3-13 දානය මහත්ඵල මහානිසංශ වීමට…….


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ….
‘සතර අපායෙන් මිදෙමු’ 13 කොටස
2012-09-30
සතර අපායෙන් මිදීම උදෙසා ගිහි බැඳීම්වලට යටත්ව ජීවත්වන ගිහි පිංවතුන් උදෙසා දානයේ ඇති වටිනාකම සටහන් කිරීමයි මේ ලිපියේ අරමුණ වුණේ. ගිහි ජීවිතය තුළදී හොඳින් දන් දුන්නත් එම දානමය පිංකම් ලොව්තුරා සම්මාසම්බුද්ධ දේශනාවන්ට අනුකූලව ගළපා ගැනීමට අදක්‍ෂ නම් පරලොව දුකට පත්වීම වැළැක්‌විය නොහැක.
දානය මහත්ඵල මහානිසංශ වීමට
ඔබව දන්දීමෙන් වළක්‌වන්න කවුරුන් හෝ සිටී නම්, ඒ මව්පියන් වේවා, බිරිඳ වේවා, දරුවන් වේවා, ඥාතීන්වේවා, හිතවතෙක්‌ වේවා ඔහු ඔබගේ ඥාතියෙක්‌ හෝ හිතවතෙක්‌ නොවන බව තරයේ සිහි තබාගන්න. එවැනි අය මගහරින්න. එවැනි අයගෙන් දුරස්‌වන්න. යමෙක්‌ තෙරුවන් කෙරෙහි සද්ධාව වැඩෙන, සිල්පද ආරක්‍ෂාවෙන,දන්දීමට පෙළඹෙන ක්‍රියාවන්ට අනුබල දෙන්නේ නම් ඔහු ඔබේ ළඟම ඥාතියා කරගන්න. සිදුකරන ක්‍රියාව මෝහයෙන් මිදී ලෞකික සම්මා දිට්‌ටියට අනුව සිදුකරගන්න. ඔබ නිරතුරුවම තැන්පත් කළ දෙය නොව පරිත්‍යාග කළ දෙය ගැන මෙනෙහි කරන්න. විශාඛා උපාසිකාව වරක්‌ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගෙන් වර අටක්‌ ඉල්ලා සිටිනවා. ඒ අනුව දිවි ඇති තුරා සංඝයා හට වැසි සළුදෙන්නට, ආගන්තුක බත් දෙන්නට, ගමික බත් දෙන්නට, ගිලන් භික්‍ෂුවට බත් දෙන්නට, ගිලානෝපස්‌ථායක බත් දෙන්නට, ගිලන් බෙහෙත් දෙන්නට, නිති කැඳ දෙන්නට, මෙහෙණ සඟනට දියසළු දෙන්නට කැමත්තෙමියි විශාඛාව එම වර අට ඉල්ලා සිටිනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ බොහෝම ගෞරවයෙන් විශාඛා උපසිකාවගේ මේ ඉල්ලීමට කැමත්ත දෙනවා. බලන්න විශාඛා උපාසිකාව උතුම් සෝවාන් ඵලයට පත් උපාසිකාවක්‌. පිංවත් ඔබත් එම අවබෝධයට පැමිණීමට නම් ඔබ කාවද අනුගමනය කළ යුත්තේ? ආදර්ශයට ගත යුත්තේ? විශාඛා උපාසිකාව ගැන අනේපිඬු සිටුතුමා ගැන නකුලමතා, නකුල පිතා ගැන නිරතුරුවම ඔබ සිතන්න, මනසින් දකින්න. එම උතුමන් දානයට ලබාදුන් වටිනාකම් කොතෙක්‌ද කියලා.

විශාඛා උපාසිකාව ලබාගත් වර අට ගැන ඔබ මොහොතක්‌ සිතන්නකෝ. ඔබ මේ කරුණු අටෙන් කීයක්‌ ඔබේ ජීවිතය තුළින් ක්‍රියාත්මක කරනවාද? නිතිපතා නෙවෙයි මසකට වතාවක්‌වත්… අවුරුද්දට වතාවක්‌….. ඔබ මහා සංඝරත්නයට දන් දෙන කෙනෙක්‌ද? වැසිසළුවක්‌ පූජාකරන කෙනෙක්‌ද? මහා සංඝරත්නය උදෙසා අනෙකුත් උපස්‌ථානයන් සිදුකරන කෙනෙක්‌ද? ඔබ ඔබේ හෘද සාක්‍ෂියට තට්‌ටුකරල අහන්න. පිළිතුර ‘ඔව්’ වුණත් සෑහීමකට පත්වෙන්න එපා. ඔබ ඔබට ලකුණු දෙන්න යන්න එපා. ඔබ තවමත් ප්‍රමාද බව දකින්න. අප්‍රමාදී වීමට ඔබ උත්සාහ ගන්න. බැංකුපොතේ ඔබ රැස්‌කොට තබන දෙය අනුන්ගේ කෙටි ලාමක කෙටි සැපයන් උදෙසා බවත්, රැස්‌ නොකොට දන්දෙන දෙය ඔබට ආශ්චර්යමත් සැපයක්‌ උදෙසාම බවත් දකින්න. සශ්‍රික දේවානුස්‌සතිය වඩන්න. ඉහත පිංකම් නිතිපතා, සතිපතා, මාස්‌පතා ඔබගේ ආදායමට ගැළපෙන ආකාරයට කිරීමට උත්සාහ ගන්න. ලැබෙන සෑම අවස්‌ථාවක්‌ම අපතේ නොහරින්න. අනුන්ගේ ශීලය, සමාධිය ගැන නොසොයන්න. සෑම විටම භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා සිව්වනක්‌ පිරිස වශයෙන්ම දකින්න. මේවා පිං උල්පත් බව දකින්න. උල්පතේ ගැඹුර නොගැඹුර උස්‌පහත් බව නොසොයා ඔබගේ සංසාරික දුක්‌ පිපාසය සංසිඳවා ගැනීමට අවශ්‍ය ජලය ගැන පමණක්‌ සිතන්න. ඔබගේ දුක්‌ පිපාසය සංසිඳවා ගැනීමට ජලය ලැබෙනවා නම් උල්පත ගැන සෙවීම මෝහය නිසාම සිදුවන්නකි. දෘෂ්ටීන්ගෙන් මිදී හේතුඵල ධර්මයන්ට විවෘත වන්න. අතීතයේ වැඩ සිටියා වු අනන්ත වූ ගුණයෙන් ඥානයෙන් යුත් භික්‍ෂු භික්‍ෂුණී, උපාසක උපාසිකා සමූහයම අරමුණු කරගන්න.

මසකට එක වතාවක්‌ එළඹෙන පසළොස්‌වක පෝය දිනය ඔබ ඔබගේත්, ඔබගේ පවුලේත් පිංකම් දිනය බවට පත්කරගන්න. පන්සල වේවා, ඔබගේ නිවස වේවා, එදින සතර අපායෙන් එතෙරවීමම අරමුණුකොට දාන, ශීල, භාවනා කටයුතු සිදුකරගන්න. දරුවන් බිරිඳ දැසි දස්‌සන්වත් හවුල්කරගන්න. ඒ අය අකමැති නම් ඔබ තනිවම මේ ව්‍යායාමයේ නිරතවන්න. සතර අපාය යනු කුමක්‌ද? එහි සත්වයා විඳින දුක කුමක්‌ද? එහි ආයුෂ මොනතරම් දීර්ඝද? සතර අපායට වැටුණ කෙනාට එයින් මිදීම මොනතරම් අපහසුද…….? මේවා සකච්ඡා කරන්න. ඔබ ලැ-ජාවෙන්න එපා. මාන්නයට පත්වෙන්නත් එපා ‘අනේ අපි ආයෙත් තිරිසනෙක්‌, ප්‍රේතයෙක්‌, නිරිසතෙක්‌ වෙන්නේ නැහැ’ කියලා. එහෙම කියන සිතමයි ඔබව සතර අපායට ඇදදමන්න අවශ්‍ය පාර කපන්නේ. අනේ මම තවම සතර අපායෙන් මිදිල නැතැයි කියලා දකින්න නිහතමානී වෙන්න. සැබවින්ම ඔබ සතර අපායෙන් මිදිලා නොමැතිනම් සක්‌කාය දිට්‌ටිය ඉහ වහා ගිය, සතියෙන් නැතිනම් මාසයෙන් මාර්ගඵල ලාභීන් බවට පත්කරන ක්‍රමවේදයන් සිහිබුද්ධියෙන් හඳුනාගනිමින් මඟහරින්න. හේතුඵල ධර්මයන් ගළපමින් ඔබ, ඔබ ගැනම විමසා බලන්න. මෝහයෙන් මිදෙන්න. අවබෝධය යනු අනුන් දෙන දෙයක්‌ නොව තමා තමා තුළින්ම දැනුවත්භාවයෙන් ලබන්නක්‌ බව හොඳින් සිහිතබා ගන්න. පසළොස්‌වක පොහොය දවසේ ඔබ පවුලේ සියලුදෙනාම, එසේත් නැතිනම් පන්සලේ සිල්සමාදන් වෙන සියලුදෙනාම සතර අපායේ බියකරුභාවයත් එයින් මිදීමේ මාර්ගයත් සාකච්ජා කළොත්, ඒ ගැන අවධානය යොමුකළොත් ඔබට පුළුවන් මාසේ ඉතිරි දවස්‌ විසිනවයේම එම ශක්‌තිය තුළ, මාර්ගය තුළ ජීවත්වෙන්න.

මේ සටහන පුරාවට සතර අපායෙන් මිදීම සඳහා ඔබට ත්‍යාගානුස්‌සතිය වැඩීම ගැනයි සඳහන් කරන්නේ. භික්‍ෂු භික්‍ෂුණී, උපාසක උපාසිකා හෝ දුගී මගී යාචක, බලූ කපුටු එසේත් නැතිනම් දෙවියන්, අමනුෂ්‍යයින් මේ කවුරුන් විෂයෙහි වේවා ලෝභකම අතහැරීම උදෙසාම දන්දෙන්න. තෘෂ්ණාව ක්‌ෂය කිරීම උදෙසාම දන්දෙන්න. දන්දීමට කාලසටහන් සාදා නොගන්න. පාරේ ගමනක්‌ යන විට පිණ්‌ඩපාතේ වඩින භික්‍ෂුවක්‌ දැක්‌කොත් සද්ධාවෙන් යමක්‌ පූජාකරන්න. දුර ගමනක්‌ ඔබ යන විට බසයේදී මඟ තොටේදී හමුවන භික්‍ෂුවකට අවශ්‍ය බිස්‌කට්‌ එකක්‌, ගිලන්පස එකක්‌ ගැන විමසීමට සිතක්‌ ඇතිකරගන්න. අනුන් කරනවාද නොකරනවාද යන්න ඔබ නොසිතන්න. ලැබෙන පුංචි අවස්‌ථාවකින් පවා උපරිම ත්‍යාගානුස්‌සතිය වැඩීමේ අවස්‌ථාව ලබාගැනීමට දක්‍ෂවෙන්න. දන්දෙන්නේ අනුන් සඳහා නොව, අනුන්ගේ කුස පිරවීම සඳහා නොව, තමාගේම සැපය සඳහාය යන්න සිතන්න. ඔබ ප්‍රාර්ථනා කරන්න, වීර්යයෙන් අවස්‌ථාව උදාකරගන්න. කළ පිංකම්, දුන් දානයන් නැවත නැවත දෙන්න, නැවත නැවත මෙනෙහි කරන්න. මට දානය පූජාකර ගැනීම සඳහා තව තව ස්‌වාමීන් වහන්සේලා මුණ ගැසේවා. උපාසක උපාසිකාවන් මුණ ගැසේවා. තව තව පන්සල් ආරණ්‍ය විහාරාංග ඉදිවේවා. තව තව පිංකම් සිදුවේවා. කියා ප්‍රාර්ථනා කරන්න. කුමක්‌ සඳහාද? ඒවා උදෙසා පරිත්‍යාගයන් සිදුකර ත්‍යාගානුස්‌සතිය වැඩීම පිණිස. මේ සැම ඔබ ඔබේ සතුට කරගන්න. මේ සැම යනු දේවානුස්‌සතිය හැර වෙන කුමක්‌ද? දන් දීම තුළින් ඔබ ඇතිකරගන්නා අතහැරීමේ ශක්‌තිය සක්‌කායදිට්‌ටිය ක්‍ෂය කිරීමේ මාර්ගයම මිස වෙන කුමක්‌ද? බිරිඳගෙන්, සැමියාගෙන්, දූ පුතුන්ගෙන්, වස්‌තුව දේපලවලින් ඔබ ලබන බැඳීම, සක්‌කායදිට්‌ටිය තව තව ඝනභාවයට පත්කිරීම සඳහාම බව ඔබම දකින්න.

ඒ ගැන උදාහරණයක්‌ වශයෙන් වැදගත් මහත්මයෙකුගේ කථාවක්‌ දැන් මෙහි සටහන් තබනවා. මෙම කථා ප්‍රවෘත්තිය ඔබට වැදගත් වේවි. පහත කථාවෙන් කියවෙන්නේ ඔබ අදක්‍ෂනම් දන් දුන්නා, පිංකම් සිදුකරගත්තාය කියලා ඊළඟ ප්‍රතිසන්ධිය සුගතියක්‌ වෙනවාමයෑයි ඔබට සහතිකයක්‌ ලැබෙන්නෙ නැතිය කියන කාරණයයි .

එක මහත්තයෙක්‌ සිටියා. ඔහු දක්‍ෂ ව්‍යාපාරිකයෙක්‌. බොහෝම පුංචි තැනකින් පටන් ගත්තේ. අවසානයේදී කෝටිපතියෙක්‌ වුණා. ඉඩකඩම්, ව්‍යපාර ඔහු සතුවුණා. බොහෝම හොඳ බිරිඳක්‌ දරු මුණුපුරන් සිටියා. කවදාකවත් සිල් සමාදන් වෙන්න පන්සලකට ගියේ නැහැ. නමුත් හොඳින් සිල් පද ආරාක්‍ෂා කරගෙන ජීවත් වුණා. තමා විසින් සදාගත්තාවූ කාලසටහනකට අනුව හොඳින් වියදම් කර භික්‍ෂුන්වහන්සේලාට, උපාසක උපාසිකාවන්ට දන් දුන්නා. එම කාලසටහනෙන් පිට දන් දෙන්න ගියේ නැහැ. කල්‍යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය බොහෝම අඩුවෙනුයි ඔහුට ලැබුණේ. එහෙම අඩු වුණත් හොඳින් දන් දුන්නා. පන්සල් ආරණ්‍ය සඳහා මුදල් පරිත්‍යාග කළා. අවශ්‍ය විහාරාංග ඉදිකළා. මොහු තමන්ගේ ව්‍යපාරයට ඉඩකඩම්වලට ගොඩාක්‌ බැඳිලයි සිටියේ. මොකද මේ හැම දෙයක්‌ම අසාධාරණයෙන් නොව තමන්ගේම දහදිය මහන්සියෙන්මයි හම්බකරගත්තේ. මේ පිංවත් මහත්මයා හැමෝටම ප්‍රිය කාටවත් කරදරයක්‌ නැති හුදකලා වැදගත් ජීවිතයක්‌ ගත කරලා වයස අවුරුදු හැත්තෑවේ සීමාවට පැමිණීමට පෙර මිය ගියා. දුක්‌විඳලා, රෝග පිඩාදියට ලක්‌වෙලා නොවේ. ඔහුට හිමිවුණේ ක්‍ෂණික මරණයක්‌. මේ මරණය ගැන ඔහුගේ බිරිඳට, දරුවන්ට, ඥාතීන්ට, හිතමිතුරන්ට කිසිම විදිහක බියක්‌ තිබුණෙ නැහැ. කුහුඹියෙකුටවත් වරදක්‌ නොකළ මොහුට සුගතියේ දොර හැර, වෙන දොරක්‌ නොඇරෙන බව පාංශකූලයට පැමිණි ගෞවරණීය සංඝරත්නය අනුශාසනා කළා. ඉහත සියලුදෙනාම තමන් ධර්මය දන්නා ආකාරයට හේතුඵල ගළපමින් මියගිය පිංවත් මහත්මයාව සුගතියටම නම් කළා. මියගිය පිංවතාට පිං පිණිස හත් දවසේ, තුන්මාසේ අවුරුද්දේ සාංඝික දානමය පිංකම් බොහෝම සශ්‍රික ආකාරයට පුජාකළා. තව තව පිංකම් සිදුකරනු ලැබුවා. අපේ මිය ගිය ඥාතියා දෙවියෙක්‌ය කියන සංඥාව හැර වෙන සංඥාවක්‌ කිසිවෙකුට තිබුණේ නැහැ.

