4.7 මරණ බියෙන් තොර මරණයක්‌ උදෙසා

2013-02-17

මරණ බියෙන් තොර මරණයක්‌ උදෙසා



වර්තමානයේ කුමක්‌ද ලෝකය තුළ සිද්ධ වෙන්නේ? සිදුවෙමින් පවතින අපි අකමැති දේවල් නැවත්විය නොහැකිද? එසේත් නොමැතිනම් මේ ලෝකධර්මතාවයන්ද?

තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සකස්‌කර ගන්න. එතකොට ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බැහැරවෙන්නෙ නැහැ. ඔබ ලෝකය දැකල කම්පාවෙන්නෙ නැහැ. ඉපදීම තිබුණ නම් දුක තිබෙනවා. ඒ දුක නේද අපි අත්විඳින්නේ. මනුෂ්‍යයා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ශීලයෙන් ඒවායේ අර්ථයෙන් ඈත්වෙනවිට ඒ හේතුවෙනුයි ආයුෂය පිරිහීමට පත්වෙන්නේ. එහෙමනම් අපි පිළිගන්න ඕනේ අපි තුළින් ඉහත අර්ථයන් අර්ථවත්ව ක්‍රියාත්මක නොවන බව. සමාජය තුළින් ඇසෙන්නාවූ ආදරයේ විරාහවේ හඬ, ළමා තරුණ පිරිස්‌ සීමාවන් ඉක්‌මවා චර්යාවන්ට යොමුවීමේ හඬ, වැඩිහිටියන් මෝස්‌තරකරණයන්ට යොමුවීමේ ප්‍රවනතාවය යනු ආයුෂ පිරිහීමත් සමග ලෝකය තුළ ඇති වන විකෘතීන්ය. මේවා හේතුඵල ධර්මයන්ය. හේතුව ලෝකයා ධර්මයෙන් ඈත්වීමයි. ශීලයට වටිනාකමක්‌ නොදෙන ජනතාවක්‌ බිහිවීමයි.

මෙය බෞද්ධ ජනතාවට පමණක්‌ වන අනතුරක්‌ නොවේ. දුෂ්ශීලභාවය නිසා මුළු ලෝකයාම මුහුණ දෙන අනතුරකි. දැන් අපිට මේ ධර්මතාවයන්

නිවැරැදිකරගන්න බැහැ. මිනිසා විසින් සිදුකරන අකුසල් බහුල බැවින් ඒවා විපාක දීමට සුදුසු ලෝකයක්‌ අපි ඉදිරිපිට ඇති වෙන්නේ. කිරිසප්පයාගේ පටන් මනුෂ්‍යයා කයින්, වචනයෙන්, මනසින් සිදුකරගන්නාවූ අකුසල් කන්දරාව කොතෙක්‌ද? දරුවෙක්‌ දරුගැබේ සිටියදීත්, දරුවා ළදරු පාසලට, පාසලට යැමේදීත්, දරුවා රැකියාවට, විවාහයට, විවාහයෙන් අනතුරුව දරුමුණුපුරන් බලාගැනීම දක්‌වා ලෝභ, ද්වේශ, මෝහ කියන අකුසලයන් කොතෙක්‌ ඔබ අතින් සිද්ධවෙනවාද? සමාජය තුළ තිබෙන තරගකාරීත්වය නිසාම දරුවෙක්‌ නිසා දෙමාපියන්ට, දෙමාපියන් නිසා දරුවෙක්‌ට සැනසෙන්න පුළුවන් ලෝකයක්‌ ඉදිරියේදී බිහිවෙයිද? මෙය අසුබවාදීව Rනාත්මකව ලෝකය දකිනවා නොවේ. මෝහයෙන් තොරව සතියෙන් සිහියෙන් ලෝකය දැකීමේ ක්‍රමයයි මෙහි සටහන් කරන්නේ.

සමහර පිංවතුන්ලා දුක විඳිනවා. ඒත් දුක හෙළිකරගන්න, විවෘතකර දකින්න කැමති නැහැ. ඊට එකම හේතුව අකුසල් විපාකවල බලවත් භාවයයි. අනතුරෙන් මිදෙන දිශාවට යන්න ඉඩදෙන්නෙ නැහැ. අනතුරුවලට කැමැත්තෙන් බැසගන්නවා. රටේ ලෝකයේ සිදුවෙන සිදුවීම් දැකලා බිය ඇතිකරගන්න. එතනදී තමයි ඔබ දුක දැක්‌කා, දුක හඳුනාගත්තා වෙන්නේ. දුක දුකක්‌ බව හඳුනා නොගෙන අපිට බැහැ දුකෙන් මිදෙන දිශාවට යන්න. එක තප්පරයක්‌වත් සතුටුවෙලා බලන්න පුළුවන් ලෝකයක්‌ නොවේ අපි ඉදිරිපිට තිබෙන්නේ. කෙටි ආශ්වාද සතුටු සිතින් පිළිගත්තොත් දීර්ඝවූ ආදීනවයන් පසුපසින් එන බව දකින්න. වර්තමානයට වඩා අනාගත ලෝකය විනාශකාරී ලෝකයක්‌ වෙනවා. මිනිසා ශීලයෙන් පිරිහෙන්න පිරිහෙන්න විවේකීව යමක්‌ සිතිමේ ශක්‌තිය මනුෂ්‍යයාට නැතිව යනවා. පිංවත් ඔබ කලබලනොවී විවේකයෙන් ලෝකය දකින්න. කලබලකාරී බව සහ ඉක්‌මන්කාරී බව ආශ්වාදයේම නිවුන් දරුවෝය. ඔවුන් හුරුබුහුටිය, දඟකාරය. එහෙත් ආදීනවය අපෙන් වසන්කර දුකෙන් අපිව මුලාවට පත්කරයි.

නිස්‌සරණය අතේ දුරින් තිබියදීම විවේකීව, සිහිබුද්ධියෙන්, ඉවසීමෙන් එම කෙටිදුර පියමං නොකොට කෙළෙස්‌ පිරිණු ලෝකයාගෙන්, මාරයාගෙන් ලකුණු ප්‍රසංශා බලාපොරොත්තුවෙන් අපි ගිහිජීවිතයේදීද, පැවිදිජීවිතයේදීද, පැවිදිවෙද්දීද ඉක්‌මන්කාරී වුනොත් ධර්මවිනය ඉක්‌මවා කටයුතු කළොත් එය කාමයන් උදෙසා ආශ්වාදයක්‌ වනවා විනා නිස්‌සරණය උදෙසා මාර්ගයක්‌ නම් නොවන්නේය. අපි වීරවරයන් වියයුත්තේ තරගය අවසානයේදීය. තරගය ආරම්භයේදීම වීරයන් වීමට ගියහොත් ඒ ‘අධිබලාපොරොත්තු’ සහ නොඉවසීම විසින්ම අපගේ ලැබියහැකි ජයග්‍රහණයන් සහ දක්‍ෂතාවයන් මරාදමනු ඇත.

සැබවින්ම ඔබලා දක්‍ෂයන්ය. අදක්‍ෂයන්ට එම දක්‍ෂභාවය විනාශකර දැමීමට ඉඩ නොදීමට පිංවත් ඔබතුමන්ලා වගබලා ගත යුතුය. අදක්‍ෂයාද දක්‍ෂයෙක්‌ බවට පත්කරගත හැක්‌කේ එවැනි ආදර්ශයන්ගෙන්ය. අපතුළ දක්‍ෂභාවය සැඟවී තිබුණිද අප සියල්ලෝම මුලාවූ සත්වයන්ය. අපි අතර ඇති එකම වෙනස මුලාවේ අඩු වැඩිභාවය පමණි. එහෙයින් කිසිවෙකුටවත් වරද පැටවීම නොකළ යුතුය. වැරදි කරන ලෝකය කැඩපතක්‌ කරගෙන ඔබ ඔබේ වැරදි හඳුනාගෙන නිවැරදි වියයුතුය. ලෝකය විවේකීව නිවැරදිව හඳුනාගතහොත් ඔබ ලෝකයට

රැවටෙන්නේ නැත. එතෙක්‌ ඔබ ලෝකය රවට්‌ටන්නේය. අවසානයේ අප සියල්ලෝම රුවටී ඇත්තෙමු.

