3-24 නව වසරට ධාර්මික ප්‍රවේශයක්‌ සඳහා කෙරෙන ආරාධනය II

බුදු සිතක උපදිනා සිතිවිල්ලක්‌ ඔබේ සිත තුළත් උපදවාගන්න
2012-12-30
නව වසරට ධාර්මික ප්‍රවේශයක්‌ සඳහා කෙරෙන ආරාධනය II


තවත් ජනවාරි පළවැනිදාවක්‌ අත ළඟය. අප මේ අදියරේදී කතා කරමින් සිටින්නේ ‘සතර අපායෙන් මිදීම’ ගැනය. මේ නිමිති දෙක සැලකූ විට මෙම ලිපිය තවත් වරක්‌ පළ කිරීමට සිත්විය. ‘මහරහතුන් වැඩි මඟ ඔස්‌සේ’ ලිපි මාලාව කියවන්නට පසුව එක්‌වූ හෙවත් මෙම ලිපිය මගහැරුණු පාඨකයන් වෙනුවෙන්ද, මෙම ලිපිය මින් පෙර කියවා ඇති පාඨකයන්ට එම අදහස්‌ තව තවත් කාවද්දනු පිණිසද නැවතත් මෙය පළකිරීමට අපි තීරණය කළෙමු. හොඳ දේ දෙවරක්‌ නොව, කිහිපවරක්‌ වුව යොදාගත්තාට කම්නැතැයි සිතමු. ඒ අනුව ඉකුත් වසරාරම්භයේදී පළවූ සුවිශේෂී ලිපි දෙකක්‌ මෙලෙස මෙම සතිදෙකේදී නැවත පළකිරීමට අප සිතුවේ එළඹෙන වසර තව තවත් අර්ථවත් කරනු වෙනුවෙනි. එම සුවිශේෂී ලිපි 2 න් අනතුරුව ජනවාරි පළමු සතියේ සිට සුපුරුදු පරිදි ලිපි මාලාව ඉදිරියට ක්‍රියාත්මක වනු ඇත.

ඉකුත් කොටසින් සඳහන් කළේ දෙසැම්බර් 31 දා රාත්‍රියේ නගරයේ මෙන්ම ගමේත් ඇසට පෙනෙන, කනට ඇසෙන පැත්ත. සාමාන්‍ය ස්‌වභාවය. මීට වඩා වෙනස්‌ ස්‌වභාවයකුත් වාර්තමාන සමාජය තුළ වර්ධනය වෙනවා. හෝටල්වල පෞද්ගලිකව වෙන්කරගත් ස්‌ථානවල නව වසර උදාව සමරන අයට අවුරුදු උදාවෙන්නේ අඳුරේ. ප්‍රඥාවේ ආලෝකයක්‌ මේ අයට කොහොමටවත් නැහැ. ජල විදුලියේ, තාප බලාගාරයේ ආලෝකය පමණයි තිබෙන්නේ. එම ආලෝකයත් නිවා දමා, අඳුරේ තමයි අවුරුදු උදාවට අවතීර්ණ වෙන්නේ. ඒකෙන්ම පෙනෙනවා අවිද්‍යා සහගත සිත, ආලෝකයට ඇති අකමැත්ත. ආලෝකය නිවාදමා අඳුරට කැමැතිවන්නේ අනුශය වශයෙන් ඉතිරිවෙලා තිබෙන හිරි ඔතප් දෙකත් ඒ රාත්‍රියේ නැති කරගන්න. හිරි ඔතප් දෙක නැතිවුණ තැන තවත් නැතිවෙන්න දෙයක්‌ තිබෙනවාද?

වසරක ආරම්භය මේ අය විසින් පටන්ගන්නේ ශීලයට සෘණාත්මක අගයක්‌ දෙමින්. ශීලයෙන් ගිළිහුණ ජීවිතයක ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන් සරුසාර ලෙස වැඩෙනවා. මෙවන් සිත්වලින් ලබන්නා වූ වසරට කුමන ආධ්‍යාත්මික ශාන්තියක්‌ද? භෞතික දියුණුවක්‌ නම් සැලසේවී. ඒ බව සමාජයෙන් හොඳින් පෙනෙනවා සැකයකින් තොරවම. එහෙත් එය සතුටු විය හැකි කාරණයක්‌ නම් නොවේ. පරලොව යහපත ගැන බලනකොට ලබන්නා වූ වසරේදී අවම වශයෙන් පංච ශීලයවත් රැකගැනීමට අධිෂ්ඨානයක්‌ ඇතිකර නොගන්නා තැනැත්තා තමා තමාටවත් උපකාරයක්‌ කර නොගත් තැනැත්තෙක්‌ වෙනවා. ඔහු කෙසේ අනුනට උපකාර කරන්නද? කෙසේ නම් අනුනට ආශිර්වාද කරන්නද? ඔහු කෙසේ නම් ධර්මයේ අර්ථයක්‌ අත්දකින්නද? ධර්මයේ අර්ථයන් අත්නොදකින් තැනැත්තා රාත්‍රි 12 ට අවදි වී සිටියත් මෙලොව පරලොව දෙකේදීම ඔහු ප්‍රමාදීභාවයට පත්වෙනවා. මේ අයෝනිසෝ මනසිකාරයෙන් යුතුව ඔබ සිදුකරන්නා වූ ක්‍රියාවන් නිසා ඔබට පැහැදිලිව, විවරව තිබෙන ධර්ම මාර්ගය ඔබ විසින්ම වසාගන්නවා. ඔබ මේ ජීවිතයේ සශ්‍රීකභාවය ලබන්න, පෙර ජීවිතයේදී මොනතරම් දානමය, ශීලමය පිංකම් සිදුකරගෙන තිබෙන්න ඕනෙද? අතීත භවයන්හිදී මනුෂ්‍ය ජීවිතවල ඉපදී සිදුකරගත් කුසල් විපාකවල සැපය මේ ජීවිතයේදී අත්විඳිනකොට ඔබ ඒ සශ්‍රීකභාවය, මහේශාඛ්‍යභාවය, සෞභාග්‍යමත් ජීවිතය අත්විඳින්නේ පිංවත් ඔබට අතීතයේ උපකාර වූ දානයට, ශීලයට මේ ජීවිතයේද සෘණාත්මක අගයක්‌ ලබාදෙමින් නේද? මේ සෘණාත්මක බව නේද වර්තමාන සමාජයේ ඇසෙන අවිද්‍යාවේ කන්බිහිරි කරවන හඬ. ශීලයමයි පිංවත් ඔබට උපකාර වූයේ මේ උතුම් මනුෂ්‍ය ජීවිතය ලබන්නට. දානයමයි ඔබට උපකාර වූයේ මේ උතුම් මනුශ්‍ය ජීවිතයේ ආයුෂ, වර්ණ, සැපය, බලය ලබන්නට. ඒ නිසා කෘතවේදීව පිංවත් ඔබ සත්පුරුෂභාවයෙන් යුතුව ඔබට උපකාරවූ ධර්මතාවයන් ගරු කරන්න. ඒවාම ජීවිතයේ වටිනාකම් බවට පත්කරගන්න. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, කර්මය කර්මඵල පිළිබඳ විශ්වාසයෙන් පිංවත් ඔබ ශීලමය, දානමය පිංකම් උදාවෙන සෑම නව වසරකම ඔබට මුණගැසෙන කළ්‍යාණ මිත්‍රයා කරගන්න. ඔබට සුබපතන හිතවතා කරගන්න. ඒ කළ්‍යාණ මිත්‍රයා ඔබට සුබපැතුවොත් පමණක්‌මයි ඔබ ලැබූ උතුම් මනුෂ්‍ය ජීවිතය සුබ ජීවිතයක්‌ වෙන්නේ. ලැබුවාවූ නව වසර සුබ වසරක්‌ වෙන්නේ.

මේ කළ්‍යාණ මිත්‍රයා ඔබ තුළමයි සැඟවී සිටින්නේ. මොහු සැඟවී සිටින්නේ ලෝභ, ද්වේෂ, මෝහ නමැති මාර ධර්මයන්ට භියෙන්. එසේත් නැතිනම් මාර ධර්මයන් කෙරෙහි ඇති කරගත් ජන්දරාගය නිසා ඔබට සැඟවෙමින්. පිංවත් ඔබ දක්‍ෂවෙන්න ඕනේ මේ භියෙන් ඔබේ කළ්‍යාණමිත්‍රයා මුදවාගන්න. ඉස්‌මතුකොටගන්න. එය කරන්න පුළුවන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, කර්මය කර්මඵල පිළිබඳ විශ්වාසය ඔබ තුළ ඇතිකරගැනීම තුළින්. මේ කාරණා දෙකේ අර්ථයෙන් ඔබ සන්නද්ධ වෙනකොට ඔබේ කළ්‍යාණ මිත්‍රයා ශක්‌තිමත් භාවයෙන් නැඟීසිටිනවා. ඔබව කුසල් මාවතට යොමුකරනවා. සතර අපායෙන් මිදීමේ මාවතට ඔබව යොමුකරනවා. භික්‍ෂුව මේ දේවල් සටහන් කළත් මේවා අර්ථවත්ව ක්‍රියාත්මකවීම බොහොම දුර්වලයි. ඒ නිසා ඔබ අනුන් ගැන සිතන්න එපා. ඔබ තනි තනිව ඉහත සටහන ජීවිතයට ගලපාගන්න. ලෝකය, ලෝකයේ ස්‌වභාවයෙන් පවතීවී. පිංවත් ඔබ ලෝකයෙන් මිදීමේ ස්‌වභාවයට එන්න. ලෝකයෙන් මිදීමේ ස්‌වභාවයට සැමවිට තිබෙන්නේ අඩු පෝලිම බව ඔබ සිතන්න ඕනේ. සෙනඟ වැඩි, පිරිස වැඩි පෝලිම හැමදාමත් ලෝකයේ පැවතීම දෙසටයි තිබෙන්නේ. ඒ කියන්නේ දුක දෙසට. මාරයාගේ ලෝකයේ ව්‍යවහාර මුදල් තමයි දුක. සමාජය අලුත් වටිනාකම් හැටියට සොයාගන්නා, ක්‍රියාත්මක කරන දේවල අවසාන ප්‍රතිඵලය දුකයි. ඇයි පිංවත් ඔබට බැරි ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ සිතේ ඇති වූ සිතිවිල්ලක්‌ ජීවිතයේ තීරණාත්මක අවස්‌ථාවක, ජීවිතයේ සුබ අවස්‌ථාවක ඔබේ සිතුවිල්ලක්‌ කරගන්න. ඇයි ඔබට බැරි අතීතයේ වැඩසිටියා වූ රහතන්වහන්සේ නමකගේ සිතෙහි ඇතිවූ සිතිවිල්ලක්‌ ඔබේ සිතිවිල්ලක්‌ කරගන්න. එවන් උත්තමයකුගේ සිතෙහි ඇතිවූ සිතිවිල්ලක්‌ අපිට සිතන්න බැහැයි කියමුකෝ. එහෙමනම් ගිහි ජීවිත ගතකළ අනේපිඬු සිටුතුමන් විශාඛාව වැනි ධර්මයෙන් ජීවිතය ජයගත් පිංවතුන්ගේ සිතෙහි ඇති වූ සිතිවිල්ලක්‌ ඔබ ඔබේ සිතිවිල්ලක්‌ කරගන්න. එහෙම සිතනකොට මොනතරම් සැනසිල්ලක්‌ද ජීවිතයට. මෙවැනි ශ්‍රද්ධාවෙන් සකස්‌වෙන සිතිවිල්ලකට පුළුවන් ඔබට අප්‍රමාන සැපයක්‌ මෙලොව පරලොව වශයෙන් ලබාදෙන්න. පිංවත් ඔබ දෙසැම්බර් 31 රාත්‍රියේ රතිඤ්ඤාවක්‌ පත්තුකරලා ඔබව එහි පිපිරුමට බියෙන් ඈතට දුවනවා. නැතිනම් රතිඤ්ඤා කරල ඈතට විසිකරනවා. රතිඤ්ඥාව පත්තුවෙනකොට එහි පිපිරුම් හඬට බියෙන් ඔබට ඔබේ කන්දෙක වසාගන්නවා. ඒ කියන්නේ ඔබම එම ක්‍රියාවෙන් පීඩාවට පත්වෙනවා. ඔබ පීඩාවට පත්වෙමින් අන්‍ය සත්වයන්වත් පීඩාවට පත්කරනවා. අවසානයේදී එකම රාත්‍රියේදී සියල්ලෝම පීඩාවට පත්වෙලා. රතිඤ්ඤාව පත්තුකරන කෙනා තුළ සතුටක්‌ ඇතිවෙනවා තමයි. එම සතුටත් කාමච්ජන්දයන් ගණයටයි වැටෙන්නේ. කාමච්ජන්දයන් කියලා කිව්වේ පංචනීවරණයෙන් එක ධර්මතාවක්‌. මාරයා විසින් සත්වයා සතර අපායෙන් එතෙරවීම වැළැක්‌වීම සඳහා දමන මරතොණ්‌ඩුව තමයි කාමච්ජන්දය කියන්නේ. නව වසරක උදාවට පිංවතුන්ලා නොදැනුවත්භාවය නිසාම මාරයාගේ මරතොණ්‌ඩුවක්‌ සියතින්ම ගෙලට දමාගෙන.

