4-3- අහෝ! තිරිසන් අපාය

අහෝ! තිරිසන් අපාය

2013-01-20&27

පිංවත් ඔබේ දෑස්‌ ඉදිරියේ ජීවත්වන තිරිසන් සතුන් සතර අපායේ කොටස්‌ කරුවන්. සතර අපායෙන් එකක්‌ තමයි තිරිසන් ලෝකය. තිරිසන් ලෝකය සත්වයාට බොහෝම දුක්‌දෙන ස්‌ථානයක්‌. මේ සෑම තිරිසන් සතෙකුම පෙර භවයක මනුෂ්‍ය ජීවිතයක්‌ ගතකර සිදු කරගත් කාය, වචී, මනෝ අකුසලයන් හේතුවෙන් තිරිසන් ලෝකයට වැටුනු අය. මරණ බිය, කාමය, වෛරය, කුසගින්න තිරිසන් සතුන්ගේ ජීවිතයයි. පෙර මනුෂ්‍යයින්ව ඉපිද අනුනට දුන් මරණ භිය, ජීවිත භිය, අනුනගේ ආයුෂ, වර්ණය, සැපය, බලය උදුරාගැනීම වැලක්‌වීම මගහැරීම හේතුවෙන් අත්වූ කර්ම විපාකයන්ය. ශීලයක්‌ ආරක්‍ෂා නොකිරීමේ, දන් නොදීමේ, මෛත්‍රී බුදුගුණ භාවනාවක්‌ නොවැඩීමේ විපාකයේ ස්‌වභාවය තිරිසන් ලෝකයේ ඉපිද අනුනට අහිමි කළ දෙයම තමන්ටද ඒ ආකාරයෙන්ම අහිමිව එකම දුක සිත්සේ විඳීමට සිදුවීමය. තිරිසන් ජීවිතයේදී මේ සතුන් යම් තාවකාලික සැපයක්‌, ආශ්වාදයක්‌, ආහාරය නිසා කාමය නිසා ලැබුවද මොවුන් එය බුක්‌ති විඳීමේදීම එම සැපය නිසා සකස්‌ වෙන්නේද බරපතල අකුසලයකි. සංසාරික වශයෙන් දුකේ සංවර්ධනයකි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සතර අපායේ දුක දීර්ඝ බව දේශනා කර වදාළේ ඉහත හේතුව නිසාය.
භික්‍ෂුව මෙහි සටහන් කරන්නේ ඉහත තිරිසන් ලෝකයේ කථාවක්‌ නොවේ. ඊට හාත් පසින්ම වෙනස්‌ සතර අපායටම අයිති ප්‍රේත තිරිසන් ලෝකයේ කථාවකි. ප්‍රේත තිරිසන් ලෝකයද සත්වයා අනන්ත දුක්‌ විඳින ස්‌ථානයකි. තිරිසන් සතුන් ලෙස ජීවත් වන සතුන් මරණින් මතු ප්‍රේත සතුන් ලෙස ඉපදීමට හේතු කිහිපයක්‌ භික්‍ෂුව අනුමාන කරයි.

විශේෂයෙන් එයට බලපාන්නේ තම කණ්‌ඩායම, රැල කෙරෙහි ඇති ඡනද රාගයයි තෘෂ්ණාවයි. ඒ නිසා සකස්‌වූ උපාදානයයි. දෙවැනි හේතුව තමාට ආහාර, කරුණාව, ආරක්‍ෂාව දක්‌වන තම ස්‌වාමියා කෙරෙහි ඇති ඡන්ද රාගයයි, තෘෂ්ණාවයි. ස්‌වාමියා යනු සතුන් ඇති දැඩි කරන මනුෂ්‍යයාය. කැලයේ ජීවත්වන සතුන් මුල් හේතුව නිසා මරණින් මතු ප්‍රේත සතුන් ලෙස ප්‍රේත ලෝකයේ උපත ලබන අතර මිනිසුන් ඇසුරේ වැඩෙන සතුන් දෙවැනි හේතුව නිසා ප්‍රේත සතුන් ලෙස එම ලෝකයේ උපත ලබනු ඇත.

භික්‍ෂුව එක්‌තරා ආරණ්‍යයක වැඩසිටියදී එම ආරණ්‍යයේ බළලුන් නව දෙනෙක්‌ දාන ශාලාව ආශ්‍රිතව ඇති දැඩිවෙමින් සිටියහ. දෑස්‌ අන්ධ සතුන් කිහිපදෙනෙක්‌ ද මේ අතර විය. මේ සෑම සතෙක්ම  සිටියේ නායක ස්‌වාමීන් වහන්සේගේ කරුණාව, මෛත්‍රීය  විඳිමින්ය. බළලුන් ප්‍රියකරන ආහාර සුලභව තිබිණි. හැබයි සමහර දිනවල බළලුන්ගේ මුත්‍රා සහිත පාපිසි, ඇතිරිලි සේදීමට මෙහිදී සිදුවිය. මෙම බළලුන්ගේ හොඳ ගතිගුණ වැඩිපුර තිබිණි. ස්‌වාමීන් වහන්සේලා හැර මේ සතුනට වෙනත් රැකවරණයක්‌ නොතිබිණි. ගෞරවණීය උපසම්පදා ස්‌වාමීන් වහන්සේලාගේ විනය සම්බන්ධ ගැටලුද මෙහිදී ඇති නොවුණා නොවේ.

දිනක්‌ හිමිදිරි උදෑසන පහට පමණ භික්‍ෂුව තම කුටියේ සිට දාන ශාලාවේ ”වත” කිරීමට දාන ශාලාවට පැමිණෙනවිට දාන ශාලාවේ පිටත ආලින්දයේ සවිකර තිබූ වතුරකරාමය සහිත බේසමේ තැටිය මත අඩියක්‌ පමණ උසැති අළු පැහැති බළලෙක්‌ සිටගෙන සිටියේය. භික්‍ෂුව මුලින් හිතුවේ මේ ආරණ්‍යයේ සිටින බළලෙක්‌ කියලාය. භික්‍ෂුව ජල බේසමට කිට්‌ටුවන විට බළලා අතුරුදන් විය. අතුරුදන් වීමත් සමග මොහු ප්‍රේත බළලෙක්‌ ලෙස භික්‍ෂුව හඳුනාගත්තාය. මේ ප්‍රේත බළලා කවරෙක්‌ද යන්න භික්‍ෂුවට අනුමාන කළ හැකි තොරතුරක්‌ පසුව ලැබිණි.

