3-04- පෙර ආත්මයේ නතර කළ තැනින් අරඹන්න

2012-07-29

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ අත් හැරීම තුන්වැනි පොත – ‘සතර අපායෙන් මිදෙමු’ 04 කොටස
පෙර ආත්මයේ නතර කළ තැනින් අරඹන්න

‘සතර අපායෙන් මිදෙමු’ 2 කොටස (VII)
ධර්මය මේ සා සරළව පිංවත් ඔබට දේශනා කළ බුදුරජාණන් වහන්සේ, ඇට්‌ටේරියා වනයක වැඩසිටිමින්, තම අතට බිම වැටී තිබූ ඇට්‌ටේරියා කොළ අහුරක්‌ ගෙන දේශනා කරනවා ‘මහණෙනි මම අවබෝධ කරගත් ධර්මය මේ ඇට්‌ටේරියා වනයේම ඇති කොළවලට සමාන බවත්, මා විසින් දේශනා කළ ධර්මය මගේ මේ අතේ ඇති කොළ ප්‍රමාණය තරම් බවත්. එසේ නම් බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ ධර්මයෙන් මොන තරම් සුළු ප්‍රමාණයක්‌ද ලෝකයාට දේශනාකර ඇත්තේ. පිංවත් ඔබට නිවීමේ මාර්ගයට පමණක්‌ අදාළ පුංචි ධර්මයක්‌ මේ තරම් සරළව දේශනා කරලත්, එම ධර්මය නාසා අපේ ඇත්තෝ මේ සා දෘෂ්ඨි මතවාද ශීලවෘතවල පැටලෙනවා නම් බුදුරජාණන් වහන්සේ අවබෝධකොට වදාළ ධර්මයෙන් අඩක්‌ හෝ අපට දේශනා කළා නම් අපි සියල්ලන් මොන විනාශයක්‌ සිදුකරගනීද? බුදුරජාණන් වහන්සේලා සතු මහාකරුණා ඥානය නිසාමයි ලෝකයාට භවනිරෝධයට අවශ්‍ය කරුණු කාරණා පමණක්‌ දේශනා කරන්නේ. ඉකුත් (සතියේ) සටහනේ පෙර සඳහන් කළ “පව් නොකරනවා නම් පිංකරන්න අවශ්‍ය නැහැ” දෘෂ්ඨිය ගැනීම නිසා ඔහු මේ මොහොතේ සිටින්නේ මිත්‍යාදෘෂ්ඨික මනුෂ්‍ය ජීවිතයක. මොහුට මේ ජීවිතයේදී දැනීමක්‌වත් නැහැ මොහු පෙර ජීවිතයේදී බෞද්ධයෙක්‌ කියලා. තමා විසින් තමාටම කරගන්නා වූ මීට වඩා විනාශයක්‌ තිබෙනවාද? මේ සා විනාශයක්‌ තමා තමාටම කරගන්නේ “මම” කියලා ගොඩනගාගන්නා සක්‌කාය දිට්‌ඨිය නිසා. අප්‍රමාණ දුකෙන් පිරි අප්‍රමාණ ගහනයකින් පිරි සතර අපාය අභිබවා මේ උතුම් මනුෂ්‍ය ජීවිතය ලැබීමට පෙර ජීවිතයේ අප්‍රමාණ පිංකම් කළ පිංවතුනේ… මොහොතක්‌ විවේකීව සිතන්න. පිංවත් ඔබ ගිය ජීවිතයේදී නතර කළ තැනක්‌ තිබෙනවා. ඒ නතර කළ තැන බොහෝම පාරිශුද්ධ තැනක්‌. පාරිශුද්ධයි කීවේ දානයෙන්, ශීලයෙන්, සද්ධාවෙන් පාරිශූද්ධ නිසා. දැන් ඔබ මෙනෙහි කරන්න හේතුඵල ධර්මයන්ට අනුව, පිංවත් ඔබ අනුමාන කරන්න ඔබ ගිය ජීවිතයේදී මනුෂ්‍යයෙක්‌ය කියලා. සිංහල බෞද්ධයෙක්‌මය කියලා. පිංවත් ඔබ මනසින් සිහිපත් කරන්න සුදු වත් දරාගෙන වයස අවුරුදු අසුපහක්‌, අනුවක්‌ වෙනතුරු ශිල් සමාදන්ව සමාදන් වූ ශීලය ආරක්‍ෂාකරගත් හැටි.

පිංවත් ඔබ මෙනෙහි කරන්න මහා සංඝරත්නයේ අවවාද, අනුශාසනා ලබපු හැටි. දන් පුජාකළ හැටි. මේ කුසල් සංස්‌කාරයන් සිදුකරමින් ඔබ කුමක්‌ද ප්‍රර්ථනා කරන්න ඇත්තේ. මේ ධර්මද්වීපයේම උපත ලබන්න කියලයි. මේ ධර්මද්වීපයේම උපාසක උපාසිකාවක්‌ වේවා කියන පැතුමයි. පිංවත් ඔබ දක්‍ෂවෙන්න, තරුණ මහලු සැවොම ඒ යටගියා වූ මතකය නැවත මතුකොටගන්න. එවිට පිංවත් ඔබට නතර කළ තැනින් නැවත පටන් ගන්න පුළුවන්. එසේ නොවුනහොත් පිංවත් ඔබලා උත්සාහගන්නේ මුල ඉඳන් නැවත අලුතින් පටන් ගන්න. තරුණයෙක්‌ තරුණියෙක්‌ නම් ඔහු හෝ ඇය සිතනවා වයසට යන්න ඕනේ සිල් සමාදන් වෙන්න, දන්දෙන්න, ධර්ම මාර්ගයේ ගමන් කරන්න කියලා. එම වැරදි අදහසට ඉඩදෙන්න එපා. තරුණ කාලයේදීම සුදු වත් දරාගත් උපාසක උපාසිකාවක්‌ වෙන්න. එහෙම වුණොත් පමණයි ඔබ මේ ජීවිතයේදී ප්‍රමාදී නොවුණා වෙන්නේ. පිංවත් ඔබ තරයේම විශ්වාස කරන්න අතීත ජීවිතයේදී ඔබ දෘෂ්ඨි මතවාදයන්ගේ ග්‍රහණයට නතු වූ බෞද්ධයෙක්‌ නොවන බව. එසේ වුවානම් හේතුඵල ධර්මයන්ට අනුව ඔබ මිත්‍යාදෘෂ්ඨික භාවයෙන් තමයි උපත ලබන්නේ. එම නිසා පිංවත් ඔබ තුළින්ම ඔබ සහතිකයක්‌ ලබන්න. ගිය ජීවිතයේදී ඔබ තෙරුවන් සරණ ගිය බෞද්ධයෙක්‌මය කියලා. ඔබේ පිහිට රැකගෙන පැමිණි සද්ධර්මයේ උරුමය, අසත්පුරුෂ ආශ්‍රය අකීකරුභාවය නිසා දෘෂ්ඨිමතවාදවල, අන්‍යශීලවෘතවල සිරකොට දමන්න එපා. එය ඔබ විසින්ම ගොඩනගා ගත් දෙය ඔබ විසින්ම විනාශ කර දැමුවා වෙනවා.

ඉහත සටහන අර්ථවත් වෙන්න පහත සටහන ඔබට උපකාරවේවි.

