15-සැබෑ සිහියෙන් උපනා විනය වේ මැයි අගනා

2011-08-28
සැබෑ සිහියෙන් උපනා විනය වේ මැයි අගනා

ගෞතම සම්බුද්ධ ශාසනය ඇතිවෙලා, අතීතයේ දඹදිව් තලයේ තරුණ, මධ්‍යම, වැඩිහිටි වයස්‌වල බලකාර, නිලකාර, සාමාන්‍ය, දුගි දුප්පත් පවුල්වල දරුවන් පැවිදි භාවයට පත්වී ශාසනතලය ඒකාලෝක කළේ ශාසනය තුළ කිසිදු විනයක්‌ පනවා නොතිබියදීය.

වසර 20 ක්‌ පුරාවට අනන්ත අප්‍රමාණ පිරිසක්‌ නිවී සැනසුනේ විනය පැනවීමකින් තොරවය. ඒ උන්වහන්සේලා තුළ සිහිය, සතිය, නිවීම කෙරෙහි ඇති වීර්යය නිසාය. එහෙත් කාලීනව බිහිවූ සතිය, සිහිය දුර්වල භික්‍ෂූන්වහන්සේලා නිසා විනය පැනවීමට ලොව්තුරා බුදුරජාණන් වහන්සේට සිදුවිය.

විනය පැනවූයේ සතියෙන්, සිහියෙන් තොරව තම අරමුණ, ප්‍රතිපදාව අමතකවූ ස්‌වාමීන්වහන්සේලාට සතිය, සිහිය ඇතිකිරීමටය. ඒ තුළින් අනාගත ශාසන පැවැත්ම උදෙසාය. සමාධිය, ප්‍රඥාව තබා අවම වශයෙන් ශීලය තුළවත් හික්‌මීමට අසමත්වූ භික්‍ෂූන් නිසා විනය පැනවීමට සිදුවූ බව විනය කාරණා විමර්ශනය කිරීමේදී වැටහේ. එහෙයින් විනය කවුරු උදෙසාද යන්න පැහැදිළිය. එහෙත් ඔබ තුළ නිවීම උදෙසා අවංකභාවය, වීර්යය අධිෂ්ඨානය ඇති නම් මුල් වසර 20 තුළදී ශාසනයේ භික්‍ෂූන් වහන්සේලා හික්‌මුණේ යම්සේද එලෙස හික්‌මීමට වර්තමානයේදී භික්‍ෂුවට කිසිදු බාධාවක්‌ නොමැත. නිවීමේ සැබෑ මඟ ඇත්තේ තමා තමා නීති පනවාගැනීමකින් තොරව ස්‌වභාවික සිත, කය, වචනය හික්‌මවා ගැනීම තුළය. සිහිය සතිය පවත්වාගනිමින් සැබෑ මධ්‍යම ප්‍රතිපදාව තුළ ඔබ හික්‌මෙන්නේ නම් ශාසනය ආරම්භවී මුල් වසර 20 තුළදී මෙන් ඔබටද සැබෑම බුදුමග යන බුදුපුතෙක්‌ විය හැක. ඔබ විනය ගැන ගැටෙමින් ජීවත්වන්නේ නම් එයට හේතුව ඔබේ ශීලය ශක්‌තිමත් භාවයක්‌ නැතැයි ඔබ තුළ ඇති සැකය නිසාය. ඔබ විනය දැඩි ලෙස රකින්නේ යෑයි විනයට ඇලෙමින් ජීවත්වන්නේ නම් එයද කෙළෙස්‌ ධර්මයකි. මෙහිදී මාන්නය ඇතිවීම ස්‌වභාවිකය. නිරතුරුවම තමා තුළින් වරදක්‌ සිදුවුණාය යන සිතිවිල්ලද, තමා නිවැරදි වුණාය යන සිතිවිල්ලද යන දෙකම තුළ ඇත්තේ ඇලීම සහ ගැටීමය. මෙය නිවන් මඟ අතරමං කරන සියුම් ස්‌ථානයකි. ශීලයෙන් ශක්‌තිමත්ව සමාධිය ඇතිකර ගනිමින් ඔබ අනිත්‍ය වශයෙන් සියල්ල දකිමින් ප්‍රඥාව වඩවාගන්න. එවිට ඔබට ඉබේම ඔබ තුළින්ම විනය රැකේවී. ශීලයෙන් පිරිහෙමින් විනයේ සරණ නොයන්න. නැවත නැවත වැරදි කරමින් නිවැරදි වීම ශාසනය රැකීමේ ප්‍රතිපදාව විය හැකිය. එහෙත් එය සැබෑ නිවන් මඟ නොවේ. මොනයම් හෝ ආකාරයකින් සම්මා සම්බුද්ධ ශාසනය රැකීම අති ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයකි. ඒ ගැන තර්කයක්‌ නොමැත. නිවන් මඟේ හික්‌මෙන්නාට ඔහු අවංක නම් සතිය, සිහිය තුළින් විනය ස්‌වභාවිකව ඇතිවෙනවා මිස එය ආයාසයක්‌ ගෙන ඇතිකරගන්නක්‌ නොවේ.

