27-ශීලය සැබැවින්ම කුමක්‌ උදෙසාද

2013-03-31

ශීලය කියන්නේ බොහෝම ආකර්ෂණීය දෙයක්‌. සිතූ සිතූ සම්පත් ලැබෙන දෙයක්‌. එය ශීලයේ දිට්‌ඨදම්මවේදනීය කුසල් විපාකය.

නමුත් ශීලය තුළින් ඇති වන හික්‌මීමක්‌ තිබෙනවා. ඒ හික්‌මීම පෝෂණය වෙලා තිබෙන්නේ නෙක්‌ඛම්මය තුළින්. මේ නෙක්‌ඛම්ම සිත විසින්, ශිල්පද ආරක්‍ෂා කරගැනීම නිසා දායක පිරිස්‌වලින් ලැබෙන සිව්පසය විනයානුකූලව පාලනයට යටත්කර ගන්නවා. එම හික්‌මීම නිසාම භික්‍ෂුන් දක්‍ෂවෙනවා ශීලය, සමාධිය උදෙසාම තමා තුළින් පෙළගස්‌වා ගැනීමට. එම දක්‍ෂභාවය නැතිකෙනා ශීලයේ දිට්‌ඨදම්මවේදනීය කුසල් විපාකයන් ලැබෙනවිට ශීලය නිසාම ශීලයෙන් පිරිහෙනවා. ශීලයේ උතුම් හරයන් ආරක්‍ෂාකරගෙන ජීවත්වෙන ගෞරවණීය ස්‌වාමීන්වහන්සේලා පන්සල ආරණ්‍යය භේදයකින් තොරව අප්‍රමාණ සංඛ්‍යාවක්‌ මේ පින්බිමේ වැඩසිටිනවා. එය අපි කාටත් සැනසීමක්‌. ශීලයෙන් පරිපූර්ණ භික්‍ෂුව දක්‍ෂවෙන්න ඕනේ. මුළු ලෝකයම තමාට ලැබුණත් තමාගේ ප්‍රමාණය මොකක්‌ද කියලා දැනගන්න. අපගේ ප්‍රමාණය තමයි සතර රියන ප්‍රමාණය. මේ මොහොතේ භික්‍ෂුව වැඩසිටින පැදුරේ ප්‍රමාණය මගේ ප්‍රමාණය කියලයි භික්‍ෂුව සිතන්නේ. සුඛෝපභෝගී භාවයන් අපට ලැබෙන්නේ පින නිසා. ජීවිතය තුළින් රකින ශීලයේ ආනිසංස නිසා. කොටින්ම මේවා සංස්‌කාර. සංස්‌කාරවල ස්‌වභාවය අනිත්‍යයි. අනිත්‍යවන දේවල් අපිට ලැබෙනවිට අපි ඒවාට බැඳුණොත් දුකටයි අපි බැඳෙන්නේ.

පින්වත් ඔබ මෙහෙම සිතන්න පුළුවන්. ලෝකයාගෙන් ලැබෙන සුඛෝපභෝගී බව අපි පරිහරණය කළාට අපි මේවාට ඇලෙන්නේ නැහැනේ කියලා. අවංකවම ඔබ නොඇලෙන කෙනෙක්‌ වෙන්න පුළුවන්. ඔබ එවැනි සුවිශේෂී පුද්ගලයෙක්‌ නම් ඔබ ධර්මයට පරමාදර්ශී පුද්ගලයෙක්‌ වෙන්න ඕනේ. එවැනි පරමාදර්ශී පුද්ගලයෙක්‌ කවදාකවත් තමා ප්‍රමාදයට පත්නොවුණොත්, තමා අනුගමනය කිරීමෙන් අනුන්ද ප්‍රමාදයට පත්වේය යන්න සිතමින් ඉන් බැහැර වෙනවා. මෙතැනදී තමන්ගේ පහසු විවහරණයත් අන්‍යයන් කෙරෙහි ආදර්ශවත් භාවයත් දෙකම සිදුවෙනවා. මහාකශ්‍යප මහරහතන් වහන්සේ ගතකළ උතුම් චර්යාවන් තුළින් ඉහත ආදර්ශයන් අපේ ජීවිතවලට හොඳින් ගළපාගන්න පුළුවන්. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වර්ණනා කරනවා මහාකාශ්‍යප මහරහතන් වහන්සේවම ආදර්ශයට ගන්න කියලා.

ශාසනික පිරිහීම් මැද ධර්ම විනය දෙක දරාගෙන සිටින්නාටමයි මහා සංඝරත්නය කියන්නේ. මන්ද උන්වහන්සේලා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ඉක්‌මවා යන්නේ නැහැ. ලෝකයා කෙරෙහි හුදු කරුණාව, අනුකම්පාව, මෛත්‍රිය හේතුවෙන් බුදුරජාණන් වහන්සේ දේශණාකර වදාළ ධර්ම විනය මාර්ගයෙන් බැහැරට යනවානම් ඒ මොහොතේදීම අපි ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය අභියෝගයට ලක්‌ කරනවා.

අපි අනුකම්පාව වශයෙන් දකින්නේ මෝහය මුසු අනුකම්පාව. ඉන් කෙරෙන්නේ පුද්ගලයා දුකට ඇද දැමීමක්‌මයි. බුදුරජාණන් වහන්සේලාගේ මහා කරුණාව සත්වයා දුකෙන් බැහැරට ගැනීමයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේලාගේ මහාකරුණාව නිසාම වැරදි කරන්නා එක වරම ප්‍රතික්‌ෂේප කරන්නේ නැහැ. විනය කාරණා තුළින් නැවත නැවත පිරිසිදු භාවයට පත්වෙන්න අවස්‌ථාව ලබාදෙනවා. වැරදි කරන ස්‌වභාවයෙන් යුත් සිතකුයි අපි වැරදි නොකරන ස්‌වභාවයකට පත්කරගන්න උත්සාහ ගන්නේ. එතැනදී වැරදි ස්‌වභාවිකයි. නමුත් වැරැද්ද වැරැද්ද වශයෙන් දකිමින් නිවැරදිවීමට අවශ්‍ය උවමනාව අප තුළ තිබිය යුතුයි.

ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ අග්‍ර දායිකාව වන විශාඛා උපාසිකාවගේ හෙළිකිරීම් නිසා භික්‍ෂු, භික්‍ෂුණීන්ට විනය කාරණා කීපයක්‌aම බුදුරජාණන් වහන්සේ පනවා තිබෙනවා. මේ හෙළිකිරීම් ඇය සිදුකළේ ශාසනය කෙරෙහි සැබෑම ගරුත්වය නිසා. මේ සියල්ල තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව සකස්‌වුන සන්තානවල ලක්‍ෂණයක්‌මයි.

මේ ලෝකයෙන් ප්‍රාතිමෝක්‍ෂ ශීලය සම්පූර්ණයෙන්ම අතුරුදහන්ව යන්නේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගත් අවසාන උපසම්පදා ස්‌වාමීන්වහන්සේ අපවත්වන මොහොතේයි. ඉන් පසු ලෝකයේ ඇත්තේ ශීලය ප්‍රතික්‌ෂේප කළ අර්ථයෙන් ගිලිහුණු බුදුදහමකි. සැබෑ ධර්මය අතුරුදන්ව ගොස්‌ය. චතුරාර්ය සත්‍ය ධර්මයේ මුල්ම ආර්ය සත්‍යය වන දුක වෙනුවට ‘ලෝකය සැපය, එම සැප සුවසේ විඳින්න. තරගකාරී ලෝකයේ ඔබත් හොඳ තරගකරුවකු වන්න. අවසානයේ මැරිලා නිවන් දකින්න’ කියන ධර්මයක්‌ එවිට ඔබට ඇසෙනු ඇත. අපි මේ ගාට ගාට යන්නේ ඔය තැනටය. අතීත සම්මා සම්බුද්ධ ශාසන දහස්‌ ගණනක්‌ අතුරුදහන් කරවීමට අපිත් හවුල් වෙලා ඇති. ඒත් මේ ගෞතම සම්මා සමුබුද්ධ ශාසනයට එක දිනයක්‌ හෝ වැඩිපුර ආයුෂ ලබාදීමට මම සිල්වත් වෙනවාය කියන අධිෂ්ඨානය අපි එකිනෙකා ඇතිකරගතහොත් ඒ කුසලයෙන්ම තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවට ඔබ සමීපවෙනු ඇත. තුන් ලෝකයටම අමිහිරි පණිවිඩයක්‌ වන ‘ශාසන අතුරුදන්වීම’ තව තවත් ඈතට තල්ලූකරදමමින් උතුම් සිල්වත් ජීවිත ගතකරන උපසම්පදා ස්‌වාමීන් වහන්සේලා දහස්‌ ගණනක්‌ මේ මොහොතේ මේ උතුම් දේශයේත් ලෝකය තුළත් වැඩසිටිනවා. මෙතැනින්මයි ශාසනයේ අර්ථය සුරැකිව පවතින්නේ.

ගිහි පින්වත් මහත්මයෙක්‌ භික්‍ෂුවකගෙන් විමසුවා හාමුදුරුවනේ ශීලයෙන් තොරව ධර්මය දැකීමේ හෝ ධර්මය අවබෝධ කරගැනීමේ හැකියාව තිබෙනවා ද කියල. යම් පින්වතෙක්‌ ප්‍රකාශ කරනවානම් ශීලයෙන් තොරව ධර්මය දැකීමේ හැකියාවක්‌ තිබෙනවාය කියල එය මිත්‍යාදෘෂ්ටියක්‌. ඔහු හෝ ඇය නිවන් මාර්ගය වන ආර්යඅශ්ඨාංගික මාර්ගයයි ඒ ප්‍රතික්‌ෂේප කරන්නේ. ආර්ය අෂ්ඨාංගික මාර්ගය ප්‍රතික්‌ෂේප කළ සැනින් ඔහු හෝ ඇය බුදුරජාණන් වහන්සේත්, උන්වහන්සේ දේශනා කර වදාළ ධර්මයත් යන දෙකම ප්‍රතික්‍ෂේප කරනවා. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේදී කාරණා 3 ක්‌ම උතුම් ශීලය උදෙසා බුදුරජාණන් වහන්නසේ දේශනා කරනවා. ඒ කාරණා නම් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන අංග තුනයි. මේ තුනෙන් තොරව ආර්ය අෂ්ඨාංගික මාර්ගයක්‌ නැහැ. ශීලය තුළින්මයි සමාධිමත් සිතක්‌ සකස්‌කර දෙන්නේ. සමාධිමත් සිතමයි ඔබව ප්‍රඥාව දෙසට යොමුකරන්නේ.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටින කාලයේදී එක්‌ ගාථාවක්‌ ඇසූ පමණින් ධර්මය අවබෝධකරගත් උතුමන් සිටියා. ඒ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයම ඉලක්‌කකර පැමිණි උතුමන්. ඒ අය තම අතීත භවයන්හිදී ශීලය සම්පූර්ණ කරගෙනයි පැමිණ තිබුණේ. වර්තමානයේදී අපි එහෙම නොවෙයි. අතීත භවයන්හිදී වීර්යය මදභාවය නිසාම, ලෞකික සැපයන් උදෙසාමයි ශීලය ආරක්‍ෂාකරගෙන තිබෙන්නේ. ඒ නිසා ඒවා කුසල් සංස්‌කාර හැටියට විපාක දීලා අවසන් වෙලා. එම නිසා වෙනත් අර්ථයන් තුළින් නෙමෙයි, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත්, ශීලයත් තුළින්මයි ඔබ නිවීමේ මාර්ගය අර්ථවත් කරගත යුත්තේ. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ප්‍රඥාව වැඩීම උදෙසාම ගැනෙන සම්මා සංකප්ප අංගය පෝෂණය වන්නේද, වැඩෙන්නේද, ශීලය තුළින්මය. ශීලයෙන් තොරව අව්‍යාපාද, අවිහිංසා, නෙක්‌ඛම්ම සංකප්පයක්‌ ගැන සිතීම විහිළුවකි. මේ නෙක්‌ඛම්ම සිතමයි, පිංවත් ඔබට අතීත ශීලයන්ගේ ශක්‌තිය, අනිත්‍ය බව අවබෝධකර දෙන්නේ.