ඔබ නිරතුරුවම සිතත් එක්‌ක කථාකරන්න. සිතත් එක්‌ක තර්ක කරන්නන. කුමක්‌ ගැනද කථාකරන්නේ දුක ගැන, දුකෙන් මිදීම ගැන.

සැපය ඔබෙන් දුරස්‌කරන සැබෑම සතුරා තෘෂ්ණාව හඳුනාගන්න. කාමයන්ට කැමති සිත ආශ්වාදයම සොයන සිත සතුරෙක්‌ ලෙස දකින්න. ඇසෙන් ලෝකය ඈත්කරන්න. කනෙන් ලෝකය ඈත්කරන්න. මනසින් සිතුවිලි ඈත්කරන්න. මේ ඔබෙන් ඈත් වූයේ තෘෂ්ණාවයි. ඔබව වීරයෙක්‌ කරන තෘෂ්ණාව ඈත්කරන්න. එවිට ඔබට පුළුවන් නිහතමානීත්වයේ පිහිටෙන් පීඩාවකින් තොරව ලෝකය ඉදිරියේ දෙකේ කොළයට වැටෙන්න. දැන් තමයි මොනම තරගයක්‌ වුව ඇරඹීමට හොඳම වෙලාව. හැබැයි මෙතනදී කතාකරන්නේ භවයෙන් එතෙරවීමේ තරගය ගැන. තෘෂ්ණාවෙන් බැඳීයන කල, ආශ්වාදය උදෙසාම ඇදීයන සිත හොඳින් හඳුනාගන්න. එවිට අපිට පුළුවන් වීරයෙක්‌ නොවී ජයග්‍රහකයෙක්‌ වෙන්න. එතෙක්‌ අපි ජයග්‍රහණයක්‌ නොලැබූ වීරයන් වනු ඇත.

ඉක්‌මන් නොවී පිංවත් ඔබ ළඟ දකින්න. ඉක්‌මන් තීරණ දුකෙන් දුකටමයි අපිව පත්කරන්නේ. රූපයන් කෙරෙහි ඇතිකරගන්නා තෘෂ්ණාවේ තරමට අවිවේකය වැඩිවෙනවා. මොහොතක්‌ විවේකීව සිතන්න ඔබ ඔබට අනුකම්පා කරගන්න. ඔබ මේ හම්බ කරන්නේ කාටද? ඔබ මේ වෙහෙසෙන්නේ කවුරුන් උදෙසාද? හෙට උදේට ඔබට කුමක්‌වෙයිද කියන සහතිකය තිබෙනවාද? සංස්‌කාර හේතුවෙන් සකස්‌වුණාවූ විඤ්ඤාණය නැමති ‘කොක්‌කේ’ එල්ලා ඇති රූපයක්‌ මේක. සංස්‌කාර හේතුවෙන්ම කොක්‌ක ප්‍රතික්‍රියා දැක්‌වුව තැනදී රූපය වැටෙන්නේ මහ පොළවට. ඊට වඩාදෙයක්‌ මෙතැන නැහැ. මෙහෙම සිතීම ජීවිතයෙන් පලායැමක්‌ නොවේ. පලායන ජීවිතය සැබෑම අරමුණක්‌ උදෙසා පෙලගැස්‌වීමකි. මේ ගැන සිතන්න විවේකී මනසක්‌ තිබෙන්න අවශ්‍යයි.

සිත විවේකයට කැමති නැහැ. අනිත්‍ය අරමුණක්‌, ධර්ම අරමුණක්‌ මෙනෙහිකරන්න සිත මැලිකරනවා. ඒ නිසයි ගිහිපැවිදි අපි ගොඩාක්‌ වගකීම් කරපින්නාගත්තේ. පන්සලකට ගියත් ආරණ්‍යයකට ගියත් සිල්සමාදන් වෙන්න ගියත් එතන යමක්‌ හදන්න යමක්‌ කරන්න තමයි වඩාත් කැමති. මේවා වැරදි කියලා කියනවා නොවේ. මීටත් වඩා නිවැරුදි දෙයක්‌ ධර්මය තුළ තිබෙනවාය කියන කාරණයයි මේ අවධාරණය කරන්නේ. සිත විවේකයට අකමැති වෙන්නේ පංචනීවරණයන්ට සිත කැමති නිසා. පංචනීවරණයන්මයි ලෝකයේ යථාර්තය ඔබෙන් වසන්කර තබන්නේ. මේ සතුරාගේ ස්‌වභාවය ඔබව මුලාවට පත්කිරීමයි. පෞරුෂත්වය හේතුවෙන්, විශේෂ කුසලතා හේතුවෙන් සමහරවිට මේ මොකුත්ම නොමැතිව තමා තුළ අධිවිශ්වාසයක්‌, මාන්නයක්‌ ගොඩනගාගන්නවා. කාමච්ඡන්දයන් අපිට උපකාරකරනවා අලුත් සැලසුම් ක්‍රමවේදයන් උපක්‍රම තුළින් ඔබව දැනුවත් කරන්න. මේවා ක්‍රියාත්මක භාවයට පත්කිරීමට යැමේදී ඇති වන ජය පරාජයන්හිදී තමයි ඔබ පීඩාවට පත්වෙන්නේ. දැන් ඔබ අවිවේකී මනුෂ්‍යයෙක්‌. ඒ අවදානම තුළ සිටිමින්ම ධර්ම දේශනා අහනවා. පිංකම්කරනවා. භාවනාකරනවා. නමුත් ඒවායේ ප්‍රතිඵල ධනාත්මක නැහැ. නමුත් ඔබ කැමති නැහැ පිළිගන්න ඔබ දුර්වලයි කියලා. ඔබ කැමති කාමච්ඡන්දයන් තුළින්ම තෘප්තිමත්වන පරාසයක්‌ තුළ ධර්මයන් ජීවිතයට එකතුකරගන්න. මෙතනදී අපි රැවටීමට ලක්‌වෙනවා. මොනදෙයක්‌ ගැන අතීතයේ වර්තමානයේ සිතුවද ඒ හැම සිතුවිල්ලක්‌ම හිස්‌දෙයක්‌ පමණක්‌මයි. සංස්‌කාරගොඩක්‌ තවත් සංස්‌කාර ගොඩවල් නිසා තව තවත් සංස්‌කාර රැස්‌කරගන්නවා. සෑම විතර්කයක්‌ම භවගමන දිග්කරගන්නවා.