මෙම ආරණ්‍යයේ ඇති දැඩිවෙන බළලූන් නව දෙනාගේ රැලේ මීට පෙර බොහෝම සුරතල් බළලෙක්‌ සිට ඇත. එම බළලා ගෞරවණීය ලොකු ස්‌වාමීන් වහන්සේගේ පසුපස නිතරම පැමිණෙන උන්වහන්සේගෙන් නොමදව කරුණාව ලද සතෙකි. මේ බළලා මීට පෙර මියගොස්‌ තිබිණි. මේ බළලා මියගිය අවස්‌ථාවේ නායක ස්‌වාමීන් වහන්සේගේ සත්ව කරුණාව නිසාම උන්වහන්සේගේ නෙතට කදුළු මතු කිරීමට සමත්වී ඇත. පසුව බළලා ගෞරවණීය ආකාරයට වළදමා තිබිණි. භික්‍ෂුව අනුමාන කරන්නේ එම මිය ගිය බළලා තම ස්‌වාමියා, රැළ, ස්‌ථානය කෙරෙහි ඇතිකරගත් ඡන්ද රාගය තෘෂ්ණාව නිසා එම ස්‌ථානයම උපාදානය කර ගෙන ප්‍රේත බළලෙක්‌ ලෙස උපත ලබන්නට ඇතිබවයි. මේ ප්‍රේත බළලා කවුරුවත් ඇසින් නොදැක්‌කාට මේ මොහොතේද එම ආරණ්‍යයේ මේසය මත තිබෙන ආහාර ඉව කරමින් ජීවත්වන අනෙක්‌ බළලූන් සමග ගැවෙසෙමින් අතීතයේදී වගේම නායක ස්‌වාමීන් වහන්සේ ළඟ දැවටෙමින් සිටිනු ඇත. එහෙත් එය දකින කෙනෙක්‌ නැත. යම් දිනයක ගෞරවණීය ස්‌වාමීන් වහන්සේ සමාධිය වඩා නොපෙනෙන ලෝකය ප්‍රඥා ඇසෙන් දුටුවොත් ජීවිතයේ කිසිම දිනයක තිරිසන් සතෙකුට ලෙන්ගතු නොවනු ඇත. මන්ද එම ලෙන්ගතු බව මතුභවයක එම තිරිසන් සතුනට ප්‍රේත ලෝකයට වැටීමට පාර පෙන්වන නිසාය. එම අසරණ සතුන් තම ස්‌වාමීයා කෙරෙහි තිබෙන ඡන්දරාගය නිසා තම ස්‌වාමියා සහ ස්‌ථානයේ වසගයේම ප්‍රේත සතෙකුව ඉපදෙනු ඇත.
ඉහත බළලා සේම වනවාසීව වැඩ සිටින විට ප්‍රේත බල්ලන්, මීහරකුන්, මුවන්, වළිකුකුළන්, ගම් කුකුළන් භික්‍ෂුවට දර්ශනයවී ඇත. ඉහත සතුන් අතරින් අනුවේදනීය ප්‍රේත සතෙකු ගැන සටහනක්‌ පිංවත් ඔබට ඉහත කරුණු සනාථ කරගැනීම සදහා තබමි. මේ ප්‍රේතසතා භික්‍ෂුවට දර්ශනය වූ අතිශය දුක්ක  ජීවිතයක්‌ ගතකරන ප්‍රේත අලියෙකි. භික්‍ෂුව රුහුණු පුරවරයේ කැලෑබද ආරණ්‍යයක වැඩසිටින විට රාත්‍රී සමාධියන් පසුවෙද්දී මෙම ආරණ්‍යයේ විශාල ගල් පර්වතය යට පිහිටි බුදුමැදුර ඉදිරියෙන් මෙම ප්‍රේත අලියා බොහෝම සෙමින් ගුප්ත, අලස ස්‌වභාවයෙන් ගමන් කරනවා භික්‍ෂුවට දර්ශනය විය. මෙම ප්‍රේත අලියා කලූ පැහැති සමාන්‍ය අලින්ට වඩා උසින් අඩු පළල් ස්‌වභාවයක්‌ ගන්නා අලියෙකුගේ ස්‌වරූපයට සමාන රූපයකි. මෙසේ ප්‍රේත අලියා විනාඩි දෙකක්‌ පමණ ඉදිරියට ගමන් කරමින් නොපෙනී ගියේය. මේ සිද්ධිය මෙතනින් නිමාවිය. නැවත සතියකට පමණ පසුව රාත්‍රීයේ භික්‍ෂුව සමාධියෙන් පසුවන විට භික්‍ෂුවට මෙවැනි දර්ශනයක්‌ දක්‌නට ලැබිණි. මෙම ආරණ්‍යයේ ජලය පිරී තිබෙන නිතර වල්අලින් ස්‌නානය කරන වැවක්‌ තිබේ. මෙම වැවේ වල් අලි දෙදෙනෙක්‌ හොඳ හැටියට සතුටුවෙමින් වතුර විදිමින් ස්‌නානය කරමින් සිටියහ. ඉහත ජීවමාන අලි දෙදෙනා ජලයේ සතුටුවෙමින් සිටින මොහොතේ පෙර සදහන් කල ප්‍රේත අලියාද විහාරය පැත්තෙන් සෙමින් සෙමින් පැමිණ ජීවමාන අලි දෙදෙනා ජල ක්‍රීඩා කරන වැවට බැස්‌සේය. ගුප්ත ස්‌වභාවයෙන් පැමිණි ප්‍රේත අලියා හැඩරුවෙන් භික්‍ෂුව පැහැදිලිව ප්‍රේත අලියා හඳුනා ගත්තේය. ප්‍රේත අලියා වැවට බැස්‌සේ ජීවමාන අලින් දෙදෙනාසේ සතුටුවෙමින් ජලයේ ස්‌නානය කිරීමටය. එහෙත් අභාග්‍යයකි කර්මයේ විපාකදීම ඒ මොහොතේ ඇරඹිණි. ප්‍රේත අලියා වැවට බැස ජලයේ පෙරළීමට නිදාගැනීමට, උත්සහ කරන විටම එය වැලකිණි. ප්‍රේත අලියා ජලයේ සිටගෙනය. ප්‍රේත අලියා මහත් වේදනාවකින් වමනය කිරීමට පටන් ගත්තේය. මොහු වමනය කරන්නේ දැඩි වේදනාවකින්, අපහසු තාවයකින්ය. කුස හකුලවමින් මහත් වේදනාවකින් වමනය කරයි. වමනය කලූ පැහැතිය, හරියට වතුර පීල්ලකින් ජලය වැක්‌කෙරෙනව වගේ දැඩි ලෙස වමනය කරයි. කලූ පැහැති වමනය භික්‍ෂුව හඳුනාගත්තේ ලේ වමනය ලෙසයි. දැඩි අපහසුවකින් ලේ වමනය කළ ප්‍රේත අලියා දිය නෑමට වාසනාව නොමැතිව වැවෙන් ගොඩට සෙමින් සෙමින් වේදනාවෙන් පැමිණ නොපෙනී ගියේය. මේ සිද්ධිදාමය ප්‍රේත අලියාගේ දින චර්යාව විය යුතුය. පෙර කරන ලද කර්මයක්‌ නිසා මෙම ප්‍රේත අලියාට සමහරවිට කල්ප ගණනාවක්‌ මොලෙසින් තමා කැමති දෙයක්‌ ස්‌පර්ෂ කිරීමට යැමේදී මේ ආකාරයෙන් ලේ වමනය ගොස්‌ ශරීරය වේදනාවට පත්ව එම ආස්‌වාදය ලැබීමේ හැකියාව අකුසල් කර්ම බලය නිසා අහිමිවීයෑයි භික්‍ෂුව අනුමාන කරයි. ඉහත අවස්‌ථාවේදීද ප්‍රේත අලියා බොහෝම කැමත්තෙන් වැවට බැස්‌සේ ජීවමාන වල් අලි දෙදෙනා වැව් ජලයේ සතුටුවන සතුට තමන්ද විදීමටය. එහෙත් එය ඛේදවාචයක්‌ විය.

අපි බලමු අනුමාන වශයෙන් මොන වගේ අකුසලයක්‌ මේ සතා අතින් වෙන්න ඇතිද කියලා. ඊට පෙර මේ ප්‍රේත අලියා කවුරුන්ද කියල හොයල බලමු. මේ ආරණ්‍යය නිතර වල් අලින් ගැවසෙන ස්‌ථානයක්‌. මෙහි එක අලියෙක්‌ ඉදල තිබෙනවා බොහෝම කාලයක්‌ නායක හාමුදුරුවන්ට බොහෝම කීකරුව ගෙදරක හුරතලයට හදන බල්ලෙක්‌ යම්සේ තම ස්‌වාමියාට කීකරුද ස්‌වාමියාගේ අණ පිළිපදීද එයට සමාන ආකාරයෙන් මෙම වල් අලියා නායක ස්‌වාමීන් වහන්සේට කීකරුව සිට ඇත. මෙම කීකරු භාවය ඇතිකරගෙන ඇත්තේ වල් අලියා ප්‍රියකරන රසවත් ආහාර දීම නිසාය. මෙසේ සිටින අතර තුර භික්‍ෂුව අසා තිබු පරිදි අසල වන ලැහැබකදී එම වල් අලියා අත්වැරදීමකින් සිදුවූ වෙඩි ප්‍රහාරයකින් මියගොස්‌ ඇත. අලියා මියයන මොහොතේ රැලෙන් සහ තම වර්ගයාගෙන් මිදී සිටි මෙම වල් අලියාට නායක ස්‌වාමීන් වහන්සේත් මෙම ආරණ්‍යයත් හැර වෙන කුමක්‌ සිහිවෙයිද තම රැලෙනුත් කැලෑවෙනුත් මිදිලා තමාත් ආරණ්‍යයේ සාමාජිකයෙක්‌ ලෙස ජීවත් වූ මෙම අලියාට මැරෙන මොහොතේ ස්‌ථානය සහ නායක ස්‌වාමීන් වහන්සේ ගැන ඇතිවූ ඡන්ද රාගය තෘෂ්ණාව නිසා එහිම ප්‍රේත අලියෙක්‌ ලෙස උපත ලබන්නට ඇතැයි භික්‍ෂුව අනුමාන කරයි. දැන් මේ ප්‍රේත අලියා මියයාමට පෙර වල් අලියෙකු ලෙස හැසුරුණ ආකාරයෙන්ම ප්‍රේත අලියෙකු ලෙස ආරණ්‍යය භූමියේ නිරතුරුවම ගැවෙසෙමින් තම ප්‍රේත ජීවිතය ගතකරනු ඇත.

පෙර වල් අලියෙක්‌ ලෙස ජීවත්වීමේදී භික්‍ෂුන්ගේ පරිහරණය සදහා වැව් ජලය බොරකිරීම, අපවිත්‍ර කිරීම, උපාසක උපාසිකාවන්ට ජලය පරිහරණය වැලක්‌වීම, බිය ගැන්වීම වැනි හේතූන් නිසා මෙම කර්ම විපාකය විදීමට සිදුවූවා විය හැකිය. මන්ද මේ වල් අලියා නිසා බියට පත්වූ පිංවත් වන්දනාකරුවන් බොහෝ විය හැකිය.

