2-18-දිව්‍ය ලෝකෙ සැපයි… ඒත්?

2012-02-19

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ
දිව්‍ය ලෝකෙ සැපයි… ඒත්?


(අතහැරීම 02) 18 වැනි කොටස

අවිද්‍යාව පැත්තට ලෝකය බර වෙන්නට බර වෙන්නට ලෝකයා බර වෙන්නේ තන්හාව දෙසටයි. අවිද්‍යාවේ දරුවා තමයි තන්හාව. අවිද්‍යාවේ බර නිසා තන්හාවේ ගොඩ සැප ලෙසයි සත්වයා දකින්නේ. ඒ නිසා සත්වයා නිරතුරුවම පිංකම් කරමින් ප්‍රාර්ථනා කරන්නේ දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක සැපමයි. මොකද සැපයට ඇති තන්හාව නිසා අවිද්‍යාව විසින් ඔබව නිරතුරුවම දැනුවත් කරනවා, ලෝකය තුළ සැප තිබෙනවා කියලා. ඔබව ඉදිරියට පදවනවා සැප ස්‌පර්ශ කරන්න.

මනුෂ්‍ය ලෝකයේ සැප ගැන ඔබට අත්දැකීම් තිබෙනවානේ. දුක්‌ කන්දක්‌ විසිතුරු දවටනයක ඔතා, විසිතුරු ඇඳුම් ආයිත්තම්, සුවඳ විලවුන්, යාන වාහන, ගෙවල් දොරවල්, පවා දරුවන් සමඟ සැපයෑයි සිනාසෙමින් කරගසාගෙන යන මනුෂ්‍ය ලෝකයේ සැප, ඔබ අත්දකිනවා බොහොම කැමැත්තෙන්.

මේ කියන්න යන්නේ දිව්‍ය ලෝක සැප ගැනයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක දුප්පත් මනුෂ්‍යයෙක්‌ සිටිනවා, ඔහුට තිබෙන්නේ දිරාගිය පැල්පතක්‌. එහි වහළයෙන් අහස පෙනෙනවා. බිරිඳ හරියට දර ඉපලක්‌ වගේ. අහේනිය නිසාම විරූපි වෙලා. ධාන්‍ය මල්ලේ අඩියේ ධාන්‍ය ටිකක්‌ තිබෙනවා. මේ මනුෂ්‍යයාට තිබෙන්නේ ඔය ටික පමණයි. මේ මනුෂ්‍යයාට පැවිදිවෙන්න සිතක්‌ ආවත්, මේ දිරාගිය පැලත්, විරූපී බිරිඳත්, හිස්‌ ධාන්‍ය මල්ලත් අතහැරීමට ඔහුට නොහැකිය කියලා. බලන්නකෝ තන්හාවේ ස්‌වභාවය.

අනවබෝධය නිසාම, කෑදර සිත් ඇතිව පිළුණු වී යන ආහාර බුදින, දෙතිස්‌ කුණපයකින් යුතු කයක්‌ දරන, දූවිලි අවු වැසි වලින් පීඩා විඳිමින් සැප සොයන අපි, ආහාර නිදි විවේකය නොලබා සැප සොයන අපි, සිතූ සිතූ සම්පත් පහළවන දිව්‍ය ලෝකයට ගියහොත් කුමකින් කුමක්‌ වෙයිද?

දිව්‍ය ලෝකය කියන්නේ කාම පුරයක්‌. එහිදී සිතූ සිතූ සම්පත් ඔබට ලැබෙනවා. ඒ සියල්ල ඔබට ලැබෙන්නේ දිව්‍ය ඕජාව වශයෙන්. ඔබ කළ පිං වල ප්‍රමාණයට ඔබ ඉපදෙන දිව්‍ය තල වල පංති භේදයක්‌, පංති පරතරයක්‌ තිබෙනවා. මේ භේදය නිසා දෙවියනුත් ගැටෙමින් අකුසල් කරගන්නවා. අතීතයේ කළ කුසල් අනුව තමයි ඔබට සැප ලැබෙන්නේ. ඔබ මෙහෙම හිතන්න. මනුෂ්‍යයෙක්‌ ඉන්නවා… ඔහු දුප්පත්, උදේ සිට රාත්‍රිය වනතුරු ඔහු කුලී වැඩක්‌ කරලා කීයක්‌ හරි සොයාගෙන ගොස්‌ බතුයි පරිප්පුයි කාලා ජීවත්වෙනවා. තව මනුෂ්‍යයෙක්‌ ඉන්නවා, ඔහු හොඳ රජයේ රැකියාවක්‌ කරලා හොඳ වැටුපක්‌ අරගෙන අරකෙනාට වඩා හොඳ ජීවිතයක්‌ ගතකරනවා. තව මනුෂ්‍යයෙක්‌ ඉන්නවා ඔහු කෝටිපතියෙක්‌. ඔහු තරුපහේ හෝටලයකට ගොස්‌ අවන්හලේ වාඩිවී වේටර්වරයෙක්‌ පිළිගන්වන ආහාර වට්‌ටෝරුවට ඇඟිල්ල තබනවා. මොහොතකින් ලෝකයේ රසවත්ම ආහාර වේලක්‌ ඔහුගේ මේසයට එනවා. බලන්න මේ තුන්දෙනාම මනුෂ්‍ය ලෝකයේ ඉපැදුණ මනුෂ්‍යයෝ. නමුත් සංසාරයේ කළ කුසල් අකුසල් නිසා සැප ලැබීමේ පරතරයක්‌, සීමාවක්‌ තිබෙනවා. මිනිසුන් දස දෙනෙක්‌ ගතහොත් එම දසදෙනාට ලැබීමේ ස්‌වභාවයන් දස ආකාරයක්‌ වෙනවා. දිව්‍ය ලෝකයෙත් මේ වගේමයි. අර කෝටිපති ව්‍යාපාරිකයා ආහාර වට්‌ටෝරුවේ ඇති තමා කැමැති ආහාර වර්ගයට ඇඟිල්ල තැබූ සැනින් තමන් කැමතිම ආහාරය ලැබෙනවා වගේ දෙවියන්ට යම් සැපක්‌ අවශ්‍ය යෑයි සිතූ සැනින් එම සැපයෙන් දෙවියාව තෘප්තිමත් වෙනවා.

