3-08-ඊර්ෂ්‍යාවේ වෛරයේ රඟ

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ….’සතර අපායෙන් මිදෙමු’ තුන්වැනි පොත – 08 කොටස   

2012-08-26
බලන්න ඊර්ෂ්‍යාවේ වෛරයේ රඟ…

කාමයේ ආශ්වාදයට ඔබ තුළ ඇති කැමත්ත නිසා හේතුඵල ධර්මයන් අනුව සකස්‌වෙන ජූරි සභිකයන් පස්‌ දෙනෙක්‌ සිටිනවා. මේ අය එකම මොහොතක එක පේලියේ ඉඳගෙන ඉන්නෙ නැහැ. එක්‌ අයෙක්‌ හේතුවෙනුයි අනෙක්‌ ජූරි සභිකයා සකස්‌ වෙන්නේ. ඵලය සකස්‌වෙනවිට හේතුව මැකිල යනවා. මේ ධර්මතාවය නැවත නැවත සිද්ධවෙනවා. මේ ජූරි සභිකයෝ පස්‌දෙනා වෙන කවුරුවත් නොවේ. පස්‌ස, වේදනා, සංඥා, සංස්‌කාර, විඤ්ඤාණ කියන පස්‌ දෙනයි. මේ පස්‌දෙනාම බිහිවෙන්නේ රූපය කෙරෙහි ඔබ තුළ ඇති ජන්දරාගය නිසා. යම් රූපයක්‌ ස්‌පර්ෂය නිසා, ඔබ ප්‍රකටව හෝ අප්‍රකටව යම් විඳීමක්‌ ඇතිකරගත්තානම් ඒ විඳීම හේතුවෙන් සකස්‌වෙන හඳුනාගැනීමත්, ෙච්තනාවත්, විඤ්ඤාණයත් අනුනගේ දෙයක්‌ නොවේ. හේතුව තුළින්ම සකස්‌ කරගන්නා ධර්මතාවයන්. මේවා අප්‍රසිද්ධියේ කරන්න, සඟවන්න බැහැ. මොකද? සඟවන්න සඟවන්න, අප්‍රසිද්ධියේ වැරදි කරන්න, කරන්න ඔබ තුළ සකස්‌වෙන ෙච්තනාවන්ගේ ස්‌වභාවය බලවත් වෙනවා. ෙච්තනාවේ ස්‌වභාවය හේතුවෙනුයි විඤ්ඤාණය නමැති ඵලය සකස්‌වෙන්නේ. මිය ගිය පිංවත් මහත්මයෙක්‌ අප්‍රකටව, අප්‍රසිද්ධියේ කරන ලද බලවත් අකුසල් කර්ම හේතුවෙන් සකස්‌ වුණ බලවත් අකුසල් ෙච්තනාවන් නිසයි ඊට අදාළව සකස්‌වුණ විඤ්ඤාණය නිරය වැනි අති භයානක උපතකට බැසගන්නේ. ඒ බැසගත් මොහොතේ පටන් එම නිරි සතාට තම අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඤ්ඤාණයත්, ස්‌පර්ශය හේතුවෙන් නැවත නැවත සිත් සකස්‌ වෙනවා. දැන් ඔබට හොඳින් තේරුම් යනවානේ ලෝකයට හොරෙන් යමක්‌ කළත් ධර්මයට හොරෙන් යමක්‌ කරන්න බැහැය කියලා. සම්මා සම්බුද්ධ ශාසනය ලෝකයේ පැවතියත් එය අතුරුදහන්ව ගියත් පංචඋපාදානස්‌කන්ධය කියන ධර්මය සත්වයා තුළ සකස්‌වෙනවා. එය අවබෝධකර ගන්නේ සම්මා සම්බුද්ධ ශාසනයකදි පමණයි. ඔබ සිතන්නවත් අකමැති කුරිරු වේදනාවක්‌ නිරයේ විඳින මේ නිරිසතා එම දුකට පත්වූවේ ශීලය ආරක්‍ෂා නොකර ගැනීමේ හේතුවෙන්මයි. ඔබට වැටහෙනවාද උතුම් ශීලයේ ඇති වැදගත්කම. කඳුළ කියන්නේ ශිල්පදයක බිඳවැටීම. කඳුළ දැකලා දුක්‌වෙලා ඵලක්‌ නැහැ. බිඳුන ශීලයයි ඔබ පිරියම් කර ගත යුත්තේ. එවිට කඳුළු පසුබසීවි.

භික්‍ෂුව පෙර සටහන් කළ ගිනියම් වූ ජලයේ නැගෙන්නා වූ උතුරන ජල බුබුළු දකින විට, මතකයට නැගෙන විට භික්‍ෂුවට මැවී පෙනෙන්නේ මනුෂ්‍යයාගේ සහ අනෙකුත් සත්වයින්ගේ ඊර්ෂ්‍යාව නිසා, වෛරය ක්‍රෝධය නිසා ඇතිවෙන්නාවූ බිහිසුණු, බියකරු, පුපුරණ ස්‌වභාවයයි. මේ අකුසල් මූලයන් නිසාමයි මනුෂ්‍යයා යන්ත්‍ර, මන්ත්‍ර, හදි හූනියම් වැනි තිරස්‌චීන ධර්මයන් වෙතට යොමුවෙන්නේ. අකුසල මූලයන් හොඳින් වැඩෙන රසායනික පොහොර මේවා. අනුනගේ දියුණුව දකින්නට අකමැති කෙනා අවසානයේදී තමන්ගේ දියුණුව, සැපය කල්ප ගණනාවක්‌ වලකාගන්නවා. අනුනට නිදහසේ හැදෙන්න දෙන්න, වැඩෙන්න දෙන්න. ඒ දෙස බලා සතුටු වෙන්න. ඒ සතුට ඔබේ සැපය උදෙසාම හේතුවේවි.

එක මනුෂ්‍යයෙක්‌ ජීවත්වුණා බොහෝම ඈත දුරබැහැර ගම් ප්‍රදේශයක. සමාජයේ හොඳින් ජීවත් වන දරුමුණුපුරන් ඇති තාත්තා කෙනෙක්‌. මොහු මියයන විට අවුරුදු අනූවක්‌ විතර ඇති. මොහු බොහෝම හොඳන් ගමේ ජීවත්වුණ කෙනෙක්‌. ගමේ පන්සලට උපකාර කළා, උදව්කළා. නමුත් මොහුගේ අවාසනාවට මොහු මියයාමට වසර තුනකට පෙරාතුව මේ පුද්ගලයා ගමේ පන්සල සමග කුමක්‌ හෝ හේතුවක්‌ නිසා අමනාප වෙනවා. හේතුව කුමක්‌ද කියන්න භික්‍ෂුව දන්නෙ නැහැ. එදා පටන් මේ වයසක මනුෂ්‍යයා මොකද කරන්නේ හාමුදුරුවන්ට බණිනවා. පන්සලට බණිනවා. හාමුදුරුවන්ට එරෙහිව පොලිසියට බොරු පැමිණිලි කරනවා. පුදුමාකාර වෛරයක්‌ ඇතිකරගත්තා. මේ වෛරය, ඊර්ෂ්‍යාව නිසාම ඔහු ශීලයෙන් පිරිහුණා. එක ශිල්පදයක්‌ ගිලිහෙනකොට අනෙක්‌ ශිල්පදත් ගිලිහෙන්න පටන් ගත්තා. මේ හේතුව නිසාම වයස අවුරුදු අනූවක්‌ වුනත් මොහු තුළ කාම සිතුවිලි ඇතිවුණා. තමාගේ වැඩිහිටිබව නිසා තමාගේ දෙපතුළ ළඟ වැඳ වැටුණ කාන්තාවකගේ පවා අතින් අල්ලන්නට තරම් මොහු තුළ ශිල්පදවල හීනභාවයක්‌ ඇතිවුනා. ඊර්ෂ්‍යාවෙන් දැවෙමින් සිටියදීම මොහු මියයනවා. භික්‍ෂුව අරමුණු කර බලනවා උතුම් සමාධිය තුළදී මොහු මරණින් පසු කොහේ නැවත උපත ලැබුවද කියලා.භික්‍ෂුවට දර්ශණය වෙන්නේ උතුම් සමාධිය තුළදී කිඹුලෙකුගේ කුසක්‌. ඒ කියන්නෙ මොහු කිඹුල් බිත්තරයක එහෙම නැතිනම් කිඹුල් කුසක ප්‍රතිසන්ධිය ලබලා. බලන්න සසර භයානකම. මේ තත්පරයේ මනුෂ්‍යයෙක්‌ වශයෙන් සිටි කෙනා ඊළඟ නිමේශයේදී කිඹුල් කුසකට බැසගන්නවා. අසාධාරණයි කියන්න පුළුවන්ද ලෝකධර්මය. එහෙම කියන්න බැහැ. සාධාරණ තැන එයාට හිමිකරදුන්නා. කිඹුලා කියන්නේ වෛරයෙන්ම, ක්‍රෝධයෙන්ම පසුවෙන නපුරු සතෙක්‌. මේ සතා දකින කෙනා තුළ අපුලක්‌, බියක්‌, තැතිගැනීමක්‌ ඇතිවෙනවා. මේ සතා සතුන් මරාගෙනමයි කන්නේ. තමාගේ පැටවාත් තමා මරාගෙන කනවා. වර්ණය, හැඩය, හැසිරීම හරි අප්‍රියජනකයි.

භික්‍ෂුව එක අවස්‌ථාවක රුහුණු ප්‍රදේශයේ පෞරාණික ආරණ්‍යයක වැඩසිටින විට එහි දැඩි නියඟයක්‌ පැවතියා. වැව් හිඳෙන කාලයට වැව්වල සිටින කිඹුලන් කැලේ ගල් ගුහා තුළට ඇදෙනවා දහවල් කාලයට. රාත්‍රි කාලයේ කිඹුලන් ආහාර සොයාගෙන කැලයේ වැව් පිටිවලට ඇවිදිනවා. භික්‍ෂුව වැඩසිටිය කුටිය දොරකඩ බාග බිත්ති බැඳපු ඉස්‌තෝප්පුවක්‌ තිබෙනවා. දිනක්‌ රාත්‍රි 12.00 පමණ එම කුටිය ඉදිරිපස කැලෑ ප්‍රදේශයෙන් වේගවත් හඬකින් සතෙක්‌ පිඹිනවා ඇහුණා. භික්‍ෂුව මුලින්ම හිතුවේ අලියෙක්‌ වෙන්න ඇතිය කියලා. නැවත නැවතත් වේගයෙන් පිඹීමේ හඬ ඇසුණා. ඒත් සතා පේන්නෙ නැහැ. පස්‌සෙ බලනවිට අඩි හතක්‌ පමණ දිග හොඳින් වැඩුණු කිඹුලෙක්‌. කුටියේ ඉදිරිපස බාග බිත්ති සහිත ඉස්‌තෝප්පුව තුළට ඇවිල්ල යන්න බැරිව කේන්තියෙන් පිඹිනවා. පස්‌සෙ භික්‍ෂුව උගුර පාදනවිට කිඹුලා භාග බිත්තියට ශරීරය කෙලින් කරලා බිත්තිය උඩින් කැලයට පැන්නා. මේ කිඹුලා කටින් පිඹින වේගයෙන්ම වලිගයනුත් ගහනවා. කිඹුලාගේ නපුරුම ස්‌වභාවය භික්‍ෂුව දැක්‌කේ ඒ වෙලාවේ. පුදුම වෛරී, ක්‍රෝධ ස්‌වභාවයක්‌ මේ සතා තුළ තිබෙන්නේ. අපි කියන්නේ සමහර මිනිස්‌සු ඊරිසියාවෙන් පුපුරනවා කියලා. ඒ පිපිරීමේ උච්ජභාවය තමයි ඔය සතුන් තුළින් අපි දකින්නේ.