දෙවැනිව බලමු ප්‍රේත අලියා විඳින දැඩිම කර්ම විපාකය ලේ වමන දැමීම ගැන. මෙය සාමාන්‍ය ලේ වමනයක්‌ නොවේ. ගොජ ගොජ ගාමින් දමන ලේ වමනයකි. මෙවැනි කර්ම විපාකයක්‌ විඳීමට හේතුවූ කාරණය වශයෙන් භික්‍ෂුව අනුමාන කරන්නේ සාංඝික දේවල් මේ වල් අලියා කෑමය. භික්‍ෂුව මෙයින් අදහස්‌ කරනුයේ ආරණ්‍යය භූමියේ ඇති ගහ කොළ නොවෙයි. පාලි වාක්‍ය ප්‍රකාශ කර දායකයින් මහත් සද්ධාවෙන් මහා සංඝරත්නයට පුජා කරන ලද දානයයි. මේ වල් අලියා කාලයක්‌ නායක ස්‌වාමීන් වහන්සේ ඇතුළු පිංවත් ගිහි කැපකරුවන්ගේ සුරතලා වෙමින් ආරණ්‍යයේ වැඩ සිටින සංඝයා උදෙසා පූජාකළ ආහාරයන්ගෙන් දිනපතා නිරතුරුවම සංග්‍රහ ලැබූ සතෙකි. ඉහත කාලය තුළ සංඝරත්නය උදෙසා දායකයින් පූජාකළ ආහාරපාන කොතෙක්‌ මෙම සතාට දෙන්නට ඇතිද? ස්‌වාමීන් වහන්සේලාගේ දානයට තිබෙන පළතුරු, කැවිලි, මේ සතාට ආහාරයට දීම නිසා සංඝරත්නයට ඒවා වැළදීමේ අවස්‌ථාව අහිමිවෙන්නට ඇතිද?
සංඝරත්නය යනු මෙලොව උතුම්ම පිරිසයි. එක්‌තරා අවස්‌ථාවක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශණා කරන්නේ බුදුරජාණන් වහන්සේ අරමුණුකර කරන පුජාවට වඩා මහා සංඝරත්නය අරමුණුකර ගෙන කරන පුජාව මහත්ඵල මහානිශංශ අත්වන බවයි. ඒ නිසා ගෝතමිය මේ චීවරය මහා සංඝරත්නය අරමුණු කරගෙනම පුජා කරගන්නය කියලා මහා ප්‍රජාපතී කිරි මෑණියන්ට මහා සංඝරත්නයේ බල කදම්බය ගැන සිංහනාද කරනවා. මහා සංඝරත්නය යනු මේ ජාති, ජරා, ව්‍යධි, මරණ වලින් ගහන මේ ලෝකයෙන් එතෙරවූ පිරිසක්‌මය. නොඑසේනම් එම මාර්ගයේ ජයග්‍රහණය කරා ගමන් කරන පිරිසක්‌මය. උන්වහන්සේලා ලෝකධාතුවම අනිත්‍යයේ වේගයෙන් සියුම්කර ප්‍රඥාවෙන් තම දෝතට ගත් පිරිසක්‌මය. මේ පඨවි ධාතුව අනිත්‍යයේ වේගයෙන් සියුම් කර අයෝමය පඨවි ධාතුවට අභියෝග කළ පිරිසක්‌මය. එවන් මහා බලාපොරොත්තුවකින් පරිපූර්ණ සංඝරත්නය අරමුණු කොට ඉමහත් සද්ධාවෙන් යුතුව පාලි වාක්‍ය ප්‍රකාශ කරමින් සාංඝික වශයෙන් පුජා කරන ආහාරපාන මහා සංඝරත්නයේ අවශ්‍යතා සපුරාගැනීමට පෙරාතුව තිරිසන් සතුනට ආහාරයට දීම එම අහිංසක සතුනට කරන අසාධාරණයක්‌ වනවා නිසැකය.

මෙහිදී ඔබට මෙවැනි ප්‍රශ්නයක්‌ මතුවීමට ඉඩ ඇත. තමා කන්නේ සාංඝික දෙයක්‌ බව වල් අලියාට චේතනාවක්‌ නොමැති නිසා අකුසලයක්‌ වන්නේ කෙසේද කියල. එය මෙසේ අප තේරුම් ගත යුතුය. අලියා දාන ශාලාව ඉදිරියට එන්නේ දානයට සංඥාව දෙන ගෙඩියේ හඬට. එම සතා එන්නේ “හාමුදුරුවෝ වළදන දේවල් මටත් දෙන්න” කියන ෙච්තනාව එම සතා තුළ ඇති නිසාය. මෙහිදී කර්මය කර්මඵලය වැටහීමක්‌ නොමැති තිරිසන් සතා අසරණයෙකි. එම අහිංසක සතුන් එම අසරණභාවයෙන් මුදවාලීමට අප දක්‍ෂ විය යුතුය. අපි අදක්‍ෂ වුවහොත් අසරණ සතුන් සසර අනන්ත දුක්‌වලට මුහුණ දෙනු ඇත. එසේ නම් අප ඔවුනට දක්‌වා ඇත්තේ කරුණාවේ නාමයෙන් අකාරුණික බවකි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පාරිෙල්‍යයිය වනයේදී පාරිෙල්‍යයිය ඇතාගෙන් උපස්‌ථානයක්‌ ලබා එම ඇතාට සුගතියකට යැමට අවස්‌ථාව සලසා සැබෑම සත්ව කරුණාව දැක්‌වූවා මිස ඇතාට ආහාරපාන ලබාදී උපස්‌ථානය කිරීමට ගොස්‌ එම සතාට දුගතියට යැමට කරුණු කාරණා සකස්‌කර දුන්නේ නැත. සැබෑම සත්ව කරුණාව කුමක්‌ද යන්න බොහෝම නිරවුල්ව ලෝකයාට ආදර්ශයෙන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලහ. මෙම ආදර්ශය වඩාත්ම වටින්නේ නිවන් මඟ වඩනා පිංවතුන්ටමය. එසේ නොවුණහොත් සසර කල අකුසල් නිසා දන් නොදීම, ශීලයක්‌ ආරක්‍ෂා නොකිරීම, මෛත්‍රිය නොවැඩීම වැනි එම අකුසල් නිසා සතර අපායට වැටුණු සතුන් නිසා ඔබ ඔබේ සතර අපායෙන් මිදීමට ඇති අවස්‌ථාව අහිමිකර ගන්නවා ඇත.

මෙහිදී විශේෂයෙන් ගිහි පිංවතුන්ට අවධාරණය කරන්නේ පිංවත් ඔබ අසරණ සතුනට දක්‌වන කරුණාව මෛත්‍රිය දක්‌වන්න එපාය කියල නොවේ. අසරණ සතුනට ආහාරපාන රුකවරණය සැලසීම පිං වැඩෙන තමා තුළ මෛත්‍රිය වැඩෙන ක්‍රියාවක්‌. එහෙත් මෙම සතුන් ඔබ ඔබේ කරනොගන්න. ඔබේ දුව පුතා කරනොගන්න. ඔබේ නිදන කාමරයේ, සාලයේ, ඔඩොක්‌කුවේ සුරතලා කරනොගන්න. මෙවැනි බැදීම් හේතුවෙන් එම සතුන් මියයාමට පසුව ප්‍රේත සතුන් ලෙස ඔබේ නිදන කාමරය, නිවස, ඔඩොක්‌කුව උපාදානයකරගෙන නැවත ඉපදෙනු ඇත. මේ වන විටත් ඔබ සීමාව ඉක්‌මවා සුරතලයට සැදුව සතුන් මිය ගොස්‌ ප්‍රේත සතුන් ලෙස ඔබගේ නිවසේ හැසිරෙනවා ඇත. සයනයේ නිදනවා ඇත. ඔඩොක්‌කුවේ නිදනවා ඇත. ඔබේ කෑම මේසයේ ආහාර දිව ගානවා ඇත. එහෙත් ඔබ මේ කිසිවක්‌ නොදනී නොදකී. මන්ද ඔබ දකින්නේ දෑසින් පෙනෙන ලෝකය පමණක්‌ නිසාය. ඉහත ප්‍රේත අලියා විඳින දුක තවත් සතෙකුට නොදීමට අපි වගබලාගතයුතු වෙමු. ඔබ මෙහෙම සිතන්න ලෝකයේ ආගම් තිබෙනවා ඒවා අදහන පිරිස්‌ යාඥාකරමින් සතුටු සිතින් අහිංසක සතුන් ආගමික පුජා උදෙසා මස්‌ සදහා, සුබ කටයුතු සදහා මරණවා. ඒ අය යාඥාකරමින්, සතුටුසිතින් එම සතුන් මැරුවාය කියලා ඔවුනට පුළුවන්ද එම ප්‍රණඝාත අකුසලයෙන් මිදෙන්න. එහි කර්ම විපාකයන්ගෙන් මිදෙන්න. නොදන්නා කම කර්ම විපාකයන්ගෙන් මිදීමට හේතුවක්‌ නොවේ. නොදන්නා කම යනු අවිද්‍යාවයි. අවිද්‍යාවේ අවසාන ඵලය ශෝක, පරිදේව, දුඛ්‍ය, දෝමනස්‌සයන්මය. කවුරුන් වුවද දුගතියක උපත ලැබූ විට තමා කරා ඇදී එන්නේ කරන ලද අකුසල් විපාකයන්ටම බව අප සිහිතබාගත යුතුය. ඉහත ප්‍රේත අලියා ද එහි ජීවමාන සංකේතයකි.
තාම ලෙන්ගතුභාවයෙන් සතුන් ඇති කිරීමෙන් සිදුවන භායනක අනතුර නම් ජලභීතිකාවත්, මැලේරියා, බරවා, වැනි රෝගවත් නොවේ. ඒවා වෛද්‍ය ප්‍රතිකාර ගැනීමෙන් සුවපත් විය හැකිය. සතුන් ඇති කිරීමෙන් සිදුවන්නා වූ භයානකම අනතුර ගැන ඔබ අවධානයෙන් සිටිය යුතුය.

ඔබ සිතන්න ඔබ ඉතා ආදරයෙන් ඇති දැඩි කරපු සතෙක්‌ මියයනවා. මියගිහින් ඔබ ඇසුරේම ප්‍රේත සතෙක්‌ ලෙස උපදිනවා ඔබ නොදන්නවාට මේ ප්‍රේත සතා ඔබ ඇසුරේම ඔබේ නිවසේම ඉඩමේම ජීවත්වෙනවා. මෙවැනි අවස්‌ථාවකදී ඔබ ද වයසට යැම නිසා වෙනත් රෝගී තත්ත්වයක්‌ නිසා හදිසි අනතුරක්‌ නිසා මරණීය තත්ත්වයට පත්වෙනවා. අපිට කියන්න බැහැ අපි කොහොම කොයි මොහොතේ මැරෙයිද කියලා. සමහරු ඉන්නවා හොඳින් ජීවත්වෙලා මැරෙන මොහොතේ අසිහියෙන්, වේදනාවෙන් මියයනවා. මෙවැනි අවස්‌ථාවක තමාගේ මානසික තත්ත්වය බිඳ වැටිලයි තිබෙන්නේ. එවැනි විටක තමා අභිබවා ඔය අමනුෂ්‍ය බලවේග ඉස්‌මතු වෙනවා. ඒ අය මනුෂ්‍යයාගේ දුර්වල මනෝභාවයට පෙනී සිටිනවා. මෙවැනි අවස්‌ථාවක ඔබට ඔය ප්‍රේත සුරතල් සතාව දර්ශනය වුවහොත් ඔබ සුරතල් කළ, ආදරය කළ එම සතා කෙරෙහි ඡන්ද රාගය ඇතිවී තමාත් එම ප්‍රේත සතාගේ ලෝකයේ ඉපදීම සිදුවිය හැකියි. ජීවිතයේදී කාය, වචී, මනෝ කුසල කර්මයන් පුරුදු පුහුණු කර නොතිබුණ හොත් අපි මැරෙන මොහොතේ අධ්‍යත්මිකව වැටිල අසරණවෙන විට අපි ඉදිරියට එන ඕනෑම ප්‍රිය රූපයක්‌ අල්ලාගන්නවා, උපාදානය කර ගන්නවා. අපි ද එහිම බැසගන්නවා. තෙරුවන් කෙරෙහි සද්ධාව නොමැති නිසා, සද්ධර්මය ශ්‍රවණය නොකිරීම නිසා කල්‍යාණමිත්‍ර සේවනය නොකළ නිසා සතර අපාය මොකක්‌ද කියලාවත් මේ අය දන්නෙ නැහැ. තමා ඉදිරියේ පෙනී සිටින ප්‍රේත සුරතලා, ජීවමානව සිටි සුරතලා වශයෙනුයි මේ අය හඳුනාගන්නේ. අවසානයේ ස්‌වාමියා ප්‍රේතයෙක්‌ ලෙසත් ඔහුගේ ප්‍රේත ලෝකයේ සුරතලා ප්‍රේත සතාත් බොහෝම සමීපව ප්‍රේත ලෝකයේ ජීවත්වෙනවා.

