත් අකුසල් බවට පත්කර නොගැනීමට ඔබලා දක්‍ෂ විය යුතුය. එම නිසා ඔබ ආත්මාර්ථකාමීවන්න නැවත බිරිඳක්‌, ස්‌වාමී පුරුෂයෙක්‌, විවාහයක්‌ එපාය කියන අධිෂ්ඨානයට එන්න. එම අධිෂ්ඨානය සපල කරගැනීම සඳහා මේ ජීවිතයේ බැඳුන බිරිඳට ස්‌වාමිපුරුෂයාට මොනතරම් බාධක මාධ්‍යයේ වුවද තව තවත් සමීපව යුතුකම් ඉටුකරන්න. මනුෂ්‍යයා සිල්පද වලට වටිනාකමක්‌ නොදෙන අනාගත සමාජයේදී විවාහයක්‌ යනු ගිනි ගොඩක්‌ම වනු ඇත. මේ ගිනි නිවීමට ඔබට නොහැකිය. මන්ද මේවා සංස්‌කාර ධර්මයන්ය. මනුෂ්‍යයා අකුසල් කිරීම වැඩිවන්න වැඩිවන්න එම අකුසල් විපාකදීමට සුදුසු ලෝකයකුයි අප ඉදිරියේ බිහිවන්නේ. මනුෂ්‍යයා කාමය වරදවා හැසිරීම වැඩි වන්න, එහි අකුසල් විපාක දෙන ලෝකයයි කඳුළු, අඳෝනා අපචාර මැදින් මේ කළ එලි බසින්නේ. ඔබට මේ මොහොතේ ලැබී ඇති ස්‌වාමිපුරුෂයා, බිරිඳ ඔබට ලැබිය යුතුම කෙනාමය. කිසිදු අසාධාරණයක්‌ ඔබට සිදුවී නොමැත. එය හොඳ වුවද නරක වුවද එය ඔබේ ලැබීමයි. මේ ලැබීම ඔබට සකස්‌ කරදෙන්නේ අතීත කුසල, අකුසල් සංස්‌කාරයන් විසින්මය. ලැබුණ දෙයට නොගැටෙන්න. ගැටෙන සිත හඳුනාගන්න. ගැටෙන සිතක්‌ යනු අකුසල් සංස්‌කාරයක්‌ම බව දකිමින් කුසල් සංස්‌කාරයන්ම ජීවිතයට එකතු කරගන්න.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපය කියන්නේ මාරයාය කියලා. එසේ නම් ඔබ ඉදිරියේ ඇති රූපය කාගේ වුවද එම රූපය මාරයාමය. මාරයා නිරතුරුවම උත්සාහ ගන්නේ ඔබට අකුසල් රැස්‌කර දීමටය. ඔබ ප්‍රවේශම් විය යුතුය. මාරයා පරාජය කළ හැක්‌කේ රූපය සමග ගැටීමෙන් නොව රූපය අවබෝධ කර ගැනීමෙන්මයි. ගැටෙන තාක්‌, සණ්‌ඩු වෙනතාක්‌ අපි ගැටෙන්නේ සණ්‌ඩුවෙන්නේ මාරයා සමගය. මාරයාගේ බලවත්භාවය හමුවේ මාරයා සමග ගැටීමට යැම අනුවණකමකි. මාරයා ගැටීම නැමැති දෙයට බොහෝම කැමතිය. මන්ද, මාරයාගේ ලෝකයේ ප්‍රාග්ධනය අකුසලයම වන හෙයිනි. එහෙයින් ඔබට ලැබුණ බිරිඳ ගැටීම උදෙසා නොව අවබෝධය උදෙසාම පරිහරණය කරන්න. ඔහු හෝ ඇය කේන්ති ගත්විට ඔබ සිනාසෙමින් අධිෂ්ඨානශීලීව පෙරට යන්න.