මේ රටේ ජීවත්වන ප්‍රභු කාන්තාවක්‌ සිටිනවා. ඇය ධනයෙන් බලයෙන් අනූනයි. ඇය මහේශාඛ්‍ය කාන්තාවක්‌. භික්‍ෂුවක්‌ උතුම් සමාධියෙන් අරමුණුකර බලනවා ඇයගේ පෙර ජීවිතය ගැන. එවිට භික්‍ෂුවට දර්ශනය වෙන්නේ ඇය ගිය ජීවිතයේදී මනුෂ්‍ය ලෝකයේම කාන්තාවක්‌ බවයි. භික්‍ෂුවට ඇයව දර්ශනය වී ඇත්තේ ඇය ගිය ජීවිතයේදී මහලු වයසේදී ද, තරුණ වයසේදී ද සුදු වත් දරාගත් කාන්තාවක්‌ බවයි. ඒ  කියන්නේ ඇය තරුණියක්‌ව සිටි අවධියේ පටන් මියයන තුරාවට ශීලයම ජීවිතය කරගත් කාන්තාවක්‌ බවයි. දැන් පිංවත් ඔබ හේතුඵල ධර්මයන්ට අනුව ඇයගේ මේ ජීවිතය දකින්න. මේ ජීවිතයේදී ඇයට මහේශාඛ්‍ය භාවය ලැබුණේ අන් කවුරුත් දුන් නිසා නොව පෙර ජීවිතයේ ශීලයේ ආනිසංස ධර්මයන් නිසාමයි. දෙවියෙක්‌, බ්‍රහ්මයෙක්‌ එසේත් නැතිනම් ඇයගේ ස්‌වාමිපුරුෂයා ඇයට දුන් මහේශාඛ්‍ය භාවයක්‌ නොවේ. ඇයම කර්මය කර්මඵල විශ්වාසයෙන් ආරක්‍ෂා කළා වූ ශිලයේ බලයයි. ගිය ජීවිතයේදී ඇය විසින්ම රැස්‌කළ කුසල් සංස්‌කාර සුවසේ මේ ජීවිතයේ අත්විඳින මහේශාඛ්‍ය ඇය මේ ජීවිතයේ හරි අඩක්‌ පමණ මේ දක්‌වා පැමිණියද ගිය ජීවිතයේ නතර කළ තැනින් මේ දක්‌වා තම ජීවිතය පටන්ගත් බවක්‌ දකින්නට නැත. ඇයගේ මහේශාඛ්‍ය භාවය නිසාම ගිය ජීවිතයේදී ශීලයේ ආනුභාවයෙන් ලැබූ කුසල් සංස්‌කාර විඳිනවා පමණක්‌මය. ගිය ජීවිතයේදී දිවි පරදුවට තබා රැකි ශීලය නෙක්‌කම්මය උදෙසා නොව භවයේ සැප උදෙසා ෙච්තනා සකස්‌කර ගෙන එහි ඵලයක්‌ මේ ජීවිතයේදී ලැබ ප්‍රමාදීභාවයට පත්ව භවයේ අනතුරුදායක බව ඇය දැන් අත්විඳින්නීය. කුසල් සංස්‌කාරයන්ගේ අනතුරුදායක බව ඇය දැන් අත්විඳින්නීය. නැවතත් සටහන් කරමි සංස්‌කාරයෝ අනතුරුදායකයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න. මඟ නොමඟ නිවැරදිව හඳුනාගන්න. හේතුඵල ධර්මයන් නොදකිමින් පිංවත් ඔබ කුසල් සංස්‌කාරයන් පරිහරණය කළොත් එම කුසල් සංස්‌කාරයන්ම ඔබව සතර අපායට වැටීමටත් පාර පෙන්නාවි. ඉහත කාරණය නුවණින් මෙනෙහි කර පිංවත් ඔබ ඔබේ පිංවත් ජීවිතයේ ධනය, බලය, රූපය හේතුඵල ධර්මයන්ට අනුව ගලපා බලන්න. ඒවා සකස්‌වීමට බලපෑ හේතූන් ධර්මානුකූලව හඳුනාගන්න. ගිය ජීවිතයේ පිංවත් ඔබ නතර කළ තැනින් මේ ජීවිතය පටන් ගන්න. ගිය ජීවිතයේ පිංවත් ඔබ නතර කළේ සුදුවත් දරාගෙනමයි. එසේ නම් මේ ජීවිතයේදී තරුණ වියේදීවත් පිංවත් ඔබ සුදුවත් දරාගත් උපාසක උපාසිකාවක්‌ වෙන්න. ඔබට මේ උතුම් මනුෂ්‍ය ජීවිතය ලබාදීමට උපකාරී වු ධර්මයට ගරුකරන්න. පිංවත් ඔබ හිතන්නේ ඔබේ පරම්පරාවෙන්, දෙමාපියන්ගෙන්, දේපල නිසා, අධ්‍යාපනය නිසා, ලබාගත් නිලතල නිසයි මේ සශ්‍රික භාවය ලැබුණේ කියලා. ඔය සමහරු කියන්නේ කවුරුත් නිසා නොවෙයි මමයි දහදුක්‌ විඳගෙන අධ්‍යාපනය හදාරල මේ තැනට පැමිණියේ කියලා. පිංවත් ඔබ දුක්‌විඳල තමයි ඔය තැනට ආවේ. එය සම්පූර්ණ සත්‍යයක්‌. නමුත් මේ සියල්ලටම ඔබට, මට නොපෙනෙන ධර්මතාවයක්‌ තිබෙනවා. හේතුඵල ධර්මයක්‌. ඒ පෙර ජීවිතයේදී ඔබ විසින් සකස්‌කොටගත් කුසල් සංස්‌කාරයන්ගේ ශක්‌තියයි. එම නිසා පිංවත් ඔබ තෙරුවන් කෙරෙහි කෘතගුණ දක්‌වන්න. ශීලය, දානය කෙරෙහි කෘතගුණ දක්‌වන්න. කෘතවේදී මනුෂ්‍යයෙක්‌ වෙන්න. මිථ්‍යදෘෂ්ඨියට, දුෂ්ශීලභාවයට, මසුරු බවට ඔබේ ජීවිතය තුළින් ඉඩකඩ සලසා ඔබේ ජීවිතයට ඔබ ෙද්‍රd හිවෙන්න එපා. ගුණමකු වෙන්න එපා. ධර්ම මාර්ගය අර්ථවත්ව වඩමින් අතීතයේ ඔබ රැස්‌කළාවු කුසල් සංස්‌කාරයන්ගේ උපරිම ඵලය නෙලාගත් ඥානවන්ත උත්තමයෙක්‌ වෙන්න. මේ භව ගමනේ සතර අපායන්හි කවදාකවත් අතරමං නොවන්න. මෙන්න මේ උතුම් අරමුණ උදෙසාමයි මේ ජීවිතය පිංවතුන්ලාට ලැබුණේ. එම නිසා අතීත මතකය මතක්‌ කරගෙන ප්‍රමාදී නොවී අප්‍රමාදී වෙන්න. කුසල් අකුසල් සියලුම සංස්‌කාරයෝ අනිත්‍ය බවම සිතන්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතයේදීම නිවන් අවබෝධයෙන් සැනසීම සඳහා, සතර අපායෙන් මිදීම සඳහා පිංවත් ඔබ කාරණා හතරකින් සම්පූර්ණ විය යුතුය කියලා. එම කාරණා හතර තමයි සද්ධාව, වීර්යය, හිරි ඔතප් කියන්නේ. හිරි ඔතප් කියන්නේ ශීලය. පිංවත් ඔබ ලැඡ්ජා බය දෙක සකස්‌කොට ගන්න ඕනේ. නැවත තිරිසන්, ප්‍රේත, අසුර, නිරයට නොවැටෙන්න. මෙතනදී තමයි ඔබ තුළ අයෝමය වීර්යය සකස්‌කරගත යුත්තේ. එසේ නොමැතිව පිංවත් ඔබ කාමච්ඡන්දයට යටවී ‘මට පාරමී මදි’, එසේත් නොමැතිනම් ‘ලෝභ, ද්වේශ, මෝහ අඩු වූ ත්‍රිහේතුක ප්‍රතිසංධියක්‌ ලබා ගන්න තව ගොඩාක්‌ සසර යන්න තිබෙනවා’ මෙවැනි කථා සද්ධාව වීර්යය මඳබවේ ප්‍රතිඵලයක්‌ මිස ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ අර්ථ දැක්‌වීම නම් නොවේ. නමුත් බුද්ධකාලීන සමහර සිදුවීම් තිබෙනවා පෙර අදහස්‌ සනාථ කර දක්‌වන්න. මෙහිදී අප නිහතමානීව දකින්න ඕනේ අප තුළ සද්ධාව, වීර්යය, හිරි ඔතප් හීන නිසාමයි ඉහත නිදහසට කාරණා සොයන්නේ කියලා. අප විසින් නිදහස උදෙසා පෙළගස්‌වන ඉහත කාරණා අපේ කෙලෙස්‌වල දිග පළල මිස ධර්මයේ සන්දිඨික ගුණයේ වරදක්‌ නම් නොවේ. හිස ගිනිගත්තෙක්‌ එම ගින්න නිවන්න වෙහෙස ගන්නේ යම්සේද මේ භවගින්නෙන් මිදීමට එපමණටම වෙහෙස ගන්න යෑයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, භවයේ තව දුරටත් සැරිසැරීම අනතුරුදායක බව කියාදීමටය. එම සිතුවිල්ල තුළ ඇති දුක්‌ ගින්දර කෙරෙහි බිය ඇති කරගන්න. ධර්මය කෙරෙහි විශ්වාසය ඇතිකොට ගන්න. ඔබ තුළ නැති වීර්යය එවිට ඇති වේවි සිත නැමති මාරධර්මය විනිවිද දැකීමට.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

3-03-සංස්‌කාරයන්ට අනුව

2012-07-22

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ…3
සංස්‌කාරයන්ට අනුව ජීවිතය නොදැක්‌කොත්….?
“සතර අපායෙන් මිදෙමු” 3 කොටස (VI)
පිංවත් ඔබ සැවොම පිංකම් කිරීම සදහා බොහෝම කැපවීමෙන් කටයුතු කරනවා. නමුත් සමාජයේ ජීවත්වන තවත් පිරිසක්‌ සිටිනවා ඒ අය පිංකම් කිරීම කෙරෙහි එතරම් වෙහෙසක්‌ ගන්නේ නැහැ. එම පිංවතුන් කල්පනා කරනවා අපි කාටවත් වැරදි කරන්නේ නැහැ. අපි පව් වැඩ කරන්නෙ නැහැ. එම නිසා අපට පිං කිරීමේ අවශ්‍යතාවයක්‌ නැහැ කියලා. එහෙම කියන ගමන් ඒ අය ප්‍රකාශ කරනවා පව් කරන අයයි පිංකළ යුත්තේ කියලා. මතුපිටින් මේ අදහස්‌ බැලුවහම එකිනෙකට බොහෝම හොඳින් ගැලපෙනවා. නමුත් මෙවැනි දෘෂ්ඨි තුළ සැගවී ඇති සතුරා තමයි මිත්‍යාදෘෂ්ඨිය. පිංවත් ඔබේ ජීවිතය දෙස හොඳින් හැරී බලන්න. යහපත් අම්මා, තාත්තලාට දාව බෞද්ධ පරිසරයක ඉපදිලා ඔබට හතරුකම් කරන දෘෂ්ඨීන් වලට යටවීම තුළින් මේ මනුෂ්‍ය ජීවිතයට ඔබ මොනතරම් සතුරු කමක්‌ද සිදුකර ගන්නේ.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා සියලු සංස්‌කාරයෝ අනිත්‍යයි කියලා. සංස්‌කාරයෝ කියන්නේ අවිද්‍යාව හේතුවෙන් සකස්‌ වෙන්නාවූ කාය, වචී, මනෝ සංස්‌කාර. කයින්, වචනයෙන්, මනසින් සිදුවෙන්නාවු කුසල් සහ අකුසල්. ඒ කියන්නේ පිංවතුන් සිදුකළා වුද සිදුකරගන්නාවූද සියළුම කුසල් සහ අකුසල් සංස්‌කාර විපාකදී අවසන් වන බවයි. අති බහුතරයක්‌ මිත්‍යදෘෂ්ඨික මිනිසුන් ජීවත්වන ලොවක පිංවත් ඔබට මේ අර්ථවත් බෞද්ධයෙක්‌ ලෙස ජීවිතයක්‌ ලැබුණේ කුසල් සංස්‌කාරයන් නිසා. ඇස්‌ අන්ධ, කන් බිහිරි, දිව ගොළු, අංග විකල මිනිසුන්ගෙන් ගහන ලොවක අංග සම්පූර්ණ මනුෂ්‍ය ශරීරයක්‌ ලැබුණේ කුසල් සංස්‌කාරයන් නිසා. විරූපී මිනිසුන් ජීවත් වන ලොවක පිංවත් ඔබට අනුන්ගේ සිත් වසඟ කරන රූපයක්‌ ලැබුණේ, රෝගී මිනිසුන් බහුල ලෝකයක පිංවත් ඔබට නිරෝගී ජීවිතයක්‌ ලැබුණේ අතීත කුසල් සංස්‌කාර නිසා. පිංවත් ඔබට යහපත් සමාජ තත්වයක්‌, යහපත් දෙමාපියන්, ඥාතීන්, බිරිදක්‌, සැමියෙක්‌, දරුවෙක්‌ ලැබුණේ අතීත කුසල් සංස්‌කාර නිසා. පිංවත් ඔබ මගේ කොටගෙන සතුටු වෙන සියල්ල ඔබට අතීතයේ රැස්‌කළාවූ සංස්‌කාරයන්ගේ ප්‍රතිඵලයි. මේ ඇස ඔබට ලැබුණේa කුසල් සංස්‌කාරයක්‌ නිසා. දැන් ක්‍රමක්‍රමයෙන් ඔය ඇස ගෙවී යනවා. මේ මුළු ශරීරයේම ස්‌වභාවය එයයි. මේ අංගසම්පූර්ණ ශරීරය ඔබට ලැබුනේ කුසල් සංස්‌කාරයන් නිසා. සංස්‌කාරයන්ගේ ස්‌වභාවය අනිත්‍යයයි. එම නිසා ගිහි පිංවත් ඔබ නැවත නැවත රැස්‌කළ යුතුයි. පිංවත් ඔබට යහපත් බිරිඳක්‌ ලැබිලා තිබෙනවා. ඇය ඔබට බොහෝම කීකරුයි. දුක සැප බෙදා ගනිමින් ජීවත් වෙනවා. මේ බිරිඳ ඔබට ලැබුණේ කුසල් සංස්‌කාරයක්‌ නිසා. හොඳයි ඔබට නිරතුරුවම පීඩාදෙන වධක භාර්යාවක්‌ ලැබුණේනම් බිරිඳගෙන් ලැබෙන සතුට තිබෙනවාද? නැහැ. එහෙනම් ඔබට රණ්‌ඩුවෙන්න, පොලීසි යන්න, දික්‌කසාද වෙන්න….. ප්‍රශ්ණ ගොඩක්‌ මුණගැසෙනවා. එය අකුසල් සංස්‌කාර නිසා සිදුවන්නක්‌. මේ දුක සහ සැප දෙකටම හේතුව අතීත කුසල් සහ අකුසල් සංස්‌කාරයන්මයි. එසේ නැතිව හඳහනේ වරදවත්, කපු මහතාගේ වරදවත් නොවේ. ඔබම අතීතයේ රැස්‌කළාවූ කුසල් අකුසල් වල ප්‍රතිඵලයි.

