24-පොඩි කමට කළත් ‘පව’ පොඩි නැත පුතුනේ

2013-03-17

වයස අවුරුදු 15ක පමණ පිරිමි දරුවෙක්‌ භික්‍ෂුවගෙන් විමසුවා ‘හාමුදුරුවනේ මම මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව පුරුදු පුහුණු කරනවා. මට අනිත්‍යභාවනාව ගැන කියල දෙන්න’ කියලා. ඒ වෙලාවේ භික්‍ෂුව එම දරුවාගෙන් ඇසුවේ ‘ඔබ පැවිදිවීමේ අදහසක්‌ තිබෙනවාද?’ කියල. එවැනි අදහසක්‌ නොමැති බව ප්‍රකාශ කළ නිසා භික්‍ෂුව එම දරුවාට මතක්‌ කළේ ‘ඔබ අනිත්‍ය සංඥාව වඩන්න යන්න එපා. එය ඔබේ අධ්‍යපන කටයුතුවලට බාධාවක්‌ වෙයි’ කියල. අනිත්‍ය සංඥාව භාවනාවක්‌ ලෙද වඩන සිතක නිරතුරුවම කලකිරීම් සකස්‌ වෙනවා. එවැනි කලකිරීමක්‌ සකස්‌ වුණොත් එය ඔබේ අධ්‍යාපන කටයුතුවලටත් බාධාවක්‌ වේවි. ඒ නිසාම දෙමාපියනුත් දුකට පත් වේවි. එම නිසා නිතිපතා පංචශීලය ආරාක්‍ෂා කර ගනිමින් මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව වඩමින් ගෙදර වැඩිහිටියන් සමග බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න. වැඩිහිටියන්ට ගරු කිරීමට පෙළඹෙන්න. මේ කාරණා තුළින් තෙරුවන් කෙරෙහි සද්ධාව සකස්‌කර ගන්න. මේ මාර්ගය හොඳටම ප්‍රමාණවත් ඔබගේ වයසේ තරමට.

ඉහත කාරණාවන් සුව සේ ඔබගේ ජීවිතය තුළින් වැඩෙන විට අවශ්‍ය වෙලාවේදී අනිත්‍ය සංඥාවන් මතුවෙලා ඒවි. අපි මෙහෙම අනාගතය ගැන බලාපොරොත්තු ඇතිකර ගත්තත් බලාපොරොත්තු කියන්නේ මායාවක්‌මයි. සියල්ල අනිත්‍යවන නිසාමයි අපි සිහිනුවනින් ජීවිතය පරිහරණය කළ යුත්තේ. එසේ නොවුණහොත් ධර්මයත්, අධ්‍යපනයත් යන දෙකම අපගෙන් බිඳ වැටෙන්න පුළුවන්. ඒ නිසාම මේ දෙමාපියන්ද අසරණභාවයට පත් වෙන්න පුළුවන්.

ඉහත ගුණදම් සමග තෙරුවන් කෙරෙහි සද්ධාව ඇති කරගෙන සංසුන් මනසක්‌ පිංවත් ළමා ඔබ ඇති කර ගතහොත් එතැන ඉඳන් ඔබට පුළුවන් ගුරුවරුන්ට, දෙමාපියන්ට, අකීකරු සිතක්‌ සකස්‌වෙන විට, අධ්‍යපන කටයුතුවලට අලස කම්මැලි සිතක්‌ සකස්‌ වෙනවිට, සිත අනිත්‍ය වශයෙන් දකිමින් එහි ආදීනව දකිමින් අතහරින්න. එවිට ඔබ තුළින් ගුණාත්මක දරුවෙකුත්, තමාට ගැලපෙන පරිදි අනිත්‍ය සංඥාවත් ජීවිතයට එකතු කරගත්තා වෙනවා.

