3-2-(II)-ජීවිතය යනු ඉලක්‌කම් ගොඩක්‌ද?

2012-06-24

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ අත් හැරීම තුන්වැනි පොත – ‘සතර අපායෙන් මිදෙමු’  2 කොටස (iii)
ජීවිතය යනු ඉලක්‌කම් ගොඩක්‌ද?
‘සතර අපායෙන් මිදෙමු’ 2 කොටස (II)
භික්‌ෂුවට පින්වතකුගෙන් දැනගන්න ලැබුණා. තමන්ගේ පෙම්වතියගේ කකුලේ ඇතිවුණ තුවාලයක්‌ අසුබ සංඥාවට ලක්‌කරලා, පෙම්වතියගේ ශරීරයම තුවාලයක්‌ කොට දැකලා, තම පෙම්වතිය කෙරෙහි කලකිරීම සකස්‌කරගෙන ඇයගේ ආශිර්වාදය ඇතිවම අලුත පැවිදිභාවයට පත්වුණ පිංවත් තරුණයෙක්‌ ගැන.

මෙවැනි කථා තුළ තිබෙන්නේ ජීවිතයෙන් පලායාමක්‌ නොවේ. ජීවිතයේ සැබෑම අර්ථය සොයායැමක්‌. පිංවත් ඔබ බියවෙන්න එපා ඔබේ පෙම්වතා, පෙම්වතිය ඔබට අහිමිවෙයි කියලා. පෙම්වතාගේ ජීවිතය පෙම්වතිය විසින් කමටහනක්‌ කරගන්න. පෙම්වතියගේ ජීවිතය පෙම්වතා කමටහනක්‌ කරගන්න. දෙදෙනා, දෙදෙනාට විවෘත වන්න. මේ ගඳගසන ජීවිතය රසගුලාවක්‌ නෙවෙයි. තුවාලයක්‌ ගඩුවක්‌ ලෙස දකින්න. ගිහි ජීවිතය තුළ සිටිමින් ඔබලාට පුළුවන් ධර්මයේ අර්ථය ජීවිතයට එකතුකරගන්න. පැවිදිවෙන්න පුළුවන් නම් එය වඩාත් හොඳයි. ඒත් කොයිම අවස්‌ථාවකවත් ඉක්‌මන් පැවිද්ද (පැවිද්ද සඳහා කලබල වීම) භික්‍ෂුව අනුමත කරන්නේ නැහැ. දක්‍ෂයා අදක්‍ෂයෙක්‌ විය යුතු නැහැ. හරියාකාරව අනිත්‍ය සංඥාව වඩපු කෙනා ඉක්‌මන් වෙන්නේ නැහැ. ඔහු ගැන කව්රුවත් බිය වියයුතුත් නැහැ. මොකද ඔහු ධර්මයේ රැකවරණය තුළයි සිටින්නේ. වඩාත් ගුණාත්මක පැවිද්දක්‌ උදෙසා ඉවසීම අප තුළ තිබිය යුතුයි.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ කාලයේ බොහොම ආදර්ශමත් පෙම්යුවලක්‌ හිටියා. ඒ තමයි පිප්ඵලී සහ භද්ධකාපිලානා. කෝටිපති බමුණු පවුල් දෙකක තරුණ දරුවෝ. දෙමාපියන් පිප්ඵලීට කොතෙක්‌ විවාහ යෝජනා ගෙනාවත් ඒවාට කැමති වුනේම නැහැ. කැමැත්ත තිබුණේ පැවිද්දට. දෙමාපියන් දැඩි තීරණයක්‌ ගන්නවා, පිප්ඵලී විවාහ නොවුනොත් අපි මැරෙනවා කියලා. පිප්ඵලීට සිද්ධ වෙනවා දෙමාපියන්ට අවනත වෙන්න. පිප්ඵලීගේ මනාලිය තමයි භද්ධකාපිලානා තරුණිය. ඇයත් පැවිදිවීමේ අරමුණින්ම විවාහය මඟහැරිය තරුණියක්‌. දෙදෙනා සම්මුතියකට එනවා, චිත්තයක්‌ ඇතිකරගන්නවා අපි විවාහ වෙමු. දෙමාපියන් මියගියාට පසු දෙදෙනාම පැවිදි වෙමුය කියලා. ලොකු උත්සවයක්‌ අරගෙන දෙදෙනාම විවාහ වෙනවා. ලෝකයා සිතාගෙන සිටින්නේ කම් සැප විඳිනවා කියලා. නමුත් මේ තරුණ පෙම්වතුන් ඇතිකරගත් චිත්තය බිඳෙන්න දුන්නේ නැහැ. දෙමාපියන් මියයනතුරුම බ්‍රහ්මචාරී ජීවිතයක්‌ ගත කළා. දෙදෙනා දෙදෙනාව ස්‌පර්ශ කළේවත් නැහැ. මේ පිප්ඵලී තමයි මහාකාශ්‍යප මහරහතන් වහන්සේ. භද්ධකාපිලානා තමයි භද්දකාපිලානා රහත් තෙරණින් වහන්සේ. මේ චරිත පිංවත් තරුණ ඔබ ආදර්ශ කරගත යුත්තේ උපක්‍රමශීලීව, කම්සැප කෙරෙහි ඇති කැමැත්තෙන් මිදෙන්න. ජීවිතය තුළින් ඔබ චිත්තයක්‌ ඇති කරගන්න. මේ සතිය මම බ්‍රහ්මචාරීව ජීවත් වෙනවා කියලා. මේ සතිය මම දන්දීමෙන් ජීවත් වෙනවා කියලා. මේ සතිය මම අධිසිල් ආරක්‍ෂාකරමින් ජීවත්වෙනවාය කියලා. මේ සතිය මම ශක්‌තිමත්ව තෙරුවන්ගේ ගුණයන් සිහිකරමින් ජීවත්වෙනවා කියලා. මේ හැම චර්යාවකින්ම ඔබ තුළින් සිදුවන්නේ නෙක්‌කම්මයක්‌මයි. මේ නෙක්‌කම්ම සිතමයි ඔබට උපකාරීවෙන්නේ පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දැකීමට.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නන්ද හාමුදුරුවන්ට ප්‍රකාශ කරනවා ‘නන්ද මම ඔබව මේ ජීවිතයේදී පමණක්‌ නෙවෙයි ඔබ ජනපද කල්‍යාණියගෙන් බේරාගත්තේ කියලා. පෙර ආත්මභවයක නන්ද ඔබ කොටළුවෙක්‌ වෙලා මම ඔබේ ස්‌වාමියා වෙලා මා ළඟ ඔබ සේවය කරමින්, මගේ ගැල අදිමින් සිටියදී කොටළු දෙනක්‌ වෙලා උපත ලබා සිටි ජනපදකල්‍යාණිය ඔබට බොරු කියලා පොළඹවලා කැලයට අරගෙන යන්න හැදුවා. එදත් මමයි ඔබව බේරාගත්තේ. තවත් ආත්ම භවයක නන්ද ඔබ උරෙක්  ක්‌ වෙලා ජනපදකල්‍යාණියගේ නිවසේ ඉපදිලා ඇය ඔබට හොඳට ආහාර දීලා, ලොකුමහත් කරලා ජනපද කල්‍යාණියගේ විවාහය දවසේ ඔබව මරාගෙන මසට ගත්තා ඔය ජනපදකල්‍යාණියම. සංසාරයක බැඳීම, උපාදානය.

උපාදානය නැමැති එළදෙනගේ තණ බුරුල්ලෙන් වැගිරෙන කිරි තමයි භවය. භවය නමැති කිරි ජාතිය නමැති පස්‌ගෝ රසයන් උපද්දනවා. නිමාවක්‌ නැහැ. නැවතීමක්‌ නැහැ. අතීතය ගොළුවෙලා. වර්තමානය කථාකරනවා. මේ ජීවිතයේදී අපි ආශ්චර්යමත් මනුෂ්‍යයෝ. ලකුණු ගොඩක්‌ දීලා තමන්ම ප්‍රගතිවාර්තාවක්‌ සකස්‌ කරගන්නවා. එහි බුද්ධාගමට ලකුණු නැහැ. ආර්ථික විද්‍යාවටයි ලකුණු වැඩිපුර දීලා තියෙන්නේ. දැන් ජීවිතය ඉලක්‌කම් ගොඩක්‌. ඔබ මෙතැන සිට සිතන්න නන්ද හාමුදුරුවෝ ගැන. ජනපද කල්‍යාණි ගැන. ඔබගේ නිවසේ සාලය තුළ, වීදුරු අල්මාරියේ දිළිසෙමින් තිබෙන ඔබගේ මංගල ජායාරූපයේ, ඔබ ළඟම සිටිනා යෙහෙළිය, මේ මොහොතේ සිනාසෙමින් ඔබට සමීප වී සිටියත් ඇය නිසා සංසාරයේ ඔබ කොතෙක්‌ දුක්‌ විඳින්නට ඇතිද? ඔබ නිසා ඇය කොතෙක්‌ දුක්‌ විඳින්නට ඇතිද? මේ ජීවිතයේ ඔබගේ යෙහෙළිය වූ ඇය, මේ ජීවිතයේ පමණක්‌ම ඔබගේ යෙහෙළිය නොවූ බවද ඉහත කරුණු වලින්ම වටහාගන්න.

