‘සිතීම’ පහසුයි – ‘භවය’ අපහසුයි

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌.

එක මහත්මයෙක්‌, තමන්ගේ ඉඩමේ වැටමායිමකට මුළු ජීවිතයම නඩු කියලා, වැට මායිමේ අයිතිය ගැනම හිතලා, ඒ ගැන සිතමින් සිටියදීම මිය යනවා. පටිච්චසමුප්පන්නව ඒ මහත්මයා එම ඉඩමේ ප්‍රේතයෙක්‌ වශයෙන් උපත ලබනවා. ඒ වැටමායිම ළඟ සිටිමින් තවමත් මායිමේ අයිතිය ගැන සිතනවා. නිමාවක්‌ නැති සිතීම, නිමාවක්‌ නැති භවය පෝෂණය කොටදෙනවා. ලෝකයේ කටුකම, බියකරුම, ගැඹුරුම, දීර්ඝම, අමිහිරිම දෙය මොකක්‌ද කියලා ඇසුවහොත්, භික්‍ෂුව එයට දෙන පිළිතුර ‘භවය’ කියලයි කිව යුත්තේ.

ලෝකයේ සරළම, පහසුම, ඉක්‌මන්ම දෙය කුමක්‌ද කියලා ඇසුවොත්, අපිට කරන්න පුළුවන් පහසුම කාරණය ‘සිතීම’ කියන කාරණයයි. සිතීම කියන ලෝකයේ සරළම කාරණය, ලෝකයේ ගැඹුරුම, දීර්ඝම ‘භවය’ට ඔබව ඇද දමනවා. ඇලීම්, ගැටීම් වැඩිවෙන ප්‍රමාණයට හඳුනා ගැනීම් වැඩිවෙනවා. හඳුනා ගැනීම් වැඩිවෙන ප්‍රමාණයට සිතීම, සංස්‌කාර වැඩිවෙනවා. මනුෂ්‍යයෝ සිතලා සිතලා, සිතාගන්න බැරිවෙනකොට, මත්වතුර බීලා හිතනවා. මත්වතුර බීලත් හිතාගන්න බැරි වෙනකොට, සිය දිවිනසාගන්න සිතනවා. සිය දිවිනසා ගැනීමට උපක්‍රම භාවිත කොට, මරණ වේදනාව දැනෙද්දී, ‘අනේ මම ජීවත්වෙන්න ඕනේ’ කියලා සිතනවා. ඇලීම්, ගැටීම් හඳුනා ගැනීම්වල ස්‌වභාවය නිසා, සත්ත්වයාගේ සිතීම, සත්වයාටම ප්‍රහේළිsකාවක්‌ වෙනවා.

භික්‍ෂුවට මතකයි, භික්‍ෂුවගේ භික්‍ෂු ජීවිතය මුල්කාලයේ, නිවීමේ මෙහෙයුමේ මුල් අවස්‌ථාවල, භික්‍ෂුවගේ සිත විසිරෙද්දී, එම විසිරීම නැවත නැවත සිදුවන අවස්‌ථාවල, මගේ සිතට මම අවවාද කළා, සිත දමනය නොවුණොත් මම මැරෙනවාය කියලා. මම මරණය පෙන්වමින්, විසිරෙන්නාවූ මාර සිතට අවවාද කළා. මෙතැනදී ‘මම’ කියලා කියන්නේ ප්‍රඥාවටයි. ඒසේත් නැතිනම් බල ධර්මයක්‌මයි. භික්‍ෂුව තුළ වැඩෙන බල ධර්මයන් විසිනුයි මෙතැනදී මාරයාට මරණය පෙන්වමින් අවවාද කරන්නේ. මේ මොහොතේ භික්‍ෂුවට ජීවිතය ගැන ගැටීමක්‌ නැහැ. නිවන ගැන ඇලීමක්‌ද නැහැ. නිදහස්‌ වීමක්‌, නිවීයැමක්‌…. එහෙත් එය බලාපොරොත්තුවක්‌ නෙවෙයි. බලාපොරොත්තු හිස්‌කළ ජීවිතයක නිදහස්‌වීමක්‌, නිවීයැමක්‌. ප්‍රඥාව විසින් පංචඋපාදාන ස්‌කන්ධයට අවවාද කරනවා. සප්තබොඡ්Cධංග ධර්මයන්ගේ සති, ධම්මවිජය, වීර්යය කියන ධර්මතාවන් අයෝමය බලයක්‌ වී, මෙතෙක්‌ කල් සුරතල් කළ පංචඋපාදානස්‌කන්ධ මාරයාට, මරණයෙන් අභියෝග කරමිනුයි, අවසානයේදී කල්ප සියක්‌ කෝටි ගණනක්‌, පටිච්චසමුප්පන්නව අයාලේ දිව්ව සිත ප්‍රඥාවේ ග්‍රහණයට ගත්තේ.