තෙරුවන් සරණ ගිය පිංවත් ඔබ ජීවිතයේ සෑම විශේෂ අවස්‌ථාවකදීම ජීවිතය පටන්ගන්න ඕනේ තෙරුවන් ගුණය කෙරෙහි හිත පිහිටුවලා. ශීලයේ අර්ථයෙහි සිත පිහිටුවලා. එතැනයි ඔබේ ජයග්‍රාහී ගමනක ඇරඹුම. ආගන්තුකව පැමිණෙන වටිනාකම් ඉදිරියේ පිංවත් ඔබට ඔබේ බෞද්ධකම අමතක වෙනවා. ‘සතිය සිහිය අඩුයි. තරගයට වැටීමටයි කැමති. තරගයෙන් මිදීමට කැමති නැහැ. තරගයට වැටුණුකෙනාට ජය පරාජය දෙකෙන් එකක්‌ උරුමයි. තරගයෙන් මිදුන කෙනා මේ දෙකෙන්ම මිදීමේ මාර්ගයටයි අවතීර්ණ වෙන්නේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්වයා නිරතුරුවම යෝනිසෝ මනසිකාරය නැතිවීම හේතුවෙන් භවආශ්‍රවයන් වැඩෙන දිශාවටයි ගමන් කරන්නේ කියලා. අන්‍යයන්ටත්, තමන්ටත් පීඩා ගෙනදෙන නොකළයුතු දෙය, දුරුකළයුතු දෙය, මගහැරයායුතු දෙයින් මිදෙන්නට වීර්යය නොමැතිනම් භෞතික වශයෙන් ඔහු කොතෙක්‌ දියුණු වුවද අඥානවත් පෘථග්ජනභාවයේ පරාජයමයි ඔහුට හිමිවන්නේ. නොවටිනා සැපයක්‌ උදෙසා ඔහු වටිනා අර්ථයක්‌ අහිමිකරගන්නවා. රතිඤ්ඤාවක ආලෝකයට, හඬට මුළාවී එය විඳීමට යැමෙන් රැස්‌වන අකුසල් හේතුවෙන්, නිරයේ දිලිසෙන ගිනිජාලාවකට වැටුනහොත් කවදා කෙළෙසනම් ගොඩඑන්නද? එදාට ඔබේ කඳුළු පිසදැමීමට, දුක නැති කිරීමට කිසිවෙක්‌ නොමැත. රතිඤ්ඤාවකට ඔබේ ඇඟිල්ලක්‌ පිළිස්‌සුනොත් ඔබ මොනතරම් වේදනාවක්‌ විඳිනවාද? එහෙමනම් නිරයේ ගිනිජාලා තුළ සත්වයා විඳින වේදනාව ඔබම සිහිකොට ගන්න. මෙම දුක ඔබට මට නුහුරු දෙයක්‌ නොවේ. ඒ සංසාරික පුරුද්ද නිසා තමයි අපි තවමත් ගින්දරට, අඳුරට කැමති. දක්‍ෂයා ගින්දරත්, අඳුරත් නිවැරදිව හඳුනාගෙන, ගින්දරත් අඳුරත් උරුම සතර අපායෙන් මිදීමේ මාවතටයි ගමන්කරන්නේ. පිංවත් ඔබ ජීවිතයේ සෑම සිහිකටයුතු අවස්‌ථාවකදීම ශිල්පදයක්‌ රැකීමෙන් ලබන අප්‍රමාදීභාවය ජීවිතයට ලබාදෙන්න. දානයක්‌ පූජාකරගැනීමෙන් ඔබ ලබන නිර්ලෝභී සතුටම ජීවිතයට ලබාදෙන්න. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ඔබ ඇතිකරගන්නා ආත්ම විශ්වාසයම ඔබේ ජීවිතයට ලබාදෙන්න. මීට විරුද්ධ මාර්ගයේ ගමන්කොට ඔබ ඔබෙන් පළිගන්න එපා. පෙර ජීවිත වලදී ඔබ ඔබේම ශක්‌තියෙන් ගොඩනගාගත් කුසල් ශක්‌තිය අකුසලයේ දුකින් යටපත් වෙන්න දෙන්න එපා.

වසරක්‌ උදාවෙන්නේ වසරක අවසානයද, මරණයද දෝතින් දරාගෙනය. නමුත් මරණය නොදකින ඔබ වසරේ ආරම්භය ප්‍රීතියෙන් සමරයි. ඉපදී දින 365 කින් මැරෙන අවුරුද්දක ආරම්භය උදෙසා භවයට යන අකුසල් රැස්‌කරගැනීමට ගැන අපි අවධානය යොමුකළ යුතුය. වසරක උදාව ළංවෙනකොට සමාජය හුඟක්‌ කථාකරන්නේත්, ජනතාව දැනුවත් කරන්නේත් අනතුරු හඟවන්නේත් ආරක්‍ෂාකාරී ලෙස රතිඤ්ඤා පත්තුකරන ලෙසය. මෙහිදී ආරක්‍ෂාව යනු ශරීරයට ගිනි අනතුරුවලින් වළක්‌වාගැනීමේ ආරක්‍ෂාවයි. අතපය පිළිස්‌සුනහොත් එය සතියකින්, මාසයකින් සනීපවේවි. එහෙත් මෙහි අකුසල් ස්‌වභාවයන් ගැන අවධානය යොමුනොකර නැවත නැවත එම ක්‍රියාවන් කිරීමෙන් මරණින් මතු නිරයේ ගිනිජාලාවකට වැටුණහොත් කල්පගණන් එම දුක ඔබට විඳීමට සිදුවනු ඇත.

පිංවත් ඔබ වසරක්‌ උදාවෙන මොහොතේ පන්සලේ, නිවසේ, බුදුකුටියේ පහන් ආලෝකය දල්වා දස දිසාවටම මෛත්‍රිය පතුරවමින් පෙනෙන නොපෙනෙන සියලු සFවයන්ට මෛත්‍රිය කොට වසර ආරම්භ කරන්න. එවිට දෙවියන් අමනුෂ්‍යයන් පවා ඔබට ප්‍රිය වේවි. එය ඔබට මෙලොව පරලොව දෙකටම යහපත පිණිස වේවි. අත් පිළිස්‌සෙන්නේවත්, ඇස්‌ අන්ධවන්නේවත්, අපාගතවෙයි කියලාවත් බියක්‌ ඇතිවෙන්නේ නැහැ. සම්බුදු වදනක්‌ ක්‍රියාත්මක කළාය කියන ආත්ම තෘප්තියමයි ඇතිවන්නේ. එම ආත්මතෘප්තිය, සතර අපායෙන් ඔබ්බට ඔබව ඔසවා තැබීමට වසර පුරාවට ඔබට මාර්ගය පෙන්වාදේවි. අපිට කියන්න පුළුවන්ද ලෝකය පුරාවට ඇතිවෙමින් පවතින දේශගුණික විපර්යාසයන් හේතුවෙන් අපේ ජීවිත කුමන මොහොතක විනාශවී යයිද කියලා. ඒ අවදානම ජයගැනීම උදෙසායි ඔබ ක්‍රියාකළ යුත්තේ. ඔබ නිරතුරුවම, ජීවත්වීමයි අභියෝගයක්‌ හැටියට දකින්නේ. ඔබ අභියෝගයක්‌ හැටියට දැකිය යුත්තේ උපතයි. මේ අභියෝගයෙන් මිදෙන්න උත්සාහගන්නා පිංවතා උපරිම වශයෙන් ජීවිත හතකට එය සීමාකර ගන්නවා. මෙන්න මේ ජයග්‍රහණය අත්කරගත් පුද්ගලයායි ‘ජීවිතය ජයගත්තා’ය කියන තැනැත්තා. එතැතින් මෙහා ජීවිතයක මොන ජයක්‌ද?

සමාජය මනින මිනුම් දඬුවලින්, සමාජ වටිනාකම් වලින් ජීවිතය ජයගත්තාය කියන සමහර නායකයන්. ප්‍රභූ පුද්ගලයන් ගැන ඔබ සිහි නුවනින් බලන්නකෝ. පිංවත් එම පිරිස්‌ වෘත්තියෙන්, ව්‍යාපාරයෙන්, දැනුමෙන්, වත්පොහොසත්කම් වලින් ජයගන්න බව ඇත්ත. ඒත් ඒ ජය ඔවුන් ලබාගන්නේ ශ්‍රද්ධාව, ශීලය යන ධර්මයන් උගසට තියලා. ඊළඟ ජීවිතයේදී මේ අයට ලැබුවා වූ මහේශාඛ්‍යභාවය නමැති මුදලත්, ඊට අදාළ පොලියත් දෙකම ගෙවන්න වෙනවා. පෙර මනුෂ්‍ය ජීවිතවල ඉපැදිලා, ශ්‍රද්ධාවත් ශීලයත් උගසට තබා ජීවිත ජයගන්න අය තමයි ඔය ප්‍රේත, තිරිසන් නිරයේ උපත ලබා දුක නමැති මුදලත්, පොලියත් දෙකම සිය කැමැත්තෙන්ම ගෙවමින් ඉන්නේ. ඔබේ ඔය ඇස්‌ ඉදිරිපිටම ඉන්න තිරිසන් සතුන් කියන්නේ පෙර ජීවිතවල හොඳ හොඳ මනුෂ්‍යයෝම තමයි. හොඳට හම්බකරලා, දේපළ රැස්‌කරලා, පංචකාම සම්පත් රිසිසේ භුක්‌ති විඳලා. ශ්‍රද්ධාව ශීලය දානය කියන දුකින් මිදෙන දිශාවට ඔබට පිහිටවෙන ධර්මයන් අමතක කරපු මනුෂ්‍යයෝ. මෙන්න මේ ගැන සිතන කෙනායි සසර බිය ඇති කරගන්නේ. ඔහු මතවාද, දෘෂ්ඨි, විචිකිච්ජාව සකස්‌ කරගන්නේ නැහැ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මාර්ගයටම අවතීර්ණ වෙනවා. සමාජයේ ගුරුවරුන් අප්‍රමානව සිටිනවා. අප්‍රමාන පතපොත තිබෙනවා. මේවා ලෝකයේ පැවතිය යුතු ස්‌වභාවයන්. විවිධත්වය කියන්නේ අනිත්‍යයයි. අනිත්‍යය තිබෙන්නේ ගැටෙන්න නොවේ. මගහැරයන්න නොවේ. අවබෝධකොට ගැනීමටයි. පිංවත් ඔබට අවබෝධය කරා යැමට පහසුම මාර්ගය ලොව්තුරා බුදුරජාණන්වහන්සේ තමාගේ එකම ගුරුවරයා බවට පත්කොටගැනීමයි. උන්වහන්සේම දේශනාකොට වදාළ සූත්‍ර, විනය, ධර්මයන්ම පතපොත කරගැනීමයි. අතීතයේ වැඩසිටියා වූ උතුම් රහතන් වහන්සේලාගේම, අරිහත් භික්‍ෂූන්වහන්සේලාගේම, මාර්ගඵලලාභී උපාසක උපාසිකාවන්ගේම ජීවිත පරමාදර්ශී කොටගෙන ජීවිතය සකස්‌කර ගැනීමයි. ඉහත කාරණාවමයි මුල්වෙන්නේ. මුල වරද්දවා ගතහොත්, මැද අග දෘෂ්ටි කාන්තාරවල අතරමං වෙන්න පුළුවන්. බුද්ධෝත්පාද කාලයක අවසාන හෝරා කිහිපයේ ජීවත්වන ඔබ තර්ක විතර්ක කරමින්, හරි වැරදි සොයමින් තව තවත් සක්‌කාය දෘෂ්ටිය වැඩෙන දිශාවට යැම නොවේ කළ යුත්තේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානයෙන් මේ සංකීර්ණ වූ ලෝකය ඉතාමත් සරලකොට දේශනාකර තිබෙන ධර්ම මාර්ගයේම ගමන් කිරීමය. ඔබේ ජීවිතයේ එළඹෙන සෑම වැදගත් අවස්‌ථාවකදීම බුද්ධානුස්‌සතිය, ධම්මානුස්‌සතිය, සංඝානුස්‌සතිය, ශීලානුස්‌සතිය, ත්‍යාගානුස්‌සතිය, දේවතානුස්‌සතිය, කියන මහානාම ශාක්‍යකුමරුන් උදෙසා බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ ධර්මය සිහිපත් කරගන්නවා නම්, ඒ අනුව ජීවත්වෙනවා නම්, සක්‌කාය දිට්‌ඨිය හීනවෙන දිශාවට ඉහත ධර්මයන් ජීවිතයට එකතුකර ගැනීමට ඔබ දක්‍ෂ නම් භව ගමනේ උපරිම ජීවිත 7ක්‌ තුළදී බව නිරෝධය සාක්‍ෂාත් කරගැනීමටත්, එතෙක්‌ ආයුෂ, වර්ණ, සැප, බලයෙන් සශ්‍රීක මාර්ගඵලලාභී දෙවියෙක්‌, දිව්‍යාංගනාවක්‌ ලෙස දිව්‍ය අසිරිය අත්විඳීමට ඔබට හැකිවනු ඇත. මේ සහතිකය ඔබට ලබාදෙන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේමය. භවගමනින් දුකම උරුමකොටගෙන සක්‌කාය දිට්‌ඨියේ කුණු හැව, මමත්වයේ දැඩිභාවය, නාමරූප ධර්මයන්ගේ අනිත්‍යභාවය දකිමින්ම මෙනෙහිකරමින්ම, ගලවාදමන්න. අතහැරීමම පුරුදුකරමින්, හැකිතාක්‌ දන්දෙමින් ඊට ශක්‌තිය ලබාගන්න. එළඹෙන (ඊළඟ) දෙසැම්බර් 31 රාත්‍රිය සතර අපා දුකෙන් මිදෙන අවිහිංසාවේ රාත්‍රියක්‌ කරගන්න. මාර පුතෙක්‌ දුවෙක්‌ නොවී සම්බුදු ඇකයට පියනගන පුතෙක්‌, දුවෙක්‌ වෙන්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේත්, ධර්මයේත් ශක්‌තිය පිංවත් ඔබට යායුතු ඉදිරි මඟ පිළිබඳ සතිය සිහිය පිංවත් ඔබ තුළින්ම මතු කරදෙනු ඇත. එම සතිය සිහිය විසින්ම ඔබට භව දුකම උරුමකොට දෙන සක්‌කාය දිට්‌ඨිය, විචිකිච්චා, ශීලබ්බත පරාමාස කියන බිහිසුණු රතිඤ්ඤාවන් පුස්‌වෙඩිල්ලක්‌ බවට ඔබ තුළින්ම පත්කරනු ඇත. මේ වන විටත් පිංවත් ඔබ සතර අපායෙන් මිදී ඇතැයි ඔබ තුළ විශ්වාසයක්‌ ඇතොත් එම විශ්වාසය සක්‌කාය දිට්‌ඨි, විචිකිච්ජා, ශිලබ්බත පරාමාස කියන ධර්මතාවයන් සමඟ නැවත නැවත ගළපා බලන්න. ඔබ නිහතමානී වෙන්න. එම නිහතමානීභාවය යනු ඔබ විසින් ඔබ උදෙසාම ඇති කරගන්නා කළ්‍යාණමිත්‍ර භාවයකි. අතීතයේ සෑම බුද්ධෝත්පාද කාලයකදීම අපට වැරදුණු එකම තැන ඔතන බව මෙනෙහි කරන්න. ‘මම’ දෙවැනි තැනට දමා, බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ ධර්ම මාර්ගයම මුල්තැනට ගන්න. එවිට ‘මම’ ධර්මයේ හිමිකරු, අයිතිකරු කියන මමත්වයේ දඩිභාවයේ නොව, මමද ධර්මයේම කොටසක්‌ය යන නිහතමානීභාවය ඔබ තුළ ඇතිවනු ඇත. සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේ වරක්‌ සිංහනාදයක්‌ කරනවා ‘මම හරියට හරක්‌ රැළක සිටින අඟ කැඩිච්චි ගොනෙක්‌ වගෙයි’ කියලා. ඒ කියන්නේ අඟ කැඩිච්චි ගොනා සැමවිටම රැලේ පැත්තකට වෙලා සිටින්නේ. නායකයා වෙන්න, පළවැනියා වෙන්න එන්නේ නැහැ. සිංහසෙයියාවෙන් සිංහනාද කරන්න පුළුවන් නිහතමානීභාවය ජීවිතය තුළින් ඇති කරගත් උත්තමයාටමය. මේ යථාර්ථය සමග ඔබේ ජීවිතය හොඳින් ගළපා බලන්න. එයම පිංවත් ඔබේ ජීවිතයට කමටහනක්‌ වේවි මග නොමඟ වටහාගැනීමට.