ජීවිතය ඉදිරියේ ඇත්තේ මෙවැනි ‘නොවටිනා’ වටිනාකමක්‌ නම් ඔබ ජීවිතයේ අර්ථය මනින්නට ඉලක්‌කම්වලට ඉඩ නොදෙන්න. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, දානය, ශීලය ජීවිතයේ වටිනාකම් කර ගන්න. ඔබ කැමැති, ජීවිතයේ අගට ඉලක්‌කම් එකතු කරගැනීමට නම් ඔබ ඒ ජීවිතයට එකතු කරගන්නේ දුකමය. ඔබට ලැබෙන දෙය, එකතු කරන දෙය දානය උදෙසා අතහරින්නේ නම් ඒ ඔබ අතහරින්නේද දුකමය.

ඊයේ පිංවත් තරුණයෙක්‌ පැමිණියා භික්‍ෂුව මුණගැසෙන්නට. ඔහු විවාහකයෙක්‌. ඔහු භික්‍ෂුවට කියනවා, ‘හාමුදුරුවනේ, මම අමාරුවෙන් හම්බ කරලා ඉතිරි කරගත් රුපියල් ලක්‍ෂ දෙකක්‌ මා ළඟ තිබෙනවා. ඒකෙන් ගෙදරට අල්මාරියක්‌ ගන්න ඕනේ. ඉතිරි මුදල සම්පූර්ණයෙන් ලබන මාසෙ පිංකමට වැයකරනවා’ කියලා. බලන්න, අමාරුවෙන් හම්බකරලා ඉතිරි කරපු දෙයට ඔහු සැබෑ වටිනාකමක්‌ දුන්නා. ඔබ දක්‍ෂ වෙන්න, වෙහෙස මහන්සි වෙලා හම්බ කළාවූ මුදලට ලෝකයේ ඇති සැබෑම වටිනාකම දෙන්න. දුක්‌ උපදින දේවල් කෙරෙහි වැය කරලා එම මුදල් අපතේ හරින්න එපා. ඔබ ළඟ තිබෙන මුදල සුරක්‍ෂිතව තැන්පත් කළා කියන්නේ දානය තුළට, පිංකම් තුළට බැංකුගත කිරීමයි. ඉහත තරුණ මහතාද තමන්ට අවශ්‍ය ප්‍රමාණය නිවසට අවශ්‍ය භාණ්‌ඩය සඳහා වැයකර ඉතිරිය සුරක්‍ෂිතව තැන්පත් කළා. දානය නැමැති බැංකුකරණය කෙරෙහි අවිශ්වාසයෙන්, බියෙන් තොරව තැන්පත් කරන්න. ගිහි පිංවතුන්ලාටයි මේ සටහන ලියන්නේ. පිංවතුන්ලා දානය කෙරෙහි, දන් දීම කෙරෙහි ප්‍රමාදයට පත්වන්නේ නම්, දන්දීමට ලෝභ නම් ඔහු හෝ ඇය නිරතුරුව තමන්ටත්, තම පවුලේ අයටත් රෝගීභාවයන් අනිවාර්යයෙන්ම බලාපොරොත්තු විය යුතුය. මොකද දානය තුළින්මයි මනුෂ්‍යයාට ආයුශ, වර්ණය, සැපය, බලය ලැබෙන්නේ. ඔබ මේ ජීවිතයේදී දන්දීමට මැළි නම්, පෙර ජීවිතයේ දන්දීම හීනනම් තමයි නිරතුරුවම පිංවතුන්ලාට ලෙඩ රෝග වැළඳෙන්නේ. තමන් හම්බකරන දෙයින් යම් ප්‍රමාණයක්‌ තෘෂ්ණාවෙන් තොරව, කර්මය කර්මඵල විශ්වාසයෙන් යුතුව දන්දීමට යමෙක්‌ ලෝභ නම් අනිවාර්යයෙන්ම ඔහුට හෝ ඇයට දන්දීමට වැය නොකළ මුදලට වඩා ඉතා වැඩි මුදලක්‌ බෙහෙත් සඳහා, රෝහල් ගාස්‌තු සඳහා වැය කිරීමට සිදුවනු ඇත. දන්දීමට අකමැති කෙනාට බෙහෙත් වෛද්‍ය ගාස්‌තු සඳහා ඊට වඩා වැඩි මුදලක්‌ වැය කිරීමට සිදුවීම හේතුඵල ධර්මයක්‌මය. ලෞකික සැපයේ රහස දානයයි. මේ සැපය ඔබ උපයෝගී කරගත යුත්තේ සතර අපායෙන් මිදීම උදෙසාම, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත් ශීලයත් පරිපූර්ණ කරගැනීම සඳහාය. ඉන්ද්‍රීය ධර්මයන් දියුණු කරගැනීම සඳහාමය. එසේ නොවුනොත් පිංවත් ඔබ උපක්‍රමශීලීව ජීවිතය තුළට මතුකොටගත් සැපය තවත් හුදු සංස්‌කාරයක්‌ම වී විපාක දීමෙන් අනතුරුව අනිත්‍ය වී යනු ඇත. දන්දීම නිසා ඔබට නීරෝගීභාවයද, එම නිරෝගීභාවය නිසාම සුවසේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට හැකියාව ලැබෙන අතර දන් නොදීම නිසා රෝගීභාවයද, රෝගීභාවයන් නිසාම ධර්ම මාර්ගයෙන් දුරස්‌වීමද සිදු වේ.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ කාලයේ ජීවත්වුණ අනාගාමී උපාසක උපාසිකා දෙපලක්‌ වන උග්ග ගෘහපතිත්, වේළුකන්ඨකී නන්දා මාතාවත් නිරතුරුවම මහා සංඝරත්නයට දන් පූජා කළා. වේළුකන්ඨකී නන්දා මාතාව පිරිනැමූ දානයන්ගේ එක්‌ ආශ්චර්යමත් කාරණයක්‌ තිබුණා. ඒ තමයි ඇය දන්දීමට පෙරාතුවත් සතුටුවෙනවා, දානයෙන් පසුවත් සතුටුවෙනවා. දානය පූජාකරන වේලාවෙත් සතුටුවෙනවා. මෙය ඇය සතු ආශ්චර්යමත් කාරණයක්‌. ගිහි අනාගාමී උවැසි උවැසියනුත් දානය උතුම්කොට සැලකුවා. පන්සලද, ආරණ්‍යයද කියන භේදයකින් තොරව, නිරතුරුවම මහාසංඝරත්නය අරමුණු කරගෙන, මහා සංඝරත්නයටම පූජා කරන දානයමයි මහත්ඵල මහානිසංස වෙන්නේ.

පිංවත් ඔබ ඉදිරියේ ඇති අනතුර නුවණින් දකින්න. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකර නොගත්තොත් මිථ්‍යාදෘෂ්ඨිකභාවයට පත්වෙනවා. ශිල්පද ආරක්‍ෂා කර නොගත්තොත් නැවත දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය ජීවිතයක්‌ ලැබෙන්නේ නැහැ. දන් නොදුන්නොත් ආයුෂ, වර්ණය, සැපය, බලයෙන් හීන ජීවිත ලැබෙනවා.