විනය, සතිය, සිහිය යනු තුන් නිවුන් දරුවන් සේය. සතිය සිහිය ඔබ ළඟ තිබෙන්නේ නම් ඒ ඔබ ළඟ තිබෙන්නේ විනයයි. සතිය සිහිය ඔබෙන් ගිලිහී ගිය විට විනයද ඔබෙන් ගිළිහී යනු ඇත. ඔබට හොඳ උදාහරණයක්‌ කියන්නම්. භික්‌ෂුවකට හිසකෙස්‌ සහ රැව්ල වෙන් වශයෙන් බෑම විනයට පටහැනි නැහැ. සතිදෙකකට මාසයකට වරක්‌ හිසකෙස්‌ බානවා. දින දෙක තුනකට වරක්‌ රැව්ල බානවා. නමුත් ඔබ විනය, පොතපත අතහැරපු එක භික්‍ෂුවක්‌ ඉන්නවා. උන්වහන්සේ හිස රැව්ල සතියකට වරක්‌ එකටමයි බාන්නේ. වෙන් වශයෙන් බාන්නේ නැහැ. සතියක්‌ රැව්ල වවාගෙන ඉන්න එක කෙනෙකුට ප්‍රශ්නයක්‌. නමුත් අදාළ භික්‍ෂුවට එය ප්‍රශ්නයක්‌ නොවේ. මන්ද උන්වහන්සේ හික්‌මෙන්නේ ශාසනයේ විනය පැනවීමට පෙර තිබූ ශාසන චර්යාවේ නිසා. එම භික්‍ෂුන් වහන්සේ දැඩිව කියනවා මගේ අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදී කිසිම දවසක හිස රැව්ල වෙන් වශයෙන් දින දෙකකදී නොකැපූ බව. මෙන්න මේ ප්‍රතිපදාවේ තමා සැබෑ නිවන් මඟ හික්‌මිය යුත්තේ. ඔබේ රැව්ල ඔබට ප්‍රශ්නයක්‌ වන්නේ ඔබ කණ්‌ණාඩියකින් මුහුණ බලනවා නම් පමණයි. ඔබ කණ්‌ණාඩිය අතහරින්න. එවිට රැව්ලත් ඔබට අතහැරේවී. විනයකින් තොරවම ඔබත් හික්‌මේවි. මේ සියල්ලටම සතිය සහ සිහිය මෙන්ම අවංක බවද අවශ්‍යමයි.

දිවයින ඉරිදා සංග්‍රහයේ ප්‍රකාශනය සඳහා පිටපත  සකස් කලේ   
ඉන්ද්‍රජිත් සුබසිංහ

indrajith.media@gmail.com

14-“ආදරණීය” බරපොදිය බිම තබන්න

“ආදරණීය” බරපොදිය බිම තබන්න


සමහර දෙමාපියන් ඉන්නවා, ඒ අය දූ දරුවන්ගේ වගකීම් වලින් නිදහස්‌ වෙලා කුසල් දහම් වඩමින් ජීවත් වෙනවා. ඒ අය නිවන ගැනත් කථා කරනවා. දිව්‍ය බ්‍රහ්ම ලෝක ගැනත් බලාපොරොත්තු තබා සිටිනවා. මේ අය මොන පිංකම කරන්නෙත්, දවස ගතකරන්නෙත් දෙදෙනාට දෙදෙනා ගොඩාක්‌ ළෙන්ගතු බැඳීමකින්. සිදුහත් කුමාරයා ධර්මය සොයාගෙන ගියේ යශෝදරාව අතහැර දමාය. ඇය පමණක්‌ නොව, රාහුලයන්ද අතහැර දමාය. මේ අය ගැන බැඳීමෙන් නිවීමක්‌ හෝ බ්‍රහ්ම ලෝකයක්‌ ගැන සිතිය නොහැකිය. යශෝදරාවන්ටද නිවීම අවබෝධකොට ගන්නට සිදුහත් කුමරුන්ද, රාහුලයන්ද අත්හැරිය යුතු විය. එකට බැඳීමකින් නිවීම අවබෝධ කරගත නොහැක. සහකරුවන් සමඟ නිවීම උදෙසා යා නොහැක. ඇය හෝ ඔහුද, ඔබ අතහැරිය යුතුය. අත්හැරිය විට, ඔබේ මඟ නිරවුල්ය. ඔබේ තනියට, පාළුවට ඔබ ළඟ සිටින්නේ ඔහු හෝ ඇය පමණක්‌ වුවද, ඒ කෙනා යනු ලෝකයමය. මුළු ලෝකයටම ඔබව තබා බඳින වරපටයි.

ඔබ දක්‍ෂ නම්, ඔබේ තනියට ඔබ ළඟම සිටින කෙනා ඔබෙන් අතහැර ඔබ ධර්මය අවබෝධ කරගෙන, අවම වශයෙන් සතර අපායෙන් මිදුණ සත්වයෙක්‌ බවට හෝ පත්වී, ඇයට හෝ ඔහුට පිහිටවෙන්න….