මෙහෙම කාලයක්‌ ගියාට පස්‌සේ දිනක්‌ රාත්‍රියක භික්‍ෂුවක්‌ සමාධියෙන් පසුවෙන විට මේ මියගිය පිංවත් මහත්මයාව අරමුණුවෙනවා. ඒ අරමුණු වෙන්නේ ප්‍රේත ලෝකයෙදි. මනුෂ්‍ය ලෝකයේ ජීවත්ව සිටියදී තිබූ ශරීර ප්‍රමාණය සහිතවමයි. මනුෂ්‍ය ජීවිතයේ සිටියදී ඔහු ප්‍රිය කළ ඇඳුමක්‌ තිබුණා. විශේෂ ගමනකදී පළඳින එම ඇඳුම් කට්‌ටලය සහිතවයි මොහු හිටියේ. මෙම මියගිය මහත්තයාට අයිතිව තිබුණා කෝටි පහක පමණ ඉඩමක්‌. මේ ඉඩමේ මොහු එහාට මෙහාට ඇවිදිනවා. මොහු ඇවිදින්නේ බොහොම දුක්‌මුසු විලාසයකින්. ටිකක්‌ කුදු ගැහිලා, හිස පහතට හෙලාගෙන, අත් දෙක පහළට දමාගෙන ‘අනේ මේවට මොකද වුණෙ’ කියන්න වගේ හැඟීමක්‌, ඉරියව්වක්‌ සහිතව තමයි ඇවිදින්නේ.

ශරීරය දුර්වල නැහැ. ඇඳුම බොහොම පිරිසිදුයි. නමුත් සිත දුකට පත්වෙලා. තෘෂ්ණාව නිසාම. මොහු ඉන්න ඉරියව්වෙන් පෙනෙන්නේ, මොහු තුළ බියක්‌ තියෙනවා මේ දේපළ නැතිවෙයි, විනාශවෙයි, වෙන කාටහරි අයිතිවෙයි කියලා. බලන්න පෙර ආත්මයේදි කොච්චර දන් දුන්න, මොන තරම් පිං කරගත්ත මනුෂ්‍යයෙක්‌ද, මොනතරම් සිල්වත් ජීවිතයක්‌ ගතකරපු මනුෂ්‍යයෙක්‌ද. ඒත් ඒවායින් ඔහු ප්‍රයෝජනයක්‌ ගත්තද?

මියයන වෙලාවේ මේ පිංවත් මනුෂ්‍යයා තමා දුන්න දානයක්‌, තමාගේ සිල්වත් ජීවිතය, ඒ ජීවිතය තුළින් කළ පිංකම් සිහියට නගාගත්තා නම්, ඒ පිංකම් අරමුණු කරගත්තා නම්, ඒ පිංකම් සිදුකරගැනීමට මාර්ගය දේශනා කර වදාළ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ, ධර්මරත්නයේ, සංඝරත්නයේ ගුණයන් සිහියට ගත්තා නම්, එසේ කිරීමට දක්‍ෂභාවය ඔහු තුළ තිබුණා නම්, ඇතිකරගත් කැමත්තට අනුව. මොහු සශ්‍රීක දිව්‍ය තලයක, මහේශාඛ්‍ය දෙවියෙක්‌ වශයෙන්මයි, එසේත් නැතිනම් සශ්‍රීක මනුෂ්‍ය ජීවිතයක්‌මයි නැවතත් ලබන්නේ. නමුත් මේ අවාසනාවන්ත මනුෂ්‍යයා සද්ධර්ම ශ්‍රවණය අඩුවෙන් කළ නිසාත්, කල්‍යාණ මිත්‍ර සේවනය හිඟ වු නිසාත් මියයන මොහොතේ තමන් කළ පිංකම්, ගත කළ සිල්වත් ජීවිතය යටපත්වී මතකයට පැමිණියේ ඉඩකඩම් දේපල. දේපල කෙරෙහි තිsබූ තෘෂ්ණාවේ බලවත් භාවය නිසා සැනසීමට හේතුවන දේවල් නොව වැනසීමට හේතුවෙන ධර්මතාවයත් තමයි මතුවෙලා පැමිණියේ. ඒ නිසාම මොහු ප්‍රේත ජීවිතයකට වැටුණා. නමුත් බලන්න දේපල කෙරෙහි ඇතිකරගත් දැඩි ජන්ද රාගය නිසා ප්‍රේත ජීවිතයකට වැටුණත් මොහු මනුෂ්‍ය ජීවිතයේදී දුන්න දානයන්ගේ ආනිසංස එම ප්‍රේත ජීවිතයේදීත් මොහුට සැප විපාකයන් ලබාදුන්නා. ප්‍රේත ජීවිතයේදීත් මොහුට හොඳ පිරිසිදු වස්‌ත්‍ර ලැබිලා තිබෙනවා. හොඳ නිරෝගි ස්‌වභාවයේ ශරීරයක්‌ ලැබිලා තිබෙනවා. ඇතිකරගෙන තිබෙන තෘෂ්ණාව නිසා ඔහුගේ සිතට නම් දැනෙන්නේ දැඩි පීඩාවක්‌, දුකක්‌. ඒ නිසා මොහුගේ ඉරියව්වල තිබෙන්නේ දැඩි අතෘප්තිමත් ස්‌වභාවයක්‌. එම පිංවත් ව්‍යාපාරික මහත්මයා මනුෂ්‍යයෙක්‌ වශයෙන් ජීවත්ව සිටියදී සමාජය ඔහුව හැඳින්වූයේ සිල්වත් මනුෂ්‍යයෙක්‌ හැටියටයි. දානපතියෙක්‌ හැටියටයි. වෙහෙස මහන්සි වී ධනය ඉපයු ව්‍යපාරිකයෙක්‌ හැටියටයි. නමුත් ඔහුගේ බාහිර ස්‌වරූපය, ඇවතුම් පැවතුම් තුළින් ලෝකයා ඔහුව එසේ හඳුනාගත්තත් ඔහුගේ සිත වැඩී තිබුණේ ඉන් ඔබ්බට ගිය දිශාවකට. ඒ තමයි දේපල කෙරෙහි තිබූ අසීමිත ජන්ද රාගය. එයට අදාලව ප්‍රතිසන්ධිය සකස්‌ වුණා. සුගතියක සැප විඳීමට අවශ්‍ය පරිසරය ඔහු ජීවිතය තුළින් ගොඩනගාගෙන තිබුණත්, සද්ධර්ම ශ්‍රවණය, කල්‍යාණ මිත්‍ර සේවනය, බහුශ්‍රැතභාවය නොමැති වීම හේතුවෙන්ම සැපක්‌ ලෙස අල්ලා ගත්තේ දුකක්‌මයි.

දැන් මේ අමනුෂ්‍ය ලෝකයේ ප්‍රේතයෙක්‌ ලෙස ජීවත්වන මොහු පරදත්තරුප ජීවි ස්‌වභාවයට අයත් ප්‍රේතයෙක්‌. ඔහුට අවශ්‍ය නම් පුළුවන් පිං ලබාගන්න. නමුත් මොහු පිං ගන්නේ නැහැ. මොකද උපාදානය කරගත් දෙය කෙරෙහි තිබෙන දැඩි තෘෂ්ණාව නිසා. මෙවැනි අයෙක්‌ අරමුණු කර ඔබ මෝනතරම් සශ්‍රික ආකාරයට සාංඝිකදානමය පිංකම් සිදුකළත් මේ ප්‍රේත සත්වයා පිං ගන්නේ නැහැ. ඔබ අනුමොදන් කරන පින සුදුසු වෙනත් අමනුෂ්‍යයෙක්‌ වෙතොත් ඔවුන් එය අනුමෝදන්වේවි. එසේ නොවුන හොත් ඔබලාට සැප පිණිස එම පිං හේතුවේවි.

මෙවැනි උපාදානය බලවත්කොට ගත් පරදත්තරූප ජීවි සත්ව කොටස්‌ වලටද එම උපාදානය බිඳ පින් අනුමෝදන් කිරීමට ඔබට හැකියාව තිබෙනවා ඔබද දක්‍ෂ නම්. මොකද ඒ අය පෙර මනුෂ්‍ය ජීවිතයේදී පුරුදු පුහුණු කරපු වඩපු ගුණධර්ම තිබෙනවා ඒ අය තුළ යටපත් වෙලා. ඔබ දක්‍ෂ වෙන්න ඕනෙ ඒවා මතුකර ගන්න පුළුවන් ආකාරයට පිංකම් සිදුකරන්න. ඒ අයට අනිත්‍ය සංඥාවක්‌ වැටහෙන ආකාරයට පිංකම් සිදුකරන්න. භික්‍ෂුව මේ ටික සඳහන් කළේ මියගිය අයගේ ස්‌වභාවයන් අපි අපේ කරගත යුතුනිසා නොවේ. මියගිය අයකු= ගැන සිත සිතා ජීවත්විය යුතු නිසාද නොවේ. එවැනි විෂයන් ඔබ අදාළ කරගත යුතු නැහැ. නමුත් ඔබ මේ ධර්ම මාර්ගයේ නිවරැදිව ගමන් නොකළොත් ඔබට මුණ ගැසෙන අනතුරු ගැන අවබෝධය ලබාදීමටයි මෙම කරුණු සටහන් තැබුවේ. ඒ වගේම ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පිංවත් ඔබලාට දේශනාකරනවා මියගිය ඥාතීන් උදෙසා ජීවත්ව සිටින ඔබ පිංපෙත් අනුමෝදන් කිරීම යුතුකමක්‌ය කියලා. මේ කථාව ඔබ කියවන විට ඔබට වැටහෙන්න ඇති ඔබ දන්දිය යුත්තේ තන්හාව, මාන්නය, දිට්‌ටිය නොවැඩෙන ආකාරයට, ඒවා ක්‍ෂයවෙන ආකාරයට බව. දන්දීම තුළින් ඉහත අකුසල ධර්මයන් වැඩෙනවා නම් එම දානය අර්ථවත් වෙන්නෙ නැහැ. නමුත් එය අපතේ නොයන බව ඔබ ඉහත කථාව අනුසාරයෙන් ඔබ හොඳින් තේරුම් ගත යුතුයි.

ගිහි ජීවිත ගතකරන පිංවත් ඔබලා මූලිකත්වය දෙන්නේ තමාගේ ව්‍යාපාරයට, ගේදොර වතුපිටිවලට, දරුවන්ට, බිරිඳට. ඒවාට නිසි තැන දෙන්න. නමුත් ඔබ ප්‍රධානත්වය දෙන්න අවශ්‍ය සතර අපායෙන් මිදෙමි කියන අරමුණට. තිරිසන් ප්‍රේත ජීවිතයක්‌ ලැබුණත් ඔබට දරුවෙක්‌ බිරිඳක්‌ ලැබෙයි. එහෙත් ධර්මය දැකීමේ අයිතිය ඔබට එහිදී අහිමිවෙනවා. ධර්මය දැකීමේ වරම ඔබට ලැබෙන්නේ මේ ජීවිතයේදීමයි. ධර්මය දැකීම යනු සතර අපායෙන් එතෙර වීමයි.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

Advertisements

3-12-ගස්‌ නගින දෙවියකු වී කුමට…..?

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ….
‘සතර අපායෙන් මිදෙමු’ 12 කොටස

2012-09-23
ගස්‌ නගින දෙවියකු වී කුමට…..?



භික්‍ෂුවට පසුගිය කාලවකවානුවේදී අවස්‌ථා කිහිපයකදීම පිංවතුන් තම නිවසේ, විහාරස්‌ථානයේ පැවති පිංකම්වලදී ලබාගත් ඡයාරූපවල දිව්‍ය ආලෝකයන් තිබෙන බව ප්‍රකාශ කළා. එම ඡයාරූප ගෙනත් පෙන්වුවා. ඇත්තටම ඒවා දිව්‍ය ආලෝක ද කියන්න භික්‍ෂුව දන්නෙ නැහැ. යම් පිංවතෙක්‌ එම ආලෝක නියත වශයෙන්ම දිව්‍ය ආලෝකයක්‌ය කියලා හිතලා ඒ තුළින් සතුටට පත්වෙනවා නම් තව තව පිංකම් කරගැනීමට, සිදු කරගැනීමට යොමු වෙනවා නම් තෙරුවන් කෙරෙහි වඩ වඩාත් ශ්‍රද්ධාව ඇති කරගන්නවා නම් නියත වශයෙන්ම ඒවා දිව්‍ය ආලෝකයන් යෑයි සිතුවට කමක්‌ නැහැ.

දායක ගෙදරක පසුගිය වසරක කඨින පිංකමක්‌ තිබුණා. එදා දවස එම ගෙදර බුදුමැදුරක්‌ වගේ. කඨින වස්‌ත්‍රය සෙසු පූජා ද්‍රව්‍ය සමග බොහෝම ලස්‌සනට තැන්පත් කරලා බොහෝම ශ්‍රද්ධාවෙන් පිංකම සංවිධානය කරලා තිබෙන්නේ. එදා රාත්‍රියේ කඨින පෙරහැර පටන් ගැනීමට පෙර ස්‌වාමීන් වහන්සේලා එම නිවසට වැඩම කරලා පිරිත් සඡ්ජායනයක්‌ පවත්වලා තිබෙනවා. මේ අවස්‌ථාවේ ගන්න සෑම ඡයාරූපයකම දිව්‍ය ආලෝකයන් තිබෙන බවත් එම දායක පිරිස ප්‍රකාශ කළා. මේ දිව්‍ය ආලෝකය දෙස බැලුවහම පිංවතුනට ඉගෙන ගන්න වටිනා පාඩමක්‌ තිබෙනවා. එම පාඩම පිංවතුන්ලාට ගොඩාක්‌ වටින නිසා මෙහි සටහන් තබනවා. අපි පන්සලක්‌ උදාහරණයට ගතහොත් පන්සලට අයත් සතර පේරුවක්‌ තිබෙනවා. මේ සතර පේරුවේ දායක පිරිස්‌වල සිව්පසයෙන් තමයි පන්සල පෝෂණය වෙන්නේ. සතර පේරුවේ වයෝවෘද්ධ උපාසක මෑණිවරු පියවරු බොහෝ වේලාවට පන්සල උපාධානය කරගෙන තමයි ජීවත් වෙන්නේ. ඒ අයගේ ජීවිතයම පන්සල තමයි. පසළොස්‌වක පෝය දවසට සිල් සමාදන් වෙන්න යනවා. නිරතුරුවම පිංකම් සිදුකරනවා. සෑම දවසකම සවසට බෝධි පූජාවට පන්සලට යනවා. පන්සල ජීවිතයෙන් කොටසක්‌ වෙලා. ඉහත සදහන් ආකාරයට පන්සල සමග දැඩි උපාදානයක්‌ සකස්‌ කරගත් පිංවතුන්ලා මියයන මොහොතේ තමන් ජීවිතයෙන් කොටසක්‌ බවට පත්කරගත් පන්සල කෙරෙහි ඡන්ද රාගයක්‌ සකස්‌වීම නිසා එම පන්සල් භූමියේම අල්පේශාඛ්‍ය දිව්‍ය ස්‌වභාවයන් බවට පත්වෙලා පන්සල් වත්තේ කිරි ගසක්‌ උපාදානයකරගෙන ජීවත්වෙනවා. නුග ගසක, බෙලි ගසක, රුක්‌අත්තන ගසක, බුදු මැදුරක ආලෝකවත් දෙවියෙක්‌ දිව්‍යංගනාවක්‌ වශයෙන් ජීවත් වෙනවා.

