2-28-ක්‍රෝධයේ අස්‌වැන්න

2012-04-29

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ අත් හැරීම දෙවෙනි පොත – 28 කොටස 

කොහොමද…? ක්‍රෝධයේ අස්‌වැන්න



ක්‍රෝධය යනු මෛත්‍රියට වඩා ලෝකය තුළ පැතිර පවත්නා සත්ත්ව ස්‌වභාවයකි. මහ පෙළොවේ පස්‌ අහුරක්‌ දෝතට ගතහොත්, එම පස්‌ මිටත් මහ පොළොවේ පසුත් අතර ඇති පරතරය යම්සේද ලෝකය තුළ මෛත්‍රිය සහ ක්‍රෝධයේ ස්‌වභාවය එසේමය. මනුෂ්‍ය ලෝකයේ සත්ත්වයා බෞද්ධ හෝ අබෞද්ධ වුවද යම් හෝ ආචාරධර්ම පද්ධතියකින් හික්‌මෙන නිසා, දියුණු සිතීමේ ශක්‌තියක්‌ ඇති නිසා සහ දියුණු කණ්‌ඩායම් හැඟීමක්‌ ඇති නිසා ක්‍රෝධයේ ස්‌වභාවය දැඩිව ප්‍රකට නොවූවද තිරිසන් ලෝකයේ, ප්‍රේත ලෝකයේ, නිරයේ ජීවත්වන සත්ත්වයා තුළ නිරතුරුව වැඩෙන්නේ වෛරය සහ ක්‍රෝධයයි. ක්‍රෝධය, වෛරය යනු ඔවුන්ගේ කර්ම විපාකයයි. විපාකය නැමැති ඵලය ඔවුනට ලැබෙන්නේ ක්‍රෝධය සහ වෛරය නිසාය. අපි කැමැති දෙයම, අපි පුරුදු කළ දෙයම අපට ලබාදීම ලෝක ධර්මයේ ස්‌වභාවයයි. ඔය තිරිසන්, ප්‍රේත නිරයේ දුක්‌ විඳින සත්ත්වයින් එම ලෝක වල කල්ප ගණන් දුක්‌ විඳින්නේ තමන් නිසා නොව, අනුන් නිසා කරගත් අකුසල් නිසාය. ඔබ හොඳින් සිතා බලන්න. කෙනෙක්‌ ඔබට ඔරවා බැලුවොත්, බැන්නොත්, ගැහුවොත් මදිපුංචි කමක්‌ කළොත්, තමාගේ දෙයක්‌ සොරාගත්තොත්, ඔබව විවේචනය කළොත්, ඔබට වඩා ඉහළට යනවා දැක්‌කොත්…. මෙහෙම වෙනකොට ඔබ ඔහුගේ දෙය ඔබේ කරගෙන, ඔහුගේ ක්‍රියාව ඔබේ කරගෙන ඔබ තුළ වෛරය ක්‍රෝධය ඇතිකරගන්නවා. බලන්නකෝ අනුන් තුළ ඇතිවූ දෙයක්‌ නිසා, අනුන් විසින් කළ ක්‍රියාවක්‌ නිසා ඔබ විසින් ඔබ තුළ වෛරය ක්‍රෝධය ඇති කරගත්තා වගේම එම පාප ධර්මයන් නිසා එහි විපාකයන් හැටියට තිරිසන්, ප්‍රේත, නිරයේ අවාසනාවන්ත ජීවිත ලබනවා. ඔබ කැමති කළේ ක්‍රෝධය වෛරය නම් සංසාරයේ එයම ලැබීම නියතයක්‌. මොකද ඔබ කැමති කළ දෙය නිසා.

එහෙම නම් ඔය සතර අපායේ දුක්‌ විඳින සෑම සත්වයෙක්‌ම ඔතැනට වැටුනේ අනුන්ගේ දෙය තමාගේ කරගැනීමට යැම නිසාමයි.

මා තුළත් මා නැති කළ, අනුන් තුළ මා දැකීම මේ අවාසනාවේ හේතුවයි.

ඔය සතර අපායේ දුක්‌ විඳින සෑම සත්වයෙක්‌ම ඔබ මම වගේම වටිනා මනුෂ්‍ය ජීවිත ගතකළ මනුෂ්‍යයන්මය. මමවත්, මගේවත් නොවන “මම” ආරක්‍ෂා කරගැනීමට, ආත්ම ගෞරවය රැකගැනීමට ගොස්‌, අපාදුක්‌ විඳින අවාසනාවන්තයින්ය. මේ ලැබුණු මනුෂ්‍ය ජීවිතයේදී ඇති කරගත් ක්‍රෝධය වෛරය මරණින් මතු ප්‍රේත ලෝකයේ දැඩි ලෙස දුක්‌විඳින ප්‍රේතයින් දෙදෙනෙකුගේ අතිශය දුක්‌ඛිත ස්‌වභාවය පහත සඳහන් කරමි.