සිටු ගෙදරට මස්‌ සපයන මස්‌ වැද්දකුගේ හැඩිදැඩි රූපයට කාමයෙන් බැඳී මස්‌වැද්දා සමග කැලයට පලාගිය සෝවන් ඵලයට පත් සිටු දියණියක්‌ එම වැද්දාට සුවච කීකරු බිරිඳක්‌ව ඔහුගේ සියලු කටයුතු නොපිරිහෙලා ඉටුකරමින් ඔහුත් සමග දරුමල්ලන් හදාගෙන ජීවත්වෙමින්, අවසානයේදී ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ මහාකරුණා ගුණයෙන් වැද්දාත් දරු තිදෙනාත් සෝවන්ඵලය අවබෝධ කරගත් කථාවක්‌ මේ අවස්‌ථාවේදී භික්‍ෂුවගේ මතකයට එනවා. අපේ ජීවිත ගිනි ගන්නා සියලුම අවුල් වියවුල් ගැටීම් ඇතිවෙන්නේ අප තුළ ඇති සක්‌කායදිට්‌ඨිය නිසාමය. අප කොතෙක්‌ නිවැරැදි පාර්ශ්වයන් වීමට උත්සාහ ගත්තද ගැටීම සකස්‌වෙන්නේ මමත්වයේ ඇති දැඩිභාවය නිසාමය. ඉහත සිටුදියණිය මමත්වයේ දැඩිභාවය නැති කළ තැනත්තියක්‌ නිසා ගැටීමකින් තොරව මස්‌වැද්දාත් සමග සමගියෙන් පවුල් ජීවිතයක්‌ ගත කිරීමට ශක්‌තිය ලැබිණ. ඇයගේ එම ධර්ම ශක්‌තිය නිසාම අවසානයේ පවුලේ සියලුදෙනාම ධර්මය දැකීමෙන් සැනසීමට පත්විය. මස්‌වැද්දාත් දරුවනුත් ශීලයේ පරිපුර්ණත්වයට පත්විය. සක්‌කාය දිට්‌ඨිය සිඳුණු තැන, දැන් ඔබ මාරයාව හඳුනාගෙන ඇත. දැන් ඔබ මාරයාගේ උගුල්වලට අසුවන්නේ නැත. දැන් ඔබ ගමන් කරන්නේ හඳුනාගත් මාරයා අවබෝධ කරගන්නා දිශාවටය.

පවුල් ප්‍රශ්න ගැන සිහිපත් කිරීමේදී ප්‍රශ්නයට පෙරාතුවත් ප්‍රශ්නයට පසුවත් ඇතිවන ප්‍රධාන අනතුර තමයි කාමයේ වරදවා හැසිරීම. මේ අනතුරේ භයානක බව දැකලමයි සමගියෙන් අපි ජීවත් වෙන්න ඕනේ. කාමයේ වරදවා හැසිරීම අප්‍රමාණ දුක්‌ විපාක වශයෙන් ගෙන දෙන අකුසලයක්‌. වර්තමාන සමාජය මේ සිල් පදයට දෙන වටිනාකම ගොඩාක්‌ම අඩුවෙලා. ශිල්පදයට දෙන වටිනාකම අඩුවෙන්න අඩුවෙන්න එහි දිට්‌ඨධම්ම වේදනීය අකුසල් විපාක සමාජය තුළින් හොඳටම පෙනෙනවා. වැරදි කාම සිතුවිල්ලක්‌ සකස්‌වෙන මොහොතේම ඇස්‌ අන්ධවෙනවා, කන් නැසීයනවා, මනස වේගවත් වෙනවා. දැන් මෙතන ඉන්නේ සිතුවිලි වේගවත් වෙච්ච ජාති අන්ධයෙක්‌. ඔහුට හරිවැරැද්ද පෙනෙන්නේ නැහැ. හොඳ නරක ඇහෙන්නේ නැහැ.