අවිද්‍යාව විසින් ගොඩනගාදුන් සම්මුති ලෝකය ඇස, කන, නාසය, දිව, මනස, කය සමගයි බැඳී පවතින්නේ. ඇස, කන යනු හිස්‌දෙයක්‌ය යන්න අපි දකින්න දක්‍ෂ වුවහොත් ඇසෙන් දකින සම්මුති ලෝකය හිස්‌දෙයක්‌ය යන්න ඔබ අවබෝධකරගන්නවා. ඇසෙන් ලෝකය බැහැර කරමින් එතකොට ඇස ඇසේ ස්‌වභාවයෙන් පවතීවි. කනෙන් ලෝකය බැහැර කරන්න. එවිට කන කනේ ස්‌වභාවයෙන් පවතීවි. නාසය, දිව, මනස, කයෙන් ලෝකය බැහැර කරන්න. එවිට ඒවා ඒවායේ ස්‌වභාවයෙන් පවතීවි.දැන් ඔබ ලෝකයෙන් මිදුන මනුෂ්‍යයෙක්‌. මෙතන තමයි නිදහස්‌ම තැන. ලෝකයාට බැඳීයනවිටයි දුකට ඔබ බැඳීයන්නේ. මේතැන අවබෝධයෙන් දකින්නයි ඔබ අප්‍රමාණව වෙහෙසෙන්නේ. නමුත් මේ පුංචි දෙය මහමෙරක්‌වගේ දැනෙන්නේ තෘෂ්ණාව කියන එකම කාරණය නිසාමයි. මෙන්න මේ තෘෂ්ණාව නිසාමයි දරුවන් සිතන්නේ තමන් වැඩිහිටියන්ය කියලා. වැඩිහිටියන් සිතන්නේ තවම තමන් තරුණයි කියලා. රූපය කෙරෙහි ඡන්ද රාගය නිසාම ජීවිතවලට වැඩි වටිනාකමක්‌ අධිතක්‌සේරුවක්‌ දෙනවා. මේ අධිවටිනාකම ජීවිතයට ලබාදෙන කිසිවෙකුටත් සුවපහසු මරණයකටනම් යන්න බැහැ. මොකද ඔහු මේ ජීවිතය මැරෙනවාය කියල දකින්න සිතන්න කැමති නැහැ. මරණය කියන්නේ අපි කතාකරනවා, සිනාවෙනවා වගේ ලෙහෙසි පහසු දෙයක්‌, විනෝදකාමී දෙයක්‌ නොවෙයි. ශීලයෙන් අපි පරිපූර්ණ නැතිනම් මරණය කාටත් මරණ දන්ඩනයක්‌ බවට පත්වෙනවා. මරණය කියන්නේ තමන් මගේ කොට අල්ලාගත් සියල්ල අත්හැරදැමීමට සිදුවන අවස්‌ථාවක්‌. මාර සිත ඔබට භවයේ වැඩිදුකක්‌ කරා ඇදදැමීමට අකුසල් සිත් මතුකර දක්‌වනවිට ශීලයෙන් පරිපූර්ණ කෙනාමයි එම මාර අකුසල් සිත් යටපත්කර සුගතියට අවශ්‍ය කුසල් සිත් මතුකර ගැනීමට දක්‍ෂ වෙන්නේ.

මනුෂ්‍යයෙකුගේ අවසාන මොහොත බොහෝම සංකීර්ණ අවස්‌ථාවක්‌. මරණයට ඔබ සුදානම්වී නොසිටියොත් ඔබ අසරණ භාවයට පත්වෙනවා.

දායක මහත්මයෙක්‌ සුනාමි අවස්‌ථාවේදී මුහුණදුන් සිද්ධියක්‌ මෙහි සදහන් වෙනවා. මෙම දායක මහත්මයා වෙද මහත්මයෙක්‌. මොහු පන්සල් යන දානය පුජාකරන බෞද්ධ මහත්මයෙක්‌. වර්තමාන සමාජය ‘බෞද්ධයා’ කියල සඳහන් කරන තැන හිටපු මහත්මයෙක්‌. සුනාමි අවස්‌ථාවේදී සුනාමියට හසුවී විනාශ වු දුම්රියේ සිටි මගියෙක්‌. දුම්රිය මුහුදු වතුරෙන් පිරිලා මොහු වතුරේ ගිලුන වෙලාවේ මොහුට එකපාරටම සිතුවිලි සකස්‌වෙලා තිබෙන්නේ ධර්මය බොරුයි කියලා. බුදුරජාණන් වහන්සේගේ සරණක්‌ නැහැය කියලා. බලන්න මරණීය අභියෝගය ඉදිරියේදී ධර්මයත් ප්‍රතික්‍ෂේප කළා. මේකට තමයි අමූලිකා සද්ධාව කියන්නේ. ජීවිතය ඉදිරියේ අභියෝගයක සෙවනැල්ල, මරණයේ සෙවනැල්ල වැටෙනවිට ධර්මයත් බුදුරජාණන් වහන්සේවත් ප්‍රතික්‍ෂේප කරනවා. මෝහය මුසු ශ්‍රද්ධාව, මුල් ශක්‌තිමත් නොවු සද්aධාව අභියෝග ඉදිරියේ වෙනස්‌වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනාකරන්නේ ශ්‍රද්ධාව කියන කාරණය මේ ලෝකයේ ශ්‍රේෂ්ඨම ධනයයි කියලා. තෙරුවන් කෙරෙහි ගුණයන් දැන පැහැදෙන ආකාරවතී ශ්‍රද්ධාව කවදාකවත් ඔබව මුලාකරන්නේ නැහැ. ඔබ තුළින් වෙනස්‌ වෙන්නෙ නැහැ. එම පිංවත් වෙද මහත්මයා කියනවා දෙවැනි රළපහරට ඔහුව යටවුන වෙලාවේ අතීතයේ සිදුවු සුදුවීම් වේගයෙන් සිතට ගලාගෙන පැමිණියා කියලා. අතීතයේ තමා සමග රන්ඩුවුන මිනිස්‌සු තමා කරගත් ලොභ, ද්වේශ, මෝහ අකුසල් මැවී පෙනෙන්නට පටන් අරගෙන. බලන්න පළමුව මුහුදු රළට යටවුන වෙලාවේ එම අභියෝගය ඉදිරියේ ශ්‍රද්ධාව අහිමිකරගත්තා. දෙවැනි රළපහරෙදි ශ්‍රද්ධාව අහිමිකරගැනීම නිසාම සකස්‌වූ මිත්‍යදෘෂ්ඨිකභාවය නිසාම අකුසල් සිත්, ලෝභ, ද්වේශ, මෝහ සිත් සකස්‌වෙන්න පටන් ගත්තා. නමුත් මොකක්‌aදෝ වාසනාවකට එම වෙදමහත්මයා ජීවිතය බේරාගත්තා. ඔහුම කියනවා ඒ වෙලාවේ මගේ ජීවිතය නැතිවුනා නම් මහාදුකකටයි තමා ඇදවැටෙන්නෙ කියලා. වර්තමානයේ මේ වෙදමහත්මයා අමුලිකා සද්ධාවේත්, ආකාරවතී සද්ධාවේත් වෙනස හොඳින් හදුනාගත් මහත්මයෙක්‌. නමුත් අතීතයේ ඔහුට තිබී තිබුණේ තෙරුවන්ගේ ගුණයන් හොඳින් දැන ඇතිකරගත් ආකාරවතී සද්ධාවනොව අමුලිකාසද්ධාවයි. මේ ගැන පිංවත් ඔබ හොඳින් අවධානය යොමුකරන්න. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුළ නොපිහිටියොත් මිත්‍යදෘෂ්ඨික භාවයමයි උරුමවෙන්නේ.

