11 පරණ පුරුදු

2011-07-31
පරණ පුරුදු


අපි හැමෝම පැවිදි වෙන්නේ මේ සසර දුකින් මිදීම අරමුණු කරගෙන. එහෙම පැවිදිවෙලා ආරණ්‍යගතව කුටි හදන්න, පාරවල් හදන්න වගේ සංවර්ධන වැඩට යොමුවීම අභාග්‍යයකි.

ගිහිගෙදර ගෙවල් දොරවල් අතහැරලා පැවිදිවෙන්නේ අතීතයේ කළ දේවල් නැවත කරන්නට නොවේ. ගිහි කාලේ බාසුන්නැහේ පැවිදි වෙලා බාස්‌ වැඩේ කරනවා. ලේඛක මහතා පැවිදිවෙලා පොත්ලියනවා, අරක්‌කැමියා පැවිදිවෙලා මුළුතැන්ගෙයි දානය හදනවා…..

මෙය නොවිය යුතු දෙයක්‌.

අපි සිතන්න ඕනේ අපි පැවිදි වූණේ එවැනි සංවර්ධන වැඩ කිරීමට නොව සිත සංවර්ධනය කිරීමටය කියා. ඇයි සිත සංවර්ධනය කරන්නේ, සිත කෙළෙස්‌ වලින් ගරා වැටී ඇති නිසා. එහෙයින් නිවන් මගේ හික්‌මෙන ඔබ කළයුත්තේ ගොඩනැගීම නොව, කඩාදැමීමය.

සියලු කෙළෙස්‌ කඩා දැමූ කල අප ගමන් කරන්නේ නිවීම දෙසටය. ගිහි ජීවිතය පුරාවට අපි කළේ ගොඩනැගීමයි.

පවුල, ධනය, සම්පත්, සමාජ තත්ත්වය අපි ගොඩනැගූ කෙළෙස්‌ කන්දයි. අපි කළයුත්තේ එම බර එකිනෙක බිම තැබීමයි. එම බර බිම තබා ආරණ්‍ය සංවර්ධන බර ඔබ කරට ගන්නේ නම්, එයද කෙළෙස්‌ කන්දක්‌මය. අපි කළ යුත්තේ “කැහි ගෑනියදී, සොටු ගැහැනිය ගැනීම” නොව මේ දෙදෙනාම අතහැරීමය.

එසේ නොකළහොත් කැහි සහ සොටු වලින් ඔබව සංසාරික පීනස්‌ රෝගියෙක්‌ කරනු ඇත.

‘ශාසනය රකින්න, ආරණ්‍ය දියුණු කරන්න’… මේවා මාරයාගේ ලස්‌සන අයිසිං තැවරූ කේක්‌ ගෙඩිය. ඔබ දක්‍ෂ විය යුත්තේ අයිසිං තවරා ඇත්තේ කේක්‌ ගෙඩියකට නොව ලෝදිය හැළියකට බව අවබෝධකර ගැනීමටය.

සංසාරය පුරාවට අපි ආරක්‍ෂා කළ ශාසන වල, අපි හැදූ, පූජාකළ කුටිවල, ආරණ්‍ය වල මහරහතන් වහන්සේලා ලක්‍ෂ ගණනින් වැඩ සිටින්නට ඇත. සුනිතලා, පටාචාරලා සෝපාක ලා වැනි අන්ත අසරණ අඩියක සිට පැමිණ, අරහත්වය ලබාගත් උතුමන්ද වැඩ සිටින්නට ඇත. එහෙත් අපි තවමත් කුටි, ආරණ්‍ය, ගල්වැටි බඳිමින් සිටින්නෙමු. ඔය ගඩොලින් ගඩොල බැඳෙන්නේ ආරණ්‍ය සංවර්ධනය නොව දුකය. නිවීමේ මඟ යනු ගඩොලින් ගඩොල ගලවා ඉවත් කිරීමයි. මේ දුක අපි ඊළඟ පරම්පරාවන්ටද උරුමකොට දෙන්නෙමු. ගිහි පිංවතුන්වද මේ කඹයේම දිගේලි කරමු.

වනය තිබෙන්නේ එළිකරන්නටවත්, ලස්‌සන කරන්නට වත් නොවේ. වනය ස්‌වභාවයෙන්ම පියකරුය. අප කළයුතේ අපේ හදවත් ධර්මයෙන් ලස්‌සන කිරීමයි. අපේ හදවත් අපිරිසිදු නම් වනය ලස්‌සන කරන්නට අපිට සිදුවේ. එහෙත් ඔබ කැමැති ආරණ්‍ය සංවර්ධනයට නම් ඔබ එම වනයේම මතු ආත්මයේදී රුක්‌ දෙවියෙක්‌ ,ආරණ්‍ය සුරකින දෙවියෙක්‌ වීමට පුළුවන. එය ඔබ කැමති දෙයම නිසා සතුටින් භාරගතයුතුය. ලෝකයේ ස්‌වභාවය විවිධය. ස්‌වභාවය විවිධත්වයට පත්වන්නේ අනිත්‍ය භාවය නිසාය. එහෙයින් විවිධත්වය ලෙස අප දකින්නේ අනිත්‍යයි. එය අවබෝධ කරගැනීම ධර්මය, අනිත්‍යය අවබෝධ කරගැනීමය.