අතීතයේ වැඩසිටිය ඉසිදාසී මහරහත් භික්‍ෂුණීන් වහන්සේ ආත්ම භාව හතක්‌ පුරාවට කාමයේ වරදවා හැසිරීමේ වරද නිසා ගිනිගත් භවගමනේ ගිනියම් වු දුක්‌පීඩාවන් පුර්වේනිවානුස්‌සති ඥානායෙන් දැකලා ප්‍රකාශ කරනවා. උතුම්අරිහත් උත්තමාවියකගේ මේ සිංහනාදය, කර්මය-කර්මඵල විශ්වාසයෙන් බැහැරව ගිය වර්තමාන සමාජයට කාමයේ වරදවා හැසිරීම විනෝදාංශයක්‌ කරගත් සමාජයට වටිනා පාඩමක්‌ වේවි. ඉසිදාසී රහත් තෙරණින් වහන්සේ ප්‍රකාශ කරනවා මීට ආත්මභාව හයකට පෙරාතුව මම පිරිමියෙක්‌. මේ පිරමිභාවය උපයෝගීකරගෙන කාමය වරදවා හැසිරීම නිසා මරණින් පසු කල්පයක්‌ නිරයේ පැසුනා. නිරයෙන් චුතවෙලා එළිච්චියෙකුගේ කුසේ පිරිමි එළුපැටවකුවෙලා උපත ලැබුවා. මේ එළු ජීවිතයේදී මම මියගියේ පුරුෂලිංගය කුණුවෙලා. මම නැවත වැඳිරියකගේ කුස, වඳුරු පැටවකුවෙලා ඉපදුනා. මම පුංචි කාලයේම රැලේ නායක වඳුරා මගේ පුරුෂලිංගය හපල කඩාගැනීම නිසාම දුකට පත්වී මරණයට පත්වුණා. ඊළඟට මම එළදෙනකුගේ කුසේ වසුපැටවෙක්‌ වෙලා උපත ලැබුවා. වසුපැටවා තරුණ වයසට පැමිණෙන විට ලිංග බිජෝධරණයට ලක්‌වුණා. ඒ ආත්ම භාවයේදී මම මියගියේ පුරුෂලිංගය පණුවන් ගසලා. මෙම වසු කුලයෙන් අනතුරුව මම මනුෂ්‍ය අම්මා කෙනකුගේ කුස ජාති නපුංසකයෙක්‌ව ඉපදුනා. ඉන් පසු භවයේ මම කාන්තාවක්‌ව ඉපදුනා. එතනදීත් මම මගේම ස්‌වාමිපුරුෂයාගේ දෙවැනි බිරිඳට ඊර්ෂ්‍යා කළා. ඒ හේතුවෙන් මේ ජීවිතයේදීත් මාව ස්‌වාමීපුරුෂයන් දෙදෙනෙක්‌ම ප්‍රතික්‌ෂේප කළා. බලන්න කාමය වරදවා හැසිරීම නම් වරද මොනතරම් නම් දුක්‌ කන්දරාවක්‌ අත්කරලා දෙනවාද? ඕනෑම පිරිමියෙක්‌ කාන්තාවක්‌ බවට පත්කිරීමේ ශක්‌තිය කාමය වරදවා හැසිරීම කියන වරද තුළ සැඟවී තිබෙනවා. වර්තමාන ලෝකයේ පිරිමි ජනගහනය පරදවා කාන්තා ජනගහනය ඉහළ යන්නේ ඉහත හේතුඵල ධර්මය නිසාමයි.

ලෝකය දෙස හොඳින් දෑස්‌ හැර බලන්න. ඒ ඔබ දකින්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ ධර්මයයි. මේ කැලෑවල වැඩසිටින විට අපට පෙනෙනවා, වඳුරු රංචුවල නායක වඳුරා තම රැලේ වැඳිරියකට පිරිමි පැටවෙක්‌ ඉපදුනොත් එම පිරිමි පැටවා මරාදැමීම උදෙසා මොනතරම් වෙහෙසක්‌ ගන්නවාද කියල. කාමය උදෙසාම නායක වදුරා අකුසලයන් රැස්‌කර ගන්නාවිට වඳුරු පැටියා කාමය වරදවා කළ අකුසලයක විපාකය ගෙවනවා. ලෝකය පුරා පැතිරීයන සමාජරෝග ගත්තත් ඒඩ්ස්‌ වැනි භයානක රෝග ගත්තත් මේවා කාමය වරදවා හැසිරීමේ දිට්‌ඨධම්මවේදනීය විපාකයි. ලෝකයා දුශ්ශීල වෙන්න දුශ්ශීල වෙන්න අනාගත ලෝකයේ උණ, සෙම්ප්‍රතිශ්‍යාව, තරමට ඒඩ්ස්‌ රෝගය පැතිරිලා යාවී. මහාවේගයකින් පවුල් සබඳතා බිඳවැටී යයි. මේ අපි දකින්නේ සංස්‌කාරයන්ගේ ස්‌වභාවයයි. පිංවත් ඔබ දැක ඇති ඒඩ්ස්‌ රෝගීන්ට දාව, සමාජ රෝගීන්ට දාව උපදින