එම නිසා තමා තමාවම රවටාගැනීමේ සංසාරබිය දැකලා, ලෝකය පත්වීගෙන එන විකෘතිභාවය දැකලා එම ව්‍යසනයෙන් මිදීම උදෙසාම තෙරුවන්ගේ ගුණයන් ඥාණයන් හොඳින් දැන පැහැදීමෙන් ඇතිකරගන්නා සද්ධාවයි පිංවත් ඔබව සැපයට ඔසවා තබන්නේ. මහාවේගයකින් මනුෂ්‍ය ආයුෂ හීනභාවයට පත්වෙමින් විකෘතිභාවයෙන් යුත් පරිසරයක්‌ ලෝකය තුළ ගොඩනැගෙන මෙවන් මොහොතක තරුණ වැඩිහිටි සැවොම ශ්‍රද්ධර්මය තුළින්ම ජීවිතයට සැනසීම සොයන්න උනන්දු වූවොත් කෙටි ආශ්වාදයක්‌ උදෙසා අත්විඳින දීර්ඝ කාලීන ආදීනවයන් වෙනුවට කාමයන්ගේ නිස්‌සරණය දෙසටම පියවර තැබීමට ඔබට හැකිවනු ඇත. මරණ බියෙන් තොර මරණයක හිමිකරුවෙක්‌ වියහැකිය. එසේ නොවුනහොත් ඔබේ මරණයද මරණ දඩුවමක්‌ම වනු ඇත. රජයන්හි අවිහිංසක ප්‍රතිපත්තීන් නිසා මරණීය දණ්‌ඩනය රටේ නීති පද්ධතියෙන් ඉවත්කළද ඔබ වැරදිකරනවානම් ධර්මයේ නීතිය තුළින් මරණය දඩුවමක්‌ම වනු ඇත. මරණයට බිය ඇතිකරගන්න. බියෙන් තොර මරණයක්‌ උදෙසා සද්ධර්මය ජීවිතයකර ගන්න. වර්තමාන සමාජයේ මිනිසුන් මැරෙන මොහොතේ සමහරු අසිහියෙන් මැරෙන්නේ. තවත් සමහරු අකාරුණිකව මැරෙන්නේ. තවත් සමහරු කයිකව, මානසිකව මහා පීඩාවන්ට පත්වෙමින් මැරෙන්නේ. පිංවත් ඔබ මේවා කමටහනක්‌ කරගන්න. හඩමින් මෙලොවට බිහිවුන ඔබට පුළුවන්නම් සිනාසෙමින් සාදුකාරදෙමින් මියයන්න. හේතුඵලධර්මයන් නිසා ඔබ ඊළඟට ලබන ජීවිතය සතුටෙන්, සිනාසෙමින්මයි, සාදුකාරදෙමින්මයි උපත ලබන්නේ. මන්ද ඔබ මව්කුසකට බැසගැනීමෙන් තොරවම ඕපපාතිකව සශ්‍රික දෙවියන් අතර මාර්ගඵලලාභී දෙවියන් අතරම උපත ලබන හෙයින්. දණ්‌ඩනයෙන් තොර මරණයක්‌ උදෙසාත්, හැඩීමෙන්තොර උපතක්‌ උදෙසාත් පිංවත් ඔබ වහා වහා සද්ධර්මය තුළට පෙලගැසෙන්න.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

4.6 ආදීනව නොපෙනෙන අශ්වාදයද ආදරය?

2013-02-10 ආදීනව නොපෙනෙන අශ්වාදයද ආදරය?

Ornamental-Line-Scroll-Art-358132 තවත් වැලන්ටයින් දිනයක්‌ අත ළඟය. මෝහයට මෝස්‌තර දමා ‘ආදරය’ යෑයි ආටෝපයක්‌ සරුවට සමාජගත කරන්නේය. සරු දේ නිසරු වශයෙනුත් නිසරු දේ සරු වශයෙනුත් ගත් අහිංසක තාරුණ්‍යය මුලාවෙන් මුලාවට පත්වන්නේය. සැබෑ සැනසීම වෙනුවට කාමයේ ආශ්වාදය තුළ වැනසීමට පාර කපන්නේය. පරිහානියෙන් පරිහානියට යන ලෝකයේ ඒ ‘නන්නත්තාර’ රැල්ල නැවතීම (හේතු ඵල අනුව) අපට නොහැකිවුවද, සරු දේ සරු වශයෙන් ගලපාගැනීමටත් නිසරු දේ නිසරු ලෙසින් බැහැර කිරීමත් පහසුවක්‌ වනු පිණිස ආදරය ගැන සඳහන් මේ සටහන මෙම සතියේ ඔබට පිදීමට අපි තීරණය කළෙමු.

තාරුණ්‍යය කියන්නේ බොහෝම සුන්දර තැනක්‌. ලස්‌සන, කඩවසම්, ලාලිත්‍යය, රිද්මය, ප්‍රභාෂ්වරබව තාරුණ්‍යයත් එක්‌ක ජීවිතයට එකතුවෙන ධර්මතාවයන්. ශරීරය තුළ කුළුඳුලේ නිපදවන හෝමෝන ක්‍රියාකාරීත්වය නිසා සතරමහා ධාතුව හොඳින් දීප්තිමත්ව හැඩවැඩ වෙන කාලයක්‌ මේ තාරුණ්‍යය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා ‘මහණෙනි, රූපයේ ආශ්වාදයක්‌ තිබෙනවා. මම රූපයේ ආශ්වාදයක්‌ නැහැ කියන්නේ නැහැ’ කියලා.

රූපයේ ආශ්වාදය තමයි නව යොවුන් දරුවෙකුගේ, දැරිවියකගේ රූපයේ ලාලිත්‍යය, හැඩය, ප්‍රභාෂ්වරබව. මෙතන ආශ්වාදයක්‌ තිබෙනවා. ඒ නිසාමයි සත්වයා මේ තාරුණ්‍යයෙන් යුත් රූපයට බැඳීයන්නේ. ඒ රූපය තුළ බැසගන්නේ. මෙන්න මේ රූපයේ ආශ්වාදයට මත්වෙන අපි රූපයේ ආශ්වාදය වගේම රූපයේ ආදීනවයකුත් තිබෙන බව අමතක කරනවා. බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා රූපයේ ආදීනවය තමයි ඔය ප්‍රභාෂ්වර කාන්තිමත් රූපය ක්‍රමාණුකූලව වයෝවෘද්ධභාවයට පත්වීම කියලා.

වයස හැට පිරිණු විට රූපය වැහැරී මහල්ලෙක්‌ මැහැල්ලක්‌ බවට පත්වෙනවා. රූපයේ ආශ්වාදය කියන්නේ බොහෝම කෙටිකාලයක්‌ පවතින දෙයක්‌. නමුත් එහි ආදීනව බොහෝම දිගයි. තාරුණ්‍යය නිසා අපි ඇතිකරගන්නා රාග, ද්වේෂ, මෝහ සිතුවිලි නිසා ආදීනවය කියන කාරණය කල්ප ගණනාවක්‌ දිග වෙන්න පුළුවන්.

තාරුණ්‍යය සමග අත්වැල්බැඳගන්න ධර්මතාවයක්‌ තමයි ආදරය. තාරුණ්‍යයත් ආදරයත් එකතුවෙච්ච තැනදී ආශ්වාදයෙන් මත්වීම නිසාම ආදීනවය දැකීමේ හැකියාව අන්ධවෙනවා. මේ අන්ධභාවය නිසා ඇතිකරගන්නා අනතුරු හේතුවෙන් අහිමිකරගත් ජීවිත, විනාශකරගත් ජීවිත කොපමණද?

තම ජීවිත තුළ රාග, ද්වේශ, මෝහ අකුසල මූලයන් ශක්‌තිමත් කරගන්න සමාජයක්‌ අපි ඉදිරියේ තිබෙනවා. මෙය ධර්මයේ කැඩපතක්‌. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා ක්‍රමාණුකූලව මනුෂ්‍යයාගේ ආයුෂ පිරිහීමට පත්වෙනවා කියලා. ඒ කියන්නේ අනාගතයේදී මනුෂ්‍යයගේ පරමායුෂ අවුරුදු 10 ක්‌ බවට පත්වෙනවාය කියල. එම කාලයේදී වයස අවුරුදු 05 වනවිට මනුෂ්‍යයෙක්‌ විවාහ වෙනවා. වයස අවුරුදු 07 වන විට දරු මුණුපුරන් ලබල මැරිල යනවා. මොකද පරමායුෂ වසර 10 යි. මෙන්න මේ තැනට ලෝකය දැන් යමින් පවතිනවා. අපි මේ රටේ ලෝකෙ සිද්ධවෙන සිදුවීම් දෙස කම්මුලට අත තබාගෙන බලා සිටින්නේ අදහාගන්න බැරුව වගේ. ඒත් මේ අරුමයක්‌ නෙවෙයි. සම්මා සම්බුද්ධ මුවින් දේශණා කළ ලෝකයේ ගමන් මාර්ගයම තමයි.