නිවන් මඟ ඔබට තරණය කළ හැක්‌කේ ඔබ සරල, පහසු, සැහැල්ලු වන තරමටය. ඔබ ඔබේම කරගෙන ඔසවාගෙන යන්නේ ඔහු හෝ ඇය කියන බර පොදිය වුවද බර යනු බරක්‌මය. ලෝකයේ බරෙන් මිදීමට පෙරාතුව ඔබ ඔබේ බරෙන් මිදිය යුතුව ඇත. ඔබේ සහකරු හෝ සහකාරිය ඔබේ පිහිට, සරණ යෑයි ඔය සිත නිරතුරුව සිතුවද නිවන් මඟට ඇය හෝ ඔහු මහා කළුගල් පර්වතයකි. අතිනත අල්ලාගෙන දෙදෙනා ආදර්ශමත් යුවළක්‌ ලෙස කුසල් මඟේ සතුටින් ගමන් කළද, කවදාහරි දවසක දෑස පියවෙන මොහොතේ, එය අත අතහැරීමට ඔබට නොහැකි වුවහොත් එය මහා අවාසනාවක්‌ වනු ඇත.


දිවයින ඉරිදා සංග්‍රහයේ ප්‍රකාශනය සඳහා පිටපත  සකස් කලේ
ඉන්ද්‍රජිත් සුබසිංහ

indraith.media@gmail.com

16-ඔබ වන්න පිරිත් පොත

2011-08-21

ඔබ වන්න පිරිත් පොත

ගිහි – පැවිදි කාහට වුවද, තමන්ගේ ජීවිතය ආරක්‍ෂා කර ගැනීමට, අපල උපද්‍රව, ලෙඩ රෝග අමනුෂ්‍ය දෝෂවලින් මිදීමට පිරිත් ගැන විශාල විශ්වාසයක්‌ තිබෙනවා. ඒ විශ්වාසය නිවැරැදිය. ප්‍රතිඵලදායකය. නමුත් පිරිතේ සැබෑ ශක්‌තිය, සැබෑ ප්‍රතිඵලය තිබෙන්නේ සඡ්Cධායනය හෝ ශ්‍රවණය කිරීම තුළ නොවේ. වර්තමාන සමාජය තුළ පිරිතේ යෙදීම ඉහත කරුණු දෙකට සීමා වන බවක්‌ පෙනෙන්නට තිබේ. පිරිතේ අර්ථය ජීවිතය තුළින් ක්‍රියාත්මක කිරීමේ හුරුව, පුරුද්ද, දැනුම සමාජයෙන් ඈත්වෙමින් ඇත. පිරිතේ සැබෑ ශක්‌තිය ඇත්තේ එහි අර්ථය, ජීවිතය තුළින් ක්‍රියාත්මක කිරීමෙන්ය. අයෙක්‌ භික්‍ෂුවගෙන් ඇසුවා “ඇයි ඔබ වහන්සේ පිරිත් කටපාඩමෙන් නොදන්නේ, පිරිත් පොතක්‌ භාවිත නොකරන්නේ” කියලා. භික්‍ෂුව දුන්න පිළිතුර තමා “ඔබ භික්‍ෂුවගේ සිත, කය, වචනය ක්‍රියාත්මක වන ස්‌වරූපය දකින්න. ඒ ඔබ දකින්නේ පිරුවානා පොත්වහන්සේය” කියලා. පිරිත් කටපාඩම් නොකළාට, අනුනට දේශනා කරන්නට නොගියාට, පිරිතේ සැබෑ හරය ජීවිතයට එකතු කරගෙන සිටිනවා පිරිත් පොතක්‌ වගේම. ඔබත් දක්‍ෂවන්න ජීවිතය පිරිත් පොතක්‌ කරගන්න. එවිට ඔබ පූජනීය වේවි.