ආරණ්‍යයක්‌, ශුන්‍යගාරයක්‌ තුළට නිවන් මග වඩන්නෙක්‌ යා යුත්තේ පරිසරයේ ස්‌වභාවය අවබෝධ කරගැනීමට මිස තම තමන්ගේ උවමනා එපාකම් වලට අනුව පරිසරයේ ස්‌වභාවය වෙනස්‌ කිරීමට නොවේ. එසේ කිරීමෙන් ඔබ ධර්මය අවබෝධකිරීම මඟහැර, ධර්මයේ කොටස්‌කරුවෙක්‌ වෙනවා ඇත. අසනීපයට බෙහෙත් ගැනීමට රෝහලට ගිය රෝගියා කළ යුත්තේ රෝගයට බෙහෙත් ගැනීමයි.

ඔහු එය පසෙක තබා රෝගීන්ට උපස්‌ථාන කිරීමට යන්නේ නම්, ඔහුගේ රෝගය ඔහුව පිළිගනු ඇත. අවාසනාව වනුයේ වෛද්‍යවරයාත්, ඖෂධත් රෝහලත් තුනම තිබියදී ඔහු රෝගයෙන් මිය යැමයි. අපි කළ යුත්තේ බැළුම්බෝලයක්‌ වන් මිනිස්‌ දුවකගේ, තිරිසන් දුවකගේ, ප්‍රේත දුවකගේ ගර්භාෂ කුටියකට නැවත ගාල් කිරීමට නොව මේ කසල ගොඩේ නැවත ගාල් නොවීමට වගබලාගැනීමයි. එහෙත් ඔබ පතන්නේ ගර්භාෂ කුටියක්‌ නම් නොවරදවාම ඔබට එය ලැබෙනු ඇත.



දිවයින ඉරිදා සංග්‍රහයේ ප්‍රකාශනය සඳහා පිටපත සකස් කලේ
ඉන්ද්‍රජිත් සුබසිංහ

Advertisements

10 -සැබෑ ප්‍රත්‍යාවේක්‍ෂාව යනු…

2011-07-24

සැබෑ ප්‍රත්‍යාවේක්‍ෂාව යනු…



ආහාර වේලක්‌ ඔබ මොන තරාතිරමකින් පූජාකළත්, එය පිළිගන්නා අයට මෙන්ම පූජාකරන්නාටද ලැබෙන්නේ මෙලොව පරලොව වශයෙන් අනිත්‍යයට පත්වෙන ආයුෂ, වර්ණ, සැප සහ බලයයි.

ප්‍රඥාව වඩවාගැනීමට ඉහත සියල්ලම සහයෝග වන්නේය.

එහෙයින් අප වෙහෙසිය යුත්තේ එක වේලද, දෙකද, නැතිනම් මාංශද නිර්මාංශද, පලතුරුද නැතිනම් බත් ව්‍යංජනද කියා දෘෂ්ඨිගත වීමට නොව, ආහාර මොන ස්‌වභාවයෙන් ගත්තද ඉන් පෝෂණය වන්නේ නිරතුරුවම වයසට යන ලෙඩවෙන, මැරෙන කයක්‌ බව අවබෝධකර ගැනීමටය. ඔබ ගන්නා ආහාරයම ඔබව කවදා හරි දිනයක රෝගියෙක්‌ බවටද පත්කර ඔබව මරාදමනු ඇත. රෝගි බවට පත්වීමේ සියයට සියයක්‌ම හේතුව ආහාර වල අඩු වැඩි බවයි.

ඔබට හැකිනම් ඔබේ පාත්‍රයට පූජා කරන බත්, ව්‍යංජන, පලතුරු, කැවිලි එම ස්‌වභාවයෙන් නොදැක පාත්‍රයේ ඇත්තේ අසුචි, මුත්‍රා, සෙම්, සොටු දහඩිය ලෙස දකින්න. ඔබ වළඳන තැඹිලි, වතුර කෝප්පය මුත්‍රා කෝප්පයක්‌ ලෙස දකින්න. වළඳන සුදුළුණු ව්‍යංජනය ශරීරයෙන් පිටවන වාතයක්‌ සේ දකින්න. වළඳන කිරි කෝප්පය ශරීරයෙන් ඉවත දමන සෙම ගුලියක්‌ සේ දකින්න. ඒ ඔබ දකින්නේ වෙනසක්‌ නොව එම ආහාරයේ යථාස්‌වභාවයයි. ඇත්ත ඇති සැටියෙන්මයි. සැබෑ ප්‍රත්‍යාවේක්‍ෂාවද එයයි. එසේ නොමැතිව ඇති පදම් කැමති කැමැති දේ වළඳා රාත්‍රි බුද්ධ වන්දනාවේ යෙදී ප්‍රත්‍යාවේක්‍ෂ ගාථා කීම නොවේ.

ඔබ ප්‍රත්‍යාවේක්‍ෂාව වැනි උතුම් ඉගැන්වීම් වලට විකට ඇඳුම් අන්දවන්නන් නොවිය යුතුය. මන්ද ඔබ අන්දවන්නේ ඔබටම නිසාය. ඔබේ රුචි අරුචිකම්, දිග පළල, වර්ණ ස්‌වරූපයන්ට අනුවම ඔබ මසාගන්නා ඇඳුම්වලට සරිලන චරිත ඔබට මතු සසරදී ලැබෙනු ඇත. එය ඔබේම තෝරාගැනීමයි. සඡ්Cධායනා කිරීමෙන් හෝ ප්‍රාර්ථනාකිරීමෙන් ලැබෙන දෙයක්‌ නොමැත. යමක්‌ ලැබිය හැක්‌කේ ක්‍රියාත්මකභාවය තුළින්මය.

