2-19-මේ කැඩපතින් ඔබේ මුහුණත් බලන්න

2012-02-26

මේ කැඩපතින් ඔබේ මුහුණත් බලන්න

සත්වයා හිරිකිතයකින් තොරව මොන තරම් අකුසල සිදුකරගන්නවාද? මිනිසුන් පංච සීලය පවා කඩ කරමින් පව් සිදුකරගන්නේ හරියට බලපත්‍රයක්‌ අරගෙන වගේ. මේ අයට මේවා කරන්න ලැඡ්ජාවක්‌ බියක්‌ නැහැ. විශේෂයෙන් සත්ව ඝාතනය, කාමය වරදවා හැසිරීම මහා දුක්‌ ගෙනදෙන අකුසල්. හුඟක්‌ වෙලාවට අනෙක්‌ වැරදි සිදුවෙන්නෙත් මේ වැරදි දෙක නිසයි. නියත වශයෙන්ම මේ වැරදි වල යෙදෙන අය ඒවායේ විපාක වශයෙන් ප්‍රේත, භූත ආත්ම වල ඉපැදෙනවාමය. මීට අමතරව, තන්හාව ප්‍රේත ලෝකයට ඉතා හොඳ සුදුසුකමකි.

දේපළ, අඹුදරුවන් ගැන ඔබ තුළ ඇති තණ්‌හාව, ඒවාට ඇති ආශාව අතහැරීමට බැරිකම, ඔබ පිං කළද ප්‍රේත ආත්ම වලට වැටීමට අතිශයින්ම හේතුවේ. දිව්‍ය, බ්‍රහ්ම ලෝක සංඥාවන් දැකිය හැක්‌කේ ප්‍රභාශ්වර ආලෝක සහිතවය. ඒ අය ආලෝකමත්ය. එහෙත් ප්‍රේත ලෝකයේ සංඥා නිරතුරුවම අඳුරුය. විකෘතිය. ගුප්තය. තැතිගත් ස්‌වභාවයෙන් යුක්‌තය. කිසිදු ප්‍රේතයකුගේ ස්‌වරූපයේ සතුටු ස්‌වභායක්‌ දැකිය නොහැකිය. මහා ප්‍රශ්නාර්ථයකට මැදිවී සිටින්නා සේ වික්‍ෂිප්ත ගුප්ත ස්‌වරූපයක්‌ දර්ශනය වේ. එකිනෙකාට වෙනස්‌වූ විකෘති ස්‌වභාවයන්ගේ මුහුණු ප්‍රේතයන්ට ඇත. මුහුණේ සෑම දශමයක්‌ම විකෘතිය. සමහර මුහුණු පැතැලිය. දිගය. රවුම්ය. ඇස, කණ, නාසය, නළල, හිස ඇත්තේ විකෘති ස්‌වභාවයන්ගෙන් යුතුවය. ප්‍රේතයා යනු විකෘති නිර්මාණයකි. ප්‍රේතයාට තිබෙන්නේ ඕලාරික කයකි. සමාධිය වඩන්නාට එම ඕලාරික කය සියුම් ඝණ ස්‌වභාවයෙන් දැකිය හැකිය. ප්‍රේතයාගේ ඕලාරික කය තුළ මනුෂ්‍යයාට, දෙවියාට, බ්‍රහ්මයාට සේම ආයතන හය පිහිටා ඇත.

එහෙයින් ප්‍රේතයාටද සිත් ඇතිවේ. ප්‍රේතයා අනිත්‍යභාවයට පත්වෙන සතර මහා ධාතූන්ගෙන් සකස්‌වුණ, ඕලාරික කයක්‌ද, ඇතිවෙමින් නැතිවෙන සිතක්‌ද ඇති සත්වයෙකි. ප්‍රේත ලෝකයේ ප්‍රේතයෝ සහ ප්‍රේතියෝ දෙකොට්‌ඨාසයම සිටිති. මේ අය නිරතුරුවම අඳුර සහ ගුප්ත භාවය තුළ ජීවත්වන නිසා ඒ අයට නිතරම බය සහ ගැටීම තුළ ජීවත්වීමට සිදුවේ. එය අතීත කර්මයේ ප්‍රතිඵලයකි. බය සහ ගැටීම තුළ නිරතුරුවම ජීවත්වීම නිසා, ප්‍රේතයාගේ සිත වෛරය, ක්‍රෝධය, තණ්‌හාව වැනි අකුසල් ධර්මයෙන්ගන් පිරී පවතී. ප්‍රේත ලෝකයේ ජීවත්වන සෑම තත්පරයකදීම ඔහු රැස්‌කරන්නේ අකුසල්ය. කුසල් අකුසල් ගැන ප්‍රේතයාට හැඟීමක්‌ නොමැත. එය ඔහුගේ කර්මයයි. දිව්‍ය, මිනිsස්‌ ආත්මවල ඉපිද, කරගත් කර්මයන් හේතුවෙන් ප්‍රේත ලෝකයට බැසගන්නා ප්‍රේතයෝ විවිධ ස්‌වභාවයන්ගෙන් යුක්‌තය.

භික්‍ෂුවට හමුවූ ප්‍රේතයන්ගේ ස්‌වභාවය හරිම අපූරුය. එක්‌ ප්‍රේතියකගේ මුඛය නොමැත. තොල් එකට ඇලී ගොස්‌ය. ඒ පෙර සංසාරයේ දන් නොදීම සහ අනුන්ව දන් නොදීමට පෙළඹවීමේ කර්ම විපාක නිසා විය යුතුය. තවත් ප්‍රේතයෙක්‌ගේ ඇස්‌වලින් ගින්දර නිකුත්වේ. ඇස්‌ නිරතුරුවම ගිනි ගනී. අනුන්ගේ ජයග්‍රහණ, දියුණුව ඉවසීමට නොහැකිව කළ අකුසල් නිසා මෙසේ වූවා කිය හැකිය.

තවත් ප්‍රේතයෙක්‌ගේ ඇස්‌ වලින් සුදු ආලෝක දෙකක්‌ නිකුත් වේ. බල්බ දෙකක්‌ සේය. අධික තණ්‌හාව නිසා ප්‍රේත ලෝකයට බැසගත්තද, අනුනට ධර්මය කියාදීම, අධ්‍යාපනය ලබාදීම වැනි හේතූන් නිසා ඇස්‌වලින් ආලෝකය නිකුත්වනවා වියහැකිය. තවත් අවස්‌ථාවක විකෘති නොවූ ශරීරයක්‌ සහිත, හිස මුඩුකරන ලද, රවුම් පැහැපත් මුහුණක්‌ සහිත, සිවුරක්‌ දරාගත් භික්‍ෂු ප්‍රේතයෙක්‌ ආරණ්‍ය බිමකදී දුටුවේය. පෙර ආත්මයේ ඔහු භික්‍ෂුවක්‌ විය හැකිය. සිවුපසයට අධික තණ්‌හාව හේතුවෙන් ප්‍රේත ලෝකයට බැසගත්තද, කරන ලද පිං සහ ආමිස පූජාවන් නිසා විකෘති නොවූ ශරීරයක්‌ ලැබුවා විය හැකිය. මෙම ආරණ්‍ය භූමියේදීම සුදු ජාතික ප්‍රේතයෙක්‌ හමුවිය. ඔහු විදේශීය බටහිර ජාතික ස්‌වරූපයෙන්ම යුක්‌ත විය. ඔහුද විකෘති ස්‌වභායක්‌ නොමැති ශරීරයක්‌ ඇති ප්‍රේතයෙක්‌ වෙයි. ඔහු සමහරවිට ගිහි භාවයෙන් ආරණ්‍යයේ සිටි විදේශිකයෙක්‌ හෝ මෙම ඉඩම්වල අතීත අයිතිකාර විදේශිකයෙක්‌ වීමට පුළුවන්. එහෙත් එම සුදු ජාතික ප්‍රේතයා කරන ලද පිං හේතුවෙන් විකෘති නොවූ ප්‍රේත ආත්මයක්‌ ලැබුවද අවසාන චුති සිතේ ඇතිවූ තණ්‌හාව නිසා ප්‍රේත ලෝකයට බැසගත්තා විය හැකිය.

ප්‍රේතයන් නිතරම කපුටන් සේ කණ්‌ඩායම් වශයෙන් සිටීමට ප්‍රිය කරන පිරිසකි. ඔවුන් දර්ශනය වීමේදී සමහරවිට සිය ගණන් සිනමා පටයක්‌ සේ දර්ශනය වේ.

ප්‍රේත ලෝකයේ මහා අරුමය සත්ව ප්‍රේතයන්ද සිටීමයි. එක්‌ ආරණ්‍ය බිමක භික්‍ෂුව වැඩසිටියදී ප්‍රේත හෝ භූත ස්‌වභාවයේ මීහරකුන් තුන්දෙනෙක්‌ දුටුවේය. තුන්දෙනාගේම පැහැය ලා දුඹුරු පාටය. කිසිදු විකෘතිභාවයක්‌ නොමැතිය. සාමාන්‍ය මීහරක්‌ ස්‌වභාවයේය. එක පේලියට මේ භූත මීහරක්‌ තුන්දෙනා හිස සොලවමින් සිටියහ. මොවුනගේ කටවල් ඇලී තිබිණි. භික්‍ෂුව මේ ගැන සොයා බලන විට දැනගන්නට ලැබුණේ එම ආරණ්‍ය පිහිටුවීමට පෙර එම ආරණ්‍ය පිහිටි කැළය, මස්‌ සඳහා හොර හරක්‌ සහ මී හරක්‌ මරණ ප්‍රසිද්ධ ස්‌ථානයක්‌ව තිබූ බවයි. ඒ මීට වසර 50කට පෙරදීය. අතීතයේ හොර හරක්‌ මැරූ මිනිසුන්, ඒ අය කරන ලද ප්‍රාණඝාත අකුසලය නිසා භූත මී හරක්‌ ලෙස උපත ලබා ඇතැයි අනුමාන කළ හැකිය. බලන්නකෝ කර්මය පසුපසින් එන ස්‌වභාවය. ඔබ ආසා කළ ස්‌වරූපයෙන්ම කර්මය ඔබට විපාක දෙනවා. භූත මීහරකුන්ගේ කටවල් ඇලී තිබුණේ ඔවුනට ආහාර නොලැබීමටය. එයද කර්මයේ විපාකයකි. ඔය භූත ආත්මයෙන් මිදෙන තෙක්‌ එම භූත මීහරක්‌ නිරාහාරව දුක්‌ විඳී. මේ ආකාරයෙන් භූත කුකුලන්ද, වනගත කුටි වලදී භූත මුවන්ද දර්ශනය වී ඇත. මේ සියල්ලන්ම පෙර මිනිස්‌ ආත්ම වල ඉපිද සත්ව ඝාතනය කර හරක්‌, මී හරක්‌, කුකුළන්, මුවන් මරා මස්‌ කමින් ජීවත් වූ සතුටු වූ මිනිසුන්ය. ඔවුනට ඔවුන් කළ කර්මය අනුරූපීව ප්‍රතිසන්ධිය ලැබී ඇත. ඔවුන් විසින් කැමැති කළ දෙය ඔවුනට ලැබී ඇත. තමා කෑමට ආසා කළ මස තමාගේම මස බවට පත්වී ඇත. ප්‍රේත ලෝකයේ ජීවත්වන කිසිවෙක්‌ උරණ නොවිය යුතුය. මන්ද තමන් කැමැති කළ දෙය තමන්ට දැන් ලැබී ඇත.

ප්‍රේතයන්ගේ ලෝකයට වඩා ප්‍රේතියන්ගේ ලෝකය හිරිකිතය. භික්‍ෂුවට දර්ශනය වූ එක්‌ ප්‍රේතියක්‌ කාමය වරදවා හැසිරීමේ වරදට ප්‍රේත ලෝකයට වැටුණු කුණු ප්‍රේතියක්‌ය. ඇය කාමය උදෙසා අඩ නිරුවත්ව ජීවත් වේ. ශරීරය හරිම අපුලය. මුහුණ විරූපීය. ශරීරය කුෂ්ඨ පිරී ඇත. බලන්න අප්‍රසන්නය. මිනිස්‌ ස්‌ත්‍රියකගේ ස්‌වරූපයෙන්ම අඟපසඟ දර්ශනය වෙයි. පෙර ආත්මයේ කාමයේ වරදවා හැසිරීම නිසා ඇයට ලැබී තිබුණේ, දැකීමට අප්‍රසන්න ශරීර ස්‌වභාවයක්‌ය. ඇය කාමය යදිමින්, කාමය සොය සොයා ඇවිදී. ඇයගේ අකුසල් කර්මය නිසා ඇයට කාමය නොලැබේ. ඇය කාමය යදින්නේ එනිසාය. මෙවැනි කාම ප්‍රේතියක්‌ මනුෂ්‍ය ලෝකයේ ස්‌ත්‍රියක්‌ ලෙස ජීවත්වීමේදී ලැඡ්ජාවක්‌ බියකින් තොරව වරදේ බැඳීමට ක්‍රියා කිරීමේ පාපයෙන් මෙම ප්‍රේත ආත්මය ලැබී ඇත. මිනිස්‌ ලෝකයේ සේම ප්‍රේත ලෝකයේදීද මෙම ප්‍රේතියෝ මහා අකුසල් සිදුකරගනී. මැය මෙම භික්‍ෂුවගෙන්ද කාමය යෑද්දාය. එම සිත ඇයට ඇතිවෙද්දීම ඇය පිච්චී ගියාය. නිරයේ ගිනිදැල් මතටම ඇය වැටුණි. භික්‍ෂුව ඒ බව දැන ගත්තේ ඇය ලතෝනි දෙමින් අතුරුදන්වූ නිසාය. බලන්න හොඳ සිහි බුද්ධියෙන්. මෙම ප්‍රේතිය මිනිස්‌ ලෝකයේ ඉපදිලා ස්‌ත්‍රියක්‌ ලෙස කාමය වරදවා හැසිරිලා, ප්‍රේතියක්‌ වෙලා ප්‍රේත ලෝකයේද කාමය වරදවා හැසිරිලා නිරයේ ගිනිදැල් මතට වැටී පිච්චෙනවා. මොන අභාග්‍යයක්‌ද. මෙය එම ප්‍රේතියගේ කථාව පමණක්‌ නොව ඔබගේද කථාව විය හැකිය.