ඉන්ද්‍රජිත් සුබසිංහ

Advertisements

3-23-හිංසාවේ රාත්‍රිය…

2012-12-23

හිංසාවේ රාත්‍රිය…
‘සතර අපායෙන් මිදෙමු’ විශේෂ ලිපිය I

තවත් ජනවාරි පළවැනිදාවක්‌ අත ළඟය. අප මේ අදියරේදී කතා කරමින් සිටින්නේ ‘සතර අපායෙන් මිදීම’ ගැනය. මේ නිමිති දෙක සැලකූ විට මෙම ලිපිය තවත් වරක්‌ පළ කිරීමට සිත්විය. ‘මහරහතුන් වැඩි මඟ ඔස්‌සේ’ ලිපි මාලාව කියවන්නට පසුව එක්‌වූ හෙවත් මෙම ලිපිය මගහැරුණු පාඨකයන් වෙනුවෙන්ද, මෙම ලිපිය මින් පෙර කියවා ඇති පාඨකයන්ට එම අදහස්‌ තව තවත් කාවද්දනු පිණිසද නැවතත් මෙය පළකිරීමට අපි තීරණය කළෙමු. හොඳ දේ දෙවරක්‌ නොව, කිහිපවරක්‌ වුව යොදාගත්තාට කම්නැතැයි සිතමු. ඒ අනුව ඉකුත් වසරාරම්භයේදී පළවූ සුවිශේෂී ලිපි දෙකක්‌ මෙලෙස මෙම සතිදෙකේදී නැවත පළකිරීමට අප සිතුවේ එළඹෙන වසර තව තවත් අර්ථවත් කරනු වෙනුවෙනි. එම සුවිශේෂී ලිපි 2 න් අනතුරුව ජනවාරි පළමු සතියේ සිට සුපුරුදු පරිදි ලිපි මාලාව ඉදිරියට ක්‍රියාත්මක වනු ඇත.

අද ජනවාරි පළවැනිදා. වසරක්‌ ගෙවිල වසරක්‌ ලැබුව දවස. වසරක්‌ ගෙවී ගියාය කියන්නෙ අපි කාටත් ජීවත්වෙන්න තිබෙන කාලයෙන් වසරක්‌ අඩු වුණාය කියන එක. ඒ කියන්නෙ මරණයට වසරකින් ළංවුණාය කියන කාරණය. මේ කොයි පැත්තෙන් බැලුවත් අවංකවම සතුටුවෙන්න දෙයක්‌ මෙතැන නැහැ. නමුත් ගෙවීගිය වසරේ පිංවත් ඔබ අප්‍රමාදීව ධර්ම මාර්ගයේ ගමන් කළානම් ලැබුවාවූ වසරේ ඊටත් වඩා ශක්‌තිමත්ව ධර්ම මාර්ගයේ ගමන් කරනවාය කියන අධිෂ්ඨානය ඔබ තුළ ඇති වුණා නම් එතන තිබෙන්නෙ අර්ථවත් සතුටක්‌. ඒ වගේමයි ගෙවීගිය වසරේදී දාන, ශීල, භාවනා කටයුතුවලදී ප්‍රමාදභාවයට පත්වුණා, නව වසරේදී මා අප්‍රමාදීව කටයුතු කරනවාය කියන අධිෂ්ඨානයද සතුටට හේතුවක්‌මයි.

වසරක්‌ ලැබුව අවස්‌ථාවක පිංවත් ඔබට ජීවිතයේ තැබිය හැකි ලොකුම බලාපොරොත්තුව තමයි මේ වසර තුළදී මා සතර අපායෙන් නිදහස්‌ වීමට උපරිම උත්සාහයක නියෑළෙනවාය කියන බලාපොරොත්තුව. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පැවිදි පක්‍ෂය විසින් ගිහි පක්‍ෂයට, දෙමාපියන් විසින් දරුවන්ට, ගුරුවරුන් විසින් ශිෂ්‍යයන්ට, කෙනකු විසින් තව කෙනකුට සමාදන් කරවිය හැකි උතුම්ම ත්‍යාගය, දායාදය සතරඅපායෙන් මිදීමේ මාර්ගය පහදාදීමය, සමාදන් කරවීමය කියලා. නව වසරක්‌ ආරම්භයේදී බුලත් අතකින්, කැවිලි පිඟානකින්, කේක්‌ ගෙඩියකින්, සුබ පැතීමකින්, හුවමාරු කරගන්නා ඥාතිත්වය, ස්‌වාමිත්වය, සෙනෙහස, හිතවත්කම ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොටවදාළ සැබෑ ඥාති සංග්‍රහය සමග මොනතරම් නම් ප්‍රාථමික දැක්‌මක්‌ද? සුබ අලුත් අවුරුද්දක්‌ වේවා කියල කරන ශුභාශිංසනය තුළ මෛත්‍රිය, මනුෂ්‍යත්වය මුසුවෙලා තිබෙන බව ඇත්ත. ඒ ඇත්තේ තරමටම එම ශුභාශිංසනය තුළ අවිද්‍යාවද සැඟවී තිබෙන බව ඇත්තම කාරණයකි. අවිද්‍යාව කියල කිව්වේ විද්‍යාවෙන් තොර භාවයයි. ඒ කියන්නෙ ඇත්ත ඇතිසැටියෙන් නොදැකීමයි. දුක සැප මාරුකොට ගෙන දැකීමයි.

ජාති, ජරා, ව්‍යධි, මරණ වලට තව තව ළංවන මොහොතේ ‘සුබ නව වසරක්‌ වේවා’ කියනවා වෙනුවට ‘ලැබුවාවූ නව වසර, සතර අපායෙන් නිදහස්‌ වෙන වසරක්‌ වේවා’ කියල ප්‍රාර්ථනා කළොත් එතන තිබෙනවා ජාති, ජරා, ව්‍යධි, මරණවලින් මිදීමට ඔබ ගන්නාවූ උතුම් උත්සාහයක්‌. එහෙත් පිංවත් ඔබ මෙවැනි අර්ථවත් සුබ පැතීමක්‌ කරන්න ලැඡ්ජයි. අර්ථවත් දෙයින් අයින් වෙලා අනර්ථවත් දෙය ළංකර ගන්නවා. ‘බුදුසරණයි’ ‘තෙරුවන් සරණයි’ කියලා කියනවා. නමුත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනානාකොට වදාළ ධර්ම මාර්ගය ගැන කියන්න ලැඡ්ජා වෙනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සරණගියා යෑයි කියන්නෙ අර්ථවත් ආකාරයෙන් ධර්ම මාර්ගයේ ගමන් කරනවාය කියන කාරණයයි.

පිංවත් ඔබ සතර අපායෙන් නිදහස්‌ වීම සඳහා සමාදන් විය යුතු තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව, ශීලයේ පරිපූර්ණත්වය, පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දැකීම කියන අර්ථයන් මහා සංඝ රත්නය විසින් නිරතුරුවම ඇසෙන මොහොතක, අපි මොනතරම් දුර්වලතාවයකින්ද ජීවිතය සැලසුම් කරගන්නේ. අප්‍රමාණ සැප ලැබිය හැකි මාර්ගයක්‌ ඇස්‌පනාපිට තිබියදී අති දීර්ඝ දුකක්‌ උදෙසා කෙටි සැපයමයි අපි සොයන්නේ. ලොව පහළවූ ශ්‍රෙෂ්ඨ ශාස්‌තෘන් වහන්සේනමකගේ ඉගැන්වීම්වල අර්ථයන් ලිහිල් භාවයට පත්කොට ආගන්තුක වටිනාකම් අපේ කරගැනීම අභාග්‍යයක්‌. මෙතැනදී පිංවත් ඔබ සිතන්න අවශ්‍ය නැහැ අපට මාර්ගය කියලදෙන ගුරුවරු කොතැනද ඉන්නෙ කියලා. ඇසෙන සම්බුදු ධර්මයයි ඔබ ඔබේ මාර්ගය කරගත යුත්තේ. ගුරුවරුන්ගේ පුංචි හෝ දුර්වලතාවයක්‌ දකීනම් එයද මාර්ගය වැඩීමේදී කමටහනක්‌ කොට ගැනීමට ඔබ දක්‍ෂවිය යුතුය. ලෝක තත්ත්වයන්ට ඇලීමේ, ගැටීමේ ස්‌වභාවයන්ට යන්නේ නැතිව සමාජය, මනුෂ්‍යයා, ව්‍යාකූල වෙන්න වෙන්න ඇතිවන සමාජ විකෘතිය ධර්මයේ අර්ථය වශයෙන්මයි අපි දැකිය යුත්තේ.

ලෝක ධර්මයන් කෙරෙහි ඇලීමත් ගැටීමත් සකස්‌වෙන සිතක ඔබ නොදකින එකම දෙය අනිත්‍යයයි. ඒ කියන්නේ ධර්මයේ අර්ථය නොදැනීමයි. ධර්මයේ අර්ථය නොදකින්නා තමා අත්දකින ලෝක ධර්මතාවයන් හමුවේ ඇලීමත් ගැටීමත් අතර දෝලනය වෙමින් ධර්මයේ ස්‌වභාවය අවබෝධ කොටගැනීම මගහැර නිත්‍යවූ සැපයක්‌ම සොයනවා. මෙතැනදී තමයි සමාජ ව්‍යාකූලභාවය විකෘතිභාවය සකස්‌ වෙන්නේ. අසීමිත ඇලීම්, අසීමිත ගැටීම්, අසීමිත උපේක්‌ෂාවන්ගේ එකතුවක්‌ වෙනවා ලෝකය. ඵලය ලෝකය තුළදී දුටුවත්, හේතුව සකස්‌වූයේ ධර්මය නොදත් මිනිස්‌ සන්තානය තුළම නේද? කැඩෙන, බිඳෙන, විසිරෙන සම්මුති ලෝකයේ අර්ථය සකස්‌වෙන්නේ නාමරූප දෙක නමැති ‘පුංචි ලෝකයේ’ හේතුඵල ධර්මතාවයන් නිසාම නේද? ඒ නිසා පිංවත් ඔබ ධර්ම මාර්ගයට එන්න. මාර්ගයේ හික්‌මෙන්න. එවිට ඔබ දකින ලෝකය යහපත් වේවි. ඔබ ලෝකය තුළ සුරක්‍ෂිත වේවි. ඔබ ලෝකයෙන් නිවීයාවී.

ඉහත කරුණු සියල්ලම සකස්‌ වුණේ ඔබ තුළින්ම නේද? කැඩෙන, බිඳෙන, විසිරෙන සම්මුති ලෝකයත්, නාමරූප නමැති මම කියන ‘පුංචි ලෝකයත්’, අනිත්‍යයේ අර්ථයෙන්ම සකස්‌ වුණ දේවල්ය. අර්ථය අනිත්‍යවූ කල්හී යමක්‌ නිත්‍ය භාවයක්‌ සොයයිනම් ඔහු සොයන දෙය කවදාවත් හමුනොවනු ඇත. ඔබද මමද සසර මෙතෙක්‌ පැමිණියේ එම නිෂ්ඵල ගමනයි. පිංවත් ඔබ ලැබූ මේ ජීවිතයද සැප කෙරෙහි ඇති තෘෂ්ණාව නිසා සකස්‌ කොට ගත් ජීවිතයකි. පිංවත් ඔබම තීරණය කරන්න ඔබ ධර්මයෙන් කොතරම් දුරස්‌වෙලාද ඉන්නෙ කියලා. මේ දුරස්‌ථභාවය අවම කරගන්න ඔබ විසින් ඇති කරගන්නා අධිෂ්ඨානය ක්‍රියාත්මක භාවයට පත්වෙද්දී ඔබ තුළ ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන ධර්මතාවයන් වැඩෙන්න ඕනේ එකිනෙකට අඩු වැඩි භාවයෙන් තොරව.

මෙන්න මේ ‘අඩු වැඩි භාවයකින් තොරව’ කියන ස්‌වභාවය සමජයේ හුඟ දෙනකුගෙන් ගිලිහී ගොස්‌ තිබෙනවා. ප්‍රඥාව වැඩෙන ආකාරයට නොවේ ශ්‍රද්aධා, වීර්යය, සති, සමාධි කියන කාරණා ජීවිතයට එකතු කරගන්නේ. විදර්ශනා ඥානය වැඩෙන දිශාවටමයි පිංවත් ඔබ ඉහත කාරණය සතියෙන්, සිහියෙන් යුතුව ජීවිතයට ගලපා ගතයුත්තේ. මමත්වය වැඩෙන දිශාවට නොවේ. වසරක උදාවක්‌ සමරන මොහොතක මෙවැනි ධර්මයක්‌ ගැන පිංවත් ඔබ නැවත නැවත සිතනවානම්,මෙවැනි ධර්මයකට මුල්තැන දෙනවානම් එම වසර මොන තරම් සංහිදීමට පත්වූ වසරක්‌ වේවිද? අර්ථවත් ලෙසම තෙරුවන් සරණගිය වසරක්‌ වෙනවා නේද? පිංවත් ඔබ ගත්තාවූ තීරණයෙන් සැනසෙන්නේ ඔබම නේද? දුකෙන් මිදෙන දිශාවට යන්නේ ඔබම නේද? එසේ නොවුණ කල්හි ඔබ යන දිශාව ගැන පහත සටහන තබමි.

ජනවාරි පළවෙනිදා කියනකොටම සිහියට නැගෙන්නේ දෙසැම්බර් 31 දා රාත්‍රියයි. මේ රාත්‍රියේ භික්‌ෂුව වැඩසිටියේ අගනුවරට ආසන්න ආරණ්‍යයකය. රාත්‍රි 12.00 වෙලාවට ආසන්න වෙද්දී පුපුරා ගිය රතිඤ්ඤා පිපුරුම් හඬ මොනතරම් වේගවත්ද කියලා පිංවත් ඔබටත් ඇසෙන්නට ඇති.මේ රතිඤ්ඤා පිපුරුම් හඬේ දෝංකාරය කියන්නේ අවිද්‍යාවේ හඬයි. ඔබ හිතල බලන්aන මීට වසර විසිපහකට පෙරාතුව ඉඳල වසරින් වසර මේ හඬ වැඩි වුණා මිසක්‌ අඩුවුනේ නැහැ. අනාගතයේ කවදාකවත් මේ හඬ අඩු වෙන්ණේ නැහැ, වැඩි වෙනවා මිසක්‌. මේවා ලෝක ධර්මතාවයන්. මනුෂ්‍යයා ධර්මයෙන් පිරිහෙන්න පිරිහෙන්න නොවටිනා වටිනාකම් අර්ථවත් වෙනවා. ශිලයේ, සමාධියේ, ප්‍රඥාවේ නිහඬභාවයට එරෙහි ස්‌වභාවයන් තමයි සකස්‌ වෙන්නෙ. ඝෝෂාව යම් තැනක තිබෙනවානම් එතන ශිලයක්‌,සමාධියක්‌ තිබෙන්න විදිහක්‌ නැහැ. මේ දෙක නැති තැන ප්‍රඥාව ගැන කථාකරල තේරුමක්‌ නැහැ. ආයිමත් අපි එන්නේ අවිද්‍යාව කියන තැනටමයි. ලෝකයේ තිබෙන සැබෑම නිහඬතාවය අත්විදින්න පුළුවන් ඝෝෂාව තුළදීයි. දෙසැම්බර් 31 රාත්‍රියේa භික්‌ෂුව සයනය මත වැතිරී ඒ සැබෑම නිහඬතාවය අත්වින්දා හොඳ හැටියට. පරිසරය ඝෝෂාකාරී වෙන්න වෙන්න තමන්ගේ සිතේ නිහඬභාවය හොදින් දැනෙනවා, පෙනෙනවා. පුපුරන රතිඤ්ඤා හඬින් දෙදරුම්කන පරිසරය, නිහඬ සිතින් අත්දකිද්දි අවිද්‍යාවේ ඝෝෂාවත්, විද්‍යාවේ නිහඬතාවයත් සක්‌සුදක්‌ සේ පැහැදිලි වෙනවා. අර්ථවත් වෙනවා. එවිට දුකක්‌, සැපක්‌ නොවේ සිතට දැනෙන්නේ. අවදානමෙන් මිදුණාවූ නිදහසේ සුවයයි. මෙවන් අසිරිමත් මාර්ගයක්‌ පිංවත් ඔබේ ඇස්‌පනාපිට තිබියදී ශිලයේ, සමාධියේ, ප්‍රඥාවේ උතුම් නිහඬතාවයේ අර්ථය රතිඤ්ඤාවේ හඬින් විනාශකොට දමනවා.