පිංවත් ඔබ හොඳින් සිතන්න ඔබ ඊරිසියා සහගත සිතක්‌, ක්‍රෝධ සිතක්‌ සකස්‌ කරගන්නවා කියන්නේ නිරයේ ගිනියම් ජලයේ පැහෙන උපතක්‌, කිඹුල් කුලයේ සත්ව උපතක්‌ ඔබ ප්‍රාර්ථනා කරනවා කියන එකයි. දැන් බලන්න වයස අවුරුදු අනූවේ මනුෂ්‍යයා පන්සලට වෛරකරලා, හාමුදුරුවන්ට වෛරකරලා, ඊර්ෂ්‍යා කළා. එහෙම කළාය කියල පන්සලට හාමුදුරුවන්ට අලාභයක්‌ පාඩුවක්‌ වුණාද? එක දශමයක අඩුවක්‌ පාඩුවක්‌ ඒ අයට වුණේ නැහැ. එතකොට මේ පුද්ගලයා කාටද වෛරකරලා, ඊරිසියා කරලා තිබෙන්නේ? තමාටමයි.

එහෙමනම් ඔබ සිතන්න ඔබේ සිතේ ඊර්ෂ්‍යාවක්‌, ක්‍රෝධයක්‌ සකස්‌ වෙනවා නම් එය ඔබේ භව ගිණුමේ ඉතිරි කිරීම සඳහාමයි. අනුන්ගේ ගිණුම්වලට මේවා බැරවෙන්නේ නැහැ. හැබැයි තමන් අදක්‍ෂ නම් අනුන් නිසා තමනුත් දුකට වැටෙන්න පුළුවන්. පන්සලට, හාමුදුරුවන්ට වෛර කළා කියන්නේ තෙරුවන්ට වෛර කළා හා සමානයි. ඒ අකුසල් ස්‌වභාවය බලවත් නිසාමයි මොහු ජීවිතය තුළදී කරගෙන තිබූ කුසල් යටපත්වී ගියේ. ඔහු තුළ සකස්‌ වූ එක සිතක්‌ මේ විනාශකාරී සිතුවිලි පරම්පරාවක්‌ බවට පත්වූයේ. ඒ නිසා වෛරී සිතක්‌, ඊර්ෂ්‍යා සහගත, ක්‍රෝධ සිතක්‌ ඇතිවන සැනින්ම අවබෝධයෙන් එය සිඳ දමන්න. ඒවා අකුසල විතර්කයක්‌ වශයෙන් වැඩෙන්න දෙන්න එපා.

මේ සටහන පුරාවටම මනුෂ්‍ය ලෝකයේ ජීවත් වූ දීර්ඝායුෂ ලබපු මනුෂ්‍යයන් දෙදෙනෙක්‌ මරණින් මතු මනුෂ්‍ය භාවයෙන් පහළට වැටුණු සැටි ඔබට පසක්‌ වෙන්න ඇති. ශීලයෙන් පිරිහුණු මිනිස්‌සු දීර්ඝායුෂ ලබන්නේ ඔවුන්ගේ අවාසනාවට. මොකද වැඩිපුර ජීවත්වන මොහොතක්‌ පාසා ඔවුන් අතින් සිදුවන්නේ අකුසලයන්. එහෙයින් මද ආයුෂ ඇති මිනිසුන් ක්‍රමානුකූලව බිහිවන ලොවක ඔබ දීර්ඝායුෂයෙන් උපරිම ඵලය නෙලාගන්න. එය ඔබට කරගත හැක්‌කේ වැඩිපුර ජීවත්වන සෑම නිමේෂයකම ශීලයේ ශක්‌තිය ඔබගේ ජීවිතයට එකතුකර ගැනීමෙනි. ශීලය නොමැති ජීවිතයක මරණය දුකක්‌ නිරතුරුවම මෙනෙහි කරන්න. ශිල්පද ගරුකරන සිතට ඔබ නමස්‌කාර කරන්න. මන්ද ඔබව දුකෙන් මුදවන්නේ එම සිත වන නිසාය. ඔබ කැපවීමෙන් යුතුව දිවි පරදුවට තබා ආරක්‍ෂාකරගත යුත්තේ උපන් රටවත්, ජාතියවත්, ආගමවත් නොවේ. සසරදුකෙන් ඔබව මුදවන, ඊට මග විවරකරදෙන, ශීල්පද ආරක්‍ෂා කරගැනීමට ඔබට දිරිදෙන සිතයි. එයමයි ඔබට සැප පිණිස හේතුවෙන්නේ. ඉහත මියගිය පිංවතුන් දෙදෙනාම ජීවත්ව සිටියදී තම ගම් ප්‍රදේශවලදී උපන් රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, ආගම වෙනුවෙන්, එහි ආරක්‍ෂාව වෙනුවෙන් පෙළපාලි ගිය අය. ඒත් දැන් මොන රටක්‌ද, ජාතියක්‌ද, ආගමක්‌ද එක්‌ අයෙක්‌ නිරිසත්ව ජාතියේ, අනෙක්‌ කෙනා කිඹුල් ජාතියේ. මේ දෙදෙනාටම රටක්‌ ආගමක්‌ නැහැ. බලන්න සැපයක්‌ කොට අල්ලාගත් මුලාවක මහත. දන් දෙන පිංවත් දායක පිංවතුන් ආරණ්‍යවලට පැමිණියහම, අපෙන් අහනවා ‘හාමුදුරුවනේ මේ කැලයට වෙලා මොකද කරන්නේ’ කියලා. කැලේ මොනව රකින්නද? ගමට නගරයට ගිහින් රට ජාතිය ආගම රකින්න කියලයි මේ කියන්නේ. පිංවතුන් එහෙම කියනවිට සිහින් සිනාවක්‌ මිස වෙන දෙයක්‌ නම් පහළ වෙන්නෙ නැහැ. ඇත්තෙන්ම පිංවතුනේ අපි කැලේට වෙලා රටත්, ජාතියත්, ආගමත් ආරක්‍ෂා කරන එක තමයි කරන්නේ. දිවිහිමියෙන්ම. රට කියන්නේ ශීලය. ජාතිය කියන්නේ සමාධිය. ආගම කියන්නේ ප්‍රඥාව. මේ තුන ආරක්‍ෂාකර ගන්න ඕනෑම කෙනෙක්‌ නැවත නොඑන්නම ලෝකයෙන් එතෙරට යනවා. මීට වඩා ආරක්‍ෂාවක්‌ කොහින්ද?

විවේකීව සිතන්න. කලබල වෙන්න එපා. දුකක්‌, දුකට හේතුවත්, දුකෙන් මිදීමත් ඔබ තුළම නේද තියෙන්නේ. සිත ගොඩාක්‌ දුර යන්න දෙන්න එපා. දෑස්‌ දෙක පියාගෙන නාසය අගට ඔබේ සිත යොමු කරන්න. දැන් ඔබට දැනේවි ජීවිතය කියන්නේ කුමක්‌ද කියලා. ජීවිතය අයිති කුමකටද කියලා. දැන් ඔබට වේගයෙන් හුස්‌ම ගන්න හිතේවි. ඔබ වේගවත් වෙන්න එපා. ස්‌වභාවිකවම හුස්‌ම ගන්න. හුස්‌ම පිටකරන්න. හොඳින් ඒ බව දකින්න. පිංවත් ඔබට සමාදන්වූ ශිල්පදයක්‌ බිඳීමට කරුණු සකස්‌වුණොත්, ඔබේ සිතට ඊර්ෂ්‍යා සහගත, වෛරසහගත සිතක්‌ සකස්‌ වෙන බව දැනුනොත් මොහොතක්‌ ආශ්වාස ප්‍රශ්වාස දෙසට හොඳින් සිත යොමුකරන්න. ඔබේ සිත නිශ්චල වේවි. දැන් ඔබට පුළුවන් හොඳ නරක දකින්නට. කුසලය අකුසලය දකින්නට හඳුනාගන්නට. ඔබ දුසිල්වත් වීමේ විපාකයන් දැක උපක්‍රමශිලී වන්න ශිල්පද ආරක්‍ෂා කරගැනීමට. සමහර ගිහි පිංවතුන් අපිට හමුවුණාම කියනවා ‘අනේ හාමුදුරුවනේ ශිල්පද සියල්ලම රැකගන්න අපහසුයිනේ. ශිල්පද එකක්‌ දෙකක්‌ නම් බිඳෙනවා’ කියලා. මේක හුඟ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක්‌. පිංවත් ඔබ කොහොම උත්සහ ගත්තත් ශිල්පදයක්‌ බිදෙන ස්‌වභාවයක්‌ තිබෙනවා නම් එය කර්ම විපාකයක්‌ නිසා සිදුවන්නක්‌. මෙතනදි ඔබ දුස්‌ශිලභාවයේ විපාක දකිමින් ශිල්පද ආරක්‍ෂාකර ගැනීමට වීර්යවන්ත වෙන්න ඕන. ඒ වගේමයි ශීලයෙන් ඔබ දුර්වලනම් ශිල්පද රැකීමට අපහසුනම් ඔබ ශීලය ගරුකරන අයට ශිල්පද හොඳින් රකින අයට ගරුකරන්න පුරුදුවෙන්න ඕන.

සමහර පිංවතුන් ඉන්නවා තමා ශිල්පද රකින්නෙ නැහැ, නමුත් ශීලවන්තව ජීවත්වෙන කෙනාට අගෞරව කරනවා, සිනාසෙනවා. අතීතයේ අපි අතින් සිදුවූ මෙවැනි පහත් පෙළේ වැරදි නිසා තමයි ශිල්පද රැකගැනීමට සමහරුනට අපහසු වෙන්නේ. තමාට ශිල්පද ආරක්‍ෂා කරගැනීමට අපහසුනම් අවම වශයෙන් ශිල්පද ආරක්‍ෂාකරන අයට ගරුකරන්න පුරුදු වෙන්න. එයම ඔබට ආශිර්වාදයක්‌ වේවි, ශීලය තුළ පිහිටන්න. ඔබ තුළින් ශිල්පද ගිලිහෙනකොට ඔබෙන් ගිලිහෙන්නේ සුගතියයි. මේ කථාවේ සඳහන් කළ අවාසනාවන්ත මිනිසුන් දෙදෙනා දුගතියට වැටුණේ ඔවුන් අතින් ශීලය ගිලිහුණු නිසාමයි. මේ දුකෙන් පිරුණු කථාව ඔබ ඔබේ සැපය පිණිස නුවණින් ගලපාගන්න දක්‍ෂවෙන්න. ඒ මෝදුකොට ගත් දක්‍ෂභාවය සතර අපායෙන් මිදීම සඳහාම පෙරට රැගෙන යන්න. නැවත නැවතත් හොඳින් අවධානය යොමුකරන්න. ඉහත කථාවේ මනුෂ්‍යයින් දෙදෙනාම මරණින් පසු දුගතියට වැටුණේ කාමය වරදවා හැසිරිමේ ෙච්තනාවන් බලවත් වීම, එක හේතුවක්‌ වූ නිසාමය. තප්පරයක ආශ්වාදයක්‌ උදෙසා කල්ප ගණනාවක්‌ දුකට අතවනන මෙවන් වැරදි ගැන ඔබ හොඳ අවධානයෙන් පසු වෙන්න. අකුසලයක්‌ සිදුවන වැරදි කාම සිතුවිල්ලක්‌ ඇතිවුණොත් එය නිවා දමන්න. ඔබට පුළුවන් බුදුගුණ සංඥාවක්‌ සිතට ගන්න. මෛත්‍රි සංඥාවක්‌, අසුභ සංඥාවක්‌, සතර අපාය කෙරෙහි බියක්‌……… එවැනි ධර්ම මනසිකාරයකට සිත යොමු නොවනවානම් වෙනත් බාහිර ක්‍රියාකාරී කමකට සිත යොදවන්න. එවිට ඔබට දැනේවි ඒ කාම සිතුවිල්ල අනිත්‍යවී යනවා. එතැන තිබෙන්නේ විදර්ශනාව. චතුරාර්ය සත්‍ය ධර්මය. බලන්න සකස්‌වූ එක සිතක්‌ ඔබ අදක්‍ෂ වුවහොත් ඔබව සතර අපායටත් ඔබ දක්‍ෂ වුවහොත් ධර්මාවබෝධය දෙසටත් යොමුකරනවා.