ශීලය නැමැති සංස්‌කාර ධර්මයේ අනිත්‍යභාවය අවබෝධ කරගැනීමට පිංවත් ඔබට මේ මොහොතේ උපකාර වන්නේද ශීලයයි. මේ උතුම් ශීලය තුළින්මයි ශීලයේද අනිත්‍යභාවය ඔබට පසක්‌ කරදෙන නෙක්‌ඛම්ම සිත සකස්‌වෙන්නේ. ඒ නිසාම ශීලය කියන කාරණය, දස කුසල් කියන කාරණය දක්‌වාම ඉදිරියට ගෙනයැමට පිංවත් ඔබ දක්‍ෂවෙන්න ඕනේ. ශීලයෙන් තොරව ලබන සමාධිය මිච්ජා සමාධියක්‌මයි. එය ඔබව ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් බැහැර කරනවා. ශීලය තුළින් විකසිතවූ සම්මා සමාධියමයි නිවීමේ මාර්ගයේ අර්ථය වෙන්නේ.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

26-ප්‍රඥාවේ පහන් සිළෙන් රැයෙහි අඳුර දුරුකරන්න

2013-03-24

භික්‍ෂුවක්‌ ධර්ම සාකච්ඡාවක්‌ රාත්‍රියේ පවත්වනවිට එක මහත්මයෙක්‌ නිතර නිතර ඔරලෝසුව දෙස බැලුවා. එම පිංවත් මහත්මයාගේ හැසිරීම තුළින් භික්‍ෂුව අදහස්‌ කළේ ‘දැන් පරක්‌කු වුණා’ කියන කාරණයයි. දැන් එම මහත්මයාට අවශ්‍ය ගෙදර ගිහින් නිදාගන්න. මේ වගේ රාත්‍රින් ලක්‍ෂ කීයක්‌ අපේ ජීවිත සමග ගෙවී යන්න ඇතිද? ගෙවීගිය සෑම රාත්‍රියක්‌ම අවසන් වූයේ එළිවීමෙන්ය. නින්ද පමණක්‌මයි රාත්‍රියේ අර්ථය වුණේ. දවල් සහ රාත්‍රි කියන්නේ අපි සාදාගත් සම්මුතීන් දෙකක්‌ පමණයි. ධර්මවබෝධයට දවල්ද, රාත්‍රියද කියලා වෙනසක්‌ නැහැ. ධර්මවබෝධය ලැබූ උතුමන් වහන්සේලා ධර්මය අවබෝධ කරගන්නේ හුඟාක්‌ම ඉර පෑයීමට ප්‍රථම අළුයම් කාලයේදී. ඒ කියන්නේ සංකීර්ණ වු දවාලට වඩා රාත්‍රියේ අවසන් යාමය ධර්මාවබෝධයට හිතකර නිසාමයි.

මාරයා නොයෙක්‌ කාම සිතුවිලිවලින් ඔබේ රාත්‍රීය පුරවා තිබෙන්නේ. කාමයේ දොරගුළු විවරකර ගැනීමට රාත්‍රියට අතවනන ඔබ, ධර්මයට හිතකර රාත්‍රියක්‌ හැමදාමත් මාරයාට පාවා දෙනවා. රාත්‍රිය සුන්දර වෙන්නේ ඇස නිදිනොගන්වා කෙලෙස්‌ නිදිගැන්වීමට ඔබ දක්‍ෂ වුවහොත් පමණි. කෙලෙස්‌ නිදිගැන්වු රාත්‍රියක සිතක ඇතිවන අපුරු ධර්මයේ රටා නින්දේ හිස්‌ අර්ථය අභිබවා ගිය, ලෝකයේ හිස්‌ අර්ථය පිළිබඳ සිතුවිලි වලින් ඔබව අවදි කරවනවා.

භික්‍ෂුවගේ භික්‍ෂු ජීවිතයේ සුන්දරම මොහොත එක්‌තරා රාත්‍රියක්‌ කීවොත් එය නිවරැදියි. භික්‍ෂුවකගේ ගිහි ජීවිතයේ ගෙවාදැමු සමහර රාත්‍රීන් හරිම තුච්චයි. ඒවා මාරයාටම අයිති රාත්‍රී කාලයන්. මාරයාට අයිති රාත්‍රීන් කමටහන් කරගෙනයි භික්‍ෂුව මාරයාගෙන් රාත්‍රිය උදුරාගත්තේ. කාමයන්ගේ නිරුවත හඹායන සුපුරුදු අවිචාරවත් රාත්‍රියක, කාමයන් සකස්‌කර දෙන සිතේ නිරුවත හෙළි කරගැනීමට, ඒ අතීත අත්දැකීම් ගොඩාක්‌ උපකාරීවුණා. රාත්‍රියක ඇති නිහැඬියාව තුළ සැඟවී ඇති ධර්මයේ රසය, නිදි නොලබා අවදිභාවය තුළින්මයි ඔබ මතුකරගත යුත්තේ. එවැනි සුන්දර රාත්‍රියක්‌ ‘නිදිමතයි’ කියලා භික්‍ෂුව එදා අතහැරියානම් නින්ද විසින්ම මේ සටහන ලියන සුන්දර රාත්‍රියත් ගොරව ගොරවා නිදන රාත්‍රියක්‌ බවට පත්වෙනවා. රාත්‍රියේ නිහැඬියාව ගොරහැඩි නින්දකට යට නොකර පිබිදුනාවු මනසකින් නින්දේ ආදීනව දකින්න. දීර්ඝ නින්ද ඔබට කර ඇති විනාශය සුළුපටු නොවන බව ඔබට පෙනෙනු ඇත.

නොනිදා පහන් කරන රාත්‍රියකමයි ඔබත් මමත් කවදාහරි ධර්මය අවබෝධ කරගන්නේ. ඒ නිසා නින්දට දෙන වටිනාකම නොනින්දට දී නොනිදන රාත්‍රියක පිංවත් ඔබ ධර්මය අවබෝධ කරගන්න. භික්‍ෂුව මේ සටහන ලියනවිට වේලාව රාත්‍රි 1.30 යි. බදුල්ල කොළඹ මාර්ගයේ ගමන් කරනා බසයක්‌ වේගයෙන් යනවා ඈතින් ඇසෙනවා. මේ මොහොතේ බසයේ රියදුරු මහතා හැර අන් සියලුදෙනාම නින්දේ පසුවෙනවා ඇති. රියදුරු මහතාටත් නින්ද ගියොත් කුමක්‌ වේවිද? නින්ද නිසා ඔබ විතරක්‌ නොවේ සියල්ලන්ම විනාශයටයි ප්‍රමාදයටයි පත්වෙන්නේ. මේ නිදිගත් රාත්‍රියේදී සුන්දර වූද, අසුන්දර වූද, බියජනක වූද සිහින ඔබ දකිනු ඇත. එම සිහින නිසාම දිවා කාලයේදී ඔබ ලැබුවාට වඩා වැඩි සතුටක්‌ ලබනු ඇත. නමුත් ඔබ මේ දකින්නේ එළිවෙන සිහිනයකි. ඒත් පිංවත් ඔබ මේ රාත්‍රියේදී සමාධිමත් සිතක්‌ සකස්‌ කර ගෙන අවදියෙන් පසුවුනානම් ලෝකයේ සුන්දර අසුන්දර දේ ඔබට සමාධියෙන් පෙනෙනු ඇත. සුන්දර වු දෙමාපියන්ද අසුන්දර වු අමනුෂ්‍යයින්ද ඔබට පෙනී නොපෙනී යනු ඇත. ඔබ මේ දකින්නේ එළිවෙන සිහිනයක්‌ නොව නින්දට වටිනාකමක්‌ දෙන ලෝකයාට නොපෙනෙන යථාර්ථයයි.

සමනළ වැව ජලාශය දෙසින් හමා එන සිහින් සුළං රැළි නින්දකට අවශ්‍ය සියලු පහසුකම් සැපයුවත් පංචනීවරණ යටපත්ව ගිය සිත නින්දකට මැලිකමක්‌ දක්‌වනවා. නොනිදා පහන් කරන්න කීවාම ඔබ වැරදි අර්ථයෙන් ගන්න එපා. සෑම මනුෂ්‍යයෙකුටම නින්ද අවශ්‍යයි. නමුත් එය දීර්ඝ ගොරහැඩි නින්දක්‌ නොව උපරිම පැය පහකට සීමාවියයුතු නින්දක්‌. රාත්‍රිය නොනිදා සිටීම මානසික රෝගීන්ගේද ලක්‍ෂණයක්‌. එහෙයින් ඔබ ප්‍රවේශම් විය යුතුයි. අත්‍යාඅවශ්‍ය කෙටි නින්දකට ඔබේ ජීවිතයේ ඉඩ ලබාදෙන්න. එසේ නොවුනහොත් ඔබ මානසික රෝගියෙක්‌ විය හැකිය. ඔබ සිතන සෑම සිතුවිල්ලක්‌ තුළම විඤ්ඥාණය බැසගෙන ඇත. විඤ්ඥාණය නැමති මැජික්‌කරුවා උපාසක, උපාසිකා කියන රූපයක්‌ නිර්මාණය කරනු ඇත. ධර්මයේ අර්ථය සෑම විටම අන්තයට නොගිය මධ්‍යම ප්‍රතිපදාව තුළට ගොනුවී ඇත. එහෙත් ඔබ ධර්මය අවබෝධ කරගන්නා රාත්‍රිය නම් නොනිදා පහන් කරනු ඇත. එය ඔබ නිදිගත් භවගමනේ නොනිදා පහන් කළ අර්ථවත්ම රාත්‍රිය වනු ඇත. මේ කරුණු ඔබට සටහන් කරන්නේ ඔබ තුළ වීර්යක්‌ ඇතිකරගනිමින් ධර්ම මාර්ගයේ පෙරට යන්න අවශ්‍ය ශක්‌තිය ලබාදීමටය. අතීතයේ වැඩසිටි රහතන් වහන්සේලාගෙන් සමහරක්‌ රහතන් වහන්සේලා අවුරුදු පහක දහයක කාලයක්‌ කවදාකවත් නිදාගෙන නැහැ. වෛද්‍ය මතයන් අනුව නම් වර්තමානයේ ඉහත කරුණු ප්‍රතික්‌ෂේප වෙන්නත් පුළුවන්. ජීවිතයට අවශ්‍ය සැබෑම නින්ද, සැබෑම විවේකය ජීවිතයට ලැබෙන්නේ සමාධිමත් සිතෙන්මයි.

දහවල් කාලයට භික්‍ෂුව වැඩසිටින කුටිය ඉදිරිපිට සමනලවැව ජලාශය හොඳින් පෙනෙනවා. ජලාශයේ ජලය හුඟාක්‌ අඩුවෙලා. ජලය ගලායාමක්‌ නැහැ. එකතැන නතරවෙලා. මේ රාත්‍රීයේ භික්‍ෂුවගේ සිතත් ඒ වගේමයි. සිතුවිලිවල ගලායාමක්‌ නැහැ. සිතුවිල්ලක්‌ සකස්‌ වුණොත් එය ධර්ම මනසිකාරයක්‌මයි. පංචනීවරණයි සිතුවිලි. ඉදිරියට තල්ලුකරන්නේ. පංචනීවරණ යටපත් වු සිතට ගලායන්න තල්ලුවක්‌ ලැබෙන්නේ නැහැ. පංචනීවරණයි සිත භවයට තල්ලුකරන්නේ. දීර්ඝ සුවදායක නින්දක්‌ ඔබ බලාපොරොත්තුවන්නේ හෙට දවසට වඩාත් වැඩි වටිනාකමක්‌ අයිතිකර දෙන්නටයි. ඔබ නිදාගන්නේද තෘෂ්ණාව කරේ තබාගෙනය.මෙවන් මොහොතක ඔබ නිදිපැදුරේදී මියගිය හොත් උපාදානය සකස්‌වෙන්නේ හෙට දවසේ යොදාගත් වැඩරාජකාරීන්ටමය. බලාපොරොත්තු සහගත නින්දේ ඇති නොවටිනා කම දකිමින් අතීත, අනාගත, වර්තමාන පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍යබව දකිමින්ම ලබන නින්ද සුවදායිම නින්ද බව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා. එහෙයින් සෑම රාත්‍රියකම සිත බලාපොරොත්තුවලින් හිස්‌කර නිදාගැනීමට පුහුණුවන්න. නාසය අගට සිත යොමුකරමින් ආශ්වාසය ප්‍රශ්වාසය දකිමින්ම නින්දට යන්න. ධර්ම මාර්ගයේ ගමන් කරන යෝගාවචර පිංවත් ඔබට ථිනමිද්දය පහවගිය නොනින්දේ වටිනාකම හොඳින් වැටහිලා ඇති.