මේ රටේ මොනතරම් ගණිකා නිවාස තිබෙනවාද? මොන තරම් වැරදි කාම සේවනයන් සිදුවනවාද….. ඔබ එහෙම නොවෙන්න පුළුවන්. නමුත් එහෙම කරන අයගේ අනාගත ප්‍රතිඵල තමාම ලියන විභාගයේ ප්‍රතිඵල තමයි.

නවීන තාක්‍ෂණික ලෝකයේ මාධ්‍ය මාරයින් අහිංසක ඔබට දිගුකරන ප්‍රේත ලෝකයේ දෑත, ඔබ සිහිබුද්ධියෙන් අතහරින්න. ඔබත් මාධ්‍ය දරුවනුත් සුවසේ සැනසෙන්න.

තවත් අපූරු ප්‍රේතියක්‌ ගැන සටහනක්‌ තබමි. ඇයගේ මුහුණ විරූපී නොමැත. එය බැලූම් බෝලයක්‌ වගේ රවුම්ය. මිටි මහත ප්‍රේතියකි. ඇය පැහැපත්ය. ඇයට බැරලයක ස්‌වභාවයේ තර ශරීරයක්‌ විය. ඇය සිටියේ ඇඳුමක්‌ ඇඟලාගෙනය. දෑත් දෙපා බරවා රෝගය සෑදුනු අයකුගේ මෙන් මහතය. මේවා කර්මයේ විපාකයි. ඇය මෙම භික්‍ෂුවට දර්ශනය වන මොහොතේ සිටියේ මැද පෙරදිග රැකියාවකට ගොස්‌ එනවිට රැගෙන එන ආකාරයේ විශාල ප්‍රමාණයේ සූට්‌ කේස්‌ එකක්‌ සහ සුවඳ විලවුන් බෝතල් දෙකක්‌ අතේ තබාගෙනය. එක අතක සූට්‌කේසයද, අනෙක්‌ අතේ කුඩා සුවඳ විලවුන් බෝතල් දෙකද විය .මෙම ප්‍රේතිය සුවඳ විලවුන් බෝතල් දෙක දිගු කරමින් කාමය යදී. “ඩුබායි” සූට්‌ කේසයද ඇය අතේය. ඇය නියත වශයෙන්ම මනුෂ්‍ය ලෝකයේ ඉපිද, විදේශ

රැකියාවකට මැද පෙරදිග ගොස්‌ පැමිණ දැඩි ලෙස කාමය වරදවා හැසිරීමේ අකුසල විපාකයෙන්, මිනිස්‌ ලොව ජීවත් වන විට තිබූ “මැද පෙරදිග ” සංඥාව සමඟම ප්‍රේතාත්මයක්‌ ලද කාම ප්‍රේතියකි. වර්තමාන සමාජය දෙස බැලීමේදී මේවා සිදුවිය නොහැකි දේවල් යෑයි බැහැර කරලිය නොහැක. මෙහි සටහන් තැබුවේ භික්‍ෂුවක්‌ සමාධිය තුළදී දුටු සත්‍ය සිද්ධීන්ය.

ප්‍රේතයන්ගේ ලෝකය අඳුරුය. බිය, තැතිගැන්ම නිසා කලබලකාරීය. ඔවුනුත් සොයමින් ඇවිදින්නේ කාමයයි. ඔවුන්ද යන්නේ මනුෂ්‍ය ලෝකයේ, දිව්‍ය ලෝකයේ අතීතයේ ජීවත්වීමේදී ඔවුන්ට තිබූ සංඥා විඳීම්, රස වින්දන සඳහාය. එහෙත් ඔවුනට අකුසල් බලය නිසා ලැබෙන්නේ දුකමය. කර්මය සහ විපාකය ඉතා හොඳින් ගැලපෙන ලෙස ලෝකය නිර්මාණය වී ඇත. මනුෂ්‍ය ලොකයේදී ස්‌ත්‍රියක්‌ ලෙස කාමය වරදවා හැසිරීමෙන් සතුටුවේ. එහි විපාක ලෙස කාම ප්‍රේතියක්‌ව ඉපිද, කාම පිපාසය තිබුණිද එය සංසිඳුවාගැනීමට නොහැකිව දුකට පත්වේ. එම නිසාය ප්‍රේතිය සුවඳ විලවුන් දිගුකරමින්, ඩුබායි බෑගය පෙන්වමින් කාමය යදින්නේ කර්මය සහ විපාකය හොඳින් ගැලපෙන නිසාය. නෑනා මස්‌සිනා විවාහය වගේය. මේ හැම සිද්ධියකින්ම නැවත නැවත ඔප්පුවන්නේ ලොව්තුරා ධර්මයේ සත්‍යතාවයි.

ඔබද ලොව්තුරා මඟ නිවැරැදිව හඳුනාගන්න. ඔබ සියල්ල අතහරින්න. එවිට සියල්ල ලැබේවි. සියල්ලම ඔබට ලැබෙන විට ඒ කිසිවක්‌ ඔබට අවශ්‍ය නොවේ. මන්ද ඔබ සියල්ලම අනිත්‍ය වශයෙන් අවබෝධ කර ඇති නිසාය. අතහැරීමෙන් ලැබෙන මේ සුන්දර අත්දැකීම ඔබ ඔබේත් අත්දැකීම කරගන්න. බව ගින්නෙන් නිවී යන්න.

භික්‍ෂුව මේ සටහන් තබන්නේ ඔබේ තෘප්තිය සඳහා නොවේ. අවබෝධය සඳහාය. මේ ඝෝර, කටුක, භයානක සංසාරය සත්වයා දුක සොයාගෙන යන ගමනේ කැඩපතකි. දයාබර පිංවත මේ කැඩපතින් ඔබ ඔබේ මුහුණ බලන්න. ඔබට පෙනෙන්නේ ඔබේම මුහුණ නම් ඔබ සතුටුවෙන්න. ඔබට පෙනුණේ පෙරේතයකුගේ පෙරේතියකගේ මුහුණ නම් ඔබ වහාම අප්‍රමාදීවන්න. ප්‍රමාදය දුකට හේතුවනු ඇත. භික්‍ෂුවට වරක්‌ දර්ශනය වූ කිසියම් ප්‍රේතයෙක්‌ ප්‍රේතියක්‌ නැවත දර්ශනය වී නොමැත. සමහර විට පිං ගැනීමට හැකි ප්‍රේතයන් මෙසේ දර්ශනය වී පිං අනුමෝදන්ව ප්‍රේත ලෝකයෙන් චුතවනවාදැයි භික්‍ෂුව නොදනී.

ප්‍රේතයින්ගේ ආධ්‍යාත්මය තුළ යටපත්වී ගිය කුසල ශක්‌තියක්‌ ඇත. එම යටපත්වූ කුසල් ශක්‌තිය යම් අවස්‌ථා වලදී මතුකර ගැනීමට ප්‍රේතයාටද හැකිය. තණ්‌හාවෙන්, රැස්‌කරමින්, ගොඩගසාගනිමින්, දිවා රාත්‍රී නිදි නොලබා ඔබ වෙහෙසෙන්නේද ඉහත නුවරට නෑගම් යැම සඳහාමය. ඔබට පුළුවන් ඔබ ගැන ස්‌වයං පරීක්‍ෂණයක්‌ කරගන්න. සමාජයේ හුඟ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක්‌ තමයි පිනක්‌ කරගන්න තිබෙන අවිවේකය. විවේකය නැති නිසා සමහරු පොහොය දවසට පන්සලට යන්නේ නැහැ. ගෙදර බුදුන් වඳින්නේ නැහැ. පෝයට සිල් සමාදන් වන අම්මලා තාත්තලා ගෙදර දරුවන්ගේ ප්‍රශ්න ලෙඩරෝග ඇතිවුණොත්, මුණුබුරා අසනීප වුණොත්, බලාගන්න කෙනෙක්‌ නැති වුණොත් සිල්ගන්න එන්නේ නැහැ. රජකාරී, වගකීම්, ව්‍යාපාර නිසා හටගත් අවිවේකයෙන් තමන්ගේ ගෙදර තිබෙන පිංකමට නොයන අයත් ඉන්නවා. තණ්‌හාව බදාගැනීම හැර වෙන මොකුත් මෙහි නැහැ. පිංකමෙන් ලැබෙන පිනට වඩා සැපයක්‌ ඔවුන් සොයනවා. මේ අය හදිසියේ මියගියහොත් ඔබ හිතනවාද විවේකයෙන් පණ යාවි කියලා. පණ යන්නේ අවිවේකයෙන්මයි. ඒ කියන්නේ ගැටෙන සිතෙන්මයි. ප්‍රතිඵලය ප්‍රතිසන්ධිය සතර අපායයි. ඔබට බැරිනම් දින කීපයක්‌ ඔබේ දේපළ, ව්‍යාපාර, අඹු සැමියන්, දුවා දරුවන්, වගකීම් අතහැර නිදහසේ දුර බැහැරක, වන්දනාවක, හුදෙකලාවේ යන්න මේවායින් මිදිලා. මේවා අතහැරලා දින කිහිපයක්‌ හුදකෙලාවේ සිටින්න. ඔබ ස්‌ථිර වශයෙන් දැනගන්න ඔබ මියයන මොහොතේත් ඔබට බැරිවෙනවා මේවා අතහැරගන්න. මැරෙන මොහොත අති වේගවත්ම සිත් ඇතිවෙන නැතිවෙන මොහොතක්‌. ඔබව කම්පනය වන මොහොතක්‌. ඔබ සූදානම් නොවී සිටියොත් ගැටෙන සිත ඊළඟ ප්‍රතිසන්ධිය අල්ලා ගන්නේ ප්‍රේත ලෝකයමය. පිං කළා කියා වැඩක්‌ නැත. අතහැරීම පුරුදු කොට තිබිය යුතුය. මැරෙන මොහොතේ ඇතිවන තණ්‌හා සිතිවිලි අතහැරීමට අවබෝධය තිබෙන්නට ඕනෑය. භික්‍ෂුව දුටු ප්‍රේත ලෝකයේ භික්‍ෂුව එවැනි චරිතයකි. පිං කිරීම නිසා විකෘති නොවූ ප්‍රේත ශරීරයත්, තණ්‌හාව නිසා ප්‍රේත ජීවිතයත් ඔහුට ලැබී ඇත. ප්‍රේත ලෝකයට තණ්‌හාව බැසගත්තද කළ පිංකම් නිසා ලස්‌සන ශරීරයක්‌ ලැබීය.