ඔබට සැප ලබාදෙන කුසල් සංස්‌කාරයන් මෙන්ම දුක ලබාදෙන අකුසල් සංස්‌කාරයන්ද විපාක දී අවසන් වෙනවා. ඔබ මේ ජීවිතයේදී සැප ලබනවාය කියන්නේ ඔබම රැස්‌කරපු දෙය ගෙවෙනවාය කියන කාරණයයි. එම සැප ලබන්න ලබන්න ඒවා (කුසල් සංස්‌කාරයන්) ක්‍ෂයවී යනවා. ක්‍ෂය වන දෙය ඔබ නැවත නැවත රැස්‌කළ යුතුයි. එසේ නැතිවුවහොත් නැවත ලබන ජීවිතයේදී ඔබ හීන, දීන භාවයට පත්වෙනවා. එබැවින් “අපි පව් කරන්නේ නැති නිසා පිං කරන්න අවශ්‍ය නැහැ” ය කියන මුසාවාදය, මිත්‍යාදෘෂ්ඨිය ගැන පිංවත් ඔබ පරෙස්‌සම් වන්න. නැවත නැවත පිංකම් සිදුකරමින් ගෙවී යන කුසල් සංස්‌කාරයන් තව තව වඩවා ගන්න. පිංවත් ඔබ අත්විඳින්නා වූ අකුසල් සංස්‌කාරයන්ගේ විපාකයන්ද, දුකද නැවත නැවත පිංකම් සිදුකරමින් රැස්‌කරන්නාවූ කුසල් සංස්‌කාරයන්ගේ ශක්‌තියෙන් යටපත් කර නැගී සිටින්න.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ මොහොතේ පිංවත් ඔබගේ දෑසින් කඳුලක්‌ ගලනවා නම්, ඒ ඔබ පෙර ජීවිතයේදී අනුන්ගේ ජීවිතයකට කඳුලක්‌ දුන් නිසාමයි කියලා. ඔබ මේ මොහොතේදී සතුටින් සිනාසෙන්නේ නම් ඒ පෙර ජීවිතයේදී ඔබ අනුන්ට සතුටක්‌ දුන් නිසාමයි කියලා. එසේ නම් පිංවත් ඔබගේ සිනහවටත් කඳුලටත් හේතුව ඔබගේ අතීත සංස්‌කාරයෙන්ගේ ඵලයයි. මෙසේ විවේකීව, හේතුඵල ධර්මයන්ට අනුව ජීවිතය දකින්න. මේ දැකීම ඔබට අත්‍යවශ්‍යයි, ධර්මය කෙරෙහි අචල සද්ධාව සකස්‌කර ගන්න. මේ ධර්මතාවයන් ගැන විශ්වාසයක්‌ නැති මනුෂ්‍යයා නැවත මනුෂ්‍ය ජීවිතයක්‌ ලැබූවත් මිත්‍යදෘෂ්ඨික භාවයට පත්වෙනවා. ඊට අමතරව කර්මය කර්මඵල ගැන විශ්වාසයක්‌ නැති නිසා, දානය කෙරෙහි ඇති උදාසීනභාවය නිසා දුප්පත්වෙලයි උපත ලබන්නේ. මෙහෙම උපතක්‌ සකස්‌කරගත් මනුෂ්‍යයෙක්‌ ගැනයි පහත සටහන.

මොහු මධ්‍යම පංතික ජීවිතයක්‌ ගතකළ මහත්මයෙක්‌. විවාහවෙලා දරු මුණුබුරන් සිටියා. මොහු කවදාවත් සිල් සමාදන්වුණේ නැහැ. දන් දෙන්න ගියේ නැහැ. මොහුගේ දර්ශණය වුනේ “මම වැරදි කරන්නේ නැහැ. එම නිසා මට පිං කිරීමට අවශ්‍යතාවයක්‌ නැහැ” කියන එකයි. මේ කෙනා මනුෂ්‍යයන්ට උපකාර කළා. ඒත් කර්මය කර්මඵල ගැන විශ්වාසයෙන් නොවෙයි. එම නිසා ඔහු කළ යහපත් දේවල් හුදු ඒ මොහොතේ සතුට ලැබූ ක්‍රියාවන් පමණක්‌ වුණා. මේ මනුෂ්‍යයා අවුරුදු 65 ක්‌ පමණ ජීවත්වී මියයනවා. මොහුගේ මරණින් පසුව භික්‍ෂුවක්‌ උතුම් සමාධියෙන් අරමුණුකර බලනවා මොහු කිනම් තැනක නැවත උපත සකස්‌කරගත්තාද කියලා. එවිට භික්‍ෂුවට දර්ශනය වන්නේ දුප්පත් පැල්පතක උපත ලබා සිටින කළු පැහැති දරුවෙක්‌. පෙනුමෙන් භික්‍ෂුව අනුමාන කළේ ඒ ද්‍රවිඩ දරුවෙක්‌ බවයි. ඒ කියන්නේ මේ මනුෂ්‍යයා තමන් අකීකරුභාවයෙන් ගත් දෘෂ්ඨිය නිසා සම්මා සම්බුද්ධ ශාසනය අහිමිකරගත් බවයි. දැන් මොහු මිත්‍යාදෘෂ්ඨිකභාවයට පත්වී අවසන්. මේ විනාශයෙන් මොහු කවදා ගොඩ එන්නද? එය දැන් සිහිනයක්‌ පමණයි. මේ සා අර්ථවත් වටිනා දහමක හිමිකරුවෙක්‌ව ඉපදිලා, තම තමන්ට ඕනෑ ආකාරයට ධර්මය ගලපාගැනීමට යාම නිසා මොහු සම්මා සම්බුද්ධ ශාසනය අහිමිකර ගත්තා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් දේශනාකර වදාළ ධර්මය පිංවත් ඔබ විසින් ඔබේ දෘෂ්ඨීන්ට අනුව අර්ථ දක්‌වන්න යන්න එපා. එහෙම වුණොත් එහි විපාකය ඔබට ශාසනය අහිමිවී මිත්‍යාදෘෂ්ඨිකභාවයට පත්වීමයි.

පිංවත් ඔබට පෙනෙනවා ශාසනයේ අර්ථයන් බෙහොම වේගයෙන් අතුරුදන් වෙමින් යන ස්‌වභාවය. ධර්මයේ සන්දිට්‌ඨික ගුණය ගැන වර්තමානයේ බොහොම අඩුවෙනුයි කථා කරන්නේ. ධර්මයේ අර්ථය වන චතුරාර්ය සත්‍යය ධර්මයේ මුල්ම ආර්ය සත්‍යය වන “දුක” වෙනුවට “සැප” කියන කාරණය දකින්න කැමැති ප්‍රවණතාවක්‌ සමාජය තුළ තිබෙනවා. මේ ප්‍රවණතාවය වැඩිවෙන්න වැඩිවෙන්න අපි මොකක්‌ද ලෝකය තුළ දකින්නේ? ඒ මිත්‍යාදෘෂ්ඨිකභාවය වැඩිවීම. තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් තොරව දෘෂ්ඨීන්, මතවාද කරපින්නාගත් බෞද්ධයන්ගේ වැඩිවීම. මේවා කම්පාවිය යුතු දේවල් නොවේ. හේතුඵල ධර්මයන්මය. ධර්මයේ සැබෑ අර්ථයට පිටුපාන සම්බුද්ධ දේශනාවන් වැරදි ආකාරයට අර්ථ දක්‌වන කිසිම ගිහි පැවිදි පිංවතකුට මේ ජීවිතයෙන් පසු ශාසනයේ රැකවරණය උරුමවෙන්නේ නැහැ. මිත්‍යදෘෂ්ඨිකභාවයේ අඳුර රැඳි භව ගින්දරයි උරුම වෙන්නේ. පිංවත් ඔබ ධර්මයේ අර්ථයෙන් ඈත්වෙන්න ඈත්වෙන්න ලෝකයේ මිත්‍යාදෘෂ්ඨිකභාවය වැඩිවෙනවා. තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් යුත් බෞද්ධයන් අඩුවෙනවා. සමහර පිංවතුන් බොහෝම වේදනාවෙන් කථා කරනවා සිංහල බෞද්ධ අම්මලා දරුවන් උපරිම දරුවන් දෙදෙනයි හදන්නේ. මුස්‌ලිම් ද්‍රවිඩ අම්මලා දරුවන් ගොඩක්‌ හදනවා කියලා. මේ හේතුවෙන් බෞද්ධයන් අඩුවීගෙන යනවා කියලා. පිංවත් ඔබ කලබල වෙන්න එපා. මේවා හේතුඵල ධර්මයන්. ඔය සෑම ද්‍රවිඩ, මුස්‌ලිම් අම්මා කෙනෙකුගේම කුසේ උපදින්නේ, මේ උතුම් සද්ධර්මයේ අර්ථයන්ට පිටුපෑ දෘෂ්ඨි, මතවදා නිසා ශාසනය අහිමිකරගත් බෞද්ධයන්මයි. ඉහත කරුණු කාරණා පිංවත් ඔබ ධර්මානුකූලව නොසිතා, දෘෂ්ඨිගතව සිතන්නට ගියොත්, ඒ හේතුවෙන් ද්වේෂය සකස්‌කර ගතහොත් පිංවත් ඔබටද මීළඟ උරුමය එවැනි මව්කුසක්‌ වීමට පුළුවන්.

ලෝකය ලෝකයේ ස්‌වභාවයෙන් පවතීවී. පිංවත් ඔබ ධර්මයේ ස්‌වභාවයට එන්න. ඔබ තෙරුවන් සරණ ගිය උපාසක, උපාසිකාවක්‌ වෙන්න. කර්මය කර්මඵල විශ්වාසයෙන් ජීවිතය දකින්න. එවිට ඔබට පුළුවන් සිංහල, දෙමළ, මුස්‌ලිම්, බෞද්ධ, ක්‍රිස්‌තියානි සෑම මව්කුසක්‌ම දුක බව දකින්න. ලෝකය අනතුරුදායකයි. බොහෝම පරෙස්‌සමෙන් පරිහරණය කරන්න. ලෝකය යනු පංචඋපාදානස්‌කන්ධයම බව දකින්න. මේ මොහොතේ ජාතිය සිංහල, ආගම බුද්ධාගම සහිත උප්පැන්න සහතික හිමි ඔබ එහි අර්ථයන් නොගැලපෙන ආකාරයට දෘෂ්ඨිගත වුවහොත් ඔබ මියගොස්‌ හරියටම මාස 9 කට පසු ජාතිය ආගම හින්දු, මුස්‌ලිම්, ක්‍රිස්‌තියානි යෑයි සඳහන් උප්පැන්න සහතිකයක හිමිකරුවෙක්‌ වීමට ඔබට හැකිය. මේ සියල්ල සංස්‌කාරයන්ගේ හේතුඵල ධර්මයන්ය. කොතැනකවත් වරදක්‌ නොමැත. ඔබට වැරදුණිද ධර්මයට වරදින්නේ නැත. ධර්මයට බෞද්ධ, ක්‍රිස්‌තියානි, හින්දු, මුස්‌ලිම් භේදයක්‌ නොමැත. සංස්‌කාරයන්ගේ ස්‌වභාවය මත තීන්දුව ලබාදීම ධර්මයේ අර්ථයයි. එහෙත් මේ උතුම් මොහොතේ පිංවත් බෞද්ධ ඔබට අන් සියල්ලන්ටම වඩා ආශ්චර්යමත් භාග්‍යයක්‌ ඇත. ඒ සම්මා සම්බුද්ධ ඥාණයෙන් තුන් ලෝකය අවබෝධකොට වදාල උතුම් ශාස්‌තෘන්වහන්සේ නමකගේ ශ්‍රී සද්ධර්මයේ උරුමය ලැබීමයි.

මුළු ලෝකයම එක ගොඩකට දමා ඔබ බුදුරජාණන් වහන්සේගේ ගොඩට විත් ලෝකය දකින්න.