ළමා ජීවිතය කියන්නේ කුසල් නිධියක්‌. මේ කුසල් නිධිය ගැන ළමයින්ට හැගීමක්‌ නැහැ. ඒ නිසාම දරුවන් ළමා කාලයේදී අප්‍රමාණ අකුසල් සිද්ධ කර ගන්නවා. මේ ළමා කුසල් නිධිය දෙමාපියන් ගුරුවරුන්ට ගරුකිරීම, සැලකීම නිසාම තව තවත් ශක්‌තිමත් කරගන්න දරුවන්ට අවස්‌ථාව තිබියදී නොදැනුවත්භාවය නිසාම දරුවන් ළමා කාලයේදී ගොඩාක්‌ අකුසල් සිද්ධ කර ගන්නවා. වර්තමානයේ නොදැනුවත්භාවය නිසාම දරුවන් දෙමාපියන්ට මානසික පීඩාවන් ඇති කරනවා.

වර්තමානයේ ගුරුවරයා කියන්නේ දරුවන්ගේ ප්‍රාණ ඇපයට යටත් පිරිසක්‌ වගේ. හොඳ නරක කියල දෙන්න පුළුවන් කමක්‌ නැහැ. දෙමාපියන්ගේ ගුරුවරුන්ගේ සිත රිදවන එක තරම් අකුසලයක්‌ තවත් නැහැ. දරුවන් නිසා මානසික පීඩාවට පත් අම්මලා, තාත්තලා කොතෙක්‌ අපිට මුණගැසිල තිබෙනවාද?
span style=”color: #a52a2a;”>
රාහුල පුංචි හාමුදුරුවෝ හැමදාම උදයට වැලි දෝතක්‌ අතට අරගෙන එය උඩ දමලා ප්‍රර්ථනාවක්‌ ඇතිකර ගන්නවා “අද දවසේ මේ වැලිකැට ප්‍රමාණයට මට අවවාද අනුශාසනා ලැබේවා” කියලා. පුංචි සිතක සකස්‌ වුණ ලොකු ගුණයක්‌ අප දැක්‌කේ අතීත භවයන්හිදී මහා පාරමී ශක්‌තියක්‌ වඩවාගෙන පැමිණි දරුවෙක්‌ගෙන්. ඒ දරුවායි රාහුල මහෝත්මයන් වහන්සේ. එවැනි පිංවත් දරුවන් පහල වෙන්නේ කාලය, ද්වීපය, දේශය, කුලය, මව කියන කාරණා ගුණාත්මකව පවතින සුදුසුම කාලයක. එම නිසා පිංවත් ළමා ඔබ සිතන්න ඕනේ ඔබත් මේ ජීවිතේ මව් කුසට බැස ගත්තේ, උපත සකස්‌කර ගත්තේ, සුදුසු කාලය බලලාය කියන කාරණය. මොකද තවමත් මේ කාලයයි, ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ. තවමත් මේ ද්වීපයයි, සද්ධර්මය සුරක්‍ෂිතව පවතින. තවමත් මේ දේශයයි උතුම් මහ සංඝරත්නය ජීවමානව වැඩසිටින. තවමත් මේ කාලයයි ලෞකික සම්මාදිට්‌ඨීය සකස්‌ කරගත් මව් කුසක මව් පදවිය ලැබීමට…..

පෙර ජීවිතයේ සුගතියේ සිට සුදුසු කාලය බැලීමෙන්ම ලැබූ උපතක්‌ මේක.