රාත්‍රීය ගැන කතාකරන විට රාත්‍රීය ආලෝකවත් කරන පහන් ආලෝක 28 ක්‌ අටවිසි බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් භික්‍ෂුව වැඩසිටින කුටියට පෙනෙන නොපෙනෙන මානයේ පත්තුවෙනවා. මේ සුන්දර මොහොතේ අටවිසි බුදුරජාණන් වහන්සේලා උදෙසා දවසේ 24 පැයේම පහන් ආලෝක 28ක්‌ දල්වන අපි අතීතයේ වැඩසිටියාවු ලක්‍ෂ ගණනාවක්‌ වු බුදුරජාණන් වහන්සේලා උදෙසා පහන් ආලෝක දැල්වීමට ගියහොත් එය කෙසේනම් අවසන් කරන්නද? සංසාරයක්‌ පුරාවට බුදුරජාණන් වහන්සේලා උදෙසා අපි දැල්වූ පහන් ආලෝකයන් එක පිඩක්‌කොට ගතහොත් එය සූර්යාගේ ආලෝකය පරාද කරනු ඇත. සූර්යාගේ ආලෝකය අභිබවා යාමට සමත් ආලෝක පූජාවන් සංසාරයක්‌ පුරාවට අතීත බුදුරජාණන් වහන්සේලා උදෙසා පුජාකර ඇති අපි මේ මොහොතේ බුදුරජාණන් වහන්සේලා උදෙසා පුජාකර ඇති අපි මේ මොහොතේ බුදුජාණන් වහන්සේ උදෙසා දල්වන පහන් ආලෝකය සඳ හිරු නොමැති කළුවර රැයක නිවීගිය හොත් අපට අන්ධකාරයේ අතපත ගෑමට සිදුවනු ඇත. එයින් අදහස්‌ වන්නේ දැල්වු සෑම පහන් වැටියක්‌ම නිවී ගොස්‌ ඇතිය යන්නයි. එසේනම් පිංවත් ඔබ දැන් මෙතනින් නවතින්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ඔබ ඉදිරියේ තබා ඇති මාර්ගය පිළිගන්න. සියලු සංස්‌කාරයෝ අනිත්‍යයයි කියන සම්බුදු වදනම ඔබේ ජීවිතය තුළින් අර්ථයක්‌ දෙමින් සංස්‌කාරයන්ගේ ශක්‌තිය සංස්‌කාර නිරෝධය උදෙසාම ප්‍රයෝජනයට ගන්න. සුදත්ත සිටුතුමා තම මිතුරාගෙන් බුදුරජාණන් වහන්සේ යාබද නගරයක වැඩසිටිනවාය කියන වචනය ඇසුන සැනින් සඳ, හිරු නොමැති රැයක ආලෝක කිරීමට සමත් සිතේ ප්‍රභාෂ්වර භාවය තුළින් ආලෝකය උපදවාගෙන ඝන අන්ධකාර රාත්‍රියක්‌ ආලෝකමත් කළ ආකාරයට පංචනීවරණ යටපත් වු සිතෙන් කෙලෙස්‌ අඳුර විනිවිද යන ප්‍රඥාවේ ආලෝකය තමා තුළින්ම නිපදවා ගැනීමට දක්‍ෂවෙන්න. අතීත සංසාරයක්‌ පුරාවට බුදුරජාණන් වහන්සේලා උදෙසා ඔබ දැල්වු පහන් ආලෝකයන්ගේ සංස්‌කාර ශක්‌තිය ඔබගේ භවයට කැමති සිතට බයේ සැඟවී ඔබ තුළ බලාසිටින්නේ මෝදුවී විපාකදීමට සුදුසු පරිසරයක්‌ ඔබ තුළ ඔබ ගොඩනගා ගන්නා තුරුය. ප්‍රමාදය ඇත්තේ ඔබ තුළමය. මේ ප්‍රමාදයෙන් ඔබට අප්‍රමාදී භාවයට පත්කරන්නේ ශ්‍රද්ධාවත්, වීර්යත්, හිsරිඔතප් කියන කාරණා පමණක්‌මය. අපි මේ මොහොතේ ප්‍රමාදයට පත්වුනොත් අනාගතයේ ඇතිවන අබුද්ධෝත්පාද කාලවලදී ඔබ මනුෂ්‍ය ලෝකයේ සිටියද, දිව්‍ය ලෝකයේ සිටියද තෙරුවන් කියන වචනය එහි අර්ථය අතුරුදහන් වනු ඇත. එදාට අපට සිදුවනුයේ මිත්‍යාදෘෂ්ටික ධර්මයන්ට පහන් පත්තු කිරීමටය. අතීතයේ අබුද්ධෝත්පාද කාලවල අපි ගත කළ මෙවැනි මිත්‍යාදෘෂ්ටි භාවයන්ද ඒවායේ ආභාෂයන්ද මෙතෙක්‌ අපිට ධර්මය අවබෝධ කරගැනීමේ මාර්ගයෙන් බැහැරව තැබීමට හේතුවනවාද වියහැකිය. මේ සියල්ල තුළින් අපි දැකිය යුත්තේ භවයේ අනතුරුදායක බවයි. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් තෙරුවන් උදෙසා ඔබ ජීවිතය අතහරින්න බියවෙන්න එපා. ජීවිතය මරණයට දමන්න. ඒ කියන්නේ ඔබ කෙලෙස්‌ සිඳ දමන්න. ජීවිතය බැඳී තිබෙන්නේ තෘෂ්ණාව නිසාමයි. ඔතන තමයි අවබෝධයේ මග සැඟවී තිබෙන තැන. ඔය තැන ඔබ පහදා ගත යුතුමයි. ඔබ තවමත් බුදුරජාණන් වහන්සේ උදෙසා ජීවිතය අතහැරීමට සූදානම් නැතිනම් එහි තේරුම ඔබ තවම බුදුරජාණන් වහන්සේ කවුද කියන කාරණය තවම අවබෝධකරගෙන නැහැ. ඔබ තුළ බියක්‌ තිබෙනවා, සැකයක්‌ තිබෙනවා බුදුරජාණන් වහන්සේ දේශණා කළ ධර්ම මාර්ගය කෙරෙහි. කොටින්ම තවම සූදානම් මදිය කියන විචිකිච්චාව තිබෙනවා. මේ කුමන ආකාරයේ සිතුවිල්ලක්‌ සකස්‌ වුවද එය සිතක්‌ පමණක්‌ම බව දකින්න. ඊයේ දවසේ ඔබට කේන්තියක්‌ ඇතිවුනානම් මේ මොහොතේ එම සිත තිබෙනවාද? එම සිත දැන් ඔබට අයිති නැහැ. කේන්ති සිත අනිත්‍ය වී ගියා. නමුත් ඉන් සකස්‌ වුන අකුසලය ඔබට විපාක පිණිස ඔබ පසුපසින්ම එනවා. කේන්තිය ඔබට අයිති නැති වුණාට එහි අකුසල් විපාකය ඔබට අයිතියි. අනිත්‍යවන දේවල් නිත්‍යභාවයෙන් ගැනීම නිසාම භවගාමී සංස්‌කාරවලින් අපිව පිරෙනවා. සංස්‌කාරයන්ගේ බර දරාගන්න බැරි විඤ්ඥාණය නිරතුරුවම වේගවත් භාවයෙන් ක්‍රියාත්මක වෙන්නේ. සිතක්‌ හඳුනාගන්න පෙරාතුව තව තව සිතුවිලි සකස්‌ වෙනවා. මෙතනදි අප උදාසීන වෙනවා. වැල යන අතට මැස්‌ස ගහනවා වගේ සිතට අයාලේ යන්න ඉඩදෙනවා. දැන් සිත භවයට තෝතැන්නක්‌. පිංවත් ඔබ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උදෙසා දල්වන සෑම පහන් ආලෝකයක්‌ තුළින්ම බුදුරජාණන් වහන්සේගේ රූපකාය නොව බුදුරජාණන් වහන්සේ දේශණා කර වදාල ධර්මය දකින්න දක්‍ෂ වෙන්න. පහනේ ආලෝකයට ඔබ බැඳුනොත් ඔබ ඒ බැඳෙන්නේ භවයටය. එම පහනේ ආලෝකය අනිත්‍ය යන දැක්‌ම ඔබ තුළ ඇතිකරගතහොත් දැල්වුනාවු පහන් ආලෝකය තුළින් ඔබ දකින්නේ ධර්මයයි. ආමිස පූජාවන් පැවත්වීමට කැමත්තක්‌ දක්‌වන සියලු පිංවතුන්ලා බුදුරජාණන් වහන්සේ උදෙසා කරන ආමිස පුජාවන් තුළින් අනිත්‍ය සංඥා මතුකර ගැනීමට දක්‍ෂ වෙන්න.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

24-පොඩි කමට කළත් ‘පව’ පොඩි නැත පුතුනේ

2013-03-17

වයස අවුරුදු 15ක පමණ පිරිමි දරුවෙක්‌ භික්‍ෂුවගෙන් විමසුවා ‘හාමුදුරුවනේ මම මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව පුරුදු පුහුණු කරනවා. මට අනිත්‍යභාවනාව ගැන කියල දෙන්න’ කියලා. ඒ වෙලාවේ භික්‍ෂුව එම දරුවාගෙන් ඇසුවේ ‘ඔබ පැවිදිවීමේ අදහසක්‌ තිබෙනවාද?’ කියල. එවැනි අදහසක්‌ නොමැති බව ප්‍රකාශ කළ නිසා භික්‍ෂුව එම දරුවාට මතක්‌ කළේ ‘ඔබ අනිත්‍ය සංඥාව වඩන්න යන්න එපා. එය ඔබේ අධ්‍යපන කටයුතුවලට බාධාවක්‌ වෙයි’ කියල. අනිත්‍ය සංඥාව භාවනාවක්‌ ලෙද වඩන සිතක නිරතුරුවම කලකිරීම් සකස්‌ වෙනවා. එවැනි කලකිරීමක්‌ සකස්‌ වුණොත් එය ඔබේ අධ්‍යාපන කටයුතුවලටත් බාධාවක්‌ වේවි. ඒ නිසාම දෙමාපියනුත් දුකට පත් වේවි. එම නිසා නිතිපතා පංචශීලය ආරාක්‍ෂා කර ගනිමින් මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව වඩමින් ගෙදර වැඩිහිටියන් සමග බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න. වැඩිහිටියන්ට ගරු කිරීමට පෙළඹෙන්න. මේ කාරණා තුළින් තෙරුවන් කෙරෙහි සද්ධාව සකස්‌කර ගන්න. මේ මාර්ගය හොඳටම ප්‍රමාණවත් ඔබගේ වයසේ තරමට.

ඉහත කාරණාවන් සුව සේ ඔබගේ ජීවිතය තුළින් වැඩෙන විට අවශ්‍ය වෙලාවේදී අනිත්‍ය සංඥාවන් මතුවෙලා ඒවි. අපි මෙහෙම අනාගතය ගැන බලාපොරොත්තු ඇතිකර ගත්තත් බලාපොරොත්තු කියන්නේ මායාවක්‌මයි. සියල්ල අනිත්‍යවන නිසාමයි අපි සිහිනුවනින් ජීවිතය පරිහරණය කළ යුත්තේ. එසේ නොවුණහොත් ධර්මයත්, අධ්‍යපනයත් යන දෙකම අපගෙන් බිඳ වැටෙන්න පුළුවන්. ඒ නිසාම මේ දෙමාපියන්ද අසරණභාවයට පත් වෙන්න පුළුවන්.

ඉහත ගුණදම් සමග තෙරුවන් කෙරෙහි සද්ධාව ඇති කරගෙන සංසුන් මනසක්‌ පිංවත් ළමා ඔබ ඇති කර ගතහොත් එතැන ඉඳන් ඔබට පුළුවන් ගුරුවරුන්ට, දෙමාපියන්ට, අකීකරු සිතක්‌ සකස්‌වෙන විට, අධ්‍යපන කටයුතුවලට අලස කම්මැලි සිතක්‌ සකස්‌ වෙනවිට, සිත අනිත්‍ය වශයෙන් දකිමින් එහි ආදීනව දකිමින් අතහරින්න. එවිට ඔබ තුළින් ගුණාත්මක දරුවෙකුත්, තමාට ගැලපෙන පරිදි අනිත්‍ය සංඥාවත් ජීවිතයට එකතු කරගත්තා වෙනවා.