මනුෂ්‍යයාගේ ආයුෂ කෙටිවෙන්න, කෙටිවෙන්න වර්තමානයේ මනුෂ්‍ය චර්යාවන්ද කෙටි වෙනවා. අද කාලයේ දරුවෙක්‌ වයස අවුරුදු 7, 8 වනවිට වැඩිවියට පත්වෙනවා. ඒ කියන්නේ ලාබාල වයසේදීම දරුවන් වැඩිහිටියන් බවට පත්වෙනවා. ලාබාල වයසේදීම වැඩිහිටිභාවයට අදාල මානුෂික අවශ්‍යතාවයන්ට ඒ අය බැඳී යනවා. ළමා වයසේදීම විරුද්ධ ලිංගිකයන් සමග ආදරයට හා ඒ හා සමාන බැඳීම්වලට ඇදීයනවා. දරුවෙක්‌ තුළින් වැඩිහිටියෙක්‌ මෙන්ම, එහි අනෙක්‌ පැත්ත හැටියට වැඩිහිටියෙක්‌ තුළින් තරුණයෙක්‌ දැකීමට ඔබට සිද්ධවෙයි. මේවා ආයුෂ පිරීහීමත් සමග ඇතිවෙන හේතුඵල ධර්මයන්. මෙය වැඩිහිටි පරපුරට එක්‌තරා අභියෝගයක්‌ වෙන්න පුළුවන්. නමුත් සම්බුදු ධර්මයට අනුව ගලපා බලනවිට මෙතන කිසිම අභියෝගයක්‌ නැහැ. ලෝකය යායුතු ගමන හැඩවැඩ වෙමින් යනවා. නමුත් මේ ගමන දැකලා සතුටුවෙන්ට ඔබට බැහැ. ඔබ කුමන වෙහෙසක්‌ ගත්තද මේ ගමන නවත්වන්නත් ඔබට බැහැ. මේවා හේතුඵල ධර්මයන්ය.

මීට වසර දෙදහස්‌ පන්සියයකට පෙර අවුරුදු 160 ක්‌ ආයු වැළ» බක්‌කුල මහරහතන් වහන්සේ වැඩසිටියා. ඒත් ඒවා දුර්ලභ පාරමී ශක්‌තීන් නිසා සකස්‌වූ ඵලයන්. එදා මනුෂ්‍යයාගේ පරමායුෂ පැවතියේ අවුරුදු 120 යි. නමුත් මේ මොහොතේ වසර දෙදහස්‌ පන්සියයක්‌ ගෙවුන තැනදි මනුෂ්‍යයාගේ පරමායුෂ අවුරුදු 65ක්‌ දක්‌වා පමණ අඩුවෙලා. ඒ කියන්නේ මනුෂ්‍යයෙකුගේ ආයුෂ අඩකට සමාන ප්‍රමාණයකින් අඩුවෙලා. ඒ සා ආයුෂයක්‌ අඩුවන්නට ගතවූ කාලය ලෝකය අස්‌වාභාවිකත්වය කාර්මීකරණය දෝරගලා ගිය යුගයක්‌ නොවෙයි. සරල ස්‌වභාවිකත්වය තුළ ලෝකය පැවති කාලයක්‌. නමුත් ඔබ වර්තමානය අනාගතය තුළ දකින්නේ අතිශය අස්‌වාභාවික කාර්මීකරණය දෝරගාලා ගිය ලෝකයක්‌. රසකාරක, කෘමිනාශක, වල්නාශක…. මත රැඳුණු ලෝකයක්‌. ඒ හේතුව නිසාම මනුෂ්‍යයාගේ ආයුෂ අතීතයට වඩා මහාවේගයකින් හීනවෙනවා. වර්තමාන ලෝකය ගමන් කරන දැඩි කාර්මීකරණය, කෘතිම ආහාරකරණය දෙස බලනවිට තව වසර එක්‌දහස්‌ පන්සියයක්‌ ගිය තැනදි මනුෂ්‍යයාගේ පරමායුෂ අවුරුදු 10 කියන තැනට පත්වීමේ හැකියාව කාටවත්ම බැහැර කරන්න බැහැ. මොකද ගෙවීගිය වසර දෙදහස්‌ පන්සියයට වඩා අතිශය ව්‍යාකූල එක්‌දහස්‌ පන්සියයක්‌ ඉදිරියේ එළඹෙන්නේ.

අපි තරුණ කාලයේදී ආදරය කියන හැඟීමක්‌ අප තුළ සකස්‌ වුනේ අවුරුදු 20 පසුවුණාට පසුව. ඒත් අපි ආදරය ගැන කතාකරන්න බය වුණා ලැ-ජා වුණා. නමුත් වර්තමානයේ අවුqරුදු 15 වනවිට ආදරය කරල ආදරයෙන් පරාජයවෙලා මුහුදට, ගඟට පැනල, වසබීල ජීවිත නැති කරගන්න කොතෙක්‌ තරුණ ජීවිත මේ සමාජයේ ඇතිද? තමාට වූ ආසාධාරණය වසාගෙන ජීවත්වන චරිත සමාජයේ කොතෙක්‌ ඇතිද? මේවායේ ගණන් හිලව් වැඩිවීමක්‌ මිස අඩුවීමක්‌ සිතීම විහිළුවකි.

ලෝකය යමක්‌ සුන්දරයි කියල දැක්‌කහම අපි ඒ සුන්දරත්වයට රැවැටෙනවා. ඔබ සිතන්නේ ඒ සුන්දරත්වය ලෝකයට අයිති දෙයක්‌ කියලා. ඒ සුන්දරත්වය ලෝකයට අයිති දෙයක්‌ නොව ඔබ තුළින්ම එම රූපය කෙරෙහි ඔබ සකස්‌ කරගන්නාවූ ඡන්ද රාගය නිසාම ඔබ තුළ සකස්‌කරගත් සිතුවිලි සමුදායකි. මෙන්න මෙතනදී ඔබ රැවටීමට ලක්‌වෙනවා. මොකද අනුන් නිසා ඔබ තුළින්ම සකස්‌කරගත් හොඳයි කියන මිම්මක්‌, සීමාවක්‌ තුළ සිට ලෝකයාට පුද්ගලයාට බැඳීයනවා. රූපය නිසා තෘෂ්ණාවෙන් බැඳුණ සිතට පුදුමාකාර හැකියාවක්‌ තිබෙනවා ඇඳුමකින් වසා තිබෙන කසළ ගොඩක්‌ රත්‍රං ගොඩක්‌ කරලා දකින්න. මනුෂ්‍යයාගේ ආයුෂ පිරිහෙන්න පිරිහෙන්න මනුෂ්‍යයා සූදානම් නැහැ තමාගේ ආයුෂ අඩුවෙනවාය යන්න පිළිගන්න. එය සද්ධර්මය කෙරෙහි ඇති දුරස්‌ථභාවය නිසාම සිදුවන්නක්‌. එවැනි අය යමෙක්‌ අවුරුදු 50 – 60 ක්‌ ජීවත්වෙලා මැරුනොත් එම මරණයට කියන්නේ අකල් මරණයක්‌, හදිසි මරණයක්‌ කියලා. ධර්මයේ යථාර්ථය, සංස්‌කාරධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය පිළිගන්න සූදානම් නැහැ. තවත් පැත්තකින් මනුෂ්‍යයාගේ ආයුෂ පිරිහෙනවාය කියන කාරණය පිළිගන්න සූදානම් නැති නිසා අවුරුදු 50 – 60 දී ආදරය සොයන කාමය සොයන වැඩිහිටියන්ගේ සමාජයක්‌ බිහිවෙනවා. මොකද මේ අය දකින්නේ තවම පරමායුෂ අවුරුදු 120 ක්‌ පමණය කියලා. මේ අය අවුරුදු 65 න් මියයාමේ බලාපොරොත්තුවෙන් නොවේ සැලසුම් සකස්‌ කරන්නේ. මරණය ජීවිතයෙන් ගොඩාක්‌ ඈතට දමනවා. ඒ කියන්නේ ධර්මයෙන් ඈතට යනවා. පුළුවන් තරම් මරණය ජීවිතය කිට්‌ටුවට ගන්න. එවිට ඔබ ධර්මයට සමීප වෙනවා. කෙනෙක්‌ ධර්මයෙන් හොඳටම දුරස්‌ වුණොත් ඔහු හිතන්නේ නැහැ තමන් මැරෙනවාය කියල. මරණය ගැන හිතන්න බය කෙනා ඉබේම ධර්මයෙන් ඈතට යනවා. බුදුරජාණන් වහන්සේ දේශණා කළ ධර්මය තුළ සිට ලෝකය දකින්න.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