බලන්න ජීවිත කාලය තුළදීම පන්සල මගේ කරගෙන පිංකම් කරලා එම පිනෙන් අවසානයේදී ගසකට නැගගත් දෙවියෙක්‌ බවට පත්වෙනවා. පිංකම් කරල කරලා අවසානයේදී අපිට වෙන්නේ ආලෝකයක්‌ විහිදාගෙන ගසට නැගලා ඉන්නනම් ඒක හරිම අවාසනාවක්‌. මේ අය ඉහත ආකාරයේ ආලෝකමත් දෙවියෙක්‌ වෙලා පෙර ජීවිතයේදී මනුෂ්‍යයෝ වශයෙන් පන්සලේ පිංකම් කරලා සතුටු වුණා වගේ දැන් අනුන් කරන පිංකම් දෙස බලලා සතුටුවෙනවා. කඨින පෙරහැරක්‌ තිබෙන වෙලාවට මේ අයත් ඒ අවස්‌ථාවට එනවා. නිවසක පිරිත් පිංකමක්‌ සිද්ධවෙන වෙලාවට මේ අයත් එම අවස්‌ථාවට එනවා. නිවසක පිරිත් පිංකමක්‌, සාංඝිකදානමය පිංකමක්‌ තිබෙන අවස්‌ථාවල නිවස පිරිසිදුනම් එම දිව්‍ය ස්‌වභාවයෙන් එම පිංකම් අවස්‌ථාවට පැමිණිලා සතුටට පත්වෙනවා. පිංකම අහවර වුනාහම නැවත පන්සල් වත්තේ කිරිගහට යනවා. දැන් මේ දිව්‍ය ආලෝක වශයෙන් ඔබලාගේ පිංකම් පොළවලදී දකින්නේ කවුද? පිටස්‌තර කවුරුවත් නොවේ. ඔබේම පන්සලේ හැම කටයුත්තකදීම කැපවීමෙන් කටයුතු කළ මියගිය උපාසක උපාසිකාවන්මයි. ඔබලාගේ මියගිය වැඩිහිටි ඥාතීන්මයි. මේ දිව්‍ය ස්‌වභාවයන් මොනතරම් පිංකම් දැකල සතුටු වුවත් මේ අයට මේ දිව්‍ය ස්‌වභාවයෙන් ඔබ්බට යන්න දියුණුවට පත්වෙන්න තිබෙන අවස්‌ථාව අඩුයි. මොකද මේ අය පන්සල උපාදානට කරගෙන ඉන්නේ. ඒ උපාදානය නිත්‍යවූ සැපයක්‌ හැටියට ඒ අය අරගෙන තිබෙන්නේ. ඒ නිසා ආමිසය පැත්තම දකිමින් වඩමින් සිටිනවා. ඇයි පෙර මනුෂ්‍ය ජීවිතයේදී පන්සල මගේ කරගැනීම හේතුවෙන් ආමිසයෙන් ඔබ්බට නොගිය නිසා.

මෙහෙම දිව්‍ය ස්‌වභාවයෙන් පිංකම් දැකලා සතුටුවෙනවා වගේම පන්සලේ තමන් අකමැති දෙයක්‌ සිද්ධවෙනවා දකිනකොට ගැටෙන ස්‌වභාවයට පත්වෙනවා. පෙර මනුෂ්‍ය ජීවිතයේදී පන්සලේ එයා කැමති කළ දෙයක්‌, ගොඩනගපු දෙයක්‌ අයින් කරනවා නම්, වෙනස්‌ කරනවා නම්, ගිහි පැවිදි යමෙක්‌ ධර්ම විනයට පටහැනි යමක්‌ කරනවා නම් මේ දිව්‍ය ස්‌වභාවයන් එම ක්‍රියාවන් දැකලා ගැටෙනවා, ක්‍රෝධ කරනවා, වෛර සිත් සකස්‌කර ගන්නවා. ඒ හේතුව නිසා එම අල්පේශාඛ්‍ය දිව්‍ය ස්‌වභාවයෙන් මිදිල යක්‍ෂ, ප්‍රේත වැනි ස්‌වභාවයන්ට වැටීමේ අවධානම තිබෙනවා. තමන් උපාදානය කරගෙන ජීවත්වෙන පන්සලේ තමන් අකමැති දේ සිද්ධ වෙනකොට වෛරය ක්‍රෝධය සකස්‌ වෙනවා. බලන්න මොනතරම් අපරාධයක්‌ ද කියලා තමන් කරපු පිංකම්වලින් රැස්‌කරගත් පිං අපතේ හරිනවා. මෙහෙම වෙන්නේ අදක්‍ෂභාවය නිසා. පිංකම් කරනවා වගේම ඒවා තුළින් රැස්‌වන කුසලය නිවැරදි ඉලක්‌කය කරා යොමුකරන්නත් ඔබ දක්‍ෂවෙන්න ඕනේ. එහෙම නොවුනොත් පිංකම් කරලා අවසානයේදී පන්සලේ තිබෙන කිරි ගසකට නැගල ඉන්න තමයි අපිට සිද්ධවෙන්නේ. හරියට පොල්ගස්‌ නගින මනුෂ්‍යයෝ වගේ. හැබැයි ඉතින් බැටරි කෑලි තුනක ටොච් එළියක්‌ වගේ ආලෝකයක්‌ නම් තිබෙනවා. ඔය ආලෝකය වෙන්නත් පුළුවන් ඔබ ඔය පිංකම් කරන ස්‌ථානවලදී ගන්නා ජායාරූපවල තිබෙන්නේ. කිසිම හේතුවක්‌ නිසාවත් පිංවත් ඔබ ඔය ආලෝකයක්‌ කෙරෙහි බැඳෙන්ට එපා. එවැනි දිව්‍ය ස්‌වභාවයක්‌ කෙරෙහි චන්දරාගය ඇති කරගන්න එපා. එහෙම කැමත්තක්‌ ඔය වැනි ප්‍රාථමික දිව්‍ය ස්‌වභාවයන් කෙරෙහි ඔබ ඇති කරගතහොත් ඔබ සිදුකරගත් පිංකම් ඔබ විසින්ම අපතේ හැරියා වෙනවා.

මෙන්න මේ කාරණය තේරුම් ගත්ත ලොව්තුරා බුදුරජාණන් වහන්සේ බොහෝම වටිනා ධර්මයක්‌ මහානාම ශාඛ්‍ය කුමරුට දේශනාකරනවා. මේ ධර්මය බොහෝම උපක්‍රමශීලී ධර්මයක්‌. මහානාම කුමාරය බුදුරජාණන් වහන්සේ හමුවට ඇවිත් ‘ස්‌වාමිනි, භාග්‍යවතුන් වහන්ස ගිහි ජීවිත ගතකරන අපි කුමන විහරණයකින් ගත කළ යුතුද කියලා ප්‍රශ්නයක්‌ අසනවා.

එවිට භාග්‍යවතුන් වහන්සේ ‘මහානාම ඔබ මේ විදිහට හික්‌මෙන්න. බුද්ධානුස්‌සතිය වඩන්න,ධම්මානුස්‌සතිය , සංඝානුස්‌සතිය වඩන්න. මහානාම ඔබ ශීලානුස්‌සතිය වඩන්න, ත්‍යගානුස්‌සතිය වඩන්න’ කියලා දේශනා කරලා අවසානයේ පවසා සිටිනවා ‘මහානාම ඔබ දේවානුස්‌සතිය වඩන්න’ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ‘දෙවියෙක්‌ වෙන්න ඔබ කැමති වෙන්න. දෙවියෙක්‌ වෙන්න අවශ්‍ය ධර්මතාවයන් දැන ගන්න. නිරතුරුවම තුසිතය, යාමය, නිම්මාණරතිය, තාවතිංසය, පරනිම්මිතය වැනි අප්‍රමාණ සැප ඇති දිව්‍යතල කෙරෙහි කැමත්ත ඇති කරගන්න. ඒවාට යන්න කැමති වෙන්න. ඒවායේ වැඩසිටින දෙවියන් දිව්‍යංගනාවන් විඳින අප්‍රමාණ සැප මනසින් දකින්න. එම සැපයට ඔබ ලොල්වෙන්න. මේ දිව්‍යතල කෙරෙහි උපාදානය සකස්‌කොට ගන්න’…. යනුවෙන්.

මේ ධර්මය ඔබට ඇසෙන කොට ඔබට සිතෙන්න පුළුවන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දිව්‍යතල වර්ණනා කරලා තිබෙනවා කියලා. මෙතන දිව්‍යතල වර්ණනා කිරීමක්‌ නොවෙයි සිද්ධවෙන්නේ. බොහෝම උපක්‍රමශීලී ලෙස ඔබව සතර අපායෙන් එතෙර කරවීමේ ධර්මයකුයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මුලින්ම ඔබට දිව්‍යතල කෙරෙහි එම දිව්‍ය සැපයන් කෙරෙහි ජන්දරාගය තෘෂ්ණාව ඇති කරවනවා. එහෙම ඔබ තුළ දිව්‍යතල කෙරෙහි කැමත්ත ඇති වුණාට පස්‌සේ ඔබ මොකද කරන්නේ. ඒ කැමැත්ත උපාදානය කරගෙන ඔබ වැඩි වැඩියෙන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව වැඩි දියුණු කරගන්නවා. වැඩි වැඩියෙන් සිල්පද ආරක්‍ෂා කරගන්නවා. වැඩි වැඩියෙන් දන්දෙනවා. ඒවායේ ආනිශංසයන් දකිනවා. මේ ධර්මතාවයන් වැඩි වැඩියෙන් ඔබ වඩන්නේ ඇයි? ඉහත සශ්‍රීක දිව්‍යතලයක සැපවිඳින්න. නමුත් පිංවතුනි ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, ශීලය, දානය ඔබේ ජීවිතයෙන් වැඩි වශයෙන් වඩවා ගන්න කොට ඔබ නොදැනුවත්වම ඔබව සෝවාන් ඵලයට පත්වෙනවා. ඒ කියන්නේ සතර අපායෙන් මිදුණ කෙනෙක්‌ බවට පත්වෙලා ඔබ මාර්ගඵලලාභී දෙවිකෙනෙක්‌ වශයෙනුයි එම දිව්‍යතලවල උපත ලබන්නේ. දැන් ඔබට වැටහෙනවා ඔබට බුදුරජාණන් වහන්සේ දේවානුස්‌සතිය වඩන්නය කියලා කීවේ මෙන්න මේ ජයග්‍රාහී තැනට ඔබව ඔසවා තබන්න. එතකොට මේ දේවානුස්‌සතිය වඩන්න කියන්නේ පන්සලේ, ආරාණ්‍යයේ ජීවත්වන ප්‍රාථමික අල්පේශාඛ්‍ය දෙවියෙක්‌ වෙන්න ප්‍රාර්ථනා කරන්න නොවේ. සශ්‍රීක දිව්‍යතලවල මහේශාඛ්‍ය දෙවියෙක්‌ දිව්‍යංගනාවක්‌ වෙන්න ප්‍රාර්ථනා කරන්න. පන්සලේ රුක්‌දෙවියෙක්‌, ආරක්‍ෂක දෙවියෙක්‌ වෙන්න හිතන්නවත් එපා. ඒවා ප්‍රාථමික තත්වයන්. පන්සල ඇසුරු කරගෙන අවශ්‍ය ගුණධර්මයන්, කුසල් ධර්මයන් වඩන්න. පන්සල තමයි කුසලධර්මයන් දියුණු කරගන්නා මධ්‍යස්‌ථානය. මොනම හේතුවක්‌ නිසාවත් ඔබ පන්සලෙන් ඈත්වෙන්න එපා. පන්සලෙන් ඈත්වෙනවා කියන්නේ ඔබ සතර අපායෙන් මිදීමේ මාර්ගයෙන් දුරස්‌ වෙනවා කියන එකයි. සතර අපායෙන් මිදීම සඳහා පිංවත් ඔබට අත්‍යවශ්‍ය කෙරෙන තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, ශීලය, දානය කියන සාධක ඔබ තුළින් වැඩෙන්නේ පන්සල ඇසුරින්.

මෙම කරුණු ගිහි ජීවිත ගතකරන පවුල් බැඳීම්වලට බැඳුන පිංවතුන් උදෙසායි සටහන් කළේ.

සමහර ගිහි පිංවතුන්ගේ ස්‌වභාවයක්‌ තිබෙනවා අපි දැන් භාවනා කරන්නේ, සමාධිය වඩන්නේ…. ඒ නිසා පන්සල් යන්න ඕනේ නැහැය කියලා. මේ අධිතක්‌සේරුව නිසා තමා තමාටම වරදකුයි කරගන්නේ. පන්සලේ තිබෙන්නා වූ මොනයම්ම හෝ වරදක්‌ නිසා ඔබ තුළ ගැටෙන සිතක්‌ නම් තිබෙන්නේ, ඒ කියන්නේ ඔබ ශීලයෙන් පරිපූර්ණ නැහැ. ශීලයෙන් දුර්වලයි. ඔබ ශීලයෙන් පරිපූර්ණ නම් අනුන්ගේ ශීලය ගැන ගැටෙන්න යන්නේ නැහැ. ගැටෙන්න හොඳ නැහැ.

පසුගිය දවසක භික්‍ෂුවට ගිහි පිංවතෙක්‌ මුණගැසුණා. ඔහු පන්සලේ ඇසුරට නොයන කෙනෙක්‌. ඔහු සිතාගෙන සිටිනවා තමන් මාර්ගඵලලාභී පුද්ගලයෙක්‌ය කියලා. නමුත් ඔහු තුළින් එවැනි කිසිම ලක්‍ෂණයක්‌ විද්‍යාමාන වෙන්නේ නැහැ. ඔහුට තිබෙන්නේ පන්සල ගැන මෙවැනි මතයක්‌.