ලෝකය විසින් දකින ලෝකය හුඟාක්‌ සංකීර්ණයි. එම ලෝකය තුළ බෞද්ධ, හින්දු, ක්‍රිස්‌තියානි, මුස්‌ලිම්…. පිං, පව්, හොඳ, නරක, සාමය, යුද්ධය….. මේ සියල්ලම තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෝකය මීට වඩා හුඟාක්‌ සරළයි. චතුරාර්ය සත්‍ය ධර්මය ගත්තත්, පටිච්ජසමුප්පාද ධර්මය ගත්තත් අවිද්‍යාව විසින් සංකීර්ණභාවයට පත්කර ඇති ලෝකය බොහෝම සරළ තැනකට ගෙනෙනවා. තෘෂ්ණාව කියන එකම කාරණය නිසා ලෝකය අල්ලාගන්නා ස්‌වභාවයත්, තෘෂ්ණාව කියන එකම කාරණය ප්‍රහානය කිරීමෙන් ලෝකයෙන් මිදෙන ස්‌වභාවයත් බොහෝම අර්ථවත්ව දේශනා කර තිබෙනවා. පිංවත් ඔබ තෘෂ්ණාව කියන කාරණයෙන් මුළු ලෝකයටම බැඳී සිටියත්, එම ලෝකය කියන සංකීර්ණ කාරණය බුදුරජාණන් වහන්සේ ඔබ තුළින්ම සකස්‌වෙන රූප, වේදනා සංඥා, සංඛාර, විඤ්ඤාණ කියනා කරුණු පහ තුළට ගේනවා. මුළු ලෝකයේම ක්‍රියාකාරීත්වය පංචඋපාදානස්‌කන්ධය තුළට ගේනවා.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

3-2-(v)-දුක මරන්න

2012-07-15

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ…3.
දුක මරන්න නැතිනම් ඔබ මැරුණත් දුක නොමැරෙයි
‘සතර අපායෙන් මිදෙමු’ 2 කොටස (v)
භික්‍ෂුවට ඇසෙනවා සර සර ගාන හඬක්‌. ඒ හඬ නිතරම ඇසෙන්නේ කුටිය අසල ගැවසෙන තලගොයාගෙන්. එම සතා නිතරම වියළි කොළ වැටුණු පොළවට ඉව කරමින් කෑම සොයනවා. පොළව හාරන සෑම තැනකින්ම අනිවාර්යෙන්ම ගැඩවිල් පණුවෙක්‌, පත්තෑයෙක්‌, ගෝනුස්‌සෙක්‌ ඩැහැගන්නවා. තලගොයා මේ සෑම සතෙක්‌ම මරාගෙන කන්නේ මරණීය ෙච්තනාවක්‌ ඇතිකරගෙනමයි. මේ තලගොයා තුළත් මනුස්‌සයාට වගේම පංචඋපාදන්ස්‌කන්ධයක්‌ සකස්‌වෙනවා. නමුත් මේ සතා මේ ධර්මතාවයන් ගැන දන්නේ නැහැ. ඔහු ප්‍රමාදයට පත්වෙලා. කුමක්‌ නිසාද මේ ප්‍රමාදභාවය සකස්‌වුණේ. පෙර ජීවිතයේ ශීලයේ දුර්වලතාවය නිසාමයි. මේ සතාට කර්මය කරමඵල විශ්වාසය නැහැ. නමුත් මරණීය ෙච්තනාව සකස්‌ වෙනවා. තලගොයා ගිල දමන සෑම සතෙක්‌ පාසාම තලගොයාට ප්‍රාණඝාත අකුසලය සිද්ධවෙනවා. ඒ වගේමයි තලගොයාට ගොදුරුවී මියයන සෑම සතෙක්‌ටම එම සතා කළාවූ අකුසලයක්‌ විපාක දෙනවා. කෙනෙක්‌ අකුසල් සංස්‌කාරයන් උපද්දවා ගන්නකොට තව කෙනෙක්‌ අකුසල් සංස්‌කාර ගෙවනවා. මේකට තමයි ලෝකය කියන්නේ. කෙනෙක්‌ උපද්දවනවා තව කෙනෙක්‌ ගෙවනවා. කඳුළ සිනහව දෝලනය වන ලොවක අපි සැපම සොයනවා.

මේ තලගොයාම පෙර ජීවිතයේ මනුෂ්‍යයෙක්‌ වශයෙන් ඉපදිලා සිටියදී තේරුම් නොගත් දෙය තලගොයෙක්‌ වෙලා කෙසේනම් තේරුම් ගන්නද? මේ තලගොයා තව කල්ප ගණනාවක්‌ම අකුසල් කරමින්ද කළාවූ අකුසල්වලට විපාක විඳිමින්ද භවයේ ගමන් කරනු ඇත. මේ තලගොයාගේ ජීවිතය තුළ සැඟවී ඇති භවගමනේ අන්තරාකාරී බව ඔබ නුවණින් මෙනෙහි කිරීමට දක්‌ෂ වුවහොත් එය ඔබට මේ ජීවිතයේදීම සතර අපායෙන් මිදීමට අවබෝධය සකස්‌ කරනු ඇත.

පිංවතුන්ලා මුලින්ම කරන්නට යන්නේ භාවනා කිරීම. ඔතනදී තමයි අපි වරද්දගන්නේ. මුල්ම කාරණය ලෙසින් තෙරුවන් කෙරෙහි සද්ධාව ඇතිකරගන්න. දෙවැනිව ශීලයක්‌ ආරක්‌ෂා කරගන්න. මේ කාරණා දෙක පරිපූර්ණ නැතිව විදර්ශණා භාවනාවක්‌, සමථ භාවනාවක්‌ වැඩෙන්නේ නැහැ. නිසියාකාරව තෙරුවන් කෙරෙහි සද්ධාව තූළින්, ශීලය තුළින් පිංවත් ඔබ පිරිසිදුභාවයට පත්වෙලා ඕනේ භාවනාවකට යොමුවෙන්න. ඔබ තුළ ඒ පිරිසිදුභාවය සකස්‌වෙලා නැතිනම් භාවනාවක්‌ වැඩෙන්නේ නැහැ. භාවනාව නාමයෙන් සක්‌කායදිට්‌ඨියමයි, මාන්නයමයි වැඩෙන්නේ.

මෙතැන ප්‍රශ්නය වෙලා තිබෙන්නේ පිංවත් ඔබ තෙරුවන් කෙරෙහි සද්ධාවේ පිහිටීම කියන කාරණය නිවැරුදි අර්ථය තේරුම් අරගෙන නැහැ. භික්‍ෂුව දන්න භාවනා උපදේශක මහත්මයෙක්‌ සිsටියා. ඔහු විශාල පිරිසකට භාවනා පංති පවත්වන භාවනා ගුරුවරයෙක්‌. මේ භාවනා ගුරුවරයා බාහිරට නොපෙනෙන්න උදරය හරහා සුදු නූලක්‌ (ආරක්‌ෂාවක්‌) දමාගෙනයි සිටින්නේ. භික්‍ෂුව ඔහුගෙන් ඇසුවා ඇයි ඔබ ඔය ශරීරයට සුදු නූලක්‌ දමාගෙන ඉන්නේ කියලා. මේ භාවනා ගුරුවරයා කියනවා ‘මට හරියට සතුරු කරදර තිබෙනවා. ඒකට ආරක්‍ෂාවක්‌ කරලයි මේ නූල දැම්මේ’ කියලා. බලන්න මේ භාවනා ගුරුවරයා අඩුම වශයෙන් තෙරුවන් කෙරෙහි සද්ධාවවත් ඇතිකෙනෙක්‌ නොවේ. මොහු රැවටීම තුළයි ජීවත්වෙන්නේ. අවංකවම මොහු දන්නේ නැහැ මොහු තුළ සද්ධාව පිහිටල නැහැ කියන එකවත්. එය හරිම අවාසනාවක්‌. ඔහුත් රැවටිලා තම ගෝලයනුත් රවට්‌ටලා. සසර මෙතුවක්‌ කලක්‌ අපට වැරදුන ලොකුම තැන තමයි තෙරුවන් කෙරෙහි සද්ධාවේ සැබෑම අර්ථය හඳුනා නොගත් කාරණය. යමෙක්‌ අන්‍යශීලවෘත වලට ගරුකරනවා නම්, මිථ්‍යාදෘෂ්ටික මාර්ගය ඔස්‌සේ ආරක්‌ෂාව බලාපොරොත්තු වෙනවානම්, තෙරුවන්ගේ ගුණයන් කෙරෙහි විචිකිච්චාව ඇතිකරගෙන තිබෙනවා නම්,ඔවුන් ගිහිපැවිදි කවුරුන් වුවද තවමත් තෙරුවන් කෙරෙහි සද්ධාවට පැමිණ නැති බව, තමා කෙරෙහි අනුකම්පාවෙන් තමාම පිළිගත යුතුය. ඔබ තුළ ඇත්තේ අමූලිකාසද්ධාවකි. මෝහය මුසු, නිරතුරුවම අභියෝග හමුවේ වෙනස්‌වන සද්ධාවකි. සමාජය පුරා යන්ත්‍ර මන්ත්‍ර, හදිහූනියම්, කේන්ද්‍ර, ගුරුකම් ව්‍යාපාරයක්‌ කරගනිමින් ජීවත්වෙන, ඒවායේ ප්‍රතිලාභයක්‌ ලබන ලක්‍ෂ කීයක්‌ ඉන්නවාද? ඒ සෑම දෙනෙක්‌ම ඉහත අභියෝගය තුළ ජීවත්වන බව සද්ධර්මයේ නාමයෙන් සටහන් කළ යුතුව ඇත.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ සුත්‍රදේශනා කියවීමෙන් ඉහත කාරණය ගැන නිවරැදි වැටහීමක්‌ ලබාගත හැකිය. නමුත් මේ නිවරැදි භාවයට පත්වීම ලෝකයේ ඇති දුර්ලභම දෙයක්‌ වනු ඇත. මේ උතුම් ශාසනයක්‌ මුණගැසුණ මොහොතේ එවන් දුර්ලභ මනුෂ්‍යයෙක්‌ වීමට පිංවත් ඔබත් උත්සහ ගන්න. තෙරුවන් කෙරෙහි සද්ධාවට පැමිණීමට පිංවත් ඔබ අන්‍ය ශීලවෘතයන් කෙරෙහි, මිථ්‍යාදෘෂ්ටික ක්‍රමවේදය කෙරෙහි ඇති බැඳීම් වලින් වහා වහා මිදෙන්න. තෙරුවන් කෙරෙහි විශ්වාසයෙන්, ශිල්වත් භාවයෙන්, මෛත්‍රීයෙන්, දානය තුළින්ම, සතුරු කරදර මඟහරවා ගන්න. ජීවිතය ඉදිරියට පැමිණෙන ප්‍රශ්aන කම්කටොළු සංස්‌කාරයන්ගේම ස්‌වභාවයක්‌ හැටියට දැකීමටත්, ඒවාම කමටහන් කොටගෙන ලෝකය කෙරෙහි අවබෝධයෙන් කලකිරීමටත් උත්සහගන්න. මෙය සටහන් තබන භික්‍ෂුවට ගිහි ජීවිතයේදී විඳීමට සිදුවුණ ප්‍රශ්න, බලාපොරොත්තු කඩවීම්, දුක්‌ කම්කටොළුවල ජයග්‍රාහී ඵලය මේ භික්‍ෂූත්වය බව ඔබට සිහිපත් කරමි. ප්‍රශ්න අපේ ජීවිතය ඉදිරියට එන්නේ එම ප්‍රශ්aන අපේ ජීවිතයට ආශිර්වාදයක්‌ කරගන්නමයි. එම නිසා ප්‍රශ්ණ තුළින් ධර්මයේ යථාර්ථය දකින්න. ජීවිතය කියන්නේ පිළිතුරු සොයා නොගත් ප්‍රශ්නයක්‌. එහෙමනම් ප්‍රශ්නවලින් මිදෙන්න ඔබට බැහැ. ජාතිය කෙටිකරගන්න දිශාවටයි ඔබ ගමන් කරන්නේ. ජීවිතය ඉදිරියට පැමිsණි ප්‍රශ්න නිසා මේ භික්‍ෂුව ගිහි ජීවිතයේදී කොච්චරනම් ලෝකයට හොරෙන් තනිවම හඬලා ඇතිද? පැය ගණන්, දවස්‌ ගණන් හිස කකියන තුරාවට කල්පනා කරලා ඇතිද? දේවාල කෝවිල් වලට කොච්චර යන්න ඇතිද? මේවා සටහන් තබන්න භික්‍ෂූවට ලැඡ්ජාවක්‌ නැහැ. නමුත් මේ කිසිවකින් ප්‍රශ්නයට පිළිතුරක්‌ නොලැබෙනකොට මම අවසානයේ ගියේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ හමුවට. උන්වහන්සේ දේශනා කර වදාළ ධර්මරත්නය හමුවට. එතැනදියි මම අවබෝධකර ගත්තේ දුක කියන්නේත්, සැප කියන්නෙත් මට අයිති දෙයක්‌ නොවන බව. මගේ වසඟයේ තබාගත හැකි දෙයක්‌ නොවන බව. හේතුවක්‌ නිසා සකස්‌ වෙන දෙයක්‌ බව. තෘෂ්ණාවමයි හේතුවුණේ දුකට. රූපයට ඇති තෘෂ්ණාවෙන් මිදෙන්න. දුක එතකොට මැරිල යාවි. තෘෂ්ණාව නොමැරුණොත් ඔබ මැරුණත් දුක ඔබේ පසුපසින් ඒවි. දුක ඇති තැන තෘෂ්ණාවයි ඔබ අවබෝධ කරගත යුත්තේ. දුක කියන්නේ අවබෝධ කිරීමෙන් පමණක්‌ නැති කළ හැකි දෙයක්‌මයි.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

3-2-(IV)ග්‍රහයන්ගේ ග්‍රහණයට හසු වූ අසරණයන්ට..