එක්‌ මහත්මයෙක්‌ භික්‍ෂුවට තමන් ගැන මෙසේ ප්‍රකාශයක්‌ කළේය. “ස්‌වාමීන් වහන්ස මම දැන් ව්‍යාපාර වලින් නිදහස්‌ වෙලා ගොඩක්‌ විවේකයෙන් ඉන්නේ. හැම සතියකම වන්දනාවේ යනවා. දඹදිව වන්දනා කිරීමට කිහිප වතාවක්‌ම ගියා. බුරුමය, තායිලන්තය යන රටවලටත් වන්දනාවේ ගියා. තව රටවල් හුඟකට යන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. එහි බෞද්ධ සිද්ධස්‌ථාන වඳින්න ස්‌වාමින් වහන්සේ මට ආශිර්වාද කරන්න. “එම රටවලට යන්න ලැබෙවා” කියලා” භික්‍ෂුවට ඔහු ප්‍රකාශ කළා. බලන්නකෝ එම මහත්මයා පිංකම් කරගැනීම සඳහා ව්‍යාපාර අතහැරලා කරන පිංකම් වල ස්‌වරූපය. ඔහු ව්‍යාපාරිකයෙක්‌ කියලා තැනින් මිදිලා ඔහු සංචාරකයෙක්‌ වෙලා. අපූරු තෝරාගැනීමක්‌. මේකට තමයි මෝහය කියන්නේ. ඔහු භික්‍ෂුවගෙන් විමසුවා මෙවැනි පිංකම් කිරීමෙන් ලැබෙන විපාක මොනවාද කියලා. භික්‍ෂුව මෙහෙම කිව්වා “ඔබ බලාපොරොත්තු තබාගෙන සිටින්නේ තව හුඟක්‌ බෞද්ධ රටවලට සංචාරයේ යන්න. පිං කරගැනීම සඳහා. ඔබ මියයන විට මෙම බලාපොරොත්තුව සිහිවුනොත් ඔබ නියත වශයෙන්ම සංචාරක පක්‍ෂියෙක්‌ වෙනවා. මොකද ඔබ කැමති සංචාරයට නිසා. ඔබේ කැමැත්ත පරලොවදී ස්‌ථිරවම ඔබට ලැබෙනවා. ඔබ මියයන මොහොතේ ඔබ ඔය වන්දනාවේ ගොස්‌ කරගත්ත මහා පිංකමක්‌ ඔබේ මතකයට ආවොත් ඔබ ස්‌ථිර වශයෙන්ම සශ්‍රීක මිනිස්‌ හෝ දිව්‍ය ආත්මයක්‌ ලබනවා. ඔබ මියයන මොහොතේ ඔබේ සිතේ ඇතිවන හැම සිතිවිල්ලකම අනිත්‍ය වශයෙන් දැක්‌කොත් ඒ දකින්නේ ධර්මය නිසා නියත වශයෙන් ඔබ මාර්ගඵල ලාභී දෙවියන් බඹුන් අතර උපතක්‌ ලබනවා. ඔබ මියයන මොහොතේ ඔය ගිය වන්දනා ගමන්, කළ පිංකම් මතක්‌ නොවී ඔබට පෙර අතහැරදැමූ ව්‍යාපාර දේපළ, වස්‌තුව මතක්‌වුවොත් ඔබ ස්‌ථිර වශයෙන්ම ප්‍රේත ලෝකයේ උපතක්‌ ලබනව. භික්‍ෂුව ඔහුට අනුශාසනා කළා, ඔබ දක්‍ෂවෙන්න ඔබ කැමැති දෙය තෝරාගන්න කියලා. භික්‍ෂුව දන්නේ නැහැ ඔහු මොන දෙයට කැමැති වුණාද කියලා. හැබැයි එක දෙයක්‌ නම් දන්නවා. එදායින් පස්‌සේ ඔහු භික්‍ෂුව සමග අමනාප බව. මේක තමයි ලෝකයේ ස්‌වභාවය. හුඟක්‌ අය කැමැති බොරු කියලා හරි ඔහුව ඔසවා තබනවාට. ඔවුන් යන ගමනට ලකුණු දෙනවාට.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

Advertisements

2-18-දිව්‍ය ලෝකෙ සැපයි… ඒත්?

2012-02-19

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ
දිව්‍ය ලෝකෙ සැපයි… ඒත්?


(අතහැරීම 02) 18 වැනි කොටස

අවිද්‍යාව පැත්තට ලෝකය බර වෙන්නට බර වෙන්නට ලෝකයා බර වෙන්නේ තන්හාව දෙසටයි. අවිද්‍යාවේ දරුවා තමයි තන්හාව. අවිද්‍යාවේ බර නිසා තන්හාවේ ගොඩ සැප ලෙසයි සත්වයා දකින්නේ. ඒ නිසා සත්වයා නිරතුරුවම පිංකම් කරමින් ප්‍රාර්ථනා කරන්නේ දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක සැපමයි. මොකද සැපයට ඇති තන්හාව නිසා අවිද්‍යාව විසින් ඔබව නිරතුරුවම දැනුවත් කරනවා, ලෝකය තුළ සැප තිබෙනවා කියලා. ඔබව ඉදිරියට පදවනවා සැප ස්‌පර්ශ කරන්න.

මනුෂ්‍ය ලෝකයේ සැප ගැන ඔබට අත්දැකීම් තිබෙනවානේ. දුක්‌ කන්දක්‌ විසිතුරු දවටනයක ඔතා, විසිතුරු ඇඳුම් ආයිත්තම්, සුවඳ විලවුන්, යාන වාහන, ගෙවල් දොරවල්, පවා දරුවන් සමඟ සැපයෑයි සිනාසෙමින් කරගසාගෙන යන මනුෂ්‍ය ලෝකයේ සැප, ඔබ අත්දකිනවා බොහොම කැමැත්තෙන්.

මේ කියන්න යන්නේ දිව්‍ය ලෝක සැප ගැනයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක දුප්පත් මනුෂ්‍යයෙක්‌ සිටිනවා, ඔහුට තිබෙන්නේ දිරාගිය පැල්පතක්‌. එහි වහළයෙන් අහස පෙනෙනවා. බිරිඳ හරියට දර ඉපලක්‌ වගේ. අහේනිය නිසාම විරූපි වෙලා. ධාන්‍ය මල්ලේ අඩියේ ධාන්‍ය ටිකක්‌ තිබෙනවා. මේ මනුෂ්‍යයාට තිබෙන්නේ ඔය ටික පමණයි. මේ මනුෂ්‍යයාට පැවිදිවෙන්න සිතක්‌ ආවත්, මේ දිරාගිය පැලත්, විරූපී බිරිඳත්, හිස්‌ ධාන්‍ය මල්ලත් අතහැරීමට ඔහුට නොහැකිය කියලා. බලන්නකෝ තන්හාවේ ස්‌වභාවය.

අනවබෝධය නිසාම, කෑදර සිත් ඇතිව පිළුණු වී යන ආහාර බුදින, දෙතිස්‌ කුණපයකින් යුතු කයක්‌ දරන, දූවිලි අවු වැසි වලින් පීඩා විඳිමින් සැප සොයන අපි, ආහාර නිදි විවේකය නොලබා සැප සොයන අපි, සිතූ සිතූ සම්පත් පහළවන දිව්‍ය ලෝකයට ගියහොත් කුමකින් කුමක්‌ වෙයිද?

දිව්‍ය ලෝකය කියන්නේ කාම පුරයක්‌. එහිදී සිතූ සිතූ සම්පත් ඔබට ලැබෙනවා. ඒ සියල්ල ඔබට ලැබෙන්නේ දිව්‍ය ඕජාව වශයෙන්. ඔබ කළ පිං වල ප්‍රමාණයට ඔබ ඉපදෙන දිව්‍ය තල වල පංති භේදයක්‌, පංති පරතරයක්‌ තිබෙනවා. මේ භේදය නිසා දෙවියනුත් ගැටෙමින් අකුසල් කරගන්නවා. අතීතයේ කළ කුසල් අනුව තමයි ඔබට සැප ලැබෙන්නේ. ඔබ මෙහෙම හිතන්න. මනුෂ්‍යයෙක්‌ ඉන්නවා… ඔහු දුප්පත්, උදේ සිට රාත්‍රිය වනතුරු ඔහු කුලී වැඩක්‌ කරලා කීයක්‌ හරි සොයාගෙන ගොස්‌ බතුයි පරිප්පුයි කාලා ජීවත්වෙනවා. තව මනුෂ්‍යයෙක්‌ ඉන්නවා, ඔහු හොඳ රජයේ රැකියාවක්‌ කරලා හොඳ වැටුපක්‌ අරගෙන අරකෙනාට වඩා හොඳ ජීවිතයක්‌ ගතකරනවා. තව මනුෂ්‍යයෙක්‌ ඉන්නවා ඔහු කෝටිපතියෙක්‌. ඔහු තරුපහේ හෝටලයකට ගොස්‌ අවන්හලේ වාඩිවී වේටර්වරයෙක්‌ පිළිගන්වන ආහාර වට්‌ටෝරුවට ඇඟිල්ල තබනවා. මොහොතකින් ලෝකයේ රසවත්ම ආහාර වේලක්‌ ඔහුගේ මේසයට එනවා. බලන්න මේ තුන්දෙනාම මනුෂ්‍ය ලෝකයේ ඉපැදුණ මනුෂ්‍යයෝ. නමුත් සංසාරයේ කළ කුසල් අකුසල් නිසා සැප ලැබීමේ පරතරයක්‌, සීමාවක්‌ තිබෙනවා. මිනිසුන් දස දෙනෙක්‌ ගතහොත් එම දසදෙනාට ලැබීමේ ස්‌වභාවයන් දස ආකාරයක්‌ වෙනවා. දිව්‍ය ලෝකයෙත් මේ වගේමයි. අර කෝටිපති ව්‍යාපාරිකයා ආහාර වට්‌ටෝරුවේ ඇති තමා කැමැති ආහාර වර්ගයට ඇඟිල්ල තැබූ සැනින් තමන් කැමතිම ආහාරය ලැබෙනවා වගේ දෙවියන්ට යම් සැපක්‌ අවශ්‍ය යෑයි සිතූ සැනින් එම සැපයෙන් දෙවියාව තෘප්තිමත් වෙනවා.

සුපිරි වෙළඳසලකට ගොස්‌ කෙනෙක්‌ රුපියල් දෙසීයක්‌ ගෙවලා අයිස්‌ක්‍රීම් එකක්‌ කනවා. තව දුප්පත් අයෙක්‌ ගමේ කඩේට ගිහින් රුපියල් දහයේ අයිස්‌පලම් එකක්‌ කනවා. දෙදෙනාම මනුෂ්‍යයෝ. දෙදෙනාම කන්නෙත් අයිස්‌ ක්‍රීම්. නමුත් දෙදෙනා ලබනා රසයේ ස්‌වභාවයන් වෙනස්‌. ඒ දෙදෙනාගේ ලැබීමේ විවිධත්වයයි. පිංකර ඇති ස්‌වභාවයන්ට අනුව දෙවියන් දිව්‍ය ඕජාවෙන් තෘප්තිමත් වෙනවා. දෙවියන්ට තිබෙන්නේ ඕලාරික කයක්‌. එම ඕලාරික කය ඝන භාවයට පත්කරගැනීමට දිව්‍ය ලෝකවල දෙවියන්ට පුළුවන් වගේම, සමාධියෙන් පරිපූර්ණ, ප්‍රඥාව වඩන භික්‍ෂුවටද ඕලාරික භාවයෙන් මුදවා ඝන ස්‌වභාවයෙන් දෙවියන් දර්ශනය වෙයි. ඕලාරික කයක්‌ තිබුණද දෙවියන්ට ආයතන හයක්‌ (සලායතන) මනුෂ්‍යයාට සේම ඕලාරික කය ඇසුරුකොටගෙන පිහිටා ඇත. එහෙයින් මනුෂ්‍යයාට සේම නිරතුරුවම ඇතිවෙමින් නැතිවෙන සිත් දෙවියාටද හටගනී. කාම ලෝකයක සැප විහරණය කරන දෙවියාද සතර මහා ධාතූන්ගෙන් නිර්මානය වූ, අනිත්‍ය ඕලාරික කයක්‌ද, නිරතුරුවම ඇතිවෙමින් නැතිවී යන සිතක්‌ද ඇති සත්වයෙකි. දෙවියන් තුළද සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නැත්තේය. දෙවියන් සැප විඳිනවා යනු, ක්‍රියාත්මක වෙනවා යනු ස්‌පර්ශය නිසා ඇතිවන වේදනාවක්‌ පමණක්‌මය. මනුෂ්‍යයින් වශයෙන් මහා පිංකම් කරමින් ඔබ යන්නට ප්‍රාර්ථනා කරනා සුරපුරය ඔතැනය. දිව්‍ය ලෝක වල දිව්‍ය සැපය ලැබෙන්නේ දිව්‍ය ඕජාව ලෙසින්ය. දිව්‍ය ඕජාව යනු සුන්දර අත්දැකීමකි. දෙවියන් මෙම දිව්‍ය ඕජාව අතහැරීම උපරිමයෙන් පූර්ණ කළ භික්‍ෂුවටද, නිවන් අවබෝධය ලබාගත් භික්‍ෂුවටද අත්‍යවශ්‍යම අවස්‌ථාවලදී ලබාදෙයි.