මෙම ලිපිය දිවයින ඉරිදා සංග්‍රහය සඳහා සංස්කරණය කලේ ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

Advertisements

3-07-හැංගි හැංගි වෙස්‌ බැන්දත්.

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ….
හැංගි හැංගි වෙස්‌ බැන්දත්…
‘සතර අපායෙන් මිදෙමු’ 7 කොටස
භික්‍ෂුව මේ ලිපිය ලියන මොහොතේ වැඩසිටින්නේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ කැලෑබද ආරණ්‍යයක. විශාල කඳුවැටි කිහිපයකින් වටව ඇති රමණිය බිමක්‌. උස්‌ ගල් කන්දේ නැගෙනහිරට මුහුණලා භික්‍ෂුව වැඩසිටින කුටිය තිබෙන්නේ. කඳුමුදුනේ සිට බලනකොට කඳුපාමුල දර්ශනීය වැව, අතුරු කඳුවැටි, කුඹුරුයාය, අක්‌කර දසදහස්‌ ගණනක විහිදුන වනපෙත, පක්‌ෂීන්, වන සතුන් සැබෑම ආරණ්‍යයක ලක්‍ෂණ සියල්ලම මෙහි තිබෙනවා. භික්‍ෂුව මේ ආසනය මත වාඩිවෙලා මේ පරිසරය දෙස බලනකොට මෙහෙම සිතුණා. මේ මොහොතේ චමත්කාර ජනක පරිසරයක්‌ මේ වටපිටවේ තිබුණත් අතීතයේ මේ ස්‌ථානය මහා කටුක කාන්තාරයක්‌ව තිබෙන්නට ඇති. ජලයෙන් පිරී ඉතිරී ගිය මුහුදක්‌, ගංගාවක්‌ ලෙස තිබෙන්නට ඇති. සශ්‍රික නගරයක්‌ව තිබෙන්නට ඇති. භූමිකම්පාවලින්, සුළි සුළංවලින් පෙරළී විනාශවී ගිය බිමක්‌ව තිබෙන්නට ඇති. සුසාන භූමියක්‌ව තිබෙන්න ඇති. බුදුරජාණන් වහන්සේලා, රහතන් වහන්සේලා වැඩ සිටි තැනක්‌ව තිබෙන්ට ඇති. බලන්න අතීත රූපයන්ගේ තිබෙන විවිධත්වය. ඒ කියන්නේ අනිත්‍යභාවය. ඒ වගේමයි අනාගතයේ හට ගත්තාවූ රූපයත්. වර්තමානය කියලා කියද්දීම ඒ වර්තමානය අතීතයට එකතුවී අහවරයි. ඒ තරම්ම වේගයෙන් ලෝකය ගෙවිල යනවා. ගෙවීයන වේගයෙන්ම ලෝකය ලියලනවා. අපේ ජීවිතත් එලෙසමයි. අද මනුෂ්‍යයෙකුව සිටින කෙනා හෙට නිරයට වැටෙනවා, දෙවියෙක්‌ වෙනවා, බ්‍රහ්මයෙක්‌ වෙනවා, තිරිසනෙක්‌ වෙනවා. එක තැනක්‌ ගෙවීයනකොට තව තැනක්‌ දළුලනවා. මෙන්න මේ විදියට මනුෂ්‍ය ජීවිතය ගෙවී ගිහින් නිරයට වැටුණ අවාසනාවන්තයෙක්‌ ගැන කථාවක්‌ තමයි භික්‍ෂුව දැන් මෙහි සටහන් තබන්නේ. මේ කථාවත් ඔබට උතුම් ශීලයේ වටිනාකම කියාදෙන කථාවක්‌ වේවි.

අද ලෝකය සොයන්නේ සරල දේවල්, පහසු දේවල්, ක්‍ෂණික දේවල්. තරගකාරී ලෝකයේ අවිවේකයෙන් මිදී විවේකය අත්කරගැනීම සඳහායි මේ දේවල් ලෝකය සොයන්නේ. මේ ලබාගන්නා වූ විවේකය ඔවුන් යොදන්නේ ජීවිතයේ නැවත අයිතිකරගන්නා වූ අවිවේකය උදෙසාමයි.
වාර්ෂිකව දන් දෙන පිංවතුන් ආරණ්‍යවලට එනවා. දානය ඉවරවෙලා සමහරක්‌ පිංවතුන් යන්නේ ‘අම්මෝ මේ අවුරුද්දෙ දානෙ ඉවරයි’ එහෙම නැතිනම් හත්දවසේ, තුන්මාසේ, අවුරුද්දේ දානෙ ඉවරයි දැන් ඉතින් දාන ඕනේ නැහැ කියලා. පසළොස්‌වක පොහොය දවසට ශිල් සමාදන් වන සමහරක්‌ පිංවතුන් හවසට ශීලය පවාරණය කරලා පන්සලෙන් පිටවෙන්නේ ‘අම්මෝ ඒ බැඳීමෙන් නිදහස්‌ වුණා’ය කියන සැහැල්ලුවෙන්. භාවනා වැඩසටහනට සහභාගී වන සමහර පිංවතුන් වැඩසටහනින් නැගිට යන්නේ ‘මේ මාසෙට, මේ සතියට මේ හොඳටම ඇති’ය කියලා. පිංවතුන්ලා දාන, ශිල, භාවනා කටයුතුවල යෙදෙන්නේ කවුරුහරි තරහ වෙයි, එයාව මොහොතක්‌ රවටලා යාළුකරගන්න ඕනේ කියන හැඟීමෙන් වගේ. කාවද මේ රවට්‌ටන්නේ. කවුද රවට්‌ටන්නේ. රැවටෙන්නන් රැවටෙන මොහොතක්‌ පාසා ඔබට මිතුරුවෙන්නේ කවුරුන්ද? ඔබට මිතුරු වෙන්නේ දුක. දුක උපද්දවන මාරයා.

ධර්මය සරල කරන්න, ක්‍ෂණික කරන්න ගිහිල්ලා දුක මිතුරෙක්‌ කරගන්නවා. ධර්මය කියන්නේ සරල කරන්න පුළුවන් දෙයක්‌ නොවේ. ධර්මය කියන්නේ අනිත්‍යයි. කුමන අනිත්‍ය භාවයද? රූපයේ අනිත්‍යයි. මොකක්‌ද රූපයේ අනිත්‍ය භාවයට පත්වීමේ ස්‌වභාවය. මස්‌ ඇසට නොපෙනෙන ප්‍රඥාවේ ඇසෙන් පමණක්‌ දකින ප්‍රවේශයයි. එය දකින මාර්ගය ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානයෙන් අවබෝධ කර ඔබට දේශනාකර තිබෙනවා. එකම මාර්ගයයි ඇත්තේ. එහි කෙටි මාර්ග, සරල මාර්ග, ක්‍ෂණික මාර්ග නැහැ. ඔබ කවුරුන් හෝ වේවා රූපය අනිත්‍ය භාවයට පත්වෙන වේගය ප්‍රඥාවෙන් අවබෝධ කර ගෙන රූපයට ඇති ජන්ද රාගයෙන් මිදෙන තැනදියි රූපය ඇසුරුකොට සකස්‌වෙන පංචඋපාදානස්‌කන්ධයේම යථා ස්‌වභාවය ඔබ අවබෝධ කර ගන්නේ.

භික්‍ෂුව දැන් මෙහි සටහන් කරන කථාවට මුල පුරණ පිංවතාත් ධර්මය සරල මාර්ග ඔස්‌සේ ජීවිතයට ගලපාගත් අයෙක්‌. මේ ගලපා ගැනීම නිසා දුක ඔහුට මිතුරුවුණ හැටියි මේ කථාවේ අර්ථය පුරාම තිබෙන්නේ. දුකට මිතුරුවී දුක්‌ විඳින ඔහුට මේ කථාව දැන් වැඩක්‌, අර්ථයක්‌ නැහැ. ඔබ කැමති නම් ඔබ සතුටුනම් මේ කථාව ඔබේ ජීවිතයට ගලපාගන්න. දුක නමැති පරම සතුරා ඔබ ඇසුරේම ඔබ තුළම සැඟව සිටින බව ඔබ දකින්න. ඔබ සමාදන් වන ශිලය සරල කරන, ක්‍ෂණික කරන, ශිල්පද සැහැල්ලූ කරන සතුරා ඔබ තුළින් ඔබ හඳුනාගන්න. ඔබව දුකට ඇදදමන පාපමිත්‍රයෙක්‌ සේ ඔහුව බැහැර කරන්න. රූපය අනිත්‍යභාවයට පත්වෙන වේගයෙන්ම රූපය ඇසුරුකොට සකස්‌වෙන සිතද අනිත්‍යභාවයට පත්වෙනවා. මෙහිදී ඔබ දකින්නේ රූපයේ හට ගැනීම සහ විනාශවීමේ ස්‌වභාවයයි. එවන් ප්‍රඥාවේ ඇසින් පමණක්‌ දැකිය හැකි අති සියුම් ධර්මතාවයක්‌ අපි සරල කරන්න, ක්‍ෂණික කරන්න යනවා නම්, ඒ උත්සාහයේ තරමටම අප තුළ මෝහයද තිබෙන බව අප අවබෝධ කරගත යුතුයි. ලෝකයේ කෙටි කරන්න පුළුවන් දෙයක්‌ අපට නැහැ. ඒ තරම්ම ලෝකය කෙටියි. ක්‍ෂණිකයි. ඒ නිසාමයි මේ මොහොතේ මනුෂ්‍ය ජීවිතයක්‌ ගතකරන කෙනා මියගොස්‌ ඊළඟ තත්පරයේ, සංස්‌කාර ධර්මයන් හේතුවෙන් නිරයේ තිරිසනෙක්‌ව උපත ලබන්නේ. මේ මොහොතේ මනුෂ්‍ය ජීවිතයක්‌ ගතකරන කෙනා මියගොස්‌ ඊළඟ තත්පරයේ බ්‍රහ්ම ලෝකයේ උපත ලබන්නේත්….

මෙයින් ඔබ තේරුම් ගන්න රූපයත්, රූපයක්‌ ඇසුරින් සකස්‌වන සිතේ ප්‍රවේගකාරී බවත්. අවිද්‍යාවේ මහත නිසාම අපි මේ ධර්මථාවයන් සරල කරන්නට යනවා. බුද්ධ වන්දනාව කෙටි කරන්න යනවා. සිල්පදවල අර්ථය හීන කරන්න යනවා. දානය ක්‍ෂණික කරන්න යනවා. මෙසේ කිරීමෙන් ඔබ ලබන විවේකය, සැපය, ලාභය ‘බඩකට පුරා’ අත්විඳින තවත් අවාසනාවන්ත මනුෂ්‍යයකුගේ කථාව දැන් සටහන් තබනවා.