සතුන් කෙරෙහි තෘෂ්ණාව ඇතිකරගත් පිංවතුන් තමාත්, එම අසරණ සතුන්වත් දුකෙන් දුකට පත්කරනවා. ඉහත ස්‌වභාවයන් අවබෝධකරගෙන සතුන් ඇති කිරීම දෙපාර්ශ්වයටම යහපත් වෙනවා. එසේ නොවුන හොත් සතර අපාය තව තව පිරීම හැර වෙනත් විකල්පයක්‌ නැහැ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේද භික්‍ෂුන් වහන්සේලාට තම පාත්‍රය සෝදා ඉතිරිවන ඉඳුල් වතුරටික පවා සතුන් නොමැති ජලයේ පා කර හරින්න යෑයි අනුදැන වදාළේ, සතුන් ඇති දැඩි කිරීමට නොහැකි ආකාරයට විනය නීති පැනවූවේ ගිහි පැවිදි සැමටම ඉහත සතුන් පලිබෝධයක්‌ වන නිසාමය. අද සතෙකුට කෑමට යමක්‌ දැම්මොත් එම සතා නැවත ඔබ සොයා එනු ඇත. මෙය නැවත නැවත සිදුවීමේදී සතා ඔබේ හිතවතා, සුරතලා වීම අනිවාර්යය. සතාගේ හිතවත්භාවය නිසා, අසරණ භාවය නිසා ඔබ එම සතාට ආහාර ලබාදෙයි. මෙහිදී සිදුවන්නේ තෘෂ්ණාව මත ඇති වන ගනුදෙනුවකි. එම ගනුදෙනු ඔබව මුලාකරනු විනා සත්‍යවබෝධය සදහා නම් උපකාර නොකරයි. ප්‍රේත අලියාගේ ඉරණම සම්බන්ධයෙන් ඉහත සටහන තැබුවේ භික්‍ෂුව එය ගලපාගත් ආකාරයටය. ඔබට එය වැරදි යෑයි හැඟේ නම් පිංවත් ඔබට කැමති ආකාරයට එය ගලපාගත හැකිය. පිංවත් ඔබ කෙසේ ගලපාගත්ත ද සීමාව ඉක්‌මවා ගිය සතුන් කෙරෙහි බැඳීම ඔබේත් සුරතලාගේත් දුක පිණිසම හේතුවේ. සුරතලා කොහොමත් සිටින්නේ සතර අපායේය. එහෙත් ඔබ උතුම් මනුෂ්‍ය ජීවිතයකය. මේ දෙක ඔබ පටලවා නොගතයුතුය. තමාවත් තමාට අයිති නැතිකොට සතර අපායේ සතෙකු තමාගේ කරගැනීමට යැම අනතුරුදායක බව මෙනෙහි කරන්න. ඔබේ සෙවනේ වැඩෙන සුරතලා කුමන සතෙකු වුවද එම සතා පෙර ජාතියක මනුෂ්‍යයෙක්‌ බව හොඳින් සිහිකරන්න. එම මනුෂ්‍යයා තිරිසන් සත්වයෙක්‌ ලෙස සතර අපායට වැටුණේ පෙර මනුෂ්‍ය ජීවිතයේදී තිරිසන් සත්ව සංඥා වැඩු නිසා වීම එක හේතුවක්‌ විය හැකිය. මනුෂ්‍ය ජීවිතය ප්‍රපාතයට හෙලන මෙවැනි හේතූන්ගෙන් ඔබ අත්මිදෙන්න. තිරිසන් සත්වලෝකය විවිධත්වයෙන් පිරී ඇත. මේ විවිධත්වය යනු එම සතුන් ගෙවන කර්ම සහ කර්ම විපාකයන්ගේ ස්‌වභාවයයි. මෙහි පර්යේෂණ කිරීමට, ඇති දැඩි කිරීමට, සුරතල් කිරීමට දෙයක්‌ නොමැත. ඔබ සුරතල් කරන්නේ නම් ඒ ඔබ සුරතල් කරන්නේ සතර අපායේ කර්ම විපාකයකි. ඔබ දක්‍ෂයෙක්‌ වන්නේ සතර අපායේ දුක තිරිසන් සත්වලෝකයේ දුක දැක එය කමටහනක්‌ කර ගෙන සතර අපායෙන් එතෙර වීමෙන්ය. එසේ නොකොට සතර අපාය සුරතල් කිරීමෙන් නොවේ.
ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

Advertisements

4-2 මේ මුළු ලෝකයම ඔහුට කමටහනක්‌ වූ මෙවලමකි

මේ මුළු ලෝකයම ඔහුට කමටහනක්‌ වූ මෙවලමකි
2013-01-13

භික්‍ෂුවට මතකයි, භික්‍ෂුව උපසම්පදා විනය කර්මයට සහභාගීවී පැමිණි පසු ආරණ්‍යයේ වැඩ සිටි සාමනේර හිමිනමක්‌ විමසුවා ‘ඔබ වහන්සේ ඊයේ උපසම්පදා වුණානේ. දැන් ඔබ වහන්සේ ලොක්‌කෙක්‌ නේද?’ කියලා. ඒ දරුවා උපසම්පදාව කියන අර්ථය දුටු චිත්‍රයයි ඒ ප්‍රකාශකළේ. ඒ මොහොතේ භික්‍ෂුව කිව්වේ ‘දරුවෝ, උපසම්පදා පිංකමෙන් පස්‌සේ මම තව කුඩා වුණා’ ය කියලයි. සරළ වුණාය කියලයි. නිහතමානී වුණාය කියලයි. උපසම්පදා විනය කර්මයෙන් පස්‌සේ මට වෙච්චි දෙයයි මම ප්‍රකාශ කළේ. ඒත්, ඒ දරුවා ඒක තේරුම් ගත්තේ නැහැ. ශීලය තුළට යන්න යන්න ඔහු නිවෙනවා. එය ශීලයේ ආශ්චර්යයක්‌. සිsල්පද රකිනවාය කියන්නේ ජීවිතයට පහසුවක්‌මයි. භික්‍ෂුව මේ මොහොතේ ඉන්න සරළ භාවය ශීලයේ ඵලයක්‌. මෙතනට එන කෙනා අවබෝධයෙන් දන්නවා තමා තුළ විකුණන්නවත්, විකිණෙන්නවත් දෙයක්‌ නොමැති බව. අපි විකුණන්නේ ලෝභ, ද්වේෂ. මෝහ අකුසල් මූලයන් තුළින් ගොඩගසාගත් ‘මගේ කුණුගොඩ’මයි. එහෙම කුණුගොඩක්‌ නැති තැන ඔහු නිදහස්‌ පිංවතෙක්‌.

පිංවත් ඔබ සම්මා වායාමෝ කියන යහපත් ව්‍යායාමයක යෙදෙන කෙනෙක්‌ වෙනවා. යහපත් ව්‍යායාමය කියන්නේ කුසල් ධර්මයන් දියුණුකරගැනීමත්, අකුසල් දුරුකර ගැනීමත් කියන කාරණයයි. අකුසල් ප්‍රහානය කරන පිංවතා කුසලය තුළටමයි ජීවිතය රැගෙන යන්නේ. එයා කුසල් අකුසල් හොඳින් හඳුනනවා. ඒ දෙකේ ඵලවිපාකයන් හොඳින් හඳුනනවා. දැන් මොහු දිට්‌ඨධම්මවේදනීයව කුසලයේ ඵලයන් භුක්‌තිවිඳින කෙනෙක්‌. ජීවිතයට සැනසිල්ල ලැබෙන්න ලැබෙන්න තව තවත් කුසලය දිශාවටමයි ඔහු ඇදීයන්නේ. මොහු ලෝකය තකන්නේ නැහැ. සන්දිට්‌ඨ§කව ධර්මයේ ගුණයන් අත්විඳිනවා. මොහු ආපසු හැරීබලන්නේ යමක්‌ ඉගෙනගැනීමට පමණක්‌මයි. පසුතැවීමට නොවේ. මොහු බොහෝම ක්‍රියාශීලියි. හැබැයි අධිවේගී නැහැ. ශීලය විසින් මොහුව තැන්පත්කොට තිබෙන්නේ. ඔබ දැන් දන්නවා කුසල් අකුසල් දෙකම සංස්‌කාරයන් බව. සංස්‌කාරයන්ගේ ස්‌වභාවය අනිත්‍ය බව. මේ දැක්‌ම නිසාම ඔබ උත්සාහගන්නවා කුසල් අකුසල් දෙකෙන්ම මිදෙන්නට. ඔබ කල්පනා කරනවා කුමක්‌ නිසාද කුසල් අකුසල් සිද්ධවෙන්නේ කියලා. රූපය කෙරෙහි ඇති ඡන්දරාගය නිසාමයි අපි කුසල් අකුසල් සිදුකරන්නේ. එයා නුවනින් මෙනෙහි කරනවා රූපයේ අනිත්‍යබව. දැන් එයා ව්‍යායාමයක යෙදෙන්නේ දුක පිණිස හේතුවන දේවල් අයිතිකරගන්න නොවේ. දුකෙන් මිදෙන දිශාවටයි ඔහු යොමුවී සිටින්නේ. ඔහු තෘෂ්ණාව ඉලක්‌ක කරගෙන, පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දකින්නයි උත්සාහගන්නේ. එතනමයි එයාගේ සම්මා වායාමය. කුසල්, අකුසල් වල ඵලය භවයමයි කියලා ඔහුට දැන් පෙනෙනවා. ඔහු සිත, කය, වචනය මෙහෙයවන්නේ ධර්මය තුළින් යමක්‌ ඉගෙනගැනීමේ දිශාවටමයි. රූපය කාමය සඳහා නොව, ක්‍රීඩාව සඳහා නොව අවබෝධය සඳහාය කියන කාරණය ඔහු දකිනවා.

