19-ලොව සුන්දරම මරණයට ඔබටද හිමිකමක්‌ ඇත…

‘සතර අපායෙන් මිදෙමු’ 19 කොටස
ලොව සුන්දරම මරණයට ඔබටද හිමිකමක්‌ ඇත…

ධර්මය තුළ ජීවත්වන පිංවත් ඔබට, ඔබගේම ජීවිතය දෙසට හොඳින් සිත යොමුකරලා බැලුවහොත්, වැරැද්ද, නිවැරැද්ද හොඳින්ම පෙනෙනවා. ධර්මය කියලා කියන්නේ අනිත්‍යයට. යමක්‌ අනිත්‍ය යෑයි අපි නුවනින් දකින කොට, ඒ කෙරෙහි බිය සකස්‌ වෙනවා. මොකද ඒ වෙනස්‌ වන දෙයක්‌. මේ වෙනස්‌වීම නොදන්නා කෙනා, ස්‌වභාවයෙන්ම වෙනස්‌ වන දෙයක්‌ වෙනස්‌ නොවී පවත්වා ගැනීමට වෙහෙස ගන්නවා. එතැනදියි දුක සකස්‌ වෙන්නේ. සද්ධර්මයෙන් ඈත්වීම නිසා නිත්‍ය සංඥාවන් තුළින් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ධර්මයන් ගැනීමෙන් වර්තමාන සමාජය ලෝභය, ද්වේෂය, මෝහය තුළින් ඔද්දල් වෙලයි තියෙන්නේ. විනාශය දැක දැකත්, විනාශය ගැන කථා කරමින්ම, එහි ආදීනව දකිමින්ම විනාශය දෙසටමයි සැවොම ගමන් කරන්නේ.

තෘෂ්ණාව, ඔබට ලස්‌සනට පාර පෙන්වනවා තව වේගවත්ව ඉදිරියට යන්න. ද්වේෂය ඔබට ඇති තරම් ආත්මශක්‌තිය ලබාදෙනවා, හිරි ඔතප් හීන කරලා දෙනවා, ඇති වන ඕනෑම බාධකයක්‌ මැඩගෙන ඉදිරියට යන්න. මෝහය ඔබට ආශිර්වාද කරනවා ‘මේ මාර්ගයමයි සැප ඇති මාර්ගය’ කියලා තව තවත් ඒත්තු ගන්වන්න. දුකේ කළ්‍යාණ මිත්‍රයන් තිදෙනාගේ ඇකයේ උණුසුමට තුරුල් වුණාම දැනෙන ගොරෝසු පහසට ඔබ හරිම කැමතියි. මේ කුණු සැපය විඳිමින්ම ඔබ පන්සල් යනවා. සිල් සමාදන් වෙනවා. දානමානත් දෙනවා. සද්ධර්මයත් ශ්‍රවණය කරනවා. ඒ කියන්නේ මොකද්දෝ බියකුත් තියෙනවා. සැබැවින්ම, ඒ බියත් සකස්‌ කරලා දෙන්නේ ලෝභ, ද්වේශ, මෝහය විසින්මයි.

තමන් කැමති කරන්නා වූ කුණුසැපයේ ආරක්‍ෂාව උදෙසා, අර්ථයෙන් තොරව ජීවිතයේ කොනක්‌ ධර්මයේ ගැට ගසනවා. තමා තමාවම රවටාගන්නවා. කුණු සැපයේ ආරක්‍ෂාව උදෙසා ධර්මයේ රැකවරණය අපේක්‍ෂා කරනවා.
මෙය තමයි සැබෑම පෘතග්ජනභාවය. අයෝනිසෝමනසිකාරය. ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන්ගේ වර්ධනය උදෙසා, දියුණුව උදෙසා ධර්මයේ පිහිට සොයනවා. ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන්ගේ මිදීම උදෙසායි අප සද්ධර්මයේ සරණ සෙවිය යුත්තේ. වර්තමාන සමාජය ගමන් කරන්නේ සද්ධර්මයේ අර්ථයට පරස්‌පර විරෝධී ගමනකයි. මමත්වයේ දැඩිභාවය නැමැති, ඔබ හඳුනා නොගත් කුණු හැව, සකස්‌ වෙන පංච උපාදානස්‌කන්ධයන්ගෙන් වෙලී ඇති නිසා, සැබෑ මාර්ගය වැසී නොමගටමයි පාර පෙන්වන්නේ.

වැරදි මාර්ගය ඔස්‌සේම නිවැරදිවීමට යැමේ පුංචි සිද්ධියක්‌ පිංවත් ඔබට මෙහි සටහන් තබනවා.

මෙය සටහන් තබන භික්‍ෂුව හමුවට ධර්මය අහන්න එන ශ්‍රද්ධාවන්ත දරුවෙක්‌ ඉන්නවා. ඔහු විවාහකයෙක්‌. ළමා වයසේ දරුවන් කිහිපදෙනෙක්‌ ඉන්නවා. මේ මහත්මයා සද්ධර්මය නිසාම ජීවිතය නිවැරදි කරගත් අයෙක්‌. දිනක්‌ මේ මහත්තයා කියනවා ‘දරුවන්ගේ අකීකරුකම් නිසා, මගේ බිරිඳට හරියට කේන්ති යනවා. එයාට කොච්චර කිව්වත් කේන්තිගන්න එපා කියලා, මොහොතකින් එය අමතක වෙනවා. හැබැයි මම කියලා කියලා දැන් හුඟක්‌ අඩුවෙනුයි කේන්ති ගන්නේ’ කියලා.

දවසක්‌ ඒ නෝනාට කේන්ති ගිය වෙලාවක මහත්තයා උපක්‍රමයක්‌ වශයෙන් කියලා තියෙනවා ‘ඔයා කේන්ති ගන්න නිසා ඔයාගේ මුහුණ දැන් කැත වෙලා. ඒ නිසා ඔයා කේන්ති ගන්න එපා’ කියලා. ඒත් මහත්තයා එහෙම කියපු වෙලාවේ ඉඳලා ඒ නෝනා කරන්නේ මිල ගණන් අධික, ලස්‌සන වෙනවාය කියන ක්‍රීම් වර්ග අරගෙන මුහුණේ ආලේප කරන කටයුත්තලු.

බලන්න. වැරදි මාර්ගය ඔස්‌සේමයි අපි නිවැරදි වෙන්න හදන්නේ.

ලෝකය නිවැරදි කරන්න අපට බැහැ. ඒ නිසා ලෝකය කමටහනක්‌ කරගෙන පිංවත් ඔබ නිවැරදි වෙන්න. ලෝකය නිවැරදි කරන්න බැරි බව නුවණින් හඳුනාගෙනම….

එවිටයි ඔබට පුලුවන් වෙන්නේ වඩාත් නිවැරදි තැන ඔබගේ සිත පිහිටුවාගන්න. වඩාත් නිවැරදි තැන තමයි සද්ධර්මය.

‘අනිච්ජාවත සංඛාරා’ සියලු සංස්‌කාරයෝ අනිත්‍යයි. ඔතැනම තිබෙනවා, ලෝකය නිවැරදි කරන්නට බැරි බවට බුදුරජාණන් වහන්සේ දෙන සහතිකය. පිංවත් ඔබ ධර්මයේ අර්ථයට විවෘත වෙන්න. එවිට එය සමාජයටත් ආදර්ශයක්‌ වේවි. සංස්‌කාරයන්ගේ අනිත්‍ය බව තමයි ලෝකයේ තිබෙන සංකීර්ණභාවයට, අධිවේගීභාවයට හේතුව. පිංවත් ඔබ සෑම මොහොතකම මෙනෙහි කරන්න ‘මම මැරෙණවා’ය කියන කාරණය. නැවත මැරිලා ඉපදෙනවාය කියන කාරණය. පාංශකූලය, හත්දවසේ, තුන්මාසේ පිංකම්…. සාම්ප්‍රදායික මළගෙදරක චාරිත්‍ර වෙනුවට මිය යැමට පෙරම ඔබ, මරණින් මතු සුරක්‍ෂිත පුද්ගලයකු වන්න. එවිටයි ඔබට අවස්‌ථාව ලැබෙන්නේ ඔබම රැස්‌කරපු සංස්‌කාර හේතුවෙන් ලබන භවය අනුන්ගේ පිං ගොටුවකින් යැපීමට අවශ්‍ය නොවන තැනට පත්කරගන්න.

කෙනෙක්‌ මැරුණාට පසු ඔහුගේ මරණය ගැන කම්පා නොවී, ජීවත්ව සිටින විට තමාගේ මරණය ගැන සිතන්න. මරණයත් සමග ජීවත්වෙන්න. එය හරිම සුන්දර ඇත්දැකීමක්‌. මරණයේ සුන්දරම අත්දැකීම ලබන්නේ රහතන්වහන්සේය. මරණය උන්වහන්සේට ආශිර්වාදයකි. මංගල කාරණාවකි. උන්වහන්සේ අවිද්‍යාව අවසන් කර ඇත. ඒ උත්තමයා දුකත්, සැපත්, උපේක්‍ෂාවත් අනිත්‍ය බව ප්‍රත්‍යක්‍ෂ කොට ඇත. ඒ උත්තමයාගේ මරණය හුදු ක්‍රියාවක්‌ පමණක්‌මය. එය මේ ලෝකයේ ඇති සුන්දරම මරණයයි. මාර්ගඵලලාභී දෙව් බඹුන් සාධුකාර දෙන මරණයයි. අනෙකුත් දෙවිවරුන්ට ශෝක උපදවන මරණයයි. මාර පිරිස අත්පොළසන් දෙන මරණයයි. මහපොළොවට පස්‌වන ඇටකැබලිත් පූජණීයත්වයට පත්වෙන මරණයයි.

බලන්නකෝ මරණයක තිබෙන වටිනාකම. අපි මරණය අඩු ලංසුවෙන්, අසුබ ලංසුවෙන් සැලකුවත්, බලන්න, මරණයක ඇති ගාම්භීරත්වය, ප්‍රෙෘඩත්වය. කොටින්ම එය මරණයක්‌ නොව නිවී යැමකි. ඔබට මට නොදැනුනාට, රහතන්වහන්සේගේ මරණය අභියස ලෝක ධාතුව කම්පා වෙයි. ලෝක ධාතුව කම්පාවන්නේ, රහතන්වහන්සේ අවබෝධ ඥාණයෙන් ලෝක ධාතුව කම්පාකළ අයෙකු හෙයිනි. අයෝමය සතරමහා ධාතුව විනිවිද දකිමින් අවබෝධ කළ හෙයිනි. මුළු ලෝක ධාතුවම අනිත්‍යාවබෝධයෙන් හෙළිකොට ගෙන, මුලාව විනිවිද අවබෝධය කරා ගිය හෙයිනි. ඔහුට ලෝකය තවත් හිස්‌ දෙයක්‌, ඵලයක්‌ නැති දෙයක්‌ පමණක්‌මය.