මේ කථාවට සම්බන්ධ මහත්මයා මියයනකොට වයස අවුරුදු 80ක්‌ විතර ඇති. ඔහු ජීවත්වූ ගම් ප්‍රදේශයේ වැදගත් යෑයි සම්මත ජීවිතයක්‌ ගතකරලා, විවාහක දුවා දරුවන් සිටිය පියෙක්‌. මොහු මියයැමට පෙර වසර 5 ක පමණ කාලයක පටන් රෝගීවයි සිටියේ. අවසාන කාලයේ ලෙඩ ඇඳේම පසුවෙලා මියයනවා. සුපුරුදු පරිදි දරුවෝ ඥාතීන් එකතුවෙලා ‘බොහොම ජයට’ මරණයේ කටයුතු සිදුකරනවා. සැරසිලි, බැනර, ගුණකථන, වියහියදම් බොහොමයි. දින හතේම රාත්‍රී සතුටු සාද….

මේවායින් අඩුවක්‌ පාඩුවක්‌ නොතිබුණ නිසයි ‘මරණය ජයට ගත්තාය’ කියලා සඳහන් කළේ. පාංශකූලය අවස්‌ථාවේ ප්‍රදේශයේ නායක ස්‌වාමීන්වහන්සේලා කිහිපනමක්‌ම මියගිය පිංවතා ගැන බොහොම වටිනා ගුණකථන, අනුශාසනා පැවැත් වූවා. ඇත්තෙන්ම ඒ මියගිය මහත්මයාගේ ජීවිතය දෙස බලන ඕනෑම කෙනෙකුට ඔහු වැරදි කරපු කෙනෙක්‌ය කියලා පෙනෙන්නේ නැහැ. මේ සටහන් කරන භික්‍ෂුවත් දැනගෙන සිටියේ නැහැ, මියගිය මහත්තයා වැරදි කරපු කෙනෙක්‌ය කියලා. එදා අපට තිබුණු අවම අවබෝධය තුළ අපි හැමෝම එදා අවංකවම හිතුවා මියගිය කෙනා සුගතිගාමී උපතක්‌ ලබන්නට ඇතිය කියන හැඟීම. වර්තමානයේ ගිහි පැවිදි අපි හැමෝම මෙන්න මේ අවම අවබෝධය තුළ හිඳගෙන තමයි හැමෝගෙම ජීවිත දෙස බලන්නේ. ඒ දැක්‌මෙන් තමයි අපි යමක්‌ විග්‍රහ කරන්නේ. මේ කථාවේ අග කොටස ඔබ කියවනකොට ඔබට දැනේවී ධර්මයේත්, අධර්මයේත් පරතරය කොපමණද කියලා. අපේ අවම දැනුමේත්, සැබෑම අවබෝධයේත් පරතරය කොපමණද කියලා.

මෙය ඔබේ හෝ මගේ වරද නොවෙයි. අවබෝධයේත් අනවබෝධයේත් ඇති වෙනසයි. අපේ තිබෙන අවම දැනුම තුළ ඉඳගෙනයි අපි එදා මේ මරණය විග්‍රහ කළේ. ඔහු සුගතිගාමී උපතක්‌ ලබන්නට ඇතැයි අනුමාන කළේ. නමුත් මොහු මිය ගොස්‌ වසර හයකට පමණ පස්‌සේ දවසක භික්‍ෂුව මියගිය පිංවතාව සමාධියේදී අරමුණු කර බලනවා. ඔහු කුමන ස්‌ථානයක නැවත උපත ලැබුවාද කියලා. මෙය උතුම් සමාධියේදියි දකින්නේ භික්‍ෂුවට දර්ශනය වෙනවා ජලය පිරුණු ස්‌ථානයක්‌. මේ ජලය කළුම කළු පාටයි. කළුය කියල කියන්නේ පැහැපත්a කළු වර්ණයක්‌ නොවේ. ඔබ දැකලා තිබෙනවානේ කුණු කාණු කුණු පල්වෙලා ජලය පිරුණාහාම හැදෙන අප්‍රසන්න කළු පැහැය. බේරේ වැවේ ජලය පල්වුණාහම තිබෙන කළු පැහැය. මෙන්න මේ කුණු කළු පැහැති ජල තටාකය ඔබ හිතන්න යමෙක්‌ ගින්දරෙන් රත්කරනවාය කියලා. එවිට මොකද වෙන්නේ. එම කුණු ජලය රත්වෙනවා. තව තව උෂ්ණත්වය වැඩිකරමින් ගින්දර වැඩිකර රත්කරන විට මුලින්ම ජලයෙන් දුම් දමනවා. දෙවනුව ජලය උතුරන විට කඩල ඇට තරමට බුබුළු දමනවා. තව තව එම ජලය රත්කරන විට නෙල්ලි ගෙඩි තරමට ජලයේ බුබුළු මතුවෙනවා. තවත් ගින්දර දමලා රත්කරනවිට දෙහිගෙඩි තරමට බුබුළු දමමින් ජලය නටනවා. තව තව කුණු ජලය රත්වෙනවිට බෙලිගෙඩි තරමට බුබුළු දමමින් ජලය නටනවා. දැන් ඔබ මනසින් දකින්න, කුණු කළුපාට ජලතටාකයක්‌ තිබෙනවා. එය බෙලි ගෙඩි තරමට බුබුළු දමමින් උතුරන ලෝදිය හැලියක්‌ වගේ පෙනෙනවා. පෙර සදහන් කළ මිය ගිය මහත්මයාව අරමුණු කරනවිට භික්‍ෂුවට දකින්න ලැබෙන දර්ශනයයි ඔය සඳහන් කළේ. ඒ කියන්නේ ඔහු නිරයේ පැහෙනවා. බලන්නකෝ අපේ අවම දැනුමයි ලෝකාවබෝධයයි අතර තිබෙන පරතරය. අපි සුගතියකට යොමු කළ මනුෂ්‍යයා නිරයේ අන්ත දුකක්‌ අත් විඳිනවා.

මේ සිද්ධිය දැක්‌කට පස්‌සෙ භික්‍ෂුවට ප්‍රත්‍යක්‌ෂ වශයෙන් විශ්වාසයි මේ ස්‌වභාවය ඇත්තය කියලා. මන්ද මෙය උත්තරීතර සමාධිය තුළින් දකින්නා වූ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යක්‌ෂ වශයෙන් අවබෝධ කර දේශනා කළ ධර්මතාවයක්‌. භික්‍ෂුවට අවශ්‍ය වුණා සොයාබලන්න මියගිය පිංවතා ගිහි ජීවිතයේ ගතකරපු ස්‌වභාවය. ඔහුගේ සමාජයට ප්‍රකට වූ ජීවන චර්යාවත්, සමාජයට ප්‍රකට නොවුණ ජීවන චර්යාවත් ගැන සොයල බැලුවා. භික්‍ෂුවට දැනගන්න ලැබෙනවා ඉතාමත් සත්‍ය මාර්ගවලින් ඔහු තුළ පහත සඳහන් සමාජයට ප්‍රකට නොවූ චර්යාවන් තිබුණ කියලා. ඒවායින් මේ බලවත් අකුසල විපාකයට හේතුවුණ වැරැදි කිහිපයක්‌ම තිබුණා. කාමය වරදවා හැසිරීම. එක්‌ අවස්‌ථාවක බොහෝම විකෘති කාම ආශාවක්‌ මොහුට තිබිල තිබෙනවා. අප්‍රකටව මොහු තුළ ඊර්ෂාව, අනුන්ගේ දියුණුවට ඇති අකමැත්තත් තිබිල තිබෙනවා. ඒ නිසාම මොහු යන්ත්‍ර මන්ත්‍ර, හදිහූනියම් කරල තිබෙනවා. මෙන්න මේ කරුණු ටික ස්‌ථිර වශයෙන්ම මොහු තුළ තිබුණ බවට විශ්වාස කටයුතු මාර්ගවලින් දැන ගත්තාම මොහු මේ මොහොතේ නිරයේ ලෝදිය තුළ තැම්බෙමින් විඳින දුක ගැන පුදුම වුණේ නැහැ. ඔබගේ පිංවත් ජීවිතවලට ගලපාගන්න පැති කිහිපයක්‌ මෙහි තිබෙනවා. මෙහි වඩාත්ම වැදගත් වන්නේ ප්‍රකට අප්‍රකට කියන කථාවයි. අද සමාජයේ හුඟදෙනෙක්‌ සමාජය ඉදිරියේ හොඳ වැඩ ප්‍රකටව කරනවා. නරක වැඩ අප්‍රසිද්ධියේ කරනවා. බිරිඳත් සමග ප්‍රසිද්ධියේ ආශ්‍රය කරනවා. බිරිඳ නොවන කාන්තාවන් සමග අප්‍රසිද්ධියේ ආශ්‍රය කරනවා. මඟුල් ගෙදර කෑම මේසය ප්‍රධාන ශාලාවේ තිබෙනවා. අරක්‌කු මේසය අප්‍රකට ශාලාවක තිබෙනවා. බණ ගෙදර, පිරිත් ගෙදර, දානෙ ගෙදර පිංකම ප්‍රධාන ශාලාවේ තිබෙනවා. අරක්‌කු බොන ඒවා කාමරයේ, පිsළිකන්නේ අප්‍රකටව තිබෙනවා. රැකියාවෙන් වැටුප් ගන්න එක විවෘතව කරනවා. අල්ලස්‌ ගන්න එක අප්‍රකටව කරනවා. සිනා වෙන එක ප්‍රකටව කරනවා. වෛර කරන එක අප්‍රකටව කරනවා. අපිට හරි සතුටුයි ලෝකයාගෙන් වහංවෙලා වැරැද්දක්‌ කලාය කියළා. කවුරුවත් දැක්‌කෙ නැහැ බියවෙන්න දෙයක්‌ නැහැය කියලා. මේ මියගිය මහත්මයාත් එහෙම හිතපු කෙනෙක්‌. ගිහි පිංවතා ගැන පුදුම වෙන්න දෙයක්‌ නැහැ. අපේ පිංවත් සහෝදර සමහරක්‌ ස්‌වාමීන්වහන්සේලා පවා දහවල් දානය ප්‍රකටව ගන්නවා. රාත්‍රියට සුළුවෙන් යමක්‌ අප්‍රකටව ගන්නවා, දකියි කියලා. කවුරු දකියි කියලද? ලෝකයා දකියි කියලා. අපි ලෝකයාට බිය විය යුතු නැහැ. අපි බිය විය යුත්තේ ජූරියට………
කව්ද මේ ජූරිය?