ඔබ මෙහෙම සිතන්න. භික්‍ෂුවක්‌ හුදෙකලා වනයේ කුටියක වැඩ සිටින විට ආහාර මද බව නිසා ලේ වල සීනි අඩුවී අසනීප වෙනවා. මෙය සිදුවන්නේ රාත්‍රියේදී. භික්‍ෂුව දැඩි වේදනාවට පත්වෙනවා. කුටිය තුළ ගිලන්පසක්‌ සාදා ගැනීමට සීනි තේකොලවත් නැහැ. අත්හැරීමේ උපරිමය නිසා. භික්‍ෂුව මොකද කරන්නේ. රිදුම් දෙන, කලන්තයෙන් අප්‍රාණික වන කයත් සිතත් මගේ නොවෙයි. මට අයත් දෙයක්‌ නොවේ කියලා අතහරිනවා. ලෝකයේ ශ්‍රේෂ්ඨම අතහැරීම ප්‍රතිපදාවේ යෙදෙන භික්‍ෂුවක්‌ සිත කය අතහරින මොහොතේ ලෝකය කම්පා වෙනවා. ලෝකය නිරුද්ධ වෙනවා. එය දිව්‍ය ලෝක වලට දැනෙනවා. දෙවියන් සොයනවා මොකක්‌ද වුණේa කියලා. දෙවියන් දකිනවා අසවල් තැන වැඩසිටින භික්‍ෂුවගේ අතහැරීමයි මේ දැනුනේ කියලා. ඒ මොහොතේම දිව්‍ය ඕජාව දෙවියන් එම භික්‍ෂුවට සමාධිය තුළින් ලබාදෙනවා. දිව්‍ය ඕජාව භික්‍ෂුව විඳින්නේ මනසින්. සීනි අවශ්‍ය නම් භික්‍ෂුවගේ දෝතට රන්වන් පාට සීනි අහුරක්‌ ලැබෙනවා. අත රන් වගේ දිලිsසෙන භික්‍ෂුව මනසින් එය විඳිනවා. වළඳනවා. පියෙවි සිහියෙන් අවධියේදී නොවෙයි මෙය වෙන්නේ. සමාධිගත නින්දේදියි. භික්‍ෂුව පැය කිහිපයකින් අවධිවන්නේ ශරීරයේ තිබූ රෝගී බව දුරුවී පූර්ණ සුවය ලැබීමෙන්. මොකද ශරීරයට අවශ්‍යව තිබූ සීනි ප්‍රමාණය දිව්‍ය ඕජාව වශයෙන් භික්‍ෂුවගේ ශරීරයට ලැබුණු නිසා. හැබැයි දෙවියන් ඕජාව දෙන්නේ සිත කය අතහැරියොත් පමණයි කියලයි භික්‍ෂුව සිතන්නේ. ප්‍රඥාව හොඳින් වැඩීමෙන් පමණයි, අවංකවම කය, සිත අතහැරිය හැක්‌කේ. එහෙම වුණොත් තමයි එම කම්පනය දිව්‍ය ලෝකයට දැනෙන්නේ.

දිව්‍ය ලෝකයේ නිරතුරුවම සඡ්ජායනා කරන හඬ, විටෙක පිරිත් හඬේ ස්‌වභාවයෙන්ද තවත් වේලාවන්ට කෝවිල් වල පූජාව තබනකොට ශබ්ද පූජාවේදී ලොකු නලාවකින් නැගෙන හඬේ ස්‌වභාවයෙන්ද ඇසෙනවා. වනයෙ හුදෙකලා කුටි වලදී මෙම හඬ රාත්‍රී යාමයේදී හොඳින් ඇසිය හැකිය. මුහුද ගංගා දිය ඇලි අසල අපි වාඩිවී සිටියදී මොනතරම් මිහිරි රිද්මයන් අපට ඇසෙනවාද. කැලයක රාත්‍රියට සුළඟ ඇති වෙලාවට අපූරු සංගීතයන් මැවෙනවා. මේවා කවුරුවත් කරන, වයන දේවල් නොවේ. පස්‌සය නිසා ඇතිවන වේදනාවන්. කාම ලෝකයක්‌ වුවද පිනැති දෙවියන් ජීවත්වන නිසා එම පිං මහිමය නිසාම මෙවැනි සඡ්ජායනා, සංගීත රිද්ම ස්‌වභාවයන් දිව්‍යතලවල රැව්දෙනවා. අර ගඟේa මුහුදේ දිය ඇල්ලේ රිද්aමය වගේ. පිනේ ආශ්චර්යය නිසාම දෙවියන් ආස කරන හඬ රිද්මය, ඒ මොහොතේම ඇතිවෙලා දෙවියන් තෘප්තිමත් වෙනවා. දැන් ඔබ සිතන්නකෝ මෙවැනි කාම ලෝකයක ඔබ උපත ලැබුවොත් මෙම කාමයෙන් ඔබට අත්මිදෙන්න පුළුවන් වෙයිද?

ඔබ මනුෂ්‍ය ලෝකයේ පිංකම් කර ලැබූ දිව්‍ය කාම සම්පත නිසාම පිරිහීමට පත්වී නැවත සතර අපායට වැටීමේ ඉඩකඩ ඉතාමත් වැඩිය. දිව්‍ය ලෝකවල බුද්ධ රත්නයද, සංඝ රත්නයද වැඩ සිටින්නේ නැත. නමුත් ධර්මරත්නය වැඩ සිටියි. එහෙත් ධර්මය මතුකර පෙන්වීමට බුද්ධ රත්නයද, සංඝ රත්නයද වැඩ නොසිටින නිසා දෙවියෝ අනාථයෝය. එහෙත් දෙවියන් දක්‍ෂ නම් සංඝ රත්නය වැඩසිටින මනුෂ්‍ය ලෝකයට පැමිණ සද්ධර්මය ශ්‍රවණය කර අවබෝධය ලැබිය හැකිය.

භික්‍ෂුවක්‌ කැලයේ හුදෙකලා කුටියක වැඩ සිටින විට රාත්‍රියේ පැමිණි දිව්‍යාංගනාවක්‌ ගැන ඔබට කියන්නම්. එක්‌ රාත්‍රියක භික්‍ෂුවක්‌ සමාධියෙන් පසුවන විට දිව්‍යාංගනාවක්‌ දර්ශනය විය. ඇය සිටියේ පාවෙමින්ය. වැඩි ඉහළක නොවේ. ඇයගේ ස්‌වභාවය අති සුන්දරය. ඇය සිහින්ය. දිගැටිය. දිග කේශ කලාපයකින් යුක්‌තය. එය පාදාන්තය දක්‌වා දිගය. ඇය ප්‍රභාශ්වර සුදු පැහැතිය. පැහැදිලි සුදු වලාකුළක පාටය. ඇයගේ සියුම් ඝන කය ප්‍රභාෂ්වර සුදු පැහැයෙන් යුක්‌ත විය. හරියට ශරීරයට හිරවෙන සුදු දිග ගවුමක්‌ ඇඳසිටියා සේය. ඇයගේ ශරීරයේ දෙපා ප්‍රදේශය සිහින් වී ගොස්‌ තිබිණි. ඇය භික්‍ෂුව ඉදිරියේ තරමක ඉහළින් සරුංගලයක්‌ පාවෙනවා සේ පාවෙමින් සිටියාය. මෙවැනි රූප දර්ශනය වීමේදී භික්‍ෂුවගේ ස්‌වභාවය මේ ආකාරයට පිං දීමය. “මෙම භික්‍ෂුවගෙන් ඔබට යම් කුසලයක්‌, පිනක්‌ ගතහැකි නම් එය භික්‍ෂුවගේ යෑයි නොසිතා ඔබේ යෑයි සිතා ඔබ අනුමෝදන් වී සුවපත් වෙන්න” භික්‍ෂුව මෙසේ සිතූවිට ඇය නැතිව ගියා.

දෙවැනි දවසේ රාත්‍රියේත් ඇය පෙර දින සේම දර්ශනය වුණා පෙරදින සිටි ස්‌වරූපයෙන්ම. එදාද භික්‍ෂුව පෙරසේම පිං දුන්නා. ඇය නැවතත් නොපෙනී ගියා. මැය මෙසේ දර්ශනය වුවද භික්‍ෂුවට ඇය ගැන කුතුහලයක්‌, ඇය දැකීමේ කැමැත්තක්‌ නොතිබිණි. ඇය ගැන මතකයද, අවධානයක්‌ද නොතිබිණි. නොසිතූ මොහොතක ඇය දර්ශනය වනවා පමණි. මේ වන විට භික්‍ෂුව සිටියේ දිව්‍ය ලෝක සංඥාවලින් මිදීය. දිව්‍ය ලෝකයත්, එහි ජීවත්වන දෙවියනුත් අසූචිගොඩක්‌ මත ජීවත්වන පණුකැළක්‌ ලෙස භික්‍ෂුව අවබෝධයෙන් දැනසිටියේය. එනිසා දිව්‍යාංගනාව භික්‍ෂුවට තවත් අනිත්‍යභාවයට පත්වන රූපයක්‌ පමණක්‌ විය. මෙසේ පසුවෙද්දී තුන්වැනි දින රාත්‍රියේ ඇය පෙරසේම දර්ශනය විය. තුන්වැනි දිනයේදී භික්‍ෂුව ඇයට පෙරසේම පිං දුන්නේය. ඇය නොපෙනී ගියාය. ඇය පැමිණි විට විනාඩි දහයක පමණ කාලයක්‌ භික්‍ෂුව ඉදිරියේ පාවෙමින් සිටින්නීය. හතරවැනි දිනයේදී ඇය පෙර ස්‌වභාවයෙන්ම භික්‍ෂුවට දර්ශනය විය. භික්‍ෂුව දැන් ඇය ගැන අවබෝධය ලබා අවසන්ය. ඇයට දින තුනක්‌ පිං දුන්නද ඇයට පිං අනුමෝදන් වූයේ නැත. ඇයට භික්‍ෂුව දුන් පිං අනුමෝදන් වූවානම් පළවෙනි දිනයට වඩා දෙවැනි දිනයේදී ප්‍රභාශ්වර විය යුතුය. ඇයගේ දිව්‍යශ්‍රීය ධනාත්මක බවක්‌ විද්‍යාමාන විය යුතුය. එහෙත් එය එසේ නොවිණ. ඇය මුල් දිනයේ දර්ශනය වූ ස්‌වරූපයෙන්ම හතරවැනි දිනයේදීද දර්ශනය විය. මෙයින් පැහැදිලිවන්නේ ඇයට පිං අනුමෝදන් නොවූ බවයි. මෙම දිව්‍යාංගනාව අනුන්ගේ පිං අවශ්‍ය නැති, පිනෙන් පිරුණු සශ්‍රීක දිව්‍ය ලෝකයේ වැඩ වසන දිව්‍යාංගනාවක්‌ බවයි. ඇයට භික්‍ෂුව දුන් පිං අවශ්‍ය නැත. ඇයට අවශ්‍ය භික්‍ෂුව දකිමින් සතුටු වීමටය. නැතහොත් භික්‍ෂුවට ගරු කිරීමට, නමස්‌කාර කිරීමටද විය හැකිය. මේ දෙකින් කුමක්‌ සඳහාද යන්න භික්‍ෂුවට ඇයගේ ඉරියව් වලින් දැනගත නොහැකි විය. ඇය සතුටින් ප්‍රමෝදයෙන් සිටින බව පමණක්‌ භික්‍ෂුව හඳුනාගත්තේය. හතරවැනි දිනයේදී භික්‍ෂුව ඇයට මෙසේ අවවාද කළේය. “ඔබ මොකක්‌ද මේ කරන්නේ. ඔබ විහිළුවක්‌ කරනවාද? ඔබ කව්ද? සමහර විට ඔබ භික්‍ෂුවගේ මිය ගිය මවුද දන්නේ නැහැ. වෙන දිව්‍යාංගනාවක්‌ද දන්නෙත් නැහැ. මේ භික්‍ෂුව හෙට අපවත් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔබට භික්‍ෂුව දැකලා සතුටුවෙන්න පුළුවන් කමක්‌ නැහැ. ඔබට පිං අවශ්‍ය වුවද දෙන්න කෙනෙකුත් නැහැ. ඔබ ඔය දිව්‍ය සැප අවසන් වුණාම අසරණ වේවි. නැවත සතර අපායට වැටේවි. එදාට ඔබව බේරාගන්න කවුරුවත් නැහැ. ඒ නිසා ඔබ මේ පිං අනුමෝදන් වෙලා සැපවත් වෙන්න. සතර අපායෙන් මිදෙන්න. මේ භික්‍ෂුව සේම අනිත්‍ය වඩන්න” කියලා භික්‍ෂුව අනුමෝදනාවක්‌ කළා. මෙසේ අවවාද කළ ද ඇය පස්‌වැනි දිනයේ රාත්‍රියේද පෙර ස්‌වභාවයෙන්ම භික්‍ෂුව ඉදිරියේ පාවෙමින් සිටියාය. ඇයට පිං අනවශ්‍ය බව දැන් ස්‌ථිරය. ඇයට දිය යුත්තේ පිං නොව, ප්‍රඥාව වැඩීමට සංඥාවක්‌ බව භික්‍ෂුවට අවබෝධ විය. මන්ද අනුන්ගේ පිං අනවශ්‍ය, මහා පිනැති දිව්‍යාංගනාවක්‌ නිසාය. ඇය සසර ප්‍රඥාව වඩා ඇත. එහෙත් දිව්‍ය ලෝකයේ කාම සම්පත් මැද කෙළිලොල් දිවියක්‌ ගතකරන නිසා ප්‍රඥාව යටපත්වී සැඟවී ගොස්‌ තිබේ. භික්‍ෂුව දිව්‍යාංගනාවගේ සැඟවී තිබූ ප්‍රඥාව මතුකර දීමට ඇයව මෙසේ දැනුවත් කළේය.

