1-7- නිදහස් පරිසරය

2011-09-26

නිදහස් පරිසරය


 මේ ජීවිතය තුලදීම නිවීම සාක්ෂාත් කිරීම සඳහා වෙහෙසෙන භික්ෂුවකට නිදහස් පරිසරයක් අවශ්‍යමය. නිදහසට එක අර්ථයක් දිය නොහැක.  ලෞකික ලෝකෝත්තර උවමනාවන්ට අනුව නිදහසේ අර්ථය වෙනස්වෙයි. කෙනෙක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය,  කෙනෙක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය, ගුරු පත්වීම, රජයේ රැකියාව, දේශපාලන නිදහස ලෙස දකියි. මේ කිසිත් වරදක් නොවේ. ඒ තම තමන්ගේ දෘෂ්ටීන්ය. එහෙත් ඒ ලොවුතුර නිර්වාන ප්‍රතිපදාවේ කියැවෙන නිදහස නම් නොවේ.

මෙහි සඳහන් කල කරුණු අදාළ වන්නේ ශාසනයේ හික්මෙන ළමා, තරුණ භික්ෂුන් වහන්සේලාට නොව, ජීවිත අවාබෝධයෙන් ලෞකික සම්පත් දුක බව දැක, මේ සියල්ල තුලින් රැස්වන්නේ දුකම බව දැක, ගිහි  බැමි වලින් වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම  මිදී මේ ජීවිතයේදීම නිර්වාණය සාක්ෂාත් කරගැනීමට ප්‍රතිපදාවේ යෙදෙන වීර්යවන්තයන්ටය. මෙවැනි සත්පුරුෂයන් විශාල පිරිසක් සාසනය තුල සිටින බව සත්‍යයකි. ඒ මග යන්නට ඔබ රුචි නම් ඔබටද මග විවුර්තය. ලොව්තුරා බුදු රජාණන් වහන්සේ ඔබට නිවැරදි මග කියාදී ඇත.

නිදහස අර්ථවත් වීමට ඔබ මෙසේ සිතිය යුතුය. මා පැවිදි වුයේ අනුන්ට බන කීමට, පිරිත් කීමට, පන්සල් ආරණ්‍ය පාලනය කිරීමට, නායක හිමි නමකගේ මීළඟ උරුමක්කාරයා වීමට හෝ, දිව්‍යය, බ්‍රහ්ම සඥා වැඩීමට නොව, මේ ආත්මය තුලදීම නිවන් මග සම්පුර්ණ කරගැනීමට බව සිතීමට ඔබට ශක්තිය තිබිය යුතුය. ලොවුතුරා බුදු වදනට අනුව නිදහස යනු මෙසේ සිතන්නට හැකිවීමයි. මාරයාගේ ධර්මයට අනුව නිදහස යනු මීට විරුද්ධව සිතීමයි.

බුදු පුතෙකු ලෙස පළමුවෙන්ම ඔබගේ නිවීම ඇත්තේ බුදුරජාණන්වහන්සේ ළඟවත්,  නායක ස්වාමින් වහන්සේ ළඟවත්,  පිරිත් පොතේ හෝ ත්‍රිපිටකයේ වත් නොව තමා තුලම බව සිතිය යුතුයි. ඉහත කිසිවක් තුල නිවීම නොමැත. දැනුම, ආදර්ශ, මාර්ගය ඉහත කරුණු කාරනා තුල ඇත. ඒ ගැන තර්කයක් නොමැත. ඔබ ධර්මය ඉගෙන ගැනීමට පොත පතට පතට යොමු වුවහොත් ඊළඟට සිදුවන්නේ දැනුමේ පණ්ඩිත භාවය වැඩිවී ධර්ම දේශනා, ධර්ම සාකච්චා පැවැත්වීමට යාමය. එසේ නැතිනම් මිහිරි ස්වරයෙන් බුදු මැදුරට, බෝ මළුවට කොටුවී පුජාවන් පැවැත්වීමටය. ගිහි දායකයන් මේවාට ඉතා ප්‍රියයි. භික්ෂුන් වහන්සේටද ලැබෙන ලකුණු, ජනප්‍රිය භාවය, සැලකිලි, ඉහලය. දෙපාර්ශවයටම වැඩෙන්නේ ලෞකික කෙලෙස් ධර්මයන්ය. ඒවා සංසාරික සැප පිණිස හේතු වෙයි. අවසානයේදී සියලු දේ අතහැර පැවිදි වූ හාමුදුරුවෝ දායක පින්වතුන් සතුටු කරන රූකඩයකි  .