ඔබ අදිටන් කරගන්න. දිව්‍ය ලෝක වල දිව්‍ය භෝජන, මනුෂ්‍ය ලෝකවල රාජ භෝජන, ප්‍රේත ලෝක වල සෙම සොටු, තිරිසන් ලෝකවල තණකොළ පුන්නක්‌කු, නිරයේ ගින්දර ආදිය මහපොළොවේ පස්‌ වලට ප්‍රමානාත්මකව රසබලා ඇති මම තවදුරටත්, රසයට “දිවට” ලොල් නොවේය යන සැබෑම ප්‍රත්‍යාවේක්‍ෂාවට.

එසේ නොකොට අපි අහිංසක දායකයාගේ දානය, මාරයාගේ පොෂණය සඳහා යොදවන්නේ නම් අපි අපටම ණයකාරයන් වනු ඇත. අපිට එම ණයෙන් නිදහස්‌ විය හැක්‌කේ රසය හෝ ගුණය පසුපස යැමෙන් නොව, ආහාරයේ සහ ආහාරයෙන් පොෂණය වන කයේ ස්‌වභාවය පසුපස යැමෙන්ය. කප්පිය කුටියේ, වීදුරු අල්මාරියේ මෝල්ටඩ් මිල්ක්‌, පෝෂ්‍යදායී කිරිපිටි, ජාත්‍යන්තර නම් වලින් එන කෝපි වර්ග, එළවළු යීස්‌ට්‌ සාරයෙන් තැනූ පානවර්ග ආදී බෝතල් තිබුණද උගුරෙන් පහළට තේ හැන්දක ප්‍රමානයක්‌ ගිලගැනීමට බැරි දවසක්‌ අපට එළඹෙනු ඇත. ඔබ අද මේ යථාර්ථය අවබෝධ නොකරගත හොත් එදාට ඔබට මේ බෝතල් දෙස බලා කෙළ ගිළිමින් මිය යැමට සිදුවනු ඇත. කෙළ ගිලෙන්නේ තෘෂ්ණාව නිසාය.

රස සොයන, රස ඉල්ලන හිත අනිත්‍යවශයෙන් දැකීමට ඔබ දක්‍ෂ වුවහොත් කිසිදාක ඔබට අමුතුවෙන් ආහාරය ප්‍රත්‍යාවේක්‍ෂා කිරීමට අවශ්‍ය නොවනු ඇත.

ඔබ කැමතිම ආහාරයක්‌ නිතර නිතර ඔබට වැළඳීමට කැමැත්ත එන්නේ නම්, එම ආහාරය පිළුණු කසළ ගොඩක්‌, මළ මුත්‍රා වශයෙන් දකින්න. ඔබට අයිති නැති කැමැත්ත ඔබේ කරගැනීමට යැම හේතුවෙන් සසර ඔබ විඳි දුක්‌ කන්දරාවන්, වර්තමානයේ විඳින, අනාගතයේ විඳීමට සිදුවන දුක්‌ ගොඩත් මෙනෙහි කරන්න. ඔබට අයිතියක්‌ නැති ආගන්තුක සිතක්‌ නිසා මෙතරම් දුක්‌ කන්දරාවක්‌ විඳින, පෘතග්ජන භාවයෙන් මිදී බුද්ධෝත්පාද කාලයක ලැබූ මනුෂ්‍ය ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ගන්න.

ආහාරයේ සුවඳ, ගිලෙන කෙළ, ඇතිවෙන සිත, දැනෙන රස අනිත්‍ය බවම සිතන්න. දායක පිංවතුන් පූජා කරන ප්‍රමානය, සශ්‍රික බව, විවිධත්වය ඔබ ඔබේ කර නොගන්න. පරිභෝජනයේදී ඔබ නිතරම ඔබේ සීමාව තුළ නවතින්න. කුසෙන් අඩක්‌ ආහාරද, කොටසක්‌ ජලයද, කොටසක්‌ හිස්‌වද තැබීම ඔබේ සීමාව කරගන්න. ඔබේ සීමාව තීරණය කරගැනීමට ශාස්‌තෘන්වහන්සේගේ ඉගැන්වීම්වලට මිස දායක පිංවතුන්ගේ කැමැත්තට ඉඩනොදෙන්න. මෙහි අදහස්‌ වලංගුවන්නේ මේ ආත්මභාවයේදීම නිවීම උදෙසා මඟ වඩන සත්පුරුෂයන්ට පමණක්‌ බව හොඳින් සිහියේ තබාගන්න. කැමැති පිංවත් උතුමන් කැමැති ආකාරයෙන් වළඳන්න. එහෙත් සසරින් නිදහස්‌වීම බොහෝ දුර වීමට පුළුවන් බව සිහියෙන් යුතුව දකින්න.

දිවයින ඉරිදා සංග්‍රහයේ ප්‍රකාශනය සඳහා සකස් කලේ
ඉන්ද්‍රජිත් සුබසිංහ

09-කුසගින්නද ආශිර්වාදයකි!

2011-07-17

කුසගින්නද ආශිර්වාදයකි!


නිවන් මඟ වඩනා භික්‍ෂුවක්‌ වනගතව වාසය කරන විට, පිණ්‌ඩපාතය ලබාගැනීමේ දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවීම ස්‌වභාවිකය. එවැනි අවස්‌ථාවකදී කුසගින්නද ඔබේ නිවන් මඟට ආශිර්වාදයක්‌ කරගත යුතුය.