ළමා කාලය කියන්නේ, වැඩිවියට පත්වීමෙන් පසු විපාක පිණිස සකස්‌වෙන, අකුසල් ගොඩක්‌ සිද්ධවෙන කාලය. අම්මා, තාත්තා, ගුණවත් ගුරුවරුන්ගේ, ගුණවත්භාවය නිසාමයි ඒ අකුසල් දරුවන්ට සිද්ධවෙන්නේ. දෙමාපිය ගුරුවරුන්ගේ ගුණයන් ඒ තරමටම ශේ්‍රaෂ්ඨයි. ළමා කාලයේදී අපට උගන්වපු ගුරුවරු පන්ති කාමරයේදී අධ්‍යපන කටයුතු අතපසු කළහම ගහපු වේවැල් පාරවල් මේ මොහොතේ මතකයට නැගෙන විට ඒ ගුරුවරුන් උදෙසා ගරුත්වයක්‌මයි සිත තුළ සකස්‌ වෙන්නේ. මේ සටහන් කරන සෑම අකුරක්‌ම ගුරුවරයාගෙනුයි ඉපදුනේ. ගමේ පන්සලේ ලොකු ස්‌වාමීන් වහන්සේ ළගට ගිහිල්ලා මුලින්ම අකුරු කරන්නට ‘අ, ආ’ ඉගෙන ගන්න දවසේ අම්මා, තාත්තලා කොතෙක්‌ නම් බලාපොරොත්තු දරුවන් තුළින් ඇතිකර ගන්නවාද? තමන්ගේ දරුවා රෝහලේ ඇදක්‌ මත සැත්කමක්‌ කිරීම හේතුවෙන් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙනවිට මේ දරුවාගේ තාත්තා පුතුට සමීපවෙලා කියනවා ‘පුතේ ඔබ වෙනුවෙන් අපායට යන්න වුණත් මම ලැහැස්‌තියි’ කියලා. දරුවා කෙරෙහි ඇති ලෙන්ගතුභාවය නිසාම මේ තාත්තාට අපායේ ඇති ගිනි රස්‌නය අමතකව ගියා. ගින්දර යෝධිය අමතක කරන්න පුළුවන් ශක්‌තියක්‌ දරුවන් වෙනුවෙන් අම්මා, තාත්තා තුළ තිබෙනවා. මේ අයෝමය ශක්‌තියට අකීකරුභාවයෙන් ළමා ඔබ අභියෝග කරන්න නරකයි. ළමා කාලයේ අපි අතින් සිදුවෙන වැරදි හඳුනා ගැනීමට අපහසුයි. බරපතළ බවක්‌ නොහඟවාම ඒවා අපිට මගහැරී යනවා. මේ අකුසල් විපාක පිණිස සකස්‌ වෙන්නේ දරුවා වැඩිවියට පත්වුණාට පස්‌සේ.