සුපිරි වෙළඳසලකට ගොස්‌ කෙනෙක්‌ රුපියල් දෙසීයක්‌ ගෙවලා අයිස්‌ක්‍රීම් එකක්‌ කනවා. තව දුප්පත් අයෙක්‌ ගමේ කඩේට ගිහින් රුපියල් දහයේ අයිස්‌පලම් එකක්‌ කනවා. දෙදෙනාම මනුෂ්‍යයෝ. දෙදෙනාම කන්නෙත් අයිස්‌ ක්‍රීම්. නමුත් දෙදෙනා ලබනා රසයේ ස්‌වභාවයන් වෙනස්‌. ඒ දෙදෙනාගේ ලැබීමේ විවිධත්වයයි. පිංකර ඇති ස්‌වභාවයන්ට අනුව දෙවියන් දිව්‍ය ඕජාවෙන් තෘප්තිමත් වෙනවා. දෙවියන්ට තිබෙන්නේ ඕලාරික කයක්‌. එම ඕලාරික කය ඝන භාවයට පත්කරගැනීමට දිව්‍ය ලෝකවල දෙවියන්ට පුළුවන් වගේම, සමාධියෙන් පරිපූර්ණ, ප්‍රඥාව වඩන භික්‍ෂුවටද ඕලාරික භාවයෙන් මුදවා ඝන ස්‌වභාවයෙන් දෙවියන් දර්ශනය වෙයි. ඕලාරික කයක්‌ තිබුණද දෙවියන්ට ආයතන හයක්‌ (සලායතන) මනුෂ්‍යයාට සේම ඕලාරික කය ඇසුරුකොටගෙන පිහිටා ඇත. එහෙයින් මනුෂ්‍යයාට සේම නිරතුරුවම ඇතිවෙමින් නැතිවෙන සිත් දෙවියාටද හටගනී. කාම ලෝකයක සැප විහරණය කරන දෙවියාද සතර මහා ධාතූන්ගෙන් නිර්මානය වූ, අනිත්‍ය ඕලාරික කයක්‌ද, නිරතුරුවම ඇතිවෙමින් නැතිවී යන සිතක්‌ද ඇති සත්වයෙකි. දෙවියන් තුළද සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නැත්තේය. දෙවියන් සැප විඳිනවා යනු, ක්‍රියාත්මක වෙනවා යනු ස්‌පර්ශය නිසා ඇතිවන වේදනාවක්‌ පමණක්‌මය. මනුෂ්‍යයින් වශයෙන් මහා පිංකම් කරමින් ඔබ යන්නට ප්‍රාර්ථනා කරනා සුරපුරය ඔතැනය. දිව්‍ය ලෝක වල දිව්‍ය සැපය ලැබෙන්නේ දිව්‍ය ඕජාව ලෙසින්ය. දිව්‍ය ඕජාව යනු සුන්දර අත්දැකීමකි. දෙවියන් මෙම දිව්‍ය ඕජාව අතහැරීම උපරිමයෙන් පූර්ණ කළ භික්‍ෂුවටද, නිවන් අවබෝධය ලබාගත් භික්‍ෂුවටද අත්‍යවශ්‍යම අවස්‌ථාවලදී ලබාදෙයි.