එහෙත් මෙහිදී ඔබ කුසගින්නේ සිටිනා වග දැනගතයුත්තේ ඔබ පමණමය. එක දිගට වේලක්‌, දෙකක්‌, තුනක්‌ ආහාර නොලැබීම ඔබට පුදුම අවබෝධයක්‌ ලබාගැනීමට අවස්‌ථාව සලසාදෙයි. ඔබ කුසගින්නේ සිටින බව, සිටි බව ලෝකයා දැනගතයුතු නැත. සාක්‍ෂිකාරයාද, විත්තිකාරයාද ඔබම විය යුතුය. මන්ද ඔබ මේ පහරදෙන්නේ ඇසට නොපෙනෙන මාරයාටය. හරි ඉලක්‌කයටම පහරදුන්නොත් පරාජය වන්නේ මාරයාය. ඔබ මෙවර මාරයාට වඩා දක්‍ෂ විය යුතුය.මොකද සසර මෙතෙක්‌ ඔබට වඩා දක්‍ෂවී ඇත්තේ මාරයාය.

සමහර විට කුසගින්නේ අසිරිය ඔබ මෙතෙක්‌ විඳ නැතුව ඇත. ඔබ දන්නේ ‘කුසගිනි වෙනවා, ආහාරගන්නවා’ පමණක්‌ විය හැක. ඔය චක්‍රය අපගේ දිනචර්යාවේම කොටසකි. මුළු මහත් සත්ව ප්‍රජාවගේම ස්‌වභාවයයි. නිවන් මඟ වඩනා භික්‍ෂුව සමස්‌ත සත්ව ප්‍රජාවට වඩා වෙනස්‌ සත්වයෙකි. වෙනත් අරමුණක්‌ අධිෂ්ඨානයක්‌ කරා යන සත්වයෙකි.

ඉර-හඳ- තාරකා ජ්‍යෙdතිෂ්‍ය විද්‍යාව, හඳහන, හස්‌ත රේඛා බලා ලෝකයේ සිටින දක්‍ෂම ජෝතීර්වේදියා ඔබට කීවොත් ‘තව වසර 50ක්‌ ඔබට ආයුෂ තියනවා’ කියලා. ඔබට දීර්ඝායුෂ තියෙනවා කියා. ඔබ දින කිහිපයක්‌ ආහාර නොමැතිව ඉන්න. ඔබව මැරෙනවාමය.

ඇයි දන්නවාද? මේ කයට ආහාර නොදී කුසගින්නේ තැබුවහම හොඳට අවබෝධවෙනවා මේ කය ආහාර නිසාමයි පවතින්නේ කියලා. මේ කයට ආහාර නොදුන්නොත් ජීවන රේඛාව කොපමණ දිගට තිබුණත් ඔබ මිය යනවාමය. මේ ඔබ මහත් උජාරුවෙන් සරසාගෙන, මගේ කියා දරාගෙන සිටින කය. ආහාරයක්‌ නොදුන්නොත් මැරෙන කයක්‌, මෙය පිළුණු වන ආහාරයට අයිති කයක්‌. ආහාර නොදුන්නොත් මැරෙන කයක්‌, ඔබට අයිති, ඔබට පාලනය කිරීමට හැකි දෙයක්‌ නොවේ.

ඔබ ප්‍රඥාවෙන් බැලුවොත් හඳහන, ජ්‍යෙdතිෂ්‍යය, හස්‌ථරේඛා, නාඩි වාක්‍ය ඔබට මාරයා සසර දික්‌කර ගැනීමට අටවපු මාර උගුලක්‌ බව. මේ උගුලට ඔබ හසුවී නිවන් මඟට අවතීර්ණ වන එක කල්දමනවා. මම දන්න ඉතාමත් ගුණවත් සත්පුරුෂ නායක හිමිනමක්‌ ඉන්නවා, ඉහළ රැකියාවක්‌ හොඳ සමාජ තත්ත්වයක්‌ තරුණවියේදී අතහැරලා පැවිදිවෙලා. මුළින් නිවීම අරමුණු කරගෙන දැඩි වීර්යයකින් කටයුතු කරපු උන්වහන්සේට ජ්‍යෙdතීර්වේදියක්‌ ප්‍රකාශකර තිබෙනවා, ඔබ වහන්සේ නිවන් අවබෝධ කරගන්නේ තව වසර 10ක පසුව කියලා. දැන් උන්වහන්සේ තමන්ට පාරමී මදිය කියලා ආමිසය පැත්ත දැඩිව වඩනවා. නිවන් මඟෙන් පිටට ගිහිල්ලා.

ශ්‍රද්ධාවෙන් සියල්ල අතහැරලා, දුෂ්කරම ආරණ්‍යයක බඩ ඉරිඟු කරල වළඳලා අරඹපු ගමන අද මාරයා නවත්වලා.

මාරයා ඔබට හඳහන, හස්‌ත රේඛා, නාඩි වාක්‍ය හරහා දෙන අනාගත වාක්‍ය ඔබ ඉරාදමන්න. අවබෝධ කරගන්නා මේ කය ආහාරය නිසාමය පවතින්නේ…ජයග්‍රහණය, උත්සහයත්, වීර්යයත් නිසාමයි සිදුවන්නෙ කියා.

ශරීරයේ ධාතු කොටස්‌ අතරින්, වායෝ ධාතුව ඉතාමත්ම හොඳින් පැහැදිළිව ඔබට අවබෝධ වන්නේ කය කුසගින්නේ තැබීමෙන්ය. කය නිරාහාරව තැබුවොත් ඔබට දැනේවී ආමාශය, උගුරු දණ්‌ඩ, මළමාර්ගය හරහා මොනතරම් වේගයෙන් වායෝ ධාතුව ක්‍රියාත්මක වෙනවාද කියලා. කය තුළ ආහාර නැති විට වායෝ ධාතුව සිත්සේ කය ආක්‍රමණය කරනවා. වාතය කුපිත වෙලා දඟලනවා. ඔබ කළයුත්තේ සතියෙන් ඒ දෙස බලා සිටීමමයි.