(මේ ජූරිය පිළිබඳ විග්‍රහය ලබන සතියේ)


ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

3-06-අපි පසු පස්‌සේ II

2012-08-12
මහ රහතුන් වැඩි මග ඔස්‌සේ….’සතර අපායෙන් මිදෙමු’ තුන්වැනි පොත – 06 කොටස
පිං පව් එනවා අපි පසු පස්‌සේ II

‘සතර අපායෙන් මිදෙමු’ 6 කොටස
මේ ලිපිය ලියන අවස්‌ථාවේ භික්‍ෂුව වැඩසිටින්නේ රජරට ප්‍රදේශයේ ආරණ්‍යයකය. භික්‍ෂුව වැඩසිටින ගල් කන්දේ ඉහළ කුටියට ගල් කන්ද පාමුල පිහිටි වැව හොඳට පෙනෙනවා. ඉඩෝර කාලය නිසා වැව හුඟක්‌ හිඳිලා. ඊයේ රාත්‍රී 8.00 පමණ මුළු කඳුවැටියම දෝංකාර දෙමින් වෙඩි හඬක්‌ ඇසුනා. මෙය මේ ප්‍රදේශයට සාමාන්‍ය සිද්ධියක්‌. පිපාසයට ජලය සොයාගෙන එන වන සතුනට දඩයක්‌කරුවන් වෙඩි තියනවා. මුළු රාත්‍රිය පුරාම වැවේ මාළු දැල් එලලා වැව බොර කරනවා, මාළු කලබල කරලා දැලේ පැටලෙන්න. මීට සති තුනකට පමණ පෙරතුව දවසක ආරණ්‍යයේ ඈත කුටියක වැඩසිටින ස්‌වාමීන් වහන්සේ නමක්‌ පිණ්‌ඩපාතය සදහා උදේ 8.00 දාන ශාලාවට වඩිනකොට උන්වහන්සේ වඩින කැලෑව මැද අඩි පාරේ වෙඩි වැදුණු වල් ඌරෙකු දෙදෙනෙකු විසින් හම ගහනවා, මස්‌ කරනවාලු. ස්‌වාමීන් වහන්සේ මේ ස්‌ථානය පසුකරන කොටත් මේ දෙදෙනා නොදැක්‌කා වාගේ සතාව මස්‌ කරනවාලු. හාමුදුරුවෝ නිහඬවම වැඩම කලා දාන ශාලාවට. මේ වල් ඌරා මස්‌ කරලා සතියක්‌ මස්‌ කාවි. එහෙම නැතිනම් එම මස්‌ විකුණලා වැඩිම උනොත් රුපියල් දෙතුන් දාහක්‌ ලබාගනීවි. සතියක්‌ කටට රහට කෑම උදෙසා. ඔබ රුපියල් දෙතුන්දාහක්‌ හම්බ කරගැනීම උදෙසා ඔය එක කුරිරු සත්ව ඝාතනය නිසා රැස්‌කරගන්නා අකුසලය ඔවුනට ඊළඟ උපත සලසල දෙන්නේ නිරයේ අප්‍රමාණ දුක්‌ දෙන තැනක. සතියක දෙකක කාලයකට නොවේ කල්ප ගනනාවකට. තිරිසන් යෝනියක උපත ලැබුවත් මනුෂ්‍යයෙක්‌ අතින් මැරුම් කන්නම වෙනවා. මීට වසර දෙකකට විතර පෙරාතුව මේ ආරණ්‍යයේම වැඩසිටිය අවස්‌ථාවේ මේ අසල වෙල්යායක ඇතින්නක්‌ වෙඩිතබා මරා දමලා තිබුණා. හේතුව කෙසෙල් වගාවක්‌ පාළු කරන්න ආපු නිසා. ඇය බඩදරු ඇතින්නක්‌. වෙඩි වැදීම නිසා ඇතිවූ වේදනාවේදී ඇය කුසේ සිටි නොමේරූ අලිපැටවාද බිහි කරලා. අලි අම්මයි දරුවයි දෙන්නම මැරිලා. බලන්න සංසාරේ කරපු මොන කර්ම විපාකයක්‌ද? මේ සත්තු දෙන්න අත්විඳින්නේ. අපි මෙවැනි තැනකදි දකින්නේ වෙඩිතිබ්බ මනුෂ්‍යයා කරගත්ත අකුසල් විපාක පමණයි. එහෙම දකිනවානම් එතනදි අපි අසම්පූර්ණයි. මෙතන පෙර අකුසලයක්‌ විපාකදීමත් අලුත් අකුසලයන් සිදුකරගැනීමත් කියන ස්‌වභාවයන් දෙකම තිබෙනවා. මේ දෙපාර්ශවයේම දුකට හේතුවෙන්නේ ශීලයෙන් ප්‍රමාදභාවයට පත්වීමයි. ඇතින්න වෙඩිතිබ්බ අසරණ මනුෂ්‍යයා ශීලයෙන් ප්‍රමාද භාවයට පත්වූ කෙනෙක්‌. ඒ නිසාම ඔහු තුළ කළයුත්ත නොකළයුත්ත කුමක්‌ද කියලා අවබෝධයක්‌ තිබිල නැහැ. රුපියල් පන්දාහකවත් වටිනාකමක්‌ නැති කෙසෙල් වගාවක්‌ උදෙසා කල්ප ගණනාවක්‌ නිරයේ දුක්‌විඳීමට සිදුවන කුරිරු සත්වඝාතන දෙකක්‌ සිදුකරගත්තා. මේ සත්ව ඝාතන දෙක සිද්ධකරපු අසරණ මනුෂ්‍යයා මැරෙන මොහොතේ තමන්ගේ ලෙයින් උපන් දරුවා අමතක වෙන්න පුළුවන්. ඒත් මේ කුරිරු සත්ව ඝාතනය නම් මාරයා විසින්ම ඔහුට මතක්‌ කරදෙනවා. ඒ තරමට අකුසල් ෙච්තනාව බලවත්.

යම් අවස්‌ථාවක්‌ තිබෙනවා සත්වඝාතන අකුසලය බලවත් නොවන. පසුගිය සතියේ දවසක භික්‍ෂුව ආරණ්‍යයේ පහළ තිබෙන කුටි පේළියේ ආලින්දයේ තිබුණ කොස්‌ස අතට ගත්තා ආලින්දය අතුගාන්න. කොස්‌ස තිබුණ තැනින් ගන්නකොට භික්‍ෂුව දැක්‌කා කොස්‌ස යට දරණ ගසාගෙන සිටින සර්පයෙක්‌. එම සත්වයා පොළවේ ශ්Sතලත් කොහුගොඩේ රස්‌නයටත් මැදිව දරණ ගසාගෙන සිටියා. භික්‍ෂුව අසල සිටි කැපකරු මහත්මයෙකුට කථාකරලා කීවා ‘මහත්තයෝ මෙතන සර්පයෙක්‌ සිටිනවා එයාව කැලයට විසිකරන්න’ කියළා. එම කැපකරු සර්පයාව දැකලා කියනවා ‘හාමුදුරුවනේ මේ සර්පය මේ ප්‍රදේශයේ ජීවත්වන විෂකුරු සර්ප විශේෂ වලින් එක සර්ප වර්ගයක්‌’ කියලා. කැපකරු භික්‍ෂුවට කීවා මේ සර්පයා ඉදිරියට පැනලා දෂ්ට කරනවා ඒ නිසා මෑත්ව සිටින්න කියලා. දිග ලී කෝටුවක්‌ අරගෙන සර්පයාව කැලයට විසිකළා. කෝටුවෙන් විසි කරන හැම වතාවකම ඒ සර්පයා ඉදිරියට පනිනවා. ඒ එම සර්පයා සංසාරෙදි පුහුණු කරපු වෛරය, ක්‍රෝධය, ව්‍යාපාදය. එම ගතිය එම සතාට අම්මා තාත්තාගෙන් ආව නොවේ. එයාම සසර වඩපු දෙය. මේ සර්පයා විසි කරන ගමන් ආරක්‍ෂක අංශයට සම්බන්ධ මේ කැපකරු භික්‍ෂුවට කියනවා හාමුදුරුවනේ මීට පෙර මේ ස්‌ථානයට නුදුරින් මේ වර්ගයේම විෂකුරු සර්පයන් හතර දෙනෙක්‌ සිටියා. ඒ අය මම මරාදැම්මා කියලා.

භික්‍ෂුව දන්න තරමින් මොහු සත්ව ඝාතන කරන කෙනෙක්‌ නොවේ. ඒ නිසා භික්‍ෂුව ඔහුගෙන් ඇසුවා ඇයි ඔබ එම සර්පයන් මැරුවේ කියලා. එවිට ඔහු කියනවා මෙහි වැඩසිටින ස්‌වාමීන් වහන්සේලාට, ගිහි පිංවතුන්ට දෂ්ට කරයි කියලා. ඒ අයට නරකක්‌ නපුරක්‌ කරයි කියලයි මම ඒ සර්පයින්ව මැරුවේ කියලා. මේ සර්පයින්ව මැරුව කෙනා මේ ආරණ්‍යයේ ජීවත්වන අයෙක්‌ නොවේ. මොහු අතින් සත්වඝාතනයක්‌ සිද්ධවෙනවා, සිල්පද බිඳෙනවා ක්‍රෝධය, වෛරය, ව්‍යාපාද සිතක්‌ සකස්‌ වෙනවා. ඒ සිත සකස්‌වී අනිත්‍යභාවයට පත්වෙනකොටම හෝ ඊට පෙරාතුව මෛත්‍රී සහගත සිතකුත් සකස්‌වෙනවා. ‘අනේ ස්‌වාමීන් වහන්සේලාට දෂ්ටකරයි, උන්වහන්සේලා අපවත්වෙයි, රෝගීවෙයි, ගිහිපිංවතුන්ලාට දෂ්ටකරයි’…..

බලන්න අර අකුසල් සත්වඝාතන සිතත් සමඟම මොහු තුළ බලවත් මෛත්‍රී සහගත සිතකුත් සකස්‌වුණා. මෙන්න මෙවැනි අවස්‌ථාවක අර සත්වඝාතන අකුසලයේ විපාකය හීනවෙන්න පුළුවන්. දැන් අපි නැවතත් ඉකුත් සතියේ පළවූ කථාවේ මුලට යමු. එහි මෙම පහළොස්‌ හැවිරිදි දරුවා පෙර ජීවිතයේදී ප්‍රභූ පවුලේ අතවැසියෙක්‌ ලෙස කැත්ත, පිහිය, උදැල්ලේ වැඩකරමින් සිටින විට කැත්තෙන් ගසා මරාදමන්නේ අහිංසක ස්‌වභාවයේ සතෙක්‌. ඔහුට ඕනතරම් අවස්‌ථාව තිබෙන්න ඇති එම සතාව මඟහැර යන්න. එහෙම නැතිනම් කෝටුවකින් අරගෙන විසිකරන්න. එහෙත ඔහු තුළ සකස්‌වූ සත්වඝාතන ෙච්තනාවේ බලවත්භාවය නිසා ඔහු මහා අකුසලයක්‌ සිදුකරගත්තා. මරණයට පත්වෙන සතා ලොකු සතෙක්‌ වුවද කුඩා සතෙක්‌ වුවද මරණීය ෙච්තනාව බලවත් නම් අකුසලය විපාකදීමේ ශක්‌තිය වැඩිවෙනවා. ඒ නිසාමයි පෙරභවයේ අහිංසක සර්පයා කැත්තෙන් කෑලි කපා මරාදැමීමේ අකුසල් විපාකය හැටියට මේ ජීවිතයේදී එම දරුවා බස්‌රථයක ගමන් කරමින් සිටියදී අනතුරට ලක්‌වී, ශරීරය බිඳී, අකාලයේ මිය යන්නට සිදුවන්නේ. පෙර භවයේදී සර්පයෙක්‌ මරාදැමීමේ අකුසලය මේ තරම් භයානක ලෙස විපාක දේනම් ඔබ මේ ගැන හොඳ අවබෝධයකින් කටයුතු කරන්න ඕනේ. මොකද සමාජයේ සමහර පිංවතුන්ගේ මතයක්‌ තිබෙනවා කුහුඹුවෙක්‌, මදුරුවෙක්‌ වගේ සතෙක්‌ මැරුණහම, එම සතුනට වේදනා දුන්නම එම ක්‍රියාවන් තමන්ට විපාකදීම පිණිස සකස්‌ වෙන්නෙ නැහැය කියලා.

වියළි කලාපයේ ප්‍රදේශවල විශාල රංචු වශයෙන් ගවයන් සිටිනවා. මේ ගවයන්ගේ අයිතිය තහවුරු කිරීම සඳහා හරක්‌ හිමිකරුගේ නම හංවඩුගසා තිබෙනවා. ගවයාගේ බෙල්ල ළඟින් පටන්ගෙන වලිගය ළඟට යනකම්ම පුච්චලා, ලොකු අකුරු කොටලා. මේවා කරන මනුෂ්‍යයන්ට දැනෙන්නේවත් නැහැ, තමාගේ මෙම ක්‍රියාවෙන් එම සතා අත්විඳින වේදනාව. මෙවැනි අකුසල් සිදුකරන අය අහම්බෙන් හෝ මනුෂ්‍ය ජීවිතයක්‌ නැවත ලැබුවොත් වතුර කේතලය පෙරළිලා, ගෑස්‌ ටැංකිය පුපුරලා, බෝම්බයකට පිළිස්‌සිලා මුළු ශරීරයම පිච්චිච්ච ස්‌වභාවයට පත්වෙනවා. ඒ දුකෙන්ම මැරිලා නිරයන්ට වැටෙනවා. සමහරු තමා විසින්ම තමාගේ ශරීරයට ගිනි තබාගෙන මියයන්නේ මෙවැනි සත්ව හිංසාවන් නිසා.