ඔබ මෙහෙම සිතන්න. භික්‍ෂුවක්‌ හුදෙකලා වනයේ කුටියක වැඩ සිටින විට ආහාර මද බව නිසා ලේ වල සීනි අඩුවී අසනීප වෙනවා. මෙය සිදුවන්නේ රාත්‍රියේදී. භික්‍ෂුව දැඩි වේදනාවට පත්වෙනවා. කුටිය තුළ ගිලන්පසක්‌ සාදා ගැනීමට සීනි තේකොලවත් නැහැ. අත්හැරීමේ උපරිමය නිසා. භික්‍ෂුව මොකද කරන්නේ. රිදුම් දෙන, කලන්තයෙන් අප්‍රාණික වන කයත් සිතත් මගේ නොවෙයි. මට අයත් දෙයක්‌ නොවේ කියලා අතහරිනවා. ලෝකයේ ශ්‍රේෂ්ඨම අතහැරීම ප්‍රතිපදාවේ යෙදෙන භික්‍ෂුවක්‌ සිත කය අතහරින මොහොතේ ලෝකය කම්පා වෙනවා. ලෝකය නිරුද්ධ වෙනවා. එය දිව්‍ය ලෝක වලට දැනෙනවා. දෙවියන් සොයනවා මොකක්‌ද වුණේa කියලා. දෙවියන් දකිනවා අසවල් තැන වැඩසිටින භික්‍ෂුවගේ අතහැරීමයි මේ දැනුනේ කියලා. ඒ මොහොතේම දිව්‍ය ඕජාව දෙවියන් එම භික්‍ෂුවට සමාධිය තුළින් ලබාදෙනවා. දිව්‍ය ඕජාව භික්‍ෂුව විඳින්නේ මනසින්. සීනි අවශ්‍ය නම් භික්‍ෂුවගේ දෝතට රන්වන් පාට සීනි අහුරක්‌ ලැබෙනවා. අත රන් වගේ දිලිsසෙන භික්‍ෂුව මනසින් එය විඳිනවා. වළඳනවා. පියෙවි සිහියෙන් අවධියේදී නොවෙයි මෙය වෙන්නේ. සමාධිගත නින්දේදියි. භික්‍ෂුව පැය කිහිපයකින් අවධිවන්නේ ශරීරයේ තිබූ රෝගී බව දුරුවී පූර්ණ සුවය ලැබීමෙන්. මොකද ශරීරයට අවශ්‍යව තිබූ සීනි ප්‍රමාණය දිව්‍ය ඕජාව වශයෙන් භික්‍ෂුවගේ ශරීරයට ලැබුණු නිසා. හැබැයි දෙවියන් ඕජාව දෙන්නේ සිත කය අතහැරියොත් පමණයි කියලයි භික්‍ෂුව සිතන්නේ. ප්‍රඥාව හොඳින් වැඩීමෙන් පමණයි, අවංකවම කය, සිත අතහැරිය හැක්‌කේ. එහෙම වුණොත් තමයි එම කම්පනය දිව්‍ය ලෝකයට දැනෙන්නේ.

දිව්‍ය ලෝකයේ නිරතුරුවම සඡ්ජායනා කරන හඬ, විටෙක පිරිත් හඬේ ස්‌වභාවයෙන්ද තවත් වේලාවන්ට කෝවිල් වල පූජාව තබනකොට ශබ්ද පූජාවේදී ලොකු නලාවකින් නැගෙන හඬේ ස්‌වභාවයෙන්ද ඇසෙනවා. වනයෙ හුදෙකලා කුටි වලදී මෙම හඬ රාත්‍රී යාමයේදී හොඳින් ඇසිය හැකිය. මුහුද ගංගා දිය ඇලි අසල අපි වාඩිවී සිටියදී මොනතරම් මිහිරි රිද්මයන් අපට ඇසෙනවාද. කැලයක රාත්‍රියට සුළඟ ඇති වෙලාවට අපූරු සංගීතයන් මැවෙනවා. මේවා කවුරුවත් කරන, වයන දේවල් නොවේ. පස්‌සය නිසා ඇතිවන වේදනාවන්. කාම ලෝකයක්‌ වුවද පිනැති දෙවියන් ජීවත්වන නිසා එම පිං මහිමය නිසාම මෙවැනි සඡ්ජායනා, සංගීත රිද්ම ස්‌වභාවයන් දිව්‍යතලවල රැව්දෙනවා. අර ගඟේa මුහුදේ දිය ඇල්ලේ රිද්aමය වගේ. පිනේ ආශ්චර්යය නිසාම දෙවියන් ආස කරන හඬ රිද්මය, ඒ මොහොතේම ඇතිවෙලා දෙවියන් තෘප්තිමත් වෙනවා. දැන් ඔබ සිතන්නකෝ මෙවැනි කාම ලෝකයක ඔබ උපත ලැබුවොත් මෙම කාමයෙන් ඔබට අත්මිදෙන්න පුළුවන් වෙයිද?