ළමා ජීවිතය කියන්නේ කුසල් නිධියක්‌. මේ කුසල් නිධිය ගැන ළමයින්ට හැගීමක්‌ නැහැ. ඒ නිසාම දරුවන් ළමා කාලයේදී අප්‍රමාණ අකුසල් සිද්ධ කර ගන්නවා. මේ ළමා කුසල් නිධිය දෙමාපියන් ගුරුවරුන්ට ගරුකිරීම, සැලකීම නිසාම තව තවත් ශක්‌තිමත් කරගන්න දරුවන්ට අවස්‌ථාව තිබියදී නොදැනුවත්භාවය නිසාම දරුවන් ළමා කාලයේදී ගොඩාක්‌ අකුසල් සිද්ධ කර ගන්නවා. වර්තමානයේ නොදැනුවත්භාවය නිසාම දරුවන් දෙමාපියන්ට මානසික පීඩාවන් ඇති කරනවා.

වර්තමානයේ ගුරුවරයා කියන්නේ දරුවන්ගේ ප්‍රාණ ඇපයට යටත් පිරිසක්‌ වගේ. හොඳ නරක කියල දෙන්න පුළුවන් කමක්‌ නැහැ. දෙමාපියන්ගේ ගුරුවරුන්ගේ සිත රිදවන එක තරම් අකුසලයක්‌ තවත් නැහැ. දරුවන් නිසා මානසික පීඩාවට පත් අම්මලා, තාත්තලා කොතෙක්‌ අපිට මුණගැසිල තිබෙනවාද?
span style=”color: #a52a2a;”>
රාහුල පුංචි හාමුදුරුවෝ හැමදාම උදයට වැලි දෝතක්‌ අතට අරගෙන එය උඩ දමලා ප්‍රර්ථනාවක්‌ ඇතිකර ගන්නවා “අද දවසේ මේ වැලිකැට ප්‍රමාණයට මට අවවාද අනුශාසනා ලැබේවා” කියලා. පුංචි සිතක සකස්‌ වුණ ලොකු ගුණයක්‌ අප දැක්‌කේ අතීත භවයන්හිදී මහා පාරමී ශක්‌තියක්‌ වඩවාගෙන පැමිණි දරුවෙක්‌ගෙන්. ඒ දරුවායි රාහුල මහෝත්මයන් වහන්සේ. එවැනි පිංවත් දරුවන් පහල වෙන්නේ කාලය, ද්වීපය, දේශය, කුලය, මව කියන කාරණා ගුණාත්මකව පවතින සුදුසුම කාලයක. එම නිසා පිංවත් ළමා ඔබ සිතන්න ඕනේ ඔබත් මේ ජීවිතේ මව් කුසට බැස ගත්තේ, උපත සකස්‌කර ගත්තේ, සුදුසු කාලය බලලාය කියන කාරණය. මොකද තවමත් මේ කාලයයි, ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ. තවමත් මේ ද්වීපයයි, සද්ධර්මය සුරක්‍ෂිතව පවතින. තවමත් මේ දේශයයි උතුම් මහ සංඝරත්නය ජීවමානව වැඩසිටින. තවමත් මේ කාලයයි ලෞකික සම්මාදිට්‌ඨීය සකස්‌ කරගත් මව් කුසක මව් පදවිය ලැබීමට…..

පෙර ජීවිතයේ සුගතියේ සිට සුදුසු කාලය බැලීමෙන්ම ලැබූ උපතක්‌ මේක.

ළමා කාලය කියන්නේ, වැඩිවියට පත්වීමෙන් පසු විපාක පිණිස සකස්‌වෙන, අකුසල් ගොඩක්‌ සිද්ධවෙන කාලය. අම්මා, තාත්තා, ගුණවත් ගුරුවරුන්ගේ, ගුණවත්භාවය නිසාමයි ඒ අකුසල් දරුවන්ට සිද්ධවෙන්නේ. දෙමාපිය ගුරුවරුන්ගේ ගුණයන් ඒ තරමටම ශේ්‍රaෂ්ඨයි. ළමා කාලයේදී අපට උගන්වපු ගුරුවරු පන්ති කාමරයේදී අධ්‍යපන කටයුතු අතපසු කළහම ගහපු වේවැල් පාරවල් මේ මොහොතේ මතකයට නැගෙන විට ඒ ගුරුවරුන් උදෙසා ගරුත්වයක්‌මයි සිත තුළ සකස්‌ වෙන්නේ. මේ සටහන් කරන සෑම අකුරක්‌ම ගුරුවරයාගෙනුයි ඉපදුනේ. ගමේ පන්සලේ ලොකු ස්‌වාමීන් වහන්සේ ළගට ගිහිල්ලා මුලින්ම අකුරු කරන්නට ‘අ, ආ’ ඉගෙන ගන්න දවසේ අම්මා, තාත්තලා කොතෙක්‌ නම් බලාපොරොත්තු දරුවන් තුළින් ඇතිකර ගන්නවාද? තමන්ගේ දරුවා රෝහලේ ඇදක්‌ මත සැත්කමක්‌ කිරීම හේතුවෙන් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙනවිට මේ දරුවාගේ තාත්තා පුතුට සමීපවෙලා කියනවා ‘පුතේ ඔබ වෙනුවෙන් අපායට යන්න වුණත් මම ලැහැස්‌තියි’ කියලා. දරුවා කෙරෙහි ඇති ලෙන්ගතුභාවය නිසාම මේ තාත්තාට අපායේ ඇති ගිනි රස්‌නය අමතකව ගියා. ගින්දර යෝධිය අමතක කරන්න පුළුවන් ශක්‌තියක්‌ දරුවන් වෙනුවෙන් අම්මා, තාත්තා තුළ තිබෙනවා. මේ අයෝමය ශක්‌තියට අකීකරුභාවයෙන් ළමා ඔබ අභියෝග කරන්න නරකයි. ළමා කාලයේ අපි අතින් සිදුවෙන වැරදි හඳුනා ගැනීමට අපහසුයි. බරපතළ බවක්‌ නොහඟවාම ඒවා අපිට මගහැරී යනවා. මේ අකුසල් විපාක පිණිස සකස්‌ වෙන්නේ දරුවා වැඩිවියට පත්වුණාට පස්‌සේ.

ඉහත කාරණය නුවනින් විමසලා දරුවන් තමන් තුළ දෙමාපියන්ට, ගුරුවරුන්ට අකීකරු සිතක්‌ පහළ වනවිට එය අනිත්‍ය වශයෙන් දැකලා එම සිත අතහැර දැමීමට දක්‍ෂනම්, ඔබ ඔබේ ළමා ජීවිතය අකුසලයන්ගෙන් ඈත් කර ගත් ජීවිතයක්‌ බවට පත්කර ගත්තා වෙනවා. මේ සටහන ලියන්නේ පාසල් දරුවෙක්‌ ඇසුව ප්‍රශ්නයකට පිළිතුරක්‌ වශයෙන්. එම නිසා දරුවන්ගේ ජීවිතයට අදාළවයි මේ පිළිතුර. වැඩිහිටියන් මේ පිළිතුර තමන්ගේ ජීවිතයට ගලපා ගන්න එපා. දරුවෙක්‌ තුළින් අපි මුලින්ම උත්සහ ගත යුත්තේ ඔහුට ලෞකික සම්මාදිට්‌ඨීය සකස්‌කර ගැනීමට අවශ්‍ය මාර්ගය සකස්‌කර දෙන්න. අපිට දරුවාට කියන්න බැහැ ජාති, ජරා, ව්‍යධි, මරණ ගැන පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය ගැන. ඉහත කාරණාවලටයි දුකයි කියලා කියන්නේ කියලා. මොකද එච්චර දුරක්‌ හිතන්න එම දරුවන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා නැහැ. එම දරුවාගේ ඉන්ද්‍රිය ධර්මයන් ක්‍රමානුකූලව දියුණු කරගන්න අපි උපක්‍රමශීලී වෙන්න අවශ්‍යයි. එවිටයි අපිට පුළුවන් වෙන්නේ දරුවා තරුණ වියට පත්වෙන විට ලෞකික සම්මා දිට්‌ඨීය සකස්‌කර ගත් දරුවෙක්‌ බවට පත්කර ගන්න. මෙතනදී දරුවා අධ්‍යපන කටයුතු වෙනුවෙන් උදාසීන අලසභාවයක්‌ ඇතිකර ගතහොත් එයයි ‘දුක’ ලෙසින් තේරුම් ගතයුතු කරුණ. අධ්‍යපනය අඩාල වුණොත් අනාගතයේදී යහපත් පුරවැසියෙක්‌ ශක්‌තිමත් ආර්ථිකයක්‌ සහිත ජීවිතයක්‌ අහිමි වෙනවා. දෙවනුව දකින්න මේ ‘දුක’ කුමක්‌ නිසාද සකස්‌ වෙන්නේ කියලා. දෙමාපියන්ට ගුරුවරුන්ට අකීකරුභාවය නිසාමයි. එහෙනම් ඔබ ඉහත දුකෙන් මිදෙන්න මේ අකීකරුභාවයෙන් මිදෙන්න ඕනේ. ඒ සදහා ඔබ ගමන් කළ යුත්තේ දෙමාපියන් ගුරුවරුන් කෙරෙහි කීකරුභාවය ඇති කර ගනිමින්. නිරතුරුවම උදේට තේරුමක්‌ ඇතිව පංචශීලය සමාදන් වෙමින් එම ශිල්පද ආරක්‍ෂා කර ගනිමින්. සවසට නිතිපතා දෙමාපියන් සමග ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මල් පහන් පුජා කරමින්, වන්දනා කරමින් තෙරුවන් කෙරෙහි සද්ධාව සකස්‌ කරගන්නා මාර්ගය තුළ ඔබ ගමන් කරන්න ඕනේ. පාසලේ, පංසලේ පිංකම්වලට ක්‍රියාත්මකව දායක වෙන්න ඕනේ. පුළුවන් ආකාරයට මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඉහත කාරණා පිංවත් ළමා ඔබට පහසු ආකාරයට ජීවිතයට ළංකර ගතහොත් ඔබ තරුණ වියට පත් වනවිට ධර්මයේ අවබෝධාත්මක දිශාවකට අවශ්‍ය ඉන්ද්‍රිය ධර්මයන් ඔබ තුළ වැඩිලයි පවතින්නේ.

ලෞකික සම්මා දිට්‌ඨීය සකස්‌කරගැනීමට අවශ්‍ය තෙරුවන් කෙරෙහි විශ්වාසය, කර්මය කර්ම ඵල කෙරෙහි විශ්වාසය, දානයේ ශීලයේ ආනිශංස පිළිබඳ විශ්වාසය, අම්මා තාත්තාගේ ගුණය පිළිබඳ විශ්වාසය, මරණින් මතු උපදිනවාය කියන විශ්වාසය ඔබ තුළ සකස්‌වෙනවා. ධර්ම මාර්ගය තුළ ගමන් කිරීමෙන් දෙමාපියන්ට, ගුරුවරුන්ට කීකරුභාවයත්, කීකරුභාවය නිසාම ගුණාත්මක අධ්‍යාපනයකුත්, මේ සියල්ල හේතුවෙන් ලෞකික සම්මාදිට්‌ඨිය සකස්‌කරගත් ගුණාත්මක වැඩිහිටියෙක්‌ බවටත් ඔබ පත්වෙනවා.