වර්තමාන සමාජයේ පිංවතුන්ලා, උතුම් අධිගමයන්, සරළ ව්‍යායාමයක ප්‍රතිඵලයක්‌ වශයෙන් දකිමින්, අඩු වීර්යයකින් වැඩි ප්‍රතිඵල ලබාගන්න බලාපොරොත්තු වෙන බවක්‌ පෙනෙන්නට තිබෙනවා. සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනාවක්‌, අයාලේ දුවපු සිතක්‌, මඟ නොමඟ වසා පෙන්වූ සිතක්‌, කුසලය අකුසලය පටලවා පෙන්වූ සිතක්‌, පටිච්චසමුප්පන්නව මැරෙන උපදින සිතක්‌, සංස්‌කාර හේතුවෙන් සකස්‌වෙන විඤ්Æණය නමැති ධර්මතාවයේ තියුණු භාවය, පිංවත් ඔබත් නුවණින් දකින්න දක්‍ෂ වෙන්න.

බුදුරජාණන්වහන්සේ ලක්‍ෂ ගණනක්‌ අතීතයේ මුණගැසිලත්, අධිගමයන් සාක්‍ෂාත් කොට ගැනීම වැළැක්‌වූ සිතක්‌ භික්‍ෂුව දමනය කළේ ‘එක්‌කෝ මරණය, එක්‌කෝ නිවීම’ කියන අවසාන සිතිවිල්ලෙත් මාරයට අභියෝග කිරීමෙන් පමණක්‌මයි. මරණයෙනුත් නිවීමෙනුත් එහා භික්‍ෂුවට සිතක්‌ සකස්‌ වුණේ නැහැ. ඒ කියන්නේ සිත නැවතුණා. සංස්‌කාර නිරෝධා- විඤ්Æන නිරෝධා – උපාදාන නිරෝධා- භව නිරෝධා ලෝකයේ ගැඹුරුම පටිච්ච සමුප්පාද ධර්මය බොහෝම සුන්දර ධර්මයක්‌.

ඇසෙන් රූපයන් දැකලා, එම රූපයට ඇලිලා, ගැටිලා, උපේක්‍ෂා සහගත වෙලා, ඇලුණු ගැටුණු රූපය හඳුනාගෙන, හඳුනාගත් රූපය ගැන සිතනකොට තමයි සංස්‌කාරයන් රැස්‌වෙන්නේ. පිංවත් ඔබ අතීත, අනාගත, වර්තමාන වශයෙන් සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය නුවණින් දකින්න. වර්තමානයේ ඔබ යම් භික්‍ෂු රූපයක්‌ දැකලා, සද්ධර්මයත් ශ්‍රවණය කරලා, ධර්මය තුළ සංසිඳීමක්‌ දැනිලා, රැස්‌කරන්නා වූ සෑම කුසල් සංස්‌කාරයක්‌ම නිත්‍යද, අනිත්‍යද? මේ සෑම කුසල් අකුසල් සංස්‌කාරයක්‌ම, යම් දවසක විපාක සකස්‌කොට දීලා, අනිත්‍ය වෙලා යනවා. පිංවත් ඔබ, දෑස්‌ පියාගෙන, වර්තමානයේ ඔබ සිදු කරන සෑම කුසල් ක්‍රියාවක්‌ම, අකුසල් ක්‍රියාවක්‌ම, විපාක දී අනිත්‍ය වන ධර්මතාවන් බව නුවණින් දකින්න.

Advertisements