මේ අවස්‌ථාවේදී මාරයා ඔබට කියාවී, ‘ඔබ මැරෙන්නද යන්නේ, ගෑස්‌ට්‍රයිටීස්‌ හදාගන්නද යන්නේ. හැදුනොත් හැමදාම දුක තමයි. කලන්තය හැදුනොත්?……’

මේ කිසිවකට ඔබ යටත් වෙන්න එපා. මොකද මෙසේ ඔබට කියන්නේ මාරයාමය. මාරයා යනු කෙළෙස්‌බරිත, කාම සැපයටම ලොල්වූ, ඇති වෙමින් නැති වන ඔබේ සිතය.

ඔබ එවිට මෙසේ සිතන්න. මම නිවන් මඟ වඩන භික්‍ෂුවක්‌, මේ කුණු කය මට අයත් දෙයක්‌ නොවේ යෑයි අවබෝධයෙන් අතහැරීම මඟවඩන භික්‍ෂුවක්‌. මේ කය මළත් මගේ අධිෂ්ඨානය අත්නොහරිනවාය කියලා. එවිට ඔබ මාරයාට එලව එලවා පහරදෙන භික්‍ෂුවක්‌ වෙනවාය. මෙසේ සිතමින් මාරයට පහරදෙමින් වායො ධාතුව තව තවත් අවබෝධයෙන් දකිමින් එහි අනිත්‍ය බව වඩනකොට, මාරයා බියට පත්වේවි මේ භික්‍ෂුව මාරයාට අහිමිවේවිද කියලා. එහෙම හිතලා මාරයා භික්‍ෂුවට චාටුවක්‌ දමාවී ‘ඔබ මේ විදිහට නොකා ඉඳලා මළොත් නිවන් දකින්නනම් ලැබෙන එකක්‌ නෑ’ කියලා.

බලන්න කපටි මාරයා නිවන ගැනත් කථා කරනවා. නිවන ගැන අනුකම්පාත් කරනවා. ඔබේ අරමුණ ගැන, මාරයාගේ ස්‌වභාවය ගැන ඔබ සිහියෙන්, සතියෙන් නොසිටියොත් මෙවර ඔබ මාරයාට කොටුවනවාමය.

මොකද “මළොත් නිවන් දකින්න බැරිවෙයි කියලා කියපු නිසා.” මාරයා මෙසේ කීවත් ඔබ සිතන්නේ, ඔබ කෙරෙහි අනුකම්පාවෙන් ඔබේ සිතේ හටගත් සිතිවිල්ලක්‌ කියලා. නිවන් මඟ වඩන ඔබ දක්‍ෂ වෙන්න ඕනේ. මේ මාර උපක්‍රමවලට වැට බඳින්න. නමුත් බහුතරය මෙතැනදී පරදිනවා. මොකද ‘නිවන’ කියන වචනය මාරයා පාවිච්චිකළ නිසා. මාරයා කපටිකමටයි ඔය ‘නිවන බැරිවෙයි’ කියන වචන පාවිච්චි කරන්නේ.

හැබැයි ඔබ මෙතැනදී දක්‍ෂ වුවහොත්, මේ කය, මේ වේදනාව මගේ නොවෙයි කියලා, මේ වායෝ ධාතුවද මගේ නොවෙයි කියලා දකින්න. ඉනුත් ඔබ්බට ගිහිල්ලා මාරයා ඔබට කියූ නිවනද මට අයිති දෙයක්‌ නොවන බව දකින්න. නිවනට ඇති ආශාවද අයින් කරන්න. ඔබට වැඩෙන ප්‍රඥාව තුළ ඔබ නවතින්නේ නිවන් මඟේ උපරිම දුරක්‌ ගිහිල්ලා. හැබැයි උත්සහය, වීර්ය තිබෙන්න ඕනේ නිවීම උදෙසා මේ කය අතහැරීමට.

දැන් ඔබට තේරුනාද ‘කුසගින්න ආශිර්වාදයක්‌’ කියලා කීවේ ඇයිද කියලා. ඔබ එකවේලක්‌ හෝ නිරාහාරව සිටිය යුත්තේ ඒ තුළින් අවබෝධාත්මක ප්‍රඥාව වර්ධනය කරගැනීම සඳහා මිස හුදු ශිල්වත් බව සංකේතවත් කිරීමට නොවේ. මන්ද ශීලයද, ආහාරයද ඔබව සසරටම කැන්දාගෙන යන මාර බලවේග නිසාය.

දිවයින ඉරිදා සංග්‍රහයේ ප්‍රකාශනය සඳහා පිටපත  සකස් කලේ   ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