මේ තරම් අර්ථවත් මරණයක්‌ ධර්මය තුළ තිබියදී, තුණ්‌ඩු කෑල්ලක නම ගම ලියා පරදත්තරූප ජීවී ප්‍රේත ප්‍රේතියන්ට පිංදෙමින් අපි මරණයට මොන තරම් අවනම්බුවක්‌ ද, අගෞරවයක්‌ ද කරන්නේ. හිතන්න. ඔය සාම්ප්‍රදායික තුණ්‌ඩු කැබැල්ල බිමින් තියලා ‘මට නම් ඔය අනුන්ගෙන් පිං ගන්න මරණයක්‌ එපා’ය කියලා. ශ්‍රද්ධාව, වීර්යය මදභාවය නිසා එච්චර හිතන්න බෑ කියමුකෝ. ඉන් මෙහා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, ශීලයෙන් පරිපූර්ණ පිංවතා, පිංවතිය මැරෙන්නේ සිහිනුවණින් සාධුකාර දෙමින්ය කියලා. කවුද මේ ශීලයෙන් පරිපූර්ණ පිංවතා? ඒ සතර අපායෙන් මිදුණ පිංවතායි. මරණින් මතු ඔහු ලබන උපත මොන තරම් ශ්‍රේෂ්ඨ උපතක්‌ වේවි ද? ඇයි අපි එවැනි මරණයකට සූදානම් නොවන්නේ.

ලොකු හෝටලයක තිබෙන මඟුල් උත්සවයකට අඳින සාරිය ගැන හිතනතරම්වත් අපි මරණය ගැන හිතන්නේ නැහැ. ඒකෙන් අදහස්‌ වෙන්නේ, සාරිය ගැන ඔච්චර හිතන්නේ සාරිය දවටගන්න ඔය කය, මරණයට පත්වෙන කයක්‌ කියලා නොසිතනා එකමයි. පිංවත් ඔබට මරණය අමිහිරි අත්දැකීමක්‌. අනුන්ගේ මරණය ගැන කථාකරන අපි තමාගේ මරණය ගැන සිතීමටත් බිය වෙනවා. අසුන්දර මරණයක්‌ අභියස ඇති අසුන්දර කථන්දරය වගේම සුන්දර මරණයක්‌ අභියස ඇති සුන්දර නව ජීවිතය මොන තරම් චමත්කාරජනකද? ලෙඩ ඇඳේ ජීවත්වන අවුරුදු හැත්තෑපහේ මහළු පිංවතා ද යදින්නේ ජීවිතයයි. ඔහු තුළ ඇත්තේ ද ජරා, ව්‍යාධි, මරණ පමණක්‌මය. එහෙත් ඔහුගේ බලාපොරොත්තුව ජීවීතයයි. ධර්මය සරණ කර නොගත් පුද්ගලයා නිරතුරුවම සැප – දුක පටලවාගනී. දුක, සැපයක්‌ කරගන්නා ඔහු සැබෑ සැපයට බියවෙයි. සැබෑ සැපයට අපතුළ බිය සකස්‌ කරන්නේ අකුසලයයි.

පිංවත් ඔබ, මරණයට වටිනාකමක්‌ ලබාදීම උදෙසාම, මරණින් මතු හේතුඵල ධර්මයන්ගෙන් සකස්‌වෙන නව ජීවිතයට වඩාත් හොඳ වටිනාකමක්‌ ලබාගැනීම පිණිසම මේ සටහන උපයෝගිS කරගන්න. මෙය කියවා ඔබ තුළ ජවයක්‌ සකස්‌කර ගන්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ සිතේ ඇතිවූ සිතිවිල්ලක්‌ ඔබේ සිතේ ඇතිකර ගන්න. රහතන් වහන්සේගේ, රහත් භික්‍ෂුණීන් වහන්සේ නමකගේ සිතේ ඇතිවූ සිතිවිල්ලක්‌ ඔබේ සිතේ ඇතිකරගන්න. මාර්ගඵලලාභී උපාසක, උපාසිකාවගේ සිතේ ඇතිවූ සිතිවිල්ලක්‌ ඔබේ සිතේ ඇතිකර ගන්න.

මේ සටහන් තබන වේලාව රාත්‍රී 1.30යි. නින්ද අහලකවත් නැහැ. පංච නීවරණ පළාගොසින්. සද්ධර්මයට ඇති හිරිඔතප් දෙක නිසා අදහස්‌ එනවා, දෝරෙගලාගෙන. භික්‍ෂුව ඒ අදහස්‌ ඉදිරියේ අනිත්‍ය සංඥාව තබන්නේ නැහැ. පිංවත් ඔබගේ යහපත උදෙසාම… පිංවත් ඔබලාට නොදන්නා යමක්‌ දැනගැනීම උදෙසාම…. මේ ගලා එන්නේ අදහස්‌ නොව කරුණාවයි. මේ කරන්නේ සටහනක්‌ තැබීම නොව ධර්මයේ සංදිට්‌ඨික ගුණයේ අර්ථයයි. මේ මධ්‍යම රාත්‍රිය ගෙවී උදාවන අලුයම ආකාශය සිසාරා සියුම් සංගීත රාවයක්‌ පැතිරෙනවා. හොඳින් අවධානය යොමු කරන විට ඒ දිව්‍ය සංගීතයයි. සංගීත හඬ, ජයමංගල ගාථාවල සංගීත ස්‌වරයයි. සංගීත ස්‌වරය බොහොම පැහැදිළියි. ඒ කියන්නේ දෙවියන් ආයුෂ, වර්ණය, සැපය, බලය ලැබේවා කියලා සිල්වත් ලෝකයාට ප්‍රර්ථනා කරනවා. ආශිර්වාද කරනවා. දෙවියන් ඒ ආකාරයට ආශිර්වාද කරනු ලබන දිව්‍ය සංගීත හඬ ඇසෙනවිට භික්‍ෂුවට හොඳටම විශ්වාසයි මේ මොහොතේ භික්‍ෂුව අපවත් නොවෙන බව. අතීත සංස්‌කාරයන් තව ගෙවීමට ඇති නිසයි මේ මොහොතේ ජීවත්වෙන්නේ. නමුත් මීළඟ නිමේශයේ දිව්‍ය තල වලින් ශෝකී සංගීත රාවයක්‌ භික්‍ෂුවගේ ශ්‍රොaත වලට ඇසුණහොත් භික්‍ෂුව අනිවාර්යයෙන්ම දන්නවා තමා දැන් මරණයට සූදානම් වෙන්නේ කියලා.

බලන්නෘ මොනතරම් ආශ්චර්යමත් ධර්මයක්‌ද ඔබ ඉදිරියේ තිබෙන්නේ කියලා. මෙයයි ධර්මයේ සංදිට්‌ඨික ගුණය. තමා ජීවත්වන බවත්, තමා මැරෙන මොහොතත් දැනුවත්වයි ඔහු ජීවත්වෙන්නේ. පිංවත් ඔබ ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, ත්‍යාගයෙන්, දේවානුස්‌සතියෙන් පරිපූර්ණ නම් ඔබ මැරෙණ මොහොත දෙවියන් දන්නවා. දෙවියන් ඔබට පාවඩ එලනවා දිව්‍ය තලයකට. බලන්න. මොන තරම් ආශ්චර්යමත් ධර්ම මාර්ගයක්‌ද? මරණය කියන කාරණය මොන තරම් සුන්දර මංගල්‍යයක්‌ද? පිංවත් තරුණ ඔබ දෑඟිලි බැඳලා, අත්පැන් වත්කරලා, පෝරුවට නැගලා, ජයමංගල ගාථා කියවලා මංගල්‍යයක්‌ කරගතහොත් ඒ බැඳුණු මොහොතේ පටන් ඔබ මොන දුක්‌කන්දරාවක්‌ද විඳින්නේ. ‘මම’ කියන දුක වෙනුවට තව ‘මගේ’ කියන දුක්‌ කීයක්‌ කරගහගන්න සිද්ධවෙනවාද? පිංවත් ඔබ බැඳෙන සාම්ප්‍රදායික මෝහ මූලික බැඳීම් මංගල්‍යවලට වඩා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්ම මාර්ගය ඔබේ සහකරු, සහකාරිය කරගතහොත් එයයි සැපයම ඉතිරිය කරගත් සැබෑම මංගල්‍යය. අපි ‘මරණය මරණය’ යෑයි අඳෝනා තැබුවද, ධර්මයට අනුව මෙතැන මරණයක්‌ නැහැ. පුද්ගලයෙක්‌ මැරෙණ නිමේශයේම ඊළඟ ප්‍රතිසන්ධිය සකස්‌කර ගන්නවා. රැස්‌කර ගන්නා වූ සංස්‌කාරයන්ට අනුරූපීව. අපි මෝහය නිසා කුණුවෙන මළකුණක්‌ එම්බාම් එකෙන් සරසවලා, ඒකට මඟුල් ඇඳුම අන්දවලා අඬනවා, වඳිනවා, විලාප තබනවා. අපි මේ විලාප තබන්නේ ඒ මොහොතේ භවයේ කොතැනක හෝ උපත ලබා ඇති සත්වයෙක්‌ වෙනුවෙන්. අන්න ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ මළකුණකට වටිනාකමක්‌ නොදී මරණින් මතු ලබන භවය සැපවත්කර ගැනිSම උදෙසාම මාර්ගය කියා දෙන්නේ. මෙතැනදීත් අපිට පැහැදිළියි බුදුරජාණන් වහන්සේගේ ධර්මය මරණය ගැනම කථා කරන ධර්මයක්‌ නොව, මරණින් මතු සැපයටම මාර්ගය කථා කරන ධර්මයක්‌ කියලා. පිංවත් ඔබයි මෝහ මූලිකව මරණයක්‌ බදාගෙන ධර්මයේ නැති දුකක්‌ උපදවා ගන්නේ, තෘෂ්ණාවේ දැඩිභාවය නිසාම….

ශ්‍රද්ධාව අඩු පිංවතුන් නිරතුරුවම මැසිවිලි නගනවා, සද්ධර්මයට එරෙහිව. ‘බුදුරජාණන් වහන්සේ දුක ගැනමයි කියන්නේ’ කියන කාරණය ‘ධර්මයට අනුව ගියොත් අපට අඹුදරුවන්, දේපල තනතුර අත්හරින්නයි වෙන්නේ’ කියන කාරණය. නමුත් ගිහි පිංවතුන්ලාට ධර්ම මාර්ගයට අදාළව ඉහත කාරණා කිසිවක්‌ අතහරින්න යෑයි කොතනකවත් දේශනා කරලා නැහැ. පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ඉහත සැප සම්පත් පරිහරණය කරන්න කියලයි බුදුරජාණන් වහන්සේ ගිහි පිංවතුන්ලාට දේශනා කරන්නේ. නමුත් පිංවත් ඔබ අත්හැරීමට ගන්නා උත්සහයේ තරමටම දුක අඩු වෙනවා කියන කාරණය ප්‍රකාශ වෙනවා. පිංවත් ඔබට, බුදුරජාණන් වහන්සේ මරණය ගැන නිතරම මෙනෙහි කරමින් ජීවත්වෙන්න කියලා කියන්නේ, පිංවත් ඔබට මරණය පෙර සඳහන් කළ පරිදි මංගල්‍යයක්‌ කරගන්න මිස හඬමින් විලාප තබමින් කරන අවමංගල්‍යයක්‌ තත්ත්වයට පත්කර ගැනීමට නොවේ. පිංවත් ඔබ මරණයට පෙර සූදානම් වුවහොත් පමණයි ඔබට මරණය මංගල්‍යයක්‌ කරගන්න අවකාශ ලැබෙන්නේ. එම මරණය නැමැති මංගල්‍යයේදී සශ්‍රික දිව්‍යතල වල දෙවියන්, දිව්‍යාංගනාවන් ජයමංගල ගාථා සංගීත ස්‌වරය නගමින්ම ඔබව දිව්‍ය තලවලට පිළිගන්නවා. මේ මනුෂ්‍ය ලෝකයේ කුණු, ජරා, ව්‍යාධි මරණ සැපය වගේද පිංවතුනේ බුදුරජාණන්වහන්සේගේ ධර්මය තුළින් ඔබට පෙන්වන ශ්‍රද්ධාවේ, ශීලයේ, දානයේ පංචඋපාදන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත්වන සැපය. ධර්මයෙන් පිංවත් ඔබට කථාකරන්නේ ඉහත මංගල්‍යයක්‌ වන මරණය නමුත් ශ්‍රද්ධාව අඩු පිංවතුන් ‘මරණය’ ලෙස දකින්නේ මොන තරම් මෝහ මූලික දෘෂ්ඨිගත මරණයක්‌ද?