ඔහු තුළ සම්මා සතිය යහපත් සිහිය ඇතිවෙනවා. මොහු හොඳ නරක තෝරාබේරා ගන්නවා. ධර්මය අධර්මය හඳුනා ගන්නවා. විනයට අනුව ඇවත දැක ඒවා පිරිසිදුකර ගන්නවා. මග නොමග තේරුම් ගන්නවා. නවාතැන් පොළවල් නැති නිවන් මාර්ගය දැන් ඔහු හොඳින් හඳුනනවා. එයා දන්නවා ‘බුද්ධං සරණං ගච්ඡාමි’ කියන සරණාගමනයේ ඇති අර්ථය. එයා බුදුරජාණන් වහන්සේ තුළින් බුදුරජාණන් වහන්සේගේ රූපය නෙමෙයි දකින්නේ, උතුම් සම්මා සම්බුද්ධ ඤාණයයි. එයා දන්නවා ධර්මයේ අර්ථය අනිත්‍යයි කියලා. සංඝරත්නය කියන්නේ විමුක්‌ති ඤාණදර්ශනවල ඵලයයි කියලා. එයා කවදාකවත් පොත්ත සොයාගෙන යන්නේ නැහැ. එයා සොයාගෙන යන්නේ අරටුවයි. එයා දැන් අරටුව හඳුනනවා. කාම රූපී, අරූපී භවාත්‍රයන් පිළිබඳ මුළාවන් දැන් ඔහුගෙන් ඉවත්වෙලා. ඔහු ඒ සඳහා සක්‌කාය දිට්‌ඨ§ය, විචිකිච්ජාව, සීලබ්බත පරාමාස ධර්මයන් ජීවිතයෙන් සියුම්කර දමනවා, නුවනින් මෙනෙහි කරමින්. ඔහු නිවැරදිව දන්නවා ඔහු ඉදිරියේ කාම, රාග, පටිඝ පළිබෝධයනුත් තිබෙනවා කියලා. කළ්‍යාණ මිත්‍ර ඇසුර ලබමින් මොහු ස්‌වයංක්‍රීයව ධර්මයේ ශක්‌තියෙන්ම ඉදිරියට යන්නේ. මොහුට හදිසියක්‌ නැහැ, මොහු දන්නවා ඉක්‌මන්කාර බවත් සිතිවිල්ලක්‌ය කියලා. ඒ සිතුවිල්ලත් අනිත්‍ය වශයෙන් දකිද්දී ඔහු දකින්නේ ධර්මයේ අර්ථයයි කියලා. වාද විවාද සිත ඇතුළේ තිබෙනවා. ඒවා විසඳෙන්නේ ධර්මානුකූලව, නිවැරදි දිසාවටමයි. මොහු ආපසු හැරෙන්නේ නැහැ. සම්මා සතියේ සැබෑම ආශ්චර්ය ඒකයි. ඔබ මේ මොහොතේ මොන දේවල් අයිතිකරගෙන සිටියත් අවසානයේ ඒවා මතක සටහන් පමණක්‌මයි. ඒ මතක සටහන් හේතුවෙන් තවත් උපතකටයි ඔබ බැසගන්නේ කියලා ඔහු දන්නවා. මොහු කය දකින්නේ සතර මහා ධාතුන් වශයෙන්, දෙතිස්‌ කුණුපයන් වශයෙන්, ආයතන වශයෙන්, පංචඋපාදානස්‌කන්ධ වශයෙන්. මොහු වේදනාව දකින්නේ ඇලීම්, ගැටීම්, උපේක්‍ෂාවන් හැටියට. විඳීම නැතිතැන මනස විසිතුරුයි. එහි ඝණ රූප සටහන් නැහැ. රූප සටහන් ඇඳුනද ඒවා ඉතා ඉක්‌මනින් මැකීයන සටහන්. එහෙයින් එතැන ගැටලු නැහැ. ගැටලු ඇත්තේ තෘෂ්ණාවේ තීන්ත විසින් රූප ඝණ කර අඳින තැනදීය. තෘෂ්ණාවේ තීන්ත දියවුන තැනදී ඝණ චිත්‍රයක්‌ නැත. එහෙයින් සිත නිරතුරුවම ප්‍රභාෂ්වරයි. ඒ ප්‍රභාෂ්වර සිතිනුයි ඔහු දැන් ලෝකය බලන්නේ. මේ මුළු ලෝකයම ඔහුට කමටහනක්‌ වූ මෙවලමකි. එම සිත ඔබ මඩේ ඔබාගත්තද එහි මඩ තැවරී නැත. තැවරෙන ස්‌වභාවයෙන් යුත් තෘෂ්ණාවේ ලාටු එහි නැත. දායක මහත්මයෙක්‌ මහත්මියක්‌ මොනතරම් ලෙන්ගතුකම් පෑවද, පිංවත් ඔවුන් සහ බැඳීමක්‌ නැත. මන්ද බැඳීම ඇතිකරන්නාවූ තෘෂ්ණාවේ මැවුම්කාරියව මරාදමා ඇති හෙයිනි. දැන් ඔබ ලෝකයට ණයකාරයෙකු නොවේ.

මුල් අදියරේදී ඔහු දුකට හේතුවන සක්‌කාය දිට්‌ඨ§ය, විචිකිව්ජාව, සීලබ්බත පරාමාස යන සංයෝජන ධර්මයනුත්, දෙවැනුව කාම, රාඝ, පටිඝ මෝහ ධර්මයනුත් හොඳින් හඳුනන අයෙකි. මොහු දැන් එක දෙයක්‌ කරමින් තව දෙයක්‌ හිතන අයෙක්‌ නොවේ. එක දෙයක්‌ කරමින් තව දෙයක්‌ කථාකරන අයෙන් නොවේ. කළ යුත්ත නොකළ යුත්ත වටහාගෙන කරන අයෙකි. තමාගේ අරමුණු මොහු තමා විසින්ම පාවා නොගනී. මොහුගේ ගමන ප්‍රසන්නය. ධර්මයේ හැඩතල පෙන්නන්නෙකි. සිතුවිලි විවේකීභාවයට පත්වූවෙකි. මොහු ඇවතක්‌ වුවහොත් වහ වහා නිවැරදිවනවා, දුසිල්වතුන් මග හැර යනවා, නපුරු අවදානම් තැන් මග හැර යනවා, ශීලයට ඇති කැමැත්ත නිසාම….. ලෝකයක්‌ තනිවුනාය කියල මොහු තකන්නෙ නැහැ. මොකද නැතිවෙන්න කෙනෙක්‌ මෙතන නැහැ. ස්‌ථිරව රැඳෙන්න පුළුවන් කෙනෙකුත් ලෝකයේ නැහැ. සිව්පසය පරිහරණයේදී මොහු මන්දගාමීයි. ඔහු දන්නවා වේගය තමාව ගොදුරක්‌ කරගනීවි කියලා. ලාභ සත්කාර සර්පයෙක්‌ වශයෙන් දකින්නේ. උවමනා එපාකම් ගොඩාක්‌ ගොඩගසා ගන්නේ නැහැ. ලද දෙයින් සතුටුවෙනවා. ඉන්ද්‍රිය සංවරය ඉතා දියුණුයි. උදේ, දවල්, රාත්‍රී වශයෙන් මොහු කාලය දකින්නෙ නැහැ. මොහු දන්නවා මේ මොහොත උතුම්ම මොහොතයි කියලා. එය ගෙවී යනවා ලැබුවාවූ මොහොත ප්‍රයෝජනයට ගන්නවාය කියලා. මොහු ලෝකයාගෙන් සම්මාන ගෞරව බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ඔහු දන්නවා නිකෙලෙස්‌ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ සම්මාන ගෞරවයට තමන් පාත්‍රවී ඇති බව. ඔහු සංකීර්ණව ජාති, ජරා, ව්‍යාධි, මරණ අභිභවාගිය අයෙක්‌. නිරතුරුවම ලෝකය වසඟ කරන දුක කියන කාරණයේ අර්ථය හෙළිකරගත් කෙනෙක්‌ වෙනවා.