“පුතේ ඔබට මේ භික්‍ෂුව කථාකරන අවසාන අවස්‌ථාව. ඔබට දෙන අවසාන අවවාදය. දින හතරක්‌ම භික්‍ෂුව ඔබට පිං දුන්නා. ඔබ ඒවා අනුමෝදන් වූයේ නැහැ. ඔබ භාග්‍යවන්තියක්‌. ඔබ මේ භික්‍ෂුව දෙස හොඳින් බලන්න. භික්‍ෂුව පරිහරණය කරන තුන් සිවුර දෙස හොඳින් බලන්න. එක වේලෙන් පමණක්‌ පිණ්‌ඩපාතයෙන් යෑපෙන මේ පාත්‍රය දෙස හොඳින් බලන්න. මේ සයනය, මේ කුටිය දෙස බලන්න. භික්‍ෂුවගේ ප්‍රතිපදාව දෙස බලන්න. භික්‍ෂුවගේ අතහැරීම දෙස බලන්න. මේ භික්‍ෂුව අනිත්‍ය වඩන්නේ යම් සේද ඔබද ඔය දිව්‍ය සැප, දිව්‍ය ඕජාව, දිව්‍ය ශරීරය, ඔය රූපය අනිත්‍ය බව දකින්න. ඔය ඇස, කන, නාසය, දිව, ඕලාරික ශරීරය, සිත අනිත්‍ය බව දකින්න. කවදාහරි දිනයක ඔය දිව්‍ය සැප අනිත්‍යභාවයට පත්වී ඔබ දිව්‍ය ලෝකයෙන් චුතවේවි. දිව්‍ය සැප අහිමි වන බව දැකලා ඔබ එදාට හඬාවැටේවී. ඔබ ඔය සැපෙන් මිදිලා සතර අපායට වැටේවී. පුතේ ඔබ ඔය විඳින සිත ඔබේ නොවෙයි කියලා අතහරින්න. ඔය ස්‌වර්¨ණහංසියක්‌ බඳු කය ඔබට අයිති නැති අනිත්‍යයට අයත් දෙයක්‌ යෑයි කියලා අතහරින්න. සියල්ල අනිත්‍ය බව දකින්න. මේ භික්‍ෂුව ඔබව දකින අනිත්‍ය සංඥාවෙන්ම ඔබ භික්‍ෂුව දෙස බලන්න. මේ භික්‍ෂුවද මැරෙන, ලෙඩ වෙන, වයසට යන ස්‌වභාවයෙන් යුක්‌ත බව දකින්න. මේ භික්‍ෂුව දෙස නැවැත නැවත බලන්න. ඔබ අවබෝධය ලබන්න. ධර්මය දැක්‌ක කෙනෙක්‌ වෙන්න. ඔබ සෝවාන් ඵලයට පත්වෙන්න. දිව්‍ය ලෝකයෙන්, සතර අපායෙන් මිදෙන්න. බ්‍රහ්ම ලෝකයට ගොස්‌ කල්ප ගණනක්‌ වුවද ගතකරන්න. ඒකට ප්‍රශ්නයක්‌ නැහැ. මොකද කවදාවත් ඔබ නැවත සතර අපායට වැටෙන්නේ නැහැ. භික්‍ෂුවට අවශ්‍ය ඔබව සතර අපායෙන් මුදවන්න පුතේ. මගෙ පුතේ භික්‍ෂුව කියන දෙය ඔබ අසන්න” භික්‍ෂුව රාත්‍රියේ පැය කාලක්‌ පමණ ඉහත බණ ශබ්ද නගලා දේශනා කළා. එදායින් පසු නැවත එම දිව්‍යාංගනාව නොපැමිණියාය. නොදුටුවේය. ඇයට කුමක්‌ වූයේ දැයි භික්‍ෂුව නොදනී. එහෙත් ඇය සසර ප්‍රඥාව වඩා පුරුෂ දිව්‍යාංගනාවක්‌ නිසා භික්‍ෂුව විසින් දේශනා කරන ලද අනිත්‍ය සංඥාව ඒ මොහොතේම අවබෝධ වීමෙන් ඇය දිව්‍ය ආත්මභාවයෙන් මිදී බ්‍රහ්ම ලෝකයේ උපතක්‌ ලබන්නට ඇතැයි භික්‍ෂුව අනුමාන කරයි. එහෙත් එය නිවැරදිව නොදනිමි.

භික්‍ෂුවට දිව්‍යාංගනාව දර්ශනය වන්නේ සමාධිය තුළ සිටියදීය. එහෙත් ඇයට බණ කියන විට ඇය සමඟ කථා කරන විට සමාධිය නැතිවන නිසා ඇයව දර්ශනය නොවේ. එහෙත් ඇය එහි සිටින බව භික්‍ෂුව දනී. එම දිව්‍යාංගනාවගේ සුකුමාල බව, සැහැල්ලුව, ලාලිත්‍යය, රිද්මය කොතෙක්‌ද කිවහොත් ඇය පෘතග්ජන ස්‌වභාවයේ කෙනෙකුට කාමයේ පාරාදීසයකි. දිව්‍ය ලෝකය යනු එවැනි කාම පාරාදීසයකි. මෙවැනි කාම ලෝකයක්‌ ඔබ නිරතුරුවම ප්‍රාර්ථනා කරන්නේ නම් එය මහා මුලාවකි. දිව්‍ය සැප නිරතුරුවම ඔබට අකුසල් රැස්‌කර දෙන්නකි. මන්ද ඔබ තුළ භවයට ඇති කැමැත්ත නිසා නිරතුරුවම තන්හාවෙන් සිත පිsරී පවතී. දිව්‍ය සැප විඳීම යනු මෙම කාම ලෝකය තන්හාවෙන් බදාගැනීමයි. රස විඳීමයි. ඒ තන්හාව නිසා ඇතිවන අකුසල් වලින් ඔබව නැවත සතර අපායට ගාල් කරයි. එහෙත් මෙම දිව්‍යාංගනාව මිනිස්‌ ආත්ම වල ඉපිද ප්‍රඥාව වඩා තිබුණු නිසා ලැබුණු අවස්‌ථාවෙන් ප්‍රයෝජනය ගැනීමට ඇයට සමහරවිට හැකිවිය. ඔබද කුමන පිංකම කළද එම පිංකම්වල අනිත්‍ය ස්‌වභාවය, අනිත්‍ය සංඥාව වැඩීමට සරළව හෝ පුරුදුවෙන්න. දිනකට ඔබ පැය කාලක්‌ අනිත්‍ය සංඥාව වැඩුවොත් එය ඔබේ ආධ්‍යාත්මය තුළ තැන්පත් වෙලා කවදාහරි දවසක ඔබට සසර දුකින් ගැලවෙන්න උපකාර වෙනවා.

ඉහත දිව්‍යාංගනාවත් අතීත බව වල පිංකම් කරලා අනිත්‍ය සංඥාව සරළව හෝ වඩා තිබූ නිසයි පිංකම් නිසා දිව්‍ය සැපත්, අනිත්‍ය සංඥාව වැඩීම නිසා (ලැබුණා නම්) බ්‍රහ්ම සැපත් ලැබුණේ. දිව්‍ය ලෝකවල වැඩ සිටින දෙවිවරු තුළ මනුෂ්‍ය ලෝකයේදී වඩන ලද ප්‍රඥාව ඇත. එහෙත් දිව්‍ය ලෝකයේ කාම සම්පත් නිසා ප්‍රඥාව යටපත් වේ. මෙම දිව්‍යාංගනාවද භික්‍ෂුව ඉදිරියට පැමිණියේ සතුටුවීම සඳහාය. එහෙත් භික්‍ෂුව ඇයට සුදුසුම කමටහනින් යටපත්ව තිබූ ප්‍රඥාව මතුකර දුන්නායෑයි අනුමාන කරමි. මේ සෑම දෙයක්‌ම ධර්මයේ ආශ්චර්යයන්ය. භික්‍ෂුවගේ ආශ්චර්යයක්‌ නොවේ. ඔබත් සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ල ලැබේවී. සියල්ලම ඔබට ලැබෙන විට ඒ කිසිවක්‌ ඔබට අවශ්‍ය නොවේ. මන්ද ඔබ සියල්ලම අනිත්‍ය වශයෙන් අවබෝධකර ඇති නිසාය.

ඔබ ලක්‍ෂ ගණන් ධනය කාලය වියදම් කර පිංකම් සිදුකරමින් ප්‍රාර්ථනා කරන ලෙස ස්‌ථිරවම ඔබ මහා සැප සහිත දෙවියෙක්‌, දිව්‍යාංගනාවක්‌ වුනොත් මෙවැනි සුකුමාල දිව්‍ය කුමාරයන්, කුමරියන් ඔබව කුල්මත් කරාවී. ඔබව පිස්‌සු වට්‌ටාවී. අවසානයේ ඔබට හිමිවන්නේ භවයේ පිස්‌සන්කොටුව වන සතර අපායමය. වර්තමානයේද භවයේ පිස්‌සන් කොටුවේ දුක්‌විඳින්නේ අතීතයේ අනන්ත අප්‍රමාණ දිව්‍ය මනුෂ්‍ය සැප විඳි කෙළිලොල් දිව්‍ය දිව්‍යාංගනාවන්ය. එදා දිව්‍ය ඕජාව, රාජ භෝජන වැළ» ඔවුන් අද සතර අපායේ සෙම්, සොටු, මළමුත්‍රා, ගින්දර, පුන්නක්‌කු, තණකොල අනුබව කරයි. මෙය නිමා නොවන චක්‍රයකි. පටන් ගැන්මක්‌, අවසානයක්‌ නොමැත. ඔබට ඇත්තේ වටේ යැම පමණකි. ඔබට මින් ගැලවීමට නම් චක්‍රයම නිවා දැමිය යුතුය. ඔබම අවුලුවාගන්නා ගින්න කවදාහෝ දිනයක ඔබම නිවාගත යුතුය. එය වෙන අයකුට කළ නොහැක්‌කකි. මන්ද ගිණි අවුලුවන්නේ ඔබම නිසාය. ඔබම අවුලුවාගන්නා ගින්නකින් ඔබම දැවෙන අංක එකේ මෝහබරිත සත්වයා පෘතග්ජන සත්වයාය.

ඔබට ඉහත කථාව කියවන විට හිතෙන්නට ඇති අනේ මටත් මේ අත්දැකීම ලබන්නට ඇත්නම් කියලා. ඔබ එහෙම සිතුවොත් ඔබට මෙම අත්දැකීම කවදාවත් ලබන්න බැහැ. ඔබට එම අත්දැකීම ලබන්න නම් ඇතිවූ එම කෙලෙස්‌ සිත අනිත්‍ය වශයෙන් දැකලා අතහරින්නට ඕනේ. එවිට ඔබට දිව්‍යාංගනාවක්‌ නොව දිව්‍යලෝකයම දැකිය හැකිය. එහෙත් ඔබ ජයග්‍රාහකයෙක්‌ වන්නේ දිව්‍යාංගනාවක්‌, දිව්‍ය ලෝකය දැකීමෙන් නොව දිව්‍ය ලෝකයම අතහැරීමෙන්ය. දිව්‍ය සැප දකින, පතන සිත තිබෙනතාක්‌ ඔබට දිව්‍ය ලෝකය අත්හල නොහැක. ඔබ එහි පදිංචිකරුවෙකි, සාමාජිකයෙකි. කුළිය, සාමාජිකත්වය ඉවරවුනු තැන, වෙන තැනක්‌ සොයා යා යුතුය. අලුත් තැන සොයාගන්නේද ඔබ විසින්මය. මේ මොහොතේ ඔබ ඉන්නා තැන තෝරාගන්නේද ඔබමය. ඔබම තෝරාගන්නා ජිවිතයට මොනතරම් ප්‍රශ්න තිබුණද ඔබ නොගැටෙන්න. ඔබ ගැටුණොත් ඔබේම තෝරාගැනීමට ඔබ කරන ද්‍රෝහිකමකි.

මිනිසුන්ගෙන් සියයට සියයක්‌ම රෝගී වන්නේ ඉන්ද්‍රියන් හය පිනවීමට යැම නිසාය. දිවට, කයට රස පහස සොයන්නට යැම නිසාය. දියවැඩියාව, අංශභාගය, කොලෙස්‌ටරෝල්, ලිංගික රෝග, සමේ රෝග…..