ඉහත කාරණය නුවනින් විමසලා දරුවන් තමන් තුළ දෙමාපියන්ට, ගුරුවරුන්ට අකීකරු සිතක්‌ පහළ වනවිට එය අනිත්‍ය වශයෙන් දැකලා එම සිත අතහැර දැමීමට දක්‍ෂනම්, ඔබ ඔබේ ළමා ජීවිතය අකුසලයන්ගෙන් ඈත් කර ගත් ජීවිතයක්‌ බවට පත්කර ගත්තා වෙනවා. මේ සටහන ලියන්නේ පාසල් දරුවෙක්‌ ඇසුව ප්‍රශ්නයකට පිළිතුරක්‌ වශයෙන්. එම නිසා දරුවන්ගේ ජීවිතයට අදාළවයි මේ පිළිතුර. වැඩිහිටියන් මේ පිළිතුර තමන්ගේ ජීවිතයට ගලපා ගන්න එපා. දරුවෙක්‌ තුළින් අපි මුලින්ම උත්සහ ගත යුත්තේ ඔහුට ලෞකික සම්මාදිට්‌ඨීය සකස්‌කර ගැනීමට අවශ්‍ය මාර්ගය සකස්‌කර දෙන්න. අපිට දරුවාට කියන්න බැහැ ජාති, ජරා, ව්‍යධි, මරණ ගැන පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය ගැන. ඉහත කාරණාවලටයි දුකයි කියලා කියන්නේ කියලා. මොකද එච්චර දුරක්‌ හිතන්න එම දරුවන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා නැහැ. එම දරුවාගේ ඉන්ද්‍රිය ධර්මයන් ක්‍රමානුකූලව දියුණු කරගන්න අපි උපක්‍රමශීලී වෙන්න අවශ්‍යයි. එවිටයි අපිට පුළුවන් වෙන්නේ දරුවා තරුණ වියට පත්වෙන විට ලෞකික සම්මා දිට්‌ඨීය සකස්‌කර ගත් දරුවෙක්‌ බවට පත්කර ගන්න. මෙතනදී දරුවා අධ්‍යපන කටයුතු වෙනුවෙන් උදාසීන අලසභාවයක්‌ ඇතිකර ගතහොත් එයයි ‘දුක’ ලෙසින් තේරුම් ගතයුතු කරුණ. අධ්‍යපනය අඩාල වුණොත් අනාගතයේදී යහපත් පුරවැසියෙක්‌ ශක්‌තිමත් ආර්ථිකයක්‌ සහිත ජීවිතයක්‌ අහිමි වෙනවා. දෙවනුව දකින්න මේ ‘දුක’ කුමක්‌ නිසාද සකස්‌ වෙන්නේ කියලා. දෙමාපියන්ට ගුරුවරුන්ට අකීකරුභාවය නිසාමයි. එහෙනම් ඔබ ඉහත දුකෙන් මිදෙන්න මේ අකීකරුභාවයෙන් මිදෙන්න ඕනේ. ඒ සදහා ඔබ ගමන් කළ යුත්තේ දෙමාපියන් ගුරුවරුන් කෙරෙහි කීකරුභාවය ඇති කර ගනිමින්. නිරතුරුවම උදේට තේරුමක්‌ ඇතිව පංචශීලය සමාදන් වෙමින් එම ශිල්පද ආරක්‍ෂා කර ගනිමින්. සවසට නිතිපතා දෙමාපියන් සමග ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මල් පහන් පුජා කරමින්, වන්දනා කරමින් තෙරුවන් කෙරෙහි සද්ධාව සකස්‌ කරගන්නා මාර්ගය තුළ ඔබ ගමන් කරන්න ඕනේ. පාසලේ, පංසලේ පිංකම්වලට ක්‍රියාත්මකව දායක වෙන්න ඕනේ. පුළුවන් ආකාරයට මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඉහත කාරණා පිංවත් ළමා ඔබට පහසු ආකාරයට ජීවිතයට ළංකර ගතහොත් ඔබ තරුණ වියට පත් වනවිට ධර්මයේ අවබෝධාත්මක දිශාවකට අවශ්‍ය ඉන්ද්‍රිය ධර්මයන් ඔබ තුළ වැඩිලයි පවතින්නේ.

ලෞකික සම්මා දිට්‌ඨීය සකස්‌කරගැනීමට අවශ්‍ය තෙරුවන් කෙරෙහි විශ්වාසය, කර්මය කර්ම ඵල කෙරෙහි විශ්වාසය, දානයේ ශීලයේ ආනිශංස පිළිබඳ විශ්වාසය, අම්මා තාත්තාගේ ගුණය පිළිබඳ විශ්වාසය, මරණින් මතු උපදිනවාය කියන විශ්වාසය ඔබ තුළ සකස්‌වෙනවා. ධර්ම මාර්ගය තුළ ගමන් කිරීමෙන් දෙමාපියන්ට, ගුරුවරුන්ට කීකරුභාවයත්, කීකරුභාවය නිසාම ගුණාත්මක අධ්‍යාපනයකුත්, මේ සියල්ල හේතුවෙන් ලෞකික සම්මාදිට්‌ඨිය සකස්‌කරගත් ගුණාත්මක වැඩිහිටියෙක්‌ බවටත් ඔබ පත්වෙනවා.

මෙතැන ඉදන් ඔබට පුළුවන් ඔබට අවශ්‍ය ආකාරයට ධර්ම මාර්ගයේ පෙරට යන්න. ඉහත මාර්ගයේ හික්‌මීමෙන් ඔබ පෙරට පැමිණියොත් පමණයි තරුණ ජීවිතයේදීම චතුරාර්ය සත්‍යය ධර්මයේ සැබෑම අර්ථය ඔබ ඔබේ ජීවිතයට එකතු කරගන්න දක්‍ෂ වෙන්න. එසේ නොවුණහොත් පින, පව හඳුනන්නේ නැති අනාගත ලෝකයේ සමාජිකයෙක්‌ වෙන්න ඔබටත් සිදුවේවි.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s