2012-07-08

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ  තුන්වැනි පොත -‘සතර අපායෙන් මිදෙමු’ 2 කොටස-(iv)

ග්‍රහයන්ගේ ග්‍රහණයට හසු වූ අසරණයන්ට..

‘සතර අපායෙන් මිදෙමු’ 2 කොටස (IV)

මේ දවස්‌වල භික්‍ෂුව වැඩ සිටින කුටිය අවට තිබෙන පළු ගස්‌ කැලයේ පළු ගෙඩි හට අරගෙන මුළු පළුයායම කහ පාටින් පෙනෙන්නේ. වෙසක්‌ මාසයේ සෞම්‍ය දේශගුණයත් එක්‌ක සෑම සතා සිව්පාවෙක්‌ටම හොඳහැටි ආහාර තිබෙනවා. භික්‍ෂුවගේ කුටිය වටේ තිබෙන වැලිමළුව නිතරම අපවිත්‍ර වෙලා තිබෙන්නේ. වැලි පොළවට වැටෙන පළුගෙඩි කන්න හරක්‌ නිතරම වැලි මළුවට එනවා. හරක්‌ කුර සටහන්වලින් වැලිපොළව අපවිත්‍ර වෙලා. දැන් වෙලාව උදෑසන හයට විතර ඇති. භික්‍ෂුව කුටියේ බිම අතුගාන කොට හරක්‌ කීපදෙනෙක්‌ම වැලිමළුවේ පළුගෙඩි කනවා. වැලි මළුව හොඳටම අපවිත්‍ර වෙලා. හරක්‌ ටික දැක්‌ක ගමන් භික්‍ෂුවට එක පාරටම කියවුණේ ‘පුතේ කරදර නොකර ඉක්‌මනට කාලා යන්න’ කියලා. කාටද මේ ‘පුතේ’ කියලා කියවුණේ? මිදුලේ සිටි හරකුන්ට. මේ හරක්‌ සංසාරයේ කොච්චර නම් මා සමඟ එකම අම්මාගේ, තාත්තාගේ දරුවෝ වෙලා ඉන්න ඇතිද? සංසාරයේ හේතුඵල ධර්මයක්‌ නිසාම ඉපදිලා එක පිඟානේ බත් කන්නට ඇතිද? එකට ගුලිවෙලා කොච්චර නම් දුකට හඬන්නට ඇතිද? සතුටට සිනාවෙන්න ඇතිද? ඔබත් මමත් අතර තිබෙන වෙනස පුතේ, සංස්‌කාරයන්ගේ වෙනස පමණයි. මේ දැක්‌ම තුළ ඉඳගෙන තමයි මහා සංඝරත්නයේ කරුණාව, මෛත්‍රිය ලෝකයට පැතිරෙන්නේ. සෑම සත්වයෙක්‌ කෙරෙහිම ‘මම ලෝකය හඳුනාගත්තාය, ඔබ ලෝකය හඳුනා නොගත්තාය’ කියන අනුකම්පාව මත සිටිමිනුයි මහා සංඝරත්නය ලෝකය දකින්නේ. මේ අනුකම්පාව සකස්‌වෙන්නේ සසර දිග, සසර ගැඹුර, සසර දුක ගැන අවබෝධය තුළිනුයි.

මේ සටහන් තබන වේලාවේ භික්‍ෂුවට මතකයට එනවා එක්‌තරා ආරණ්‍යයකදී තරුණ සාමණේර හිමිනමකට ‘පුතේ’ කියන වචනයෙන් ඇමතුවාය කියලා එක්‌ ගුණවන්ත වැඩිහිටි ස්‌වාමීන්වහන්සේ නමක්‌ අවවාද කළ කාරණය. මේ සියල්ලම තුළ අපි දකින්නේ ලෝකයයි. ලෝකය වසාගෙන පැතිරෙන විවිධත්වයයි. සංඝ සමාජයේ පැවැත්ම උදෙසාම තමාට වඩා පැවිද්දෙන් අඩු ස්‌වාමීන්වහන්සේ නමකට ‘ආයුෂ්මතුන්’ නමින් හැඳින්වීම නිවැරදි බව භික්‍ෂුවත් පිළිගන්නවා. පසුව එම වරද භික්‍ෂුව නිවැරදි කරගත්තා. එහෙත් මොකක්‌දෝ හේතුවක්‌ නිසාම ඉන් ඔබ්බට ගිය කරුණාවක්‌, මෛත්‍රියක්‌ මහා සංඝරත්නයේ ජීවිතය තුළ තිබෙනවා. තමන්ගේ කුටියේ වැලිමළුව අපවිත්‍ර කරන එළදෙනත් දරුවෙක්‌ හැටියට දකින්න වෙන දවසක්‌ අපට ඉදිරියට එනවා. අන්න එතැනට යන්නයි පිංවත් ඔබ මේ ධර්ම මාර්ගයේ පෙරට යන්නේ. නමුත් පිංවත් ඔබම සිතන්න, අවංකවම ඔබට පුළුවන්ද යාබද නිවසේ සිටින අසල්වැසියාව මිතුරෙක්‌ හැටියට දකින්න? ඔබට එය එහෙම දකින්න බැරිනම් මුලින්ම ඔබ එතැනින් පටන්ගන්න. අසල්වැසියාව මිතුරෙක්‌ බවට පත්කරගන්න. අසල්වැසියා මොනතරම් අකීකරු වුවද ඒ අකීකරු බවේ තරමටම ඔබ උපේක්‍ෂාව තුළට එන්න. පිංවත් ඔබ මේ වෙහෙසෙන්නේ ඔබ උදෙසා මිස අනුන් උදෙසා නොවේ. අනුන්ගේ අකීකරුභාවය ඔබ, ඔබේ ජයග්‍රහණය සඳහා උපයෝගී කරගන්න.

අද නැකත් දවසක්‌. ඒ කියන්නේ සුබ දවසක්‌. භික්‍ෂුව උදෑසන පිණ්‌ඩපාතය වඩිනකොට, මෝටර් රථයක්‌ වේගය බාලකොට භික්‍ෂුව අසලින් ගමන් කළා. භික්‍ෂුව එදෙස බලනකොට එය මංගල රථයක්‌. මලින් සරසලා. එහි මනමාල මහත්තයෙක්‌ සිටියා. නැකත් බලලා, ඒ කියන්නේ සුබ දවසක්‌ බලලා ‘දුකක්‌’ කැන්දාගෙන ගෙදරට එන්නයි මේ යන්නේ. භික්‍ෂුව එය දුකක්‌ හැටියට දැක්‌කත් එම මනමාල මහත්තයා අද දවස දකින්නේ ජීවිතයේ ලස්‌සනම, වැදගත්ම දිනය හැටියටයි.

සම්බුදු දහමේදී නැකත් කියන කාරණය ප්‍රතික්‍ෂේප වෙනවා. යමෙක්‌ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් නම් ජීවත්වෙන්නේ, ශිලයට ජීවිතය තුළින් වටිනාකමක්‌ ලබාදෙමින් නම් ජීවත්වෙන්නේ එම පිංවතාට සෑම දවසක්‌ම සුබ දවසක්‌, සෑම මොහොතක්‌ම සුබ මොහොතක්‌ කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එමනිසා පිංවත් ඔබ සුබ නැකත් සොයන්න හඳහන අරගෙන නැකත් බලන්න, සල්ලි වියදම් කරන්න අවශ්‍ය නැහැ. ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, ශීලයෙන් පිරිසිඳු නම් ඔබේ ජීවිතයම නැකතක්‌. හැම දවසක්‌ම ඔබට සුබ දවසක්‌ බවට පත්වෙනවා. ලොව්තුරා බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩසිටියදී ඔය රාහු කියන අසුරිඳු තමන්ගේ බලපුළුවන්කාරකමින් හිරු, ඒ කියන්නේ සූර්යාව ගිලගත්තා. මුළු ලෝකයම කළුවර වුණා. ඒ වෙලාවේ හිරුට අධිපති දෙවියෙක්‌ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කළා. බුදුරජාණන් වහන්සේ සරණ ගියා. බුදුරජාණන් වහන්සේට දිව්‍ය ශ්‍රොත ඥානය ඔස්‌සේ ඇසුනා හිරුදෙවියන් තමන්ගෙන් පිහිට ආරක්‍ෂාව යදින බව. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ රාහු අසුරිඳුට ප්‍රකාශ කරනවා, ‘මා සරණ ගිය, මා දහම් පුත් හිරු මුදව¾ කියලා. ඒ මොහොතේම වෙව්ලමින් රාහු අසුරිඳු හිරු දෙවියන්ව තම ග්‍රහණයෙන් මුදවා වේපචිතති අසුරිඳු වෙත පළායනවා. වේපචිතති අසුරිඳු රාහුගෙන් අහනවා ‘ඇයි ඔබ හිරුව ග්‍රහණයෙන් මුදවා පළා පැමිණියේ’ කියලා. ඒ වෙලාවේ රාහු කියනවා ‘එසේ හිරු දෙවියන් මුදවා පළානොගියා නම් සම්බුද්ධ ආඥාව ඉටු නොකිරීම නිසා මගේ හිස සත්කඩකට පුපුරාවි’ කියලා. බලන්න බුදුරජාණන් වහන්සේගේ සරණ හමුවේ රාහු පළාගිය ආකාරය. නමුත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවේ ඇති හීනභාවය නිසාම අපි රාහුට බයේ, සෙනසුරුට බයේ, කේතුට බයේ මොනතරම් පුද පූජා, බලි තොවිල්, යන්ත්‍ර මන්ත්‍ර කරනවාද?

මේ සටහන් තබන භික්‍ෂුවගේ ජීවිතයේ සෑම මොහොතක්‌ම සුබ මොහොතක්‌, සෑම දවසක්‌ම සුබ දවසක්‌. කේන්දර නැකත් බලලා හෙම නොවෙයි. ඒවා අතහැරලා සැබෑම තෙරුවන් සරණේ සිත පිහිටවපු නිසා.

ජීවිතය ඉදිරියට කුමන කාරණයක්‌ පැමිණියද එය භික්‍ෂුව දකින්නේ සංස්‌කාරයන්ගේ ඵලයක්‌ වශයෙන්මයි. ඒ කියන්නේ මා විසින්ම, හේතුඵල ධර්මයන්ට අනුව සිදුකොටගත් කුසල් සහ අකුසල්වල ඵලයන් හැටියටයි. මෙතැන රාහු හෝ සෙනසුරු නැහැ. අපේ අකුසල්වල බලවත්භාවය නිසාම, තෙරුවන් සරණින් බැහැරට ගිය නිසාම, රාහු සෙනසුරු කේතු බලෙන්ම අපි අපේ හිස මතට දාගන්නවා. දැන් ඉතින් ජීවිතයම අපළයක්‌, හූනියමක්‌, එහෙම නැතිනම් කොඩිවිනයක්‌. තෙරුවන් සරණ අහිමිකරගත් තැනදී ජීවිතයම ප්‍රශ්න ගොඩක්‌ තමයි.