රිය අනතුරකින් අංගවිකල වන රෝගියාට එසේ වූයේ රියදුරා මත්වතුර බීම නිසාය, නැතිනම් අධික වේගය නිසාය. එසේත් නැතිනම් පදිකයාගේ නොසැලකිල්ල නිසාය. මේ සියල්ල තුළ තිබෙන්නේ තන්හාවය. අපි වේගයෙන් යන්නේ යමක්‌ ඉක්‌මනින් ස්‌පර්ශ කිරීමටය. වැඩිපුර අයිතිකර ගැනීමටය. පළවෙනියා වීමටය. සියල්ල තුළ තන්හාවයි තිබෙන්නේ. සැප සෙවීමේ මෙහෙයුම නිසා මිනිසා දුකට පත්වී රෝගීභාවයට පත්වී අසරණවනවා සේම, දිව්‍ය ලෝකයේ දෙවියන්ද දිව්‍යාංගනාවන්ද සැප පසුපස හඹා යැම නිසා මනුෂ්‍යයන් සේම පිරිහීමට පත්වී දුකට ඇද වැටේ. ඔබ පතන ආශ්චර්යමත් දිව්‍ය සැප ගැන ඔබ විවේකීව නැවත සිතාබලන්න. දිව්‍ය ලෝක යනු ගොම පිඩකි. දෙවියන් යනු එය අනුභව කරමින් පෘෂ්ටිමත් වන පණු කැළයි. ගොම කමින් සතුටුවෙමින් පනුවා හොඳින් වැඩුනු පසු ගොම තලිය ඉවරවේ. පනුවන්ට සිදුවන්නේ තවත් සතෙකුගේ ගොදුරක්‌ වීමට පමණි. දිව්‍ය සැපත ඉහත ස්‌වභාවයමය. එහෙත් දිව්‍ය ලෝකයේද ශීලයෙන් පරිපූර්ණ, මතු පාරමී ධර්මයන් වඩන මහේශාඛ්‍ය දෙවිවරු සිටිති. ඒ අය තමන් පුහුණු කරන ලද ශීලයේ ආනුභාවයෙන් සිත, කය, වචනය හික්‌මවාගෙන සුදුසු කාලය පැමිණෙන තුරු හික්‌මීමෙන් යුතුව දිව්‍ය ලෝකයේ දිව්‍ය සැප අනුභව කරති. මෙම දෙවිවරු තුළ තිබෙන හික්‌මීමද තන්හාවකි. එම තන්හාව නම් මතු සසර බලාපොරොත්තු වන ප්‍රාර්ථනාවයි. කැමැත්තයි. පාරමී අරමුණයි.

ඉන්ද්‍රජිත් සුබසිංහ

2-17-නාලාගිරි අදත් වඩියි

2012-02-12

මහ රහතුන් වැඩි මග ඔස්සේ
නාලාගිරි අදත් වඩියි


නාලාගිරි ඇතා කීවම ඔබට දැනෙන්නේ බියක්‌. රා පොවල වෙරිමතින් ලොව්තුරා බුදුරජාණන් ඉදිරියට වියරු ස්‌වභාවයෙන් පැමිණි නාලාගිරි ඇත් රජු ගැන ඔබ හොඳට අහල තිබෙනවා. ඔබ විශ්වාස කරයිද දන්නෙ නැහැ මෙහි සටහන් කරන දෙය. අදත් පුළුවන් අතීතයේ බුදුසමිදුන් අභියස දනනැමූ ඒ නාලාගිරි ඇත්රජුව දකින්න. හැබයි ඔබ නාලාගිරි ඇත්රජුව දකින්න නම් අතහැරීමේ උපරිමය තුළ ප්‍රතිප්‍රදාවේ යෙදෙන භික්‌ෂුවක්‌ වෙන්න ඕනේ. ඒ කියන්නෙ සැබෑ මධ්‍යම ප්‍රතිප්‍රදාවේ යෙදෙන භික්‌ෂුවක්‌.

භික්‌ෂුවක්‌ බදුල්ල දිස්‌ත්‍රික්‌කයට අයත් රක්‍ෂිතයක ගොදුරු ගමෙන් කිලොමීටර් එකාහාමාරක්‌ පමණ ඈතින් වනයේ හුදකලා කුටියක වැඩසිටියා. කුටියට වඩින්ට තිබෙන්නේ අලිමංකඩ ඔස්‌සේය. භික්‌ෂුව වැඩසිටිය කුටිය ගෙමිදුලින් තමයි අලිමංකඩ වැටී තිබුනේ. භික්‌ෂුව මේ කුටියට පැමිණි ප්‍රථම දිනයේම රාත්‍රී දහය වෙනකොට අලි තුන්දෙනෙක්‌ කුටිය පිටිපස පැය භාගයක්‌ පමණ අතු බිඳිමින් ආහාර ගෙන අලිමංකඩ ඔස්‌සේ ගමට වැදුනා. පසුදා උදෑසන භික්‍ෂුව පිණ්‌ඩපාතය වඩිනකොට භික්‍ෂුවට පේනවා ගමේ කුඹුරු කීපයක්‌ම අලි විනාශකර තිබීම නිසා මිනිසුන් පත්ව සිටි වේදනාව. භික්‍ෂුව මේ මොහොත වන විටත් කරණීය මෙත්ත සූත්‍රය හැර වෙන කිසිම සූත්‍රයක්‌ කටපාඩමින් සඡ්ජායනා කිරීමට නොදැන සිටියේය. පිරිත් පොතක්‌ද භාවිතා නොකළේය. නිවීම උදෙසා යන ගමනේදී ඒවා අවශ්‍ය නොවන බව භික්‍ෂුව දැනසිටියේය. එහෙත් එක්‌තරා ආරණ්‍යයකදී හමුවූ ස්‌වාමීන් වහන්සේ නමක්‌ භික්‍ෂුවට නාලාගිරි ගාථාව සහ අංගුලිමාල පිරිත ද, කඳ පිරිතද ලියා තබාගන්න යෑයි කීව නිසා භික්‍ෂුව තනිරූල් පිටුවක එම ගාථාව ලියා තබා තිබිණි.

එහි නාලාගිරි ගාථාව මෙලෙස සටහන් කොට තිබිණි.

”මා කුඤ්ජර නාග මාසදෝ
දුක්‌ඛං හි කුඤ්ජර නාග මාසදෝ
නහිනාග හතස්‌ස කුඤ්ජර සුගති හෝති
ඉතෝ පරං ගතෝ”

ඉහත ගාථාව නිවැරදි දැයි භික්‍ෂුව තවමත් ස්‌ථිරව නොදනී. එහෙත් භික්‍ෂුව භාවිතා කළේ ගාථාවේ ඉහත පද හතර පමණකි. භික්‍ෂුව ආශ්චර්යයක්‌ බලාපොරොත්තු නොවිණ. අවශ්‍යවූයේ තමා වෙනුවෙන් නොව, තමන්ට පිණ්‌ඩපාතය පූජා කරන දුප්පත් දායකයන් වෙනුවෙන් තාවකාලිකව හෝ යහපතක්‌ කිරීමටයි. ප්‍රතිඵලය කුමක්‌ වේදැයි භික්‍ෂුව නොසිතුවේය. නොදත්තේය. ඊට අමුතු ආයාසයක්‌ද, වෙහෙසක්‌ද නොගත්තේය. දිනකට ඉහත ගාථාව විසිපස්‌ වතාවක්‌ පමණ ශබ්ද නගමින් සඡ්ජායනා කළහ. දින දෙකක්‌ මෙසේ ගාථාව සඡ්ජායනය කිරීමේදී…. අරුමයකි¾ භික්‍ෂුව සමාධියෙන් පසුවෙද්දී කැළයෙන් මතුවන ඇත් රුවක්‌ පෙණිනි. ඇතෙක්‌ නොව ඔහු ප්‍රතාපවත් ඇත් රජෙකි. දිළිසෙන ප්‍රභාෂ්වර කලු පැහැයෙන් යුත් ශරීරය සමාන්‍ය ඇතෙකුට වඩා පලලින් යුක්‌තිය. එය හරියට පෙරහැරේ යන ඇතෙකුට ඇඳුම් ආයිත්තම් ඇන්දවූ පසු පලලට පෙනෙනවා සේය. දිග ඇත්දළ යුගළකි. එහි කෙළවර දෙකට රන්වන් කොපු දමා ඇත. හිසේ ඉදිරි කොටස ආභාරණවලින් සරසා ඇත. ඇත්රජුගේ ඇස්‌ දෙකෙන් ඉතා තියුණු දීප්තිමත් සුදුපැහැති ආලෝකධාරා දෙකක්‌ විහිදේ. එම ආලෝකය ඉතා තියුණුය. ඉහත ගාථාව සඡ්ජායනා කරන විට මෙම ඇත්රුව දිනකට හතර පස්‌ වතාවක්‌ භික්‍ෂුවට සමාධියේදී දිස්‌වේ. බලන්න ධර්මයේ ආශ්චර්යය. ඔබ දක්‍ෂ නම් මීට වසර 2500 කට පෙර ජීවත්වූ නාලාගිරි ඇත් රජුවද වර්තමානයේදී දැකිය හැකිය.

මේ ඇත් රජු දර්ශනය වීමත් සමඟම, භික්‍ෂුව එම කුටියේ වැඩ සිටි මාස දෙක පුරාවට ගමට පැමිණි අලි ගමට තබා, කුටිය අසලටවත් පැමිණියේ නැත. භික්‍ෂුව කුටිය අතහැර ගිය පසු කුමක්‌ වූවාද යන්න භික්‍ෂුව නොදනී. මෙය භික්‍ෂුවගේ ආශ්චර්යයක්‌ නොව, ධර්මයේ ආශ්චර්යයකි. අතහැරීමේ ක්‍රියාවලියේ ආශ්චර්යයකි.

මෙහිදී සිදුවන දෙය පුදුමාකාරය. භික්‍ෂුවට මේ දිව්‍ය ඇත්රජු සමාධියේදී පෙනෙනවා සේම, අලින්ටද මේ ඇත්රජු දර්ශනය වේ. ඇත්රජුගේ තේජස්‌ දෑස්‌වලින් විහිදෙන ප්‍රභාශ්වර ආලෝක ධාරා දෙක නිසා කැලේ අලි බියට පත්වේ. සද්ධන්ත කුලයේ ඇතෙකු දැක පලායන අලින් සේ ඉහත ගාථාව භාවිතා කිරීමේදී, සඡ්ජායනා කිරීමේදී අලි මඟහැර යන්නේ නාලාගිරි ඇත්රජු දිව්‍ය ආත්මභාවයක සිට බුදු අණින් යුත් ඉහත ගාථාවෙන් කරන ආරාධනයත් සමඟ වඩින නිසාය. ලොව්තුරා බුදුසමිඳුන් අභියස දණගැසූ නාලාගිරි ඇත්රජු, බුද්ධ අණින් මේ මොහොතේද අර්ථවත්ව, නිවැරදිව නිවන් මඟ වඩනා බුදු පුතුන් ආරක්‍ෂා කිරීමට පෙනී සිටියි. බුදු පුතුන්ගේ අණට දර්ශනය වේ. හැබැයි ගාථාව සඡ්ජායනා කළ පමණින් එය කළ නොහැක. ගාථාව භාවිතා කරන්නා තුළ අතහැරීම උපරිමයෙන් තිබිය යුතුය. ඉහත කුටිය පරිහරණය කරන විට භික්‍ෂුවට තුන් සිවුරත් පාත්‍රයත් හැර අන්දෙයක්‌ එහි නොතිබිණි. අතහැරීමේ උපරිමය තුළ නාලාගිරි ගාථාවේ සාර්ථකත්වය ඔබත් අත්විඳින්න.

භික්‍ෂුව මේ ලියන මොහොතේද ඉහත ගාථාව නිවැරදි දැයි නොදත්තේය. ඒ එම ගාථාවද භික්‍ෂුව අතහැර දැමූ නිසාය. එහි නිවැරදිභාවය සෙවීමට, එහි පද අඩුදැයි සෙවීමට උන්වහන්සේට මේ මොහොතේද අවශ්‍ය නොවේ. එය අතහැරීමේ ස්‌වභාවයේ උපරිමයයි. භික්‍ෂුව මෙම ගාථාවේ නිවැරදිභාවය සෙවීමට ගියා නම් උන්වහන්සේට මේ ගාථාවෙන් ප්‍රාතිහාර්යයක්‌ දැකිය නොහැක. මන්ද එසේනම් උන්වහන්සේ ගාථාව තුළ නිත්‍යභාවයක්‌ දකින නිසාය. සමහරවිට මේ කියවන ඔබට ගාථාවේ පද අඩු බවට, වැරදි ඇති බවට විචිකිඡ්ජාවක්‌ ඇතිවිය හැකිය. එය අතහැරීමේ ස්‌වභාවය නොවේ. අල්ලාගැනීමේ ස්‌වභාවයයි.

ඔබ යමක්‌ සොයන්නේ නම් සෙවීමට නිත්‍ය යමක්‌ තිබිය යුතුය. වැරදි සොය සොයා සිටීම දුර්වලතාවයකි. ලැබුණ දේ ගලපාගැනීමට ඔබ දක්‍ෂ විය යුතුය. ගාථාව, පිරිත යනු අනිත්‍ය පද පෙළකි. එම අනිත්‍ය දකිමින් එය භාවිතා කිරීම ප්‍රථිඵලදායකය. භික්‍ෂුව දන්නා නිවීමේ ප්‍රතිපදාව මෙයයි. එහෙත් ඔබ ආමිසය තුළ බුදුරජාණන්වහන්සේට පූජා පවත්වන පිංවතෙකු නම් ගාථා පිරිත් වල අර්ථ වශයෙන් දැක සඡ්ජායනා කිරීම අත්‍යවශ්‍යය. ප්‍රතිඵලදායකය. ලෞකික ජීවිතය යහපත්ව හැඩගස්‌වාගැනීමට උපකාරී වේ. ඉහත මාර්ග දෙක ඔබ පටලවා නොගන්න.