මෙතැන ඉදන් ඔබට පුළුවන් ඔබට අවශ්‍ය ආකාරයට ධර්ම මාර්ගයේ පෙරට යන්න. ඉහත මාර්ගයේ හික්‌මීමෙන් ඔබ පෙරට පැමිණියොත් පමණයි තරුණ ජීවිතයේදීම චතුරාර්ය සත්‍යය ධර්මයේ සැබෑම අර්ථය ඔබ ඔබේ ජීවිතයට එකතු කරගන්න දක්‍ෂ වෙන්න. එසේ නොවුණහොත් පින, පව හඳුනන්නේ නැති අනාගත ලෝකයේ සමාජිකයෙක්‌ වෙන්න ඔබටත් සිදුවේවි.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

4-9 තවත් පුතුන් කුමට පතන්

2013-03-10

තවත් පුතුන් කුමට පතන්?
භික්‍ෂුව හමුවීමට පැමිණි තරුණ තාත්තා කෙනෙක්‌ භික්‍ෂුවගෙන් බොහෝම සංවේදී ප්‍රශ්නයක්‌ ඇහුවා. ‘හාමුදුරුවනේ මම කුඩා දරුවෙක්‌ ඉන්න තාත්ත කෙනෙක්‌ දරුවාගේ වයස අවුරුදු 4යි. මේ පුංචි දරුවා හරිම දඟකාරයි. එයා එක වෙලාවකට සන්ඩුකරනවා. තව වෙලාවක සෙල්ලම් කරනවා. තවත් සමහර වෙලාවට අම්මා සමග ගාථා කියමින් බුදුරජාණන් වහන්සේ වන්දනා කරනවා. මේ දරුවා සෙල්ලම් කරන වෙලාවට නිතරම මම හාවා, මම මුවා, මම අලියා ආදී වශයෙන් සතුන් අනුකරණය කරමින් සෙල්ලම් කරනවා, හැසිරෙනවා’ මේ මහත්මයා අහනවා මගේ දරුවා සතුන් අනුකරණය කරමින් සෙල්ලම් කිරීමට ප්‍රියවීම හේතුවෙන් මගේ දරුවාට යම් ප්‍රශ්නයක්‌ වේවිද කියලා. මේ මහත්මයාට තිබෙන ප්‍රශ්නය තමයි යම් හෙයකින් දරුවා මියගියහොත් එම දරුවා හාවෙක්‌, මුවෙක්‌ වෙලා උපත ලබයිද කියන කාරණය. මේ හේතුව නිසා දරුවාගේ අම්මා දරුවා මම හාවෙක්‌ , මම මුවෙක්‌ කියලා සෙල්ලම් කරනවිට ‘නැහැ මගේ පුතා දෙවියෙක්‌, දිව්‍යාංගනාවක්‌’ කියලා දරුවාගේ මනෝභාවය වෙනත් දිශාවකට යොමු කරනවලු. තම දෑතේ නැළවෙන කුඩා බිළිදා තුළින් අනාගත වෛද්‍යවරයෙක්‌, ඉංජිනේරුවරයෙක්‌, පරම්පරාවේ ගැලවුම් කරුවෙක්‌ බලාපොරොත්තුවන අම්මලා තාත්තලා අතර ඉහත අම්මා තාත්තා සුවිශේෂී වෙනවා.

පිංවත් ඔබ හාවෙක්‌ කියන තැනින් මුදවලා දෙවියෙක්‌ කියන තැනයි සිත පිහිටුවන්න උත්සහ කරන්නේ. ඒ කියන්නේ අනතුරකින් මුදවලා තවත් තවත් අනතුරකටයි ඔසවා තබන්නේ. භික්‍ෂුව දන්නා තරමින් මෙවැනි දෙමාපියන්ට දාව උපදින දඟකාර හුරුබුහුටි ළදරුවෙක්‌ තමන් ප්‍රියකරන සත්ව සංඥාවක්‌ සකස්‌වෙලා මියගියත් එම දරුවා කවදාකවත් තිරිසන් ලෝකයේ හාවෙක්‌, මුවෙක්‌ වෙලා උපත සකස්‌ වෙන්නෙ නැහැ. දිව්‍ය ලෝකයේ උපත දිව්‍ය හාවෙක්‌, මුවෙක්‌, අශ්වයෙක්‌ ලෙස උපතක්‌ සකස්‌වීමට තමයි ඉඩකඩ වැඩිපුර තිබෙන්නේ. දිව්‍යලෝකයේ වැඩසිටින්නේ දෙවියන් පමණක්‌ නොවෙයි. ඒ ආකාරයේ දිව්‍යමය සතුන්ද සිටිනවා.

ඉහත ප්‍රශ්නයේ වඩා වැදගත් දේ වනුයේ දරුවාට පෙර මව්පියන් මියගිය හොත් මව්පියන්ගේ අවසාන සිත තෘෂ්ණාව නිසා කුමක්‌ උපාදානයකොටගෙන සකස්‌වෙයිද කියන එකයි. මොකද පිංවත් මව්පිය දෙපල දරුවා අනිත්‍යයයි කියලා දකිනවා වගේම දරුවාගේ අනාගත සුරක්‍ෂිතභාවයක්‌ ගැනත් සිතනවා. එතනදී බාහිරට ප්‍රකට නොවන උපාදනයක්‌ ඇතුළතින් පෙනෙනවා. මෙන්න මේ ප්‍රකට නොවී සැඟවී තිබෙන උපාදානය මතුකරගන්න දක්‍ෂවෙන්න අවශ්‍යයි. මෙවැනි පිංවත් දෙමාපියන් ‘දරුවා මගේ’ය කියන තැන ඉඳගෙනයි දරුවා සුගතියට ඔසවා තබන්න උත්සහ ගන්නේ.

මෙතැනදී ඔබ දරුවා පටිච්චසමුපන්නව ගන්න. අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණා, විඤ්ඤාණ පච්චයා නාමරූපා……


සුරතල් දරුවා තුලින් හේතුඵල ධර්මයන් දකින්න. මෙතැනදී ඔබ නියත වශයෙන් දකිනවා හේතුන් නිසා සකස්‌වුන, ඔබට අයිති නැති දරුවාව. බිරිඳ ස්‌වාමිපුරුෂයා මතක්‌ වෙන විටත් එම රූප පටිච්ච සමුප්පාදය තුළම විසුරුවා දකින්න. සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නැති හේතුඵල ධර්මයක්‌ දකිනවිට ‘මමය මගේය’ යන දෘෂ්ටියෙන් ඔබ බැහැරට යනවා. එසේ නොවන තාක්‌කල් ඔබ එම අනතුර තුළ සිටිමින්මයි අනතුරෙන් මිදෙන්න උත්සහ ගන්නේ. ඒ නිසා එම පිංවත් දෙපල මේ මොහොතේ තම දරුවාට දිව්‍ය සංඥාවක්‌ සකස්‌කොට දීම අනතුර තුළ සිටිමින්ම අනතුරෙන් මිදීමේ මාර්ගය සෙවීමක්‌ වෙනවා. ඒ නිසා පටිච්ච සමුප්පන්නව දරුවාගේ ජීවිතය දකින්න. දරුවා මට අයිති නැති බව දකිමින් දරුවාට අවශ්‍ය යහපත් මාර්ගය කියලා දෙන්න. නිතිපතා මල්කඩන්න, බුදුපහන පත්තුකරන්න, බුදුසමිදුන් වන්දනා කරන්න, වැඩිහිටියන්ට ගරුකරන්න නිරතුරුවම දරුවාව හවුල් කරගන්න. දෙමාපියන් ධර්ම මාර්ගය තුළ දරුවන්ට ආදර්ශමත් වෙන්න. ළමාවියේ දඟකාරකම් උපේක්‍ෂාවෙන් දකිමින් අනතුරුදායක භාවයන් නුවනින් මෙනෙහිකරමින්, ලැබුණු දරුවා මේ භව ගමනේ අවසාන දරුවා කරගන්න.මේ ස්‌වාමි පුරුෂයා මේ භව ගමනේ අවසාන ස්‌වාමිපුරුෂයා කරගන්න. බිරිඳ මේ භව ගමනේ අවසාන බිරිඳ කරගන්න. දරුවාව කමටහනක්‌ කරගෙන දරුවන්ගෙන් මිදෙන්න. දැඩි චිත්තයක්‌ ඇතිකරගන්න ‘භව ගමනේ අවසාන දරුවායි මා මේ දරන්නේ’ කියලා.

දෙමාපියන්ට අප්‍රමාණ සසර දුක සකස්‌ කරදෙන ලොකුම කාම වස්‌තුව වන දරුවා කෙරෙහි තෘෂ්ණාව හීනව ගිය කල ඔබ සමීපවනුයේ ලෝකයෙන් මිදීයන දිශාවටයි. දරුවා සමාජයට යහපත් දරුවෙක්‌ වශයෙන් හදන ගමන් ධර්මාවබෝධය සඳහා දරුවාද උපකාරයක්‌ කරගන්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දරුවාට කියන්නේ දේවදූතයෙක්‌ කියලා. ඒ කියන්නේ ඔබට භවයෙන් මිදීයන්න පාර කියන දේවදූතයෙක්‌. භවයෙන් මිදීයන්න පාර කියන්න ආපු දේවදූතයෙක්‌ව ඔබ ඔබව භවයට බැඳ තබන වරපටක්‌ බවට පත්කරගන්නවා.

භික්‍ෂුවට කුඩා දරුවෙක්‌ දැක්‌කාම එම දරුවා තුළින් දුක්‌ කන්දක්‌ පෙනෙනවා. භවයේ ගොඩාක්‌ ඈතදුරක්‌ පෙනෙනවා. දරුවාගේ කෙළිලොල්භාවය තුළ සැඟවී ඇති අනතුරමයි පෙනෙන්නේ. තමන්ගේ දඟකාර දරුවා සත්ව සංඥාවන් සකස්‌ කරගෙන සෙල්ලම් කරනවිට එම දරුවා මියගියහොත්, හාවෙක්‌, මුවෙක්‌ වෙලා උපදියිද කියන කාරණය හිතන්න පුළුවන් දක්‍ෂ දෙමාපියන්ට ඉහත කාරණා ජීවිතයට එකතුකර ගන්න අපහසුවක්‌ නැහැ. මොකද ඔබ ධර්මය තුළ සිටින නිසාමයි තම දරුවාවත් ධර්මය තුළින් දකින්නේ. පිංවත් ඔබ දරුවා කෙරෙහි ධර්මානුකූලව දකිනවිට ඉන් සකස්‌ වෙන කුසල් ශක්‌තිය ඔබව ධර්මාවබෝධය දෙසටත් එම කුසල්ශක්‌තිය හේතුවෙන් දරුවාට දීර්ඝායුෂත් අනිවාර්යයෙන්ම හිමිවෙනවා. සැබවින්ම ඔබලා දක්‍ෂ දෙමාපියන්. මෙවැනි සමහර දෙමාපියන් හැමවිටම උත්සහකරන්නේ දරුවා පැවිදි කරලා දෙමාපියන් සැනසෙන්නයි. සැනසෙනවාය කියන කාරණයේදී අපි වඩවා ගන්නේ තෘෂ්ණාවමයි. හැමවිටම ආශ්වාදය නොව, ජීවිතයක යථාර්ථයම ධර්මානුකූලව දකින්න. එතැනදී තමයි ශාසනයක අර්ථය ජීවිතයට එකතු කර ගත්තා වෙන්නේ. මගේ පුතා මේ උතුම් ශාසනයේ පැවිදි උතුමන් වහන්සේ නමක්‌ හැටියට දකිනවාට වඩා එම පුතාවම පටිච්චසමුප්පාද ධර්මය තුළ විසුරුවා දකින්න දක්‍ෂ වුණොත් ඔබගේ පුතා තුළින්ම ධර්මය දැකීමේ ශක්‌තිය ඔබට තිබෙනවා.

භික්‍ෂුවක්‌ සමාධියෙන් වැඩසිටින විට දිව්‍යතලයක වැඩසිටින අජානීය අශ්ව පැටියෙක්‌ දර්ශනය වෙනවා. අඩි තුනක්‌ පමණ උසැති මෙම දිව්‍ය අශ්ව පැටියා කොළ සහ නිල් පැහැයෙන් යුත් වර්ණයෙන් යුක්‌තයි. හරියටම මොනරෙක්‌ගේ වර්ණය. කොඳුනාරටිය දෙපසට නෙරාගිය දිගැති රෝම, රෝමවලින් පිරීගිය වලිගය………….බොහෝම දර්ශනීය දිව්‍ය අශ්ව පැටියෙක්‌. මේ සටහන ලියනවිට මේ දිව්‍ය අශ්ව පැටියා පෙර ජීවිතයේ ‘අශ්වයා ගෝන් ටික්‌ ටික්‌ ටික්‌’ කියන ළමා උපාදානය දරාගෙන මියගිය දරුවෙක්‌ වෙන්න පුළුවන්. භික්‍ෂුව ස්‌ථිරව ඒබව කියන්න දන්නෙ නැහැ. නමුත් ‘උපාදාන පච්චයා භවෝ’ කියන ධර්මතාවය විසින් සත්වයා මෙවැනි උපත්වල සිරකරනවා. මේ කිසිවක්‌ අපිට හිතල ඉවර කරන්න බැහැ. අවබෝධයෙන්මයි අවසන් කර ගතයුත්තේ. තමන්ගේ දරුවා තමන්ට අයිති නැහැය කියලා දකින තැනදි තමා තමාට අයිතිය කියන තැනක්‌ සකස්‌ වෙනවා. පටිච්චසමුප්පාද ධර්මයමයි මේ අවුල අපිට නිරවුල් කර දෙන්නේ.
ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

4.8-ප්‍රේතානුස්‌සතියද? දේවතානුස්‌සතියද?

