2-15-අභියෝගය අවබෝධයක්‌ කරගන්න

2012-01-29

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ 2- 15 වැනි කොටස
අභියෝගය අවබෝධයක්‌ කරගන්න


මෙම ආත්මභාවයේදීම නිවීම උදෙසා වනවාසීව මගවඩන භික්‍ෂුව කැලයට ඇතුළු වීමේදීම උපද්‍රවයන් මඟහැරේවායි අධිෂ්ඨානය කළද, සද්ධර්මයෙන් ඈත්වූ මිනිසුන්ගේ සාමාජීය, පාරිසරික විකෘතිභාවයන් නිසා ඔබ ඉදිරියට අභියෝගයන් පැමිණිය හැකිය.

සතුනට අයත් කැලෑ මායිම් බිම් මිනිසුන් වගාවන් සඳහා යොදාගැනීම, සතුනට වෙඩි තැබීම නිසා තුවාල ලත් සතුන්, දඩයම් කිරීම, අලිවෙඩි පත්තුකිරීම, මරුවැල් ඇටවීම වැනි හේතූන් නිසා බියට පත් සතුන් සමහර අවස්‌ථාවල කැලය තුළ විකෘති, කලබලකාරී ලෙස හැසිරෙති.

මේවා පාලනය කිරීමට ධර්මයට නොහැකිය. මොකද මේවා ලෝකයේ ස්‌වභාවය හෙයිනි. එහෙත් අත්හැරීමේ තිබෙන මහානුභාවය නිසාම මෙවැනි විකෘති සතුන් පවා භික්‍ෂුවගෙන් මගහැරෙනවා.

දිනක්‌ භික්‍ෂුවක්‌ කැලෑබද ගුරුපාරක පිණ්‌ඩපාතයෙ වඩිනවා. මෙම කැලයේ නිතරම හැසිරෙන තනි අලියෙක්‌ සිටිනවා. මෙම තනියා මීට මාස කිහිපයකට පෙර ගොවියන් දෙදෙනෙක්‌ මරාදැමූ සතෙක්‌. වෙන අලින් මේ පෙදෙසේ නැහැ. මේ තනියා පමණයි කැලයේ සිටින්නේ. ඒ නිසා මෙයා සැරයි.

භික්‍ෂුව උදය කාලයේ කැලය මැදින් ගුරුපාරේ පිණ්‌ඩපාතේ වඩින විට පෙනෙනවා, පාර පුරා අතු කඩා දමලා, ගස්‌ පතුරු ගහලා පාරට දමලා හරියට වුවමනාවෙන්ම පාර අපවිත්‍ර කරලා වගේ. තනියා කේන්ති ගිය ස්‌වභාවයෙන්ම හැසිරී ඇතිබව හොඳටම පැහැදිලියි. භික්‍ෂුව හොඳින්ම දන්නවා දැන් ඉදිරියේ තනියා ඉන්නවා කියලා. වේලාව පෙරවරු 6.30ට ඇති. අලි ගඳත් දැනෙනවා. ගුරුපාර මඩකරලා. පෙරේදා රාත්‍රියේ වැස්‌ස තිබුණා. ඔබ දන්නවාද මේ වෙලාවේ භික්‍ෂුව මොකද කළේ කියලා. හැබැයි තවම භික්‍ෂුවට තනියා මුණගැසුනේ නැහැ. භික්‍ෂුවත් පැමිණි විලසින්ම ඉදිරියට වඩිනවා. ගමට යන්න එපැයි පිණ්‌ඩපාතය සොයාගන්න. ගමට යැමට කිලෝ මීටර 2ක්‌a පමණ දුරක්‌ තිබෙනවා. භික්‍ෂුව ඉදිරියටම වඩිනවා. තනියා මග දිගටම අතුකඩා දමලා, පොත්ත අනුභව කරන්න ගස්‌ පතුරුගහලා. භික්‍ෂුව මොහොතක්‌ නවතිනවා. කුමක්‌ සඳහාද? තමා ඉදිරියේ ඇති අභියෝගය ජයග්‍රහණයකට පරිවර්තනය කරගන්න. භික්‍ෂුව මනසින් දකිනවා, තනියා තමන් ඉදිරියට වියරුවෙන් එනවා. ඇවිත් හොඬවැලෙන් භික්‍ෂුව අඹරවලා ගන්නවා. අරගෙන තනියා වියරුවෙන්ම භික්‍ෂුවව පොලොවේ ගසනවා. භික්‍ෂුවගේ හිසට තනියා තම ඉදිරි පාදය තබා පාගනවා. හිස කුඩුවෙනවා. මේ සියල්ල භික්‍ෂුව මනසිනුයි දකින්නේ. භික්‍ෂුව දැනෙන දැනෙන වේදනාව තමාට අයත් දෙයක්‌ නොවන බව දකිනවා. කුඩුවෙන බිඳෙන කය තමාට අයත් නැති බව දකිනවා. භික්‍ෂුව දකිනවා තම අවසාන හුස්‌ම පොද ශරීරයෙන් පිටවෙනවා. භික්‍ෂුව නුවනින් බලනවා ඇතිවූ අවසාන සිත නැවත ප්‍රතිසන්ධියක්‌ සහිත සිතක්‌ද කියලා. භික්‍ෂුව දකිනවා අවසන් සිතේ කිසිම උපාදානයක්‌, තණ්‌හාවක්‌, කැමැත්තක්‌ නැතිය කියලා. භික්‍ෂුව අවබෝධ කරගන්නවා කැමැත්තක්‌, තණ්‌හාවක්‌ නොමැතිනම් නැවත උපාදානයක්‌, බැසගැනීමක්‌ නොමැති බව. බලන්න නිවන් මඟ වඩන භික්‍ෂුවක්‌ ජීවිතයට අභියෝගයක සෙවනැල්ල වැටුණු මොහොතකදී තමා විසින්ම ජීවිතය මරාදැමීමට සලස්‌වලා අවබෝධය ලබලා නැවැත ජීවිතයට සේන්දු වුණා. බලන්න ලොව්තුරු ධර්මයේ විශිෂ්ට බව. අතහැරීමේ ආශ්චර්යය.

දස දහස්‌ගණනින් මහ රහතන් වහන්සේලා අතීතයේ බිහිවූයේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මෙවැනි කමටහන් බුදු පුතුන්ට දුන් නිසාය. මෙම සිදුවීමේදී භික්‍ෂුව තුළ වැඩුනේ සතර සතිපට්‌ඨානයයි.

මෙවැනි සිදුවීම් භික්‍ෂුව ඉදිරියට එන ආශිර්වාදයන්ය. ඔබ දක්‍ෂ විය යුතුයි ඔබේ නිවීම උදෙසා මේවා ගලපාගැනීමට.

තනි අලියාට පමණක්‌ නොව අනිකුත් අභියෝගවලදීත්…..

භික්‍ෂුවගේ දක්‍ෂභාවය නිසාම අභියෝගය ඉදිරියේ ජීවිතය අතහැරෙනකොට, ඉදිරියේ අනිවාර්යෙන්ම ඇතැයි කියලා අනුමාන කළ තනියා දකින්න සිටියේ නැත. තනියාට භික්‍ෂුවගේ ඉව දැනෙන සීමාවේ ඉන්න බැහැ. එයාට දැනෙනවා භික්‍ෂුවගේ අතහැරීමෙන් කම්පාවන ලෝක ස්‌වභාවය. සියල්ල ඔබ අතහරින්න. ඔබට මේ සියල්ල ලැබෙනවා. එහෙත් මේ සියල්ල ඔබට ලැබෙනවිට මේ කිසිවක්‌ ඔබට අවශ්‍ය නොවේ. මන්ද මේ සියල්ල අනිත්‍ය බව ඔබ අවබෝධයෙන් දකිනවා. ඔබද ඔබේ වාසනාවත් භික්‍ෂු ජීවිතය ඉදිරියට අභියෝග පතිත වන විට පලා නොයන්න, බිය නොවන්න. යටත් නොවන්න. පිරිත් පොත අතට නොගන්න. බුදු ගුණ නොසිතන්න. ඔබත් අභියෝගයත්, ප්‍රතිඵලයත් ඔබේ නොවේ යෑයි දකින්න. එවිට ඔබ දකින්නේ සැබෑම බුදුගුණයයි.

ඔබේ ජීවිතය ඔබම ලෙඩ කරන්න, අංශභාග රෝගියෙක්‌ කරන්න, පිළිකා, ලියුකේමියා, වකුගඩු රෝගියෙක්‌ කරන්න. මග තොටේදී ඔබව වාහනයකට යටවී ශරීරය කුඩුවෙනවා දකින්න. ඔබ වයසට ගිහින් ලෙඬ ඇඳේ අබ්බගාතයෙක්‌ ලෙස දුක්‌විඳිනවා දකින්න. ඔබට සලකන්නට කෙනෙක්‌ නොමැතිව අසූචි මළමුත්‍රා මත ඔබ වැටී සිටිනා හැටි දකින්න. ඔබ මනසින් මියයන්න.

ඔබේ සිතේ ස්‌වභාවය අධ්‍යයනය කරන්න. මේ සියලු කමටහන් තුළින් ඔබ තුළ වැඩෙන්නේ සතර සතිපට්‌ඨානය බව අවබෝධයෙන් දකින්න. මරණය මනසින් අත්දකිමින්, අත්විඳිමින් නැවත උපාදනයක්‌ නැති අවසානයක්‌ කරා යැමට සිත පුහුණු කරන්න. අභියෝගය- අවබෝධයක්‌ කරගන්න. ඔබද නිවන් මඟට අවතීර්ණ වන්න. නිර්වින්දන, අලිවෙඩි, ඇත්ගොව්වන්, හෙන්ඩුව නොමැතිව සද්ධන්ත කුළයේ අලි ඇතුන් දමනය වන ආශ්චර්යවත් ධර්මයේ උරුමක්‌කරුවෙක්‌ වෙන්න. හැබැයි ඒ අලි දමනය කිරීමට නම් නොවේ. අලි දමනය කිරීමට ඔබ තුළ ඇතිවන සිත හා කැමැත්ත දමනය කරගැනීමටය. කැමැත්ත අතහැර දැමීමටය. කැමැත්ත යනු ඔබට අයත් දෙයක්‌ නොවන බව දකින්න. අනිත්‍යභාවයට පත්වන සිත ඔබට දෙන අනිත්‍යවූ නියෝගයක්‌ පමණක්‌ම ලෙසින් එය දකින්න. සිත අතහැරුණු කල, කැමැත්තද ඔබට අතහැරෙනු ඇත. මේ මොහොතේත් ඔබ යම් කැමැත්තකින් පසුවෙනවා නම් ඔබ සියුම්ව නිරීක්‍ෂණය කර බලන්න. ඔබේ අනිත්‍යභාවයට පත්වන, ඔබට අයිති නැත. සිත නේද ඒ කැමැත්තට ඔබව පොළඹවන්නේ. භවය කරා ඔබව කැඳවාගෙන යන අවිචාරවත් සිත අවබෝධයෙන් හඳුනාගෙන කැමැත්තෙන් මිදෙන්න.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

14-IV-අපේ රටේ ජාතික ගීය

2012-01-22

දිව්‍ය තලවල කොහොමද අපේ රටේ ජාතික ගීය ඇසෙන්නේ?