ලොව්තුරා බුදුසමිඳුන් නාලාගිරි හස්‌තිරාජයාට දේශනා කළ ඉහත ගාථාව, උපරිම මට්‌ටමින් ප්‍රතිඵල පෙන්වූ අවස්‌ථාවක්‌ ලෙස භික්‍ෂුව ඉහත අවස්‌ථාව දකියි. බුදුරජාණන් වහන්සේ යම් අරමුණකින් ඉහත ගාථාව නාලාගිරි හස්‌තියාට දේශනා කළාද, ඉන් ප්‍රතිඵල ලැබුවාද, භික්‍ෂුවටත් එය එසේම සිදුවිය. බුදු වදනේ ආශ්චර්යය මෙයයි. සත්‍යතාවය මෙයයි. එය අත්විඳිය හැක්‌කේ අතහැරීම තුළම පමණි. භික්‍ෂුව ඔබට නැවතත් කියයි. ඔබේ අවබෝධය සඳහාම”….

භික්‍ෂුව ඉහත කුටියේ වැඩසිටින මාස දෙකක කාලය තුළදී හුණු මිශ්‍ර දොලේ ජලය පාවිච්චි කිරීම නිසා මුත්‍රමාර්ගයේ ආබාධ වලින්ද, ආහාර මදකම නිසා ලේ වල සීනි හිඟවීමේ ක්‌ලාන්තයෙන්ද පීඩා වින්දේය. එහෙත් ඒ සෑම පීඩාවක්‌ම ජයග්‍රහණයක්‌ කරගැනීමට භික්‍ෂුවට හැකිවිය. එම පීඩාවන් නිවන් මඟට ආශිර්වාදයක්‌ කරගත්තේය. නාලාගිරි හස්‌තිරාජයා දර්ශනය කරගැනීමද එම ආශිsර්වාදයේ ප්‍රතිඵලයකි. ඇතිවෙන්නාවූ ස්‌වභාවික තත්ත්වයන්ට මුහුණ දෙනවා විනා, නිවීම උදෙසා උවමනාවෙන් දුක්‌ විඳිය යුතුය යන වැරදි මතයට ඔබ නොඑන්න. මෙම අර්ථයන් ඔබ වැරදි අයුරින් ක්‍රියාත්මක කළොත් ඔබ මානසික රෝගියෙක්‌ වීමටද ඉඩකඩ ඇත. එහෙයින් ඔබ නිරතුරුවම මඟවැඩූ කල්‍යාණමිත්‍රයකුගෙන් ගුරුවරයෙකුගෙන් අවශ්‍ය උපදෙස්‌ ලබාගන්න. ඔබ මෙය කියවා නාලාගිරි හස්‌තිරාජයා දකින්නට ආශාවෙන්, ඉහත ගාථාව කොතෙක්‌ සඡ්ජායනය කළද, ඔබට ප්‍රතිඵල නොලැබෙනු ඇත. ආශාවෙන් අල්ලාගත් තැන ධර්මයේ ප්‍රතිඵල ශූන්‍ය වේ. ආශාව අතහැරුණු කළ ධර්මයේ ප්‍රතිඵල උදාවේ. ආශාව අතහැරෙන්නේ ප්‍රඥාව වැඩීමෙන් පමණක්‌මය. ප්‍රඥාව වැඩීමේ ජලය වන්නේද, පොහොර වන්නේද සතර සතිපට්‌ඨානයයි. සතරසතිපට්‌ඨානයෙන් ඔබ ලබන ඵලය අනිත්‍යයයි. අනිත්‍යය අවබෝධයෙන් ඔබට ලොව්තුරා බුදුසමිඳුන්වද, නාලාගිරි හස්‌තිරාජයාවද, ඔබවද, සතර සතිපට්‌ඨානයද ලෝකයද අතහැරෙනු ඇත.

මේ සියල්ල මෙසේ සිදුවෙද්දී ගම්වැසියන් සිතුවේ භික්‍ෂුව මන්ත්‍ර ගුරුකම් දන්නවා කියාය. මන්ද භික්‍ෂුව ගමට වඩින්නට ගත් කාලයේ පටන් අලින් ගම් නොවැදුණු බැවිණි. මිනිසුන්ගේ මේ මතයන් නිවැරදි කිරීමට භික්‍ෂුවට අවශ්‍ය නොවීය. අනුන්ගේ සිත් තුළ ඇතිවන සිතිවිලි භික්‍ෂුවට අදාළ නොවේ. නමුත් මෙසේ ගතවෙද්දී එක්‌ තරුණයෙක්‌ භික්‍ෂුව මුණගැසීමට පැමිණ තමා හමුදාවට බැඳීමට යන නිසා ආරක්‍ෂාවට යන්ත්‍රයක්‌ සකස්‌ කරදෙන මෙන් ඉල්ලා සිටියේය. එහිදී භික්‍ෂුව එම තරුණයාට මෙසේ ප්‍රකාශ කළේය. zපුතේ, මා දන්නේ එකම ආරක්‍ෂාවයි. ඒ තමයි තුණුරුවන්ගේ ආරක්‍ෂාව. වෙන ආරක්‍ෂාවක්‌ කරන්න මම දන්නේ නැහැ”

ලෝකයේ ඔබව සුරැකෙන ශ්‍රේෂ්ඨම ආරක්‍ෂාව මොකක්‌ද කියලා ඔබ දන්නවාද?

ඔබ සියල්ල අතහරින්න. ඔබට ආරක්‍ෂා කරන්න, ආරක්‍ෂාවෙන්න කිසිවක්‌ම නැහැ. සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නැති තැනකට කුමන ආරක්‍ෂාවක්‌ද? කාගෙන් ආරක්‍ෂාවක්‌ද? කුමක්‌ ආරක්‍ෂාකිරීමක්‌ද? මෙලොව සුරක්‍ෂිත එකම පුද්ගලයා ධර්මය අවබෝධකරගත් උත්තමයාය.

පිංවත් අයෙක්‌ වරක්‌ භික්‍ෂුවගෙන් ඇහුවා ”ඇයි ඔබවහන්සේ පිරිත් කටපාඩමෙන් නොදන්නේ, පිරිත් පොතක්‌ භාවිතා නොකරන්නේ?” කියලා. එවිට භික්‍ෂුව ලබාදුන් පිළිතුර තමයි, ඔබ භික්‍ෂුවගේ සිත, කය, වචනය ක්‍රියාත්මක වන ස්‌වරූපය දකින්න. ඒ ඔබ දකින්නේ පිරිවානා පොත් වහන්සේය කියලා. පිරිත් තිබෙන්නේ සඡ්ජායනා කිරීමට, ශ්‍රවණය කිරීමට පමණක්‌ නොවේ. එහි හරය, සාරය, අර්ථය ජීවිතයට එකතු කරගැනීමටය. ඔබත් දක්‍ෂවෙන්න, ඔබගේ ජීවිතය පිරිත්පොතක්‌ කරගන්න. එවිට ඔබේ ආරක්‍ෂාවට යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් අවශ්‍ය නොවනු ඇත.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

2-16-යන ගමනකුත් නොමැති තුන් කලට වහල් නිති ඔබත් ඔරලෝසු කටුවක්‌ද?

2012-02-05
මහ රහතුන් වැඩි මග ඔස්‌සේ 2- 16

ගමන ඉවරත් නොමැති
යන ගමනකුත් නොමැති
තුන් කලට වහල් නිති ඔබත් ඔරලෝසු කටුවක්‌ද?



ඔබ මොහොතක්‌ සිතන්න. අපි අවිද්‍යාව නිසා මොනතරම් වැරදි දෘෂ්ඨිවල ඉන්නවාද කියලා. ඔබට සිතෙන්නේම “දැන් ශාසනයෙන් වසර දෙදහස්‌ පන්සීයක්‌ ගෙවිලා අවසන්, දැන් ශාසනය අතුරුදන් වන යුගය, ධර්මය අවබෝධකර ගැනීමට මේ වකවානුවේ නොහැකියි. පිනක්‌ දහමක්‌ කරගෙන, පාරමී සම්පූර්ණ කර ගැනීමයි කළ යුත්තේ” කියලා.

මේ සියලුම දෘෂ්ඨීන් අවිද්‍යාව නිසා ඇතිවන ඒවාය. සමාජය දෙස බැලීමේදී අපි දකින්නේ විකෘති ස්‌වභාවයන්ය. අනාගතයේදී ඇතිවන විකෘති ස්‌වභාවය ගැන කොසොල් රජතුමාගේ සිහින විස්‌තර කිරීමේදී ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මනාව පෙන්වා දී ඇත. වර්තමානයේ අපි කවි බණ, විරිදු බණ, කාලීන බණ, දෙපිට කැපෙන වචන යොදන බණ ආදිය අසන්නෙමු. අනාගතයේදී අපට සින්දුවෙන් බණ කියන ස්‌වභාවය දැකිය හැකිය. ස්‌වාමීන්වහන්සේ ධර්මාසනයේ සිට ධර්මගීතය ගායනා කරන විට ඒ අසළ සිටින සංගීත කණ්‌ඩායම එම ධර්ම ගීතයට සංගීතය සපයනු ඇත. මේවා ජනතාව අතර, විශේෂයෙන්ම තරුණ පරපුර අතර, ඉතා ජනප්‍රියභාවයට පත්වේ. ජනතාව, තරුණ පරපුර ධර්මයට යොමු කිරීම සඳහා පාලකයන් ද, මාධ්‍යය ද තව තවත් ධර්ම ගීත ප්‍රචලිත කරනු ඇත. මේවාට ඔබ කලබල විය යුතු නැත. මේවා ලෝකයේ ස්‌වභාවයන්ය. අපි කලබල වියයුත්තේ මෙසේ නොවුනහොත්ය.

අපි කළ යුත්තේ ලෝකයේ මෙම ස්‌වභාවය හඳුනාගෙන ලෝකයෙන් මිදීයැමට වෙර දැරීමය. ලෝකයේ ස්‌වභාවය අපට වෙනස්‌ කළ නොහැකිය. ඔබ මේවාට ගැටුනහොත් ඔබ ගැටෙන්නේ ධර්මය සමඟය. ලෝක ස්‌වභාය සමඟය. අප කළ යුත්තේ ගැටීම නොව අවබෝධ කරගැනීමය. ඔබ අතීතයද, අනාගතයද අතAහැරිය යුතුය. වර්තමානය තුළ පමණක්‌ ජීවත්විය යුතුය. නිවන් මඟ වඩන්නා යනු වර්තමානය තුළ ජීවත් වෙන්නාය. හෙටක්‌ ගැන බලාපොරොත්තුවක්‌, ඊයේ ගැන පසුතැවීමක්‌ ඔහුට නැත. වර්තමානය තුළද ඔහු දැකිය යුත්තේ මොහොතකින් අතීතයට යන, මොහොතකට පෙර අනාගතය වූයේ වර්තමානය බවයි. එසේනම් වර්තමානය ද මායාවකි, මුලාවකි. එය නිරතුරුවම වෙනස්‌ වෙයි. කාලය වෙනස්‌වීම අවබෝධයෙන් දකින්නා කාලසටහන්වලින් ඉවත්වේ. කාලසටහන් පාවිච්චි කළ හැක්‌කේ එකිනෙකට වෙනස්‌ විෂයන්ටය. එහෙත් විශ්වය තුළ ඇත්තේ එකම විෂයකි. එකම පාඩමකි. එය නම් අනිත්‍යයයි.

ඔබ ජීවත්වන්නේ ද අනිත්‍යය තුළය. එහෙත් ඔබ එය නොදනී. අනිත්‍යභාවය නිසා ඇතිවන දුක නැති කරගැනීම සඳහා ඔබ වෙහෙසේ. ඔබ තුළ ඇති තරගකාරීත්වයද, වේගයද, අනිත්‍යභාවය නිසා ඇතිවන දුක අවසන් කරගැනීම සඳහා ඔබ ගන්නා ව්‍යයාමයේ ප්‍රතිඵලයකි. ජීවත්වීම යනුවෙන් ඔබ කරන්නේ ඔය කාර්යයයි. අබෞද්ධ පිංවතුන්ටද, සියලු සත්වයාටමද මෙය පොදුය. ඔබ සිනාසෙන්නේ සතුටට යෑයි ඔබට සිතෙනු ඇත. නැත. ඔබ සිනාසෙන්නේ දුක නැතිකර ගැනීම සඳහාය. ඔබ ආහාර ගන්නේ කය පිනවා ගැනීමට නොව කුසගිනි දුක නැතිකර ගැනීමය. ඔබ ඖෂධ ගන්නේ ශරීරය සතුටු කිරීමට නොව මරණයෙන් බේරීමටය. ඔබ ශරීරයේ සුවඳවිලවුන් තවරා ගන්නේ ශරීරයෙන් හමන දුගඳ දුරුකර ගැනීම ය. ඔබ හිසකෙස්‌ කළුකර ගන්නේද සුදු හිසකෙස්‌ නිසා ඇති වන දුක නැති කර ගැනීමටය. බලන්නකෝ “මම, මගේ” යෑයි ඔබ ගොඩගසාගෙන සිටින දුක්‌ කන්දක විශාලත්වය.