2013-03-03

ප්‍රේතානුස්‌සතියද? දේවතානුස්‌සතියද?




වර්තමානයේ මනුෂ්‍යයාගේ ආයුෂ ප්‍රමාණය අවුරුදු 75 පමණ වෙනවා. මේ කෙටි ආයුකාලය මනුෂ්‍යයෙක්‌ ගෙවන්නේ මුලින්ම තමන්ගේ දෙමාපියන්ගේ ගෙදර. ආවාහ විවාහ වුණාට පස්‌සේ තමන්ගේ ගෙදරක. වැඩිමහලු වියට පත්වුනාම තමන්ගේ දරුවන්ගේ ගෙදරක. සමහරු ජීවිත කාලයම අනුනට අයිති කුලී ගෙදරක ජීවත්වෙනවා. තවත් සමහරු මහලු නිවාසයක්‌, වැඩිහිටි නිවාසයක්‌ තම අවසාන කාලයේදී නිවස කර ගන්නවා. මේ කොතැනක ජීවත් වුවද පිංවතුනි ඔබ මනුෂ්‍ය ජීවිතය වසර 75ක්‌ වැනි කෙටි කාලයක්‌ තමයි ගත කරන්නේ. මේ කාලය කෙටිය කිව්වේ දිව්‍ය, බ්‍රහ්ම සතර අපාය සමග සසඳලා. ඉහත ලෝකවල ආයුෂ බලන විට මනුෂ්‍යයාගේ ආයුෂ හරිම අල්පයි. මේ මොහොතේ ලෝකයේ දියුණු අති නවීන විද්‍යාගාරවල විද්‍යාඥයින් බොහෝම වෙහෙසෙනවා මනුෂ්‍යයාගේ ආයු කාලය වැඩිකර ගැනීමට ක්‍රමවේදයක්‌ සොයාගැනීමට වැඩිපුර වසර පහක්‌ දහයක්‌ මනුෂ්‍ය ආයුෂ වැඩිකර දෙන්න. එහෙත් අවාසනාව කියන්නේ මේ විද්‍යාඥයින්ට සිතාගන්නවත් බැරි විදිහට ළමා, තරුණ, වැඩිහිටි මනුෂ්‍යයන් සිය ගණනින්, දසදහස්‌ ගණනින් මාරන්තික රෝග, ස්‌වාභාවික විපත් වරින් වර මතුවෙමින් අසරණ ලෙස මරාදමනවා.

මේ වරින් වර මතුවෙන ස්‌වාභාවික විපත් වසංගත රෝග හමුවේ ඉහත විද්‍යාඥයින් හරිම අසරණයි. මේ අසරණභාවයට ඔවුන් පත්වෙන්නේ පතපොතේ දැනුමෙන් සියල්ල දැනගත්තත් ධර්මය නොදකින නිසාමය.මේ අයගේ ඇති අවිද්‍යාවේ පුළුල් දැනීම් සම්භාරය නිසා හිතනවා මනුෂ්‍යයෙක්‌ යනුá ජීවවිද්‍යාත්මකව ඇතිවුන සත්වයෙක්‌ පමණක්‌ය කියලා. ඉන් එහා කර්මයක්‌, කර්මඵලය ගැන, හේතුඵල ධර්මයක්‌ ගැන ඒ අයට දැනුමක්‌ නැහැ. ඒ නිසා මේ අය නිරතුරුවම උත්සාහගන්නවා තමා උපාදානය කරගත් තම දැනුම උපයෝගිකරගෙන ඇතිකරගත් මමත්වයේ දැඩිභාවය නිසාම මිනිහාගේ ජාති, ජරා, ව්‍යාධි, මරණ පාලනය කරන්න. මේ උත්සාහය නිරර්ථක උත්සාහයක්‌.

හැබැයි මනුෂ්‍යයින් හැටියට අපිට සතුටුවෙන්න පුළුවන්. මන්ද, සතර අපායේ සත්වයා විඳින දුක, වේදනාව, කටුක බව සමග සසඳා  බලන කොට මනුෂ්‍යයා යනු සැපවිඳින පිරිසක්‌මය. අනාථ කඳවුරක කැඳ උගුරක්‌ පමණක්‌ ලැබී ජීවත් වන මනුෂ්‍යයාද විඳින්නේ සැපයක්‌මය. අවිද්‍යාවේ ක්‍රමවේදයන් විසින් පුහුණුකරන ලද ඉහත විද්‍යාඥයින් ආචාර්ය, මහාචාර්ය මහත්වරුන් සත්වයා සතර අපායේ විඳින දුක්‌ වේදනා දකින්නේ නම්, අවිද්‍යාව නිසා සතර අපායේ තමා උපදින බව දන්නේ නම් ඔය පර්යේෂණ සියල්ල නවතා දමා සතර අපායෙන් මිදීමේ ආර්ය පර්යේෂණයේ යෙදෙනවා නියතය.

භික්‍ෂුව ඉහත සටහන් කළේ පසුගිය වස්‌ කාලයේදී භික්‍ෂුව වැඩ සිටිය රුහුණු ප්‍රදේශයේ කැලෑබද ආරණ්‍යය භූමියේදී භික්‍ෂුවට දර්ශනය වූ ප්‍රේත සන්නිපාතයක්‌ ගැන ඔබව දැනුවත් කිරීමටය. භික්‍ෂුවගේ භික්‍ෂු ජීවිතයේදීම වැඩිම ප්‍රේතයින් ප්‍රමාණයක්‌ දර්ශනය වුන කාලය මෙයයි. මෙය කෙටි මනුෂ්‍ය ජීවිතය තුළින් ලබන ප්‍රේත ජීවිතයේ දීර්ඝ බව කියන කථාවක්‌. භික්‍ෂුව සමාධියෙන් පසුවන විට ප්‍රේතයින් සියය, දෙසියය දර්ශනය වුනා. මේ සෑම ප්‍රේතයෙක්‌ම ඉතාමත් විකෘති ප්‍රේතයින්. එක්‌කෙනකුට එක්‌කෙනෙක්‌ විකෘතියි. විකෘති මුහුණු, විකෘති හිස්‌ ප්‍රේත ලෝකයේ අත්විඳින ආදීනවයන්ගේ විවිධත්වය හොඳින් දකින්න පුළුවන්. මේ හැම ප්‍රේතයෙක්‌ම උඩු කයට ඇඳුමක්‌ නැතිවයි සිටියේ. යටි කය වසාගෙන සිටියෙත් කෙටි සරොම් කැබැල්ලකින්. පිනක්‌ දහමක්‌. දැකල, ලැබිල, නැති එවැනි සංඥා නුහුරු ඒ නිසාම අනන්ත දුක්‌විඳින විකෘති, අවිචාරවත් ප්‍රේත සන්නිපාතයක්‌. මේ ප්‍රේතයන්ගේ පිං මද අසරණභාවය දැකලා මේ අය අරමුණු කරලා පිං අනුමෝදන් කළා.

භික්‍ෂුව සොයා බැලුවා මේ තරම් අසරණ ප්‍රේත සන්නිපාතයක්‌ එම ප්‍රදේශයේ සිටින්නේ ඇයි කියලා. මේ අවස්‌ථාවේ කල්‍යණමිත්‍ර ස්‌වාමීන්වහන්සේ නමකගෙන් පහත තොරතුරු දැන ගන්නට ලැබුනා. මේ යාල වනෝද්‍යානය ආශ්‍රිත ප්‍රදේශ අතීතයේ සශ්‍රික ගොවිබිම් සහිත ජනාකීර්ණ ජනාවාස සහිත ප්‍රදේශයක්‌. බැමිනිතියාසාය පැමිණි වෙලාවේ මේවායේ ජීවත්වූ ජනතාව. ඒ දුෂ්ට බමුණා විසින් ඒ අයගේ ගොවිබිම් කුරිරු ලෙස විනාශ කරලා ජනතාව අමු අමුවේ ඝාතනයකර තිබෙනවා. ඉන්පසුව මෙම ප්‍රදේශ කැලයට ගිහිල්ලා. මේ අවාසනාවන්ත ලෙස මැරිච්ච මිනිස්‌සුන්ට පිනක්‌ අනුමෝදන් කරන්න කෙනෙක්‌ ඉතුරුවෙලා නැහැ. තමන්ගේ ගොවිබිම්, දුවා දරුවන් කෙරෙහි ඇතිකරගත් ඡන්දරාගය, ආක්‍රමණිකයන් කෙරෙහි ඇතිකරගත් වෛරය, ක්‍රෝධය  සමග අවසන් හුස්‌ම හෙලා තිබෙනවා. ඔබම හිතන්නකෝ, තමන්ගේ නිජභූමියේ ගොවිතැන් කරගෙන ජීවත්වුන ගම්වැසියන් ආක්‍රමණිකයන් සියල්ල විනාශකරදමා ගිනිබත් කරනවිට හදවතේ ඇතිවන වෛරය, ක්‍රෝධය , තෘෂ්ණාවේ ගිනිදලු ගෙවල් දොරවල් භවබෝග ගිනිගෙන නැගෙන ගිනිදලුවලට වඩා ප්‍රබලයි නේද? ගම්බිම් කෙත්වතු දවා අළු කළ ගින්න මොහොතකින් නිවී ගියද ඒ අය මැරෙන මොහොතේ හදවතේ අවුළුවාගත් වෛරයේ, ක්‍රෝධයේ ගින්න තවමත් නොකඩවාම ඒ අයව පීඩාවට පත්කරනවා. නිවී යන ගින්නක්‌ උදෙසා බුර බුරා නැගෙන දුක්‌ගින්නක්‌ ‘මගේ’ කරගන්නවා. ඉහත අවාසනාවන්ත ප්‍රේතයින් ලෙස උපත ලබා තිබෙන්නේ අතීතයේ මේ ගම් බිම්වල ජීවත්වුන මිනිස්‌සු කියලා භික්‍ෂුව අනුමාන කරනවා. ආහාර, ඇඳුම් අහේනිය නිසා ඉණ දවටාගත් සරම් කැබැල්ල පිටින්ම ප්‍රේත ලෝකයේ උපදින්න ඇත්තේ ඒ නිසා විය යුතුය. කැලයේ දඩයමේ යන, මීවද, ඖෂධ සොයන්න කැලේට වදින මිනිස්‌සු නොයෙක්‌ හේතූන්ගෙන් මියයනවා. මෙවැනි මිනිස්‌සුද මැරෙන්නේ වෛරයෙන් බියෙන් නිසා විකෘති ස්‌වභාවයන් පිහිටන්න පුළුවන්. භික්‍ෂුවට දර්ශනය වූ ප්‍රේතලෝකයේ ප්‍රේතයින්ගෙන් ඉතාමත් අපුලම ප්‍රේතයින් මේ ප්‍රේත සන්නිපාතයතුළ සිටියා. එය විකෘතියේ ලෝකයක්‌. එක ප්‍රේතයෙක්‌ භික්‍ෂුව ඉදිරියේ වැඩි වේලාවක්‌ දර්ශනය වුණා. භික්‍ෂුව ඔහුගෙන් ඇසුවාම ඔබ කවුද කියලා මේ ප්‍රේතයා ගොතගසන ස්‌වභාවයෙන් වචන පිටකරන්න උත්සාහ කළා. භික්‍ෂුවට තේරුණේ ‘කථාකරන්න බැහැ’ කියනවා වගේ. එහෙම කියන විටම දැක්‌කේ එම ප්‍රේතයාගේ උඩුතොල සහ යටිතොල කට වටේම කුණුවෙලා හරියට හොරිදාල වගේ කට කුණුවෙච්ච ප්‍රේතයෙක්‌. මේ ප්‍රේතයාට කවුරුන් බෙහෙත් කරන්නද? කවුරුන් සුවදුක්‌ විචාරන්නද? කට කුණුවෙච්ච වේදනාව විඳිමින් කර්ම විපාක ගෙවනවා.