මෛත්‍රිය නොවැඩුවොත් ලස්‌සන, රූමත්, ප්‍රසන්න රූපයක්‌ නැවත නොලැබෙනවා. මේ සා බියකරු අභියෝගයක සෙවණැල්ල අපේ ජීවිතවලට වැටී තිබියදී අපි හිතන්නේ, මුල්තැන දෙන්නේ රැකියාවට. ව්‍යපාරයට නොගියොත් ආදායම නොලැබෙයි. මිල මුදල් නොමැතිවුනොත් සමාජ තත්ත්වයක්‌ නොලැබෙයි. විවාහයක්‌ නොවුනොත් පරම්පරාව නැතිවෙයි. මෙන්න මේ වගේ සරල, බොළඳ කෙටි අපේක්‍ෂාවන්ටයි අපි මුල්තැන දෙන්නේ. අපි ජීවත්වෙන්නේ අනතුරත් අනතුරින් ගැලවීමේ මාර්ගයත් අතර මොනතරම් පරතරයක්‌ද. ගිහි පිංවත් ඔබට මෙලොව පරලොව දෙකම යහපත් කොට ගන්න නම් හේතුඵල ධර්මයන් නිසා සකස්‌වෙන ඉහත කාරණා දෙකටම මුල්තැන දියයුතු වෙනවා. ඔබ ඉදිරියේ ඇති අනතුර නුවණින් මෙනෙහි කරල දුක නැමති ඉපදීමෙන් මිදීමේ මාර්ගයටම අවතීර්ණ වෙන්න. අපට සැඟවිලා තිබෙන ඉහත කාරණා ගැන ඔබ සිතන්න ගත්තොත් එය හොඳ ප්‍රවේශයක්‌ වේවි ශක්‌තිමත් චිත්තයක්‌ ඇතිකර ගන්න.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

3-2-(I) එක්‌කෝ මරණය නැති නම් සතර අපායෙන් මිදීම – 2

2012-06-17
මහ රහතුන් වැඩි මග ඔස්‌සේ  තුන්වැනි පොත සතර අපායෙන් මිදීම- 2කොටස (i)
එක්‌කෝ මරණය නැති නම්


පසුගිය කාලවකවානුවල වැඩසිටිය ගෞරවණීය ස්‌වාමීන් වහන්සේලාත් වර්තමානයේ වැඩසිටින ගෞවරණීය ස්‌වාමීන් වහන්සේලාත් විසින් කරගෙන ගිය ධර්මදේශණාමය, බෝධිවන්දනාමය පිංකම් හරහා අතිවිශාල තරුණ පිරිසක්‌ ධර්ම මාර්ගයේ පෙරට එනවා පිංවතුන්ලා දකින්න ඇති. එම තරුණ පිරිස දිහා දැක්‌කහම වර්තමානයේ පැවිදිභාවයට පත්වී උතුම් ජීවිත ගතකරන තරුණ ස්‌වාමීන් වහන්සේලා දැක්‌කහම සද්ධර්මයට සමාජය තුළ මොනතරම් දෙයක්‌ කරගන්න පුළුවන්ද කියලා සිතෙනවා, තරුණ පිංවතුන්ලාට. නමුත් මේ එක එක කාලවලදී මතුවී එන ධර්මයේ ප්‍රබෝධය කාලයකදී දුර්වලවෙලා යනවා. මෙය සටහන් තබන භික්‌ෂුවත් ගිහි කාලයේදී එවැනි ගෞවරණීය ස්‌වාමීන් වහන්සේලාගේ පිංකම් තුළින් ධර්ම මාර්ගය ශක්‌තිමත් කරගත් අයෙක්‌. භික්‌ෂුව මෙහි සටහන් තබන්න හදන්නේ ස්‌වාමින් වහන්සේලා හරහා ඇතිකරගන්නා ධර්ම ප්‍රබෝධය ජීවිතය තුළින් වැඩිදියුණු කරගෙන ජීවිතයේ කොටසක්‌ කරගන්න අප දක්‌ෂවෙන්න ඕන කියලා. රැල්ලක්‌ නැගෙනකොට රැල්ලත් සමග බොහෝම උෙද්‍යාaගයෙන් ගහගෙන යනවා. රැල්ල අහවරවෙනකොට නැවත සුපුරුදු තැනට එනවා. සතර එර්දිපාද ධර්මයන්ට අයත් ඡන්දය, වීර්යය, චිත්තය, විමංසා කියන කාරණාවලින් චිත්තය කියන ධර්මතාවය පිංවත් ඔබට මෙහිදී වැදගත් වෙනවා. මෙතනදී චිත්තය කියන්නෙ අධිෂ්ඨානයට. බෝධිසත්වයන් වහන්සේ ජයශ්‍රීමහා බෝධි මූලයේ වාඩිවෙලා මගේ සම්, මස්‌, ඇට, නහර, වියලේවා. සම්මා සම්බෝධිය අවබෝධ කර ගැනීමෙන් තොරව නොනැගිටිමිය කියල චිත්තයක්‌ ඇතිකරගන්නවා. බලන්න අරමුණ නැතිනම් මරණය තමයි එම චිත්තයේ අර්ථය. මේ චිත්තය කියන කාරණය පිංවත් ඔබත් ධර්ම මාර්ගයේ ශක්‌තිය උදෙසා ජීවිතයට එකතුකොට ගන්න. ධර්ම මාර්ගයේ රැල්ලත් සමග පෙරට ගිහිල්ලා රැල්ල නැවතුන තැනදී ආපසු හිටපු තැනට එන්නෙ ඔබ තුළ චිත්තයක්‌ ඇතිකරනොගත් නිසාමයි.

;ඔබ මේ ලිපි මාලාවම උදාහරණයට ගන්න කෝ. පුංචි හෝ ප්‍රබෝදයක්‌ ධර්මයට කැමති පිංවතුන්ලා තුළ මේ ලිපි කෙරෙහි ඇතිවෙලා ඇති. නමුත් පිංවත් ඔබ වටහාගන්න ඕනෙ මේ කෙටි ප්‍රබෝදය අනිත්‍ය දෙයක්‌ බව. හෙට අනිද්දා මේ ලිපි පෙළ අහවරවෙනකොට නැගුන ප්‍රබෝදය අහවරවෙනවා. නමුත් පිංවත් ඔබ නැවතිය යුතු නැහැ. ඔබ බලාපොරොත්තුවක්‌ නොවේ චිත්තයක්‌ ඇති කරගන්න. ඔබ මෙතෙක්‌ බලාපොරොත්තු පමණයි ඇති කරගෙන තිබෙන්නේ. බලාපොරොත්තු කියන්නේ වෙනස්‌ වෙන දෙයක්‌. තරුණ කාලයමයි ධර්මය සුවසේ වැඩීමට සුදුසු කාලය. ජීවිතය ආයුෂ, වර්ණය, සැපය, බලය කියන කාරණාවලින් ජවසම්පන්න වන කාලවකවානුව. මෙම කාලයේදී තමයි ‘පටිභානය’ කියන නුවනින් මෙනෙහි කිරීමේ ශක්‌තිය ජීවිතය තුළින් මෝදුවෙන්නේ. මේ කාලය දෘෂ්ඨීන් ගෙන් තොරව විවෘතව ලෝකය දකින කාලයක්‌. ඒ නිසා පිංවත් ඔබ අස්‌වැන්න ඇති වෙලාවේම උපක්‍රමශීලීව අස්‌වැන්න නෙලාගන්න දක්‌ෂවෙන්න ඕනේ. අස්‌වැන්න නැති වුණාට ගස කොතෙක්‌ සෙලවුවද වැටෙන්නේ අතු, කොළ, රිකිලිමය. අතු, කොළ, රිකිලි යනු ලෝභ, ද්වේෂ, මෝහයි.