කුඩා දරුවන්. අපි ඒ මරණයන් සමග සටන් කරන දරුවන් දකින විට අනේ අපොයි කියලා කම්මුලට අත ගසා ගන්නවා. මේ දරුවා එවැනි අන්තරාකාරී රෝගී මව් කුසක උපත ලැබුවේ ඔහු පෙර ජීවිතවල කරන ලද කාමය වරදවා හැසිරීම නිසාමයි. කාමය වරදවා හැසිරීම වැඩිවීම නිසාම කාන්තා පක්‍ෂයේ ගහනය සහ ජාති නපුංසකයන්ගේ ගහනයද වර්ධනය වනු ඇත. වැරදි කාම සිතක්‌ සකස්‌වෙන මොහොතේදීම නිවැරදි කර්මය කර්මඵලය විශ්වාසයෙන් ඔබ තුළ ඇතිකරගන්න. භික්‍ෂුව මේ සටහන තබන විට මන්දෝත්සහගත බවක්‌ ඇතිවෙනවා. ලෝකය නිවැරැදි කරන්න අපට බැහැ. ලෝකය දිහා බලල අපි නිවැරැදි වෙන්න ඕනේ. කාමය වරදවා හැසිරීම සම්බන්ධව භික්‍ෂුවට ගිහි ජීවිතයේ ගොඩාක්‌ අත්දැකීම් තිබෙනවා. ඒ නිසා භික්‍ෂුව අත්දැකීමෙන්ම දන්නවා එය මොනතරම් අවදානම් කාර්යයක්‌ද කියන එක. මෙතැනදි කාමය වරදවා හැසිරීම කියා කියු ඒ කාමයන් තුළින්මයි කාමයේ නිරෝධය දෙසට පාර සොයාගත්තේ. මේ මොහොතේ භික්‍ෂුව ඒ අතීතය සිහියට නගාගැනීමට යනවිට භික්‍ෂුවට පෙනෙන්නේ මැකීගිය අතීතයක්‌. ජීවිතය තුළින් කළා වු කුසල් හෝ අකුසල් සංස්‌කාර මනසින් මැකිලා ගිහින්. එම නිසාම භික්‍ෂුවට බියක්‌ කියල දෙයක්‌ සකස්‌වෙන්නේ නැහැ අතීතය ගැන සිතලා. අතීතයක්‌, අනාගතයක්‌, වර්තමානයක්‌ නැහැ. විපාක පිණිස සකස්‌වෙන අතීත සංස්‌කාර ලෝගුවක්‌නම් තිබෙනවා. ඒකට තමයි ජීවිතය කියන්නේ. සංස්‌කාර නැමති ඉන්ධන වලිනුයි ජීවිතය දුවන්නේ. ඉන්ධන ඉතිරිව තිබෙන තාක්‌ කල් ජීවිතය දුවාවී. එතෙක්‌ දිරායාම පමණක්‌මයි ජීවිතයට බැඳිලා තිබෙන්නේ.

වරක ශරීරයේ පඨවිය ඉදිමෙනවා. එම ඉදිමීමට ආපෝ,තේජෝ,වායෝ ධාතුනුත් සහෝදරත්වයෙන් උපකාරීවෙනවා. මේ හතර දෙනා බොහෝම සහෝදරත්වයෙන් ජීවත්වෙන්නේ. සතරමහා ධාතුවත් හරියටම ධර්මයෙන් ඈත් වෙච්ච මනුස්‌සයෙක්‌ වගේ නිතර කිපෙනවා. කිපීම නිසාම රතුවෙනවා, පුපුරනවා අවසානයේදී කුණු සැරව ඕජාව ලෙස ගලා යනවා. අවසානයේ අලුත් හැඩයකින් අලුත් වටිනාකමකින් සතරමහා ධාතුවටම එකතුවෙනවා.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

28-වන්දනාවක සැඟවුණු රහස

2013-04-07
තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සකස්‌කරගත් ජීවිතයක්‌ ගිහි වේවා පැවිදි වේවා කවදාවත් අසරණවෙන්නේ නැහැ. ඔහු ශක්‌තිමත් පෞරුෂත්වයක්‌ ඇතිකරගන්න කෙනෙක්‌ වෙනවා. මොකද ඔහු ධර්මය තුළින් බුදුරජාණන් වහන්සේගේ ගුණයත් ඥාණයත් දැක්‌ක කෙනෙක්‌. මේ ලෝකධාතුව තුළ ඇති අයෝමය ශක්‌තිය සරණගිය කෙනෙක්‌. ඔහුට පෙනෙන්නේ සුගතියමයි. දුගතිය ඔහුට පෙනෙන්නේ නැහැ. ඔහු කථාකරන්නේ ධර්මයමයි. අධර්මයක්‌ කථාකරන්නේ නැහැ. තෙරුවන්ගේ අයෝමය ශක්‌තිය සරණගිය පිංවතා, පිංවතිය අනුනගේ මුහුණ බලමින් කාගෙන් මට සරණක්‌ පිහිටක්‌ ලැබෙයිද