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

Advertisements

18 ‘මම’ නැමැති කුණු ගොඩට තවත් කසල එකතුවීමට ඉඩනොදෙන්න

‘සතර අපායෙන් මිදෙමු’ 18 කොටස

රූපය දෙසත්, රූපය ඇසුරුකොට සකස්‌වෙන සිත දෙසත් ඔබ සතියෙන් සිහියෙන් යුක්‌තව බලා සිටින්න. ඇසේ අනිත්‍යභාවයත්, බාහිර රූපයන්ගේ අනිත්‍යභාවයත්, රූපයත් විඥානයත් ඵස්‌සය වීමෙන් සකස්‌වෙන වේදනා, හඳුනාගැනීම්, ෙච්තනා, විඥානයන්ගේ අනිත්‍යභාවයත් දකින්න. ‘මේවා අනිත්‍යයයි නේද ‘ යන දැනීම ඔබ තුළ ඇති වෙන විට මමත්වයේ දැඩිභාවය කියන සක්‌කාය දිට්‌ඨියද ඔබගෙන් සිඳී යනු ඇත. සිල්පද ජීවිතය තුළින් ආරක්‍ෂා කරගැනීම නිසා ද ඔබ තුළ ඇති වන්නේ, ඔබ අතීතයේ කැමැති කළ මාරපාර්ශ්වික ධර්මයන්ගේ අතහැරීමකි. ශීලය තුළින් ඔබ තැන්පත්, නිහඬ චරිතයක්‌ බවට පත්වේ. ඒ නිහඬභාවය තුළ ද තිබෙන්නේ විඳීමේ සියුම්භාවයකි. මේවා ධර්මානුකූලව ගලපාගැනීමට ඔබ දක්‍ෂ වුවහොත් එය ඔබගේ භාග්‍යයකි. මන්ද, ඔබ ගන්නා වූ සෑම උත්සහයකදීම ඉහත මාරපාර්ශ්වික ධර්ම ඔබට මාරයාගේ සක්‌කාය දිට්‌ඨිය නැමැති කටුඔටුන්න පළන්දා ලෝකය තුළ අභිශේක කිරීමට උත්සහගන්නා හෙයිනි. එහෙයින් පිංවත් ඔබ මමත්වයේ දැඩිභාවය ක්‍ෂයවන ආකාරයට දන්දෙන්න. සිල් ආරක්‍ෂා කරන්න. මෛත්‍රිය වඩන්න. සද්ධර්මය ශ්‍රවණය කරන්න. ධර්ම මාර්ගයේ පෙරට යන්න.

යම් තැනකදී ඉස්‌මතුවන්නේ ‘මම’ නම් වහාම අඩියක්‌ පසුපසට තබන්න. ‘මම’ කියන දෘෂ්ටියට හැම මොහොතකම පරාජයම අත්කරදෙන්න. ඒ ඔබ පරාජය කිරීමට උත්සහගන්නේ සක්‌කාය දිට්‌ඨියයි. ඒ කියන්නේ සතර අපායේ උපතයි.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ සතර අපායෙන් මිදීමේ මේ උතුම් මාර්ගය පිංවත් ගිහි පිංවතුන්ලා උදෙසාමයි දේශනා කරලා තිබෙන්නේ. මෙවැනි ගැඹුරු ලෝකාවබෝධයක්‌ ලබන සරල ධර්ම මාර්ගයක්‌ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ හැර වෙන කව්රුනම් දේශනා කරන්නද? පිංවත් ගිහි පිංවතුන්ලාට ගිහි වගකීම්වල යෙදෙන ගමන් මෙම ධර්ම මාර්ගය වඩන්නට පුළුවන්. ව්‍යාපාරයක්‌ , රැකියාවක්‌, ගොවිතැනක්‌, අධ්‍යාපන කටයුත්තක්‌ කරන ගමන් සතර අපායෙන් මිදෙන ධර්මතාවයන් වඩන්න පුළුවන්. විවාහ ජීවිතයක්‌ ගතකරන ගමන්, බිරිඳ දරුවන් නඩත්තුකරන ගමන් එම වගකීම්ද නිවැරදිව ඉටුකරමින් සතර අපායෙන් මිදීමේ ධර්මතාවයන් ඔබට පුහුණු කරන්න පුළුවන්. ඔබට ඒ වගේ ලෞකික ආශ්වාදයන් ලබමින්ම, ඒවා ප්‍රතික්‍ෂ්ප නොකර සතර අපායෙන් මිදීමේ ධර්මතාවයන් පුහුණුකරන්න පුළුවන්. ඒ කියන්නේ සෝවාන් ඵලයට පත්වන්න පුළුවන්. මොන තරම් සුන්දර ධර්මයක්‌ ද, අවස්‌ථාවක්‌ ද ලොව්තුරා සම්මා සම්බුදුගුණයෙන් අවබෝධකරගෙන පිංවත් ඔබට ගැලපෙන, ඔබව සැනසෙන ලෙසින් මේ සා සරල කර දේශනා කර තිබෙන්නෙ. මේ සරලභාවය නිසාම අපි වැනසෙන අවස්‌ථාවන් ද තිබෙනවා. එහෙම වෙන්නේ අප මේ ධර්ම මාර්ගය තවත් සරලකර ගැනීමට යැමෙන්.

අපි එහෙම කරන්නේ අපේ තිබෙන්නා වූ අධිමානය නිසාමයි. මේ ගැඹුරු ලෝකාවබෝධයන් පිළිබඳව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ යමක්‌ දේශනා කර තිබෙනවා නම්, පහදා දියහැකි සරලම අර්ථයෙන් තමයි එම ධර්මය දේශනා කර තිබෙන්නේ. අපේ තිබෙන අධිමානය නිසා තෙරුවන් කෙරෙහි අශ්‍රද්ධාව නිසා ලොව්තුරා සද්ධර්මය අපේ දෘෂ්ටීන්ට අනුව තවත් සරළ කරගන්න හදනවා. මෙතැනදී ඔබත් ඔබගේ පිරිසත් සැනසීමක්‌ නෙවෙයි ලබන්නේ. මිත්‍යා දෘෂ්ටියක්‌මයි.

කෙටි කිරීමත්, දීර්ඝ කිරීමත් දෙකම අයිති මාරධර්මයන්ට. ඔබ මධ්‍යම ප්‍රතිපදාව ඔබේ මාර්ගය කරගන්න. ධර්මය සරල කරන්න අපිට බැහැ. වයසට යන ස්‌වභාවය සරල කරන්න පුළුවන්ද? ඉර, හඳ පායන එක සරල කරන්න පුළුවන්ද? සතර සතිපට්‌ඨානය, පටිච්ඡසමුප්පාදය, පංච උපාදානස්‌කන්ධය සරල කරන්න පුළුවන්ද?

මේවා ලෝක ස්‌වභාවයන්. මේ ලෝක ස්‌වභාවයන් ලොව්තුරා සම්මාසම්බුද්ධ ඥානයෙන් අවබෝධකර සරල, සුගම ආකාරයෙනුයි ඔබට දේශනා කර තිබෙන්නේ. අපට තිබෙන්නේ ලොව්තුරා බුදුරජාණන්වහන්සේට, ධර්මරත්නයට, සංඝරත්නයට මුල්තැන දීලා, මේ උතුම් ධර්ම මාර්ගයේ ගමන් කරලා අවබෝධය ලබන එකයි. මේ ධර්ම මාර්ගයේ ගමන් කරලා අවංකවම සතර අපායෙන් මිදෙන්න කැමති පිංවතුන්ලා, ධර්මය තුළින් ඔබට දීලා තිබෙන ප්‍රතිලාභය ගැන හොඳට හිතන්න ඕනේ. මේ සිතීම ඔබට තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇතිකරගැනීමට හේතුවක්‌ වෙනවා. උදාහරණයක්‌ වශයෙන් මෙහෙම සිතන්නකෝ. තරුණයෙක්‌ හෝ තරුණියක්‌ සිටිනවා, ඔහු හෝ ඇය අවංකවම ධර්ම මාර්ගයේ ගමන්කරලා, තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇතිකරගෙන, ශීලයෙන් පරිපූර්ණභාවයට පත්වෙලා, පංචඋපාදානස්‌කන්ධයේ, එහෙම නැතිනම් සිතේ අනිත්‍යභාවය දකිනවා. මේ ධර්මතාවයන් තුන සම්පූර්ණවීම නිසාම මොවුන් තුළින් සක්‌කාය දිට්‌ඨිය, විචිකිච්ජාව, සීලබ්බත පරාමාස කියන ධර්මතාවන් ප්‍රහීනය වෙලා, සතර අපායෙන් මිදෙන අයෙක්‌ බවට පත්වෙනවා. දැන් මේ තරුණයා හෝ තරුණිය සෝවාන් ඵලය, අවබෝධය ලැබූ කෙනෙක්‌. නමුත් ගිහි පිංවතෙක්‌. දැන් මොහු හිතනවා, මම විවාහයක්‌ වෙන්න ඕනේ කියලා. ඔහු විවාහවෙනවා, දරුවන් හදනවා, රැකියාවක්‌ ව්‍යාපාරයක්‌ කරනවා, දරුවන්වත් බිරිඳවත් ඔවුන් කැමතිනම් ධර්ම මාර්ගයට ගන්නවා. සෝවාන් ඵලයට පත්වූ ගිහි පිංවතා තුළ කාම, රාග, පටිඝ තිබෙනවා. නමුත් කිසිම අවස්‌ථාවක ඔහු ලොව්තුරා බුදුරාජාණන් වහන්සේගේ වචනය ඉක්‌මවා යන්නේ නැහැ. සිල්පද බිඳගන්නේ නැහැ. ඇසුරු කරන හැමදෙයක්‌ම අනිත්‍යය කියන දැක්‌ම තුළ හිඳිමින්, හැම දෙයක්‌ම ඇසුරු කරනවා. මොහු රැකෙන්නේ පංච ශීලයෙන්, ආජීව අශ්ඨමක ශීලයෙන්. එම නිසා විවාහයක්‌ වී කම්සැප විඳීම, මිල මුදල් රන් රිදී පරිහරණය කිරීම වැනි දේවල් වලින් මිදෙන්න ඔහුට අවශ්‍ය නැහැ. ඔහු ගිහියෙක්‌ විසින් සමාදන් වියයුතු පංච ශීලයෙන්, පරිපූර්ණභාවයට පත්වෙලා. බලන්න පිංවත් ඔබට මොන තරම් සංවරයකින් යුතුව, කම්සැප විඳිමින්ම, මේ සතර අපායෙන් මිදීමේ ධර්මය අත්විඳින්න පුළුවන්ද. මෙය ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ මහාකරුණාව නිසාම ඔබගේත් කැමැත්තටත් ලෝක සත්‍යයට අනුකූලවත් එකිනෙක ගැලපෙන ආකාරයට දේශනා කළ ධර්මයක්‌ නේද? බුදුරජාණන් වහන්සේ ගැන සිතලා නොවේ, පිංවත් ඔබ ගැන සිතලාමයි මේ ධර්මය දේශනා කරලා තිබෙන්නේ.