ඔබ මනුෂ්‍ය ලෝකයේ පිංකම් කර ලැබූ දිව්‍ය කාම සම්පත නිසාම පිරිහීමට පත්වී නැවත සතර අපායට වැටීමේ ඉඩකඩ ඉතාමත් වැඩිය. දිව්‍ය ලෝකවල බුද්ධ රත්නයද, සංඝ රත්නයද වැඩ සිටින්නේ නැත. නමුත් ධර්මරත්නය වැඩ සිටියි. එහෙත් ධර්මය මතුකර පෙන්වීමට බුද්ධ රත්නයද, සංඝ රත්නයද වැඩ නොසිටින නිසා දෙවියෝ අනාථයෝය. එහෙත් දෙවියන් දක්‍ෂ නම් සංඝ රත්නය වැඩසිටින මනුෂ්‍ය ලෝකයට පැමිණ සද්ධර්මය ශ්‍රවණය කර අවබෝධය ලැබිය හැකිය.

භික්‍ෂුවක්‌ කැලයේ හුදෙකලා කුටියක වැඩ සිටින විට රාත්‍රියේ පැමිණි දිව්‍යාංගනාවක්‌ ගැන ඔබට කියන්නම්. එක්‌ රාත්‍රියක භික්‍ෂුවක්‌ සමාධියෙන් පසුවන විට දිව්‍යාංගනාවක්‌ දර්ශනය විය. ඇය සිටියේ පාවෙමින්ය. වැඩි ඉහළක නොවේ. ඇයගේ ස්‌වභාවය අති සුන්දරය. ඇය සිහින්ය. දිගැටිය. දිග කේශ කලාපයකින් යුක්‌තය. එය පාදාන්තය දක්‌වා දිගය. ඇය ප්‍රභාශ්වර සුදු පැහැතිය. පැහැදිලි සුදු වලාකුළක පාටය. ඇයගේ සියුම් ඝන කය ප්‍රභාෂ්වර සුදු පැහැයෙන් යුක්‌ත විය. හරියට ශරීරයට හිරවෙන සුදු දිග ගවුමක්‌ ඇඳසිටියා සේය. ඇයගේ ශරීරයේ දෙපා ප්‍රදේශය සිහින් වී ගොස්‌ තිබිණි. ඇය භික්‍ෂුව ඉදිරියේ තරමක ඉහළින් සරුංගලයක්‌ පාවෙනවා සේ පාවෙමින් සිටියාය. මෙවැනි රූප දර්ශනය වීමේදී භික්‍ෂුවගේ ස්‌වභාවය මේ ආකාරයට පිං දීමය. “මෙම භික්‍ෂුවගෙන් ඔබට යම් කුසලයක්‌, පිනක්‌ ගතහැකි නම් එය භික්‍ෂුවගේ යෑයි නොසිතා ඔබේ යෑයි සිතා ඔබ අනුමෝදන් වී සුවපත් වෙන්න” භික්‍ෂුව මෙසේ සිතූවිට ඇය නැතිව ගියා.