4-5-මේ දුකදැයි සිහියෙන් බලන්න

2013-02-03

මේ දුකදැයි සිහියෙන් බලන්න


වනගත ආරණ්‍යවල හුදකලා වනවාසී කුටිවල වැඩසිටින ස්‌වාමීන් වහන්සේලා ගත කරන්නේ සමහරවිට දුෂ්කර ජීවිතයකි. මෙය සටහන් තබන වේලාවේ භික්‍ෂුව වැඩසිටින්නේ රුහුණු ප්‍රදේශයේ වනගත ආරණ්‍යයකය. මේ වන විට මාස කිහිපයකින් මෙහෙට වැසි නැහැ. පරිභෝජනයට ගන්න තිබෙන වැව් දෙකම හිඳිලා. ඒ හිඳීගිය වැවේ ඇති සුළු වතුර ප්‍රමාණයේ අලින් නානවා, සත්තු වතුර බොනවා, කිඹුල්ලුත් බැසගෙන ඉන්නවා. ලුණු ගතිය වැඩිනිසා මාළුත් මැරිල උඩ පාවෙනවා. ඒ කියන්නේ දිනෙන් දින හිඳෙන සීමිත ජල ප්‍රමාණයට අපවිත්‍ර දෑ මිශ්‍රවෙනව වැඩියි. මෙම ජලය තමයි ‘පිල්ටර්’ කරල සැවොම වළඳන්නේ. ඒ උනත් මේ ජලය පිරිසිදුයි. අපුලක්‌ දැනෙන්නේ නැහැ. සමහර වියළි කලාපයේ ආරණ්‍යවල ජලය හිඟ නිසා ශාරීරික අවශ්‍යතා සඳහාද ජලය සොයා ගන්නේ ගල් වලකින්, පොකුණකින්. බොහෝම තෘප්තියකින් තමයි පිංවත් ස්‌වාමීන් වහන්සේලා මෙහෙම, අවම පහසුකම් වලිනුත් තොරව තම නිවීමේ ප්‍රතිපදාවේ යෙදෙන්නේ. අපේ පිංවත් දායක මහත්වරුන් මෙවැනි භික්‍ෂුන්ගෙන් අසන ප්‍රශ්aණයක්‌ තමයි ‘ඔබ වහන්සේලා කැලයට වෙලා දුක්‌විඳින්නේ ඇයි’ කියලා. භික්‍ෂුවට තේරෙන්නෙ නැහැ ඇයි ඒ පිංවතුන් මෙහෙම අහන්නේ කියලා. කැලේ ජීවත්වන විට සතියකට වරක්‌ තමයි හිස රැවුල බාන්නේ. භික්‍ෂුව දරා සිටින්නේ දුඹුරු පාට චීවරය. වියළි පරිසරය නිසා ශරීරයේ වියළි ස්‌වභාවයක්‌ තමයි දරන්නේ. මේ ස්‌වභාවයන් දැක්‌කම ගිහි පිංවතුන් සිතනවා භික්‍ෂුන් වහන්සේලා දුක්‌විඳිනවා කියල.
එක්‌ අවස්‌ථාවක භික්‍ෂුවට මතකයි මිනිස්‌ වාසයෙන් හුඟාක්‌ ඈත ආරණ්‍යයක වැඩසිටියදී කුටියේ සිට දානයට පිංඩපාත ශාලාවට කැලය මැදින් වඩින විට වන්දනාවේ පැමිණි නඩයක පිංවත් වයස අවුරුදු දොළහක්‌ පමණ දැරියක්‌ පාත්‍රය එල්ලාගෙන පැමිණෙන භික්‍ෂුව දැකලා තමන්ගේ මවගෙන් අහනවා ‘මොකෙද්ද අම්මේ ඒ කියලා’ ඒ කියන්නේ ‘අමුතු සතෙක්‌’ හැටියට තමයි ඒ පිංවත් දැරිය භික්‍ෂුවව දැක්‌කේ. ඒ කථාව ඇසෙද්දී මට හරි නිරාමිස සතුටක්‌ දැනුණා. මට හිතුනා භික්‍ෂුව මේ ලෝකයට අයිති නැති කෙනෙක්‌ය කියලා. භික්‍ෂුව මේ ලෝකයේ හැමෝටම වඩා වෙනස්‌ කෙනෙක්‌ය කියලා. කොයිහැටි වෙතත් ඔබ කවදාකවත් භික්‍ෂුන් වහන්සේ නමකගෙන් එහෙම අසන්න එපා. එහෙම සිතන්න එපා. මොකද එය මේ ලෝකයේ තිබෙන ලොකුම මුසාවාදය වෙනවා. මෙය සටහන් තබන භික්‍ෂුව මොනම කටුක පරිසරයකදීවත් කවදාකවත් කැලයේ අසතුටින් ඉඳලා නැහැ. පිංවත් වනවාසී ස්‌වාමීන් වහන්සේලා බොහෝම තෘප්තියකින්, නිදහසකින්, හුදකලාවකින් තමයි කැලයේ නිවන් මග වඩන්නේ. දුකක්‌ කොතැනද මේ හුදකලාව තුළ. මෙතනදි පිංවත් ගිහිපිංවතුන් පටලවාගෙන තිබෙන්නේ දුක සහ සැපයේ ස්‌වභාවය. තමන් ගෙවල් දොරවල්, ඉඩකඩම්, දරුමල්ලන්, ඥාතීන්, නිලතල, තනතුරු වැනි මහා දුක්‌ ගොඩකට මැදිවෙලා. මේ සියල්ලෙන්ම මිදී නිදහස්‌ව නිස්‌සරණ ජීවිත ගත කරන භික්‍ෂුන් වහන්සේලාගෙන් පිංවතුන් අසනවා ‘ඇයි දුක්‌ විඳින්නේ?’ කියලා. අපි කිසිම දුකක්‌ විඳින්නේ නැහැ. බොහෝම සැනසිල්ලේ තමයි මෙහි ජීවත් වෙන්නේ. අතහැරීම තුළ භික්‍ෂුන් වහන්සේලා ලබන සැපය, සංහිඳීම පිංවත් ඔබලාට සිතාගන්නවත් සමහරවිට බැරිවෙයි. ඔබත් ජීවිතයේ බැඳීම් අඩු අයෙක්‌නම් ඔබට මේ සැපය දැනී ඇත. එසේ නොවුන අය භික්‍ෂුන් වහන්සේලා කෙරෙහි ආදරයෙන් ඉහත ප්‍රශ්ණය අහන්නේ.
හැබැයි මෙයත් සටහන් කරන්න ඕනේ. වනවාසීව ආරණ්‍යගතව වැඩසිටියත් යමක්‌ කෙරෙහි තෘෂ්ණාවක්‌ ඇතිකරගෙනනම් ජීවත්වෙන්නේ ඒ ජීවිතවලටද සැපයක්‌ නැහැ. දුක තමයි තිබෙන්නේ. මොකද කැලයේ පරිසරයට, වනසතුනට, ඇළදොලට, පුරාවස්‌තුවලට තණ්‌හාවෙන් මේවාට ඇලිල මේවා සොයන්න, ගවේෂණය කරන්න, ආරක්‍ෂා කරන්න වෙහෙසෙන ස්‌වාමීන් වහන්සේලාත් වැඩ සිටින්න පුළුවන්. හැබැයි සැබෑ ආර්යඅෂ්ඨාංගික මාර්ගය තුළ ගමන් කරන ස්‌වාමීන් වහන්සේලාට කිසිම දුකක්‌ වනවාසී ජීවිතය තුළ නැහැ.