පිංවත් ඔබ කල්පනා කරන්න වසර සුබ වෙන්න කියලා. ඔබ කොතෙක්‌ රතිඤ්ඤා පත්තුකළත් වසර සුබවෙලා තිබෙනවාද? දවසින් දවස ක්‍රෝධය, වෛරය, දුෂ්ශීලභාවය මහා වේගයකිනුයි සමාජයේ ඉහළ යන්නේ. රතිඤ්ඤා පිපුරුම්හඬේ දෝංකාරය යම් සේ වේගවත්ද දුෂ්ශීලභාවයේ වර්ධනයත් සමාජය තුළ වේගවත් වෙලා. ශ්‍රාවකයා ශාස්‌තෘන්වහන්සේ හඳුනන්නේ නැහැ. ගෝලයා ගුරුවරයා හඳුනන්නේ නැහැ. දරුවන් දෙමාපියන් හඳුනන්නේ නැහැ. පාලකයා ඇත්ත යුක්‌තිය හඳුනන්නේ නැහැ. පිරිහිමේ දෙසටමයි සමාජය ගමන් කරන්නේ. ඒ කියන්නේ කොතෙක්‌ රතිඤ්ඤා පත්තුකළත් වසර සුබවෙලා නැහැ. කොහොමද වසර සුබවෙන්නෙ මනුෂ්‍යයා විසින් මොනතරම් අකුසල් කන්දරාවක්‌ සිදුකරගෙනද? මොනතරම් සත්ව ඝාතන, සත්ව හිංසාවන් සිදුකරගෙනද? වසරක්‌ උදාවෙන්නේ.

දෙසැම්බර් 31 වෙනිදා රත්‍රියේ රතිඤ්ඤා පත්තු කරන ඔබ මොනම හේතුවක්‌ නිසාවත් සිතන්නෙ නැහැ ඔබ පත්තුකරන රතිඤ්ඤා නිසා බරපතළ සත්ව ඝාතන, සත්ව හිංසාවන් සිදුවෙනවා කියලා. මොකද ඔබ දකින්නෙ ඇසෙන් පෙනෙන ලෝකය පමණයි. ගස්‌, ගල්, මනුශ්‍යයෝ, ගෙවල් දොරවල් ඔබට පෙනෙන ලෝකය.ඒ ලෝකය තුළ ඔබ නිවැරුදි කරුවෙක්‌ බව ඇත්ත. නමුත් පිංවත් ඔබ තරගයට පරිසරය දෙදරුම් කවමින් පුපුරායන රතිඤ්ඤා හඩින් මොනතරම් ඔබට නොපෙනෙන අමනුෂ්‍යයන් මියයනවා ඇත්ද? කොතෙක්‌ ඔබට නොපෙනෙන අමනුෂ්‍යයන් තුවාල ලබනවා ඇත්ද?මෙම ප්‍රේත, භූත අමනුෂ්‍යයන් මේ රාත්‍රියේ අත්විදින්නාවු පීඩනය නිසා ඔවුනගේ සිත තුළ සකස්‌වෙන්නාවූ වෛරය, ක්‍රෝධය නව වසරේ අසුබ තුටුපඬුරක්‌ සේ ලෝකයාට ලැබෙනවා. ගස්‌වල වැඩසිටින රුක්‌ දෙවිවරු භුම්මාටු දෙවිවරු වැනි කොටස්‌ මේ බිහිසුණු රතිඤ්ඤා හඬින් මොනතරම් කම්පාවෙනවා ඇත්ද. ඒ දෙවිවරුන්ගේ සිත තුළත් ද්වේශය, වෛරය, ක්‍රෝධය සකස්‌ වෙනවා. මේ ද්වේශයත් නව වසරක්‌ උදාවෙද්දී ඔබ ලබන අසුබ පලිදැරීමක්‌මයි. එම රාත්‍රියේදී රතිඤ්ඤා හඬට බියෙන් දුවන තිරිසන් සතුන් කොතෙක්‌ නම් සිටිනවාද? මරබයෙන් ගැහෙමින් සැඟවෙන්න දිවයන ඒ සිත් තුළ ද්වේශය,වෛරය සකස්‌ වෙනවා. මේ ද්වේශයත් නව වසරේ ලෝකයා ලබන අසුබ පඬුරක්‌මයි. රතිඤ්ඤා කරලක්‌ පුපුරා යනකොට එම හඬට, ගින්දරට පිළිස්‌සී දෙදරුම් කෑමට ශරීරය පුපුරා ගොස්‌ මොනතරම් කුඩා කෘමි සතුන් මියයනවා ඇතිද? මේ විනාශවන සතුන්ගේ සිතේ සකස්‌වෙන ද්වේශයත් නව වසරේ ඔබ ලබන අසුබ නොසතුටු පඬුරක්‌මය. ගස්‌වල, කැදැලිවල ජීවත්වෙන කුරුල්ලන්, කුඩා පැටවුන්, මෝරන බිත්තර මොනතරම් විනාශවෙලා යනවා ඇතිද? ඔය දෙදරුම් කෑමේ හඬට. එම කුරුල්ලන් බියට පත්වී අන්සතුන්ගේ ගොදුරු බවට පත්වෙනවා ඇතිද? මේ සතුන්ගේ සිත්තුළ සකස්‌වන ද්වේශයද නව වසර උදාවේදී ඔබ ලබන අසුබ අසතුටු පඬුරක්‌මය.

ඉහත කොටස්‌ අසහනයට, අපහසුතාවට, මරණයට, මරණීය වේදනාවන්ට, හිංසාවට පත්වීමෙන් සකස්‌වන්නාවූ අකුසල් කන්ද කරගසාගෙන තමයි නව වසරක්‌ උදාවෙන්නේ. මේ අමානුෂික ඛේදවාචකය පිංවත් ඔබට නොපෙනෙන්නේ අවිද්‍යාවේ හඬ බලවත් වීම නිසාය. පිංවත් ඔබට මාර සිතක්‌ ඇතිවෙන්න පුළුවන්, රතිඤ්ඤා පත්තුකළාම සතුන්ව මරාදැමීමේ, හිංසාකිරීමේ ෙච්තනාවක්‌ ඔබ තුළ නැතිය කියලා. ඒ සිතිවිල්ල නිවැරදි වෙන්න පුළුවන්. නමුත් මියයන, තුවාල ලබන, හිංසනයට පත්වෙන, එම සත්වයන්ගේ සිතේ නැගෙන ද්වේශය, වෛරය, ක්‍රෝධය සුබ පිරිත් දේශනාවක්‌ සේ නොව, අසුබ වියරු අඳෝනාවක්‌ සේ වායු ගෝලයට එකතුවනවා නියතය. බියෙන්, වෛරී ෙච්තනාවන් සකස්‌ කොටගෙන මියයන අමනුෂ්‍යයන්, තිරිසන් සතුන් වඩාත් නපුරු වියරු අමනුෂ්‍යයන් බවට පත්ව නැවත උපත ලබා, තමන්ගේ පෙර ජීවිතයේ විනාශයට හේතුවූ රතිඤ්ඤා පත්තුකළ මනුෂ්‍යයන්ගෙන් පළිගැනීමේ සිත් සකස්‌කොට ගැනීමේ ස්‌වභාවයද පිංවත් ඔබ තේරුම් ගත යුතුය. සමාජය දිනෙන් දිනම වෛරය, ක්‍රෝධය, ද්වේශය වැඩෙන දිශාවටමද මනුෂ්‍යයා වියරු ස්‌වභාවයටම පත්වීමටද හේතු ඉහත කාරණා තුළද සැඟව තිබීමට පුළුවන. මේ සිද්ධීන් දෙස බැලීමේදී ඔබට වැටහෙනවාද අවිද්‍යාසහගත ක්‍රියාවන් ඔබව මොනතරම් විනාශය කරා, දුක කරා රැගෙන යනවාද කියලා.

පන්සලේ ගන්ඨාරය නාද කරනකොට, හේවිසියක හඬ ඇසෙනකොට, මඟුල් බෙර හඬ ඇසෙනකොට මොනතරම් සංහිඳීමක්‌, සංයමයක්‌ එම හඬේ තිබෙනවාද. එම හඬින් ඉහතින් දැක්‌වූ විනාශයන්, අකුසලයන් සිදුවෙනවාද? කුඩා කිරිදරුවෙක්‌ නම් පීඩා විඳින්න පුළුවන්. පිංවත් ඔබට ශබ්ද පූජාවක්‌ කිරීමට අවශ්‍ය නම් පමණක්‌ 31 දා මධ්‍යම රාත්‍රියට පන්සලේ ඝාන්ඨාරය නාද කරන්න ගමටම ඇසෙන්නට. මඟුල් බෙරයක්‌ නාද කරන්න. මෙය සමාජයට නුහුරු දෙයක්‌ බව ඇත්ත. එහෙත් ඔබ තුළින් නරකක්‌ වරදක්‌ නම් වෙනත් සත්වයකුට සිද්ධවෙන්නේ නැහැ. දෙවියන් අමනුෂ්‍යයන් පවා මේ හඬට ප්‍රිය වෙනවා. තිරිසන් සතුන් පවා මේ හඬ විඳිනවා. හැමෝගෙම ආශිර්වාදයෙන් තමයි වසරක්‌ උදාවෙන්නේ. සශ්‍රික දිව්‍යතල වල සිටින දෙවියන් පවා ඔබට ආශිර්වාද කරනවා. කාටද මේ ආශිර්වාද කරන්නේ? ශීලයට. පිංවත් ඔබ ශීලයෙන් හික්‌මුණ නිසයි, රතිඤ්ඤා පත්තුකිරීමෙන් සත්ව ඝාතන, සත්ව හිංසා සිදුවෙනවාය කියන යථාර්ථය දැක්‌කේ. සිල්පද ආරක්‍ෂා කරන්න උත්සාහගත් නිසයි ඔබ එම වැරදි ක්‍රියවෙන් වැළකුණේ. ශීලයට වටිනාකමක්‌ දෙමින් තමයි එතකොට ඔබ නව වසර අරඹන්නේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසයි ඔබ සත්ව හිංසාවෙන් වැළකුනේ. ශීලයට වටිනාකමක්‌ දෙනවිටම ඔබ තෙරුවන් සරණේ පිහිටලා. රතිඤ්ඤා පත්තුකිරීමෙන් සතුනට මරණීය දුක, හිංසනය සිදුවෙනවාය, මම එම සතුනට අභය දානය දෙනවාය කියලා හිතනකොටම ඔබ තුළ කුසල් ෙච්තනාවක්‌ සකස්‌වෙලා. නව වසර පිංවත් ඔබ අරඹන්නේ සතර අපායෙන් මිදීමේ සාධක සියල්ලම දෝතින් දරාගෙනමයි. පුංචි දෙයකින්, මොන තරම් නම් වෙනසක්‌ සිදුකරන්න පුළුවන්ද. මේ පුංචි දෙය වෙනස්‌ කරගැනීමට නොහැකිවීමෙන්, ඔබ සසර මොනතරම් නම් දුරගමනකට වැටෙන්න ඉඩ තිබෙනවාද.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