දෙවැනි දවසේ රාත්‍රියේත් ඇය පෙර දින සේම දර්ශනය වුණා පෙරදින සිටි ස්‌වරූපයෙන්ම. එදාද භික්‍ෂුව පෙරසේම පිං දුන්නා. ඇය නැවතත් නොපෙනී ගියා. මැය මෙසේ දර්ශනය වුවද භික්‍ෂුවට ඇය ගැන කුතුහලයක්‌, ඇය දැකීමේ කැමැත්තක්‌ නොතිබිණි. ඇය ගැන මතකයද, අවධානයක්‌ද නොතිබිණි. නොසිතූ මොහොතක ඇය දර්ශනය වනවා පමණි. මේ වන විට භික්‍ෂුව සිටියේ දිව්‍ය ලෝක සංඥාවලින් මිදීය. දිව්‍ය ලෝකයත්, එහි ජීවත්වන දෙවියනුත් අසූචිගොඩක්‌ මත ජීවත්වන පණුකැළක්‌ ලෙස භික්‍ෂුව අවබෝධයෙන් දැනසිටියේය. එනිසා දිව්‍යාංගනාව භික්‍ෂුවට තවත් අනිත්‍යභාවයට පත්වන රූපයක්‌ පමණක්‌ විය. මෙසේ පසුවෙද්දී තුන්වැනි දින රාත්‍රියේ ඇය පෙරසේම දර්ශනය විය. තුන්වැනි දිනයේදී භික්‍ෂුව ඇයට පෙරසේම පිං දුන්නේය. ඇය නොපෙනී ගියාය. ඇය පැමිණි විට විනාඩි දහයක පමණ කාලයක්‌ භික්‍ෂුව ඉදිරියේ පාවෙමින් සිටින්නීය. හතරවැනි දිනයේදී ඇය පෙර ස්‌වභාවයෙන්ම භික්‍ෂුවට දර්ශනය විය. භික්‍ෂුව දැන් ඇය ගැන අවබෝධය ලබා අවසන්ය. ඇයට දින තුනක්‌ පිං දුන්නද ඇයට පිං අනුමෝදන් වූයේ නැත. ඇයට භික්‍ෂුව දුන් පිං අනුමෝදන් වූවානම් පළවෙනි දිනයට වඩා දෙවැනි දිනයේදී ප්‍රභාශ්වර විය යුතුය. ඇයගේ දිව්‍යශ්‍රීය ධනාත්මක බවක්‌ විද්‍යාමාන විය යුතුය. එහෙත් එය එසේ නොවිණ. ඇය මුල් දිනයේ දර්ශනය වූ ස්‌වරූපයෙන්ම හතරවැනි දිනයේදීද දර්ශනය විය. මෙයින් පැහැදිලිවන්නේ ඇයට පිං අනුමෝදන් නොවූ බවයි. මෙම දිව්‍යාංගනාව අනුන්ගේ පිං අවශ්‍ය නැති, පිනෙන් පිරුණු සශ්‍රීක දිව්‍ය ලෝකයේ වැඩ වසන දිව්‍යාංගනාවක්‌ බවයි. ඇයට භික්‍ෂුව දුන් පිං අවශ්‍ය නැත. ඇයට අවශ්‍ය භික්‍ෂුව දකිමින් සතුටු වීමටය. නැතහොත් භික්‍ෂුවට ගරු කිරීමට, නමස්‌කාර කිරීමටද විය හැකිය. මේ දෙකින් කුමක්‌ සඳහාද යන්න භික්‍ෂුවට ඇයගේ ඉරියව් වලින් දැනගත නොහැකි විය. ඇය සතුටින් ප්‍රමෝදයෙන් සිටින බව පමණක්‌ භික්‍ෂුව හඳුනාගත්තේය. හතරවැනි දිනයේදී භික්‍ෂුව ඇයට මෙසේ අවවාද කළේය. “ඔබ මොකක්‌ද මේ කරන්නේ. ඔබ විහිළුවක්‌ කරනවාද? ඔබ කව්ද? සමහර විට ඔබ භික්‍ෂුවගේ මිය ගිය මවුද දන්නේ නැහැ. වෙන දිව්‍යාංගනාවක්‌ද දන්නෙත් නැහැ. මේ භික්‍ෂුව හෙට අපවත් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔබට භික්‍ෂුව දැකලා සතුටුවෙන්න පුළුවන් කමක්‌ නැහැ. ඔබට පිං අවශ්‍ය වුවද දෙන්න කෙනෙකුත් නැහැ. ඔබ ඔය දිව්‍ය සැප අවසන් වුණාම අසරණ වේවි. නැවත සතර අපායට වැටේවි. එදාට ඔබව බේරාගන්න කවුරුවත් නැහැ. ඒ නිසා ඔබ මේ පිං අනුමෝදන් වෙලා සැපවත් වෙන්න. සතර අපායෙන් මිදෙන්න. මේ භික්‍ෂුව සේම අනිත්‍ය වඩන්න” කියලා භික්‍ෂුව අනුමෝදනාවක්‌ කළා. මෙසේ අවවාද කළ ද ඇය පස්‌වැනි දිනයේ රාත්‍රියේද පෙර ස්‌වභාවයෙන්ම භික්‍ෂුව ඉදිරියේ පාවෙමින් සිටියාය. ඇයට පිං අනවශ්‍ය බව දැන් ස්‌ථිරය. ඇයට දිය යුත්තේ පිං නොව, ප්‍රඥාව වැඩීමට සංඥාවක්‌ බව භික්‍ෂුවට අවබෝධ විය. මන්ද අනුන්ගේ පිං අනවශ්‍ය, මහා පිනැති දිව්‍යාංගනාවක්‌ නිසාය. ඇය සසර ප්‍රඥාව වඩා ඇත. එහෙත් දිව්‍ය ලෝකයේ කාම සම්පත් මැද කෙළිලොල් දිවියක්‌ ගතකරන නිසා ප්‍රඥාව යටපත්වී සැඟවී ගොස්‌ තිබේ. භික්‍ෂුව දිව්‍යාංගනාවගේ සැඟවී තිබූ ප්‍රඥාව මතුකර දීමට ඇයව මෙසේ දැනුවත් කළේය.