08-මාර ප්‍රතිපදාව

2011-07-10
මාර ප්‍රතිපදාව


ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නිවන් මග වඩන්නා මධ්‍යම ප්‍රතිපදාව තුළ හික්‌මිය යුතු යෑයි අවධාරණය කළහ. තුන් සිව්රත් පාත්‍රයත් පමණක්‌ දරමින් රුක්‌ඛමූල, ශුන්‍යාගාර, ආරණ්‍යගතව සසර දුකින් එතෙරවීමට අතීතයේ භික්‍ෂුන් කැපවිය. බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව ලෙස, සසරින් එතෙරවීමට වෙරවඩන භික්‍ෂුවට දැක්‌වූයේ ඔය සීමාවය. කැමති කෙනෙකුට තම තමන්ගේ කෙලෙස්‌ වල දිග පළල අනුව මධ්‍යම ප්‍රතිපදාව අර්ථ දැක්‌විය හැකිය. ශාසනය තුළ ඊට අවශ්‍ය නිදහස ඕනෑ තරම් ඇත. විවේචනය කිරීමේ නිදහසද ඇත. එහි කිසිදු වරදක්‌ නොමැත. එහෙත් සසර දුකින් එතෙර වීමේ ප්‍රතිඵල අනපේක්‍ෂිතය. පාත්‍රය දරන පිණ්‌ඩපාතික භික්‍ෂුවට අවශ්‍ය රේසරය, සබන් කැටය පවා ගිහි දායකයාගෙන් විනයානුකූලව ලබාගත හැකි ක්‍රමය පැහැදිළිවම ප්‍රතිපදාවේ සඳහන්ව ඇත. බුදුරජාණන් වහන්සේ අර්ථ දක්‌වන ලද ප්‍රතිඵල ලැබිය හැකි මධ්‍යම ප්‍රතිපදාව ඇත්තේ එතැනය. භික්‍ෂුව පිණ්‌ඩපාතයෙන් ලද දෙයින් සතුටුවීම, යෑපීම මධ්‍යම ප්‍රතිපදාවයි.

කප්පිය කුටියේ වියළි ආහාර තබාගෙන තිබෙන ස්‌ථානයක දානයට මිරිසට, තෙලට, බැදුමට මොකුත් නැතිනම් හදාගැනීම මධ්‍යම ප්‍රතිපදාවට අදාළ නොවේ. නමුත් විනයෙන් ඊට පූර්ණ නිදහස ඇත. එම නිදහස උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගෙන කටයුතු කිරීමේ වරදක්‌ද නොමැත.

මම නැවතත් කියමි.

විනය ඇත්තේ අදක්‍ෂයාටය. දක්‍ෂයා ලද දෙයින් සතුටුවෙයි. නිවන් මඟ වැඩීමට බලාපොරොත්තුවන භික්‍ෂුව ගොඩගසන්නෙක්‌ හෝ රැස්‌කරන්නෙක්‌ නොව කුසගිනි සෑහීමට පත්වූ කල ඉතිරිය අතහරින්නෙකි. හෙට දවසක්‌ ඔහුට නැත. ඔහු ජීවත්වන්නේ වර්තමානයේය.

වර්තමානයේ මෙම අර්ථය හාස්‍යයක්‌ වීමටද පුළුවන. විවේචනය කිරීමටද පුළුවන. වර්තමානයේ පමණක්‌ නොව, බුදුරජාණන් වහන්සේ ජීවත්ව සිටියදීද මෙම අර්ථයට විවේචන එල්ල විය. ඉතින් අද ගැන කුමන කථාද?

එහෙත් මෙම මොහොතේදී ඉහත මඟ වඩන බුදු පුතුන්, මෙම මඟ වැඩීමට උත්සහ ගන්නා, වීරිය වඩන, සරණක්‌- මඟක්‌ සොයනා බුදු පුතුන් විශාල පිරිසක්‌ මේ දෙරණ මත වැඩසිටින බව අවිවාදයෙන් පිළිගත යුතුව ඇත. උන්වහන්සේලා තමන් වැඩ සිටින කැලයේ යෑපෙන්නේ පාංශකූල සිවුරෙන්, පිණ්‌ඩපාතයෙන් යෑයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් යන zමාධ්‍යකරුවන්Z නොවේ. උන්වහන්සේලා ඉහත අවමයද පරිහණය කරනුයේ බදාගැනීමට නොව අතහැරීමට නොහැකි නිසාය. තම නිවන් අරමුණ ජයගන්නාතුරු කය ආරක්‍ෂා කරගත යුතු නිසාය. භික්‍ෂුව ප්‍රත්‍යාවේක්‍ෂයෙන් වැළඳිය යුත්තේ දායකයා පූජාකරන ආහාරයයි. එම ආහාර රස ගුණ මදියෑයි සිතා, රස තෘෂ්ණාවෙන් තමන් හෝ කැපකරු ලවා, කටට රසට හදාගත් දෙය ප්‍රත්‍යවේක්‍ෂාකොට වැළඳීම මධ්‍යම ප්‍රතිපදාව නොවේ. එහෙත් එය විනයට එකඟව කළ හැකි බව මමද පිළිගනිමි. යමෙක්‌ එසේ කරනවානම් එය විවේචනයද නොකරමි. මේවා ලෝකයේ පවතින ස්‌වභාවයන්ය. එහෙයින් අප නොගැටිය යුතුය.