ගිහි පිංවතුන් නිතරම තම වසඟයේ තබාගත නොහැකි ඇසත්, කනත්, නාසයත්, දිවත්, මනසත්, කයත් මගේ කරගෙන ඒවාට ආහාර සොයන්න වෙහෙසෙනවා. ඔබට දැනෙන්නේ නැහැ ඇසත් ඇසට දෙන ආහාරත් අනිත්‍යබව. අනෙක්‌ ආයතන පහත් එසේමයි. ඒවාට ලබාදෙන ආහාරත් අනිත්‍යවන දේවල්මයි. මේ නිසාම ඔබ නැවත නැවතත් වෙහෙසෙනවා මේවායේ කුස ගින්න නිවන්න. මේ ගින්දර අවුළුවන්නේ අධ්‍යාත්මික බාහිර රූප දෙකත් විඤ්ඤාණයත් හේතුවෙන් සකස්‌වෙන ඵස්‌සය නිසාමයි. මේ ඵස්‌සය වුනේ ගින්දරත් පිදුරුත් බව නොදැන ඔබ ඵස්‌සය හේතුවෙන් සකස්‌වුන වේදනාව මගේ කරගන්නවා. නමුත් ඔබ මගේ කරගෙන තිබෙන්නේ ගිනි ගොඩක්‌. ඔබ ඒ ගිනි ගොඩවල් නිසාම වර්තමානයේ තැවෙනවා, දුම්දමනවා, රත්වෙනවා, ගිනිගන්නවා. වර්තමානය කියලා සටහන් කරනවිටම ඒ සදහන්කළ වර්තමානය අතීතයට ගොස්‌ ඉවරයි. මේ අත්ඳකින්නේ රූපය අනිත්‍යභාවයට පත්වෙන වේගයයි. මේ වේගය පංචඋපාදානස්‌කන්ධයටම පොදුයි.මේ අනිත්‍ය ස්‌වභාවයේ යථාර්ථය තමයි වනවාසී භික්‍ෂුන් අත්දකින්නේ. මෙයින් අදහස්‌ වෙන්නෙ නැහැ වනවාසී භික්‍ෂුන්වහන්සේලා අන්ධ, ගොළු, බිහිරියි කියලා. උන්වහන්සේලා ආශ්වාදයේ කෙටිබව දැකලා, ආදීනවයේ දිගුබව වියරුබව දැකලා කාමයේ නිස්‌සරණයමයි සොයන්නේ. රූපයේ නිස්‌සරණයමයි සොයන්නේ. මෙතන තියෙන්නේ පලායාම නොවේ. මගහැරීම නොවේ. අවබෝධයෙන් අතහැරීමයි. අතහැරීමෙන් නිදහස්‌වීමයි.
මේ මොහොතේ භික්‍ෂුව අත්දැකීමට ලැබුණු සිද්ධියක්‌ මතක්‌වුණා. දිනක්‌ භික්‍ෂුව කැලයේ කුටියක සිට පිණ්‌ඩපාතය සොයා ගමට වඩින්නට පිටත්වුණා. හිමිදිරියේ කුටියෙන් එළියට බහිනවිට වැසිවසින ලකුණක්‌ පෙනෙන්ට තිබුණේ නැහැ. දැන් භික්‍ෂුව කුටියෙන් එළියට බැහැල කිලෝමීටර් දෙකක්‌ පමණ ඇවිදින් තිබෙනවා පිණ්‌ඩපාතය සොයන්න. කිලෝමීටර් කාලක්‌ යන්න හම්බවුනේ නැහැ කැලය මැදදිම මහා වැස්‌සක්‌ වසින්න පටන් ගත්තා. ලැබුණු අභියෝගයේදී භික්‍ෂුව අධිෂ්ඨානයක්‌ ඇතිකරගත්තා අනෝරා වැස්‌සක්‌ වැස්‌සද වැස්‌සෙන් මිදීමට සෙවනකට නොයනවා කියලා. දැන් වැස්‌සෙන් සිවුර, ශරීරය, පාත්‍රතවිකය හොඳටම තෙමිලා. ගෙවල් කිහිපයකට වැඩමකරලා අවශ්‍ය ආහාර සොයාගත්තා. සමහර දායක පිංවතුන් ඇසුවා හාමුදුරුවනේ කුඩයක්‌ දෙන්නද කියලා. සමහරු කුඩයක්‌ ඉහලලම දෙන්න උත්සහ කළා. භික්‍ෂුව ප්‍රකාශ කළා මහත්මයෝ එළියට බසිනවිට වැසි වසියි කියලා සිතුවේ නැති නිසා කුඩය ගෙනාවේ නැහැ. දැන් ඉතින් හොඳටම තෙමිල නිසා කුඩයක්‌ අවශ්‍ය නැහැ. මෙහෙමම කුටියට වඩිනවාය කියල. ඒත් ඒ සද්ධාවන්ත පිංවතුන්ට එය ලොකු දුකක්‌ වුනා. ඒ මොහොතේ වැස්‌සට තෙමී සිටි භික්‍ෂුව දුටුවානම් ඔබ සිතන්නේ අනේ මේ හාමුදුරුවෝ වුවමනාවෙන් දුක්‌විඳිනව කියල. ගෞරවණීය, වන්දනීය නායක ස්‌වාමීන් වහන්සේලා පවා සමහරවිට ප්‍රකාශ කරනවා කැලේට යන්නේ දුක්‌විඳින්නද කියලා. කැලේ වනවාසී ජීවිත දුකක්‌ නොවන්නේ කොහොමද කියල භික්‍ෂුව ඔබට පහදා දෙන්නම්. ඔබ දන්නවද බලාපොරොත්තු නොවු ආකාරයට කඩාවැටුණු මහ වැස්‌සෙ තෙමි තෙමි තෙත බරිත වෙලා වඩින භික්‍ෂුව මොනතරම් සන්හිඳීමකින්ද වඩින්නෙ කියලා. ඔබට දැන් ප්‍රශ්ණයක්‌ මතුවෙන්න පුළුවන් භික්‍ෂුවට මොළේ අමාරුවක්‌ද කියලා. ඇයි හාමුදුරුවො කියනවා වැස්‌සෙ හොඳටම තෙමිල වඩින්නේ සංහිඳීමකින් සැපයකින් කියලා. සත්‍යකින්ම එය ලෝකයේ ශේ්‍රෂ්ඨම සැපයක්‌ ආර්යයන් වහන්සේලා පමණක්‌. අත්විඳින සංහිඳීමක්‌. ලෝකයට හොරා ලබන සංහිඳීමක්‌ සැපයක්‌. නමුත් දෙවියන්, බ්‍රහ්මයන් පමණක්‌ දකිනා සැපයක්‌. ඔබ දන්නවාද භික්‍ෂුව එම සංහිඳීම සැපය ලබන්නේ කොහොමද කියලා. මහා වැස්‌සේ තෙතබරිත වෙච්ච ශරීරය සිවුර බාහිරින් පෙනුනද භික්‍ෂුවට ශරීරයේ එක රෝම කූපයකටවත් ශීතලක්‌ දැනුනෙ නැහැ. දැනෙන්නේ නැහැ. භික්‍ෂුවට වහිනවද