(මෙම ලිපියේ පළමු කොටස ඉකුත් සතියේ පළ විය)

මේ මොහොතේ සද්ධර්මය සුරක්‍ෂිත භූමියේ සුරක්‍ෂිතභාවය උදෙසා “අප ශ්‍රී ලංකා මාතා” කියලා ආශිර්වාද කරන දෙවිවරුන් සමඟ පිංවත් ඔබ අත්වැල් බැඳගන්න. දෙවියන් සමඟ පිංවත් ඔබ බැඳෙන අත්වැල බැඳෙන්නේ පූජා වට්‌ටියකින්, පඬුරකින්, භාරයකින් නොව තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, ශීලය, දානය කියන මහේශාඛ්‍ය දෙවියන් පවා වන්දනා කරන කාරණාවලින්. පිංවත් ඔබ මිථ්‍යාදෘශ්ටික කාරණා වලින් බැහැරව ඉහත ආකාරයට සද්ධර්මයට හිතැති දෙවියන් සමඟ අත්වැලක්‌ බැඳගත්තොත් මුළුලෝකයම විනාශවී ගියත් පිංවතුන් සුරක්‍ෂිත යෑයි කියන කාරණය ගැන ධර්මයේ නාමයෙන් ඔබ තුළ විශ්වාසයක්‌ ඇතිකර ගන්න. දෙවිවරුන්ට පිංවත් ඔබත් ශක්‌තියක්‌ වෙන්න, මේ සද්ධර්මය යම් පමණ කාලයක්‌ හෝ මේ ධර්මද්වීපයේ ආරක්‍ෂාකොට තැබීම පිණිස. ඒ ශක්‌තිය ඔබට ලබාදිය හැක්‌කේ ජීවිතයට ඉහත අර්ථයන් එකතුකර ගැනීමෙන්ය. ඔබ මේ ආකාරයට පෙළගැසුණොත් මිථ්‍යාදෘශ්ටික ලෝකයාට හේතු-ඵල ධර්මයන්ට අනුව කුමන විනාශයක්‌ සිදුවුවද, පිංවත් ඔබ සුරක්‍ෂිත වේවි. මේ උතුම් සද්ධර්මය තව කාලයක්‌ සුරක්‍ෂිතව පවතීවී. මේ උතුම් සද්ධර්මයෙන් මනුෂ්‍යයින් ධර්මාවබෝධය ලබාවි. තව තවත් සුගති භූමිවල ඉපදේවි. රූපී බ්‍රහ්ම තලවල, සුගතිභූමි වල තව තව මාර්ගඵල ලාභී දෙවියන් දිව්‍යාංගනාවන් බිහිවේවි. පිංවත් ඔබ ධර්මය සමග ජීවත්වෙන්න. ඕනෑම අභියෝගයක්‌ හමුවේ විනාශයක්‌ හමුවේ වුවද සුරක්‍ෂිතව සිහි මුළා නොවී ඊට මුහුණ දෙන්න. එසේ නොවී ඔබ මිථ්‍යාදෘශ්ටික ක්‍රමවේදයන්ට ගියොත්, ඔබ දුසිල්වත් වුවොත්, හේතුඵල ධර්මයන්ට අනුව වෙනත් දිශාවකට යන විනාශයක්‌ හෝ පැමිණ ඔබව විනාශ වී යාවි.

දුශ්ශීල භාවයේ හේතුඵල ධර්මයන් වළක්‌වන්නට දෙවියන්ට බැහැ. මේ මොහොත, මේ ධර්මද්වීපයේ උතුම් මොහොත බව සිතන්නට. එය රට ජාතියේ උතුම් මොහොත නොව, රට ජාතිය සමඟ බැඳෙන සද්ධර්මයේ උතුම් මොහොතයි. ඒ උතුම් මොහොතේ වැරැදි ඉලක්‌ක කරා නොගොස්‌ සද්ධර්මයම නිවැරැදි ඉලක්‌කය කරගන්න. එවිට රටත් ජාතියත් යම් පමණකට හෝ රැකේවි.

මේ සටහන කියවනවිට ශ්‍රද්ධාව අඩු පිංවතකුට සැකයක්‌ හිතෙන්න පුළුවන් දිව්‍යතල වල කොහොමද අපේ රටේ ජාතික ගීය ඇසෙන්නේ කියලා. සමහර පිංවතුන්ලා කියනවනේ දිව්‍යතලයත් අපායත් දෙකම තියෙන්නේ මනුෂ්‍ය ලෝකයේම කියලා. එහෙම සිතන ලෝකයට ඉහත සිද්ධිය විකාරයක්‌ වීමටද පුළුවන. නමුත් මේවා ඔබ දෙපා තබාගෙන ජීවත්වන ලෝකය තුළ සිදුවන සැබෑම ඇත්තය. හාස්‌කම් නොවේ. හේතුඵල ධර්මයන්ය.

වරක්‌ භික්‍ෂුවක්‌ මිනිස්‌ වාසයෙන් සැතපුම් 3 ක්‌ පමණ දුරින් කුටියක වැඩසිටියදී, උදේ පින්ඩපාතයට ගමට ගොස්‌ නැවත කුටියට වඩින අතරමග දරුණු අමනුෂ්‍යයකුගේ බියගැන්වීමක්‌ භික්‍ෂුවගේ කිසිදු ප්‍රතික්‍රියාවකින් තොරව අසාර්ථකභාවයට පත්විය . ඒ මොහොතේදීද එම භික්‍ෂුවට දිව්‍ය ශ්‍රොaත ඔස්‌සේ අපූරු සංගීත රාවයක්‌ ඇසිණ.

එම දිව්‍ය සංගීතය වූයේ “රණවිරුවකුගේ අවසන් ගමනට, යන මහ ජනතා පා දූවිල්ලෙන්, තැළී වෙළී සැනහී මියයන්නෙම් … මගේ පරම පැතුම එයයි (උඬගු ලියන් ගොතා බඳින….. නමැති සම්පූර්ණ ගීතයම) යන ගී හඬ සංගීතය සමඟින්ම, භික්‍ෂුව එම කුටියෙන් ඉවත්ව යනතුරුම නිරතරුවම දිව්‍ය තලවලින් ඇසෙන්නට විය.

ස්‌ත්‍රී සහ පුරුෂ කටහඬවල් දෙකකින් යුග ගීතයක්‌ ගයන්නා සේ බොහොම මිහිරි සහ ගැඹුරු හඬින් ඇසෙන්නට විය. පිරිමි කටහඬ හරි ගැඹුරුය. සමාධිමත් හඬකින් යුක්‌තය. “තැළී, වෙළී පොඩිවී මියයන්නම්” කියන පද පෙළ ගායනා කරන්නේ දැඩි අධිෂ්ඨානශීලීවය.

මෙතැනදි සශ්‍රීක දිව්‍යතලවල දෙවියන් රණවිරුවා නමින් හැඳින් වූවේ තුවක්‌කු, යුද ටැංකි සමඟින් ඉදිරියට යන ඔබ දකින රණවිරුවා නොව. ගීතය රචනා කළ, ගායනා කළ පිංවත් ඔබ දුටු රණවිරුවා නොව. මේ මිහිතලය මත සිටින සැබෑම කෙළෙස්‌ සතුරා පරාජය කිරීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් වීර්යය වඩන උපසම්පදා භික්‍ෂුව නැමැති රණවිරුවා උදෙසාය. බලන්න පිංවත්, ඔබ අපි මොනතරම් බොළඳ ද කියලා. අපි රණවිරුවා කියන්නේ කාටද? සශ්‍රික දිව්‍යතලවල දෙවියන් රණවිරුවා වශයෙන් සිංහනාද කරන්නේ මේ උතුම් අරිහත් ධජය දරාගෙන සැබෑම කෙළෙස්‌ යුද්ධය කරන මහාසංඝරත්නයමය. රණවිරුවා කියන වචනයට මේ සැබෑම අර්ථය දෙන්නට තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්aධාව සහිත දෙවියන්ට, මනුෂ්‍යයකුට හැර වෙන කාට පුළුවන්ද?

සිල්පද 227කින් සන්නද්ධ ශීලයේ ශක්‌තියෙන් සකස්‌කොටගත්, සමාධියේ පළිහ උපයෝගී කරගෙන, පංච නීවරණ නමැති සතුරා පරාජයකොට ප්‍රඥාවේ ජයග්‍රහණය සොයාගෙන යන සැබෑම රණවිරුවා ලෙසින් උපසම්පදා භික්‍ෂුවට දෙවියන් දක්‌වන කෘතවේදීත්වය පිංවත් ස්‌වාමීන්වහන්ස  ඔබවහන්සේලා ශක්‌තියක්‌ කරගන්න.

දෙවියන්ට අනුව සැබෑම රණවිරුවා යනු සංස්‌කාර රැස්‌කරන රණවිරුවා නොව, සංස්‌කාරයන්ගේ නිරෝධය උදෙසා ආර්ය අශ්ඨාංගික මාර්ගයේ ගමන්කරනා රණවිරුවාය. එවැනි රණවිරුවාට එරෙහිව වන මනුෂ්‍ය, අමනුෂ්‍ය අභියෝගයන් හමුවේ, ඊට එරෙහිව සටන්කොට තැළී, පෑගී, පොඩිවී, මියයන්නට සූදානම් කියලයි දෙවියන් මේ මොහොතේ ඒ දිව්‍ය සංගීතයෙන් සිංහනාද කරන්නේ. ලෝකයේ මොනවාද වෙන්නේ. එහෙත් අපි මොනවාද දන්නේ. අපි නොදන්නවාය කියලා ලෝකයේ වෙන දේවල් අනුමාන කමින් බැහැර කළොත් එය අපිට තිබෙන අවස්‌ථාවක්‌ අපිම පැහැරහැරියා වෙනවා. පිංවත් දෙවිවරු මේ මොහොතේ සිංහනාද කරනවා, අර්ථවත් ධර්ම මාර්ගයේ ගමන්කරන පිංවතුන් උදෙසා. ඔබ ඉදිරියට එන අභියෝග හමුවේ දෙවියන් ඊට එරෙහිව සටන්කොට මියයන්න සූදානම් කියලා. දෙවියන් ශීලයෙන් පරිපූර්ණ පිරිසක්‌. ඒ අය බොරු කියන්නේ නැහැ. අදාළ භික්‍ෂුවට කැළය මැද සිදුවූ එම අමනුෂ්‍ය සිද්ධියේදී භික්‍ෂුව හොඳින් අත්දුටුවා එම අමනුෂ්‍යයා පරාජය කළ ආකාරය. ඒ කියන්නේ දෙවියන් ක්‍ෂණිකව ක්‍රියාත්මක වුණා. මීට වඩා මොන ශක්‌තියක්‌ද ගිහි පැවිදි ධර්ම මාර්ගයේ ගමන් කරන පිංවතුන්ලාට. ශීලයෙන් පරිපූර්ණ ගිsහි පැවිදි උතුමන්ගේ පහසු විහරණය උදෙසා දෙවියන් තැළී මියයන්නට සූදානම්ව සිටියදී, අපේ උදවිය, කුණුවෙන පළතුරු වට්‌ටියක්‌ මත, පෙරේත ලෝකයට පාර පෙන්වන සල්ලි කොළයක්‌ හිසමත තබාගෙන ව්‍යාපාර, රැකියාව, විවාහය, තනතුරු ගැන කෙළ හල හලා දේවාල වන්දනාවේ යනවා. හිතන්න ඔය පූජා වට්‌ටිය බිම තබලා තෙරුවන් ගැන සිතන්න. එහෙම හිතන සැණින් සශ්‍රීක දෙවියන්, පිංවත් ඔබ ගැන සිතාවී. ආශිර්වාද කරාවී. සිංහනාද කරාවී. පිංවත් ඔබ සැබැවින්ම දෙවියන් අතරට යන කෙනෙක්‌ වේවි.

මේ මනුෂ්‍ය ලෝකයේ ශීලය, දානය ජීවිතය තුළින් ක්‍රියාත්මක කරමින් ජීවත්වන මනුෂ්‍යයන් සිටිනවා. මේ අය අර්ථවත් සංගීතයට කැමතියි. ඒ අය සංගීතය අත්විඳින්නේ විතර්ක, සිහින ලෝක ගොඩනගාගෙන මනෝ ලෝක වල ජීවත්වීමට නොවේ. ඔවුන් ගීතයේ අර්ථය, සංගීතය තුළින් නිරාමිස සතුටක්‌ ලබනවා. එම අහිංසක සතුට නිසා මොහුගේ ශීලයට බාධාවක්‌ වෙන්නේ නැහැ. ශීලයත් රැකගෙන අර්ථවත් සංගීතයත් උපාදානය කරනවා. එහෙම අය මැරෙන මොහොතේ දිව්‍ය සංඥා සකස්‌වී සශ්‍රීක දිව්‍යතලවල දිව්‍ය සිටින මහේශාඛ්‍ය දෙවිවරුන්ව සංගීතයෙන් පිනවන සහායක දෙවිවරු දිව්‍යාංගනාවන් ලෙස උපත ලබනවා. ඒ අයගේ මුළු දිව්‍ය ජීවිතයම සංගීතයයි. මෙන්න මෙවැනි දිව්‍ය දිව්‍යාංගනාවන් පෙර ජීවිතයේදී සකස්‌කරගත් සංගීත උපාදානයන්ට අනුව, ඒ මතකයන් දිවැස්‌ මඟින් මතුකරගෙන දිව්‍ය සෝත, දිව්‍ය චක්‌ඛු මඟින් මනුෂ්‍යලෝකයේ සංගීතයද අසමින් දකිමිනුයි, දිව්‍ය තල වල සංගීතයේ අසිරිය පතුරුවන්නේ. සිංහල ගීත ඇසෙන්නේ මනුෂ්‍ය ලෝකයේ පමණක්‌ නොවේ. සැබෑම අර්ථයන්ට ගළපමින් දෙවියන්ද සිංහල ගීත මියුරු හඬින් ගායනා කරනවා සංගීතය සමඟින්ම.