කම්සැප විඳින්නත් පුළුවන්, විකාලයේ ආහාර ගන්නත් පුළුවන්, නැටුම්, ගැයුම්, වැයුම්, ශරීරය ලස්‌සන කරන්නත්, සැප පහසුකම් දෙන්නත් පුළුවන්. මේ සියල්ල අවබෝධයෙන් කරමින්, ගිහි පිංවතුන්ට ශීලයෙන් පරිපූර්ණභාවයට, ආර්යකාන්ත ශීලය තුළ පිහිටීමට මාර්ගයකුයි මෙතැනදී ඔබට බුදුසමිඳුන් දේශනා කර තිබෙන්නේ. බලන්න මෙවැනි සරල අවස්‌ථාවක්‌, ධර්මයක්‌ ඔබට මට ලබා දීලත්, සම්මා සම්බුද්ධ ශාසන ලක්‍ෂ ගණනක්‌ ගෙවී යන තුරුම අපි මේ අවස්‌ථාව ප්‍රයෝජනයට අරගෙන නැහැ. නමුත් පිංවත් ගිහි පිංවතුන් එක දෙයක්‌ මතක තබාගන්න. අතීතයේ පැවැති ශාසනවලදී, අධිමානය නිසාම ‘මම සෝවාන්’ කියන මිත්‍යාවබෝධය තුළනම් අප්‍රමාන වාරයක්‌ ඔබත් මමත් ඉඳලා තිබෙනවා. එය තේරුම්ගන්න ඔබ නිහතමානී වෙන්න. මේ ධර්මමාර්ගයේදී ඔබට මුණගැහෙන පළමු කළ්‍යාණමිත්‍රයා ඒ නිහතමානීභාවය කියන එක හොඳින් තේරුම් ගන්න. එම කල්‍යාණමිත්‍රයාව මුණගැසුනොත් පමණයි, ඔබට ලොව්තුරා ධර්මය කල්‍යාණමිත්‍රයෙක්‌ බවට පත්කරගන්න අවස්‌ථාව ලැබෙන්නේ. මේ ස්‌වභාවය ගලපාගැනීමට අදක්‍ෂවීම නිසාම, මෙතෙක්‌ අපේ කල්‍යාණමිත්‍රයා වී සිටියේ මාරයාම බව තර්කයකින් තොරව තේරුම්ගැනීම ඔබගේම ජයග්‍රහණයකි. පිංවත් ඔබ ඔබගේ අධ්‍යාපනය, රැකියාව, ව්‍යාපාරය, ඥාතීන්, ගේදොර උදෙසා ඔබ තුළ ඇති කැමැත්ත, මේ ජීවිතයේදීම සතර අපායෙන් මිදීම උදෙසාද ඔබ ඇතිකරගන්න. ඔබ ලබන මේ අවබෝධය ඔබට ඉහත සැපයන් අර්ථවත් ලෙස විඳීමේ අවස්‌ථාවද සලසාදෙනු ඇත. මේ කරුණු කියවනකොට ඔබට දැන් දැනෙනවාද ලොව්තුරා බුදුරජාණන් වහන්සේට ඔබව මේ මාරග්‍රහණයෙන් ගලවා, නිවන් මාර්ගයට යොමුකරන්න මොනතරම් උවමනාවක්‌ තිබුණාද කියලා.

අම්මා, තාත්තා, බිරිඳ, දරුවා, ඥාතියා ඔබට පාර කියන්නේ භවයටමයි. භවයට පාර කියන එම ඥාතීන් ඔබෙන් දුරස්‌ නොකොට, භව නිරෝධය දෙසට පාර පෙන්වන මේ උතුම් ධර්ම මාර්ගය ඔබ ඔබේ පරම ඥාතියා කරගත්තොත් ඔබත්, ඔබේ ඥාතීනුත් මෙලොව ලබන පරම සැනසීම එය වනු ඇත.

මෙය කියවා ඔබ ඉක්‌මන් නොවන්න. කලබල නොවන්න. අවිශ්වාසයක්‌ ඇතිකර නොගන්න. ඔබ නිහඬව සිතන්න. බැහැය කියන අවිශ්වාසය බැහැර කරන්න. විශ්වාසය ඔබ කෙරෙහි නොව, පළමුවෙන්ම තෙරුවන් කෙරෙහි ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේට අංක එක දෙන්න. ඔබ හැකිතාක්‌ පසුපසට යන්න. බුදුරජාණන්වහන්සේත් ඔබත් අතර ඇති පරතරය හැකිතාක්‌ දුරස්‌කරන්න. එම දුරස්‌භාවය බුදුරජාණන්වහන්සේගේ ඥානාවබෝධයත්, ඔබගේ දැනීමේත් පරතරය බව දකින්න. ඒ දුරස්‌භාවය තුළින් ඔබ ඔබට බොහෝ ඉදිරියෙන් සිටිනා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාව ඇතිකරගන්න. ඔබ සම්බුදු ගුණම සිතන්න. ආශ්චර්යවත් සම්බුදු ඥානයන්ම මනසින් දකින්න. බුදුරජාණන්වහන්සේලාට පමණක්‌ සාධාරණවූ මහාකරුණා සමාපත්ති ඥානය, එයින් සැනසුණු ලෝකය ගැන සිතන්න. දැන් ඔබට දැනෙනවාද, ඔබ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාල ධර්ම මාර්ගයට කොපමණ ඈතින්ද සිටින්නේ කියලා. බුදුරජාණන්වහන්සේ දේශනාකර වදාල ධර්මයේ ගමන්කොට විමුක්‌තිය සාක්‍ෂාත් කරගත් සැරියුත් මහෝත්තමයන් වහන්සේ, මුගලන් මහෝත්තමයන් වහන්සේගේ ගුණයන්ට ඥානයන්ට ඔබ තව කොතෙක්‌ දුරින්ද සිටින්නේ කියලා. මුලින්ම මෙම පරතරය හොඳින් සිහිනුවනින් දැකලා, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගන්න. මේ ශ්‍රද්ධාව ඔබතුළ ඇතිවන්නේ තෙරුවන්ගේ අයෝමය ගුණයත්, ඥාණයත්, ආශ්චර්යත් දැකලා, අහලා, ඔබගේ ජීවිතය සමග සසඳලා. පිංවත් ඔබ නිරවුල්ව ඔබත්, ධර්ම මාර්ගයත් අතර තිබෙන පරතරයේ තරම දැකලා, එම පරතරය අවම කරගැනීමට, පුරවාගැනීමට දැන් උත්සහගන්න අවශ්‍යයි. මේ පරතරය ඔබ පුරවන්නේ ශීලයෙන්, දානයෙන්, මෛත්‍රියෙන්. සතර අපයෙන් මිදීමට අවශ්‍ය ඉහත සාධක ඔබ අවංකව ජීවිතයෙන් ක්‍රියාත්මක කරනවිට, ඔබත් ධර්ම මාර්ගයත් අතර ඇති පරතරය අවම වෙනවා. ඉහත සත්පුරුෂධර්මයන් ඔබතුළින් වැඩෙනවිට ඔබව ධර්මයෙන් දුරස්‌කළ, ලෝභ, ද්වේශ, මෝහ, අකුසල මූලයන් ඔබට ක්‍රමානුකූලව අතහැරෙනවා. මේ අතහැරෙන්නේ අතීතයේ ඔබ කැමති කළ දේවල්. ඔබ මේවා ප්‍රයෝජනයට ගත්තේ ඔබේ මමත්වයේ දැඩිභාවය ශක්‌තිමත් කරගැනීමටයි. ලෝභකම ඔබ තුළ තිබුණේ වැඩි වැඩියෙන් සැප අයිතිකරගන්න රැස්‌කරගන්න. ද්වේෂය ඔබ තුළ වැඩුනේ මමත්වයට හිමි ආත්මගරුත්වය ඇති කරගන්න. මෝහය ඔබ තුළින් වැඩුනේ සැප නිත්‍යයි කියන මුලාව පෝෂණය කරන්න. මේ විෂම ධර්මයන් ඔබට අතහැරෙනවා කියන්නේ මමත්වයේ දැඩිභාවය ඔබ තුළින් සියුම් වෙනවා කියන කාරණයයි. පිංවත් ඔබ මේ ක්‍රියාන්විතයේ දිගින් දිගටම යෙදෙන්නේ අනුන් උදෙසා නොවේ. ඔබ උදෙසා. ඔබ තවම ලෝකයේ ස්‌වභාවය ඉගෙනගෙන නැති නිසා අනුන්ට ඉගැන්වීමට නොයන්න. නිදහසේ, සුවසේ, නිහඬව ඔබ සතර අපායෙන් මිදෙමි යන අරමුණ ජයගන්න. ලෝකයා අඬබෙරගසමින් ධර්මය සොයා වෙහෙසෙද්දී ඔබ නිවසේම හුදකලාව අදාළ ප්‍රතිපදාවේ යෙදෙමින් ධර්මය දකින්න. නිරතුරුවම සිත දෙස විමසිලිමත් වන්න. ”මම” දැඩිවෙන ”මම” ඉස්‌මතුවෙන සෑම අවස්‌ථාවකදීම එම කැමැත්ත ඔබ දන්දෙන්න. සතරඅපායේ බිය දකිමින්ම. ආහාර ටොන් එකක්‌ දන්දෙනවාට වඩා ‘මම දානපතියෙක්‌ය’ යන ඔබට ඇති වූ මමත්වයේ සිත දන්දීමෙන් එසේත් නැතිනම් අතහැරීමෙන් ඔබට විශාල අර්ථයක්‌ වන බව දකින්න. ”මම” කියන කුණු ගොඩට තවත් කසල එකතුවීමට ඉඩනොදෙන්න.

ඇස නැමති කුණු බඳුන ඉපදීම නිසා සකස්‌වුණාවූ වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ නැමති කුණුකන්දරාව වගේම අනෙකුත් ආයතන පහෙන් ඉපදෙන කුණුද උපකාරී වූයේ මමත්වයේ දැඩිභාවය ඔබ තුළ තීව්ර කිරීම සඳහාමය. සලායතනත් කුණුත් එකතුව ඔබට පැළ» මාරයාගේ කටු ඔටුන්න වන සක්‌කායදිට්‌ඨිය සියුම්වන ස්‌වභාවයට නිරතුරුවම කටයුතු කරමින් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පිංවත් ගිහිපිංවතුන් උදෙසාම දේශණා කර වදාල සතර අපායෙන් මිදීමේ ධර්ම ප්‍රතිපදාව පිංවත් ඔබගේ ජීවිත තුළින් ක්‍රියාත්මක කර ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උදෙසා ඔබ ඔබේ යුතුකම ඉටුqකරන්න. මේ ශාසන පරිහානිsයක්‌ ගැන ඉඟි ඇසෙන කාලයක උතුම් මනුෂ්‍යයෙක්‌ව මේ ධර්මද්වීපයේ ඔබ උපත ලැබුවේද ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උදෙසා ඔබේ යුතුකම ඉටුකිරීමට, මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුළ ලැබෙන අවසාන අවස්‌ථාව ලබාගනිමින්ය. එම උතුම් අවස්‌ථාව ඔබ මගහැරියා යනු සැපය ඔබෙන් මගහැරුනාය යන්න ඔබ තේරුම් ගත යුතුය. හෙමින් උදාවෙන අතිදීර්ඝ අබුද්ධෝත්පාද කාලය මිනිසුන්ගේ කාලයක්‌ නොව ධර්මයෙන් තොර මිනිස්‌ තිරිසනුන්ගේ කාලයක්‌ වනු ඒකාන්තය. එදාට මිනිසාද තිරිසන් සතාද ක්‍රියාත්මක වන්නේ දෙයාකාරයකට නොව එකම ආකාරයටය. මේ කටුක අභියෝගයෙන් ඔබට මිදිය හැකිවන්නේ නායකයෙක්‌, පාලකයෙක්‌, කෝටිපතියෙක්‌, උගතෙක්‌ ලෙස මියයාමෙන් නොව සතර අපායෙන් මිදුනු මනුෂ්‍යයෙක්‌ ලෙස මියයාමෙන් බව ඔබ නිහතමානීව සිතිය යුතුව ඇත.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

16-මාරයා තවත් මුහුණකින්…!