වචනය සංවර කර නොගත් නිසා මුසාවාද, පිසුනාවාච, පරුෂවචන, සම්පප්‍රලාප භාවිතාකළ නිසා අනුනට දුන් දුක තමන් ප්‍රේත ලෝකයේ විඳිනවා. මේ කථාව කියවලා ඔබ දැන් හිතන්න ඕනේ මේ ප්‍රේතයා විඳින දුක ගැන නොවේ. ඒ ගැන හිතලා වැඩක්‌ නැහැ. ඔහුව ගොඩගන්න ඔබට බැහැ. තමා කැමැත්තෙන්ම සකස්‌ කරගත් හේතූන් නිසා ලැබුණු ඵලය තමා ප්‍රේතයා විඳින්නේ. මේ දුක අහල ඔබ කල්පනාකරන්න ඕනේ ඔබේ වචනයත් සංවරද කියලා. සමහර පිංවතුන්ගේ දිව හරියට දැලිපිහියක්‌ වගේ. සමාජයේ සෑම ක්‍ෂේත්‍රයකම තමාගේ පැවතීම, බලය, ආත්මගරුත්වය උදෙසා මේ දැලිපිහියෙන් මොනතරම් අහිංසක ජීවිත රිදවනවද? රැවටීමට ලක්‌කරනවාද? විශේෂයෙන් දේශපාලනයේදී එහෙම…..

සමහර දිනවල භික්‍ෂුව උදේට පිණ්‌ඩපාතේ වඩිනවිට ගෙවල්වල ක්‍රියාත්මක කර ඇති රේඩියොවේ බොහෝම වේගවත්ව අදහස්‌ ප්‍රකාශ කරනවා ඇසෙනවා. ඒ හඬවල්වල ඇති තියුණු, වේගවත්, ප්‍රහාරාත්මක බව ඇසෙනවිට එම හඬවල් අයිති අයිතිකරුවන් මොනතරම් දේවල් ඡන්දරාගයෙන් අයිතිකරගෙන තිබෙනවාද? තව අයිති කරගැනීමට බලාපොරොත්තු වෙනවාද? ඒවා රැකගැනීමට උත්සාහ ගන්නවාද කියල පෙනෙනවා. ඔබ අනුන්ව හදන්න යන්න එපා. මේ අවිචාරවත් දුක්‌දෙන ප්‍රේතලෝකය ගැන සිතලා බිය ඇතිකරගන්න. ඔබ තනි තනිවම නිවැරැදිවෙන්න. ඔබේ කටින් පිටවෙන වචනයකින් තව කෙනෙක්‌ව රිදවන්නේ, මුලාකරන්නේ නැහැය කියලා. එම විශ්වාසය තුළ ජීවත්වන්න. එවිට ඔබ ඔබටම ලියාගන්නා සහතිකයක්‌ ඔබ ළඟ තිබෙනවා. කට කුණුවෙච්ච ප්‍රේත උපතක්‌ ඔබ නොලබනවා කියලා. මේ ආරණ්‍යයේදී දර්ශනය වු ප්‍රේතයින් අතර තව විශේෂ ප්‍රේත පිරිසක්‌ සිටියා. ඒ භික්‍ෂු සහ භික්‍ෂුණී ස්‌වරූපයේ ප්‍රේතයන්. මේ අය අතර විදේශීය ජාතික භික්‍ෂු භික්‍ෂුණී ප්‍රේතයන් සිටියා. දර්ශනය වුන එක ප්‍රේත භික්‍ෂුණියක්‌ හිස සම්පූර්ණයෙන්ම මුඩුකර සිටියේ. නමුත් හරියට හිස මැද හිසකෙස්‌ රොදක්‌ ඉතිරිකර තිබෙනවා. එක අතකට මිට මොලවා ගන්න පුළුවන් ප්‍රමාණයේ එම කෙස්‌ රොද ගොතලා තිබෙන්නේ. සිව්රු කොටට පෙරවු ප්‍රේත භික්‍ෂුණින් විදේශීය අය බව හොඳින් හඳුනාගත්තා. මේ ප්‍රේත භික්‍ෂු භික්‍ෂුණීන් විකෘති දේහයන් සහිත අය නොවේ. මේ අයට විකෘති ශාරීරික ලක්‍ෂණ නොලැබුනේ යමක්‌ කෙරෙහි ඇති කරගත් ඡන්ද රාගය නිසා ප්‍රේත ලෝකයට බැසගත්තත් තමන් විසින් කරන ලද පුද පුජාවල කුසල් විපාකයන් ක්‍රියාත්මක වීම නිසා විකෘති ස්‌වභාවයෙන් තොර ප්‍රේත ස්‌වභාවයක්‌ ලැබෙන්න ඇතැයි භික්‍ෂුව අනුමාන කරනවා. මේ භික්‍ෂුණී ප්‍රේතයින් හරිම කඩිසරයි. ඒකෙන්ම පෙනෙනවා මොවුන් යමක්‌ නිත්‍යභාවයෙන් ගෙන එය අයිති කරගැනීමට අධික්‍රියාත්මක භාවයෙන් කටයුතු කර ඇති බව.

ඉහත ආරණ්‍ය පුරාවිද්‍යාත්මක සාධක අනුව ප්‍රකාශ වෙනවා අතීතයේ විදේශීය භික්‍ෂු භික්‍ෂුණීන්ගේ අධ්‍යාපනයට කැපවී තිබූ බව. ඔබට පේනවා නේද ගිහි පැවිදි භේදයකින් තොරව දේශීය විදේශීය භේදයකින් තොරව අපි ගිහින් පදිංචිවෙන ස්‌ථානයක්‌ තමයි කියලා ප්‍රේත ලෝකය. විදේශීය රටවලින් ඇවිල්ලත් මහණකම නොවේ කරල තිබෙන්නේ. බුද්ධානුස්‌සතිය, ධම්මානුස්‌සතිය, සංඝානුස්‌සතිය, නොවේ වඩල තිබෙන්නේ ‘ප්‍රේතානුස්‌සතිය’ යි. මොවුන් අතහැරීම නොවේ කරල තිබෙන්නේ. මොවුන් මේ අල්ලාගෙන ඉන්නේ කුමක්‌ද? ආරණ්‍යයද, පන්සලද, ඉඩකඩම්ද, සිව්පසයද, පූජාවස්‌තුද මේවා නොවේ. මේවාට වර්තමානයේ අයිතිකරුවන් සිටිනවා, බලධාරීන් සිටිනවා. එසේ නම් මොවුන් මේ වසර එක්‌දාහස්‌ තුන්සීයක්‌ වැනි අතීතයක සිට මගේ කර අල්ලාගෙන බොහෝම කඩිසරකමින් ප්‍රේත ලෝකයේ ජීවත්වන්නේ රූපය කෙරෙහි තමා තුළ ඇති වු ඡන්දරාගයයි. රූපය කෙරෙහි ඇති ඇල්මයි. රූපයට ඇති විඳීම ආත්මයක්‌ කරගෙන චීවරයක්‌ දරාගෙන ප්‍රේත ලෝකයේ ජීවත්වෙනවා. මේ අයට වෙහෙස බවක්‌ පෙනෙන්නේ නැහැ. මෙතැනින් මිදෙන්න අවශ්‍ය බවක්‌ පෙනෙන්නෙ නැහැ. ඒක හරියට මේ වගේ දෙයක්‌. පිටකොටුවේ යාචක අම්මා කෙනෙක්‌ ඉන්නවා. තම කුඩා දරුවත් සමග ජීවත්වන්නේ සිඟා කාලා. නිදාගන්නේ කඩ පිලක. ධනය තිබෙන මහත්මයෙක්‌ ඇවිල්ලා මේ යාචක අම්මාගෙන් දරුවා හදාගන්න ඉල්ලනවා. පාසල් යවල හොඳට උගන්වන්නම්, අනාගතය බාර ගන්නම් කියලා. ඒත් ඒ යාචක අම්මා දරුවා දෙන්නේ නැහැ. ඒ යාචක අම්මා දන්නේ නැහැ දරුවා දුක්‌ය විඳින්නේ කියලා. ඒ යාචක අම්මාගෙයි දරුවාගෙයි කර්ම ශක්‌තිය සැපය කර අල්ලාගත් උපාදනය. ප්‍රේත භික්‍ෂුණීන්ගේ ස්‌වභාවයත් එසේමයි. ප්‍රේත ලෝකයේ උපතක්‌ යනු කර්ම විපාකය නිසා සකස්‌වන ඔබගේ කැමැත්තයි. එය හරියට මත් වතුර පානය කර කාමයේ වරදවා හැසිරීම නිසා මාරාන්තික රෝගයන්ගෙන් විනාශවන ජීවිත වගේ ඔවුන් සැපයක්‌ කර අල්ලා ගන්නේ දුකක්‌ය. කෙටි ආශ්වාදයත් දීර්ඝ ආදීනවය යන දෙකම තමාම විඳිය යුතුය. කෙටි ආශ්වාදයට ඇති ඡන්දරාගයá ඔබට දීර්ඝ ආදීනවය වසන් කරයි. මත්වතුර කෙරෙහි තෘෂ්ණාව ඇතිකරගත හොත් ඔබේ විනාශයත්, ඹෘෂධිය පානයක්‌ කෙරෙහි ඔබ තෘෂ්ණාව ඇති කරගත හොත් ඔබේ සැපයත් ඇතිකරයි. විනාශයත් සැපයත් දෙකම ඇතිකර ඇත්තේ තෘෂ්ණාව විසින්මය. මේ හේතුඵල ධර්මයන් ඔබේ ජීවිතයට ගලපා ගැනීමට ඔබට හැකියාව ලැබෙන්නේ ධර්මයේ හැසිරීම තුළින්මය. ප්‍රේත ලෝකයේ විකෘති දුක්‌ බව, විවිධත්වය යෑයි කියන්නේ මනුෂ්‍යයා විසින් කරගන්නා කාය, වචී, මනෝ කර්මවල විවිධත්වයයි. එහි ඵලයයි. ප්‍රේත ලෝකයේ දුක යනු ඔබගේ අකුසල් කර්මයන්ගේ ප්‍රතිබිම්බයයි. එය හරියට කණ්‌නාඩිය ඉදිරියට ගොස්‌ ඔබ දකින ඔබගේම රූපය වගේය. ඔබ ඔබටම වගකිව යුතුය. ඔබ බියවිය යුත්තේ ප්‍රේත ලෝකයේ උපතකට නොවේ. ප්‍රේත ලෝකයේ උපතකට හේතුවන අකුසල කර්මයන් සිදුකිරීමටය. ඔබ අතින් එවැනි අකුසල කර්මයක්‌ සිදුනොවේ නම් ඔබ සතර අපායෙන්ම නිදහස්‌වීමේ සුදුසුකම ලබයි. එය ඔබට ලොව්තුරා බුදුසමිඳුන් ලබාදෙන සහතිකයයි. මනුෂ්‍යලෝකයේදී ඔබ කාමයන් තුළින් කෙටි ආශ්වාදයක්‌ හෝ ලබන නමුත් බහුතරයක්‌ ප්‍රේතයින්ට මේ කෙටි ආශ්වාදයද අහිමිය. යම් හෝ කෙටි ආශ්වාදයක්‌ ලැබුණද එය ඒඩ්ස්‌ රෝගියෙක්‌ සමග කාමයේ වරදවා හැසිරුණු අයෙක්‌ ලබන සැපය වගේය. ඒ කෙටි ආශ්වාදය උදෙසා මුළු ජීවිත කාලයත්, පරලොවත් එහි ආදීනවයන්ගෙන් වන්දි ලැබිය යුතුය. ආශ්වාදය ලැබුවේ විනාඩි 05 කාලයක්‌ වීමට පුළුවන. එහි ආදීනවය කල්ප ගණනාවක්‌ දීර්ඝවීමට පුළුවන. මේ කෙටි සැපය සහ දීර්ඝ ආදිනවය අවිද්‍යාව නිසාම ඔබ ස්‌වකැමැත්තෙන්ම තෝරාගත්තෙකි.