ඉහත සටහන කියවා ඔබට විශ්වාසයක්‌ සකස්‌ වූවා නම්, එම විශ්වාසය බුදුරජාණන් වහන්සේ කෙරෙහිම යොමු කරන්න. ධර්ම රත්නය, සංඝ රත්නය කෙරෙහිම යොමු කරන්න. ශීලය ආර්යකාන්ත ශීලයක්‌ වශයෙන් ජීවිතයට එකතුකර ගන්න. තෘෂ්ණාවෙන් තොරව දන් දෙන්න. නිරතුරුවම අනිත්‍ය සංඥාවන් ජීවිතය තුළින් වඩන්න. මෙම ධර්මතාවයන් පිංවත් ඔබව මේ භව ගමනේදී අප්‍රමාදීභාවයට පත්කරාවි. හඬන දොඩන මිනිසුන් අතර ඔබ සමාධිමත් මිනිසෙකු කරාවි. ඒ සමාධිමත් සිතම ඔබට විදර්ශනා ඥානය සකස්‌කොට දේවි. දැන් පිංවත් ඔබ කල්ප විනාශයකදී වුවද සුරක්‍ෂිතය. මේ මොහොතේ දිව්‍යතලවලට අධිපති ශක්‍ර දෙවියන්ද ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අභිමුව සෝවාන් ඵල අවබෝaධ කරගත් දිව්‍ය නායකයෙකි. මනුෂ්‍ය ලෝකයේ වැඩ සිටින සියලුම සම්‍යදෘශ්ටික යක්‍ෂයන්ට, යක්‍ෂ සේනාධිපතියන්ට අණදෙන මහේශාඛ්‍ය සතරවරම් දෙවිවරු ආටානාටිය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා, අපි නෘත්‍ය සංගීතයෙන් පිනාගිය, ඒවායේ සිත්අලවා වාසය කරන්නේ කියලා. මේ සතරවරම් දෙවිවරු පිනවන දිව්‍ය බළමුළුවල හඬයි ඔය ආකාරයෙන් සංගීතය පතුරුවන්නේ. ආටානාටිය සූත්‍රයේදී ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සතරවරම් දෙවිවරුන්ගේ ප්‍රකාශය අනුමතකොට වදාරනවා. භික්‍ෂු භික්‍ෂුණී, උපාසක උපාසිකා සිව්වනක්‌ පිරිසේ පහසු විහරණය උදෙසා සම්‍යදෘෂ්ටික දිව්‍ය, යක්‍ෂ බළමුළු නිරතුරුවම ආරක්‍ෂාව සපයනවා කියලා. ඉහත සටහන තුළින් මේ මොහොතේ ඒ යථාර්ථය සනාථ වෙනවා.

ඉන්ද්‍රජිත් සුබසිංහ

14-III-දෙවියන්ද වඳින පින් බිමයි මේ…..

දෙවියන්ද වඳින පින් බිමයි මේ…..
2012 විනාශයක්‌ ගැන (සත්පුරුෂ) ඔබ බියවිය යුතු නැත


විශේෂ ලිපියකි.


භික්‍ෂුව මේ මොහොතේ වැඩ සිටින කුටියට පැමිණි ආගන්තුක වැඩිහිටි ස්‌වාමීන්වහන්සේ නමක්‌ ප්‍රකාශ කළා වසර 2012දී ලෝකයේ සිදුවන යම් අසහනකාරී තත්ත්වයක්‌ සම්බන්ධයෙන් ලෝකයා කතාබහ කරන බව. පිංවත් උන්වහන්සේද ඒ ගැන රටේ ලෝකේ කතාකරන මතවාද කිහිපයක්‌ම ප්‍රකාශ කළා. භික්‍ෂුවට මේ ගැන කිසිදු දැනීමක්‌ නැහැ. ඔය වගේ කිහිපදෙනෙක්‌ කියපු දේවල් අසා තිබෙනවා පමණයි. මේ සිද්ධිය මෙතැනින් අහවර වුණා. එය හුදෙක්‌ පිළිසඳරක්‌ පමණක්‌ වුණා. එක්‌තරා භික්‍ෂුවක්‌ ඉහත සිතිවිල්ල සිතමින් සිට අරමුණු වලින් බැහැරව හුදෙකලා කුටියේ සමාධිමත්ව වැඩසිටින විට භික්‍ෂුවට ඇසෙනවා ‘

අප ශ්‍රී ලංකා මාතා… නමෝ නමෝ නමෝ නමෝ මාතා… ශ්‍රී ලංකා ජාතික ගීය (සම්පූර්ණයෙන්ම)

මෙය ගැයෙන්නේ පිරිමි සහ කාන්තා කටහඬින්. භික්‍ෂුව අරමුණු නොකරම, මේ ඇසෙන්නේ දිව්‍ය ශ්‍රොaත හඬ. ඒ කියන්නේ දෙවියන්ගේ හඬ.

එම ගීතයේ හඬ සමග සංගීත රාවය එකදිගට භික්‍ෂුවට ඇසෙන්නට පටන්ගත්තා. වේලාව අලුයම 1ට පමණ ඇති. වනගත මුළු ප්‍රදේශයම දැඩි නිහඬතාවක තිබුණා. භික්‍ෂුවට දැනුණේ භික්‍ෂුව මොහොතකට පෙර සිතමින් සිටි සිතිවිල්ල. 2012 වසර කෙරෙහි දෙවියන්ගේ ප්‍රතිචාරය තමයි දිව්‍ය ශ්‍රොaත තුළින් ඇසෙන්නේ. භික්‍ෂුව ලැබූ මේ අත්දැකීම පිංවත් ඔබට මෙහි සටහන් කරන්නේ ලෝකයා සමඟ සසඳා බලනකොට පිංවත් ඔබ මොනතරම් වාසනාවන්තද කියලා ඔබට දැනගන්නයි.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සුගතිය වශයෙන් හඳුන්වන ලද සශ්‍රීක දිව්‍යතල වල දෙවියන් පවා මේ බෞද්ධ රටේ උතුම් පිංවතුන්ලා වෙනුවෙන් ආශිර්වාද කරනවා. ලක්‌ මාතාවට යහපතක්‌ වේවා, සුරක්‍ෂිත වේවා කියලා. පිංවත් ඔබ හොඳින් දැනගන්න ඕනේ සුගති භූමිවල වැඩසිටින මාර්ගඵල ලාභී නොවන සශ්‍රීක දෙවිවවරුන්, දිව්‍යාංගනාවන් කියන්නේ කවුද කියලා. පායාසී කියන සූත්‍රයේදී කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ දේශනා කරනවා සශ්‍රීක දිව්‍යතල වල වැඩසිටින දෙවියන් හැමවිටම මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයාට යොදුන් සියයක්‌ ඈතින් ඉන්නේ කියලා. එම දෙවියන් මනුෂ්‍යයාට යොදුන් සියයක්‌ ඈතින් ඉන්නේ මනුෂ්‍ය ගඳ දෙවියන්ට ඉවසන්නට බැරි නිසා. මෙතැනදී මනුෂ්‍යයාගේ ගඳ කියලා කියන්නේ මනුෂ්‍යයාගේ දහඩිය ගඳ නොවෙයි. මනුෂ්‍යයාගේ දුසිල්වත්භාවයේ ගඳ, අසත්පුරුෂභාවයේ දුගඳ, තෘෂ්ණාවේ අපුල දුගඳ ඉවසන්න, දරන්න දෙවියන්ට බැරි නිසයි දෙවියන් නිරතුරුවම මනුෂ්‍යයාට වඩා යොදුන් සියයක්‌ ඈතින් වැඩසිටින්නේ. නමුත් ශීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් පිරිසිදු පිංවත් මනුෂ්‍යයන් ළඟට දෙවියන් එනවා. දෙවියන් එම පිංවතුන්ට ආශිර්වාද කරනවා. පිංවත් ඔබට, මට මනුෂ්‍ය ලෝකයේ සිට සශ්‍රීක දිව්‍යතල වලට ඇති දුර යොදුන් ලක්‍ෂ ගණනක්‌ වුවද ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ උතුම් ධර්ම මාර්ගය තුළ එම දිව්‍ය තලවල හඬ ගෙදර තිබෙන ගුවන් විදුලියේ හඬ තරමටම අපට සමීපකොට දී තිබෙනවා. මේ සම්මා සම්බුදු ඥානයේ උතුම් ආශ්චර්යයි. සමාධියේ ආශ්චර්යයෙන් අත්දකින ලෝකය විදර්ශනාවේ අවබෝධයෙන් අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම වශයෙන් දකිමින් ලෝකයෙන් මිදෙන මාර්ගයක්‌ බෞද්ධ අපට උරුමකර දී තිබෙනවා.

මේ ආශ්චර්යය දකිද්දී, ඇසෙද්දී, කියවද්දී තෙරුවන් කෙරෙහිමයි පිංවත් ඔබ ශ්‍රද්ධාව සකස්‌කොට ගතයුත්තේ. පිංවත් ඔබටත් මේ සම්බුදු උණුසුම උරුමයි. මාර්ගය තුළ නිවැරැදිව ගමන්කළොත් මනුෂ්‍යයින්ට යොදුන් සියයක්‌ ඈතින් වැඩසිටින දෙවියන්, දිව්‍යාංගනාවන් කියන්නේ අතීත මනුෂ්‍ය ජීවිත වල තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවේ, දානයේ, ශීලයේ ඵලයයි. මනුෂ්‍ය ලෝකයේ කුණුකසළ, අපුල, ගේ දොර ඉඩකඩම්, සැමියා, බිරිඳ, දූ දරුවන්, කීර්ති ප්‍රශංශා, නිලතල වලට ඇති ජන්ද රාගයේ විෂ තාවකාලිකව මරාදැමූ උතුම් ශිල්වතුන්ගේ සුගති භූමියයි සශ්‍රීක දිව්‍ය තල කියන්නේ. මෙවන් සුගති භූමිවල වැඩසිටින දෙවියන් මේ පුණ්‍යදීපයට සෞභාග්‍යයක්‌ වේවා කියලා දිව්‍ය සංගීතයෙන් ආශිර්වාද කරනවා. බලන්න පිංවත් ඔබ නොදකින, පිංවත් ඔබ නොසිතන, කහවණු – ඩොලර්, රියාල් පසුපස්‌සේ හඹායන බැංකු ගිණුමේ ඉලක්‌කම් පේළිය වැඩිකරගැනීම උදෙසාම වෙහෙසෙන පිංවත් ඔබ අමතක කළා වූ මතකයක්‌ දෙවියන්ට තිබෙනවා. දෙවිවරු දන්නවා තමන්ට මෙවන් අසිරිමත් දිව්‍ය සැපයක්‌ ලබාගැනීමට උපකාර වූ සද්ධර්මය අවංකවම, විවෘතවම, තවමත් බබළන්නේ මේ ධර්මද්වීපයේය කියලා. නමුත් මේ ධර්මද්වීපයේ උතුම් මනුෂ්‍යයින් හැටියට ඉපදිලා පිංවත් අපි මුදලට, කීර්තියට, දේපළට වැඳවැටෙමින් ඒවා මත්තේම අපේ උතුම් බෞද්ධකම දුර්වල කරගත්තත් ඒ සශ්‍රික දෙවියන් සද්ධර්මය හේතුවෙන් ලබාගත් ඒ සශ්‍රීක දිව්‍යශ්‍රීය අත්විඳිමින්ම ඒ සද්ධර්මය තවමත් බැබළෙන මේ පිංබිමට, ශ්‍රී ලංකා මාතාවට ‘

නමෝ නමෝ මාතා’ කියලා නමස්‌කාර කරනවා ගීතයෙන්. මේ උතුම් රට රැකේවා, චිරාත් කාලයක්‌ දිනේවා කියලා.

දෙවියන් එහෙම මේ උතුම් රටට චිරාත් කාලයක්‌ දිනේවා කියලා ආශිර්වාද කරන්නේ ඔබ අප මෙන් කුණුකසළ ලෞකික සම්පත් බලාපොරොත්තුවෙන් නොව මේ උතුම් සද්ධර්මයේ ආරක්‍ෂාව, මේ උතුම් ධර්මය එක දිනක්‌ හෝ වැඩිපුර ආරක්‍ෂාවී පවතීවා කියන සත්පුරුෂභාවයෙන්මයි. දෙවිවරු හොඳින් දන්නවා තමන් යම් දවසක දිව්‍ය සැප අහවර වී දිව්‍ය තල වලින් චුතවුවහොත් නැවත දෙවියෙක්‌ වීමටනම් සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහන් නොවී පවතින්න ඕනේය කියලා. ඒ වගේම පිංවත් දෙවියන් දන්නවා මේ ගෞතම ශාසනය අවසන් මොහොත දක්‌වා රැකෙන්නේ මේ උතුම් පින් බිමේමයි කියලා.