තමන්ට තිබෙන ප්‍රශ්න ගොඩ මදිවට, තව ප්‍රශ්න ගොඩක්‌ කරගහගන්න ගිය මනමාල මහත්තයාව භික්‍ෂුවට මතකයට නැගෙනකොට අතීතයේ සිදුවූ සිද්ධියක්‌ මතකයට පැමිණියා. එදා භික්‍ෂුව ගිහියෙක්‌. වයස අවුරුදු 30ක්‌ පමණ ඇති. එදා මම සතිඅන්ත පුවත්පතක මංගල දැන්වීමක්‌ පළකළා. විවාහයක්‌ සඳහා. එම දැන්වීමේ එකතැනක මෙහෙම සඳහන් කළා. ‘නිහඬ විවාහයකට, ආගම දහමට කැමැති යුවතියක්‌ සොයයි’ කියලා. සති දෙකක්‌ පමණ යනකොට විශාල පිළිතුරු ලිපි ගණනක්‌ ලැබුණා. ඉන් තෝරාගත් ලිsපි කිහිපයකින් එකකට පිළිතුරු යෑව්වා. මා එහි සඳහන් කළේ, කිසිම විවාහ උත්සවයක්‌ ගන්නේ නැහැ. විවාහය ලියාපදිංචි කරලා අපි අනුරාධපුරයට හෝ කතරගමට ගිහිල්ලා ආගමික කටයුතු කරලා ජීවිතය පටන්ගමු කියලා. ලිපිය අදාළ තැනැත්තියට යවලා සතියකට විතර පස්‌සේ මට පිළිතුරු ලිපියක්‌ ලැබුණා ඇයගෙන්. එය දීර්ඝ ලිපියක්‌. එහි මුලින්ම මෙහෙම සඳහන් කර තිබුණා. ‘ඔබ මහා චපල පිරිමියෙක්‌. ඔබ තරුණියකගේ බලාපොරොත්තු හඳුනන්නේ නැහැ. ගැහැණු දරුවෙක්‌ වැඩිවියට පත්වුණ දවසේ ඇය බලාපොරොත්තුවක්‌ ඇතිකරගන්නවා. ඒ තමයි ඇයගේ උතුම්ම බලාපොරොත්තුව. ජීවිතයේ එකම සිහිනය. ඒ සිහිනය තමයි, කවදාහරි දවසක නෑදෑයෝ වටකරගෙන මඟුල් සාරි ඇඳලා, පෝරුවට නැගලා, මුදු මාරුකරලා….. මේ සුන්දර සිහිනය හැමදාකම දරාගෙනයි තරුණියක්‌ ජීවත්වෙන්නේ. තරුණියකගේ එම සිහිනය නොහඳුනන මනුෂ්‍යයෙක්‌ ඔබ. ඔබ උත්සහගත්තේ තරුණියකගේ එම සිහිනය මරාදමන්නයි. ඔබගෙන් මෙයට පිළිතුරු ලිපියක්‌වත් බලාපොරොත්තු නොවන්නේ යෑයි ඇය සඳහන් කර තිබුණා. මේ ලිපිය කියවලා අහවරවෙන විට මාව තුෂ්ණිම්භූත වුණා. ඇත්තටම මම තේරුම්ගත්තා තරුණියකගේ විවාහ උත්සවයක්‌ නමැති ඒ සුන්දර සිහිනය බිඳදමන්නයි මම උත්සහ ගත්තේ කියලා. ඇයත් මමත් අතර අහසයි පොළොවයි වගේ පරතරයක්‌ ඇති බවයි මම දැක්‌කේ. අහසයි පොළොවයි කවදාකවත් එකතුවෙන්නේ නැහැ. ඒ නිසාමයි ඇය පිළිතුරු ලිපියක්‌වත් එවන්න එපාය කියලා සටහන් කර තිබුණේ. මේ ලිපිය කියවලා කරුණු නුවණින් මෙනෙහි කරනකොට අවංකවම මට සතුටක්‌ ඇතිවුණා. ලෝකය සිතනවාට වඩා මම මොනතරම් දුරස්‌වද සිතන්නේ කියලා. ලෝකයාට වඩා දුරස්‌ ආකාරයට හිතන්න මා තුළ තිබුණා වූ දක්‍ෂභාවය නිසාමයි මේ මොහොතේ මා ලෝකයාගෙන් ගොඩාක්‌ දුරස්‌ තැනක ජීවත්වන්නේ. නමුත් මට හොඳටම විශ්වාසයි මේ මොහොතේ ඇය ජීවත්ව සිටිනවා නම් දරුවන් කිහිපදෙනෙකුගේ මවක්‌ හැටියට මහා දුක්‌ කන්දරාවක්‌ දරාගෙන ජීවත්වෙනවා ඇතිය කියලා. එදා ඒ මුල් ලිපියෙන් සිදුවූ හමුවීම, වෙන්වීමක්‌ බවට පත්වූයේ රාහු නිසා හෝ සෙනසුරු කේතු නිසා නොව, සංස්‌කාර ධර්මයන් නිසාමයි. මගේ තිබුණු කුසල් විසින් ඒ අකුසල් වළක්‌වා දැම්මා. මට මේ මොහොතේ ඉන්න තැනට එන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි මා තුළ තිබූ ශ්‍රද්ධාවමයි එදා මාව මේ අනතුරුවලින් බේරුවේ. මගේ අතීත ජීවිතයේ මෙවැනි අනතුරු කිහිපයකින්ම බුදුරජාණන් වහන්සේගේ සරණ විසින් මාව බේරාගෙන තිබෙනවා. මේ ඉන්න තැනට එන්න…. ඒ කියන්නේ මේ සියල්ල අහම්බයක්‌ නොවේ. සංස්‌කාරයන්ගේ ප්‍රතිඵලයන්මයි.

මේ වෙලාවේ මට නැවතත් මතකයට එනවා අද හිමිදිරියේ පිණ්‌ඩපාතය වඩිනකොට මංගල රථයේ ගමන් කළ මනමාල මහත්තයාව. ‘අනේ මනමාල මහත්තයෝ, ඔබට ලැබුණ මනමාලියත් ඉහත ආකාරයෙන්ම උපාදානය බලවත් මනමාලියක්‌ වුණෝතින් ඔබටත් දෙවියන්ගේම පිහිටයි’

මෙතැනදී ‘දෙවියන්ගේම පිහිටය’ කියලා කීවේ පුතේ කවදානම් ඔබට ගැලවෙන්න පුළුවන්ද කියන කාරණයයි. ගිහි පිංවතුන්ලා මිත්‍යදෘශ්ඨික සම්මුතීන්ගෙන් බැහැරවෙලා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ජීවිතය පටන්ගතහොත් එම ජීවිත මොනතරම් නම් ශක්‌තිමත් සැනසිලිදායක තැනකට රැගෙන යන්න පුළුවන්ද. බලාපොරොත්තු කන්දක්‌ ගොඩගසාගෙන එම බලාපොරොත්තු කන්දටම යටවී මෙලෝ සිහියක්‌ නැතිව ජීවත්වෙන මිනිස්‌සුන්ට මඟ නොමඟ කියාදෙන උතුම් ධර්මයක හිමිකාරීත්වයට පිංවත් ඔබ සුදුසුයි. කළ්‍යාණ මිත්‍ර ඇසුරම සොයන්න. සද්ධර්ම ශ්‍රවණය සිදුකරන්න. ඇසෙන්නා වූ ධර්මය නුවණින් මෙනෙහි කරන්න. එය ඔබේ ගමනක ආරම්භය වනු ඇත.


ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

3-2-(III)-සම්බුදු සරණ විකුණනවද මාරයට?

2012-07-01
මහ රහතුන් වැඩි මග ඔස්‌සේ තුන්වැනි පොත ‘සතර අපායෙන් මිදෙමු’ -2කොටස  (iii) 
සම්බුදු සරණ විකුණනවද මාරයට?
“සතර අපායෙන් මිදෙමු” 2 කොටස (III)
දායක මහත්මයෙක්‌ භික්‍ෂුවගෙන් විමසුවා “හාමුදුරුවනේ මම නිතරම දන් දෙන අයෙක්‌. මමත් අවිද්‍යාව තුළද සිටින්නේ” කියලා. පිංවත් ඔබ දන් දුන් පමණින් අවිද්‍යාවෙන් මිදෙන්නේ නැහැ. අවිද්‍යාව කියන්නෙ චතුරාර්යසත්‍යය නොදැනීම. ඒ කියන්නෙ දුක, දුක ඇතිවීමට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය කියන කාරණා හතර නොදැනීමයි අවිද්‍යාව. ඔබ ලෝකය දුකයි කියන කාරණය නොදන්නා නිසයි ඇසත්, ඇසට පෙනෙන රූපත් තුළින් සැප සොයන්නේ. කනත් කනට ඇසෙන ශබ්දත් තුළින් සැප සොයන්නේ…..අනෙක්‌ ආයතනත් එසේමයි. ඔබ මේවා දුකක්‌ හැටියට නොවේ දකින්නේ. සැපයක්‌ හැටියටයි. එහෙම නම් පිංවත් ඔබ පුජා කරන දානයන් දුක්‌ බවට පත්වෙන සැප අයිති කරගන්න දෙන දානයන් බවටයි පත්වෙන්නේ. සැප බලාපොරොත්තුවෙන් දෙන දානයන් අවිද්‍යාව තුළටමයි අයිති වෙන්නේ. ලෝකය දුකයි කියල දැකලා, දුකට ඔබව බැඳ තබන තෘෂ්ණාව අඩු කර ගැනීම සඳහා දෙන දානයමයි අවිද්‍යාවෙන් බැහැරට ඔබව තල්ලු කරන්නේ. මිල මුදල්, ආහාරපාන පමණක්‌ නොවේ ඔබ දන් දිය යුතුව ඇත්තේ. ඒවා තුළින් දුක උපද්දවන තෘෂ්ණාවයි ඔබ තුළින් දන්දිය යුත්තේ.

තෘෂ්ණාව දන් දෙන කෙනාමයි දානයේ සැබෑම අර්ථය ජීවිතයට එකතු කර ගන්නේ. එම නිසා දන් දීමේදී ගිහි පිංවතුන්ලා ශක්‌තිමත් චිත්තයක්‌ ඇති කරගන්න තෘෂ්ණාවෙන් මිදීම උදෙසාමයි දන් දෙන්නේ කියලා.