පිංවත් ඔබට, ඔබ නිසා, ඔබ අතින් සත්ව ඝාතනයක්‌, සත්ව හිංසාවක්‌ සිදුවේ යෑයි අනුමාන කරනවා නම් ඒ ස්‌ථානය, අවස්‌ථාව මගහැර යන්න. සතා මදුරුවෙක්‌ වුවත් කමක්‌ නැහැ. ඔබ සවස අඳුර වැටීගෙන එනකොට එහි පහළියේ වාඩිවෙලා සිටිනවා. එවැනි තැනකදී ඔබට මදුරුවෝ දෂ්ටකරන නිසා මදුරුවෝ මරන්න සිද්ධවෙනවා නම් ඔබ මදුරු දඟරයක්‌ පත්තුකර ගන්න. මදුරු දැලක්‌ භාවිතයට ගන්න. එවැනි දෙයක්‌ කරන්න බැරිනම් එම ස්‌ථානය මඟහැර යන්න. මදුරුවාට පහරදීමෙන් ඔබ ලබන තාවකාලික ආශ්වාදයේ, දීර්ඝ කාලීන කටුක ආදීනවයක්‌ තිබෙන බව දකින්න. ඔබට පීඩා කරන ලොකු කුඩා කුමන වර්ගයේ සතෙක්‌ හමුවුවද එම සතා මාරයා බව දැනගන්න. රූපය යම් තැනකද එතැන මාරයා ඇත කියලා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ එම සතා නිසා ඔබට කල්ප ගණනක දුකක්‌ සතර අපායේ විඳින්න සිදුවෙන්න පුළුවන්. මාරයාගෙන් මිදෙන්න, බේරෙන්න නේද ඔබ මේ හැම පිංකමක්‌ම කරන්නේ. එම නිසා තිරිසන් සත්ත්ව වේශයෙන් ඔබ ඉදිරියට එන මාර උගුලෙන් ඔබ බේරෙන්න. එම මාර උගුල ඔබ මගහැර යන්න. එවිට ඔබ මගහැර යන්නේ දුකයි. දුක මගහැර යැමට දක්‍ෂ කෙනාමයි කවදාහරි දුක අවබෝධ කරගන්නේ. මේ සඳහා ඔබට ජවය ශක්‌තිය ලබාදෙන්නේ ශීලයයි. එහෙයින් ජීවිතය පරදුවට තබා සිල්පද ආරක්‍ෂා කරගන්න. ශීලය උදෙසා පරදුවට තබන ඔබේ ජීවිතයත් අනිත්‍යයට අයිති දෙයක්‌, දුකට අයිති දෙයක්‌. අනිත්‍යයට, දුකට අයිති ඔබේ ජීවිතය පරදුවට තබා ඔබ ආරක්‍ෂා කරගන්නා ශීලය අයිති දුකින් මිදීමේ මාර්ගයට. ඒ කියන්නේ සතර අපායෙන් මිදීමේ ඒකායන මාර්ගයට.

අතිසුන්දර වුවද අතිකටුක වුවද විවිධත්වයෙන් ගහන තිරිසන් ලෝකය දෙස බලන්න. දිය ගොඩ දෙකෙහිම ජීවත්වෙන එම තිරිසන් ලෝකය යනු පෙර ජීවිතයේදී ශිල්පද බිඳගත්තවුන්ගේ ලෝකයයි. සිල්පද ගරු නොකළ අයගේ ලෝකය වන තිරිසන් ලෝකයේ සුන්දරත්වය, විසිතුරුභාවය යනු පෙර බවයන්හිදී දන්දීමේ කුසල විපාකයයි. එහි කටුකභාවය යනු බිඳගත් සිල්පද වල අධිභාවයයි. විවිධත්වය යනු අකුසල් ෙච්තනාවන්ගේ සංකීර්ණ භාවයයි.

බලන්න. ජීවිතය කියන්නේ, තිරිසන් සත්ත්ව ජීවිතයක්‌ කියන්නේ මොනතරම් මංමුලාවක්‌ද, ඇස්‌ බැන්දුමක්‌ද කියලා. තියුණු අකුසල් විපාකයක්‌ විසිතුරු දවටනයක ඔතලා තිබෙනවා වගේ එයත් හරියට ඔබේ ප්‍රාණඝාතයට අනුබල දෙන, සිල්පද බිඳගැනීමට අනුබල දෙන සිත වගේමයි. සිල්පද බිඳගැනීම තුළ සැපයක්‌ ලබනවා. ඒ සැපය නමැති විසිතුරු දවටනය ඔතා ඇති අකුසල් විපාකය ඔබ දකින්නේ නැහැ. ඒ තරමටම දවටනය විසිතුරුයි.

පිංවත් ඔබ ශීලයට ගරුනොකරන සිතක්‌, ප්‍රාණ ඝාතයට, සත්ව හිංසාවට අනුබල දෙන සිතක්‌ සකස්‌ වෙනකොටම දකින්න සිතක්‌ කියන්නේ දුකක්‌ය කියලා, දුකක්‌ කියන්නේ සිතක්‌ය කියලා. එවිට එම සිත අනිත්‍යවෙලා යාවී. එසේ නොවුණහොත් එම කමටහනම නිවීසැනසිල්ලේ නැවත නැවත මෙනෙහි කරන්න. එහෙම මෙනෙහි කරනකොට ඔබේ සිතේ සමාධිමත් බවක්‌ හටගනීවී. ඒ ශීලයේ ආනිසංශයයි. ලෝකය දුක බව දකින ඇසයි. මේ සමාධිමත් සිත ඔබට සකස්‌වුණේ පැය ගණනාවක්‌ එරමිනියා ගොතාගෙන භාවනා කරලා නොවෙයි. සිත දෙස බලාගෙන හිඳීමෙනුයි. සකස්‌වන ප්‍රාණඝාතයට අනුබල දෙන සිත, දුක පිණිස හේතුවෙන බව දැකලයි. ඒ දුකට උරුම සිත ඔබ වෙතින් අතහැරෙනකොට, ඒ සිත නැවත නැවත දුක බව මෙනෙහි කරන විට ශක්‌තිමත් වන ශීලය නිසාම සමාධිය සකස්‌ වුණා. පිංවත් ඔබ සමාධිය සොයාගෙන යන්න අවශ්‍ය නැහැ. උතුම් ශීලයෙන් ඔබ පරිපූර්ණ වෙන්න. අවංක බවට පත්වෙන්න. ඒ පරිපූර්ණ බව තුළම සමාධිය පිහිටනවා.

භික්‍ෂුව මෙහි සටහන් කරන තරම් එය ඉක්‌මන් නොවන්න පුළුවන්. නමුත් ඔබ තුළ සංසාරික දුකින් අත්මිදෙන්න අවංකවම උවමානව, වීර්යය තිබෙනවා නම් ඔබට එය පහසු දෙයක්‌ වේවි.

දැන් අපි නැවතත් කථාවේ මුලට යමු. ඉකුත් කොටසේ කථාකළ රිය අනතුරින් මියගිය 15 හැවිරිදි දරුවා මියයැමෙන් අනතුරුව ලැබූ ජීවිතය තමයි ළමා ස්‌වභාවයේ දිව්‍ය ජීවිතය. එම ළමා දිව්‍ය ජීවිතයෙන් රුව, ස්‌වභාවය එම ලිපියේ මුලදී සටහන් කළා. මෙම දිව්‍ය ස්‌වභාවය මනුෂ්‍ය ලෝකයේම යම් යම් දේවල් උපාදානය කර ලබන දිව්‍ය ස්‌වභාවයක්‌. 15 හැවිරිදි දරුවෙක්‌ මෙවැනි අකාරුණික ආකාරයට මියයනකොට ඔහුට බලවත් අකුසල් ෙච්තනාවක්‌ සකස්‌වෙන්නේ නැහැ. පහත උදාහරණයෙන් ඔබට එය වටහාගන්න පහසුවේවි.

වැඩිහිටි අයෙකුට තවත් වැඩිහිටි අයෙක්‌ පහර දෙනවා. පහරදීමත් සමඟම පහරකෑමට ලක්‌වෙන්නා තුළ ක්‍රෝධය, වෛරය, ද්වේශය, පළිගැනීම…. මෙවැනි අකුසල් සිත් රාශියක්‌ සකස්‌වෙනවා. එහෙත් පොඩි ළමයෙකුට පහරක්‌ ගැසුවහොත් එම දරුවා රිදෙනවා කියලා බයේ කෑගසාවි, හඬන්න පටන්ගනීවී. එතැනදී දරුවාට බොහොම අසරණ අහිංසක ෙච්තනාවක්‌ සකස්‌වෙන්නේ. මේ රිය අනතුරින් මියයන දරුවාට අවසන් චුතිසිත ලෙස සකස්‌වෙන්න ඇත්තේ බොහොම අහිංසක මධ්‍යස්‌ථ සිතක්‌. ඒ නිසාම ඔහුට එම ළමා දිව්‍ය ස්‌වභාවය ලැබෙන්නට ඇති. ඔහු එම දිව්‍ය ස්‌වභාවය තුළ සිටිමින්ම තමා පෙර ජීවිතයේදී කැමති කළ දෙමාපියන්, නිවස, අධ්‍යාපනය ලද පාසල, ඥාති මිත්‍රයින් තම දිව්‍ය සිතින් ස්‌පර්ශකරමින් සතුටුවෙනවා ඇති. ආශ්වාදය ලබනවා ඇති. දෙමාපියන් කරන පිංකම් දෙස බලා සතුටුවෙනවා ඇති. ඔහු ස්‌වභාවයන් සමඟ ගැටෙනවාත් ඇති. කෙසේ වුවද, මේ හදිසි රිය අනතුරින් මියගිය දරුවා වාසනාවන්ත දරුවෙක්‌. මොකද මේ මොහොතේ සතර අපායට වැටෙන්නේ නැතිව මෙවැනි දිව්‍ය ස්‌වභාවයක්‌ ලබාගැනීම භාග්‍යයක්‌. හැබැයි, වර්ණනා කළයුතු භාග්‍යයක්‌ නම් නොවෙයි.

මේ සටහන මෙතැනින් නවත්වනවා. ජීවිත තුනක කථාවක්‌ මෙතැන තිබෙනවා. මේ ජීවිත තුනක කථාව ඔබ ඔබේ ජීවිතයේ යහපත් උදෙසා ගලපාගන්න.

මල්, ගස්‌වල තිබලා වැඩක්‌ නැහැ. ඒ මල් නෙලලා බුදු සමිඳුට පූජා කරන්න. මල් පූජා කළාය කියලා එහි සැබෑ අර්ථය සිද්ධවෙන්නේ නැහැ. ඒ මල් පරවෙන බව සිතලා, දැකලා එය අනිත්‍ය බව ඔබේ ජීවිතයටත් ගලපාගන්න. ඉහත සටහනද ඔබ කියවලා එය ඔබේ ජීවිතයට ගලපාගෙන එම කුසලය ‘බබා දෙවියන්ටත්’ අනුමෝදන් කරන්න.