සශ්‍රික දිව්‍යතල වල සිටින දෙවියන්ගේ අම්මා කියන්නේ සද්ධර්මයට. සද්ධර්මය නැමැති අම්මාගෙන් තමයි, එහි ඵලයෙන් තමයි දිව්‍ය සම්පත් දෙවියන්ට ලැබෙන්නේ. බලන්න සද්ධර්මයට දෙවියන් මොනතරම් කෘතගුණ සලකනවාද කියලා. නමුත් උතුම් සුගතිභූමියක්‌ වන මේ මනුෂ්‍ය ලෝකයේ උරුමය ලැබූ ඔබ දවසකට එක පැයක්‌ සද්ධර්මය වෙනුවෙන් කැපවෙනවාද? ඔබ ලබන ආදායමෙන් අවම වශයෙන් සියයට දහයක්‌ වත් කර්මය, කරමඵල විශ්වාසයෙන්, තෘෂ්ණාවෙන් තොරව දන් දෙනවාද? අවම වශයෙන් පංචශීලය නිතිපතා ආරක්‍ෂා කරගන්න උත්සහ ගන්නවාද? ලෝකයාට නොවේ, අවම වශයෙන් තම සැමියා, බිරිඳට, එසේත් නැතිනම් අසල්වැසියාටවත් මෛත්‍රිය වඩනවාද? පිංවත් ඔබේම හදවතට තට්‌ටුකර ඔබම අසන්න.

උත්තරය
නැහැ’ නම් පිංවත් ඔබ අසත්පුරුෂයෙක්‌ බව ඔබම දකින්න නිහතමානී වෙන්න. මොකද ඔබට මේ මනුෂ්‍ය ජීවිතය ලබාගන්න උපකාරවූ උතුම් ධර්මයන්ට ඔබ කෘතවේදී නොවන නිසා. පිංවත් ඔබට දෙවියන් නොපෙනුණාට දෙවියන්ට ඔබව පෙනෙන බව සිතන්න. උපක්‍රමශීලීව එහෙම සිතාවත් වහ වහා නිවැරදි වෙන්න. ලෝකයාව රවට්‌ටන්න අපිට පුළුවන් වෙන්න පුළුවන්. එහෙත් ලෝක ධර්මතාවයන් රවට්‌ටන්න අපට බැහැ. ඒ වගේමයි. මනුෂ්‍යයින්ව රවට්‌ටන්න අපට පුළුවන්, නමුත් සශ්‍රික දිව්‍යතල වල දෙවියන් රවට්‌ටන්න අපට බැහැ. අප හොඳින් මතක තබාගන්න ඕනේ, සතුටින් සිනාසෙමින් ලෝකයාට වහන්වෙමින් අපි කොතෙක්‌ වැරදි කළත්, එම දුසිල්වත්භාවයේ විපාකයන් නිසා මරණින් මතු නිරයට වැටුණොත් නිරයේදී ඔබට මුණගැසෙන යම රජුත් සශ්‍රික දිව්‍ය තලයකට සිටින දෙවිකෙනෙක්‌ම බව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති බව මනුෂ්‍ය ලෝකයේදී සියල්ල ඔබ මුදලට ගත්තත් යමරජු ඉදිරියේ ඔබ නිරිසතෙක්‌ බව සිහිතබාගත යුතුය. උපරිම අවුරුදු 80ක ජීවිතයක්‌ උදෙසා, තාවකාලික තනතුරක්‌ උදෙසා ඇයි දෙයියනේ මේ උතුම් සද්ධර්මයෙන් බැහැරට ගොස්‌ නිරයට වැටෙන්නේ. මෙලොව පරලොව දෙකේදීම ඔබ අනාරක්‍ෂිත වෙනවා.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ධර්මය අර්ථය තුළ මේ ජීවිතය දැකිය යුත්තේ නාසයෙන් ඉහළට ගත් ආශ්වාස පොද නාසයෙන් පිටවන මොහොතේ මේ ජීවිතයේ මරණය සිදුවේය කියන අර්ථයයි. නමුත් ලෝකය පවතිනවා, සංස්‌කාරකයන්ට නිජබිමක්‌ වෙමින්. ඒ නිසා කිසිවක්‌ අපට අවශ්‍ය විදිහට සිදුවන්නේ නැහැ. ලෝකයේ නිරතුරුවම අතුරු විනාශයන් සිදුවෙමින් පවතිනවා. සතර මහා ධාතුවේ කිපීම නිසා විනාශයන් සිදුවෙන්න පුළුවන්. පස්‌ස, වේදනා, සංඥා, සංස්‌කාර, විඤ්ඤාණ කියන පංච උපාදානස්‌කන්ධය නිත්‍යභාවයෙන්, ආත්මීය භාවයෙන් ගැනීම නිසා දෙවියන්ගේ, මනුෂ්‍යයන්ගේ, අමනුෂ්‍යයන්ගේ වියරුභාවය, තෘෂ්ණාධිකභාවය නිසා විනාශයන් සිදුවෙන්න පුළුවන්. මේ ආකාරයේ විනාශයක්‌ වළක්‌වන්න දෙවියන්ට බැහැ. මොකද විනාශය කියන්නේ ධර්මය. ඒ කියන්නේ අනිත්‍යය. මාර්ගඵලලාභී නොවන දෙවියනුත් මේ ධර්මථාවයන්ට යටයි. නමුත් සුගතිභූමි වල වැඩසිටින මහේශාඛ්‍ය දෙවියන්ට පුළුවන් පිංවතුන්ට උපකාර කරන්න. මොකද ඒ අය සුරක්‍ෂිත නිසා. ඒ සුරක්‍ෂිතභාවය දෙවියන් ලබාගන්නේ ධර්මය තුළින්. ඉරවල් හතක්‌ පායා කල්ප විනාශයක්‌ සිදුවන මොහොතේත් මාර්ගඵල ලැබූ දෙවියන්, දිව්‍යාංගනාවන් සුරක්‍ෂිතයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ උතුම් මොහොතේ දිව්‍යතල වල වැඩසිටින දෙවිවරුන් ‘

අප ශ්‍රී ලංකා මාතා නමෝ නමෝ මාතා’

කියලා මේ බොදු දේශයට ආශිර්වාද කරන්නේ ‘

අප සුරක්‍ෂිතයි, පිංවත් මනුෂ්‍ය ඔබත් ශ්‍රී සද්ධර්මය තුළින් සුරක්‍ෂිත වෙන්න’ කියන කාරණය මතක්‌ කරන්නයි. බලන්න ධර්මයේ සුරක්‍ෂිතභාවයෙන් සිංහනාද කරන දෙවිවරු. ඒ දෙවියන් සිංහනාද කරන්නේ කල්ප විනාශයක්‌ පැමිණියත් අප සුරක්‍ෂිතයි කියලා. නමුත් මේ උතුම් සද්ධර්මය ජීවමානව පවතින මේ ධර්මද්වීපයේ මනුෂ්‍ය අපි සුනාමියක්‌ එයි, මිසයිලයක්‌ එයි, භූමිකම්පාවක්‌ එයි කියලා හැංගෙන්න බංකර් හදනවා. ශාන්තිකර්ම කරනවා. දේවාල පස්‌සේ දුවනවා. තවත් සරළව පැහැදිලි කරනවා නම් අපි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, දානයෙන් දුර්වලයි කියන කාරණයයි.

පිංවත් ඔබට බියක්‌ සකස්‌ වෙනවා නම් ඔබ කළ යුත්තේ බංකර් තැනීම, යන්ත්‍ර මත්‍ර, ශාන්තිකර්ම කිරීම නොව, සුරක්‍ෂිතභාවය සඳහා අවශ්‍ය ශ්‍රද්ධාව, ශීලය, දානය කියන බංකර තුන ශක්‌තිමත්ව ජීවිතය තුළින් ගොඩනගා ගැනීමය. කල්ප විනාශයකදීවත් එම බංකර බිඳින්න බැරිබවට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සහතිකයක්‌ දෙනවා.

(මෙහි දෙවැනි කොටස ලබන සතියේ පළ වේ)

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

14-II-බුදු සිතක සිතිවිල්ලක්‌ ඔබේ සිත තුළත් උපදවාගන්න

2012-01-08

බුදු සිතක උපදිනා සිතිවිල්ලක්‌ ඔබේ සිත තුළත් උපදවාගන්න
නව වසරට ධාර්මික ප්‍රවේශයක්‌ සඳහා කෙරෙන ආරාධනය II

අතහැරීම 14-II කොටස

ඉකුත් කොටසින් සඳහන් කළේ දෙසැම්බර් 31දා රාත්‍රියේ නගරයේ මෙන්ම ගමේත් ඇසට පෙනෙන, කනට ඇසෙන පැත්ත. සාමාන්‍ය ස්‌වභාවය. මීට වඩා වෙනස්‌ ස්‌වභාවයකුත් වර්තමාන සමාජය තුළ වර්ධනය වෙනවා. හෝටල්වල පෞද්ගලිකව වෙන්කරගත් ස්‌ථානවල නව වසර උදාව සමරන අයට අවුරුදු උදාවෙන්නේ අඳුරේ. ප්‍රඥාවේ ආලෝකයක්‌ මේ අයට කොහොමටවත් නැහැ. ජල විදුලියේදී තාප බලාගාරයේ ආලෝකය පමණයි තිබෙන්නේ. එම ආලෝකයත් නිවා දමා, අඳුරේ තමයි අවුරුදු උදාවට අවතීර්ණ වෙන්නේ. ඒකෙන්ම පෙනෙනවා අවිද්‍යා සහගත සිත, ආලෝකයට ඇති අකමැත්ත, ආලෝකය නිවාදමා අඳුරට කැමතිවන්නේ අනුශය වශයෙන් ඉතිරිවෙලා තිබෙන හිරි ඔතප් දෙකත් ඒ රාත්‍රියේ නැති කරගන්න. හිරි ඔතප් දෙක නැතිවුණ තැන තවත් නැතිවෙන්න දෙයක්‌ තිබෙනවාද?

වසරක ආරම්භය මේ අය විසින් පටන්ගන්නේ ශීලයට සෘණාත්මක අගයක්‌ දෙමින්. ශීලයෙන් ගිළිහුණ ජීවිතයක ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන් සරුසාර ලෙස වැඩෙනවා. මෙවන් සිත්වලින් ලබන්නාවූ වසරට කුමන ආධ්‍යාත්මික ශාන්තියක්‌ද? භෞතික දියුණුවක්‌ නම් සැලසේවී. ඒ බව සමාජයෙන් හොඳින් පෙනෙනවා සැකයකින් තොරවම. එහෙත් එය සතුටු වියහැකි කාරණයක්‌ නම් නොවේ.

පරලොව යහපත ගැන බලනකොට ලබන්නාවූ වසරේ අවම වශයෙන් පංච ශීලයවත් රැකගැනීමට අධිෂ්ඨානයක්‌ ඇතිකර නොගන්නා තැනැත්තා තමා තමාටවත් උපකාරයක්‌ කර නොගත් තැනැත්තෙක්‌ වෙනවා. ඔහු කෙසේ අනුනට උපකාර කරන්නද? කෙසේ නම් අනුනට ආශිර්වාද කරන්නද? ඔහු කෙසේ නම් ධර්මයේ අර්ථයක්‌ අත්දකින්නද? ධර්මයේ අර්ථයන් අත්නොදකින තැනැත්තා රාත්‍රී 12ට අවදි වී සිටියත් මෙලොව පරලොව දෙකේ එම ඔහු ප්‍රමාදිභාවයට පත්වෙනවා. මේ අයෝනිසෝ මනසිකාරයෙන් යුතුව ඔබ සිදුකරන්නා වූ ක්‍රියාවන් නිසා ඔබට පැහැදිලිව, විවරව තිබෙන ධර්ම මාර්ගය ඔබ විසින්ම වසාගන්නවා. ඔබ මේ ජීවිතයේ සශ්‍රීකභාවය ලබන්න, පෙර ජීවිතයේදී මොනතරම් දානමය, ශීලමය පිංකම් සිදුකරගෙන තිබෙන්න ඕනෙද? අතීත භවයන්හීදී මනුෂ්‍ය ජීවිතවල ඉපදී සිදුකරගත් කුසල් විපාකවල සැපය මේ ජීවිතයේදී අත්විඳිනකොට ඔබ ඒ සශ්‍රීකභාවය, මහේශාක්‍යභාවය, සෞභාග්‍යමත් ජීවිතය අත්විඳින්නේ පිංවත් ඔබට අතීතයේ උපකාරවූ දානයට, ශීලයට මේ ජීවිතයේද සෘණාත්මක අගයක්‌ ලබාදෙමින් නේද? මේ සෘණාත්මක බව නේද වර්තමාන සමාජයේ ඇසෙන අවිද්‍යාවේ කන්බිහිරි කරවන හඬ, ශීලයමයි පිංවත් ඔබට උපකාර වූයේ මේ උතුම් මනුෂ්‍ය ජීවිතය ලබන්නට. දානයමයි ඔබට උපකාර වූයේ මේ උතුම් මනුෂ්‍ය ජීවිතයේ ආයුෂ, වර්ණ, සැපය, බලය ලබන්නට. ඒ නිසා කෘතවේදීව පිංවත් ඔබ සත්පුරුෂභාවයෙන් යුතුව ඔබට උපකාරවූ ධර්මතාවයන් ගරුකරන්න. ඒවාම ජීවිතයේ වටිනාකම් බවට පත්කරගන්න. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, කර්මය කර්මඵල පිළිබඳ විශ්වාසයෙන් පිංවත් ඔබ ශීලමය, දානමය පිංකම් උදාවෙන සෑම නව වසරකම ඔබට මුණගැසෙන කළ්‍යාණ මිත්‍රයා කරගන්න. ඔබට සුබපතන හිතවතා කරගන්න. ඒ කළ්‍යාණ මිත්‍රයා ඔබට සුබ පැතුවොත් පමණක්‌මයි ඔබ ලැබූ උතුම් මනුෂ්‍ය ජීවිතය සුබ ජීවිතයක්‌ වෙන්නේ. ලැබුවා වූ නව වසර සුබ වසරක්‌ වෙන්නේ.