‘පන්සලේ කරන්නේ ගොඩනැගිලි හදන එකයි. පිංකම් කරන එකයි. ආධාර එකතු කරන එකයි’ කියලා. දැන් බලන්න තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවට පැමිණි කෙනෙක්‌ අකමැතිවෙයිද සම්මා සම්බුද්ධ ශාසනයක්‌ ඇතිවෙලා වසර 2600ක්‌ වැනි කාලයක්‌ ගෙවී ගිය මොහොතක භෞතික පැත්තෙන් හෝ පන්සල මේ ආකාරයෙන් හෝ දියුණුවක්‌ ලබනවට. මේක මේ ජීවිතයේදී නිවන් අවබෝධ කරගැනීමට යන මාර්ගය නොවේ. සතර අපායෙන් මිදීම කරා යන මාර්ගයයි. විහාරස්‌ථානයක ඉදිකෙරන සෑම විහාරාංගයක්‌ පාසාම, සංවිධානය වන සෑම පිංකමක්‌ පාසාම ඒවාට මොනතරම් පිංවතුන්ලා මුදලින් ශ්‍රමයෙන් දායක වෙලා දන්දීමේ ශක්‌තිය ඇති කරගන්නවාද. දන්දීම තුළින්මයි ඔබ තුළ තන්හාව නැති වෙන්නේ. දන්දීමෙන් අපි කුමක්‌ද පුරුදු කරන්නේ. අතහැරීමයි. මේ ජීවිතයේදී හෝ සසර කවදාහරි දවසක ඔබ මේ ඇස මගේ නොවේය කියලා අවබෝධයෙන් අතහරින්න ඕනේ. මේ කන, නාසය, දිව, මනස, කය මගේ නොවේය කියලා අවබෝධයෙන් අතහරින්න ඕනේ. ඇස නිසා සකස්‌ වෙන්නා වූ වේදනාව, හඳුනා ගැනීම, ෙච්තනාව, විඤ්ඤාණය අනිත්‍යයි කියලා ඔබට අවබෝධයෙන් අතහැරෙන්න ඕනේ. අනිකුත් ආයතනයන් බාහිර රූපයන් සමග ඵස්‌සය වීමෙන් සකස්‌ වන පංචඋපාදානස්‌කන්ධයම අනිත්‍ය බව අවබෝධයෙන් දැන ඒවාට ඇති තෘෂ්ණාවෙන් මිදෙන්න ඕනේ. මේ අතහැරීම තමයි ඔබ දන්දීමෙන් පුරුදු කරන්නේ. දැන් ඔබ බලන්න සසර දුකින් එතෙරවීම සඳහා ගිහිපිංවතුන්ලාට දානය මොන තරම් වටිනවාද කියලා. ඒ නිසා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කිසිවෙකුට කියන්න පුළුවන්ද ශාසනයේ පැවැත්ම උදෙසා පරිත්‍යාග කරන එක රුපියලක්‌වත් අනවශ්‍ය දෙයක්‌ය කියලා. සෑදෙන එක ගොඩනැගිල්ලක්‌වත් අනවශ්‍ය ඉදිකිරීමක්‌ය කියලා.

ඔබ අනෙක්‌කෙනා ගැන හිතන්න යන්න එපා. ඔබ පරිත්‍යාග කරන දෙය පරිත්‍යාග කරන්න. පරිත්‍යාගය කරන්නා කුමක්‌ කරනවාද යන්න ඔබ හොයන්න යන්න අවශ්‍ය නැහැ. ඔබ සැබැවින්ම යමක්‌ දන් දුන්නා නම් ඒ දන් දුන්න දේ ගැන සොයන්න යන්නේ නැහැ. මොකද එය දැන් ඔබට අයිති නැති නිසා. ඔබ ඒ දෙය සහමුළින්ම අත්හැරිය නිසා. ඔබට දැන් අයිති දන්දීම පමණක්‌ මිස පසු විපරම් නොවන නිසා. ඔබ මේ අතහැරීමේ සැහැල්ලුව, සතුට භුක්‌ති විඳින්නේ නැතිව, ලැබුණ සැපයට පිටුපාලා, දන් දුන්න දෙයට වෙච්චි දෙය හොයන්න ගිහිල්ලා නැති අකුසලයක්‌ රැස්‌කරගන්නවා.

දන්දීම කළ යුත්තේ සමාජයේ යමක්‌ ඇති පිංවතුන්ලා පමණක්‌ නොවේ. අද සශ්‍රිකභාවයක්‌ ඇතිව යමෙක්‌ ජීවත්වෙන්නේ , සසර තමන් දුන් දානයේ කුසල් ආනිශංස නිසා. සමාජයේ සශ්‍රීම පිංවතුන්ලා වගේම, සශ්‍රීකභාවයෙන් අඩු පිංවතුන්ලාත් දැඩි ලෙස දන් දෙන්න පුරුදුවෙන්න ඕනේ. අපි සමාජයේදී දකින්නේ දුප්පත් අය දන් දෙනවාට වඩා ඒ අය පුරුදුවෙලා තිබෙන්නේ අනුන් දන් දෙන දෙය ලබන්නන් බවට පත්වීමයි. මෙය ඔබ ඔබටම කරගන්න අසාධාරණයක්‌. අනුන්ගෙන් ලැබුණු දෙය වුණත් කමක්‌ නැහැ, ලැබුණු දෙයින් සුළු කොටසක්‌ හෝ කර්මය කර්මඵල විශ්වාසයෙන් දන් දෙන්න. දිනකට රුපියල් දාහක්‌ හම්බකරන පිංවතා දිනකට රුපියල් සීයක්‌ දානය සඳහා වෙන්කරනවා නම්. දිනකට රුපියල් සියයක්‌ හම්බකරන පිංවතා එයින් රුපියල් දහයක්‌ දිනක දානය සඳහා වෙන්කරන්න. මෙහි කුසල් විපාකය ඔබට ලැබෙන්නේ දන් දෙන මුදලේ ප්‍රමාණය මත නොවේ. ඔබ තුළ සකස්‌ කරගන්නා වූ ෙච්තනාව, ශ්‍රද්ධාව මතයි.

පිංවත් මහත්මයෙක්‌ දිනක්‌ භික්‍ෂුවට මෙවැනි කථාවක්‌ පැවසුවා. ‘අපේ ගෙදරට දිනක්‌ හාමුදුරුනමක්‌ වැඩියා ආධාර පත්‍රිකාවක්‌ විකුණන්න. ටිකට්‌ එකක්‌ රුපියල් විසිපහයි. ගිලන් භික්‍ෂූන්ට උපස්‌ථාන කරන්නය කියලා’

මේක අහපු අර පිංවත් මහත්මයා, හාමුදුරුවන්ට දෝෂාරෝපනය කරලා එලවාගෙන. ඒ මහත්මයා ඒ කළ ක්‍රියාව ගැන උදම් අනනවා.

සැබැවින්ම අදාළ හාමුදුරුවෝ කළේ විනය විරෝධී ක්‍රියාවක්‌. ඒ හේතුවෙන් පිංවත් මහත්මයා කරගත්තෙත් අකුසල්සහගත ක්‍රියාවක්‌. ඔබ නිරතුරුවම සමාජය හදන්න යන්න එපා. ශාසනය අතුරුදන්වෙන්න බොහෝම ළඟයි. මේ කෙටි කාලයේ, මේ කෙටි ජීවිතය තුළ ඔබ සනාථ වෙන්න. නොහැදුණු අයගෙන් හැදුණු දුසිල්වත් ලෝකය ඉදිරියේ ඔබ හැදුණු කෙනෙක්‌ වෙන්න. සිල්වතෙක්‌ වෙන්න. මුදල් වංචාකරන ලෝකය ඉදිරියේ ඔබ සැබෑම දානපතියෙක්‌ වෙන්න. ලෝකයා වංචා කරනවාය කියලා ඔබ ඇයි ප්‍රමාද වෙන්නේ. ලබන්නා ගැන නොසිතා ඔබේ පිං පොදිය අර්ථවත් ලෙස වැඩිකරගන්නා ක්‍රමය ගැන සිතන්න. ඔබට හැකියාවක්‌ තිබෙනවා නම් රුපියල් විසිපහක්‌ වියදම් කරලා ආධාර පත්‍රයක්‌ ගන්න, එය සංඝයා උදෙසා කළ පූජාවක්‌ය කියලා සතුටුවෙන්න. එහෙම බැරිනම්, බොහොම සුහදව කථාකරලා, මුදල් නැතිබව එම හාමුදුරුවන්ට ප්‍රකාශ කරලා පිටත්කර හරින්න. සතර අපායෙන් නොමිදුන මනුෂ්‍යයා, සැමවිටම අන්‍යයන් සතර අපායට වැටෙන ස්‌වභාවයේ කටයුතුමයි සිද්ධකරන්නේ. ඒ අය මාරයාගේ වසඟයේ සිටින පිරිස. මාරයාගේ කැමැත්තයි ඒ අය අතින් සිද්ධවෙන්නේ. ඒ අය මාරයාගේ තුරුළට ගියදෙන්. පිංවත් ඔබ මේ යථාර්ථය අවබෝධ කරගෙනයි කටයුතු කළ යුත්තේ.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

3-11-සමාධියෙන් දුටු අකුසල් කන්දක්‌

2012-09-16
සමාධියෙන් දුටු අකුසල් කන්දක්‌



ආරාණ්‍යවාසී භික්‍ෂුවක්‌ සවස දෙකට පමණ සමාධියෙන් පසුවෙනකොට සද්ධන්ත අමනුෂ්‍යයෙක්‌ දර්ශනය විය. මේ අමනුෂ්‍යයා භික්‍ෂුවට දර්ශනය වූයේ ඔහුගේ ඉඟටියෙන් පහළ කොටස පමණි. ඒ කියන්නේ කකුල් දෙක පමණකි. කකුල් දෙකේ උස අඩි විස්‌සක්‌ පමණ ඇති. කකුල් දෙක ශක්‌තිමත් මිනිසකුගේ ස්‌වභාවයෙන් යුත් අතර ඇල්සේෂන් බල්ලකුගේ ඇඟේ ඇති දිග රෝමයන් සේ දැඩි කළු පැහැති රෝමවලින් කකුල් දෙක පිරී තිබිණි. මහා බියකරු රූපයකි. මෙම අමනුෂ්‍යයාගේ ඉඟටියෙන් පහළ කොටස දර්ශනය නොවුයේ ඇයි ද? යන්න භික්‍ෂුව නොදනී. මෙවැනි අතිශය බියකරු අමනුෂ්‍යයන් අකුසල් කඳු වගේය. අතීතයේ කරන ලද පාපකර්මවල බලවත් බව නිසා මොහුට මේ බියකරු බව, සද්ධන්ත බව ලැබී ඇත. මොහු නැවත නැවත කරන ලද අකුසල හේතුවෙන් මෙම බියකරු බව සද්දන්ත බව වැඩිවනු ඇතැයි භික්‍ෂුව අනුමාන කරයි.

මේ ආරණ්‍ය බිම්වල කරක්‌ ගසමින් ආරණ්‍යයත් එහි වැඩ සිටින භික්‍ෂූන්වත් පීඩනයට පත්කිරීම, විකෘති මනෝභාවයන් ඇතිකිරීම, ධර්ම ශක්‌තියෙන් හීන භික්‍ෂූන්, කැපකරුවන් ග්‍රහණයට ගැනීමෙන් ඔවුන් හරහා ආරණ්‍යය අපිරිසිදු අවුල් සහගත ස්‌වභාවයන්ට පත්කිරීම මෙම අමනුෂ්‍යයන්ගේ කැමැත්තය. මෙම අමනුෂ්‍යයාගේ දේහ විලාශය දුටුවිට මොහුගෙන් ගැලවීමට ශක්‌තිමත් ශීලයකින් හික්‌මීම ඇතිකරගත් භික්‍ෂුවකට මිස ඉන් පහළ අයකුට නම් නොහැකිය. මෙවැනි විශම බලවේගවල බලපෑම නිසා එක්‌කෝ ලෙඩ රෝග, මානසික දුර්වලතා, කලකිරීම් ද චංචල මනෝභාවයන් නිසා ගැටෙන ස්‌වභාවයන්, අපිරිසිදුකම වැනි මේවා සිදුවීම පුදුමයක්‌ නොවේ. පුදුමය වන්නේ මෙසේ සිදුනොවුණා නම්ය. මොකද මේ නිරිසතා එතරම්ම බියකරුය. මේ මිත්‍යදෘෂ්ඨික බලවේග ශාසනය රැකෙනවාට විරුද්ධය. වර්තමානයේ ශාසනයේ ඇති සංඝරත්නයේ අඩුව නිසා සුදුසු නුසුදුසු පිsරිසද මහණ පැවිදි වෙයි. පැවිද්දට සුදුසු පිංවත් පිරිසද පැවිදිවීමෙන් පසුව අතහැරීම පසෙක තබා රැස්‌ කිරීමට පෙළඹේ. ශීල, සමාධි භික්‍ෂු දැනුම මාන්නය වපුරාගනී. මේවා මේ විෂම බලවේගවලට මහා ශක්‌තියකි. මෙම විෂම බලවේග ආරණ්‍යම ඉලක්‌ක කරගන්නේ සැබෑ සම්බුද්ධ ප්‍රතිපදාව මරා දැමීමටය.

මෙම සටහන තැබුවේ ඔබට නොපෙනෙන ලෝකයේ බියකරු ජීවිතයක ස්‌වභාවය දැනගැනීමටය. ඒ තුළින් ඔබට පාඩමක්‌ ඉගෙන ගැනීමටය. මේ සද්ධන්ත අමනුෂ්‍යයා කවදාහරි දවසක ඔබ සේම මිනිසකු ලෙස මනුලොව ජීවත් වූවෙකි. එම ජීවිතයේදී වැඩූ අකුසල් නිසා මෙම ආත්මය ලැබී ඇත. මෙම ආත්මය තුළදීම මොහු රැස්‌කරන්නේ බියකරු අකුසල්මය. මොහු කුසල් හඳුනන්නේ නැත. මේ ආකාරයෙන් භික්‍ෂූන්ව දුකට පීඩනයට හෙළීමෙන්, සංඝභේද ඇති කිරීමට පරිසරය සකස්‌ කිරීමෙන් මොහු අතින් ආනන්තරීය පාපකර්මය ද සිදුවිය හැකිය. දැන් හිතන්න මෙම අමනුෂ්‍යයාට සංසාරය මොනතරම් දුරවෙයිද විෂම වෙයිද කියලා. ඒ වගේම මෙවැනි අසරණයන්ට අනුකම්පා කරලා මෙය කියවලා පිංවත් භික්‍ෂුන් වහන්සේලා ද අවබෝධකර ගන්න ඕනේ භික්‍ෂූත්වය තුළ ශීල, සමාධි, දැනුම මාන්නයෙන් තොරව සැබෑ අතහැරීමේ භික්‍ෂු ප්‍රතිපදාව තුළ හික්‌මෙන්න. එසේ නොවුණහොත් එක පැත්තකින් එම බිහිසුණු අමනුෂ්‍ය බලවේගවලට තවතවත් අකුසල් රැස්‌කර ගැනීමට අවස්‌ථාව ලබා දෙන අතර ඔබද දුර්වල පිංවත් භික්‍ෂුවක්‌ ලෙස කවදාහරි දවසක මේ බියකරු අමනුෂ්‍යයාගේ පිරිවර සමාජිකයෙක්‌ වීමටද ඉඩකඩ නැතිවා නොවේය යන්න ඔබ සිහිකළ යුතුය.

ඔබේ කුටිය අවට පරිසරය, ආරණ්‍ය පරිසරය, චීවරය, අඳනය, ශරීරය, වැසිකිළිය, නියපොතුටික පවා පිරිසිදුව තබාගන්න. අවුල්වෙන්න දෙන්න එපා. පරණවූ දෙය, නරක්‌වූ දෙය, අනවශ්‍ය දෙය රැස්‌කොට තබන්න එපා. විනාශකර දමන්න. අපිරිසිදු සතුන් ඇති කිරීමෙන් වළකින්න. බුදු පහන, බුදු කුටිය අපිරිසිදු වෙන්න දෙන්න එපා. අඳුරු වෙන්න දෙන්න එපා. මේවා අපිරිසිදුයි කියන්නේ සිත අපිරිසිදු නිසාය. අන්තවාදී නොවී, සැබෑලෙස ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකර වදාළ සුන්දර භික්‍ෂුවක්‌ වීමට අවශ්‍ය ගුණධර්ම ඔබ තුළද වගාකරගෙන ඔබ සැනසෙනවා සේම විෂම අමනුෂ්‍ය බලවේගවලටද උපකාරවී ඔවුන්ගේ අකුසල් වැඩි නොකිරීමට ඔබ දක්‍ෂවෙන්න.