3-22-මට අවශ්‍ය වූයේ බුදුරජාණන් වහන්සේව තෘප්තිමත් කිරීම පමණි

2012-12-16
මට අවශ්‍ය වූයේ බුදුරජාණන් වහන්සේව තෘප්තිමත් කිරීම පමණි
සම්මා සම්බුද්ධ ශාසනයක ‘ශුෂ්ක විදර්ශක’ කියලා රහතන්වහන්සේලා වැඩසිටිනවා. අතීතයේ වැඩසිටියාවූ චක්‌කුපාල මහරහතන් වහන්සේ එවැනි ශුෂ්ක විදර්ශක රහතන්වහන්සේ නමක්‌. සම්මා සම්බුද්ධ ශාසනයක අවසාන කාලවකවානුවලදී චතුරාර්යසත්‍යය අවබෝධය කරන රහතන්වහන්සේලා මෙවැනි ශුෂ්ක විදර්ශක ගණයට වැටීම ස්‌වභාවයක්‌. මෙවැනි අයට බුදුරජාණන්වහන්සේගේ, මහරහතන්වහන්සේලාගේ ඇසුර, දර්ශනය ලැබීමක්‌ නැහැ. ශුෂ්ක විදර්ශක රහතන්වහන්සේ යනු මුලින්ම තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවට පැමිණ, ආර්යඅෂ්ඨාංගික මාර්ගය, සිය මාර්ගය කරගනිමින්, ලෝකය කෙරෙහි, නාමරූපධර්මයන් කෙරෙහි දැඩි කලකිරීම් සකස්‌ කරගෙන තම ජීවිත අත්දැකීම් තුළින්ම, ස්‌වෝත්සාහයෙන්ම ජීවිත පරිත්‍යාගයෙන් නිවීමේ මාර්ගයේ සිටින කෙනෙක්‌. ලෝකය කෙරෙහි ඔහුගේ කලකිරීම කොතරම්ද කියනවානම් මොහු ජීවිතය අතහරිනවා චතුරාර්යසත්‍යය අවබෝධය උදෙසා. මොහුගේ අරමුණ ඉලක්‌කය නිවීම, අවබෝධය පමණක්‌මයි. ජීවිතය කෙරෙහි ඇල්මක්‌ නැහැ. ධර්මය කෙරෙහි විශ්වාසය තියුණුයි. මොහු අවංකවම සූදානම් ජීවිතය මරණයට දමා, මැරෙන මොහොතේ හෝ ලබන අවබෝධය තුළ ලෝකයෙන් නිවීයන්න. තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව නිසාම මොහු තුළ මේ විශ්වාසය සකස්‌වෙලයි තියෙන්නේ. එයත් ධර්මතාවයක්‌. ජීවිතයට ආශාවකුත් නැහැ. මරණයට කැමත්තකුත් නැහැ. ජීවිතයත් මරණයත් දෙකම අතහැරුණු තැන නිවීම කියන අවබෝධය සකස්‌ වෙනවාය කියන දැඩි විශ්වාසය තිබෙනවා. ජීවිතය අතහැරල තිබෙන්නේ මරණයට. ජීවිතය බැසගෙන තිබෙන්නේ මරණයට. නිවීමේ අරමුණ එතරම් ප්‍රබලයි. ශුෂ්ක විදර්ශකට අවසාන මොහොතේදී මරණය පෙනෙනවා. නමුත් අබමල් රේණුවක තරම්වත් මරණයට බියක්‌ නැහැ. මෙතැනදි ද්වන්ධ සටනක්‌ පවතින්නේ ලෝකය සහ අවබෝධය අතර. ඒ කියන්නේ මාරයා සහ නිවීම අතර. මාරයා ලෝකය දෙසට අදිනවා. ශුෂ්ක විදර්ශක, නිවීම දෙසට හඹාගෙන යනවා. මේ නිහඬ ද්වන්ධ සටනින් මරණය අතහැරී ඔහු අවබෝධය සාක්‍ෂාත් කරගන්නවා. චක්‌කුපාල මහරහතන්වහන්සේ තමාගේ දෑස්‌ දෙක අන්ධවෙන බව හොඳටම දැන දැන නිවීම උදෙසා දෑස්‌ දෙකම අතහරිනවා. වීර්ය සකස්‌ වෙනවා. අධිෂ්ඨාණය තීව්‍රරකරමින් …. නාමරූප ධර්ම විනිවිද දකිමිනුයි මෙහෙයුම ක්‍රියාත්මක වෙන්නේ. ශුෂ්ක විදර්ශක රහතන්වහන්සේ නිවන් අවබෝධය උදෙසා ජීවිතය අතහැරියත්, මරණය පෙනි පෙනී නිවීම දෙසටම යනවා. අවසන් මොහොතේ උන්වහන්සේ තුළ පුද්ගල සංඥාව හීනමවෙලා සියුම් නූල්පටක්‌ වන් දෙයකිනුයි ලෝකයට බැඳිලා තිබෙන්නේ. ඒ මෝහය නැමති නූල්පටින්…. උන්වහන්සේ තුළ මෝදුවූ ඡන්දය, වීර්යය, චිත්තය විනිවිද දැකීම නිසාම චතුරාර්යසත්‍ය අවබෝධය සාක්‍ෂාත් කරගන්නවා. ඒ අවබෝධය ලබන මොහොතේම ශුෂ්ක විදර්ශක රහතන්වහන්සේ බලාපොරොත්තු රහිතවම නැවත ජීවිතයට ගොඩවෙනවා. අවබෝධයයි ජීවිතයයි දෙකම ලැබිලා.
මරණයට අතහැරපු ජීවිතය ශුෂ්ක විදර්ශක රහතන්වහන්සේට නැවත ලැබෙන්නේ සංස්‌කාරයන්ගේ බලවත්භාවය නිසා. මාරයා මෙතැනදී දැඩි වෙහෙසක්‌ ගන්නවා ‘ශුෂ්ක විදර්ශක’ ධර්මාවබෝධය ලබනවාත් සමගම මරණයට තල්ලු කර දමන්න. මොකද මාරයා දන්නවා මොහු ජීවත් වුණොත් තමන් අවබෝධ කරගත් ධර්මය ලෝකයාට දේශනා කරයි කියලා. එය මාරයාට දැඩි තර්ජනයක්‌. නමුත් මාරයාගේ අභියෝගය එතනදිත් පරාජය වෙන්නේ ශුෂ්ක විදර්ශක රහතන්වහන්සේගේ අතීත සංස්‌කාරයන්ගේ බලවත්භාවය නිසා. කුසල් සහ අකුසල් සංස්‌කාරයන්ගේ බලවත්භාවයට මාරයා එතැනදී නැවත පරාජය වෙනවා. කොන්ඩඤ්ඤ මහරහතන් වහන්සේ අතීත සම්මා සම්බුද්ධ ශාසනයකදී ඇතිකරගත් උපාදානයක්‌ තිබුණා. ‘ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ මුල්ම මහරහත් වහන්සේ මම වෙනවා’ය කියලා. අනෙකුත් සෑම භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා සිව්වනක්‌ පිරිසම එවැනි අතීත උපාදානයන් සකස්‌ කරගෙන ඊට අදාළ කුසල්ධර්මයන් වඩවාගෙන තමයි ගෞතම සම්මාසම්බුද්ධ ශාසනයට බැසගත්තේ. ඒ වගේම ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේ කියන්නෙත් අතීත ශාසනයක ඉපදිලා, එම ශාසනය අතුරුදන්වීමට ආසන්න කාලයක දැඩි ලෙස වීර්ය වඩා ශුෂ්ක විදර්ශක රහතන්වහන්සේ නමක්‌ බවට පත්වූ රහතන් වහන්සේ නමක්‌ එහිදී දැක ‘මමත් අනාගත සම්මා සම්බුද්ධ ශාසනයකදී ශුෂ්ක විදර්ශක රහතන්වහන්සේ නමක්‌ වෙනවා’ය කියන උපාදානය ඇති කරගෙන ඊට අදාළ කුසල් පරිපූර්ණ කරගෙන පැමිණි අයෙක්‌. එම නිසා තමාගේම දැඩි වීර්යයෙන් ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේනමක්‌ බවට පත්වුවද, උන්වහන්සේලා තුළ අතීත ශක්‌තිමත් කුසල් සහ අකුසල් සංස්‌කාර සැඟවී තිබෙනවා. චක්‌ඛුපාල මහරහතන්වහන්සේ විසින් මරණයට දැමූ එතුමන්ගේ ජීවිතය, අවබෝධයට පත්වීමත් සමගින්ම මරණයට යා නොදී නැවත ලබාදෙන්නේ කුසල් සංස්‌කාර විසිනුයි. නමුත් උන්වහන්සේගේ දෑස්‌ දෙක අන්ධභාවයට පත්කරගන්නේ අකුසල් සංස්‌කාර විසින්. දෙයාකාරයක්‌ වන සංස්‌කාර උන්වහන්සේට විපාකයන් සලස්‌වලා දුන්නේ එහෙමයි.
සංස්‌කාරයන්ගේ විපාකයන්ට එරෙහිව යන්න මාරයාටත් නොහැකි බව ඉහත කාරණයෙන් පැහැදිළි වෙනවා. නමුත් සංස්‌කාර රැස්‌කර ගැනීමට ඔබට උපකාරී වෙන්නේත් මාරයාම බව ඔබ සිහිතබා ගත යුතුයි. මාරයා අකමැත්තෙන් හෝ කුසල් සංස්‌කාර රැස්‌කරගැනීමට ඔබට උපකාර කරන්නේ ඔබව ලෝකය තුළ සිරකර තබාගැනීමට මිස, භවයෙන් එතෙරවීමට අවස්‌ථාව ලබාදීමට නොවේ. රහතන්වහන්සේ යනු මාරයාට අභියෝග කළ උත්තමයෙක්‌ වන්නේ මාර ධර්මය, මාර සැඩපහර විනාශකර දමා, මුලාකර දමා සම්මාසම්බුද්ධ විෂයට අවතීර්ණ වන හෙයිනි. මාරයාගේ සැපය නැමති මුලාව උපයෝගී කරගෙන පෙරලා මාරයාවම පරාජය කිරීමයි. දුකත්, සැපත් නැමති මාරයා විසින්ම පෝෂණය කළ ධර්මතාවයන් දෙක, මුලාවෙන් තොරව නිවරැදිව හඳුනාගෙන දුකත්, සැපත් උපයෝගී කරගෙන දුකෙන්, සැපෙන්, උපේක්‍ෂාවෙන් මිදී නිවීම සාක්‍ෂාත් කරගැනීම දක්‍ෂයාගේ දක්‍ෂභාවයමයි.
මහත්මයෙක්‌ ධර්ම සාකච්ඡාවක්‌ කරන අතරතුර ප්‍රශ්නයක්‌ යොමු කළා. ‘ස්‌වාමීන්වහන්ස රෝහලේ වාට්‌ටුවල සමහර රෝගීන් සිටිනවා දින ගණනාවක්‌ වේදනාවෙන් පණ අදින. ආහාරයක්‌ නැහැ. නාසයට, මුඛයට, මුත්‍රාමාර්ගයට බටදමලා. සමහරු මහා හයියෙන් කෙඳිරිගානවා. හිතාගන්න බැරි දුකක්‌ මේ රෝගීන් විඳින්නේ. මෙවැනි රෝගීන් නිසා තම ඥාතීනුත් මහාදුකක්‌ විඳිනවා. මෙවැනි රෝගීයෙක්‌ දැක්‌කහම වෛද්‍යවරයෙක්‌ වශයෙන් මට හිතෙනවා අනේ මේ රෝගියා මැරුනොත් හොඳයි කියලා. ස්‌වාමීන්වහන්ස, මෙහෙම සිතෙන එක මට පවක්‌ද’ කියලා. දින ගණනාවක්‌ රෝහල් ඇඳක දුක්‌විඳින රෝගියෙක්‌ දැකලා අපි සිතනවා නම් මේ මනුෂ්‍යයා මැරෙන එක හොඳයි කියලා, එහෙම සිතන්නෙත් එම රෝගියා කෙරෙහි ඇති අනුකම්පාව කරුණාව නිසා. ඒ අනුකම්පාව කියන්නේ දැඩිලෙස මෝහය මුසුවූ අනුකම්පාවක්‌. පිංවත් ඔබ ධර්මානුකූලව ඒ ජීවිතය දෙස බලන්නේ නැහැ. මේ රෝගියා දින ගණනාවක්‌ පණ අදිමින් මේ ගෙවන්නේ තමා විසින් අතීතයේ කළ අකුසල් සංස්‌කාරයන්ගේ ඵලයයි. ද්වේශය සකස්‌කර ගනිමින්, අනුනගේ සැපයට ඊර්ෂාකරමින්, සත්ව හිංසාවන් කරමින්, දෙමාපියන්ට ඇපඋපස්‌ථාන නොකරමින්, රෝගීන්ට පිඩාකරමින් අතීත ජීවිතයේ තමා විසින්ම සතුටෙන් සිනාසෙමින් කළ අකුසල් විපාකයන් තමයි ඔය රෝගී පුද්ගලයා ඇඳ මත වේදනාවෙන් අත්විඳින්නේ. ඔහු විසින්ම කරගත් දෙයයි ඔහු අත්විඳින්නේ. ඔතැන කිසිම අසාධාරණයක්‌ නැහැ. ‘අනේ පව්’ කියන්න දෙයක්‌ නැහැ. ධර්මානුකූලව බලනවිට ලෝකයේ සර්ව සාධාරණවූ විපාකයක්‌ ඔහු විඳින්නේ. පිංවත් ඔබ සිතනවා නම් එය අසාධාරණයක්‌ කියලා, ධර්මයෙන් බාහිරවයි ඔබ සිතන්නේ. අකුසල් සංස්‌කාරයන්ගේ බියකරු බව, විෂම බව, අපුල බව, දුක්‌ත බව මෙවැනි රෝගීන් තුළින් දකින්නට ඔබ දක්‍ෂවෙන්න. හැකිතාක්‌ එවැනි රෝගීන්ට උපස්‌ථාන, උපකාර කරන ගමන් ඔබට එවැනි උපතක්‌ එපායෑයි කලකිරීම සකස්‌කරගන්න. එම රෝගියාට ගෙවීමට අකුසලයක්‌ ඇත්නම් එය සති ගණනාවක්‌ හෝ විවේකීව ඔහුට ගෙවාදමා මියයන්න ඉඩපහසුකම් සලසන්න. සෑම තප්පරයකදීම පිංවත් ඔබ මේ දුක්‌ත සංස්‌කාර කෙරෙහි කලකිරීම සකස්‌කර ගන්න.
වර්තමාන ලෝකයේ සාකච්ඡාවට බඳුන් වෙනවා, දැඩි දුක්‌විඳින රෝගීන්ට මාරාන්තික ඖෂධ එන්නත් කර ඉක්‌මනින් මරණයට පත්කිරීම සම්බන්ධව. මෛත්‍රිය වේවා, ද්වේශය වේවා, කුමන හේතුවක්‌ මුල්කරගෙන හෝ මරණාසන්නව දුක්‌විඳින රෝගියෙකුට බලෙන් මාරාන්තික ඖෂධ එන්නත් කර අස්‌වාභාවික ලෙස මරණයට පත්කිරීමට මනුෂ්‍ය ඝාතනයක්‌මයි. රෝගියා දුක්‌විඳින්නේ ඔහු විසින්කරගත් අතීත අකුසලයක්‌ නිසාමයි. ඔබ ඔය උත්සහ ගන්නේ ‘අකුසලයට’මාරාන්තික බෙහෙතක්‌ එන්නත් කර මරා දැමීමටය. අකුසල් සංස්‌කාරයෝ මරාදැමීමට ඔබට නොහැකිය. ඔබ එය සිදුකළ හොත් මනුෂ්‍ය ඝාතන අකුසලය විසින් ඔබට විපාකය සලස්‌වනු ඇත.
ලොව්තුරා ධර්මයට අනුව රූපය යනු මාරයාය. ඒ කියන්නේ රෝගියා ලෙස ඇඳේ සිටින්නේ මාරයා යෑයි දකින්න. අනුකම්පාව මෛත්‍රිය නැමති මාරධර්ම උපයෝගී කරගෙන මාරයා ඔය උත්සහ කරන්නේ ඔබගේ දුක්‌ගොඩ වැඩිකිරීමටයි. කෙනෙක්‌ අකුසලයේ යොදවා එහි විපාක ලෙස ඔහු දුක්‌විඳින විට, ඔහු ඒ අකුසල් සංස්‌කාර ගෙවීමේ විපාකය තුළින් තවත් පිරිසක්‌ අකුසලයේ යෙදවීම මාරයාගේ සිරිතයි. මාරයාගේ මේ දෙපිටකාට්‌ටු ක්‍රියාවලිය නුවනින් හඳුනාගන්න. මේ විෂම සංස්‌කාර කෙරෙහි කලකිරීම ඇති කරගන්න. ඔබේ ඇසට හමුවන සෑම සත්ව රූපයක්‌ම සංස්‌කාරයන්ගේ ඵලයක්‌ බව දකින්න. සංස්‌කාරයන්ගෙන් තොර ලෝකයක්‌, ලෝකයෙන් තොර සංස්‌කාරයක්‌ නැති බව දකින්න. එවිට ඔබට පෙනේවි මාරයාත් සංස්‌කාරත් එකම කාසියේ දෙපැත්ත බව.
මේ සංස්‌කාර අප තුළින් සකස්‌ වෙන්නේ අවිද්‍යාව නිසාමයි. චතුරාර්යසත්‍යය නොදැනීම… ලෝකය සැපයක්‌ හැටියට ගැනීම… මෙහි ඵලය තමයි සක්‌කායදිට්‌ඨිය, මමත්වයේ දැඩිභාවය.
පිංවත් ඔබට වසන්වෙමින් ඔබ තුළම සැඟවී සිටින භයානක සතුරෙක්‌ සිටිනවා. ඔබ කොහොම බැලුවත් ඔබ තුළ මේ සතුරා සිටිනවාය කියලා හඳුනාගන්න බැහැ. මේ සතුරා තුළිනුයි ඔබ ලෝකය දකින්නේ. එම නිසා ඔබෙන් සතුරා වසන්වෙලයි සිටින්නේ. මේ වසන්වීම මොනතරම් සියුම් ද කියනවා නම් ඔබත් සතුරාත් දෙදෙනෙකු නම ඔබම වශයෙන්මයි ඔබට පෙනෙන්නේ. පිංවත් ඔබ දක්‍ෂනම් මේ සතුරා ඔබෙන් වෙන්කර හඳුනාගන්න පුළුවන්. හඳුනාගන්න පුළුවන් විතරක්‌ නොවෙයි, මොහුව ජීවිතයෙන් නෙරපාදමන්නත් ඔබට පුළුවන්. ඒ සඳහා ඔබ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය කියන කාරණා ජීවිතයට එකතුකරගත යුතුයි. මෙතනදි තමයි තමා තුළ මෙවැනි සතුරෙක්‌ සිටින බව ඔබ දකින්නේ. පිංවත් ඔබ ඔබත් සතුරාවත් වෙන්කර හඳුනාගන්න. මේ සතුරා තමයි සක්‌කායදිට්‌ඨිය. සක්‌කායදිට්‌ඨිය නැමති සතුරා පිංවත් ඔබට අතදිගහැර සංස්‌කාර රැස්‌කරගැනීමට උපකාරී වෙනවා.
දැන් විශ්වවිද්‍යාලවල, පාසල්වල ළමයි අපට මුණගැහුණම අහන්නේ ‘ස්‌වාමීන්වහන්ස, පංතියෙ අනෙක්‌ ළමයින් හොඳින් පාඩම් කරනවිට වැඩියෙන් ලකුණු ගන්නවිට මට හරි ඊර්ශ්‍යාවක්‌ ඇතිවෙනවා. මේක මගේ අධ්‍යාපන කටයුතුවලටත් බාධාවක්‌ වෙනවා. මේකට මොකද කරන්නේ’ කියලා. පාසල් වියේදීම තරඟකාරීත්වය නිසා දරුවන්ගේ ජීවිත සක්‌කායදිට්‌ඨියෙන් පිරෙනවා. මේ මමත්වයේ දැඩිභාවය සකස්‌ වෙන්නේ රැකියාව, විවාහය, අවසන් ඉලක්‌කය කරගෙනයි. අම්මා තාත්තාත් දරුවන්ගේ සක්‌කායදිට්‌ඨියට පොහොර දමනවා. දරුවන්ට පොහොර දමන්නේ තමන් තුළත් අස්‌වැන්නට කැමත්ත තිබෙන නිසා. මොකක්‌ද මේ සමාජය බලාපොරොත්තුවන අස්‌වැන්න? ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන්.
මේ සටහන ලියන භික්‍ෂුවටත් ගිහි ජීවිතයක්‌ තිබුණා. මගේ ළමා, තරුණ කාලයේ මගේ අම්මා තාත්තා බලාපොරොත්තු වුණෙත් ඉහත අස්‌වැන්නමයි. ඒත් අම්මා තාත්තා කියපු දෙය මම නම් කළේ නැහැ. දෙමාපියන් මෙහෙම කීවේ අවංකවම අපිට ඇති ආදරය නිසා. දෙමාපියන් සැප හැටියට දකින්නේ ඔතැනයි. ඒ පිංවතුන්ට ඉන්එහාට ධර්මානූකූල දැක්‌මක්‌ තිබුණේ නැහැ. නමුත් මොකක්‌දෝ සංස්‌කාර කුසල් ශක්‌තියක්‌ නිසා දෙමාපියන්ට නැති ඉවක්‌ ජීවිතය ගැන මට තිබුණා. දෙමාපියන් ඒ ගැන අතෘප්තියෙන් හිටියේ.ඒත් මට අවශ්‍ය වුණේ දෙමාපියන්ගේ මෝහය තෘප්තිමත් කිරීම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ තෘප්තිමත් කිරීම පමණයි මට අවශ්‍ය වුයේ. බුදුරජාණන් වහන්සේ උදෙසා යමක්‌ අතහරින්න පිංවත් ඔබ බියවෙන්න එපා. මොකද අතහරින්න යමක්‌ ඔබට තිබෙනවා නම් ඒ දෙය ඔබට ලැබුණේ සද්ධර්මය නිසාමයි. ඒ නිසා පිංවත් ඔබට ලැබුණු දෙය සද්ධර්මය උදෙසාම අතහැර, භවයේ මෙතෙක්‌ නොලද එකම දෙය අයිතිකරගන්න. ජීවිතයේ ඉතිරිව ඇති කෙටි කාලය, සතර අපායෙන් එතෙර වීම සඳහා කැපකර, අකුසල් සංස්‌කාර හේතුවෙන් සකස්‌ වන කල්ප ගණනාවක අතිශය දුක්‌, විනාශකාරී ස්‌වභාවයන් නුවනින් මෙනෙහිකර, වලක්‌වා ගැනීමට දක්‍ෂවන්න. ජීවිතයේ හිස්‌ බව දකිමින්ම ජීවත්වන්න. සිහිනුවන තිබෙන අම්මා තාත්තා දෙපලක්‌ තම දරුවාගේ අධ්‍යාපනය උදෙසා වැයකරන වසර 15 ක පමණ කාලය එම දරුවාට සතර අපායෙන් මිදීමේ ධර්මතාවයන් ප්‍රගුණ කිරීම උදෙසා කැප කළහොත් ඔබේ දරුවාට ඔබ සැබෑම කළ්‍යාණ මිත්‍රයෙක්‌ වනවා. එම දරුවා ලෝකයාගෙන්, ප්‍රශ්න, දුක්‌ , කම්කටොලුවලින් පීඩාවන් ලබන දරුවෙක්‌ නොව, දෙව්බඹුන්ගෙන් වැදුම් පිදුම් ලබන දරුවෙක්‌ වෙනවා. මව් කිරෙහි වන්දිය ගෙවූ දරුවෙක්‌ වෙනවා. එපමණක්‌ නොව උපරිම භව හතකට ජාතිය සීමාකරගත් මාර්ගඵලලාභී දෙවියෙක්‌ දිව්‍යාංගනාවක්‌ වෙනවා. මාර්ගඵලලාභී දෙවියන් දිව්‍යාංගනාවන්ගේ ඇසුර ලබන පිංවතෙක්‌ වෙනවා. පිංවත් දෙමාපියන් දරුවන් යොමු කිරීමට බලාපොරොත්තුවන දුක දෙසත්, ධර්මයේ පෙන්වාදෙන සැබෑම සැපය දෙසත් නුවණින් බලන්න. දරුවන් මේ විශම, දුෂ්ශීල, අන්තරාකාරී සමාජයේ අතරමං කරන්න එපා. පිංවත් ඔබේ දරුවා සැබෑම පිංවත් දරුවෙක්‌ නිසයි මේ මොහොතේ ඔබේ කුසෙන් ධර්මය සන්දිට්‌ඨිකව තිබෙන මේ බිමට බැසගත්තේ. දරුවා ලැබූ ඒ උතුම් අවස්‌ථාවේදී දරුවාට නොමග නොව, ධර්මයේ සැබෑම මග කියාදී, බුදුසමිඳුන් තම රාහුල පුතනුවන්ට මග පෙන් වූයේ යම් දිශාවකට ද, පිංවත් ඔබත් ඔබේ දරුවාට දුකෙන් තොර සැපයෙන්ම සපිරුණු දිශාව පෙන්වා දෙන්න. එතැනදී ඔබ සැබෑ බෞද්ධ අම්මා කෙනෙක්‌, තාත්තා කෙනෙක්‌ වෙන්නේ….ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