දිවයින ඉරිදා සංග්‍රහයේ ප්‍රකාශනය සඳහා පිටපත  සකස් කලේ
ඉන්ද්‍රජිත් සුබසිංහ

indraith.media@gmail.com

12- දුක්‌ දෙන මිතුරා

2011-08-14
දුක්‌ දෙන මිතුරා

ලෝකය කියන්නේ දුකක්‌. ලෝකය දුකක්‌ බවට පත්වන්නේ ලෝකයේ තිබෙන සියල්ල අනිත්‍ය බවට පත්වන නිසා. අනිත්‍ය වූ ලෝකය නිත්‍යභාවයෙන් ගැනීම නිසා ඔබ දුක්‌ විඳිනවා. මේ මොහොතේ ඔබ නිදිමරාගෙන, දහඩිය මුගුරු දමාගෙන වෙහෙසෙන්නේ, දන්දෙන්නේ, පිංකම් සිදුකරන්නේ, විවිධත්වය සොයායන්නේ ඔය දුකෙන් අත්මිදීමටයි. දුක ඔබට අයිති දෙයක්‌ නොවෙයි. දුක අයිති ලෝකයට. ලෝකයට අයිති දුක ඔබ අයිති කරගෙන. ඔබ මේ මුළු විශ්ව ධාතුවේම අස්‌සක්‌ මුල්ලක්‌ නෑරම සෙවුවද පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතු කොටස්‌වලින් සෑදුණ, නිරතුරුව වෙනස්‌වන රූපයක්‌ මිසක්‌ වෙන දෙයක්‌ හමුවන්නේ නැහැ. මම, අපි, ඔබ….. මෙහෙම කෙනෙක්‌ කොතැනකදිවත් හමුවන්නේ නැහැ. මෙතෙක්‌ ඔබ ‘මම, අපි, ඔබ’ කියා කෙනෙක්‌ මුණගැසී ආශ්‍රය කර ඇත්නම් ඒ හැමදෙනාම නිරතුරුවම ලෙඩට, වයසට, මරණයට පත්වූ, එහෙම නැතිනම් පත්වෙන පිරිසක්‌. ඔබේ සීයා, ආච්චි, ලොකු තාත්තා, ලොකු අම්මා, අම්මා, තාත්තා මැරිලා යනකොට පුතා, දුව, මුනුපුරා, මිනිපිරී ලොකු මහත් වෙනවා. කුමක්‌ සඳහාද?

කවදාහරි දවසක ආච්චිලා සීයලා වීම සඳහා.

ඔය චක්‍රය වටේ අපි දිව යනවා. අපට ගැලවිල්ලක්‌ නැහැ. චක්‍රය කියන්නේ ලෝකයයි. ලෝකය තුළ සත්වයා දුවනවා. මෙය චක්‍රයක්‌ නිසා ඉන් පිටවෙන්න කාටවත්ම බැහැ. ඔබට මේ ලෝකයෙන් ගැලවෙන්න අවශ්‍ය නම් චක්‍රයම නිවාදමන්න ඕනෙ. මේ චක්‍රය තුළ දුවනකොට අපට ලෝකය සුන්දර බව පේනවා. සත්තකින්ම ලෝකයේ සුන්දර බවක්‌ තිබෙනවා. එය ඔබට පෙනෙනවා, ස්‌පර්ශ කරනවා, විඳිනවා. රාත්‍රී අහස දෙස බලන්න. එහි රශ්මි වළල්ලක්‌ සහිතව පායන පුරසඳ, නැතිනම් වැහි අහසේ පායන පාට පාට දේදුන්න. සති අන්තයක කතරගම, අනුරාධපුර පූජා භූමි මතකයට ගන්න. තරු පහේ හෝටලයක, සමාජ ශාලාවක රාත්‍රියේ තිබෙන අසිරිය….

ඔබ මේවායේ මොනතරම් ආශ්වාදයක්‌ අත්විඳිනවාද? ඔබ මේ සුන්දරත්වය කියලා දකින්නේ අනිත්‍යයි. මොකද මේ හැමදෙයක්‌ම මොහොතින් මොහොත වෙනස්‌වන නිසා. මේ මොහොතේ පවතින ස්‌වභාවය, ඊළඟ මොහොතේ වෙනස්‌වන නිසා ඇතිවන විවිධත්වය තමයි ඔබට මේ සුන්දරත්වය ඇති කරන්නේ. මේ රූප අනිත්‍යභාවයට පත්නොවී නිත්‍යභාවයේ පවතිනවා නම් ඔබට ඒවායේ විවිධත්වයක්‌ පෙනෙන්නේ නෑ.

මේ විවිධත්වය, චමත්කාරය ඔබට දැනෙන්නේ රූපය අනිත්‍යභාවයට පත්වන නිසාමයි.