භික්‍ෂුව වැඩ සිටින කුටියට පැමිණි මහත්මයෙක්‌ භික්‍ෂුවගෙන් ඇහුවා “හාමුදුරුවනේ කුටියට වෙලා තනිවම මොකද කරන්නේ” කියලා. භික්‍ෂුව ප්‍රකාශ කළා කුටියට වෙලා විවේකයෙන් වැඩ සිටිනවා කියලා. ඒ වෙලාවේ ඔහු කියනවා “ඔහොම සිටියම ජීවිතේ කිසිම තේරුමක්‌ නැහැනේ හාමුදුරුවනේ” කියලා. භික්‍ෂුව ප්‍රකාශ කළා ජීවිතේ කොහෙත්ම තේරුමක්‌ නැති හින්දයි මහත්තයෝ මෙහෙට වෙලා විවේකයෙන් වැඩ ඉන්නේ කියලා. මේ මහත්මයාට විවේකය කියන එක ප්‍රශ්ණයක්‌. මොහු භික්‍ෂුව තුළින් දකින්ට කැමති අවිවේකී, කාර්ය බහුල, ක්‍රියාශීලී චරිතයක්‌. අනුනගේ විවේකය දැකලා තමන්ගේ සිතේ විවේකය නැති කරගන්නවා. අනවශ්‍ය ගොඩාක්‌ සිතුවිලි සිතලා අකුසලුත් රුස්‌කර ගන්නවා. ඇසත් මට අයිති නැත්නම්, ඇසට බැඳෙන රූපත් මට අයිති නැත්නම් දිව, කන, නාසය, මනස, කය මට අයිති නැත්නම්, ඒවාට බැඳෙන භාහිර රූපත් මට අයිති නැතිනම් කුමක්‌ සඳහා අවිවේකී වෙන්නද? වෙහෙස වෙලා කුමක්‌ අයිතිකොට ගන්නද? මම කියා සටහන් කළ නාමරූප ධර්මයන්ගේ හේතුවෙන් හටගත් ඵලය සලායතන නම් එතැන ද හේතුඵල ධර්මතාවක්‌ මිස සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නැතිනම්, මේ අවිවේකය කවුරුන් උදෙසා කුමක්‌ සොයන්නද? යමෙක්‌ එසේ සොයන්නේ නම් ඒ ඔහු සොයන්නේ රැවටීමමය. ඇසෙත් තේරුමක්‌ නැත්නම්, කනෙත් තේරුමක්‌ නැතිනම් ජීවිතයෙත් තේරුමක්‌ තියෙන්න බැහැනේ. තේරුමක්‌ නැති ජීවිතය ඔබට තේරුම් කොට දෙන්නේ සද්ධර්මයයි. විවේකීව නාම රූප ධර්මයන් දෙස බලන්න. එවිට ඔබට වැටහේවි අවිවේකයෙන් අයිති කරගන්න දෙයක්‌ මෙතැන නැහැයි කියලා. එම නිසා පිංවත් ඔබ ස්‌වාමීන් වහන්සේ නමක්‌ මුණගැසුනහම සැමවිටම ධර්ම කාරණයක්‌මයි කථාබහ කරන්නෙ කියල චිත්තයක්‌ ඇති කරගන්න.

සිත විවේකීභාවයට පත්වෙනකොට අවිවේකීභාවය සකස්‌ කරන හේතු ඔබට වැටහෙන්න පටන් ගන්නවා. සිත අවිවේකී වෙන්නේ රූපය, වේදනාව, සංඥාව, සංස්‌කාර, විඤ්ඤාණ නිත්‍යභාවයෙන් ගැනීම නිසාමයි. අනිත්‍ය දෙය නිත්‍යභාවයෙන් ගත්තාහම ඔබව පටලවනවා. ඔබ නැති දෙයක්‌ තිබෙනවාය කියල ගන්නවා. දැන් ඔබ අවිවේකියි. ඔබට කරන්න, සොයන්න, බලන්න, කියන්න ගොඩාක්‌ දේවල් තිබෙනවා. ලෝකය නැවතිලා තිබෙන්නේ. ඒත් පිංවත් ඔබ දුවනවා. වේගයට හොඳ වටිනාකමක්‌ තිබෙනවා අවිද්‍යාවේදී. “අවිද්‍යා පච්ජයා සංඛාරා” අවිද්‍යාවයි සංස්‌කාර සකස්‌කොට දෙන්නේ. ඔබ වේගවත්ය කියන්නේ වේගයෙන් සංස්‌කාර රැස්‌කරනවාය කියන කාරණයයි. නමුත් ඔබ විවේකීව සිතන්න ගත්තොත් රූපයේ, වේදනාවේ………..අනිත්‍යභාවය සංස්‌කාර නිරෝධය දෙසටයි ඔබ ගමන් කරන්නේ. බලන්න අවිවේකයත් විවේකයත් අතර තිබෙන පරතරය. රූපය නිත්‍යභාවයෙන් ගැනීම නිසා නැති දෙයක්‌ සෙවීම නිසා අවිවේකයත්, රූපය වේදනාව……..අනිත්‍යභාවයෙන් ගැනීම නිසා සෙවීමට දෙයක්‌ නැති නිසා විවේකයත් ලැබිය හැකිය. විවේකීභාවය ඔබෙන් දුරස්‌වෙන්නේ තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් දුරස්‌වීම නිසයි. තෙරුවන් කෙරෙහි සද්ධාවට පැමිණි කෙනා ජීවිතය අවිවේකී වීමට ඇති හේතු සොයනවා. කල්‍යාණමිත්‍ර ආශ්‍රය, සද්ධර්මශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය තුළින්මයි සද්ධාව සකස්‌වෙන්නේ. මේ උතුම් සද්ධාව ගැන සටහන් තබන කොට භික්‍ෂුවට අතීතයේ සිදුවීම් පෙළක්‌ මතකයට එනවා. භික්‍ෂුවගේ තාත්තා දෙවියන් කෙරෙහි බොහෝම ලැදි කෙනෙක්‌. භික්‍ෂුවට මතකයි ළමා කාලයේ තාත්තා සෑම වසරකම දෙවොල් මඩුවක්‌ කරලා දේව දානයක්‌ දෙනවා. ඒ වගේම සෑම මසකම කඩවර පුජාවක්‌ තියනවා නිවසේ පිටුපස්‌සේ. ඒ කාලයේ ළමයෙකු හැටියට සද්ධාව කියන්නේ කුමක්‌ද කියලා මම හඳුනාගෙන තිබුණේ නැහැ. මගේ තාත්තා හඳුනාගෙන තිබුණෙත් නැහැ. ඒ නිසාම මට මතකයි මේ දෑත්වලින් මම අනන්තවත් හාල්මැස්‌සෝ පුච්චලා, හරක්‌ සම් පුච්චලා තිබෙනවා පුජාවන්ට. නමුත් මේ මොහොතේ භික්‍ෂුවට ඒ අතීතය මතකයට එනකොට භික්‍ෂුව පැහැදිලිව දන්නවා එදා ගිහියෙක්‌ හැටියට මම තුළ සහ තාත්තා තුළ තිබුණේ අමූලිකා සද්ධාවයි කියලා. අමූලිකා සද්ධාව තිබුණ නිසයි තෙරුවන් කෙරෙහි විශ්වාසයෙන් බැහැරව දේව විශ්වාසයන්ට බැහැගත්තේ. අමුලිකා සද්ධාව නිසාමයි හාල්මැස්‌සො පිච්චුවේ, හරක්‌ සම් කැබලි පිච්චුවේ, පුජාවන්ට බුලත් තටු හදලා, ගණන් කරලා මල් තැබුවේ. ඉහත සටහන තැබුවේ පිංවත් ඔබට සද්ධාවේ සහ අමූලිකා සද්ධාවේ වෙනස හඳුනාගන්නයි.

පිංවත් ඔබ තෙරුවන් වඳින, දන් දෙන, සිල් රකින කෙනෙක්‌ වෙන්න පුළුවන්. නමුත් ඔබ ජීවිතය ඉදිරියට රැකියාවේ, ව්‍යාපාරයේ, රෝගීභාවයන් වැනි අභියෝගයන් එනකොට තෙරුවන් කෙරෙහි විශ්වාසයෙන් බැහැරව හාල්මැස්‌සෝ පුච්චන්න, හරක්‌ සම් පුච්චන්න, පලතුරු වට්‌ටි තබන්න දේව අමනුෂ්‍ය ඇදහිලි ඔස්‌සේ ඒවාට විසඳුම් බලාපොරොත්තු වෙනවා නම් පිංවත් ඔබ නියත වශයෙන්ම දැනගත යුතුයි ඔබ තුළ තවම තිබෙන්නේ අමූලිකා සද්ධාව කියලා (මෝහය මුසු සද්ධාව) නමුත් භික්‍ෂුවට තරුණ කාලයේදීම යම් හේතුවක්‌ නිසාම මේ අමූලිකා සද්ධාව තමා තුළින් හඳුනාගන්න හැකිවුණා. කල්‍යාණ මිත්‍ර ඇසුර, සද්ධර්මශ්‍රවණය නිසාම, ඇසුවා වූ ධර්මය නුවණින් මෙනෙහි කිරීම නිසාම….

පිංවත් ඔබ ධර්මය ඇසීමෙන් පමණක්‌ ඵලක්‌ නැහැ. එම ධර්මය නුවණින් මෙනෙහි කරන්න. අපගේ ආයුෂය බොහෝම වේගයෙන් ගෙවී යනවා. මරණය බොහෝම ඉක්‌මනට ළඟාවෙන්න පුළුවන්. එම නිසා රැකියාව, ව්‍යාපාරය, විවාහය නොවේ වන්දනීය මරණයකට හිමිකරුවෙක්‌ වෙන්න. මුළාවට එක වචනයකින්වත්, හැඟීමකින්වත්, සිතුවිල්ලකින්වත් බැඳෙන්න එපා. ආදරය කරන්න එපා. බිය ඇතිකරගන්න. අමූලිකා සද්ධාවමයි සංසාරයේ ඔබට මිථ්‍යාදෘෂ්ඨිකභාවය ඇතිකොට දෙන්නේ. මෙය බියකරු ලෝකයක්‌. චපල ලෝකයක්‌. මිනීමරු ලෝකයක්‌. මනුෂ්‍යයා තුළ සකස්‌වෙන පංචඋපාදානස්‌කන්ධය ඒ තරමටම බියකරුයි, විෂමයි. භික්‍ෂුවට මුණගැසුණ එක්‌ කට්‌ටඩි මහත්මයෙක්‌ භික්‍ෂූවට ප්‍රකාශ කළා තමා දන්නා මන්ත්‍ර ගුරුකම් ශාස්‌ත්‍රය තුළින් තමාට මිනිසෙක්‌ මරන්න, විනාශ කරන්න පුළුවන් කියලා. ඔහු සපථ කළා තමා එවැනි ගුරුකම් කරලා තිබෙනවා කියලා. ඔහු උදම් ඇනුවා. ධර්මයේ අර්ථය නොදත් මුළාවූ ලෝකයාට මනුෂ්‍යයෙක්‌ මැරීම මදුරුවෙක්‌ මැරීම වගේ සරල දෙයක්‌. ධර්මයෙන් බැහැර වුණ සිතකට ජීවිතයක වටිනාකම තබා තමාගේ ජීවිතයේ වටිනාකමවත් තේරෙන්නෙ නැහැ. තමාගේ ජීවිතයට ලබාදී ඇති නොවටිනා ලංසුවමයි අනුන්ගේ ජීවිතවලටත් ලබා දෙන්නේ. පිංවත් ඔබලා සද්ධර්මය ශ්‍රවණය කරන පිංවතුන්ලා වශයෙන් සෑම මොහොතකම සමාජය තුළ තිබෙන අන්තරායකාරී ධර්මයන් හඳුනාගන්න. සද්ධර්මය කෙරෙහි සද්ධාවට පැමිණි කෙනා දක්‍ෂවෙනවා තමාගේ රැකියාව අහිමිවුණත්, තමාගේ ව්‍යාපාරය පාඩු වුණත්, තමාට රෝගයක්‌ හැදුනත් මගේම හොඳටයි කියලා හඳුනාගන්න. මේ බිඳවැටීම් තුළින් මම අත්දැක්‌කේ ලෝක ස්‌වභාවයයි. අනිත්‍යධර්මයේ අර්ථයයි කියලා. අනිත්‍ය වෙන දේවල් කෙරෙහි, බිඳෙන වැටෙන දේවල් කෙරෙහි බැඳීමෙන් මිදිලා තව තවත් ධර්මාවබෝධය දෙසට එනවා. එහෙම කෙනා තව තවත් උත්සාහයෙන්, වීර්යෙන් යුතුව වැටුණ දෙය ගොඩනගා ගැනීමට උත්සාහ ගන්නවා වගේම ධර්මය තුළින්මයි සැනසීම සොයන්නේ.