“පුතේ ඔබට මේ භික්‍ෂුව කථාකරන අවසාන අවස්‌ථාව. ඔබට දෙන අවසාන අවවාදය. දින හතරක්‌ම භික්‍ෂුව ඔබට පිං දුන්නා. ඔබ ඒවා අනුමෝදන් වූයේ නැහැ. ඔබ භාග්‍යවන්තියක්‌. ඔබ මේ භික්‍ෂුව දෙස හොඳින් බලන්න. භික්‍ෂුව පරිහරණය කරන තුන් සිවුර දෙස හොඳින් බලන්න. එක වේලෙන් පමණක්‌ පිණ්‌ඩපාතයෙන් යෑපෙන මේ පාත්‍රය දෙස හොඳින් බලන්න. මේ සයනය, මේ කුටිය දෙස බලන්න. භික්‍ෂුවගේ ප්‍රතිපදාව දෙස බලන්න. භික්‍ෂුවගේ අතහැරීම දෙස බලන්න. මේ භික්‍ෂුව අනිත්‍ය වඩන්නේ යම් සේද ඔබද ඔය දිව්‍ය සැප, දිව්‍ය ඕජාව, දිව්‍ය ශරීරය, ඔය රූපය අනිත්‍ය බව දකින්න. ඔය ඇස, කන, නාසය, දිව, ඕලාරික ශරීරය, සිත අනිත්‍ය බව දකින්න. කවදාහරි දිනයක ඔය දිව්‍ය සැප අනිත්‍යභාවයට පත්වී ඔබ දිව්‍ය ලෝකයෙන් චුතවේවි. දිව්‍ය සැප අහිමි වන බව දැකලා ඔබ එදාට හඬාවැටේවී. ඔබ ඔය සැපෙන් මිදිලා සතර අපායට වැටේවී. පුතේ ඔබ ඔය විඳින සිත ඔබේ නොවෙයි කියලා අතහරින්න. ඔය ස්‌වර්¨ණහංසියක්‌ බඳු කය ඔබට අයිති නැති අනිත්‍යයට අයත් දෙයක්‌ යෑයි කියලා අතහරින්න. සියල්ල අනිත්‍ය බව දකින්න. මේ භික්‍ෂුව ඔබව දකින අනිත්‍ය සංඥාවෙන්ම ඔබ භික්‍ෂුව දෙස බලන්න. මේ භික්‍ෂුවද මැරෙන, ලෙඩ වෙන, වයසට යන ස්‌වභාවයෙන් යුක්‌ත බව දකින්න. මේ භික්‍ෂුව දෙස නැවැත නැවත බලන්න. ඔබ අවබෝධය ලබන්න. ධර්මය දැක්‌ක කෙනෙක්‌ වෙන්න. ඔබ සෝවාන් ඵලයට පත්වෙන්න. දිව්‍ය ලෝකයෙන්, සතර අපායෙන් මිදෙන්න. බ්‍රහ්ම ලෝකයට ගොස්‌ කල්ප ගණනක්‌ වුවද ගතකරන්න. ඒකට ප්‍රශ්නයක්‌ නැහැ. මොකද කවදාවත් ඔබ නැවත සතර අපායට වැටෙන්නේ නැහැ. භික්‍ෂුවට අවශ්‍ය ඔබව සතර අපායෙන් මුදවන්න පුතේ. මගෙ පුතේ භික්‍ෂුව කියන දෙය ඔබ අසන්න” භික්‍ෂුව රාත්‍රියේ පැය කාලක්‌ පමණ ඉහත බණ ශබ්ද නගලා දේශනා කළා. එදායින් පසු නැවත එම දිව්‍යාංගනාව නොපැමිණියාය. නොදුටුවේය. ඇයට කුමක්‌ වූයේ දැයි භික්‍ෂුව නොදනී. එහෙත් ඇය සසර ප්‍රඥාව වඩා පුරුෂ දිව්‍යාංගනාවක්‌ නිසා භික්‍ෂුව විසින් දේශනා කරන ලද අනිත්‍ය සංඥාව ඒ මොහොතේම අවබෝධ වීමෙන් ඇය දිව්‍ය ආත්මභාවයෙන් මිදී බ්‍රහ්ම ලෝකයේ උපතක්‌ ලබන්නට ඇතැයි භික්‍ෂුව අනුමාන කරයි. එහෙත් එය නිවැරදිව නොදනිමි.