සොයමින් නොයන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තමාගේ පෞරුෂත්වයෙන් බුදුරජාණන් වහන්සේගේ ශක්‌තිය පසුපසින් ඔහු නැගී සිටිනවා. නිරතුරුව සුගතිය දකිමින් ජීවත්වන නිසා මොහුට බියක්‌ දැනෙන්නේ නැහැ. තෙරුවන් කෙරෙහි ශද්ධාවෙන් බැහැරව ගිය කාට වුවද බිය සකස්‌ වෙනවා. එහෙම කෙනාමයි දකින දකින මනුෂ්‍යයාගේ දකින දකින දේව රූපයන්ගේ මුහුණ බලමින් කාගෙන් මට පිහිටක්‌ ලැබෙයිද සොයමින් පිහිට සොයා යන්නේ. පිංවත් කළ්‍යාණ මිත්‍රයෙක්‌ ඇසුරු කරමින් ධර්මය දෙස බලමින් ජීවත් වෙන්න. මෙතනදී ධර්මය කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ධර්මතාවයන්ගේ අනිත්‍යභාවයයි. කාගේ මුහුණ බැලුවත් ඔබට පෙනෙන්නේ ඔච්චරයි. ඔබ තුළ සකස්‌ වෙන්නේද ඔච්චරයි. ඒ නිසා අනුනගේ මුහුණ බැලීම නවතා දමා අනුනගේ මුහුණ බලන්න කියල අණ කරන ඔබේ සිත දෙස බලන්න. එවිට ඔබට දැනේවි තමාගේ මුහුණවත් ඔබට අයිති නැති බව. එහෙම එකේ අනුනගේ මුහුණ බලලා මොනවා අයිති කරගන්නද? භික්‍ෂුව මේ මොහොතේ වැඩසිටින කුටියේ නුදුරුගමේ උපාසිකාවක්‌ සිටිනවා. ඇය වයෝවෘද්ධ කාන්තාවක්‌ ඇය තමයි ගමේ පන්සලේ ප්‍රධාන උපාසිකාව. පසළොස්‌වක පොහොය දවසට සිල්සමාදන් වුණා. පිරිසට මුද්‍රිත කොළවල ඇති බුදුගුණ භාවනාව ශබ්ද නගල කියාදෙන්නේ ඇයමයි. පසුගිය දිනයක ඇය දැඩි ලෙස රෝගාතුරවෙලා රෝහලේ නවත්තලා. රෝහලේදී ඇයට ගොඩාක්‌ අසාධ්‍ය වෙලා ඇයට හුස්‌ම ගැනීමේ අපහසුව ඇති වෙලා. ඇය හිතලා තිබෙන්නේ ඇය මැරෙන්නයි යන්නේ කියල. ඒ තරමට ඇය අසාධ්‍යවෙලා. නමුත් කොහොමහරි ඇය මිය ගියේ නැහැ. නියමිත දිනයේදී භික්‍ෂුව ඇයගේ නිවසට පිංඩපාතයට වඩිනවිට ඇය කියනවා හාමුදුරුවනේ මැරෙනවාය කියන කාරණය මේ තරම් වේදනාත්මක දෙයක්‌ කියල තමා හිතුවේ නැහැය කියලා. මැරෙන්න යන වෙලාවේ තමන්ට ආපු බය මට කියාගන්න බැහැය කියල. ඇයට එම අසාධ්‍ය අවස්‌ථාවේදී තමා කරපු පිංකමක්‌ මතක්‌වෙලා නැහැ. ලෞකික බැදීම්මයි මතකයට ඇවිත් තිබෙන්නේ. ඒවා දමල යන්න බැහැය කියන බියමයි සකස්‌වෙලා තිබෙන්නේ. බලන්න ඇය ගමේ පන්සලේ ප්‍රධාන උපාසිකාව. අනුනට බුදුගුණ කියාදුන්නත් තමා අමූලිකා ශද්ධාව තුළයි ඉඳල තිබෙන්නේ. ඒ කියන්නේ කොළයක්‌ බලාගෙන බුදුගුණ ප්‍රකාශ කළත් බුදුරජාණන් වහන්සේගේ, ධර්මරත්නයේ, සංඝරත්නයේ සැබෑ ගුණයත්, ඥාණයත් කෙරෙහි විශ්වාසය සකස්‌වෙලා නැහැ. ඒ නිසාම ශීලයෙන් පරිපූර්ණත්වයට පත්වෙලා නැහැ. මේ හේතු දෙක නිසාමයි මරණ වෙලාවේ බිය සකස්‌වෙන්නේ. පිංවත් ඔබ අනුනගේ මුහුණු බලමින් යන්න එපා. තෙරුවන්ගේ ගුණයන් දෙස බලමින් ඉන් සකස්‌කොටගන්නා ශක්‌තියෙන් මරණ බිය පරාජයකර දමන්න. මරණ බිය ඔබෙන් බැහැර කරන්නේ දොස්‌තර මහත්තයාවත් ඖෂධවත් නොව තෙරුවන් කෙරෙහි ඇතිකරගත් ශ්‍රද්ධාව විසින්මයි.