මෙහිදී සියල්ල ඇත හැරීමට ඔබ දක්ෂ විය යුතුය. හැබැයි ඔබට වඩා දක්ෂ, මාර්ගය වැඩු, කල්‍යාන මිත්‍රයෙක් ඔබ ආශ්‍රය කල යුතුය. ඔබ ශක්තිමත් තැනකට එන තුරාවට ඔබ එය අත හරින්න එපා. නිරතුරුවම ඔබ ඉදිරියේ ලොවුතුරා බුදු රජාණන් වහන්සේ වැඩසිටින බව, සැරියුත් මුගලන් මහෝත්තමයන්  ඔබ ඉදිරියේ වැඩ සිටින බව,  ඔබට අවවාද දෙන බව සිතන්න. දකින්න. මේ ගමනේදී ඔබට මෙයට වඩා ආරක්ෂාවක් අවශ්‍ය නැහැ.

ඔබට හැමෝම කියාවි “රැස් කරන්න” කියලා.

මොනවද? 
දැනුම, ගාථා, පිරිත්, සුත්‍ර, අභිධර්ම, බන… මේ සියල්ල ඔබ අත හරින්න. ඔබ සැහැල්ලු වන්න. සැම බරකින්ම නිදහස් වන්න උත්සාහ ගන්න. 

නිවීම කියන්නේ මෙහෙයුමක්. මේ මෙහෙයුමට ඔබට අවශ්‍ය වන්නේ තුන් සිවුරත්, පාත්‍රයත්, හුදෙකලා වන කුටියත් පමණයි. ඔබ ශීලයෙන්, සමාධියෙන්, පරිපුර්ණ බවට පත්ව ඇතැයි   ඔබට විශ්වාස නම් ඔබගේ ශීලය ගැන ඔබට කුකුසක් නොමැතිනම්, වනයේ හුදෙකලා කුටියක් තෝරා ගැනීමට ඔබ සුදුස්සෙක්. ඔබගේ ශීලය ගැන ඔබට විශ්වාසයක් නොමැතිනම්, වනයේ හුදෙකලා වීමට ඉක්මන් නොවිය යුතුය. ඔබ ශක්තිමත් නොවීම මාරයාට ගොදුරකි. එවැන්නකු වනයේදී ගල් කුටියේදී අමනුෂ්‍යයන් විසින් වහලෙකු, රෝගියෙකු, මානසික ලෙඩෙකු  කරනු ඇත.
ඔබ පසුබට නොවන්න. මග වැඩු කල්‍යාන මිත්‍රයකුට කෙටි කමටහන් කිහිපයකින් ඔබව ශක්තිමත් කිරීමට හැකියාව ඇත. මෙහිදී ශීලය යනු ඔබ සාමනේරද, උපසම්පදාද, මොන නායක ස්වාමින් වහන්සේගේ ගෝලයකුද යන්න නොව, ඔබ නිවැරදි බවට ඔබ තුල ඇති විශ්වාසය පමණි. ලොව්තුරා ධර්මය කෙරෙහිද, ඔබ කෙරෙහිද ඔබ විශ්වාසය තබන්න. අවශ්‍යම වෙලාවට කල්‍යාන මිත්රයෙකුගෙන්, ගුරුවරයෙකුගෙන් අවශ්‍ය උපදෙස් ලබා ගන්න.තමාගේ ආරක්ෂාවට අවශ්‍යම මොහොතකදී පමණක්  භාවිතයට තෙරුවන් වඳින ගාථා තුනත්, කරණීය මෙත්ත සුත්රයත්, කන්ද පිරිතත් ඔබ අර්ථ වශයෙන් දැන සිටියොත්, එය හොඳටම ප්‍රමාණවත්ය. ඉතිරි සියල්ල ඔබ අත හරින්න. අත්හැරීමේ ප්‍රමාණයට ඔබට නිවන් මග  වැඩීම  පහසු කරගත හැකිය. අන් සියල්ල ඇත හැරීමට දක්ෂවුයේ නම් පමණක් ඔබ නිවන් මෙහෙයුමට සුදානම්ය.