‘සතර අපායෙන් මිදෙමු’ 16 කොටස

2012-11-11

මාරයා තවත් මුහුණකින්…!

ඉකුත් ලිපියේ සටහන් කළා මාරයා කුළුමීමකු ලෙසින් සමාධිය තුළ සිටින භික්‍ෂුව ඉදිරියට පැමිණි ආකාරය. මෙම සටහන් කියවා ඔබ සෙවිය යුත්තේ මේ අත්දැකීම ලද භික්‍ෂුව නොව, එම අත්දැකීම උරුමකර දුන් ධර්මයේ සන්දිට්‌ඨික ගුණයයි. ඔබ භික්‍ෂුව සොයන්නේ නම් ඒ ඔබ සොයන්නේ මාරයාමය. මන්ද සෙවීම යනු මාර ධර්මයකි. නිරතුරුවම අනිත්‍යභාවයට පත්වීම රූපයේ ස්‌වභාවයයි. රූපය අනිත්‍යභාවයට පත්වේ නම් එහි ඔබට සෙවීමට දෙයක්‌ නැත. ඔබ කළ යුත්තේ රූපයත් රූපය ඇසුරෙන් සකස්‌ වෙන ‘සොයන්න’යෑයි කියන සිතත් අවබෝධ කරගැනීමය. එසේ අවබෝධ කර ගැනීමේදී ඔබ ද පරාජය කරන්නේ මාරයාම ය. එම භික්‍ෂුවගේ භික්‍ෂූ ජීවිතය තුළදී මීට පෙර අවස්‌ථා දෙකක කලු පැහැති ගොනෙක්‌, රතුපැහැති ගොනෙක්‌ වශයෙන් ද මාරයා භික්‍ෂුව ඉදිරියට සමාධිය තුළදී වියරු ස්‌වභාවයෙන් පැමිණියේය. මෙම ගොනුන්ගේ ස්‌වභාවය හරියට විදේශීය ගොන් පොර තරගවලදී තරගවදින ගොනුන්සේ පෘෂ්ඨිමත් ජවසම්පන්න වියරු ගතියක්‌ විය. මේ කරුණු භික්‍ෂුව ඔබට සඳහන් කරන්නේ ඔබ තුළ ධර්ම මාර්ගයේ ගමන් කිරීමේදී ඇතිවෙන බාධක බැඳීම්වලට එරෙහිව ඔබට වීර්ය ඇති කරගැනීමේ අරුත පැහැදිලි කරදෙන්ටය. මාරයාගේ ඉහත ස්‌වභාවයන් ගැන අපි පුqදුමවිය යුතු නැත. අපි පුදුම වියයුත්තේ මෙවැනි ධර්මයට එරෙහිව වියරුවෙන් මාරයාට අපි කැමැත්තෙන්ම වසඟවීම ගැනයි. මාරයාගේ වගකීම වන්නේ යමෙක්‌ ධර්මය අවබෝධය කරා යයි ද ඔහුව එම ගමනින් ඉවත් කිරීමයි. යමෙක්‌ ධර්මය අවබෝධකර ගනියි ද ඔහුට එම ධර්මය ලෝකයාට දේශනා කිරීමට අවස්‌ථාව අහිමි කිරීමයි. මේවා ජන්ම ගතිය. ඔබට මේවා වෙනස්‌ කළ නොහැක. කළ හැක්‌කේ ඔබ මේ මාර්ගයෙන් වෙනස්‌වීමය.

ඉහත සටහනින් ඔබට වැටහෙනවා ඇති මාරයා යනු සංකල්පයක්‌ යෑයි කියන මතය මොන තරම් අවිද්‍යාවෙන් පිරුණු එකක්‌ ද කියලා. මාරයා යනු මේ ලෝකයේ ක්‍රියාත්මක චරිතයකි. මොහු දෙවියෙකි. මොහුගේ සේනාව ද දෙවියෝ ය. මොවුන් ඔබට පියවි ඇසෙන් දැකිය නොහැකිය. පිංවත් ඔබ ශීලයෙන් පරිපූර්ණව සමාධියෙන් පරිපූර්ණව ප්‍රඥාව දෙසට ගමන් කිරීමේ දී උතුම් සමාධියෙන් පමණක්‌ දැක ගත හැක්‌කකි. පරිපූර්ණ වූ සමාධියේ ඇසෙන් මාරයා සහ පිරිවර ඔබට ද මුණගැසෙනු ඇත. ඔබ අවංකව මාරයාට එරෙහිව ප්‍රඥාව අවබෝධය කරා යන්නේ නම් පමණක්‌..

මෙම සිද්ධියෙදී වසවර්ති දිව්‍යපුත්‍රයා කුළුහරක්‌ වේශයක්‌ මවාගෙන තම ආධිපත්‍යය රැකගැනීමට පෙන්වීමට පැමිණෙන්නේය. වසවර්ති දිව්‍ය පුත්‍රයා කියන්නේ කාමය තුළ ඇලීගැලී ඉන්න දෙවියෙක්‌. ඔහුට හිරිඔතප් කියන දෙයක්‌ නැහැ. ඔය දේම නේද සමහර මනුෂ්‍යයන් කරන්නේ. බොහෝම සුපිරි පංතියේ මනුෂ්‍යයෝ තම බලය, සැපය, ආධිපත්‍ය රැකගැනීම සඳහා මොන මොන වේශයන් මවාගන්නවාද? මිනීමැරීමට, වංචාකාරී ක්‍රියාවන් කිරීමට පැවිදි වේශයන් ගත් අය අතීතයේ නොසිටිය ද, වර්තමානයේ නැති ද? අහිංසක තරුණියන් මුලා කරගැනීමට ධර්මය නොදන්නාකම නිසාම මොන මොන ආකාරයේ වේශයන් මවාගන්නා අය සමාජයේ සිටිනවාද? කාමයන්ගෙන් අන්ධ වුණ තැනදී දෙවියෝ මනුෂ්‍යයෝ කියලා වෙනසක්‌ නැහැ. මේ ආකාරයට හේතුඵල ධර්මයන්ට අනුව මේ ධර්මය ගලපාගන්න උත්සහගන්න. එසේ නොවුනහොත් නොයෙක්‌ මතවාදයන් ඇති වේවි. එය ඔබට දුක පිණිසම තමයි හේතුවෙන්නේ. පිංවත් ඔබ තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇතිකරගන්න. කුමක්‌ නිසාද? මේ වියරු ලෝක ස්‌වභාවයන් පරාජය කරන්න මාර්ගය ඔබට උදාකර දුන්නාට.

භවයකරා දිවෙන කාලසටහන් ඔබ හකුලාදමන්න. භවය අයිති මාරයාට. එහෙයින් ලැබුණු ජීවිතයෙන් ධර්ම මාර්ගයේ උපරිම දුරක්‌ යන්න. මහාකරුණා සමාපත්ති ගුණයෙන් යුතුව පිරිනිවී යන මොහොත දක්‌වාම ලෝකයාට දුකෙන් මිදෙන මාර්ගයම මහාකරුණාවෙන් යුතුව දේශනා කර වදාළ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ, වචනයෙන් කිව නොහැකි, අකුරකින් ලිවිය නොහැකි මහාසයුර වැනි අපිරිමිත ගුණ කදම්බයත්, පංචකාමයටම ලොල්වූ නීච මාරයාගේ ගුණමකුභාවයත්, පිංවත් ඔබව දුකටම හෙළීම සඳහා මාරයාගේ පවිටු ක්‍රියාවනුත් සතියෙන් සිහියෙන් යුතුව දකින්න. එවිට ඔබට දැනේවි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කියන්නේ මොන ගුණකන්දක්‌ ද, මොන ගුණ සයුරක්‌ ද කියලා. ඔබ දක්‍ෂනම් මෙම අර්ථවත් අවබෝධයම ප්‍රමාණවත්, තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇති කරගන්න. තෙරුවන් කෙරෙහි අචල සද්ධාව කියන්නේ සතර අපායෙන් මිදීමට අවශ්‍ය එක සුදුසුකමක්‌. මාරයාගේ පවිටුභාවය ගැන හිතලා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මරත්නය කෙරෙහි, සංඝරත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇති කරගන්න.