මේ ගමනේදී නිවීමේ මග අවහිර කිරීමට මාර බලවේග, බියකරු අමනුෂ්‍ය බලවේග ශීල්වත් වේෂයෙන්ද, අසරණ වේෂයෙන්ද, ගුරු ගෝල වේෂයෙන්ද, ඔහුගේ ගැලවුම් කරු වේෂයෙන්ද ඔබ ඉදිරියට එනු ඇත. දැනුම පාණ්‌ඩිත්‍ය වේෂයෙන්ද, ලාභ සත්කාර වේෂයෙන්ද ඔබ ඉදිරියට එනු ඇත. මේවා නිවන් මග බාලකරන සියුම් ධර්මතාවන්ය. මෙම බලවේග කෙරෙහි නොඇලී පෙරට යැම සංකීර්ණය. මොකද ඉහළ බලවේග පසුපස පෙර සදහන් කළ පරිදි සද්ධන්ත විෂම මිත්‍ය, දෘෂ්ඨික අමනුෂ්‍ය බලපෑම් දැඩිලෙස තිබෙන නිසාය. මොන පැත්තෙන් බැලුවත් මාර බලවේග අපට දැල එලා ඇත. මෙසේ මාර බලවේගවලට ඔබ අසුවන්නේ තවමත් ඔබ මාරසිත් අනිත්‍ය වශයෙන් දැක අතහැරීමට අදක්‍ෂ නිසාය. මෙය සටහන් කරන භික්‍ෂුව මෙම සද්ධන්ත අමනුෂ්‍යයාගේ අඩ රුව දුටු මොහොතේදීම, එම සිත අතහැරදැමීය. දුටුවේ රූපයකි. එහි ස්‌වභාවය අනිත්‍යය. එපමණකින්ම එය අවසන්ය. ඔබට පාඩමක්‌ ඉගෙන ගැනීමට පමණක්‌ සිද්ධිය සටහන් තබන ලදි. මෙවැනි විෂම, බියකරු, සද්ධන්ත අමුනුෂ්‍යයන්ගෙන් ගහණ, නොපෙනෙන ලෝකයේ වියරු ස්‌වභාවය දැක, ඔබ අනුනට මෛත්‍රිය කරුණාව දැක්‌වීමට පෙර මුලින්ම තමන්ට කරුණාව දක්‌වන්න. සැබෑ පරාර්ථය උදෙසා වර්තමානයේ ඔබ ආත්මාර්ථාකමී වෙන්න. ඔබ මෙහිදී අත්මාර්ථකාමී විය යුත්තේ කල්‍යාණ මිත්‍රයකු ගුරුවරයකුගේ උපදෙස්‌ මත මිස අවිචාරයෙන් නොවේ. මොකද මාර බලවේග ඔබේ ආත්මාර්ථකාමී බවද තවත් ඇලීමකට ගැටීමකට යොමුකොට ඔබව අසරණ කරන නිසාය. ඉහත ස්‌වභාවයන් ඔබ නිවන් මග වැඩීමේදී අවබෝධ නොකරගතහොත් ඔබ ද, ඔහු ද නැවත නැවත ඉපදෙනු මැරෙනු ඇත.

3-10-දෙමාපියන් -දරුවන් වෙනුවෙන්

2012-09-09

දෙමාපියන් වෙනුවෙන් දරුවන්ට
දරුවන් වෙනුවෙන් දෙමාපියන්ට

‘සතර අපායෙන් මිදෙමු’ 10 කොටස මේ සටහනේ තැනක සඳහන් කළා, මේ ලෝකධාතුවේ කෲරතර දුක්‌ විඳින සත්ත්වයන් පිළිබඳව. ආනන්තරිය පාපකර්ම කියන බලවත් අකුසල් හේතුවෙනුයි, අවීචි මහා නිරයේ නිරිසතුන්ගේ දුක මේ තරම් තියුණු. අවීචි මහා නිරයේ දුක්‌විඳින එක නිරිසතෙක්‌ සිටිනවා. ඔහු දේවදත්ත. අකුසලය, ජීවිතය කොටගත් කෙනෙක්‌. ජීවිතය පළිගැනීම, ද්වේෂය උදෙසාම මෙහෙයවූ කෙනෙක්‌. දුර නොබලා, ළඟ පමණක්‌ බලපු කෙනෙක්‌. අකුසල් සංස්‌කාරයන්ගේ උල්පතක්‌. ඒ උල්පතෙන් නිරතුරුව දුක වැගිරෙනවා. වැගිරෙන්නේ ජලය, කඳුළු නොවේ ගින්දරයි. එය ලෝකධාතුවේ අතිශය වේදනාකාරී දුකක්‌. ඔබත්, මමත් දිවා රාත්‍රී දෙකෙහිම මෙනෙහි කළ යුතුවූ දුකක්‌. මේ උතුම් මොහොතේ සතර අපායෙන් නොමිදුනහොත් අපටත් අනාගතයේ උරුමවූ දුකක්‌.

භික්‌ෂුවක්‌, උතුම් සාමාධිය තුළින් දේවදත්තව අරමුණු කොට බලනවා. දේවදත්ත අවීචි මහ නිරයේ සිටයි භික්‌ෂුවට දර්ශනය වෙන්නේ. මේ නිරිසතාගේ බෙල්ලෙන් ඉහළ කොටස්‌ පමණයි, භික්‌ෂුවට පෙනෙන්නේ. හිස මුඩු වූ මිනිස්‌ මුහුණක්‌. කිඹුල් කටක්‌. ඒ කියන්නේ කිඹුල් කටක්‌ සහිත මිනිස්‌ මුහුණක්‌. මනුෂ්‍යාගේ ස්‌වභාවයෙන්ම සිටිනවා. අඩියක්‌ පමණ දිග, අඟල් 8 ක්‌ පමණ පළල කිඹුල් කටකුයි තිබෙන්නේ. මේ නිරිසත්ත්වයා සෑම නිමේෂයකදීම ශරීරය තුළින් නැගෙන ලොකු කළගෙඩියක ප්‍රමාණයේ ගිනි ජාලාවක්‌ කිඹුල් කටෙන් පිටකරනවා. අපි නාසයෙන් ශරීරය තුළට ගන්නා වාතය නැවත නාසයෙන් පිටකරනවා වාගේ, මේ නිරිසතා කිඹුල් මුඛයෙන් සෑම තත්පරයකදීම කළගෙඩියක ප්‍රමාණයේ ගිනි ජාලාවක්‌ පරිසරයට මුදා හරිනවා. අපි හුස්‌ම රැල්ලක්‌ ශරීරය තුළට ගන්න කොට මුළු ශරීරයටම එය දැනෙමින් ප්‍රබෝධයට පත්වෙනවා. එනමුත්, මේ දේවදත්ත නිරිසතාට, අකුසලය තුළින් උපන්නාවූ ගිනි ජාලාව, ශරීර අභ්‍යන්තරය දවමින්, මුඛය ඇතුළතද පිළිස්‌සෙමිනුයි පිටවෙන්නේ. මෙය නැවත නැවත සිද්ධ වෙනවා, කොටින්ම ඔහුගේ ප්‍රශ්වාසය සිදුවෙනනේ ගිනි ජාලාවකින්. ගිනි ජාලාව මුඛයෙන් පිටවෙන මොහොතේ මේ නිරිසතා දැඩි මරණීය වේදනාවකට පත්වෙනවා. එය එම නිරිසතාගේ මුහුණේ විද්‍යමානවෙන තියුණු ඉරියව්වලින් හොඳින් පෙනෙනවා. මේ නිරිසතාට කිඹුල් කටක්‌ පිහිටා තිබෙන්නේ වැඩි ගින්දර ප්‍රමාණයක්‌ පිටකිරීමට සහ, වැඩි අවකාශයක්‌ මුඛය පිළිස්‌සීමේ වේදනාව දැනෙන්න. මොහුට මනුෂ්‍යයකුට තරම් කුඩා කටක්‌ තිබුණානම්, කුඩා ගින්දරක්‌ තමයි පිටවෙන්නේ. පිළිස්‌සෙන්නේ කුඩා අවකාශයක්‌. අකුසලයේ බලවත් භාවය නිසා, වැඩිපුරම වචනයෙන් කරගත් අකුසල් නිසාදෝ, මුඛය වැඩි දුකක්‌ විඳීමට අවශ්‍ය හැඩයට පිහිටා තියෙනවා. මොහු ඈනුමක්‌ අරින්න වාගේ වේදනාවෙන් කිඹුල්කට හොඳින් විවෘත කරනවා. ඒ එක්‌කම පිටවෙන්නේ ගින්දර ජාලාව. දේවදත්ත මේ මොහොතේත්, තවත් කල්ප ගණනාවකුත් මේ කෲරතර දුක විඳීවි. වාසනාවන්ත පිරිසක්‌ අතර ඉපැදුන අවාසනාවන්ත මනුෂ්‍යයෙකි දේවදත්ත.

පින්වත් ඔබත්, ධර්මයේ සන්දිට්‌ඨික ගුණය පවතින මේ උතුම් අවස්‌ථාවේ ඉපැදුන අවාසනාවන්තයෙක්‌ වෙන්න එපා. මේ අවීචි මහ නිරයට අයත් අකුසල් වලින් එකක්‌ තමයි දෙමාපියන් මැරීම. මව්පියන් ඝාතනය නොකළත්, වර්තමාන සමාජයේ දෙමාපියන්ට මානසිකව මරණීය වේදනාවන් දෙනවා. මහළු නිවාස, දෙමාපියන් නොසලකා හැරීම, සේවකයන් ලෙස වැඩ ගැනීම, සමාජය තුළ හුඟක්‌ සිද්ධ වෙනවා. මේ අකුසල් අවීචි මහ නිරයට අයත් නැතිවුණාට, මේවායේ විපාක බොහොම බලවත්. මවගෙන් බීපු කිරි වෙනුවෙන් ඔබ මවට පෙරළා කෘතවේදී නොවුණහොත් අනිවාර්යයෙන්ම කිරි වෙනුවට ගින්දර බොන්න වෙනවා. අම්මා කෙනෙකුගේ රුධිරය කිරි බවට පත්වුණේ, කරුණාව නිසාමයි. එවන් ‘කරුණාවක්‌’ ඔබ මහලු මඩමක ගාල් කරනවා නම්, නොසලකා හරිනවා නම්, සේවිකාවක්‌ හැටියට දකිනවා නම්, අම්මා තාත්තා පිච්චෙන වේදනාවේ දුක්‌ගිනි වලින් ඔබත් කවදාහරි දවසක පිච්චෙනවාමයි. සංස්‌කාරයෝ බොහෝම බියකරු බව නැවත මතක්‌ කරනවා. අඹුදරුවන් සමග පවුල් ජීවිතයක්‌ ගතකරන ඔබ, අම්මා තාත්තාට දිය යුතු තැන, කොතැනද කියලා සිතන්න යන්න එපා. ඔබ ඔය තැනට පැමිණියේ අම්මා තාත්තා නිසා කියලා හිතන්න දක්‌ෂ වෙන්න. අම්මා කෙනෙක්‌, තාත්තා කෙනෙක්‌ කියන්නේ ඉල්ලමක්‌. ඔබගේ සැපයට අවශ්‍ය කළමනා ලබාදෙන ඉල්ලමක්‌. ඔබ දක්‌ෂ වෙන්න ඒ ඉල්ලම සුවසේ ගරමින්, භවයේ සැපයට අවශ්‍ය කලමනා එකතුකර ගන්න. වැඩිකාලයක්‌ ඒ ඉල්ලම පවතින්නේ නැහැ. එය මැරිලා යනවා. ඒ නිසා ඔබ ඉක්‌මන් වෙන්න. ඔතැනයි සැබෑම සැපය උපදවන මැණික්‌ දියමන්ති තියෙන්නේ. අපි මහපොළව හාරලා මැණික්‌ පතලක්‌ බැස්‌සොත්, සැම මොහොතකම දුකමයි සකස්‌ වෙන්නෙ. මැණික්‌ ලැබෙන්න ලැබෙන්න තෘෂ්ණාව සහ බියමයි සකස්‌ වෙන්නෙ. සතර අපායට යන මාර්ගයයි සකස්‌ වෙන්නෙ. ඒත් අම්මා තාත්තා කියන ඉල්ලම ගරන්න ගරන්න පින සහ කුසලයමයි සකස්‌ වෙන්නෙ. මව්පිය උපස්‌ථානය තුළ මේ ලෝකධාතුවේ ඉහළම ලෞකික සැපය වන ශක්‍රයා වීමේ අවස්‌ථාව සැඟවී තිබෙන බව ලොව්තුරා බුදුරජානන් වහන්සේ දේශනා කරනවා.

අම්මා තාත්තාට බැරි අවස්‌ථාවක්‌ පැමිණියොත්, ඒ දෙමාපියන්ගේ අසූචි මුත්‍රා ටිකක්‌ ඔබේ දෑතේ නොගෑවුණොත්, ඔබ අම්මා තාත්තාට ණය නොවූ දරුවෙක්‌ වෙන්නේ නැහැ. අම්මා තාත්තා නමැති මැණික්‌ ඉල්ලම හඳුනා නොගත් අන්ධයෙක්‌ වෙනවා ඔබ. එවැනි අන්ධ භාවයට පත්වූ දරුවන්ගේ දෙමාපියන් තමයි වැඩිහිටි නිවාසවල සිටින්නේ. අම්මා කෙනෙකුගේ අසූචි මුත්‍රා කියන්නේ ඉතා සුන්දර දෙයක්‌. ඒ අසූචිවල, මුත්‍රාවල ඔබව ශක්‍ර දෙවියා බවට පත්කිරීමට අවශ්‍ය කුසල් සැඟවිලා තිබෙනවා. භවයේ සැප නමැති මැණික්‌ සොයන්නා, අම්මා තාත්තා නමැති ඉල්ලම සුවසේ ගරා ගන්නවා. මේ භික්‌ෂුව ගිහි කාලයේදී, අම්මා කියන ඉල්ලමෙන් ඇතිතාක්‌ මැණික්‌ ගරාගත් දරුවෙකි. අම්මා නැමැති ඉල්ලමෙන් ගරාගත් කුසල් ශක්‌තිය තමයි, අයෝමය ශක්‌තියක්‌ වෙමින්, භික්‌ෂුව මේ මොහොතේ ඉන්නා තැනට ඔසවා තබන්නට මාර්ගය වූයේ. ඒ නිසයි අත්දැකීමෙන්ම කීවේ අම්මාගේ අසූචී මුත්‍රා, හරිම සුන්දරයි ආශ්වාදනීයයි කියලා. ඒ සුන්දරත්වයයි ධර්මයේ සැබෑ සුන්දරත්වයට අවශ්‍ය කුසල් සංස්‌කාර මෝදුකර දුන්නෙ. මේ දෑත් වල අම්මාගේ මුත්‍ර බැරල් ගණනක්‌ තැවරිලා ඇති. අම්මාගේ මුත්‍ර අසූචී තැවැරුණු රෙදි ‘අප්‍රමාණ ප්‍රමාණයක්‌’ මේ දෑත් වලින් පිරිසිදු කොට ඇති. ඒ දෑත් වලින්මයි, ඔබට මේ සටහන් ලියන්නේ. ඒ නිසාමයි මේ සටහන් පිංවත් ඔබට අර්ථවත් යෑයි හැඟුdනා නම් අර්ථවත් වූයේ. සුන්දර යෑයි හැඟුනා නම් සුන්දර වුයේ.