හැබැයි මේ වන විට ඔබ ළඟ පාවිච්චියට මුහුණ බලන කන්නාඩියක්, උණු වතුර බෝතලක්, ශීතලට පෙරවන පොරෝනයක්… මේ වගේ දෙයක් තිබුණහොත් තවම ඔබ සුදානම් නොමැති බවයි පෙනෙන්නේ. මොකද මේ සියල්ල තුල තිබෙන්නේ ‘මගේ කයේ සැප’ පිලිබඳ චේතනාවයි. සියල්ල අත් හරින්න. එතෙක් ඔබ සුදානම් නැත. මුහුණ බලන කන්නාඩිය අතහැරීමට නොහැකි කෙනෙකුට, කය අත හරින්න යයි කීම විහිළුවකි. අනිවාර්යයෙන්ම ඔබට හැකිය. ඔබ නැවත නැවත බුදු සමිදුන්ව සිතින් මවා ගන්න. ඔබේ හදවතට වැඩමවා ගන්න. නිරතුරුවම ඔබ උන්වහන්සේගේ සෙවනෙනි සිටින වග බව දකින්න. ඔබ හිමිදිරියේ පිණ්ඩපාතයේ  වඩිනා විට ඔබ ඉදිරියෙන් බුදු සමිදුන් වදින බව දකින්න. සැරියුත්, මුගලන්, ආනන්ද මහෝත්තමයන් වහන්සේලා සිතින් මවාගෙන ඒ උතුමන් සමග සිතින් ජීවත් වන්න. උන්වහන්සේලා සමග හදවතින් සාකච්චාවේ යෙදෙන්න. උන්වහන්සේලාගේ ඇවැතුම් පැවතුම් ඔබේ ජීවිතයට එකතු කර ගන්න. උන්වහන්සේලා නිවන් මග අවබෝධ කරගැනීම පිණිස ගත වෙර වීරිය මනසින් දකින්න. චක්කුපාල මහා රහතන් වහන්සේගේ උත්සාහය සිතින් මවාගන්න