3-21 දුක සැප පෙරළෙන සංස්‌කාර

2012-12-09-දුක සැප පෙරළෙන සංස්‌කාර…

වැස්‌ස බොහෝම හයියෙන් වහිනවා. තුන් බිත්ති කුටියේ ඉදිරිපස එල්ලා ඇති පැරණි සිව්ර අතරින් මීදුමත්, වහලයේ කුමේරය අතරින් වැහි බිඳුත් කුටියට වැටෙනවා. පරිසරය මීදුමින් වැසිලා. හැබැයි සුළඟ තවම නැහැ. වෙලාව පස්‌වරු 5.30 යි. දියසීරාව නිසා කුටියේ බිම සිමෙන්තිය තෙත්වෙලා. පාවහන්වලින් තොර නිර්වස්‌ත්‍ර දෙපා, තෙතබරිත සිමෙන්ති පොළොවේ ගැටෙන විට සීතලක්‌ දැනෙනවා. මේ වැස්‌ස, සීතල, දියසීරාව, මීදුම හරිම අසරණයි. සරණක්‌ ඇති ජීවිතයක්‌ ඉදිරියේ මේවා කුමක්‌ නම් පීඩාවක්‌ කරන්නද…..

ලන්තෑරුම් එළියෙන් ලෑලි ඇඳ මත වාඩිවී මේ සටහන තබනකොට භික්‍ෂුවගේ සිත පුදුමාකාර සැනසීමකින් පිරිලා. මේ ටික සටහන් වුණේ වැස්‌ස නිසා. ඒ නිසාම භික්‍ෂුව වැස්‌සට ආශිර්වාද කරනවා. භික්‍ෂුවට මතකය තේර තේරී ගාථාවල එක්‌ රහතන් වහන්සේ නමක්‌ උදාන වාක්‍යයක්‌ ප්‍රකාශ කරනවා ‘වැස්‌ස¾ ඔබ ඇති තරම් වහින්න. ගොරවා ගොරවා වහින්න. වැස්‌සට බැහැ මාව අපහසුවට පත්කරන්න. මම කුටිය හොඳින් සෙවිලි කරලයි තිබෙන්නේ’ කියලා. වැස්‌සට ගුලිවෙලා, වකුටුවෙලා වැස්‌සට බැණ බැණ ඉන්නවා වෙනුවට උන්වහන්සේ වැස්‌සට ආශිර්වාද කළා. අපි වැස්‌සට කොච්චර කිව්වත් වහින්න එපා කියලා වැස්‌ස එය අහන්නේ නැහැ. වැස්‌සට ඇතිවන තුරාවට එය වහිනවා. වැස්‌ස වහිනතාක්‌ පරිසරය, කුටිය හිරිකිඩෙන්, මීදුමෙන්, දියසීරාවෙන් ආක්‍රමණය කරනවා.

මේ වැස්‌සට තෙමුණොත් වැඩිම වුණොත් උණක්‌, සෙම්ප්‍රතිශ්‍යාවක්‌ හැදෙයි. ඊට වඩා හැදෙන ලෙඩක්‌ නැහැ. කොත්තමල්ලි ටිකක්‌ තම්බලා වළඳලා, බටහිර බෙහෙත් පෙත්තක්‌, කරලක්‌ වළඳලා එය සනීප වෙලා යාවී. නමුත් ඇස නිසා ඇති වන කෙළෙස්‌ වැස්‌සට, කණ නිසා ඇති වෙන කෙළෙස්‌ වැස්‌සට නාසය, දිව, මනස, කය නිසා ඇතිවන කෙළෙස්‌ වැස්‌සට පිංවත් ඔබ තෙමුණොත් මෙලොව, පරලොව දෙකේදීම අපි දුකට වැටෙනවා. අර අතීත රහතන් වහන්සේ සිංහනාද කරන්නේ ‘මගේ කුටිය හොඳින් සෙවිලි කරලයි තිබෙන්නේ. වැස්‌ස ඇති තරම් වහින්න’ කියලා.

ආධ්‍යාත්මික රූපයත්, භාහිර රූපයත්, විඥානයත් මේ කාරණා තුන එකතුවන ඵස්‌සය ළඟදීම උන්වහන්සේ අනිත්‍යය දකිනවා. ඵස්‌සය අනිත්‍යයයි කියලා අවබෝධයෙන් දකින තැනදී විඳීමක්‌ සකස්‌වෙන්නේ නැහැ. ඉන් මෙහා අපි සැවොම ඵස්‌සය නිත්‍ය වශයෙන් ගෙන පංච උපාදානස්‌කන්ධය සකස්‌කරගන්නවා. ඒ කෙළෙස්‌ වැස්‌සට තෙමෙනවා. විඳීම කියන සෙවිලි නොකළ වහලය අපිව බරපතළ ආකාරයට කෙළෙස්‌වලින් තෙමෙනවා. මෙහි ඵලය තමයි සංස්‌කාරයන්ගේ බලවත් රෝගාතුරභාවය. සංස්‌කාර හේතුවෙන් හටගන්නා රෝගාබාධ බෙහෙත්පෙති, කරල්, සිරප් වළඳලා නම් සනීපකරගන්න බැහැ. කල්ප ගණන් මිථ්‍යදෘෂ්ඨිකභාවය, දුප්පත් බව, කුසගින්න, විරූපි බව, ගින්දර, ගිනි අඟුරු, ලෝදිය මත මදි නැතිව දුක්‌ අනුභව කරලයි අවසන් වෙන්නේ. දුකත් සැපත් දෙකම සංස්‌කාරයන්ගේ ඵලයක්‌ මයි. එම නිසා දුක, සැප දෙකම අපි සම සිතින් පිළිගත යුතුයි. අපි සූදානම් සැප සතුටින් පිළිගෙන, දුක අසතුටින් ප්‍රතික්‍ෂේප කිරීමට නම් අපට කවදාකවත් ධර්මය කෙරෙහි ශ්‍රද්ධාවට පැමිණෙන්නට බැහැ. අනිත්‍ය සංඥාවන්ගෙන් සෙවිලි නොකරන ලද ඇස නිසාමයි, කණ නිසාමයි, නාසය නිසාමයි, දිව නිසාමයි, කය නිසාමයි, මනස නිසාමයි දුකත් සැපත් දෙකම අපට උරුමකර දෙන්නේ. අතීතයේ වැඩ සිටිය රහතන්වහන්සේ ‘වැස්‌ස ඇතිතාක්‌ වහින්න. මාගේ කුටිය හොඳින් සෙවිලි කරලයි තිබෙන්නේ’ කියලා සිංහනාද කරන්නේ, උන්වහන්සේගේ කුටියට වැසිදිය නොවැටෙන නිසා නොව මීදුම, සීතල නොඑන නිසාම නොව උන්වහන්සේ ‘දැක්‌කාය’ කියන තැනදීම, ‘ඇසුනාය’ කියන තැනදීම ‘දැනුනාය’ කියන තැනදීම ඵස්‌සය අනිත්‍ය වශයෙන් දැකීම පිණිස අවබෝධයෙන් සම්පූර්ණ උත්තමයකු නිසාය. ‘මම’ කියන පුද්ගලයා හේතුඵල ධර්මයන්ගෙන් සකස්‌ වූ ඵලයක්‌ ලෙස අවබෝධ කරගනිද්දී, හේතූන් නිසා සකස්‌ වූ ඵලයක්‌ තුළ සත්වයෙක්‌, පුද්ගලයෙක්‌ වශයෙන් අර්ථයක්‌ නොපෙනෙද්දී කුමක්‌ නිසා, කව්රුන් උදෙසා තෘෂ්ණාවක්‌ සකස්‌වෙන්නද?