භික්‍ෂුවක්‌ සමාධියෙන් පසුවෙද්දී ප්‍රේතයින් දෙදෙනෙකු දර්ශනය විය. භික්‍ෂුවගේ සමාධිමත් සිතට, ඕලාරික ස්‌වභාවයෙන් මනුෂ්‍ය රූපයෙන්ම සිටි ප්‍රේතයින් දෙදෙනා දර්ශනය විය. දෙදෙනාම මනුෂ්‍ය ලෝකයේදී තමන් හැඳ පැළඳි දිග කලිසම් සහ කමිස වලින් සැරසී සිටින ආකාරයෙන්ම සිටියහ. දෙදෙනාගෙන් එක්‌ අයෙක්‌ සිටියේ දැඩි වියරු ස්‌වභාවයෙන්ය. අනෙක්‌ ප්‍රේතයා වෙතින් අහිංසක බවක්‌ දිස්‌විය. වියරු ස්‌වභාවයෙන් යුත් ප්‍රේතයා තමා ඉදිරියේ සිටි අනෙක්‌ ප්‍රේතයාගේ ගෙල පෙදෙසින් වියරුවෙන් මෙන් දෑතින්ම අල්ලාගත්තේය. ගෙල පෙදෙස දෑතින් අල්ලාගෙන වියරු ස්‌වභායෙන් තමාගේ හිසේ අනෙකාගේ හිස ගසාගත්තේය. මේ වියරුවේ ස්‌වභාවය ඉතාමත් බිහිසුනුය. එය එතරම්ම වේගවත්ය. ප්‍රේතයින් දෙදෙනා හිස්‌දෙක ගසාගත් වේගය නිසා හිස්‌ දෙකම කුඩුවිය. මෙහිදී අහිංසක ස්‌වභාවයෙන් යුත් ප්‍රේතයා හිස කුඩුවී මිය යන මොහොතේ “අනේ මගේ දුවේ” යනුවෙන් ශබ්දයෙන් විලාප හඬක්‌ නැගීය. දෙදෙනාම ලැබූ ප්‍රේත ජීවිතයේදී අකුසලය විපාක දී චුතවිය. ඒ සැනින්ම නැවත එපරිද්දෙන්ම ප්‍රේත ලෝකයේම ප්‍රතිසන්ධිය ලබයි. නැවතත් පෙරසේම කර්ම විපාකය විපාක දී නැවත නැවත මැරෙමින් ඉපදෙමින් කල්ප ගණන් මේ වියරු මරණීය දුක අත්විඳියි. ප්‍රේත ලෝකයේදීද තමා මනුෂ්‍ය ජීවිතයේදී වැඩූ වෛරය, ක්‍රෝධය නිසා හිස කුඩුපට්‌ටම් කරගෙන මියයන මොහොතේදී එක්‌ අයකුට මතකයට ආවේ මනුෂ්‍ය ලෝකයේදී තමා උපාදානය කරගත් “මගේ දුව” නැමැති සංඥාවයි.

මොවුන් දෙදෙනා ප්‍රේත ලෝකයේ උපත ලබන්නේද, මෙලෙස එකට මුණගැසෙන්නේද තමන් කළ කර්මය නිසාය. මෙහි මහා අවාසනාව වනුයේ මෙසේ ප්‍රේත ලෝකයේ ප්‍රතිසන්ධිය ලබා හිස්‌ගෙඩි දෙක වියරුවෙන් ගසාගෙන මරාගෙන නැවත ප්‍රේත ලෝකයේම ප්‍රතිසන්ධිය ලබා දෙදෙනා නැවත හමුවන මෙහොතේ දෙදෙනාටම තමන් මීට පෙර ප්‍රේත ලෝකයේ ඉපැදුණු බව හෝ හිස්‌ ගෙඩි දෙක ගසාගනිමින් මිය ගිය බවට සංඥාවක්‌ දැනෙන්නේ නැති බවයි. එහෙත් දෙදෙනා නැවත මුණගැසෙද්දී වෛරයේ සංඥාව මතුවී විපාකය ක්‍රියාත්මකවෙයි.