ඉහත උපක්‍රම භාවිත කර ඔබ නිවන් මෙහෙයුමට සිත පුරුදු පුහුණු කරන්න. මාර බැමි එකිනෙක කඩා දමමින්ද, අත්හල යුතු දේවල් අත් හරිමින්ද ඔබ සුදානම් වන්න. හැබැයි ඔබ ලෝකය ඉදිරියේ රහතන් වහන්සේ කෙනෙක් ලෙස හැසිරෙන්න එපා. එවිට ඔබ වටින්නේ මාරයාගේ මල්ලටය. ඔබ ලෝකය ඉදිරියේ එසේ හැසිරෙන්න ගියහොත් නිවන් මග ගබ්සා වෙනවාමය. එවිට ඔබට නිවීම කරා නොව, මානසික රෝහලකට යා හැකිය. හොඳින් මතක තබාගන්න. ඔබ දක්ෂ නම්, භාවනාව නිවන් මග කරාද, අදක්ෂ නම් භාවනා ඔබව මානසික රෝගියෙකු බවටද පත් කරනු ඇත. මෙවැනි අසරණ උද්යෝගිමත් පින්වත් චරිත අනන්තවත් අපට හමුවී ඇත. අර්ථවත්ව මග වැඩු ගුරුවරයෙකුගේ මාර්ගෝපදේශන නොලැබීම මෙම විනාශයට හේතුවේ. තමා තුල ඇති මාන්නයද, මාර්ගයද මාර්ග ඵල උන්මාදයද, ඉලක්ක කරා යාමට ඇති හදිස්සියද, ගිහි පින්වතුන්ගෙන් ලැබෙන වැඩි ප්‍රතිචාරද ඔබට මර උගුලක් වනවා ඇත.
පින් පව් කුසල් අකුසල් රුචි අරුචි ලෝක ආදිය ගැන ඇති කැමැත්ත අත හරින්න. මේවායේ අනිත්‍ය බව දකින්න. ඔබ නිවන් මෙහෙයුමට සුදානම් වන්න. මේ වනවිට ඔබගේ කුටියේ තිබිය යුත්තේ තුන් සිවුරත්, පාත්‍රයත්, කය පිරිසිදු කිරීමට අවශ්‍යම දෙයක් පමණකි. ඔබ නැවත කුටිය දෙස බලන්න. එහි පැරසේ ටමෝල් පෙත්තක් තිබුනද එයත් ඔබ අයින් කල යුතුය. ඔබ  එය තබා ගන්නේ කය සුවපත් කර ගැනීම සඳහාය. දැන් ඔබ සුදානම් වෙන්නේ කය අත් හැරීමේ මෙහෙයුමටය. වේදනාව සමනය කිරීමට උත්සාහ ගන්න එපා. වේදනාවේ අනිත්‍ය බව, එහි ස්වභාවය, වේදනාව තමන්ට අයිති දෙයක් නොවන බව දකින්න උත්සාහ ගන්න. ඔබේ ශරීරයේ යම් වේදනාවක් දැනේ නම් හිමිදිරියට ස්ව මුත්‍ර උගුරු දෙකක් වළඳන්න. මුතාවල මුල් කොටසද, අග කොටසද, අත් හැර මැද කොටස පාවිච්චිය සඳහා ගන්න. උගුරු දෙකකට වඩා නොගන්න. මන්ද ශරීරයේ ඇති ඇසිඩ් ගතිය වැඩිවී දාහය වැඩි වන හෙයිනි. මෙම ඖෂදය ඔබේ කායික වේදනා අවම කරාවි. මෙම ස්ව මුත්‍රා උගුරු දෙක ඔබ ඊයේ රාත්‍රියේ ඔබ වැළඳු පැන් බව මෙනෙහි කරන්න. මාරයාට හීන් නුලෙන් පහර දෙන්න. ඔබ ස්වභාව ධර්මයේම කොටසක් වන්න. ස්වභාව ධර්මයත්, ඔබත් දෙකක් නොව, එකක් බවට පරිවර්තනය කර ගන්න දක්ෂ   වන්න,  ඔබ ඉදිරියේ තිබෙන රුක්ෂා ගසත්, ඔබේ කයත් සංසන්දනය කර බලන්න. දෙකම ධාතුන්ගේ විවිධත්වය පමණක් බව දකින්න. .

ඔබ නැවතත්  හිතන්න. ඔබ තවම මග වැඩීමට සුදානම් වන භික්ෂුවක් පමණයි. ඔබ හැකිතාක් විවේකීව සිටින්න.  දිනකට මෙච්චර භාවනා කල යුතුයි. රාත්‍රී නිදි වරා භාවනා කල යුතුයි යන සිතුවිලි අනිත්‍ය වශයෙන් දැක අයින් කරන්න. ඔබ අධිෂ්ඨානයක් ඇති කර ගන්න. මා ප්‍රාර්ථනා කරන්නේ වීර්ය වඩන්නේ මගේ අවසන් හුස්ම මේ කයින් පිටවන මොහොතේ කිසිම ඇලීමක්, බැඳීමක් ගැටීමක් නැතිව පිටකිරීමට පමණක් බව සිහි කරන්න මොන හේතුවක් නිසා වත් සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් ඵල ගැන නොසිතන්න. ඒ  සිතුවිලිත් කෙලෙස් ධර්මයන් බව දකින්න. මාර්ග ඵල වලට පවා ඇති ආශාව අත් හරින්න. ඔබ මාර්ග ඵල තන්හාවෙන් අනාගාමි වීමට ගියහොත් ඔබේ වටිනා ජීවිතය “අනාගන්නා” බව සිතන්න. විවේකීව සිතන්න. නිදිමත නම් නිදා ගන්න. සරලව, පහසුව, නිදහස්ව සිටින්න. ඔබ මේ ආකාරයේ ප්‍රතිපදාවක යෙදෙන බව කිසිවෙකුට නොහගවන්න . ඉන්ද්‍රියන් හයට ස්පර්ශ වන සැම රුපයක්ම අනිත්‍ය වශයෙන් දකිමින්, සිතත්, කයත්, පරිසරයත් සමග නොගැටී සිටින්න.