මේ කළ්‍යාණ මිත්‍රයා ඔබ තුළමයි සැඟවී සිටින්නෙ. මොහු සැඟවී සිටින්නේ ලෝභ, ද්වේෂ, මෝහ නැමැති මාර ධර්මයන්ට බියෙන. එසේත් නැතිනම් මාර ධර්මයන් කෙරෙහි ඇතිකරගත් ඡන්දරාගය නිසා ඔබට සැඟවෙමින්. පිංවත් ඔබ දක්‍ෂවෙන්න ඕනේ මේ බියෙන් ඔබේ කළ්‍යාණමිත්‍රයා මුදවාගන්න. ඉස්‌මතු කොටගන්න. එය කරන්න පුළුවන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, කර්මය, කර්මඵල පිළිබඳ විශ්වාසය ඔබ තුළ ඇතිකර ගැනීම තුළින්. මේ කාරණා දෙකේ අර්ථයෙන් ඔබ සන්නද්ධ වෙනකොට ඔබේ කළ්‍යාණ මිත්‍රයා ශක්‌තිමත් භාවයෙන් නැඟීසිටිනවා. ඔබව කුසල් මාවතට යොමුකරනවා. සතර අපායෙන් මිදීමේ මාවතට ඔබව යොමුකරනවා. භික්‍ෂුව මේ දේවල් සටහන් කළත් මේවා අර්ථවත්ව ක්‍රියාත්මකවීම බොහොම දුර්වලයි. ඒ නිසා ඔබ අනුන් ගැන සිතන්න එපා. ඔබ තනි තනිව ඉහත සටහන ජීවිතයට ගලපාගන්න. ලෝකය, ලෝකයේ ස්‌වභාවයෙන් පවතීවී. පිංවත් ඔබ ලෝකයෙන් මිදීමේ ස්‌වභාවයට එන්න. ලෝකයෙන් මිදීමේ ස්‌වභාවයට සැමවිට තිබෙන්නේ අඩු පෝලිම බව ඔබ සිතන්න ඕනේ. සෙනඟ වැඩි, පිරිස වැඩි පෝලිම හැමදාමත් ලෝකයේ පැවතීම දෙසටයි තිබෙන්නේ. ඒ කියන්නේ දුක දෙසට, මාරයාගේ ලෝකයේ ව්‍යවහාර මුදල් තමයි දුක, සමාජය අලුත් වටිනාකම් හැටියට සොයාගන්නා, ක්‍රියාත්මක කරන දේවල අවසාන ප්‍රතිඵලය දුකයි. ඇයි පිංවත් ඔබට බැරි ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ සිතේ ඇතිවූ සිතිවිල්ලක්‌ ජීවිතයේ තීරණාත්මක අවස්‌ථාවක, ජීවිතයේ සුබ අවස්‌ථාවක ඔබේ සිතුවිල්ලක්‌ කරගන්න. ඇයි ඔබට බැරි අතීතයේ වැඩසිටියාවූ රහතන්වහන්සේ නමකගේ සිතෙහි ඇතිවූ සිතිවිල්ලක්‌ ඔබේ සිතිවිල්ලක්‌ කරගන්න. එවන් උත්තමයකුගේ සිතෙහි ඇතිවූ සිතිවිල්ලක්‌ අපිට සිතන්න බැහැයි කියමුකෝ. එහෙමනම් ගිහි ජීවිත ගතකළ අනේපිඬු සිටුතුමන්, විශාඛාව වැනි ධර්මයෙන් ජීවිතය ජයගත් පිංවතුන්ගේ සිතෙහි ඇතිවූ සිතිවිල්ලක්‌ ඔබ ඔබේ සිතිවිල්ලක්‌ කරගන්න. එහෙම සිතනකොට මොනතරම් සැනසිල්ලක්‌ද ජීවිතයට. මෙවැනි ශ්‍රද්ධාවෙන් සකස්‌වෙන සිතිවිල්ලකට පුළුවන් ඔබට අප්‍රමාණ සැපයක්‌ මෙලොව පරලොව වශයෙන් ලබාදෙන්න. පිංවත් ඔබ දෙසැම්බර් 31 රාත්‍රියේ රතිඤ්ඤාවක්‌ පත්තුකරලා ඔබම එහි පිපිරුමට බියෙන් ඈතට දුවනවා. නැතිනම් රතිඤ්ඤා කරල ඈතට විසිකරනවා.

රතිඤ්ඤdව පත්තුවෙනකොට එහි පිපිරුම් හඬට බියෙන් ඔබම ඔබේ කන්දෙක වසාගන්නවා. ඒ කියන්නේ ඔබම එම ක්‍රියාවෙන් පීඩාවට පත්වෙනවා. ඔබ පීඩාවට පත්වෙමින් අන්‍ය සත්වයින්වත් පීඩාවට පත්කරනවා. අවසානයේදී එකම රාත්‍රියේදී සියල්ලෝම පීඩාවට පත්වෙලා. රතිඤ්ඤාව පත්තුකරන කෙනා තුළ සතුටක්‌ ඇතිවෙනවා තමයි. එම සතුටත් කාමච්ඡන්දයන් ගණයටයි වැටෙන්නේ. කාමච්ඡන්දයන් කියලා කිව්වේ පංචනීවරණයෙන් එක ධර්මතාවයක්‌ මාරයා විසින් සත්වයා සතර අපායෙන් එතෙරවීම වැළැක්‌වීම සඳහා දමන මරතොණ්‌ඩුව තමයි කාමච්ඡන්දය කියන්නේ. නව වසරක උදාවට පිංවතුන්ලා නොදැනුවත්භාවය නිසාම මාරයාගේ මරතොණ්‌ඩුවක්‌ සියතින්ම ගෙලට දමාගෙන.

තෙරුවන් සරණ ගිය පිංවත් ඔබ ජීවිතයේ සෑම විශේෂ අවස්‌ථාවකදීම ජීවිතය පටන්ගන්න ඕනේ තෙරුවන් ගුණය කෙරෙහි හිත පිහිටුවලා. ශීලයේ අර්ථයෙහි සිත පිහිටුවලා. එතැනයි ඔබේ ජයග්‍රාහී ගමනක ඇරඹුම. ආගන්තුකව පැමිණෙන වටිනාකම් ඉදිරියේ පිංවත් ඔබට ඔබේ බෞද්ධකම අමතක වෙනවා. “සතිය සිහිය අඩුයි” තරගයට වැටීමටයි කැමති, තරගයෙන් මිදීමට කැමති නැහැ. තරගයට වැටුණු කෙනාට ජය පරාජය දෙකෙන් එකක්‌ උරුමයි. තරගයෙන් මිදුන කෙනා මේ දෙකෙන්ම මිදීමේ මාර්ගයටයි අවතීර්ණවෙන්නේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්වයා නිරතුරුවම යෝනිසෝ මනසිකාරය නැතිවීම හේතුවෙන් භවආශ්‍රවයන් වැඩෙන දිශාවටයි ගමන්කරන්නේ කියලා අන්‍යයන්ටත්, තමන්ටත් පීඩාගෙනදෙන නොකළයුතු දෙය, දුරුකළයුතු දෙය, මගහැර යායුතු දෙයින් මිදෙන්නට වීර්යය නොමැතිනම් භෞතික වශයෙන් ඔහු කොතෙක්‌ දියුණු වුවද අඥාණවත් පෘථග්ජනභාවයේ පරාජයමයි ඔහුට හිමිවන්නේ. නොවටිනා සැපයක්‌ උදෙසා ඔහු වටිනා අර්ථයක්‌ අහිමිකරගන්නවා. රතිඤ්ඤාවක ආලෝකයට, හඬට මුලාවී එය විඳීමට යාමෙන් රැස්‌වන අකුසල් හේතුවෙන්, නිරයේ දිලිසෙන ගිනි ජාලාවකට වැටුණහොත් කවදා කෙළෙස නම් ගොඩඑන්නද? එදාට ඔබේ කඳුළු පිසදැමීමට, දුක නැතිකිරීමට කිසිවෙක්‌ නොමැත. රතිඤ්ඤාවකට ඔබේ ඇඟිල්ලක්‌ පිළිස්‌සුණොත් ඔබ මොනතරම් වේදනාවක්‌ විඳිනවාද? එහෙමනම් නිරයේ ගිනිජාලා තුළ සත්වයා විඳින වේදනාව ඔබම සිහිකොට ගන්න. මෙම දුක ඔබට මට නුහුරු දෙයක්‌ නොවේ. ඒ සංසාරික පුරුද්ද නිසා තමයි අපි තවමත් ගින්දරට, අඳුරට කැමති. දක්‍ෂයා ගින්දරත්, අඳුරත් නිවැරදිව හඳුනාගෙන, ගින්දරත් අඳුරත් උරුම සතර අපායෙන් මිදීමේ මාවතටයි ගමන්කරන්නේ. පිංවත් ඔබ ජීවිතයේ සෑම සිහිකටයුතු අවස්‌ථාවකදීම සිල්පදයක්‌ රැකීමෙන් ලබන අප්‍රමාදීභාවය ජීවිතයට ලබාදෙන්න. දානයක්‌ පූජාකර ගැනීමෙන් ඔබ ලබන නිර්ලෝභී සතුටම ජීවිතයට ලබාදෙන්න. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ඔබ ඇතිකරගන්නා ආත්ම විශ්වාසයම ඔබේ ජීවිතයට ලබාදෙන්න. මීට විරුද්ධ මාර්ගයේ ගමන් කොට ඔබ ඔබෙන් පළිගන්න එපා. පෙර ජීවිතවලදී ඔබ ඔබේම ශක්‌තියෙන් ගොඩනගාගත් කුසල් ශක්‌තිය අකුසලයේ දුකින් යටපත් වෙන්න දෙන්න එපා.

වසරක්‌ උදාවෙන්නේ වසරක අවසානයද, මරණයද දෝතින් දරාගෙනය. නමුත් මරණය නොදකින ඔබ වසරේ ආරම්භය ප්‍රීතියෙන් සමරයි. ඉපදී දින 365 කින් මැරෙන අවුරුද්දක ආරම්භය උදෙසා භවයට යන අකුසල් රැස්‌කර ගැනීමට ගැන අපි අවධානය යොමුකළ යුතුය. වසරක උදාව ළංවෙනකොට සමාජය හුඟක්‌ කතාකරන්නේත්, ජනතාව දැනුවත් කරන්නේත් අනතුරු හඟවන්නේත් ආරක්‍ෂාකාරී ලෙස රතිඤ්ඤා පත්තුකරන ලෙසය. මෙහිදී ආරක්‍ෂාව යනු ශරීරයට ගිනි අනතුරුවලින් වළක්‌වා ගැනීමේ ආරක්‍ෂාවයි. අතපය පිළිස්‌සුන හොත් එය සතියකින්, මාසයකින් සනීපවේවි. එහෙත් මෙහි අකුසල් ස්‌වභාවයන් ගැන අවධානය යොමු නොකර නැවත නැවත එම ක්‍රියාවන් කිරීමෙන් මරණින් මතු නිරයේ ගිනි ජාලාවකට වැටුණහොත් කල්ප ගණන් එම දුක ඔබට විඳීමට සිදුවනු ඇත.