භික්‍ෂුව මේ සටහන ද්වේෂය සහ මාරයා ගැන සඳහන් කිරීමටයි සටහන් කළේ. මාරයා ගැන ඉහත සඳහන් කළා. ද්වේෂය ගැන මේ කරුණු පිංවත් ඔබට සඳහන් කළේ බස්‌රථයක වඩින විට මහත්මයෙක්‌ සඳහන් කළ අදහසක්‌ නිසා. භික්‍ෂුව කතරගම ප්‍රදේශයට වඩින්න කොළඹ ප්‍රධාන බස්‌නැවතුමෙන් කතරගම බසයට ගොඩවුණා. රත්මලාන ප්‍රදේශයේදී සුදු සරමක්‌ හා සුදු කමිසයක්‌ ඇඳගත්ත මැදිවියේ මහත්මයෙක්‌ බසයට නැග බසයේ ඉතිරිවී තිබූ එකම ආසනය වූ භික්‍ෂුව අසලම ආසනයේ වාඩිවුණා. මේ මහත්මයා භික්‍ෂුව ළඟ වාඩි වුණ වේලාවේ පටන්ම පාපුවරුව දෙස බලාගෙනමයි සිටියේ. මුහුණ ඉදිරිපසට කරගෙන සිටියේම නැහැ. භික්‍ෂුවට මුහුණ හංගාගෙන වගේ අහකබලාගෙනම සිටියා. බස්‌රථය තේ පානය සඳහා අතරමග නතර කළා. මගීන් බසයෙන් බැස්‌සට පස්‌සේ මේ අහක බලාගෙන සිටි මහත්මයා භික්‍ෂුවගෙන් අහනවා හාමුදුරුවනේ ගිලන්පස එකක්‌ ගෙනත් දෙන්නද කියලා. ඔහු කතා කරන විටම ඔහුගේ මුවින් අරක්‌කු ගඳ හොඳින් වහනය වුණා. ඒ වෙලාවේ තමයි භික්‍ෂුව දැනගත්තේ මෙතෙක්‌ වෙලා මේ මනුෂ්‍යයා අහකබලාගෙන සිටියේ ඇයි ද කියලා. අරක්‌කු ගඳ භික්‍ෂුවට දැනෙයි කියලා තමයි මොහු මුහුණ සඟවාගෙන මෙතෙක්‌ ඉඳලා තිබෙන්නේ. භික්‍ෂුව කීවා ‘ගිලන්පස අවශ්‍ය වෙන්නේ නැහැ මහත්මයෝ’ කියලා. නමුත් මේ මහත්මයා බස්‌රථයෙන් බැහැලා ගිහිල්ලා සිසිල්බීම බෝතලයක්‌ ගෙනත් පූජා කළා. භික්‍ෂුව පිංදීල එය වැළඳුවා. තේ පානය අවසන් කරලා නැවතත් බසය ගමන් ආරම්භ කළා. ඒත් මේ මහත්මයා අහක බලාගෙන සිටියේ. එකවරම මොහු භික්‍ෂුව දෙසට හැරී බොහෝම ගෞරවයෙන් ‘මම ටිකක්‌ බීලා නිසයි මේ විදියට ඔබ වහන්සේට පිටුපාල වාඩිවෙලා ඉන්නේ’ කියලා බොහෝම බැගෑපත්ව කීවා. ඒ වෙලාවේ භික්‍ෂුව විමසුවා මොකද මේ උදේ පාන්දරම අරක්‌කු බීල කියලා. එවිට මේ මහත්මයා ‘හාමුදුරුවනේ මම මාතර ප්‍රදේශයේ පදිංචි අයෙක්‌. මගේ රැකියාව කට්‌ටඬිකම්, ගුරුකම් කරන එක. මම රත්මලානට ඊයේ පැමිණියා කෙනෙකුට වැඩක්‌ කරලා දෙන්න. දැන් වැඩේ ඉවරවෙලා ගෙදර යන ගමන්. හාමුදුරුවනේ මම පුරුද්දක්‌ වශයෙන් වැඩක්‌ භාරගන්නකොටම මගේ ගණුදෙනුකරුට මම කියනවා වැඩේ ඉවර වුණාම මට බොන්න අරක්‌කු අවශ්‍යයි කියලා. ඒ නිසා ගුරුකම් වැඩේ ඉවර වුණ ගමන් ගාස්‌තුවත් අරක්‌කුත් දෙකම ලැබෙනවා’ කීවා. භික්‍ෂුව මොහුගෙන් ඇහුවා ‘මහත්තයෝ ඔය ගුරුකම්වලින් ප්‍රතිඵලයක්‌ තිබෙනවද?’ කියලා. මොහු බොහෝම උජාරුවෙන් ඔහුගේ දක්‍ෂකම් ප්‍රකාශ කළා. ‘හාමුදුරුවනේ මට අවශ්‍යනම් මනුෂ්‍යයෙක්‌ව ජීවිතක්‍ෂයට පත්කරන්න අවශ්‍ය ගුරුකම් මා ළඟ තිබෙනවා. ඒවා මම කරලත් තිබෙනවා කීවා. ඒ වෙලාවේ භික්‍ෂුව ඔහුට කීවා ‘මහත්තයෝ ඔය රැකියාව මහා පව්කාර වැඩක්‌නේ’ කියලා. ඒ අවස්‌ථාවේ මේ මනුෂ්‍යයා කියනවා හාමුදුරුවනේ මම ගුරුකම් කරලා මනුෂ්‍යයෙක්‌ නැති කරන්නේ තවත් මනුෂ්‍යයෙකුට කරන උපකාරයක්‌ වශයෙන්ය කියලා. බලන්න මේ මනුෂ්‍යයා අදහස්‌ කරන්නේ මනුෂ්‍යයෙක්‌ විනාශකර දමන්නේ තවත් මනුෂ්‍යයෙකුට උපකාරයක්‌ වශයෙන්ය කියලා. මොහු මේ ගැන උදම් අනනවා. බලන්න මේ මනුෂ්‍යයා මනුෂ්‍ය ඝාතනයක්‌ සිද්ධකරන්න තරම් ද්වේෂයක්‌ සිත තුළ සකස්‌කරගෙන, එම ක්‍රියාව සත්පුරුෂ ක්‍රියාවක්‌ හැටියටත් දකිනවා. මොහු කට්‌ටඬි ක්‍රියාවන් හරහා මනුෂ්‍යයෙක්‌ව විනාශ කරන්නේ, දුකට පත්කරන්නේ, පිළිගන්නේ රැකියාවක්‌ වශයෙන්, ආත්ම තෘප්තියක්‌ ලබාගැනීමක්‌ වශයෙන්. මේ කටයුත්තේදී මොහු පමණක්‌ නොවේ, මොහුගේ සේවාදායකයාද ඉහත ක්‍රියාවන් සිදුකරන්නේ පළිගැනීමක්‌ වශයෙන්, තමාගේ ආත්ම තෘප්තිය සඳහා. එතකොට බලන්න ඉහත ගුරුකම් වැඩ සිදුකරන අප්‍රමාණ පිරිස්‌ සහ ඔවුනගේ සේවාදායකයන් ධර්මානුකූලව කුසල්, අකුසල් ද්වේෂය සහ මෛත්‍රිය ගලපා ගැනීමට නොහැකිවීම නිසා මොනතරම් අකුසල් මේ ජීවිත තුළින් සිදුකරගන්නවාද? අන්‍යයන්ගේ ජීවිතවලට ද අකුසල් අයිතිකර දෙනවා ද? ද්වේශයත් මෛත්‍රියත් හඳුනාගැනීමට නොදන්නා මිනිසුන් කුසල් අකුසල් කෙසේනම් හදුනාගන්න ද? නමුත් මේ ගැන හිතන විට භික්‍ෂුවට දැනෙන්නේ අනේ මොනතරම් පහසුවෙන් මේ දෙක හඳුනාගන්න පුළුවන්ද කියලා. මේ බස්‌ රථයේ භික්‍ෂුව ළඟ අසුන්ගෙන පැමිණි අදාළ මහත්මයා තුළ සංඝයා කෙරෙහි ගෞරවයක්‌ තිබෙනවා. ඒ නිසාමයි අරක්‌කු ගඳ හාමුදුරුවන්ට දැනෙයි කියලා මුහුණ වම් පැත්තට හරවාගෙන සිටියේ ගිලන්පසක්‌ අවශ්‍ය ද කියලා විමසුවා. හාමුදුරුවෝ අවශ්‍ය නැහැයි කියත්දිත් ඔහු සිසිල් බීම බෝතලයක්‌ බොහෝම ගෞරවයෙන් පුජා කළා. පිංදෙනවිට දෑත් එක්‌කර සාදු කිව්වා. බලන්නකෝ කොච්චරනම් තෙරුවන් කෙරෙහි ගෞරවයක්‌ද ඔහු තුළ තිබුණේ. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් මොහු තුළින් අනුනට විනාශය අත්කොට දෙන නිසා එම පව්වලින් ගැලවෙන්න සංඝයාට ගෞරවය දක්‌වනවාය කියලා.

ඉහත කරුණු සියල්ල කැටි කොට ගනිද්දී පිංවත් ඔබට මෙහෙම චරිතයක්‌ පෙනෙනවා. රැකියාවක්‌ වශයෙන් ගුරුකම්, කට්‌ටඬිකම් කරනවා. ඒවා කිරීමේදී සේවාදායකයාට ඇති මෛත්‍රිය නිසා ඔහුගේ විරුද්ධවාදියාව විනාශ කරනවා. රෝගිS කරනවා. මරණීය දුකට පත්කරනවා. එවැනි ෙච්තනා සකස්‌ කර ගන්නවා. එම ෙච්තනාම සේවාදායකයා තුළත් ඇති කරනවා. දෙවැනුව, එම පුද්ගලයාම, තමන්ගේ මෛත්‍රියට ලක්‌වූ සේවාදායකයා අතින්ම අරක්‌කු ඉල්ලාගෙන පානය කරනවා. තෙවැනුව එම පුද්ගලයාම බස්‌ රථයේදී හාමුදුරුවන්ට අරක්‌කු ගඳ දැනෙයි කියලා, හාමුදුරුවන්ට අපහසුවක්‌ දැනෙයි කියලා මුහුණ සඟවාගෙන සිටිනවා. ගිලන්පස අවශ්‍යද කියලා බොහොම ගෞරවයෙන් විමසනවා. අවශ්‍ය නැතැයි කියද්දිත් බොහොම ගෞරවයෙන් ගිලන්පස පූජා කරනවා. පිං දෙනකොට දෑත් එක්‌කර සාදුකාර දී අනුමෝදන් වෙනවා. මොහුම සුදු සරමක්‌, සුදු කමිසයක්‌ පැළඳ උපාසක ලීලාවෙන් ජීවත්වෙනවා. දැන් බලන්න මෙම චරිතය තුළ සකස්‌වුණා වූ සිත් මොන තරම් විවිධද. එකිනෙකට පරස්‌පරද, මේ පරස්‌පරතාව සකස්‌ වෙන්නේ අවිද්‍යාව නිසාමයි. රූප විඳීමට ඇති තෘෂ්ණාව නිසාම, හොඳ නරක තේරුණත් මොහු හොඳ නරක සොයන්නේ අඳුරේ. ඒ නිසා මොහු හොඳ කියලා නරක අතට ගන්නා අතරම නරක කියලා අතට ගන්නා හොඳ ද නරක ගොඩටම දමාගන්නවා. ඒ නිසා අවිද්‍යාව හේතුවෙන් සකස්‌ වෙන්නා වූ සිතට ද ලොව්තුරා බුදුරජාණන්වහන්සේ මාරයා කියලා දේශනා කරනවා.

පිංවත් ඔබ ඉහත ගුරුකම් මහත්මයාගේ ක්‍රියාකාරකම් තුළ දැක්‌කේ එකිනෙකට පරස්‌පර ක්‍රියාවන්නේ…. ඒ කිසිවක අර්ථයක්‌ නැහැ. සියල්ල මුලාව තුළමයි තිබෙන්නේ. මේ මාර ක්‍රියාකාරකම් මොහුට නිරයට හැර වෙන කොහෙට නම් පාර පෙන්වන්නද? දුකට පාර පෙන්වන සිතට ද ‘මාරයා’ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ද මේ නිසාමය. එසේනම් දුකට පාර පෙන්වන සිත සකස්‌වීමට හේතු වූයේ රූපයක්‌මය. අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත් හේතුවෙන් දුකට පාර පෙන්වන සිත සකස්‌වන නිසා රූපයද මාරයා යෑයි ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කර වදාළහ. මේවා සංකල්ප නොව, ඇසට පෙනෙන්නා වූ, සත්වයා නිරතුරුවම අත්විඳින්නා වූ ලෝක ස්‌වභාවයන්ය. පැහැදිළිව ලෙහෙසියෙන් කුසල් යනු මොනවා ද, අකුසල් යනු මොනවා ද, ද්වේෂය මෛත්‍රියේ වෙනස යනු කුමක්‌ ද යන්න හඳුනාගැනීමට මෙතරම් සද්ධර්මය ඇසෙන රටේ අවකාශ තිබුණ ද ඔබව පරස්‌පර මතවාදයන් තුළ කොටුකර තබන්නේ මාරයාගේ ග්‍රහණය තුළ සකස්‌වෙන සිත නිසාමය. මෙහිදී සිත යනු ඵසේස, වේදනා, සංඥා, සංස්‌කාර, විඥාන වශයෙන් ඔබ දැනගත යුතුය. මේ පස්‌දෙනාම මාරයාගේ ග්‍රහණයට නතුව ක්‍රියාත්මක වනුයේ ඔබ රූපයේ යථා ස්‌වභාවය හඳුනානොගන්නා නිසාමය. රූපය අවබෝධකර ගත්තා යනු මාරයා අවබෝධයෙන් හඳුනාගත්තා යනුය. මෙතැනදී රූපයත් සිතත් මාරයාගේ අවබෝධයෙන් හෙළිකරගැනීමට පිංවත් ඔබට හැකිය. මේ තැනට පැමිණීමට පෙරාතුව පිංවත් ඔබ මේ උතුම් ධර්මය අවබෝධයෙන් දේශනාකර වදාළ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාවට පැමිණිය යුතුය. ධර්ම රත්නය සංඝරත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාවට පැමිණිය යුතුය. මාරපාර්ශ්වික ධර්මයන් අවබෝධයෙන් හඳුනාගැනීම සඳහා තෙරුවන්ගේ මාර්ගෝපදේශකත්වය හැර අන්කුමන සරණක්‌ ද පිහිටක්‌ ද යන විශ්වාසය තුළින් සතර අපායෙන් ඔබව මිදීම වලක්‌වන තෙරුවන් කෙරෙහි ඇති විචිකිච්චාවත්, අන්‍ය ශීලවෘතයන් කෙරෙහි ඇති විශ්වාසය කියන මාර බැඳීම් අවබෝධයෙන් මුළිනුපුටා ගැනීමට ඔබ දක්‍ෂ විය යුතුය.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

17-මාරයා කුළුමීමකු ලෙසින් පැමිණියේය

‘සතර අපායෙන් මිදෙමු’ 17 කොටස

2012-11-04

මාරයා කුළුමීමකු ලෙසින් පැමිණියේය!