ඔබ නිරතුරුව සිතන්න, ඔබ මේ සටන් කරන්නේ මාරයා සමග බව. ඔබට අවශ්‍ය සැම වෙලාවකම මාරයාව රවට්ටන්න. බිය ගන්වන්න, තැති ගන්වන්න. ඔබට මුලින් කීවනේ අරිහත් උතුමන් සමග මනසින් ජීවත්වන්නටය කියලා. ඒ මාරයාව රැවටීම පිණිස කරන දේවල්. දැන් ඔබ මාරයාව තැති ගන්වන්න. ඒ අරිහත් උතුමන්ද අනිත්‍ය බව දකින්න. ඒ උතුමන්ගේ පිරිනිවීම මනසින් දකින්න. එම ධාතුන් වහන්සේලාගෙන් ගොඩ නැගු ස්ථුපයන් දකින්න. ඒවාද විනාශවන බව මනසින් දකින්න.
>දැන් නැවතත් ඔබ මාරයාව රවට්ටන්න. රුවන් වැලි මහා  සැය , කිරි වෙහෙර මහා සැය, ජයසිරිමා බෝ සමිදුන්, දන්ත ධාතුන් වහන්සේ සිතින් මවා ගෙන සාධු කාර දෙන්න. දැන් නැවත මාරයාව තැති ගන්වන්න. ඉහත වන්දනීය පුජනීය වස්තුන්ද කාල ගුණිත, දේශ ගුණික, යුදමය හේතුන් නිසා (මේ ශුද්ධ වස්තුන්ද) විනාශ වී යනවා දකින්න. මේ සියල්ල අනිත්‍ය බව දකිමින් ඔබේ ආධිපත්‍ය මාරයා මත ටිකෙන් ටික පටවන්න.

ලෝක ධාතුවේ හැම දෙයක්ම අනිත්‍ය බව මනැසින්   දැක මාරයාව කම්පා කරවන්න. තැතිගන්වන්න. දැන් ඔබේ රාජකාරිය මෙයම විය යුතුය. සාරා සංක්‍ය කල්ප ලක්ෂ ගණනාවක සිට ඔබව මුලා කරමින්ද, සතර අපායට, මනුෂ්‍ය, දිව්‍ය ලෝකවලට ගාල් කරමින්ද, ඔබ කෙරෙහි ආදිපත්‍ය පැතිරු මාරයාට ටික ටික රිදවන්න.
බොක්සින් තරඟයකදී ප්‍රතිමල්ලවයාට සෙමින් සෙමින් පහර දෙමින්ද, ඔහුගෙන් උපක්‍රමශීලිව පහරකමින්ද ප්‍රතිමල්ලවයා හෙම්බත් කොට අවසාන මාරු පහර කිහිපයකින් ඔහුව බිම දමන්නාසේ, ඔබද මාරයාව උපක්‍රමශීලීව රවට්ටන්න. ඔබේ ඉන්ද්‍රියන්ට ගෝචරවන සැම රුපයක්ම අනිත්‍ය වශයෙන් දකින්න. දකින රුප මග හරින්න එපා. රුප බලෙන් සොයා යන්නත් එපා. ඔබ වේගවත් නොවන්න. මන්දගාමීද නොවන්න. ඔබේ ස්වභාවය තුලම ඔබ කටයුතු කරන්න. දැන් මොන මාර්ග ඵලයක්ද ඉන්නේ, තව කොච්චර කල් යයිද? මට පුළුවන් වෙයිද?..  මේ මාර සිත්  ඇතිවන මොහොතේම  අනිත්‍ය වශයෙන් දැක පරාජය කරන්න. ගැටෙන්න එපා. රුපයක් දුටු සැනින් එය අනිත්‍ය වශයෙන් දකින්න. නැවත නැවත එම රුපයට ඇලීමක් ඔබ තුල ඇතිවන්නේ නම් එම රුපය විනිවිද දකින්නට උත්සාහ ගන්න. එහෙම කලොත් ඔබේ ප්‍රතිඵල ඉක්මන් වේවි. අදාළ රුපය සුරූපී කාන්තා රුවක් කියා සිතන්න.  ඔබ ය මව් කුසේ සිටිනවා දකින්න. ඉස්ගෙඩි යක් ලෙසින්  පටන් ගෙන, නව මාසයක් බැලුම් බෝලයක් වැනි මව්කුසේ විදි අනන්ත වේදනා, මර ලතෝනි දීගෙන ලෝකයට බිහිවන හැටි, මල මුත්‍රා ගොඩේ දඟලන ළදරු වයස……