තෙමිලද කියල තේරුමක්‌ නැහැ. ඇයි දන්නවද ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනාකර වදාල ප්‍රතිප්‍රදාවේ ආශ්චර්ය ප්‍රාතිහාර්යන් නිසා. භික්‍ෂුව කුටියෙන් පිටවෙලා වැස්‌ස පටන්ගත් මොහොතේම තේජෝ මනසිකාරයට සමවැදිලයි වැඩියේ. භික්‍ෂුව මුළු ශරීරයේම තේජෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය සිතෙන් වැඩිකරගන්නවා. හරියට දැඩි ලෙස උණෙන් පෙලෙන අයෙක්‌ වගේ ශරීරය එවිට උණුසුම් වෙනවා. මේ උණුසුමට වැස්‌ස කෙසේනම් දුකක්‌ දෙන්නද? මෙවැනි විටක වැස්‌ස නවත්වන්න කාටවත් බැහැ. එය ලෝක ස්‌වභාවයක්‌. ලෝක ස්‌වභාවයන් වළක්‌වන්න නිවන් මග වඩන්නන්ට බැහැ. නමුත් එම ස්‌වභාවයන් අවබෝධයෙන් හඳුනාගෙන ඒවායේ නොඇලී නොගැටී ඉන්න භික්‍ෂුවට පුළුවන් වෙන්න ඕනේ. ආර්යයන් වහන්සේ කියන්නේ වැස්‌සත් උෂ්ණත්වයත් ජයගත්ත කෙනෙක්‌. ලොව බලසම්පන්න පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතූන් විනිවිද දුටු කෙනෙක්‌. උන්වහන්සේලා දන්නවා සතරමහා ධාතුව තමන්ට අවශ්‍ය ආකාරයට ගලපාගන්න, පෙරලාගන්න. ඇයි සතරමහා ධාතුවේ ස්‌වභාවය අවබෝධකර අවසන් නිසා. නිරතුරුවම වෙනස්‌භාවයට පත්වෙන සතරමහා ධාතූන් ප්‍රඥාව අවබෝධය හමුවේ අසරණයෙක්‌මය.
දැන් ඔබ මෙය ඔබේ ජීවිතයට ගලපාගන්න. වනවාසී භික්‍ෂුන් දුක්‌විඳින පිරිසක්‌ නොවේය කියල දැනගන්න. සැබෑ බුදුපුතුනට පුළුවන් අවශ්‍ය අවස්‌ථාවක තේජෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය සිතින් වැඩිකර ශරීරය උණුසුම් කරන්න, ශරීරය ගිනි තබාගන්න, ශරීරය අළු දූවිලි හැටියට දකින්න. මුළු ලෝකයම තේජෝ ධාතුවෙන් ගිනිඅවුළුවා මුළු විශ්වයම, දස දිශාවම ගිනිගොඩක්‌, අළු ගොඩක්‌ ලෙස දකින්න. අනෙක්‌ ධාතූන්ද ඉහත ආකාරයට අවශ්‍ය අවස්‌ථාවේදී ක්‍රියාකාරීත්වය අඩු වැඩි කිරීමේ ශක්‌තිය ආර්යන් වහන්සේට තිබෙනවා. එම නිසා පිංවත් ඔබ නොදැනුවත්භාවය නිසා වනවාසී, ආරණ්‍යවාසී භික්‍ෂුන් දුක්‌විඳිනවාය කියනවානම් එය ලෝකයේ තිබෙන ලොකුම මුසාවාදය වනු ඇත. එම නිසා ඔබට වඩා දසමයකින් හරි ශීල, සමාධි, ප්‍රඥා මාර්ගයේ ඉදිරියෙන් සිටින පන්සල් වේවා ආරණ්‍යය වේවා පැවිදි උතුමෙකුට සහතික දීමට ඔබ ඉක්‌මන් නොවන්න. එය ඔබලාගේ සැපය පිණිසම හේතුවෙනවා ඇත. පිංවත් ඔබලාද කළයුත්තේ සතරමහා ධාතුවේ ස්‌වභාවය අවබෝධයෙන් හඳුනාගෙන අධික ශීතලද දැඩි රශ්ණයක්‌ බවට පත්කළහැකි ඝණ දැඩි ස්‌වභාවය දියරයක්‌ බවට පත්කළහැකි ඇතිවෙමින් නැතිවෙන සිතේ හැකියාවන් දියුණුකළ ප්‍රඥාවෙන් හඳුනා ගැනීමය.
මාර්ගය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකර ඇත. එම ධර්මය අත්දැකීමට අපි සැවොම පිංකර ඇත්තෙමු. මග වැඩු ගුරුවරයෙකුගේ, කළ්‍යාණ මිත්‍රයෙකුගේ ඇසුරකින් තොරව ඉහත ස්‌වභාවයන් ඔබ අත්දැකීමට ගියොත් කායික මානසික රෝගියෙක්‌ වීමේ ඉඩකඩ වර්තමාන සමාජයේ ඉතා වැඩිබව සිහිතබාගන්න. ඉහත සටහන තබන භික්‍ෂුවද කුඩයක්‌ පාවිච්චි නොකර වැස්‌සේ වැඩිය මුල්ම අවස්‌ථාව මෙන්ම අවසාන අවස්‌ථාවද එයම බව හොඳින් මතක තබාගන්න. ඊට හේතුව වුයේද කුටියෙන් පිටවන මොහොතේ වැසි ලකුණු නොතිබුණු නිසාය. යම් හෙයකින් වැසි ලකුණු තිබුනානම් භික්‍ෂුව අනිවාර්යෙන්ම කුඩය සමගයි වඩින්නේ. මොකද මේ ආශ්චර්යමත් ප්‍රතිපදාවන් අවබෝධය ලබා අතහැරදැමීම සඳහා මිස ලෝකයාගෙන් ලකුණු ලබාගැනීමට නොවන නිසාය. තමා කවුද යනු අවබෝධයෙන් හඳුනාගත් පසු තමා තමාටද අතහැරෙනු ඇත. මන්ද තමා තුළද ඇත්තේ හේතුඵල ධර්මයන්ගෙන් සකස්‌වුවක්‌ මිස සත්වයෙක්‌ ඔහු නොදකින නිසාය. සෑම බුදුපුතෙකුම පන්සලක වැඩසිටියද, ආරණ්‍යයවාසීව වැඩසිටියද තෘෂ්ණාවෙන්, චන්ද රාගයෙන් යමක්‌ අල්ලා නොගෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන්නේ නම් උන්වහන්සේ ලබන්නේ සංහිඳීමක්‌මය, සැපයක්‌මය.

indrajith.media@gmail.com