මේවා හේතු ඵල ධර්මයන්. අම්මාගේ ජීවිතය දුකෙන් හීන කොට ජීවත් කිරීම තුළින්, ලබාගත් ජීවිතයේ සුන්දර අසිරියයි, භික්‌ෂුව මේ මොහොතේ අත්විඳින්නේ. භික්‌ෂුව අතීතයේදී අම්මා නමැති කුසල් ඉල්ලම සුවසේ ගරා ගත්තේ සක්‌දෙව් සැප. සක්‌විති රජ සැප, බලාපොරොත්තුවෙන් නොවේ. තවත් මේ භවයේ මව්කුසක ප්‍රතිසන්ධිය එපාය කියන බලාපොරොත්තුවෙන්මයි. අම්මා කියන්නේ මෙවැනි දුකක්‌ නම්, තවත් එවැනි අම්මා කෙනෙක්‌ එපාය කියන බලාපොරොත්තුවෙන්. අම්මා තුළින්මයි අම්මා කවුද යන්න ධර්මානුකූලව විනිවිද දකින්න පුළුවන් වුණේ. ‘අම්මා’ කියන රූපය, ගුණය කෙරෙහි ඇතිකොටගත් ආශ්වාදය හේතුවෙන් මතුවුණාවූ, ආදීනවය දෑසින් දකිමින්ය, දැතින් ස්‌පර්ශ කරමින්ය, අම්මා ගැන නිස්‌සරණ සිතිවිලි සකස්‌ කොට ගත්තේ. අම්මාගේ ජීවිතය කමටහනක්‌ කරගත්තා වගේම, ඇයට මතක්‌කොට දුන්නේ, ‘අම්මෙ, ඔය ඇස අනිත්‍යයයි’ කියලා, ‘අතීතයේ ඔයාට තිබුණ ලස්‌සන සුන්දර රූපය වැහැරිලා, රෝගී වෙලා, අසරණ වෙලා….’ කියන කාරණයයි. අනිත්‍ය සංඥාවන් වැඩෙන දිශාවටයි සියල්ල කියා දුන්නේ. ඇය බොහොම සාවධානව අසාගෙන සිටියා. දරුවෙක්‌ වශයෙන්, මවක්‌ පෙවූ කිරිවල වටිනාකම ගෙවා හමාර කළා, අම්මා ජීවත්ව සිටියදීම. මවට තිබූ ණයකාරත්වයෙන් මිදෙන කොට, අයෝමය ශක්‌තියක්‌ ලෙසින් ජීවිතය තුළින් ධර්මය මෝදු වෙන්න පටන් ගත්තා. අම්මා කියන අර්ථයට මොන තරම් දෙයක්‌ කරන්න පුළුවන්ද? මේ ජීවිතයේදී ඔබේ සතුට ඔබේ අම්මා තාත්තා උදෙසා කැප කරන්න. ඔවුන් සතුටු වෙනවා දකිමින් ඔබ ජීවත් වෙන්න. මගේ අම්මා රෝගීභාවය නිසා කනස්‌සල්ලෙන් වේදනාවෙන් පසුවෙන වේලාවන්හිදී මම කළේ පොඩි දරුවකු ලෙසින් ඇගේ පියයුරු වලින් කිරි උරා බීමයි. ඔබට එකපාරටම මේ දෙය අදහගන්නට, සිතාගන්නට බැරිවේවි. ඒත් එහෙම කිරීමට හේතුව ඇයි කියා කියන්නම්.

ඒ පියවුරුවල කිරි තිබුණේ නැහැ. ඒවා වැහැරිලා, වයෝවෘධ වෙලා, අසරණ වෙලා තිබුණා. ඒත් මට අපුලක්‌ දැනුණේ නැහැ. ඇය පුරා හත් වසරක්‌ අංශභාගය රෝගයෙන් පෙළෙමින් සිටියා. ඇයට වචන කතාකිරීමට, ඇවිදීමට පුළුවන් කමක්‌ තිබුණේ නැහැ. ඒත් ඇය නිහඬව, ඇයගේ ජීවිතය අනිත්‍යභාවයට පත්කරවමින්, මට අනිත්‍යයේ අර්ථය, ඇගේ ජීවිතය තුළින්ම කියා දුන්නා. මෙවන් ගුණයක්‌ හඬනවා දකින්න, දැස්‌වල කඳුළු තිබෙනවා දකින්න මම කැමැති වුණේ නැහැ. මට අවශ්‍ය වුණේ ඇයව හිනස්‌සන්නයි. ඒකයි මට අවුරුදු 40 වයසේදී මම ඇයගේ පියයුරුවලින් කිරි උරාබොමින් ඇයව හිනැස්‌සුවේ. මම පොඩි දරුවකු බවට පත්වෙමින්, තවමත් සිටින්නේ එදා ඈ වටා කිරි සුවඳට දැවටුනු පුංචි පුතුම බව දැනෙන්නට සලස්‌වමින් ඇයව සතුටට පත්කළා. පුංචි වයසේදී මා ඇගෙන් ඈත් නොවී ඈ ළඟම රැඳුනේ යම්සේද, දැනුත් ඇගෙන් ඈත්ව නැති බව, ඇයව ඈත් කර නොමැති බව මම ඇයට හැඟෙන්න සැලැස්‌සුවේ එහෙමයි. අම්මා දරුවකුගේ හැසිරීමෙන් තුටුවන්නේ කොහොමද කියන ඉව මට තිබුණා. අම්මාව සතුටට පත්කළාවූ, ඇයට දෝමනස්‌ස සහගත සිතක්‌ නැගෙනු වෙනුවට ඇයව සිනහගැන්වූ කුසලයයි මා මේ මොහොතේ සතුටින් ගෙවන්නේ.

අම්මාගේ කඳුළක මහා වටිනාකමක්‌ තිබෙනවා. අම්මාගෙන් බිව් කිරි උගුරක යම් සේ මනුෂ්‍යත්වයක්‌ කැටිවී තිබුණාද, අම්මාගේ කඳුළුත් මනුෂ්‍යත්වයෙන්මයි ඉපැදිලා තියෙන්නෙ. අම්මා කෙනෙක්‌ හඬනවා කියන්නේ, මනුෂ්‍යත්වය හඬනවා කියන කාරණයයි. ඒ නිසා අම්මාගේ දැස්‌වලට කඳුළක්‌ උනන්න මම ඉඩදුන්නේ නැහැ, කවදාවත් දන්නා තරමින්. මට මතකයි අම්මා මියයාමට අවුරුදු හතකට පෙරාතුව දිනයක, රාත්‍රී රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය මහත්වරුන් ප්‍රකාශ කළා, ‘රෝගියාගේ හෘද ස්‌පන්දනය ඉතා දුර්වලයි. තව මොහොතකින් අම්මා මියයයි. ඒ නිසා අනෙක්‌ දරුවන්ට අවශ්‍ය නම් බලලා යන්න කියන්න’ කියලා. මට මතකයි, එදා මුළු රාත්‍රියම දැඩි සත්කාර ඒකකයේ ආලින්දයේ පුටුවක්‌ මත වාඩිවී මම සත්‍ය ක්‍රියාවක්‌ සිදුකළා. සංසාරයේ මෙතෙක්‌ පැමිණි ගමනේදී මා කළා වූ කුසල්වල බලයෙන්, මේ ජීවිතයේදී මා සිදුකර ගන්නා වූ කුසල්වල බලයෙන්, මා අනාගතයේදී කිරීමට බලාපොරොත්තු වෙන්නාවූ කුසල්වල බලයෙන්, අම්මාට ජීවිතය ලැබේවා කියලා. ‘ඒ කුසල් කිසිවක්‌ මට එපා, ඒවා අම්මාටම අයිති වේවා’ කියලා. වෙන කරන්න දෙයක්‌, කියන්න දෙයක්‌ තිබුණේ නැහැ. දැඩි සත්කාර ඒකකයේ මවට සවිකර තිබූ හෘද ස්‌පන්දන යන්ත්‍රය දැඩි අක්‍රමවත් ආකාරයකටයි සටහන් නිකුත් කළේ. මරණය පෙනි පෙනී අම්මාට ජීවිතය ලැබුණා. නමුත් අංශභාග රෝගියෙක්‌ හැටියට දරුවෙක්‌ හැටියට සත්‍ය ක්‍රියා කළ නිසා නොවේ ඇයට ජීවිතය ලැබුණේ. එය ඇයගේ සංස්‌කාර වල ස්‌වභාවයයි. එම දෙය එහෙම වෙන්න තිබුණා. මන්ද, මගේ කුසල් සංස්‌කාර වල බලවත් භාවය නිසා. එදා පටන් වසර හතක්‌ පමණ ඇය මට කමටහනක්‌ වුණා, වර්තමානයේ භික්‌ෂුව සිටින තැනට එන්න. මට හැම වේලාවකම දකින්න දක්‌ෂභාවය තිබුණා, අම්මා ලෙඩවුණේ මා උදෙසාමයි කියලා. මොකද, අම්මා නිරෝගිව ගතකල වසර හැට හතරේදීම. ඇගෙන් මම ඉගෙන ගත්කේ ලෝකය ගැන, ජීවිතය ගැන පමණයි. එහෙත් අම්මා රෝගීව සිටි හත් වසර තුළ මම ඇයගෙන් ඉගෙන ගත්තේ, ධර්මය ගැන. අනිත්‍ය ගැන. මේ කාරණය සටහන් කිරීම තුළින් භික්‌ෂුව පින්වතුන් හට කියන්න උත්සාහ කරන්නේ, ජීවිතය ඉදිරියට පැමිණෙන හොඳ නරක දෙකම සමසිතින් පිළිගෙන ඒවා නිසා පැමිණෙන අභියෝග ජයග්‍රහණය උදෙසාම යොමුකරන්න, දක්‌ෂ වෙන්න කියලයි.

අම්මා සතුටින් තියලා අම්මා සිනහවෙනකොට, ඒ සිනහව මම දැක්‌කේ මල් වැස්‌සක්‌ වාගේ. ඒ මල් වැස්‌සට මගේ සිතිවිලි තෙමෙද්දී, පුදුමාකාර මනුෂ්‍යත්වයකින් මගේ ජීවිතය පිරුණා. ඒ මනුෂ්‍යත්වය පුරවාගත් සිතින් ලෝකය දෙස බලනකොට, මම ලෝකයාව දැක්‌කේ දැඩි අසරණභාවයකින්. මේ අසරණභාවය මා තුළ දැඩි බියක්‌ ඇතිකළා. ඒ බිය තමයි ගිහි ජීවිතයෙන් මාව දුරස්‌කළේ. ලෝකයෙන් ඈත් කළේ. මම සරණක්‌ සොයා යැමට පෙළඹ වූයේ, මගේ ධර්ම ගමනට ආශිර්වාදයක්‌ වූයේ අම්මාගේ මුවින් නික්‌මුණු ඒ මල් වැස්‌සමයි,

අම්මාට මා ආදරය කරුණාව දැක්‌ වූයේ අම්මා නමැති අර්ථය කෙරෙහි ඇති බැඳීමකින් උපාදානයකින් නොව, ‘අම්මා’ කියන අර්ථය කෙරෙහි ඇති මගේ තෘෂ්ණාව ක්‌ෂය කර ගැනීම පිණිසමයි, ලාභ සත්කාර වලින් තොරව ඒ ඉල්ලම ගරා ගත්තේ. අම්මාගේ කය දෙස අනිත්‍ය සංඥාවෙන් බැලුවා, එම කය වේගයෙන් ජරා, ව්‍යාධි, වලට පත්ව අවසානයක්‌ කරා ගියේ නැහැ. මන්ද, ඇයගේ අකුසල් සංස්‌කාර වල විපාක ගෙවීමට කාලය ලබාදීමට. අම්මා නමැති අර්ථයද දරුවා නමැති අර්ථයද අපිව ලෝකයට බැඳ තබන මහා කාම වස්‌තුවක්‌ බවට වන අවබෝධයත්, අවබෝධයෙන්ම ඉන් කලකිරෙන මාර්ගයත් අම්මා තුළ සැඟවී තිබිණ. අම්මා යන අර්ථය දරුවාටද, දරුවා යන අර්ථය අම්මාටද, දුකක්‌ම බව අම්මා තුළින්මයි දැක්‌කෙ. ඇය තුළින් මා දැක්‌කේ ජීවත් වීමට ඇති ආසාව නොව, ජීවිතයෙන් මිදෙන්න ඇති කැමැත්තයි. රෝගී අම්මා තුළ සැඟවි තිබී, උපස්‌ථානය නිසාම මට එය හමුවිය. එය මව්පිය උපස්‌ථානයේ අග්‍රම ඵලයයි. අම්මාගේ ඇතිවීමත් අම්මාගේ නැතිවීමත්, තෘෂ්ණාව නිසාම හටගෙන, තෘෂ්ණාව ක්‌ෂය කර ගැනීමේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළින්ම දැකගත්තා. අම්මා කෙරෙහි ඇති තෘෂ්ණාවෙන් මිදෙන ස්‌වභාවය අම්මා තුළිsන්ම දැකගත්තා.

තම දෙමාපියන්ට බ්‍රහ්මයින්ට මෙන් උපස්‌ථාන කරන දරුවෝ සමාජයේ අප්‍රමාණව සිටින බව අප දැක තිබෙනවා. ඒ වාගේම දරුවන් දෙමාපියන්ට උපස්‌ථාන කිරීමෙන් හුදු පින පමනක්‌ බලාපොරොත්තු නොවී, ධර්මයේ ලෝකෝත්තර සුවයට අවශ්‍ය ප්‍රඥාව, දෙමාපියන්ගේ රෝගී වයෝවෘධ අසරණ ජීවිත විනිවිද දකිමින්, ඒ දැක්‌ම තුළින්ම සකස්‌ කොට ගන්න.

සතර සතිපට්‌ඨාන ධර්මයේ බොහෝම හොඳින් වැඩෙන තෝතැන්නක්‌, වයෝවෘධ දෙමාපියන්ගේ ජීවිත. දෙමාපියන්ට අනිත්‍ය සංඥාව කියාදෙනවා වාගේම, පින්වත් ඔබත් ඒ අවබෝධය හෙමින් සීරුවේ ලබාගන්න. මේ පැමිණි භව ගමනේදී, පින්වතුන් අම්මලා වෙනුවෙන් හෙලූ කඳුළු, මහා සාගරයේ ජලයට වැඩියි කියලා බුදුරජාණන් වහනසේ දේශනා කරනවා. ඔබ අතීතයේ අම්මලා ලක්‌ෂ ගණනකට උපස්‌ථාන කොට ඇති, ඒත් ඒවා හුදු ගෙවීයන සංස්‌කාර පමණක්‌මයි. තමන් අනිත්‍ය වන සංස්‌කාර රැස්‌කරන ගමන්, සංස්‌කාරයන්ගේ අනිත්‍ය බව දකිමින්ම දුකෙන් මිදෙන මාර්ගයට අවතීර්ණ වෙන්න.