භික්‍ෂුවට දිව්‍යාංගනාව දර්ශනය වන්නේ සමාධිය තුළ සිටියදීය. එහෙත් ඇයට බණ කියන විට ඇය සමඟ කථා කරන විට සමාධිය නැතිවන නිසා ඇයව දර්ශනය නොවේ. එහෙත් ඇය එහි සිටින බව භික්‍ෂුව දනී. එම දිව්‍යාංගනාවගේ සුකුමාල බව, සැහැල්ලුව, ලාලිත්‍යය, රිද්මය කොතෙක්‌ද කිවහොත් ඇය පෘතග්ජන ස්‌වභාවයේ කෙනෙකුට කාමයේ පාරාදීසයකි. දිව්‍ය ලෝකය යනු එවැනි කාම පාරාදීසයකි. මෙවැනි කාම ලෝකයක්‌ ඔබ නිරතුරුවම ප්‍රාර්ථනා කරන්නේ නම් එය මහා මුලාවකි. දිව්‍ය සැප නිරතුරුවම ඔබට අකුසල් රැස්‌කර දෙන්නකි. මන්ද ඔබ තුළ භවයට ඇති කැමැත්ත නිසා නිරතුරුවම තන්හාවෙන් සිත පිsරී පවතී. දිව්‍ය සැප විඳීම යනු මෙම කාම ලෝකය තන්හාවෙන් බදාගැනීමයි. රස විඳීමයි. ඒ තන්හාව නිසා ඇතිවන අකුසල් වලින් ඔබව නැවත සතර අපායට ගාල් කරයි. එහෙත් මෙම දිව්‍යාංගනාව මිනිස්‌ ආත්ම වල ඉපිද ප්‍රඥාව වඩා තිබුණු නිසා ලැබුණු අවස්‌ථාවෙන් ප්‍රයෝජනය ගැනීමට ඇයට සමහරවිට හැකිවිය. ඔබද කුමන පිංකම කළද එම පිංකම්වල අනිත්‍ය ස්‌වභාවය, අනිත්‍ය සංඥාව වැඩීමට සරළව හෝ පුරුදුවෙන්න. දිනකට ඔබ පැය කාලක්‌ අනිත්‍ය සංඥාව වැඩුවොත් එය ඔබේ ආධ්‍යාත්මය තුළ තැන්පත් වෙලා කවදාහරි දවසක ඔබට සසර දුකින් ගැලවෙන්න උපකාර වෙනවා.

ඉහත දිව්‍යාංගනාවත් අතීත බව වල පිංකම් කරලා අනිත්‍ය සංඥාව සරළව හෝ වඩා තිබූ නිසයි පිංකම් නිසා දිව්‍ය සැපත්, අනිත්‍ය සංඥාව වැඩීම නිසා (ලැබුණා නම්) බ්‍රහ්ම සැපත් ලැබුණේ. දිව්‍ය ලෝකවල වැඩ සිටින දෙවිවරු තුළ මනුෂ්‍ය ලෝකයේදී වඩන ලද ප්‍රඥාව ඇත. එහෙත් දිව්‍ය ලෝකයේ කාම සම්පත් නිසා ප්‍රඥාව යටපත් වේ. මෙම දිව්‍යාංගනාවද භික්‍ෂුව ඉදිරියට පැමිණියේ සතුටුවීම සඳහාය. එහෙත් භික්‍ෂුව ඇයට සුදුසුම කමටහනින් යටපත්ව තිබූ ප්‍රඥාව මතුකර දුන්නායෑයි අනුමාන කරමි. මේ සෑම දෙයක්‌ම ධර්මයේ ආශ්චර්යයන්ය. භික්‍ෂුවගේ ආශ්චර්යයක්‌ නොවේ. ඔබත් සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ල ලැබේවී. සියල්ලම ඔබට ලැබෙන විට ඒ කිසිවක්‌ ඔබට අවශ්‍ය නොවේ. මන්ද ඔබ සියල්ලම අනිත්‍ය වශයෙන් අවබෝධකර ඇති නිසාය.

ඔබ ලක්‍ෂ ගණන් ධනය කාලය වියදම් කර පිංකම් සිදුකරමින් ප්‍රාර්ථනා කරන ලෙස ස්‌ථිරවම ඔබ මහා සැප සහිත දෙවියෙක්‌, දිව්‍යාංගනාවක්‌ වුනොත් මෙවැනි සුකුමාල දිව්‍ය කුමාරයන්, කුමරියන් ඔබව කුල්මත් කරාවී. ඔබව පිස්‌සු වට්‌ටාවී. අවසානයේ ඔබට හිමිවන්නේ භවයේ පිස්‌සන්කොටුව වන සතර අපායමය. වර්තමානයේද භවයේ පිස්‌සන් කොටුවේ දුක්‌විඳින්නේ අතීතයේ අනන්ත අප්‍රමාණ දිව්‍ය මනුෂ්‍ය සැප විඳි කෙළිලොල් දිව්‍ය දිව්‍යාංගනාවන්ය. එදා දිව්‍ය ඕජාව, රාජ භෝජන වැළ» ඔවුන් අද සතර අපායේ සෙම්, සොටු, මළමුත්‍රා, ගින්දර, පුන්නක්‌කු, තණකොල අනුබව කරයි. මෙය නිමා නොවන චක්‍රයකි. පටන් ගැන්මක්‌, අවසානයක්‌ නොමැත. ඔබට ඇත්තේ වටේ යැම පමණකි. ඔබට මින් ගැලවීමට නම් චක්‍රයම නිවා දැමිය යුතුය. ඔබම අවුලුවාගන්නා ගින්න කවදාහෝ දිනයක ඔබම නිවාගත යුතුය. එය වෙන අයකුට කළ නොහැක්‌කකි. මන්ද ගිණි අවුලුවන්නේ ඔබම නිසාය. ඔබම අවුලුවාගන්නා ගින්නකින් ඔබම දැවෙන අංක එකේ මෝහබරිත සත්වයා පෘතග්ජන සත්වයාය.