මේ සටහන් පුරාවට භික්‍ෂුව ද්වේෂය සහ මාරයා ගැන කරුණු සදහන් කළා. මෙහිදී මාරයා යනු කවරෙක්‌ද යන්න පිංවත් ඔබ දැනගැනීමට කැමැත්තෙන් ඇති. සමාජයේ බොහෝම තියුණු මතවාදයන් තිබෙනවා. මාරයා යනු සංකල්පයක්‌ පමණයි. මාරයා කියලා කෙනෙක්‌ නැහැ. එහෙමත් නැතිනම් මාරයා යනු සිගරට්‌, අරක්‌කුයි….. ඔය වගේ අවිද්‍යාව නිසා සකස්‌වෙන ප්‍රාථමික අදහස්‌ සමාජයේ තිබෙනවා. මෙවැනි අවිද්‍යාසහගත අදහස්‌ ඇතිවන සිතටත් එම සිත සකස්‌වීමට හේතුවෙන රූපයටත් මාරයා කියල තමයි ධර්මයේ සදහන් වෙන්නේ. ධර්මය නොදන්නාකම නිසා මෙවැනි අදහස්‌ අපි ප්‍රකාශ කරනවානම් අපිව වැටෙන්නේ මාරයාගේ මාධ්‍ය ප්‍රකාශකයන් ගනයටයි.


ප්‍රකාශකයා ඔබ වුවත් එම ප්‍රකාශය ඔබට සංස්‌කරණය කර දෙන්නේ මාරයාගේ පෞද්ගලික සහකාරියන් තුන්දෙනාය. ඒ තන්හා, රතී, රාගා යන මාර දූවරුන් තුන්දෙනාය. මේ තිදෙනා දිව්‍යාංගනාවන්ය. නිරතුරුවම කැමති වේශයක්‌ මාවාගැනීමේ හැකියාව ඇත. ස්‌වභාවයෙන්ම ප්‍රභාෂ්වරය. සියුමැලිය. රිද්මය, ලාලිත්‍යය එම දිව්‍ය ශරීරයේ ස්‌වභාවයයි. ඉදුණු ජම්බෝල ගෙඩියක මදය යම්සේ රෝස පැහැතිද, සුසිනිදු මල් පෙත්තක්‌සේ මටසිළුටු, රෝස පැහැති ශරීරයකි. මේ දිව්‍ය මාර රූමතියන්ගේ කාර්යභාරය මාරයාගේ ග්‍රහණය තුළ සිටින ඔබ තුළ තණ්‌හාව, මාන්නය, දිට්‌ඨිය නැමති අකුසල් ඇතිකිරීමය. මේ මාරධර්ම තුන ඔබ තුළ ඇතිවන්න, වර්ධනය වන්න වර්ධනය වන්න ඔබට දැනෙන්නේ මහත් ආශ්වාදයකි. මේ මාරධර්ම නිසා ඔබ දිට්‌ඨිකාන්තාරයක අතරමංවී සිටියත් ඔබට දැනෙන්නේ ඔබ දිව්‍ය විමානයක සුරසැප විඳින බවකි. ඔබ ලබන මේ අවිද්‍යාවේ සැපය ඔබට ලබාදෙන්නේ මේ මාරදූවරුන් තිදෙනාය. සුරූපී මාර දූතියන්ගේ ඇඟිලි තුඩුවල පහසින් ඔබ මෝහනයට පත්වී ඇත. ඔබ එම පහසට ඇති ලොල්භාවය නිසා මාරදූතියෝ සංස්‌කරණය කර දෙන ඕනෑම අවිද්‍යාසහගත ප්‍රකාශයක්‌ තළු මරමරා ප්‍රකාශ කිරීමට කැමතිය. වර්තමානයේ ඇසෙන ‘මාරයා කියල කෙනෙක්‌ ලෝකයේ නැහැ. මාරයා සංකල්පයක්‌’ වැනි අදහස්‌ මාරදූතියන්ගේ ග්‍රහණයට නතුවීම නිසාම ප්‍රකාශවන අදහස්‌ය. මාර දූතියන් විසින් සංස්‌කරණය කර දෙන එම අවිද්‍යාසහගත ප්‍රකාශ ලෝකයට ප්‍රකාශ කිරීම වෙනුවෙන් පිංවත් ඔබට ලැබෙන ගෙවීම තණ්‌හාව, මාන්නය, දිට්‌ඨියයි. පිංවත් ඔබ මෙම තුන් කාරණයෙන් පොහොසතෙක්‌ කිරීම මාර දූතියන්ගේ අරමුණයි. පොහොසත් වෙන්න ඔබට නිරයේ අති දීර්ඝ කාලයක්‌ පදිංචි වීමේ වරප්‍රසාදය කිසිදු අඩුවකින් තොරව ලැබෙනු ඇත.

එහෙයින් පිංවත් ඔබ කුමන අදහස්‌ සමාජයෙන් ඇසුණද එය නිතරම ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය සමග ගළපා බලන්න පුරුදුවෙන්න. බුදුරජාණන් වහන්සේගේ වචනයට පටහැනිව එම අදහස දුක පිණිසම හේතුවෙන කරුණක්‌ බව අවබෝධ කරගෙන බැහැර කරන්න. තර්ක කරන්න, ගැටෙන්න යන්න එපා. එවිට ඔබත් නොදැනුවත්ම වැටෙන්නේ එම ගොඩටමය. තව තව නිහඩ වෙන්න. නිහඬතාවය තුළින් දිට්‌ඨි කාන්තාරයක්‌වූ මේ සිත ගැන අවබෝධය ලබන්න. ඔබ ලබන අවබෝධය සක්‌කාය දිට්‌ඨිය සිඳලීම සදහාම මෙහෙයවන්න. ලෝකයට ලෝකයේ ස්‌වභාවයෙන් සිටීමට ඉඩහැර ඔබ ලෝකයෙන් මිදෙන ස්‌වභාවයට පැමිණෙන්න. පිරිස මගහැර ඔබ තනිවන්න. තනිවූ සිතට නොඇලෙන්න. ඇලීමට තරම් නිත්‍යවූ සිතක්‌ නැති බව අනිත්‍යවූ සිත දෙස බලමින් තේරුම්ගන්න. මෙවිට ඔබව තණ්‌හාව, මාන්නය, දිට්‌ඨිය නමැති මාර දූතියන්ගේ සියුමැලි ඇඟිලි තුඩුවලින් කුල්මත් කරනු ඇත. කිතිකවනු ඇත. සුරතල් කරනු ඇත. පිංවත් ඔබ ගන්නාවූ උත්සාහය තන්හාව, මාන්නය, දිට්‌ඨිය නැමති දුකට අයිති ධර්මතාවයන්ගෙන් කිලිටිවීමට නොහැකි වනසේ දිවි දෙවැනි කොට වීර්යය වඩන්න. ලෝකයට, ලෝකයාට යන්නට හැර ඔබ නවතින්න. යමෙක්‌ නැවතුනා යනු සිත හඳුනාගත්තා යනුය.

සමාජය තුළ මාරයා ගැන මොන මතවාද තිබුණද, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අවබෝධකර දේශනා කළ වදාළ ධර්මයේ සඳහන් මාරයා ගැන දක්‌වන ලද අර්ථයන් ඔබට වර්තමානයේදීද ඒ උතුම් ධර්ම මාර්ගයේ අවංකභාවයෙන්, වීර්යයයෙන් යුතුව ගමන් කළහොත් අත්දැකීමට හැකිය. ඔබ එවැනි අත්දැකීමක්‌ ලබද්දී ඔබ තුළ ජනිතවන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දැඩි වීර්යයෙන් යුතුව මාර පරාජය සිදුකර අවබෝධකර වදාළ අති උත්තම ශ්‍රී සද්ධර්මයේ ශක්‌තියයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක්‌ ලොව පහළ නොවන්නට ලෝකයා කෙසේ නම් මේ පාපකාරී, මිසදුටු, අධර්මය ආහාරය ප්‍රීතිය කර ගත් මාරයා හඳුනාගන්ටද? මාරයාට ගොදුරුවීම හැර අන් මොන පිළිසරණක්‌ද? ලොව්තුරා බුදුරජාණන් වහන්ස. ඔබ වහන්සේට ධර්මය ගරුකරන තුන්ලෝකයාගේම උත්මතම නමස්‌කාරය වේවාෘ මේ විෂම මාරධර්මය අවබෝධකර පරාජයකර දේශනා කළාට.

මෙවන් උතුම් ධර්මයක්‌ සරණයන්නට අපි මොනතරම් භාග්‍යවන්තද? ශාසන පරිහානිය යනු, අබුද්ධෝත්පාද කාලයක්‌ යනු සත්වයාට මොනතරම් අඳුරු බියකරු විෂම කාලපරිච්ෙච්දයක්‌ වේවිද? ධර්මය ගොදුරුකර ගැනීමට බලාසිටින අධර්මයේ මාර සේනාව ලෝකයේ තනි බලය සියතට ගැනීමට පෙරාතුව ඔබට මුණගැසුණ ධර්මයෙන් ඔබ සනාථවෙන්න. දෙවැනියෙක්‌ ගැන නොසිතා ඔබ ලබන ඊළඟ උපත මාර්ග ඵලලාභී දෙවියෙක්‌ම වෙන්න.