වර්තමානයේ තරුණ කාලය වැඩියෙන්ම කැපවෙන්නේ අධ්‍යාපනය, රැකියාව, ආදරය වැනි කාරණයන්ටය. මේවායේ ප්‍රථිඵලය ලෝභ, ද්වේෂ, මෝහ අකුසල් වලින් ජීවිතය පිරීයාමයි. අධ්‍යාපනය ලබන්න. රැකියාව කරන්න. ආදරය කරන්න. මේවා කරන ගමන් ධර්ම මාර්ගයෙත් පෙරට නොකඩවා ගමන් කරන්න. වෙනස්‌වන බලාපොරොත්තු අභිබවා ගිය නොවෙනස්‌වන චිත්තයක්‌ ඇති කරගන්න. බලාපොරොත්තුවලට වටිනාකමක්‌ දෙන්න එපා. බලාපොරොත්තුවලට බැහැ කවදාකවත් ධර්ම මාර්ගයේදී ඔබට ජයග්‍රහණයක්‌ ලබා දෙන්න. බලාපොරොත්තු නිරතුරුවම ඔබව රවටනවා. කාමයේ ආශ්වාදය උදෙසා ඇතිවෙන තෘෂ්ණාවේ බලවත්භාවය නිසාම බලාපොරොත්තු පසුබසිනවා. පසුබසින තැනදිම ඔබ තවත් නැවුම් බලාපොරොත්තු ඇතිකරගන්නවා. එයත් හුදු බලාපොරොත්තුවක්‌මයි. ඔබ බලාපොරොත්තුවලින් ජීවිතය හිස්‌කරන්න. එවිට ජීවිතය එකතැනක නවතිනවා. ඒ නැවතුන තැන ඉඳලා චිත්තයක්‌ අධිෂ්ඨාණයක්‌ ඇති කරගන්න එක්‌කෝ මරණය නැතිනම් සතර අපායෙන් මිදීමය කියලා. එය බොහෝම ශක්‌තිමත් තැනක්‌. එවැනි ශක්‌තිමත් චිත්තයකදී ඔබ රැල්ල නැවතුන තැනදි, අසනීපයක්‌ වුණ තැනදි, ව්‍යාපාරය බිඳ වැටුණ තැනදි, රැකියාව අහිමිවුන තැනදී ආපසු හැරෙන්නෙ නැහැ. මොකද ඔබ දුක ගැන දැන ගෙනමයි දුකින් මිදීම දෙසට ගමන් කරන්නේ. මෙතනදි ඔබ තුළ ශ්‍රද්ධාව සකස්‌වෙලා තිබෙන්න අවශ්‍යයි. සද්ධර්මය සැකයකින් තොරව පිළිගැනීමට, ජීවිතයට එකතුකර ගැනීමට ශක්‌තිය ඔබ තුළ තිබිය යුතුයි.

බොහෝම සද්ධාවන්ත එක්‌ තරුණ මහත්මයෙක්‌ භික්‌ෂුවට ප්‍රකාශ කළා හාමුදුරුවනේ මා තුළ තරුණ කාලයේදීම බලාපොරොත්තුවක්‌ තිබුණා මම විවාහ වෙන්නෙ නැහැය කියලා. නමුත් මොකක්‌දෝ හේතුවක්‌ නිසා මට පෙම්වතියක්‌ මුණගැසුණා. එවිට අපි බලාපොරොත්තුවක්‌ ඇතිකරගත්තා විවාහ නොවී ධර්ම මාර්ගයේ ගමන් කරනවා කියලා. නමුත් හමුදුරුවනේ මොකක්‌දෝ හේතුවක්‌ නිසා අපි විවාහ වුණා. ඊට පස්‌සෙ අපි බලාපොරොත්තු වුණා දරුවන් හදන්නෙ නැහැ කියල. නමුත් මොකක්‌දෝ හේතුවක්‌ නිසා දරුවෙක්‌ හැදුවා. දැන් දරුවා පොඩියි. දැන් අපි බලාපොරොත්තු වෙන්නෙ දරුවා ලොකුවුනාම එයාවත් පැවිදි කරල අපිත් පැවිදි වෙන්න. අනේ හාමුදුරුවනේ අපේ මේ බලාපොරොත්තුව ඉටුකරගන්න පුලුන්වෙයිද කියල ඒ මහත්මය අහනවා. සත්‍යකින්ම එය ඉටුවෙන්නෙ නැහැ. මොකද එය හුදෙක්‌ බලාපොරොත්තුවක්‌ පමණක්‌මයි. ඔබ කළ යුත්තේ වෙනස්‌ වෙන බලාපොරොත්තුවලින් බැහැර වෙලා නොවෙනස්‌වන චිත්තයක්‌ සකස්‌කොට ගන්න. පිංවත් ඔබ ගිහි බැඳීම් වලට බැඳී ඇති නිසා පැවිදිවෙන්නටම අවශ්‍ය නැහැ. ගිහිජීවිතය තුළ සිටිමින්ම එක්‌කෝ මරණය එක්‌කෝ සතර අපායෙන් මිදීම කියන චිත්තය සකස්‌ කොට ගන්න. ඊට අදාළ ධර්මතාවයන් ජීවිතය තුළින් ක්‍රියාත්මක කරන්න.

එසේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සකස්‌කොට ගතහොත් ඔබ ලෝකයේ ලොකුම ධනවතෙක්‌, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වර්ණනා කළ ධනවතා, පොහොසතා තමයි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සකස්‌ කොටගත් පිංවතා. ඔබට ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ දරුවෙක්‌ වෙන්න අවශ්‍යනම් ඔබ ඔය ධනවත් භාවයට තමයි පත්වෙන්න ඕනේ. වර්තමාන සමාජයේ ධනවතා පොහොසතා කියන මිථ්‍යා මිම්ම ඔබ බැහැර කරන්න. ඔබ මේ සැබෑ ධනවත්භාවය හදුනාගතහොත් සමාජයේ සැප ලබා ගැනීම උදෙසා පවතින තරඟකාරී මනුෂ්‍ය පොරයට ඔබ හවුල්වෙන්නෙ නැහැ. ඔබේ පොහොසත්භාවය කියන්නේ ඉලක්‌කම් වලින් මනින දෙයක්‌ නොවේ. ධර්මයේ අර්ථය තුළින් මනින දෙයක්‌ බව තේරුම් ගන්නවා. ඉලක්‌කමේ වටිනාකම් නොවටිනාබව ඔබ දකිනවා. ඔබට ලෝකය යන දිශාව වැඩක්‌ නැහැ. ධර්මයේ අර්ථයන් වැඩෙන දිශාවයි වැදගත් වෙන්නේ. ඒ දිශාව වැටෙන්නෙ තමා තමාට හිරිහැරයක්‌ නැති, කාටවත්ම හිරිහැරයක්‌ නැති. ආර්යඅශ්ඨාංගික මාර්ගය දෙසටයි. දැන් ඔබට පුළුවන් ශක්‌තිමත් චිත්තයක්‌ ඇති කරගන්න. බලාපොරොත්තුවක්‌ නොවේ. බලාපොරොත්තුව තුළ සැකය විචිකිච්චාව සැඟවිලා තිබෙනවා. පිංවත් ඔබ දැන් සම්මාදිට්‌ඨිsය සකස්‌කොට ගෙන මාර්ගය තුළ සිටින්නේ. ආපස්‌සට යැමක්‌ නැහැ. මේ මොහොතේ ඇති කරගත්තා වූ එක්‌කෝ මරණය නැතිනම් සතරඅපායෙන් මිදීම කියන චිත්තය ඔබ පසුකොට පැමිණියා වූ භවගමනේ ඇතිකරගත් ශක්‌තිමත් චිත්තය වෙනවා. පිංවත් ඔබට මේ දේ කරන්න මෙවරත් ශක්‌තිය නොමැතිනම් ඔබ මෙවරත් පරාජය වේවි. එම නිසා සැබෑම සැපය උදෙසා ධර්මයේ සැබෑම පොහොසත් භාවය ජීවිතයට එකතු කර ගන්න.

භික්‍ෂුවක්‌ ධර්ම සාකච්ඡාවකට සහභාගිවීමට ධර්මාසනයට වඩිනවිට එහි පැමිණ සිටි සුදුවත් දැරූ සියලුම පිංවතුන්ලා එක මියුරු ස්‌වරයකින් සාදු….සාදු….සාදු යන හඬින් සංඝරත්නයට ගෞරව දැක්‌වුවා. ඒ හඬ බොහෝම ශ්‍රද්ධාවෙන් පිරුණු මිහිරි හඬක්‌. ගොඩාක්‌ නිවුනු හඬක්‌. ස්‌ත්‍රී, පුරුෂ දෙපක්‌ෂයෙන්ම ඇසෙනකොට එය දිව්‍යලෝකයේ දෙවියන්ගේ හඬක්‌ද කියල සිතෙනවා. කොටින්ම ඒ සෑම සැදැහැවතෙක්‌ම එම මොහොතේ සිටින්නේ මනුෂ්‍ය සංඥාවලින් මිදිලයි. දිව්‍ය සංඥා තමයි ඒ අයට සකස්‌ වෙන්නේ. එක්‌තරා භික්‍ෂුවක්‌ දවසක්‌ රාත්‍රී සමාධිමත් සිතින් පසුවෙනකොට දිව්‍ය ශ්‍රොaත ඔස්‌සේ භික්‍ෂුවට දිව්‍යතලයකින් සාදු….සාදු….සාදු කියන හඬ ඇසිල තිබෙනවා. ඒ දිව්‍ය හඬත් මේ මනුෂ්‍යය ස්‌වරයත් එකම ස්‌වභාවයමයි. නමුත් එක්‌තරා රැයකදි භික්‍ෂුවට තවත් අපූරු දිව්‍ය ශ්‍රොaතයක්‌ ඇසුණා. දිව්‍ය තලයක තනි දෙවියෙක්‌ගේ හඬින්. එම දෙවියාගේ හඬ වුනේ අනිත්‍යයි….අනිත්‍යයි….අනිත්‍යයි කියලා. බලන්න මුලින් සඳහන් කළ දෙවියාට වඩා කොච්චරනම් ඉදිරි දැක්‌මක්‌ද මේ දෙවැනි දෙවියාට තිබෙන්නේ. සමහරවිට එම දෙවියා මාර්ගඵලලාභී දෙවියෙක්‌ වෙන්නත් පුළුවන්. ඒ නිසාම වෙන්ට ඇති සාදු….සාදු….සාදු කියන හෙŒ අර්ථය ඉක්‌මවා ගිහිල්ලා අනිත්‍යයි….අනිත්‍යයි….අනිත්‍යයි කියන හඬ බොහෝම ගැඹුරු සංහිදුන මනෝභාවයකින්