—මෙම ලිපිය දිවයින ඉරිදා සංග්‍රහය සඳහා සංස්කරණය කලේ ඉන්ද්‍රජිත් සුබසිංහ—-

3-05 -පිං පව් එනවා …

2012-08-05
මහ රහතුන් වැඩි මග ඔස්‌සේ  ‘සතර අපායෙන් මිදෙමු’ තුන්වැනි පොත – 5 කොටස
පිං පව් එනවා අපි පසු පස්‌සේ…
(සෑම රියෑදුරෙක්‌ම කියවන්නේ නම් මැනවි)

‘සතර අපායෙන් මිදෙමු’ 5 කොටස
භික්‍ෂුව මෙම ලිපිය සටහන් කරන්නට වසර දෙකකට පමණ පෙර හඳුනාගත් පවුලක්‌ හිටියා. මේ පවුලේ සාමාජිකයන් සංඝයා කෙරෙහි බොහොම ගෞරවය ඇති පිනට දහමට ලැදි අයයි. මේ පවුලේ එකම පිරිමි දරුවාට වයස අවුරදු 15 ක්‌ පමණ වන පාසල් වියේදී රිය අනතුරකින් මරණයට පත්වෙනවා. ගාලුපාරේ ගමන් කළ නගරාන්තර සුඛෝපභෝගී බස්‌ රථයක නැගී තම ඥාති නිවසකට යමින් සිටියදීයි මෙම අනතුර සිදුවන්නේ. අධික තුවාල සහිතව දරුවා බස්‌රථය තුළදීම මියයනවා. මේ අනතුර සිදුවී හරියටම අවුරුද්දයි මාස අටකට පසු දිනක භික්‍ෂුව සමාධියෙන් පසුවන විටක මේ දරුවාව අරමුණු කර බලනවා. එවිට භික්‍ෂුවට අරමුණු වූ දර්ශනය මෙහි සටහන් කරනවා.

මුලින්ම භික්‍ෂුවට අරමුණු වන්නේ මේ දරුවා පෙර ජීවිතයේදී උපත ලබා සිටි ස්‌වභාවය. මේ දරුවාගේ පෙර භවය දර්ශනය වන්නේ වයස අවුරුදු 70 ක්‌ පමණ පිරිමි අයෙක්‌. ඔහු හැඳගෙන සිටින්නේ සරමක්‌ සහ කර නැති කමිසයක්‌ වැනි ඇඳුමක්‌. මේ කමිසය බොත්තම් කාස මහපු එකක්‌ නොවෙයි. ඔබ දැකලා ඇති පැරණි මනුෂ්‍යයෝ උඩුකයට අඳින ඇඳුමක්‌ තිබෙනවා පැත්තෙන් ගැට දෙකක්‌ දාලා තමයි එය අඳින්නේ. මෙවැනි ඇඳුම් ප්‍රභූ පිරිස්‌ එහෙම නැතිනම් වැදගත් පිරිස්‌ අඳින්නේ නැහැ. ඒ අයගේ සේවක පිරිස්‌, අතවැසි පිරිස්‌ තමයි එවැනි ඒවා අඳින්නේ. ඒ කියන්නේ ප්‍රභූ පිරිස්‌ වලට සේවය කරන අය. රිය අනතුරින් මිය ගිය දරුවාද පෙර ජීවිතයේ මෙවැනි ප්‍රභූ පවුලකට සේවය කළ කෙනෙක්‌. ඔහු වයස අවුරුදු 70 ක වයස්‌ සීමාව ඉක්‌මවා ගිහිල්ලා මියගියාට පසුව ලැබූ ප්‍රතිසන්ධිය තමයි මේ දරුවා.

දැන් ඔබට වැටහෙනවා ඇති මේ හදිසි අනතුරින් මිය ගිය දරුවා පෙර ජීවිතයේදී කවුරුන්ද කියලා. මීළඟට භික්‍ෂුව අරමුණු කර බැලුවේ හදිසි අනතුරින් මිය ගිය පසු මේ දරුවා කොතැනක උපත ලැබුවේද යන්නයි. මොහු උපත ලබන්නේ, මේ මනුෂ්‍යයන් ඇසුරේම ජීවත්වෙන ප්‍රාථමික දෙවියෙක්‌ හැටියටයි. ප්‍රාථමික දෙවියෙක්‌ යෑයි කීවේ මේ අය දිව්‍යතලවල ජීවත් වෙන මහේෂාඛ්‍ය දෙවිවරු නොවන නිසයි. මනුෂ්‍ය ලෝකය තුළ යම් යම් උපාදානයන් කෙරෙහි තෘෂ්ණාව සකස්‌ කරගෙන මනුෂ්‍යයන් ඇසුරේම ජීවත්වෙන දිව්‍ය ස්‌වභාවයක්‌. මේ දෙවියාගේ ඇඳුමේ ස්‌වභාවය දැක්‌කම භික්‍ෂුවට හිතුනා මොහුව බබා දෙවියන් යෑයි හඳුන්වන්න.

වයස අවුරුදු 15 ක්‌ පමණ පෙනුමැති සාමාන්‍ය මහත දරුවෙකුගේ රූපයක්‌ සහිත දණහිස ප්‍රමාණයට දිගැති සුදු කලිසමක්‌ සහ කොලරය නොමැති කර පළල් සුදු කමිසයක්‌ හැඳගෙන සිටියා. සුදු හිස්‌ වැස්‌මක්‌ පැළඳගෙන සිටියා.

මේ ඇඳුම් කට්‌ටලයේ ඉහත ස්‌වභාවය දකිනකොට භික්‍ෂුවට මතක්‌ වුණේ උපාධි ප්‍රදානොත්සවයකදී උපාධි ලබන්නකුගේ ස්‌වභාවය. වෙනසකට තිබුණේ කලිසමේ කෙටි බව විතරයි. මේ අනතුරින් මියගිය දරුවාගේ අම්මාත් කොළඹ ප්‍රධාන පාසලක ගුරුවරියක්‌. මේ දරුවාත් කොළඹ ප්‍රධාන පාසලක අධ්‍යාපනය හදාළ ශිෂ්‍යයෙක්‌. මේ සියල්ල සමග සසඳනකොට මේ දරුවා මියයන මොහොතේ, තමන් අනාගතයේදී හොඳින් ඉගෙනගෙන උපාධිධාරියෙක්‌ වෙනවාය යන ලෙසින් ඇතිකරගෙන තිබූ උපාදානය මතුවී, ඒ උපාදානයට අදාළව එම දිව්‍ය ස්‌වභාවයේ රුව ගුණ සකස්‌ වූවාද විය හැකිය. මේ දරුවාගේ පෙර ජීවිතයත්, මතු ජීවිතයත් ගැන අරමුණු කර බලද්දී භික්‍ෂුවට මේ දරුවා මෙවැනි කුරිරු ආකාරයට වයස අවුරදු 15 කදී පමණ හදිසි අනතුරකින් මියයැමට හේතුවුණ කර්ම විපාකය කුමක්‌ද යන්න දර්ශනය වුණා. භික්‍ෂුවට දර්ශනය වුණේ බොහොම තියුණු මුවහත තිබෙන කැත්තක්‌. ඒ ගම්වල මිනිසුන් කැළෑ එළිකරන්න ගන්න බොහොම තියුණු මුවහත සහිත කැත්තක්‌. ඒ මුවහත සහිත කැත්තෙන් තැඹිලි පැහැයට හුරු සර්පයෙක්‌ කෑලි කෑලි වලට කපනවා. මෙන්න මේ සර්පයා කෑලි කෑලි වලට කපා දමා මැරූ කර්ම විපාකය තමයි දරුවා මේ ජීවිතයේදී රිය අනතුරකින් මරණයට පත්කර දමන්නේ.

ඔබ දැන් මේ භික්‍ෂුව සටහන් කළ උතුම් සමාධිය තුළදී අත්දුටු සන්දිට්‌ටික ධර්මය ඔබේ නුවණින් හොඳින් ගලපාගන්නා ඕනේ. මොකද මේ හුදු කථාවක්‌ විතරක්‌ නෙවෙයි. ඔබට අවංකවම මේ සසර දුක නිමාකර ගැනීමට අවශ්‍යනම් ඊට අවශ්‍ය කමටහනක්‌ මේ කථාව තුළ අන්තර්ගතව තිබෙනවා. ඒ විතරක්‌ නොවෙයි. ඔබට මේ දුකින් පිරි සංසාරයෙන් එතෙර වීමට අවශ්‍ය නම් ඔබ තුළ ඇති කරගත යුත්තේ, මුලින්ම සංසාරය පිළිබඳව බියයි. සංසාරයේ බිය නොදකින්නා සංසාරය, මගේ කරගන්නවා. සංසාරය බිරිඳ, දුව, පුතා කරගන්නවා. ආශ්වාදයන්මයි දකින්නේ. ඒ නිසා ඉහත කථා ප්‍රවෘත්තිය ඔබට සසර බිය ඇති කර ගැනීමට හුඟාක්‌ උපකාරී වෙනවා.

දැන් බලන්න මේ හදිස්‌සි අනතුරින් මිය ගිය 15 හැවිරිදි ප්‍රධාන පාසලක අධ්‍යාපනය ලද මේ දරුවා පෙර ජීවිතයේ උපත ලබලා සිටියේ ප්‍රභූ+ පවුලක මෙහෙකරුවෙක්‌ හැටියට. මේ මෙහෙකරුවා වයස අවු 70 පමණ ජීවත්වෙලා මියගියාට පසුව තවත් අම්මා කෙනෙකුගේ මව්කුසේ පුතෙක්‌ හැටියට උපත ලබනවා. දැන් බලන්නකෝ මේ අම්මා, තාත්තා මගේ පුතේ කියලා අප්‍රමාණ සෙනෙහසක්‌ දැක්‌වුවේ කාටද? ඔහු පෙර ජීව්තයේ කවුරුවෙලාද සිටියේ. අවුරුදු 70 පමණ වයසක මනුෂ්‍යයෙක්‌ තමයි මැරිල මේ නැවත ප්‍රතිසංධිය ලැබුවේ. ඔබ එහෙම නම් දෙවියනේ මේ නළවලා තිබෙන්නේ පෝෂණය කරලා තිබෙන්නේ කාවද? ඔබට සිතෙන්නේ නැද්ද අනේ මම නළවලා තිබෙන්නේ පෝෂණය කරලා තිබෙන්නේ අර වයසක මනුෂ්‍යයාව කියලා. ඒ ප්‍රභු පවුලේ සේවය කරපු මෙහෙකාර මනුෂ්‍යයාව කියලා. මේ විදියට පිංවතුනේa ඔබේ ඔඩොක්‌කුවේ සුරතල් වන ඔය දරුවා පෙර ජීවිතයේ කවුරුන් වෙන්න ඇතිද? වෙන කොහේ හරි ජීවත්ව සිටිය වයසක සීයා කෙනෙක්‌, වයසක ආච්චී කෙනෙක්‌ සමහරවිට දෙවියෙක්‌, තිරිසන් සතෙක්‌, ප්‍රේතයෙක්‌ වෙන්න පුළුවන්. එහෙමනම් ඔබ ඔය මගේ දරුවා…මගේ දරුවා කියලා නළවන්නේ සුරතල් කරන්නේ කාවද? ඔබ ඔය සුරතල් කරන්නේ මෝහය, මුලාව, අනවබෝධය. මෙහෙම කීවාම පිංවත් ඔබ ගිය ජීවිතයේ සිටි කෙනාව මේ ජීවිතයේ ඉපදුනාය කියන ආත්ම සංඥාව ගන්න යන්න එපා. අවිද්‍යාව නිසා සකස්‌ වුණා වූ සංස්‌කාර හේතුවෙන් හටගන්නා වූ ධර්මතාවයක්‌ය යන්න හේතුඵල ධර්මතාවයන් අනුව දකින්න උත්සහ ගන්න.