හොඳයි ඔබ මෙහෙම සිතන්නකෝ. ඔබ පන්සලට ගිහින් බුදුන්වඳින්නේ අපායට, දුකට වැටෙයි කියලා බයට. එතැනදී ඔබ මොකද කරන්නේ. දිව්‍යලෝක, මනුෂ්‍ය ලෝක ප්‍රර්ථනා කරනවා. බලන්න ඔබ දුකේ සිටිමින් දුකම ප්‍රාර්ථනා කරනවා. මනුෂ්‍ය ලෝකයේ ජීවත්වෙමින් එම දුකම ප්‍රාර්ථනා කරනවා. අනිත්‍යභාවයට පත්වෙන දිව්‍යලෝක දුකම ප්‍රාර්ථනා කරනවා. පිංකම් කරලා දුකම ප්‍රාර්ථනා කරනවා. පෘතග්ජන සත්වයා අගමුල පැටළුණ නූල් බෝලයක්‌ වගේ යෑයි ලොව්තුරා බුදුසමිඳුන් දේශනා කළේ මේ නිසාය. හැබැයි ඔබ නිවීසැනසිල්ලේ වීර්යයෙන් සතියෙන් මේ නූල්බෝලයේ පැටළුම ලිහාගතහොත්, ඔබට එහි අගක්‌ මුලක්‌ මැදක්‌ හොඳට දකින්න පුළුවන්. ලෙහාගන්න පුළුවන්කම තිබීයදීමයි ඔබ මේ පැටලී සිටින්නේ. ඔබ මේ නූල්බොලයේ පැටලිල්ල ලිහාගතහොත් ඔබ නූල්බෝලය නැවත බදාගන්නේ නම් නැහැ. මොකද ඔබ අවබෝධයෙන් දන්නවා නූල්බෝලය පැටළුම් ස්‌වභාවයෙන් යුක්‌ත බව. මේ පැටළුම ලිහාගන්න ඔබට කාලය ප්‍රශ්නයක්‌ නැහැ. හැබැයි ඔබට නිහතමානීකම තිබෙන්න ඕනේ. නිවන් මඟ නිවීමේ ශබ්දකෝෂයේ “අ”යන්න නිහතමානී කමයි. නිහතමානීකම නොමැති කිසිවෙකුට නිවීමේ ප්‍රතිපදාවේ දශමයක්‌වත් ඉදිරියට යා නොහැකිය. භික්‍ෂුව ගිහි කාලයේදී කොතැනින්ද, කවුරුන්ගෙන්ද යමක්‌ ඉගෙනගැනීමට හැකි…. ඒ සැමදෙනාටම සවන්දුන්නේය. ජාතිය, ආගම, වයස, තරාතිරම, නොබැලූවේය. ගතයුත්ත ගත්තේය. අත්හලයුත්ත අත්හැරියේය. වරක්‌ භික්‍ෂුව ගිහිකාලයේදී ප්‍රධාන නගරයක ගමන්කරන විට යාචක මනුෂ්‍යයෙන් දැඩි වේදනාවකින් පෙළෙමින්, තම ගුදමාර්ගයෙන් ඉවතට පැමිණි අඟල් හයක්‌ පමණැති ශරීර අවයවයක්‌ ශරීරය තුළට ඔබනවා දුටුවේය. එය අර්ශස්‌ රෝගයේ දරුණු අවස්‌ථාවකි. මේ යාචක පිංවතාගෙන්ද භික්‍ෂුව නිවීමට අවශ්‍ය කලමනා සොයාගත්තේය. කුඩා දරුවෙක්‌ගෙන් ඔබට යමක්‌ ඉගෙනීමට හැකිනම් ඔබ එය ඉගෙනගත යුතුය. එය කළහැක්‌කේ නිහතමානීකම තිබුනොත්ය. නිවීමේ මඟ උදෙසා ඔබට මවුකුස පිළිසිඳ වැඩෙන කලල රූපය තුළින් ලැබිය හැකි අවබෝධය, මහා පඬිවරයෙක්‌ගෙන් ලැබිය නොහැකිය. මන්ද මහා පඬිවරයා පිළිබඳව ඔබට නිවැරදිව අවබෝධය ලබාගන්නට නම් ඔහුගේ කලල අවස්‌ථාවට, බිළිඳු අවස්‌ථාවට යායුතු හෙයිනි. මේ දැකගැනීමට ඔබ තුළ නිහතමානීකම තිබිය යුතුය.

තමා ශිල්වත් බවත්, භාවනාවෙන් ඉහළ තත්ත්වයක සිටින බවත් සිතමින්, මහා සංඝරත්නයට නොවඳින පිංවතුන්ද සිටියි. ධර්මය දැනීමට නම් අවම වශයෙන් ඔහු තුළ තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක්‌ තිබිය යුතුය. සමහරවිට ශීල, සමාධි, භාවනා මාන්නය නිසා මහා සංඝරත්නයට නොවඳින පිංවතුන් සිටින්නේ මිත්‍යාදෘෂ්ඨික භාවයේ වීමටද ඉඩ ඇත. මේවා නිහතමානී නොවීමේ ප්‍රතිඵලයයි. මහාසංඝරත්නයට නමස්‌කාර කිරීමට එම පිංවතුන්ට හිස නොනැමෙන්නේ ඒ පිංවතුන්ගේ හිස මාන්නයෙන් බරව ඇති නිසාය. අබුද්ධෝපත්ති කාලයේදීත් පසේබුදුවරු ලොව පහළවී ධර්මය අවබෝධ කරගෙන නිවන් දකිති. උන්වහන්සේලා මනුෂ්‍ය ලෝකයේ මව්කුසක උපත ලබා ගන්නේ සංසාරයේ පුරණ ලද පාරමී ශක්‌තිය අධ්‍යාත්මය තුළ දරාගෙනයි. සංසාරයේ පුරණ ලද අනිත්‍යසංඥාවේ ඉව උන්වහන්සේලාගේ අධ්‍යාත්මය තුළ සැඟවී තිබෙනවා. උන්වහන්සේලා තනිවම, හුදෙකලාවේ වනගතව ධර්මය අවබෝකර ගන්නවා. හැබැයි අවබෝධකරගත් ධර්මය පසේ බුදුවරු විසින් ජනතාවට දේශනා කරන්න යන්නේ නැහැ. ඒ උන්වහන්සේලාට දේශනා කිරීමේ ශක්‌තිය, අවබෝධය නැති නිසා නොවෙයි. ධර්මය අවබෝධය ලැබුවා කියන්නේ එහි ස්‌වභාවය දැක්‌කා කියන එකයි. ධර්මයේ ස්‌වභාවය දැක්‌කා නම් එය දේශනා කරන්න බැරිවෙන්න බැහැ. ඔබ පිටකොටුවට ගියානම් ඔබ දන්නවා බස්‌නැවතුම, දුම්රියපළ, බෝසමිඳුන් කොතැනද සිටින්නේ කියලා පිටකොටුවේ ස්‌වභාවය ගැන කියන්න. ඔබට එය කියන්නට බැරිනම් ඔබ නියත වශයෙන්ම පිටකොටුවට ගිහින් නැහැ. පසේබුදුවරු තමා අවබෝධකරගත් ධර්මය අනුනට දේශනා නොකරන්නේ ධර්මය අවබෝධයට තබා, ධර්මයට ගරුකිරීමටවත් විශමවූ, පාපකාරී, මිත්‍යාදෘෂ්ඨික අබුද්ධෝත්පාද කාලයකදී කෙනෙකු නොමැතිවීමයි. පසේබුදුවරු එවැනි කාලයකදී එවැනි මිනිස්‌ සමාජයකට ධර්මය දේශනා කිරීමට ගියහොත් එම සමාජය පසේබුදුහිමිට “පිස්‌සෙක්‌” යෑයි පරිභව කරනු ඇත. පහරදෙනු ඇත. මෙවැනි හේතූන් නිසා මිනිසා රැස්‌කරගන්නා අකුසල්වල ප්‍රමාණය උන්වහන්සේලා හොඳින්ම දනියි. ඒ නිසා පසේබුදුරජාණන් වහන්සේලා වනයේ හුදෙකලාවේ වැඩසිටිමින් පිරිනිවීයති. උන්වහන්සේලා මිනිසාට දේශනා කිරීමට නොයන්නේ ඔවුන් කෙරෙහි ඇති කරුණාව, මෛත්‍රිය නිසාමය. මෙවැනි විශම කාලවලදීත් පසේබුදුවරු ධර්මය අවබෝධ කරගන්නේ නම්, ධර්මය අවබෝධ කරගැනීමට කාලය ප්‍රශ්නයක්‌ නොවේ. ප්‍රශ්නය ඇත්තේ ධර්මය අවබෝධකර ගැනීමට ඔබ කාලයට භාරදීමයි. කාලය තුළ ඇත්තේද වෙනස්‌වීම, ගෙවීයාම පමණක්‌මය. අතීතයද, වර්තමානයද, අනාගතයද නිරතුරුවම වෙනස්‌වන, අනිත්‍යයට පත්වන ස්‌වභාවයන්ය. මෙතුවක්‌ කලක්‌ සංසාරයේදී කාලය විසින් ඔබව රවටා ඇත. ඔබව රැවටීමට කාලයට උදව් කළේ අවිද්‍යාවයි. නිත්‍යභාවයේ නැති අනාගතයකට, ධර්මාවබෝධය ලැබීම භාර කරන පෘතග්ජන සත්වයා දිය පිපාසයෙන් මිරිඟුව පසුපස දිවයන මුවෙක්‌ සේ නැති අනාගතයක්‌ පසුපස දිවයයි. ඔහු දිවයන වේගයෙන්ම ඔහු සොයන අනාගතයද අවිද්‍යාව විසින් ඉදිරියට දුවවනු ඇත. මේ අවිද්‍යාවෙන් ඔබ නොමිදුනොත් දිවීමත්, හතිදැමීමත්, දුකත් හැර ඔබට අනාගතයක්‌ හමුනොවනු ඇත. කල්ප ගණනක සිට අනාගතයට දිවයමින් හතිදමමින් මේ මොහොතේ ඔබ සිටින්නේද එම ස්‌වභාවයේමය. මේ මොහොතේද ඔබ නිවන්මඟ වැඩීම කල්දමා ඇත. සමහරු මෛත්‍රී බුදුසමිඳුන් දැක නිවන් දැකීම පිණිස කල්ප ගණනක්‌ අනාගතයට ගොස්‌ ඇත. නැති අනාගතයක්‌ ඉලක්‌ක කරමින්, ධර්මය අවබෝධකර ගැනීමට ඔබ ලැබූ මේ උතුම් අවස්‌ථාව අපතේ හැරීමකි ඔබ මේ කරමින් සිටින්නේ.

අවබෝධය අතින් ඔබ මෙතැනැයි සිටින්නේ කියලා අධිතක්‌සේරුවකට එන්න එපා. මොකද ඔබ මෙතැනයි ඉන්නේ කියලා කියන්න ස්‌ථිර, වෙනස්‌ නොවන තැනක්‌ ලෝකයේ නැහැ. ඔබට, මම මෙතැන සිටිනවාය කියලා රැඳීසිටින්න බැහැ. ඔබට එහෙම සිතෙනවානම් ඔබ සිටින්නේ අන්තිමයාටයි. ඔබට ප්‍රථමයා වෙන්න නම්, ඔබට දැනෙන්න ඕනේ ඔබ සිටින්නේ අනිත්‍යය තුළයි කියලා. ස්‌ථිර තැනක්‌ නැති ලෝකයේ ඔබ කළ යුත්තේ ස්‌ථිර තැන් සෙවීමට නොව අස්‌ථිර ලෝකයෙන් මිදීයැමය. කාලය තුළ අතීත, අනාගත වර්තමාන වශයෙන් ස්‌ථිර යමක්‌ නොමැත. කාලය යනු අනිත්‍යයයි. එනිසා කාලය, වේලාව ඔබ අත්හරින්න. එවිට අතීත, අනාගත, වර්තමාන තුන් කාලයම ඔබට අතහැරේවි. ඔබට එසේ දකින්නට බැරිනම් ඔබ සිතන්න, සංසාර ගමන්මගේ ඔබ ගතකරන මේ මොහොත හොඳම කාලය බව. ධර්මය අවබෝධකරගැනීම පිණිස මෙවැනි කාලයක්‌ තව කල්ප ගණනාවකට ඔබට නොලැබේවි. ඉක්‌මනින් හිතන්න. වර්තමානය අතීතයට යනවා. අනාගතය වර්තමානය වෙනවා. ඔබ නැති අනාගතයක්‌ දකිමින් දුක සමඟ පෙරටම යනවා. අනාගතය, අනාගතය…. කියලා මාරයා ඔබට ලොකු කැරට්‌ අලයක්‌ දික්‌කරනවා. දුක සැපක්‌ කරගත්ත, සැප බලාපොරොත්තුවක්‌ කරගත්ත අපි මේ යන්නේ නැති අනාගතයක්‌ සොයාගෙන.

ඉන්ද්‍රජිත් සුබසිංහ