නිවන උදෙසාම කැපවන්නා කප්පිය කුටිය, ගෑස්‌ලිප, උණුවතුර බෝතලය වැනි සංඥාවලින් මිදිය යුතුය. මේවා ඔබේ රස තෘෂ්ණාව අවධි කරන මාරයෝය. මධ්‍යම ප්‍රතිපදාවත්, කාමසුඛල්ලිකානු මඟත් අතරමැදද අන්තයක්‌ ඇත. එය මධ්‍යම ප්‍රතිපදාව හෝ කාමසුඛල්ලිකානු මග නොවේ. මධ්‍යම සහ කාමසුඛල්ලිකානු දෙකේම එකතුවකි. දෙකේම මුසුවකි. එය හරියටම ඇලීමත් ගැටීමත් මැද තිබෙන උපේක්‍ෂාව මෙනි. උපේක්‍ෂාව තුළ ඇලීමත් ගැටීමත් දෙකම තිබේ. ඉහත අවස්‌ථාවේදී මධ්‍යම ප්‍රතිපදාව ඉක්‌මවා ගිය තත්ත්වයකුත්, කාමසුඛල්ලිකානු මඟ ස්‌පර්ශ කරන ස්‌වභාවයකුත් ඇත. අපි මෙයට මාර ප්‍රතිපදාව යෑයි කියමු. මධ්‍යම ප්‍රතිපදාව යෑයි දකිමින් මාර ප්‍රතිපදාවක හික්‌මෙමින් අපි නිවන් මඟ සොයන්නෙමු. එළදෙන පැටවා සමඟ සිටියත් ඔබ කිරි දොවන්නේ පැටවාගෙන් නම් ඔබට කිරි නොලැබෙනු ඇත. එය එළදෙන හෝ පැටවාගේ වරද නොවේ. ඔබගේ වරදය. එහෙත් ඔබ ඉදිරියේ එළදෙනත් තන බුරුල්ලත් දෙකම ඇත.

විනය නමැති කඹයෙන් ඔබ එළදෙන දිගේලි කරමින් සිටියාට ඵලක්‌ නොමැත. එළදෙනගේ ගොම, මුත්‍රා එකතු කරාටද වැඩක්‌ නොමැත. ඔබ එළදෙනගෙන් පස්‌ගෝ රස ලබාගැනීමට දක්‍ෂ විය යුතුය. ඔබ දක්‍ෂයෙක්‌ වන්නේ එය අවබෝධ කර ගැනීමෙන්ය. ඊට මඟ සැබෑ මධ්‍යම ප්‍රතිපදාවයි.

තුන් සිවුරත් පාත්‍රයත් දරමින් ආරණ්‍ය, ශුන්‍යාගාර, රුක්‌ඛමූලගතව තම ප්‍රතිපදාව වැඩීමට ඔබ කැපවුවහොත් අර්ථවත් මධ්‍යම ප්‍රතිපදාවක්‌ ඇත්තේ එතැනය. හොඳට හිතන්න. දිව බොරු කීවද, ඔබේ හදවත බොරු නොකියනු ඇත. එය ඔබට දැකිය හැක්‌කේ ප්‍රඥාවෙන් පමණකි.

ලෝකයේ බරින් නිදහස්‌වීමට ප්‍රථම, ඔබ ඔබේ බරින් නිදහස්‌වන්න. ඔබේ බරින් ඔබ නිදහස්‌ වූ විට, ඔබ මෙතෙක්‌ දරා සිටියේ ලෝකයේ බරම බව ඔබට තේරුම් යනවා ඇත. තමාට අයිති නොමැති ලෝකයේ බර, අවිද්‍යාව නිසා දරාගෙන සිටින පෘථග්ජන සත්වයගේ මෝහයේ දිග පළල ඔබට අවබෝධ වනුයේ ඔබ ලෝකයෙන් නිදහස්‌වූ විටදීය. ඔබ සැබෑ ලෙසම මධ්‍යම ප්‍රතිපදාවේ හික්‌මෙමින් නිවන් මඟ තරණය කළොත් මුළු විශ්වයම සියුම් කොට ඔබේ දෝතට ගත හැකිය. එවිට ඔබට මෙහෙම දැනේවී. මා ලෝකය ජයගත්තාය කියලා.

ලෝකය ජයගැනීමේ ශක්‌තිය ඔබ සැමගේ අධ්‍යාත්මය තුළ සැඟවී ඇත. ඔබ කළ යුත්තේ එය මතුකර ගැනීම පමණක්‌මය. මෙම ජීවිතයේදී ඔබ එය මතුකර ගැනීමට උකටලී වුවහොත් තව කල්ප ගණනාවක්‌ ඔබට දුක්‌ විඳීමට සිදුවනු ඇත.

දිවයින ඉරිදා සංග්‍රහයේ ප්‍රකාශනය සඳහා පිටපත සකස් කලේ ඉන්ද්‍රජිත් සුබසිංහ

07-හාල්මැස්‌සාගෙනුත් කමටහනක්‌

2011-07-03

හාල්මැස්‌සාගෙනුත් කමටහනක්‌


නියමිත වේලාවට දායක පිරිස දානය දාන ශාලාවේ මේසය මත තබා ඇත. එළවළු හතරක්‌, බතක්‌, පළතුරු, කැවිලි ඊට අයත්ය. දායකයන් ඉවත්ව ගිය පසු ඔබට මෙහෙම හඬක්‌ ඇසෙනු ඇත.

“සැරට මොකුත් නැහැ. හාල්මැස්‌සො ටිකක්‌ බඳිමු ද?”

කප්පිය කුටියේ විනයානුකූලව පාවිච්චිකිරීමට වියළි ආහාර ඇත.