රූපය අනිත්‍යභාවයට පත්වන වේගයෙන්ම සිතද අනිත්‍යභාවයට පත්වෙනවා. මන්ද, සිතක්‌ සකස්‌ වෙන්නේ රූප දෙකක්‌ පස්‌සය වීම නිසා. අභ්‍යන්තර- බාහිර රූප දෙකක්‌ පස්‌සයවීම නිසා සකස්‌ වන සිතද අනිත්‍ය වීම හේතුවෙන් ඔබ සුන්දරත්වයට රැවටෙනවා. එහි නිත්‍ය ස්‌වභාවයක්‌ දකිනවා. අභ්‍යන්තර රූපය අම්මා නම් බාහිර රූපය තමයි තාත්තා. මේ දෙදෙනාගේ පස්‌සයෙන් උපදින දරුවා තමයි සිත. අම්මා, තාත්තා වගේම දරුවා තුළ ඇත්තේද වේගයක්‌ පමණක්‌මයි. අම්මා, තාත්තා මැරුණහම අපි බිරිඳ දූ දරුවන් මගේ කරගන්නවා වගේ සිතත් අනිත්‍යභාවයට පත්වන විට තව තව සිත් පරම්පරාවක්‌ සකස්‌ කර ගන්නවා. සිත් සකස්‌කිරීමට හේතුවන අභ්‍යන්තර ආයතන හය හරියට කර්මාන්ත ශාලා හයක්‌ වගේ. 24 පැයේම ක්‍රියාත්මකයි. භාහිර රූප මේ කර්මාන්ත ශාලාවට යොමුවූ සැණින් නිෂ්පාදනය සූදානම්. ලෝකයේ වේගවත්ම නිෂ්පාදන ධාරිතාවය මෙම ආයතන හය සතුයි. බාහිරින් ප්‍රවාහනය කරන අමුද්‍රව්‍ය වන බාහිර රූප, ආයතන හයෙන් එකකට ලැබුණ සැණින් නිෂ්පාදනය (නිමි භාණ්‌ඩය) සූදානම්. නිමි භාණ්‌ඩය තමා සිත. ප්‍රඥාවෙන් තොරව ඔබට මේ ගැන සිතන්නටවත් බැරි තරමට සංකීර්ණ ක්‍රියාවලියක්‌ මෙය. ලෝකයේ සංකීර්ණ බව ඇතිවෙලා තියෙන්නේ සිත් සකස්‌වීමේ වේගවත් ක්‍රියාවලිය නිසාය. තණ්‌හාවේ ප්‍රමාණය අනුව මේ කර්මාන්තශාලාවේ ඉල්ලුමට සැපයුම ස්‌ථිරව සපයනවා. නිෂ්පාදනය වැඩි වන්න වැඩි වන්න සංකීර්ණ බව වැඩිවනවා. මේ සංකීර්ණ බවට භෞතික දියුණුව කියලා කියනවා. ස්‌වභාවිකත්වය විනාශකොට කොන්ක්‍රීට්‌ වනාන්තර ඉදිවන්නේ, ශීලාචාරකම විනාශකර අශීලාචාරකම බිහිවන්නේත්, මැදිහත්බව පරාජය කර තරගකාරීබව ඇතිවන්නේත් , ආධ්‍යාත්මික වටිනාකම් අභිබවා භෞතික වටිනාකම් පැතිරෙන්නේත් අනිත්‍යභාවයට පත්වන සිත්වල සංකීර්ණ බව නිසාමයි. අවිද්‍යාව නිසා ඇතිවන මේ සංකීර්ණභාවයට ඔබ දාසයකු වනවා. ඔබව දාසභාවයේ, වහල්භාවයේ යොදවන්නේ තණ්‌හාව විසින්. අවිද්‍යාවේ තණ්‌හාවේ හැඩතල, ස්‌වරූපය, වර්ණය, රසය, ගුණය සකස්‌ වන සිත්වල ක්‍රියාකාරිත්වය තුළ මනාව පිහිටලා තිබෙනවා. අම්මා, තාත්තාගේ රුව ගුණ දරුවාට තිබෙනවා වගේ, අවිද්‍යාවේ හැඩතල ලෝකයාගේ ක්‍රියාකාරීත්වය තුළ හොඳින් විද්‍යමාන වෙනවා. අවිද්‍යාව, තණ්‌හාව ඔබව මුළාකරන මහා මගෝඩියන් දෙදෙනකු වගේ. ඔබ මේ ගමන ඉදිරියට යන්න යන්න ඔබට නම්බු නාම දෙනවා. පොහොසතා, කෝටිපතියා, මුදලාලි, පාලකයා, නායකයා, සභාපති…..

සමාජයේ විවිධ ස්‌ථරවල ඉහත කොටස්‌ ඉන්නවා. ගමේ කඩේ හිමිකරු ‘මුදලාලි’. පිටකොටුවේ තොගකඩේ හිමිකරුත් ‘මුදලාලි’. පන්ති භේදයකින් තොරව අවිද්‍යාව විසින් නම්බු නාම දෙනවා. ‘අම්මෝ හරිම ගාම්භීරයි, ආඩම්බරයි, ශ්‍රේෂ්ඨයි. පිළිගැනීම ඉහළයි. මගේ මහත්තයා ලොක්‌කෙක්‌, විධායකයෙක්‌, මගේ මහත්තයට පැක්‌ටරියක්‌ තිබෙනවා. මගේ මහත්තයා ඇමරිකාවේ’ හරිම උජාරුවට අපි කියනවා. මෙහෙම කියනකොට ඔබට නොතේරුණාට ඔබේ කට දෙකොනින් තණ්‌හාව, මමත්වය බේරෙනවා. ඒ කුණුකෙළටත් වඩා අප්‍රසන්නයි. ප්‍රඥාව වඩන කෙනකුට මෙය හරිම අප්‍රසන්න සිද්ධියක්‌ වෙන්න පුළුවන්. තමා ඉලක්‌ක කරන සැප සෑම මොහොතකම අනිත්‍ය වෙනවා. අහිමි වෙනවා. ගිලිහෙන, අහිමිවන වේගයෙන්ම ඔබ නැවත නැවත අයිතිකර ගන්න උපක්‍රම යොදනවා. සිත ඔබට නානාප්‍රකාර උපදෙස්‌ දෙනවා. හරියට මුදලට වහල්වෙච්චි නීති උපදේශකයෙක්‌ වගේ. සිත දන්නවා කෙසෙල් මලත්, නෙළුම් මලක්‌ය කියලා ඔප්පු කරන්න. සිතට පුළුවන් අවුරුදු හැටක්‌ පැන්න ආච්චි කෙනෙක්‌ තරුණියක්‌ ලෙස පෙන්වන්න. සිතට පුළුවන් පිරිමියෙක්‌ ගැහැණියක්‌ කරලා පෙන්වන්න. මේවාට විශේෂඥ දැනුම සිතට තිබෙනවා. අවිද්‍යා ටියුෂන් පන්තියේ කල්ප සියක්‌ කෝටි ගණනක සිට තණ්‌හාවේ විෂය හදාරපු ඉව, ඇතිවෙමින් නැතිවෙන සිත් සමග ගලාගෙන යනවා.