සමාධිමත් භාවයේ ආරම්භය ආශ්වාස ප්‍රශ්වාසයේ දිග භාවය, කෙටි භාවය, විචාර විතක්‌ක, ප්‍රීතිය සැපය පසුකරමින් සිත උපේක්‍ෂාව කියන ඇලීම් ගැටීම් වලින් තොර ස්‌වභාවයට පත්වෙනවා. උපේක්‍ෂාව කියන තැන බොහෝම සුන්දර පැහැදිලි නම්‍යශීලී තැනක්‌. විදර්ශනාව දෙසට හිත මෙහෙයවීමට අවශ්‍යනම් දැන් සිත සුදානම්. ඔහු මුලින්ම තමා උපේක්‍ෂාව දක්‌වා පැමිණි ආශ්වාස ප්‍රශ්වාසයේ දිග, කෙටි භාවය, විචාර විතර්ක, ප්‍රීතිය සැපය අනිත්‍යවූ හැටි විදර්ශනාවෙන් දකිනවා. ඔහු ඒවාට ඇති ඇලීමෙන් මිදෙනවා. සෑම රූපයක්‌ම අභියස අනිත්‍ය සංඥාව ඉස්‌මතුවෙනවා සිත තුළින්ම. කැමත්තයි අතහැරෙන්නේ අවබෝධයයි ලබන්නේ. සතර මහා ධාතුවේ සැබෑම වේගය, විඤ්ඤාණ ධාතුවේ සැබෑම වේගය ඔහු තම අවබෝධ පථයට හසුකර ගන්නවා. සිත උපේක්‍ෂාව කියන නම්‍යශීලී තැනදී අවශ්‍යනම් මොහු චුතූපපාතඥානය, පුර්වේ නිවාසානුස්‌සති ඥානය, දිව්‍ය චක්‌ඛු ඥානය, දිව්‍ය ශ්‍රොaත ඥානය ඔස්‌සේ සිත රැගෙන යනවා. මස්‌ ඇසෙන් නොදැක්‌ක ලෝකය සමාධියේ ඇසෙන් දකිනවා. සිත රළු බවට පත්කරන පංචනීවරණයන්ගේ ග්‍රහණයෙන් මිදුන සිත ප්‍රභාෂ්වරයි. ආලෝකය තුළිනුයි මොහු ලෝකය දකින්නේ. සම්මා සමාධිය ලෝකයේ බොරුව නිශේධ කර සත්‍යාවබෝධය අත්දැකීම් තුළින්ම ඔබට පසක්‌කර දෙනවා. එවිට ඔබ තුළ පැටලිලි ස්‌වභාවයන් නැත. ඔබ ඇත්ත ඇතිහැටියෙන් දකී. සම්මා සමාධියේ අසිරිමත් ස්‌වභාවයක්‌ මෙහි සටහන් තබමි.

එක්‌තරා භික්‍ෂුවක්‌ සමාධියෙන් පසුවෙන විට මීට වසර දෙදහස්‌ පන්සියයකට පෙරාතුව ජීවමානව වැඩසිටි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ සමාධියෙන් දර්ශනයකර ගෙන ඇත. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පා අවසානය. නමුත් මේ භික්‍ෂුව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දකින්නේ පුර්වේනිවාසානුස්‌සති ඥානය තුළින්ය. එම භික්‍ෂුව මීට වසර දෙදහස්‌ පන්සියයකට පෙර කාලයේ දඹදිවදී බුදුරජාණන් වහන්සේ ජීවමානව දැක තිබෙන්න පුළුවන්. එසේත් නැතිනම් ශ්‍රී ලංකාවට වැඩමකළ අවස්‌ථාවක බුදුරජාණන් වහන්සේ ජීවමානව දැක තිබෙන්න පුළුවන්. එසේත් නැතිනම් දිව්‍ය තලයක දෙවියෙක්‌ ලෙස ඉපිද සිට බුදුරජාණන් වහන්සේව ජීවමානව දැක තිබෙන්නට ඇත. ඒ අතීත දර්ශණය පුර්වේනිවාසානුස්‌සති ඥානය ඔස්‌සේ අරමුණු නොකරම ලොව්තුරා බුදුරජාණන් වහන්සේ එම භික්‍ෂුවට දර්ශනය වී ඇත.

ලෝකයේ ඇත්ත ඇතිසැටියෙන් පෙන්වීම සම්මා සමාධියේ ස්‌වභාවයයි. ඒ ඇත්ත ඉදිරියේ කුමන රූපයක්‌ දුටුවද එම රූපය දිනයෙන් මනසින් මැකීයන්නේ අනිත්‍ය සංඥාව ඉස්‌මතුවීමත් සමගින්මය. ශාස්‌තෘන් වහන්සේගේ රූපය ඉදිරියේ වුවද විඳීම නිරුද්aධවී ගොස්‌ය. සම්මා සමාධිය ඔබව ලෝකයෙන් එතෙර කරන දැක්‌මයි. අනිත්‍යයේ සියුම් වේගය ප්‍රඥාවේ දැලට හසුකරගන්නා දැක්‌මයි.

භික්‍ෂුව පිංවත් ඔබටත් එන්න කියලා ආරාධනා කරන්නේ මෙතැනට. අතුරු නවාතැන්පලවල් වල නැවතී සිටිනවාට වඩා මෙතැන මොන තරම් ආරක්‍ෂාකාරී තැනක්‌ද.

පුද්ගලයෙක්‌ සිටිනවා ඔහු ලෝකය සමග තැවරී නැහැ. ලෝකය සමග මුහුවෙලා නැහැ. ලෝකය කියලා කීවේ නාමරූප ධර්මයන්ට. ලෝකයට නොතැවරුන, ඔබටත් මටත් පාර කියන මේ සුන්දර මිනිසා ජීවත්වන්නේ සම්මා සම්බුද්ධ ශාසනයක. මේ සුන්දර ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ඵලය තුළ පමණක්‌මයි.

දැන් වේලාව සවස 5,00 පමණ ඇති. කුරුල්ලන්ගේ හඬ බොහෝම වේගවත්. මේ කුටිය අවට කැලෑරොදේ කුරුල්ලන් සියගනනක්‌ සිටිනවා. විවිධ වර්ග වල, හැඩවල, වර්ණවලට අයිති. මේ කුරුල්ලන් නගන විවිධ ශබ්ද කිචිබිචිය හරිම මිහිරියි. ඒ මිහිරි පක්‍ෂි චර්යාවන් නරඹන්න ඔබ හරිම කැමතියි. සමහරවිට එය ඔබේ විනෝදාංශයක්‌. නමුත් මේ කුරුල්ලන්ගේ මිහිරි නාදය භික්‍ෂුවට ඇසෙන්නේ අඳෝනාවක්‌ වගේ. නිකං අඳෝනාවක්‌ නෙවේ. තිරිසන් අපා දුකේ අඳෝනාවක්‌ වගෙයි. ඔය කුරුල්ලෝ අතුපතර රිංග රිංගා සොයන්නේ ගස්‌වල සිටින පණුවන්, දලඹුවන්, කෘමීන්. ඒවා ඔවුනගේ රසවත්ම ආහාරයයි. ඔය ලස්‌සන පාට පාට සුන්දර එක කුරුල්ලෙක්‌ දිනකට අවමවශයෙන් පණුවන් පනස්‌ දෙනෙක්‌ පමණ ගිලදමනවා. ප්‍රාණඝාත අකුසලයේ තෝතැන්නක්‌ පක්‍ෂි ජීවිතය. පණුවන් හොටෙන් අල්ලාගෙන එම හොටෙන් දෙතුන් වරක්‌ අතුවලට තට්‌ටු කරනවා පණුවා මැරෙන්න. පණුවා මැරුණ පසුයි එය ගිලදමන්නේ. එම පක්‍ෂියා තුළ සත්ව ඝාතන, සත්ව හිංසා කියන ෙච්තනා සියල්ල සකස්‌වෙලා තිබෙන්නේ. කර්මය කර්මඵල විශ්වාසය තමයි නැත්තේ පක්‍ෂියා තුළ. මේ පක්‍ෂීන් කියන්නේ අකුසල් නිධි. එම පක්‍ෂීන් මිය යන වෙලාවේ එම පක්‍ෂීන්ට මතක්‌ වෙන්නේ පණුවන්ගේ රසය ඒ උපාදානයට අනුව එම පක්‍ෂියා මරණින් මතු පණු කුලයක, දලඹු, කෘමි කුලයකයි උපත ලබන්නේ බොහෝවිට. එසේ වුණහොත් එයා කර්ම ඵලය කුරුල්ලකුටම ගොදුරු වෙන්න පුළුවන්. බලන්න සුන්දර කුරුළු ජීවිතයක්‌ තුළ මොනතරම් අසුන්දර කථාවක්‌ සැඟවිලා තිබෙනවාද කියල. මෙවන් සුන්දර කුරුලු ගීතයක්‌ තුළ මොනතරම් අමිහිරි අඳෝනාවක්‌ සැඟවී තිබෙනවාද කියල. මෙවැනි අසුන්දර, අමිහිරි කුරුලු ලෝකය විනෝදාංශයක්‌ කරගත්ත අපි විනෝදාංශයක්‌ කරගන්නේ මෝහයයි. කමටහනක්‌ කරගත යුතුදෙය විනෝදාංශයක්‌ කරගන්නවා. මෝහය විනෝදාංශයක්‌ කරගත්තාවූ ලෝකයාට අමෝහයේ සැබෑම මග විවර කරදෙන්නේද උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයමය. සත්තු මරන මිනිස්‌සුන්ව පිළිකුල් කරන අපි සත්තු මරන කුරුල්ලන්ව විනෝදාංශයක්‌ කරගන්නවා. පක්‍ෂීන් යනු අපායේ යන කුරුල්ලන්ය. මන්ද ඒ සතුන් ඒ තරමටම ආහාරය සඳහා ප්‍රණඝාතය සිද්ධකරගන්නවා. ඇසට පෙනෙන දෙයින් එහාට දකින්න. ඒ දැක්‌ම ප්‍රඥාවයි.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

4-1-මේ අවුරුද්දේ ඔබත් මෙතැනට එන්න

මේ අවුරුද්දේ ඔබත් මෙතැනට එන්න
2013-01-06
නව වසරට ධාර්මික ප්‍රවේශයක්‌ සඳහා කෙරෙන ආරාධනය III


‘පිංවත් ඔබත් මෙතැනට එන්න’ කියලා කියපුවාහම ඔබට හිතෙන්න පුළුවන් කොතැනටද මේ එන්න කියන්නෙ කියලා. භික්‍ෂුව ඔබට මේ එන්න කියන්නේ ලෝකයේ සුන්දරම තැනට. මෙතන ඔබේ තැනකුත් නොවේ. ඔබේ නොවන තැනකුත් නොවේ. මේ මොහොතේ විවේකය ලබන තැනයි. හෙට මෙතැනින් නික්‌ම යායුතුයි. ආපසු හැරී බැලීමක්‌ නැත. හෙට තැන නැවුම් වුවත් විවේකයේ වෙනසක්‌ නම් නැත. තැනත් නොතැනත් දෙතැනම ධර්මයේ ස්‌වභාවයෙන්මයි තිබෙන්නේ. ඔබට එන්න කියලා ආරාධනා කරන්නේ මෙතැනට.