සඡ්ජායනය කරන්නේ. භික්‍ෂුව පිංවත් ඔබට මතක්‌ කරන්නේ පිංවත් ඔබත් ධර්ම මාර්ගයේ අඩියක්‌ ඉදිරියට තබන්න. වර්තමානයේ හුඟක්‌ තරුණ පිරිස්‌, ගිහිපිංවතුන්ලා පිංකම්වලදි සඡ්ජායනය කරන සාදු….සාදු….සාදු කියන සඡ්ජායන හෙŒ අර්ථයෙන් අඩියක්‌ පෙරට තබලා අර්ථවත්ව අනිත්‍යයි….අනිත්‍යයි….අනිත්‍යයි කියන සඡ්ජායනයට පුරුදු වෙන්න. සාදු….සාදු කියලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පමණක්‌ ප්‍රමාණවත් නැහැ. බුදුරජාණන් වහන්සේ තුළින් ධර්මයේ අර්ථය හෙවත් අනිත්‍යය දකින්න. එවිටයි සැබවින්ම බුදුරජාණන් වහන්සේ වන්දනා කළා වෙන්නේ. අනිත්‍යය කියන වචනය පාවිච්චි කරන්න, සඡ්ජායනා කරන්න සමාජයේ හුඟක්‌ බයයි. ඔබ අනිත්‍යය කියන වචනය මෙනෙහි කරන්න සඡ්ජායනා කරන්න බයයි කියන්නේ ඔබ ධර්මයට බයයි කියන කාරණයයි. මේ දුර්වලතාවයන් දුරස්‌ කරමින් අර්ථවත් තැනට ජීවිතය ගන්න. ඔබ දකින ස්‌වාමීන් වහන්සේත් අනිත්‍ය නම්, කරන පිංකමද අනිත්‍යනම්, පිංකම නිසා සකස්‌වෙන වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ධර්මතාවයනුත් අනිත්‍ය නම් ඒ අර්ථයයි අපේ සිතේ මතුවෙන්න ඕනේ. මෙවැනි චිත්තයක්‌ ඔබ තුළින් සකස්‌ කොට ගතහොත් එයත් සතර අපායෙන් නිදහස්‌ වීමට හුඟක්‌ උපකාරී වේවි.

අනිත්‍යය ගැන කතාකරන්න හුඟදෙනෙක්‌ බියයි. අනිත්‍යය කියල හිතුවාම නැතිවෙනවාය කියන අදහස තමයි සමහර පිංවතුන් ඇතිකරගෙන තිබෙන්නේ. සත්තකින්ම අනිත්‍යය ගැන සිතුවොත් යමක්‌ නැතිවෙනවා. ඒ නැතිවෙන්නේ දුකයි, දුක ඇතිවීමට හේතුවයි. මේ සියල්ල ඇතිකරන මෝහයයි. ඒ තුළයි ඔබ මතුකරගන්නේ ආර්ය අශ්ඨාංගික මාර්ගය. අනිත්‍යයයි කියන අර්ථය තුළ චතුරාර්ය සත්‍ය ධර්මයන් සැඟවී තිබෙනවා. අනිත්‍යය කියන ධර්මය ඔබේ ජීවිතයෙන් මතුකර නොගන්නා තාක්‌කල් චතුරාර්ය සත්‍යය ධර්මයන් ඔබෙන් වසන් වෙලයි තිබෙන්නේ. ඔබට අනිත්‍යයේ අර්ථය දකින්න තිබෙන්නේ අනිත්‍යය තුළින්මයි. වෙනස්‌වෙන දෙයක්‌ තුළ සිටිමින්ම වෙනස්‌ වන බව දකින්නයි තිබෙන්නේ. සිටීමක්‌ වේගවත් වන තරමට අනිත්‍යය වේගවත්. ඒ වේගවත් භාවයයි ඔබව සංකීර්ණ කොට තිබෙන්නේ. එතනදියි පිංවත් ඔබට සමාධිය උපකාරීවෙන්නේ. අනිත්‍යයේ සැබෑම වේගය ඔබ සමාධිය තුළිනුයි හඳුනාගන්නේ. ඒ නිසාමයි පිංවත් ඔබට සමාධිය සකස්‌වීමට හේතුවන ශ්‍රද්ධාව, ශීලය ගැන මේ තරම් සටහන් තබන්නේ.

මේ සටහන් තබන භික්‍ෂුව පිළිබඳව පිංවත් ඔබලා යම් කටුසටහනක්‌ සිතේ ඇඳගෙන තිබෙනවානම් ඒ තැනට එන්නට භික්‍ෂුවට උපකාරීවූවේ ශීලයයි. එය උත්කෘෂ්ඨභාවයෙන් රැක්‌කා වූ ශීලයක්‌. අසනීපයකට පැරසිටමෝල් පෙත්තක්‌ ළඟ තබාගත්තේ නැහැ. පානය කලේ ස්‌වමුත්‍රා මාත්‍රා මාත්‍රාවක්‌. නමුත් වර්තමානයේ අවශ්‍ය ඖෂධ ළඟතබාගෙන පරිහරණය කරනවා අවශ්‍යතාවයන්ට අනුව. අදාළ නිවන් මාර්ගය වඩන කාලයේ සමහරදාට මුහුණ සෝදාගන්න සබන් කැබැල්ලක්‌ තිබුණේ නැහැ. ඒක ඉවරවෙලා. ඒත් දායකමහත්තයෙක්‌ සබන් කෑල්ලක්‌ පුජා කරන තෙක්‌ කටින් ඉල්ලුවේ නැහැ. සබන් පාවිච්චි නොකර හිටියා. නමුත් කුමන හේතුවක්‌ නිසාද දන්නෙ නැහැ වර්තමානයේ වැඩසිටින සෑම කුටියකම සබන්කැට පහ හයක්‌ තිබෙනවා භාජනයක දමලා. දැන් භික්‍ෂුවට හිතෙනවා අතීතයේ භික්‍ෂුවට එවැනි හිඟපාඩු කුටි ලැබුණේ භික්‍ෂුවට අදාල කාරණා පරිපූර්ණ කරගන්න කියලා. නොලැබීමත් ජයග්‍රහණයක්‌ කරගන්නට. නිවීමේ මෙහෙයුමේ යෙදෙන කාලයේදී භික්‍ෂුවට හොඳින් දැනුනා ශරීරය බොහෝ දුර්වලයි, කෘශ වෙලා, මරණය බොහෝම ළඟය කියල. එහෙත් භික්‍ෂුවට ආහාර ඖෂධ වල වටිනාකමක්‌ තිබුණේ නැහැ. ජීවිතය අතහැරුන විටද ආහාර ඖෂධ හුදෙක්‌ බාධාවක්‌ පමණක්‌මයි.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

3-1-‘සතර අපායෙන් මිදෙමු’ – 1 කොටස

2012-06-10
මහ රහතුන් වැඩි මග ඔස්‌සේ….
තුන්වැනි පොත –‘සතර අපායෙන් මිදෙමු’ –     1 කොටස