ඔබ මැඩියෙක්‌ ගැන සිතන්න. එම සතා ජලයේද, මඩේද, ගොඩබිමද, නිවසේද, පීවත්වන්නේ එකම ස්‌වභාවයේය. මේ හැමතැනම සැපයි කියලා අල්ලාගෙන. සිතත් ඔය වගේම ලගින ලගින තැන සැපයි කියලා උපාදානය කරගන්නවා. සිත ඔබේ දුක්‌ දෙන මිතුරාය කියන්නේ ඔය නිසාය. මේ මිතුරා දෙස සැකයෙන් බලන්න. එවිට මේ මිතුරාගේ ගමන් බිමන් ගැන ඔබට හොඳින් දැනේවි, වැටහේවී. මොහු චපලයෙක්‌, දෙපිටකාට්‌ටුවෙක්‌, පෙරේතයෙක්‌. උම්මත්තකයෙක්‌ වගේම විටෙක සිල්වතෙක්‌, ගුණවතෙක්‌….

මේ දෙබිඩි චර්යාව ඔබට දර්ශනය වේවි. මෙවැනි දෙබිඩි මිතුරෙක්‌ ඔබට හමුවුවහොත් ඔබ ඔහුගෙන් ඈත් වෙනවා. පරිස්‌සම්වනවා නේද?

අන්න ඒ වගේ සිතේ දෙබිඩි ක්‍රියාකාරීත්වය ගැන අධ්‍යයනය කරන්න. අනවශ්‍ය බරක්‌ නොගෙන හුදෙකලාවේ මේ අධ්‍යයනය කරන්න. එවිට ඔබට ජීවිතේ වෙනසක්‌ දැනේවී. ඔබ යමක්‌ හඳුනාගන්නා බව, සොයාගන්න බව ඔබට දැනේවි. ඔබේ ජීවිතේ සංකීර්ණ බව දුරස්‌ වේවි. ඔබට තිබෙන්නේ නැවත නැවත සිතේ අනිත්‍ය බව දැකීම පමණක්‌මය.

දිවයින ඉරිදා සංග්‍රහයේ ප්‍රකාශනය සඳහා පිටපත  සකස් කලේ
ඉන්ද්‍රජිත් සුබසිංහ

12-ඇගේ කඳුළ ළඟ සිත නැවතුණි නම්..

ඇගේ කඳුළ ළඟ සිත නැවතුණි නම්..


නිවන් මඟ වඩනා භික්‍ෂුවකට ගෙපිළිවෙළින් පිඬුසිඟාවැඩීම, තම නිවන් මඟ ශක්‌තිමත් කරගැනීමට උපකාරවන්නකි. පිණ්‌ඩපාත වඩින විට භික්‍ෂුවට ගමක එක ගෙදරක සිට තව ගෙදරකට ඇත්තේ නොපෙනෙන දුරකි. ගෙවල්වල නිවැසියන් ගොවිතැන් කටයුතුවලය. දුප්පත්කම, ශ්‍රද්ධාව, ශීලාචරකම, දන්දීමේ කැමැත්ත ඔවුන් තුළ ඇත. දිනක්‌ පිණ්‌ඩපාතය සඳහා ගොවි ගෙදරක්‌ ඉදිරිපිට වැඩ සිටින විට, කාන්තාවක්‌ පැමිණියාය. ඇය තරුණය. කුඩා දරුවකු ද ඇය පසුපස දුව ආවේය. ඇය එක්‌ දරු මවක විය හැකිය. ඇය දෝතට රැගෙන පැමිණියේ සීනි බෝතලයකි. එය ද අඩක්‌ හිස්‌ව තිබිණි. ඇය සීනි හැඳි දෙකක්‌ පාත්‍රයට පූජා කළාය. එකපාරටම ඇය ඉකිගසා හැඬුවාය. “හාමුදුරුවනේ, මේ දරුවගේ තාත්තා හම්බ කරන සේසතම බොන්න වියදම් කරනවා. ගෙදර මොකුත්ම නැහැ පූජා කරන්න, බොහෝ බැගෑපත් ස්‌වරයෙන් කියූ ඇය ඉකිගැසීය. ඇයට පිං අනුමෝදන් කර භික්‍ෂුව ඉවතට වැඩම කළහ.

කාන්තාවකගේ කඳුළු, ඉකිබිඳුම, විරහ වේදනාව, පුරුෂයාගේ නොසලකාහැරීම, එක්‌දරු මවක්‌ ඉල්ලන කරුණාව, මේ සියල්ල මාරයා ඔබට දෙන ආහාරය. එක්‌දරු මවක ලෙස ඔබ ඉදිරියේ හඬාවැටුණේ මාරයාමය. ඔබට සිතුණොත් ‘අනේ පව්. ඇයට ආහාර නැති නිසා දරුවාට කිරිත් නැහැ. පාත්‍රයෙන් යමක්‌ දරුවාට දෙන්න ඕනේ. හෙට බිස්‌කට්‌ මොනවහරි ගෙනත් දෙන්න ඕනෙ….’

මේ ආකාරයෙන් ඔබ ඇගේ දුකට අනුකම්පා කරන්න ගියොත්, ඒ ඔබ අනුකම්පා කරන්නේ මාරයාටය. අනාගතයේදී මාරයා ඔබව ගිහිගෙදරක්‌ තුළ එක්‌දරු මවකගේ දාසයකු කරනු ඇත.

හැබැයි ඔබ දක්‍ෂයෙක්‌ නම් මෙසේ සිතනු ඇත. මා ඉදිරිපිට හඬන ඇය සංසාරය පුරාවට මනුෂ්‍ය, දේව, ප්‍රේත, තිරිසන් දුවක්‌ ලෙස ඉපිද හඬමින්ද, විරහවෙන්ද, පුරුෂයා නොසලකා හැරීමෙන්ද හඬාවැටී මේ බුද්ධෝත්පාද කාලයේදීද කඳුළම උරුම කරගත් මිනිස්‌ දුවක්‌ බවයි. ඇය සොයන්නේ අනුකම්පාවයි. කරුණාවයි. ඔබ සොයන්නේ නිවීමයි. අනුකම්පාව, කරුණාව ඉල්ලීම යනු යමක්‌ එකතුකරගැනීමයි. නිවන් මඟ වැඩීම යනු අතහැරීමයි. ඔබ ඇයගේ කඳුළ, දුක අතහැරිය යුතුය. කඳුළ, ඉකිබිඳුමේ ස්‌වභාවය ලෙසත්, දරුවා මවකගේ ස්‌වභාවය ලෙසත් ඔබ දැකිය යුතුය.

සියලු දෙය අතහැර, ගිහිගෙදරින් ඉවත්ව යමෙක්‌ නිවන් මඟ වැඩීමට පැවිදි වෙන්නේ ලෝකයට අනුකම්පා කරන්න නොවේ. අනුන්ගේ දුක නිවීමට නොවේ. තමා තුළ දුක නිවා ගැනීමටය. මේ ගමන ඔබ යන විට මෛත්‍රිය, කරුණාව ද අනුකම්පාව ද අත්හැරිය යුතු අවස්‌ථා පැමිණෙනවාය. ලෝකයාට මෛත්‍රිය, කරුණාව දක්‌වමින් ඔබට මේ ජීවිතය තුළ නිවන් අවබෝධය ලැබීමට නොහැකිය. ඔබ තවම ලෝකය තුළ මැරෙන, ලෙඩවෙන, වයසට යන අසරණ භාවයෙන් මිදී නොමැත. මුලින් ඔබ මේ අසරණභාවයෙන් මිදෙන්න. සසර සැප තියෙනවාය කියන මුළාව පසුපස දුවන, තව පාරමී මදිය කියලා විශ්වාස කරන, රුචි ලෝක ප්‍රාර්ථනා කරන පින්වතුන්ට නම් තව තව මෛත්‍රිය, කරුණාව වැනි ගුණධර්ම වැඩිය යුතුය. ඒ පිළිබඳ කිසිදු තර්කයක්‌ නොමැත. හැකි උපරිමයෙන් එම ගුණධර්මයන් වැඩිය යුතුය. බලන්න, සත්වයා මාරයාගේ සිත දවන්න කොතරම් අකැමැතිද කියලා. එයාගේ තුරුලම පතනවා. මාරයාගේ තුරුළ තමයි භවය. මාරයාගේ තුරුලේ උණුසුමේ තලු මරමින් සතුටු වෙමින්, ඉකිගසමින් හඬමින් කල්ප සියක්‌ කෝටි ගණනක්‌ ඇවිඳපු ඔබ අදත් මාරයා අතදිගුකොට පෙන්වන සසරට ලොල් වෙනවා. මෛත්‍රී බුදු සමිඳුන්ගේ ශාසනය තෙක්‌ නිවීම කල් දමනවා. තවත් කල්ප ගණනාවක්‌, ආත්ම දස දහස්‌ ගණනක්‌ මැරී මැරී ඉපිදෙමින් යම් හෙයකින් මනුෂ්‍යයකුව ඔබ මෛත්‍රී බුදු සමිඳුන්ගේ ශාසනය ඇති වූ කල ඉපදුණහොත්, එදාටද අද වගේම මාරයො ඔබට ඊළඟට බුදු වන බුදු සමිඳුන්ගේ ශාසනය ඇඟිල්ල දිගුකොට පෙන්වාවී. ඔබ එයත් පිළිගනීවි. ඒ ආකාරයෙන් සම්මා සම්බුද්ධ ශාසන ලක්‍ෂ ගණනාවක්‌ පසුකොට මාරයා ඔබව රැගෙනවිත් තිබෙන්නේ. ඒ නිසාම මාරයාගේ උණුසුම ඔබේ ශරීරයේ උණුසුම කරගෙන සංසාරයක්‌ පුරාවට ඔබට දුක්‌ සාගරයක්‌ උරුමකොට දුන් මාරයාගෙන් නිදහස්‌ වීමට නම් ඔබ කිසිවක්‌ ජීවිතයට එකතුකරගතයුතු නැත. ඔබ කළ යුත්තේ සියල්ල අතහැරීමයි. බලන්න ඔබ එකතු කිරීම කියන අමාරුදේ කරමින් අතහැරීම කියන ලෙහෙසි දෙය මගහරිනවා. එකතු කිරීමය යනු මාරයාගේ ධර්මයයි. අතහැරීම යනු ලොව්තුරා ධර්මයයි. ඔබ මාර පුතෙක්‌ වෙන්නද කැමැති? බුදු පුතෙක්‌ වෙන්නද කැමැති?