මෙතැන පුද්ගලයෙක්‌ සිටිනවා. ඔහු ලෝකය සමග තැවරිලා නැහැ. ලෝකයට මුහුවෙලා නැහැ. ලෝකයේ නොතැවරුනු මේ සුන්දර මිනිස්‌සු ජීවත්වන්නේ සම්මා සම්බුද්ධ ශාසනයක, මේ සුන්දර ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අර්ථය තුළ පමණක්‌මය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහස තිබෙන තැනක්‌ මෙතැන. ‘නිදහස්‌ කියලා කීවේ සීමා, මායිම්, වැටකඩුලු, පිඹුරුපත්වලින් කොටුකරගත් නිදහසක්‌ නොවේ. ගොඩගසාගත් වස්‌තුව, දේපල, ඥාතීන් ‘මගේ’ කරගත් තෘෂ්ණාවෙන් බැඳුණු නිදහස ද නොවේ. මේ සියල්ල කෙරෙහි ඇලීම්, ගැටීම්, උපේක්‍ෂාවන් අවබෝධයෙන් අතහැරි නිදහසයි.

මෙහෙම සටහන් තබපුවහම ඔබට බිය සිතෙන්න පුළුවන්, භික්‍ෂුව මේ ඔබට එන්න කියන්නේ මොකුත්ම නැති මුඩු තැනකටද කියලා. එහෙම හිතන්න එපා. මෙතැන ඉරත් තිබෙනවා. හඳත් තිබෙනවා. ආලෝකය අඳුරත් තිබෙනවා. අම්මා, තාත්තා ඉන්නවා. කැපකරු, දායක පිරිස්‌ ඉන්නවා. නැත්තේ මේවා කෙරෙහි ඇති තෘෂ්ණාව පමණක්‌මය. එනිසා සියල්ල අහිමිවනවාය කියලා, පිංවත් ඔබ බියවෙන්න එපා. අහිමිවෙන්නේ දුකට හේතුවන තෘෂ්ණාව පමණයි. බලන්නකෝ, ලෝකය තිබියදී තෘෂ්ණාව දියවෙලා. තෘෂ්ණාව කියන එකම කරුණෙනුයි ලෝකයට බැඳුනේ. ‘නිදහස්‌ කියලා කීවේ මෙතැනයි. ලෝකය තිබෙනවා. බැඳීම් නැහැ. ඇස තිබෙනවා. ඇස නිසා බැඳීම් නැහැ. ඔබම සිතන්නකෝ ඒ සිත මොන තරම් විවේකී, නිස්‌කලංක සිතක්‌ද? ඒකයි පිංවත් ඔබටත් අරාධනා කළේ, ‘මෙතැනට එන්න’ කියලා.

ලස්‌සන මාර්ගයක්‌ තිබෙනවා. මෙතැනට එන එක තමයි මේ ලෝකේ සුන්දරම මාර්ගය. සැපයටම හේතුවන මාර්ගය. විවේකය දිසාවට, සරලභාවයේ දිශාවට, නිවීමේ දිශාවට ඔබව රැගෙන යන මාර්ගය. ඒ උතුම් මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගයමයි. වැලි, කළුගල්, සිමෙන්ති, කොන්ක්‍රීට්‌ වලින් මිදුණු, ලෙයින් මසින් සැදුණු ජීවිතයට අර්ථය ගෙනෙන මාර්ගයයි. මේ මාර්ගය දිගේ ඔබත් පෙරට එන්න. එතැනදී ඔබ මුළින්ම දකින්නේ ‘දුක’ කියන කාරණයයි. ‘දුක’ කියන කාරණය මතින් ඔබ ගමන්කරන විට, ඔබ දකිනවා දුකට හේතුව තෘෂ්ණාව කියන කාරණයයි කියලා. තෘෂ්ණාව නැති කළොත් දුක නැතිවෙනවාය කියන කාරණය තමයි ඔබේ ගමනේ ආරම්භය. පිංවත් ඔබ මෙතැනට එනකොට දාන, ශීල, භාවනා මාර්ගය ජීවිතයේ කොටසක්‌ කරගත්ත අයෙක්‌. මේ ආරම්භයත් සමග ඔබ දුකෙන් මිදෙන දිශාවටමයි ගමන් කරන්නේ. තමා කව්රුන් උදෙසාවත් ව්‍යාපාදය, කේන්තිය, ද්වේශය සකස්‌කරගන්නේ නැහැ. එයා දකිනවා ව්‍යාපාදය තමාටත්, අනුන්ටත් දුක පිණිසයි පවතින්නේ කියලා. තමාගේ කේන්තියවත් තමාට අයිති නැතිකොට එයා කවදාකවත් අනුන්ගේ කේන්තියක්‌ තමාගේ කරගන්න යන්නේ නැහැ. ඒ නිසා ඔහු නිරතුරුවම මනසින් සිදුවන මනෝකර්ම ගැන අවධියෙනුයිs සිටින්නේ. අනුනට ව්‍යාපාදය කිරීම තමා, තමාට කරගන්නා දරුණු පළිගැනීමක්‌ බව ඔහු දකිනවා. ව්‍යාපාදයට ඔහු බියවෙනවා. සතර අපාය ව්‍යාපාදයේ ප්‍රතිඵලයක්‌ බව ඔහු දකිනවා. ව්‍යාපාදය, ද්වේශය කියන අකුසල මූලයන් නිසාම මෙතෙක්‌ නිවන් මාර්ගය දුරස්‌වූ බව ඔහු දකිනවා. තමා තුළින් ඇති කරගන්නා වූ ව්‍යාපාදය තමාවම ප්‍රමාදභාවයට පත්කරනවා.

ඒ නිසාම තමා කාටවත් හිංසාවක්‌ කරන්න යන්නේ නැහැ. තමන් දකිනවා හිංසාවක්‌ කළොත් තමාත් අනුනුත් දුකට වැටෙනවා කියලා. හිංසාවට තමන් අකමැතිසේම සියලු සත්වයෝත් හිංසාවට ප්‍රිය නොවන බව ඔහු දකිනවා. තෙරුවන් ගුණයන් ගැනමයි ඔහු මෙනෙහි කරන්නේ. අසද්ධාව කියන්නේ තමා තමාට කරගන්නා ලොකුම හිංසාවයි කියලා ඔහු දකිනවා. එම නිසාම තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තව තවත් අර්ථවත් කරගෙන එය අචල ශ්‍රද්ධාවක්‌ බවට බලගන්වාගෙන මුලින්ම තමා තමාට මෛත්‍රී කරගන්නවා.

නෙක්‌කම්මයටමයි සිත යොමුවන්නේ. ලෝභ සිතක්‌ පැමිණියොත්, ද්වේශ සිතක්‌, මෝහ සිතක්‌ පැමිණියොත් එහි ආදීනව දැකලා ඒවා අතහැර දමනවා. ලෝභය, අලෝභය බවට පරිවර්තනය කරගන්න ඔහු දැන් දක්‍ෂයි. ද්වේශය මෛත්‍රියක්‌ බවටත්, මෝහය අමෝහය බවටත් පරිවර්තනය කරගන්න ඔහු තුළ දක්‍ෂතාවය තිබෙනවා. එයා දකිනවා මේ ජීවිතය තමාට අයිති නැතිනම්, එය උදෙසා කුමකට අකුසල් රැස්‌කරගන්නවාද කියලා. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව නිසාම, මොහු සැබෑම සැපය නෙක්‌ඛම්මය බව දකිනවා. සැබෑම සැපයට ඇති කැමැත්ත නිසාම, සැපයට බාධාකරන සක්‌ඛායදිට්‌ඨි, විචිකිච්ජා, සීලබ්බතපරාමාස කියන බැඳීම් සිඳෙන දිශාවටමයි ජීවිතය අර්ථවත් කරගන්නෙ. මෙතැනයි නෙක්‌ඛම්මයේ සැබෑම ආරම්භය. ඔහු දක්‍ෂයි ”මම”කියන දුක්‌ගොඩ බිමතබා පටිච්චසමුප්පන්නව ජීවිතය දෙස බලන්න. තව ඉදිරියට එනවිට කාම, රාග, පටිඝ, මෝහ කියන කාරණාත් ඔහුට බිම තබන්න සිද්ධවෙනවා. නෙක්‌ඛම්මයේ සැබෑම අර්ථය ශක්‌තිමත් වන්නේ පංච උපාදනස්‌කන්ධයේ අනිත්‍ය දැකීම අවබෝධය තුළින්ම බව ඔහු දැන් දන්නවා.