ඒ වාගේමයි දෙමාපියනුත් දරුවන් සමග කටයුතු කිරීමේදී බොහෝම පරිස්‌සම් වෙන්න අවශ්‍යයයි. සෑම වේලාවේම අම්මා තාත්තා, සිතන්න ඕන, දෙමාපියන් නිසා දරුවන්ට අකුසල් සිද්ධ වෙනවාය කියන කාරණය. නිකං අකුසල් නොවේ. ආනන්තරිය පාපකර්මය සිදුවෙන්න පුළුවන්. වර්තමානයේ දරුවන් දෙමාපියන්ගෙන් දේපළ ලියා ගත්තාට පසුව ඒ අය දෙමාපියන්ට නොසැලකීම නිසා, දරුවන්ට එරෙහිව නීතිය ඉදිරියට යන දෙමාපියන් ඉන්නවා, දේවාල ගානේ පොල් ගසන දෙමාපියන් ඉන්නවා. දරුවන්ගේ තැනට දෙමාපියන් වැටෙන්න හොඳ නැහැ. දෙමාපියන්ට දරුවන්ගෙන් වැරැද්දක්‌ වෙනවා නම්, එය නිවැරදි කිරීමට බැරිනම්, එය ඔබගේ අකුසල් සංස්‌කාර විපාක දෙනවාය කියලා සිතන ගමන්ම, දරුවන්ට හොඳින් කරුණු දක්‌වන්න උත්සාහ ගන්න. ඔබේ ලෙයින් උපන්, ඔබේ රුධිරය කිරිකර පෙවූ ඔබේ දරුවා, තව තව දෙමාපියන් සමග ගැටෙන ස්‌වභාවයට යන්න දෙන්න එපා. පින්වත් දෙමාපියන් දරුවන් සමග ගැටෙනවා කියන්නේ, දරුවන් නිරයට යොමුකිරීමට පාර කපනවාය කියන කාරණයයි. දරුවා ඔබට වරදක්‌ කළත්, දරුවාගේ සැපය උදෙසා, ඔබ අහක බලාගෙන ඉන්න කියලා නිවැරදි කරන්නට බැරිනම්, දරුවාගෙන් ඈත්වී ජීවත් වෙන්න.

ගුණවත් අම්මා තාත්තා කියන්නේ ගින්දරක්‌. ධර්මය නොදත් දරුවෝ මෙය ගින්දරක්‌ බව නොදැන, දෙමාපියන්ට එරෙහිව සිතන සෑම සිතිවිල්ලකින්මව ජීවිතය පුච්චා ගන්නවා. ඒවායේ බරපතළ බව, මතු භවයන්හිදී, විපාක පිණිස පැමිණේවි. මේ විෂම දුෂ්ශීල සමාජ වටපිටාව නිසා නොමඟ ගිය ඔබේ දරුවා, දෙමාපියන් සමග ගැටෙන දිශාවට යොමු නොකරගෙන, දරුවන් කෙරෙහි අනුකම්පාවෙන් කටයුතු කරන්න. සමහර දරුවො සිටිනවා, උපදිනකොටම අම්මා මිය යනවා. ඉපැදිලා අවුරුද්දකින් හෝ දෙකකින් අම්මා තාත්තා මිය යනවා. අම්මාගේ තාත්තාගේ උණුසුම ලබන්න පින නැහැ. අනාථ ළමා නිවසක ආදරය නොලබා ජීවත් වෙනවා. සමහර දරුවන් ඉපැදුන දිනයේම දෙමාපියන් මහමඟ දමායනවා. තිරිසන් සතුන් දිහා බැලුවොත්, ගොවිපොළ කුකුළු පැටවෙක්‌ බිත්තරයෙන් එළියට එන්නෙම මව් කිකිළිය නැතිව, කෘත්‍රිම විදුලි ආලෝකයේ උණුසුමෙන්. තිරිසන් ලෝකයේ ඉපැදුනත් අම්මා කෙනෙකුගේ සෙනෙහස ආදරය

රැකවරණය ලබන්න පින නැහැ. මේ පෙර ජීවිතවල දෙමාපියන්ට නොසලකපු දරුවෝ, දෙමාපියන්ගේ සිත රිදවපු දරුවෝ. සංස්‌කාරයන්ගේ සාධාරණත්වය මොන තරම් යුක්‌ති සහගතද? මේ කාමුක අමිහිරි ලෝක ස්‌වභාවය දැකලා, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ජීවිතය තුළින් වඩවා ගන්න. පංචශීලය ඔබේ දරුවා යෑයි සිතා ආරක්‌ෂා කරගන්න. ශීලය නමැති දරුවා ඔබ කවදාවත් දුකට පත්කරන්නේ නැහැ. ඔබට බැරි අවස්‌ථාවක උපස්‌ථාන නොකර ඉන්නේ නැහැ. ජීවත් වන විටත්, මැරෙන මොහොතෙත්, මරණින් පසුවත්, ඔබට යහපත පිණිසමයි හේතු වෙන්නෙ. ශීලය නමැති උතුම් දරුවා, පින්වත් ඔබට ලෝක ස්‌වභාවයේ රුදුරු බව දැකීමට අවශ්‍ය සමාධිමත් සිතක්‌, සකස්‌කොට දේවි. ඒ සමාධිමත් සිත තුළ සකස්‌වන්නාවූ විදර්ශනා දැක්‌ම, ඔබ තුළ අම්මා, තාත්තා, දුව, පුතා, කියන්නේ දුකටම අයිති දෙයක්‌ බව පසක්‌ කොට දේවි. මේවායේ නිස්‌සරණය තුළමයි සැනසිල්ල ලැබෙන්නෙ. අම්මා තාත්තා කියන සාධකය තුළ ලෝකෝත්තර සැපය ලැබීමට ඇති මාර්ගයත්, ශක්‍රයා වීමට ඇති මාර්ගයත්, අවීචි මහා නිරයට වැටීමටත් ඇති මාර්ගයත්, සැඟවී තිබෙනවා. පින්වත් දරුවන් දක්‌ෂ විය යුතුයි නුවනින් සුගතියට යන මාර්ගයම, දෙමාපියන් තුළින් පාදා ගැනීමට. දෙමාපියන් තුළින් දරුවන් සුගතියට යන මාර්ගය පාදාගතහොත්, එය දෙමාපියන්ටද සුගතියට යාමට මාර්ගයක්‌ වෙනවා. එසේ නොවී එක පාර්ශ්වයක්‌ ගැටෙන දිශාව ගියොත්, ඉල්ලීම් ඉල්ලන දිශාවට ගියොත්, එය දෙගොල්ලන්ටම විනාශයක්‌ වෙනවා. මේ අවදානමෙන් මිදෙන මාර්ගය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කෙනෙක්‌ පමණයි කියලා දෙන්නේ, ආදරය කරලාවත්, ද්වේෂ කරලාවත්, ඔබට මේ අවදානමෙන් මිදෙන්න බැහැ කියලා. ආදරයෙන්, ද්වේෂයෙන් මිදෙන මොහොතයි, නිස්‌සරණයේ මිදීම කියන්නෙ. ඵස්‌සය නිරෝධයෙනුයි විඳීම් නැතිවෙන්නේ. පින්වත් ඔබට වැටහේවි ගොඩනැගීමටත්, බිඳදැමීමටත් නොව මිදීමමයි සැනසිල්ලට හේතු වෙන්නෙ කියලා. නෙතු අගින් කඳුළක්‌ රූටා වැටෙද්දී ඒ කඳුළ හරි උණුසුම්. කඳුළ උණුසුම් කරන්නේ තෘෂ්ණාව විසින්. සිත වේගවත් වන තරමට, කඳුළු උණුසුම් වෙනවා. කෙනෙකුගේ ඇසෙන් කඳුළක්‌ රූරා වැටෙද්දී, ඔහු විඳින දුක හෝ සැපයක්‌ පිළිබඳව හෝඩුවාවක්‌ බාහිරට පෙනෙනවා. නමුත් දුකක්‌ හෝ සැපක්‌ වුවත්, කඳුළු නොහෙලා සිටීමට අම්මා කෙනෙකුට පුළුවන්. අම්මාට ඒ තරම් දරාගැනීමේ ශක්‌තියක්‌ තිබෙනවා. ඒ නිසා අම්මා තේරුම් ගැනීම අපහසුයි. ඒ තේරුම් ගැනීම අපහසු වෙන තරමටම, අපි අතින් අකුසල් සිදුවෙන්නට පුළුවන්. අම්මාගේ දෙනෙතින් ගලන්නේ කදුළු නොව ආදරයයි. ලෝකය ශක්‌තිමත් කරන, ලෝකයේ යථාර්ථය වසාදමන ආදරයයි. නිමාවක්‌ නොවන භව ගමනේ, මග වියදම අම්මාගේ ආදරයයි.

ඉන්ද්‍රජිත් සුබසිංහ

3-09-සත්තයි, ආයේ කිසිදවසක වරදින්නේ නැහැ

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ….

2012-09-02
සත්තයි, ආයේ කිසිදවසක වරදින්නේ නැහැ
සිත නැවතිලා. ඇසට රූප පේනවා. කනට ශබ්ද ඇසෙනවා. ඒත් ඒවා නිසා විතර්ක සකස්‌ වෙන්නේ නැහැ. දැස්‌ ඇරගෙන සිටින්නේ. පරිසරය පෙනෙන්නේ නැවතිලා තියෙනවා වාගේ. දැස්‌ වසාගනිද්දී පරිසරය මැකී යනවා. එතැනදී හිස්‌ බවක්‌ පෙනෙන්නේ. කාලය ගලාගෙන යනවා. සංස්‌කාර ගෙවීගෙන යනවා. වන පෙතේ දැඩි නිහඬතාවය නිහඬ සිත තව තවත් නිවා දමනවා. අරමුණක්‌ නැහැ. බලාපොරොත්තුවක්‌ තිබෙනවා. ඒ මරණය. කාගේවත් කැමැත්තට එය සිද්ධ වෙන්නේ නැහැ. අතීත සංස්‌කාර ශක්‌තිය මරණයේ ආධිපත්‍යය දරාගෙන සිටින්නේ. එය ස්‌වාභාවික මරණයක්‌ වෙන්න පුලුවන්. මරා දැමීමක්‌ වෙන්නත් පුලුවන්. කොහොම වුණත් වෙන්න තියෙන දෙයයි සිද්ධ වෙන්නේ. මරණය අස්‌වාභාවික වෙන්න වෙන්න, මරණයේ සුන්දරත්වය වැඩි වෙනවා. මොකද, සංස්‌කාරයන්ගේ විෂම, ගොරහැඩිභාවයයි අත්දකින්නේ. සංස්‌කාර කියන්නේ බොහෝම සාධාරණ ධර්මතාවයක්‌. එයාගෙන් කාටවත් වරදක්‌ නැහැ. හොඳට හොඳයි. නරකට නරකයි. වඩාත්ම ශක්‌තිමත් කුසලය හෝ අකුසලය මතුකොට ගන්නවා.

පින්වත් ඔබ සිතන්නකෝ, මේ ජීවිතයේදී මිච්ඡා ආජීවයේ යෙදෙන කෙනෙක්‌ ඉන්නවා. ඔහුගේ ව්‍යාපාරය මත්වතුර වෙළඳාම. මොහු බොහොම සුඛෝපභෝගී ජීවිතයක්‌ ගත කරන්නේ. ආදායම දිනෙන් දිනම ඉහළ යනවා. මේ මහතා දන් දීමත් කරනවා. මේ මහතා මිය ගිහින් නැවත මනුෂ්‍යයෙක්‌ව ඉපැදුනොත්, ඔහු ලාබාල තරුණ වයසේ පටන්. මත්වතුර බීමට ඇබ්බැහි වෙනවා. මුළු ජීවිතයම මහා බේබද්දෙක්‌ වෙනවා. ගිය ජීවිතයේදී අනුන් මත් කළාවු වරදට, සංස්‌කාර බොහොම සාධාරණව නිවැරදි හේතුඵල ධර්මයන්ට අනුව විපාකය සලස්‌වනවා. ඔහු ගිය ජීවිතයේදී කළාවු දන්දීම්වලට, රැකගත්තාවු ඉතිරි සිල්පදවලට මනුෂ්‍ය ජීවිතයක්‌ ලබා දුන්නා. අනුන්ට මත්වතුර වෙළඳාම් කොට මත්කිරීම හේතුවෙන් බේබද්දෙක්‌ බවට පත්වුණා.

පින්වත් ඔබත් විවේකීව සිතන්න. සිත දිව්වොත් නවතාගන්න පුලුවන්ද? සසර ගැන බිය ඇතිකර ගන්න. බිය අබියස සිත තැන්පත් වේවි. නැතිව සිත තැන්පත් කරන්න බැහැ. මුහුදු රැළ වාගේ බිඳෙනවා. සකස්‌වෙනවා. බැරි දෙයක්‌ නැහැ වුවමනාවක්‌ තියෙනවා නම්. වුවමනාව සකස්‌කොට ගන්නෙ සසර බිය දැනුන කෙනායි. ඔබේ ජීවිතය තුළට මනසින් කිමිදෙන්න. ඔබ මේ මොහොතේ මිය ගියොත් කෙබඳු උපතකට ඔබ වැටෙයිද? උපාදානය නිසා…. භවය කුමක්‌ වේවිද? සිතන්න. ශිල් පද බිඳුන ඒවා මතක්‌ වෙනවාද? ගෞරවයෙන් රැකගත් සිල්පද මතක්‌ වෙනවාද? ලෝභ ද්වේෂ මෝහ අකුසලයන්ගේ ස්‌වභාවය කොහොමද? ලකුණු වැඩි සුගතියටද? දුගතියටද? පුලුවන්ද ඔය රැකගෙන සිටින ‘මගේ ගොඩ’ මොහොතින් අතහරින්න? මැරෙනවා කියන්නේ හිනා වෙනවා කතා කරනවා, විහිළු කරනවා වාගේ ලෙහෙසි වැඩක්‌ නොවෙයි. ඇලීම්, ගැටීම්, උපේක්‌ෂාවන් සියල්ල අහිමි වෙන්නයි යන්නේ. මේවායේ ග්‍රහණයෙන් බැහැරව යන්නයි හදන්නේ. අහිමි වෙන්නයි හදන්නේ. භික්‌ෂුවට මේ මොහොතේ මතක්‌ වෙනවා තනතුරක්‌ අහිමි වූ තැනකදී දේශපාලනඥයකුගේ දැසට කඳුළු නැඟී ආකාරය. ඒ කඳුළු උණුසුම් වුණේ තෘෂ්ණාවෙන්. ඔහු තනතුරු දැරූ මහේශාක්‍ය කාලයේ හෙළු  සතුටු කඳුළු උණුසුම් වුණේ තෘෂ්ණාවෙන්මයි. එකම කඳුළ දුක සැප වශයෙන් මහා පරතරයකින් වර්ගීකරණය කරනවා. දුක සැප දෙක සැම මොහොතකදීම දෙකක්‌ වශයෙන් ගත්ත අපි කාලය ළඟදී පරදිනවා. දැන් මහලුයි. දැන් වයසයි. කාලය වේගයෙන් ඉදිරියට යනවා. ඔබත් දුවනවා. නමුත් සැම මොහොතකම කාලය වේගවත්. ඒ අපේ තෘෂ්ණාවේ බලවත් භාවය නිසා. නිශ්චිත ඉලක්‌කයකින් සෑහීමක්‌ නැහැ. ඒ නිසා සෑම මොහොතකදීම අපි කාලයට පරදිනවා. ඒ කියන්නේ කාලය මදිවෙනවා. නැති දෙයක්‌ ඇතැයි කියලා ගත්තොත්, අපිට සොයන්න වෙනවා. නමුත් වෙහෙස පමණයි. අපි පරදිනවා. මොකද? අපි නැති දෙයකුයි සොයන්නෙ. ඵස්‌සය හේතුවෙන් සකස්‌වෙන සිතිවිලි අයාලේ යන්න දෙන්න එපා. ධර්මයේ ග්‍රහණයට යටත් කොට ගන්න. සිතනවා නම් ගොඩක්‌ දේවල් සිතන්න පුලුවන්. ඒත් ඒ සිතිවිලි මට අයිති නැහැ. මගේ සිතිවිලි මට අයිති නැති නම්, අනුන්ගේ සිතිවිලි කෙසේ මට අයිති වෙන්නද? එහෙම සිතනකොට ලොකු නිදහසක්‌ දැනෙනවා. එම නිදහස ළඟ ඔබ නවතින්න. එවිට ඔබට දැනේවි කාලය වේගයෙන් ගලාගෙන යනවා. එහෙත් ඔබ නැවතිලා. ඔබ නැවතුන තැනදී කාලයට කරන්න දෙයක්‌ නැහැ. ලෝකය දුවනවා. ඔබ නැවතිලා. සිතිවිලි නැවතුන තැනදී ඔබ නවතිනවා. ඒ කියන්නේ ඔබට මේ වේගය නවතාගන්න පුලුවන්.