පිංවත් ඔබ දෑස්‌ හොඳින් විවර කර බලන්න. ඇස, කණ, නාසය, දිව, කය, මනස යන ආයතන නිසා සකස්‌ වූ කෙළෙස්‌ වැස්‌සට තෙමුණු සත්වයන්ගේ ලෝකයයි ඔබ ඉදිරියේ දර්ශනය වන්නේ. ධාරානිපාත වර්ෂාවක්‌ ගහකොළ පෙරළා, ඇල දොළ ගංගා දෙගොඩ තලා, පස්‌කඳු නායගොස්‌ මහා විනාශක්‌ කරන්නා සේ ඇස නිසා සකස්‌ වූ කෙළෙස්‌වල බරපතළභාවය නිසාම මොනතරම් දුක්‌ ගොඩක්‌ සත්වයා විඳිනවාද. අපි එක මොහොතක්‌වත් ඇස, කන, නාසය, දිව, කය, මනස නිසා වන දුක්‌ ගැන මෙනෙහි කරනවාද, කථාකරනවාද. ඇස, කණ, නාසය, දිව, කය, මනස නිසා කෙළෙස්‌ වැස්‌සට හසුවුණ අයමයි ඔය සිරගෙවල්වල, රෝහල්වල, යුධ භූමිවල, ගිහිගෙවල්වල, මගතොටේ අපට මුණගැසෙන්නේ. ස්‌වභාවධර්මයේ වැස්‌සෙන් නොතෙමෙන්න අපි උපක්‍රම යෙදුවාට, තෘෂ්ණාවේ කෙලෙස්‌ වැස්‌සෙන් අප නිරතුරුවම තෙමෙනවා. අපි ලෙඩවෙනවා. නොදැනුවත්කම නිසාම අසාධ්‍ය රෝගීන් බවට පත්වෙනවා. එහෙම රෝගීන්ට බෙහෙත් කියන්නෙත් තවත් අසාධ්‍ය රෝගියෙක්‌මයි. ඒ නිසා රෝගියා සහ වෛද්‍යවරයා දෙදෙනාම හුඟක්‌ වෙලාවට විනාශය කරාම පියවර තබනවා.

එක තාත්තා කෙනෙක්‌ සිටියා, ඒ තාත්තා දරුවන්ට බොහොම ආදරෙයි. ඔහු රජයේ සේවකයෙක්‌. මොහු ශීලය ගැන එතරම් තැකුව කෙනෙක්‌ නෙවෙයි. මාරයා විසින් සමාජය තුළ එලා ඇති තරගකාරීත්වය නැමැති දැළට හසුවෙලා සිටි අයෙක්‌ මොහු. යමක්‌ අයිති කර ගැනීමට යන ගමනේදී මොහු බොහෝම වේගවත්. කොටින්ම මොහුට දවසේ පැය 24ම වුණත් කටයුතු සඳහා ප්‍රමාණවත් මදි. මොහු තමන්ගේ දරුවෙක්‌ වෙනුවෙන් බොහොම මහන්සියෙන් නිවසක්‌ හැදුවා. නිවසේ වැඩකටයුතු අඩක්‌ නිමාකර තිබියදී මොහු මියයනවා. අපි දන්න ස්‌වාමීන් වහන්සේ නමක්‌ සමාධිය තුළින් අරමුණු කර බලනවා මොහු මරණින් මතු කොතැනක ඉපදිලා සිටිනවාද කියලා. එවිට එම ස්‌වාමීන්වහන්සේට අරමුණුවෙනවා මුල් ගලක්‌ දෑතින් අල්ලාගෙන සිටි බහිරව ස්‌වභාවයේ ප්‍රේතයෙක්‌. ඔහු එරමිනියාගොතාගෙන, මුල්ගල බදාගෙන ඉන්නවා වගෙයි දර්ශනය වෙලා තිබෙන්නේ. අපි භහිරවයා යනුවෙන් හඳුන්වන සත්වයෙක්‌.

මේ කාරණයේදී භික්‍ෂුව හඳුනාගෙන ඇත්තේ, වැඩ අවසන් නොවූ නිවසේ උපාදානය නිසා ඉහත උපත සකස්‌කරගත් බවයි. දැන් ඉතින් මුල්ගල මගේ කොටගෙන බහිරව ලෝකයේ ජීවත්වෙනවා. මේ මුල්ගල නිශ්චිත වශයෙන් එම නිවසේම මුල්ගල ද කියන්න භික්‍ෂුව දන්නේ නැහැ. බලන්න, නිවස නැමැති රූපය නිසා සකස්‌ වූ තෘෂ්ණාව හේතුවෙන් ඇතිවූ කෙළෙස්‌ වැස්‌සට හසුව ඔහුව ගසාගෙන ගොස්‌ ඊළඟ භවයේ ප්‍රතිසන්ධිය සකස්‌කර දුන්තැන. ‘උපාදාන පච්ජයාරි භවෝ’….. ඔබ ඉදිරියේ ඇති භයානකම අනතුරු නුවණින් හඳුනා නොගත්තොත් ඔබට දුකම උරුමකර දෙන ධර්මතාවය. මේ මහත්මයා මනසේ සකස්‌වූ කෙළෙස්‌ වැස්‌සට හසුවීම නිසා සකස්‌කරගත් දුක කල්ප ගණනාවක්‌ විය හැකියි නේද?

වර්තමාන සමාජයේ ජීවත්වෙන හුඟ දෙනකුට තමන්ගේ කටයුතුවලට දවසේ පැය 24ත් මදි. ඒ මදිබව නිසාම සමහරු රාත්‍රියේ නින්දෙන් ගණන් හදනවා. දරුවන්ට, බිරිඳට ආදරය කරනවා. මාරයා විසින් එලන ලද තරගකාරීත්වයේ දැලට හසුවී දුවන්නන් වාලේ දුවන චර්යාවෙන් මිදෙන්න. විවේකීව කෙලෙස්‌ වැස්‌ස ගැන සිතන්න. සමාජය වේගයෙන් ලෞකික වශයෙන් සංවර්ධනය වෙනවා. විසිතුරුභාවයෙන්, ගෘහනිර්මාණ ශිල්පයෙන් එකිනෙක අභිබවා දැකුම්කළු නිවාස ඉදිවෙනවා. ඔබගේ සුන්දර නිවස යම් සේ දැකුම්කලුද, විසිතුරුද බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා ඔබගේ සිත ඊටත් වඩා විසිතුරුයි කියලා. මොකද ඔබ තුළ ඇති තෘෂ්ණාවේ දිග පළල නිසාමයි ඔය වැනි විසිතුරු නිවසක්‌ නිර්මාණය වුණේ කියලා. ඉහත වැකිය සටහන් කරනකොටම භික්‍ෂුවට හිනාවක්‌ ඇති වුණා. භික්‍ෂුව මේ වෙලාවේ වැඩ සිටින කුටිය කැලයේ ඇති මැටිගැසූ කුඩා පැළක්‌. රජගෙදර ඉන්න රජතුමාට වඩා නික්‌ලේෂී සැනසිල්ලක්‌ භික්‍ෂුව මේ මොහොතේ අත්විඳිනවා. තෘෂ්ණාව ක්‍ෂය වුණ තැන නිස්‌සරණය, සැහැල්ලුව මිස දුක සැප එහි කොයින්ද?

වැස්‌ස, සුළඟ, සීතල මීදුම එනවා. යනවා. ඒත් ඒ කිසිවකින් පීඩා විඳින්න පුද්ගලයෙක්‌ මෙතැන නැහැ. ඵස්‌ස පච්ජයා වේදනා….. ඵස්‌සය නිසා සකස්‌ වූ විඳීමත්, ඵස්‌සයත්, විඳීමත් අනිත්‍යධර්මයන්මයි. මොන තරම් සරළ සමීකරණයක්‌ද. විසිතුරුභාවය වැඩිවන්න වැඩිවන්න, තෘෂ්ණාව වැඩිවන බව ඔබ තේරුම්ගන්න ඕනා. තෘෂ්ණාව වැඩිවන්න වැඩිවන්න දුකයි වැඩිවන්නේ. දුක කියන්නේ අවිද්‍යාව නිසා අපිට

රැස්‌වෙන්නාවූ සංස්‌කාරයි. සංස්‌කාරයන් නිදහසේ භුක්‌තිවිඳීමට අභය භූමියක්‌ වෙමිනුයි ලෝකය පවතින්නේ. කුසල් සහ අකුසල් සංස්‌කාරයන්ට බාධාකරන්න කෙනෙක්‌ ලෝකයේ නැහැ.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

20-මේ දුකම කියන දහමක්‌ද ? දුකෙන් මිදෙන දහමක්‌ද?

‘සතර අපායෙන් මිදෙමු’ 20 කොටස
මේ දුකම කියන දහමක්‌ද ? දුකෙන් මිදෙන දහමක්‌ද?
ධර්මයට අනුව පිංවත් ඔබ නිවැරදිවෙන්න.
ධර්මය පිංවත් ඔබට නිරතුරුවම කථාකරන්නේ වඩාත් සැපයකට බවට ඔසවා තබන්න. ඒ ශීලය, දානය, ශ්‍රද්ධාව නැමැති සැපයේ උපාදානය ඔස්‌සේ ක්‍රමානුකූලව ඔබව ‘පංච උපාදනස්‌කන්ධයේ අනිත්‍යභාවය දැකීම’ කියන අවබෝධයට යොමු කිරීම පිණිසයි. සද්ධර්මය කොතැනින් ගත්තත් හේතුඵල ධර්මයන්මයි සකස්‌කර දෙන්නේ. ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, ශීලය, දානය නැමැති ධර්මතාවයන් ඔබේ ජීවිතය තුළින් අවංකවම ක්‍රියාත්මක කරනකොට එම හේතූන්ගේ ශක්‌තිමත්භාවය විසින්ම පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය ඔබ තුළින් වැඩෙනවා. පිංවත් ඔබ සියල්ලටම පෙර පංච උපාදනස්‌කන්ධයේ අනිත්‍යභාවය වැඩීමට යන්න එපා. මෙය මාර්ගයක්‌. එහි මුල මැද අග වශයෙන් ක්‍රමාණුකූලව පෙරට යා යුතුයි. ඔබ ඉක්‌මන් වුණොත් ධර්මය කෙරෙහි කලකිරේවී. එසේ නැතහොත් නොයෙක්‌ දෘෂ්ඨී මතවාදවල සිරකරුවෙක්‌ වේවි. ඔබ සැප ලබන්නට කැමැතිනම් මුළින්ම ‘සැපය’ කියන කාරණය හොඳින් සිහිනුවණින් හඳුනාගන්න. විශේෂයෙන් තරුණ පිංවතුන් පිංවතියන් මොකක්‌ද ‘සැපය’ කියලා උපාදානය කරගෙන සිටින්නේ. ඔබ ඔය ‘සැපය’ යෑයි අල්ලාගෙන සිටින්නේ ලෝකයේ සැබෑම සැපය සමග සසඳා බලනකොට ඉතාමත් ප්‍රාථමික සැපයක්‌. ලෝකයේ සත්වයා අත්විඳින සැබෑම සැපය යම්දවසක ඔය ඇස්‌වලින් දැක්‌කොත් ඔබ සිතාවී සැබැවින්ම ඔබ ඇස්‌ ඇති අන්ධයෙක්‌ කියලා. පිංවත් ඔබ උදාහරණයකට මේ මනුෂ්‍ය ලෝකයේ ජීවත්වෙන හොඳම රූප සුන්දරිය ගන්නකෝ. රූපවාහීනි කැමරා සිය ගණනකින් ලෝකයාට පෙන්වන ඇයගේ සුරූපී රූපය ගන්නකෝ. පිංවතුනි, දිව්‍ය ලෝකවල ඉන්නේ දෙවියන් දිව්‍යාංගනාවන් විතරක්‌ නෙමෙයි. දිව්‍ය තිරිසන් සතුනුත් ඉන්නවා. දිව්‍යලෝකයේ උපත ලද දිව්‍ය අජානීය අශ්වයන් සිටිනවා. භික්‍ෂුවක්‌ සමාධියෙන් පසුවන විට දිව්‍ය තලයක දිව්‍ය අජානීය අශ්ව විමානයක්‌ දර්ශනය වෙනවා. දිව්‍ය අජානීය අශ්වයන් හතරදෙනෙක්‌ එහි සිටියා. එම දිව්‍ය අශ්වයකුගේ උස අඩි 7ක්‌ පමණ ඇති. දිව්‍ය අශ්වයාගේ වර්ණය තනිකරම මනුෂ්‍ය ලෝකයේ සිටින මොනරකුගේ වෛවර්ණ පැහැයට සමානයි. කොළ, නිල් පැහැයන්ගෙන් අලංකෘතයි. ඔබ සිතන්න, මොනර පිල් කළඹ විසිපහක්‌ පමණ එකතු කරලා මිටියක්‌ බැන්දා කියලා. අන්න ඒ ප්‍රමාණයේ, හැඩයේ වල්ගයක්‌ දිව්‍ය අශ්වයාට තිබෙනවා. එම වලිගය මුලින් පිට උඩ අතට නෙරලා තමයි පහළට වැටෙන ස්‌වභාවයෙන් තිබෙන්නේ. එය බොහොම ගාම්භීර පෞරුෂයක්‌ තිබෙන වල්ග පිහිටීමක්‌. එම දිව්‍ය අශ්වයාගේ පිට උඩ කොඳු නාරටිය දිගටම අඩියක්‌ පමණ දිග රෝම මොනර පිල් පැහැයට පහතට වැටී තිබෙනවා. මෙම අශ්වයින් ආයුෂ, වර්ණ, සැප බලයෙන් අනූන දිව්‍ය අශ්වයන්. පිංවතුනේ භික්‍ෂුව සමග විරසක වෙන්න එපා. පිංවත් ඔබට ධර්ම මාර්ගයේ සැබෑ සැපය ගැන කියන්නයි මෙය සටහන් කරන්නේ. පිංවත් ඔබ සැපැයි කියා අල්ලාගන්නා රූප සුන්දරියගේ රූපශ්‍රීයට වඩා අසිරිමත් සුන්දරත්වයක්‌. ඒ දිව්‍ය අජානීය අශ්වයා තුළත් තිබේ නම්…..