මේ වන විට වචනය බොහෝම සංවරයි එයාගේ. එයා දන්නවා වගකීමකින් තොර එක වචනයක්‌ භවගමනේ මහා විනාශයක්‌ කරනවා කියලා. දුකක්‌ අත්කරදෙනවා කියලා. සෑම වචනයක්‌ම මුවින් පිටකරන්නේ දැඩි විනයකින්. බොරුව ඔහුගේ තහනම් වචනයක්‌. එයා අනුනට ප්‍රිය වචනයෙන්මයි කථාකරන්නේ. ඒවයේ විෂ නැහැ, මංමුලාකිරීම් නැහැ. වචනය ඔහු උපයෝගීකර ගන්නේ ශීලයේ, දානයේ, භාවනාවේ ආනිශංශ ගැන කථා කිරීමටයි. යහපතක්‌මයි ඔහු මුවින් ප්‍රකාශකරන්නේ. නිවන් මාර්ගයට අදාළ ධර්මයක්‌මයි ඔහු සිතන්නේ. එයා කවදාකවත් ලෝකය, පංචඋපාදනස්‌කන්ධය සැපය කියන බොරුව කියන්නෙ නැහැ. එයා බාහිර, අධ්‍යත්මික රූපය තුළ සැප තිබෙනවාය කියන බොරුව කියන්නෙ නැහැ. අපි මේ ජීවිතයේදී කියන ලොකුම බොරුව තමයි ‘ලෝකය සැපය’ කියන බොරුව. ඔහු එය කවදාකවත් කියන්නේ නැහැ. තෙරුවන්ගේ අගුණයක්‌ ඔහු කියන්නේ නැහැ. කර්මය කර්මඵලයන්ගේ විශ්වාසය ගැනමයි ඔහු කථාකරන්නේ. මව් පිය ගුණයන් ඔහු නිරතුරුවම සිතනවා. අනුනට කියනවා.

කයෙන් සිදුවන වැරදි එයා කරන්නේ නැහැ. ප්‍රාණාගාතය, සොරකම, වැරදි කාමසේවනය, සුරාපානය ජීවිතයට අපුල දේවල්. ජීවිතයට දුගඳ දේවල් හැටියටයි දකින්නේ. එයා මේ විෂමාචාරවලින් මිදෙනවා පමණක්‌ නොවේ අනුනටත් ඒවායේ ආදීනව කියනවා වගේම ඒවායේ යෙදෙන මනුෂ්‍යයින්ගෙන් දුරස්‌ වෙනවා. පවට ඔහු බයයි. එයා කයෙන් යහපත් ක්‍රියාවක්‌මයි සිදුකරන්නේ. මේ වයසට යන ලෙඩ වෙන, මැරෙන කය නිසා අකුසල් සිදුකරගන්නේ නැහැ. සද්ධර්ම ශ්‍රවණය, දානය, ශීලය, භාවනාව උදෙසාමයි කය ප්‍රයෝජනයට ගන්නේ. එයා අනුනගේ ජීවිතවලට හානි නොකරනවා වගේම තමාගේ ජීවිතයටත් හානිකරගන්නෙ නැහැ. එයා දන්නවා සංස්‌කාර නිසාමයි සත්වයා මැරෙමින් උපදිමින් ගමන්කරන්නේ කියලා. එයා මුලින්ම සක්‌කායදිට්‌ඨි, විචිකිච්චා, ශීලබ්බතපරාමාස සංයෝජන ධර්මයන් දුරුකරලා ජීවිත හතකට උපත සීමාකරගන්නවා.

එයා අන්සතු දෙයක්‌ මගේ කරගන්නේ නැහැ. මේ ඇස මගේ නොවේ. ඒ නිසා එයා ඇස මගේ කරගන්නේ නැහැ. මේ රූපය මගේ නොවේ. ඒ නිසා රූපය මගේ කරගන්නේ නැහැ. මේ මනස මගේ නොවේ ඒ නිසා මනසේ ඇති වෙන සිතුවිලි මගේ කරගන්නෙ නැහැ. ඇස නිසා සකස්‌වෙන ඵස්‌ස, වේදනා, සංඥා, සංසඛාර, විඤ්ඤාණ තමාට අයත් නොවන දේවල් බවයි දකින්නෙ. අන්සතු දෙය තමාගේ කරගෙන දුක්‌විඳින්නෙ නැහැ. ඒවාට බැඳී යන්නෙ නැහැ. ඒවායෙන් මත්භාවයට පත්වෙන්නෙ නැහැ. එයා හොඳින් දන්නවා ජීවිතය මත්කරන දේවල් මොනවද කියලා. සත්වයා නිරතුරුවම රාග, ද්වේෂ, මෝහ ධර්මයන්ගෙන් මත්වෙනවා. මේ මත්වීම නිසා සත්වයා කල්ප ගණන් දුකට පත්වෙනවා. එක සිතුවිල්ලක්‌ නිසා දුකෙන්මයි මත්වෙන්නේ. ඒ නිසා එයා නිහතමානී වෙනවා. මාන්නයට පත්වෙන්නෙ නැහැ. එයා මිදුල අතුගෑවත් එය අතුගාන්නේ තමාගේ සිතේ ඇති කුණු අතුගානවා කියන අදහසින්. එයා වැසිකිළියත් සේදුවත් එය සෝදන්නේ තමාගේ සිතේ රාග, ද්වේෂ, මෝහ සිතුවිලි සෝදාහරිනවා කියන අදහසින්. පිරිසිදුභාවයට එයා හරි ප්‍රියයි. යමෙක්‌ ජීවත්වෙන පරිසරය අපිරිසිදු නම් එයින් පෙනෙන්නේ ඔහුගේ සිතේ ඇති පිරිසිදුභාවයයි. බාහිර පරිසරය පිරිසිදු වෙන්න පිරිසිදු වෙන්න තමාගේ සිතත් පිරිසිදු වෙනවා, තැන්පත් වෙනවා. මේ හේතුව නිසාම නිහතමානීභාවය ඇතිවෙනවා. නිහතමානී කෙනා රාග, ද්වේෂ, මෝහ ධර්මයන්ගෙන් මත්වෙන්නෙ නැහැ. ඔහු තාවකාලික සැපයක්‌ උදෙසා දීර්ඝකාලීන දුකකට පාර පෙන්වන මෝහය දුරුකරමින් යන කෙනෙක්‌. කයෙන් සිදුවන ප්‍රාණඝාත, අදත්තාදාන, කාමය වරදවා හැසිරීම, සුරාපානය තුළින් දිවිහිමියෙන් වෙන්වන ඔහු දන්නවා ලෝභ, ද්වේෂ, මෝහ නිසාමයි අකුසලයෙන් සත්වයා මත්වෙන්නෙ කියලා. ඒ නිසාමයි පරපණත්, තමපණත් නසන්නේ දුක්‌දෙන්නේ කියලා. දුක පිණිස හේතුවෙන අන්සතු වස්‌තුව වගේම දුකදෙන සක්‌කායදිට්‌ඨිය, විචිකිච්ජාව, සීලබ්බතපරාමාස සංයෝජන ධර්මයන් මගේ කරගෙන ජීවත්වෙන්නෙ කියළා. ඒ නිසා මොහු යහපත් සිහිය මත්කරන්නාවූ කයෙන් සිදුවන සියලු වැරදිවලින් මිදෙනවා.

පිංවත් ඔබ මීළඟට සම්මා ආජීවයෙහි යෙදෙනවා. වැරදි වෙළෙඳාම් වලින් යෑපෙන්නෙ නැහැ. මස්‌ මාංශ, සුරාව, වස – විස, වෙඩිබෙහෙත්, මනුෂ්‍යයන් ඇතුළු සතුන් වෙළඳාම මිච්චා වෙළඳාම හැටියට ගැනෙනවා. ඔබ ශක්‌තිමත්ව මේ මාර්ගයේ ගමන් කරන විට ඔබ කවදාකවත් තමා විකුණන්නෙත් නැති තමා විකිනෙන්නේත් නැති තත්වයට පත්වෙන්න ඕනේ. වෙළෙඳ භාණ්‌ඩයක ස්‌වභාවයෙන් ඔබ මිදෙන්න ඕනේ. සෑම විටම තමාගේ ජීවිතය ගලපාගන්නේ ධර්ම විනයත් සමගයි. මේ සඳහා ඔබට උපකාරීවෙන්නේ ශීලයයි. ගිහිපිංවතුන්ලාට නම් පංචශීලය ශක්‌තිමත්භාවයට පත්වෙන්න ඕනේ. සාමනේර ස්‌වාමීන් වහන්සේ නමකට දස ශීලයත් සේයා 75ත් තම උතුම් ශීලය වශයෙන් ආරක්‍ෂා කර ගන්න ඕනේ. උපසම්පදා ස්‌වාමීන්වහන්සේ නමකට ප්‍රාතිමෝක්‍ෂ ශීලය තම ශීලය වෙනවා. විනය කාරණා අප නිවරැදිව දැනගෙන සිටිය යුතුයි. එසේ නොවුනහොත් අපිත් විකුණන විකිණෙන කෙනෙක්‌ බවටයි පත්වෙන්නේ. ප්‍රාතිමෝක්‍ෂ ශීලය තුළින්මයි අපිව මේ අවදානමෙන් මුදවා දෙන්නේ. ශීලය ගිලිහී ගිය තැනදි අපි වැරදි ආජීවයන්ට යොමුවෙනවා. සෑම විටම අපේ ඉලක්‌කය ගැන අවධානය යොමුවිය යුතුයි. එසේ නොවුන තැන කාම, භව, දිට්‌ඨි, ශීල, උපාදනවල සිරකරුවන් වෙන්න පුළුවන්. මේවා නිවන් මග සොයා යන පිංවතුන්ට මිච්ජාආජීවයක්‌මයි. ශීලය ඔබට පහසු බවක්‌මයි, සරල බවක්‌මයි ඇති කරන්නේ

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com