ළමා, තරුණ, මධ්‍යම, මහලු වශයෙන් එම රුපය දකින්න. ඔබ දුටු ලස්සන රුපය ඇට සැකිල්ලක් කර දකින්න. එම ඇට සැකිල්ල බඩවැල්, නහර, මස්, එල්ලාගෙන සිටින ආකාරය දකින්න. ඔහුගේ හෝ ඇයගේ රුපය මනසින් නිරුවත්කොට සම, මස්, නහර විනිවිද ගොස්, සම නමැති උරයට පුරවා ඇති ජරා ගොඩ දකින්න.

ලස්සන තිබු නේ  සුරූපී ඇය තුල හෝ ඔහු තුල නොව, තමාගේ අවිද්‍යාවෙන් පිරුන අනිත්‍යවන සිත තුල බව සිහි නුවනින් දකින්න.

පංච උපාදානස්කන්ධය, සප්ත බෝජ්ජංග, පටිච්ච සමුප්පාදය, සතර සතිපට්ඨානය ධර්මතාවයන් ගිරවුන් මෙන් කට පාඩම් කරන දේවල් නොව, රුපයේ අනිත්‍ය දකිමින්, ප්‍රඥාවෙන් තීව්ර වන විට ඔබ ලබන අවබෝධය තුල නොදැනුවත්වම ඔබට වැඩෙන්නේ ඉහත ධර්මතාවයන් බව සිතන්න.

ඔබ තවම ඉන්නේ පුහුණු මට්ටමකය. තවම තරගය පටන් ගත්තේ නැත. තවම ඔබ තරඟයට මුහුණ දීමට ඇඟ උණුසුම් කරනවාය. ශක්තිමත්ව උනුසුම්වන තරමට තරඟයට ජවය ලැබේ. මෙය මුළු ලෝක ධාතුව තුලම  තම ආධිපත්‍ය පතුරුවාගෙන සිටින මාරයාට එරෙහිව කරන සටනකි. තරඟයකි. තරඟයෙන් ඔබ දිනුවොත්  ඔබ ලෝකයෙන් එතෙරට යන කෙනෙක්ය. ඔබ මේ යෙදී සිටින්නේ ලොවුතුරා බුදු රජාණන් වහන්සේලා, පසේ බුදු රාජානන් වහන්සේලා, අරිහත් උතුමන් උත්තමාවියන්, තරඟ කොට ජයගත් තරඟයකටය. මේ තරඟයෙන් රාහුල, සෝපාක, නිග්‍රෝධ වැනි දරුවන් ද ජයගෙන ඇත. පටාචාර, ඉසිදාසි වැනි කාන්තාවන් ද ජයගෙන ඇත. පුහුණුව සාර්ථක නම් ජයග්‍රහණය ස්ථිරය.