මනුෂ්‍ය ලෝකයේ වෛරය ක්‍රෝධය වැඩීම නිසා ප්‍රේත ලෝකයේ දුක්‌ විඳින අවාසනාවන්තයින් දෙදෙනෙකුගේ කථාවයි මෙය.

ඔවුන් දෙදෙනා මුණගැසෙන ආත්මයක්‌ පාසාම ඔවුන් තුළ වැඩෙන්නේ වෛරය ක්‍රෝධය පමණකි. මරණ ෙච්තනාව පමණකි. එහෙයින් ඔවුන් දෙදෙනා සෑම නිමේෂයකදීම ප්‍රේත ලෝකයේදී රැස්‌කරන්නේ අකුසලයක්‌මය. නිරතුරුවම රැස්‌කරන පරපණ නැසීමේ අකුසලය නිසා ඔවුන් නැවත නැවත මීට වඩා දරුණු විපාක විඳිමින් නිරයට වැටෙනවා ඒකාන්තය. කල්ප සියක්‌ කෝටි ගණනක්‌ ගියද ඔවුනට එයින් ගැලවීමක්‌ සිතීම විහිළුවකි. මනුෂ්‍ය ලෝකයේ ආශ්චර්යමත් මනුෂ්‍යයෙක්‌ව ඉපිද “මම” කියන සංඥාව රැකගැනීමට ගොස්‌ මෙවැනි දුකක්‌ උරුමකර ගැනීමට ඔබත් කැමතිද?

ඔබ අකමැති නම් මේ මොහොතේම ඔබ වෛරයෙන් ක්‍රෝධයෙන් මිදෙන්න උත්සහගන්න. අනුන්ගේ දෙය ඔබ ඔබේ කර නොගන්න. අනුන්ගේ හිතේ හටගත්, ඔහුටවත් අයත් නැති සිතක්‌ ඔබ ඔබේ කර නොගන්න. ක්‍රෝධය වෛරය සහිත සිත් ඔබ ඔබට අයිති නැති අනිත්‍යයට අයිති දෙයක්‌ බව සිතන්න. ඔබට අපා දුක්‌ දෙන පාප මිතුරෙක්‌, ආගන්තුකයෙක්‌ ඔබ ඔබේ කර නොගන්න. නපුරු විසකුරු සර්පයෙක්‌ දැක ඔබ මඟහැර යනවා සේ ඔබද නපුරු, විසකුරු සිත් ඇතිවුන කළ ඒවාට පැමිණි ලෙසින්ම යන්නට ඉඩහරින්න. සිත ඔබේ කරනොගන්න. ඇතිවූ සිතේ නපුරු බව, විසකුරු බව දකින්න. ඇතිවෙමින් නැතිවෙන සිත සතියෙන් සිහියෙන් යුතුව ඔබ ඔබේ කළ්‍යාණ මිත්‍රයෙක්‌ බවට පත්කරගැනීමට වෙහෙස ගන්න.