ඔබට ඉහත කථාව කියවන විට හිතෙන්නට ඇති අනේ මටත් මේ අත්දැකීම ලබන්නට ඇත්නම් කියලා. ඔබ එහෙම සිතුවොත් ඔබට මෙම අත්දැකීම කවදාවත් ලබන්න බැහැ. ඔබට එම අත්දැකීම ලබන්න නම් ඇතිවූ එම කෙලෙස්‌ සිත අනිත්‍ය වශයෙන් දැකලා අතහරින්නට ඕනේ. එවිට ඔබට දිව්‍යාංගනාවක්‌ නොව දිව්‍යලෝකයම දැකිය හැකිය. එහෙත් ඔබ ජයග්‍රාහකයෙක්‌ වන්නේ දිව්‍යාංගනාවක්‌, දිව්‍ය ලෝකය දැකීමෙන් නොව දිව්‍ය ලෝකයම අතහැරීමෙන්ය. දිව්‍ය සැප දකින, පතන සිත තිබෙනතාක්‌ ඔබට දිව්‍ය ලෝකය අත්හල නොහැක. ඔබ එහි පදිංචිකරුවෙකි, සාමාජිකයෙකි. කුළිය, සාමාජිකත්වය ඉවරවුනු තැන, වෙන තැනක්‌ සොයා යා යුතුය. අලුත් තැන සොයාගන්නේද ඔබ විසින්මය. මේ මොහොතේ ඔබ ඉන්නා තැන තෝරාගන්නේද ඔබමය. ඔබම තෝරාගන්නා ජිවිතයට මොනතරම් ප්‍රශ්න තිබුණද ඔබ නොගැටෙන්න. ඔබ ගැටුණොත් ඔබේම තෝරාගැනීමට ඔබ කරන ද්‍රෝහිකමකි.

මිනිසුන්ගෙන් සියයට සියයක්‌ම රෝගී වන්නේ ඉන්ද්‍රියන් හය පිනවීමට යැම නිසාය. දිවට, කයට රස පහස සොයන්නට යැම නිසාය. දියවැඩියාව, අංශභාගය, කොලෙස්‌ටරෝල්, ලිංගික රෝග, සමේ රෝග…..

රිය අනතුරකින් අංගවිකල වන රෝගියාට එසේ වූයේ රියදුරා මත්වතුර බීම නිසාය, නැතිනම් අධික වේගය නිසාය. එසේත් නැතිනම් පදිකයාගේ නොසැලකිල්ල නිසාය. මේ සියල්ල තුළ තිබෙන්නේ තන්හාවය. අපි වේගයෙන් යන්නේ යමක්‌ ඉක්‌මනින් ස්‌පර්ශ කිරීමටය. වැඩිපුර අයිතිකර ගැනීමටය. පළවෙනියා වීමටය. සියල්ල තුළ තන්හාවයි තිබෙන්නේ. සැප සෙවීමේ මෙහෙයුම නිසා මිනිසා දුකට පත්වී රෝගීභාවයට පත්වී අසරණවනවා සේම, දිව්‍ය ලෝකයේ දෙවියන්ද දිව්‍යාංගනාවන්ද සැප පසුපස හඹා යැම නිසා මනුෂ්‍යයන් සේම පිරිහීමට පත්වී දුකට ඇද වැටේ. ඔබ පතන ආශ්චර්යමත් දිව්‍ය සැප ගැන ඔබ විවේකීව නැවත සිතාබලන්න. දිව්‍ය ලෝක යනු ගොම පිඩකි. දෙවියන් යනු එය අනුභව කරමින් පෘෂ්ටිමත් වන පණු කැළයි. ගොම කමින් සතුටුවෙමින් පනුවා හොඳින් වැඩුනු පසු ගොම තලිය ඉවරවේ. පනුවන්ට සිදුවන්නේ තවත් සතෙකුගේ ගොදුරක්‌ වීමට පමණි. දිව්‍ය සැපත ඉහත ස්‌වභාවයමය. එහෙත් දිව්‍ය ලෝකයේද ශීලයෙන් පරිපූර්ණ, මතු පාරමී ධර්මයන් වඩන මහේශාඛ්‍ය දෙවිවරු සිටිති. ඒ අය තමන් පුහුණු කරන ලද ශීලයේ ආනුභාවයෙන් සිත, කය, වචනය හික්‌මවාගෙන සුදුසු කාලය පැමිණෙන තුරු හික්‌මීමෙන් යුතුව දිව්‍ය ලෝකයේ දිව්‍ය සැප අනුභව කරති. මෙම දෙවිවරු තුළ තිබෙන හික්‌මීමද තන්හාවකි. එම තන්හාව නම් මතු සසර බලාපොරොත්තු වන ප්‍රාර්ථනාවයි. කැමැත්තයි. පාරමී අරමුණයි.

ඉන්ද්‍රජිත් සුබසිංහ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s