ඔබ සාමනේර නිසාම හාල්මැස්‌සන් සුද්ද කිරීම ඔබට පැවරෙනු ඇත. ඔබ එයට නොගැටෙන්න. මඟහැර නොයන්න. අභියෝගයට මුහුණදෙන්න. සමහර විට ඔබ මස්‌ මාංශ නොවළඳන කෙනෙක්‌ වෙන්න පුළුවන්. ඒ ගැන නොසිතන්න. ඔබ ඔළුව කඩන කඩන හාල්මැස්‌සා සංසාරයේ ඔබේ මව, පියා, ඥාතියා, දරුවා ව සිටින්නට ඇතැයි සිතන්න. මේ හාල්මැස්‌සා සංසාරයේ සක්‌විති රජවද, දෙවියෙක්‌ව ද, ප්‍රේතයෙක්‌ව ද ඉන්නට ඇතැයි ඔබ දකින්න. ඔබේ ම කල්‍යාණ මිත්‍රයාව සිටින්නට ඇතැයිද ඔබ දකින්න. සෑම මනුෂ්‍යයෙකුටම, සෑම සත්වයකුටම මෙය ගලපා බලන්න. මේ හාල්මැස්‌සා සංසාරයේ පැවිදිව ඉන්නට ඇතැයි ද සිතන්න. පැවිදිව සිටියත් නැවත හාල්මැස්‌සෙක්‌ වූයේ කෙසේද යන්නත්, ඇයිද යන්නත් සිතන්න. මේ හාල්මැස්‌සා සංසාරයේ තම කුසින් රහතන් වහන්සේලාවද බිහිකොට ඇතැයි සිතන්න ඔබ දක්‍ෂ වන්න.

ඔබ ලබන මේ අවබෝධය නිසා, හාල්මැස්‌සාටද ඔබ හදවතින් පිංදෙන්න. බලන්න ඔබ හාල්මැස්‌සෙක්‌ගෙන් ලැබුව කමටහනක ගැඹුර.

හොඳයි, ඔබ මට හාල්මැස්‌සො අතගාන්න බැහැ. මම නිර්මාංශයි කියලා ගැටුනා නම්, ආරණ්‍යය හැර ගියා නම් ඔබට මේ කමටහන ලැබෙනවාද?

ඔබ දැන්ම ඉක්‌මන්වෙන්න අවශ්‍ය නැහැ. හාල්මැස්‌සා තුළ සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ ඉන්නවාද කියලා දකින්න. මුලින්ම ලැබුණ කමටහන ප්‍රයෝජනයට ගන්න. සංසාරයේ ගැඹුර දකින්න. සංසාරය ගැන බිය ඇතිකරගන්න. ඒ වැඩීම තුළ ඔබේ ප්‍රඥාව ත්‍රිව්ර වන විට ඔබට අවබෝධය ලැබේවි. හාල්මැස්‌සා තුළ සත්වයෙක්‌ පුදගයෙක්‌ නොමැත, එහි ඇත්තේ අනිත්‍ය භාවයට පත්වන ධාතු කොටස්‌ පමණක්‌ම බව ඔබට මෙලෙස වැටහෙන්නේ නැතිනම් ඔබ ඉවසන්න. ඔබට ප්‍රඥාව වැඩෙන විට මෙම ධර්මතාවය අවබෝධවේවි.

ඔබ මෙවන් අවබෝධයක්‌ ලබමින් පසුවනවිට හාල්මැස්‌සො බැඳුම රසබලන අය ලබන්නේ රස තෘෂ්ණාව පමණක්‌ බව සිතන්න. වර්තමානයේ ගිහි වුවද, පැවිදි වුවද ඔහු නැවත සසර හාල්මැස්‌සෙක්‌ වීමේ ඉඩකට එසේම විවෘතව පවතින බව දකින්න ඔබ දක්‍ෂ වෙන්න.

සසර නැවත මව්කුසක්‌, බිත්තරයක්‌ තුළට නොයන්නට ඔබ දක්‍ෂ වන්න. එසේ නොවුණහොත් යම් දවසක මෙම හාල්මැස්‌සාම මිනිසකුව ඉපිද, ඔබ හාල්මැස්‌සෙකුව ඉපිද ඔබවද මෙපරිද්දෙන් බැඳුමට ගනු ඇත. පෙර බවයක මේ හාල්මැස්‌සා පැවිදිව කළ ක්‍රියාව වර්තමානයේදී ඔබ නොකරන්න. ඔබ නිර්මාංශයෑයි උදම් ඇනීමෙන්, ඔහු මාංශයෑයි පිළිකුල් කිරීමෙන්, දිව ඉල්ලන ඉල්ලන රස දීමෙන් රැස්‌වෙන්නේ තන්හාවයි. ඔබ කළ යුත්තේ රස ඉල්ලා ඇතිවූ සිත අනිත්‍ය බව දැකීම පමණක්‌මය.

“මේ ඝෝර, කටුක, භයානක සංසාරයේ භිය දැක,
මේ ආත්මභාවයේම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරමින්,
වීර්ය වඩමින්, නිවන් මග පුරන, “දක්‍ෂ”, ගිහි පැවිදි උතුමන්ට
පමණක්‌ මේ අහිංසක ව්‍යයාමය උපකාරයක්‌ම වේවා!
ශක්‌තියක්‌ම වේවා!
මාර්ගයක්‌ම වේවා!
තම තමන්ට වැටහෙන ප්‍රමාණයට තම තමන්ගේ ජීවිත වලට ගලපාගනිත්වා!
අර්ථ හෝ ව්‍යාකරණ වැරදි ඇතොත් ඔබ නොකළ වරදකට ඔබ නොගැටේවා!
අනුනටද අනුකම්පා කෙරේවා!
වැරදි නැතොත් නිවැරදි දෙය නිවැරදි ලෙස දකීවා!
මෙහි සටහන් හැම අර්ථයක්‌ තුළින්ම ඔබ සැමට යහපතක්‌ වේවා!
තමා තමාටම පිහිටකොට ගනිත්වා..”
යෑයි උන්වහන්සේ ඒ පොත් පෙළ ඇරඹුමේ ලියා ඇත්තාහ.

දිවයින ඉරිදා සංග්‍රහයේ ප්‍රකාශනය සඳහා පිටපත  සකස් කලේ
ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com