අපි දැන් බලමු ඉහත ප්‍රේතයන් දෙදෙනා මොනවගේ කර්මයක්‌ මනුෂ්‍ය ලෝකයේදී කළ නිසාද මෙම දුක්‌ඛිත විපාකයට මුහුණදීමට සිදුවූයේ කියලා. ඉහත භික්‍ෂුව අනුමාන කරනවා (නමුත් ස්‌ථිරවම කියන්න දන්නේ නැහැ) මෙහිදී හමුවන අහිංසක ස්‌වභාවයෙන් යුත් ප්‍රේතයා මනුෂ්‍ය ලෝකයේදී විවාහයක්‌ කරගෙන බිරිඳ සහ එක්‌ දරුවෙකු සමඟ ලස්‌සන පවුල් ජීවිතයක්‌ ගතකළ කෙනෙක්‌. එකම දරුවා සුරතල් දියණියක්‌. මෙම ස්‌වාමිපුරුෂයා බිරිඳට සහ දියණියට දැඩිසේ ආදරය කළ අයෙක්‌. අවාසනාවකට ඔහුගේ ලස්‌සන අහිංසක පවුල් ජීවිතයට අසම්මත ප්‍රේමවන්තයෙක්‌ හරස්‌වෙනවා වෙන්න පුළුවන්. මෙම අසම්මත ප්‍රේමවන්තයා බිරිඳට ඇති තන්හාව නිසා ස්‌වාමිපුරුෂයා මරාදමා බිරිඳව තමන් අයිතිකරගත්තා වීමටද පුළුවන්. අසම්මත පෙම්වතා අතින් මේ ස්‌වාමිපුරුෂයා මියයන මොහොතේ අවසාන සංඥාව උපාදානය ලෙසින් මතුවූයේ “අනේ මගේ දුව” යන සංඥාවයි. ඔහුට දැනෙන්නට ඇති මගේ දුව අනාථ වෙයි, අසරණ වෙයි කියන හැඟීම. ඒ නිසා ඇතිවූ වෛරය. මේ සියල්ලම ඇතිවුනේ තන්හාව නිසාමයි. තමාගේ ලෙයින් උපන් අහිංසක සුන්දර දියණිය, තමා මැරෙන මොහොතේ, විශේෂයෙන්ම බිරිඳ ද අසම්මත ප්‍රේමයක බැඳී ඒ හේතුවෙන් තමාව මරාදැමෙන මොහොතේදී, සුරතල් දියණියව මතකයට ඒම ඕනෑම පියෙකුට පොදු ධර්මතාවකි. අවසානයේදී යම් හේතුවක්‌ නිසා අසම්මත ප්‍රේමවන්තයාද කව්රුන් අතින් හෝ මැරුම්කන්නට ඇත. එසේ නොමැතිනම් නිSතිය ඉදිරියේ වරදකරු වී දඬුවම් ලබා මරාදමන්නට ඇත. දෙදෙනා තුළම එකිනෙකා කෙරෙහි, අනෙකා (අනුන් නිසා) ඇතිකරගත් වෛරය ක්‍රෝධය හේතුවෙන් ප්‍රේත ලෝකයේ උපත ලබා වෛරයේ දරුණු ස්‌වභාවය නිසා හිස්‌ ගෙඩි දෙක වියරුවෙන් එකට ගසාගනිමින් විපාකයන් විඳී. මෙහිදී අහිංසක ප්‍රේතයාව වියරු වැටුණු ප්‍රේතයා විසින් අල්ලාගෙන ඔහුගේ හිස තමාගේ හිසෙහි ගසාගෙන පොඩිකොට දමා මියයන මොහොතේ “අනේ මගේ දුවේ” යෑයි අහිංසක ප්‍රේතයාගෙන් අඳෝනාවක්‌ නැගෙන්නේ (එම හඬ ඉතාම අසරණ හඬකි. වේදනාත්මක හඬකි) තමා මනුෂ්‍ය ලෝකයේදී දුව ලෙසින් කැමැත්තෙන් ආශාවෙන් උපාදානය කරගත් සංඥාවේ බලවත්භාවය නිසාය.

ඔබ දැන් හොඳ සිහියෙන් යුතුව දකින්න. මෙහි එන අසම්මත පෙම්වතා කියන චරිතය තමා තුළ අන්සතු බිරිඳක්‌ කෙරෙහි හටගත් තන්හාවේ සිත අනිත්‍ය වශයෙන් දැක්‌කා නම්, ඒ පාපකාරී සිත තමා වසඟයට, තමාගේ කර නොගත්තානම් වර්තමානයේදී ඔහුට මේ දුක විඳින්නට සිදුවන්නේ නැහැ නේද?

තමා තුළ ඇතිවූ එක සිතක්‌, මොහොතකින් නැතිව යන එක සිතක්‌ අනිත්‍ය වශයෙන් දක්‌නට තිබූ නොහැකියාව නිසා, ඒ සිත තන්හාවෙන් තෙත්කොට ක්‍රියාත්මක භාවයට පත්කිරීම නිසා, කල්ප ගණනාවක්‌ අපාදුක්‌ විඳින අවාසනාවන්තයෙක්‌ වූවා නේද? සිතක්‌ කියන්නේ මොහොතකින්, නිමේෂයකින් වෙනස්‌ වෙන දෙයක්‌ වුවත්, අනිත්‍යභාවයට පත්වෙන දෙයක්‌ වුවත් එම සිතට පුළුවන් ඔබව කල්ප ගණනක්‌ දුක්‌ විඳින සත්වයෙක්‌ බවට පත්කරන සංස්‌කාරයන් රැස්‌කර දෙන්නත්. සිත යනු දුක කියන්නෙත්, ලෝකය කියන්නෙත් ඒ නිසාමයි. ඇතිවී නැතිවී යන එක සිතක්‌ අනිත්‍ය වශයෙන් නොදකින වාරයක්‌ පාසාම ඔබ එම සිත නිසා දුකද ලෝකයද අයිතිකරගන්නවා. සිතක්‌ අනිත්‍ය වශයෙන් දකින මොහොතක්‌ පාසාම ඔබ දුකද ලෝකයද අතහැර දමනවා.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s