පිංවත් ඔබ වසරක්‌ උදාවෙන මොහොතේ පන්සලේ, නිවසේ, බුදුකුටියේ පහන් ආලෝකය දල්වා දස දිසාවටම මෛත්‍රිය පතුරවමින් පෙනෙන නොපෙනෙන සියලු සත්වයින්ට මෛත්‍රිය කොට වසර ආරම්භකරන්න. එවිට දෙවියන් අමනුෂ්‍යයින් පවා ඔබට ප්‍රිය වේවි. එය ඔබට මෙලොව පරලොව දෙකටම යහපත පිණිස වේවි. අත් පිළිස්‌සෙන්නේ වත්, ඇස්‌ අන්ධවන්නේ වත්, අපාගතවෙයි කියලාවත් බියක්‌ ඇතිවෙන්නේ නැහැ. සම්බුදු වදනක්‌ ක්‍රියාත්මක කළාය කියන ආත්ම තෘප්තියමයි ඇතිවන්නේ. එම ආත්මතෘප්තිය, සතර අපායෙන් ඔබ්බට ඔබව ඔසවා තැබීමට වසර පුරාවට ඔබට මාර්ගය පෙන්වාදේවී. අපිට කියන්න පුළුවන්ද ලෝකය පුරාවට ඇතිවෙමින් පවතින දේශගුණික විපර්යාසයන් හේතුවෙන් අපේ ජීවිත කුමන මොහොතක විනාශවී යයිද කියලා. ඒ අවදානම ජයගැනීම උදෙසායි ඔබ ක්‍රියාකළ යුත්තේ. ඔබ නිරතුරුවම, ජීවත්වීමයි අභියෝගයක්‌ හැටියට දකින්නේ. ඔබ අභියෝගයක්‌ හැටියට දැකිය යුත්තේ උපතයි. මේ අභියෝගයෙන් මිදෙන්න උත්සහ ගන්නා පිංවතා උපරිම වශයෙන් ජීවිත හතකට එය සීමාකර ගන්නවා. මෙන්න මේ ජයග්‍රහණය අත්කරගත් පුද්ගලයායි “ජීවිතය ජයගත්තා”ය කියන තැනැත්තා. එතැතින් මෙහා ජීවිතයක මොන ජයක්‌ද?

සමාජය මනින මිනුම් දඬුවලින්, සමාජ වටිනාකම්වලින් ජීවිතය ජයගත්තාය කියන සමහරක්‌ නායකයින්. ප්‍රභූ පුද්ගලයින් ගැන ඔබ සිහි නුවනින් බලන්නකෝ. පිංවත් එම පිරිස්‌ වෘත්තියෙන්, ව්‍යාපාරයෙන්, දැනුමෙන්, වත්පොහොසත් කම්වලින් ජයගන්න බව ඇත්ත. ඒත් ඒ ජය ඔවුන් ලබාගන්නේ ශ්‍රද්ධාව, ශීලය යන ධර්මයන් උගසට තියලා. ඊළඟ ජීවිතයේදී මේ අයට ලැබුවා වූ මහේශාක්‍යභාවය නැමැති මුදලත්, ඊට අදාළ පොලියත් දෙකම ගෙවන්න වෙනවා. පෙර මනුෂ්‍ය ජීවිතවල ඉපැදිලා, ශ්‍රද්ධාවත් ශීලයත් උගසට තබා ජීවිත ජයගන්න අය තමයි ඔය ප්‍රේත, තිරිසන් නිරයේ උපත ලබා දුක නැමැති මුදලත්, පොළියත් දෙකම සිය කැමැත්තෙන්ම ගෙවමින් ඉන්නේ. ඔබේ ඔය ඇස්‌ ඉදිරිපිටම ඉන්න තිරිසන් සතුන් කියන්නේ පෙර ජීවිතවල හොඳ හොඳ මනුෂ්‍යයෝම තමයි. හොඳට හම්බකරලා, දේපළ රැස්‌කරලා, පංචකාම සම්පත් රිසිසේ භුක්‌තිවිඳලා. ශ්‍රද්ධාව ශීලය දානය කියන දුකින් මිදෙන දිශාවට ඔබට පිහිටවෙන ධර්මයන් අමතකකරපු මනුෂ්‍යයෝ. මෙන්න මේ ගැන සිතන කෙනායි සසර බිය ඇතිකර ගන්නේ. බහු මතවාද, දෘෂ්ඨි, විචිකිච්ඡාව සකස්‌කර ගන්නේ නැහැ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මාර්ගයටම අවතීර්ණ වෙනවා. සමාජයේ ගුරුවරුන් අප්‍රමාණව සිටිනවා. අප්‍රමාණ පතපොත තිබෙනවා. මේවා ලෝකයේ පැවතිය යුතු ස්‌වභාවයන්. විවිධත්වය කියන්නේ අනිත්‍යයයි.

අනිත්‍යය තිබෙන්නේ ගැටෙන්න නොවේ. මගහැරයන්න නොවේ. අවබෝධකොට ගැනීමටයි. පිංවත් ඔබට අවබෝධය කරායැමට පහසුම මාර්ගය ලොව්තුරා බුදුරජාණන්වහන්සේ තමාගේ එකම ගුරුවරයා බවට පත්කොට ගැනීමයි. උන්වහන්සේම දේශනාකොට වදාළ සූත්‍ර, විනය, ධර්මයන්ම පතපොත කරගැනීමයි. අතීතයේ වැඩසිටියාවූ උතුම් රහතන්වහන්සේලාගේම, අර්හත් භික්‍ෂූන්වහන්සේලාගේම, මාර්ගඵලලාභී උපාසක උපාසිකාවන්ගේම ජීවිත පරමාදර්ශී කොටගෙන ජීවිතය සකස්‌කර ගැනීමයි. ඉහත කාරණාවමයි මුල්වෙන්නේ. මුල වරද්දවා ගතහොත්, මැද අග දෘෂ්ඨි කාන්තාරවල අතරමං වෙන්න පුළුවන්. බුද්ධෝත්පාද කාලයක අවසාන හෝරා කිහිපයේ ජීවත් වන ඔබ තර්ක විතර්ක කරමින්, හරි වැරදි සොයමින් තව තවත් සක්‌කාය දෘෂ්ඨිය වැඩෙන දිශාවට යැම නොවේ කළ යුත්තේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානයෙන් මේ සංකීර්ණවූ ලෝකය ඉතාමත් සරල කොට දේශනා කර තිබෙන ධර්ම මාර්ගයේම ගමන් කිරීමය. ඔබේ ජීවිතයේ එළඹෙන සෑම වැදගත් අවස්‌ථාවකදීම බුද්ධානුස්‌සතිය, ධම්මානුස්‌සතිය, සංඝානුස්‌සතිය, ශීලානුස්‌සතිය, ත්‍යාගානුස්‌සතිය, දේවතානුස්‌සතිය, කියන මහානාම ශාක්‍යකුමරුන් උදෙසා බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ ධර්මය සිහිපත්කර ගන්නවා නම්, ඒ අනුව ජීවත්වෙනවා නම්, සක්‌කායදිට්‌ඨිය හීනවෙන දිශාවට ඉහත ධර්මයන් ජීවිතයට එකතුකර ගැනීමට ඔබ දක්‍ෂ නම් භව ගමනේ උපදීම ජීවිත 7 ක්‌ තුළදී බව නිරෝධය සාක්‍ෂාත් කරගැනීමටත්, එතෙක්‌ ආයුෂ, වර්ණ, සැප, බලයෙන් සශ්‍රීක මාර්ගඵලලාභී දෙවියෙක්‌, දිව්‍යාංගනාවක්‌ ලෙස දිව්‍ය අසිරිය අත්විඳීමට ඔබට හැකිවනු ඇත. මේ සහතිකය ඔබට ලබාදෙන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේමය. භව ගමනින් දුකම උරුම කොටගෙන සක්‌කායදිඨ§ටියේ කුණු හැව, මමත්වයේ දැඩිභාවය, නාමරූප ධර්මයන්ගේ අනිත්‍යභාවය දකිමින්ම මෙනෙහි කරමින්ම, ගලවාදමන්න.

අතහැරීමම පුරුදුකරමින්, හැකිතාක්‌ දන්දෙමින් ඊට ශක්‌තිය ලබාගන්න. එළඹෙන (ඊළඟ) දෙසැම්බර් 31 රාත්‍රිය සතර අපා දුකෙන් මිදෙන අවිහිංසාවේ රාත්‍රියක්‌ කරගන්න. මාර පුතෙක්‌ දුවෙක්‌ නොවී සම්බුදු ඇකයට පියනගන පුතෙක්‌ දුවෙක්‌ වෙන්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේත්, ධර්මයේත් ශක්‌තිය පිංවත් ඔබට යායුතු ඉදිරි මඟ පිළිබඳ සතිය සිහිය පිංවත් ඔබ තුළින්ම මතු කරදෙනු ඇත. එම සතිය සිහිය විසින්ම ඔබට භව දුකම උරුමකොට දෙන සක්‌කායදිට්‌ඨිය, විචිකිච්ඡා, ශීලබ්බතපරාමාස කියන බිහිසුණු රතිඤ්ඤාවන් පුස්‌වෙඩිල්ලක්‌ බවට ඔබ තුළින්ම පත්කරනු ඇත. මේ වන විටත් පිංවත් ඔබ සතර අපායෙන් මිදී ඇතැයි ඔබ තුළ විශ්වාසයක්‌ ඇතොත් එම විශ්වාසය සක්‌කාය දිට්‌ඨි, විචිකිච්ඡා, ශිලබ්බතපරාමාස කියන ධර්මතාවයන් සමඟ නැවත නැවත ගළපා බලන්න. ඔබ නිහතමානී වෙන්න. එම නිහතමානීභාවය යනු ඔබ විසින් ඔබ උදෙසාම ඇතිකරගන්නා කළ්‍යාණ මිත්‍රභාවයකි, අතීතයේ සෑම බුද්ධෝත්පාද කාලයකදීම අපට වැරදුණු එකම තැන ඔතන බව මෙනෙහි කරන්න. “මම” දෙවැනි තැනට දමා, බුදුරජාණන්වහනසේ දේශනාකොට වදාළ ධර්ම මාර්ගයම මුල් තැනට ගන්න. එවිට “මම” ධර්මයේ හිමිකරු, අයිතිකරු කියන මමත්වයේ දැඩිභාවයේ නොව, මමද ධර්මයේම කොටසක්‌ය යන නිහතමානීභාවය ඔබ තුළ ඇතිවනු ඇත. සාරිපුත්ත මහෝත්තමයන්වහන්සේ වරක්‌ සිංහනාදයක්‌ කරනවා “මම හරියට හරක්‌ රැළක සිටින අඟ කැඩිච්චි ගොනෙක්‌ වගෙයි” කියලා. ඒ කියන්නේ අඟ කැඩිච්චි ගොනා සැමවිටම රැලේ පැත්තකට වෙලා සිටින්නේ. නායකයා වෙන්න, පළමුවැනියා වෙන්න එන්නේ නැහැ. සිංහසෙයිHdවෙන් සිංහනාද කරන්න පුළුවන් නිහතමානීභාවය ජීවිතය තුළින් ඇතිකරගත් උත්තමයාටමය. මේ යථාර්ථය සමග ඔබේ ජීවිතය හොඳින් ගළපා බලන්න. එයම පිංවත් ඔබේ ජීවිතයට කමටහනක්‌ වේවි මග නොමග වටහා ගැනීමට.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

2-15-හිංසාවේ රාත්‍රිය

2012-01-01
මහරහතුන් වැඩි මඟ ඔස්‌සේ
“අතහැරිම 2 ” 15 කොටස

හිංසාවේ රාත්‍රිය
(නව වසරට ධාර්මික ප්‍රවේශයක්‌ සඳහා
කෙරෙන ආරාධනය)



අද ජනවාරි පළවැනිදා. වසරක්‌ ගෙවිල වසරක්‌ ලැබුව දවස. වසරක්‌ ගෙවීගියාය කියන්නෙ අපි කාටත් ජීවත්වෙන්න තිබෙන කාලයෙන් වසරක්‌ අඩු වුණාය කියන එක. ඒ කියන්නෙ මරණයට වසරකින් ලංවණාය කියන කාරණය. මේ කොයි පැත්තෙන් බැලුවත් අවංකවම සතුටු වෙන්න දෙයක්‌ මෙතැන නැහැ. නමුත් ගෙවීගිය වසරේ පිංවත් ඔබ අප්‍රමාදීව ධර්ම මාර්ගයේ ගමන් කළානම් ලැබුවා වූ වසරේ ඊටත් වඩා ශක්‌තිමත්ව ධර්ම මාර්ගයේ ගමන් කරනවාය කියන අධිෂ්ඨානය ඔබ තුළ ඇතිවුණානම් එතන තිබෙන්නෙ අර්ථවත් සතුටක්‌. ඒ වගේමයි ගෙවීගිය වසරේදී දාන, ශීල, භාවනා කටයුතුවලදී ප්‍රමාදභාවයට පත්වුණා, නව වසරේදී මා අප්‍රමාදීව කටයුතු කරනවාය කියන අධිෂ්ඨානයද සතුටට හේතුවක්‌මයි. වසරක්‌ ලැබුව අවස්‌ථාවක පිංවත් ඔබට ජීවිතයේ තැබිය හැකි ලොකුම බලාපොරොත්තුව තමයි මේ වසර තුළදී මා සතර අපායෙන් නිදහස්‌ වීමට උපරිම උත්සාහයක නියෑළෙනවාය කියන බලාපොරොත්තුව. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පැවිදි පක්‍ෂය විසින් ගිහි පක්‍ෂයට, දෙමාපියන් විසින් දරුවන්ට, ගුරුවරුන් විසින් ශිෂ්‍යයන්ට, කෙනකු විසින් තව කෙනකුට සමාදන් කරවිය හැකි උතුම්ම ත්‍යාගය, දායාදය සතර අපායෙන් මිදීමේ මාර්ගය පහදාදීමය, සමාදන් කරවීමය කියලා.