මේ දිව්‍ය ලෝකයේ තිරිසන් සතෙක්‌ ගැනයි කථා කළේ. දිව්‍ය ලෝකයේ තිරිසන් දිව්‍ය සත්වයාත් මනුෂ්‍ය ලෝකයේ අපට වඩා රූපශ්‍රීයෙන් ඉහළින් සිටිනවා. ඒත් පිංවත් ඔබ ලැඡ්ජාවෙන්න එපා. ඔබත් සැබැවින්ම පිංවත්. ඔබට ඔය රූපය ලැබුණේ පෙර පින නිසාමයි. නමුත් ඔබ ඔය රූපයෙන් මත්නොවී ධර්මය සිතන්න දක්‍ෂ වෙන්න. ‘අර දිව්‍ය අශ්වයා මට වඩා ලස්‌සනයි’ කියලා. එතකොට ඔබට පුළුවන්, නිතරම කිලුටු වෙන, නිතරම සෝදන, මේ රූපය ගැන කලකිරිලා, සැබැවින්ම කාලයකට කිලුටු නොවෙන, වඩාත් ලස්‌සන දිව්‍ය රූපයක්‌ කෙරෙහි උපාදානය සකස්‌ කරගන්න. අවංකවම ඔබට එහෙම අවශ්‍යනම් ඔබේ රූපයේ ජරා, ව්‍යාධි, මරණ වසාදමන රූපලාවන්‍යාගාරයෙන්, බාබර් සාප්පුවෙන් මිදිලා ශ්‍රද්ධා, ශීල, දානය නැමැති සැබැවින්ම ඔබව වර්ණවත් කරන මාර්ගයේ මුල් අදියරට එන්න. එතැනදී තරුණ ගිහි පිංවතුන්ලාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සෑබෑ සැපය කෙරෙහි විශ්වාසයක්‌, දැකීමක්‌ ඇති වෙනවා. තමා සිටින්නේ මුලාවක බව දැනෙනවා. ඒ කියන්නේ ශ්‍රද්ධාවේ බීජය ඔබ තුළ සකස්‌ වෙනවා. මුළින්ම හිමින් සීරුවේ ඔතනට එන්න. ශ්‍රද්ධාව තමයි මෙලොව ශේ්‍රෂ්ඨතම ධනය. ඒ ශේ්‍රෂ්ඨ ධනයේ හිමිකාරිත්වය ලබාගන්න.

එවිට නිතැනින්ම හේතුඵල ධර්මයන්ට අනුව සැප ලැබීමේ සැබෑම මාර්ගය ඔබ සොයාගෙන යාවි.

පිංවත් ඔබට සැබෑ සැපය ගැන අවබෝධයක්‌ ලැබීම පිණිස, එය ධර්ම මාර්ගය පටන් ගැනීමේ ගමනට අයෝමය ශක්‌තියක්‌වීම පිණිස, මේ ලෝක ධාතුව තුළ වෙසෙන වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, රූපයෙන් ආඪ්‍ය කාන්තාව ගැන සඳහනක්‌ තබනවා. මේ රූපශ්‍රීයෙන් බබලන නන් විසිතුරු මුතු, මැණික්‌, රන් ආභරණවල වටිනාකම දකිනවිට පිංවත් ඔබට සිතේවි ඔබේ ඔය ඩෙනිම් කලිසම, කොන්ඩ මෝස්‌තරය, ඉමිටේෂන් කරාබු, මාල වළලු, රනින් සෑදූ ආභරණ මොනතරම් අඩු ලංසුවේ නොවටිනා දේවල් ද කියලා. ඔබ සැපයි කියලා විශ්වාස කරන සැපයත්, ලස්‌සනත්, ලොව්තුරා ධර්මය තුළින් ගිහිපිංවතුන්ලා ඔසවා තබන සැබෑ සැපයත් අතර පරතරය ඔබ හොඳින් අත්දකින්න. ඔබ ඉහත ඇඳුම් ආභරණ අයිතිකරගන්න මොනතරම් රැකීරක්‌ෂා ව්‍යාපාර කරලා මුදල් හම්බකරගන්න දුක්‌විඳින්න ඕනද? පවුමක රන්මාලයක්‌ ගන්න වර්තමානයේ තරුණයකුට, තරුණියෙකුට මොනතරම් ශ්‍රමය වගුරවන්න ඕනෙද? ඊට අවශ්‍ය මුදල් හම්බකරගන්න, වර්තමාන සමාජයේ ඒවා ආරක්‍ෂා කරගන්න මොනතරම් වෙහෙසක්‌ ගන්න ඕනෙද? රන් මාලයක්‌ දමාගෙන අද බියකින් තොරව මහපාරක යන්න පුළුවන්ද? ඔබ සැපය කියලා කියන්නේ ඔය කරදර පීඩා රැසක්‌ රැඳුණු දුකට නේද?

නමුත් ධර්මයේ ගිහි පිංවතුන්ලාට දේශනා කරන සැපය තුළ ඇති ශ්‍රේෂ්ඨම ලෞකික සැපය ලබන කාන්තාව මනුෂ්‍ය කාන්තාවක්‌ නොව දිව්‍ය කාන්තාවකි. ඇය අන් කවුරුත් නොව මුළු දිව්‍යතලයන්ටම අධිපති ශක්‍ර දෙවියන්ගේ අගබිසව සුජම්පතී දිව්‍යාංගනාවයි. ඇය වැනි අසිsරිමත් සැපයෙන් ආඪ්‍ය දිව්‍යාංගනාවක්‌ දිව්‍යතලයක තවත් සිටිය නොහැකිය. මේ සුජම්පතී දිව්‍යාංගනාව සමාධියේ ඇසින් දුටු භික්‍ෂුවක්‌ ඇයගේ රූපශ්‍රීය පහත ආකාරයට දක්‌වන ලදි.

භික්‍ෂුවට සමාධියෙන් ඇය දර්ශනය වෙද්දී ඇය අඩි 6ක්‌ පමණ උස දිව්‍යාංගනාවකි. ඉන්දියානු නාට්‍යංගනාවක්‌ සාරිය අඳින ආකාරයේ මෝස්‌තරයට සාරියක්‌ ඇය පැළ දගෙන සිටියාය. එම සාරිය නිල්, කොළ, දම්, අළු පැහැයෙන් යුත් වර්ණවලින් මිශ්‍රව දිලිසෙන ස්‌වභායේ සාරියකි. වැලමිට අසලට අත දිග ඉහත වර්ණවලින් සමන්විත හැට්‌ටයක්‌ ඇය ඇඳ සිටියාය. මෙම සාරියේ සහ හැට්‌ටයේ එකම තැන ඉහත වර්ණ මිශ්‍රවීමකින් දැකිය හැකිය. සාරියත් හැට්‌ටයත් අතරින් ශරීරය බාහිරට කොතැනකවත් නිරාවරණය වී නොමැත. ඇය සාරියට උඩින් අඟල් හතරක්‌ පමණ පළල බඳපටියක්‌ පැළඳගෙන ඇත. බඳපටියේ ඉදිරිපස දිදුලන මැණිකකින් සාදන ලද රවුම් හැඩයේ ආභරණයකි. බඳ පටිය වටේටද මුතුමැණික්‌ ඔබ්බවා ඇත. ඇයගේ හිසකෙස්‌ වැටිය දණහිස දක්‌වා දිගය. එය හොඳින් ගොතා පහළට දමා තිබිණ. හිසේ, උසින් අඩු ඔටුන්නකි. එය අතේ පළඳින පේරස්‌ මුද්දේ හැඩයට තැනූ සුදු මැණික්‌ එබ්බවූ ඔටුන්නකි. ඇගේ ගෙල මාල හතක්‌, දහයක්‌ අතර ගණනක්‌ ඇත. මේ සෑම මාලයක්‌ම ඇයගේ කලවා ප්‍රදේශයට දිගය. මේ සෑම මාලයක්‌ම ඉහත සියුම් මුතුමැණික්‌ සහ රනින් ගෙත්තම් කර ඇත. මේ මාල සියල්ල අතර එක සුවිශේෂ වූ මාලයක්‌ ඇත. එය එතුමියගේ නාබිය ප්‍රදේශයට දිගැති මාලයකි. එහි අග සුදු පැහැති දොඩම් ගෙඩියක ප්‍රමාණයේ මැණිකකි. එම මැණිකෙන් වොට්‌ 100 ක ප්‍රමාණයේ බල්බයකින් නිකුත් වන ආලෝකධාරාවක්‌ නිකුත් වේ. කොටින්ම ඇය දීප්තිමත් දැල්වෙන බල්බයක්‌ ගෙල එල්ලාගත් දිව්‍යාංගනාවක්‌ සේය. නමුත් එම ආලෝකය විහිදෙන්නේ ඇගේ ගෙල බැඳි මාලයක ඇති සුදු පැහැති මැණිකකිනි. ඇය මේසා ආභරණින් රූපශ්‍රීයෙන් අග රැජිනක්‌ වුවද ඇය නිරහංකාර තැන්පත් ගති ඇති පෞරුෂයෙන් පිරීගිය දිව්‍යාංගනාවකි. සමහර දිව්‍යාංගනාවන්ගේ ඇති කෙළිලොල් බව, රූපශ්‍රීයේ ඇති රිද්මය, ලාලිත්‍යය වැනි දඟකාර චරිත ලක්‍ෂණ ඇයට නැත. ඇය තැන්පත් මහේශාඛ්‍ය දෙව් දුවකි.

පිංවත් ඔබ ඉහත සටහන පිළිගත්තද නොපිළිගත්තද එය මේ ලෝකයේ ධර්මය තුළින් ගිහිපිංවතුන්ලාට ලැබිය හැකි සැබෑම සැපය පිළිබඳව මනස අවදිකරවන අත්දැකීමකි. භික්‍ෂුව පිංවත් ඔබට එසේ සඳහන් කළද මේ නිමේෂයේත් ඒ සුන්දර සුජම්පති දෙව් දුවගේ රූපය භික්‍ෂුව දකින්නේ ඇට සැකිල්ලක්‌ කොටය. ධර්මයේ සැබෑ අර්ථය එතැනය. එහෙත් පිංවත් ඔබ කලබල විය යුතු නැත. මේ අතිසුන්දර දිව්‍යාංගනාවට ඉහත සශ්‍රිකභාවය ලැබුණේ මහන්සිවෙලා රැකීරක්‍ෂා, ව්‍යාපාර කරලා නොවේ. අම්මා, තාත්තා, ස්‌වාමිපුරුෂයාගේ දෑවැද්දට නොවේ. මේ සියලු සම්පත් ඇයට ලැබුණේ ලොව්තුරා බුqදුරජාණන් වහන්සේ ගිහි පිංවතුන්ලාට ඇඟිල්ල දිගුකර පෙන්වන ධර්ම මාර්ගයේ ගමන් කිරීම තුළින්ය. ශ්‍රද්ධාව, ශීලය, දානය, දේවතානුස්‌සතිය ඉහත සැපය ඔබට පෙන්වන මාර්ගයයි. පිංවත් ඔබ ඉන් බැහැරව බොරුවට මොනතරම් දඟලනවාද තුට්‌ටුදෙකේ සැපයක්‌ සොයන්න.

බලන්නකෝ මොනතරම් අසිරිමත් සැපයකටද බුදුරජාණන් වහන්සේ ඔබලාට පාර පෙන්වන්නේ. ඇයි අපි ‘ධර්මය දුක ගැන, මරණය ගැන, අනිත්‍ය ගැන පමණක්‌මයි කියන්නේ’ කියලා ධර්මයෙන් ඈතට යන්නේ. ධර්මය කෙරෙහි කලකිරෙන්නේ. පිංවත් ඔබ සැපය හැටියට දකින අවුරුදු 10 ක පමණ නවයොවුන් තරුණ කාලයක්‌ තිබී ජරා, ව්‍යාධි, මරණයන්ට පත්වන ඔය “දුක” ලස්‌සන රූපය කෙරෙහි ඇති කැමැත්තෙන් මිදී “සැප” ලස්‌සන රූපයක හිමිකාරිත්වය ලබාගැනීමට ඔබත් කැමතිවෙන්න මුලින්ම.

එක පිංවත් පවුලක මහත්මයෙක්‌ භික්‍ෂුවගෙන් ඇසුවා ‘හාමුදුරුවනේ අපි ශීලය ගැනම සිතමින්, අනිත්‍ය සංඥාව දකිමින්ම ජීවත් වුණොත් අපේ දරු පවුලට සහ කලදසාව, ඒ ගොල්ලන්ගේ අනාගතය අඳුරු වෙනවා නේද කියලා. බලන්න ඒ මහත්මයා ධර්මය මොනතරම් වැරදි අන්තයකින් ද අල්ලාගෙන ඉන්නෙ කියළා. තමන් ජීවත්වීමට නොදන්නාකමින් ඇතිවන ආදීනව ධර්මයේ ගිණුමට බැරකරනවා. ශ්‍රද්ධාව අඩුකම, විචිකිච්චාවෙන් සිතුවිලි. පිරිලා, පංචනීවරණයන්ගෙන් සිත වැඩිලා. ඒ මහත්මයා ශීලය ගැන අනිත්‍යය ගැන කතා කළත්, අවම වශයෙන් ශීලය තුළවත් ඔහු නැතිය කියන එක ඉහත කාරණයන්ගෙන් පැහැදිලි වෙනවා. සෑම පවුලකටම ආදායමක්‌ වියදමක්‌ කියන කාරණයක්‌ තිබෙනවා. කොතෙක්‌ ආදායම් ලැබුවත් වියදම ඊට වැඩිනම් ජීවන ප්‍රශ්න ඇතිවීම අනිවාර්යයි. මෙය ධර්මයේ වරදක්‌, ශීලයේ, අනිත්‍ය සංඥාවේ වරදක්‌ නොවේ. එම මහත්මයා ලැබීමේ තරමට වියදම් කිරීමට නොදන්නා කමේ වරදයි. නමුත් අශ්‍රද්ධාව නිසා එම වරද පටවන්නේත් ධර්මයට. මුළිsන්ම පිංවත් ඔබ අවංක වෙන්න, ධර්මයෙන් තොරව ජීවත් වෙමින් ඔබ විඳින දුක නුවනින් දකින්න. දුක දකින කෙනායි සැප ඇති මාර්ගයට අවතීර්ණ වෙන්නේ. දුකය කියමින් ධර්මයට ඔබ ද්වේශ කළොත්, සැක කළොත් ඔබට අහිමිවන්නේ සැබෑම සැපයයි.

අවංකව ධර්ම මාර්ගයේ ගමන් කරන කිසිම කෙනෙකුට ‘මට වැරදුනාය’ කියල කියන්න තැනක්‌ නැහැ. අතීත අකුසල් සංස්‌කාර හේතුවෙන් යම් තැනකදී වැරදුනොත් එය හේතුඵල ධර්මයන්ට අනුව ජයග්‍රාහීව ජීවිතයට ගලපාගන්නවා. මෙය තමයි ශ්‍රද්ධාව නැමති පරම ධනයේ ලක්‍ෂණය. මෙන්න මේ ධනයේ හිමිකාරීත්වය මුලින්ම ඔබට ලබාගැනීම සඳහාමයි මේ සටහන තැබුවේ. මේ ධනයේ හිමිකාරීත්වය මුලින්ම ඔබ අයිතිකරගන්න. එවිට රුපියල්, ශත ඔබේ ජීවිතයේ දෙවැනි තැනට වැටේවි. ශ්‍රද්ධාව ඇති පුද්ගලයාට ජීවිතය කියන කාරණයේදීත් මරණය කියන කාරණයේදීත් ජයග්‍රාහී අවසානයක්‌මයි ලැබෙන්නේ. එම නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය දුක ගැන කථාකරන දහමක්‌ නොව දුක අභිබවා සැප අයිතිකරගන්නා දහමක්‌. අවශ්‍යනම් දුකත් සැපත් දෙකින්ම මිදීයන දහමක්‌.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com