මේ රටේ ජීවත්වෙච්ච බොහෝම ප්‍රභූපෙළේ මහත්මයෙක්‌ සිටියා. ඔහු මියගිහිල්ලා උපත ලබන්නනේ ඌරෙක්‌ වෙලා. එතකොට ඒ ඌරු අම්මගේ තන්පුඩුවල එල්ලිලා කිරි උරා බොන්නේ කවරෙක්‌ද? ඌරුපැටියෙක්‌ බව ඇත්ත. ඒ ඌරු පැටියා ගිය ජීවිතේ අර ප්‍රභු මනුෂ්‍යයා. පිංවතුනේ මනුෂ්‍යයා ශීලයෙන් ඈත් වෙන්න ඈත්වෙන්න ඒ අය ඊළග උපතේදී තිරිසන් අම්මලාගේ පැටවුන් ලෙස ඉපදීමේ ප්‍රතිශතය ඉතාමත් වැඩියි. මනුෂ්‍යයා අතින් මනුෂ්‍ය ඝාතන, සත්ව ඝාතන, ඒවාට අනුබලදීම් සිදුවීම වැඩිවන්න වැඩිවන්න, එවැනි අකුසල් කරන අය ඊට සුදුසු විපාකයන් විඳීම සඳහා උපදින්නේ බෙලි කැපුම් කා මසට මියයන හරක්‌, ඌරු, එළු, කුකුල් කුලවලමයි. දැන් අපි නැවතත් අද දරුවාගේ කථාවට යමු….

මෙහි ඉහත සඳහන් කළා මේ දරුවා හදිසි අනතුරකින් ළමා වියේදීම කුරිරු ආකාරයෙන් මියයැමට බලපාන ලද පෙර ජීවිතයේ කරන ලද කර්මය, මෙන්න මේ හේතුව ඔබට ගොඩක්‌ වැදගත් වෙනවා.

පසුගිය ජීවිතයේදී අර ප්‍රභූ පවුලට සේවය කළ මනුෂ්‍යයා තියුණු කැත්තකින් තැඹිලි පාටට හුරු සර්පයෙක්‌ව කෑලි කපා මරා දමනවා. ගිය ජීවිතයේදී මොහු එම සර්පයා කෑලි කපා මරා දමන්නේ යම්සේද, ඒ ආකාරයෙන්ම මේ ජීවිතයේදී මේ දරුවා සුඛෝපභෝගී බස්‌ රියේ ගැටුමේදී, ශරීරය බිඳී මියයනවා. බලන්න එතකොට සර්පයෙක්‌ මරා දැමීමේ අකුසලය මොන තරම් බලවත් වුණාද කියලා.

මෙතැනදී බලවත් වෙන්නෙ ෙච්තනාව. මොකද මේ සර්පයාගේ වර්ණය දෙස බලන විට මේ සර්පයා දරුණු විෂකුරු සර්පයෙක්‌ නෙමෙයි. අහිංසක ගැරඬියෙක්‌, පිඹුරෙක්‌ වගේ සර්පයෙක්‌. මොහුට තිබුණා අවශ්‍ය නම් ඒ සර්පයාව නොමරා කෝටුවකින් අරගෙන ඈතට විසිකර දමන්න. නමුත් මේ මනුෂ්‍යා තුළ ඇතිවූ ක්‍රෝධ, වෛරී ෙච්තනාව නිසා අර අහිංසක සර්පයා කෑලි කපලා මරා දමනවා. ඒ සර්පයා තියුණු කැත්තෙන් කෑලි කැපී යනවිට දඟලනවා දැකලා, ඒ මනුෂ්‍යයා අප්‍රමාන තෘප්තියක්‌ ලබන්න ඇති. අද සමාජයේ මොනතරම් නම් මනුෂ්‍යයෝ, දරුවෝ ඉන්නවද සතුනට හිංසා කරලා සතුටුවෙන. හූනෙක්‌ගේ වලිගය කඩල දමලා, ඒ කැඩුණු වලිගය දඟලන හැටි බලලා සතුටුවෙන…..

මෙතැනදි අපි කාලකන්නි සතුටක්‌ ලබන බව ඇත්ත. නමුත් ඒවායේ විපාක පසු කලකදී ඒවයේ විපාක, අපේ ශරීරය කෑලි කැඩී යන විපාකයන් ලෙසින් ගෙවන්න අපට සිද්ධවෙනවා. මේ විදිහට කර්මය කර්මඵල ගලපා බලනකොට, වර්තමාන සමාජයේ සිදුවෙන්නා වූ අධික වාහන අනතුරු නිසා, ආයුධවලින් කපා කොටා ගැනීම් නිසා මියයන, තුවාල ලබන, අතපය අහිමිවන මිනිසුන් දරුවන් කොපමණද? රෝහල් වල හදිසි අනතුරු වාට්‌ටුවල ප්‍රතිකාර ලබන දහස්‌ ගණනක්‌ රෝගීන් මේ කුමක්‌ද අත්විඳින්නේ? පෙර සංසාරයේ තමා විසින්ම කළාවූ සත්ව ඝාතනයක්‌, සත්ව හිංසාවක අකුසල් විපාකයක්‌.

අපි රියදුරන්ගේ වේගය වැඩිය කියලා දොස්‌ කියනවා. බීමත්ව රිය පදවනවා කියල දොස්‌ කියනවා. මාර්ග නීති පිළිපදින්නේ නැතිය කියලා දොස්‌ කියනවා. මේවාත් හේතු තමයි. මෙවැනි හේතු, ෙච්තනා මනුෂ්‍යයා තුළ සකස්‌ වෙන්නේ තවත් අයකුට අදාල අකුසල් විපාකදීමට අවශ්‍ය පරිසරය සකස්‌කර දීම සඳහාමයි. එක්‌ අයෙක්‌ මුදල් හම්බකිරීමට ඇති ආශාව නිසා වේගයෙන් රිය පදවනකොට, තවත් අයෙක්‌ බීමත්ව රිය පදවනකොට, ඒ තුළින් අලුත් කර්මයන් සකස්‌ කරගනිද්දී, තමාගේ ශීලය බිඳගනිද්දී, ශීලයෙන් ප්‍රමාදභාවයට පත්වෙද්දී, තවත් පුද්ගලයෙක්‌ ඒ ශීලයෙන් ප්‍රමාදභාවයට පත්වූ මනුෂ්‍යයාගේ ක්‍රියාවක්‌ හේතුවෙන්, තමා සංසාරයේ කරන ලද එවැනිම කර්මයක අකුසල් විපාකය අත්විඳිනවා. තමන් කරනා අකුසල් විපාකදීම සඳහා, අකුසල් කරන අය නොදැන නමුත්, එකිනෙකාට උපකාර කරගන්නවා. මේ එකිනෙකාට උපකාර කරගැනීම තමයි වර්තමානයේ සමාජය තුළදී අපි දකින්නේ. එක්‌ පුද්ගලයෙකුට අතීත අකුසල කර්මයන් විපාක දෙනකොට තවත් පුද්ගලයෙක්‌ අලුතින් අකුසල් කර්ම සකස්‌කර ගන්නවා. ඇයි මේ? සම්මා දිට්‌ඨියට නොපැමිණි මනුෂ්‍යයාට නැවත නැවත දුක සකස්‌ කර දීමට.

මේ පහළොස්‌ හැවිරිදි දරුවාට තමා පෙර ජීවිතයේදී කරන ලද ප්‍රාණඝාත අකුසල් කර්මය විපාක දීම සඳහා කවුද උපකාර කළේ? තමන් ගමන්ගත් සුඛෝපභෝගී බස්‌ රථයේ රියදුරා. ඔහු ශීලයෙන් ප්‍රමාදභාවයට පත්වූ නිසා, සතිය සිහිය ගිලිහී ගිහින් අනතුරුදායක වේගයකින් බස්‌ රථය පැදවීම තමයි දරුවාගේ මරණයට හේතුවුණේ. එම රියදුරා ශීලයක පිහිටි අයෙක්‌ නම් ඔහු තුළ සතිය සිහිය තිබිය යුතුයි. හිරි ඔතප් දෙක තිබිය යුතුයි. එහෙමනම් ඔහු දන්නවා වේගය කුමක්‌ද, සීමාව කුමක්‌ද කියලා. එසේනම් මුදල් හම්බකිරීමට ඇති තෘෂ්ණාව නිසා අනතුරුදායක වේගයකින් ඔහු තම බස්‌රථය පදවන්නේ නැහැ. ඔබ සතියෙන් සිහියෙන් තොරවීම නිසා, ඔබ පදවන වාහනයට ගැටී, යටවී කෙනෙක්‌ මියගියහොත් එසේත් නැතිනම් ජීවිත කාලය පුරාවට අබ්බගාතයෙකු බවට පත්වුවහොත්, දරුපවුලක්‌ අනාථ වුවහොත් ඔබට පුළුවන්ද තමා හේතුවෙන් සිදුවූ එම විපත අමතක කර දමන්න. කොච්චර අමතක කරදමන්න හැදුවත් ඒවා මතකයට එනවා. ඒ නිසාම තමන් බීමත් භාවයට වැටෙන්න ඉඩ තිබෙනවා. තව තව අකුසල් වැඩිකරගන්නවා. තමන් කවදාහරි මියයන මොහොතේදී මේ සිදුවීම් මතකයට එනවා. අවිද්‍යාවෙන් ඔද්දල්වුණු සිත හරි දක්‍ෂයි, මැරෙන මොහොතේදී මෙවැනි බලවත් අකුසල් කර්මයන් ඔබට මතක්‌කර දෙන්න. එවිට ඔබ ගැටෙන සිතිනුයි මියයන්නේ. ගැටෙන සිතින් මියයන කෙනා දුගතිවලයි උප්පත්තිය ලබන්නේ කියලා ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. බලන්නකෝ ඔබ අධික වේගයෙන් රිය පදවලා වැඩිපුර මගීන් දසදෙනෙක්‌ පටවාගතහොත් ඔබ රුපියල් දාහක්‌ වැඩිපුර හම්බකර ගනීවී. ඒත් ඒ රුපියල් දහසට තෘෂ්ණාවෙන් ඔබ රැස්‌කරගන්නා අකුසලය විසින් ඔබව කල්ප ගණනක්‌ දිගු දුකක්‌ උරුමකර දෙනවා. ඔබ වේගයෙන් රිය පදවලා පැයක්‌ කලින් ඔබේ ගමනාන්තයට පැමිණියොත්, ඔබ ඒ පැය විවේක ගනීවී. ඒත් ඒ වේගය නිසා ඔබ අතින් අනතුරක්‌ සිදුවුවහොත්, එහි අකුසල් විපාකය හේතුවෙන් ඔබට කල්ප ගණනාවක්‌ සතර අපායවල අවිවේකීව ප්‍රමදවීමට සිදුරවෙනවා. මනුෂ්‍ය ජීවිතයක්‌ ලැබුවත් එය අල්පායුෂ සහිත, රෝගී ජීවිතයක්‌ම තමයි ලබන්නේ. ඔබ යෝනිසෝ මනිසකාරයෙන් යුතුව ඇස්‌ දෙක ඇරලා බැලුවහොත්, කන් යොමලා බැලුවහොත් ඔබට මේ අත්දැකීම් සමාජය පුරාවටම දකින්න අහන්න පුළුවන්. මොනතරම් මිනිසුන්, දරුවන්, අඩු ආයුෂයෙන් මිය යනවද? මොනතරම් මිනිස්‌සු රෝගාබාධයන්ගෙන් පෙළෙනවද? ඊට සමගාමීව අනිත් පැත්තත් අපි දකිමු. මොනතරම් මිනිස්‌සු සත්ව ඝාතන කරනවාද? මොන තරම් මිනිස්‌සු සත්ව හිංසා කරනවාද? බලන්න දෙපැත්ත සැසඳිලා යන විදිහ. මේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකර වදාල හේතුඵළ ධර්මයන්මයි.

මෙම ලිපිය දිවයින ඉරිදා සංග්‍රහය සඳහා සංස්කරණය කලේ ඉන්ද්‍රජිත් සුබසිංහ