නව වසරක්‌ ආරම්භයේදී බුලත් අතකින්, කැවිලි පිඟානකින්, කේක්‌ ගෙඩියකින්, සුබ පැතීමකින්, හුවමාරු කරගන්නා ඥාතිත්වය, ස්‌වාමිත්වය, සෙනෙහස, හිතවත්කම ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකොටවදාල සැබෑ ඥාති සංග්‍රහය සමග මොනතරම් නම් ප්‍රාථමික දැක්‌මක්‌ද? සුබ අලුත් අවුරුද්දක්‌ වේවා කියල කරන ශුභාශිංසනය තුළ මෛත්‍රිය, මනුෂ්‍යත්වය මුසුවෙලා තිබෙන බව ඇත්ත. ඒ ඇත්තේ තරමටම එම ශුභාශිංසනය තුළ අවිද්‍යාවද සැඟවී තිබෙන බව ඇත්තම කාරණයකි. අවිද්‍යාව කියල කිව්වේ විද්‍යාවෙන් තොරභාවයයි. ඒ කියන්නෙ ඇත්ත ඇතිසැටියෙන් නොදැකීමයි. දුක සැප මාරුකොට ගෙන දැකීමයි. ජාති, ජරා, ව්‍යාධි, මරණ වලට තව තව ළංවන මොහොතේ සුබ නව වසරක්‌ වේවා කියනවා වෙනුවට ලැබුවා වූ නව වසර, සතර අපායෙන් නිදහස්‌ වෙන වසරක්‌ වේවා කියල ප්‍රාර්ථනා කළොත් එතන තිබෙනවා ජාති, ජරා, ව්‍යධි, මරණ වලින් මිදීමට ඔබ ගන්නා වු උතුම් උත්සාහයක්‌. එහෙත් පිංවත් ඔබ මෙවැනි අර්ථවත් සුබ පැතීමක්‌ කරන්න ලැජ්ජයි.

අර්ථවත් දෙයින් අයින් වෙලා අනර්ථවත් දෙය ළංකර ගන්නවා. බුදුසරණයි, තෙරුවන් සරණයි කියලා කියනව. නමුත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනානාකොට වදාළ ධර්ම මාර්ගය ගැන කියන්න ලැ-ජා වෙනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සරණ ගියා යෑයි කියන්නේ අර්ථවත් ආකාරයෙන් ධර්ම මාර්ගයේ ගමන් කරනවාය කියන කාරණයයි. පිංවත් ඔබ සතර අපායෙන් නිදහස්‌ වීම සඳහා සමාදන් විය යුතු තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව, ශීලයේ පරිපූර්ණත්වය, පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍ය භාවය දැකීම කියන අර්ථයන් මහා සංඝරත්නය විසින් නිරතුරුවම ඇසෙන මොහොතක, අපි මොනතරම් දුර්වලතාවකින්ද ජීවිතය සැලසුම් කරගන්නේ. අප්‍රමාණ සැප ලැබිය හැකි මාර්ගයක්‌ ඇස්‌පනාපිට තිබියදී අති දීර්ඝ දුකක්‌ උදෙසා කෙටි සැපයමයි අපි සොයන්නේ. ලොව පහළ වූ ශ්‍රේෂ්ඨ ශාස්‌තෘන් වහන්සේ නමකගේ ඉගැන්වීම්වල අර්ථයන් ලිහිල් භාවයට පත්කොට ආගන්තුක වටිනාකම් අපේ කරගැනීම අභාග්‍යයකි. මෙතැනදී පිංවත් ඔබ සිතන්න අවශ්‍ය නැහැ අපට මාර්ගය කියල දෙන ගුරුවරු කොතැනද ඉන්නෙ කියලා. ඇසෙන සම්බුදු ධර්මයයි ඔබ ඔබේ මාර්ගය කරගත යුත්තේ.

ගුරුවරුන්ගේ පුංචි හෝ දුර්වලතාවක්‌ දකීනම් එයද මාර්ගය වැඩීමේදී කමටහනක්‌ කොට ගැනීමට ඔබ දක්‍ෂ විය යුතුය. ලෝක තත්ත්වයන්ට ඇලීමේ, ගැටීමේ ස්‌වභාවයන්ට යන්නේ නැතිව සමාජය, මනුෂ්‍යයා, ව්‍යාකූල වෙන්න වෙන්න ඇතිවන සමාජ විකෘතිය ධර්මයේ අර්ථය වශයෙන්මයි අපි දැකිය යුත්තේ. ලෝක ධර්මයන් කෙරෙහි ඇලීමත් ගැටීමත් සකස්‌වෙන සිතක ඔබ නොදකින එකම දෙය අනිත්‍යයයි. ඒ කියන්නේ ධර්මයේ අර්ථය නොදැනීමයි. ධර්මයේ අර්ථය නොදකින්නා තමා අත්දකින ලෝක ධර්මතාවන් හමුවේ ඇලීමත් ගැටීමත් අතර දෝලනය වෙමින් ධර්මයේ ස්‌වභාවය අවබෝධ කොටගැනීම මගහැර නිත්‍ය වූ සැපයක්‌ම සොයනවා. මෙතැනදී තමයි සමාජ ව්‍යාකූලභාවය විකෘතිභාවය සකස්‌ වෙන්නේ. අසීමිත ඇලීම්, අසීමිත ගැටීම්, අසීමිත උපේක්‌ෂාවන්ගේ එකතුවක්‌ වෙනවා ලෝකය. ඵලය ලෝකය තුළදී දුටුවත්, හේතුව සකස්‌ වූයේ ධර්මය නොදත් මිනිස්‌ සන්තානය තුළම නේද? කැඩෙන, බිඳෙන, විසිරෙන සම්මුති ලෝකයේ අර්ථය සකස්‌වෙන්නේ නාමරූප දෙක නැමැති “පුංචි ලෝකයේ” හේතුඵල ධර්මතාවන් නිසාම නේද? ඒ නිසා පිංවත් ඔබ ධර්ම මාර්ගයට එන්න. මාර්ගයේ හික්‌මෙන්න. එවිට ඔබ දකින ලෝකය යහපත් වේවි. ඔබ ලෝකය තුළ සුරක්‍ෂිත වේවි. ඔබ ලෝකයෙන් නිවී යාවි. ඉහත කරුණු සියල්ලම සකස්‌ වුණේ ඔබ තුළින්ම නේද? කැඩෙන, බිඳෙන, විසිරෙන සම්මුති ලෝකයත්, නාමරූප නමැති මම කියන “පුංචි ලෝකයත්”, අනිත්‍යයේ අර්ථයෙන්ම සකස්‌වුණු දේවල්ය. අර්ථය අනිත්‍ය වූ කල්හි යමක්‌ නිත්‍ය භාවයක්‌ සොයයි නම් ඔහු සොයන දෙය කවදාවත් හමු නොවනු ඇත.

ඔබද මමද සසර මෙතෙක්‌ පැමිණියේ එම නිෂ්ඵල ගමනයි. පිංවත් ඔබ ලැබූ මේ ජීවිතයද සැප කෙරෙහි ඇති තෘෂ්ණාව නිසා සකස්‌ කොට ගත් ජීවිතයකි. පිංවත් ඔබම තීරණය කරන්න ඔබ ධර්මයෙන් කොතරම් දුරස්‌ වෙලාද ඉන්නෙ කියලා. මේ දුරස්‌භාවය අවම කරගන්න ඔබ විසින් ඇති කරගන්නා අධිෂ්ඨානය ක්‍රියාත්මක භාවයට පත්වෙද්දී ඔබ තුළ ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන ධර්මතාවන් වැඩෙන්න ඕනේ එකිනෙකට අඩු වැඩි භාවයෙන් තොරව. මෙන්න මේ “අඩු වැඩි භාවයකින් තොරව” කියන ස්‌වභාවය සමජයේ හුඟ දෙනකුගෙන් ගිලිහීs ගොස්‌ තිබෙනවා. ප්‍රඥාව වැඩෙන ආකාරයට නොවේ ශ්‍රද්ධා, වීර්යය, සති, සමාධි කියන කාරණා ජීවිතයට එකතු කර ගන්නේ. විදර්ශනා ඥානය වැඩෙන දිශාවටමයි පිංවත් ඔබ ඉහත කාරණය සතියෙන්, සිහියෙන් යුතුව ජීවිතයට ගලපාගත යුත්තේ. මමත්වය වැඩෙන දිශාවට නොවේ. වසරක උදාවක්‌ සමරන මොහොතක මෙවැනි ධර්මයක්‌ ගැන පිංවත් ඔබ නැවත නැවත සිතනවානම්, මෙවැනි ධර්මයකට මුල්තැන දෙනවානම් එම වසර මොන තරම් සංහිඳීමට පත් වූ වසරක්‌ වේවිද? අර්ථවත් ලෙසම තෙරුවන් සරණගිය වසරක්‌ වෙනවා නේද? පිංවත් ඔබ ගත්තා වූ තීරණයෙන් සැනසෙන්නේ ඔබම නේද? දුකෙන් මිදෙන දිශාවට යන්නේ ඔබම නේද? එසේ නොවුණ කල්හි ඔබ යන දිශාව ගැන පහත සටහන තබමි.

ජනවාරි පළවෙනිදා කියනකොටම සිහියට නැඟෙන්නේ දෙසැම්බර් 31 දා රාත්‍රියයි. මේ රාත්‍රියේ භික්‌ෂුව වැඩසිටියේ අගනුවරට ආසන්න ආරණ්‍යයකය. රාත්‍රි 12.00 වෙලාවට ආසන්න වෙද්දී පුපුරා ගිය රතිඤ්ඤා පිපුරුම් හඬ මොනතරම් වේගවත්ද කියලා පිංවත් ඔබටත් ඇසෙන්නට ඇති. මේ රතිඤ්ඤා පිපුරුම් හෙŒ දෝංකාරය කියන්නේ අවිද්‍යාවේ හඬයි. ඔබ හිතල බලන්න මීට වසර විසිපහකට පෙරාතුව ඉඳල වසරින් වසර මේ හඬ වැඩිවුණා මිසක්‌ අඩුවුණේ නැහැ. අනාගතයේ කවදාකවත් මේ හඬ අඩුවෙන්නේ නැහැ, වැඩිවෙනවා මිසක්‌. මේවා ලෝක ධර්මතාවන්. මනුෂ්‍යයා ධර්මයෙන් පිරිහෙන්න පිරිහෙන්න නොවටිනා වටිනාකම් අර්ථවත් වෙනවා.