කතාව දිග්ගැසුනොත්…

පුංචි කතා, ලොකු කතා කියා ස්‌වභාවයන් දෙකක්‌ ලෝකයේ පවතී. පුංචි වුවද ලොකු වුවද කතාව සකස්‌වන්නේ ඇති වී නැතිවී යන සිතක්‌ හේතුවෙන්ය. එම සිතට ඇලීමේ ගැටීමේ ස්‌වභාවය මත කතාව පුංචි හෝ ලොකු බවට පත්වෙයි. එක සිතක්‌ නිසා මනුෂ්‍යයෙන් සිනාසෙයි, හඬයි, අපේක්‍ෂා සහගත වෙයි. සමහරවිට තමා විසින්ම තමාගේ ජීවිතය සියදිවි නසාගැනීම දක්‌වා, ඇති වූ සිත තන්හාවෙන් තෙත්වූ නිසා තව තව සිත් පරම්පරාවන් ඇති කරදෙයි. සිනාසීම පුංචි කතාවකි. දිවි නසාගැනීම ලොකු කතාවකි. දෙකටම මූලාරම්භය වූයේ ඇති වී නැතිව ගිය සිතකි. ඒ සිතට ඇලීම නිසා හටගත් සිත් පරම්පරාවකිනි. සකස්‌වුණ සිතට ඇති වුණ ඇලීමේ, ගැටීමේ ස්‌වභාවය මත කතාව ලොකු, කුඩා විය. මනුෂ්‍යයෙක්‌ කල්ප ගණන් සතර අපායේ දුක්‌ විඳින්නේද, සුගතිවල සැප විඳින්නේද තෘෂ්ණාවෙන් තෙත්වුණු සිතක්‌ නිසාය.

බලන්න අවිද්‍යාවෙන් තෙත්වුණ එක සිතක්‌ කල්ප ගණන් ඔබට දුක උරුම කරන දිග කතාවක්‌, ලොකු කතාවක්‌ කියන්න ඔබව රැගෙන යන හැටි.

ඔය සතර අපායේ ජීවත්වන අනන්ත දුක්‌ විඳින සත්වයන් ඒ දුකට වැටුණේ කවදාහරි දවසක තමා තුළ ඇති වුණ රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් තෙත්වුණ සිතක්‌ නිසාය. එසේනම් මෙවැනි අතිභයංකර දුකක්‌ කල්ප ගණන් දිගට ඇදෙමින් ගෙවන්නේ තමන්ට අයත් නොමැති, ආගන්තුක, ඇතිව නැතිව ගිය රාග, ද්වේශ, මෝහයෙන් තෙත් වූ සිතක්‌ නිසා වීම අභාග්‍යයකි. පුංචි සිතක්‌ ඇති කළ දිග කතාවකි එය.

නමුත් ඔබ අතහැරීම, සිතේ අනිත්‍ය බව දකින්නට පුරුදු කර තිබී, ඇලීම ගැටීම සහිත සිත ඔබව දිගකතා ගොතන සංචාරකයෙක්‌ කරවන බවට ඔබ තු=ළ අවබෝධාත්මක සංඥාවක්‌ වඩාගෙන තිබුණා නම් හෝ ලෝකයෙන් දුකෙන් මිදෙනවා යන්න අවංක සහගත විශ්වාසයකින් ඔබ නිවීමේ මාර්ගයට අවතීර්ණව සිටියා නම් යම් තීරණාත්මක මොහොතක “ඥාන දර්ශනයන් සඵල කරමින්, ඇති වී නැති වී යන එක සිතක්‌ ඔබට නිවීමේ ආශ්චර්යමත් සැහැල්ලුවත්, නිදහසත් ඔබට උදාකරනු ඇත.

කතාව නිමාකොට ඔබව ලෝකයෙන් නිවාදමන්නේද සිතක්‌ සේම, ලෝකයාට විවෘත කොට ලොකු කතා ගොතන්නේ ද ඔය ඔබගේ ආගන්තුකයාමය. සිහි නුවණින් ධර්ම විනය දෙක තුළ ජීවත්වෙමින් සතිය සහ සිහිය ඇති කරගනිමින් මේ ආගන්තුකයා හඳුනාගෙන සැනසීම ලබන්න ඔබ උත්සාහගන්න.

සමාජය දෙස බැලීමේදී අපි දකින සියල්ලම ද දිග කතාය. හැම කතාවක්‌ම දිග්ගැසීමට හේතුව අවිද්‍යාව ශක්‌තිමත්වීමය. තරුණයෙක්‌ තරුණියක්‌ දෙස බැලුවොත් එය අවසන් වන්නේ විවාහයකිනි. දරු මුණුබුරන්ගෙනි. පවුල නමැති බන්ධනයෙනි. ඒවා උපාදානය කරගෙන මියගිය පසු සතර අපායෙනි. එසේ නොවන්නේ නම් සුගතියෙනි.

කෙනෙක්‌ තවකෙනෙක්‌ දෙස ඔරවා බැලුවහොත්, ශරීරයේ හැපුනහොත්, අත්වැරැද්දක්‌ වුණොත් එය අවසන්වන්නේ මිනීමරුමට වසර ගණන් සිර දඬුවම් විඳීමෙනි. කල්ප ගණන් අපාදුක්‌ විඳීමෙනි. සිංහල පිංවතෙක්‌ ද්‍රවිඩ පිංවතකුගේ ඇඟේ හැපුනහොත්, නැතිනම් ද්‍රවිඩ පිංවතෙක්‌ සිංහල පිංවතකුගේ ඇඟේ හැපීම අවසන් වන්නේ ජාතිSන් දෙකක්‌ අතර මහා යුද්aධයකිනි. විනාශයකිනි. මගේ රට, මගේ ජාතිය කියන උපාදානය නිසා සකස්‌ වුණ මහා වෛරයකිනි.

රට නිසා හෝ ජාතිය නිසා හෝ ඇති වූයේ වෛරය නම් ප්‍රතිඵලය දුකක්‌මය. මියගියේ වෛර සිතකින්නම් උරුමය සතර අපායමය.

යම් පිංවතෙක්‌ සම්මා සම්බුද්ධ ශාසනයේ පැවිදිවුවොත්, එම පැවිද්ද අවසන් වන්නේ දැනුම, කීර්තිය, ලාභ සත්කාර, නිසාය. පන්සල, කැලය, කුටිය, ශීලය, සමාධිය, මාර්ගඵල, රේඩියෝව, රූපවාහිනිය, ධර්ම ප්‍රචාරය…. මේවා සියල්ල මගේ කරගෙනය. කොටින්ම ස්‌වභාවධර්මයේ ස්‌වභාවය අර්ථ කර, අවබෝධ කර වදාළ සම්බුද්ධ දේශනය ද ඔහු ඔහුගේ කොටගනී. මේ පොතේ සටහන් කර ඇති එකම කරුණක්‌වත් මේ සටහන් තබන භික්‍ෂුවට අයත් දෙයක්‌ නොවේ. භික්‌ෂුව අතින් සිදුවූයේa ලෝකයේ ස්‌වභාවය එම ස්‌වභාවය පිළිබඳ අවබෝධය ලබමින් ලත් අත්දැකීම් සටහන් තැබීම පමණක්‌මය.

භික්‍ෂුවට මේ කරුණු කිසිවක්‌ අයිති නැත. ඒවා අයිති ලෝකයටයි. ලෝකය අයිති දුකටය. අනිත්‍යයටය. මේ කරුණු මගේ කරගතහොත් ඒ ඔහු අයිතිකරගන්නේ ලෝකයයි. දුකයි. අනිත්‍යයි.

බලන්නකෝ ඇති වී නැතිවී යන සිතක්‌ සකස්‌කර දුන් සිත් පරම්පරාවක දිග කතාවල ස්‌වභාවය. මේ හැම දිග කතාවක්‌ම පුංචි කතාවක්‌ බවට, නිවුණ කාතාවක්‌ බවට පත්කරගැනීමට හැකියාව තිබියදී ඇතිවන සිතට ඇලීම, ගැටීම හේතුවෙන් සිත තෘෂ්ණාවෙන් තෙත් කිරීම හේතුවෙන්, සිත මගේ කරගැනීම හේතුවෙන් අත්හැරීමෙන් නිවීම දෙසට යැම නොව, අල්ලාගැනීමෙන් දිගකතා බවට පරිවර්තනය කරගන්නවා. අවිද්‍යාවෙන් මිදී ලොක්‌යෙන් මිදීමට ඔබත් වීර්යය වඩන්න.

ඉදිරිපත් කිරීම –
ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

2-33-මියගිය ඥාතියාට ඔබ සැබැවින්ම හිතවත්ද?