අපි නිදහස විවේකය උදෙසා කොපමණ දේවල් කරනවාද? විවේකය ගත කිරීම සඳහා කොතරම් වියදම් කරනවාද? නමුත් එක සිතිවිල්ලක්‌ නවතා ගැනීම තුළ මොන තරම් නිදහසක්‌ ලබන්න පුළුවන්ද? අපි විවේකය කියලා හොඳට කාලා බීලා නිදාගෙන විනෝද වෙලා පංචනීවරණ තීව්‍ර වෙලා. තව තවත් කෙළෙස්‌වළ සිරගත වීමකුයි කරගන්නේ. දුක නිසා සැප සොයනවා. සැප නැවතත් දුකකටම ඇද දමනවා. ඒ නිසාමයි නැවත නැවත සැපය සොයන්නේ. නැවත නැවත සැපය සොයන්න වෙන්නේ.

අපි මොන දේ කරන්නෙත් සැප බලාපොරොත්තුව. දුකක්‌ බලාපොරොත්තුව අපි කිසිවක්‌ කරන්නේ නැහැ. අපි ගින්දරට අත දමන්නේ නැහැ. අත පිච්චෙන දුක නිසා. සැප බලාපොරොත්තුවෙන් සියල්ල සිදු කළත් එහි ප්‍රතිඵලය දුකමයි.

භික්‌ෂුව හඳුනන එක්‌ භික්‌ෂුවක්‌ සිටිනවා. තෘෂ්ණාව මරා දමලයි සිටින්නේ. උන්වහන්සේ සිතන කිසිම සිතිවිල්ලකින් දුකක්‌ සකස්‌ වෙන්නේ නැහැ. සැනසිල්ලක්‌මයි ලබන්නේ. ජීවිතය කියන්නේ හරිම පරස්‌පරයක්‌. සැපය කියලා කුමක්‌ ඇල්ලුවාද, කුමකට බැඳුනද, එතැන දුක්‌ ගොඩක්‌. ඉතින් අපේ තිබෙන විශේෂත්වය දුක බාහිරට පෙන්වන්න යන්නේ නැහැ. සිනාවෙන්, කතාවෙන් දුක හොඳින් වසා ගන්නවා. එතැනදී ඉපැදෙන්නේ තෘෂ්ණාව දුක නිසා දුක වර්ධනය වෙනවා. දුකට කියන තවත් නමක්‌ කියන්න කිව්වොත් භික්‌ෂුව කියන්නේ සැපය කියලයි. මොකද එය ඒ තරමටම සමීපයි දුකට. ඇත්තේ ආශ්වාදයක කෙටි පරතරය පමණමයි. ඒ පරතරය එක සිතිවිල්ලක පරතරය වෙන්න පුලුවන්. මෙතැන දුක ගැන කතාකරන්නේ මනුෂ්‍ය ලෝකයට සාපේක්‌ෂව. දිව්‍යතලවල සැපයේ ආශ්වාදය මනුෂ්‍ය ලෝකයට සාපේක්‌ෂව පින නිසා ඉතා ඉහළයි. දුක සැප කියන්නේ අවසානයක්‌ දකින්න පුලුවන් සමීකරණයක්‌ නොවේ. ඔබ පැටලෙන සංකීර්ණ සමීකරණයකි.

දුක සැප කියන දෙකම මිරිඟුවක්‌ නම්, පිංවත් ඔබ මුවෙක්‌ කියන අසරණ චරිතයෙන් මිදෙන්න. සරණක්‌ ඇති පින්වතෙක්‌ වෙන්න. සරණක්‌ ඇති පුද්ගලයා ඉන්නේ සම්මා සම්බුද්ධ ශාසනයක පමණයි. ඔහු සරණ කොට ගත් සද්ධර්මය ජීවිතයට දරාගෙනයි ජීවිතය දෙස බලන්නේ. ඔහු මිරිඟුවත් යථාර්ථයත් නුවණින් හඳුනා ගන්නවා. බොරුවත් මුළාවත් පස්‌සේ දුවන්නේ නැහැ. ඇත්ත ඇති තැන නවතිනවා. දුක කියන කාරණයට ප්‍රතික්‍රියා දක්‌වනවා වෙනුවට ඔහු දුක ඇතිවීමට හේතුවයි සොයන්නේ. තෘෂ්ණාව නිසාමයි අකුසල් රැස්‌වෙන්නෙ කියලා ඔහු දකිනවා. ඔහු දුක ගැන සිතීම නවතා දසකුසල් ගැන සිතීමට පටන් ගන්නවා. දුකට අපි හැමෝම අකැමැතියි. ඒ නිසයි අවම වශයෙන් දුකෙන් පලායන්න උත්සාහ ගන්නේ. දුකෙන් පලා යන මනුෂයා අතිරේක දුක්‌ සකස්‌කොට ගන්නවා. දුක කියන්නේ අකුසල්වල ඵලයක්‌ කියලා තේරුම් නොගන්නා නිසාම……….

මේ ලෝක ධාතුව තුළ අතිශය කෘරතර දුක්‌ විඳින සත්ත්වයින් සිටිනවා. ඔවුන් සිටින්නේ අවීචිය කියන නිරයේ. ඔබත් මමත් අතීතයේ යම් දවසක මේ දුකත් විඳලා තියෙනවා. මනුෂ්‍යයා වැරදි කරන්නේ වැරැද්දට ධර්මානුකූලව ලැබෙන දඬුවම් නොදකින නිසාමයි. මේ නොදන්නා භාවය ඇති කරන්නේ මෝහය විසින්. ධර්ම මාර්ගය තුළ නිවැරදිව දාන, ශීල භාවනා කටයුතු කරන ගිහි පින්වතුන් හට රැකියා ව්‍යාපාර ආදියේදී ප්‍රශ්න මතුවෙනවා වැඩියි. මෙය ධර්මයේ ආශ්චර්යයක්‌ බව, තමන් ධර්ම මාර්ගයේ සිටින බවට තමන්ට ලැබෙන සහතිකයක්‌ බව තේරුම් ගත යුතුයි. ධර්මය තුළ හැසිරෙන කොට ඔබ ඉදිරියට ප්‍රශ්න එන්නේ ධර්මය පැත්තට තව අඩියක්‌ ඉදිරියට තබන්නටයි. නමුත් මේ තත්ත්වය නිවැරදිව හඳුනා නොගත් ශ්‍රද්ධාව අඩු පින්වතුන් මෙතැනදී ධර්මය සමග කලකිරෙනවා. ගැටෙනවා. ධර්මය සැමවිටම සන්දිට්‌ඨික ගුණයෙන් යුක්‌තයි. උත්සාහයේ කැපවීමේ තරමට ප්‍රතිඵල ලබාදෙනවා. ඒ නිසා ධර්ම මාර්ගයේ ගමන් කරන පින්වත් ඔබ හැමවිටම පෙරළුන එක හොඳයි කියලා දකින්න ඕනි. එසේ දකිමින්මයි නිවැරදි පැත්තට නැවත පෙරලාගන්න ඕනි. පෙරළීමත්, නැවත නිවැරදි පැත්තට හරවා ගැනීමත් අතර ඇති ව්‍යායාමය ඔබ තුළ ඉන්ද්‍රිය ධර්මයන්ගේ තීව්‍ර භාවයමයි සකස්‌ කොට දෙන්නේ. ගොඩනැගෙනවාට වඩා වැටෙනවාට ඔබ කැමැති වෙන්න. ගොඩ නැගෙන දෙය වැටෙන ස්‌වභාවයෙන් යුක්‌ත බව එවිටයි නුවණින් දකින්නේ. ඒ දැකීමයි ධර්මය කියන්නේ. යමක්‌ නුවණින් දකින පින්වතුන් තුළ ප්‍රඥාව හෙමිහිට මෝදු වෙනවා. විදර්ශනාව ප්‍රගුණ කිරීම තුළින්මයි ඔබ එම ගුණය වඩාගත යුත්තේ. මෙම සටහන් තබන භික්‌ෂුව ප්‍රශ්න ගැටලු තුළින් ජීවිතය, ධර්මය දුටු කෙනෙක්‌. ප්‍රශ්න දැඩිව මතු වු වේලාවක භික්‌ෂුව ගිහි කාලයේ සිතා තිබෙනවා ඇයි මම ඉපැදුනේ කියලා. එසේ අතීතයේ සිතුනේ ධර්මය නොදන්නාකම නිසාමයි. වර්තමානයේ මෙතරම් සුන්දර ජීවිතයක උරුමය සැඟවිලා තිබුණේ ඒ අතීත අසුන්දර ජීවිතය තුළයි. ඒ අසුන්දර අතීත ජීවිත කතාව තුළ ඒ සෑම ප්‍රශ්නයක්‌ම භික්‌ෂුවගේ ජීවිතයට ආශිර්වාදයක්‌ වෙනවා, අවාසානයේදී. ගිහි ජීවිතයේදී භික්‌ෂුවට ඉහත ප්‍රශ්න නොපැමිණියානම්, භික්‌ෂුව මීට වඩා වෙනස්‌ තැනක ඉන්න තිබුණා. නමුත් එය එසේ වෙන්න බැහැ. සංස්‌කාරයන් නිවැරදි තැනට ප්‍රශ්න මැදින් අවබෝධය සකස්‌ කරමින් රැගෙන එනවා. එහෙම නම් භික්‌ෂුවගේ ගිහි ජීවිතයේදී ප්‍රශ්න ඇතිවුනේ හේතුවක්‌ නිසාමයි. භික්‌ෂුවට මේ මොහොතේ ඉන්න තැනට එන්න අවශ්‍ය පාර කැපීම සඳහාමයි. දැන් ඔබට අවශ්‍ය පිළිතුර පැහැදිලිව තිබෙනවා. ඔබ ඉදිරියට එන ප්‍රශ්න කැමැත්තෙන් පිළිගන්න කියලා භික්‌ෂුව කියන කාරණය ඔබට දැන් පැහැදිලියි. ප්‍රශ්න හා ගැටෙන්න එපා. ප්‍රශ්න සුහදව පිළිගන්න. ප්‍රශ්න නිසා ඇතිවන අතුරු ඵලයන්ට සුහදව ආචාර කරන්න. මේවා ඔබ සොයා එන්නේ හේතුවක්‌ නිසාමයි. එම නිසා ඔබ සොයා එන කිසිවක්‌ ප්‍රතික්‌ෂේප නොකරන්න. ඔවුන් සතුරු වේශයෙන් පැමිණියත් ඔබගේ මිතුරන් බව සිතන්න. දුක සහ සැප ඔබ අතීතයේ කළාවු සංස්‌කාරයන්ගේ නිවුන් දරුවන්.

ඔබ ඉදිරියේ එන ප්‍රශ්න දුක්‌ පීඩා නින්දා අපහාස අතරින් ඒකට මුහුණ දෙමින් සද්ධර්මය පැත්තෙන්ම අඩියක්‌ ඉදිරියට තබන්න ඔබ දක්‌ෂ වෙන්න. පින්වත් ඔබ යාචක මහත්මයෙක්‌ වෙලා මැරෙන්න පුලුවන්. ඒත් ඔබ හිස්‌ අතින් නොවේ මැරෙන්නේ. සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් වඩාගෙනයි සුගතියට ගමන් කරන්නේ. ඒ ඉන්ද්‍රිය ධර්මයන්මයි මතු භවයක අයෝමය ශක්‌තියක්‌ වී නැඟී සිටින්නේ ධර්මාවබෝධය පිණිස. වෙනස්‌ වන ලෝකය ඉදිරියේ ඔබ නොවෙනස්‌වන පුද්ගලයෙක්‌ වෙන්න. නොවෙනස්‌ වන පුද්ගලයා යනු ඇලීම් ගැටීම්වලින් තොරව උපේක්‌ෂාව තුළ ජීවත්වෙන පුද්ගලයායි. දැන් ඔබ තවදුරටත් මිරිඟුවක්‌ පිටුපස දුවන්නේ නැහැ. මොකද, ඔබ දැන් අසරණ පුද්ගලයෙක්‌ නොවේ. සරණ ඇති පින්වතෙක්‌.

වේලාව සවස 5.30 යි. පරිසරය ඉතා සීතලයි. වෙනනත් සතෙකුගේ හෝ ශබ්දයක්‌ නැහැ, කුරුල්ලන්ගේ හඬ මිසක්‌. දඩයම්කරුවන්ගේ සෙවනැලි කැලය තුළින් මැවී නොපෙනී යනවා. සතුන් නැත්තේ ඒ හේතුවෙන්. ලේ රසට මස්‌ රසට ගිජු වෙච්ච මනුෂ්‍යයෝ දඬුලේන්, මුගටියන් සැපයක්‌ හැටියටයි දකින්නේ. මසට ඇති තෘෂ්ණාව නිසා. මනුෂ්‍යයාගේ දිවට දැනෙන මස්‌ රසය මගින් වනයේ සතුන්ව සීමා කරනවා. තනිවෙච්චි වළිකුකුලෙක්‌ නිතරම කෑගසනවා ඇසෙනවා. එයාගේ වළිකුකුල් පවුලත් විනාශයට ගොදුරු වෙලා. ලෝකය ඉපැදෙනවා. මැරෙනවා. මරපු අය මැරුම් කනවා. අරුමයක්‌ පුදුමයක්‌ නැහැ. මෙයයි ලෝකය. ලෝකය ලෝකයේ ස්‌වභාවයෙන් ගලාගෙන යනවා. සංස්‌කාරයෝ සංස්‌කාරයන්ගේ ස්‌වභාවයෙන් දුකත් සැපත් ජීවිතයත් මරණයත් බෙදා දෙනවා. භික්‌ෂුව ලියනවා. පින්වත් ඔබ කියවනවා. භික්‌ෂුව ලියන්නේ අවබෝධයකින්. පින්වත් ඔබ කියවන්නේ අවබෝධය ලබාගන්න. පින්වත් ඔබ කියවන කරුණු ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය සමග හොඳින් ගළපන්න. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ඵලයයි පින්වත් ඔබට මේ සටහන් තබන්නේ. ……………………  පිංවතුනි .ප්‍රඥාව අවධිකොට ගන්න.

මේ ලිපියේ තවත් කොටසක්‌ ලබන සතියේ බලාපොරොත්තු වන්න…

මෙම ලිපිය දිවයින ඉරිදා සංග්‍රහය සඳහා සංස්කරණය කලේ
ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com