ඔබ කරන්නේ එකතුකිරීම, රැස්‌කිරීම ගොඩගසා ගැනීම නම් ඔබ මාරපුත්‍රයෙක්‌මය.මරණින් පසු පෘථග්ජන ගිහි – පැවිදි පින්වතුන් පාංශකූලයේදී තරගයට දේශන පවත්වා, බැනර් ඔසවා ඔබව නිවන් දක්‌වනු ඇත. පෘථග්ජන ගිහි – පැවිදි පින්වතුන්ගේ අසූචි මල් මාලා පළඳවාගෙන ඔබට සිදුවන්නේ තව උපතක්‌ කරා යැමටය. එය සතර අපාය වීමටද හැකිය. දිව්‍ය, මනුෂ්‍ය ලෝක වීමටද හැකිය. එහෙත් ඒ සියල්ලේම ඇත්තේ දුකමය.

පිණ්‌ඩපාතය වැඩීම නිවන් මඟ වැඩීමට අවශ්‍ය කලමනා සොයායන ගමනක්‌ කරගැනීමට ඔබ දක්‍ෂ විය යුතුය. ඔබ සොයා යන්නේ ආහාර පමණක්‌ නම් මාරයා ඔබට ආශිර්වාද කරනු ඇත. මන්ද ඔබ ආහාර සොයා යන්නේ මාරයාගේ පැවැත්ම පිණිස බැවිනි. දානය පූජා කළ දායකයාට මෛත්‍රී කිරීමට අප කාටත් හැකිය. ඔබ කළ යුත්තේ සැවොම කරන දෙය නොවේ. අන් අයට කළ නොහැකි දෙයයි. හැමෝටම කළ නොහැක්‌කේ නොදුන් කෙනාට මෛත්‍රිය කිරීමයි. පිණ්‌ඩපාත ගමනේදී ඔබ දක්‍ෂ වුවොත් මෛත්‍රී සමාධියට පත්වීමට ඔබට හැකිය. යමෙක්‌ ආහාර පමණක්‌ සොයා පිණ්‌ඩපාතය වඩිනවා නම් ඔහු තුළ ඉතිරිවන්නේ කුසගින්න නොව, භව ගින්නය. භවගින්න නිවාගතහොත් සියලු ගිනි නිවී යනු ඇත. මෙතෙක්‌ අප කර ඇත්තේ ගින්නට පිදුරු දමාගැනීමය. පිදුරු සපයන්නේ මාරයා වුවද ගින්නෙන් දැවෙන්නේ ඔබය. ගින්නේ ස්‌වභාවය ඇවිළීමය. පිදුරුවල ස්‌වභාවය ඇවිළීමට උපකාරී වීමය. මාරයාගේ ස්‌වභාවය මේ දෙක එකතු කිරීමය. ඔබේ ස්‌වභාවය විය යුත්තේ භව ගින්නට කෙලෙස්‌ පිදුරු නොදමා, මාරයාට නොපෙනෙන්නට ගින්න නිවාදැමීමය.

දිවයින ඉරිදා සංග්‍රහයේ ප්‍රකාශනය සඳහා පිටපත  සකස් කලේ
ඉන්ද්‍රජිත් සුබසිංහ