2012-06-03

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ…..අත් හැරීම 2වැනි පොත – 33කොටස 
මියගිය ඥාතියාට ඔබ සැබැවින්ම හිතවත්ද?
එහෙමනම් කියවන්න…


පවුලේ සාමාජිකයෙක්‌ මිය ගියාහම සත්දවසේ, තුන්මාසේ, අවුරුද්දේ මේ ආදී වශයෙන් ධර්ම දේශනා සාංඝික දානමය පිංකම් සිදුකිරීම සමාජයේ පවතින චාරිත්‍රයක්‌. වර්තමානයේ මෙම චාරිත්‍රයේ ගුණාත්මක බව පිරිහීම මෙලොව පරලොව සැමදෙනාගේම අවාසනාවක්‌. අප හිතමු ගෙදර ස්‌වාමි පුරුෂයා මැරිල ගිහින් ප්‍රේතයෙක්‌ වෙලා ඉපදුනාය කියලා. ඇයි ඔහු ප්‍රේතයෙක්‌ වෙලා ඉපදුනේ. මැරෙන මොහොතේ ඔහුගේ බිරිඳ දරුවන් ගේදොර ඉඩකඩම් කෙරෙහි තණ්‌හාව ඇතිවුණ නිසයි ඊට ආශාවෙන් කැමැත්තෙන් ගෙදරට ප්‍රේතයෙක්‌ ලෙස උපාදානය ලැබුවා. හැබයි ඔහු ජීවත්ව සිටියදී කුසල් දහම්ද වැඩූ අයෙක්‌. ඒත් මියයන මොහොතේ එම පිංකමක්‌ සිහිකළා නම්, සිහිවුණා නම් නියත වශයෙන්ම ඔහුට සුගතිගාමී ජීවිතයක්‌ ලබන්න තිබුණා. ඔහුට බිරිඳ, දරුවන්, ගේදොර කෙරෙහි ඇති වූ උපාදානය නිසා බැඳීම් නිසා කුසල් සිත් යටපත්ව තණ්‌හාවෙන් තෙත්වුණ සිතක්‌ සකස්‌ වුණ නිසා තමා කැමති වූ, ආශා කළ පරිදිම බිරිඳ දරුවන් සිටින නිවසේම ප්‍රේතයෙක්‌ ලෙස ප්‍රතිසංධිය ලැබුවා. ඔහු කැමති වූ ස්‌වභාවය ඔහුට ලැබුණා. ඔබ හිතනවා ද මේ ප්‍රේත ජීවිතය ඔහුට දුකක්‌ කියලා. නැහැ. ඔහුට දුකක්‌ නැහැ. ඔහු සැපයක්‌ කියලාමයි මේ ප්‍රේත ජීවිතය විඳින්නේ. ඔහු කැමති වූ ප්‍රාර්ථනා කළ දෙයයි ඔහුට ලැබුණේ. ඔහුට අවශ්‍ය නම් ඔහු පුහුණුකොට තිබුණා නම් ඔහු කළ කුසල කර්මයක්‌ සිහියට නගාගෙන මෙනෙහි කොට සුගතියක්‌ ලබන්න අවස්‌ථාව තිබුණා. නමුත් ඔහු කැමති තැන ඔහුට ලැබුණා.

දැන් ගෙදර ප්‍රේතයෙක්‌ වෙලා ඉන්න ස්‌වාමි පුරුෂයාට පිං දෙන්න සත්දවසේ හෝ තුන්මාසේ පිංකම කරනවා. නමුත් ඥාතීන් කිසිවෙක්‌ දන්නෙ නැහැ මළගිය තැනැත්තා කොහේ ඉපදුනාද කියලා. නමුත් ඔහු ඉපදිලා ඉන්නෙ ගෙදරමයි. දැන් ගෙදර ධර්ම දේශනා පිංකමට සූදානම්. පිංකමට මහා පිරිසකට ආරාධනා කරලා. ගෙදර ඇතුලෙ, වත්තෙ පිටියෙ හැම තැනම ඥාතීන්, හිතවතුන්. මේ අයට සංග්‍රහ කරන්න මුළුතැන්ගෙයි කෑම බීම හැදෙනවා, කට්‌ලට්‌ බදිනවා, මාළු මස්‌ උයනවා. කෑම මේසය පිළිවෙල වෙනවා. සමහරු කාඩ් සෙල්ලමේ, තවත් සමහරු ආගිය තොරතුරු කථා කරනවා. තව සමහරුන්ගේ දුරකථන නාද වෙනවා. පුංචි දරුවො හඬනවා. දැන් ස්‌වාමින් වහන්සේ වැඩම කරල ධර්ම දේශනය පවත්වනවා. ගෙදර මුළුතැන්ගෙයි, කාමරවල, වත්තෙ පිටියේ කලබල. දැන් ඔබ හොඳින් හිතන්න. පිංදෙන්න බලාපොරොත්තු වෙන ප්‍රේතයා ගෙදරම සිටිනවා. ඉහත ස්‌වභාවයෙන් ඔබ පිංකම් කළොත් මේ ප්‍රේතයා බණ දවසෙ සවස පටන්ම දැඩිලෙස කලබලවෙලයි, ගැටෙන සිතෙනුයි සිටින්නෙ. මගේ ගෙදරට මිනිස්‌සු එනවා. මගේ බිරිඳ සමග මිනිස්‌සු කතා කරනවා, හිනහෙනවා. මගේ වත්තේ මිනිස්‌සු. ගෙදර කාමරවල මිනිස්‌සු. මගේ බිරිඳ මට අහිමිවෙයිද? කවුරුහරි උදුරාගනීද? මගේ බිරිඳ මේ මොකද කරන්නේ. මම මහන්සිවෙලා හරිහම්බ කළ මුදල් වියදම් කරනවා, මිනිස්‌සුන්ට කන්න දෙනවා. මෙහෙම සිතමින් තන්හාවෙන් චංචල ස්‌වභාවයෙන් ගේ පුරා දුවනවා. ඇවිත් ඉන්න මිනිස්‌සු සල්ලි, රන්රිදී ගනිවී කියල එයා අල්මාරිය මුරකරනවා. මිනිස්‌සු ගෙනා තෑගි පාර්සල් මුරකරනවා. එයා මහා බියකින් පසුවෙන්නෙ. තමාගේ යෑයි උපාදානය කොට ගත් දෙය අනුන් පරිහරණය කරනකොට එයාට ධර්මදේශනයට සවන්දීල පිංගන්න සිතක්‌, චිත්ත විවේකයක්‌ නැහැ. ප්‍රේතයා තන්හාවෙන් බියෙන් අන්ධවෙලයි මේ මොහොත ගත කරන්නේ. ධර්ම දේශනය ස්‌වාමින්වහන්සේ හමාර කරල පිංදුන්නත් ප්‍රේතයා ඒ වගක්‌වත් දන්නෙ නැහැ. ඔහු ප්‍රේත ස්‌වභාවයෙන් තමා උපාදානය කරගත් දෙය රැකගැනීම උදෙසායි මුළු කාලයම වැය කළේ. ඔහු තුළිsන් තවතවත් අකුසල් රැස්‌කර ගැනීමක්‌ පමණමයි සිදු වුණේ.