ඔබ සරල වන්න සැහැල්ලු වන්න. නිදහස්ව සිටින්න. අවශ්‍ය වෙලාවේදී පැන්  පහසු වන්න. පොරවන සිවුර දහදිය ගඳ නම් සෝදා ගන්න. කුටිය මිදුල පිරිසිදුව තබාගන්න. අනිත්‍ය දකිනවා කියා අපිරිසුදී කම ලඟට නොගන්න. අනිත්‍ය දකිනවා කියා ඔබ අපිරිසිදුකම ලඟට ගන්නේ නම් ඔබ දකින්නේ මුස්පේන්තු අනිත්‍යකි.  එය මාර බලයකි. ඔබ එය පරාජය කරන්න. ඔබ මද්‍යස්තවන්න.  අසුභය දැකීමට නම් සාපේක්ෂව ලස්සන සහ පිරිසුදුකම තිබිය යුතුය. ඒ ලස්සනට නොඇලීමට, ලස්සන ඔබේ කර නොගැනීමට ඔබ ශක්තිමත් විය යුතුය. මේ ලෝකයේ සියලුම ලස්සන රුප ඔබේ කමටහන් විය යුතුය. හින්දි සිනිමාවේ සුරුපීම නිළියත් වැඳිරියක්, ඇටසැකිල්ලක් සේ දැකීමට ඔබට හැකිවිය යුතුය. ඒ අවස්තාව ඔබට අසුභය වැඩිය නොහැක. අවලස්සන බවට යමක් පත්වන්නේ ලස්සන තිබුනහොත්ය. මන්ද ලස්සන අනිත්‍ය බවට යමක් පත්වන්නේ ලස්සන තිබුනහොත්ය. මන්ද ලස්සන අනිත්‍ය වී අවලස්සන ඇතිවන බැවිනි. මේවා ලෝකයේ ස්වභාවයන්ය.

ඔබ මෙසේ අවංකව, වීර්යවන්තව ප්‍රතිපදාවේ යෙදී සිටින විට ලොවුතුරු බුදු රජාණන් වහන්සේ ඔබේ හදවතට වඩීවී.  මොකද දැන් ඔබේ හදවත හබ බුදු කුටියක් නිසා. උන්වහන්සේ ඔබට කියා දෙනු ඇත. ඊළඟට ගත යුතු මග සංඥා  වශයෙන් ඔබට වැටහෙනු ඇත. මෙවිට ඔබ සද්ධන්ත හස්ති රාජයෙකු සේ වීර්යයෙන් නැගී සිටීවි. ඇයි දන්නවාද?   ඔබට ප්‍රත්‍යක්ෂ වශයෙන් වැටහෙනවා ලොවුතුරු  බුදු රජාණන් වහන්සේ ඔබ ළඟ වැඩ සිටින බව. ඔබට කමටහන් දෙන බව ඔබට වැටහේවි. මෙහිදී ලොවුතුරා බුදු රජාණන් වහන්සේ සහ ප්‍රඥාව යනු දෙකක් නොව එකක් බව ඔබට වැටහේවි. නිවන් මග වඩන්න. බුදු සමිදුන් දකින්න.
මේ විශ්වාසය තුල යයග්‍රහණයේ දොරටුව ඇත. ඔබගේ උත්සාහයෙන් එය විවුර්ත කරගන්න. ඔබ දොරටුව විවුර්ත කර ගතහොත් ලෝක ය තුල ඔබ නිවෙනු ඇත. එවිට දෑස පියා ගත සැනින්  .මුළු ලෝකයම නිරුද්ධ කර දැකීමට ඔබට හැකිය. ඔබට මේ ගමනේදී බුදු සමින්දුන්වත් අට්ටික සඥාවෙන්  දැකීමට සිදුවෙනු ඇත.  එයට ඔබ ශක්තිමත් වනතුරු කලබල  නොවන්න. තවමත් ඔබට උන්වහන්සේගේ මග පෙන්වීම අවශ්‍යය.  එතෙක් ඔබ බුදු රජාණන් වහන්සේ මනසින් ඔබේ ආරක්ෂකයා වශයෙන් වැඩමවා ගන්න දක්ෂ වන්න. නිසි වෙලාව පැමිණි විට ඔබගේ ශාස්තෘන් වහන්සේව ද අත හරින්න ඔබට අනිවාර්යෙන්ම සිදු වේවි. මන්ද උන්වහන්සේ තුල ද සත්වයෙක්, පුද්ගලයෙක් නොවන බව ඔබට අවබෝධ වන නිසාය.
—-o—
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s