ශීලයේ, සමාධියේ, ප්‍රඥාවේ නිහඬ භාවයට එරෙහි ස්‌වභාවයන් තමයි සකස්‌ වෙන්නෙ. ඝෝෂාව යම් තැනක තිබෙනවානම් එතන ශීලයක්‌, සමාධියක්‌ තිබෙන්න විදිහක්‌ නැහැ. මේ දෙක නැති තැන ප්‍රඥාව ගැන කථාකරල තේරුමක්‌ නැහැ. ආයිමත් අපි එන්නේ අවිද්‍යාව කියන තැනටමයි. ලෝකයේ තිබෙන සැබෑම නිහඬතාව අත්විඳින්න පුළුවන් ඝෝෂාව තුළදීයි. දෙසැම්බර් 31 රාත්‍රියේ භික්‌ෂුව සයනය මත වැතිරී ඒ සැබෑම නිහඬතාව අත්වින්දා හොඳ හැටියට. පරිසරය ඝෝෂාකාරී වෙන්න වෙන්න තමන්ගේ සිතේ නිහඬභාවය හොඳින් දැනෙනවා, පෙනෙනවා. පුපුරණ රතිඤ්ඤා හඬින් දෙදරුම්කන පරිසරය, නිහඬ සිතින් අත්දකිද්දි අවිද්‍යාවේ ඝෝෂාවත්, විද්‍යාවේ නිහඬතාවත් සක්‌සුදක්‌ සේ පැහැදිළි වෙනවා. අර්ථවත් වෙනවා. එවිට දුකක්‌, සැපක්‌ නොවේ සිතට දැනෙන්නේ. අවදානමෙන් මිදුනා වූ නිදහසේ සුවයයි. මෙවන් අසිරිමත් මාර්ගයක්‌ පිංවත් ඔබේ ඇස්‌පනාපිට තිබියදී ශීලයේ, සමාධියේ, ප්‍රඥාවේ උතුම් නිහඬතාවයේ අර්ථය රතිඤ්ඤාවේ හඬින් විනාශකොට දමනවා.

පිංවත් ඔබ කල්පනා කරන්න වසර සුබවෙන්න කියලා ඔබ කොතෙක්‌ රතිඤ්ඤා පත්තුකළත් වසර සුබවෙලා තිබෙනවාද? දවසින් දවස ක්‍රෝධය, වෛරය, දුෂ්ශීල භාවය මහා වේගයකිනුයි සමාජයේ ඉහළ යන්නේ. රතිඤ්ඤා පිපුරුම් හෙ දෝංකාරය යම් සේ වේගවත්ද දුෂ්ශීල භාවයේ වර්ධනයත් සමාජය තුළ වේගවත් වෙලා. ශ්‍රාවකයා ශාස්‌තෘන් වහන්සේ හඳුනන්නේ නැහැ. ගුරුවරයා ගෝලයා හඳුනන්නෙ නැහැ. දෙමාපියන් දරුවන් හඳුනන්නෙ නැහැ. පාලකයා ඇත්ත යුක්‌තිය හඳුනන්නේ නැහැ. පිරිහීමේ දෙසටමයි සමාජය ගමන් කරන්නේ. ඒ කියන්නේ කොතෙක්‌ රතිඤ්ඤා පත්තුකළත් වසර සුබවෙලා නැහැ. කොහොමද වසර සුබවෙන්නෙ මනුෂ්‍යයා විසින් මොනතරම් අකුසල් කන්දරාවක්‌ සිදුකරගෙනද? මොනතරම් සත්ව ඝාතන, සත්ව හිංසාවන් සිදුකරගෙනද? වසරක්‌ උදාවෙන්නේ.

දෙසැම්බර් 31 වෙනිදා රාත්‍රියේ රතිඤ්ඤා පත්තු කරන ඔබ මොනම හේතුවක්‌ නිසාවත් සිතන්නෙ නැහැ ඔබ පත්තුකරන රතිඤ්ඤා නිසා බරපතළ සත්ව ඝාතන, සත්ව හිංසාවන් සිදුවෙනවා කියලා. මොකද ඔබ දකින්නෙ ඇසෙන් පෙනෙන ලෝකය පමණයි. ගස්‌, ගල්, මනුෂ්‍යයෝ, ගෙවල් දොරවල් ඔබට පෙනෙන ලෝකය. ඒ ලෝකය තුළ ඔබ නිවැරුදි කරුවෙක්‌ බව ඇත්ත. නමුත් පිංවත් ඔබ තරගයට පරිසරය දෙදරුම් කවමින් පුපුරායන රතිඤ්ඤා හඬින් මොනතරම් ඔබට නොපෙනෙන අමනුෂ්‍යයන් මියයනවා ඇත්ද? කොතෙක්‌ ඔබට නොපෙනෙන අමනුෂ්‍යයන් තුවාල ලබනවා ඇත්ද? මෙම ප්‍රේත, භූත අමනුෂ්‍යයින් මේ රාත්‍රියේ අත්විඳින්නා වූ පීඩනය නිසා ඔවුනගේ සිත තුළ සකස්‌වෙන්නා වූ වෛරය, ක්‍රෝධය නව වසරේ අසුබ තුටු පඬුරක්‌ සේ ලෝකයාට ලැබෙනවා. ගස්‌වල වැඩසිටින රුක්‌දෙවිවරු භුම්මාටු දෙවිවරු වැනි කොටස්‌ මේ බිහිසුණු රතිඤ්ඤා හඬින් මොනතරම් කම්පාවෙනවා ඇත්ද. ඒ දෙවිවරුන්ගේ සිත තුළත් ද්වේශය, වෛරය, ක්‍රෝධය සකස්‌වෙනවා. මේ ද්වේශයත් නව වසරක්‌ උදාවෙද්දී ඔබ ලබන අසුබ තුටු පඬුරක්‌මයි. එම රාත්‍රියේදී රතිඤ්ඤා හඬට බියෙන් දුවන තිරිසන් සතුන් කොතෙක්‌ නම් සිටිනවාද? මරබයෙන් ගැහෙමින් සැඟවෙන්න දිවයන ඒ සිත් තුළ ද්වේශය, වෛරය සකස්‌වෙනවා. මේ ද්වේශයත් නව වසරේ ලෝකයා ලබන අසුබ තුටු පඬුරක්‌මයි. රතිඤ්ඤා කරලක්‌ පුපුරා යනකොට එම හඬට, ගින්දරට පිළිස්‌සී දෙදරුම් කෑමට ශරීරය පුපුරා ගොස්‌ මොනතරම් කුඩා කෘමි සතුන් මියයනවා ඇතිද? මේ විනාශවන සතුන්ගේ සිතේ සකස්‌වෙන ද්වේශයත් නව වසරේ ඔබ ලබන අසුබ තුටු පඬුරක්‌මය.

ගස්‌වල, කැදැලිවල ජීවත්වෙන කුරුල්ලන්, කුඩා පැටවුන්, මෝරන බිත්තර මොනතරම් විනාශවෙලා යනවා ඇතිද? ඔය දෙදරුම් කෑමේ හඬට. එම කුරුල්ලන් බියට පත්වී අන් සතුන්ගේ ගොදුරු බවට පත්වෙනවා ඇතිද? මේ සතුන්ගේ සිත් තුළ සකස්‌වන ද්වේශයද නව වසර උදාවේදී ඔබ ලබන අසුබ තුටු පඬුරක්‌මය. ඉහත කොටස්‌ අසහනයට, අපහසුතාවට, මරණයට, මරණීය වේදනාවන්ට, හිංසාවට පත්වීමෙන් සකස්‌වන්නා වූ අකුසල් කන්ද කරගසාගෙන තමයි නව වසරක්‌ උදාවෙන්නේ. මේ අමානුෂික ෙ€දවාචකය පිංවත් ඔබට නොපෙනෙන්නේ අවිද්‍යාවේ හඬ බලවත් වීම නිසාය. පිංවත් ඔබට මාර සිතක්‌ ඇතිවෙන්න පුළුවන්, රතිඤ්ඤා පත්තුකළාම සතුන්ව මරාදැමීමේ, හිංසාකිරීමේ ෙච්තනාවක්‌ ඔබ තුළ නැතිය කියලා. ඒ සිතිවිල්ල නිවැරදි වෙන්න පුළුවන්. නමුත් මියයන, තුවාල ලබන, හිංසනයට පත්වෙන, එම සත්වයන්ගේ සිතේ නැගෙන ද්වේශය, වෛරය, ක්‍රෝධය සුබ පිරිත් දේශනාවක්‌ සේ නොව, අසුබ වියරු අඳෝනාවක්‌ සේ වායු ගෝලයට එකතු වනවා නියතය. බියෙන්, වෛරී ෙච්තනාවන් සකස්‌ කොටගෙන මියයන අමනුෂ්‍යයන්, තිරිසන් සතුන් වඩාත් නපුරු වියරු අමනුෂ්‍යයන් බවට පත්ව නැවත උපත ලබා, තමන්ගේ පෙර ජීවිතයේ විනාශයට හේතුවූ රතිඤ්ඤා පත්තු කළ මනුෂ්‍යයන්ගෙන් පළිගැනීමේ සිත් සකස්‌කොට ගැනීමේ ස්‌වභාවයද පිංවත් ඔබ තේරුම් ගත යුතුය. සමාජය දිනෙන් දිනම වෛරය, ක්‍රෝධය, ද්වේශය වැඩෙන දිශාවටමද මනුෂ්‍යයා වියරු ස්‌වභාවයටම පත්වීමටද හේතු ඉහත කාරණා තුළද සැඟව තිබීමට පුළුවන. මේ සිද්ධීන් දෙස බැලීමේදී ඔබට වැටහෙනවාද අවිද්‍යා සහගත ක්‍රියාවන් ඔබව මොනතරම් විනාශය කරා දුක කරා රැගෙන යනවාද කියලා.

පන්සලේ ඝන්ඨාරය නාද කරනකොට, හේවිසියක හඬ ඇසෙනකොට, මඟුල් බෙර හඬ ඇසෙනකොට මොනතරම් සංහිඳීමක්‌, සංයමයක්‌ එම හෙŒ තිබෙනවාද. එම හඬින් ඉහතින් දැක්‌වූ විනාශයන්, අකුසලයන් සිදු වෙනවාද? කුඩා කිරි දරුවෙක්‌ නම් පීඩා විඳින්න පුළුවන්. පිංවත් ඔබට ශබ්ද පූජාවක්‌ කිරීමට අවශ්‍ය නම් පමණක්‌ 31 දා මධ්‍යම රාත්‍රියට පන්සලේ ඝන්ඨාරය නාද කරන්න ගමටම ඇසෙන්නට. මඟුල් බෙරයක්‌ නාද කරන්න. මෙය සමාජයට නුහුරු දෙයක්‌ බව ඇත්ත. එහෙත් ඔබ තුළින් නරකක්‌ වරදක්‌ නම් වෙනත් සත්වයකුට සිද්ධවෙන්නේ නැහැ. දෙවියන් අමනුෂ්‍යයන් පවා මේ හඬට ප්‍රිය වෙනවා. තිරිසන් සතුන් පවා මේ හඬ විඳිනවා. හැමෝගෙම ආශිර්වාදයෙන් තමයි වසරක්‌ උදාවෙන්නේ. සශ්‍රීක දිව්‍යතල වල සිටින දෙවියන් පවා ඔබට ආශිර්වාද කරනවා. කාටද මේ ආශිර්වාද කරන්නේ? ශීලයට. පිංවත් ඔබ ශීලයෙන් හික්‌මුන නිසයි, රතිඤ්ඤා පත්තු කිරීමෙන් සත්ව ඝාතන, සත්ව හිංසා සිදුවෙනවාය කියන යථාර්ථය දැක්‌කේ. ශිල්පද ආරක්‍ෂා කරන්න උත්සාහ ගත් නිසයි ඔබ එම වැරදි ක්‍රියවෙන් වැළකුනේ. ශීලයට වටිනාකමක්‌ දෙමින් තමයි එතකොට ඔබ නව වසර අරඹන්නේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසයි ඔබ සත්ව හිංසාවෙන් වැළකුනේ. ශීලයට වටිනාකමක්‌ දෙනවිටම ඔබ තෙරුවන් සරණේ පිහිටලා. රතිඤ්ඤා පත්තු කිරීමෙන් සතුනට මරණීය දුක, හිංසනය සිදුවෙනවාය, මම එම සතුනට අභය දානය දෙනවාය කියලා හිතනකොටම ඔබ තුළ කුසල් ෙච්තනාවක්‌ සකස්‌ වෙලා. නව වසර පිංවත් ඔබ අරඹන්නේ සතර අපායෙන් මිදීමේ සාධක සියල්ලම දෝතින් දරාගෙනමයි. පුංචි දෙයකින්, මොන තරම් නම් වෙනසක්‌ සිදුකරන්න පුළුවන්ද. මේ පුංචි දෙය වෙනස්‌ කර ගැනීමට නොහැකිවීමෙන්, ඔබ සසර මොනතරම් නම් දුර ගමනකට වැටෙන්න ඉඩ තිබෙනවාද.

(මෙහි පළවන්නේ ඉකුත් වසරේ ජනවාරි මස පළමුවැනිදා මෙම ස්‌වාමීන්වහන්සේ විසින් ලියන ලද ලිපියකි. අද ඔබ අතට පත්වන්නේ එම ලිපියේ පළමු අර්ධයයි. එහි අනෙක්‌ අර්ධය ලබන සතියේ බලාපොරොත්තුවන්න)

දිවයින ඉරිදා සංග්‍රහයේ ප්‍රකාශනය සඳහා පිටපත සකස් කලේ
ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com