ඔබම කල්පනාකර බලන්න ඉහත සිදුවීම් ඔස්‌සේ පසුගිය වසර 40ක පමණ කාලය තුළදී උතුරු නැගෙනහිර යුද කලාපවල ඝාතනය වන ලද සෑම ජාතියකම මිනිසුන් ප්‍රමාණය දෙස බලන විට මොන තරම් අසරණ ප්‍රේතයින්, ප්‍රේතියන්, යක්‍ෂයන් ඔය ප්‍රදේශවල දුක්‌විඳිනවා ඇතිද? සරණක්‌ පිහිටක්‌ නොමැතිව ද්වේෂය, වෛරය තව තවත් වඩමින්…. ජීවත්ව සිටින මනුෂ්‍යයින් ඉන්න වෛරය, ද්වේෂයට වඩා මියගිය නොපෙනෙන ලෝකයේ සත්වයින්ගේ වෛරය, ද්වේෂය අධිකය. මන්ද ඔවුන්ගේ වෛරය, ද්වේෂය ඇවිළෙනවා මිස නිවීමට අවශ්‍ය සාධක සතර අපායේ නොමැති නිසාය. ඔවුනගේ දහම අධර්මයයි. ඔවුන් දන්නා ගුණධර්මයක්‌ නැත. ජීවත්ව සිටින මිනිසුන් සුත මුදිත කරනවා වගේම නොපෙනෙන ලෝකයේ සිටින වෛරය, ද්වේෂය වඩන සත්වයින්ද සුවපත්කිරීම වැඩදායකය. හැබයි මේවා ඉවරයක්‌ කළ නොහැකි වැඩය. හොඳම දෙය හැකි උපරිම ශක්‌තිය යොදා ඔබ සතර අපායෙන් මිදීයාමය. එහෙත් සෑම විටම ඔබ තෝරාගන්නේ මෙහි කන පිටය. තමා තමාට මෛත්‍රිය කරගන්නේ නැතිව අනුනට මෛත්‍රිය කරගන්නට යාමය. ඔබගේ ඇස ප්‍රකෘති ස්‌වභාවයෙන් තිබුණත් ඇසේ සුද වර්ධනය වෙලා නම් ඇස පෙනෙන්නේ නැත. ධර්මය ලෝකයේ පැවතුන ද ඔබ ධර්මයේ සරණ නොයන්නේ නම් එයත් සුද වසාගත් ඔබේ ප්‍රකෘති ඇස්‌ දෙක වගේය. අපි එයට අවිද්‍යාවේ අන්ධභාවයයි කියමු. එහෙත් ඔබ ජාති අන්ධයෙක්‌ නොවන බව තරයේ සිහිතබා ගත යුතුය. සතිය නමැති සැත්කමේ කතුරින් අවිද්‍යාවේ සුද ඉවත් කර සද්ධාව නැමති කාචයක්‌ ඇසට පැලඳුවහොත් ඔබට නැවතත් විද්‍යාවේ ආලෝකය දෙසට ගමන් කිරීමට හැකිවනු ඇත. එහෙත් එයද නැවත මැරෙන ඇසක්‌ බව ඔබ දැනගත යුතුය.

දැන් ඔබට වැටහෙනවා ඇති භික්‍ෂුව මේ සටහන මුලදී සඳහන් කළ අවුරුදු හැත්තෑපහක්‌ ජීවත්වන මනුෂ්‍යයාට වසර පහකින්, දහයකින් තම ආයුෂ දීර්ඝකරගැනීමට විද්‍යාඥයින් මොන පර්යේෂණ සිදු කළ ද ලෝකයා කළ යුතු වඩාත්ම වටිනාම පර්යේෂණය නම් සතර අපායෙන් මිදීමේ පර්යේෂණය කියල. එසේ නොවුනහොත් මිනිසා වැඩිපුර ජීවත්වන සෑම තප්පරයකදීම ඔහු විසින් රැස්‌කරගන්නේ සතර අපායට යාමට අවශ්‍ය සාධකමයි. නවීන විද්‍යාවේ නාමයෙන් කෙරෙන අවිද්‍යාවේ ක්‍රමවේදයන් මනුෂ්‍යයා දුක දෙසටම ඇද දමනවා. සතර අපායටම ගාල් කරනවා.

නවීන විද්‍යාව කියන්නේ, තාක්‍ෂණය කියන්නේ සතර අපායට පිරිස්‌ බලය සපයන නියෝජිතයෝ. ඒජන්තවරු. හැබැයි අවසානයේදී මේ නියෝජිතයෝත්, සේවාදායකයෝත් සතර අපායේම ගාල්වෙනවා. සේවාදායකයෝ ප්‍රේත ලෝකයේ සරොම් කැබැල්ලක්‌ හරි දවටගෙන ඉන්න විට ඒජන්තවරු නිර්වස්‌ත්‍රව ප්‍රේත ජීවිත ගතකරනවා. සේවාදායකයෝ තිරිසන් ලෝකයේ කිඹුලෙක්‌ව ඉපදෙනවිට ඒජන්තවරු කිඹුලා ජීවත්වන ජලාශයේම මාළු වෙලා ඉපදිලා කිඹුලාට ගොදුරු වෙනවා. මොකද කර්ම විපාක ඔය මනුෂ්‍යලෝකයේ වගේ සන්තෝෂමක්‌, අල්ලසක්‌ දීල වෙනස්‌කරගන්න බැරි නිසා. එහෙයින් කයින් ක්‍රියාවක්‌ කිරීමට පෙර, වචනයක්‌ ප්‍රකාශ කිරීමට පෙර, මනසින් සිතුවිල්ලක්‌ සිතීමට පෙර සතර අපායේ දුක ගැන මොහොතක්‌ මෙනෙහි කරන්න. එවිට එම ක්‍රියාව නිවරැදි කරගන්න ඔබට පුළුවන්.

නිවරැදිකරගන්නා සෑම ක්‍රියාවක්‌ පාසාම ඔබ පියවර තබන්නේ සතර අපායට විරුද්ධ දිශාවටය. ඒ දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්ම සුගතීන් දෙසටය.

අපි හොඳින් කාලා, හොඳින් ඉගෙනගෙන, හොඳින් ජීවත්වෙලා හොඳින් මැරිල යමු. මෙය වර්තමාන සමාජයේ ජනප්‍රිය සුන්දර සටන් පාඨයක්‌. සටන් පාඨයක්‌ යනු මුළාවු සත්වයා තම මෝහයේ ස්‌වභාවය ලෝකයාට හඬගෑමය. සටන් පාඨය සුන්දර වුවද ධර්මයෙන් තොරව ජීවත්වන ඉහත පිරිස්‌ ඇත්තෙන්ම හොඳින් හම්බකරලා, හොඳින් කාලබීල, හොඳින් ජීවත් වුණත් ඔබ හොඳින් නිරීක්‍ෂණය කරලා බලන්න මේ කවුරුවත්ම හොඳින් මැරෙන්නෙනම් නැහැ. අනෙක්‌ සියල්ල අවංකවම හොඳින් කෙරිලා. හැබැයි ප්‍රශ්නය හොඳින් මැරෙන්නේ නම් නැහැ. අන්න දුකට බයට පත්වෙලා. ලෙඩ, රෝග, ව්‍යාධීන් හැදිලා. සිහි මුළා වෙලා. තමාට තමාව කරදරයක්‌ පීඩාවක්‌ බවට පත්වෙලා තමයි මේ අය මිය යන්නේ. මෙහෙම මැරිලා නැවත උපදින තැන ගැන මොනවා කථාකරන්නද? නමුත් ලොව්තුරා බුදුසමිඳුන් දේශනාකරනවා යමෙක්‌ ශීලයෙන් පරිපූර්ණ නම් එම පිංවතා සිහිමුළාවෙන් තොරවයි මිය යන්නේ කියල. එයා ජීවත්ව සිටියදීම තමා උපදින සුගතිභූමි දකිනවා. සතුටුවෙනවා. සාධුකාර දෙනවා. මේවා සටන් පාඨ නොවේ. හේතුඵල ධර්මයේ හේතුව ඵලය පැහැදිලියි විවෘතයි. ලෝකයා තෙරුවන් කෙරෙහි සද්ධාවෙන්, ශීලයෙන්, කර්මය කර්ම ඵල විශ්වාසයන්ගෙන් ඈත්වෙන්න ඈත්වෙන්න ලෝකයේ මිනිස්‌ ජනගහණය ශීඝ්‍රයෙන් වැඩිවෙනවා. මෙහි සුවිශේෂ ලක්‍ෂණය තමයි ලෝක ජනගහණය ඉහළ යන විට ථෙරවාදී බෞද්ධ ජනතාවගේ සංඛ්‍යව සීඝ්‍රයෙන් පහළ බසිනවා. ඒ කියන්නේ වැඩිවන හැම උපතක්‌ම සිදුවන්නේ හින්දු, මුස්‌ලිම්, ක්‍රිස්‌තියානි, මහායාන ධර්මය අවිද්‍යාව ධර්මය කරගත්ත මව්කුසක්‌ තුළින්. මෙලෙස බිහිවන ලෝකයා නිරතුරුවම රාග, ද්වේෂ, මෝහයෙන් වෙලාගත් කායික, මානසික, ස්‌වාභාවික ව්‍යසනයන්ගෙන් පීඩාවිඳින, ඉන්ද්‍රියන් පිනවීමට වෙහෙසෙන ජනතාවක්‌ වෙනවා. ඒක ලෝක ධර්මතාවයක්‌. ලෝකය නිරතුරුවම සකස්‌වෙන්නේ දුක දෙසට. සත්වයා විසින් අවිද්‍යාව නිසා අකුසල් කිරීම වැඩි වන තරමට ඒවා විපාක දීමට සුදුසු ලෝකයක්‌ ඉදිරියේ බිහිවන්නේ. මේ ගමන අවබෝධ කර ගන්නේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක්‌මයි. උන්වහන්සේ පිරිනිවී ශාසනය දුර්වලව යන විට මාරපාක්‍ෂික ධර්ම, ලෝකය ඩැහැගන්නවා. මේ මොහොතේ සිදුවෙමින් පවතින්නේ මේ ක්‍රියාදාමයයි. මේ මොහොතේ ක්‍රිස්‌තියානි, මුස්‌ලිම්, හින්දු, මහායාන ආගම්වල විශාල ප්‍රචාරාත්මක ගුණාත්මකභාවයක්‌ බාහිරින් පෙනෙන්නට තිබුණද එම ගුණාත්මකභාවය මායාවක්‌. ථෙරවාදී බුදුදහමට සහ එහි ඉගැන්වීම්වලට මුහුණ දීම සඳහා ඇතිකරගත් ආරක්‍ෂක ක්‍රමවේදයක්‌. අනාගතයේදී නිවන අරමුණුකරගත් සැබෑ ථෙරවාදී බුදු දහම ධර්ම විනය දෙක මාරපාක්‍ෂික ධර්මවලට යට වී යන විට ඉහත ආගම්වල ගුණාත්මක භාවයද පිරිහීයනවා. මොකද ඒ පිංවතුන්ට තරග කිරීමට, අභියෝගයක්‌ එල්ල වීමට නිවන අරමුණු කරගත් මනාව හේතුඵල ධර්මයන් අනුව දේශනා කර වදාළ ධර්මයක්‌ ලෝකයේ නොමැති නිසා. ථෙරවාදී බුදුදහම ලෝකයේ පවතින නිසයි අන්‍ය ආගම්වල ගුණාත්මකභාවයක්‌ සඳහා ඒ අය ක්‍රියාත්මක වෙන්නේ. ඉදිරි ලෝකයේ ස්‌වභාවය නුවනින් දැක ඔබද ලෝකයෙන් එතෙර වීමට අවශ්‍ය සාධක ජීවිතය තුළින් පරිපූර්ණ කරගන්න. තෙරුවන් කෙරෙහි සද්ධාව, ශීලය, දන්දීම ජීවිතයේ කොටසක්‌ කරගන්න. ඔබේ දුවා, පුතා, බිරිඳ, ගේදොර ඔබ ඔබේ ජීවිතයේ කොටසක්‌ කරගෙන ජීවත්වනවා වගේම ඒවායේ සුබසාධනය උදෙසා වෙහෙසෙනවා වගේම එම කටයුතුද අලස නොවී ඉටුකරමින් ඉහත තෙරුවන් කෙරෙහි සද්ධාව, ශීලය, දන්දීම ඔබේ ජීවිතයේ කොටසක්‌ කරගෙන ජීවත්වන්න. අතීතයේ කළ පිංකම් නිරතුරුවම සෑම රාත්‍රියකම මෙනෙහි කරන්න. එම පිංකම් ආරක්‍ෂා කරගත්තා වු ශීලයන් දුන්නාවු දානයන් පිළිබඳ මතකයන් නිරතුරුවම අලුත් කරගන්න. ඔබ සිදුකළ පිංකම් අමතකවයාමට ඉඩ නොදෙන්න. ජීවිතය තුළින් දේවානුස්‌සතිය වඩන්න. ඔබ මේ ගමන් කරන්නේ සතර අපායෙන් මිදෙන දිශාවට බව සිහි කරන්න.

ඉන්ද්‍රජිත් සුබසිංහ