ඔබ මෙහෙම සිතන්න. ඔබේ ගෙදර සාදයක්‌ තිබෙනවා. කෑම මේසය ආහාරවලින් පිරිලා. ඔබේ ගෙදර සිටින කුඩා දරුවා මෙවැනි අවස්‌ථාවක මොකද කරන්නේ. සමවයසේ දරුවන් සමග සෙල්ලම් කරනවා, හැමෝම අතේ සුරතල් වෙනවා. එයා ආහාර ගැන සිතන්නේ නැහැ. මෙහෙම දඟලලා ආහාර නොගෙනෙම නිදාගන්නවා. රසවත් කෑම මේසයක්‌ තිබුණත් දරුවා නිදාගන්නෙ බඩගින්නේ. ඔබ උපායශීලී නොවුනහොත්, ප්‍රේත ආත්මයක්‌ ලැබූ පිං ගන්න පුළුවන් අයෙකුටත් අර දරුවා කෑම නොගෙන බඩගින්නේ නිදාගන්නා පරිද්දෙන්ම පිං ගැනීම අහිමිවෙනවා. මෙහිදී ඔබ දක්‌ෂ වෙන්න ඕනේ ප්‍රේතයාගේ සිත කලබල නොවන නොගැටෙන ස්‌වභාවයක්‌ පරිසරය තුළ නිර්මාණය කරන්න. සාදයක්‌ කියන්නෙ එකක්‌. පිංකමක්‌ කියන්නෙ තව එකක්‌. මේ දෙකේ අරමුණු දෙකක්‌ තිබෙන්නේ. සාදයකින් වැඩෙන්නෙ කාමය. පිංකමකින් වැඩෙන්නෙ කුසලයක්‌. වර්තමානයේ ධර්මදේශනයයි පාටියයි දෙකම එකටයි ගන්නේ. ධර්මශ්‍රවණය කරන පිංවතුන්ට ධර්මය ඇසෙන්නෙත් ආහාරවල සංඥාව සමගමයි. මේ දෙක ඔබ පටලවා ගන්න එපා. පිංකමක්‌ සිදුකිරීමට අවශ්‍යනම් සද්ධර්මයට ගරුකරන අවශ්‍යම පිංවත් ඥාතීන්, හිතවතුන් කිහිපදෙනාට පමණක්‌ ආරාධනා කරන්න. වත්ත පිරෙන්න නොවේ. ගෙදර සාලය පිරෙන්න. ඥාතීන්ට සංග්‍රහ කිරීමට අවශ්‍ය ආහාරපාන සවස හය වෙනකොට සූදානම්කොට අවසන් කරන්න. කුසල් වැඩෙන සංඥාවන් මිස, අනිත්‍ය ධර්මයන් වැඩෙන සංඥාවන් මිස කාම සංඥාවලින් ඔබ මිදෙන්න. නිවස වත්ත හොඳින් පිරිසිදු කොට සම්බුදු පහන දල්වා, මල්, සුවදඳුම් අල්වා නිවස වත්ත පිටිය බුදුමැදුරක්‌ කරගන්න. ස්‌වාමීන් වහන්සේගේ දෙපා දෝවනය කිරීමට ගොක්‌ අත්තක්‌ වියාගන්න. ගොක්‌ අත්තක්‌ භාවිතාකොට පහන් පැලක්‌ සාදා නැවුම් පහනක්‌ දල්වන්න. සුවඳ දුම් අල්ලන්න. මේ පහන් ආලෝකය මේ ඝන අන්දකාරය දුරුවී ආලෝකය පතුරුවන්නාසේ මගේ ඥාතීන් පිං මදව අඳුරේ සිටීනම් මේ පහන් ආලෝකය සේ පිනෙන් ආලෝකමවත් වේවා කියල ප්‍රාර්ථනා කරන්න. මේ ආලෝකය යම් සේ අනිත්‍යභාවයට පත්වේද මෙලෙසින්ම මගේ මිය ගිය ඥාතීන්ට ද අනිත්‍ය සංඥාවක්‌ දැනේවා කියල ඔබ අනිත්‍ය වඩන්න. ඔබ සිතන්න යන්න එපා ගොක්‌ අත්තක්‌ කපනවා කියන්නේ පොල්වල්ලක්‌ විනාශ කිරීමක්‌ කියල. සමහරු එහෙම හිතලා මේ වටිනා සිරිත් සමාජයෙන් අහිමි කරනවා. පොල්වල්ලක්‌ අපිට මිල කරන්න පුළුවන් රුපියල් පන්සියයක්‌ කියලා. එහෙත් සමාජයට එකතුව තිබූ වටිනා සිරිත් මිල කරන්න බැහැ. අපි අදක්‌ෂවෙලා තිබෙනවා වර්තමානයේ රුපියල් පන්සියයකට වටිනා ගුණධර්ම මිල කරන්න. ගොක්‌ අත්තක්‌ තුළ පිවිතුරු බව, නැවුම් බව, සෞභාග්‍යය විතරක්‌ නෙමෙයි විශේෂයෙන්ම අද අපේ ගෙදර පිංකමක්‌ තිබෙනවාය කියන සංඥාව තිබෙනවා. මේවායෙන් අපේ සිත්ද ඥාතියාගේ සිත්ද නිසල වෙනවා. සමාධිමත් වෙනවා. ඔබ ගොක්‌ අත්තක්‌ කෙරෙහි පොල්වල්ලක්‌ය යන සංඥාව ඇති කරගත්තොත්, ලෝභ සිතක්‌ ඇති කරගත්තොත් එවැනි සිතකින් අනුන්ට දෙන්න පිනක්‌ රැස්‌වෙයිද කියලා හිතන්න බෑ. යමෙක්‌ තුළ ගොක්‌ අත්තක්‌, පොල්වල්ලක්‌, පොල් ගසක්‌ පමණක්‌ නොව පොල් වත්තම මගේ කොට ගැනීම නිසා ඒවා තුළ නිත්‍යවූ වටිනාකමක්‌ ඇතැයි දැකීම නිසා පොල්වත්තේම ප්‍රේතයෙක්‌ව ඉපදීම ලෝක ස්‌වභාවයම පවතිනවා.

ඉහත ආකාරයට ඔබේ නිවස වත්ත පිටිය ආගමික පරිසරයක්‌, චිත්ත සමාධිය වැඩෙන පරිසරයක්‌ ලෙස සකස්‌කොට ගෙන ඥාතියාට පිංදීමට ඔබ උපක්‍රමශීලී විය යුතුය. ගෙදර බාහිර ක්‍රියාකාරකම් අවම වන තරමට ඥාති ප්‍රේතයාගේ සිත පිංකම කෙරෙහි රඳවා තබාගත හැකිය. එසේ නොවුනහොත් කෑම මේසයක්‌ ගෙදරක තිබියදී කුසගින්නේ නිදාගත් දරුවා සේ පිංකම සිදුකළද ඥාතියා පිංනොගෙනම පිංකම අහවරවනු ඇත. එහෙයින් ඥාතියාගේ සිත ඇලෙන ගැටෙන ස්‌වභායෙන් තොරව පිං ගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කොට ඥාති ප්‍රේතයාට ඔබ පරලොවින් උපකාර කරන්න.

වර්තමාන සමාජයේ අපි උත්සහ ගන්නේ ජීවත්ව සිටින විට සතර අපායෙන් මිදීමට අවශ්‍ය කුසල් දහම් වැඩීම නොව, අනුන්ගේ පිං අවශ්‍ය නොවන සුගතියක ඉපදීමට පුහුණු වීම නොව, මියගිය පසු අනුන්ගේ පිනෙන් යෑපෙන අවාසනාවන්තයෙක්‌ වශයෙන් ජීවත්වීමටය, මිය යැමටය. සමහරු මිය යන්නේ හත්දවසේ තුන්මාසේ පිංකම්වලට මුදල් වෙන්කොට තබාය. මෙසේ පිංවත් ඔබ ජීවත්ව සිටියදීම මගේ ඥාතියා මරණයෙන් මතු මාව අසරණ කරාවී යන සංඥාව ඇති කරගෙන හමාරය. වර්තමානයේ ඔබ තුළ “මිය ගිය පසු මගේ ඥාතියා මට පිංදෙයි, ඥාතීන්ගෙන් පිං ගනිමි” වැනි සංඥා තිබෙනවානම් ඒවායින් වාහාම ඉවත් වන්න, මිදෙන්න. එම සංඥා තුළින් ඉවත් වීම යනු ප්‍රේත ලෝකයෙන් ඔබ යම් ප්‍රමාණයට මිදුනා වන්නේය. සෑම මොහොතකම ඔබ ඔබ කෙරෙහි, ඔබ කරන ලද පිංකම් කෙරෙහි විශ්වාසය තබන්න. තමා රැකි ශීලයන් කෙරෙහි විශ්වාසය තබන්න. මේ උත්තම ධර්ම මාර්ගය ඔබට විවර කළ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ, ධර්මරත්නය, සංඝරත්නය කෙරෙහි විශ්වාසය තබන්න, සිහිකරන්න, මෙනෙහි කරන්න. ඉනුත් ඔබ්බට ගොස්‌ මේ සියල්ල කෙරෙහි අනිත්‍ය සංඥාව පුරුදු කිරීමට ඔබ උත්සහවන්ත වන්න. අනුන්ගෙන් නොයෑපෙන, සතර අපායෙන් මිදුන, ධර්මයේ ආලෝකයේ හිමිකරුවෙක්‌ ලෙස මේ උතුම් මනුෂ්‍ය ජීවිතයෙන් ඔබ අධිෂ්ඨානය ඇති කරගන්න.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com