වර්තමාන සමාජයේ වේගයෙන්ම ජනප්‍රිය වෙන අංශයක්‌ තමයි යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම් ක්‌ෂේත්‍රය. මේ අංශයේ දියුණුව, භාවිතය වැඩිවෙන්න වැඩිවෙන්න ධර්මයේ භාවිතය හීනවෙනවා. එය ධර්මතාවයක්‌. සද්ධර්මයේ සැබෑ ආයුකාලය බොහෝම කෙටියි කියලා හඟවන අනතුරු හැඟවීමක්‌. කර්මය කර්මඵල විශ්වාසයෙන් බැහැරව ලෝකය ගමන් කරනවිට මිථ්‍යාදෘෂ්ඨිකභාවයේ ගොදුරක්‌ බවටයි ඔබව පත්වෙන්නේ. නමුත් අවාසනාවේ මහත කියන්නේ මෝහය නිසාම මේ මනුෂ්‍යයා මුදල් වියදම් කරලයි මිථ්‍යාදෘෂ්ඨිකභාවයට පත්වෙන්නේ. උතුම් සද්ධර්මය ප්‍රතික්‌ෂේප කරලා, සල්ලිවලට මිථ්‍යාදෘෂ්ඨීකභාවය ගන්නවා. බලන්න මාර ධර්ම මොනතරම් සියුම්ද කියලා. ඔබේ ඇස්‌ වහලා ඔබේ මුදල්වලින් ඔබටම මිථ්‍යාදෘෂ්ඨීකභාවය විකුණනවා. ප්‍රේතයන්ගේ ලෝකය, යක්‍ෂයන්ගේ ලෝකය, නීච අමනුෂ්‍යයන්ගේ ලෝකය හරිම බියකරුයි, හරිම පුළුල්. බොහෝම සංකීර්ණයි. ඔවුන්ගේ ධර්මය අධර්මයයි, විනාශයයි, ද්වේෂයයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැනි උතුම් ශාස්‌තෘන්වහන්සේ නමකගේ සරණ අහිමිකොට ගෙන තාවකාලික දියුණුවක්‌ උදෙසා සිහින දකිමින් අමනුෂ්‍යයන් සරණ යාම පිංවත් මිනිසුනේ ඔබේ ජීවිතය ඔබම මාරයාට විකිණීමකි.

මේ ලෝකයේ ඇති මෝහය, ලෝකය තුළ සැඟව ඇති ඇත්ත මෙන්ම මේ මස්‌ ඇසට නොපෙනෙනා ලෝකය ආදියද ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනාකොට වදාළ ධර්මයේ සත්‍යතාවය අත්දැකීමෙන්ම උතුම් සමාධිය තුළින්මයි දැකිය හැක්‌කේ. මස්‌ ඇසෙන් දකින ලෝකයේ චිත්‍රය නොව, පිනෙන් සහ පවෙන් පිරුණු සත්වයන්ගේ ලෝකයේ අපූරු චමත්කාරජනක මෙන්ම දුක්‌මුසු භව ගමනේ නවාතැන්පළවල් සමාධිය තුළින් යම් භික්‍ෂුවක්‌ අත්දකිනකොට මිනිසුන් වශයෙන් අපි මොනතරම් බොළඳ වැරදි ඔස්‌සේ ලෝකය ග්‍රහණයකොට තිබෙනවාද කියලා පැහැදිලිවෙනවා. දෙවියන්ගේ පුද පුජා තියෙනකොට කපු මහත්වරු කන්නලව් කරනවා ඔබ අසා ඇති. ඒ අය මෙහෙම කන්නලව් කරනවා. “හරක්‌ රැලට, මොනර රැලට, මැණික්‌ඟගට දිවැස්‌ හෙළන දෙවියන්” කියලා. අපි එතකොට සිතන්නේ මේ දෙවියන් හරක්‌ රැලට දිවැස්‌ හෙළනවා කිsයලා. පිංවත් ඔබම සිතන්නකෝ ගොම ගොඩේ, මුත්‍රා ගොඩේ, මඩ නාගෙන ගාල්කරල තිබෙන හරක්‌ගාලට, එම සතුන්ට පින් කරල ඉපදුන දෙවියෙක්‌ දිවැස්‌ හෙලයිද? ගොපලු දරුවෙක්‌ වගේ. මේ ගොම ගොඩේ, හරක්‌ මුත්‍රාගොඩේ දෙවියන් වැඩ සිටියිද? නමුත් මේ කථාවේ සැඟවුණ ඇත්තක්‌ තිබෙනවා. ඒ ඇත්ත පිංවත් ඔබට දකින්න පුළුවන් සමාධිය තුළින් පමණයි. දිනක්‌ භික්‍ෂුවක්‌ සමාධියෙන් වැඩසිටිනකොට භික්‍ෂුවට දිව්‍ය මීගවයන් 12 ක්‌ පමණ සමන්විත දිව්‍ය හරක්‌ රංචුවක්‌ දර්ශනය වුණා. මෙතන ලොකු දෙනුන් 6 ක්‌ සහ පැටවුන් වශයෙන් තමයි ඉතිරි අය සිටියේ. මේ දිව්‍ය මී දෙනුන් රංචුව මනුෂ්‍යලෝකය ඇසුරුකොට ජීවත්වෙන දිව්‍ය හරක්‌ රංචුවක්‌. මේ මී දෙනුන් ආයුෂ, වර්ණ, සැපයෙන් හුඟක්‌ පිරිලා. මේ සතුන් බොහෝම පිරිසිදු, ශරීරය පුෂ්ඨීමත්, තෙල් පැහැයෙන් දිලිසෙන, රෝම ගහන ශරීරයක්‌ තිබෙන්නේ. කිරිබුරුල්ල බොහෝම ලොකුයි, තන පුඩු ලොකුම ප්‍රමාණයේ කෙසෙල් ගෙඩියක්‌ වගේ, කිරිවලින් තන බුරුල පිරිලා. එම දිව්‍ය මීහරක්‌ රංචුව දකිනකොට එය සෞභාග්‍යයේ සංකේතයක්‌ වගේ. මේ දිව්‍ය හරක්‌ රංචුව පාරක්‌ දිගේ ගමන් කරන ස්‌වභාවයෙනුයි භික්‍ෂුවට දර්ශනය වෙලා තිබෙන්නේ. ඔබගේ මස්‌ ඇසට නොපෙනෙන ඇත්තක්‌ මෙතන තිබෙනවා. හරක්‌ රංචුවට දිවෙස්‌ හෙළන දෙවියෙක්‌ සිටිනවා. ඒ ගමේ සිටින ගොම, මුත්‍රා ගොඩේ දඟලන හරක්‌ නොවේ. ඉහත සඳහන් කළ පිනෙන් වැඩි එහෙත් දිව්‍ය හරක්‌ බවට භවයේ උපත සකස්‌කොට ගත් ඉහත හරක්‌ රැල්වලටය. බලන්න අන්ධ විශ්වාසයත් සත්‍යයත් අතර තිබෙන වෙනස කොපමණද කියලා. ඉහත දිව්‍ය මීගව රංචුව භවයේ තවත් එක්‌ නවාතැන් පලක්‌. මෙවැනි අනතුරුදායක භව ගමනක්‌ ඉදිරියේ පිංවත් ඔබ දෙවියන්ගේ මුහුණ දෙස නොවේ බැලිය යුත්තේ තෙරුවන්ගේ ගුණ දෙසයි.

පිංවත් ඔබ ඔබේ ජීවිතය සෑම විටම පර්යේෂණාගාරයක්‌ කරගන්න. මොන පර්යේෂණාගාරයක්‌ද? ධර්ම පර්යේෂණාගාරයක්‌. පිංවත් ඔබ ඇසෙන, දකින, සිතෙන සෑම දෙයක්‌ම නුවණින් පර්යේෂණය කරන්න. ධර්මය අධර්මය තෝරාබේරා ගන්න. සසර අවධානමට එරෙහිව සැමවිටම විමසිලිමත් වන්න. සැපයට එරෙහිව අන්තරාකාරී ධර්මයන්ගෙන් මිදීමට පෙරාතුව එම අන්තරාකාරී ධර්මයන් තමා තුළ තිබෙනවාය කියන කාරණය ඔබ පිළිගන්න අවශ්‍යයි. බොහෝ වේලාවට අපිට වරදින තැන ඔතැනමයි. සියලුම අකුසල් මූලයන් අප තුළ වැඩෙනවා. නමුත් අපි දක්‍ෂ නැහැ ඒ බව හඳුනාගන්න. හඳුනාගන්න අයත් ඒවා වසන් කරගෙනයි ධර්ම මාර්ගයේ පෙරට යන්න උත්සාහගන්නේ. මෙසේ වන්නේ ඔබ තුළින් ඔබ ධර්ම පර්යේෂණයක්‌ නොකරන නිසා. භික්‍ෂුව ගිහි කාලයේ හොඳින්ම හඳුනාගත්තා තමා තුළ ඇති රාග, ද්වේෂ, මෝහ අකුසලයන්. ඒ ගැන කියන්න භික්‍ෂුවට

ලැඡ්ජාවක්‌ නැහැ. මොකද එම හඳුනාගැනීමමයි භික්‍ෂුවට මේ තැනට එන්න පාර එළිපෙහෙළි කර දුන්නේ. ගිහි කාලයේ තමා තුළ තිබූ රාගය තුළින්මයි, රාගයේ තුච්ජ බව හඳුනාගත්තේ. තමා තුළ තිබූ ද්වේෂයේ තුච්ජ බව තුළින් තමයි ද්වේෂය හඳුනාගත්තේ. තමා තුළ තිබූ මෝහය තුළින්මයි මෝහයේ අඳුර හඳුනාගත්තේ. ලෝකයා දෙස බලලා ඉගෙනගන්න දෙයක්‌ තමාට තිබුණේ නැහැ. සියලුම අන්තරාකාරී ධර්මයන් තමා තුළම අඩු වැඩි වශයෙන් තිබුණා. තමා තුළින් තමාට එදා ඒ අකුසල මූලයන් හඳුනාගත හැකි වූයේ තමාගේ ජීවිතය පර්යේෂණාගාරයක්‌ කරගත්තා නිසා. අනුන් උදෙසා පර්යේෂණ කරන්න නොවේ. අවංකවම තමාගේ නිවැරදිභාව උදෙසා තමා මෙවැනි පර්යේෂණයක්‌ කිරීමට යොමුවූයේ මුළින්ම තමා තුළ ඉහත අකුසල මූලයන් ඇති බව හඳුනාගත් නිසයි. භික්‍ෂුව එදා ලෝකයාට අවංකවෙන්න නොවේ ගියේ. තමා තමාට අවංකවීමටයි. ඒ අවංකභාවය තුළ සිට තමා දෙස නුවනින් බලනවිටයි ජීවිතය තුළ තිබූ අකුසල මූලයන් හඳුනාගත්තේ. මේ හඳුනාගැනීම භික්‍ෂුවට එදා ලොකු වටිනාකමක්‌ වුණා. ඒ නිසාමයි තමා තුළ අකුසල මූළයන් තිබෙන බව දැනගත්තේ. දෙවැනිව, ඒවායේ අන්තරාකාරී බව දැක්‌කේ. තෙවැනිව, ඒවා උපක්‍රමශීලීව නැතිකරගැනීමේ මාර්ගයට අවතීර්ණ වූයේ. භික්‍ෂුව ගිහි ජීවිතයේදී තමා තුළ රාගය, ද්වේෂය, මෝහය තිබෙන බව ලෝකයාට පෙන්වන්න ලැඡ්ජා වුණේ නැහැ. තමා ලෝකයාට විවෘත වුණා. ඒ විවෘතභාවය තුළින්ම තමා තමාව ලැඡ්ජාවට පත්කරගත්තා. පිංවත් ඔබත් ඔබගේ ජීවිතය හැකිතාක්‌ ලෝකයාට විවෘත කරන්න. ලෝකයාට සැඟවීම තුළ වැඩෙන්නේ සක්‌කාය දිට්‌ඨීයම බව හඳුනාගන්න. මේ සක්‌කාය දිට්‌ඨීයමයි ඔබ තුළ ඇති රාග, ද්වේෂ මෝහ අකුසල ධර්මයන් ලෝකයාගෙන් වසන්කොට තබාගන්න උපකාරීවන්නේ. මගේ ආරක්‍ෂාව උදෙසා, මගේ පැවැත්ම උදෙසා, මම කව්ද කියලා ලෝකයාට පෙන්වීම උදෙසා……

කාවද මේ පුම්බාතබන්න හදන්නේ?

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com