භික්‍ෂුව වැඩසිටිය කුටියේ සිට ගමට වඩින බොරළු සහිත ගුරුපාරේ වඩිනවිට පාපැදි දෙකකින් තරුණ යුවළක්‌ භික්‍ෂුව සොයා පැමිණියා. එම දෙපළ මීට කිලෝමීටර් 7ක්‌ පමණ එහා ගමක බව ප්‍රකාශ කළා. දැඩි අව්රශ්මියෙන් සහ තෙහෙට්‌ටුවෙන් පීඩා විඳිමින් සිටි මේ දෙපළ මාර්ගය අසල ඇති දියකඩිත්තකින් දෑත් දෙපා දෝවනය කරගෙන වහ වහා පැමිණ බොරළු පොළව මත පසඟ පිහිටුවා දීර්ඝ ගාථා පෙළක්‌ කියමින් භික්‍ෂුවට වන්දනා කළා. එය එසේ මෙසේ වන්දනාවක්‌ නොව. හදවතින්ම කළ වන්දනාවකි. අවංකව භික්‍ෂුව ඔවුන් ප්‍රකාශ කළ ගාථා පෙළ කට පාඩමින් කියන්න දන්නෙ නැහැ. මහ අව්කාශ්ඨකයේ බොරළු ගුරු පාර මත නළල බිම තබා පසඟ පිහිටුවා එම තරුණ දෙපළ වන්දනා කරනවිට භික්‍ෂුව සිතුවේ මොවුන් දෙදෙනා මොනතරම් ගෞරවයෙන්ද මේ වන්දනා කරන්නේ කියලා. මොවුන් දෙදෙනා භික්‍ෂුව කෙරෙහි යම් විශ්වාසයක්‌ පෙරදැරිවයි මේ වන්දනා කරන්නේ. ඔවුන් විශ්වාස කරන්නාවු ඒ ගුණය භික්‍ෂුව තුළ නොතිබ්බානම් ඒ වන්දනාව ලබන විටම භික්‍ෂුවගේ හිස පුපුරාවි කියල භික්‍ෂුවට සිතුනා. අපි සිතමු ඒ දෙපළ විශ්වාස කළා භික්‍ෂුව ශීලයෙන් පරිපූර්ණ කෙනෙක්‌ය කියල. එහෙම සිතල ඒ අය කරන ගෞරවණීය වන්දනාව ලබන භික්‍ෂූව ශීලයෙන් පරිපූර්ණ නැතිනම් ඒ ගෞරවණිය වන්දනාව ඉදිරියේ භික්‍ෂුවගේ හිස පුපුරා යාවි. මෙතනදි භික්‍ෂුවගේ හිස පුපුරනවාය කියන්නේ හිස කෑලි කෑලිවලට කැඩී යනවා නොවේ හිස මානසික වශයෙන් අවුලෙන් අවුලටම පත්වෙනවා. ඊටපස්‌සේ තමා කරන්නේ මොනවාද කියල තමා දන්නේ නැහැ. කතා කළ යුතු දෙය කතා කරන්නේ නැහැ. කතා නොකළ යුතු දෙය කතා කරනවා. කොටින්ම ඔහු මානසිකව අවුල් භාවයට පත් වෙනවා. පිප්වලී කියන බමුණු තරුණයා සියතින්ම සිවුරු පොරවාගෙන බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ස්‌ථානය සොයාගෙන යනවා. ඔහුට ඈතින් පෙනෙනවා බුදුරජාණන් වහන්සේ වැඩසිටිනවා. මින් පෙර බුදුරජාණන් වහන්සේ දැක නොතිබුණ පිප්වලී තරුණයා තමා සොයන උතුම් ශාස්‌තෘන් වහන්සේ ප්‍රථම දැක්‌මෙන්ම හඳුනා ගන්නවා. ඒ හඳුනාගත් මොහොතේ පටන් බුදුරජාණන් වහන්සේ උදෙසාම මගේ පැවිද්ද වේවා කියල සියතින් පැවිදි භාවයට පත්වී සිටි තරුණයා බිම දිගාවී දොහොත් මුදුන් තබා මහපොළව මත පසඟ පිහිටුවා වන්දනා කරමින්මයි බුදුරජාණන් සමීපයට පැමිණෙන්නේ. එසේ පැමිණ පිප්ව0ලී තරුණයා බුදුරජාණන් වහන්සේට දක්‌වන ගෞරවය දැකපු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිප්පලී තරුණයා කරන ලද ගෞරවණීය වන්දනාව මා සම්මා සම්බුද්ධත්වය අවබෝධ නොකොට ලැබුවානම් මගේ හිස සත් කඩකට පුපුරා යාවි කියල. යම් භික්‍ෂුවක්‌ තමා තුළින් ඇතිකර ගත්තාවු ගුණයන් එම ගුණයන් උදෙසා ගිහි පිංවතුන් විශ්වාසයෙන් කරන්නාවූ වන්දනාවන් පූජනීය දෙයක්‌. ඒ වගේමයි අපි මේ කාරණා දෙක වරදවා ගතහොත් එය ඒ තරමටම භයානක දෙයක්‌ වෙනවා. අපිට වන්දනා කරන පිංවතුන් බලාපොරොත්තුවන ගුණයන් අපි ළඟ නොමැතිනම් වැඳුම් ලබාගැනීමේදී අපි පරිස්‌සම් වෙන්න ඕනේ. අපි හැකිතාක්‌ ශීලයෙන් ශක්‌තිමත් වෙමින් සුදානම් විය යුතුයි. ලෝකයාගෙන් ලබන ගෞරවණීය වන්දනාවන් දරාගැනීමේ ශක්‌තිය ඇතිකර ගැනීමට. එසේ නොවුණහොත් අපේ හිස අවුල්වේවි. එවැනි ගෞරවණීය වන්දනාවක්‌ ලබන මොහොතේදීවත් දස දිසාවට මෛත්‍රීය පතුරුවමින් ඒ අයට ආශීර්වාද කරන්න අපි දක්‍ෂවෙමු. එවිට අපට පුළුවන් අවදානමින් යම් පමණකට මිදෙන්න. වන්දනා කිරීමත්, වැඳුම් ලබාගැනීමත් ඒ තරම් ලෙහෙසි පහසු කටයුත්තක්‌ නොවන බව නුවණින් මෙනෙහි කරමු. ඒ වගේමයි සමහර පිංවතුන්ලා සිටිනවා සිටගෙන වඳිනවා, තවත් සමහර පිංවතුන්ලා සිටිනවා දෙකට නැවිලා වඳිනවා. ස්‌වාමීන් වහන්සේ නමකට නොවැඳම සිටිනවාට වඩා එහෙම වන්දනා කරන එකත් හොඳයි. නමුත් මේ සියලු කාරණා සිද්ධවෙන්නේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තවම සකස්‌ නොවීමේ හේතුවයි. නමුත් වර්තමානයේ ගොඩාක්‌ පිංවතුන්ලා ස්‌වාමීන් වහන්සේලාට පසඟ පිහිටුවලා වන්දනා කරනවා. පිංවතුන්ලා ඒ වන්දනා කරන්නේ ඔබ තුළ ඇතිකරගත් උතුම් ගුණයන්ටමයි. ඔබ ඔබටම කරගන්නා කළ්‍යාණමිත්‍ර භාවයක්‌ එම වන්දනාවන් තුළ සැඟවිලා තිබෙනවා.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com