දැන් භික්‍ෂුව මෙහි සදහන්a කරන්නේ සැබෑම මධ්‍යම ප්‍රතිප්‍රදාව තුළ එනම් තුන් සිවුරත් පාත්‍රයත් දරමින් දැඩි අධිෂ්ඨානයෙන් අවංකභාවයෙන් මේ ධර්ම මාර්ගයේ ගමන්ගත් එක්‌තරා භික්‍ෂුවක්‌ සමාධියෙන් පසුවෙද්දී අත්දුටු මාරයාගේ නිවට දීන ක්‍රියාවකි. මේ මාරයා යනු පරනිම්මිත වසවර්තිය නැමති දිව්‍යතලයේ අධිපති වසවර්ති මාරදිව්‍ය පුත්‍රයාය. භික්‍ෂුව රාත්‍රි 11.00 ට පමණ සමාධියෙන් පසුවෙද්දී භික්‍ෂුව ඉදිරියට ඉතාමත් වේගයෙන්, ජවයෙන්, වියරුවෙන් කුළුහරක්‌ රංචුවක්‌ පැමිණියහ. මෙම වියරු කුළුහරක්‌ රංචුව භික්‍ෂුවට මීටර් 25ක්‌ පමණ ඉදිරියෙන් ක්‌ෂණයකින් පහළවී භික්‍ෂුqවගේ ඉදිරියට දිව ආහ. මේ සෑම කුළු හරකෙක්‌ම ඉතාමත් ජව සම්පන්න හැඩිදැඩි සතුන්ය. මෙසේ වේගයෙන් පිඹිමින් භික්‍ෂුව ඉදිරියට දිව එමින් භික්‍ෂුවට මීටර් පහක්‌ පමණ තිබියදී මේ වියරු කුළුහරක්‌ රංචුව දකුණු පැත්තට හැරී පලා ගියහ. මෙම රංචුවේ අවසාන මීහරකාත් භික්‍ෂුවට සමාධියෙන් නොපෙනීයාමත් සමගම එක ක්‌ෂණයකින්ම භික්‍ෂුවට මීටර් විසිපහකට පමණ ඉදිරියෙන් තනි කුළුහරකෙක්‌ පහළ විය. ඒ කුළු හරකෙක්‌ නොව හරක්‌ රජෙකි. උස අඩි පහක්‌ පමණ ඇත. හොඳ පුෂ්ඨිමත් කුළුහරකෙකි. මොහුට අං පිහිටියේ නැත. මෙම කුළු හරකාගේ සම වෙල්වට්‌ සමකි. එම සතාගේ සම දිලිසෙන ග්‍රීස්‌වල ඇති කළු පැහැයක්‌ ගෙන තිබිණි. මෙම ප්‍රතාපවත් කුළුහරකාගේ සම කඩ කැපූ සිවුරක්‌සේ දිගැටි ආකාරයට අඟලේ අඟලේ ප්‍රමාණයට දිගට දහස්‌කඩ සිවුරක්‌සේ සම නිර්මාණය වී තිබිණි. මොහු ආයුෂ, වර්ණය, සැපය, බලය උපරිම තලයේ කුළුහරකෙකි. මෙම කුළුහරකාගේ නාසයට රිදී පැහැති අඟල් හයක්‌ පමණ වට රවුමකින් යුත් වළල්ලක්‌ දමා තිබිණි. එය මාපට ඇඟිල්ලක්‌ තරම් මහතය. දැන් ඔබ මොහොතක්‌ සිතන්න. නාසයට රිදී වළල්ලක්‌ දැමූ දහස්‌කඩ චීවරයක්‌ බදු වෙල්වට්‌ සමක්‌ සහිත මෙම ප්‍රතාපවත් කුළුහරකාගේ ස්‌වභාවය. ඔබ මනසින් මෙනෙහි කරන්න. ඉහත ස්‌වභාවයේ ප්‍රතාපවත් මේ කුළුහරකා භික්‍ෂුවට මීටර් 25 ක්‌ ඉදිරියෙන් පහළ වූ තැනදීම වේගයෙන් හිස වරක්‌ කරකවලා බොහොම සෘජුව හිස කෙලින් කර භික්‍ෂුව දෙස බලා සිටියා. ඔබ දැකලා ඇති මල්ලව පොර තරගවලදී බොහෝම හැඩිදැඩි විදේශීය ක්‍රීඩකයන් ප්‍රතිවාදියා සිටින වේදිකාවට ගොඩවෙනකොටම හිස බොහෝම ගාම්භීර ආකාරයෙන් කරකවලා සෘජු බැල්මක්‌ ප්‍රතිවාදියාට හෙළනවා. මෙහෙම කරන්නේ ප්‍රතිවාදියාව තරගයට පෙරදීම බියගන්වන්න. ඉහත කුළුහරකාද පහළවූ නිමේෂයේම ගාම්භිර ලෙස නාසයේ රිදී වළල්ලක්‌ පැළඳි, හිස කරකවා තේජස්‌බව තව දැඩිකර ගෙන සමාධියෙන් පසුවෙන භික්‍ෂුව දෙසට වියරු බැල්මක්‌ හෙළා නාසයේ කුහර දෙකෙන් දුවිලි පැහැ දුමක්‌ පිටකරමින් වියරුවෙන් මෙන් භික්‍ෂුව ඉදිරියට හඹා පැමිණියේය.

හරියටම භික්‍ෂුවට මීටර් පහක්‌ පමණ ඉදිරියෙන් මෙම කුළුහරක්‌ රජුද දකුණු දෙසට හැරී පලා ගියහ. භික්‍ෂුව තවමත් සුපුරුදු සමාධිය තුළය. දර්ශනය නිමවූ පසුව භික්‍ෂුව සමාධියෙන් අවදි විය. භික්‍ෂුවගේ මුහුණට සිහින් සිනාවක්‌ නැගිණි. සිහින් සිනාවත් සමග මේ සිතුවිල්ල භික්‍ෂුවතුළ පහළ විය. පරනිම්මිත වසවර්ති දිව්‍යතලයේ වසවර්ති දිව්‍ය පුත්‍රයා භික්‍ෂුව ඉදිරියේ කුළුහරකෙක්‌ වීමට තරම් දීන වූවා නේද යන සිතුවිල්ල භික්‍ෂුවට පහළ විය. භික්‍ෂුව බියගැන්වීම සදහා කරන ලද මේ පරාජිත මාර ක්‍රියාවේදී භික්‍ෂුව බියගැන් වීමට මාරයාට අවශ්‍ය විය. මාර දිව්‍යපුත්‍රයාගේ නිවටභාවය යනු ඔහු තවමත් සිතන්නේ ධර්ම මාර්ගයේ ගමන් කරන ආර්යන් වහන්සේලා බිය ගැන්වීමට තමන්ට හැකිය කියාය. මේ ආකාරයෙන් මාරයා භික්‍ෂුව බියගැන්වූවේ සමහරවිට භික්‍ෂුව අවබෝධ කළ යම් ධර්මයක්‌වේද එම ධර්මය ලෝකයාට දේශනාකිරීම වැලැක්‌වීමටය. බියගැන්වීමටය. එම අවස්‌ථාවේ භික්‍ෂුව වැඩසිටියේ ලොකු ප්‍රපාතයක්‌ අසලම තිබූණු කදු බෑවුමක කුටියකය. භික්‍ෂුව මේ මොහොතේ බියගන්වා ගැනීමට පුළුවන් වුණොත් කුළුමීමා එන වේගයෙන්ම භික්‍ෂුව භාග බිත්ති බැඳ තිබූ එම කුටියේ එළියට පැන ප්‍රපාතයට වැටී අපවත් කිරීමට හැකියෑයි සිතුවාද විය හැකියි. එසේ වූවානම් මේ සටහන ඔබ අතට පත්නොවන බව මාරයා දනී. එහෙත් මාරයාට සිදුවූවේ එහි අනෙක්‌ පැත්තය. භික්‍ෂුවගේ රෝමකූපයකටවත් අනතුරක්‌ කිරීමට මාරයාට නොහැකි විය. සමාධි සුවයෙන් සිටි භික්‍ෂුවගේ සමාධිමත් ස්‌වභාවය එක දශමයකින් හෝ හීන කිරීමට මාර පුත්‍රයාට නොහැකි විය. මෙම ශක්‌තිය භික්‍ෂුවගේ ආශ්චර්යයක්‌ නොව ධර්මයේ ආශ්චර්යයයි. ඔබද දක්‍ෂනම් මෙම ආශ්චර්ය ඔබගේත් උරුමයයි. උතුම් සමාධිය තුළදී බිය යනු ශූන්‍ය දෙයක්‌ යන ධර්මතාවයේ සත්‍යයයි. විචාර විතර්කයන්ගෙන් තොර සන්සිදුණු සිතේ උපේක්‍ෂාසහගත ස්‌වභාවය ඔබව ඇලීම් ගැටීම්වලින් මුදවාලනවාය යන ධර්මයයි. මෙම කථාවේ මාරයා යනු පරනිම්මිත වසවර්තිය නැමති දිව්‍යතලය අයිති වසවර්ති දිව්‍යපුත්‍රයාය. මොහු ධර්මයට අකමැතිය. පංචකාමයටම නැඹුරු දිව්‍ය රජෙකි. සමාධිමත් භික්‍ෂුව ඉදිරියට මුලින්ම වියරුවෙන් දිවඑන කුළුහරක්‌ රංචුව මාර සේනාවයි. වසවර්ති දිව්‍යපුත්‍රයා මුලින්ම භික්‍ෂුව බියගැන්වීමට එව්වේ මාර සේනාවයි. මේ අයද දෙවිවරුය. ඔවුනට අවශ්‍ය ආකාරයේ වේශයක්‌ මවාගැනීමට හැකිය. භික්‍ෂුව බියගැන්වීමේ මේ මෙහෙයුමට ඔවුන් කුළුහරක්‌ වේශයෙන් පැමිණියහ. සමාධිමත් භික්‍ෂුවට මීටර් පහක්‌ තබා ඔවුන් දකුණට හැරී පලාගියේ සමාධිය තුළ සකස්‌වෙන නික්‌ලේශී ධර්ම ශක්‌තියට ළංවීමට ඔවුනට නොහැකි නිසාය. තම මාර සේනාව භික්‍ෂුව අබියසට පැමිණ පලායනවිට එම කටයුත්ත වසවර්ති මාරපුත්‍රයා භාරගත්හ. දෙවනුව පහළවූ තේජස්‌ සහිත ආයුෂ, වර්ණ, සැප, බලයෙන් පරිපූර්ණ දිලිසෙන ස්‌වභාවයේ ලොම් සහිත කුඵහරක්‌ රජු වසවර්ති දිව්‍යපුත්‍රයාය. මාර සේනාවට නොහැකිවූ තැන මාරයා ඉදිරිපත් විය. මේ තේජස්‌ සහිත කුළුහරක්‌ වේශය ගත් කුළුහරකා දකිනවිටම මොහු දිව්‍ය ඕජාවෙන් පරිපූර්ණ අයකු බව අවබෝධ වේ. දහස්‌කඩ සිවුරක්‌සේ කැටයම් වූ ඔහුගේ සමේ ප්‍රභාෂ්වර ස්‌වභාවය දෙවියකුට හැර වෙනකාට තිබෙන්නද? භික්‍ෂුවක්‌ සතු පරිපූර්ණ ශිලයේත් සමාධියේත් මෙම මාර පිරිවර සහ මාරයාට මුහුණදෙන අතර මොවුන් මාරයා සහ මාරපිරිවර බව හදුනාගන්නේ ප්‍රඥාව විසින්මය. ශීලයත්, සමාධියත්, ප්‍රඥාවත් එකතුවුණ තැනදී ඇතිවන අයෝමය ශක්‌තිය තුන් ලෝකයම තම ආධිපත්‍යය තුළ රඳවාගෙන තිබෙන මාරයාටද අභියෝග කළහැකි බවට, මාරයා පරාජය කළ හැකි බවට මීට වඩා උදාහරණ කුමකටද? ඔබ මේ දකින්නේ ධර්මයේ සන්දිට්‌ඨික ගුණයයි. ධර්මයේ අකාලික ගුණයයි. ඔබ මෙම සටහන කියවා මුල්තැන දිය යුත්තේ මාරයාට නොව ධර්මයේ සන්දිට්‌ඨික ගුණයටය.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com